Monday, February 23, 2009

මරනය

සියලු මිනිස්සු මිය යන්නෝමය.එහෙත් මරනය එහි වැදගත්කමින් විවිධ විය හැක."මරනය සියලු මිනිසුන් කරා එක ලෙසම එලඹෙන නමුත් එය තායි පර්වතයට වඩා බර හෝ පිහාටුවකට වඩා සැහැල්ලු විය හැක"යි පැරනි චීන ලේඛකයෙක් වූ ස්සුමා වියන් කීවේය.ජනතාව උදෙසා මියයාම තායි පර්වතයට වඩා බරය.ෆැසිස්ට්වාදීන් වෙනුවෙන් වැඩකිරීමත් සූරාකන්නන් හා පීඩකයන් වෙනුවෙන් මිය යාමත් පිහාටුවකට වඩා සැහැල්ලුය

- මා ඕ සේතුං
"ජනතාවට සේවය කරන්න"(1944 සැප්තැම්බර් 8)
‍තෝරාගත් කෘති 3වන කාන්ඩය

Sunday, February 22, 2009

නතර වීම

මම ඇගේ අත ගනිමි
ඇගිලි අතරින්
ඇගිලි යවලා
ඇගිලි තුඩුගෙන පිරිමදිමි.
බලන්නේ තොප මොනවාද?

ඔලුව ගිනිගෙන දුවන අය මෙන්
මලු අතින් ගෙන උනුන් මැඩගෙන
පාර පැනැගෙන දුවනවා
යුගය අවසන හමන සුලගේ
ඔත්තුවක්වත් ලැබිලදෝ සැක සිතේ
දත් හපාගෙන තරගයෙක මෙන්
ගැටෙනවා බිම වැටෙනවා
නැගෙනවා යලි දුවනවා

ඇගේ නෙත් මා සිත් අදී
පතුල නොපෙනෙන නිල් සයුර වැනි
හිරු ගැටී බබලන
නිල් සයුර තුල කිමිදෙමි

තරගයට දුවන්නෝ තැනින් තැන ගිමන් ලා
මධු විතෙන් නැහැවිලා
දෙතොල් කිති කැවෙනවා
උදම් රල සේ උදම් බස් නැගෙනවා
මම දොස්තර
ඔබ කවුරුද?
නව විස්තර
තව ඕනෙද?
MBBS
ලන්ඩන්
BSC
මොස්කව්
HSBC
කැලි‍‍ෆෝනියා
APRC
මට්ටක්කුලිය
දුව?
එයාට නම් අනේ බැරි උනා
ඉංග්ලිෂ් මීඩියම් ලෝ කරනවා
එක අතකින් මොකද නේ
දොස්තරල රටේ කොච්චරද?
උදම් රල කැලඹෙමින් නැගෙනවා
ඇය සමග මම පසෙක බලාගෙන ඉන්නවා

නිකමෙක්ය අර බලන්
කෑ ගසනු ඇසේවි
සරදමක හීය හද සිදුරු කර ඇදේවි
අත ගන්න තව තදින් බලන් අත ඇරේවි
උදම් රල කොතෙක් නම් බිහිසුනුද සිතේවි

තරගයේ තැනක් නැති අයයි අප කියාවි
කිය කියා තව තවත් හතිලමින් දුවාවි
දුවනු මිස වෙන යමක් නොදත්තෝ හැම තැනම
ඒ වුනත් එකතැනක
නැවතීම කොයිතරම්
සුන්දරද අපිට මිස උන්ට නොම දැනේවි


Thursday, February 19, 2009

අතීත ශ්‍රී විභූතිය -පෙනුම හා හරය එකක්ද? - 2




මීට පෙර සටහනින් අපි ඉතිහාසය යනු ඉතාම පවිත්ර එකකි යන අදහස ව්‍යාජයක් බව සදහන් කලා.ඉන්පසුව මතුවුන ප්රශ්නය වුනේ එහෙම මිථ්‍යාවක් -අපි- සාතිශය බහුතරය පිලිගෙන ඉන්නේ ඇයිද කියන කාරනය.
මෙයට පිලිතුර සමාජ දෘෂ්ටිය පිලිබද මාතෘකාව සමග සම්බන්ධ වන බව මා සදහන් කරනු ලැබුවා.දැන් එතනින් ඉදිරියට යාමට අපි වෑයම් කරමු.
සමාජයක තිබෙන අදහස් පද්ධතීන් හා මතවාදයන්ගේ එකතුව දෘෂ්ටිවාදය-ideology- යන පදයෙන් අදහස් වෙනවා.
සරලවම ගතහොත් ඔබත් මමත් ලෝකය දකිනවා.ලෝකය ගැන විවිද මතයන් දරනවා.දැන් මේ අදහස් අපගේ ස්වාධීන නිර්මල අදහස්ද?මේ අදහස් මතු වන්නේ කොතැනින්ද?
බැලූ බැල්මට අපේ අදහස් අප තුලින්ම එන ඒවා බවයි පෙනෙන්නෙ.මම දරන්නෙ මට ඕන අදහස මිස වෙන කුමක්දැයි ඕනෙම අයෙකුට සිතේවි.
නමුත් තරමක් බරපතල විදිහට කල්පනා කලහොත් ඇත්ත තත්වය ඊට වඩා‍ වෙනස් බව තේරුම් ගත හැකියි.
අපගේ සිතීම ඇත්ත වශයෙන්ම අපගේ පරම නිමැවුමක් නොව සමාජයීය නිර්මිතයක්.තනි තනිව කිසිම පුද්ගලයෙක්ට පවතින්න බැහැ.මිනිසාගේ පැවැත්ම ආරක්ෂා වෙන්නෙ හා ගොඩනැගෙන්නේ ඔහු සමාජයක් ලෙස සංවිධානය වී සිටින නිසා.මිනිසා හුදෙක් ජීව විද්‍යාත්මක සතෙක් පමනක් නොවෙයි සමාජ සත්වයෙක් ලෙස හදුන් වන්නේ ඒ නිසා.අප සිතන පතන ආකාරය අපි ජීවත්වෙන නිශ්චිත සමාජ තත්වයන් හා කොන්දේසි විසින් හැඩගස්වනු ලබනවා.උපන්දා සිට විවිධ මත අප තුලට කැවෙනවා.පවුල් සංස්ථාවෙන් සරලව පටන් ගන්නා මේ ක්රියාවලිය ලමයෙක් ‍උස් මහත් වෙනවිට අනුක්ර‍මයෙන් ක්රමානුකූල ස්වභාවයක් ගන්නවා.පාසල,අධ්‍යාපන ක්රමය වැනි ස්ථාපිත ව්‍යුහයන්ට ලමුන් ඇතුලු වූ තැන් සිට ඔවුන්ගේ හිස තුලට විවිධ මතවාදයන් ඇතුල් කෙරෙනවා.අනෙත් අතට ආගම,ජනමාධ්‍ය වගේ ස්ථාපිතයන් විසිනුත් අපගේ දෘෂ්ටිය මහා පරිමාන විදිහට පාලනය කරනවා සහ හැඩ ගස්වනවා.
මේ අනුව අ‍පගේ දෘෂ්ටිය යනු අප තුලින්ම එන පරම වශයෙන් ස්වාධීන වූ එකක් නොවෙයි එක්තරා අන්දමකට සමාජයීය තත්වයන් හා බලවේගයන් විසින් අප තුල උපදවාලන්නක් බව පැහැදිලියි.
අපගේ දෘෂ්ටිය හැඩගස්වන අධ්‍යාපන ක්රමවේදය,මාධ්‍ය වැනි දේවල් දෘෂ්ටිවාදයේ වාහකයන්(instruments of ideology)ලෙස හදුන්වනවා නම් එම දෘෂ්ටිමය වාහකයන් හැසිරෙන්නේ කොහොමද?
ඉතාම පැහැදිලිව සමාජ‍යක බලය සහිත පිරිස් විසින් මෙම වාහකයන් හසුරවනු ලබනවා.
උදාහරනයක් ලෙස ජනමාධ්‍ය හැසිරවීම සිදුවන්නේ ඊට ප්රාග්ධනය ආයෝජනය කල ප්රාග්ධන හිමියාගේ අභිලාෂයන්ට යටත්ව.අධ්‍යාපන විෂය පද්ධති ගොඩනැගෙන්නේ රාජ්‍යයේ නිල පාලකයන්ගේ අභිප්රායන්ට යටත්ව.

යම් යුගයක රජයන අදහස් වූ කලී එම යුගයේ පාලක පංතියේ අදහස් වේ
- කාල් මාක්ස්

මේ අනුව සමාජයේ බලය සහිත පිරිස්වලට සමාජ දෘෂ්ටිය මෙහෙයවීමේ තීරනාත්මක බලය හිමිවෙනවා.මේ අනුව සාමාන්‍ය තත්වයන් යටතේ සමාජයක අධිනිශ්චය වෙන්නෙ අධිපති පංතියේ මතවාදය.
(සමාජ ක්රමයක් තවත් සමාජ ක්රමයක් දක්වා මාරු වෙන විප්ලවකාරී තත්වයක් යටතේ මෙය වෙනස් විය හැකියි.එනම් පවත්නා සමාජ ආකෘතිය තුල සමාජ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යන්න බැරිව අධිපති පංතිය අර්බුදයට ගිය විට,සමාජ පදනම අධිපතීන්ට අවාසිදායක විදියට වෙනස්වෙන්න පටන්ගන්නා විට අධිපති මතය ක්රමයෙන් පරාජිත මතය බවට පත්ව පල්ලම් බැසීම සිදු වෙනවා.ලංකාව වැඩවසම් යුගයෙන් ධනවාදී යුගයට මාරු වෙද්දී රදල අධිපතීන්ගේ තිබුන ඇතැම් අදහස් නිද-කුල පාරිශුද්ධතාවය යටපත් වූ අන්දම සැලකිල්ලට ගන්න.කෙසේ වුනත් සාමාන්‍ය තත්වයක් තුල ඒ කියන්නෙ අධිපති පංතියේ පාලනය අවුලක් නැතිව ගෙනයනු ලබන අවස්ථාවලදී රජකරන්නේ අධිකාරියේ අභිලාෂය.වැඩවසම් ක්රමය සාමාන්‍ය මට්ටමේ පවතින කාලයේ රජකලේ කුල පාරිශුද්ධතාවය පිලිබද අදහස)
මෙහි අදහස අධිපති මතවාදයට අමතර වෙනත් අදහස් සමාජයක නැත යන්න නොවෙයි.ඕනෑ තරමක් විකල්ප අදහස් සමාජයක් තුල පැවතිය හැකි වුනත් මූලික මතවාදය ලෙස අනසක පතුරවාගෙන සිටින්නේ අධිපති පාංතික මතවාදය.
යුද්ධය පිලිබද මේ ‍මොහොතේ තිබෙන කතිකාවතම සලකමු.-යුද්ධය ඉවර වෙනතුරු ඉවසගෙන ඉන්න.ඊට පස්සෙ හොද කලදසාවක් ඔයාලට අපි ලබාදෙනවා-මේ තමයි බලය සහිත පංතිය පැත්තෙන් මතු කෙරෙන අදහස.මේ පෙත්ත සමාජයේ අනිකුත් හැම‍දෙනෙක්ටම ගිල්ලවීමේ විශාල හැකියාවක් බලය සහිතවුන්ට පවතිනවා.ඒ අරමුන වෙනුවෙන් මාධ්‍ය ආගම වැනි දේවල් මෙහෙයවෙන අන්දම නිරීක්ෂනය කලොත් මේ බව තේරුම් ගැනිම අපහසු නැහැ.
දැන් අපි කතාකරන ඉතිහාසය සම්බන්ධ සාකච්ඡාවත් එහෙමයි.ඉතිහාසය ඉතාම සමෘද්ධිමත් එකකි යන මතය අධිනිශ්චය වී තිබෙන්නේ ආධිපත්‍යය හොබවන්නන් එම සිතුවිල්ල තුල ගිලී සිටින නිසා.
බලය හොබවන ප්රභූ පංතිය එවැනි අපේක්ෂාවක සහ අදහසක ගිලී සිටින්නේ ඇයි?
මෙයට යටත් පිරිසෙන් පැහැදිලි කිරීම් දෙකක් යෝජනා කල හැකියි.
පලමුවැන්න අපේ සමාජයේ ප්රභූ පංතිය සතු බරපතල හීනමානී හැගීම.
අපි දන්නවා අපේ රටේ ධනේශ්වර පංතිය කියන්නෙ යුරෝපයේ ධනේශ්වරය වගේ වැඩවසම් ගර්භය පුපුරුවාගෙන මතු වූ ප්රචන්ඩ විප්ලවයන් හරහා බිහිවුන සුජාත එකක්‍ නොවෙයි.අපේ රටේ ධනේශ්වරය බිහිවෙන්නෙ අධිරාජ්‍යවාදයට ගැතිකම් කල එවකට උන් රදල අධිපතීන් හරහා.රජ යටතේ සිටි ඉඩම් හිමි රදලයන් සුද්දන් ඉදිරියේ නගුට වැනීමේ පිනෙන් මාලු රේන්ද අරක්කු රේන්ද ලැබ ධනපතීන් බවට පත්වුනා.ඩී.එස්.සේනානායක නමැති ධනේශ්වර නායකයා ධනේශ්වර නායකයෙක් වන අතරම ඩී.එස්."හාමුගේ" චරිතයත් රගපෑවා.අපේ රටේ දේශපාලනයේ ප්රබල සංකේතයන් වුනේ වැඩවසම් සංකේත වන හොරගොල්ල වලව්ව,බෝතලේ වලව්ව,මැදමුලන වලව්ව වැනි දේවල්.
රදල පවුල්වලට පිටින් ධනවත් වුන සෙසු පිරිස් පවා මේ වැඩවසම් මානසිකත්වයෙන් යුක්තයි.
යුරෝපයේ ධනේශ්වරයට වගේ අලුත ධනවත් වුන මේ පිරිසට ස්වාධීන අනන්‍යතාවයක් තිබුනේ නැහැ.මේ නිසා ඔවුන් අනන්‍යතාවය සොයාගෙන හැරුනේ නැවතත් වැඩවසම් මුල් දිහාවට.නන්දා තමන්ව එකසිය ගානට කිච කොට දමද්දීත් පියල් නැවත නැවතත් ඇය පසුපස සිගමන් යැදීමේ ගම් පෙරලියේ සිද්ධිය ඇසුරෙන් මෙය තේරුම් ගන්න පුලුවන්.නමට හෝ රදල පවුලකට සම්බන්ද වීමෙන් අනන්‍යතාවයක් සාදා ගැනීමේ හීනමානයක් මෙරට බිහිවූ අවජාත ධනේශ්වරයට පවතිනවා.
මේ අනුව ඔවුන් පැරනි සමාජයේ ලක්ෂන වර්තමානයටත් අරගෙන ඇවිත් තිබෙනවා.පැරනි සමාජය "මාර" එකක් ලෙස උත්කර්ෂයට නැගීමේ එක් උල්පතක් එවැනියි.
ප්රංශය වගේ රටක ධනපති පංතිය බලය ගත්තෙ රදල වංශිකයන්ට එරෙහි මාරාන්තික සටනකට පසු.මේ නිසා ප්රංශ ධනපති පංතියට හිටපු රදලයන් හෝ තිබුන සමාජය කියන්නෙ රොමෑන්ටික් එකක් නොවෙයි.නමුත් අපේ රටේ ධනපතීන් වුනේ හිටපු රදලයන් සහ රදලයන් සමග පෑහීමේ හීනමානය තිබුන සමාජ කොටස්.මේ නිසා ඔවුන්ට පැරනි සමාජය,වලව්ව,අතීතය කියන්නෙ ඉතාම සුන්දර සහ ඉතාම පරමාදර්ශී දේවල්.
දෙවෙනුව ඉතිහාසය පිලිබද යථාර්තවාදී විග්රහයකට ආධිපත්‍යය දරන්නන් තුල ඇති අවිඥානික/සවිඥානික නොකැමැත්ත ඔවුන්ගේ පංතියේ බලය පිලිබද කාරනය සමග සම්බන්ධ වෙනවා.
සමාජයක නිෂ්පාදනය බිහිකරන ශ්‍රමය හෙලන මහා සමාජය සහ සමාජයේ බලය පවත්වාගෙන ගිය පාලක කොටස් අතර හැමදාම පරතරයක් තිබුනා.සමාජයීය නිෂ්පාදනය බිහිවුනේ ඉහත කී පලමු පිරිස අතින්.ආසියාතික වැඩවසම් යුගයේදී නිෂ්පාදනය බිහිකලේ ගොවීන් සහ වෙනත් ශිල්පීන්.නමුත් සමාජයේ බලය තිබුනේ ඔවුන්‍ට නොවෙයි.ඊට පිටින් සිටි රදල ස්තරයකට.සමාජය මෙහෙයවීම සැමවිටම මහා සමාජයෙන් වෙන්ව සිටි සීමිත පිරිස‍කගේ වරප්රසාදයක් වුනා.තීරන ගැනීමේ ක්රියාවලියෙන් මහා සමාජය හැම විටම බැහැර කරනු ලැබව පැවතුනා.මේක අදත් එහෙමයි.සමාජ බලය අදත් සංකේන්ද්රනය වෙලා තියෙන්නෙ ප්රාග්ධන බලය සහිත සීමිත පිරිසක් අතේ.සමාජ ධනය බිහිකරන වතුකරයේ කම්කරුවා,ඇගලුම් කම්හලේ සේවිකාව,කාර්යාල ලිපිකරුවා,අම්පාරේ ගොවියා-මේ අය කේවල් කිරීමේ හැකියාව අහිමි කරවනු ලැබ දේශපාලන වෘත්තයේ පරිවාරයට තල්ලු කොට දමා තිබෙනවා.
ඇත්ත වශයෙන්ම මෙතෙක් බිහිවූ කිසිදු සමාජයක් ඊනියා ධර්මිෂ්ට හෝ සමෘද්ධිමත් සමාජයක් වුනේ නැහැ.මහා සමාජයෙන් පිට වැජඹෙන වරප්රසාද ලත් චූල සමාජයක් ආධිපත්‍යය දරන තුරු සැබෑ සමෘද්ධියක් පිලිබද කතාකිරීමත් හුදු මායාවක් පමනයි.
මේ යථාර්තය පිලිගැනීමට අධිපතීන් අකමැති වීම සහ බහුජනයා එය තේරුම් ගන්නවාට ඔවුන් ඊටත් වඩා අකමැති වීම පුදුමයක් නොවෙයි.
ඉස්සර අපේ රට හතර පෝයට සිල් ගත්ත රටක්,සුද්ද ආපු නිසා තමයි ඇනුනෙ(මෑත කාලිනව නම් කොටින්ටත් ඒ වගකීම යනවා),දැන් අපි නිදහස් රටක් හින්ද ආයෙත් හොද ධාර්මික රටක් හදමු-මේ තමයි ආධිපත්‍යයික තර්කනය.ඒ අනුව විවිධ දේ සිදු කෙරෙනවා.රූපවාහිනියේ සිගරට් එකක් පෙන්වූ සැනින් කොටු දැමෙනවා.සදාචාරයට පටහැනි නිසා උන්මාද චිත්රා හා දීඝගාමිනි පිලිබද පුවත මග හැර පොඩි ලමයින්ගේ ඉතිහාස පොත් සකස් වෙනවා.අපේ චින්තනයට නොගැලපෙන නිසා චිත්රපට තහනම් කෙරෙනවා.මේ වගේ තව නහුතයක් දේවල් සිදු වෙනවා.මේ සියල්ල සිදුවී අපේ සමාජයට යලිත් පන්සිල් රකින පැරකුම්බා යුගයක් උදාවන තුරු ජනයා බලාගෙන ඉන්නවා.සමාජය මේ ඉන්ද්රජාලික හාස්කම් දෙස කට අයාගෙන බලා ඉද්දී සිදුවිය යුතු ආර්ථික දේශපාලන ප්රතිසංස්කරන නොසිදුවීම තුල සමාජයේ ජීවිතය අරටුව දක්වා කුනු වී ගද ගසමින් තිබෙනවා.
මේ අනුව කිව යුත්තේ අතීතය විභූතිමත් එකකි යන අධිපති මතය යනු සරල මිථ්‍යාවක් නොවන බවයි.එය අධිපති පංතියේ අරමුනු තුලින් පැන නැගෙන සමාජය මත ආරෝපනය කොට පවත්වා ගනු ලබන අතිශය දේශපාලනික මිත්‍යාවක් බවයි.
මිථ්‍යාවෙන් විද්‍යාව වෙන්කොට දකින්නෙනි,ඔබ වැඩ වර්ජනයකද?


Sunday, February 15, 2009

අතීත ශ්‍රී විභූතිය - පෙනුම හා හරය එකක්ද?




පුරාන රජ දරුවන්ගේ පාලන කාලය යන්න ඇසූ සැනින් ඔබේ සිහියට එන්නේ මොනවාද?
බොහෝ චිත්ත රූප ප්රමානයක් ඒ සමග මැවෙනු ඇති අතර බොහෝ විට ඒවා ගැන පොදු එකගතාවයක් ඇති කරගැනීමද අපහසු නොවිය හැකියි.වැව -දාගැබ-ගම -පන්සල,මේ එසේ මැවෙන චිත්ත රූප වල බොහෝ විට අඩංගු වීමට ඉඩ තිබෙන දේවල්.සාහිත්‍යය තුල කුඩා කල සිටම ව්‍යවහාර වූ ඒ නිසාම කට පාඩම් වන තරමට සුලබ වූ යෙදුම් මේ සම්බන්ධයෙන් පවතිනවා.මහ සයුර පරදන වැව්,සහලින් ස්වයංපෝෂිත වූ අතීතය,ධර්මද්වීපය වැනි මෙවැනි යෙදුම් ඔබටත් අසීරුවකින් තොරව මතක් කර ගැනීමට හැකියාව ඇති.
එම ඉතිහාසය පිලිබද විවිධ ප්රවාදයන්ද අප අතර තිබෙනවා.පන්ඩුකාභය කතාවේ සිට ගජබා රජු සොලී දේශය ආක්රමනය කිරීම දක්වා විවිධ ප්රවාද අප අතර තිබෙන අතර මේවා සියල්ල යලිත් අපව ගෙන යන්නේ අතීතය වූ කලී ශ්‍රී විභූෂිත එකකි යන උපන්‍යාසය වෙත.අඩුම තරමින් හොද සහ ධාර්මික රජවරුන්ගේ යුගයන් වලදී හෝ එකී යුගයන් හොදය යන මතය කරා උක්ත මූලාශ්රයන් අපව මෙහෙයවනවා.
මෙයට තවත් එකතු කිරීම් පවතිනු දැකගත හැකියි.ඒ අනුව සියල්ල කෙලවීම ආරම්භ වූයේ බටහිර ජාතිකයන්ගේ ආගමනයත් සමගින්.ඊට පෙර මෙරට ජනයා සාරධර්ම රැකගෙන හොදින් කල දවස ගෙවමින් සිටියා.මෙම අදහස ධර්මපාලතුමා විසින් ප්රකාශ කෙරෙන්නේ මේ විදිහට.

"බුද්ධාගම නිර්මලව පැවතුනු කාලයේ ලංකාව සශ්‍රීක උද්‍යානයක් මෙන්ද මංගල ගෘහයක් මෙන්ද පැවතුනේය.ප්‍රානනඝාතය අදත්තාදානය කාම මිථ්‍යාචාරය මුසාවාදය සුරාපානය යන පව් නොකොට මෛත්‍රීය පතුරවමින් අන්‍යොන්‍ය මිත්‍ර ධර්මය පෙන්වමින් සිංහල ජනකාය ලංකාභූමියේ විසූහ.මිථ්‍යාදෘෂ්ටික පාපතරයන්ගේ පැමිනීමෙන් පසු සිංහලයන්ට අන්තරාය පැමිනියාහුය"
- අනගාරික ධර්මපාලතුමා
සිංහල බෞද්ධයා පුවත්පත 1912

ඉතිහාසයික වීරයන් පිලිබද අවධානය අප යොමු කරන විට අප දන්නා ඉතිහාසය තුල වීරයන් ලැයිස්තුගත කරද්දී සිත් ගන්නා සුලු චරිත ගනනාවක්ම අපට මුන ගැසෙනවා.රාවන රජු වීරයෙක්ද නැද්ද යන විවාදය පසෙක තැබුවත් දුටුගැමුනු රජුගේ සිට රාසිං දෙවියන් දක්වා විවිද වීරයන් පිලිබද ප්‍රවාදයන් පවතිනවා.නිරීක්ෂනාත්මක වන අයෙකුගේ අවධානය වහා දිනා ගන්නා කරුන නම් මෙකී විරුවන් එක් හෝ වෙනත් ආකාරයකින් රාජ්‍යත්වය හා සම්බන්ධ අයවලුන් වීම.එක්කෝ ඔවුන් රජවරුන් හෝ රැජිනියන්.නැතිනම් කුමරුවන් හෝ කුමරියන්.ඉන් බැහැර උදාහරන අතිශයින් දුර්ලභයි.
මේ අපගේ රටේ පමනක් නොවෙයි අන් සමාජවලත් ඉතිහාසය අරභයා දක්නට ලැබෙන පොදු නිරීක්ෂනයක් බව මතක තබා ගැනීම වැදගත්.
එය එසේ සිදු වී තිබෙන්නේ ඇයි?මේ තමයි අපි විමසා බලන්න ඕනෙ එක කරුනක්.
එය සිදු වනුයේ ඉතිහාසය වූ කලී රජවරුන්ගේ දෘෂ්ටියට අනුව ගොඩනගන ලද නිර්මිතයක් වන නිසා.මෙතැනදී අප සමාජයේ බලය දරන ප්‍රභූ පිරිස් සහ ප්‍රභූ නොවන ජනයා යන බෙදුම් ඉර තේරුම් ගැනීම වැදගත් වෙනවා.පැහැදිලි කරුන නම් අප ඉතිහාසය ලෙස තේරුම් ගන්නා/ඉගෙන ගන්නා/උගන්වන ඉතිහාසය යනු ප්‍රභූ කන්ඩායම් වල ඉතිහාසය මිස නිර්ප්‍රභූ කොටස් වල ඉතිහාසය නොවන බව.ආධිපත්‍යය හෙබවූ සීමිත ප්‍රභූ පිරිසකගේ ඉතිහාසය "ඉතිහාසය" ලෙස තේරුම් ගැනීම කෙතරම් නිවැරදිද යන ප්‍රශ්නය මෙහිදී මතුවෙනවා.
පුරාන රජ දවස ඒ කියන්නේ ජූර්ව යටත් විජිත යුගය සශ්‍රීක එකක් යැයි කියැවුනත් එය සශ්‍රීක එකක් වන්නේ කාටද?නිෂ්පාදනයට අවශ්‍ය කරන මෙවලම් සාතිශය දුබල හා ප්‍රාථමික ඒවා වූ සන්දර්භයක නිෂ්පාදනය වෙනුවෙන් සිය සකල ශක්තිය දිය කොට හල රජුගේ ඉඩම් වල වගා කල ගොවියා එම යුගය සශ්‍රීක එකක් ලෙස හගින්නට ඇත්ද?කුලයෙන් උසස් අයෙක් දුටු සද හිස බැදි ලේන්සුව අතට ගෙන පාර අද්දරට පසු බැසීමේ ඉරනමට ලක් කරන ලද කුල පීඩිතයා තමා ජීවත් වූ යුගය සශ්‍රීක එකක් ලෙස නිර්වචනය කරගන්නට ඇද්ද?
ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ සශ්‍රීක අවධීන් ලෙස අර්ථකතනය වී ඇත්තේ රාජ්‍ය බලය දරන්නන්ට සරුසාර වූ අවධීන් මිස අනෙකක් නොවෙයි.බලය දරන්නන්ගේ බලය අභියෝගයට ලක් වෙන අවධීන් වූ කලී අයහපත් අවධීන්.එලාර නම් පිටස්තරයාට බලය හිමිවන කාලය නරක කාලයක් වෙන්නෙ මේ අර්ථයෙන්.බලය දරන්නාගේ ආධිපත්‍යය ගැටලුවක් රහිතව ගෙන යා හැකි කාලවල් හොද කාලවල්.සපුමල් කුමරු වීරයෙක් වන්නේ ඒ අර්ථයෙන්.ආර්ය චක්රවර්තීට බලය තිබුනත් නැතත් සපුමල් කුමරු බලයේ සිටියත් නැතත් රජ වාසලෙන් මෙපිට ජීවත් වෙන ශ්‍රමය වගුරන ජනයාගේ ජීවිත අරභයා ඉන් කවර හෝ වෙනසක් සිදු වන්නට ඇත්ද?බල සෙනගින් සහ යාපා පටුන් ගෙන සපු කුමරු වැඩියත් කායික ශ්‍රමය වගුරවන එම ජනතාවගේ පීඩාකාරී පීවන කොන්දේසිවල අංශු මාත්‍රයක හෝ වෙනසක් සිදු වන්නට ඇත්ද?රජු සපුමල් වුවත් වෙනෙකෙක් වුවත් රදල අධිපතීන් වෙනුවෙන් කැඹිරීම නමැති විය ගහට බදින ලද සාමාන්‍ය මිනිසාගේ ජීවිතය තුල කැපී පෙනෙන වෙනසක් කිසිසේත්ම සිදු වුනේ නැහැ.
රජවරුන්ගේ දෘෂ්ටියෙන් නොව පොදු මිනිසාගේ දෘෂ්ටියෙන් ඉතිහාසය ලියැවුනා නම් ඇත්තටම අපට ලැබෙන්නේ අප දැන් දකින චිත්රයට වඩා හාත්පසින්ම වෙනස් චිත්රයක්.
එම ඉතිහාසය දහඩිය ලේ කදුලු හා දුක් සුසුම් වල චිත්රයක්.
ප්රභූ අනුග්රහය යටගේ ලියැවුනු සම්භාව්‍ය සාහිත්‍යය නොවෙයි ඊට සමාන්තරව ගලා ආ ජන සාහිත්‍යය ආශ්රය කරන විට පැරනි සමාජයේ පොදු ජනයා ගෙවන ලද ඇත්ත ජන ජීවිතය පිලිබද යම් අවබෝධයක් ලබාගැනීමට පුලුවන්.පැල් කවි,පාරු කවි වැනි නිෂ්පාදන ජීවිතය සමග දැඩිව බැදුනු කලා ප්රකාශනයන‍්ගේ සුලභව ගැබ්ව ඇති ශෝකී රිද්මය අපට කුමක් පවසයිද?අතිශය අව්‍යාජ ලෙස ඒවායින් ප්රකාශ වෙන්නේ සාමාන්‍ය ජනයා භෞතික ජීවන අරගලය තුල විදින ලද වේදනාත්මක වෙහෙස මිස අනෙකක් නොවෙයි.එක් අතෙකින් නියං අවු වැසි සමග අඛන්ඩ අරගලයකට අතීත මිනිසා මැදිව සිටියා.සොබාදහමේ බලවේග ඉදිරියේ තාක්ෂනයෙන් නොදියුනු ඔහු සිටියේ ඉතා අසරන අඩියක.අනෙත් අතින් භූමියේ අයිති‍ය තිබුනේ රජු ප්රමුඛ රදලයන්ට.අස්වැන්නේ විශාල පංගුවක් රජතුමාට පිදීමේ වැඩවසම් කොන්දේසියටත් ඔහු බැදී සිටියා.
පිටස්තරයෙක් වන රොබට් නොක්ස්ගේ සටහන් පැරනි සමාජ ජීවිතය ගැන සාපේක්ෂව ආසන්න වූත් විශ්වසනීය වූත් කරුනු ගනනාවක් සපයනවා.
අනෙත් අතට සමාජය තුල කුල ‍විභේදනය උග්ර ලෙස බලපැවැත්වුනා.එම කුල ධූරාවලිය ජීවි‍තයේ සෑම අංශයකටම බලපෑම අනිවාර්යයක්ව තිබුනා.

"ඇතැම් ඇදුම් ආයිත්තම් ඇදීම පහල කුලවල අයට තහනම් වූ අතර පදිංචි වාසස්ථානද රදලයන්ගේ වලව්වේ සිට රොඩී ගුබ්බෑයම් දක්වා විවිධ විය.තම නිවෙස්වල සුදු පිරියම් කිරීමට අවසර තිබුනේ ඉහල කුලවල අයට පමනි."
- කුලය පංතිය හා ලංකාවේ සමාජ ගැටුම්
මහාචාර්ය කාලිංග ටියුඩර් ද සිල්වා

දැන් මතු කල යුතු ප්රශ්නය වන්නේ රදල අධිපතීන් අභිමුව බලු ගැත්තා යැයි තමාවම හදුන්වා ගැනීමේ ඉරනමට ලක් කරන ලද අතීත මහා සමාජයට අයත් පොදු මිනිසා එම සමාජය මංගල ගෘහයක් මෙන් සශ්‍රීකය යන ධර්මපාලතුමන්ගේ උපන්‍යාසය සමග කෙතරම් එකග වේද යන්නයි.

"පලමුවන ශක වර්ෂයේදී මහා යුද්ධයක් විය.ශක රාජයෝද ආරන්‍ය සේනාපතීහුද බිහිසුනු සේ යුද වැදුනහ.ඔවුන්ගේ අශ්ව කුරයෙන් සියලු කෙත් වතු පාලු විය.
ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ
-කවුරුන් සදහා වන්නේද මෙම මහා යුද්ධය?
-ඔබ සදහායයැ-දෙගොල්ලම හඩ නගා පිලිතුරු දුන්හ
-අනාගතයේද අප වැනි වීර පුරුෂයන් ඔබ සදහා නියතයෙන්ම බිහි වන්නෝය
(ශක රාජාවලිය)

ඇත්ත වශයෙන්ම ඉතිහාසයික වීරයන් "වීරයන්" වන්නේ රාජ්‍යත්වයට සාපේක්ෂව මිස කායික ශ්රමය වගුරන මහා සමාජයට සාපේක්ෂව නොවන බව ඉහත උපුටනය සිත් කා වදින ලෙස පෙන්වා දෙනවා.ඒ වගේම අතීත සමාජය "මංගල ගෘහයක්"වන්නේත් රාජ්‍යත්වයට සාපේක්ෂව මිස පොදු සමාජයට සාපේක්ෂව නොවන බව වටහා ගත යුතු කරුනක්.

අතීතය පිලිබද (කිසිසේත් කවදාවත් යථාර්ථයක් ලෙස නොපැවැති)සුන්දර චිත්රයක් අප ඉදිරියේ මැවිලා තිබෙන්නේ ඇයි?අතීතය විභූතිමත් එකක් ලෙස අප සාමාන්‍යයෙන් කල්පනා කිරීමට පුරුදු වී තිබෙන්නේ ඇයි?ඉතිහාසය ගැන පවසන විට මහා වැව්, විශාල මස්පිඩු සහිත රාජ්‍ය වාංශික කුමාරවරුන් මතක් වන්නේ සහ කුඹුරු වල නැහුනු ගොවියන්ව මතක් නොවන්නේ ඇයි?
මීට පිලිතුරු සාකච්ඡා කරන විට දෘෂ්ටිවාදය-ideology-පිලබද අදහස වැදගත් වෙනවා.විභූතිමත් අතීතය පිලිබද මිථ්‍යාව සමාජයේ දේශපාලන බල පිරමීඩය ඇතුලේ ආයුදයක් ලෙස ක්රියාත්මක වෙන ආකාරය ගැන විමසීමකට ලක් කිරීමට
ඉදිරි ලිපියකින්අපි උත්සාහ දරමු.

Saturday, February 14, 2009

පලාත් සභා මැතිවරන ප්රතිඵල නිකුත් කිරීමට මොහොතකට පෙරදීය...

තව මොහොතකින් රූපවාහිනි නාලිකාවනට ‍විවේකයක් නැතිවේවි.ප්රතිඵල ලබාදීම වෙනුවෙන් උනුන් පරයා තරග වැදීමට ජන මාධ්‍යන් කටයුතු කරන අන්දම තව මද වේලාවකින් දැක ගත හැකි වනු ඇති.
චන්දය දිනන්නේ කවුද කියන එක පිලිබද විවිද අදහස් පවතිනවා.බොහෝවිට පවතින ආන්ඩුව දිනනු ඇති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ.
ප්රශ්නය තිබෙන්නේ මේ කුමන පක්ෂය දින්නත් අවසන් විග්රහයේදී සමාජය පරාජය වීම.
1999 සිට මධ්‍යම පලාත පාලනය කල පොදු පෙරමුන පලාතට කරන ලද දෙයක් නැහැ.
අනෙත් අතින් බලය ඉල්ලා සිටින එජාපය තමන් බලය ගත් විට කරන්නේ කුමක්ද යන්න පිලිබද ප්රකාශනයක්වත් ඉදිරිපත් කොට නැහැ.
මේ වූ කලී අපූර්ව ආකාරයේ දසුන්.
යටත් පිරිසෙන් තමන් බලය ගත් පසු කරන්නේ කුමක්ද යන්න සදහන් කිරීම(ඒවා කිරීම නොකිරීම ගැන ප්රශ්නය පසෙක තැබුවත්) අවම සදාචාරමය ලක්ෂනයක්.දැන් ඒ ලක්ෂනය පවා රටේ දේශපාලනයෙන් තුරන් වෙලා.
ආන්ඩුව යුද්ධය දින්නා යැයි පවසම්න් තමන්ගේ ඥාති සමූහයා පලාත් සබාව ඇතුලට දාගැනීමට කටයුතු කරනවා.ඇමතිවරුන්ගේ පුතාල බාප්පලා මස්සිනාල තොග පිටින් යුද්ධයේ නමට මුවාවෙලා පලාත් සභාමය සුඛ විහරනයන්ට කෙල හලන ආකාරය පිලිකුල් සහගතයි.
එජාපය ආන්ඩුවට එරෙහි වහසි බස් දොඩම්න් චන්දයට එන්න උත්සාහ කරනවා.80 ගනන් වල සිට 90 ගනන් අග දක්වා පලාත් සභා පාලනය කලේ ඔවුන්.ඒ යුගයත් ඔවුන් අලසව කා දැමුවා.කල සේවයක් නැහැ.නැවත බලය ගත්තත් ප්රතිපත්තිමය වැඩසටහනක්වත් නැති ඔවුන් ඒ කාලයත් කුසීතව ගෙවා දමනු ඇති බවට සැකයක් නැහැ.කල දේකුත් නැහැ සහ කරන්න යන දෙයක් පිලිබද සැලැසුමක් හෝ ඉදිරිපත් කොට නැහැ.
පලාතේ සංවර්ධනය පිලිබද දැක්මක් හෝ වැඩපිලිවෙලක් ප්රධාන යැයි පවසන පාර්ශවයන් දෙකටම නැති තත්වයක් තුල අප ඉතින් කුමක් නම් කරන්නද?
මේ විදිහට එකම රොටිය දෙපැත්ත පෙරලමින් අපි රටක් ලෙස වසර හැට එකක් දැන් ගතකොට තිබෙනවා.මේ ක්රියාවලියේ ඇති නිස්සාර සහ වංචනික ස්වභාවය අපි තේරුම් ගන්නේ කවදාද?
"මැතිවරන යනු තමන්ව ගසා කන්නේ කවුද යන්න තීරනය කිරීමට වසර පහකට වරක් සමාජයට ලබාදෙන අවස්ථාව"ය යන ප්රකාශය කෙතරම් වලංගුද යන්න මේ සියල්ල දෙස බලා සිටියදී කල්පනා වෙනවා.

Wednesday, February 11, 2009

ලංකාවේ දේශපාලනය නමැති පිස්සු වැටුන පියානෝව


මායා බන්ධන නමැති ටෙලි කතා මාලාව ඔබ නරඹා තිබේනම් එහි කැත්රිනා නම් චරිතය බල ඇදුමක් ඇදගෙන තම නිවහන තුලදී එය ක්රියාත්මක කරන්නට උත්සාහ දැරූ ජවනිකාව ඔබට මතක ඇති.එහිදී බල ඇදුම ක්රියාත්මක වීම හින්දා මුලු නිවසේම අනුපිලිවෙල අවුල් වී යනවා.සියලුම ඉලෙක්ට්රෝනික උපාංග පිස්සුවෙන් වගේ ස්වයංසිද්දව ක්රියාකාරී වෙනවා.හැම තැනම බල්බ් පත්තු වෙනවා.බලන් ඉද්දී ෆැක්ස් යන්ත්රයෙන් ෆැක්ස් යන්න පටන් ගන්නවා.පරිගනක තිරය වේගයෙන් ඉහල පහල වැටෙනවා.මේ හැමදේම සිද්ද වෙන්නෙ බල ඇදුම කියන නොගැලපෙන සූට් එක නොගැලපෙන පුද්ගලයෙකුගේ අතට පත්වීම නිසා.
ලංකාවේ දේශපාලනය මේ මොහොතේ ක්රියාත්මක වන ආකාරය දුටුවිට කැත්රිනා සහ බල ඇදුමේ කතන්දරය මෙතනටත් ආදේශ කල හැකියි කියා මට සිතෙනවා.මේ සංසිද්ධීන් දෙක අතරේ අපූරු සාම්‍යත්වයක් තියෙනවා.
ලංකාවේ දේශපාලන ජීවිතය වූ කලී මේ මොහොතේදී විශාල අවුල් ජාලයක්.ලෙනින්ගේ උදාහරනයක් අනුව ගතහොත් ඉබේම ක්රියා කරන පිස්සු වැටුන පියානෝවක් වගේ ලංකාවේ දේශපාලන ජීවිතයට අදාල සිදුවීම් තැනින් තැන මතු වෙන්නෙ අක්රමවත් සහ විකාර සහගත ආකාරයකට.
a. තවදුරටත් ආන්ඩු පක්ෂ මන්ත්රීවරු යනුවෙන් පිරිසක් ලංකාවේ නැහැ.ආන්ඩුව කරන පක්ෂයේ හැම මන්ත්රීවරයෙක්ම ඇමතිවරයෙක්.අනෙත් අතට දැන් ඉස්සර වගේ ඇමතිවරයෙක් වීමට චන්දය දිනා ආන්ඩු පක්ෂය පැත්තෙන් පාර්ලිමේන්තුවට යාම අනිවාර්ය අවශ්‍යතාවක් නොවෙයි.කුමන පක්ෂයෙන් පාර්ලිමේන්තුවෙන් ගියත් ඇමතිවරයෙක් වීමේ හැකියාව වර්තමානය තුල තිබෙනවා.චන්දය දිනූ පැත්තේ සිටි අලුත්ගමගේ වගේම පරාද වූ පිලේ ප්රබලයෙක් වූ රාජිත සේනාරත්න එකම ඇමති මන්ඩලයේ සගයන් වීම පසුපස තිබෙන්නේ එම logic එක.
b. ඇමතිවරු පාතාල නායකයන් සමග ප්රසිද්ධියේ දේශපාලනය කරනවා විතරක් නෙමේ ඔවුන් සමග මාධ්‍ය ආයතන වලට කඩා පැන ඒවායේ ප්රධානීන්ට අත පය දිග හැර පහර දෙනවා.එවැනි අසාධාරනයකට විරුද්ධව තමන්ගේ සාධාරන විරෝධය ආයතනයේ සේවකයන් පල කරනවා.අන්තිමේදී විනය ක්රියාමාර්ග ගැනෙන්නේ තමන්ගේ අත පය දිග හල ඇමතිවරයාට විරුද්ධව නොවෙයි.විරෝධය පෑමේ අයිතිය යොදාගත් සේවකයන්ට එරෙහිව.බලධාරීන්ට අනුව බලද්දි අන්තිමට වැරැද්ද කරල තියෙන්නෙ ආයතනයේ සේවක පිරිස්.
c. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් අනන්ත සිටියදී එක්වරම ජනාධිපතිතුමාගේ සහෝදරයෙක් කොහෙන්දෝ සිට පාර්ලිමේන්තුවට කඩා පාත් වෙනවා.දැන් ආන්ඩුවේ නිල නොලත් නායකයා තමයි මෙම සහෝදරයා.අපි ඉගෙන ගෙන තිබුන විදිහට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් යනු ජනතා චන්දයෙන් තේරී පත්වුන ජනතා නියෝජිතයන්.නමුත් ආන්ඩුවේ මෙම නිල නොලත් නායකයා වෙනුවෙන් භාවිත වුන එක ඡන්දයක්වත් ලංකාව තුල නැහැ.හාස්‍යජනක කරුන නම් දේශපාලකයන් ඇතුලු කිසිවෙකුත් මේවා ප්රශ්න කල යුතු දේවල් ලෙස නොදැකීම
d. මුදල් අමාත්‍යංශය නිර්දේශ කල මිල සූත්රය අනුව අධිකරනය ඉන්ධන මිල පිලිබද නියෝගයක් ලබා දෙනවා.180%ක අන්තිම අසාධාරන අනුපාතයක් පෙට්රල් වැනි අත්‍යවශ්‍ය භාන්ඩයක් මත බදු ලෙස පැටවීම ඇත්තෙන්ම වැරදි සහගත දෙයක්.පෙට්රල් මිල අඩු කල යුතු වග අධිකරනය කියන්නෙ මුදල් අමාත්‍යංශයම ලබාදුන් නිර්නායක මත පදනම් වෙමින්.නමුත් එම නියෝගය නිකුත් කලා පමනයි අමාත්‍යවරුන්ගේ පාර්ශවයෙන් විවිධ විකට ජවනිකා ආරම්භ වෙනවා.එහෙම නියෝගයක් දුන් බවක් අපි දන්නැහැ කියනවා.කොලේ ලැබුනේ නැහැ කියනවා.තාම නියෝගය තේරුනේ නැහැ ඒ නිසා අධ්‍යනය කරමින් පවතිනවා කියනවා.
අනෙත් පැත්තෙන් තවත් පිරිස් චන්ඩින් ලෙස එලියට එනවා.අධිකරනය දේශද්රෝහී කුමන්ත්රනයක යෙදී සිටින බවට ප්රකාශ නිකුත් වෙනවා.නමුත් උත්ප්රාසවත් කරුන නම් අධිකරනය මෙම "දේශද්රෝහී" තීන්දුව දෙන්නේ "දේශප්රේමී"ආන්ඩුවේ මුදල් අමාත්‍යාංශයේම නිර්නායක මත පදනම් ව වීම.අධිකරනය දෙන තීරන සමග සමගාමී වෙනවා වෙනුවට පාලකයන් ප්රසිද්ධියේ අධිකරනයෙන් ගේම ඉල්ලනවා.17 වෙනි සංශෝධනය හිතා මතාම පැහැර හැරීමෙන් රටේ මූලික නීතිය වූ ආන්ඩු ක්රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර නීති ගරුක විදිහට හැසිරෙන මෙන් වැඩ කරන ජනතාවට හා විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට තර්ජනාංගුලිය එල්ල කරනවා.
e. ලංකාවේ මාධ්‍ය නිදහස තිබීම පිලිබද හොදම නිදසුන තමන්ව දරුනු ලෙස විවේචනය කරන ලසන්ත වික්රමතුංග කොලඹ නගරයේ කරදරයක් නැතිව ජීවත් වීම යැයි ආරක්ෂක ලේකම්වරයා වරෙක පවසා තිබුනා.දැන් එම වික්රමතුංග මරා දැමුන තත්වයක් තුල මාධ්‍ය නිදහස තිබීම සම්බන්ද නිදසුන ලෙස ආරක්ෂක ලේකම් පෙන්වා දෙන්නේ කුමක්දැයි පැහැදිලි නැහැ.විදේශ මාධ්‍යයකට සාකච්ඡාවක් ලබාදෙන ආරක්ෂක ලේකම් මේ මොහොතේදී අප(ආන්ඩුව)සමග නැති අනෙත් අය ත්රස්තවාදයට අනුග්රහය දක්වන්නන් ලෙස සැලකීමට සිදුවන බව පවසනවා.මෙහෙම ගොං කතාවක් විදේශ මාධ්‍යයක් ඉදිරියේ පැවසූ විට ලංකාවේ ආන්ඩුව වූ කලී ඒකාධිපතිවාදී ප්රජාතන්ත්ර විරෝධී ආන්ඩුවක් යැයි ලෝකයේ සිටින ඉතාම මධ්‍යස්ථ මිනිසාටත් සිතුනහොත් එය පුදුමයක් නොවෙයි.අඩුම තරමින් ඒකාධිපති ආන්ඩුවක් වුනත් රකින යම් යම් සීමාවන් තිබෙනවා.ඊශ්රායලය වැනි අන්ත දක්ෂිනාංශික රජයක් වත් ජාත්යන්තරව "අපිට විරුද්ධ අනිත් අය ත්රස්තවාදීන්"වැනි ප්රකාශයක් කරන්නෙ නැහැ.දැන් ඒ අනුව මෙම ආන්ඩුව එම අවම සම්මතයන් පවා ඉක්මවා‍ ගොස් තිබෙනවා.තමන්ගේ ගමනට බාධාවන් ලෙස දකින සියලු අය-වෘත්තිය සමිති ක්රියාධරයන්,මාධ්‍යකරුවන්,අධිකරනය,ත්රස්තවාදීන් දේශයට විරුද්ධ අය ලෙස ඉවක් බවක් නැතිව හංවඩු ගහනවා පමනක් නොවෙයි ඒ බව විලි ලැජ්ජාවක් නැතිව ලෝකයටම ඇහෙන්න ප්රකාශත් කරනවා.
කැත්රිනා සහ බල ඇදුම පිලිබද කතන්දරයට ආපසු යමු.අපි දන්නවා බල ඇදුම කියන්නේ කොහොමත් හොද එකක් නොවෙයි.මායා බන්ධකයන්ගේ ලෝකයේ එය භාවිතා කලේ මායා බන්ධකයන්ගේ ආධිපත්‍යය පොදු මිනිසා මත පවත්වාගෙන යන මර්ධනකාරී ආයුධයක් ලෙසින්.නමුත් එම මර්ධන ආයුධය වුනත් ජෝක් එකක් කර ගන්නේ නැතිව භාවිතා කරන අයුරු ආශ්කා වැනි මායාබන්ධකයන් දැනගෙන සිටියා.බල ඇදුම කැත්රිනා අතට ගිය විට සිදුවෙන්නේ මේ අනුව විශාල විකෘතියක්.තමන්ට විරුද්ධ අයට පහර දෙන්න කැත්රිනාට බල ඇදුම යොදාගන්න පුලුවන් වගේම අනෙත් අතට ඇය සහ එම ඇදුම අතර වන නොගැලපීම විසින් අවට පවතින සියලු දේ උඩු යටිකුරු කොට දැමෙනවා.බල ඇදුම කැත්රිනා සහ අවට ක්රියාවලිය කියන සියල්ල අන්තිමේදී විශාල ප්රභසනයක් බවට පත්වෙනවා.
දැන් අපේ රටේ වෙමින් පවතින්නෙත් මේ ක්රියාදාමය.විධායක ජනාධිපතිධූරය සහ පවත්නා රාජ්‍ය යන්ත්රනය කියන්නෙම එක්තරා පංතියක බලය සමාජය මත පවත්වා ගැනීම උදෙසා යොදාගන්න බලහත්කාරී යාන්ත්රනයක්.හරියට බල ඇදුම වගේ.ඇංග්ලෝ සැක්සන් හිසක් සහිත ප්රභූ පාලකයන් මෙම රාජ්‍ය යන්ත්රනය දුවවපු කාලවල්වලදී ඉතාම නරක විදිහට අධිපති පංතියේ බලය පවත්වගෙන ගියා.නමුත් එම යන්ත්රනය විකාරයක් බවට පත්වුනේ නැහැ.මෑත කාලින නිදසුන් වලට ගියහොත් රනිල් වික්රමසිංහ යුගයේ අද වාගේම වංචා දූෂන අඩු නැතිව සිදු වුනා.ඒවා හෙලිදරවු වෙන්න තියෙන ඉඩ අද වාගේම එදාත් ඔවුන් ඇහිරුවා.නමුත් හොරකම් කලත් ඒ හොරකම් සිදු වුනේ රහසිගතව.ඒ කරුනු එලියට ආවොත් මොනවා හෝ දෙයක් පවසා ෂේප් වීමයි එවකට නිල වශයෙන් පැවති ප්රතිපත්තිය.අධිකරනය යමක් පැවසූ විට "උඹල මම මහේස්ත්රාත් කෙනෙක් කියලද හිතන්නෙ"ආදී වශයෙන් ගේම ඉල්ලීම්වලට එවකට පාලකයන් යොමුවුනේ නැහැ.සරලවම කිවහොත් කරන කැත වැඩේ උනත් ආවරනයක් තුල හිදිමිනුයි සිදුකලේ.කැත වැඩ කරල ෂේප් වුනා මිස ඒවාට දේශප්රේමී අර්ථ කථන ලබාදෙන්න ගියෙ නැහැ.
වර්තමානය තුල ඇත්ත වශයෙන් මැ සිදුවී තිබෙන්නේ ධනේශ්වර රාජ්‍ය යන්ත්රනයට ඇංග්ලෝ සැක්සන් ඔලුව වෙනුවට මැදමුලන ග්රාමීය රදලයෙක්ගේ හිස ආදේශ වීම.දැන් තැන නොතැන නොබලා බල ඇදුම ක්රියාත්මක කෙරෙනවා.77 නව ලිබරල් ධනවාදයට ලංකාව මාරු වූ තැන් සිට ඉතිහාසයේ පලමු වතාවට අප්රසන්න ලෙස පවුල් වන්දනාවක් ගොඩනැගෙන්න පටන් ගෙන තිබෙනවා.එක ඡන්දයක්වත් නොතිබුනත් බැසිල් රාජපක්ෂ මහතා ආන්ඩුවේ නිල නොවන නායකයා වීම කාටවත් ප්රශ්නයක් නොවෙයි.මන්ද යත් ඔහු වූ කලී "මහ රජතුමාගේ සහෝදරයා වන බැවිනි".හාමු මහත්තයාගෙ කැමැත්ත අපේ කැමැත්ත.හාමු මහත්තයා කොහොමත් නරක දෙයක් කරන්නෙ නැහැ.රජයේ රූපවාහිනි ප්රවෘත්ති නරඹන හිස නිරවුල්ව පවත්වාගෙන යන ඕනෑම අයෙක් තුල අපුල දනවන ලෙස මෙවැනි පවුල් වන්දනාවක් සිදුවන අයුරු දැකගත හැකියි.පලමු news segment කිහිපයේ මහින්ද රාජපක්ෂය.ඊලගට බැසිල් රාජපක්ෂ නාමය නොවරදී.තාරුන්‍යයට හෙටක් සමග නාමල් ඉක්බිති කරලියට ඒ.අනෙත් පැත්තෙන් ශිරන්ති නවෝදය සමගින් ආර්යා තොමෝ භාව භාව ලීලා දක්වන්නීය.යුද්ධය නම් ගෝඨාභයය.ගෝඨාභය නම් යුද්ධයය.අතරින් පතර චමල්ගේ නමත් ඇසේ.ගෝඨාභය මහතාට රූපවාහිනියට කතා කිරීමට අවශ්‍ය වූ විට සියලුම නාලිකා අදාල සාකච්ඡාව විකාශනය කල යුතුය.චන්දයක් ලංවූ විට සියලු නාලිකා(රාජ්‍ය + පුද්ගලික)එකතු කොට ජනාධිපතිතුමා අදාල පලාත් වල වැසියන් සජීවිව දායක කර ගනිමින් රූපවාහිනී සංදර්ශනයක් පවත්වයි.කැමති වුනත් නැතත් එය බලාගෙන හිදිනවා හැර පොදු ප්රේක්ෂකයාට විකල්පයක් නැහැ.
නීත්‍යානුකූලව විපක්ෂයකට පැවතීම‍ට ඉඩ දීම ,අනවශ්‍ය ලෙස මාධ්‍ය වෙත බලපෑම් නොකිරීම-මේවා ලිබරල් ධනවාදයේ මූලික ශික්ෂා පද.පවුල්වාදය වැනි දෙයක් ඇත්තෙන්ම පූර්ව ධනවාදී නොදියුනු වැඩවසම් ලක්ෂනයක් මිස නූතන ධනවාදී ලක්ෂනයක් නොවේ.අඩුම තරමින් 77න් පසුව හෝ ලංකාවේ එවන් තත්වයන් අවම වෙලා තිබුනා.දැන් වැඩවසම් පොලොවක මුල් ඇදපු රදල පවුලක් අතට රාජ්‍ය සුක්කානම පත්වීම සමග එම අවම ලිබරල් ලක්ෂන පවා කූරියා ගැසීම ආරම්භ වී තිබෙනවා.මේ තත්වය එක්තරා ආකාරයකට අපිට ප්රේමදාස මහතාගේ පාලන යුගය සිහිපත් කරනවා.රාජපක්ෂ ආර්යාවගේ චර්යා රටාව සහ ප්රේමදාස ආර්යාවගේ එවකට චර්යාව අතර තිබෙන්නේ අපූරු සාම්‍යත්වයක්.මෙය සංකේතයක් පමනයි.දේශපාලන ජීවිතය තුල මෙම පාලකයන් දෙදෙනාම ක්රියාකාරී වූ අන්දම සංසන්දනය කොට බලනවා නම් එම වකවානු අතර වන සමගාමීත්වය ඔබට නිරීක්ෂනය කල හැකි වනු ඇති.ප්රේමදාස මහතා වගේම රාජපක්ෂ මහතාත් විකල්ප මාධ්‍ය සම්බන්ධයෙන් සෘජුව ගැටෙන තැනක සිටිනවා.දෙදෙනාගේම ජනප්රියවාදී ගති ලක්ෂන තිබෙනවා.එම ජනප්රියවාදී ගති ලක්ෂන වලින් ස්වකීය අධිකාරිවාදී පැවැත්ම ලස්සනට පාට කර ගන්න මේ දෙදෙනාම කටයුතු කරනවා.රාජපක්ෂ මහතා වගේම ප්රේමදාස මහතාත් විදේශ තානාතිපතිවරුන් සමග ගැටුන අවස්ථා තිබුනා.ලංකාවේ මානව අයිතීන් ගැන ප්රශ්න කල බ්රිතාන්ය තානාපති සමග ප්රේමදාස මහතා ඇති කර ගත් ආරෝව නිදසුන් ලෙස දැක්විය හැකියි.(මානව අයිතීන් ගැන කතා කරන්න බ්රිතාන්යට අයිතියක් තියෙනවද,ඇත්තටම මානව හිමිකම් කඩවෙනවද,කඩ වෙනව නම් කල යුත්තේ කුමක්ද යන්න වෙනම සාකච්ඡා කල යුතු කරුනක්)වත්මන් ආන්ඩුවත් ඉදහිට විදේශයන් සමග වලි දා ගන්නවා.ඒ අධිරාජ්‍ය විරෝධී පුලුල් අර්ථයකින් නම් නෙමෙයි.තමන්ගේ බල උවමනාවන්ට විදේශයන් බාධාවක් වගේ දැනෙන විට සිදුවන නිසග ප්රතිචාර දැක්වීම් ලෙසයි එම ගැටුම් කරලියට එන්නෙ.මානව අයිතින් වගේ ලිබරල් මතවාද හරහා එන විදේශ මැදිහත්වීම් වලට විරුද්ධ වුනේ ප්රගතිශිලී බලවේග පමනයි කියල සිතීම වැරදියි.හිට්ලර් වර්ගයේ ෆැසිස්ට්වාදීනුත් ලිබරල් සංකල්ප වලට අමු අමුවේ විරුද්ධ වූ වග මතක තබා ගැනීම වැදගත්.තමන්ට ඇනයක් වීම නිසා සුද්දන් එක්ක පවා වලි දා ගනිද්දී අද රාජපක්ෂ මහතා සුපිරි අධිරාජ්‍ය විරෝධී වීරයෙක් ලෙස සිතාගෙන ඇතැමුන් ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයටම එදත් අපගේ ගැලවුම්කරුවා වූ කලී ප්රේමදාසය යන ආස්ථානයේ සිට ඔහු පසුපස පෙරහැරේ ගිය "විප්ලවවාදීන්" අපමන සිටියා.
කෙසේ වුවත් සිදු වෙමින් තිබෙන දේ භාවමය පාඨයන්ට වහල් නොවී නැනවත් ලෙස තේරුම් ගැනීම වැදගත්.දේශපාලන පක්ෂ ලෙස අප හදුනාගෙන ඇති ප්රධාන පක්ෂ දෙක යනු පවතින මර්ධනකාරී රාජ්‍ය ව්‍යුහය පවත්වාගෙන යන ආයතනයන් දෙකක්.මේ දෙපිරිසම බලයට ආ විට කරන්නෙ එකම දේවල් සමූහයක්.වික්රමසිංහ මහතා බොක්සිං වලල්ලේ හිදිමින් අත් ආවරන දාගෙන ටෙක්නික් එක අනුව ප්රතිවාදියාට පහර දෙමින් පංති පීඩනය පවත්වා ගෙන යන විට වර්තමාන ආන්ඩුව අතෙන් පයෙන් හිසෙන් හැම එකෙන්ම ඉවක් බවක් නැතිව පහර දෙමින් wrestling පන්නයේ පාලනයක් පවත්වාගෙන යන්න වැර දරනවා.
නුදුරු අනාගතයේදී ලංකාවේ පාලනයේ අධිකාරිවාදී ස්වභාවය තවදුරටත් උග්ර වීමට නියමිත බවට සැක පහල කල හැකි අතර ඇතැම් විට මෙය සුහර්තෝ පන්නයේ ඒකාධිපතිත්වයකින් කෙලවර වීමේ සම්භාවිතාවයක් පවා තිබෙනවා යන්න අතිශයෝක්තියක් නොවෙයි.
ජාතිකවාදය,සමාජ පරිවර්තනය,ධනවාදය සහ අධිකාරිවාදය වැනි දේ පිලිබදව සිදු කරන පලල් සාකච්ඡාවකට ඉදිරි දිනයක පිවිසෙන්නට අපි උත්සාහ කරමු.මා සමග එකග නොවන්නන් බොහෝ සිටිය හැකි වග මා දන්නවා.ඔවුන්ටත් මා පවසන්නෙ මා සමග දැනට එකග නොවුනාට කමක් නැහැ.අඩුම තරමින් අප පවසන දෙයට ඇහුම්කන් දෙන්න.අන්ධ ලෙස රාජපක්ෂවාදීව ප්රතිචාර දක්වන්නේ නැතිව අප පෙන්වා දෙන "කරුනු"වල වලංගුතාවය ගැන අවධානය යොමු කරන්න.
අපි කරුනු සමග සංවාද කරමු.UNP හා SLFP ගර්හිත අධිකාරියෙන් යුතුව අවුරුදු හැටක් පුරා කැරකැවෙන මෙම විෂම චක්රයෙන් නිදහස් වෙන්නෙ කොහොමද කියන ප්රශ්නයට උත්තරයක් ඒ සංවාදයේ කොතැනකදී හෝ අපිට මුන ගැසේවි.

Monday, February 9, 2009

අශෝක හදගමගේ ගීතයක් ගැන


එක දවසක් හැන්දෑවක කනාමැදිරි එලි පානක
මම සෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුලං පොදක්වත් ඇරුනු දොර පියනින්
ආවානම් - සිහිනයක සුව අරන්
නන්නාදුනනා දෑසක්
නිවී නිවී දිලිසුනා මොහොතක්
සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට
සුලං පොදකටවත් ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන ඈ සිටිනා විට මා අසල

මා අසල ලැගුම් ගනු පෙරොතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුනා
මා තුලම මා නොවන පිටස්තරයෙකු හිදිනා බව
ඔබේ පෙම මා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද?

රචනය - අශෝක හදගම සංගීතය-නවරත්න ගමගේ හඩ-අතුල අධිකාරි

ආදරය පිලිබද එදා මෙදා තුර ගෙතී ඇති උදාන වාක්‍ය කෙතරම්ද?
වරෙක එය සද එලිය මෙන් සෞම්‍ය බවටද තව වරෙක මනරම් කවිකම් මවනා උල්පතක් ලෙසටද හැදින්වින.ප්රේමය පිලිබද කතා නොකල කලාකරුවෙක් ලොව කවදාවත්ම පහල වී තිබේද?සියවස් ගනන් යුගෙන් යුග කවි සිත් සසල කොට අවදි කරන ලද්දක්ය ආදරය.
අශෝක හදගම විසින් සිය සින්තටික් සිහිනය ටෙලි නාට්‍යය වෙනුවෙන් රචනා කරන ලද ඉහත ගීතය එතරම් ප්රසිද්ධ එකක් නොවිය හැකි වුවත් සිංහල ගීතය නමැති ක්ෂේත්රයට නැවුම් අත්දැකීමක් එක් කල ගීතයක් ලෙස මෙය හදුනාගැනීම සදොස් නොවේ.සංගීතමය අංශයෙන් ගිටාරය පමනක් යොදා ගැනීමම එක්තරා ආකාරයක රැඩිකල් වෙනසක් යැයි තර්ක කල හැකි අතර ඊටත් වඩා ගීතයේ සුවි‍ශේෂිත්වය මතු වනුයේ ඉන් මතු කෙරෙන අර්ථය වෙතිනි.
යම් පුද්ගලයෙක් විරුද්ධ ලිංගිකයෙකුට ආකර්ෂනය වනුයේ මන්ද?එහි පදනම ජීව විද්‍යාත්මකය.වර්ගයා බෝ කිරීම පිලිබද ප්රාථමික සහජාසය විසින් ඕනෑම අයෙකු විරුද්ද ලිංගිකයෙකු වෙත ආසක්ත කරනු ලබයි.ආදරයේ පදනම ශාරීරික එකක් යනුවෙන් පැවසෙන්නේ ඒ නිසාය.
නමුත් ආදරය එසේ වූ පමනින් හුදෙක් ශාරීරික එකක් වනුයේ නැත.එම භෞතික පදනම ඉක්මවන ආධ්‍යාත්මික බැදීමක්ද ප්රේමය විසින් ජනිත කරවනු ලබයි.මෙම ආධ්‍යාත්මික ලෝකයයි සාමාන්‍ය වහර තුලදී "ආදරය"ලෙස හදුනා ගැනෙන්නේ.ඉතා සුන්දර,සද එලිය සේ සෞම්‍ය ආදී වශයෙන් වර්නනා කෙරෙන්නේ ද මෙකී ආධ්‍යාත්මික කලාපයයි.
ප්රේම සබදතාවකදී ඊට සම්බන්ධ වන දෙපාර්ශවය පරිකල්පනීය ලෝකයකට ඇතුල් වෙති.බොහෝ විට එහිදී යථාර්තය ලෙස හදුනා ගැනෙන්නේ ඔවුන් විසින් මවා ගනු ලබන පරිකල්පිතයයි.පිරිමියා සිය පෙම්වතිය අසවල් අසවල් ලක්ෂන සහිත අපූර්ව වස්තුවක් ලෙස පරිකල්පනය කරගන්නා අතර ගැහැනියද සිය පෙම්වතිය විශිෂ්ට පෞරුෂයක් ඇත්තෙක් ලෙස පින්තාරු කර ගනී.
මෙහිදී ඇත්තටම ඇල්ම කෙරෙන්නේ සිය සහකරු (අපූර්ව වස්තුව)පිලිබද මනස තුල මැවුනු ෆැන්ටසික ප්රතිරූපයටයි.
ඉහත ගීතයේ පලමු අර්ධය තුල ආදරයේ සෞන්දර්යය පිලිබද සාමාන්‍ය කියැවීමක් ප්රකාශ වේ.පෙම්වතිය සිය පෙම්වතා උදෙසා පෙරමං බලයි.සිහිනයෙන් සුහද ආරාධනාවක් ගෙන සිය පෙම්වතිය එනු ඔහු සිත තුල මැවේ.ඇය පැමිනි විට ලෝකයම පරිපූර්න එකක් යැයි ඔහුට හැගේ.එය කෙතරම්ද යත් ඇය ලග සිටින විට අවකාශයම ආවරනය වූවා වැන්න.සුලං පොදකටවත් ඉඩක් නැති වූවා වැන්න.
මේ ප්රකාශ කෙරෙන්නේ ඇත්තටම පෙම්වතා තුල සිය සහකාරිය පිලිබද මැවී ඇති උත්කර්ෂවත් ප්රතිරුව පිලිබද වන අමන්දානන්දයයි.
මෙය සාමාන්‍ය ජීවිතයේ උදාහරන කිහිපයක් තුලින් පැහැදිලි කර ගැනීමට උත්සාහ කරමු.
සිය සහකරුවා/කාරිය පිලිබද පෙම්වතුන්/වතියන් කරන විවිද උත්කර්ෂවත් ප්කාශයන් සිහියට නගා ගන්න.
එයා නම් හරි හොදයි.මා ගැන හොදට හොයල බලනවා.බස් එකට නගිද්දි අතෙන් අල්ලලා නග්ගනවා.නෙත් එෆ් එම් එකේ පිරිත් අහනවා මටත් අහන්න කියනවා.වෙන කෙල්ලො දිහා බලන්නෙ නැහැ.බොන්නෙ නැහැ බිව්වත් කලාතුරකින් පාටියකදි විතරයි.
පිරිමියෙක් නම් සිය පෙම්වතිය ගැන-එයා මම කියන දේ හොදට අහනවා.අදින්නෙ පලදින්නේ මම කියන විදිහට.මට කියන්නැතිව මොනවත් කරන් නෑ,කොහේවත් යන්නේ නැහැ.හරි අහිංසකයි.
මේ ආදී වශයෙන් "හොද" කරුනු ගනනාවක් ඔස්සේ ගොඩනැගුනු පරිකල්පිතයකටයි මේ සියල්ලන් ඇල්ම කරන්නේ.
නමුත් අවාසනාවකට වගේ ලෝකයේ ඇත්ත වශයෙන්ම භෞතිකව ජීවත් වෙන්නෙ හොද කරුනු රාශියකින් සමන්විත පරිකල්පිතයන් නොව ලේ මස් නහර වලින් සැදි ගැහැනුන් හා පිරිමින්ය.ප්රේමයේ උභතෝකෝටිකය උපදින්නේ මෙතැනදීය.සිය සහකරු/කාරිය අපූර්ව වස්තුවක් ලෙස ගොඩනැගී ඇති ප්රතිරුව සමග සහකරු/කාරියගේ ඇත්ත ජීවිතය මුනගැසෙන අවස්ථා අභිමුඛ වන්නට පටන් ගත් තැන ප්රේමයේ රන් දෙවොලද කඩා වැටෙන්නට පටන් ගනී.
නෙත් එෆ් එම් හි පිරිත් අහන්නට යැයි පවසන පෙම්වතා අසභ්‍ය චිත්රපට බලන්නට ප්රිය කරන්නෙක්/වෙනත් ගැහැනුන්ගේ කකුල් බලන්නට ඇබ්බැහි වූවෙක් යැයි පෙම්වතියට අනාවරනය වුවා යැයි සිතන්න.
දැන් සිදු වන්නේ කුමක්ද?ඔහුගේ ඉහත ලැදියාවන් ඔහු තුල ඇත්තටම පැවතුනා වුවද පෙම්වතියගේ ෆැන්ටසිය තුල එම සැබෑ කරුනු අන්තර්ගත වී නොතිබුනි.පරිකල්පිතයට යථාර්තය මුන ගැසුන විට - ඇත්තටම සිටින පෙම්වතා සමග සිහිනමය පෙම්වතා අභිමුඛ වූ විට - එය සියල්ල කෙලවී යාමේ ආරම්භයයි.
තම පෙම්වතිය වෙනත් අයෙකු සමග ලැදියාවෙන් කතා කරනු/ආශ්රය කරනු/ඉන් සතුටු වනු,තමන්ට නොකියා ඉන් යම් වින්දනයක් ලබනු පෙම්වතා දකී යැයි සිතන්න.ඉක්බිති තම සහකාරිය පිලිබද මවන ලද ලෝකය බිද වැටීම පටන් ගනී.පරිකල්පිත අති පාරිශුද්ධ වස්තුව අසූචි පිඩක් බවට පත්වීම ආරම්භ වේ.
මෙය සිදු වන්නේ ප්රේම සබදතාවකදී අප ඇත්ත අනෙකාව නොව ‍අනෙකා යැයි අප විසින්ම මවාගෙන සිටින වෙනෙකෙකුට ආදරය කරන නිසාය.ඉතින් යම් මොහොතක ඇත්ත අනෙකාව මුන ගැසුන විට ඝන වූ සියල්ල වාෂ්ප බවට පත්වීම ඇරඹේ.මෙම ඇත්ත අනෙකා මුන ගැසීම අනිවාර්යයකි.මන්ද සැමදාම සිහිනමය පරිකල්පනයක් තුල ජීවත් වීම‍ට යථාර්ථය විසින් ඉඩ නොදෙන නිසාය.විවාහයෙන් පසු බොහෝ විට එකිනෙකාට එකිනෙකාව නොදිරවීමේ හේතු ප්රත්‍යය ගැන ඔබ සිතා තිබේද?
යලිත් ගීතය සමග සම්බන්ද වෙමු.තමා අසල රැදීමට පෙර තමා තුලට එබී බලන ලෙස පෙම්වතා පෙම්වති‍යගෙන් ඉල්ලයි.තමා තුල වෙනත් පිටස්තරයෙක් - මෙතෙක් කල් පෙම්වතිය නොදැන සිටි අමුත්තෙක් ඉන්නා වග ඔහු කියයි.
මේ අමුත්තා කවුද?
එම අමුත්තා යනු අනෙකෙක් නොව ආධිපත්‍යයට ලොල් කරන පිරිමියායි.මත්පැන් බොන අසභ්‍ය චිත්රපට ප්රිය කරන වෙනත් නහුතයක් දුර්ගුනයන්ගෙන් හෙබි ස්වාර්ථකාමී පුරුෂයායි.ඕනෑම පිරිමියෙක් තුල මෙන්ම ගැහැනියක තුලද එවන් අමුත්තෙක් ,පිට සමාජය හෝ සහකරු නාදුනන,පිටස්තරයෙක් ජීවත් වේ.යථාර්තය එයයි.නමුත් ප්රේමයේදී නොවැලැක්විය හැකි ලෙසම එම යථාර්තය අමතක කොට දැමේ.එය නොතකා හැරීමෙන් තොරව ප්රේම සබදතාවයක් ගොඩ නැගෙන්නේද නැත.පරිපූර්න අපූර්ව වස්තුවකට මිස අදුරු ගද ගසන කෙනෙකු කෙරෙහි ප්රේමයක් නොඉපදෙන බැවිනි.නමුත් එසේ යථාර්තය අමතක කර දැමීමම පසුකාලීනව ඛේදවාචකයන්ගේ උල්පත් ලෙසින් කරලියට පිවිසේ.
ඔබ ඇත්තටම ආදරය කරන්නේ තමාටද නැතිනම් තමා තුල සිටින අමුත්තාටදැයි ගීතයේ පෙම්වතා සහකාරියගෙන් විමසයි.තමා තුල සිටින තමාගේම කොටසක් වන ඇත්ත අනෙකා දුටුව හොත් තවදුරටත් පෙම් කිරීම පවත්වාගෙන යන්නේද යන්න ඒ සමග ව්‍යංගයෙන් මතු වෙන ප්රශ්නයයි.
මෙම ගීතය ආදරය පිලිබද සරල කියැවීමකින් ඔබ්බට ගොස් ඒ තුල වන සංකීර්න හා ගූඨ මානයන් පිලිබද විනිවිද යන සුලු අදහසක් මතු කරන්නකි.
ජීවිතය වනු දුකකි යන බෞද්ධ ආස්ථානයට ව්‍යතිරේඛ වශයෙන් යුරෝපයේ භවසත්තාවාදීන් විසින් ඉදිරිපත් කරන ලද අදහසකි ජීවිතය වූ කලී දුකකටත් වඩා විකාරරූපී ප්රපංචයකි යන්න.ඇල්බෙයා කැමූ වැනි චින්තකයන් අවධාරනය කල පරිදි ජීවිතය එක්තරා ආකාරයක අර්ථ ශුන්‍ය ප්රලාපයකි.
පාරිශුද්ධ ප්රේමය යනු සත්‍යයක්ද?ඉතාම පාරිශුද්ධ යැයි අප සිතා සිටින ප්රේමය තුල පවා දෙබිඩි ආත්මාර්ථකාමී හා ව්‍යාජ පාර්ශවයක් නොපවතීද?
අප අව්‍යාජ යැයි මවාගෙන සිටින්නේ මේ අනුව ව්‍යාජ දෙයක් නොවේද?අනෙත් අතට එය ව්‍යාජයක් බව දැන දැනම අපි ඒ තුලම වෙලෙමු.පැටලෙමු.ඉන් තොර පැවැත්මක්ද අප සතුව නොපවතී.
ජීවිතය දුකකටත් වඩා විකාරයක් යැයි පැවසෙන්නේ ඒ නිසාය.

පමා වූ ආරම්භක සටහන

රාමචන්ද්ර‍‍ගේ අඩවිය රාමචන්ද්ර තනියම වලං බිදින අම්බලමක් බවට පත් කර ගැනීමට කිසිදු අදහසක් නැහැ.ඒක පාර්ශවිකව කතා කරනවාට වැඩිය මතවාදී විදිහට සංවාද කරන්න රාමචන්ද්ර හැම මොහොතකම කැමතියි.සමාජ දේශපාලන හා කලාව යන අංශ වලට අදාලව මෙහි සටහන් තැබෙන අතර ඒ සම්බන්ද ප්රතිපෝෂනයන් රාමචන්ද්ර හැමවිටම ඉතා සතුටින් පිලි ගන්නවා.එම ප්රතිපෝෂනය කවර වර්ගයේ එකක් වුනත්- එය අභියෝගාත්මක අභිමුඛ වීමක් වුනත් ඒවාට තමන්ගේ අඩවිය තුල ඉඩ වෙන් කරන්නත් ඒ ගැන කතා කරන්නත් රාමචන්ද්ර කැමතියි.
ඒ නිසා දෙබරයට ගල් ගැසීමට එක්කාසු වෙන්න සූදානම් අයට වගේම දෙබරය රකින්න ඕන කියල හිතන අයටත් රාමචන්ද්රගේ අඩවිය විවෘතයි.

Sunday, February 8, 2009

මුලතිවි දිනීම - නවත්වන්න ඔල්වරසන්!


ලංකාව වෙ‍්ගයෙන් එක්තරා මංසන්ධියකට පිවිසෙනවා කියන රාවය අප‍ට දස දෙසින් ඇසෙනවා.විශේෂයෙන්ම එල්.ටී.ටි.ඊ හිතවාදීන් පවා එම සංවිධානයේ මිලි‍ටරිමය පරාජය පිලිගෙන අවසානයි.කොටි සංවිධානයේ විනාශයෙන් පසුව කරන්නේ කුමක්ද?යන්න පිලිබද ටැමිල්නෙට් වෙබි අඩවියේ පසුගිය දවසක මත විමසීමක් පවා සිදු කොට තිබුනා.
කොටි සංවිධානයේ පරාජය සම්බන්ධයෙන් දකුනේ සමාජය දක්වන ප්රතිචාරය මූලික වශයෙන් එක හැඩතලයක් සහිතයි.
බොහෝ විට ඉස්මතු වෙලා තියෙන අදහස තමයි මින් මත්තට රටට හොද කලක් යාවිය යන අදහස.යුද්ධයට යෙදවුන මුදල් රටේ සංවර්ධනයට යෙදවේවි සියලු වස් දොස් පහව ගොස් හොද අනාගතයක් නිර්මානය වේවි යන අදහස පාලකයන්ගේ පාර්ශවයෙන් පවා ප්රබල ලෙස මතු කෙරෙමින් තිබෙනවා.
ජාතික ප්රශ්නයට අදාලවත් මතු වී තිබෙන්නේ ‍මේ ආකාරයේ සුබවාදයක්.රාජ්‍යයේ පැවැත්මට උතුරින් එල්ල වූ තර්ජනය අතු ගා දමන ලද තත්වයක් තුල ගැ‍ටලුවක් නැතිව - බරපතල වෙනසකින් තොරව මෙම රාජ්‍යය ඒ විදියටම පවත්වාගෙන යන්න පුලුවන් බවට වන අදහස දැන් තහවුරු වෙමින් තිබෙනවා.
මේ සියල්ල විසින් අපව එක්තරා අන්දමක සුබවාදී උත්කර්ෂයක ගිල්වා දමනු ලැබව තිබුනත් මට හැගෙන විදිහට අවාසනාවකට වගේ මුලතිව් ඇතුලු ප්රදේශ හමුදාව යටතට පත්වීම ඔය වර නැගෙන තරමේ රොමෑන්ටික් හැරවුම් ලක්ෂ්‍යයක් නෙමෙයි.එය එසේ විය හැකි බව සිතා ගැනීමට අවශ්‍ය කරන විෂය මූලික සාධක තවම අපේ රටේ දේශපාලනය තුල දැකගැනීමට නැහැ.
ඒ කියන්නේ මේ ලබාගත් හමුදා ජයග්රහන නොවැදගත් ඒවා වන බවද?
නැහැ.කොටි සංවිධානය යුදමය ලෙස පරාද කිරීම නොවැදගත් සිද්දියක් නෙමේ.එහි ප්රධාන වැදගත්කම් දෙකක් නිරීක්ෂනය කල හැකියි.
1.සමාජය ජාතිකත්ව පදනමින් බෙදී වෙන්වීමේ අවදානම අඩු කරගත හැකි වීම
2.උතුරු හා නැගෙනහිර ජනතාවට දකුන භුක්ති විදින අවම ප්රජාතන්ත්රවාදී අයිතිය හෝ ලබාදීමට ඉඩ ලැබීම
නමුත් මේ වැදගත්කම් අර මුලින් සදහන් කල ආකාරයේ මහා වෙනසක් රට තුල ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන්නට බැහැ.
එය ‍එසේ අපේක්ෂා කල නොහැක්කේ මුලතිව් හමුදා පාලනය යටතට පත් වුනා කියලා ලංකාව තුල තිබෙන රාජ්‍යයේ ස්වභාවයේ කිසිදු වෙනසක් සිදු නොවන නිසා සහ ජාතික ප්රශ්නය ඇතුලු විශාල සංඛ්‍යාවක් සමාජ ගැටලුවල පදනම වන්නේම මේ පවතින රාජ්‍යය හා එම රාජ්‍යය බිහි කිරීමට හේතු වූ දේශපාලන ආර්ථික මොඩලය නිසා.
මේ කියන කාරනය අපි තරමක් විස්තර ඇතිව පැහැදිලි කර ගනිමු.
ලංකාව තුල මේ තිබෙන/1948 සිට පවත්වාගෙන එනු ලබන රාජ්‍යය -ආන්ඩුව නොවේ-කවර වර්ගයේ රාජ්‍යයක්ද?
මෙය ප්රධාන වශයෙන් ධනේශ්වර රාජ්‍යයක්.එනම් ප‍්රභූ රාජ්‍යයක්.මෙම රාජ්‍යය මෙහෙයවීමේ බලය තිබුනේ සහ තියෙන්නේ වරප්රසාද ලත් එලීට් -elite-එකකට.එම වරප්රසාද ලත් පංතියේ උවමනා එපාකම් අනුව තමයි රාජ්‍යයේ මූලික තීරන ගැනෙන්නේ.
අපි වැඩි දුර නොගොස් ඊයේ පෙරේදා උදාහරනයකින්ම මෙය තේරුම් ගන්න උත්සාහ කරමු.ඔබ දන්නවා එක්තරා ගෑස් සමාගමක් තෙල් සංස්ථාවෙන් රුපියල් පන්සියයකට ලබාගන්න ගෑස් සිලින්ඩරය අලෙවි කලේ රුපියල් 1700කට ආසන්න මිලකට.ඔවුන් එක සිලින්ඩරයකින් පමනක් රුපියල් 1200ක පමන ලාබයක් ලැබුවා.මේක බැලූ බැල්මට කලු කඩ පන්නයේ අසාධාරන ගසා කෑමක් බව ඕනෙම කෙනෙක්ට වැටහෙනවා.නමුත් ඒ බව දැන දැනම රජය තෙල් සංස්ථාව හරහා ඒ ගනුදෙනුව ඒ විදිහටම කරගෙන යනවා.දැන් අපි අනෙත් අතට දන්නවා ර‍ටේ පොදු ජනතාවට ජීවත් වීම පිලිබද බරපතල ප්රශ්නයක් තිබෙනවා.ඔවුන් වෙනුවෙන් අඩු මිලට ගෑස් ලැබෙනවා නම් එය ඔවුන්ට විශාල සහනයක්.මෙතන ප්රතිරෝධයක් මතුවෙනවා.ජනතාවගේ ජීවිතය යහපත් කරන්න නම් අඩු මිලට ගෑස් දෙන්න ඕනෙ.නමුත් අඩු මිලට ගෑස් දුන්නොත් අර ගෑස් සමා‍ගමේ අධි ලාබය කැපකරන්න වෙනවා.මොකද අධි ලාබ ගන්න අතරේම ගෑස් මිල අඩු කල නොහැකි නිසා.මෙතනදී පාලකයන්-රජය-ඉන්නෙ කාගෙ පැත්තෙද?මේ තමයි තීරනාත්මක ප්රශ්නය.තව ටිකක් හොයල බලද්දී අපිට පෙනෙන්න ගන්නවා ජනාධිපතිතුමා පසුගිය දිනෙක තුර්කියේ සංචාරයක යෙදුනා.ඒ සංචාරයට සහභාගි වුන පිරිසේ නම් ලැයිස්තුව බලද්දි හමුවෙනවා අර ගෑස් සමාගමේ අධිපතිතුමාගේ නම.
කලු කඩ පන්නයේ ගසා කෑමක් කරද්දිත් ආන්ඩුව ඊට ඉඩදීල බලාගෙන ඉදීමේ රහස දැන් තේරුම් ගැනීම අපහසු නැහැ නේද?
අපිට මතුපිටට පෙනෙන්න තියෙන්නෙ අපි චන්ද පොලට ගිහින් චන්දෙ දෙනවා අපේ නියෝජිතයො ගිහින් අපි‍ වෙනුවෙන් තීරන ගන්නවා කියල.දේශපාලකයා කියන්නෙ සර්ව බලධාරී කෙනෙක් පාර්ලිමේන්තුව කියන්නෙ සර්ව බලධාරී ආයතනයක් කියල තමයි අපිට කුඩා දවස් වල ඉදල උගන්නල තියෙන්නෙ.නමුත් ඇත්ත තමයි ඔය මහජන නියෝජිත ආයතන වල ඉන්න දේශපාලකයන් යනු ස්වාධීන පැවැත්මක් නැති රූකඩ පිරිසක්ය යන්න.ඔවුන්ට ඡන්දය කරන්න සල්ලි අවශ්‍යයයි.ඒ ඡන්දෙට අනුග්රහය දෙන පිරිස් ඉන්නවා.ඉතින් අදාල දේශපාලකයන් බලයට ආවම අර පිරිස් වලට කෘතගුන සැලකීම‍ට බැදී සිටිනවා.පසුගිය දා ගිනි තැබීමට ලක්වුන එක්තරා මාධ්‍ය ආයතනයක් එක්තරා පක්ෂයකට පසුගිය ජනාධිපතිවරන සමයේදී අමුඩය පවා උනාගෙන කඩේ ගියෙ හුදු ආතල් එකටද?විනෝදයක් ගන්නද?
එම නිසා දේශපාලනය සහ අර වරප්රසාදිත එලීට් එක අතර කොන්දේසි විරහිත එකගතාවයක් තියෙනවා.මේවා මතුපිටට පෙනෙන්නෙ නැහැ.තිරය පිටුපසයි මේ යාන්ත්රනය පවතින්නෙ.නමුත් ඇත්ත වශයෙන්ම බලය පවතින්නෙ චන්දය දෙන පුරවැසියා අතේ නෙමෙයි තිරය පිටුපස තිබෙන අර යාන්ත්රනය සතුව.
රටේ මිනිසුන්ගෙ මූලික ප්රශ්න අනනත් තියෙනවා.මහනුවර අවට ප්රදේශ වල ග්රාමීය රෝහල්වල තත්වය අන්තිම නොදියුනුයි.ඉතා කුඩා අසනීපයට වුව නුවර රෝහලට දිවගෙන එන්න සිදු වෙන තත්වයක් තියෙන්නෙ.එසේ තිබියදීත් රටට අවශ්‍ය නැති මිහින් එයාර් එකක් වෙනුවෙන් මිලියන ගනනක් වෙන් කෙරෙන්නේ කාගේ මන දොල සපුරන්නද?
මේව හුදෙක් පාලකයන්ගේ මෝඩකම් නම් නෙමෙයි.එයාල මෙව්ව නොතේරෙන චූටි බබාලත් නෙමෙයි.මේ තමයි මේ වර්ගයේ පාලනයන්ගේ ස්වභාවය.
ඇත්ත වශයෙන්ම ආර්ථික අධිකාරිය තියෙන්නෙ වරප්රසාදිත ධනේශ්වර ස්ථරයකට.දේශපාලනය යනු ඔවු‍න්ගේ අත නැටවෙන රූකඩයක්.දේශපාලකයන් යනු ඔවුන් සමග එක්වී කටයුතු කරන කොන්දේසි විරහිත සම්මුතියකින් බැදුනු පිරිසක්.බලයට පත්වෙන කවර වර්ගයේ ආන්ඩුවක් උනත් මේ කොන්දේසි විරහිත සම්මුතියට නියත වශයෙන්ම ඇතුලු වෙනවා.
එසේ ඇතුලු නොවුනොත් මොකද වෙන්නෙ?බලයට ආවම පස්සෙ තමන්ට ඉනිමග තැබූ එලීට් එකට පිටුපා කටයුතු කරන්න ආන්ඩු වලට නොහැකිද?
පලමු කරුන එ‍සේ කරන්නට පෙලඹෙන දේශපාලන නායකයන් ඉතා අඩුයි.නමුත් කලාතුරකින් හෝ එසේ හිතුවක්කාරී උනොත් ඊලග මැතිවරනයේදී අදාල දේශපාලකයාට වියදම් දරන්න අරමුදල් නැතිවෙනවා පමනක් නෙවෙයි අවශ්‍ය නම් නියමිත කාලයට පෙර අදාල ආන්ඩුව පෙරලා දමන්න හෝ තමන්ට අවශ්‍ය විදියට සංයුතිය වෙනස් කර ගන්න අර කියූ ධනේශ්වරයට හැකියාව තිබෙනවා.මෙය පැවසූ සැනින් තේරුම් ගැනීම තරමක් අමාරු වෙයි.මේ මොනවද මේ කියන්නෙ කියල සිතෙයි.මොකද අපිව හිතන්න පුරුදු කරවල තියෙන්නෙ ඒ විදිහට නොවන නිසා.නමුත් උදාහරන කීපයක් ගත්තොත් මේ කියන දේ තුල තිබෙන යථාර්තය තේරුම් ගැනීම අපහසු නැහැ.
2000 බිහිවුන පොදු පෙරමුනු ආන්ඩුව 2001 ඔක්තොම්බර් වන විට කඩා වැටුන අන්දම මතක් කර ගන්න.ඔබට මතක නම් 2001 අග වන විට අකමැත්තෙන් උනත් දේශපාලන අස්ථාවරත්වය නිසා පරිවාස ආන්ඩුව නමැති වැඩපිලිවෙලකට යන්න එවකට තිබූ ආන්ඩුවට සිදු වුනා.එතෙනදී අර ආර්ථික රදලයන්ගේ පාලනයට පිටින් ඉන්න විපාක්ෂික පිරිසකගේ ග්රහනයට ආන්ඩුව හසුවුනා.ඒ සමගම ආවා රජයේ බැංකු වලට නය නොගෙවා සිටි මහා පරිමාන ව්‍යාපාරික කොටස්වල නය ආපසු අය කර ගත යුතු බවට වන යෝජනාවක්.මේ යෝජනාව පැහැදිලිවම අර ප්රභූ පංතියේ උවමනා හා පැවැත්මට එරෙහිව යන්නක්.අවසානයේදී සිදු වූයේ කුමක්ද?රට ගැන තියෙන "ආදරය" නිසා පොදු පෙරමුනේ මහ ලේකම් ඇතුලු පිරිසක් විපක්ෂයේ වාඩි වුනා.අදාල පිරිස විපක්ෂයට පිල් මාරු කල දවසේ පාර්ලිමේන්තු ගැලරියේ උන් පිරිස සතුට පල කලා.ඒ සතුට පල කල පිරිස කවුද යන්න සොයා බැලුවොත් ආන්ඩුව කඩා වැටීමේ කතන්දරයේ ඇත්ත තේරුම් ගැනීම අපහසු නැහැ.1994 සිට චන්ද්රිකා මහත්මිය තුල නොදැකපු අඩුපාඩු එක්වරම 2001දී මහින්ද විජේසේකර වර්ගයේ ඇමතිවරුන්ට තේරුම් යාමේදී එම තේරුම් කරදීම වෙනුවෙන් කෙතරම් මුදල් ප්රමානයක් ගනුදෙනු උනාද යන්න සෙවීම ඉතිහාසඥයන්ට හොද ගවේෂන මාතෘකාවක්.අබාගේ අප්පචිචි කවුද සොයනවාට වඩා අඩුම තරමින් එම ගවේෂනය සමාජයට වැඩදායක දැනුමක් හෝ නිර්මානය කරනු ඇති.
මේ පිලිබද සිතා බැලීමට කැමති අය වෙනුවෙන් තවත් එවැනි ලාංකීය සිදුවීම් කිහිපයක් සදහන් කල හැකියි
-1958 කුඹුරු පනත ඉදිරිපත් කල පිලිප් ගුනවර්ධන මහතාගේ පක්ෂය ම.එ.පෙ ආන්ඩුවෙන් ඉවතට ඇද දැමීමේ සිදුවීම
-1964 පුවත් පත් පනත නිසා එවකට රජය බිද වැටීමේ සිද්දිය
-1975 සමසමාජ පක්ෂයේ මුදල් ඇමති ප්රමුඛ පිරිස ආන්ඩුවෙන් ඉවතට දැමීම

කොහොම උනත් අන්තිම විග්රහයේදී 1948 සිට මේ මොහොත දක්වා පවත්වාගෙන එනු ලැබූ රාජ්‍යය ධනේශ්වර රාජ්‍යයක්ය යන්න පැහැදිලියි.එම රාජ්‍යය සේවය කරන්නේ සහ සේවය කලේ එක්තරා පංතියකට.සෙසු සමාජ ස්තරයන් හැම වෙලාවෙම හිටියෙ ප්රමුඛතා ලැයිස්තුවේ පහල තැන්වල.ගැම් දුප්පත්කම 1948 ඉදල අවුරුදු 60ක් ගතවෙලත් තවම දරුනු විදිහට පවතින්නේ ඒ නිසා.ධනය බෙදී යාමේ විෂමතාවය කවදාවත්ම අඩු නොවුනෙ හා අඩු නොවෙන්නෙ ඒ නිසා.ලෝකයේ මොන වෛද්‍ය විද්‍යාත්මක හාස්කම් සිදු වුනත් කම්බිඅඩියේ වයස්ගත ස්ත්රියට බේත් ගන්න පාන්දර 3ට ඇහැරිලා සීතලේ ගැහි ගැහී නුවර රෝහලට ඇවිත් (ඒ එන්න හරියට බසුත් නැහැ)පෝලිමේ බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ ඒ නිසා.ඔවුන් එහෙම සීතලේ ගැහෙද්දී මිහින් එයාර්හි සභාපතිට ලක්ෂ හතරකට ආසන්න මාසික වැටුපක් ලැබෙන්නෙ ඒ නිසා.රොසලින්ට සීලවතීට මේ යාන්ත්රනය තුල බලය නැහැ.කේවල් කිරීමේ හැකියාව නැහැ.ආන්ඩු එය කොල පාට උනත් නිල් පාට උනත් ලාංඡනේ අලියා උනත් පුටුව උනත් මකරා උනත් ප්රමුඛතාවය දෙන්නෙ අර ධනපති කොටස්වලට සහ අරගනු ලබන්නෙ එම ධනපති කොටස්වල පාර්ශවය.
ඉතින් වඩා ගැඹුරු විග්රහයකට ගියොත් උතුරු නැගෙනහිර ගැටලුවෙ ඇත්ත හේතුව තිබෙන්නෙත් මෙම ධනේශ්වර ක්රමයේ හා රාජ්‍යයේ විෂමතාවය තුල.
දකුනේ සීලවතීට නැතිවුන බෙහෙත් ටික උතුරේදී රාසම්මාට නැතිවුනා.දකුනේ පාසල් දරුවන්ට නොලැබුන පහසුකම් කිලිනොචිචියේ දෙමල දරුවන්ට අහිමි උනා.ජාතික ධනය අගනගරය තුල පැටවු ගසමින් සිරවෙද්දි හම්බන්තොටට මඩකලපුවට කොකාවිල්වලට ලැබුන දෙයක් නැහැ.
උතුර් තරුනයා මෙම ගැටලුව තේරුම් ගත්තේ එහි පුලුල් තේරුමෙන් එනම් මෙය ධනේශ්වර ක්රමයේ නෛසර්ගික ගැටලුවක් ලෙස නොවෙයි.සිංහල මිනිසුන් විසින් තමන්ට ලැබිය යුතු රැකියා ලබා නොදෙන වගයි ඔවුන් සිතුවෙ.සිංහල පොදු මිනිසාටත් මේ සිස්ටම් එක ඇතුලෙ රස්සා නැති වග ඔවුන් තේරුම් ගත්තෙ නැහැ.මේ නිසා උතුරේදී අන්තවාදී ලෙස පුපුරා යන්නෙ ධනේශ්වර රාජ්‍යයේ විෂමතාවයට එරෙහිව එම ජන කොටස්වල අතාර්කික ප්රතිරෝදය.එම ප්රතිරෝදය අතාර්කිකයි.දාර්ශනිකව අදේශපාලනිකයි.ධනේශ්වර රාජ්‍යයේ පීඩනයට එරෙහිව ඔවුන් සුලු ජාතික වර්ගවාදයේ ගොහොරුව තුල එරුනා.මේ ගැන අවශ්‍ය නම් පසුව සාකච්ඡා කල හැකියි.
කෙසේ උනත් තේරුම් ගත යුතු දේ නම් උතුරේ ත්රස්තවාදයක් බිහි වුනේ නිකම්ම නොවන බව.එය ධනේශ්වර රාජ්‍යය නිසා උද්ගත වූ නොවැලැක්විය හැකි තත්වයක්.දැන් හමුදාව මුලතිව් මුදාගත් පසු ප්ශ්නයේ හේතුව වුන ධනේශ්වර රාමුව හා රාජ්‍යය වෙනස් වෙනවාද?කම්බිඅඩියේ රොසලින්ට අදටත් නොලැබෙන බෙහෙත් ටික උතුරේ රාසම්මාට දැන් ලැබෙන්න පටන් ගනීවිද?මුල්ගම්පොල නිශ්ශංකටවත් රැකියාවක් ලබා දෙන්න නොහැකි මේ සිස්ටම් එක උතුරේ අලුතෙන් එකතු වෙන විරැකියා පෝලිමේ ප්රශනය විසදන්නෙ කොහොමද?
දැන් සමහරවිට තර්ක කල හැකියි මෙතුවක් කල් නිශ්ශංකලාට රස්සා දෙන්න බැරි වුනේ රොසලින්ට බෙහෙත් නොලැබුනේ ආන්ඩුව යුද්දෙට වියදම් කල නිසා දැන් යුද්දෙ ඉවර නිසා ඒවා ඉටු කල හැකි වග.මේ මොහොතේදි පාලකයන් කියමින් සිටින්නෙත් එවන් කතාවක්.මෙතෙක් කල් සමාජයේ උවමනාවන් ප්රශස්ත ලෙස සපුරාලීමට නොහැකි වුනේ යුද වියදම නිසාද?
එම තර්කය පිලිගන්නවා නම් යුද වියදම් නොතිබූ කාලවල්වල උක්ත ප්රශ්න අවම මට්ටමක තිබුනා හෝ කොහෙත්ම නොතිබුනා විය යුතුයි.
1948 සිට 1980 අග භාගය දක්වාම රජයේ යුද වියදමක් තිබුනා නම් තිබුනේ ඉතාම සුලු ප්රතිශතයක්.දැන් යුද වියදමක් නොතිබුනත් ඒ කාලයේ විරැකියාව හෝ ගැමි දුගීබව පැවතුනේ නැද්ද?ඒවා පැවතුනා පමනක් නොවේ එම ප්ර්ශ්න එවකටත් තිබුනේ අතිශය උග්ර තත්වයක.යුද්දය නිසා විෂමතා හට ගත්තාය යන්න අසත්‍යයක්.
ධනවාදී රාජ්‍යයක නෛසර්ගික ස්වරූපය තමයි විෂමතාවය.එම විෂමතාවය විසින් යුද්දයක් ඇති කලා.යුද්ධය නතර කර ගත්තත් මුල් හේතුව වුන ධනවාදී රාජ්‍යය එලෙසින්ම තිබෙනවා.එම රාජ්‍යය පවතින තාක් විෂමතාවයත් එලෙසින්ම පවතිනවා.සමාජ අසමානතාව හා අසාධාරනය පවතින තුරු නැවත නැවතත් සමාජ ප්රචන්ඩත්වය පුපුරා යාම වලක්වන්නට බැහැ.මුලතිව් දිනීමේ වැදගත්කමක් තිබුනත් එය බොහෝ දෙනා පරිකල්පනය කරන ආකාරයේ රොමෑන්ටික් හැරවුමක් නොවන වග ආරම්භයේදී මා පැවසුවේ ඒ නිසා.

දැන් මෙහි ඊලග අර්ධයට පිවිසෙමු.කලින් පැවැසූ අන්දමට මේ මොහොතේ පවතින රාජ්‍යය මූලික වශයෙන් ධනේශ්වර එකක්.ද්වීතික වශයෙන් එය සිංහල අධිපතිවාදී එකක්.එනම් රාජ්‍යයේ ස්වභාවය තුල සිංහල අධිපතිවාදය ගැබ්වෙලා තියෙනවා.
රාජ්‍යය සම්පූර්නයෙන්ම එනම් සියයට සියයක් සිංහල අධිපතිවාදීය යන්න මෙතැනින් අදහස් වන්නෙ නැහැ.මා තර්ක කරන විදිහට රාජ්‍යයේ සිංහල බව එහි ද්විතීක ලක්ෂනයක් මිස මූලික ලක්ෂනය නොවෙයි.මන්ද මෙය පූර්න වශයෙන් සිංහල ජාතිවාදී එකක් නම් කදිරගාමර් මහතා වැනි විදේශ අමාත්‍යවරුන් හෝ ආනන්ද රාජා වැනි පොලිස්පතිවරුන් බිහි වීම වෛෂයික වශයෙන් සිදු විය නොහැකි නිසා.හිට්ලර්ගේ පොලිස්පති/විදේශ ඇමති යුදෙව්වෙක් වීම හෝ බෝතාගේ පොලිස්පති නීග්රෝවෙක් වීම ගැන මදක් සිතා බලන්න.එවැන්නක් කවදාවත් සිදු විය නොහැකියි.මේ අනුව පරිසමාප්ත වර්ගවාදී රාජ්‍යයක ස්වරූපය ලංකාවේ රාජ්‍යය තුල තිබෙන වග නිගමනය කිරීම වැරදියි.
නමුත් රාජ්‍යයේ ස්වභාවය තුල සිංහල අධිපතිවාදය බරපතල ලෙස පවතී යන්න ඉන් කිසිසේත් බැහැර නොවේ.
1949 ජාතියේ පියා විසින් දෙමල වතු කම්කරුවන්ගේ චන්ද අයිතිය අහෝසි කිරීමේ සිටම මෙම සිංහල අධිපතිවාදය දිගින් දිගටම දකන්නට තිබුනා.රට තුල බෙදුම්වාදී දේශපාලනය බරපතල ලෙස ව්‍යාප්ත වීමට පරිසරය සකස් කිරීමට මේ අධිපතිවාදී ස්වභාවය පැහැදිලිවම හේතු වුනා.බෙදුම්වාදය හුදෙක් චෙල්වනායගම්ගේ හෝ ප්රභාකරන්ගේ සිතුවිල්ලක් නෙමෙයි.ද්රව්‍යමය පදනමකින් තොරව සිතුවිලි බලවේග බවට පත්වන්නේ නැහැ.බෙදුම්වාදය පිලිබද අදහස බරපතල බලවේගයක මට්ටමට වර්ධනය වුනේ කොහොමද?මීට කලින් සදහන් කල රාජ්‍යයේ ධනපති ස්වරූපය වාගේම රාජ්‍යය තුල වූ ජාතිවාදී ලක්ෂනයන් මීට සාධක සපයනු ලැබුවා.
දෙමල අයට දෙමල වීම නිසාම ඇති වෙලා තියෙන ප්රශ්න මොනවාද කියන එක දකුනේ සිංහල ජාතිකවාදී කතිකාව ඇතුලෙ තියෙන ජනප්රිය ප්රශ්නයක්.මීට සිත් ගන්නා සුලු පිලිතුරක් නිර්මාල් රංජිත් දේවසිරි මහතා වරෙක ලබා දී තිබුනා.ඒ පිලිතුර සමග එතුමා එල‍‍ඹෙන නිගමනය සමග ප්රතිවිරෝධයක් තිබුනත් එය ඉතා තාර්කික හා වලංගු පිලිතුරක් බවයි මගේ අදහස.ඔහු කියා තිබුනේ දෙමල ජනයාට දෙමල වීම නිසාම ඇති ගැටලුව නම් ඔවුන්ගේම කියා රාජ්‍යයක් නොමැතිකම යනුවෙනුයි.
අවාසනාවකට වගේ මෙය තමයි සත්‍යය.රාජ්‍යය තුල තිබුන ජාතිවාදී ලක්ෂන නිසා ලංකාවේ රාජ්‍යය තමන්ගේ රාජ්‍යය තමන්ගේ රාජ්‍යයක් ලෙස දෙමල මිනිසුන්ට දැනුනේ නැහැ.එහි රාජ්‍ය භාෂාව කලේ සිංහල භාෂාව.හමුදාව ඇතුලෙ තිබුනෙ සිංහල හැඩයක්.83 කෝලාහාලවලදී ජාතිවාදී මැරයන් දෙමල මිනිසුන් මරාදමද්දී හා දෙමල ගැහැනුන් දූෂනය කරද්දී හමුදාවේ සොල්දාදුවන් ඔල්වරසන් නැගුව බවට වන සදහන දෙමල අයගේ ගැටලුව ගැන අසන අයට සමහරවිට දිරවා ගැනීම අසීරු විය හැකි වුනත් ඒ තමයි සත්‍යය.එම හමුදාව තමන්ගෙ එකක් ලෙස ඔවුන්ට හැගුනෙ නැහැ.ඇත්තටම රාජ්‍යය හෝ හමුදාව ඔවුන්ගේ එකක් උනේ නැහැ.මේ කතා කරන මොහොත වෙන කොටත් අඩුම තරමින් ලංකාවෙ හමුදාවෙ දෙමලෙන් අන දෙන එක ප්ලැටූනයක්වත් නැහැ.
මේ තත්වය ජාතික ගීයේ සහ ජාතික කොඩියේ පවා තිබෙනවා.අපේ රාජ්‍යයේ ජාතික ධජයම වාර්ගික අසමානතාවයේ සංකේතයක්.ධජයේ හතරෙන් තුනක විශාල සිංහයෙක් අසිපතක් අරගෙන සිටිද්දී දෙමල ජනතාව වෙනුවෙන් කියල අටෙන් පංගුවක පමන කුඩා තීරුවක් වෙන් කරල තියෙනවා.මෙවැන්නක් තමන්ගේ ධජය ලෙස දෙමල මිනිසුන් බාර ගනීවිද?ඔබ දමිලයෙක් නම් ඔබ පරම්පරා ගනනක් ජීවත් වූ රටෙන් ඔබව කොන් කරන විට ඔබේ භාෂා අයිතිය කප්පාදු කරන විට ඔබට විශ්ව විද්‍යාලයට යාමට තිබෙන අයිතිය පවා වාර්ගික පදනම් මත සීමා කරන විට ඔබ‍ට විරුද්දව මැරයන් ප්රහාර එල්ල කරන විට සහ නීතිය රකින්නන් එහිදී ඔබට විරුද්ධව මැරයන්ගේ පාර්ශවය ගන්නා විට ඔබට දැනෙන හැගීම කුමක් වනු ඇත්ද?
මේ ප්රශ්නය අඩු වැඩි වශයෙන් තවම පවතිනවා.මුලතිව් මුදා ගත්තා කියල එහි වෙනසක් වෙලා නැහැ.
කැනඩාවට ගිය හමුදාපතිතුමා ලංකාව යනු සිංහලයන්ගේ රට බව පුවත්පතකට පැවසූ බව වාර්තා වී තිබුනා.ලංකාව සිංහලයන්ගේ පමනක් රට නම් මේ රටේ උපදින ජීවත්වෙන හා මියයන දෙමල හා මුස්ලිම් උදවියටත් ඔවු‍න්ගේම වෙන වෙනම රටවල් මේ භූමිය තුල තිබීම සාධාරනයැයි සිතීම ස්වභාවිකයි නේද?රජයේ රූපවාහිනයේ අපේ ගම නමැති වැඩසටහනට පසුගිය දවසක සහභාගි වුන එක්තරා මහාචාර්යවරයෙක් -ඔහු මේ ආන්ඩුවේ ප්රබල මතවාදීමය ආධාරකරුවෙක්-දෙමල මිනිසුන් කියන්නෙ ලන්දේසින් විසින් අවුරුදු 300 ට පෙර ලන්දේසීන් විසින් මෙරටට ගෙන්වන ලද කුලීකාරයන්ගෙන් පැවතගෙන එන්නවුන් බව ප්රසිද්ධියේ පවසනු ලැබුවා.කරුනක් ලෙස මෙහි වලංගුතාවය බරපතල ලෙස ප්රශ්න කල හැකිවුවත් එවැනි ප්රකාශයක ඇති වාර්ගික වෛරය හා පහත් කොට සැලකීම විසින් දෙමල මිනිසාට දෙන පනිවිඩය කුමක්ද?මෙවැනි විකෘති මනසකින් යුත් ප්රකාශ නිකුත් කරන රූපවාහිනී සේවයක්‍ මෙහෙයවන රජයක් තමන්ගේ රජයක් ලෙස දෙමල මිනිසා පිලිගනු ඇත්ද?
ඔබ දමිලයෙකු නම් ඔබ එසේ පිලිගන්නවාද?
ප්රශ්නය තිබෙන්නේ මෙතැන.මේ පවතින රාජ්‍ය ව්‍යුහය පදනමින්ම මර්ධනකාරීයි.පදනමින්ම විෂමයි.ත්රස්තවාදය මිලිටරිමය ලෙස පරාද කොට තිබෙනවා.නමුත් මෙය ප්රශ්නයේ කෙලවර ජැක්සන් ඇන්තනී මහතා නිදහස් දවසේ තිබුන සංගීත සාජ්ජයකදි උජාරුවෙන් පැවසූ ආකාරයට-"සාමය උදාවීම"-ලෙස තේරුම් ගන්නවා නම් එය බරපතල වරද්දා ගැනීමක්.
1980 තිස්ස වීරතුංග යාපනයට පිටත් කල එවකට ජනාධිපතිතුමා ත්රස්තවාදය මර්ධනය කිරීම ඔහුට පැවරුවා.ඇත්තෙන්ම එක්තරා ආකාරයකට දෙමල මිලිටරි කන්ඩායම් අඩපන කරන්න ඔහුට හැකියාවත් ලැබුනා.නමුත් රාජ්‍යයේ ව්‍යුහය වෙනස් වුනේ නැහැ.ධනවාදී රාමුව ඇතුලෙ කොහොමත් කොන් කිරීමට ලක්වෙලා සිටි සිටි උතුරේ පීඩිතයා රාජ්‍යයේ සිංහල අධිකාරවාදයේ බලපෑම නිසා තවත් ආන්තිකකරනයට ලක්වුනා.එහි නියත ප්රතිඵලය වුනේ නැවත වටයකින් ප්රචන්ඩ දේශපාලනය මහා පරිමානයෙන් කරලියට ඒම.

ඒ නිසා ඇත්තටම ගත්තොත් මේ රතිඤ්ඤා පත්තු කරන්න වෙලාවක් නෙමෙයි.මේ මුලතිව් අල්ලා ගැනීම වෙනුවෙන් ආතල් එකට බෝතලයක් වටේ සෙට්වෙන්න වෙලාව නෙමෙයි.මුලතිව් මුදා ගත්තට ඔබේ මගේ හෝ සහෝදර දෙමල මිනිසාගේ හෝ ප්රශ්න විසදෙන්නෙ නැහැ.රොසලින්ට බේත් ටික ලැබෙන්නෙ නැහැ.රාසම්මාගේ පුතාට රස්සාවක් ලැබෙන්නෙ නැහැ.ඔබේ පාරට බස් එකක් ලැබෙන්නේ නැහැ.ගෑස් මුදලාලිලා ඔබව සහ අපව සූරාගෙන කෑම නතර වෙන්නෙත් නැහැ.සූරාකෑමේ සහ පීඩනයේ විෂම යන්ත්රය ඒ විදියටම වැඩ කරනවා.
එසේනම් මතුවෙන ප්රශ්නය තමයි ඇත්ත උත්තරය තිබෙන්නේ කොතැනද?
ඇත්ත උත්තරය ගන්න නම් මේ රාජ්‍ය ව්‍යුහය කඩල දමන්න.ධනේශ්වර සිංහල රාජ්‍යය වෙනුවට බහු වාර්ගික මහජන රාජ්‍යයක් ආදේශ වන තුරු -විකල්ප සමාජ ආකෘතියකට අපි මාරු ව‍න තුරු මෙම විෂම චක්රය නැවත නැවතත් දහස් ගනන් ජීවිත බිල්ලට ගැනීම වලක්වන්නට බැහැ.