Saturday, December 26, 2009

1967 නක්සල්බාරි ගම්මානයේ සිට ආන්ද්‍රා ප්‍රදේශය දක්වා {ඉන්දියාවේ මාඕවාදී නැගිටීම පිලිබද සටහනක්}


"අයුක්තිය යථාර්තය වූ විටෙක යුක්තිය වූ කලී සටන් වැදීමයි"

පසුගිය දිනෙක ඉන්දීය අගමැති මන් මෝහන් සිං ඉන්දියාව මුහුන දෙන විශාලතම අභ්‍යන්තර තර්ජනය (internal threat)වශයෙන් එරට ව්‍යාප්ත වෙමින් තිබෙන මාඕවාදී කැරැල්ල නම් කලා.මෙය "විශාලතම අභ්‍යන්තර තර්ජනය" වශයෙන් පිලිගැනීමෙන් කාශ්මීර අර්බුදය තරම්ම තර්ජනාත්මක සාධකයක් බවට ඉන්දියාවේ මාඕවාදී ගරිල්ලන් පත්ව තිබෙන බව ඒ අනුව ඉන්දීය මධ්‍යම රජය නිල වශයෙන් පිලිගෙන තිබෙනවා.

"නැක්සලයිට් කැරැල්ල" ලෙස පොදු ව්‍යවහාරයේදී හදුන්වන ඉන්දියාවේ මාඕවාදී ගරිල්ලා යුද්ධය සමහර විට ඉදිරි වසර කිහිපය තුල කලාපයේම දේශපාලන සිතියම වෙනස් කිරීමට තුඩු දෙන ව්‍යාපාරයක් වීමේ ලක්ෂන පෙන්වනවා.ඉන්දියාවේ ප්‍රාන්ත 20 ක දිස්ත්‍රික්ක 220ක් වැසී යන ලෙස මාඕවාදී සන්නද්ධ ක්‍රියාකාරකම් ව්‍යාප්ත වී තිබෙන අතර එය භූගෝලීය වශයෙන් සමස්ත ඉන්දියාවේ 40%ක පමන භූමි ප්‍රදේශයක් ආවරනය කරනවා.ඉන්දීය රජයේ පාලනයෙන් ගිලිහී ගරිල්ලා හමුදා විසින් පාලනය කරන භූමි ප්‍රමානය වර්ග කිලෝ මීටර 92 000 ක් වශයෙන් සැලකෙනවා.ආන්ද්‍රා ප්‍රදේශ් ඇතුලු නැගෙනහිර ඉන්දීය කලාපයේ තදින් මෙම අරගලය පැතිර යමින් පවතින අතර එහි බරපතලකම මන් මෝහන් සිංගේ මුලින් දැක්වූ ප්‍රකාශයෙන්ම වටහා ගත හැකියි.

දකුනු ආසියාවේ මෑතකාලීනව මෙසේ තදින් අවධානයට ලක්වූ අනෙත් සන්නද්ධ අරගලය වූයේ නේපාලයේ මාඕවාදී සටන්කරුවන්ගේ නැගිටීමයි.වසර කිහිපයකට පෙර නිකම්ම නිකම් "ත්‍රස්තවාදීන්" පිරිසක් වශයෙන් මාධ්‍ය විසින් හැදින්වු නේපාල සටන්කරුවන් කෙතරම් ශක්තිමත් වූවාද යත් නේපාලයේ තිබුන පාලනය පෙරලා දමා ආන්ඩු බලය ලබාගැනීමටත් සමත් වුනා.මේ වනවිට ආන්ඩුවෙන් ඉවත්ව කටයුතු කලත් නේපාලයේ ශක්තිමත්ම තනි කන්ඩායම වශයෙන් සැලකෙන්නේ එරට මාඕවාදී ව්‍යාපාරයයි.
නේපාලයේ සිදුවු මෙම නැගිටීම එක්ක ඉන්දියාවේ ප්‍රාන්ත පුරා ඇවිලී යන ගරිල්ලා සටන ගත්විට මාඕවාදී සටන් ව්‍යාපාර කලාපය තුල විශාල වර්ධනයක් අත්කරගෙන සිටින අන්දම පැහැදිලිව නිරීක්ෂනය කරන්න පුලුවන්.

වැඩි කල් යන්න පෙර අමෙරිකාවටත් තර්ජනයක් වන රටක් බවට පත්වෙනවා යැයි පාරම් බාන ඉන්දියාව තුල මෙවැනි දැවැන්ත පුපුරායෑමක් ඇතිවුනේ කොහොමද?
කලාපයේ බලවතා ලෙස අසල්වාසීන්ටත් ආධාර බෙදන රටක හා ලෝකයේ හතරවෙනියට විශාල හමුදාව සිටින රටක මධ්‍යම රජය සසල කරවන මෙවැනි අරගලයක් පැන නැංගේ කෙසේද?
මේ කාරනය ගැන සාකච්ඡා කිරීමේදී මාඕවාදී ව්‍යාපාරයේ සංයුතිය ගැන කතාකිරීම වැදගත් වෙනවා.

මාඕවාදී ගරිල්ලා යුද්ධයට සම්බන්ධ වී සිටින්නේ ඉන්දියාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ග්‍රාමීය දිලිදු ජන කොටස්.විශේෂයෙන්ම එම ජනකොටස් අතර සිටින තරුන පිරිස් මෙම යුද්ධයේ පුපුරන සුලු න්‍යෂ්ඨිය වශයෙන් ක්‍රියා කරනවා.වනගත වෙමින්,කැලෑ වල ඉතාම දුෂ්කර තත්වයන් යටතේ සන්නද්ධ සටන් පුරුදු වන මෙම සටන්කාමී තරුන පිරිස් ඉන්දීය මධ්‍යම රජයට වගේම ප්‍රාන්ත රජයන්ට විවෘතව අභියෝග කරමින් මුලු ලෝකයේම අවධානය තමන් වෙත යොමුකරගනිමින් සිටිනවා.
ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්තවල ජීවත් වන ගෝත්‍රික ජනයා අතර විශාල පිලිගැනීමක් මෙම ව්‍යාපාරයට ලැබී තිබෙන ආකාරය නිරික්ෂනය කරන්න පුලුවන්.සංවර්ධනයේ පුලුටකුදු නොදුටු,ඉන්දීය පොලිසි වල තාඩන පීඩන වලින් හෙම්බත්ව සිටින මෙම ගෝත්‍රික ස්වදේශීය කොටස් මාඕවාදී අරගලයේ සක්‍රීය කොටස්කරුවන් විදිහට වැඩකරනවා.

කලාපයේ බලවතා බවට පත්ව සිටින ඉන්දියාව ඇත්ත වශයෙන්ම බාහිර වශයෙන් පිම්බුනත් අභ්‍යන්තර වශයෙන් එහි සමාජය බොහොම අසමතුලිත සමාජයක්.සාමාන්‍යයෙන් ඉන්දියාව තුල ලෝක දෙකක් තිබෙන බව පිලිගැනෙනවා.ඒ විශාල කටවුට් හා බිල්බෝඩ් වල සිනාසෙන සිනමා තාරකාවන්ගේ හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලෝකය සහ ඒ කටවුට් යට හිගාකන,හාමතේ මියයන දිලින්දන්ගේ ලෝකයයි.
"ඉන්දියාව" කියල අපි හදුනගන්නේ සිනමා තාරකාවන් රගන,දිලිසෙන කටවුට් ලෝකය මිස ඒ යට පොලොව මත තිබෙන ඇත්ත භූමිය නෙමෙයි.
රනිල් වික්‍රමසිංහගේ regaining sri lanka වැඩපිලිවෙලට සමාන්තරව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක කලේ shining india යනුවෙන් වැඩසටහනක්.ලංකාවට 1977 දී ආ "විවෘත ආර්ථිකය" යන වැරදි නමින් හදුන්වන ලිබරල්වාදී වෙලදපොල ආර්ථික ප්‍රවේශය ඉන්දියාවේ නිල ආර්ථික ප්‍රවේශය බවට පත්වුනේ 1991 දී.රිගේනින් ශ්‍රී ලංකා වගේම ෂයිනින් ඉන්ඩියාත් ඒ ලිබරල් ආර්ථිකය ඉදිරියට ගෙන ගිය ව්‍යාපෘති වූ අතර දැන් ලංකාවේ අපි වවමු රට නගමු යනුවෙන් රැවටිලි සහගත නමකින් පරන ලිබරල් වෙලදපොල ව්‍යාපෘතිය දිගටම පවතින අතර සිය "ජාතිකවාදී" අනන්‍යතාවය හගවන ජටාව බැදි මන්මෝහන් සිං අගමැතිගේ වත්මන් ඉන්දීය පාලනය පරන බීජේපී ව්‍යාපෘතියම වෙනස් ස්වරූපයකින් ඉදිරියට ඇදගෙන යමින් තිබෙනවා.මේ අනුව ගත්තම ලංකාවෙයි ඉන්දියාවෙයි සමානකම් සිත්ගන්නා සුලුයි!

ලිබරල්වාදී ධනේශ්වර වෙලදපොල ආර්ථිකයේ ලක්ෂනය සම්පත් සංකේන්ද්‍රනය වීමයි.
ඒ කියන්නේ ආර්ථිකයේ මොනතරම් දැවැන්ත ප්‍රමානාත්මක පිබිදීමක් ඇතිවුනත් ඒ පිබිදීම එක්තරා පංතියක් හා සමාජ කොටස් කිහිපයක් අත සීමා වෙනවා.සමාජයේ පතුලට ඒ පිබිදීම ගලාගෙන යන්නෙ නැහැ.ටාටා බිර්ලා වැනි මහා ප්‍රකෝටිපතියන් ඉන්දියාවේ බිහිවෙලා තියෙන අතර නාගරික මධ්‍යම පංතික කොටස් කිහිපයක් වෙතද අඩු වැඩි වශයෙන් "ඉන්දීය පිබිදීමේ" ප්‍රතිලාභ ගිහින් තිබෙනවා.
මෙහි ප්‍රතිඵලය කුමක්ද?
ප්‍රතිඵලය වන්නේ සමාජ පිරමීඩයේ ඉහල ස්ථරයන් දෙක තුන සෞභාග්‍යයෙන් ධනයෙන් හා යස ඉසුරින් ආඩ්‍ය වීම හා සමාජ පිරමීඩයේ පහල කොටස් ඉහල බලාගෙන හිගමන් යදින තත්වයට පත්වීමයි.ඉන්දියාවේ එක ලෝකයක සුරපුරයකුත් අති විශාල බහුතරය ජීවත් වන අනිත් ලෝකයේ අවීචි මහා නරකාදියකුත් නිර්මානය වෙලා තියෙන්නෙ ඒ හින්දා.
(මේ ලක්ෂනයම ලංකාවේත් දකින්න පුලුවන්.ලංකාවේ මුලු නිෂ්පාදනයේ 50% බස්නාහිර පලාතේ රැදෙන විට ඌවට ගලන ප්‍රමානය 5% ඉක්මවන්නෙ නැහැ.ජනගහනයේ ධනවත්ම 20% ජාතික ආදායමේ හරි අඩකටත් වැඩි ප්‍රමානයක් භුක්ති විදින විට දුප්පත්ම 10%ට ලැබෙන්නෙ ජාතික ආදායමේ 1% ක අගයක් පමනයි.නමුත් ඉන්දියාවේ තරම් උග්‍ර තත්වයක් මෙහි ඇතිනොවෙන්න අඩු පාඩු මැද වුනත් පවත්වාගෙන ඇවිත් තිබෙන සුබසාධන සේවා හේතුවෙලා තියෙනවා.සටහන ඉන්දියාව ගැන නිසා ඒ ගැන වැඩිදුරටත් මෙහිලා කතාකෙරෙන්නේ නැහැ.)

කෙසේ වෙතත් මාඕවාදී ගරිල්ලා යුද්ධයේ ස්වරූපයෙන් මේ නිසා පුපුරා ගොස් තිබෙන්නේ ඉන්දියාව වසාගත් අසමානතාවය ගැන සමාජයේ පහල පාංතික ජනතාව අතර තිබෙන අප්‍රසාදයයි.විරෝධයයි.
ඉන්දියාවේ ගම්බද ප්‍රදේශවල තවමත් ශේෂ වී තිබෙන කුල පීඩනය මෙම සටන් රැල්ලට ඉන්ධන සපයන සාධකයක් වෙලා තියෙනවා.සාමාන්‍යයෙන් කුල බෙදීම වගේ වැඩවසම් ලක්ෂන අහෝසි කරල දැමීම ධනවාදය විසින් කරන කාර්යයක් විදිහටයි සැලකෙන්නේ.නමුත් දශක ගනනාවක් ගෙවුනු පසුවත් ගම්බද වැඩවසම්වාදය ඉක්මවීමට ඉන්දියාවේ ධනවාදයට නොහැකි වෙලා තියෙන නිසා මාඕවාදී ව්ප්ලවකාරීන් එම ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයත් තමන්ගේ සටනෙහි කාර්යයක් විදිහට භාරගෙන තිබෙනවා.

තමන්ගේ ප්‍රශ්න වල හේතුව හොයාගන්න බැරි වුන විට බොහෝවිට පීඩාවට පත්වූ පිරිස් කරන්නෙ අදේශපාලනිකව තමන්ගෙම වර්ගයේ එකිනෙකා මරාගෙන අසහනය පිටකරගැනීම.
එහෙමත් නැතිනම් ආගම්වාදීව හෝ ගෝත්‍රවාදීව සංවිධානය වෙලා වෙනත් වර්ගයක් මත "පීඩනයේ හේතුව" ආරෝපනය කොට වෙනත් ජන කොටසක් අනෙකා බවට පත්කර ගැනීම.පත්කරගෙන වර්ගවාදීව මරා ගැනීම.ලංකාවේ දෙමල නැගිටීම,ඉන්දියාවේම විවිධ ජාතිකත්වයන් අතරින් පැන නැගුන (සික් කැරැල්ල) වැනි අරගල නිරීක්ෂනය කලාම මේ ලක්ෂනය දකින්න පුලුවන්.
නමුත් දිස්ත්‍රික්ක 220 පුරා විවිධ ජාතික කොටස් ගෝත්‍ර ඒකාබද්ධ කරමින් පැතිර යන ඉන්දියාවේ මාඕවාදී නැගිටීම මේ හැම එකකින්ම වෙනස් වෙන්නේ එය ප්‍රශ්නයේ "දේශපාලනිකය" ග්‍රහනය කරගෙන සිටින නිසා.
තමන්ගේ විදවීම් වල හේතුව ඉන්දියාවේ අසාධාරන සමාජ දේශපාලන ක්‍රමය යැයි නිවැරදිව වටහාගෙන සිටින මෙම සටන්කරුවන් සිය සටනේ අරමුන ලිබරල් ධනවාදී ක්‍රමය පෙරලා දැමීම යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වෙතත් 1967 බෙංගාලයේ නක්සල්බාරි ගම්මානයෙන් හටගත් මාඕවාදී සටන, බිදවැටීම් පරාජයන් වරද්දා ගැනීම් හා පාවාදීම් ගනනාවක අත්දැකීම් හරහා 2009 වන විට "විප්ලවය" කලාපයේ දේශපාලන සිතියමේ මගහැරිය නොහැකි සංසිද්ධියක් වශයෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙන බව පැහැදිලියි.

Monday, December 21, 2009

කතිරය ගැසීමට පෙර - ( මේ රාජ්‍යයේ සොරු නැත)


1.මිහින් එයාර් වෙනුවෙන් වියදම් කොට රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 6 කි.එසේ වුවද මුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයටම දරන රාජ්‍ය වියදම රුපියල් බිලියන 5 කි.රෝහල් වල ඖෂධ වෙනුවෙන් වියදම් කල යුතු මුදල් හිතවතුන්ගේ පුද්ගලික අභිලාෂ සපුරන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙන අතර අත්‍යවශ්‍ය ඖෂධ හෝ සැත්කම් කරගැනීමට ඇවැසි ප්‍රතිපාදන නොමැතිව රටේ රෝහල් පද්ධතිය වේලෙමින් පවතී.

2.කෝප් වාර්තාවෙන් හෙලිදරවු වූ රටට අහිමි කල මුදල
මිලියන 33 000 කි.මහජන ධනය අපතේ යැවු වැරදිකරුවන් යහතින් වැජඹෙන අතර කිසිවෙකුට දඩුවම් නැත.හෙලිදරවු වූ සොරුන්ට දඩුවම් නොදෙන රටක නීතිය කුමකටද?

3.ගමනාගමන මන්ඩලයේ බස් මැතිවරන කටයුතු වලට යොදාගැනීම නිසා ආයතනයට සිදුව ඇතැයි සැලකෙන පාඩුව
මිලියන 100 කි.

4. අකාර්යක්ෂම කලමනාකරනය නිසා

විදුලි බල මන්ඩලය වාර්ෂිකව බිලියන 3.9 ක්
එයාර් ලංකා ආයතනය
බිලියන 9.98 ක්
වරාය අධිකාරිය
බිලියන 3.5 ක්
මාර්ග සංවර්ධන අධිකාරිය
බිලියන 9.9 ක්
ගමනාගමන මන්ඩලය
බිලියන 4.5 ක්
තෙල් සංස්ථාව
බිලියන 7.1 ක් පාඩු ලබයි.
මෙසේ අපතේ යන්නේ ලදරුවාගේ කිරිපිටි පැකට් එකේ සිට මියයන මහල්ලාගේ මිනී පෙට්ටියට ගහන ඇනය දක්වා සකල විධ බඩු භාන්ඩ මත බදු පනවා සමාජය පෙලමින් සූරාකනු ලබන ධනයයි.

5.කොලඹ නගරයේ නිවාස හිමි ඇමතිවරුන් 50 දෙනෙක් ඇතුලුව සියලු ඇමතිවරුන් ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් ලක්ෂයක් ලබාගත් අතර මාසික විදුලි ගාස්තු,ජල බිල්පත් දීමනා ලෙස අතිරේක 35 000 ක්ද ලබාගනිති.යුද්ධ කරන තුරු පඩි වැඩි නොකරන බවත් එය ඉවසා සිටින ලෙසත් ජනතාවට මොවුන් පැවසුවේ එසේ වරප්‍රසාද යහමින් භුක්ති විදින අතරතුරය.

6.විදේශ අමාත්‍යාංශයේ සංචාර සදහා පමනක් වැය වන වියදම
මිලියන 100 කට ආසන්න වන අතර ජනාධිපතිද තඹ සතේකට වැඩක් නැතැයි පැවසූ විදේශ ඇමතිගේ දියනියගේ කුප්‍රකට නිව්යෝක් උපන්දින සාදයේ වියදම ලක්ෂ 300 කි.ජීවන වියදමෙන් පෙලෙමින් මිනිසුන් අමාරුවෙන් ජීවත් වෙද්දී සමාජයට සහන සැලසීමට තිබෙන මුදලින් ඇමැත්තෝ උපන්දින සාද පවත්වමින් සිටිති.

7.තොන්ඩමන් ඇමතිගේ කාර්යාලය කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය වෙත ඉවත්කරගැනීම සදහා ගෙවන ලද මුදල
මිලියන 90 කි.වතු ජනයාගේ අවම වැටුප එසේ වුවද රුපියල් 500 කටද අඩුය.එම කම්කරුවන් දෛනික වැටුප ලෙස රුපියල් 500ක් ඉල්ලන විට එය මස් රාත්තල ඉල්ලීමක් ලෙස දකින මිගාර වැනි බ්ලොග්කරුවන් ඇමැති ගනයා මස් රාත්තල් දුසිම් ගනන් ගිලදමන විට එම යථාර්තයට අන්ධය

8.විදේශ රැකියා අමාත්‍යාංශයේ වංචාවේ මුලු වටිනාකම
මිලියන 100 කට ආසන්න වේ.

9.මගනැගුම ව්‍යාපෘතියේ ගිනුම්ගත නොවුවා යැයි සැලකෙන මුලු මුදල
මිලියන 1000 කි.

10.ටෙලිකොම් ආයතනයේ ටෙන්ඩර් වංචාවක ප්‍රතිඵල ලෙස
මිලියන 324 ක් අහිමි වී ඇත.

11.රටේ ඇමති මන්ඩලය 100 ඉක්මවන අතර ( බිලියන 1ක ජනගහනයක් සිටින ඉන්දියාවේ මුලු ඇමති මන්ඩලය 22 කි ) මේ අයගේ වාහන/නිවාස/ආරක්ෂාව/කාර්ය මන්ඩලය (කාර්ය මන්ඩලයේ සැලකිය යුතු පිරිසක් වන්නේ පවුලේ සාමාජිකයන්ය) සදහා විශාල වියදමක් දැරිය යුතු අතර මේ සදහා යන හැම සතයම ගෙවිය යුත්තේ දාඩිය හෙලමින් එදිනෙදා ජීවිතය ගැටගැසීමට වෙහෙසෙන සාමාන්‍ය ජනයාය.

මේවා නිකම්ම නිකම් සංඛ්‍යාලේඛන නොවේ.මේ සංඛ්‍යාලේඛන තුල විශාල සත්‍යයක් ගැබ්ව තිබේ.මේ සංඛ්‍යාවන් තුල විශාල ඛේදවාචකයක් ගැබ්ව තිබේ.
ඩෙංගු වසංගතයක් වන තුරු එය නවත්වාගැනීමට මෙරට බලධරයන්ට හැකි වූයේ නැත.සූකර උන රක්තපාත අඩියට පැමිනෙන තුරු මෙරට ඇමති ගනයා බාල් නැටූහ.රුබෙල්ලා විෂ වී තිදෙනෙක් මිය ගොස් තිබේ.වගකීම ගැනීමට කිසිවෙක් නැත.මෙම අකාර්යක්ෂම රාජ්‍ය නිලධර තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවයේ හා තක්කඩිකමේ වන්දිය ගෙවන්නට වී තිබෙන්නේ රටේ පොදු ජනයාටය.එනම් මෙය කියවන ඔබ හා මා වැනි සාමාන්‍ය මිනිසුන්ටය.

අපේ බදු මුදල් නාස්ති කරන මෙම වංචාකරුවන් තමන් දේශප්‍රේමීන් යැයි පවසද්දී අප එය විශ්වාස කල යුතුද?
මහජන මුදල් රිසිලෙස ගසා කෑමට ඉඩදී ඉච්ඡාවට සිනා මූනු පාන නායකයන් තමන් සංවේදී නායකයන් යැයි පවසාගනිද්දී අප එය පිලිගත යුතු වෙමුද?
ජාතික කොඩිය හතර අතේ වැනුවාට මේ අපරාධ වල පව් සෝදා ගැනීමට කිසිවෙක්ට හැකිද?
එසේ සෝදාගැනීමට අප ඉඩ තැබිය යුතුද?
මේවා ගැන නොසිතා අන්ධ ලෙස භාවිතා වන චන්ද වූ කලී සර්ව ජන චන්ද බලයට කරන නිගාවක් මිස වෙනකක් නොවේ.

(
මූලාශ්‍රය - anticorruptsl.com )

Sunday, December 20, 2009

ආගම - දාර්ශනික සාරය වෙනුවට සමාජමය සාරය සොයමුද?


මෙම අඩවිය තුල පුද්ගලික අත්දැකීම් ඒ විදිහටම මීට පෙර සටහන් කර නොතිබුනා හා සමාන වුනත් පසුගිය දිනෙක ලද අත්දැකීමක් සටහන් කල යුතුයි කියල හිතුනෙ ඒකෙන් ගන්න පුලුවන් වැදගත් අදහසක් නිසා.

සාමාන්‍යයෙන් ආගම ගැන විද්‍යාත්මක මතය නිශේධනීය එකක්.ස්වභාවධර්මයේ චලිතය තේරුම් කරගන්න තරම් දැනුම දියුනු වෙලා නොතිබුන වකවානුවක ඒවා තේරුම් ගැනීමට දරන ලද විවිධ උත්සාහයන්ගේ ප්‍රාථමික ප්‍රකාශනයන් විදිහට පහල වුන ආගමික මතාන්තර පසුකාලයක සමාජයේ දේශපාලන ආර්ථික සැකැස්මට අනුව හැඩගැසුනා.පෙරදිග සමාජ වල වගේම අපරදිග සමාජවලත් වරප්‍රසාද ලත් සංස්ථාවන් විදිහට ආගම් සංවිධානය වෙන්න පටන්ගැනීම එක්ක ඒවා ඒ ඒ සමාජ වල පාලකයන්ගේ අවශ්‍යතාවයන් එක්ක තදින් ගැටගැහෙන්නට වුනා.මධ්‍යකාලීන යුගයේ බටහිර පල්ලිය ඉතාම පීඩාකාරි සංස්ථාවක් වුනෙත් පෙරදිග විවිධ ආගම් පාලකයන්ගේ සුඛෝපභෝගී ජීවිත හා සමාජයේ දුක්ඛදායක ජීවිත අතර පරතරය ලෝකෝත්තර විග්‍රහයන්ගෙන් වසාලන දෘෂ්ටිවාදාත්මක දැලක් ලෙස ක්‍රියාත්මක වුනෙත් මේ හින්ද.කොහොම වුනත් ප්‍රගතිවාදී දේශපාලන භාවිතය තුලත් මේ නිසා ආගම ගැන තියෙන අදහස එතරම් සුබදායක එකක් නෙමේ.

විද්‍යාත්මකව කොයිතරම් වැරදි කියල කියවුනත් මිථ්‍යාවන් සම්බන්ධ සහජ ලෝලිත්වයක් මිනිසා තුල තියෙනවා.මේ නිසා ආගමික මතාන්තරත් මිනිසුන් අතර නොනැසී පවතිනවා දකින්න පුලුවන්.මගේ කතෝලික සගයෙක් දෙවියන් වහන්සේ යනුවෙන් කෙනෙක් නැත යනුවෙන් පවසන අතර නොවරදවා පල්ලි යනවා.කොවුර් අනුව යමින් සියලු ආගම් දෙස නිර්දය උපහාසාත්මක බැල්මක් හෙලන තවත් මිතුරෙක් විභාගයක් ලංවුන විටෙක බෝධී පූජාවල සරන සොයනවා.බුද්ධිමය වශයෙන් ආගමික මිථ්‍යාවන් ප්‍රතික්ෂේප කලත් හදවතින්,භාවමය වශයෙන් මිථ්‍යාවන් සම්බන්ධ ලෝලයක් මිනිසුන් තුල බොහෝවිට පවතින බව නිරීක්ෂනය කරන්න පුලුවන්.

පසුගිය දිනෙක කොලඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුන නත්තල් භක්ති ගීත (කැරොල්)ගායනා ප්‍රසංගයකට සහභාගි වෙන්න මෙම බ්ලොග්කරුට අවස්ථාව ලැබුනා.
සියලු ගායනා උසස් මට්ටමක නොතිබුනත් ප්‍රසංගයෙන් ඉතාම සෞන්දර්යාත්මක වින්දනයක් රැස්වෙලා හිටපු බොහෝ දෙනා ලැබුවා.අවස්ථාවට කතෝලික - කතෝලික නොවන බොහෝ දෙනා එකතු වෙලා සිටි අතර ඒ හැමදෙනාම අවස්ථාව වින්දනය කල බවට සැකක් නැහැ.
උත්සවයේ කෙටි අදහස් දැක්වීමක් කල පියතුමෙක් ලෝකයේ තිබෙන උත්තරීතරම ගුනාංගය වූ කලී පරිත්‍යාගය හා සමාව දීමයි යනුවෙන් පවසමින් සිත්ගන්නා සුලු කෙටි දේශනයක් කලා.රුවන්ඩාවේ සිට පැමිනි කන්‍යා සොයුරියකගේ කතාවක් ඔහු පැවසූ අතර හුටු ටුට්සි ගැටුමේදී පවුලේ අනෙත් සියල්ලන් මරා දැමීමට ලක්වූ ඇගේ ජීවිත කතාව බොහොම සංවේදී කතාවක්.උපතින් කතෝලික නොවුනත් කුඩා කල ක්‍රිස්තියානි සංස්කෘතියට අනුකූල පරිසරයක අත්දැකීම් ලද අයෙක් ලෙස ශාලාවෙන් නික්ම රාත්‍රියේ නිවස බලා යන විට මට කල්පනා වුන දෙයක් නම් ආගම පරම නිශේධනීය දෙයක් ලෙස සැලකීමට වඩා ආගම තුල තිබෙන යම් යම් විභවයන් ගැන මීට වඩා සිතිය යුතුයි කියන කාරනය.

ආගම්වල දාර්ශනික හරයක් නැති නමුත් ආගම් වල සමාජමය හරයක් තිබෙනවා යැයි මා සිතනවා.
දෙවියන් වහන්සේ සිටීද?යන්නට මගේ පිලිතුර නැත යන්නයි.
කර්මය යනුවෙන් දෙයක් තිබේද?
මගේ පිලිතුර නැත යන්නයි.
නැවත ඉපදීමක් තිබේද?
මගේ පිලිතුර නැත යන්නයි.
ඒ නිසා ආගම් වලින් වැඩක් ඇත්තේම නැද්ද?
එසේ වුවද ඊට දීමට තිබෙන පිලිතුර "වැඩක් තිබේ" යන්නයි.දාර්ශනිකව හරයක් නැති වුනත් සමාජයේ විසිරී සිටින මිනිස් ජීවිත යම් මොහොතකට හෝ එකතු කරන්න ආගමට පුලුවන් වෙලා තියෙනවා.පුද්ගල අනන්‍යතා පමනක් පවතින ලෝකයක යම් පොදු අනන්‍යතාවයක් හදන්න ආගම උදවුවක් වෙලා තියෙනවා.නත්තල් කාලෙට තමන්ගේ ක්ෂුදු ලෝකවලින් එලියට එන මිනිස්සු එකතු වෙලා සන්තෝස වෙනවා.වෙසක් ආවම කූඩු හදන්න,වෙසක් බලන්න,දන්සැල් වලට යන්න පොදුවේ හැමෝම එකතු වෙනවා.පන්සලට එන ගෑනු ලමයි පිරිමි ලමයි හදුනගන්නවා.විවිධ පුද්ගලයන් එකට මුසු කරන ස්විකරන මාධ්‍යයක් වශයෙන් මේ අනුව ආගම ඉටු කරන භූමිකාවක් තිබෙනවා.
සරලවම කියතොත් පටු ආත්මාර්ථකාමීත්වය අධිනිශ්චය වෙලා තියෙන මිනිස් ජීවිත වලට සාමූහිකත්වයේ සුන්දරත්වය ගේන්න අද සමාජය තුල ආගම යම් කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලියි.

ආගම් වල පවතින අන්තිම පසුගාමී හා අතිශය නිශේධනීය පැතිකඩ තේරුම් ගන්නවා වගේම ආගමේ මේ ප්‍රගතිශීලි පැතිකඩත් අවබෝධ කරගන්න අවශ්‍යයයි.මිනිසා තුල තිබෙන සහජ මිථ්‍යා ලෝලය මිනිසාගේ සමාජ ජීවිතය යහපත් කිරීමේ විධියක් විදිහට යොදාගන්න පුලුවන්කම තියෙනවා නම් එය ආගම පරම වශයෙන් හෙලා දකිනවාට වඩා ප්‍රතිඵලදායක එකක් වනු ඇතැයි අවසන් වශයෙන් සිතීමට පුලුවන්.

Sunday, December 6, 2009

ජනාධිපතිවරනය සහ දේශප්‍රේමී බොරුව


පෙරවදන -
සිය ගුරුවරයා වන නලින් ද සිල්වාගේ මග යමින් සතියට වතාවක් බ්ලොග් අවකාශයට "අපේ ප්‍රවාදය" බැගින් මුදා හරින ජාතික චින්තකයන් දෙපලක් වන දර්ශන කස්තුරිආරච්ච් හා කැලුම් නිරංජන යන මහත්වරුන්ට මෙම ලිපිය උපහාරයක් වේවා!

එලඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිව දිනවිය යුත්තේ ඇයි ද යන්න පිලිබද ටියුෂන් දීමට ‍"ජාතික චින්තකයන්" මේ දවස්වල විශාල මහන්සියක් ගනිමින් සිටින බව පෙනෙනවා.ඔවුන්ගේ තර්කය සරල කලාම එන්නේ මේ ව‍ගේ සමීකරනයක්.
මහින්ද ගේ පිල = දේශප්‍රේමී පිල
සරත් ‍‍ෆොන්සේකාගේ පිල = දේශද්‍රෝහී පිල
සරත් ෆොන්සේකාගේ පිල දේශද්‍රෝහී ලෙස නම් කිරීමට මේ අය යොදා ගන්නා තර්කය මොකක්ද?පුද්ගලයෙක‍් ලෙස ෆොන්සේකාට එල්ල කරන්න කිසිදු ‍චෝදනාවක් මොවුන්ට නැහැ.මාස කිහිපයකට පෙර ඇමෙරිකන් හමුදාවට ත්‍රස්ත මර්ධනය ගැන ඉගැන්වීමට පවා සුදුසු දේශහිතෛශියෙකු ලෙස තමන් විසින්ම නම් කල ජනරාල් ඉතාම කෙටි කාලයක් තුල දේශද්‍රෝහියෙක් බවට රූපාන්තරනය කරන එක ( අවශ්‍යතාවය තිබුනද)එතරම් සරල දෙයක් නෙමෙයි.

ඒ නිසා ජනරාල්ගේ පිල දේශද්‍රෝහී ලෙස නම් කිරීමට මොවුන් උපයෝගී කරගන්නා තර්කය නම් ජනරාල් ට සහය දක්වන අයව හුවා දැක්වීමයි.ඒ අනුව කතන්දරය පෙලගැසෙන්නේ මෙහෙමයි.
මංගල = දේශද්‍රෝහියා
රනිල් = දේශද්‍රෝහියා
එමනිසා ඔවුන් සමග හිටගත් ෆොන්සේකා = දේශද්‍රෝහියා
දර්ශන හා කැලුම් දෙබෑයන්ගේ මෙම අතිශය "සංගත" හා "ගැඹුරු" චතුස්කෝටික තර්කය දැන් අපි අනිත් පැත්තට භාවිත කර බලමු.

ෆොන්සේකා වටා ඉන්නා අයගේ චරිත සහතික පමනක් සැලකීමෙන් නොනැවතී අපි ජනාධිපති අවට ඉන්නා අයගේ චරිත සහතික සසදා බලමු.
1.ජාතික චින්තකයන් රටේ සිදු වූ ඉතාම දේශද්‍රෝහී ක්‍රියාව යැයි හදුන්වන 2002 සටන්විරාම ගිවිසුම හා සාම සංදර්ශන ක්‍රියාවලියේ මහ මොලකරවෝ කවරහුද?ඔවුන් අද සිටින්නේ කොතනද?
කොටි සමග ගිවිසුම් ගැසූ රනිල් විපක්ෂයේ සිටිනවා වාගේම එම සාකච්ඡා සදහා ලොව වටා ඉත සිතින් කරක් ගැසූ මිලින්ද මොරගොඩ,ජී.එල්.පීරිස් වැන්නන් අද රජයේ ප්‍රබල චරිතය.අතීත පාප කර්මය මත රනිල් දේශද්‍රෝහී වන්නේ යැයි කියන්නට ඇරෙන ජාතික චින්තකයන්ගේ කටවල් මොරගොඩ දේශද්‍රෝහියෙක් කියන්නට නොඇරෙන්නේ ඇය?රනිල් ඉන්නා පිල දේශද්‍රෝහී යැයි කියන්නට විසිවෙන කෙල එම ක්‍රියාවම කල මොරගොඩලා ඉන්නා පිල දේශද්‍රෝහී යැයි කියන්නට විසි නොවන්නේ ඇයි?

2.රවි කරුනානායක ගේ අලිමංකඩ පාමංකඩ කතාව මොවුන් දිගටම වාදනය කරයි.තවත් හොදින් හොයා බැලුවහොත් රාජිත සේනාරත්න,හේමකුමාර නානායක්කාර ආදීන් කොටි සංවිධානය ගැන කල අලිමංකඩ කතාවටත් වඩා ආතල් කතා සොයාගත හැකිවනු ඇත.කොටි යනු ත්‍රස්තවාදීන් නොව පූස් පැටවුන් පිරිසක් බව හේමකුමාර ඇමති තුමා 2004 කාලයේ පැවසුවා අපට මතකය.කොටි සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය ගැන රාජිත චරිත සහතික දුන් හැටි,යුද විරෝධී පෙලපාලි ගිය හැටි චින්තකයන්ට අමතක වුනාට අපට අමතක නැත.දැන් ප්‍රශ්නය වෙන්නේ එහෙම කරපු රාජිතලා දේශද්‍රෝහී ‍නොවන්නටත් රවි කරුනානායක පමනක් දේශද්‍රෝහී වන්නටත් හේතුව කුමක්ද යන්නයි.

3.කොටි සංවිධානයට හිතවත් ස්ථාවරයක සිටි මනෝ ගනේෂන් ෆොන්සේකාට සහය දැක්වීම මොවුන්ට විශාල ප්‍රශ්නයකි.
නමුත් එවැනිම ස්ථාවරයක් ඉතාම තදින් දරන ලද තොන්ඩමන් හා චන්ද්‍රසේකරන් රාජපක්ෂට සහය දීම දේශප්‍රේමී කදවුරේ ජයග්‍රහනයකි!
කොටි සංවිධානය සමග දේශපාලනිකව එක ස්ථාවරයක සිටි,කොටි සංවිධානය දෙමල ජනයාගේ එකම නියෝජිතයා යැයි පැවසූ දෙමල ජාතික සන්ධානය සමග ජනාධිපති සාකච්ඡාකිරීම ,ඔවුනගේ චන්ද වලට කෙල හැලීම ජාතික චින්තකයන්ට ගැටලුවක් ලෙස නොපෙනේ.එය දේශද්‍රෝහී වැඩක් වනුයේ විපක්ෂය සිදු කල විට පමනි.මේ අවුල පැහැදිලි කරදෙන්නේ චතුස්කෝටිකයේ කුමන කෝටියෙන්ද?

4.ජනාධිපතිගේ පාර්ශවයේ ඉන්නා දේශප්‍රේමීන් කවර වර්ගයේ දේශප්‍රේමීන්ද?
විදේශ ඇමති ධූරය දරන එක් දේශප්‍රේමියෙක් සිය දියනිය‍ගේ උපන් දිනය වෙනුවෙන් ලක්ෂ 300ක උත්සවයක් නිව්යෝර්ක් හි මහ හෝටලයක පවත්වන ලද්දෙකි.මිලදී ගන්නා සෑම සියලු භාන්ඩයක් මත අධික බදු පටවා සමාජය සූරාකා උපයා ගන්නා බදු මුදල් මොවුන් වැය කරන්නේ ඒ විදිහටය.තවත් දේශප්‍රේමියෙක් මාවිල්ආරු සිද්ධියෙන් අසරන වූ ගොවීන්ට ගෙවන්න තිබූ වන්දි මුදලටත් කෙලවූ දේශප්‍රෙමියෙකි.මේ දේශප්‍රේමීන්ගේ වත්කම් බලා සිටිද්දී ඉහල යයි.වීරවංශ නැමැති දේශප්‍රේමයට අධිගෘහිත දේවතාවා කෝටි ගනනක මාලිගාවක් ඉදිකරයි.ආරක්ෂක ලේකම් ඇපලෝහි අධ්‍යක්ෂක මන්ඩල ප්‍රධානියා බවට පත්වේ.රටේ සමස්ත සාරය තමන් වෙත ඇදගන්නා පවුල් පාලනයක් නිර්මානය වි තිබෙන අතර ජාතික චින්තකයන්ට "දේශප්‍රේමී" වී ඇත්තේ එවැනි දූෂිතයන්,ජනතා ද්‍රෝහීන් හා පාදඩයන් බඩපිනුම් ගසන ගර්හිත තන්ත්‍රයකි.

ඇත්ත කාරනය නම් දේශප්‍රේමය පිලිබද කතාව ඉතාම විකෘති විදිහකට භාවිතා කරමින් ඉන්නවා යන්නයි.දේශප්‍රේමය යනු නිකම් වාචාල ලෙස සුද්දන්ට බැන අඩ ගැසීම නොවේ.දේශප්‍රේමය යනු රටට සමාජයට ආදරය කිරීමයි.ඇත්තටම රටට ආදරය කරන්නෙක්ට අධිරාජ්‍යවාදයට පක්ෂ වන්නට බැරිවා සේම රටේ සාරය උරා බොන දූෂිත කිනිතුතල්ලන්ටද පක්ෂ වන්නට නොහැකිය.සැබෑ දේශප්‍රේමියෙක්ට අධිරාජ්‍යවාදයට එකග වන්නට බැරිවා සේම සමාජයේ මූලික අයිතීන් පවා පාගා දමන ව්‍යවස්ථානුකූල ආඥාදායකත්වයකටද එකග වන්නට නොහැකිය.
ලක්ෂ 300 ක උපන්දින සාද පවත්වමින් සදලුතලාවන්හි සරන දූෂිතයන් දේශප්‍රේමය ගැන දොඩන්නේ බොරුවටය.පාලකයන්ට මෙය මිනිසුන් මුලා කරන ලස්සන වචනයක් පමනි.ජාතික චින්කයන්ට මෙය තේරෙන්නේ නැද්ද?තේරුනත් නොතේරුනා සේ සිටිනවාද යන්න අපි නොදනිමු.සිය "සංගත" ප්‍රවාද ලියන බ්ලොග් වල ප්‍රතිචාරයක් පල කල විට පිලිතුරක් වත් දීගැනීමට මෙම චින්තකයන් ඉදිරිපත් වන්නේ නැත.ඒ දෙන්න පිලිතුරු නැති නිසාද,දේශප්‍රේමීන්ගේ ඉහත වර්ගයේ හැසිරීම් පැහැදිලි කරන "අපේ ප්‍රවාදයක්"තවම හදාගන්න බැරි වු නිසාද යන්න අපි නොදනිමු.
කෙසේ වුවද සමාජය දැනට පාලකයන්ගේ ව්‍යාජ රංගනය හා දෙබිඩි පැවැත්ම අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ.
නමුත් කිසිම බලයක් සදාකාලික නැත.
සමාජය එය තේරුම් ගන්නා දිනයක් එනු ඇත.එදිනට දූෂිත ආඥාදායකයන්ට මෙන්ම ඔවුන්ට මතවාදී පන්දම් අල්ලන්නන්ටද සමාජයට වග උත්තර බැදීමට සිදුවනවා ඇත.

You can fool some people for sometime
But you can't fool all the people all the time
So now you see the light
Come stand up for your right!

-Bob marley

Friday, November 20, 2009

අජිත් තිලකසේන ගැන



හීනමානකාරයන් වචන වලින් විප්ලව කරන විට පෙරලිකාරයන් විප්ලව කරන්නේ නිහඩවය.
ලංකාවේ සිංහල කෙටිකතා කලාවේ ගැඹුරු වෙනසක් සනිටුහන් කල නිහඩ පෙරලිකරුවෙක් විදිහට අජිත් තිලකසේන හදුනාගන්න පුලුවන්.
තිලකසේන ගේ නම සාමාන්‍යයෙන් සම්මත කෙටිකතාකරුවන්ගේ ලැයිස්තු වල දකින්න ලැබෙන්නෙ නැහැ.පාසල් සිසුන් හා සාහිත්‍ය ලෝලීන් අජිත්ගේ නම වැඩිය අසා නැතුවාටත් සැකයක් නැහැ.අමරසේකර,කේ ජයතිලක කෙටිකතාකරුවන් වුනාට සම්මත කතිකාවත තුල අජිත් තිලකසේනව ඒ අර්ථයෙන් හදුනාගැනෙන්නේ නැහැ.

සතුරෝ නමැති කෙටිකතා සංග්‍රහය 1960 දී ප්‍රකාශයට පත්කරමින් කෙටිකතාකරනයට පිවිසි අජිත් තිලකසේන මේ දක්වා කෙටිකතාකරනයෙහි යෙදී සිටිනවා.මෙම දශක කිහිපයක කාලය තුල කෙටිකතා සංග්‍රහයන් කිහිපයක් වගේම සංයුක්ත කවි නමින් හැදින්වෙන කාව්‍ය නිර්මාන ග්‍රන්ථ කිහිපයක්ද ඔහු විසින් රචනා කොට තිබෙනවා.ධර්මසේන පතිරාජගේ විශිෂ්ට සිනමා නිර්මානයක් වන පාර දිගේ හි තිර රචනයත් තිලකසේනගේ නිර්මානයක්.

තිලකසේනගේ කෙටිකතාකරනයේ තියෙන විශේෂත්වය තමයි ඔහු නිර්මානකරනය තුල භාවිතා කරන ආකෘතියෙහි පවතින වෙනස.සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මානයක ආකෘතිය හා අන්තර්ගතය ලෙස කොටස් දෙකක් හදුනාගැනෙනවා.සරලව කිවහොත් කියන "දේ" හා එසේ කියන දේ කියන "විදිහ" යනු දෙකක්.
තිලකසේන විශේෂ වෙන්නෙ අන් බොහෝ අය නොසලකා හල ආකෘතිය - එනම් කියන "විදිහ" අරභයා අතිශය නිර්මානශීලි වෙනස්කම් ගනනාවක ඔහු නියුතු වූ නිසා.තිලකසේනගේ ප්‍රකාශන රීතිය එක්තරා අන්දමක අසම්මතවාදී හා යථාර්ථවාදය ඉක්මවන ලද ස්වභාවයක් ගන්නවා.සාහිත්‍යය තුල සිදුවෙන්නෙ තමන් අවට භෞතිකව තිබෙන යථාර්තය කඩා දමා එය සෞන්දර්යාත්මක ලෙස ප්‍රතිනිර්මානය කිරීමක්.තිලකසේන භෞතික යථාර්තය ප්‍රතිනිර්මානය කරන්න යොදාගන්නෙ කිසිසේත්ම යථාර්තවාදී නොවන මායාව හා අද්භූතය මිශ්‍ර ශෛලියක්.
නාගරිකව ජීවත් වන ලිංගික අසහනයෙන් පෙලෙන තරුනයන්,බෝඩ්ම්කාරයන්,කාර්යාල වල වැඩ කරන ගැහැනුන් සහ මිනිසුන් - මෙවැනි පහල මධ්‍යම පංතික ස්ථරයන් බොහෝවිට තිලකසේනගේ කතා වල චරිත නායකයන් බවට පත්ව තිබෙනවා.විකාරයක් බවට පත්වෙලා හෙම්බත්වෙලා තිබෙන මෙම මනුශ්‍ය ජීවිත වල කතන්දරය තර්කානුකූල වචන වලින් කතාවට නගන්න බැහැ.මේ නිසා විකාරයක් ව තිබෙන කතාන්දර තිලකසේන අතින් කතාවට නැගෙන්නෙ ඊටම සරිලන විකාරාත්මක ශෛලියකින්.මේ අනුව තිලකසේනගේ කතාවල දෙබස් සංවාද අසාමාන්‍යයි.විකාරරූපියි.මෙම මතුපිට විකාරරූපීත්වය යට ගැබ්වෙලා තියෙන්නෙ කතාවල චරිත නායකයන්ගේ අභූතරූපී ප්‍රලාපයක් වුනු ඇත්ත ජීවිතය මිස අනෙකක් නෙමෙයි.

"මිනිස්සු මිනිස්සුංව දකිනඩ කැමති නැහැ"ඈ කිව්වා.
"ගලක් වුනත් ඒක කලු නං ඒක කපුටෙක්"මම කිව්වා.
ඇගේ ඇගිල්ලක් හෙල උනා.ඈ සන් කලේ මට දිග ඇදෙන ලෙස. මම ඇල උනා මූන උඩු අතට.
"මෙහාට හැරෙන්න"ඈ අත් බැදගත්තා.
"එතකොට ඔයා දාංගලේ පටන් ගනීවි"
"ඇත්තද ඔයා හීනයක් අල්ලං පෙට්ටියක් ඇතුලේ දාගෙනයි කියන්නෙ"

(රූපාන්තරනය - සුන්නද්ධූලි කෙටිකතා සංග්‍රහය 50 පිට )

අජිත් තිලකසේනගේ නිර්මාන ඒවාවල ස්වභාවය අනුව යුග තුනකට බෙදන්න පුලුවන්.
ඔහුගේ පලමු නිර්මානය වන සතුරෝ කෙටිකතා සංග්‍රහය යථාර්තවාදී ශෛලිය මත රැදෙමින් රචනා වුන එකක්.
ඉනික්බිති ලියැවුනු පිටුවහල් කර සිටිද්දී (1964) සංග්‍රහයේ සිට සුබ රාත්‍රියක් අහවරයි (1984) සංග්‍රහය දක්වා නිර්මාන දැඩි ලෙස අසම්මතවාදී ආකෘතියක් සහිත නිර්මාන විදිහට හදුනාගන්න පුලුවන්.මේ කාලයේ (70 දශකයේ) සම්මුඛ සාකච්ඡාවක් පුවත් පතකට ලබාදෙන තිලකසේන පවසා තිබුනේ "මට තිබෙන්නෙ කියන ආකාරයක් පමනයි.මම කියන දේවල් වැදගත් නැහැ"යනුවෙනුයි.මෙම සාකච්ඡාවේදී තමන්ගේ නිර්මාන වල "තේරුම" සොයන්නන් උපහාසයට ලක්කරන තිලකසේන ගලන මුහුදු රැල්ලක,ගලා හැලෙන දිය ඇල්ලක සෞන්දර්යයක් තිබුනත් එහි ඇති "තේරුම" කුමක්දැයි විමසා සිටිනවා.කලා නිර්මාන වල සෞන්දර්ය මිස සැගවී තිබෙන තේරුම් සෙවීම අර්ථ ශුන්‍ය බවට ඔහු ඉන් ඉගි කරනවා.

කෙසේ වුනත් 70 දශකයේ සිටින මෙම දැඩි ආකෘතිකවාදයාට වඩා වෙනස් කෙනෙකුයි සාදය (1992) කෙටිකතා සංග්‍රහය සහ ඉන් ඔබ්බට ලියවෙන කෙටිකතා තුලින් අපිට මුන ගැසෙන්නෙ.මේ අනුව සාදයෙන් පසු තිලකසේනගේ නිර්මාන දිවියෙහි තවත් යුගයක් සනිටුහන් වෙනවා යැයි කීම නිවැරදියි.
80 දශකයෙහි අග භීෂනයෙන් ආලෝලනයට ලක්වූ ලාංකීය සමාජය තදින් නිරූපනය කරන්නට සාදය කෙටිකතා සංග්‍රහය සමත් වී තිබෙනවා.එම භීම සමය සමාජය ව්‍යාකූලත්වයට ලක්කරන ලද අන්දම පිලිබද මනා චිත්‍රයක් මේ නිර්මාන හරහා දකින්න පුලුවන්.
මෙම දේශපාලනික තේමාව තිලකසේනගේ 90 දශකය තුල සිදුවූ බොහෝ නිර්මාන වල හොල්මං කරනවා.සුසුම හා පීඩාව (2000) කෙටිකතා සංග්‍රහයේ එන "දවසක වෙනස" කෙටි කතාවේ කියැවෙන්නේ සන්නද්ධ ව්‍යාපාරයක තරුනයෙක් තමන්ගේ දේශපාලන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර ව්‍යාකූලත්වයකට ලක් වන අන්දමයි.දේශපාලන ව්‍යාපාරයේ රාජකාරියක් ඔහුට බාර වී තිබෙනවා.ඔහු දේශපාලන සටන්කාමියෙක් බව ඔහුගේ හිතවතුන් දන්නේ නැහැ.හිතවත් පවුලක තරුනියන් තිදෙනෙක් වෙසක් බලන්න ගෙනයාමේ කාර්යය මේ අතර ඔහුට භාර වෙනවා.වෙසක් තදබදය අතර අකරතැබ්බකට ඔහු මුහුන දෙන අතර වෙසක් බලන්න පැමින සිටින මදාවිකාරයන් සමග ගැටුමකට ඔහු මැදි වෙනවා.මේ සියල්ල අවසානයේ ඔහුට භාර වී තිබුනු දේශපාලන රාජකාරිය ( යතුරක් නිශ්චිත වෙලාවකට භාර දීම) ඔහුට මගහැරෙනවා.

ඔහු ආපසු හැරී ඇගලුම් කම්හලක් අසලින් මහ පාරට ගොඩවෙනකොටම එතන ඔරලෝසු කනුවේ 11 වදිනවා ඇහුනා. සුගත් කලබල වෙච්ච ගමන් අත ගෙනිච්චේ උඩ සාක්කුවට.යතුරට.එහෙත් කමිසය ඇගේ නැති බවත් මෙච්චර වෙලාඋඩුකයේ තිබුනේ බැනියම විතරක් බවත් ඔහු වටහාගත්තේත් එතකොට.පිහියෙන් ඇන්නා වගේ පහරක් ඔහුගේ යටිබඩ පසාරු කලා.ඔහුගේ ඉක්කාවත් නැවතුනා.තෙරපුනු බරකින් දෙකකුල් ඇන හිටියාත් එක්ක ඔහු එහෙම්ම බිම ඉදගත්තා.
"බාරගත් වගකීම ඉටු නොකල ද්‍රෝහියෙක්"යන හංවඩුව පිටේ කෙටෙන පාරවල් ඔහුට දැනෙන්න දැනෙන්නා වගේ වුනා.


( දවසක වෙනස සුසුම හා පීඩාව - 115 පිට)

ඔහු බොත්තම් දදා කන්ඩිය නැගගන එනකොට ආරක්ෂක නිලධාරියෙක් උඩ හිටියා.තමා දෙස තියුනුවට බලා හිටපු බව පෙනුනා. සුගත් පාරට ගොඩවෙද්දි ආරක්ෂක නිලධාරියා පිගානක් තරම් පලල් වූ අත්ල දිග ඇරියා.සුගත් දිහාට පෑවා. සුගත් පස්ස සාක්කුවෙන් හැදුනුම්පත එලියට ඇද ආරක්ෂක නිලධාරියා අත තැබුවා.ඒක ඔහු ඒ මේ අත පෙරලා කිසිවක් නොකියා ආපහු දුන්නේ තමා රේල් පාලමට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරවිය හැකි බෝම්බ හයි කරන්න නොගිය බව ඔහු වටහා ගත් නිසා විය යුතුයි

(ඉහත කෘතිය - 118 පිට)

ආරක්ෂක හමුදාවල දඩයම් ඇසට හසුව සිටිනවාට අමතරව තමා වගකීම ඉටු නොකල නිසා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේත් සැකයට හසුවීමේ ඉරනමට මෙම තරුනයා මුහුන දෙනවා.සාමාන්‍ය පසුබිමක නම් හේතු පැහැදිලි කරන්න අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබුනත් සිවිල් යුද වාතාවරනයක් මැද එහෙම ඉඩක් නැහැ.දේශපාලනික වශයෙන් ඇලලුන සමාජයක පුද්ගලයාගේ ඉරනම අතිශය ප්‍රබල විදිහකට මෙම කෙටිකතාව තුල පිලිබිඹු වී තිබෙනවා.

සමස්තයක් විදිහට ආකෘතියේ පවතින අසම්මත ගතිය පවත්වාගෙන යන ගමන් කෘතියේ අන්තර්ගතය වෙත වැඩි නැඹුරු වීමක් අජිත්ගේ මෙම තෙවන යුගයේ නිර්මාන තුලින් අපිට දකින්න පුලුවන්.
"මට තියෙන්නේ කියන ආකාරයක් විතරයි.කියන දේ වැදගත් නැහැ" යැයි දශක කිහිපයකට පෙර ඔහු කල ආකෘතිකවාදී ප්‍රකාශය මේ අනුව ඔහුගේ නිර්මාන වලින්ම පසුකාලයක බිදී යන ස්වරූපයක් පෙනෙන්නට තිබෙනවා.අද්භූතවාදී ආකෘතීන් සමග යථාර්ථවාදී සිදුවීම් දැක්මක් සහිතව මිශ්‍ර වීම නිසා තිලකසේනගේ වඩාත්ම පරිනත යුගය විදිහට තේරුම් ගන්න පුලුවන් වන්නේත් සාදයෙන් ඉක්බිති ඇරඹෙන ඔහුගේ නිර්මාන සම්මුචයයි.

ඒ වගේම ඔහු විසින් රචිත පාර දිගේ තිර පිටපත සිංහල සිනමා ඉතිහාසයේ කැපී පෙනෙන තිර රචනයක්.පාර දිගේ අතිශය දේශපාලනික තේමාවක් සහිත චිත්‍රපටයක්.සාමාන්‍යයෙන් 70 හා 80 දශකයන්ගේ මුල වාමවාදී දේශපාලනයට බර සිනමා පට බිහිවීමේ යම් ප්‍රවනතාවයක් තිබුනා.කොහොම වුනත් ආකෘතික වශයෙන් සම්ප්‍රදායික තැනක හිරවෙලා තිබුනු දේශපාලන සිනමාව තිගැස්මකට ලක්කල තිරපිටපතක් විදිහට පාර දිගේහි තිර රචනය හදුනාගන්න පුලුවන්.

සිදුවෙන දේ සිදුවෙන විදිහටම කියන සාම්ප්‍රදායික යථාර්තවාදී ශෛලිය තුල එක තැන පල්වෙමින් තිබුනු සිංහල කෙටිකතාවට නූතන්වයක කවුලුව විවර කල පුරෝගාමියා වුනේ අජිත් තිලකසේන.ඒ පරම්පරාව තුල ඒ හා සම වන නිර්මානකරුවෙක් සිටී නම් ඒ සයිමන් නවගත්තේගම පමනයි.කොහොම වුනත් තිලකසේනගේ අඩි සටහනින් එදා ආරම්භ වූ මාවත දිගේ අද තරුන නිර්මානකරුවන් වඩ වඩා පිය නගන්නට පටන්ගෙන තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.නිශ්ශංක විජේමාන්න වැනි කෙටිකතාකරුවෙක්ගේ නිර්මාන දිහා බැලුවාම මේ ස්වභාවය දැකගන්න පුලුවන්.
කොහොම වුනත් අජිත් තිලකසේන තවම නිහඩ චරිතයක්.
දේශපාලන වේදිකා වල පාලකයන්ට වන්දිභට්ටකම් කරමින් උපහාර ලබන මහා සාහිත්‍යවේදීන්ගේ පුරාජේරුවට වඩා මෙම මිනිසාගේ නිහැඩියාව අතිශය ගෞරවනීය එකක් බව අවසාන වශයෙන් කිව යුතුයි.


Friday, October 23, 2009

ජෙනරාල් ෆොන්සේකා - පුද්ගලිකව නොව දේශපාලනිකව කියවමු


‍ජෙනරාල් සරත් ෆොන්සේකා පිලිබද පුවත මේ වනවිට ලංකාවේ ඉතාම ආන්දෝලනාත්මක පුවත බවට පත්වෙලා තිබෙනවා.යුද්ධයේ වීරයන්,හමුදා කුමන්ත්‍රන සූදානම් වැනි බොහෝ පැති කරා මේ සාකච්ඡාව ගමන් කොට තිබෙනු මේ වන විට දැක ගත හැකියි.
කොහොම වුනත් ෆොන්සේකා පිලිබද පුවත රාජපක්ෂ පාලනය ගැන මීට පෙර පොදුවේ විවේචනාත්මකව මතු වූ අදහස් ප්‍රමානයක් නැවත තහවුරු කරන්න ඉවහල් වෙලා තියෙනවා.වර්තමාන පාලනය කියන්නෙ පුලුල් දැක්මක් සහිතව සමාජය ඉදිරියට ගෙනියන්න හදන එකක් නෙමෙයි පවුලේ ආධිපත්‍යය ඥාති සංග්‍රහයෙන් ජරපත් වුන අන්තිම ප්‍රතිගාමී තන්ත්‍රයකි යන අදහස නැවත මේ සිදුවීමෙන් තහවුරු වෙනවා.තම පවුලේ ආධිපත්‍යයට එරෙහිවන අයට පමනක් නොවෙයි තමන්ට වඩා ජනප්‍රිය වේ යැයි උපකල්පනය කරන අයගෙන් පවා පලිගන්න තැනකට පාලකයන් ගමන් කරමින් ඉන්නා බව පෙනෙන්නට තිබෙනවා.

හිටපු හමුදාපති ජනාධිපතිවරනයට එනවා කියන ප්‍රවෘත්තිය ඕපාදූපයක් ලෙස රට පුරා සැරිසරන්න ගන්නෙ මේ අතර වාරයේ.තාම මේ ගැන නිල ප්‍රකාශයක් නැහැ.හමුදාපති මේ ගැන අදහසක් ප්‍රකාශ කරලත් නැහැ.නමුත් හමුදා කුමන්ත්‍රන,යුද්ධයේ ඇත්ත අයිතිකාරයන් දේශපාලකයන්ය කියන ඇමති වරුන්ගේ වාචාල කතා වලින් අපිට පැහැදිලි වෙන්නේ ෆොන්සේකා දේශපාලනයට ඒම නොවිය හැක්කක්ම නොවන බවයි.
මේ කටකතාව ආන්ඩුව කෙතරම් ත්‍රස්ත කොට තිබෙනවාද යත් මේ ගැන කතා කරන මාධ්‍ය වලට එරෙහිව "නීතිමය පියවර ගන්නා බව" හමුදා ප්‍රකාශක පසුගියදා පවසා තිබුනා.එක්තරා සති අන්ත පුවත්පතක කතුවරයෙක් මේ අනුව ෆොන්සේකා ගැන කතාකිරීමේ වරදට අපරාධ විමර්ශන අංශයට කුදලාගෙන යනු ලැබුවා.
කෙසේ වෙතත් දකුනු පලාතේදී රජය ඉල්ලූ 80% ජනතාව විසින් බැහැර කිරීම නිසා හොල්මන් වී සිටින රාජපක්ෂ ආන්ඩුවේ තැරැව්කාරයන්ට ‍ෆොන්සේකාගේ දේශපාලන ආගමනය මිට මොලවා මුහුනට ගැසූ පහරක් වැනියි.ජයග්‍රහනයෙන් උදම් වී විපක්ෂයට කොචොක් කරමින් ආතල් ගත් දේශපාලකයන් මෙතරම් ඉක්මනින් තමන්ගේ උද්දාමයට මෙහෙම කෙලවෙතැයි අපේක්ෂා නොකල බවට සැකක් නැහැ.
හදිසි ජනාධිපතිවරනයක් නියමිත කාලයට පෙර රජය කැදවන්නට සිතාගෙන සිටියේ යුද්ධය නිසා තමන් ලද ජනප්‍රියත්වයෙන් ජනාධිපතිවරනය ගොඩ දා ගත හැකියි යන විශ්වාසයෙන්.චන්දයේදී විකිනීමට හැකි එකම "භාන්ඩය"වන්නේත් යුද ජය පමනයි.යුද්ධයේදී හමුදාවට ක්‍රියාන්විත නායකත්වය දුන් පුද්ගලයා ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වුවහොත් රාජපක්ෂ රජයේ තරග සැලැස්ම එහෙම් පිටින්ම අවුල් වෙන බවට අමුතුවෙන් කිව යුතු නැහැ.
‍ෆොන්සේකා දේශපාලනයට ඒම ගැන භීතියෙන් හතර අතේ ආන්ඩුවේ ඉදුල් කන්නන් කෑ මොර දෙන්නේ යුද්ධය පෙන්වා සීත කාමර වලට වී කතා සාප්පු දැමීමේ සනීප දේශපාලනය ඔහු ආවොත් තවදුරටත් වලංගු නැති බව මේ දූෂිත දේශපාලන ස්තරය දන්නා නිසා.

කොහොම වුනත් රජයේ අදෝනා වලට අමතරව ෆොන්සේකාගේ (සිදු වෙනවා යැයි උපකල්පනය කෙරෙන) දේශපාලන ආගමනය ගැන රජයේ නොවන විරුද්ධ පාර්ශවවලිනුත් යම් විවේචනාත්මක අදහස් ප්‍රමානයක් මතුව තිබෙනු දැකගත හැකියි.
වාමවාදී ස්ථාවරයක සිට රාවයට ලියන අජිත් පැරකුම් ජයසිංහ මේ පිලිබදව පසුගිය සති දෙකේදීම ප්‍රශ්න කොට තිබුනා.රාජපක්ෂ රජයේ අන්තනෝමතිකත්වයට එරෙහි තැනක සිට ලියන බ්ලොග් අඩවි කිහිපයකත් මෙවැනිම ලිපි කිහිපයක් පසුගිය සතියේ පල වී තිබුනා.
ආන්ඩුව ෆොන්සේකාට එරෙහිව ගේන හමුදා කුමන්ත්‍රන ගැන තක්කඩි කතා වලට වැඩිය සලකා බැලිය යුතු නිරීක්ෂන කිහිපයක් මෙම ලිපි වල ගැබ්ව තිබු බව කිව යුතුයි.
1.ෆොන්සේකා මහතාගේ දේශපාලන ස්ථාවරය මෙම විවේචන තුල ප්‍රශ්න කෙරුනු ප්‍රධාන කාරනයයි.
කැනේඩියානු පුවත්පතකට වසර දෙකකට පමන පෙර ඔහු කල ප්‍රකාශයක් නැවත නැවත උපු‍ටා දක්වමින් ෆොන්සේකා දැඩි සිංහලවාදියෙක් බවත් ඔහුගේ පාලනයක් රාජපක්ෂගේ පාලනයටත් වඩා ආධිපත්‍යවාදී හා මර්ධනකාරී විය හැකි බවට එක් අතෙකින් ප්‍රකාශ වී තිබුනා.
2.ඉහත තර්කය මතම රැදෙමින් සුලු ජාතීන්ගේ කැමැත්ත ෆොන්සේකාට නොලැබෙන බවත් මේ නිසා ඔහුව බලයට පත් කිරීම "ඉගුරු දී මිරිස් ගැනීමක්" විය හැකි බවටත් අනාවැකි මතුකෙරෙනු දැකිය හැකියි.

මේ හැම අදහසක්ම පලවෙන්නේ හිටපු හමුදාපති චන්දයට එන බවක් ස්ථිර වෙලා නැති සන්දර්භයක.මේ නිසා මේ ගැන විස්තරාත්මකව කතා කිරීම තේරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන්.
ඒ වුනත් කවර සීමාසහිතකම් මැද වුනත් ඔහු ජනාධිපතිවරනයට ඒම සාධනීය දෙයක් යැයි මේ ලියුම්කරු කල්පනා කරනවා.

ෆොන්සේකාට එරෙහි ආන්ඩු විරෝධීන්ගේ තර්කයෙහි ඇති හිස්තැන නම් ඔවුන් ‍සරත් ෆොන්සේකා කියන පුද්ගල සාධකය සන්දර්භයෙන් පිට අරගෙන වියුක්තව විග්‍රහ කිරීම.ඒ වෙනුවට ඇත්තටම විය යුත්තේ මේ මොහොතේ පවතින දේශපාලන වාතාවරනයට සාපේක්ෂව සංයුක්ත සිතීමකට යාම.ඉතාම සුදු පරමාදර්ශී විකල්ප මනෝරාජික සිහින වලට වලංගු වුනාට මහපොලොවේ දේශපාලනය ඉල්ලා සිටින්නේ ප්‍රායෝගිකත්වය මිස අනෙකක් නොවෙයි.
මේ නිශ්චිත මොහොතේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?
පාලන බලය තිබෙන පුද්ගලයා තනි පුද්ගල ආඥාදායකත්වයක් කරා යමින් තිබෙන අතර සිම්බාබ්වේ මට්ටමේ ඉතාම පසුගාමී තැනකට රට පල්ලම් බස්සමින් සිටිනවා.
මේ ගමන ආපසු හැරවිය යුතුයි.එසේ හරවන්න නම් හුදෙක් රාජපක්ෂ බලයෙන් පහ කිරීම ප්‍රමානවත් නැහැ.ඔහුව බලයෙන් පහ කරන ගමන් ඒකාධිපතියන් බිහිවීමට දේශපාලන සමාජයේ තිබෙන අවකාශය අවහිර කරන්න ඕනෙ.
JR ගේ ප්‍රේමදාසගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා චන්දයෙන් තේරුනු පාලකයන් ජනතාවට කොකා පෙන්වන අනභිබවනීය ඒකාධිපතියන් බවට පත්වුනේ කොහොමද?
ඒක එහෙම වුනේ දේශපාලන සමාජය තුල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල තිබෙන දුබලතාවය නිසා.මේ දුබලතාවයට බලපාන ඉතාම මූලික හේතුව තමයි පාලකයාව නීතියටත් ඉහලින් තබන විධායක ජනාධිපතිධූරය.
රාජපක්ෂ ඇතුලු මෙ‍තෙක් කල් සිටි උතුමානන් වහන්සේලාට ආඥාදායකයන් ලෙස පිම්බීමට හා පිස්සු කෙලීමට ඉඩ ලැබුනේ අඩුම තරමින් අධිකරනය ඉදිරියේවත් ප්‍රශ්න කල නොහැකි අසීමිත විධායක බලය නිසා.
මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය ක්‍රමයක් ලෙස ‍අහෝසි කිරීම සමාජය ප්‍රජාතාන්ත්‍රීකරනය පැත්තෙන් බලන විට අතිශය තීරනාත්මක ඉදිරි පිම්මක්.
මේ කාරනයත් එක්කම 17 වෙනි සංශෝධනය පිලිබද කතිකාව ඉදිරියට එනවා.රාජ්‍ය සේවය,පොලිස් සේවය,මැතිවරන ක්‍රියාවලිය වැනි අංග අද වන විට ශිෂ්ට සමාජයකට කිසිසේත් නොගැලපෙන විදිහට ලංකාව තුල කුනු වෙලා ගොස් තිබෙනවා.මේවා බලයේ සිටින දේශපාලකයන්ගේ හොර ගුහාවල් මිස සමාජයේ සේවය උදෙසා කැපවුනු ආයතන නෙමෙයි.
17 වෙනි සංශෝධනය බලාත්මක කිරීම සරල දෙයක් නොවෙන්නේ මේ නිසා.පරමාදර්ශි වෙනසක් සිදු වුවත් නැතත් රාජ්‍ය සේවය,පොලිසිය වැනි සමාජයේ සංවේදී "නිල"ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශයකින් ස්පර්ශ කරන එක සමාජයක් විදිහට අපිව ඉදිරියට ගෙනියනවාද ?නැද්ද?
මහපොලොවේ තිබෙන ප්‍රශ්න මේවායි.ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමාජ සාධාරනත්වයේ පැත්තෙන් බලන කොට ඉහත පියවරයන්ගේ තිබෙන වැදගත්කම නොසලකා හල නොහැකියි.

රාජපක්ෂ සිහසුනෙන් බසවා සිදු කෙරෙන්නේ නිකම්ම නිකම් ෆොන්සේකාව රාජාභිෂේක කිරීමක් නම් එහි ඇති දේශපාලන වැදගත්කමක් නැහැ තමයි.එතකොට ඔහුගේ තිබෙනවා යැයි කියන සිංහලවාදී මර්ධනකාරී චර්යාවන් අධිපතිත්වයට පත්වෙන බව ඇත්තක් විය හැකියි.
නමුත් ෆොන්සේකා ජනාධිපති චන්දෙට එන්නේ හුදෙක් තනි පුද්ගල සාධකයක් විදිහට නෙමෙයි නම් තත්වය වෙනස් මුහුනවරක් ගන්නවා.දේශපාලනයේදී කේවල සාධක වැදගත් වුනත් අන්තිමේදී ඊට වඩා බලපෑම් සහගත වෙන්නේ කේවල සාධක ස්ථානගත වෙන බලවේගයන්ගේ ව්‍යුහය.
ෆොන්සේකාගේ ප්‍රතිරූපයට ලැබෙන චන්ද අන්තනෝමතික විධායක ජනාධිපති ධූරය අහෝසි කරන තැනකට හරවා ගත නොහැකිද?
ෆොන්සේකාගේ ප්‍රතිරූපයට එන චන්ද 17 වෙනි සංශෝධනය බලාත්මක කරන තැනකට ගෙනි යන්නේ කොහොමද?
කොටින්ම කියනවා නම් සමාජය ප්‍රජාතාන්ත්‍රිකව ශක්තිමත් කිරීමේ අවම වැඩපිලිවෙලක් (minimum programme) බලාත්මක කිරීම සදහා මේ අවස්ථාව යොදා ගත හැකිද?නොහැකිද?
සලකා බැලිය යුතු කේන්ද්‍රීය ප්‍රශ්න වන්නේ මේවායි.
ආරංචි වී තිබෙන හැටියට විපක්ෂය ඕනෑම පොදු අපෙක්ෂකයෙක්ට සහය දෙනවා නම් දෙනු ලබන්නේ විධායක ජනාදිපති ධූරය දින 180 ක් තුල අහෝසි කරනවා කියන නිශ්චිත ප්‍රධාන කොන්දේසියට යටත්ව යැයි පැවසෙනවා.මේ අනුව පැවැත්වෙන ජනාධිපති චන්දයක් විධායක ක්‍රමයට පක්ෂ හා විපක්ෂ බලවේග අතර ජනමත විචාරනයක් බවට පත්වීම වලක්වන්න බැහැ.එවැනි පසුබිමක් තුල රාජපක්ෂ හෝ චන්ද්‍රිකා කලා වගේ සිය පොරොන්දුවෙන් කට්ටි පැනීමට බලයට පත්වෙන කෙනාට ලෙහෙසියෙන් අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ

කොහොම වුනත් ෆොන්සේකාව මෙවැනි අවම වැඩපිලිවලකට එකග කරවා ගත හැකි නම් එම වැඩපිලිවෙල වෙනුවෙන් ෆොන්සේකාට සහය දීම සාධනීය දෙයක් බව පැහැදිලියි.
සරත් ෆෙන්සේකාගෙන් ඉර හද බලාපොරොත්තු විය නොහැකියි.ඔහුගෙන් සුලු ජාතින්ගේ ගැටලුව සහමුලින් විසදීම අපේක්ෂා කිරීමත් ප්‍රායෝගික නැහැ.(අපි කල්පනා කරන විදිහට සුලු ජාතින්ගේ ගැටලුවට ධනේශ්වර ක්‍රමය තුල කොහොමත් විසදුමකුත් නැහැ)
නමුත් සුලු ජාතින්ගේ අයිතීනුත් තහවුරු කරන,මෙතනින් ඉදිරියට යාමට අවශ්‍ය කවුලුව විවර කර දෙන "ප්‍රවේශ මාර්ගයක් "හදාගන්න ජනරාල් ෆොන්සේකාව යොදාගන්න පුලුවන් නම් අදුරට ශාප කිරීමට වඩා ඒ දැල්වෙන එක ඉටි පහන ඉතාම වටින බව කිව යුතුයි.

සරත් ෆොන්සේකා චන්දයට ඒම අපි පසෙක තබමු.ඔහු චන්දයට නොආවොත් ලබන ජනවාරියේ පැවැත්වෙනවා යැයි කියන ජනාධිපතිවරනයේදී වනු ඇත්තේ කුමක්ද?
යථාර්ථය නම් රාජපක්ෂට අභියෝග කල හැකි චරිතයක් මේ මොහොතේ සොයාගත නොහැක යන්නයි.නිසැක වශයෙන්ම එම චන්දය රාජපක්ෂගේ රේස් එක වනු ඇති අතර එජාපයේ 17 වසරක ගසාකෑම් වලට වඩා ගසාකෑම් වලින් පිරුනු මේ පාලන තන්ත්‍රය තවත් වසර 06කට හෝ 08කට දීර්ඝ වීම කවර තත්වයක් කරා සමාජය ගෙනයනු ඇත්ද?
රාජපක්ෂට අභියෝග කල හැකි යෝග්‍යම චරිතය ජෙනරාල් ෆොන්සේකාය යන්න ඇත්ත කාරනයයි.ඔහු චන්දෙට එනවා කියන හුදු ඕපාදූප‍ය නිසා ආන්ඩුවට සුලු දිය පහවෙන්නට පටන්ගෙන තිබෙන්නේ ඒ නිසාය.
‍ෆොන්සේකාගේ පුද්ගලික කීර්තිය දේශපාලන සැලැස්මක් තුලට අන්තර්ග්‍රහනය කරගත හැකි නම් ඊලග චන්දය ජනාධිපතිගේ පම්පෝරි සහිත තනි රේස් එකක් වෙනුවට ඒකාධිපතිත්වය හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරන අතර ගැටුමක් බවට පත්කරගත හැක.
පුද්ගලයන්ගේ පුද්ගලික මතවාද වල සීමාවන් අතිශයෝක්තියට නංවා සතිපතා ප්‍රචාරය කරමින් මුකුත් නොකර ඉන්නවාට වඩා පුද්ගලයා කලමනාකරනය කරමින් "යමක් කිරීමට" උත්සාහ කිරීම හැම අතින්ම වැදගත්ය.
‍කිසිම දුර්වලතාවයක් නැති සුපිරි පොදු අපේක්ෂකයෙක් ගැන සිහින මවමින් වචන වලින් දේශපාලනය කරනවාට වඩා ඇවැසිව තිබෙන්නේ කුඹුරට බැස මඩ ගා ගැනීමේ අභියෝගයට නොබියව මුහුන දෙමින් කුඹුර සෑමේ භාවිතයකි.
දේශපාලනයට අවශ්‍ය කරන්නේ "වැඩ" මිස නොකෙරෙන වෙදකම් වලට කෝදුරු තෙල් ඉල්ලන "වචන"නොවේ.


Thursday, October 8, 2009

නවකවදය



නවක වද කාල සීමාවන් බො‍හෝ විශ්ව විද්‍යාල වල දැන් අවසන් අදියර‍ට පිවිසෙමින් තිබේ.ඇත්ත වශයෙන්ම නවකවදය අතිශය සංකීර්න වූද එසේම කුහුල දනවන සුලු වූද ක්‍රියාවලියකි."වදයක්"යනු කොහොමත් නොහොද දෙයකි.මේ ක්‍රියාවලිය තුල අශෝභන එමෙන්ම ජුගුප්සාජනක පැතිද බොහෝය.නමුත් උත්ප්‍රාසාත්මක ලෙස මේ අශෝභනත්වයම සමහර විට වදයට ලක්වන්නාවද ආකර්ෂනය කරන ආකර්ෂන ලක්ෂ්‍යයක් ලෙස ක්‍රියා කරයි.

විශ්ව විද්‍යාලයට එන නවකයන් එහි පරිසරයට හැඩගැස්වීම උදෙසා නවකවදය ක්‍රියාත්මක වේ යැයි පවසනු ලැබේ.මෙහි ඇත්තක් නැත්තේම නැත.පිට සමාජයේ දහසක් වෙනස්කම් සහිත ස්ථර වල ජිවත්වන අය අලුත විශ්ව විද්‍යාලය තුලට එන්නේ ඒ වෙනස්කම් සමගිනි.
සමාජ ස්ථරයන්ගේ වෙනස්කම් එක් පසෙකය.ගැහැනු පිරිමි අතර අස්වාභාවික දුරස්ථභාවය තව පසෙකය.ගමේ නගරයේ භේදය තව පසෙකය.
මේ සමාජ කොටස් ස්වයංක්‍රීයව මුහු වීම ඇත්තටම සිදු නොවන නිසා blend වීම සදහා යම් ක්‍රියාවලියක් අවශ්‍ය වේ.
නැතිනම් සරසවියක් හා ටියුෂන් පංතියක් අතර වෙනසක් නැතිවනු ඇත.කොලඹ අය වෙනම,ගමේ අය වෙනම,කෙල්ලො වෙනම,කොල්ලො වෙනම - බාහිර බලපෑමක් නැති තැන ස්වයංක්‍රීයව ඇති වනු ඇත්තේ එම තත්වයයි.
batch fit එක සහ නවකවදය අතර සමීකරනයේ ඇත්තක් නැත්තේ නැති බව පැවසූයේ ඒ නිසාය.යම් මුහු කිරීමක් නොවුනහොත් හැමෝම එකතු කරගෙන පිරිත් පිංකමක් තියාගැනීමට තරම් වත් එකමුතුවක් බැච් එකක් තුල නිර්මානය නොවනු ඇත.

නමුත් මේ සමීකරනය අවුල් වෙන්නේ ඉහත පරමාර්ථය වෙනුවට වෙන වෙන ඉලක්කම් හා අරමුනු මිශ්‍ර වීම නිසාය.
පලමුව නවකවදය හීනමානයෙන් පෙලෙන්නන්ට මාර අවස්ථාවකි.නවකයන් කිසිම ප්‍රතිරෝධයක් දැක්විය නොහැකි නිරායුධ අසරන මිනිස් කොටසක් බවට පිරිහෙලන නිසා ඉහල වසරේ උදවියට නවකයන් හොද "බයිට්" එකකි.
සාමාන්‍යයෙන් සමාජයේ මිනිසෙකුට එරෙහිව මිනිසෙක් බලය යොදවන විට පෙරලා ඊට විරෝධය පලකිරීමේ හැකියාවක් තිබේ.මෙය ශිෂ්ට සමාජයක අවම ලක්ෂනයක්ය.
නවකවදය තුල ඒ අවම අයිතිය පවා නවකයන්ට අහිමිය.ඒ තුල ඔවුන් මිනිසුන් නොව ජ්‍යෙෂ්ඨයන්ගේ අතෙහි නැටවෙන කෙලි බඩු උපකරන තත්වයට පිරිහෙලනු ලැබේ.
පේරාදෙනියේ නේවාසිකාගාර තුල නවකයන් නිරුවත් කරන අතර අනෙකාට අතේ ගැස්සවීමට නවකයන්ට බල කෙරේ.සාමාන්‍ය වාතාවරනයක් තුල මෙය ලිංගික බලහත්කාරකමකි.
මෙවැනි බලහත්කාරකමක් සහ බැච් ෆිට් එක අතර සම්බන්ධය කුමක්ද?
එවැනි තාර්කික සම්බන්ධයක් නිර්මානය කල හැක්කේ කාටද?
අනෙකාට ‍අතේ ගැස්සවීම ප්‍රතික්ෂේප කරන්නා ( විරෝධය පෑමේ අවම අයිතිය යොදා ගන්නා කෙනා) තොල් පුපුරා යන්න පහර කෑමට සූදානම්ව සිටිය යුතුය.
මේවා ජ්‍යෙෂ්ඨයන්ගේ සැගවුනු තිරිසන්මය ගති එලියට ඒමට දෙන ලයිසන් මිස වෙන කුමක්වත් නොවේ.නවකවදයේ "ප්‍රකාශිත" පරමාර්ථ සහ මේ පිලිකුල් සහගත අපචාරයන් අතර සබදතාවයක් නොමැත.
මෙවැනි කායික හිංසනයන් කුමන තත්වයක් යටතේවත් සාධාරනීකරනය කල නොහැක.ප්‍රශ්නය වන්නේ මෙවැනි කතන්දර සමාජය ඉදිරියට නොඒමයි.වදයට ලක්වන්නන් මේවා ගැන කතා නොකරන අතර සරසවි වල අදුරු සෙවනැලි යටතේ මේ නිසා වසර ගනන් මෙම අශෝභන සිදුවීම් දිගින් දිගටම ඇදෙමින් පවතී.
අතීතයේ විශ්ව විද්‍යාල වල පැවැති පොහොසත් සංස්කෘතික දේශපාලන පරිසරයෙන් වර්තමානයට උරුම වී තිබෙන්නේ නවකවදය පමනි.එයද තිබුනු නවකවදය මෙන් සිය ගුනයක අවමානුෂික හා ජඩ එකක් බවට දිනෙන් දින රූපාන්තරනය වෙමින් පවතී.

විශ්ව විද්‍යාල එකාට එකා නැති අලයන් සිටින අල නිෂ්පාදනාගාර බවට පත්වීම නොහොද වෙනවා වගේම සීලාචාර සමාජයට අනුමත කල නොහැකි පාදඩකම් නවකවදයේ නාමයෙන් සිදු වෙන තත්වයන්ද එක සේම නරකය.
නවකවද ක්‍රියාකාරකම් පාලනය කිරීම මේ නිසා අද වන විට අවශ්‍ය නොව අත්‍යවශ්‍ය කාරනයකි.
නවකවද කතා එලියට ඒම සාධනීය වන්නේ මේ නිසාය.මේ තොරතුරු එලියට එන තරමට සමාජය මේවා ගැන සංවේදී වෙන්න,ප්‍රතික්‍රියා දක්වන්න යොමුවේ.සමාජයේ මේ අවධානය නවකවදය පාලනය කිරීම සදහා වැදගත් වනු ඇත.
සමාජයේ බොහෝ අය නවකවදයේ "ඇත්ත" දන්නේ නැත.රැග් එකට පක්ෂ අදහස් පිට සමාජයෙන් පල වෙන්නේ මේ තොරතුරු හිගකම නිසාය.
මේ නිසා අවසාන වශයෙන් සිදු වන්නේ රැග් එකට යම් සාධාරන පසුබිමක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ගනිකා වෘත්තියේ යොදවා ගෙන හීනමානකාරයන් පිස්සු කෙලීමය.

අනෙත් අතට රැග් එක හරහා යම් දේශපාලන අරමුනක් අපේක්ෂා කරන දේශපාලන කොටස් වලටද යා යුතු පනිවිඩයක් තිබේ.
"අපිත් මේක පාලනය කරගන්න බලනවා.ඒත් මේක පාලනයෙන් පිට පැනලා"වැනි ඇග ෂේප් වෙන උත්තර නොදී මේ ක්‍රියාවලිය හා තමන්ගේ අරමුනු ගැඹුරින් සංසන්දනය කල යුතුව පවතී.
දේශපාලන විඥානයක් නිර්මානය කිරීම හා පෞරුෂ දුබලතාවලින් පෙලෙන රෝගීන්ට ආතල් ගැනීමට අවස්ථා සැපයීම එකක් නොව දෙකකි.
මේ දෙක මුසු වීම පලමු අරමුනද භයානක ලෙස බොද කර දමනු ලබයි.
සියයට සියයක් "අල" වීම එක අන්තයක් වන අතර සියයට සියයක් "වැල"වීම අනෙත් අන්තයයි.
මේ අන්ත දෙක අතර සමබර ලක්ෂ්‍යයක් සොයා ගන්නා තැනට නවක වද සාකච්ඡාව යොමු විය යුතු බව අපගේ යෝජනාවයි.
මේ යන විදිහට පෞරුෂ රෝගීන් ආතල් ගැනීම,කිසිම වරදක් නොකල අහිංසකයන් මානසික රෝගීන් වීම වැනි සහ ගහන අපරාධ සිදු වෙන එක හැර වෙන යමක් වන්නේ නැත.

පසුවදන-
කවුරුත් කතා කරන්නේ විශ්ව විද්‍යාල වල නවකවදය ගැන පමනි.සරසවි වල පමනක් නොව වෙනත් ආයතන තුලද නවකවද ක්‍රියාකාරකම් අඩු වැඩි වශයෙන් පවතී.
රනවිරුවන් සිටින හමුදාව තුලද මේවා සිදුවේ.හමුදා පුහුනුවට ගිය අපගේ මිතුරෙක් නවකවදයට ගොදුරු වූ අතර අවසානයේ ඔහු දරුනු මානසික කම්පනයකට ලක්ව ඔහුගේ "සිහිය" ඔහුට අහිමි විය.
දැන් ඔහුට බොහෝ දේ මතක නැත.තමන්ගේ මිතුරන්,තමන් කල කී දේ - මේ බොහෝ දේ කම්පනය නිසා ඔහුගේ සිහියෙන් බැහැර වී තිබේ.
මේවා ගැන කතා කිරීමට බොහෝ විට බොහෝ අය බයය.
ඒත් මේවා වැඩි වැඩියෙන් කතා බහට ලක්විය යුතු තේමාවන්ය.



Sunday, September 20, 2009

පැනනැගීමට නියමිත කුනාටුව සදහා පෙරවදනක්


රුපියල් 500 ක අවම වැටුපක් වෙනුවෙන් වතු ජනතාව අතරින් පැන නැගුනු අරගලය මේ වනවිට තාවකාලිකව යටපත් කරගන්න හාම්පුතුන්ගේ සංගමය සහ රජය සමත් වී තිබෙනවා.කෙසේ නමුත් හාම්පුතුන්ගේ සංගමය සමග තොන්ඩමන් එකගතාවයකට පැමිනයත් තමන් 500 සටන නොනවත්වන බව චන්ද්‍රසේකරන්ගේ වෘත්තිය සමිතිය ඇතුලු සමිති කිහිපයක් ප්‍රකාශ කොට තිබෙනවා.රුපියල් 500ට මෙහා සටන නැවැත්වීමට විරෝධය දක්වමින් සිය ගනන් වතු ජනයා පසුගිය දිනවල විරෝධතා ව්‍යාපාර වලට සම්බන්ධ වුනා.පොලිසිය විසින් ඒවාට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
මෙම විරෝධතා ව්‍යාපාර ආකාර දෙකකින් වැදගත් වෙනවා.
එක පැත්තකින් මෙය තමන් ගොදුරු වී සිටින පීඩනයට එරෙහිව වතු ජනයා අතරින් පැන නැගුනු විරෝධයක්.අනිත් අතින් තොන්ඩමන්ගේ අවස්ථාවාදී වෘත්තිය සමිති ක්‍රියාකලාපයට එරෙහි කැරැල්ලක් ලෙසත් මෙම විරෝධතා වැදගත් වෙනවා.
වතුකරයේ ජනයාගේ පීඩනය තොන්ඩමන් වර්ගයේ අවස්ථාවාදීන් විසින් තමන්ගේ පැවැත්ම බවට ශත වර්ෂයකට අධික කාලයක් පුරා පත්කරගෙන සිටිනවා.වතුකරයේ ජතතාව ගොදුරු වී සිටින අධික පීඩනය පුපුරා යන්න නොදී පාලකයන්ට වාසිදායක විදිහට කලමනාකරනය කරගන්න තොන්ඩමන් විසින් විශාල වැඩකොටසක් කරනු ලබන අතර ඉතිහාසය පුරා පාලකයන් ඇමැති ධූර වලින් පුදනු ලැබ තොන්ඩමන්ලාට මේ සදහා කෘතගුන සලකා තිබෙනවා.වඩා යහපත් ජීවිතයක් ලබාගන්න නම් වතු ජනයා පලමුව පුපුරවා දැමිය යුතු විලංගුව වන්නේ තොන්ඩමන්ලාගේ මෙම අවස්ථවාදී නායකත්වයයි
කොහොම වුනත් වැඩ වැරුම නතර කරන්න තොන්ඩමන් තීන්දු කලත් එම තීරනය නොතකා පෙලපාලි යාමට වතුකරයේ ජනයා පෙලඹීම තුලින් පැහැදිලි වෙන්නේ තොන්ඩමන්ලාගේ සාම්ප්‍රදායික නායකත්වය ඉවසා සිටීමට එම ජනයා අතර සිටින සටන්කාමී කොටස් තවදුරටත් සූදානම් නැති බවයි.ඇමතිවරයෙක් වන චන්ද්‍රසේකරන්ටත් වැඩවර්ජනය දිගටම ගෙනයාමට බල කොට තිබෙන්නේ වතු කම්කරු ප්‍රජාව පතුලෙහි කැකෑරෙමින් තිබෙන විරෝධාත්මක මනෝභාවයයි.

ඉල්ලීම් 8 ක් පදනම් කරගනිමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය වි‍රෝධාත්මක ක්‍රියාවලියකට අවතීර්නය වෙන්නේ මෙම පසුබිම තුල.ඇත්තම ගත්තොත් රටේ බහුතර වැඩකරන ජනයා ජිවත් වෙන්නේ ඉතාම අපහසුවෙන්.රට තුල නිෂ්පාදන ආර්ථිකයක් නැති නිසා රජයට ආදායම් ලැබීමට තිබෙන එකම ක්‍රමය බවට පත්වෙලා තියෙන්නේ ජනතාව මත බදු පැටවීම.පෙට්‍රල් ලීටරයක රුපියල් 80ක් අඩංගු වෙන්නේ බදු.කිරිපිටි වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ මත පවා විශාල වශයෙන් බදු පනවා තිබෙනවා.ස්වකීය පැවැත්ම උදෙසා රජය සමාජය බදු හරහා සූරාකන අතර මෙසේ උපයනු ලබන බදු මුදල් අනිත් අතට වියදම් කෙරෙන්නේ සුබසාදන වාදී පදනමකින් නෙමෙයි.
විදේශ ඇමැති සිය දියනිය උදෙසා ලක්ෂ 45 ක උපන් දින සාදයක් දැමීම,කෝටි ගනන් වියදම් කරමින් රටේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල රජ මාලිගා තැනවීම වැනි දේවල් සරල ලෙස බාර ගත යුතු සිදුවීම් නෙමෙයි.සමාජය බදු හරහා සූරාකන රජය එම බදු හරහා ඉතාම පසුගාමී වර්ගයේ දේශපාලන හා නිලධාරී තන්ත්‍රයක් නඩත්තු කරමින් සිටිනවා.ජනතාවගේ විදවීම සහ දේශපාලක ප්‍රභූ තන්ත්‍රයේ පැවැත්ම කියන දේවල් මේ නිසා එකිනෙක වෙන් කල නොහැකියි.මේ දෙක එකිනෙකට සම්බන්ධයි.
රටේ පොදු ජනයා මත බදු පැනවූවත් ඊට සමානුපාතිකව සාධාරන ලෙස වැටුප් ඉහල යාමක් දකින්නට නැහැ.මේ තත්වය අන්තිම නරක ලෙස පවතින්නේ පුද්ගලික අංශය තුල.මේ නිසා රටේ වැඩකරන ජනයා ඇත්ත අමාරුකම් ගනනාවකින් බැටකමින් සිටිනවා යන්නත් එම අමාරුකම මතුවෙන්නේ රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් වල ප්‍රතිඵලයක් ලෙස බවත් පැහැදිලියි.
මහා පරිමාන වෘත්තීය අරගලයක් සදහා මේ අනුව විෂය මූලික පරිසරයක් රට තුල ඇති වෙමින් තිබෙනවා.

වෘත්තිය අරගලයක් ගැන ඇසෙන සැනින් උපහාසාත්මක වෙන අමාත්‍ය වර්ගයා වහා මතක් කර දෙන්නේ අවසන් වරට රටේ පැවැති ජාතික මට්ටමේ වැඩවර්ජනය වන 2008 ජූලි 10 වර්ජනය පිලිබදව.එය අපේක්ෂා කල පරිදි සාර්ථක නොවූ බව සත්‍යයක්.ගිය පාරත් වර්ජනේ කලානේ,මේ පාරත් කොරලා බලමු වර්ගයේ පාරම් බාන ඇමතිවරුන් ඇතිවෙමින් තිබෙන වෘත්තිය අරගල සූදානම අඩුතක්සේරු කරන බව -අඩුම තරමින් එහෙම අඩුතක්සේරු කරන බව පෙන්වන බව - පෙනෙන්නට තිබෙනවා.
කෙසේ නමුත් ජූලි 10 වර්ජනය අවස්ථාවේ රටේ දේශපාලන සන්දර්භය සහ මේ මොහොතේ රටේ දේශපාලන සන්දර්භය තීරනාත්මක ලෙස වෙනස්.2008 රට තුල සිවිල් යුද වාතාවරනයක් තිබුනු නිසා පාලකයන්ට වෘත්තිය අරගලයට මුහුන දීමට යුද්ධය හොද කඩතුරාවක් වුනා.එවිට පාලකයන් පැවසුවේ "දැන් කලබල කරන්න එපා.යුද්ධය ඉවර වුන ගමන් අපි උඹලාට සලකනවා"වැනි කතාවක්.
මේ කතාව සැලකිය යුතු ලෙස සමාජය එම අවස්ථාවේදී ගිල දැමූ බව රහසක් නෙමෙයි.කොහොම වුනත් පාලකයන්ට එම මොහොතේදී පැවති යුද්ධය නමැති "වාසිය" තවදුරටත් භූමිය මත වලංගු නැහැ.
දැන් යුද්ධය නිම වී සැලකිය යුතු කාලයක් ගත වී තිබෙනවා.යුද්ධය දිනූ මහ රජා ගැන වර්නනාවන් සහ ජාත්‍යන්තර කුමන්ත්‍රන,ජනපති ඝාතන කුමන්ත්‍රන ගැන ත්‍රාසජනක කතා මිස පොදු සමාජයට කිසිවක් ලබාදෙන්නට ආන්ඩුවට හැකියාවක් ලැබී නැහැ යන්න අතිශය පැහැදිලි සත්‍යයක්.
යුද්ධය දිනුවාම දෙනවා කිව්ව සහන කෝ?යන ප්‍රශ්නය මිනිසුන් අතරින් පැන නැගීම මේ අනුව ඉතාම තර්කානුකූලයි.මේ නිසා වෘත්තිය සමිති ව්‍යාපාරයට 2008 ජූලි වල නොතිබුනු විශාල ඉඩක් 2009 ඔක්තෝබර් වල නිර්මානය වී තිබෙන අතර වෘත්තිය සමිතිවලට සටන් භූමිය වාසි වන තරමට පාලකයන්ට භූමියේ තත්වය අවාසිදායක වී තිබෙනවා.

කෙසේ නමුත් එසේ සාපේක්ෂව වාසිදායක පරිසරයක් තිබුන පමනින් වෘත්තිය අරගලයක් සාර්ථක වෙතැයි පැවසිය නොහැකියි.සාර්ථක ලෙස සටනකට යාමට නම් රටේ වැඩකරන ජනයා සහ වෘත්තිය සමිති සලකා බැලිය යුතු කාරනා කිහිපයක් තිබෙනවා.
1.පැන නැගෙන වෘත්තිය සමිති සටන වචනයේ නියම තේරුමින්ම "ජාතික" එකක් බවට පත්කර ගැනීම වෘත්තිය සමිති ව්‍යාපාරය ඉදිරියේ තිබෙන වගකීමක්.2008 වර්ජනයට පක්ෂ දේශපාලන ලේබලයක් ඇලවීමට පාලකයන්ට අවස්ථාව ලැබුනු අතර එය වර්ජනයට ජනයා ගොනු කිරීමේදී අවාසිදායක ලෙස බලපෑවා.මෙය JVP වැඩක් හෝ UNP වැඩක් නෙමෙයි පොදුවේ වැඩකරන සියලු ජනයාගේ වැඩක් කියන මනෝභාවය ඇති කිරීම අතිශය වැදගත්.
අරගලයේ හරය දේශපාලනිකයි.නමුත් එම හරය අමු අමුවේ මතු වෙන්නට ගියහොත් එය පාලකයන්ගේ වාසියක් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා.
2.යුද ජයග්‍රහන වල ප්‍රතිඵලයක් ලෙස රජයේ මිලිටරි යාන්ත්‍රනයට විශාල බලයක් ආරෝපනය වී තිබෙනවා.හදිසි නීතිය වැන මර්ධන නීති නොවැලැක්විය හැකි ලෙස වෘත්තිය අරගලයකට එරෙහිව එල්ල වන බව උපකල්පනය කිරීමට අමුතු ඥානයක් අවශ්‍ය නැහැ.මෙම මර්ධන තන්ත්‍රය සමග පොර බැදීම ඉදිරි සටනකදී ඉතාම තීරනාත්මකයි.මේ නිසා මෙම මර්ධන නීති වල ඇත්ත ස්වරූපය සමාජයට හෙලිදරවු කිරීමෙන් තොරව වෘත්තිය සටනකට පිවිසීම ප්‍රායෝගිකව නිෂ්පලයි.
3.ඇත්ත වශයෙන්ම වැඩ වර්ජනයකදී අවසාන වශයෙන් සලකා බැලෙන්නේ "බලය" පිලිබද කාරනයයි.වැඩිම බලය පෙන්වීමට හැකියාව ලැබෙන පාර්ශවයට සමාජයේ සහය ලැබෙනවා.
රජය සතුව විශාල යාන්ත්‍රනයක් තිබෙනවා.මේ නිසා විශාල බලයක් යෙදවීමට ඔවුනට නිසග අවකාශයක් තිබෙනවා.වෘත්තිය සමිති ව්‍යාපාරය ජය ගත යුතු තීරනාත්මකම අභියෝගය මෙයයි.තමන් බලවත් බව සමාජයට ඒත්තු ගන්වන තරමට වෘත්තිය සටනට අවශ්‍ය කරන සමාජ සහය ලැබෙනවා.
රාජ්‍ය බලය අබිබවා ස්වකීය බලය පෙන්වන්නේ කෙසේද?

අවිවල විවේචනය විවේචනයේ අවිවලින් පරාජය කල නොහැක.ද්‍රව්‍යමය බලයක් පෙරලා දැමිය හැක්කේ පෙරලා යෙදෙන ද්‍රව්‍යමය බලයකින් පමනි
- කාල් මාක්ස්

වැඩ කරන ජනතාව "අහිංසක" වුවහොත් රජය යොදන බලය සමග ගැටීමට කිසිදාක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.ආන්ඩුව ස්වකීය සාධාරන ඉල්ලීම් ඉදිරියේ දන ගැස්වීමට නම් මේ අනුව අහිංසක නොවන ක්‍රියාමාර්ග වලට එලඹීමට (කැමති වුනත් නැතත්) වැඩකරන ජනයාට සිදුවෙනවා.ආන්ඩුව ඇදලා දෙන කොටුව තුල රැදී නොඉද රාමුව කඩා දැමීමට වෘත්තිය සමිති ව්‍යාපාරය සමත් වෙන තරමට සමාජයේ අනුග්‍රහය ලබා ගැනීමට ඔවුනට අවකාශ ලැබෙනවා.

කොහොම නමුත් එලඹෙමින් තිබෙන මොහොත දේශපාලනකිව කිසිවෙකුට සනීප සුවදායී සාමකාමී මොහොතක් නම් නෙමෙයි යන්න පැහැදිලියි.යුද ජයග්‍රහනයේ ඝෝෂාවෙන් යටපත් කල නොහැකි තරමට සමාජයේ ප්‍රශ්න සමාජය පතුලේ පැසවමින්,කැකෑරෙමින් තිබෙනවා.
වැඩකරන ජනතාව ඉතිහාසය පුරාවට පාලකයන් විසින් රවටනු ලැබුවා.දැනටත් රවටමින් තිබෙනවා.
නමුත් සමාජයක බලසම්පන්නම බලවේගය වැඩකරන ජනතාවයි.වැඩකරන පංතිය නිදා සිටින යෝධයෙක්.මෙම යෝදයා අවදි වුන දවසට කල හැකි දේ කෙතරම් දැයි අවම වශයෙන් එම යෝදයාවත් නොදන්නවා ඇති.

Revleft - ගොඩවෙලා බලන්නට වටින වෙබ් අඩවියක් ගැන


අපගේ බ්ලොග් සහෘදයා පාලිතගේ යෝජනාවක් මත මේ සටහන ලියැවෙන්නේ දේශපාලන වෙබ් අඩවියක් පිලිබදව හදුන්වා දීමේ සටහනක් ලෙසයි.

http://www.revleft.com/vb/

Revleft නමැති වෙබ් අඩවිය මේ වනවිට ලෝකය පුරා වාමාංශික හා නිදහස් මතධාරීන් අතර ජනප්‍රිය වෙබ් අඩවියක්.මෙය විවිධ කරුනු පිලිබද සාකච්ඡා කෙරෙන forum එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නෙ.
දේශපාලනය,දර්ශනය,කලාව හා සාහිත්‍යය,කාලීන සමාජ දේශපාලන ප්‍රවනතා වැනි බොහෝ දේවල් පිලිබද සංවාද මෙම අඩවිය තුල සිදුවෙනවා.මේ සංවාද වලට ලෝකය පුරා ඉන්න විශාල පිරිසක් එකතු වෙනවා.ඒ නිසා මෙම අඩවිය කියන්නෙ ලෝකයේ දේශපාලන ප්‍රවනතා ගැන අදහසක් ගැනීමට වගේම ඉගෙන ගැනීම සදහාද ඉතාම හොද මූලාශ්‍රයක්.
Revleft යන්නෙහි අදහස Revolutionery left -විප්ලවවාදී වාමාංශය- යන්නයි.වැදගත් කාරනය නම් මෙහි අදහස් දක්වන්න සම්බන්ධ වෙන පිරිස් විවිධ මත දහරාවන්ට අයත් අය වීමයි.ඒ කියන්නෙ වාමාංශික දේශපාලනයට අයත් විවිධ උප ප්‍රවනතා වලට සම්බන්ධ අදහස් ගැන අවබෝධයක් ලබාගැනීමට මින් ඉඩක් ලැබෙනවා.මාක්ස් ලෙනින් වාදීන්,අරාජකවාදීන්,ට්‍රොට්ස්කිවාදීන්,මාවෝවාදීන් වැනි විවිධ ආස්ථානයන්ගේ සිටින අය විවිධ කාරනා ගැන දක්වන අදහස් මෙහි අන්තර්ගත වෙනවා.
විවිධ අදහස් වලට සවන් දෙන්නත් ඉන් වඩා උචිත අදහස් තෝරා බේරා ගන්නත් වෙබ් අඩවියේ පරිශීලකයන්ට මේ නිසා ඉඩක් විවර වෙලා තිබෙනවා.
කොහොම වුනත් මාක්ස්වාදය,ධනවාදය,සමාජවාදය ගැන වර්තමානය තුල පොර ටෝක් දෙන බොහෝ අය අඩුම තරමින් එම පොර ටෝක් දෙනු ලබන්නේ අදාල විෂයන් පිලිබද අධ්‍යයනයකින් හෝ තොරවයි.තමන් මාක්ස්වාදීන් යැයි කියාගන්නා අය වගේම මාක්ස්වාදයට ඇට්ටි හැලෙන්න පහර දෙන බොහෝ දෙනෙකුත් මාක්ස්වාදය පිලිබද ගැඹුරු හැදෑරීමක යෙදුන අය නෙමෙයි.උඩින් පල්ලෙන් මාක්ස්වාදය ගැන කියවා එහි සාරය ග්‍රහනය කර නොගෙන මතුපිට කරුනු දෙක තුනක් අල්ලාගෙන හතර අතේ වනන ස්වරූපයකුයි දකින්න තිබෙන්නේ.
හැදෑරීම කියන්නේ කොහොමත් මොලය වෙහෙසෙන වැඩක්.එහෙත් කාල් මාක්ස් සදහන් කොට තිබෙන ආකාරයට විද්‍යාවට රජ මාවතක් නැත.හැදෑරීම හිසට තාවකාලිකව වෙහෙසක් විය හැකි වුවත් දිගුකාලීනව එය ඉතාම ඵලදායී.
හැදෑරීමේ මාවත තෝරා නොගෙන යම් දර්ශනයකින් ගේම ඉල්ලීම පහසු දෙයක් වුනත් එය අමන වැඩක් බව හදාරන්නා දන්නවා.

දේශපාලනය ගැන කියැවීමක් සහිත අයට පමනක් නෙමෙයි ඒ පිලිබද අන්දො සංසාරයක් නොදන්නා නවකයන් වෙනුවෙන් පවා Revleft තුල ඉඩක් පවතිනවා.මෙහි learning නමැති කොටස තුල ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාව තිබෙන අතර මේ නිසා ඉගෙන ගන්න කැමති අය සදහා මෙය ඉතා වටිනා අවකාශයක්.
මේ නිසා මේ ආරාධනය ‍ඔබ සියලු දෙනාට.වම,විප්ලවය,මාක්ස් ගැන ඔබ දැනට කුමක් සිතාගෙන සිටියත් ගැටලුවක් නැහැ.නිකමට මෙම අඩවියට ගොඩ වෙලා බලන්න.අපිට සමාජයක් විදිහට කෙලවෙලා තියෙන්නේ ඔලුවෙන් තීරන ගන්න අවශ්‍ය තැන්වලදී පපුවෙන් තීරන ගන්න ගිය නිසා.ඊට හේතුව අපි බොහෝ දෙනෙක්ගේ ඔලු හිස් වීම.
දැනුමෙන් සහ අධ්‍යනයෙන් හිස් පුරවා ගැනීම මේ නිසා කොයි පැත්තෙන් බැලුවත් වටිනවා.
x එකේ පරන සගරාවක තිබුනු උපුටනයකින් මෙම සටහන අවසන් කරන්නම්.

ජීවිතය කියන්නේ විද්‍යාවේ මාවතයි
හැදෑරීම කියන්නේ මාවතේ ගීතයයි

Friday, September 4, 2009

උපු‍ටා ගැනීම් කිහිපයක්


ආගමික පීඩාව එකවරම සැබෑ පීඩාවේ ප්‍රකාශිත වීම සහ සැබෑ පීඩාවට එ‍රෙහි විරෝධයද වේ.ආගම පීඩිත සත්වයාගේ සුසුමය.හදවතක් නැති ලෝකයෙහි හදවතය.එසේම එය ප්‍රබෝධ රහිත තත්වයන්ගේ ප්‍රබෝධයයි.
එය ජනතාවගේ අබිංය
-කාල් මාක්ස්


නූතන කම්කරු පංති ව්‍යාපාරය මෙන්ම ක්‍රිස්තු ලබ්ධියද මුල් වකවානුවේ පීඩිත ජනතාවගේ ව්‍යාපාරයක් විය.එය ප්‍රථමයෙන්ම පෙනී සිටියේ වහලුන් සහ වහල්භාවයෙන් නිදහස් කරනු ලැබූවන්ගේද,සියලු අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ දුප්පත් ජනයාගේද,එසේම රෝමය විසින් යටත් කරගනු ලැබූ හා විසිරුවනු ලැබූවන්ගේ ආගම වශයෙනි.ක්‍රිස්තු ලබ්ධිය හා නූතන සමාජවාදය යන දෙකම වහල් බැමිවලින් සහ දුක්ඛිතභාවයෙන් අනාගත ගැලවීම ගැන දේශනා කරයි.
ක්‍රිස්තු ලබ්ධිය මෙම ගැලවීම මරනින් මතු ස්වර්ගයේ මතු ජීවිතයක තබයි.සමාජවාදය එය මේ ලෝකයේ සමාජ පරිවර්තනයක තබයි
-ෆෙඩ්රික් එංගල්ස්


මම දුගීන්ට ආහාර දෙනවිට ඔවුහු මට ශාන්තුවරයෙකැයි පවසති.ඔවුන් දුප්පත් වීමට හේතුව මම විමසන විට - ඔවුහු මා කොමියුනිස්ට්වාදියෙකැයි හෙලා දකිති
-Dom Helder Camara

චලනය වීමට උත්සාහ නොකරන්නෙක් කිසිදාක තමන්ව බැද ඇති යදම් නිරීක්ෂනය නොකරනු ඇත
-රෝසා ලක්සම්බර්ග්

පීඩකයා සතු ඉතාම බලසම්පන්න ආයුදය නම් පීඩිතයාගේ පීඩිත මනසයි
-ස්ට්ව් බිකෝ

පලමු කැරැල්ල දේවධර්මවාදයේ සුපිරි ආධිපත්‍යයට හා දෙවියන්ගේ අවතාරයට එරෙහිව ගැසිය යුතුය.
ස්වර්ගයේ අධිපතියෙක් අපට ඉහලින් සිටින තුරා අප මිහිමත වහල්ලු වම්හ
-මිහයිල් බකුනින්

විප්ලවය යනු ඉබේම ඉදී බිම වැටෙන ඇපල් ගෙඩියක් නොවේ.ඔබ එය කඩා බිම දැමිය යුතුය
-චේ ගෙවාරා

මුලින් ඔවුන් ඔබව ගනන් නොගනු ඇත.පසුව ඔවුන් ඔබට හිනාවෙනු ඇත.ඉක්බිති ඔවුන් ඔබට පහර දෙනු ඇත.
එවිට ඔබ ජයග්‍රාහීය!
-මහත්මා ගාන්ධි

පීඩිතයා තමන්ව පෙලන අසාධාරන ක්‍රමයක් උදාසීනව පිලිගැනීම තුලින් පීඩකයා තරම්ම දුෂ්ටයෙක් බවට ‍පත්වේ
-මාටින් ලූතර් කිං

පීඩිත ජනයාට සෑම අවුරුදු කිහිපයකටම වතාවක් තමන්ව සූරාකන පංතියේ කවර නියෝජිතයෙක් විසින් තමන්ව සූරාකෑම කල යුතුද යන්න චන්දයෙන් තීරනය කිරීමේ "අවස්ථාව" හිමි වී ඇත
-කාල් මාක්ස්

මිනිස් සිරුරට ඔක්සිජන් අවැසි වන්නේ යම් සේද සමාජවාදයට ප්‍රජාතන්ත්‍රවාදය අවැසිය
-ලියොන් ‍‍ට්‍රොට්ස්කි

අහෝ ස්වාමීනි ඔබේ නීති වලින් ඇති ප්‍රයෝජනය කවරක්ද?
"හොද"මිනිසුන්ට ඒවා අදාල නැත."නරක"මිනිසුන් ඒවා පිලිපදින්නේ නැත.
-Ammon Hennacy

මම විප්ලවය ආරම්භ කලේ මිනිසුන් 82ක් සමගිනි.මට එය යලිත් වරක් කරන්නට සිදු වුවහොත් මිනිසුන් 10ක් හෝ 15 සමගින් වුවත් සම්පූර්න විශ්වාසය සහිතව එය කිරීමට මැලි නොවෙමි.
ඔබට කල යුතු දේ පිලිබද විශ්වාසයක් සහ කල යුතු දේ පිලිබද සැලසුමක් තිබේ නම් සංඛ්‍යාව කෙතරම් කුඩා වුවද එහි වැදගත්කමක් නොමැත
-ෆිදෙල් කැස්ත්‍රෝ


Wednesday, September 2, 2009

තිස්සනායගම්ට දඩුවම විසි වසරයි නම් අමරසේකරට කීයද?


මාධ්‍යවේදී තිස්සනායගම්ට බරපතල වැඩ සහිතව විසි වසරක සිර දඩුවම් නියම කිරීමේ පුවත මේ වන විට තරමක් පැරනි පුවතකි.ඔහුට එල්ල කොට තිබුනේ ජාතිවාදී හැගීම් ඇවිස්සීමට උත්සාහ දරන ලදී යන චෝදනාවයි.ඔහු විසින් සංස්කරනය කරන ලද සගරාවක එවැනි ජාතිභේදවාදී අදහස් සහිත ලිපි පලකලේය යන පදනම මත විසි වසකට ඔහුව දග ගෙට යවන ලදී.
තිස්සනායගම්ගේ විවාදයට පාත්‍ර වූ ලිපි සහිත සගරා කියවීමට අපට අවස්ථාවක් ලැබී නැත.ඒ නිසා ඔහු ජාතිවාදය ඇවිස්සුවේද නැද්ද යන්න පිලිබද නිශ්චිත විනිශ්චයකට ඒමට මේ ලියුම්කරුට නොහැක.කෙසේ වුවද ජාතිවාදය අවුස්සන අදහස් පල කිරීමට දඩුවම බරපතල වැඩ සහිත විසි වසරක සිර දඩුවමක් නම් ඒ සමග සිහියට එන කාරනා ගනනාවක් පවතී.

2009.08.22 දිවයින පුවත්පතේ ගුනදාස අමරසේකර මහතාගේ ලිපියක් පලවී තිබිනි."විසදුම ගැන තදියම කිම"මැයෙන් පලවී තිබුනු එම ලිපියේ මෑතකදී පැවති යාපනය/වවුනියා මැතිවරන ප්‍රතිඵල සමාලෝචනයක්ද ඇතුලත්ව තිබුනි.දිවයින මිලට ගන්නවාට වඩා රුපියල් හතලිහක කඩල කෑම ඇගටත් මනසටත් හොද යැයි කල්පනා කරන නිසා දිවයින මිලට ගැනීම සිදු නොකරතත් දිවයින ලිපි නොමිලේම අප වෙත ගෙන එන කාරුනික බ්ලොග් සගයෙක් සිටින නිසා ඔහුගේ අඩවියෙහි තිබී මෙම ලිපිය කියවීමට අවස්ථාවක් ලැබිනි.

http://kasapabbatha.blogspot.com/2009/08/blog-post_24.html

වවුනියාව චන්දයේදී රජය ලද දේශපාලන පරාජය ගැන කතාකරන අමරසේකර එසේ රජය පරාජය වූයේ තමන් මුදවාගෙන තමන්ගේ ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජය කරන මහගු කාර්ය භාරය තේරුම් ගැනීමට තරම් හදක් හෝ මනසක් උතුරේ ජනතාවට නැති නිසා යැයි පවසයි.කෙලෙහිගුනය යනු මානව ගුනාංගයකි.තමන්ට මෙච්චර කරන ආන්ඩුවට සලකන්න දෙමල ජනතාවට නොහැකි වීමෙන් ඔවුන‍ගේ හද මනස - එනම් මානවභාවය ගැන ගැටලුවක් මතුවේ.හදක් මනසක් නැත්තේ තිරිසනුන්ටය.මැතිවරනයේදී රජය ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ දෙමල ජනයාට එවැනි හද මනසක් නැති බවයි.මේ අමරසේකරගේ ලිපියේ එන ප්‍රධාන අදහසයි.
අමරසේකර තවදුරටත් මෙසේ කියයි.

මෙ නයින් බලන විට අපට නොකැමැත්තෙන් හෝ එළැඹිය හැකි නිගමනය නම් උතුරේ වසන ඒ පීඩිත ජනතාව තමනට කියා හද - මනසක්‌ නැති, තමන්ට කියා පෞරුෂයක්‌ මෙතෙක්‌ හිමිකර නොගත්, අධම නායකයන් විසින් පාගාගෙන පාලනය කිරීම නිසා මනු - සත්ව විශේෂයක්‌ බවට පත්කර ඇති පිරිසක්‌ බවයි. එවැනි තිරිසන් පාලනයකට නතු කරන ලද සත්වයා ඉන් මුදවා ගත්තද පැරැණි පුරුදු අනුව හැසිරෙන බව අපි දනිමු.

දැන් මේ කියන්නේ කුමක්ද?උතුරේ ජනතාව යනු හදක් මනසක් නැති තමන්ටම කියා පෞරුෂයක් නැති තිරිසනුන් පිරිසක් බව මිස අන් කවරක්ද?
හදක් මනසක් ඇත්තේ අමරසේකරලාටය.දකුනේ ජනයාටය.උතුරේ මිනිසුන් යනු එවැනි පෞරුෂයක් නැති නිවටුන් පිරිසකි.
ජාතිවාදය යන්නෙන් සරලව අදහස් වෙන්නේ එක් ජාතිකත්වයක් උසස් යැයි හුවා දක්වමින් වෙනත් ජාතික අනන්‍යතාවයක් හෑල්ලුවට ලක් කිරීමය.එය දෙකේ පංතියෙහිලා සැලකීමය.සුදු වර්ගවාදීන්ට අනුව කලු ජාතිකයා දෙවැනි පෙල සත්වයෙකි.ඇතැම් සුදු වර්ගවාදීන් තර්ක කල ආකාරයට කලු මිනිසුන් අර්ධ වශයෙන් පරිනාමය වූ මිනිසුන් කොටසකි.ආර්ය වර්ගය ඉතාම පිරිසිදු වර්ගය ලෙස හදුන්වා ගත් හිට්ලර් යුදෙව්වන් දෙවැනි පංතියේ නීච ජාතියක් ලෙස අර්ථකතනය කලේය.දැන් ගුනදාස අමරසේකර මතු කරන්නේද ඊටම නොදෙවෙනි තර්කයකි.දෙමල ජනයා යනු හදක් මනසක් පෞරුෂයක් නැති දෙවැනි පෙල වර්ගයකි.ප්‍රභාකරන්ගෙන් මිදී ආ එම ජනයා ඹහු උපමා කරන්නේ "ගව රැලකටය".

ප්‍රභාකරන් ඉදිකර තිබූ කටුකම්බි වැටවල් විනාශ කළ සැනින් ඔවුන් ගව රැලක්‌ සේ එළියට ඇදී ආ සැටි ද අපි දුටුවෙමු

මේ උපමාව තුල ගැඹුරු තේරුමක් තිබේ.ගව රැලක් තමන්ට කැමති තැනකට ගොපල්ලෙක්ට දැක්කවිය හැක.මන්ද ගව රැලට සිතීමේ හැකියාවක් නැති නිසාය.දෙමල මිනිසුන් යනු මේ අනුව කැමති තැනකට දැක්කවිය හැකි සිතීමේ හැකියාව නැති ගවයන් පිරිසක් යන්න මේ තුලින් මතුවෙන අර්ථයයි.
දැන් අසන්නට තිබෙන්නේ එක ප්‍රශ්නයකි.තමන් ගැන කෙරෙන මෙම "විග්‍රහය"අසන ආත්මාභිමානයක් පිලිබද අංශුවක හෝ හැගීමක් සහිත දෙමල පුරවැසියෙකු තුල ඇතිවෙන හැගීම කුමක් වනු ඇද්ද?
නිසැක වශයෙන් ඔහු කිපෙනු ඇති අතර එම කෝපය යුක්ති සහගතය.මන්ද මේ විග්‍රහය ඒ තරම්ම අගතිගාමී හා වර්ගවාදී වන බැවිනි."ජාතිවාදය ඇවිස්සූ" නිසා තිස්සනායගම් නමැති දෙමල ජාතිකයා දග ගෙයි ලන රාජ්‍යය දිවයින වැනි පුවත් පත් වල අඩු නැතිව පලවෙන මෙවැනි වර්ගවාදී විග්‍රහයන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?මේවා ජාතිවාදී නැද්ද?නීතිය සැමට සාධාරන විය යුතුය.එය තිස්සනායගම් "ජාතිවාදය අවුසන විට"එක විදිහකටත් අමරසේකර ජාතිවාදී ප්‍රකාශ කරන විට තව විදිහකටත් බලපානවා නම් එහි ඇති සාධාරනත්වය කුමක්ද?

ඒ නිසා රට රවටන බොරු නොකියා රාජ්‍යය ඇත්ත කාරනය එලියට දැමිය යුතුය.මෙතන තිබෙන්නේ ජාතිවාදය ඇවිස්සීම පිලිබද සදාචාරවාදී ප්‍රශ්නයක් නොව රාජ්‍යයේ අන්තනෝමතික බලය සම්බන්ධ ගැටලුවකි.පවතින සන්දර්භය තුල තමන්ගේ හිසට ඉහලින් මැස්සෙකු හෝ පියාඹනවාට රජය කැමති නැත.පාලක කන්ඩායම ඊට මනාප නැත.මේ නිසා කවර හෝ පදනමකින් රාජ්‍යය විවේචනය කරන්නා දන්ඩනයට ලක්වේ.දන්ඩනය සදහා එලියට දමන්නේ ජාතිවාදය වැපිරීම වැනි සාධාරන යැයි‍ පෙනෙන චෝදනාය.ලංකා ඉරිදා පුවත්‍පතේ මාධ්‍යවේදීන් තිදෙනෙක් පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන බව අද (01)දින පුවත් වෙබ් අඩවි වල සදහන් ව තිබුනි.ඔවුන්ටද කුමක් හෝ චෝදනාවක් ඉදිරිපත් කෙරෙනු ඇත.චෝදනාව කවරක් වුවද චෝදනා යට සැගව ඇති නිරුවත් සත්‍යය වූ කලී විරුද්ධ අදහස් මර්ධනයයි.

මෙතෙක් කල් අනතුරු හැගවීම් සහිත පුවත් පත් වල , මුද්‍රිත අකුරු වල සිර වී සිටි ඒකාධිපතිත්වයේ යක්ෂයා පන ලබා ඇත.
එම යක්ෂයා සමාජයේ ඔබ මොබ ඇවිදමින් සිටී.එකින් එකා නිහඩව ගොදුරු කර ගනිමින් සිටී.


Thursday, August 13, 2009

පොලිසියට ගල් ගසනු!




පොලිසිය මේ වනවිට කොයි තරම් ගර්හිත ආයතනයක තත්වයට පත්වී තියෙනවාද කියන එක පැහැදිලි වෙන සිදුවීම් ගනනාවක් පසුගිය කාලයේ ජාතික මට්ටමින් අවධානයට යොමුවුනා.
මේ සම්බන්ධ ආසන්නතම සිදුවීම් දෙක නම් නිපුන රාමනායක නැමැති SLIIT ආයතනයේ ශිෂ්‍යයාව පැහැරගෙන යාමේ සිදුවීම සහ අද වාර්තා වුන අගුලාන ප්‍රදේශයේදී තරුනයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේදී මරා දැමීම සම්බන්ධ සිදුවීමයි.
පසුගිය කාලයේ පාතාල ලෝකයේ අපරාධකරුවන් මරනවා යැයි කියමින් නීතියට පිටින් පුද්ගලයන් ගනනාවක් ඝාතනය කොට තිබුනා.එසේ ඝාතනය කොට තිබුනේ පොලිසිය විසින්.රාමනායක සිදුවීමේදී පුද්ගලික කාරනයක් මත එම ශිෂ්‍යයාව පාතාලයට ගෑවීමට සිද්දියට අදාල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උත්සාහ කොට තිබුනා.පාතාලයේ අය නීතියට පිටින් මරාදැමීමේ "වීර" ව්‍යාපෘතිය නිසා චූන් වී සිටි පොදු සමාජයේ ඇස් ඇරවන සිදුවීමක් බවට මෙය පත්වෙනවා.
රටක ව්‍යවස්ථාපිත නීතියට පිටින් පොලිසිය වේවා වෙනත් ආයතනයක් වේවා ක්‍රියාත්මක වෙන එක ඉතාම අහිතකර දෙයක්.පොලිසියට හෝ ඹ්නෑම වෙනත් ආයතනයකට අන්තනෝමතින බලයක් ලැබෙන විට එය පෙරලා සමාජයට එරෙහිව යොදාගැනෙනවා කියන එක රාමනායක සිදුවීම ආශ්‍රයෙන් පැහැදිලි වෙනවා.
අගුලානේදී තරුනයන් දෙදෙනෙක් ඝාතනය කිරීමත් එබදු අවස්ථාවක්.ප්‍රසිද්ධියට පත් නොවුනත් පොලිසි තුලදී බරපතල පහරදීම් බලය,අයුතු ලෙස යොදා ගැනීම් සිදුවෙනවා කියන එක රහසක් නෙමෙයි.පොලිසිවලට එන පුද්ගලයාගේ ඇදුම,සමාජ තරාතිරම අනුව මේ සැලකීම වෙනස් වෙන අතර පොදුවේ සාමාන්‍ය ජනයාට පොලිසියෙන් ලැබෙන සැලකීම එතරම් "මිහිරි"එකක් නෙමෙයි යන්න පැහැදිලියි.

දැන් මෙතන ගැටලුවක් තිබෙන බව හැමෝම පිලිගන්නවා.රාමනායකගේ සිදුවීම,අගුලාන ඝාතනය වැනි සිදුවීම් හෙලා නොදකින කෙනෙක් නැහැ.ඇතැමුන් මේ සිදුවීම් සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිගේ මැදිහත්වීම ප්‍රාර්ථනා කරනවා.තව සමහරුන්ට අනුව පොලිසියේ බහුතරය හොද අය.වැරදි කරන කිහිප දෙනෙක් ඉන්නවා.ඒ අයට දඩුවම් කලාම සේරම විසදෙනවා.
නමුත් අපි කල්පනා කරන ආකාරයට මෙතන ගැටලුව තියෙන්නේ ඒ ඒ පොලිස්කාරයාගේ නෙමෙයි.මෙතන ඇත්ත ගැටලුව ව්‍යුහාත්මක එකක්.ඇත්තටම වරද තිබෙන්නෙ පොලිසිය නැමැති ආයතනය තුලමයි.ඒ ආයතනය ව්‍යුහාත්මකව ගොඩනැගිල තියෙන ආකාරය සලකන විට මෙවැනි අයුක්තීන් සිදුවීම වලක්වන්නට බැහැ.‍
වෙන විදිහකින් කියනවා නම් පොලිස්කාරයන්ගේ මේ පාදඩකම් වූ කලී පොලිසිය කියන ආයතනයේ ආයතනික පදනමේම තිබෙන දෝෂයක් නිසා ඇති වී තියබන තාර්කික ප්‍රකාශනයන්.
මේ කාරනය අපි තවදුරටත් පැහැදිලි කරගනිමු.
ඇත්තටම අපේ රටේ පොලිස් සේවය මහජන සේවයක් ලෙස ගොඩනැගිල තියෙන එකක් නෙමෙයි.මේ නිසා මහජනතාවට වග කිව යුතු ස්වරූපයක් පොලිසිය වෙතින් දකින්නට නැහැ.පොලිස් නිල ඇදුම විසින් යම් අධිකාරී බලයක් පොලිස් නිලධාරියා වෙත ආරෝපනය කරනවා.
මෙතනදී පොලිසිය ක්‍රියාත්මක වෙන්නෙ මහජන සේවයකට වඩා මහජනයාට ඉහලින් වැජඹෙන අධිකාරියක් විදිහට.
සේවයක සහ අධිකාරියක වෙනස තේරුම් ගන්න අපිට වර්තමාන ග්‍රාම සේවක සහ පැරනි ආරච්චිරාල/ගම්මුලාදෑනියා සසදන්න පුලුවන්.
පැරනි ගම්මුලාදෑනියා ගමේ බලවතා ලෙස කටයුතු කලා.ඔහුට අවශ්‍ය අයට අච්චු කලා.හොරෙන් දඩයම් කලත් තමන්ට මස් ගෙනල්ලා දෙන කෙනාට සැලකුවා.නැති අයව දඩුකදේ ගැහුවා.ඔහුගේ අධිකාරි බලය සමාජය පිලිගත්තා.එය පාලනය කරන යාන්ත්‍රනයක් තිබුනෙ නැහැ.
මේ නිසා කොයිතරම් "දැහැමි"කෙනෙක් එම තනතුරට පත්වුනත් එම තනතුරේම තියෙන අන්තනෝමතික බලය විසින් ඒ පුද්ගලයාව කාලයත් සමග අධිකාරිවාදී පීඩකයෙක්ගේ තත්වයට පත්කලා.
මෙම පැරනි ක්‍රමය වෙනුවට වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ සේවයක්.මේ අනුව ග්‍රාම නිලධාරිවරයෙක් ගමට පත්ව සිටිනවා.ගම්මුලාදෑනියා ගමේ දාන ලද සෙල්ලම් දැමීමේ හැකියාව ග්‍රාම සේවකට නැහැ.එවැනි සෙල්ලම් ඔහු දාන්න ගියොත් ඒවට විරුද්ධව ක්‍රියා කල හැකි යාන්ත්‍රනයක් නීත්‍යනුකූලවම තියෙනවා.ගමේ ඕනෑ එපා කම් සොයා බලා මිනිසුන්ට උදවු කිරීම ග්‍රාම නිලධාරිගේ කටයුත්ත වී තිබෙන අතර එම තනතුරේ තිබෙන මෙම ස්වභාවය නිසාම ග්‍රාම නිලධාරි ධූරය යනු සමාජය පෙලන අධිකාරියක් නෙමෙයි.එක්තරා අන්දමක සේවයක්.
මේ අනුව වර්තමාන පොලිසිය යනු සේවයක් නොවෙයි.එය වැටෙන්නේ අධිකාරියක ගනයට.
වඩාත් නිවැරදිව කියනවා නම් පොලිසිය "සේවය"හා "අධිකාරිය" කියන අන්ත දෙක අතර පරාසයේ පවතින අතර එය විශාල වශයෙන් නැඹුරු වී තිබෙන්නේ අධිකාරිවාදී අන්තය දිශාවට.
පොලිස් කාරයන්ගේ අකටයුතුකම් සිදුවෙන්නේ පොලිසියේ තියෙන මේ ව්‍යුහාත්මක අවුල නිසයි.
කාකි ඇදුම,බැටන් පොල්ල හා පිස්තෝලය ලැබුනු සැනින් තමන් සමාජයට ඉහලින් ඉන්න "පොරක්" කියන මනෝභාවය පොලිස් නිලධරයන් තුල ගොඩනගා තිබෙනවා.සමාජයේ පුරවැසියන්ට එරෙහිව ඔවුන් හතර අතේ වනන්නේ ඔවුන් තුල ගොඩනගන ලද මෙම පොර මානසිකත්වයයි.

දැන් මේ කතාබහ තරමක් ගැඹුරට ගෙනියමු.පොලිසියේ මෙම ව්‍යුහමය දුර්වලතාවය අපි තේරුම් ගන්න ඕනෙ කොහොමද?
මේ පසුගාමී ස්වභාවය පොලිසියේ පමනක් නෙමෙයි,සමාජයක් ලෙස අපේ සමාජයේ හැමතැනම තියෙනවා.කොටින්ම පොලිසිය තුල මේ ප්‍රක්ෂේපනය වෙන්නේ සමස්තයක් ලෙස අපේ සමාජයේ පසුගාමී බවම මිස අනෙකක් නෙමෙයි.
දේශපාලන භාෂාවෙන් කියනවා නම් පවතින ලාංකීය සමාජය ප්‍රජාතාන්ත්‍රිකකරනය වෙලා නැහැ.
මෙහිදී ප්‍රජාතන්ත්‍රතවාදය කියන්නෙ බොහෝ දෙනා සිතාගෙන ඉන්නා පරිදි අවුරුදු පහකට පාරක් චන්ද පොලට ගිහින් කතිරය ගහන එක නෙමෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ජීවත් වීමේ ආකාරයක්.සමාජයීය ජීවන රටාවක්.(An order of living)
ප්‍රජාතන්ත්‍ර‍වාදයේ මේ ගැඹුරු අර්ථය අපේ සමාජය තේරුම් අරගෙන නැහැ වගේම සමාජයේ කිසිම තැනක එය නිසි පරිදි ක්‍රියාවට නැගිලාත් නැහැ.
ප්‍රජාතාන්ත්‍රවාදී සන්දර්භයක් තුල පොලිසිය,රාජ්‍ය සේවය,දේශපාලනය යනු "සේවාවන්"මිස නිරපේක්ෂ අධිකාරිත්වයන් නෙමෙයි.ඒවා පුරවැසියනගේ ජීවිත පහසු කරන්න උදවු කල යුතු යාන්ත්‍රනයන්.
නමුත් අපේ සමාජයේ වෙලා තියෙන්නේ කුමක්ද?මේවා ජීවිත පහසු කරන යාන්ත්‍රනයන් වනවා වෙනුවට ජීවිත පීඩාවට ලක්කරන පීඩාකාරී ව්‍යුහයන් බවට පත්වෙලා තියෙනවා.
මෙම ආයතන විසින් පුරවැසියන් පීඩාවට ලක්කරනවා විතරක් නෙමෙයි ඔවුන්ගේ ජීවිත පවා බිලිගන්නවා කියන එක අගුලානේදී සිදුවුන ඛේදවාචකයෙන් පෙනී යනවා.

එහෙම නම් ලංකාවේ සමාජ දේශපාලන ක්‍රමය ප්‍රජාතාන්තිකකරනය වෙලා නැති බව පැහැදිලියි.එතකොට මෙම ප්‍රජාතාන්ත්‍රික නොවන සමාජ දේශපාලන රටාව පවත්වාගෙන යන්නේ කවුද?
මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්.
දේශපාලන ක්‍රමය (සිස්ටම් එක) රකින්න සිස්ටම් එක විසින්ම බිහිකරන පිරිසක් සිටිනවා.අපි පාලකයන් යනුවෙන් ආමන්ත්‍රනය කරන්නේ එම පිරිසට.
නිල් පාටින් කොල පාටින් මොන පාටින් පැමිනියත් මෙම පිරිසේ වගකීම ක්‍රමය ආරක්ෂා කරන එක.සමාජය ප්‍රජාතාන්ත්‍රිකකරනය කිරීම වැනි රැඩිකල් වැඩකට අතගැහුවොත් පවතින දේශපාලන ක්‍රමය බිදවැටෙනවා.පවතින ක්‍රමය ආරක්ෂා කිරීම සදහා පත්කෙරුනු පාලකයන් මේ නිසා කවදාවත් ඒ වගේ විප්ලවකාරී වැඩවලට යොමුවෙන්නේ නැහැ.ඒ අය උත්සාහ කරන්නේ පවතින ක්‍රමය වැඩි වෙනසක් නැතිව පවත්වා ගනිමින් මේ මතම කෙසේ හෝ බලය පවත්වා ගැනීමටයි.
ජනාධිපතිගෙන් මේවාට උත්තර ඉල්ලීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමට වඩා විහිලුවක් වන්නේ එම නිසායි.වැඩිම වුනොත් සමාජය සැනසවීම සදහා පොලිස් නිලධරයෙක් අත්අඩංගුවට ගැනීම,මාරු කිරීම වගේ මතුපිට තලයේ පියවරක් දෙකක් රජය විසින් ගැනීමට ඉඩ තිබෙනවා.නමුත් පොලිස් සේවයේ ව්‍යුහය ප්‍රජාතාන්ත්‍රික ලෙස හැඩ ගැස්වීම වගේ බරපතල වැඩකට ඔවුන් කවදාවත් අත ගහන්නේ නැහැ.

දැන් අවශ්‍ය නම් අගුලාන සිදුවීමට සම්බන්ධ ස්ථානාධිපතිවරයාට නඩු දැමිය හැකියි.එසේ වුවත් යලිත් එවැනි සිදුවීම් සිදු වීම ඉන් නතර වෙන බවට දිය හැකි සහතිකය කුමක්ද?
පොලිසිය සමාජයට ඉහලින් වැජඹෙන ‍අධිකාරියක් ලෙස පවතින තුරු,පොලිස් නිල ඇදුමේ පොර මානසිකත්වය පවතින තුරු අත්අඩංගුවේදී මරා දැමීම්,පැහැරගෙන යාම් ,වධ හිංසා පැමිනවීම් වාර්තා වීම වලක්වන්නට බැහැ.
මේ නිසා නිලධාරීන් මාරු කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීමකට වැඩි යමක් නෙමෙයි.වෙනස් විය යුත්තේ සමස්ත පද්ධතියයි.සමස්ත පොලිස් සේවයේ ව්‍යුහාත්මක පදනමයි.
පොලිස් සේවයේ අධිකාරියක් නොව 'සේවයක් ' බවට පරිවර්තනය කරගැනීම සමාජය ප්‍රජාතාන්ත්‍රිකකරනය කිරීම කියන කාර්යයෙන් වෙන් කරන්න පුලුවන් එකක් නෙමෙයි.කොටින්ම සමාජය සමස්තයක් ලෙස ප්‍රජාතාන්ත්‍රික නොකර - වෙනස් නොකර -පොලිසිය පමනක් ව්‍යුහාත්මකව වෙනස් කිරීම සිදු කල නොහැක්කක්.
සමාජය වෙනස් කරන්නේ,ප්‍රජාතාන්ත්‍රිකකරනයට ලක්කරන්නේ කවුද?
මේ සදහා පවතින පසුගාමී ක්‍රමය රකින්න බිහිකල පාලකයන් පසුපස යමෙක් ගාටනවා නම් එය නිෂ්ඵල විහිලුවකට වඩා වැඩි යමක් නෙමෙයි.ඇත්තටම පාලකයන්වද ප්‍රශ්න කරන සමාජ ව්‍යාපාරයකින් මිස මෙය වෙනස් කල නොහැකියි.

අගුලානේදී ගම්වාසීන් පොලිසියට ගල් මුල් ගසන්නේ මෙම සන්දර්භය තුල.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ආයතන වල අධිකාරිය තමන් පිලිනොගන්නා බව මිනිසුන් ප්‍රකාශ කල ආකාරයක් තමයි එම විරෝධය.
සිදුවීම වල මතුපිටට සීමා නොවී ඒ යට තියෙන ව්‍යුහාත්මක ඇත්ත ග්‍රහනය කරගත් විට පොලිසියට ගල්මුල් ගහනවා වෙනුවට තිබෙන පසුගාම් දේශපාලන ක්‍රමයට ගල් ගසන්නට මිනිසුන් පටන් ගනීවි.
කෙහොම වුනත් එවැනි දියුනු මානසිකත්වයකට යාම උදෙසා පූර්වාරම්භයක් ලෙස මෙය හොද ප්‍රවනතාවයක්.යටහත් පහත්ව ගුලි ගැසෙනවා වෙනුවට අසාධාරනයට එරෙහිව නැගී සිටීම කොහොමත් හොදය.
එම නිසා දිගු ගමනක් යාමේ අපේක්ෂාවෙන් මුල පිරීමක් ලෙස මෙසේ කිව හැක.
පොලිසියට ගල් ගසනු!
පොලිසියට පමනක් ගල් ගැසීමෙන් නොනවතිනු!




Monday, August 10, 2009

taboo subjects සහ His excellency rajapaksha


පසුගිය දිනෙක රජය විසින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ කැදවුම්කරු අත් අඩංගුවට ගැනීම පිලිබද අපි මෙම අඩවිය තුලද කතා කලෙමු.එසේ කතා කලේ එම කැදවුම්කරු පිලිබද තිබෙන පුද්ගලික හිතවත් කමක් හෝ මිත්‍රත්වයක් නිසා නොව වර්තමාන පාලකයාගේ අන්තනෝමතික හැසිරීම පිලිබද එය උදාහරනයක් වන හෙයිනි.මහජන චන්දයෙන් තේරී පත්වූ අයෙක් සිය අතින්ම තමාට ඔටුනු ලා ගැනීමද තමා රජු යැයි සිතාගෙන වැඩ කිරීමද සමාජයේ ප්‍රජාතාන්ත්‍රික පැවැත්ම පැත්තෙන් බලන විට අතිශය අහිතකර බව කිවමනා නොවේ.

මේ සිදුවීම ආශ්‍රයෙන්ම වෙනත් අපූරු බ්ලොග් සටහනක්ද ලියැවී තිබුනි.

http://taboosubjects.wordpress.com/2009/08/07/02-8/

taboo subjects අඩවිය තුල එය පලව තිබුනු අතර මේ ඒ පිලිබද ප්‍රතිසටහනකි.

ඉහත ලිපිය කියවන විට පැහැදිලිවම පෙනෙන කාරනය වන්නේ අදාල බ්ලොග්කරුට ජවිපෙ දේශපාලනය ගැන තිබෙන අඝාත වෛරයයි.එලෙස තමන් අකමැති දේශපාලන ව්‍යාපාරයකට වෛර කිරීමට යමෙකුට අයිතියක් තිබේ.නමුත් ප්‍රශ්නය වන්නේ අන්ධ වෛරයට ඉඩ දුන් විට පෙනිය යුතු,දැකිය යුතු ඇතැම් වැදගත් දේද නොපෙනී යාමයි.
taboo ලිපිය ආරම්භ කරන්නේ මෙසේය.
"තමන්ටම ආවේණික සංවෘත ලෝකයන්හි ජීවත්වන ජවිපෙ හිතවාදී සරසවි සිසු ප්‍රජාවට හැර රටේ පොදු මහජනතාවට නොවැදගත් ආරංචියක් අද පුවත්පත් වල පළවී තිබිණි"
ඔහුට අනුව අවිශිබම කැදවුම්කරු අත්අඩංගුවට ගැනීම රටේ ජනයාට වැදගත් විය යුතු දෙයක් නොවේ.එය හුදෙක් ජවිපෙ සංසිද්ධියකි.

මේ කල්පනාවේ තිබෙන බරපතල වරද ඉදිරියට පෙන්වා දීමට අපේක්ෂා කරමින් රටේ දැනට වර්ධනය වෙමින් තිබෙන දේශපාලන උපනතියක් ගැන අවධානය පලමුව යොමු කරමු.
විශේෂයෙන් රජය අධිපතිවාදී හා මර්ධනකාරී ව්‍යාපෘතියකට ප්‍රවේශවෙමින් තිබෙන බව පැහැදිලිය.එම මර්ධන හස්තය සයිබර් අවකාශයට පවා පැමින තිබේ.සිය අධිකාරියට එකග නැති වෙබ් අඩවි තහනම් කරන්නටද ඇතැම් අඩවි වල සංස්කාරවරුන් පොලිසියට කුදලාගෙන යාමටද රජය ක්‍රියාකල බව රහසක් නොවේ.
වෙනකක් තබා taboo subjects ලේඛකයාද බ්ලොග් අවකාශය තුල කාලයක් පෙනෙන්නට නොසිටියේය.එයට හේතුව ලෙස ඔහුම දක්වා තිබුනේ තමන්ට මරනීය තර්ජන පැමිනි බවකි.
තමන්ට තර්ජනය කලේ කවුරුන්දැයි ඔහු නිශ්චිතව සදහන් නොකලත් ඔහුගේ "අතුරුදහන් වීම" හා ආසන්නයේ ඔහු පලකල දේවල අන්තර්ගතය සැලකූ විට තර්ජනය රාජ්‍ය මතවාදය පැත්තෙන් ආ එකක් යැයි උපකල්පනය කල හැක.
( මෙම තර්ජන කතාව ඇත්තද නැද්ද යන්න අප නොදනිතත් බොරු කීමට බ්ලොග්කරුට අවශ්‍යතාවයක් නැත යන අනුමානයට යටත්ව එය ඇත්තක් ලෙස භාර ගනිමු)
කෙසේ වුවද කතාව ඇත්ත නම් ඉන් පෙනී යන්නේ අදාල බ්ලොග්කරුම රජයේ මර්ධනයේ රතු එලිය වැටී තිබෙන කලාපය තුල අඩු වැඩි වශයෙන් ඉන්නා බවයි.

ඔහුගේ ලිපිය දෙස අවධානය යොමු කල යුත්තේ මෙම සන්දර්භය සිහි තබාගෙනය.
රජයේ අයුක්ති සහගත පහර කෑමට මෙවර ලක්ව තිබෙන්නේ අවිශිබම යයි.එය ජවිපෙ ව්‍යාපාරයක් ලෙස ලඝු කිරීම නිවැරදි නොවූවද ජවිපෙ සහ එය අතර සබදතාවයක් තිබේ යන්න පැහැදිලිය.
මේ අනුව රජයේ මර්ධනීය පහර එල්ල වී තිබෙන්නේ ජවිපෙට පක්ෂයක් ලෙස රජය විවේචනය කිරීමට තිබෙන අයිතියටයි.අවධාරනය කල යුතු කාරනය නම් මේ පහර හුදෙක් ජවිපෙට වැදුනු එකක් ලෙස තේරුම් ගැනීම සාවද්‍ය බවයි.මෙය ඇත්තටම පොදුවේ අදහස් ප්‍රකාශ කිරීම නම් වන දේශපාලන අයිතියට එල්ල වූ ප්‍රහාරයක්ය.
මේ ප්‍රහාරය ඉදිරියේ taboo subjects ගේ ස්ථාවරය කුමක්ද?
මෙම සිදුවීම වෙනුවෙන් වෙනම බ්ලොග් සටහනක්ම වෙන් කරන ඔහු අඩුම තරමින් මුලු ලිපියේ එක තැනක වත් සිද්දිය හෙලා දැකීමවත් සිදු නොකරයි.රජයේ අදාල ක්‍රියාව වැරදි සහගත බව කීමට කිසිම තැනකදී ඔහුගේ දිව නොනැමේ.
ඒ වෙනුවට ඔහුට මේ සමස්ථ සිදුවීම "ප්‍රභසනයක්ය".ආතල් එකක් ගත හැකි සංසිද්ධියක්ය.
සිදුවීම ‍දෙස බලාගෙන හස්තසේවනයේ යෙදෙන බ්ලොග්කරු සුරාන්තයට පත්වෙන මොහොතේ ජවිපෙ පිලිබද තමන් තුල වන දරුනු වෛරය පිට කරයි.
ඒ පිටකරද්දි කියන්නේ මොනවාද යන්න ඔහුවත් අඩුම තරමින් දන්නවාදැයි සැක සහිතය.මන්ද ආස්වාදය උපරිම වන විට එලියට එන්නේ අවිඥානික සිතිවිලි වන අතර ඒ මොහොතේ කියන දේවල් ගැන සමහර විට හස්තසේවනයේ යෙදනේනාම නොදන්නා නිසාය.
ඔහු සමස්ථ සිදුවීමේ දකින "වැදගත්" කාරනා මේවාය.

1 ජවිපෙ දැන් පෝස්ටර් අලවනවා වෙනුවට බිත්ති පින්තාරු කරයි.ඉන් අදාල පක්ෂයේ බංකොලොත්කම පෙනෙන බව ඔහු පවසයි
( ජවිපෙ පෝස්ටර් ගහනවාද නැද්ද යන්න අවට සිදුවෙන දේවල් ගැන ඇස් කන් සහිතව බලන අය දනී.කෙසේවෙතත් ඒගැන කතා කිරිම මට අදාල නැත)

2 අන්තරයේ කැදවුම්කරුම පෝසටර් ගැසීමට යාම තුලින් ඊට ඇති පිරිස් බලය හීනව තිබෙන බව පෙනේ යයි ඉනික්බිති ඔහු කියයි.
- මෙහිදී ව්‍යාපාරයක නායකයන්ද පෝස්ටර් ඇලවීම බදු බ්ම් මට්ටමේ දේශපාලන වැඩ වලට සම්බන්ධ වීම පිලිබද ධනාත්මක ඇගවුමක් සහිත ප්‍රතිචාරයක් ප්‍රතිචාර තීරයේදී එක්තරා කියවන්නෙක් සටහන් කොට ඇත.
ඊට උත්තරයක් නොදෙන බ්ලොග්කරු ජවිපෙ පුද්ගලික සමාගමක පෝස්ටර් (යුනිලීවර් සමාගමේ) කොන්ත්‍රාත් පිට අලවනවා යැයි කියමින් මල්ලෙ පොල් උත්තරයක් වෙත ලිස්සා යයි.මේ මල්ලෙ පොල් උත්තරයද අතේ පැලවෙන බොරුවකි.uniliver සමාගමේ පෝස්ටර් ඇලවීම කෙසේ වුවද ජවිපෙට සම්බන්ද වෘත්තිය සමිති අදාල සමාගමේ කලමනාකාරිත්වයට එරෙහිව පෝස්ටර් ගැසූ බවද ඒ වරදට කිහිප දෙනෙක්ගේ වැඩ තහනම් වූ බවද මෙම ලියුම්කරුට මතකය.
වරක් වික්ටර් අයිවන් පිලිබද කාරනයක් මතු වූ විට taboo subjects මෙම ලියුම් කරු පසුපස පන්න පන්නා එය ඔප්පු කරන සාක්ෂි විමසුවේය.එසේ ඔහු සාක්ෂි විමසූයේ හරියට taboo යනු වැරදිලාවත් සාධක රහිතව කිසිම නිගමනයකට නොඑලඹෙන,අම්බානක තර්කානුකූල ලෙස දත්ත මතම තර්ක කරන පොර යැයි හැගවෙන පරිදිය.
කෙසේ වුවද අනුන්ගෙන් සාක්ෂි ඉල්ලන ටැබූ "වීරයා"
1.මර්වින්ගේ ජාතකය
2.මංගලගේ සමලිංගික / විෂමලිංගික බව
3.ජවිපෙ යුනිලීවර් පෝස්ටර් ඇලවීම වැනි "මහා සොයාගැනීම්" ඉදිරිපත් කොට තිබෙන්නේ කුමන සාක්ෂි හා සාධක මතද යන්න දැන ගැනීමට මෙම ලියුම්කරු තුල තදබල ආශාවක් පවතී.

කෙසේ වුවද එම අතුරු කාරනා පසෙක තබා යලි ප්‍රධාන කරුනට පිවිසෙමු.
වර්තමාන රජය උතුරේ යුද මුක්ත කලාපයටත් දෙමල සමාජය මතත් බෝම්බ අත හරින විට ටැබූගේ ස්ථාවරය යලි මතක් කර ගනිමු.
-චන්ඩි දෙන්නෙක් ගහගන්නකොට අපිට තියෙන්නේ අහකට වෙලා බලාගෙන ඉන්න එක-
මේ ඔහු ඒ ගැන පලකල ස්ථාවරයයි.
මාර රැඩිකල් ස්ථාවරයක් නේද?
රජය එවකට ගෙනගිය ආක්‍රමනශීලි හා අධිකාරිවාදී වැඩපිලිවෙල අභියස taboo සිටියේ එවැනි නපුංසක ස්ථාවරයකය.
දැන් රජය සිය මර්ධන හස්තය දකුනේ සමාජයේ ගෙල දෙස අරගෙන යමින් තිබේ.ටැබූද අපිද පුද්ගලිකව ආශා කලද නැති වුවද දකුනේ සමාජය තුල බිම් මට්ටමින් ඉතාම ව්‍යාප්ත වූ දේශපාලනයකට ජවිපෙ හිමිකම් කියයි.එයට ඇති ප්‍රබල සංවිධාන ජාලය අන් කාටත් වඩා වත්මන් පාලකයා දනී.මන්ද ශ්‍රීලනිපය මග හරිද්දි 2005 ජනාධිපතිවරන ව්‍යාපාරය සම්පූර්නයෙන් දිවවූයේ ජවිපෙ සංවිධාන බලය මතින් වන නිසාය.
අනෙත් අතට ඉදිරියේදී තමන්ට එජාපයටත් වඩා ජවිපෙ වෙතින් තර්ජනයක් එල්ල විය හැකි බව රජය දනී.රාජපක්ෂ පාලනය ජාතික ඇදුම අන්දවා මේ පෙරට ගෙන යමින් සිටින්නේ එජාපයේ දේශපාලන ආර්ථික වැඩපිලිවෙල වන නව ලිබරල් ධනවාදය මිස අනෙකක් නොවන බව තේරුම් ගැනීමට අමුතු දැනුමක් අවශ්‍ය නැත.
උදාහරනයක් ලෙස රජය කොන්දේසි වලට යටත්ව IMF නය ගන්නා විට එයට විරුද්ධ වීමට එජාපයට ඇති ගුනාත්මක ඉඩ අඩුය.මන්ද යත් නය ආර්ථිකය යනු එජාපයද අනුදත් ව්‍යාපෘතියම වන නිසාය.
එම නිසා මේවාට විරෝධය එන්නේ ජවිපෙ වෙතිනි.රජයට මෙය වැඩියෙන් අසීරු වෙන්නේ කලකට ඉහත නව ලිබරල්වාදයට/IMF ට එරෙහිව මොර දී ඒ දිශාවට ජන මතය යොමු කලේ රජයම වන බැවිනි.
මේ නිසා රජයේ ඊලග ඉලක්ක අතුරින් අනිවාර්ය ඉලක්කය කිසිදු විවාදයකින් තොරව ජවිපෙය.එසේ වුවද රජයේ ව්‍යාපෘතිය ජවිපෙන් අවසන් වන බව යමෙක් සිතනවා නම් එය ලාමක කල්පනාවකි.එම මර්ධනය ජවිපෙන් ඉවර නොවනු ඇති අතර සිය අධිකාරිවාදී මූලධර්මවාදී මනසට පටහැනි අදහස් දරන සියල්ලන් මර්ධනය කිරීමේ දිශාවට ජවිපෙ යටකරමින් එය ගලා යනු ඇත.

ජවිපෙට ගුටි වදින විට ඉන් ආතල් ගන්නා ටැබූ ලා එදාට ආයු බෝ වේවා මහා රජානෙනි යනුවෙන් කියනු ඇද්දැයි අපි නොදනිමු!





Thursday, August 6, 2009

හදිසි නීතිය මසකින් දීර්ඝ කෙරේ !කා වෙනුවෙන්ද?කුමකටද?


අද ( 06) රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය නැරඹූ අයෙක්ට එහි ප්‍රචාරය වුන වැදගත් පුවත් දෙකක් මතක තිබෙනවා ඇති.
එක් පුවතක් වුනේ මහ රජතුමාට අපහාස කරා යන චෝදනාව මත අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ කැදවුම්කරු ඇතුලු තවත් ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ පුවත.
පසුගිය දින වල පාසල් වාර විභාග ආශ්‍රිතව විශාල අලකලංචියක් සමාජයේ නිර්මානය වුනා.රට නැංවීමට පාරම් බාන බලධරයන්ට අවම වශයෙන් ගොං පාට් නොවී වගකීමක් සහිතව ප්‍රශ්න පත්‍රයක් හදාගන්නවත් බැහැ කියන අදහස ඒ සමග සමාජගත වෙන්න පටන් ගත්තා.අවිශිබම කැදවුම්කරු අත්අඩංගුවට ගන්නා ලද්දේ එම සිදුවීම පාදක කරගෙන ජනාධිපතිවරයාව විවේචනය කරන ලදී කියන චෝදනාව මත.
තාප්පයක - මහ රජානෝ විභාගයටත් කෙලියා- වැනි යමක් පින්තාරු කල බව පොලිසිය එල්ල කල චෝදනාවයි.ඉන් ජනාධිපතිවරයාට අපහාස වූ බවත් රට තුල නීතිය හා සාමය කඩාකප්පල් කිරීමටත් 88/89 වර්ගයේ ප්‍රචන්ඩත්වයක් ඇති කිරීමටත් මෙය හේතු විය හැකි බව පොලිසිය චෝදනා කොට තිබුනා.
අවිශිබම කැදවුම්කරු මෙය පින්තාරු කලාද නැද්ද යන්න වෙනම විවාදයක් වුනත් මින් මතුවෙන වැදගත් කාරනා කිහිපයක් තිබෙනවා.

1.මහ රජානෝ විභාගයටත් කෙලියා යන්න ජනාධිපතිට කල අපහාසයක් නම් රාජ්‍ය තන්ත්‍රය නිල වශයෙන්ම ජනාධිපති වූ කලී "මහ රජානෙක්" යැයි සිතා ගෙන ඉන්නා බව එක් අතෙකින් පැහැදිලි වෙනවා.
"මහ ඇදුරන් මහ කවියන් රජගේ මහ බිතක්කනට
පිටදී රැලි නැගෙන බැමින් විරුදාවලි බදිනා සද"
- දයාසේන ගුනසිංහ
මුලින්ම පෙනුනේ මහ රජානන් යන අදහස ජනාධිපතිගේ ගුන වැයීම උදෙසා වන්දිභට්ට කවියෙක් විසින් නිර්මානය කරන ලද සරල ප්‍රශස්තියක් බවයි.ඒ නිසා එය එතරම්ම ගනනකට ගත යුතු දෙයක් ලෙස සැලකුනේ නැහැ.
අනිත් අතට මේ ගැන කරන ප්‍රශ්න කිරීම් වලදී ආන්ඩුවේ ඇමතිවරුන් පැවසූ දෙයක් නම් -මෙය ජනාධිපතිට ජනතාව විසින් පිරිනම ලද නම්බුනාමයක් පමනක්-බවයි.
නමුත් දැන් තත්වය ඊට වඩා දුර ගොස් තිබෙන බව පෙනෙනවා.ජනාධිපති වූකලි මහ රජුය කියන අදහස රාජ්‍ය තන්ත්‍රය විසින් ගැඹුරින්ම බාරගෙන තිබෙන අදහසක් බව පෙනෙන්නට තිබෙනවා.

2. දෙවෙනුව ජනාධිපතිව විවේචනය කරමින් අදහසක් පල කිරීම ( පෝස්ටරයක් ගැසීම/පින්තාරු කිරීම) ජනාධිපතිට "අපහාසකිරීමක්" වන්නේ කෙසේද යන ගැටලුව මතු වෙනවා.
අප දන්නා තරමින් අපහාසයක් සහ විවේචනයක් අතර වෙනසක් තිබෙනවා.විවේචනය යන්න කොහෙත්ම වැරදි දෙයක් නෙමෙයි.ප්‍රජාතන්ත්‍රවාදයේ අවම සීමාව තුල පවා විවේචනය යන්න ඉහලින්ම පිලිගැනෙනවා.
- මහ රජතුමා නැමැති වේ*ගේ පුතා විභාගයට කෙලී-යනුවෙන් පෝස්ටර් ගැහුවා නම් එය අපහාසයක් ලෙස සැලකීමේ වරදක් නැහැ.නමුත් මෙතනදී වී තිබෙන්නේ ජනාධිපතිවරයාව විවේචනය කිරීමක්.එය ශිෂ්ට සම්පන්න සමාජයක පුරවැසියෙක් සතු පරම අයිතියක්.
රජතුමාට විරුද්ධව කතා කරන එක "අපහාසයක්" "දඩුවම් ලැබිය යුතු වරදක්" ලෙස සැලකුනේ රජවරු සිටි රාජාන්ඩු කාලයේ.රාජසිංහලා ප්‍රංශයේ ලුවීලා බිතාන්‍යයේ ජෝජ්ලා වැඩ කලේ ඒ ආකාරයට.
දැන් ජනාධිපතිට විරුද්ධ විවේචන අපහාස ලෙස සලකා මිනිසුන් දගගෙයි ලනවා නම් ඉන් අදහස් වෙන්නේ වර්තමාන "ප්‍රජාතන්ත්‍රවාදී" ලංකාවේ පාලකයන් ලංකාවත් ඒකාධිපති දරදඩු වැඩවසම් ආකෘතියක් කරා දක්කගෙන යාමට වැර දරන බවයි.
පසුගිය කාලයේ යම්තමින් දක්නට තිබුනු පාලකයන්ගේ ආඥාදායක මනෝභාවයන් දැන් විවෘතව නිර්වස්ත්‍රව සමාජයේ සැරිසරන්නට පටන්ගෙන තිබෙනවා.

මේ සමගම සම්බන්ධ වෙන අනිත් පුවත නම් හදිසි නීතිය නැවතත් දීර්ඝ කිරීම සම්බන්ධ පුවතයි.
යුද්ධය පැවති කාලයේදී පාලකයන්ගේ තර්කය වුනේ ත්‍රස්තවාදය මර්ධනය කරනු වස් හදිසි නීතිය අත්‍යාවශ්‍ය බවයි.ඇත්තටම ගත්තොත් ලංකාව කියන්නේ තමන්ගේ මෑතකාලීන ඉතිහාසයේ වැඩිම දශක ගනනාව හදිසි නීතිය යටතේ ගෙවනු ලැබූ රටක්.
හදිසි නීතිය රටක බලපැවැත්වෙනවා කියන්නේ ඇත්තටම "සාමාන්‍ය" තත්වයක් නෙමෙයි.එය විශේෂ තත්වයක්.නමුත් ලංකාව තුල විශේෂ තත්වය උත්ප්‍රාසාත්මක ලෙස සාමාන්‍ය තත්වය බවට පත්ව තිබෙනවා.
මෙම හදිසි නීතිය පසුගිය කාලයේ එල්ල වුනේ ත්‍රස්තවාදයට එරෙහිව විතරක් නෙමෙයි.දකුනේ සමාජයේ පැන නැගෙන වැඩ වර්ජන ශිෂ්‍ය උද්ඝෝෂන ආදියට පහර දීම සදහා හදිසි නිතිය පාලකයන් යොදාගත්තා.
රැකියා ඉල්ලමින් සටන් කරන උපාධිධාරින්ට කදුලු ගෑස් වැදුනේ හදිසි නීතිය යටතේ.රජය කෙරෙහි විවේචනාත්ම මාධ්‍යකරුවන් දඩයම් කිරීමට අත්අඩංගුවට ගෙන රදවා ගැනීමට අවශ්‍ය නෛතික සහය මෙම මර්ධන නීතියෙන් සැපයුනා.
මොනවා වුනත් යුද්ධය ට මේක උදවුවකි කියන ජනප්‍රිය අදහස තුල සමාජය පසුගිය කාලයේ හදිසි නීතියට එරෙහි නොවූ බව පෙනෙන්නට තිබුනා.
නමුත් දැන් යුද්ධය අවසන් වී "සාමය උදාවී"මාස තුනකට ආසන්න කාලයක් ගතවෙලා තිබෙනවා.
නමුත් ආන්ඩුව නැවත හදිසි නීතිය සම්මත කරගන්නවා.

ප්‍රභාකරන් නැති සන්දර්භයක් තුල දැන් මේ හදිසි නීතිය යොදාගන්නේ කුමකටද?කාට එරෙහිවද?
මෙම කාරනය අපි කලින් සාකච්ඡා කල අවිවිශිබම කැදවුම්කරු අත්අඩංගුවට ගැනීමේ සිද්දිය සමග සම්බන්ධයි.
උතුරේ ප්‍රභාකරන් සමග යුද්ධය ඉවර කල දකුනේ පාලකයා දැන් දකුනේ තමන්ට එරෙහි මත දරන්නන් ට එරෙහි මෙහෙයුමකට බරපතල ලෙස ප්‍රවේශ වී සිටිනවා.
දැන් බොහෝ අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිට විරුද්ධ එජාපයේ රනිල්.රනිල් වැඩක් නැති කෙනෙක් එම නිසා රජය විපක්ෂ බලවේග දඩයම් කලත් අවුලක් නැති බවයි.
ඇත්තටම අපි සමාජයක් ලෙස වරද්දා ගන්නවා නම් වරද්දාගන්නා බරපතල තැන මෙතනයි.
යුද්ධය ඉවර වුනා කියලා සමාජය එකතැන නතර වෙන්නේ නැහැ.සමාජය ඉදිරියට ගමන් කරන අතර ඒ ගමන් කරන මොහොතක් පාසා ගැටලු මතුවෙන්න පටන් ගන්නවා.
වර්තමාන පාලකයන්ට මේ ප්‍රශ්න වලට ඇත්තටම විසදුම් තිබෙනවාද?
අධ්‍යාපනයේ අර්බුද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගරා වැටීම පහුගිය කාලයේ ඉස්මත්තට ආ ගැටලු.උග්‍ර දරිද්‍රතාවය ආදායම් විෂමතාවය වගේ සමාජයේ ව්‍යුහාත්මක ගැටලු එකක්වත් යුද්ධය ඉවර වුනා කියල විසදෙන්නේ නැහැ.
කර්මාන්ත ශාලා වැහෙනවා.රැකියා විරහිත වූවන් දවසින් දවස වැඩිවෙනවා.මේ මොහොතේදිත් සෞන්දර්ය උපාධිධාරීන් 1000කට අධික පිරිසක් කොලඹදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.
-යුද්ධය කරපු රජතුමාට අනිත් ඒවත් කජ්ජක්ද-කියමින් ඉන්නවා මිස මේ එකදු ගැටලුවකටවත් උත්තර ලෙස සංයුක්ත ප්‍රවේශයක් බලයේ සිටින අයට නැති බව පැහැදිලියි.
ඉතින් ඒ ඒ ක්ෂේත්‍රයේ ගැටලු උත්සන්න වෙන තරමට ඒ ඒ ක්ෂේත්‍ර තුලින් විරෝධතා මතුවෙන එක වලක් වන්න බැහැ.
අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අයගේ විරෝධතා,වැඩකරන ජනයාගේ උද්ඝෝෂන,රැකියා අහිමිවෙන අයගේ විරෝධතා රැලි පිට රැලි නැග ඒම මේ අනුව බලාපොරොත්තු විය හැකි අනිවාර්යයක් මිස අහම්බයක් නෙමෙයි.
රජය මේ අනුව දැන් සිටම මර්ධන නීති මුවහත් කරමින් ඉන්නේ කුමක් වෙනුවෙන්ද?කාට එරෙහිවද?
සිහි බුද්ධියක් තිබෙන කිසිම කෙනෙක්ට මේ ප්‍රශ්නයට පිලිතුර පිලිබද දෙගිඩියාවක් තිබෙන්න විදිහක් නැහැ.

ෆැසිස්ට් වාදය යනු කුනු වී යන ධනවාදයේ පිලිකාවක් බව මැක්සිම් ගෝර්කි වරෙක පවසා තිබුනා.
සමාජ ක්‍රමය ජරාජීර්න වෙන තරමට දරුනු ඒකාධිපති ප්‍රවනතා පාලකයන්ගේ පැත්තෙන් මතුවෙන එක ඕනෑම සමාජයකට අදාල දෙයක්.
කිව යුත්තේ මෙපමනයි.
ආඥාදායකත්වයේ ගමන ඇරඹී තිබේ.
මෙය නියපොත්තෙන් කඩා දැමීමට වහ වහා සමාජය උත්සුක නොවුනහොත් අවසානය පිලිපිනයේ මාකෝස් පන්නයේ ඛේදනීය පිලිකාවකින් කෙලවර වෙන්නට ඉඩ තිබේ.



Monday, July 20, 2009

සෝමතිලක ජයමහ, ඉරාජ් සහ ඒ වගේ අය ගැන


මෙම සටහන තබන්නේ මීට මොහොතකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය වුන සුරම්‍ය රාත්‍රී වැඩසටහනේ නැවත විකාශය නැරඹීමෙන් පසු.ඊට සහභාගි වුනේ සෝමතිලක ජයමහ කලාකරුවායි.
සෝමතිලක ජයමහ ඇත්තටම කේවල පුද්ගලයෙක්ට වඩා එක්තරා යුගයක් නිරූපනය කරන චරිතයක් වැනි යැයි ඒ වැඩසටහන නරඹද්දි සිතුනා.අතිශය සරල ලෙස හැසිරුනු ඔහුගේ නිරහංකාරී ස්වභාවය මුලු වැඩසටහන පුරාම කැපී පෙනුනා.කිසිම මවා පෑමක් හෝ "රගදැක්වීමක්" කිරීමට උත්සාහ නොදැරුනු අතර ඔහු සම්පූර්නයෙන් කතා කලේ කලාව ගැන විතරයි.
 

ජයමහගේ ගීත සම්මුචයේ තිබුනු ගීත සියල්ලේම පාහේ අති මහත් සරල බවක් ගැබ්වෙලා තිබුනා.
"පොඩි දුවගේ සිනා පෙලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගේ සෙනෙහෙ විලයි
මගේ නිවස මගේ පැල්පතයි"යනුවෙන් ඔහු ගයද්දි ඊට යොදා තිබුනු සංගීතය ඉතාම සරල වුනත් ඉන් මැවුන මිහිර ඉතාම ලගන්නා සුලුයි.මෙවැනි ගීත වල සරල වචන වලින් උනත් අර්ථවත් ඒ වගේම හරයක් සහිත අනුභූතියක් තමයි ප්‍රතිනිර්මානය වුනේ.

කොහොම වුනත් ජයමහ එක්තරා "යුගයක්"නිරූපනය කරනවා කියල කියුවේ ජයමහගේ හැසිරීමත් ඔහුගේ ගීත තුලිනුත් අපි දකින ඉහත "ලක්ෂන" තවදුරටත් වර්තමාන ගීත ක්ෂේත්‍රය තුල විද්‍යාමාන නොවන නිසා.ඒවා "අතීතයට"අයත් ලක්ෂන මිස වර්තමානයට අදාල ලක්ෂන නෙමෙයි.
එහෙම නම් වර්තමානයේ තියෙන ලක්ෂන මොනවාද?
මේ ගැන හිතද්දි නිරායාසයෙන්ම හිසට ආවෙ ඉරාජ් වීරරත්න වැන්නෙක් සහභාගි වෙන මේවගේ සංවාද වැඩසටහන්.channel C වගේ චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක් බලද්දි ඉරාජ්ගෙන් සංකේතවත් වෙන කුලකයේ අය සහභාගි වෙන සංවාද වැඩසටහන් මදි නොකියන්න දැක ගන්න පුලුවන්.
ඒවායේදී බහුලව ඇසෙන්නට තියෙන දේවල් කිහිපයක් තියෙනවා.
"අපේ market එක ලංකාව නෙමෙයි.අපි international market එකයි ඉලක්ක කරන්නෙ.මේ music video එකට ලක්ෂ මෙච්චරයි.අරකට ලක්ෂ මෙච්චරයි" වගේ දේවල් මේවායේදී නිතරම ඇහෙනවා.
ඒ බො‍හෝ දෙනාගේ කතා විලාස ඇතුලෙ ඇත්තටම පෙනෙන්න තිබෙන්නෙ මවාපෑමක්,ආරෝපනය කරගත් චරිතයක් කියල සිතෙන්නෙ ජයමහ වැනි කලාකරුවෙකු කතාකරන ආකාරය හා සසදන විට.අපි අහල තිබුන දේ තමයි කලාකරුවා නිර්මාන බිහිකරන්නේ ආත්ම තෘප්තිය උදෙසා තමන් තුල කැකෑරෙන අත්දැකීම් ප්‍රතිනිර්මානය කරන්නය කියන කාරනය.හැබැයි මේ ඉරාජ් (ලා)ට අනුව ඔවුන් නිර්මාන ‍‍කරන්නේ කැකෑරෙන අනුභූතින් කෙසෙ වුනත් market එක බලාගෙන.
ඒ අයගේ අංක 1 වෙන්නෙ වෙලදපොල.
ඇත්තටම මේ අනුව වෙලා තියෙන්නෙ මොකක්ද?කලා කෘතිය තවත් එක වෙලද භාන්ඩයක් බවට පත්වීම.කලාකරුවා වෙලද භාන්ඩ නිපදවන නිෂ්පාදකයෙක් බවට පත්වීම.
මාර්කට් එකේ trend එක රැප් නම් රැප් ගීත හැදෙනවා.ඉල්ලුම තියෙන්නේ හිප් හොප් නම් හැදන්නේ ඒවා.දේශාභාමානී ගීත වලට මිලක් තියෙනවා නම් ඒවාත් අඩ නිරුවත් නැටුම් සහිත වේග රිද්ම videos නැගල යනවා නම් ඒවාත් බිහිකෙරෙනවා.
අපි දන්න තරමින් ගොවියනුත් වෙලෙන්දනුත් වගේ නිෂ්පාදකයන් වැඩකරන්නේ එහෙමයි.අල වල ඉල්ලුම වැඩි කාලෙට අල හදනවා.මාර්කට් එකේ නැගල යන්නෙ ගෝවා නම් ගෝවා හදනවා.සිගරට්වල මිල වැඩිවෙනවා නම් දුම්කොල වගා කරනවා.
කොටින්ම වර්තමානයේ කලාව කියන එක ආත්ම ප්‍රකාශන මාධ්‍යයක සිට වෙලදපොලේ හුවමාරු භාන්ඩයක වේශයට බල්ටියක් ගහල තියෙනවා.
මේ සන්දර්භය තුල කලාකරුවා යනු තවත් එක වෙලෙන්දෙක්.මේ වෙලෙන්දාගේ භූමිකාවට ජයමහගෙන් සංකේතවත් වෙන අර "ලක්ෂන" තවදුරටත් ගැලපෙන්නේ නැහැ.පොර ටෝක් නොදෙන,තමන් ලොක්කා යැයි නොහගවන "වෙලෙන්දෙක්" සාර්ථක වෙලෙන්දෙක් නෙමෙයි.ජයමහලාගේ ලක්ෂන ගීත ක්ෂේත්‍රයෙන් ක්‍රමයෙන් ඉවත් වෙලා ඉරාජ්ලාගේ පොර ටෝක් ලක්ෂන ආදේශ වෙන එක මේ අනුව සමහර උපාසකයන් කියන විදිහට හුදු සාරධර්ම පිරිහීමක්ම නෙමෙයි,ලංකාවේ ගීත ක්ෂේත්‍රයේ වෙලා තියන උග්‍ර වානිජකරනය (commercialization) ට අනුරූපීව සිද්ද වෙලා තියෙන දෙයක්.
දුක්ගන්නාරාල ගේ ඊනියා ගොවි ගීතය ආශ්‍රිතව පහුගිය දවස්වල ඇති වුන සංවාදයත් මේ වානිජකරනයේ බරපතල ගැඹුර පිලිබද නිදසුනක්.අනිත් අය සුලභ දේවල් මාකට් කරද්දි දුක්ගන්නාරාල වෙලදපොලේ විකුනන්න තරමක දුලභ භාන්ඩයක් හොයාගන්නවා.ඒ තමයි "ගැමිකම".කොලඹ සමාගමක රැකියාව කරමින් crecscat boulevard වර්ගයේ ජීවිතයක් ඇත්තටම ගතකරන දුක්ගන්නාරාල රූපවාහිනිය ඉස්සරහ මඩ සෝදා නොගත් ගොවියාගේ භූමිකාවට ඇතුල් වෙනවා."රගපානවා".තමන් ගැමියා කියල පෙන්නන්න හදනවා.ඔහුගේ පැවැත්ම ඒ රැගීමත් එක්කයි ගැට ගැහිලා තියෙන්නේ.ඉතින් ජයමහගේ නිරහංකාරීත්වය මෙවැන්නන්ගේ අහලකවත් නැති වීම අහඹුවක් නෙමෙයි.
"ඔයා ඔච්චර ගැමියා නම් ලමයින්ව ජාත්‍යන්තර පාසලකට යවන්නේ ඇයි?"කියල ස්වර්නවාහිනයේදී ලහිරු සහ මුදිත ඇහුවම දුක්ගන්නාරාලගේ ගැමිකම කොර වෙනවා.එයාගෙ ලමයි යන international එක රජයේ පාසල්වලට වඩා ගැමිකම,සිංහල බෞද්ධකම තියෙන පාසලක් යැයි බේගලයක් අත් හරින දුක්ගන්නාරාල ඒ ප්‍රශ්නයෙන් ලිස්සලා යනවා.

ගීත වලට වර්තමානයේ පද යෙදෙන ආකාරයත් මේ එක්කම තේරුම් ගන්න පුලුවන්.කලාකරුවා නමැති වෙලෙන්දා බලන්නේ මාර්කට් එකේ නැගල යන රැල්ල නිසා ඔහු අතින් ඉස්සර වෙලාම හැදෙන්නේ රැල්ලට අනුකූල beat එක.සාදා නිම කල තනුවට පද යෙදීමේ ඉරනමට මේ අනුව ගීත රචකයන් පත්වෙලා තියෙනවා.ඒත් එක්ක ලියැවෙන ගීත වල ඇත්තටම පද රචනය හුදෙක් ජෝක් වී යාම සිදුවී තිබෙනවා.
"මට හිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නත් ඉඩ නැහැ " කියල ලියද්දි ඒවා නිකම්ම නිකම් වචන විතරයි."හන්තානේ මල්පාරේ සංසාරේ"වගේ කොහෙත්ම සම්බන්ධයක් නැති වචන ටිකක් අමුනන එක බවට ගීත රචකයාගේ කාර්යය ලඝු වෙලා තියෙනවා.ජයමහගේ ඉතාම සරල ගීත වල පවතින අර්ථයවත් මේ නූතන ගීත වල නැති වීම සිදු වෙන්නේ ඒ අනුව.
මෙම වානිජකරනය අද ඊයේ ආරම්භ වුන එකක් නොවෙයි.මේකට දශක ගනනාවක ඉතිහාසයක් තියෙනවා.නමුත් මෙය අද තරම් උග්‍ර හා රක්තපාත අඩියකට අතීතයේ පැමින තිබුනේ නැහැ.කොහොම වුනත් අන්තිමේදී වානිජකරනය විසින් මානුශික ලක්ෂන ගීත කලාවෙන් ක්‍රමයෙන් ඉවත්කොට තිබෙන අතර වැඩි වැඩියෙන් මවාපෑම් හා ව්‍යාජ රගදැක්වීම් වල ගොදුරක් බවට ක්ෂේත්‍රය පත්කොට තිබෙනවා කියන එක පැහැදිලියි.
( ඉරාජ් සංගීතවත් කල "හිතුමතේ" ගීතය ගායනා කල රොමේෂ් හා ලක්ෂාන්ව නිර්දය විදිහට ගීතය ගැයීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමේ සිදුවීම කලාකරුවා කෙතරම් දුරට කෑදර,මනුස්සකමක් නොතකන,මුදලට ලොබ බදින බඩජාරි සතෙක් බවට වානිජවාදී සන්දර්භයක් තුල පත්වී තිබෙන ආකාරය පෙන්නුම් කරන තව සිදුවීමක්)

වානිජකරනය කියන්නේ අද අපි ජීවත් වෙන සමාජ ක්‍රමය (මේකට ධනවාදය කියල කියනවා) තුල තියන අනිවාර්ය ලක්ෂනයක්.පූර්ව ධනවාදි යුගවල ගෞරවයෙන් සැලකුනු දේවල් හැමදෙයක්ම හුදු වෙලදාමක් බවට පත් කරන එක ධනවාදය විසින් සිදුකලා.අතිතයේ ගමේ වෙද මහතා කියන්නෙ මුදල් මත නොනැසෙන එක්තරා අන්දමක ගෞරවනීය භූමිකාවක්.නමුත් ධනවාදය විසින් වෛද්‍ය වෘත්තිය කියන එක හුදු මුදල්මය සබදතාවයක් බවට පත්කලා.වර්තමාන වෛද්‍යවරයා යනු තමන්ට ලැබෙන පිටරට සවාරිය වෙනුවෙන් ඖෂධ සමාගම් උදෙසා රෝගීන් උගස් කරන්නෙක් බවට පත්වෙන්නේ ඒ නිසා.ගුරුවරයාගේ අතීත පෞරුෂය ගිලිහිලා ටියුෂන් එකට ලමයි ඇද්ද ගැනීම වෙනුවෙන් කුනුහරුප කියන,මෝඩ විහිලු කරන ජෝකරයන්ගේ තත්වයට එම වෘත්තිය පත්වෙලා තියෙන්නේ ඒ නිසා.
කලාවට සිදුවී තිබෙන්නේත් එය මිස අනෙකක් නෙමෙයි.කලාව තුල පැවැති මනුශ්‍ය සාරය ක්‍රමයෙන් අහිමි ව යාම ධනවාදී යථාර්තයක් තුල වැලැක්විය හැක්කක් නෙමෙයි.වැදගත් වෙන්නෙ කලාකරුවන්ට බැන අඩ ගසන එකටත් වඩා ඔවුන්ව නිර්මානුශීය හපයක් බවට රූපාන්තරනය කරන ධනවාදී ව්‍යුහයේ ස්වරූපය තේරුම් ගැනීමයි.

"මෙතෙක් ගරුත්වයට භාජනය වූ ගෞරව පූර්වක විස්මයකින් යුතුව සැලකූ හැම වෘත්තියකටම තිබුනු ප්‍රභා මන්ඩලය ධනපති පංතිය විසින් ඉවත් කෙරිනි.එය වෛද්‍යවරයා,නීතිවේදියා,පූජකයා,කවියා,විද්‍යා කටයුතු වල නියුතු වෙන්නා ආදි හැමකෙනෙක්ම වැටුප් ලබන ශ්‍රමිකයන් බවට පත්කලේය"

කොමියුනිස්ට් ප්‍රකාශනය
-කාල් මාක්ස් / ෆෙඩ්රික් එංගල්ස්-

මේ අවුරුදු 150ටත් පමන පෙර ධනවාදය නිසා එතෙක් ගෞරවයෙන් සැලකුනු දේවල් වලට කෙලවෙන ආකාරය කාල් මාක්ස් පුරෝකථනය කල අන්දමයි.
කොහොම වුනත් අවසානයේ කියන්න ඕනේ දේ නම් මේ සිදුවන සියල්ල ඉතාම දේශපාලනික බවයි.එක්තරා බ්ලොග් ලියන මහත්මයෙක් මම මාක්ස්වාදයෙන් එහා හිතන්න බැරි මතාන්ධයෙක් ලෙස හදුන්වා දී තිබුනා මට මතකයි.
ඒ මහතාට පිලිතුරු දීමේ අවශ්‍යතාවයක් මෙහිලා මට නැතත් මේ වගේම ප්‍රශ්නයකට දශක කිහිපයකට පෙර අර්නස්ටෝ චේ ගෙවාරා දුන් පිලිතුරක් මෙහිදි කල්පනාවට එනවා.
- යථාර්තය සමාජවාදී නම්,මට කල හැක්කක් නැත-
මතාන්ධ වීම වේවා නොවේවා කාරනා සිදු වී තිබෙන්නේ ඉහත ආකාරයටයි.

ඇත්ත වශයෙන්ම කලාව මීට වඩා හොද තැනකට ගෙනියන්න බැරිද?කලාව දරදඩු වෙලද ග්‍රහනයෙන් මුදවාගෙන වඩා මානුශික පරාසයකට අරන් යන්න බැරිද?දුක්ගන්නාරාලගේ ව්‍යාජත්වය වෙනුවට ජයමහගේ නිරහංකාරිත්වය කලාවට රැගෙන ඒම කල නොහැකිද?
ඒක කරන්නේ කොහොමද?
මේක ගැන මට සදා නිම කල උත්තරයක් නැහැ.
නමුත් සද් කලාවට ලැදි,මනුශ්‍යත්වයට ගරු කරන සහෘදයින් එකතු වෙලා කතාකලොත් උත්තරයක් හොයා ගන්න අපට බැරි වෙන එකකුත් නැති බව අවසාන වශයෙන් සටහන් කල යුතුයි.

Sunday, June 28, 2009

ජාතිවාදය හා සමාජ ක්‍රමය පිලිබදව



1.සිංහල ජාතිවාදය සිය අනෙකා බවට දෙමලාව පරිකල්පනය කරගනී.
දෙමල ජාතිවාදය සිය අනෙකා බවට සිංහලයා ‍පරිකල්පනය කරගනී.

2.සිංහල ජාතිවාදයට අනුව සිංහලයාගේ විදවීම් වල මූලය දෙමලාය.
ඒ අනුව එය දෙමල රාජ්‍ය භාෂාවක් කිරීමට විරුද්ධය.විශ්ව විද්‍යාල ප්‍රවේශය දෙමලාට සීමා කරනවාට පක්ෂය.83 කලු ජූලිය "නරක" වුනාට ඒක සිද්ධ වුනේ දෙමලාගේ නොපනත්කම් නිසාය.මේ දිවයින තමන්ගේ උරුමය වන අතර දෙමලා තමන් කියන පරිදි සිටිනතාක් ඔවුන්ට ජීවත්වීමට ඉඩ දීමට එය සූදානම්ය.
දෙමල ජාතිවාදයට අනුව සිය වර්ගයාගේ සියලු විදවීම් වල මූලය සිංහලයාය.උතුරු නැගෙනහිර එයට අනුව දෙමල ජනයාගේ උරුමයක් වන අතර සිංහලයන් එහි පදිංචි වෙනවාට එය විරුද්ධය.කිලිනොච්චියේ පාසල් වලට පෙල පොත් නොලැබෙන්නේ සිංහල ආධිපත්‍යයේ වරද නිසාය.උතුරේ ගොවියාට නිසි මිලක් නොලැබෙන්නේ සිංහල වර්ගයාගේ ආන්ඩුවේ නොපනත්කම නිසාය.

3.සිංහල ජාතිවාදයට දෙමල වර්ගයාට එරෙහි චෝදනා ලැයිස්තුවක් පවතී.
අරන්තලාවේ භික්ෂූන් පෙති ගැසීම,දලදා මැදුරට බෝම්බ ගැසීම,මායිම් ගම්මාන වල අහිංසකයන් කපා කොටා දැමීම ආදි වශයෙන් විශාල කරුනු සහිත අනුවේදනීය ලැයිස්තුවකි එය
දෙමල ජාතිවාදයට සිංහල වර්ගයාට එරෙහිව එවැනිම ලැයිස්තුවක් ඇත.සිංහල පමනක් රාජ්‍ය භාෂාව කොට දෙමලා නොසලකා දැමීම,83 සංහාරය,දෙමල ස්ත්‍රීන් හමුදාවේ ඇතැම් අය විසින් දූෂනය කිරීම ( යාපනයේ ක්‍රිෂාන්ති සිදුවීම),සිය නෑදෑයන් මත බෝම්බ හෙලීම-මේ ලැයිස්තුවද අතිශය දීර්ඝය.කම්පනීය සිදුවීම් වලින් ගහනය.
දැන් මෙතනින් එහාට කතන්දරය කුමක්ද?
මේ දෙපිරිසට උනුනට එරෙහිව අමෝරා ගැනීමට ආයුද අපමන ඇත.මරා ගැනීමට ඉදිරිපත් කල හැකි හේතු අපමන ඇත.සිංහල ජාතිවාදය එකක් කියද්දි දෙමල ජාතිවාදය තවෙකක් කියයි.එක් පාර්ශවයක් අනුවේදනීයව එක් කරුනක් පෙන්වා දෙද්දී අනෙත් පාර්ශවය වෙනත් එවැනිම එකක් පෙන්වා දෙයි.මේවායේ ආරම්භය සෙවීම පිස්සු හැදෙන වැඩකි.

4.ඒ කරුනු පසෙක තිබියදී මහ පොලොව මත දිග හැරෙන වෙනත් කතාන්දරයක්ද පවතී.
රටේ කෘෂි කර්මාන්තය අතිශය පසුගාමීය.ඒක ඇතුලෙ උතුරේ ගොවියාට සේම දකුනේ ගොවියාටද පැවැත්මක් නැහැ.ඔවුන්ගේ පැවැත්ම අවිනිශ්චිත කලේ කවරක් විසින්ද?
මාවිල්මඩ සිංහල තරුනයාට වගේම හෙට සරනාගත කදවුරෙන් එලියට ඇදෙන දෙමල තරුනයාටද නිශ්චිත රැකියාවක් සහතික නැත.
සිංහල මිනිසුන් නිදහස් වෙලද කලාප නමැති වහල් කලාප තුලද දෙමල මිනිසුන් තේ වතු නමැති වහල් භූමි තුලද අපා දුක් විදිති.දෙපිරිසම හෙම්බත්ය.පීඩිතය.ඒ මතින් පැන නැගෙන ධනය වෙහෙසෙන්නන්ට අයිති නැත.
සදාකාලික දුගීබවේ වගකිවයුත්තා කවුද?
පාසලට පෙල පොත් ටික,ගොඩනැගිල්ල නැතිව උතුරේ පාසල් ලමයා හූල්ලද්දී සියඹලාන්ඩුවටද ඒ සෙතමය.එහි පාසල් දරුවාද අකුරු කරන්නට යම්තම් නොතෙමෙන තැනක් සොයමින් ලතැවේ.
සිංහල තරුනයාට රස්සා නැත්තෙ ඇයි?
"රටේ සුලු ජාතින්ගේ බෝවීම වැඩියි,හේතුව උන්" යැයි සිංහල ජාතිවාදය දෙමල ජනයා දෙස ඇගිල්ල දිගු කොට සිංහල පීඩිතයාව දෙමලාට එරෙහිව උසිගන්වයි.
දෙමල තරුනයාට රස්සා නැත්තෙ ඇයි?
"රටේ ආධිපත්‍යය සිංහලුන්ට,උන් අපිට වෙනස්කම් කරනවා" යැයි දෙමල ජාතිවාදය විරක්ෂාවේ ඒජන්තයා ලෙස සිංහල වර්ගයාව පෙන්නුම් කරයි.
මරා ගන්නට වලිකන මේ දෙපිරිසට විරැකියාව යනු තමන් දෙගොල්ලන්ටම "පොදු" තත්වයකි යන සරල කාරනය නොපෙනේ.
කෘෂිකර්මයේ නොදියුනු කම තමන් දෙපිරිසම "එක හා සමාන ලෙස" පෙලන බව ඔවුනට නොහැගේ.
දුගීකම සිය ප්‍රජාවන් දෙකටම අදාල ශාපයක් බව ඔවුන් තේරුම් නොගනී.

5.සියල්ලන්ම මග හරින ඇත්ත කාරනය අනෙකකි.
සිංහල මිනිසාට රස්සාවක් නැත්තේ දෙමලා නිසා නොව දෙමල මිනිසාට රස්සාවක් නැත්තේ සිංහලයා නිසා නොව මේ දෙපිරිසිටම රස්සා නැත්තේ රස්සා දිය නොහැකි පසුගාමී ආර්ථික ක්‍රමය නිසාය යන්න ඇත්ත කාරනයයි.
සිංහලයාගේද දෙමලාගේද විදවීම් වල සැබෑ හේතුව පවතින සිස්ටම් එකේ නොදියුනු බවයි.
සිංහලයන් වගේම දෙමලුන් බහුතරය දුප්පත් ඒ නිසාය.දෙගොල්ලන්ටම රස්සා නිශ්චිත නැත්තේ ඒ නිසාය.දෙපිරිසේම අනාගතය අවිනිශ්චිත වන්නේ,සිහල වාගේම දෙමල දරුවන්ටද හරි හමන් අධ්‍යාපනයක්,සුබසාධන සේවයක් නොලැබෙන්නේ සිංහලයන් මෙන්ම දෙමලුන්ද ජීවත් වෙන සමාජ ආර්ථික රාමුව ඉතාම නොදියුනු,පසුගාමී හා අසාධාරන එකක් වන නිසාය.
මේ නිසා වඩා හොද ජීවිතයක් වෙනුවෙන් ඇත්තටම අරගල කල යුත්තේ කුමක් සමගද?
වඩා සාධාරන හා දියුනු ආර්ථික සමාජ පරිසරයක් නිර්මානය කිරීම වෙනුවෙන් පවතින නොදියුනු ක්‍රමයට එරෙහිව නැගිටින එකයි ඇත්තටම සිදුවිය යුත්තේ.
නමුත් ඇත්තටම සිදුවෙන්නේ කුමක්ද?system එකට එරෙහි සටන පසෙක තබා එක ලෙස දුක් විදින ප්‍රජාවන් දෙකක් එකිනෙකා සමග යුද වැදීමයි.සිය විමුක්තිය වෙනුවෙන් දෙමලා සිංහල දුප්පතාව කැති ගායි.තමාට ලැබේ යැයි සිතන "උරුමය" වෙනුවෙන් සිංහලයා දෙමලාව බැද දමා පහුරු ගෑ යුතු යැයි විශ්වාස කරයි.
නිදහසින් පසු ගත වූ අවුරුදු 60 තුලම අපි මේ දේ ඔනෙවාටත් වඩා හොදින් සිදු කලෙමු.සිංහල මෙන්ම දෙමල ලේ වලින් මේ බිම කෙතරම් නම් තෙත් වුනාද?
නමුත් අවසානයේ සිංහලයා හෝ දෙමලා ලද සැබෑ විමුක්තියක් වේද?සැබෑනිදහසක් වේද?
රට තාම එක තැන හිරිවැටී තිබේ.ජනගහනයෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් තවම ජිවත් වෙන්නේ දෛනික ආදායම ඩොලර් 2 නැමැති ඉතාම දරුනු දරිද්‍රතා සීමාවකට පහලින්ය.
ප්‍රභාකරන්ට නෙලපු නිසා තමන් ගොඩ යැයි සිංහලයා සිතා සිටී.
හමුදාවට වදින කාලේ තමන් ගොඩ යැයි සාමාන්‍ය දෙමලාද සිතා සිටින්නට ඇත.
නමුත් සත්‍යය නම් මේ කවුරුත් ගොඩ නොගිය බවයි.ගොඩ නොයන බවයි.මන්ද යත් සකල විදි අර්බුදයන්ගේ පදනම වන දුර්වල සමාජ ආර්ථික ආකෘතිය නමැති බැම්මෙන් මේ කවුරුත් වෙලී සිටින නිසාය.
පවතින අසාධාරන සහ අසාර්ථක system එක තිබෙන තුරු මේ කවුරුත් ඇත්ත වශයෙන්ම "ගොඩ" නොයනු ඇත.

6.එක ලෙස දුක් විදින ප්‍රජාවන් දෙකක් එකිනෙකා හා කෙටවීමෙන් රැකෙන්නේ කුමක්ද?
සමාජ ආර්ථික ක්‍රමයයි.පීඩාවට ලක්වූවන් එකිනෙකා කැති ගා ගන්නා අතර පීඩනයේ සැබෑ හේතුව වන "ක්‍රමය" නිරුපද්‍රිතව විරාජමානව පවතී.මේ අවුරුදු 60 ක ලංකාවේ දේශපාලන ඉතිහාසය එක වැකියකට ගත්විට ලැබෙන සාරාංශයයි.
මේ අනුව සිංහලයන්ව හා දෙමලුන්ව එකිනෙකාට එරෙහිව උසිගන්වන සිංහල/දෙමල ජාතිවාදයන් අවසන් වශයෙන් සේවය කරන්නේ කුමකටද?
මේ දෙකම සේවය කරන්නේ සිංහලයාව හා දෙමලාව පීඩාවට පත් කරන system එකට මිස අනෙකකට නොවේ.
මේ අනුව කෙතරම් පරස්පර යැයි පෙනුනත් මේ ජාතිවාදයන් දෙකම එකම කාසියේ දෙපැත්තය.එකක් මත අනෙක යැපේ.එකම අවසානයක් වෙනුවෙන් දෙකම පේවේ.

7.දෙමල ජාතිවාදයට විරුද්ධ ඇතැමුන් සිංහල ජාතිවාදයේ වරදක් නොදකී.දෙමල වර්ගවාදයට එ‍රෙහිව ඔවුන් සිංහල වර්ගවාදයේ සරන යයි.
(නලින් ද සිල්වා,චින්තන පර්ෂදය,චම්පික රනවක,හෙල උරුමය,චන්න සුදත් ජයසුමන - කැමති තරමක් නම් දාගෙන හිස් තැන් පුරවා ගන්න)
සිංහල ජාතිවාදයට විරුද්ධ තවත් සමහරුන් දෙමල ජාතිවාදය (සෘජුව හෝ වක්‍රව)සාධාරනීකරනය කරමින් ඒ වෙනුවෙන් කතා කරති.
(වික්‍රමබාහු,කුමාර් රූපසිංහ,නිමල්කා ප්‍රනාන්දු,නහුතයක් රාජ්‍ය නොවන සංවිධාන. - etc,)

8.සැබැවින්ම අවශ්‍ය මේ දෙකම නොවේ.මේ දෙකම එකම කාසියේ දෙපැත්ත බව තේරුම් ගනිමින් ප්‍රශ්නයේ ඇත්ත "මූලය"වන ක්‍රමයේ ගැටලුව මතු කරගන්නා දේශපාලන භාවිතයක් අවශ්‍ය වී තිබේ.
සිංහලයන් හා දෙමලුන් උනුනට එරෙහිව නොව දෙපිරිසේම පොදු සතුරා වන සමාජ ක්‍රමයට එරෙහිව උසිගැන්විය යුතුය.
මරා දැමිය යුත්තේ ප්‍රජාවන් දෙකේ දුක් විදින අහිංසකයන් නොව ප්‍රජාවන් දෙක පෙලන සමාජ ක්‍රමයයි.
කැති ගෑ යුත්තේ දෙපාර්ශවයේ සාමාජිකයන් නොවේ.
දෙපාර්ශවය වහල්භාවයට පත්කොට තිබෙන සමාජ ආකෘතියයි.එම ආකෘතියේ පදනමයි.