Saturday, March 28, 2009

කර්මය-මානව නිර්මිතයක් ලෙස


කර්මය පිලිබද අදහස පෙරදිග ආගම් වල පොදුවේ දක්නට ලැබෙන ජනප්‍රිය අදහසක්.ජෛනාගම බුදුදහම පමනක් නොවෙයි හින්දු ධර්මය තුල ද කර්මය පිලිබද අදහස් දැක්වීම් දැක ගත හැකියි.යම් භවයක සිදු කරන කුසල් හෝ අකුසල් ක්‍රියාවක ප්‍රතිඵලය එම භවයේම හෝ වෙනත් භවයක පුද්ගලයාට බලපානු ලබන බව මෙම අදහසෙහි ඇති පොදු හරයයි.කර්මයෙහි බලපෑම ස්වභාවිකවම සිදුවන ස්වභාවික ධර්මතාවයක් ලෙසිනුයි හදුනාගැනෙන්නේ.බුදු දහම තුල එය නියාම ධර්ම පහෙන් එකක්.එනම් උතු නියාමය-සෘතු භේදය වගේම ස්වභාවිකව ජීවින්ට බලපාන නියමයක්.මේ අනුව බොහෝ විට කර්ම සංකල්පය පෙරදිග ආගම් බහුතරයක මූලධාර්මික පදනමක් ලෙසින්ම ඉදිරිපත් වනු දැකගත හැකි වෙනවා.
කෙසේ වුනත් කර්මය යනු ස්වභාවික ධර්මතාවයක්ද?නැතහොත් මිනිසා විසින් නිමවන ලද සංකල්පයක්ද ?මේ පිලිබද අදහසක් මතු කිරීම මෙම සටහනෙහි අරමුනයි.
සාමාන්‍යයෙන් අදේවවාදි කොටස් විසින් මතු කරන තරමක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි මිනිසා දෙවියන් විසින් මවන නොලදී,මිනිසා විසින් දෙවියන් මවන ලදී කියන මතය.ලෝකය තේරුම් ගැනීමේදී පවත්නා දැනුම සීමාසහිත වන/අසමත් වන මොහොතක් එනවා.අද්භූත හා අධිභෞතික විග්‍රහ කිරීම් බිහිවන්නේ මෙසේ දැනුම සීමාසහිත වන අවස්ථා වලදීයි.පැහැදිලි කර ගැනීමට නොහැකි දෙයට එවැනි පාරභෞතීය සංකල්පයක් හරහා වෙනම අර්ථකතනයක් දෙමින් වෙනත් පැහැදිලි කර ගැනීමක් සාදා ගැනීමට මිනිසා උත්සුක වෙනවා.
නිදසුනක් විදිහට අකුනු ගැසීම,සුලි සුලං ඇතිවිම වැනි ස්වභාවික සංසිද්ධි තේරුම් කිරීමට අවශ්‍ය අවබෝධය අතීත මිනිසාට පැවතියේ නැහැ.ඒවා පැහැදිලි කිරීමට පවතින දැනුම සීමා සහිත වනවිට ඒවා දෙවියන්ගේ කැමැත්තට භාර දෙනු ලැබුවා.වහින එක,පායන එක මේ අනුව දේව කැමැත්ත අනුව සිදු වන දේ යැයි නිර්වචනය වුනා.
දෙවියන්ගේ ප්‍රභවය පිලිබද මේ සමීකරනයම කර්මය නැමැති සංකල්පයෙහි විකාශනයටත් ආදේශ කල හැකියි.
උපත ලබන දරුවෙක් පැහැපත් හා නිරෝගී අයෙක් වීමටත් තවෙකෙක් විරූපී හා අංගවිකල අයෙක් වීමටත් හේතුව කුමක්ද?මේ ගැන උත්තර හොයද්දි ජාන පිලිබද අවබෝධයක් හා දැනුමක් අතීත මානවයාට පැවතියේ නැහැ.දැනුම අසමත් වෙද්දි පැහැදිලි කිරීමක් සොයාගෙන මිනිසා හැරුනේ කර්මය දිශාවට.මේ අනුව පැහැපත් සමට හේතුව ලෙස දැක්වුනේ පෙර භවයක කරන ලද කුසල් කර්ම.අංගවිකල ශරීරයට හේතුව වුනේ එදිනෙදා භාෂාවෙන් කියනවා නම් - පෙර ආත්මයක කරන ලද පවු.
දැන් සමහරෙක් ඉතාම ධනවත් වී තිබෙන්නේ සහ තව සමහරු ඉතාම දුගී ජීවිත ගත කරන්නේ ඇයි?වර්තමානයේ අර්ථ ශාස්ත්‍රය ගැන හැදෑරිමක් සහිත කෙනෙක්ට නම් මෙයට හේතුව දේපල හිමිකමේ වෙනස සමග සම්බන්ධ කොට තේරුම් ගැනීම අපහසු නැහැ.නමුත් අර්ථ ශාස්ත්‍රීය දැනුම වර්ධනය වෙලා නොතිබුන අතීතයේ ආදායම් විෂමතාවය පැහැදිලි කර ගත නොහෙන තැන මිනිසා කර්මය නමැති සංකල්පයේ පිහිටෙන් මෙය පැහැදිලි කරගැනීමට යන්ත දැරුවා.මේ අනුව ලැබුන උත්තරය පෙර භවයක කරන ලද කුසල් සම්භාරය නිසා මේ ආත්මයේ පොහොසත් වුනා යන්නයි.ඇති නැති භේදයට බටහිරදී දේව කැමැත්ත නිසා එය ‍එසේ සිදුවිය කියන පිලිතුර ලැබෙන විට පෙරදිග ආගම් ඊට යෝජනා කල පිලිතුර වුනේ දෙවියන් වගේම අධිභෞතීය සංකල්පයක් වුන කර්මය.
මේ අනුව කර්මය කියන සංකල්පය ඉතිහාසයේ බිහිවුනෙත් තමන් එදිනෙදා මුහුන දෙන ප්‍රශ්න තේරුම් ගැනීමට මිනිසා දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි කියන එක පැහැදිලියි.අවට පවතින දේ පැහැදිලි කරගන්න මිනිසා විසින් සංකල්ප ලෝකයේ නිර්මානය කල දෙවියන් වගේම තවත් අදහසක් කර්මය.මිනිසා විසින් දෙවියන් මවන ලදී කියලා කියන විට මිනිසා විසින් කර්මය වැනි අදහසුත් මවන ලදී කියලා එකතු කිරීමක් ඊට කලොත් එය වඩා නිවැරදි වෙනවා.
කර්මය සහ -මිනිස් නොවන -වෙනත් ජීවින් අතර සබදතාවය ගතහොත් කර්මය ස්වභාවික ධර්මතාවයකි යන අදහස අභියෝගයට ලක්වෙන ආකාරය නිරීක්ෂනය කරන්න පුලුවන්.
දැන් අපි පවු සහ පින් වර්ගීකරනය කරන්නේ කොහොමද?චේතනාත්මකව කරන "යහපත්"ක්‍රියා පිං ලෙසත් චේතනාත්මකව කරන "අයහපත්"ක්‍රියා පවු ලෙසත් බෙදා වෙන් කෙරෙනවා.මම චේතනාත්මකව සතෙක් මැරීම/සොරකම් කිරීම වැනි "වැරදි"දෙයක් කලහොත් එය අකුසලයක්.සිතා මතා දන්දීම,ලෙඩ අයට උදවු කිරීම වගේ "හොද"දෙයක් කලහොත් එය පිනක්.සුසිරිත් පිං ලෙසත් දුසිරිත් පවු ලෙසත් මේ අනුව බෙදා දැක්වෙනවා.සුසිරිත් හා දුසිරිත් කියන්නේ මොනවාද?ඒවා ඇත්තටම මිනිසා විසින් ස්වකීය පැවැත්මට අදාලව සාදා ගන්නා ලද සම්මතයන්.සමාජ සම්මතයන් කියන්නෙ මිනිසා විසින් බිහි කරන දේවල්/මිනිසා නිපදවන දේවල් මිස ස්වභාවික දේවල් නෙමෙයි.මේ නිසා සුසිරිත් හා දුසිරිත්(පින්-පවු)ස්වභාවික නැහැ.ඒවාට තිබෙන්නේ සමාජයීය ප්‍රභවයක්.මානවයා විසින් ඒවා නිෂ්පාදිතයි.
මේ පින්-පවු මිනිස් නොවන වෙනත් සත්වයන්ට බලපාන ආකාරය සලකා බලන්න.දැන් සතෙක් මරාගෙන කෑම "පවක්"ලෙස සැලකෙනවා.මන්ද මිනිසාට සාපේක්ෂව එය වැරදි දෙයක් වන නිසා.නමුත් එය "වැරදි"දෙයකි යන සවිඥානිකත්වය තියෙන්නේ මිනිසාට පමනයි.ගොදුරක් මරා කන හූනෙක්ට ගොදුර මරා කෑම පිනක්වත් පවක්වත් හොද දෙයක්වත් වැරදි දෙයක්වත් නෙමෙයි.ඒවා මිනිස් සංකල්ප මිස හූනාට අදාල සංකල්ප නෙමෙයි.මිනිස් ලෝකයේ සම්මතයන් හූනන්ට අදාල නොවන අතර ඒවා ගැන සවිඥානිකත්වයක් එම සතුන්ට නැහැ.සතෙක් ඩැහැ ගැනීම මේ නිසා හූනාට සිය පැවැත්මේ ආකාරයක් විතරයි.
සතුන්ටත් බලපාන "කර්මයක්" ගැන කතාකිරීම මේ අනුව විහිලුවක්.කර්මය කියන්නෙ චේතාන්විතව කරන යහපත් හෝ අයහපත් දෙයක් නම් සතුන්ට යහපත් හෝ අයහපත් චේතනා නැහැ."යහපත"හා "අයහපත"මිනිසාට සාපේක්ෂ මිනිස් සංකල්ප විනා සියලු සත්වයන්ට පොදු විශ්වීය ‍‍හෝ වාස්තවික සංකල්ප නෙමෙයි.සතුන් මැරීම,කාමයේ "වරදවා"හැසිරීම,මත්පැන් පානය,බොරු කීම වගේ දේවල් "පාපයන්"වෙන්නේ මිනිසාට පමනයි.අනෙකුත් ජීවින්ට ඔය කරුනු යම්තමින් හෝ අදාල වෙන්නේ නැහැ.
අනෙත් අතට සමාජ සම්මතයන් යුගය සමග විචලනය වෙනවා.අද "යහපත්"කියල සැලකෙන දේ වෙනත් යුගයකදී අයපතක් බවට පත්වෙන්න පුලුවන්.සාපේක්ෂකවාදී විධික්‍රමය පිලිබද කතිකාවතෙහි ඇති ජනප්‍රිය ප්‍රකාශයක් අනුව දක්වන්නේ නම් -එක් යුගයක සාවුන් තවත් යුගයක තාරාවුන් බවට පත්වේ-
ඒ කියන්නේ සම්මතයන්,සුසිරිත් හා දුසිරිත් පිලිබද පිලිගැනීම් ස්ථිර නැහැ.
නිදර්ශනයක් ලෙස ලිංගික චර්යාවන් ගත හැකියි.x නමැති ගැහැනිය පිරිමින් දෙදෙනෙක් සමග ලිංගික ජිවිතයක් පවත්වාගෙන යන්නේ නම් එය වර්තමාන සමාජයට සාපේක්ෂව "වරදක්".පාපයක්.කාමයේ "වරදවා"හැසිරීමක්.
නමුත් අවුරුදු හාරසියයකට පමන ඉහත එසේ පිරිමින් දෙදෙනෙකු සමග ලිංගික හවුලක් පවත්වා ගැනීම වරදක් වුනේ නැහැ.(බහු පුරුෂ විවාහ උඩරට සමාජයේ සුලභ ලක්ෂනයක්ව පැවතියා)ඒ ක්‍රියාව අද සමාජයට "පවක්"වුනාට එදා සමාජයට එය "පවක්"නොවෙයි.වැඩවසම් යුගයේ සම්මතය ධනවාදී යුගයේ අසම්මතය/පව බවට පත්වෙලා.
මින් නැවත පැහැදිලි වෙන්නේ කුමක්ද?පින් පවු යනු මිනිසා හදාගත්,සමාජමය සංකල්පයකි සහ එය කිසිසේත් ස්වභාවික ධර්මතාවයක් නොවේය යන්නයි.
යමක් ස්වභාවිකයි නම් එය ආර්ථික/සමාජ ක්‍රමයෙන් ක්‍රමයට වෙනස් වෙන්න බැහැ.සෘතු භේදය වැඩවසම් යුගයේදී එක විදිහකටත් ධනවාදී යුගයේ වෙනත් විදිහකටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.වැඩවසම් යුගයේ ඉර නැගෙනහිරින් නැගලා,නූතන යුගයේදී බටහිරින් නගින්නේත්-යම් හෙයකින් ධනවාදී යුගය වෙනත් යුගයක් බවට මිනිසා විසින් වෙනස් කරන ලදහොත් දකුනින් පායන්නට පටන් ගන්නෙත් නැහැ.යමක් සමාජ ක්‍රමයට/යුගයට සාපේක්ෂව වෙනස් වෙනවා නම් එතනින්ම පැහැදිලි වෙන්නෙ එය ස්වභාවික එකක් නොව සමාජයීය නිර්මිතයක් බවයි.මේ අනුව පින් පවු(චේතාන්විත යහපත/අයහපත) යනු විශ්වීය ධර්මතාවයක් හෝ නියමයක් නෙමෙයි මිනිසාගේ ස්වයං නිර්මානයක් යන්න පැහැදිලියි.
දෙවියන්,කර්මය වැනි ව්‍යාජ පැහැදිලි කිරීම් ඇත්තටම අවශ්‍ය වන්නේ මේ සටහන මුලදීම පැවසූ ලෙස දැනුම සීමාසහිත වන අවස්ථාවන්වලදියි.නමුත් නූතන සමාජය එදාට වඩා සෑහෙන දුරක් ඉදිරියට පැමින තිබෙනවා.
ලමයෙක් අංගවිකල වන්නේ ඇයිද කියන ප්‍රශ්නයට උත්තර දීමේදී තවදුරටත් දෙවියන්ගේ කැමැත්ත/පෙර ආත්මයේ පව වගේ මනෝමූලික ව්‍යාඛ්‍යානයන් වෙනුවට ශක්තිමත් පැහැදිලි කිරීමක් කල හැකි මට්ටම‍ට ජාන විද්‍යාව අද දියුනු වෙලා.
ධනයේ විෂම ව්‍යාප්තිය තේරුම් ගන්න අතිරික්ත වටිනාකම වැනි දියුනු සමාජ න්‍යායන් ගොඩනැගී තිබෙන අතර එම සිදුවීම් වෙනත් ඊනියා අධිභෞතික ප්‍රවාදයන් සමග ගැට ගැසීම අවශ්‍ය වෙන්නේ නැහැ.
අවිද්‍යාව නම් අදුර පවතින තැන්වල විඥානවාදය නමැති සත්වයා ඉතා ඕනෑකමින් ලැග සිටින අතර විද්‍යාවේ ආලෝකය වැටෙත්ම තවත් අදුරු තැන් සොයා පලායාම හැර ඊට විකල්පයක් නැහැ.විද්‍යාවේ දියුනුව නිසා ජීව විද්‍යා හා සමාජමය ක්ෂේත්‍රයන්ගෙන් කර්මය,දේව කැමැත්ත වගේ විඥානවාදී අදහස් පලවා හැර තිබෙනවා.දුගීබව ගැන කෙරෙන සංවාදයකදී ඕකට විසදුම මේ ආත්මයේ පිං රැස්කිරීමයි කියල යෝජනා කරන උදවිය මේ වනවිට නැහැ.
නමුත් මෙවැනි ව්‍යාජ පැහැදිලි කිරීම් සහමුලින්ම පරාජය වී ඇති බවක් ඉන් අදහස් වෙන්නේ නැහැ.මිනිස් දැනුම සෑහෙන තරම් වර්ධනය කර ගැනීමට අසමත් වුනු ඇතැම් ක්ෂේත්‍රයන්ට අදාලව මෙවැනි පරන මත තවමත් බලපැවැත්වෙන අතර සමාජ ජීවිතය අනවශ්‍ය ලෙස ආගමිකකරනය කිරීමට අධිකාරීන් දරන උත්සාහයන් නිසා පොදු සමාජය තුලත් බරපතල ලෙස මෙවැනි පැහැදිලි කිරීම් වලට වලංගුතාවයක් ලැබී තිබෙනවා.
පාසැල් තුලදී එක් පසෙකින් ජාන විකාතිවීම්,බැක්ටීරියා,වෛරස් ගැන උගන්වන ගමන් ඊලග පරිච්ඡේදයේදී පින්,පවු/දේව කැමැත්ත ගැන සිසුන්ට ඉගැන්වීම එක්තරා අන්දමක ප්‍රභසනයක්.හැබැයි වර්තමාන සමාජ ජීවිතය කියන්නෙම ප්‍රභසනයක් නිසා ඒ පිලිබද එතරම් පුදුම විය යුතුත් නැහැ
.

Tuesday, March 24, 2009

කුඩු ලාල්ගේ කතාව - he's only a pawn in their game

අවසානයේදී කුඩු ලාල් හෙවත් ලාල් පීරිස්ට ස්වකීය අපේක්ෂකත්වය නොලැබී ගියේය.නාම‍ යෝජනා දීමටත් පෙර කොලඹ හතර අතේ පෝස්ටර් ගැසූ ඔහුට නාම යෝජනා මන්ඩලය අභිමුවට ගොස් නැවත එන්නට සිදුවූයේ තටු හකුලගෙන හිස බිම නමාගෙනය.
ලාල් පීරිස්ගේ අපේක්ෂකත්වය අහිමි වීම ඇතැම් විට දේශපාලන සදාචාරවාදීන්ට අනුව ‍හොද දෙයකි.එය ජනාධිපතිතුමන්ගේ යහපත්භාවයත් රජයේ අවංක හා නිර්මල දේශපාලන භාවිතයත් පිලිබද නිදසුනකි.
රූපවාහිනී සේවයකට සාකචිඡාවක් ලබාදෙන ලාල් පීරිස් පැවසුවේ -රෝහිත අබේගුනවර්ධන වැනි-බොහෝ අය තමන් සමග අවුරුදු ගනනාවක් දේශපාලනය කොට ඇති අතර තමන් නීති විරෝධී ව්‍යාපාර කරන්නේ නම් පසුගිය වසර කිහිපය තුලම විරෝධයක් තමන් වෙත එල්ල නොවූයේ මන්ද යනුවෙනුයි.
මින් පැහැදිලි වන්නේ කුමක්ද?ලාල් පීරිස් නීති විරෝධී වැඩ නොකල බවද?
ඇත්තටම ඉන් පැහැදිලි වන්නේ ලාල් පීරිස් "අහිංසකයෙක්"යන්න නොව ලාල් පීරිස්ගේ "අවිහිංසක"නොවන වැඩ ගැන දැන දැනම ඔහුව වසර ගනනාවක් දේශපාලන අරමුනු වෙනුවෙන් භාවිතා වූ බවය.
ආදායම් උපයන මාර්ගය කුමක් වුවත් ලාල් පීරිස් සතුව සමාජයේ එක්තරා පිරිසකට,ස්ථරයකට අදාලව විශාල බලපෑම් කිරීමේ හැකියාවක් පැවති බව තතු දන්නෝ දනිති.ලුම්පන් සමාජ ස්ථරයන් හා පැවති සබදතා,ඔවුන්ට එදිනෙදා කාරනා වලදී කරන ලද උදව් උපකාර නිසා එම නිශ්චිත සමාජ කොටස අතරේ ලාල්ට ජනප්‍රියත්වයක් පැවතින.මේ අනුව ලාල් යනු එක්තරා අන්දමක ඡන්ද බැංකුවකි.
මේ නිසා -ලාල්ම දක්වන පරිදි-මෙතෙක් කල් සිදුවූයේ පාලක පංති‍ය හා පවතින දේශපාලන යාන්ත්‍රනය විසින් ලාල් නමැති ඡන්ද බැංකුව රිසි පරිදි ගසා කෑමය.ඔහුට තමන්ට කැමති විදිහකට ව්‍යාපාර පවත්වාගෙන යාම නමැති ලැයිසන් එක ලබාදුන් දේශපාලන අධිකාරිය එහි ප්‍රති ක්‍රියාව ලෙස ලාල් පීරිස්ගේ ඡන්ද තමන්ට ඇද ගැනීම ඉතා හොදට කරගෙන ගියේය.රෝහිත අබේගුනවර්ධනලාට පාර්ලිමේන්තු යාමට උපකාරී වූ චන්ද අතර එම චන්ද ද විය.
නමුත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද?දැන් ලාල් නමැති අශ්වයා වයසක එකෙක් බව පාලකයන්ට හැගී ගොස් තිබේ.මෙතෙක් කල් තමන් වෙනුවෙන් දරදිය ඇද්දද දැන් එම අශ්වයා තමන්ට "ඇනයක්"බවට පත්ව ඇත.විරුද්ධ පක්ෂ ආන්ඩුවට පහර දෙද්දී තුරුම්පුවක් ලෙස ලාල් පීරිස්ගේ නම භාවිත කිරීම පටන් ගැනීම සමග මෙම තත්වය තවත් තීව්‍ර වූයේය.
දේශපාලන චෙස් ක්‍රීඩාවේ ජයග්‍රහනය වෙනුවෙන් යොදාගනු ලැබූ ඉත්තෙකු(pawn) වන කුඩු ලාල් දැන් සිය පිලේ යහපත පිනිසම ප්‍රතිපක්ෂයට බිලිදෙන මොහොත පැමින තිබේ.
මේ නිසා කුඩු ලාල්ගේ කතාව දේශපාලන පාරිශුද්ධතාවය පිලිබද රොමෑන්ටික් ආදර්ශ කතාවකට වඩා එක්තරා ආකාරයක ඛේදවාචකයකි.පවතින දේශපාලන ක්‍රමයට මිනිසුන් වැදගත් නැත.එය මිනිසුන් දකින්නේ ඉත්තන් ලෙසිනි.එම ඉත්තන් තම අරමුනු වෙනුවෙන් රිසි ලෙස එහෙ මෙහෙ හසුරුවන දේශපාලන යාන්ත්‍රනය අවශ්‍ය වූ විටක සියලු වස් දොස් ඉත්තා මත පවරා ඔහුව බිලි දී අත පිසදා ගනී.ඇති තරම් වැඩගෙන පිලිකුල් සහගත හපයක් සේ ඉවත දමයි.
අන්තිමේදී කුඩු ලාල් හෙලා දැකිය යුතු අධමයෙකි.
ඔහුට අධම වැඩ කරන්නට ඉඩ දී මෙතුවක් සිය ඡන්ද මලු පුරවා ගන්නා ලද දේශපාලන අධිකාරීන් "දේශපාලන සදාචාරය සුරකින""ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන්ය".
ඇත්ත වශයෙන්මැ විරුද්ධ විය යුත්තේ ඉත්තන්ටද?ඉත්තන් හසුරුවන දෑත්වලටද?
හෙලා දැකිය යුත්තේ ලාල්-හා එවැනි අනිත් අය-නොවේ.එවැන්නන් නින්දිත ලෙස ස්වකීය පැවැත්ම වෙනුවෙන් භාවිතා කරන/එපා වූ විට බිලි දෙන,එහෙත් සදාචාරවාදීන් ලෙස වැජඹෙන කුහකයන්ය
.

To kill with no pain
Like a dog on a chain
He ain't got no name
But it ain't him to blame
He's only a pawn in their game.

- Bob Dylan

Sunday, March 15, 2009

පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය


පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම ගැන නැවත සාකච්ඡාවක් ඇති වෙමින් පවතින බව පෙනෙනවා.අවුරුදු විසි ගනනක් තිස්සේ කෙරීගෙන එන මේ සාකච්ඡාවන්ගේ ස්වරූපය සලකන විට එම සාකච්ඡාවනට සම්බන්ධ වෙන විවිධ පාර්ශව වල ස්වරයන්ගේ වෙනස්කම් දැකිය හැකියි.අවුරුදු ගනනකට පෙර පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඉතාම දුෂ්කර තත්වයන් යටතේ එරෙහි වූ මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා වැනි අයෙක් පවා සිය පිල් මාරු කර තිබෙනු වත්මන් සාකච්ඡා තුලදී දැකගත හැකියි.ජනමාධ්‍ය බොහෝමයක පවා අදහස් පලවන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලයන් හොදයි යන පාර්ශවයට වැඩි බරක් තැබෙන ආකාරයේ ලිපි ලේඛන.ලක්බිම ඉරිදා සංග්‍රහයට පු.වි.වි වල යහපත ගැන සතිපතා ලිපි ලිවීම එක්තරා මහාචාර්යවරයෙක්ගේ දින චර්යාවක් බවට පත්වී ඇතිදැයි සැක සිතෙන තරමට ඒ වෙනුවෙන් එම මහත්වරුන් කැප වී වැඩ කරමින් ඉන්නවා.
සාමාන්‍යයෙන් පුද්ගලික වි.විද්‍යාල වෙනුවෙන්,ඊට පක්ෂව මතුවෙන තර්ක කිහිපයක් පවතිනවා.
උසස් පෙල සමත් වෙන අයගෙන් පවතින වි.වි පද්ධතියට අවශෝෂනය වන පිරිස ඉතාම සීමිත බවත් අනෙත් අයට අවස්ථාව ලබා දෙනු වස් පුද්ගලික වි.වි ඇරඹිය යුතු බවත් ඉන් එක තර්කයක්.ලක්බිමට ලියන මහාචාර්යවරයා බදු අයගේ දැක්මට අනුව එය වූ කලී "ජාතික"අවශ්‍යතාවයක්
ජාතික වි.වි පද්ධතියට නොතේරෙන විශාල ප්‍රමානයක් දැනටමත් විදේශ අධ්‍යාපනය සදහා රට යන බවත් ඔවුන් නිසා පිට යන විදේශ විනිමය රට තුල රදවාගනු වස් මේ පියවරට යා යුතු බව ගෙනෙනු ලබන තවත් තර්කයක්.රාවය පුවත්පතට පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් සැප්තැම්බර් මස පිහිටුවීමට යෝජිත වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයා වන නෙවිල් ප්‍රනාන්දු මහතා මේ අදහස දැඩිව අවධාරනය කොට තිබුනා.
ලංකාවේ උසස් අධ්‍යාපනය ගැටලු ආකරයකි යන්න පිලිගත යුතු කරුනක්.සමාජ ආර්ථික වශයෙන් ගරාගෙන වැටෙන රටක අධ්‍යාපන පද්ධතිය පමනක් සුන්දර විදිහට පවතින්නට හැකියාවක් නැහැ.නමුත් මෙසේ මතු වී තිබෙන අධ්‍යාපන ක්‍රමයේ අර්බුදයට යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල ඇත්තෙන්ම විසදුමක්ද යන්න සොයා බැලිය යුතු කරුනක්.මෙතනදී සැලකිය යුතු කාරනය නම් පුද්ගලික විශ්ව විද්‍යාල "උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදයට"විසදුමක්ද නැද්ද යන්න විනා සමාජයේ එක්තරා "කොටසක"ප්‍රශ්න වලට විසදුමක්ද යන්න නොවෙයි.දෙනු ලබන විසදුම සමාජයට සමස්ථයක් විදිහට ලැබෙන ස්ථාවර පිලිතුරක් විය යුතුයි.එසේ නොවී සමාජයේ සීමාසහිත පිරිසකට ලැබෙන ආස්වාදයක් හෝ සැනසුමක් "සමාජයේ"ප්‍රශ්නයට ලද පිලිතුරක් ලෙස සැලකීම නිවැරදි නැහැ.
මේ කාරනය සලකන විට මට හැගෙන්නේ පුද්ගලික වි.වි සමාජයේ ඇති අධ්‍යාපන අර්බුදයට සැබෑ පිලිතුරක් නොවන බවයි.එය හුදෙක් පැලැස්තරයක් පමනක් වන අතර අවාසනාවන්ත කරුන නම් එම පැලැස්තරය මෙතෙක් නොවූ අමතර ප්‍රශ්න අධ්‍යාපන ක්ෂේත්‍රය අරභයා මතුකල හැකි පැලැස්තරයක් වීම.
උසස් පෙල සමත් වි.විද්‍යාලවලට නොතේරෙන අයට පුද්ගලික වි.වි පිහිටවූ විට උසස් අධ්‍යාපන අවස්ථාවක් ලැබේ යන්න මතුපිටින් ගත්විට ආස්වාදනීය තර්කයක්.නමුත් ඒ සමගම මතු කල යුතු ගැටලුව වන්නේ ඒ අවස්ථාව ලැබෙන්නේ "කාටද?"යන්නයි.
පුද්ගලික වි.වි පිහිටුවා පොදුවේ අධ්‍යාපන සුදුසුකම් තිබෙන සියලු දෙනාට භේදයකින් තොරව අධ්‍යාපන ලබා දෙන්නට කටයුතු කරනවා නම් එවැනි ගැටලුවක් මතුවෙන්නේ නැහැ.නමුත් අවාසනාවකට වගේ පුද්ගලික වි.වි ප්‍රවේශයේදී (සමහරවිට අධ්‍යාපන සුදුසුකම් වලටත් වඩා)අතිශය තීරනාත්මක ‍වන වෙනත් අවශ්‍යතාවයක් තිබෙනවා.ඒ තමයි ආර්ථික හැකියාව පිලිබද අවශ්‍යතාවය.
පුද්ගලික වි.වි පිහිටුවන්නේ පිනට නෙවෙයි යන්න පැහැදිලියි.ඕනෑම පුද්ගලික ව්‍යවසායක වගේම මෙවැනි ආයතන වලත් අභිප්‍රාය පලමුවත් දෙවනුවත් තෙවනුවත් ලාභ ඉපයීම.සීමිත ඉඩකින් අසීමිත ලාභ.මේ නිසා පු.සරසවි ප්‍රවේශය අනිවාර්යයෙන්ම මෙම ලාභය පිලිබද තර්කනයට යටත් වෙනවා.අපි දන්නවා දැනටමත් රාජ්‍ය වි.වි පද්ධතිය තුල වෛද්‍ය උපාධිය වැන්නකට එක් ශිෂ්‍යයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25කට ආසන්න ප්‍රමානයක් වැය කෙරෙනවා.පුද්ගලික ආයතනයක් කවදාවත් ලක්ෂ විසිපහක් නිකම් වැය කරන්නට සූදානම් වෙන්නේ නැහැ.මේ අනුව උසස් අධ්‍යාපනයට මිල නියම වෙන අතර කවුරු කෙසේ සගවාගන්නට උත්සාහ කලත් සත්‍යය නම් පුද්ගලික වි.වියන්හි දොර හැරෙන්නේ එම මිල දැරීමේ හැකියාව සහිත පුද්ගලයන්ට පමනක් බවයි.
මේ අනුව පු.වි.විද්‍යාල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට නොතේරෙන "සියලු"දෙනාට ලැබෙන අවස්ථාවක් ලෙස අර්ථ දැක්වීම සම්පූර්නයෙන්ම සාවද්‍යයි.දැනගැනීමට ඇති තොරතුරු අනුව සැප්තැම්බරයේදී පිහිටුවීමට නියමිත වෛද්‍ය විද්‍යාලයේ පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ 60කට ආසන්නයි.දැන් මතු කල යතු ප්‍රශ්නය නම් මේ මිල ගෙවීමේ හැකියාව ඇත්තේ සමාජයේ කොපමන පිරිසකටද යන්න.පැහැදිලිවම ඔය ලැබෙනවා කියන අවස්ථාව සමාජයේ "සියලු"දෙනාට,අඩුම තරමින් සමාජයේ බහුතරයක් දෙනාට ලැබෙන අවස්ථාවක් නෙමෙයි.රාජ්‍ය වි.විද්‍යාලවලට නොතේරෙන අයගෙන් "ආර්ථික හැකියාව ඇති" ස්ථරයකට ලැබෙන අවස්ථාවක් පමනයි.
මේ කාරනයේදී ජනමාධ්‍ය ඇතුලු බොහෝ අය අමතක කරන කරුනක් තියෙනවා.ඒ අපේ සමාජයේ ස්වභාවය.ලංකාව කියන්නේ ජනගහනයෙන් 46%-හරි අඩක‍ට ආසන්න ප්‍රමානයක්-දෛනික ආදායම ඩොලර් දෙකේ සීමාවටත් පහල ජීවත් වෙන රටක්.උස ගොඩනැගිලි,විශාල බිල්බෝඩ්,දිලිසෙන විදුලි බුබුලු,සුඛෝපභෝගී සාප්පු සංකීර්න,airtel වෙලද දැන්වීම්,චිකන් ෆ්‍රයිඩ් රයිස්,siarasa dancing star season2-මේ වගේ මතුපිට සැරසිලි ඉවත් කලාම අපිට ලැබෙන්නෙ සෑම මිනිසුන් හතර දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් අන්ත දරිද්‍රතාවයට ලක්ව දවසරින දුගීන්ගේ රටක්.
දැන් මතුවන ප්‍රශ්නය තමයි ලක්ෂ ගනනක වෛද්‍ය උපාධිය විවෘත වෙන්නේ කාටද යන්න.රාජ්‍ය වි.විද්‍යාලයට නොතේරෙන පදවියේ ගොවි පවුලේ දරුවාට ඒ දොර විවෘතද?වතුකරයේ තරුනයාට ඒ දොර විවෘතද?අක්කරෛපත්තුවල,කම්බිඅඩියේ සාමාන්‍ය පවුල්වලට ඒ ඉඩ පවතීද?
ඇත්තටම නාගරික සාමාන්‍ය මධ්‍ය පංතිකයාටත් මෙවැනි පිරිවැයක් දැරිමේ හැකියාවක් තිබෙනවාද?
අවාසනාවකට සමාජයේ බහුතරය සංයුක්ත වෙන්නෙ එම සමාජ ස්තරයන්ගෙන් හා පංතීන්ගෙන් මිස ඉහල ක්‍රය ශක්තියක් ඇති පවුල්වලින් නෙමෙයි.
මේ අනුව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කලත් එය එක්තරා සමාජ කොටසක වරප්‍රසාදයක් බවට පත්වීම වලක්වන්නට බැහැ.එතන තිබෙන තර්කය මෙවැන්නක්.හැමෝම A-level කරනව.ඉන් වැඩිම ලකුනු ගන්න පිරිසක් විශ්ව විද්‍යාලයට යනව.ඉතුරු වෙන පිරිසෙන් ගෙවීමේ හැකියාව තියෙන තවත් පංගුවකට වෙනම පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නවා.ගෙවන්න හැකියාව නැති අනිත් විශාල පිරිස වෙන අතක් බලාගන්න ඕන.ඒ පිරිසට වි.වි වරම් අහිමි වුනේ මේ අනුව ඔවුන්ගේ කුසලතාවයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි.ඉහල මිලක් ගෙවීමේ හැකියාව නැති නිසා.
සීමිත කොටසකට වාසියක් විය හැකි වුනත් මේ අනුව එවැනි ක්‍රමයක් විශාල බහුතරයකට අවාසියක් සහ අසාධාරනයක් වෙනවා.
මෙතනදි බොහෝ විට ගෙනෙන තර්කයක් තමයි සල්ලි තියන අය ගෙවල ඉගෙන ගත්තම මොකද.ඇයි ඔයාලට ඊරිසියද කියන ප්‍රශ්නය.මේ ප්‍රශ්නය නිරීක්ෂනය කල යුත්තේ සමස්තයක් ලෙස අරගෙන.යම් පිරිසකට "වාසියක්"වෙන දේ තවත් විශාල පිරිසකට "අසාධාරනයක්"වෙනවා නම් එම "වාසිය"සමස්ථ සමාජයේ වාසියක් ලෙස අර්ථකතනය කරන්න බැහැ.
නිදසුනක් විදිහට උසස් පෙල කරන x,y,z,සහ Aට විශ්ව විද්‍යාලයට යන්න යම් ලකුනු ප්‍රමානයක්-හැමෝටම ලකුනු 1ක් යැයි උපකල්පනය කරමු-අඩුවෙනවා.පුද්ගලික උපාධියකට අවශ්‍ය පිරිවැය දරන්න පුලුවන් X ගේ පවුලට විතරයි.දැන් උත්තරේ විදිහට පුද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවම x ටත් සරසවි වරම් ලැබෙනවා.ඒ ලකුනුම ගත් අනෙත් තිදෙනා බලාගෙන ඉන්නවා.කුසලතාවය අතින් සම තැන සිටියත් මෙතනදී තීරක සාධකය වෙන්නෙ ආර්ථික ශක්‍යතාවය.x "වාසියක්"ලෙස දකින දේ ඇත්තටම තවත් තිදෙනෙකුට අවාසියක්/අසාධාරනයක් බවට පත්වෙනවා.මෙතනදී වෙන්න පුලුවන් නරකම දෙයක් තමයි ලකුනු මේ සියලු දෙනාටම වඩා අඩු වුනත් ගෙවීමේ හැකියාව පමනක් තිබේනම් කොහේවත් සිටින B කෙනෙක්ටත් පෝලිම කඩාගෙන විත් පුද්ගලික උපාධියක් ලබාගැනීමට අවස්ථාව ලැබීම.අනෙත් අයට සිදුවන අසාධාරනය තවත් බරපතල වෙන්නෙ මෙතනදී.
(මෙතනට ඇත්ත පිලිතුර වෙන්නෙ උසස් අධ්‍යාපනය මුදල් ගෙවීමේ හැකියාව මත වෙන්දේසි කිරීම නොවෙයි.පවතින සරසවි පද්ධතිය වැඩි සිසුන් පිරිසක් අන්තර්ග්‍රහනය කරගැනීමට හැකි අයුරින් ප්‍රසාරනය කිරීම.මේ ගැන ඉදිරියේදී සාකච්ඡා කල හැකියි)
මේ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල පවතින ගැටලුවට යුක්ති සහගත පිලිතුරක් නොවෙනවා පමනක් නොවෙයි,තිබෙන සමාජ විෂමතාවය තවත් පලල් කරන්න එය හේතු වෙනවා.(විභාගෙ හරි නොගියත් සල්ලි තියෙන අය ගොඩ,නැති අයට හුලං- යනුවෙන්)
මේ අනුව ඇත්ත කතන්දරය පුද්ගලික විශ්ව විද්‍යාල යනු "ජාතික"උවමනාවක් නොව ඉහල මධ්‍යම පංතියට ලැබෙන බෝනස් එකකි යන්නයි.මෙවැන්නකින් සමාජ පිරමීඩයේ පතුලේ ජීවත්වෙන අති විශාල බහුතරයට ඇත්තටම ලැබෙන දෙයක් නැහැ.දැන් සීමිත කොටසකට ලැබෙන වරප්‍රසාදයක් "ජාතික"උවමනාවක් ලෙස පෙන්වන්නේ ඇයි?
අධ්‍යාපනය යනු හොද මිලකට අලෙවි කල හැකි වෙලද භාන්ඩයක්.මිලදී ගැනීමේ හැකියාව සියල්ලන්ට නැතත් අධි මිල ගනන් යටතේ මින් ලද හැකි ලාභය අතිශය විශාලයි.ව්‍යාපාරික මහත්වරු පුද්ගලික විශ්ව විද්‍යාල හදන්න මේ තරම් කැස කවන්නේ ජාතියට සෙත සලසන්න නෙමෙයි.මෙය වූ කලී හොද ගානක් හම්බු කරගත හැකි ඉල්ලමක්.ඇතැම් මහාචාර්යවරුන් නිදි මරාගෙන,දාඩිය පෙරාගෙන මේ ගැන ලිපි ලියන්නෙ "ජාතික"හැගීමකින්ද,පුද්ගලික විශ්ව විද්‍යාලයකට රිංගාගතහොත් භුක්ති විදිය හැකි යැයි සිතන ඉහල වේතන මට්ටම් වලට ආසාවෙන්ද යන්න නැනවත් අය තෝරා බේරා ගත යුතු කරුනක්.
කෙසේ වුනත් පුද්ගලික විශ්ව විද්‍යාලයන්ට පක්ෂව දැනට ගොඩනැගී ඇති කතිකාව ඉහල මධ්‍යම පංතික දෘෂ්ටිකෝනයකින්{petite bourgeois perspective}ගොඩනංවන ලද්දක්.කේවල් කිරීමේ බලයක් හෝ සිවිල් බලයක් නැති මහා සමාජයේ බහුතරයක අදහස් මේ කතිකාව තුල ඇත්තෙන්ම සලකා බලා නැහැ.එපමනක් නෙමෙයි,ඔවුන් ගැන සිතාබැලීමක් හෝ මෙම කතිකාව තුල සිදුවී නැහැ.
මෙම මාතෘකාව පිලිබද වෙනත් පැතිකඩ කිහිපයක් සමග ඉදිරියේදී සාකච්ඡාවක් ගොඩනගාගන්නට උත්සාහ ගනිමු.විශේෂයෙන්ම අධ්‍යාපන අර්බුදයට ඇත්ත උත්තරයක් හොයාගන්නෙ කොහොමද,රාජ්‍ය වි.විද්‍යාල පුලුල් කරන්න ආන්ඩුවට සල්ලි නැද්ද,නැතිනම් මොකද කරන්නෙ,පුද්ගලික වි.විද්‍යාල හමුවේ රජයේ විශ්ව විද්‍යාල පවතීද-මෙවැනි ගැටලු ගනනාවක් මේ විෂය හා බැදී පවතිනවා.
කෙසේ වුනත් මේ පිලිබද කතාකිරීමේදී පුලුල් මානසිකත්වයක් සහිත වීම වැදගත්.අපි කාට කාටත් යමක් දෙස බලද්දී අපගේ පංති පසුබිම විසින් ජනිත කරන ලද සීමාවන් බලපානවා.නමුත් හුදු මධ්‍යම පංතික දෘෂ්ටියකට සීමා වුනොත් අහුවෙන්නේ සමස්ත ප්‍රශ්නයේ එක කොටසක් පමනයි.ප්‍රශ්නයක් සමස්තයක් ලෙස නිවැරදිව ග්‍රහනය කර ගන්නේ නැතිව එය විසදීම කිසිසේත් කල හැක්කක් නොවේ.

Sunday, March 8, 2009

න/ණ,ල/ළ - අත්‍යවශ්‍යද?

සිංහල භාෂාව යනු කාලයාගේ සිදුවුන විවිධ වෙනස්කම් වලට අනුව හැඩ ගැසෙමින් මේ දක්වාම ස්වකීය අනන්‍යතාවය පවත්වාගෙන ආ දියුනු භාෂාවක්.ලෝකයේ සංවර්ධිත හා නූතන භාෂා ගනයට සිංහලයත් නිසැකවම වැටෙනවා.ඉන්දු ආර්ය භාෂා පවුලට අයිති සිංහලය එම භාෂා පවුලේ අනෙකුත් බොහොමයක් භාෂා වලින් වෙනස් වෙන්නෙ සිංහලයෙහි යෙදෙන අක්ෂර වල ඇති සුවිශේෂී වෙනස නිසා.වටකුරු හා කලාත්මක ස්වරූපයක් ගන්නා සිංහල අක්ෂර සතුව තිබෙන පෞරුෂය එයටම අනන්‍ය වූ එකක්.බ්ලොග් අවකාශය හරහා සිංහලය අන්තර්ජාලය ඔස්සේ බහුල වශයෙන් යොදා ගැනීමට පටන් ගැනීම මෙම සියවස තුලදීත් සිංහල භාෂාව නොනැසී ඉදිරියටත් පරිනාමය වන බවට සපයනු ලබන ඉගියක්.
නමුත් සිංහල ව්‍යාකරනයෙහි -විශේෂයෙන් සිංහලය ලේඛනය තුල භාවිතා වන ආකාරයෙහි -විවිධ ගැටලුකාරී ස්ථාන නොපවතී යන්න ඉන් අදහස් වෙන්නෙ නැහැ.
භාෂාවක් සුඛනම්‍ය වන තරමට එහි භාවිත වටිනාකම වැඩි වෙනවා.සිංහල භාෂාව ලේඛනය තුල යොදා ගැනීමේදී පවතින ඇතැම් අනම්‍ය හා රලු නීති ව්‍යුහයන් විසින් එය සුඛනම්‍ය බවින් අඩු භාවිතා කිරිම අනවශ්‍ය තරමට සංකීර්න එකක් බවට පත් කොට තිබෙනවා.
මෙවැනි එක් සම්මතයක් තමයි සුප්‍රකට න/ණ,ල/ළ භේදය පිලිබද මාතෘකාව.
ඔබ උසස් විභාග සදහා සිංහල හදාරා තිබේ නම් මූර්ධජ සහ දන්තජ න යන්නත් ල යන්නත් යෙදෙන තැන් අතර වෙනස බේරුම් කර ගැනීම කොයිතරම් සංකීර්න දෙයක්ද යන්න අත්දැක ඇති.ඊට හේතුවක් වෙන්නේ මෙම විභේදනය පැහැදිලි තාර්කික පදනමක් මත පදනම් නොවීම.
බොහෝ විට යම් අක්ෂරයක් යොදා ගැනෙන්නේ නිශ්චිත ශබ්දයක් සලකුනු කරන්න.මේ අනුව ගත්තම "බ" සහ "භ"යන්නෙහි වෙනස පැහැදිලියි."බල්ලා"කියන වචනය කවුරුත් "භල්ලා"කියල ලි‍යන්නේ නැහැ.මොකද මහාප්‍රාන අල්පප්‍රාන බෙදීම ශබ්දය මත පදනම් වුන පැහැදිලි බෙදීමක් වන නිසා.
සඤ්ඤක අක්ෂර සහ එසේ නොවන අක්ෂර ගත්තම එතන තියෙන බෙදීමත් පැහැදිලියි සහ තාර්කිකයි."කොලඹ"කියන වචනය "කොලබ"කියල නොලියන්නේ "ඹ"සහ "බ"අතර නිශ්චිත ශබ්දමය වෙනසක් තිබෙන නිසා.
දැන් මේ කතන්දරය මූර්ධජ හා දන්තජ "න/ල"අක්ෂර වලට ගෙනාවම තරමක සංදිග්ධ තත්වයක් මතු වෙන බව නිරීක්ෂනය කරන්න පුලුවන්.
නිවැරදි වචනය "ලමයා"ද?"ළමයා"ද?මෙතනදී සම්මතව භාවිතා වෙන්නේ "ළමයා"කියන පදය නිසා නිවැරදි එය බව යමෙක් පවසාවි.නමුත් අනෙත් පැත්තට "ලමයා" වැරදි වෙලා "ළමයා"පමනක් නිවැරදි වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මතු කරාම දෙන්න උත්තරයක් නැතිව යනවා.හරි යෙදුම "බන්ඩාරනායක"ද?"බණ්ඩාරනායක"ද?
"බල්ලා"කියන පදය "භල්ලා"කියල ලිවීම වැරදියි.මොකද ඒ අකුරු දෙකෙන් එන ශබ්දයේ පැහැදිලි වෙනසක් තිබෙන නිසා.
නමුත් බන්ඩාරනායක කියන වචනය කුමන "න"යන්න යොදල ලිව්වත් උච්චාරනය කරන ආකාරයේ පැහැදිලි වෙනසක් පෙනෙන්නට නැහැ.න/ණ,ල/ළ භේදය යනු පැහැදිලි නිශ්චිත පදනමක් රහිත බෙදීමකි යන තර්කයට වලංගුතාවයක් ලැබෙන්නේ මේ නිසා.
මේ තර්කය අද ඊයේ මතු වුන එකක් නෙමෙයි.දශක ගනනාවකට පෙර සිටම මෙම බෙදීමේ අවශ්‍යතාවය ගැන විවිධ විද්වතුන් සහ භාෂාව පිලිබද උනන්දු වන්නන් ප්‍රශ්න කොට ඇති ආකාරය දැක ගන්න පුලුවන්.නිසදැස් කාව්‍යයේ පුරෝගාමියෙකු වන සිරි ගුනසිංහ වගේ කෙනෙක් න/ණ,ළ/ල භේදය නොසලකා ලේඛනයෙහි යෙදුනු අන්දම ඔහුගේ "සෙවනැල්ල"වගේ නවකතාවක් පරිශීලනය කරද්දී පැහැදිලි වෙනවා.
කෙසේ වුනත් මේ විෂය ගැන න්‍යායික වශයෙන් බොහොම පොහොසත් මැදිහත්වීමක් සිදු කරන්නේ කෙටිකතාකරුවෙක් වන අජිත් තිලකසේන."21 වන සියවසට සිංහල භාෂාවේ නවීකරන"යනුවෙන් කෘතියක් සම්පාදනය කරන ඔහු සිංහල ලේඛනය තුල ඇති ගැටලු ගනනාවක් පැති කිහිපයක් ඔස්සේ මතු කරනවා.මෙසේ මතු කරන ඇතැම් කරුනු සහ යෝජනා ඉතාම විප්ලවකාරියි.කොහොම වුනත් ඔහුත් න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය දැඩි ලෙස ප්‍රශ්න කරනවා.
මෑතකදී මේ ප්‍රශ්නයම කතාබහට ලක්වූ තවත් අවස්ථාවක් නම් ගිය වසරේ රාජ්‍ය සම්මාන දිනූ "අටවක පුත්තු"නවකතාවේ ව්‍යාකරනය ගැන ඇති වුන සාකච්ඡාව.එහි රචකයා වූ ලියනගේ අමරකීර්ති මහතා ඉහත භේදය නොසලකා හැර තිබීම එක්තරා අන්දමක ආන්දෝලනයකට තුඩු දුන්නා.
න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින අය බොහෝවිට ඊට පක්ෂව ගෙනෙන තර්කය වන්නේ එම බෙදීම වචනයක් විසින් මතු කරන අර්ථය පැහැදිලි කරගැනීමට අවශ්‍යයි යන්න.මීට තිබෙන ජනප්‍රියම උදාහරනය නම් තන සහ තණ කියන පද දෙකේ වෙනස.න/ණ නොසලකා "තන"කියල වචනය ලියූවිට එහි අර්ථය අපැහැදිලි බව ඔවුන්ගේ තර්කය වෙනවා.
-ගොන තන කයි-කීවාම එක තේරුමකුත් -ගොනා තණ කයි-කීවාම තව තේරුමකුත් එන නිසා න-ණ,ල-ළ යෙදීම අවශ්‍ය යැයි ඔවුන් පවසනවා.
"මල" සහ "මළ" අතර තියෙන වෙනසත් ඒ වගෙයි.
මේ නිරීක්ෂනය තුල යම් වැදගත්කමක් තිබුනත් මේ ප්‍රශ්නය ඇත්තටම ලේඛන ක්‍රියාවලිය තුල ප්‍රායෝගිකව මතුවෙන ගැටලුවක් නෙමෙයි.මොකද අපි වචනයකට තේරුමක් දෙන්නෙ/වචනයට ඇති තේරුම තේරුම් ගන්නේ ඒ වචනය යෙදිල තියෙන වාක්‍යය තුල ඒ වචනය යෙදිල තියෙන ආකාරය අනුව.බහු අර්ථ-අර්ථ එකකට වැඩි ප්‍රමානයක් තියෙන-වෙනත් සිංහල වචන යෙදෙන ආකාරය මෙහිදී සලකමු.
දැන් "සද"කියන වචනයට විවිධ තේරුම් දෙන්න පුලුවන්.පහත වාක්‍ය කිහිපය සැලකිල්ලට ගනිමු.
1.පුර සද රෑට පායා එයි - මෙහි "සද"යන්න යෙදී තිබෙන්නේ චන්ද්‍රයා කියන තේරුමින්
2.මා ගෙදර ආ සද ඇය ගෙදර නොසිටියාය - මෙතැනදී "සද"යන්න යෙදෙන්නේ වෙලාවේ කියන අර්ථයට
3.සකිසද ඔබ කොහිද?.මෙතනදී "සද"ට ලැබෙන්නේ වෙනම තේරුමක්.
දැන් තේරුම් කිහිපයක් තිබුනත් අපි සද කියන පදය ලියන්නේ එකම විදිහකට."චන්ද්‍රයා"කියන තේරුම හගවන්න වෙනම අකුරකුත්,වෙලාව කියන අර්ථය අගවන්න වෙනම අකුරකුත් ආදී වශයෙන් අපි යොදා ගන්නේ නැහැ.එකම විදිහට ලියන පදයට ලැබෙන තේරුම අපි තේරුම් ගන්නේ ඒ පදය යෙදිල තියෙන වාක්‍යයට අනුව."මා ගෙදර ආ සද ඇය නොසිටියාය"කියන වාක්‍යය කියවද්දි මේ කියන්නේ අහසේ තියෙන සද ගැන නෙමෙයි කියල තේරෙනවා.
ඒ වගේම ගොනා තන කයි කියද්දී මේ කන්නේ මොන තනද -තන කියන එකෙන් මෙහිදී අදහස් කරල තියෙන්නෙ මොකක්ද-කියන එක වටහාගන්න පුලුවන්.ඒකට අමුතුවෙන් මූර්ධජ න අකුරක් අක්ෂර මාලාවට දාලා එහි අකුරු සංඛ්‍යාව වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.වචනයට අර්ථය ලැබෙන්නේ එය යෙදී තිබෙන වාක්‍යය ආශ්‍රයෙන් වන නිසා එහෙම ගැටලුවක් මතු වීම වැලකෙනවා.
තන,මල වගේ නිදසුන් දෙක තුනක් හැරෙන්නට න/ණ,ල/ළ නිසා අර්ථය වෙනස් වීම්වලට අදාල වෙනත් නිදසුන් සොයා ගැනීමත් දුෂ්කරයි.ඔය නිදසුන් පවා ප්‍රායෝගිකත්වය තකා පැන නැගුනු නිදසුන් වලට වඩා හුදෙක් තර්කයට මුහුන දීම උදෙසා අමාරුවෙන් සොයා ගනු ලැබූ නිදසුන් දෙකක් පමනයි.
න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය පිලිබද යලි සලකා බැලීමක් අවශ්‍යයි කියන තර්කය මේ නිසා නොසලකා හැර නොහැක්කක්.මෙතනදී බොහෝ විට ගෙනෙන අදහසක් නම් සිංහල භාෂාව ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න ඔයාල කවුද කියන අදහස.අජිත් තිලකසේන මහතා වගේ කෙනෙක් වෙත මේ ප්‍රශ්නය නිතර වගේ දමා ගසනු ලැබුවා.භාෂාවක පරිනාමය ස්වභාවික එකක් විය යුතු බවත් "කාටවත්"ඕනෙ විදිහ‍ට ඒවා වෙනස් කල නොහැකි බවත් මේ සමගම ගෙනෙන ලද මතයයි.
ඊට අජිත් තිලකසේනයන්ම සිත් ගන්නා සුලු පිලිතුරක් ලබා දී තිබුනා.භාෂාවක පරිනාමය ස්වභාවික විය යුතු බව ඇත්ත.නමුත් අවුවට වැස්සට සුලි සුලං වලට භාෂාවක ලේඛන ස්වරූපය වෙනස් වෙන්නෙ නැහැ.එහි පුරෝගාමීත්වය ගන්න ඕනෙ එහි අඩුපාඩු දුබලතා දකින මිනිස්සු.මේ තිලකසේනයන්ගේ පිලිතුරෙහි තිබූ හරය.
"ස්වභාවික වෙනස්වීම" යන්නට මිනිසාගේ සවිඥානිකත්වය කියන එකත් ඇතුලත්.ව්‍යාකරන නීති සංග්‍රහයක් ලෙස සිදත් සගරාව සම්පාදනය කලේ මිනිසෙක්.එතන තියෙන්නෙ භාෂාව හැඩගස්වන්න සිදුවුන සවිඥානික මිනිස් මැදිහත්වීමක්.
නූතන සිංහල හෝඩිය භාවිතයට එන්නට පෙර අක්ෂර මාලාව තුල "ෆ"අක්ෂරය තිබුනේ නැහැ.ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල ව්‍යවහාරයට එකතු වී තිබුන ඇතැම් වචන (නිද- ෆෝන්,ජිරාෆ්)ලියන්න මේ අනුව පුලුවන් කමක් තිබුනේ නැහැ.ඒක ලේඛනය තුල තිබුනු අඩුවක්.ඒ අඩුව හදුනාගෙන එය නිවැරදි කොට නූතන සිංහල හෝඩිය සකස් කලේ මිනිස්සු.අවුරුදු ගනනක් ගතවුනාම අපි ඒක ස්වභාවික පරිනාමයක් ලෙස තේරුම් ගන්න පුරුදු වී සිටිනවා.
භාෂාව අනවශ්‍ය විදිහට සංකීර්න කල බැදි අකුරු භාවිතය අත්හැරියේත්,‍
ඩ් අක්ෂරය අත්හැර "ං"(බිංදුව)භාවිතය ප්‍රවර්ධනය කලේත් මිනිස් මැදිහත්වීම සහිතව මිනිසුන්ම බව තේරුම් ගැනීම වැදගත්.

Wednesday, March 4, 2009

ශ්‍යාම් සෙල්වදොරෙයි - අමුතු ඉලන්දාරියා

ශ්‍යාම් සෙල්වදොරෙයි නමැති ලේඛකයාගේ Funny boy නවකථාව සුගතපාල ද සිල්වා මහතා අතින් "අමුතු ඉලන්දාරියා" නමින් පරිවතර්තනය වෙලා එලි දැක්වෙන්නෙ 2002 වසරෙදි.සාහිත්‍ය කෘතියක් සහ එලාම් ඔරලෝසුවක් අතර සමානකමක් තියෙනවා.නිදාගෙන ඉන්න පුද්ගලයෙක්ට නිදාගන්න ඉඩ නොදෙන දෙයක් තමයි එලාම් ඔරලෝසුව.එය නිදාගත් පුද්ගලයාට බාහිරව ඉදිමින් ඔහු/ඇය අවදි වන තුරු වද දෙනවා.කෙසේ වුවත් එලාම් ඔරලෝසුවේ හඩට විවිධ අය දක්වන ප්රතිචාර විවිධාකාරයි.සමහරු තමන්ගේ ඇස් ඇරීම පිලිබද ඊට කෘතඥතාවය පල කරනවා සහ සමහරු ඔරලෝසුවට දොස් නගමින් එය ක්‍රියා විරහිත කොට අනිත් පැත්තට හැරිල නිදාගන්නවා.
ශ්‍යාම්ගේ නවකතාව පිටස්තරයෙක් විසින් අපගේ ආත්මාර්ථකාමී අලස නින්දට කරන එක්තරා අන්දමක බාධාවක්.
අර්ජුන් නමැති ලමා චරිතයක ආත්ම කතනයක් ලෙසිනුයි කෘතියෙහි වියමන සකස් වි තිබෙන්නේ.කුඩා කල දෙමව්පියන් සමග ගිය නෑදෑ ගමන් වලින් ආරම්භ වන නවකතාව අවසාන වෙන්නෙ 83 ජූලි කෝලාහල වලින් ඉක්බිති ඔවුන්ගේ පවුලට රට හැර යාමට වන සිදුවීමෙන්.
අර්ජුන්(අර්ජි)ගේ ජිවිතය කුඩා කාලයේ සිට ගොඩනැගෙන්නේ සම්මත ආකෘතියට වෙනස් ආකාරයකින්.සමවයස්කයන්ගේ පුරුෂ ක්‍රිඩාවන්ට වඩා ඔහු ආකර්ෂනය වෙන්නෙ ගැහැනු ලමයින්ගේ ලෝකයට සහ ගැහැනු ලමයින්ගේ ක්‍රීඩාවලට.මෙය ඔහුගේ වැඩිහිටියන්ගේ පැත්තෙන් ගත්තම සාහසික අපරාධයක් ලෙසයි සැලකෙන්නෙ.ඔහු කැමති ලෝකයෙන් ඔහුව පිටුවහල් කොට ආගන්තුක ලෝකයක ඔහුව හිර කිරීමේ මෙහෙයුම් ඇරඹෙන්නෙ මේ අනුව ජීවිතයේ ඉතාම මුල් අවදියේදී.
වයසින් පරිනාමය වනවිට ඔහුගේ පැවැත්ම හැඩ ගැසෙන්නෙ සමලිංගික නැඹුරුවක් සහිතව.සමකාමීත්වය යනු සම්මත සමාජය තුල "විකෘති"දෙයක්.මේ නිසා ආදරය වගේ විෂයකදී ත් පිටස්තරයෙක් ලෙස පිටුවහල් වීමේ ඉරනමට ඔහු ලක්කෙරෙනවා.
සමලිංගික ආදරය කියන්නෙ බහුතරය දෙනා සිතා ඉන්නා/සිතන්නට පුරුදු කොට තිබෙන ආකාරයේ අසභ්‍ය දෙයක් නොවෙයි එයත් ආදරයේ තවත් පැතිමානයක්.මේ අදහස බොහොම අව්‍යාජ අත්දැකීම් ප්‍රමානයක් ඇසුරින් නවකතාවේ ඉස්මතු වෙන අන්දම දකින්නට පුලුවන්.මෙවැනි තේමාවන් ලංකාවේ සමාජය තුලත් අපමන පවතින නමුත් ඒ ගැන විවෘතව කතා කෙරෙන අවස්ථා ඉතාම අඩුයි.විශේෂයෙන්ම සාහිත්‍ය වැනි ක්ෂේත්‍රයක පවා මෙවැනි අත්දැකිම් නිර්මානයන්ගේ අනුභූතීන් බවට පත් වුන අවස්ථාවන් දුර්ලභයි.අමුතු ඉලන්දාරියා හි එක් වැදගත්කමක් නම් ස්වයං වාරනයකට ලක්කොට තිබෙන ජිවිතයේ එක් පැතිකඩක් සාකච්ඡාවේ වේදිකාව මතට රැගෙන ඒම.කෙනෙකු අදහන ආගම එසේ නැතිනම් දේශපාලන අදහස/වරනය මත කෙනෙක් මත හිංසනය යෙදවිම,ඔහු හෝ ඇයව ආන්තිකකරනය කිරිම "වැරදි"දෙයක් ලෙස පිලිගන්නා තරමට වර්තමානයේ මිනිස් සමාජය දියුනු වී තිබෙනවා.එසේ නම් කෙනෙකුගේ ලිංගික ජීවිතයේ වරනය මත එම පුද්ගලයාව වෙන් කිරීම,එම පුද්ගලයා මත බලහත්කාරය යෙදවීම කෙතරම් නිවැරදිද?
සමකාමී ආදරය බොහෝ අය සිතා ඉන්නා ආකාරයේ fashion එකක් නොවෙයි.එයට එක්තරා අන්දමක ජීව විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා.අනෙත් අතට එය එවැනි නැඹුරුව සහිත ගැහැනුන්ගේ සහ මිනිසුන්ගේ ජීවන රටාව.ඔවුන්ට එය ජීවත් විමේ,ජීවිතය ගත කිරීමේ විදිහක්.ඉන් තෙවන පාර්ශවයක‍ට හිරිහැරයක් සිදු නොවේ නම් එය "අපරාධයක්"ලෙස සැලකීමේ පදනම කුමක්ද?
මග හැර යා නොහැකි විදිහට මේ ප්‍රශ්නය නවකථාවේ සිදුවීම් තුලින් මතු වෙන ආකාරය නිරීක්ෂනය කල හැකියි.
ශ්‍යම් සෙල්වදොරෙයි යනු පුද්ගලිකවම 83 ජූලි කෝලාහාල වලට හසු වූ අයෙක්.එහිදී සිය පවුල සමග රට හැර යන ඔහු වර්තමානයේ කැනඩාවේ ජීවත්වෙනවා.
ඔහුගේ නවකතාව තුල එන අර්ජුන් යනු එක්තරා ආකාරයකට ශ්‍යම්ගේම චරිතයේ නිරූපනයක් ලෙස දැක ගත හැකියි.අර්ජුන් දෙමල ජාතිකයෙක් වන අතර මේ අනුව කුඩා අවදියේ සිටම වාර්ගික දේශපාලනයේ බලපෑම් ඔහුගේ ජිවිතය මත පතිත වෙනවා.
ඔහු ඉතා ප්‍රිය කල නැන්දා කෙනෙක් සිංහලයෙක් වන අනිල් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා.වාර්ගික අරගල ගැන කිසිම දෙයක් නොදත් හත් හැවිරිදි අර්ජුන්ට මේ සම්බන්ධතාවය ඉතාම උත්කෘෂ්ට එකක්.නමුත් දෙපාර්ශවයේම දෙමව්පියන් මෙම ප්‍රේම සම්බන්ධය වෙත දක්වන විරෝධය සම්මුති විරහිතයි.ප්‍රේම සම්බන්ධය කැඩීම සදහා රාධා නැන්දාගේ මව්පියන් ඇයව යාපනයේ ඥාතියෙකු වෙත පිටත් කොට හරිනවා.ඒ දින කිහිපයක නිවාඩුවක් උදෙසා.නිවාඩුවෙන් පසු යාපනයේ සිට යලි එන ගමනේදී රාධා නැන්දා ආ දුම්රිය වාර්ගික කෝලාහාලකරුවන් පිරිසකට මැදි වෙනවා.(මෙය 1970 දශකයේ අග සිදුවූ කෝලාහාල ලෙස උපකල්පනය කල හැකියි)අන්තවාදීන්ගෙන් රාධා නැන්දා පහර කෑමට ලක් වෙනවා.මේ නිසා ඇතිවන ආතතිකාරී වාතාවරනය විසින් අනිල්ව අත්හැර දැමිමේ තිරනය කරා රාධාව තල්ලු කරනවා.ඇයට දෙමව්පියන්‍ යෝජනා කරන වෙනත් පොහොසත් දෙමල තරුනයෙක් සමග විවාහ වීමට සිදු වෙනවා.

"මුලුතැන්ගෙහි ජානකි මොනවාදෝ මෝල් ගසමින් සිටියාය.මෝල් ගහ පාත් වන රිද්මයට කන් දුන් මට ඇගේ ආදර චිත්‍ර කතා ගැන මම ඒ කෙරේ කෙතරම් විශ්වාසයක් තැබුවේදැයි මෙනෙහි කලෙමි.දෙදෙනෙකු ඔවුනොවුනට ආදරය කලේ නම් කල නොහැකි දෙයක් නැතැයි සියල්ල ජය ගත හැකි යැයි මම විශ්වාස කලෙමි.එය එසේ නොවන බව මම දැන් දනිමි"
- අමුතු ඉලන්දාරියා පිටු.99

වාර්ගික දේශපාලනයේ බලපෑම එදිනෙදා අත්දැකීමක් විදිහට ඔහුගේ ජිවිතය මත ප්‍රක්ෂේපනය වෙන්නෙ ඒ ආකාරයට.
මේ ප්‍රක්ෂේපනය ඔහු වයසින් මුහුකුරා යත්ම තවත් ප්‍රබල වෙනවා.දැන් බොහෝ සිංහල අය දේශපාලනය ගැන කතා කරද්දී දෙමල අයට වෙලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියල අහනවා අපිට දකින්න පුලුවන්.ජූලි කෝලාහල වගේ දෙයක් ගැන සදහන් කලාම "ආ ඒක එක සිද්දියක් විතරනේ"කියල උත්තර ලැබෙනවා.ඒක "එක සිද්දියක්"පමනක් වෙන්නෙ ඒ එක සිද්ධියට බාහිරව ඉන්න අයට.එවැනි සිදුවීම් වලට මුහුන දෙන කෙනෙක්ගේ ප්‍රතිචාරය කවර වර්ගයේ එකක් වනු ඇත්ද?එවැනි සිදුවිමකට මුහුන දුන් අයෙකුත් "ආ ඒක එක සිද්දියක් විතරනෙ"කියා ප්‍රතිචාර දක්වනු ඇත්ද?දෙමල ජනයාට අතිතයේ පාලකයන් අතින් සිදු වුනු අසාධාරනකම් වූ කලී ඔවුන්ගේ ජීවිතය හා මරනය පිලිබද ප්‍රශ්නයක්.ඒ කරුනු බොහෝ අය සිතා ඉන්නා පරිදි "සරල"දේවල් නොවේ.
එක් අතෙකින් ශ්‍යාම්ගේ පොත තුලින් එලියට එන්නෙ සහෝදර දමිලයාගේ හඩ.ඔහුගේ හෘද සාක්ෂිය.මේ හඩ‍ට අපි ඇහුම්කන් නොදෙන තුරු සමාදානකාරී බේරුමක් ඇත්තටම යතාර්ථයක් වේවිද?
නවකතාවේ එක් තැනෙකදී අර්ජුන් ආශ්‍රය කල තරුනයෙකු වන ජෙගන්(ඔහු කොටි සංවිධානයෙන් පලා ආ අයෙක්)මෙසේ පවසනවා.

"අපේ තාත්තා කියනවා වගේ අපි අපි උපන්න රටේ දෙවැනි පන්තියේ පුරවැසියො වෙලා.කුනු ඇපල් ගොඩෙන් හොද ඒව තෝර තේරා කනවා වගේ ඉන්න වෙලා.අර කියන්න වගේ මෙහෙ හිටියොත් සිංහලයන් අතින් මැරුම් කන්න වෙනවා.එහාට ගියොත් ‍පොලිසියෙන් නැතිනම් කොටින්ගෙන් මැරුම් කන්න වෙනවා"
- අමුතු ඉලන්දාරියා පිටු.166

කොටි සංවිධානය වැනි අන්තවාදයක බිහිවීම හුදු ත්‍රස්තවාදී මනෝ විකාරයකට වඩා වැඩි යමකි යන්න ඉතාම දැනෙන සුලු ආකාරයකට මෙවැනි කාතියක් තුලින් මතු කෙරෙනවා.
මට මුන ගැසුනු මගේ මිතුරෙක් වරක් අපූරු ප්‍රකාශයක් කලා.-ඔහු විද්‍යා විෂයන්හි ප්‍රවිනයෙක්-.දේශපාලනය ගැන කතා කරද්දි ඔහු පැවසූ දෙය නම් ලංකාවේ ප්‍රශ්නයට තියෙන්නෙ ඉතාම සරල උත්තරයක් බව.ඒ කුමක්දැයි විමසූ විට ඔහුගේ පිලිතුර වුනේ පරමානුක බෝම්බයක් නිපදවිම.
-දෙමලු ටික සේරම නැති කරාම පස්සෙ මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ-ඔහු ගේ පිලිතුරෙන් මම විශ්මයට පත්වුනා.මන්ද සමකාලිනයන් අතර උගත් අයෙක් යැයි සැලකුනු ඔහු වැන්නෙක්ගෙන් මෙවැනි උත්තරයක් මා කොහොමත් අපේක්ෂා නොකල නිසා.
සාහිත්‍යය වැදගත් වෙන්නෙ මෙතැනදී.ශ්‍යාම්ගේ කෘතිය වැන්නක් කියවා තිබෙනවා නම් එවැන්නෙක් කවදාවත් "දෙමල අයට තිබ්බ ප්‍රශ්නෙ මොකක්ද" වගේ ප්‍රශ්න පන්ඩිතමානීව ඉදිරිපත් කරන්නේ නැහැ.මිනිස් සමාජයේ මතු වන ප්‍රශ්න වල මානුෂීය පැතිකඩයන් පිලිබද අවම සංවේදිතාවයක් හෝ තිබෙනවා නම් කිසිවෙකු පරමානු බෝම්බ නිපදවා මිනිසුන් වාර්ගික වශයෙන් සංහාරය කිරීමක් පිලිබද යෝජනා කරන්නේ නැහැ.
දේශපාලනය යනු බලය සදහා වන සටන.මිනිස් සමාජයේ හැම සම්බන්ධතාවයක්ම බල සම්බන්ධතාවයක්.ආදර සම්බන්ධයක් ගත්තම එතනත් බලයක් ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා.පාසල,පවුල,විශ්ව විද්‍යාලය,පන්සල,පල්ලිය - මේ හැම එකක් ඇතුලෙම දේශපාලනය තියෙනවා කියල කීමේ අරුත එයයි.මේ අනුව දේශපාලන ද්වි ආකාරයි.
1.මහා පරිමාන දේශපාලනය (macro politics)
පාර්ලිමේන්තුවේ රාජ්‍යයේ යුද භූමියේ අපි අත් දකින්නේ මේ දේශපාලනය.සාමාන්‍යයන් ව්‍යවහාරය තුල "දේශපාලනය"ලෙස අර්ථකතනය කෙරෙන්නේ මෙම මහේක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වය
2.ක්ෂුද්‍ර මට්‍ටමේ දේශපාලනය(micro politics)යනු දේශපාලනයේ අනෙත් ආකාරයයි.ඒ කියන්නෙ මිනිස් සම්බන්ධතා වල දේශපාලනය.එදිනෙදා ජීවිතය තුල බලය අත්හදා බැලෙන ක්‍රියාත්මක වෙන ස්වරූපය ඒකෙන් අදහස් වෙනවා.
අමුතු ඉලන්දාරියාහි සන්දර්භය මේ දේශපාලනයන් අතර දෝලනය වෙමින් ඒ දෙක අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාවය ස්පර්ශ කරනවා.වාර්ගික අසාධාරනය දේශපාලනික එකක් වනවා වගේම දෛනිකව පවතින සමලිංගික භීතිකාව සහ විෂම ලිංගික ඒකාධිකාරයත් අතිශය දේශපාලනිකයි.
ප්‍රභාකරන්ගේ මරනය=සදාකාලික සෞභාග්‍ය කියල රාජ්‍යය විසින් නිමවා දී තිබෙන සිහිනය දකිමින් නිදාගෙන සිටින වර්තමාන මධ්‍යම පංතික මිනිස් ශරිර වල නින්දට බාධා කරන එලාම් එකක් ශ්‍යාම්ගේ නවකතාව.
සමහරු එලාම් එකේ හඩට අවදි වී වටපිට බලා හිරු එලියට ඇස් අරීවි.
ඒ වගේම සමහරු නින්ද කැඩුවා කියන චෝදනාව සමග ඔරලෝසුවට දොස් නගමින් හැකි නම් ඔරලෝසුව පොලොවේ ගසා විනාශ කල යුතුයි යනුවෙන් ගෝරනාඩු කරාවි.

Sunday, March 1, 2009

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආශ්රය කරගෙන යම් සටහනකට යා යුතුයි කියල සිතුනෙ මේ මොහොතේදී ලංකාවේ දේශපාලන භූමිකාවේ ප්රධාන නලුවා එම පක්ෂය නිසා පමනක් නොවෙයි.එම පක්ෂය පිලිබද සාමාන්‍යයෙන් ජනප්රියව පවතින අදහස් කිහිපයක් ගැන විමසුමක් කල යුතු යැයි හැගෙන නිසා.පසුගිය දිනෙක එම පක්ෂයට කරනමක් ගැසූ තිලංග සුමතිපාල මහතා පුවත්පතකට පවසා තිබුනා ස්වකීය දේශපාලනයේ මුල වාමාංශික දේශපාලනයයි කියලා.ඔහු "වාමාංශික" දේශපාලනය ලෙස හදුන්වා දෙන්නෙ වෙන මොකක්වත් නෙමෙයි ශ්‍රීලනිප දේශපාලනය.මේ අනුව එක් අතෙකින් ශ්‍රීලනිපය වාමාංශික දේශපාලනයක් කරනවා කියන අදහසට සමාජයේ තවමත් වලංගුතාවයක් තිබෙනවා.වර්තමානයේ කොහොම වුනත් 70 දශකය වගේ යුගයකදී නම් මෙම අදහස විශාල වශයෙන් ජනප්රියව පැවතුනා.
අනෙත් අතට මේ මොහොතේදී මතු කොට තිබෙන අදහසක් නම් ශ්‍රීලනිපය වූ කලී ජාතිකත්වයේ පක්ෂයයි යන අදහස.විශේෂයෙන් නලින් ද සිල්වා මහතා වැන්නෙකුගේ පාර්ශවයෙන් මෙය ප්රබල ලෙස මතු කෙරෙමින් තිබෙනවා.චන්ද්රිකා මැතිනියගේ යුගයේ එම පක්ෂයෙන් ජාතිකත්වය ගිලිහුනු බවත් මහින්ද රාජපක්ෂ යටතේ නැවත එම පක්ෂයට ජාතිකත්වය පැමින ඇති බවත් ඔහුගේ ප්රවාදය තුල දැක්වෙන අදහසයි.
මේ ගැන අදහසක් මතු කිරීමට ප්රතම ශ්‍රීලනිප යේ ඉතිහාසය ගැන කෙටි විමසුමක් කිරීම යෝග්‍ය වෙනවා.


අප කවුරුත් දන්නා පරිදි 1951දී එම පක්ෂය බිහිවෙන්නේ එජාපය දෙකඩ කරමින් S.W.R.D.බන්ඩාරනායක මහතා විපක්ෂයේ අසුන් ගැනීමත් සමග.ඩී.එස්.සේනානායකගේ නායකත්වය තුල පැවැති එජාපය තුල බන්ඩාරනායකට යම් ආකාරයක කැපිල්ලක් පැවති අතර සේනානායකගෙන් පසුව පක්ෂ නායකත්වය බන්ඩාරනායකට නොලැබෙන බව පැහැදිලි වීම මෙම දේශපාලන පිල් මාරුවට බල පෑ ආසන්නතම හේතුව ලෙස සදහන් වෙනවා.
ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කල මෙවැනි තීරනාත්මක සිදුවීමක් හුදු පුද්ගලික ආරෝවකට සීමා කිරීම නිවැරදිද?ශ්‍රීලනිපයේ බිහිවීමට හේතු වුනේ මෙම පෞද්ගලික ගැටුම පමනක්ද?
ඇත්ත වශයෙන්ම ශ්‍රීලනිප බිහි වීමට එම පුද්ගලික ගැටලුව හේතුවක් බවට පත්ව තිබුනත් එජාපයට අමතරව තවත් පක්ෂයක් බිහි වීමේ අවශ්‍යතාවය එවකට දේශපාලන පරිසරය තුල වෛෂයිකව මතුවී තිබුනා.ඊට හේතුව වුනේ සමසමාජ පක්ෂය ප්රමුඛ එවකට පැවැති වාමාංශික ව්‍යාපාරයේ සිදු වෙමින් තිබුන වේගවත් නැගීම.
නිදහසෙන් පසු ලංකාව තුල බලයට ආ දේශපාලන රදල පංතියට සමසමාජයේ නැගිම දිරවන එකක් වුනේ නැහැ.වෘත්තිය සමිති ව්‍යාපාරය තුල ප්රබල පදනමක් තිබුනු සමසමාජය ඉදිරියට දැමූ දේශපාලන සටන් පාඨ පැහැදිලිවම බලයේ සිටි පංතියේ අභිලාෂයන් සමග ගැටෙන සුලු තත්වයකයි පැවතියේ.එජාපය ගැන කලකිරෙන පිරිස් විශාල වශයෙන් සමසමාජය දෙස ඇදී යන ප්රවනතාවයක් ඒ වන විට නිර්මානය වී තිබුනා.
මෙසේ කලකිරෙන පිරිස් විකල්ප දේශපාලන ව්‍යාපාරයක් දෙස ඇදි යාම වලක්වා ප්රධාන ප්රවාහය තුල එනම් පවතින දේශපාලන සිස්ටම් එකට අභියෝගයක් නොවෙන සීමාවක රදව ගන්නේ කොහොමද?
පාලක පංතිය මුහුන දුන් මේ ප්රශ්නයට සමගාමීවයි ශ්‍රීලනිපයේ බිහි විම සිද්ධ වෙන්නෙ.මේ අනුව එම පක්ෂයේ බිහිවීම අහම්භයක් නොවෙයි.අහඹු යැයි පෙනෙන සිදුවීම් පසුපස බලය රදවාගැනීම පිලිබද අවිඥානික දේශපාලන උවමනාවක් සැගවී තිබෙනවා.
ශ්‍රීලනිපය බිහි වෙන්නෙ ධනේශ්වර පක්ෂයක් විදිහට.එය බිහි වූ දා සිට මේ දක්වාම ධනේශ්වර පක්ෂයක් මිස අනෙකක් නොවෙයි.ප්‍රභූ කේන්ද්‍රියව ගොඩනැගී තිබෙන ලංකාවේ රාජ්‍ය ව්‍යුහය එම පක්ෂයේ පාලනය යටතේත් ඒ ලෙසින්ම පවත්වාගෙන එනු ලැබුවා.
නමුත් එජාපය සමග සැසදීමේදී ශ්‍රීලනිපයේ වැඩ රටාව තුල(කරන වැඩය තුල නොවේ) මුල සිටම අඩු වැඩි වශයෙන් වෙනස්කම් දක්නට ලැබුනා.මෙම වෙනස වූයේ එජාපයට නොතිබුන ප්‍රගතිශීලී සායමක් ශ්‍රීලනිපය සතුව පැවතීම.පවතින දේශපාලන ක්රමය ගැන කලකිරෙන ජන කොටස් රැඩිකල් වෙනස්කම් කරා ඇදී යාම වැලැක්වීම පිනිස එම පක්ෂය විසින් ආරෝපනය කරගන්නා ලද ලක්ෂනයන් දෙකක් තිබුනා.
1.ප්‍රතිසංස්කරනවාදී වීම
2.ජාතිකවාදි ලක්ෂන භාවිතය
මේ ලක්ෂන එක එකක් සැකෙවින් විමසා බැලීමකට ලක් කරමු.
*ප්‍රතිසංස්කරනවාදී වීම-
පවතින දේශපාලන ආර්ථික ක්රමයේ ගැඹුරු වෙනසකට ශ්‍රිලනිපය කොහෙත්ම සූදානම් නොවුනත් පවතින ක්රමයේ රාමුව වෙනස් නොකර ඒ රාමුව ඇතුලේ විවිධ සහනයන් සමාජයට ලබා දෙන්න ඔවුන් පියවර ගත්තා.සාගින්නේ පෙලෙන මිනිස්සු බත් ඉල්ලද්දී අටු කොටු පිරුනු තමන්ගේ වලව් ඒ මිනිසුන් වෙනුවෙන් විවෘත කිරීමට ඔවුන් කොහෙත්ම සූදානම් වුනේ නැහැ.නමුත් සිනා මුහුනක් පෙන්වා මිනිසුන් සැනසීමටත් බත් නැතත් වේල පිරිමහගන්න කියල පාන් වාටියක් දෙකක් සමග සූප්පු කරන්න ටොෆියක් දීම‍ටත් ඔවුන් මැලිවුනේ නැහැ.කුඹුරු පනත,ඉඩම් ප්‍රතිසංස්කරන වගේ දේවල් එසේ විසිවුන පාන් වාටි.මේ ප්‍රතිසංස්කරන වුනත් පවතින බල ව්‍යුහ‍යට අභියෝගයක් වෙන මට්ටමට වර්ධනය වෙන්න ඔවුන් ඉඩ දුන්නෙ නැහැ.එසේ සිදු වීමට යන බව ඉව වැටුනු විගස වහා මැදිහත් වී ප්‍රතිසංස්කරන වල සැර බාල කිරීමට ඔවුන් කටයුතු යෙදුවා.1958 ෆිලිප් ගුනවර්ධන ආන්ඩුවෙන් ඉවතට දැමීම 1975 සමසමාජ ඇමතිවරුන්ව එලවා දැමීම තේරුම් ගත යුත්තේ ඒ සන්දර්භයට යටත්ව.පාන් වාටි දීමෙන් නොනැවතී වලව්ව ඇතුලේ ඕනෙවාට වඩා "සෙල්ලම්" දාන්න මේ ඇමතිවරුන් උත්සාහ කල නිසා වහ වහා ඊට අදාල පිලියම් යොදන්න වලව්වේ ලමාතැනීලා ක්රියා කල අන්දමට ඉහත සිදුවීම් උදාහරන වෙනවා.
ශ්‍රීලනිපය වාමාංශික එකකි යන වැරදි වැටහීම සමාජගත වුනේ මේ ප්‍රතිසංස්කරනවාදී ක්රියා පිලිවෙත නිසා.(එම පක්ෂයට නොලැබිය යුතු එම හැදින්වීම ලබාදීමෙහිලා සමසමාජය ඇතුලු පක්ෂ ඔවුන්ගේ ආන්ඩු වලට රිංගාගනිමින් පසුකාලීනව ක්රියා කල අවස්ථාවාදී ආකාරයත් හේතු වුන බව සදහන් කල යුතුයි)
කොහොම වුනත් 77දී ලංකාව නව ලිබරල් ධනවාදයට මාරු විමත් සමසමාජය වැනි පක්ෂ කටුගෙට යාමත් සමග ශ්‍රිලනිපයේ ප්‍රතිසංස්කරනවාදී ගති ලක්ෂනත් සීඝ්‍ර ක්ෂය වීමකට ලක්වුනා.අද වෙනවිට එම ප්‍රතිසංස්කරනවාදයේ ඉතුරු බිතුරු කිහිපයක් පමනක් දැකගත හැකියි.
නිද-ජාතික ආර්ථිකයක් ගැන හඩ නැගීම,‍දේශියත්වය ගැන වන පම්පෝරිය ආදී වශයෙන්
යථාර්තය නම් මෙම ප්‍රතිසංස්කරනවාදී සායම යට ප්‍රාග්ධනයේ පාලනය නිර්දය ලෙස සමාජය සූරා කමින් එදත් පැවතියා සහ මේ මොහොතේදීත් පවතිනවා යන්නයි.



*ජාතිකවාදී ලක්ෂන-
ශ්‍රීලනිපය එජාපයේ වැඩ ශෛලියෙන් වෙනස් වීමට අදාල අනෙත් ප්රධාන ලක්ෂනය නම් එය සිංහල ජාතිකවාදය බහුල වශයෙන් ස්වකීය පරමාර්ථ සාධනයෙහිලා යොදා ගැනීම.මින් එජාපය ජාතිකවාදය යොදා නොගත් බව අදහස් වෙන්නෙ නැහැ.ජාතිකවාදයේ සීමාව ඉක්මවා ගිය ජාතිවාදි අන්තවාදය එජාපයත් ඉතිහාසය පුරා යොදාගෙන තියෙනවා.නමුත් ශ්‍රිලනිපය තුල ඒ කෙරෙහි තිබුන/තිබෙන නැඹුරුව සාපේක්ෂව ඉහලයි.
මින් නලින් ද සිල්වා මහතා පවසන ආකාරයට ශ්‍රිලනිපය යනු සිංහල ජාතිකත්වයේ පක්ෂයයි යන්න අදහස් වෙනවාද?
එම පක්ෂය වරින් වර සිංහලවාදී ටෝක් දැමූ පමනින් එය ජාතිකත්වයේ පක්ෂය යැයි තේරුම් ගැනීම සදොස් නිගමනයක් වෙනවා.එය මුලිනුත් සදහන් කල පරිදි ඇත්ත වශයෙන්ම ධනේශ්වර පක්ෂයක්.එය පලමුවත් දෙවනුවත් තෙවනුවත් ධනේශ්වර පක්ෂයක්.එය පංතියක පක්ෂයක් මිස ජාතිකත්වයක පක්ෂයක් ලෙස වටහා ගැනීම සාවද්‍යයි.පංතියක්‍ ලෙස සිය බලය පවත්වා ගැනීම උදෙසා ධනපති පංතිය විවිධ තේරීම් යුගයෙන් යුගයට සිදු කරන අතර ශ්‍රීලනිපයේ "‍ජාත්‍යාලය"තේරුම් ගත යුත්තේ එම අවබෝධයට යටත්ව.අද මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් කොටි සමූලඝාතනය කල යුතු යැයි හඩ තලන ශ්‍රීලනිප නායකයන් වසර දෙකකට පමන පෙර එම කොටි සංවිධානය ගැනම කියුවේ මොනවාද යන්න සොයා බැලුවහොත් මෙය වඩා හොදින් වැටහෙනු ඇති.මහින්ද රාජපක්ෂ නමැති වර්තමාන කොටි විරෝධී ජාතික වීරයා කොටි සංවිධානය සමග සුනාමි සහන මන්ඩල ගිවිසුමට අත්සන් තබන ලද කැබිනෙට්ටුවේ අගමැතිධූරය හෙබවූවා යන්න සිහියට නගා ගත් විට මේ කාරනය තවත් පැහැදිලි වෙනවා.සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වෙනුවෙන් දිවි කැප කිරීමට වුව නොපසුබට වෙනවා යැයි පැවසූ බන්ඩාරනායක නමැති භාෂා ප්‍රේමියා වෙඩි කා මිය යන විටදිත් සිංහල අකුරකුදු ලිවීමට දැන සිටියේ නැහැ යන්න ඉතිහාසගත කරුනක්.
සමාජයේ අවම පැවැත්මවත් සහතික කරන්න බැරිව පාලක පංතිය අර්බුදයට යන විට සමාජය පැත්තෙන් කැරලි ගැසීම් සිදු වීම ස්වභාවිකයි.මෙම කැරලි ගැසීම් නතර කර ගන‍්නේ හෝ වෙනතකට යොමු කරන්නේ කොහොමද?
ඊට පාලකයන් යොදාගන්නා ක්‍රමවේදයන් දෙක නම් ප්‍රතිසංස්කරවාදය සහ ජාතිකවාදය.
මේ මොහොතේදී බලය පවත්වා ගත හැක්කේ කොටි විරෝධී වීමෙන් නම් ඔවුන් කොටි විරෝධීන් බවට රූපාන්තරනය වන අතර ඊලග මොහොතේදී බලය රදවා ගත හැක්කේ සාම සාකච්ඡා ගැන වර නැගීමෙන් නම් ඔවුන් කිසිදු දෙගිඩියාවකින් තොරව ඊටත් යොමු වෙනවා.ශ්‍රීලනිපයේ ඉතිහාසය අධ්‍යයනය කරන විට මෙය විචිත්‍ර ලෙස පැහැදිලි කර ගත හැකියි.අද ඒකීය රාජ්‍යයේ වටිනාකම ගැන පැය ගනන් දේශනා පවත්වන රාජපක්ෂ මහතාගේ බත්බැලයන් හෙට ෆෙඩරල්කරනයේ අපූර්වත්වය ගැන රූපවාහිනි සංවාද තුල මොර දෙනු ඇසුනත් ඒ ගැන පුදුම විය යුතු නැහැ.(බොහෝ විට වැඩි කලක් යාමට පෙර එය එසේ සිදුවන බව මෙහි සටහන් කල යුතුයි)
මේ අනුව ශ්‍රීලනිපය සමහරු පරිකල්පනය කර ගන්නා ආකාරයට ඊනියා ජාතිකත්වයේ පක්ෂයක් නොවෙයි.එය ජාතිය ආගම වැනි සංකල්ප අවස්ථානුකූලව බලය වෙනුවෙන් යොදාගන්නා ධනේශ්වර පක්ෂයක්.එජාපයත් මෙම උපක්රමය ඉතිහාසයේදී අත් හදා බලා ඇති අතර එජාපයට වඩා ශ්‍රීලනිපය මෙම කාරනයෙහිලා සාපේක්ෂ සාර්ථකත්වයක් දක්වනවා.
ශ්‍රීලනිපය තුල "වම" සොයන්නන්ටත් එය තුල "ජාතිකත්වය" සොයන්නන්ටත් කිව යුත්තේ මෙයයි.
ඔයාලට ඕනෙ ජාතිකත්වය නම් හෙල උරුමය/භූමිපුත්‍ර පක්ෂය වගේ සුලු ධනේශ්වර මනෝරාජික කන්ඩායමකට ගිහින් එකතු වෙන්න.
ඔයාලට ඕනෙ වම නම් ප්‍රතිසංස්කරනවාදී බයිලාවලට නොරැවටී විප්ලවවාදී ආස්ථානය යනු කුමක්දැයි සොයන්න.පටන් ගැන්මක් ලෙස "කොමියුනිස්ට් ප්‍රකාශනය"කියල පොතක් තියෙනවා.ඒක හොයාගෙන කියවන්න.