Wednesday, May 20, 2009

දේශප්‍රේමය/ජාතිකවාදය-මොන්ටිසෝරි හිස වෙනුවට ප්‍රබුද්ධ හිසක්


-දැන් තියෙන්නෙ මල්ලි අලුත් නීතියක් ගේන්න.මුස්ලිම් අයටයි දෙමල අයටයි දරුවො හදන ඒක සීමා කරන්න ඕනෙ!උන්ට උපරිම ලමයි දෙන්නයි.සිංහල අයට ලමයි හයක්වත් හදන එක අනිවාර්ය කරන්න ඕන.ඕක තමයි ‍අපේ ජාතිය බේරගන්න තියන එකම ක්‍රමය-
ප්‍රභාකරන් මරා දැමුවා කියන ප්‍රවෘත්තිය ප්‍රකාශය වූ දින හමු වූ ත්‍රී රෝද රථ රියැදුරෙක්

-සරනාගත කදවුරුවල ඉන්න උන්ට කියල අමුතුවෙන් මොකක්ද තියන දුක?අපේ ඉස්පිරිතාල වල අය ඉන්නෙත් ඔහොම වැටිල බිම වැතිරිල තමයි-
විදෙස් පුවත් සේවයක ලංකාවේ අවතැන් කදවුරුවල තත්වය ගැන වාර්තා වැඩසටහනක් බලාගෙන සිටියදී අපේ නිවසේ ආලින්දයේ ඇතිවූ සංවාදයකදී ඥාති කාන්තාවක්

-කෙතරම් ප්‍රබල ආක්‍රමණ පැමිණියත් සිංහලයින් කිසිදා තම මාතෘභූමිය වෙනත් ජාතියකට යටත් කරගැනිමට ඉඩ තබා නැත. යටත් කරගැනීමට හැකිවන්නේ ද නැත. ඒ බව නැවත වතාවක් සිංහලයින් ලෝකයට හඬනඟා කී ඵෙතිහාසික දිනය අදයි. එනම් 2009 මැයි මස 19 වනදායි.-
"අසිපත"(බ්ලොග් අවකාශයේ බ්ලොග් අඩවියක සටහනක්)

ලංකාවේ ජාතිකවාදය මේ මොහොතේ විශාල වශයෙන් උත්කර්ෂයට නැංවී තිබෙන දෙයක්.මේ ජාතිකවාදයේ ස්වරූපය/එහි ලක්ෂන මොනවාද?
පලමුව ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්.
එය සිය සතුරා ලෙස දෙමල ජාතිය දකිනවා.මේ රට සිංහල රට.දෙමල අය ඉන්නවා නම් අපි කියන විදිහට ඉන්න ඕන.එහෙම නැතිනම් මකබෑවෙයව්!ජනාධිපති පාර්ලිමේන්තුවේදී තතන තතනා කුමක් කීවත් බ්ම් මට්ටමේ බලවත්ව තිබෙන ජාතිකවාදයේ ස්වරූපය එවැන්නක්.

දෙවනුව මේ ජාතිකවාදය අතිශය සරල එකක්.ඒ කියන්නේ එහි සමාජයීය ගැඹුරක් නැහැ.වෙනත් වචන වලින් කිවහොත් ජාතික ධජ,රනවිරු ගී,කිරිබත් හා ජනාධිපතිගේ රූපය/ප්‍රභාකරන්ගේ පඹයා වැනි සැරසිලි ඉවත් කල විට න්‍යායිකව එහි ගත යුතු හරයක් නැහැ.
මේ න්‍යායික දිලිදුකම නිසා සිය වර්ගයා තුලම පවතින අතිශය බරපතල අභ්‍යන්තර තුවාල එම ජාතිකවාදී කතිකාවතට විෂය වෙන්නෙ නැහැ.
දැන් නිදසුනක් ලෙස සිංහල වෑගපිටිය(ලාෆ් ගෑස් අධිපති) සිංහල පොදු පාරිභෝගිකයාව රාජ්‍ය අනුග්‍රහය යටතේ ව්‍යාපාරිකමය ලෙස ගසා කනවා."දුක දිනා ජයගත්"ඊනියා සිංහල ප්‍රභූන්ගේ මන්දිර වලට ගවුවක් ඈතින් සිංහලයන් සිය ගනනින් තෙරපෙමින් දවසරින පැල්පත් නිවාස පවතිනවා.ඒවා වල සිංහල දරුවන් පාසල් නොයා විවිද ව්‍යාපාර වල නිරත වෙනවා.කුඩු ගහනවා.ඒවායේ සිංහල ගැහැනුන් පොලේ දාඩිය පෙරාගෙන බඩුවිකුනනවා.ගනිකාවන් ලෙස විකිනෙනවා.සිංහල පිරිමින් කටගොන්නක් බීගෙන අවුත් සිය සිංහල බිරියන්ට/දරුවන්ට තඩි බානවා.
සාමාන්‍ය පෙලට වාඩිවෙන 50%ක් ගනිතය අසමත් වෙනවා.තවද විශාල ප්‍රමානයක් සිංහල පවා අසමත් වෙනවා.රක්ෂාවක් නැතිව සිංහල තරුනයන් වීදි දිගේ රස්තියාදු වෙනවා.
සිංහල ජාතිකවාදයේ සාකච්ඡාව තුල මේවා වූ කලී කතානොකෙරෙන විෂයන්.
සිංහල ජාතිකවාදී දිවයින කතෘ කතුවැකි වල මෙම අභ්‍යන්තර කුනුවීම් ගැන කතාකෙරෙන්නේ නැහැ.සතියට එක ගානේ දිවයිනට තීරු ලිපියක් ලියමින් "අපේ ප්‍රවාද" සූත්‍රගත කරන නලින්ද සිල්වා මහැදුරුවරයා ගේ ප්‍රවාද ඇතුලේ නිකමටවත් මෙම "ඇතුලත" ගැන සංවාද කෙරෙන්නේ නැහැ.එම සිංහල ප්‍රවාද ඇතුලෙ බටහිර විද්‍යාව.යුදෙව් චින්තනය,දෙමල අයගේ ඉතිහාසය වගේ නහුතයක් මාතෘකා පැවතියත් සිංහල ලමුන්ගෙන් 30%ක් පෝෂන ඌනතාවයෙන් බැටකනවා කියන සිංහල ලමයෙක්ට භෞතිකව වඩාත්ම අදාල වන කාරනය ඒ තුල විෂයක් බවට පත්වන්නේ නැහැ.
මේ අනුව "ජාතිය"වැනි පාරභෞතිකයන් නොව සිය ජීවන අවශ්‍යතා වෙනුවෙන් සමාජයෙන් ඉල්ලීම් මතු වනවිට එම ඉල්ලීම් මෙම ජාතිකවාදී කතිකාවත ඇතුලෙ ස්ථානගත වෙන්නෙ ද්‍රෝහී/සතුරු ඉදිරිපත් කිරීම් විදිහට.
තමනට ලැබිය යුතු අතිකාල දීමනා හා මාසික වැටුප වෙනුවෙන් පාරට බහින ලංගමේ සේවකයන් මෙම කතිකාවතට අනුව රටේ යහපතට බාධා කරන නොමග ගියවුන්.වඩා හොද අධ්‍යාපන පහසුකම් ඉල්ලා අරගල කරන ශිෂ්‍යන්ගේ අරගල මෙම සාකච්ඡා වපසරිය ඇතුලේ ස්ථානගත වෙන්නෙ "නරක"එකක් විදිහට.පාලකයන්ගේ අත්තනෝමතික හැසිරීමක් ප්‍රශ්න කරන මාධ්‍ය භාවිතයක් ඊට අනුව දේශද්‍රෝහී ප්‍රශ්න කිරීමක්.
පවතින ජාතිකවාදය/දේශප්‍රේමය සරල,ග්‍රාම්‍ය,නොගැඹුරු එකක් කියල කියන්නෙ මේ වර්ගයේ ජාතිකවාදයකින් අඩුම තරමින් එම ජාතිකවාද‍යේ රාමුව තුල සලකා බැලෙන ජනයාටවත්(සිංහල ජනයා) භෞතිකව ලැබෙන දෙයක් නැති නිසා.ඒ කියන්නෙ මේ වර්ගයේ දේශප්‍රේමයකින් සිංහල පොදු සමාජයේ එදිනෙදා ජීවිතය ඇත්ත වශයෙන්ම එක අගලකින් හෝ ඉදිරියට යන්නේ නැහැ.
සමාජයේ අභ්‍යන්තර තුවාල ගැන කතාවත් නොකරන ව්‍යාපෘතියකට එම තුවාල සුවපත් කිරීම කොහෙත්ම කරන්න බැහැ.සිංහල තරුනයාගේ විරක්ෂාව ගැන කතානොකරන නලින් ද සිල්වාලාට එම ප්‍රශ්න වලට විසදුම ලබාදීම කොහෙත්ම කිරීමේ හැකියාවක් නැහැ.මේ අනුව ජාතික කොඩි ලෙලදෙමින් පවතීවි.රනවිරු ගී කැසට් පට වී කඩමංඩියක් පාසා රැව්දේවි.ඒවාට ගෞරවය ආදරය පුදකරමින් හිගාකන සිංහලයා දිගටම හිගමන් යදීවි.ගනිකා වෘත්තියෙහි යෙදෙන්නිය දිගටම එයම කරගෙන යාවි.අඩු වැටුපට කඹුරන සිංහලයා එහිම නිරත වනු ඇති අතර,වැඩ ඇරී සිය නිවෙසට ගොස් මන්ද පෝෂනයෙන් පෙලෙන සිය සිංහල දරුවාට තඩි බාමින් බිරිද සමග දඹර වෙමින් දිගටම ජීවිතය ගෙන යාවි.අභ්‍යන්තරය කෙතරම් දුගද හැමුවත් බාහිර ඔපය ලෙස සිංහ කොඩිය පවතිනවා.මේ පවතින ජාතිකවාද‍යේ අවසන් තාර්කික රූපය එවැන්නක්.

කෙසේ නමුත් දැනට පවතින දේශප්‍රෙමය එවැනි සරල හා ග්‍රාම්‍ය එකක් වූවාට රටට "අවශ්‍ය" දේශප්‍රේමය/ජාතිකවාදය එවැනි නොගැඹුරු එකක් නොවෙයි.
ලංකාව කියන රාජ්‍යය නූතන ලෝක පර්යාය ඇතුලෙ අනන්‍යතාවයක් සහිත එකක් ලෙස ඉදිරියට ගත යුතුව පවතිනවා නම් පලමුව පටු සිංහල ජාතිකවාදයක් වෙනුවට පලල් ලාංකික ජාතිකවාදයක් අවශ්‍ය වී තිබෙනවා.
එනම් සිංහල වර්ගයට සීමා නොවන ලංකාව තුල ජීවත් වන සියලු ජාතිකත්වයන් එක මිටකට ගත හැකි වන ආකාරයේ ජාතිකවාදයක් ලෙස දිගින් හා පලලින් දේශප්‍රේමයෙහි ව්‍යාපෘතිය ප්‍රසාරනය විය යුතුයි.
දෙවනුව මහ පොලොවේ ජීවත්වන මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න කතා කරන,එම අභ්‍යන්තරික විදවීම් බරපතල ලෙස සාකච්ඡා කරන හා ඒවාට විසදුම් පිනිස දෘඩ මැදිහත්වීමක් සහිත කතිකාවතක් ලෙස එම කතිකාවත ගැඹුරින් තවත් ඇතුලට යා යුතුයි.
රටට ආදරය කිරීම (දේශප්‍රේමය)නරක දෙයක් නෙමෙයි.හැබැයි එය නරක දෙයක් නොවන්නේ එය රටේ ජීවත් වන අනෙත් සහෝදර ජනකොටසක පැවැත්ම ප්‍රතික්ෂේප නොකරන්නේ නම් විතරයි.එහෙම කරනවා නම් එවැනි දේශප්‍රේමයක් අන්තිම පිලිකුල් කටයුතුයි.(ලිපියේ මුලම ඇති සියලු උපුටන වල පවතින දේශප්‍රේමය එවැනි පටු හා පිලිකුල් කටයුතු "දේශප්‍රේමී" ප්‍රකාශ)
අනිත් අතට දේශප්‍රේමය කියන්නේ හුදෙක් බොල් පොලොවට ආදරය කිරීම නෙමෙයි.රටේ වෙසෙන මිනිසුන්ට,ගොඩනැගෙන මානව සබදතාවලට ඇල්ම කිරීමත් ඊට ඇතුලත්.යමෙක් ඇත්තටම රටට ආදරය කරයි නම් රට වෙලාගෙන තිබෙන සමාජ අයුක්තිය,දුගීකම,අසංවර්ධනය ගැන මග නොහැර කතා කිරීම අනිවාර්යයක්.අබා වැනි සෝබන චිත්‍රපටයකට වඩා මචං වැන්නක් අතිශය ‍දේශප්‍රේමී වෙන්නෙ ඒ අර්ථයෙන්.
(ඒ වුනාට පවතින සරල ජාතිකවාදී කතිකාවත ඇතුලේ අබා දේශප්‍රේමී හා මචං එසේ නොවන එකක් ලෙසයි ස්ථානගත වෙන්නෙ)

දැනට පවතින වර්ගයේ සරල හා පටු ජාතිකවාදයක් සමාජයේ බෙදීම් වර්ධනය කරමින්,සමාජයේ පවතින තුවාල එලෙසින්ම පවත්වා ගැනීමට පරිසරය හදනවා.පාලකයන්ගේ මජර හා බඩජාරි පැවැත්ම සාධාරනීකරනය කරමින් සමාජයේ ඉදිරි ගමනට විලංගු දාන්න එවැන්නක් හේතු වෙනවා.
සියලු ජනතාවන් පිලිබද එක හා සමාන අවධානයෙන් යුතුව ගොඩනැගෙන,සමාජයේ ඇතුලාන්තය නොබියව ප්‍රශ්න කරන පුලුල් හා ප්‍රබුද්ධ ලාංකීය ජාතිකවාදී/දේශප්‍රේමී ව්‍යාපෘතියක් බහුවාර්ගික රාජ්‍යක් ලෙස මෙම රාජ්‍යයේ පදනම ශක්තිමත් කරනවා වගේම සමාජයේ තුවාල මත යැපෙන පාලකයන්ගේ කෑදර චර්යාව තීරනාත්මක ලෙස නිරුවත් කරනවා.
ලංකාවට අවශ්‍ය කොට තිබෙන්නේ මින් දෙවැන්න මිස පලමුවැන්න නොවෙයි.නමුත් අවාසනාවකට මෙන් මේ මොහොතේ සමාජයේ අධිපතිත්වය දරන්නේ පලමුවැන්න මිස දෙවැන්න නොවෙයි.
දෙවැන්නෙන් පලමුවැන්න විස්ථාපනය කිරීමට සමාජයක් ලෙස අපි සමත් වන තරමට මෙතැනින් ඔබ්බෙහි සමාජයෙහි ඉදිරි ගමන බරපතල ලෙස රදා පවතිනවා.

Tuesday, May 5, 2009

නීතියෙහි කන්‍යාවගේ දෑස් බැද පොලිසිය තොවිල් නැටීම


ලංකාවේ දැනට සිදු වෙන අලුත්ම ක්‍රීඩාවක් පිලිබදව අවධානය ‍යොමු විය යුතුව තිබෙනවා.අද (මැයි 05)රාත්‍රී පුවත්වලින් මඩකලපුවේ දැරියක් පැහැරගෙන ගොස් මරා දැමීමට අදාල සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලදුව ඉක්බිති මිය ගිය සිදුවීමක් වාර්තා වුනා.මේ සමගම පසුගිය දිනෙක සිදු වූ වර්ෂා ජූඩ් දැරියගේ ඛේදවාචකය සහ එයට සම්බන්ධ වූවා යැයි පැවසෙන තරුනයන් සිවු දෙනාගේ ඝාතන සිදුවීම් මතකයට නැගෙනවා.මේ සිදුවීම් දෙකෙහිම සමානකම් බො‍හෝමයක් තිබෙනවා.දෙකේදීම දැරියක් පැහැරගැනීම සිදු වී තිබෙන අතර ඊට සැක පිට අත්අඩංගුවට ගන්නා ලද අය පොලිස් වෙඩි පහරින් අත් අඩංගුවේදී මිය ගොස් තිබෙනවා.
ප්‍රවෘත්ති වල මෙය වාර්තා කලේ දිටිඨ ධම්මවෙදනීය කර්මය පල දීමක් සිදු වී ඇත වැනි අදහසකට සමාන අදහසකින්.නමුත් දිට්ඨ ධම්මවේදනීය කර්මයක් පිලිබද සරල නිර්වචනයකට වඩා සැගවුනු සෙල්ලමක් මෙතන තිබෙන බව සැක කල හැකියි.විශේෂයෙන් අදාල අපරාධ වල සාහසික බව නිසා සැකකරුවන් මිය යාම සමාජයේ ජන මනස තුල සාධාරනීකරනය වීමක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ කියන්නේ "හොද වැඩේ උන් ඔහොම වෙඩි කාල මැරුන එක.අර ලමයින්ට කල අපරාද වල හැටියට!" වගේ අදහසක් සාමාන්‍ය සමාජය තුල ඇති බවයි පෙනෙන්නට තිබෙන්නෙ.
යම් පුද්ගලයෙක් අපරාධයකට සම්බන්ධ වූවා නම් ඔහු‍‍ට/ඇයට දඩුවම් පැමිනවිය යුතුයි යන්න අවිවාදිතයි.නමුත් එසේ දඩුවම් පැමිනවීම කාටවත් හිතු මතේ කරන්නට බැහැ.ඒ සදහා ශිෂ්ට සමාජය විසින් හදාගත් යාන්ත්‍රනයක් තිබෙනවා.එම යාන්ත්‍රනය වූ කලී නීතියයි.නීතිය ඉදිරියේ අපරාධයක් කල බව ඔප්පු වන තුරු යමෙක් අපරාධකරුවෙකු ලෙස නොව චූදිතයෙකු ලෙස සැලකිය යුතුයි යන්න නීතියේ ප්‍රධාන මූලධර්මයක්.

නමුත් දැන් සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනෙන අය නඩු විභාගයකින් තොරවම හදිසියේ ඝාතනයට ලක් වෙනවා.මේ මිය යෑම් වලට අදාලව පොලිසිය සමාජයට කියනුයේ "පැනලා යන්න හදන විට වෙඩි තිබ්බා","සගවා තබන ලද ආයුද සෙවීමට යන විට සගවන ලද ආයුද වලින් සැකකරුවන් පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කල නිසා සැකකරුවන්ට වෙඩි තිබ්බා"වැනි පිලිතුරු.ඉතිහාසය සම්බන්ධයෙන් ගත්විට මෙවැනි පැහැදිලි කිරීම් අපේ සමාජයට ආගන්තුක නැහැ.
88/89 යුගයේ උපතිස්ස ගමනායක නැමැති කැරලි නායකයා මරා දැමූ ආන්ඩුව එහිදී පැවසුවේ ඔහු "පැනලා යන්න" හදද්දි වෙඩි තියන ලදී වැනි කතන්දරයක්.රෝහන විජේවීර ඝාතනය සම්බන්ධ "නිල"පැහැදිලි කිරීම වුනේ ඔහුගේ අනුගාමිකයෙක් කෝපයට පත්ව ඔහුට වෙඩි තබන ලදී යන්නයි.මේ "නිල"පැහැදිලි කිරීම් ව්‍යාජ ඒවා බව පසු කාලයෙක පැහැදිලිව සනාථ වුනා.
පොලිසියේ "නිල"පැහැදිලි කිරීම්වල මෙම අපකීර්තිමත් ඉතිහාසය විසින් අප සාකච්ඡාවට ගන්නා සිදුවීම් වලදී නොවැලැක්විය හැකි ලෙසම එම ප්‍රකාශ පිලිබද යම් කුකුස දැනවීමක් සිදු කෙරෙනවා.
ත්‍රිකුනාමලයේදී වර්ෂා නමැති කුඩා දැරිය ඝාතනය කල සිදු වීමේදී ඊට සම්බන්ධ අය නැගෙනහිර මහ ඇමතිගේ පක්ෂය හා සම්බන්ධකම් පැවැත්වූ අයයි යන්න මුලදීම එලිදරවු වූ කරුනක්.එම පක්ෂය සහ වර්තමාන රජය අතර තිබෙන සම්බන්ධය කාටවත් රහසක් නොවෙයි.මෙහිදී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඉක්බිති එම පරීක්ෂන වලට සම්බන්ධ වූ පොලිස් නිලධරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවෙන් "පලායාමට"දැරූ උත්සාහය නිසා වෙඩි තබා මරා දැමෙන අතර තවෙකෙක් සයනයිඩ් කා මිය ගිය බව ප්‍රකාශ කෙරෙනවා!(අත්අඩංගුවට ගෙන රදවා තැබූ පුද්ගලයෙක් සයනයිඩ් ලබාගත්තේ කෙසේද?ඔහුව අත්අඩංගුවට ගනිද්දි පරික්ෂා කිරීමක් සිදු වූයේ නැද්ද?-මේවා විචාරාත්මක වෙන ඕනෑම අයෙක් තුල ඇති වන ප්‍රශ්න)
අනෙත් දෙදෙනාද පසුව මරා දැමෙනවා.මෙම බ්ලොග්කරුගේ මතකයේ හැටියට ස්වර්නවාහිනියේ මෙම ප්‍රවෘත්තිය විකාශය වීමේදී පැවසුනේ අදාල සැකකරුවන් සගවා තිබූ ආයුද පෙන්වීමට යාමෙදී කොටි සංවිධානය සමග ඇතිවුන ගැටුමකදී කොටි වෙඩි පහරින් මිය ගිය බවයි.
ඩේලි මිරර් පුවත් පතේ පලවූ පහත වාර්තාවෙන් පැවසෙන්නේ අදාල සැකකරුවන් දෙදෙනා කොටි සංවිධානයේ සාමාජිකයන් බවත් ඔවුන් කොටි සංවිධානයේම වෙඩි පහරින් මිය ගිය බවත්ය.

http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=44970

කොහොම වුනත් මේ සියලු පැහැදිලි කිරීම් අතිශය සංදිග්ධයි.අතිශය ගැටලුසහගතයි.පොලිසිය දැන් කියන දේ ඊලග මොහොතේ වෙනස් කරනවා.TMVP සාමාජිකයන් එක රැයෙන් කොටි සාමාජිකයන් බවට පත් කෙරෙනවා.සියලු කුනු බේරේවැවට යන උපන්‍යාසය අනුව මේ ඝාතනයනුත් කොටි සංවිධානයේ ගිනුමට බැර කල විට අත පිසදා ගත හැකි බවට පොලිසිය කල්පනා කල බව පැහැදිලියි.
කොහොම වුනත් සිද්ධියට අදාල සියලු සැකකරුවන් මිය යාම නිසා නඩු විභාගයක් රහිතවම සිදුවීම අවසන් වුනා.නඩු විභාගයක් නොපැවැත්වීම නිසා සිදුවීමට අදාල වැදගත් කාරනා ගනනාවක් මතු නොවී යටපත් වුනා.නඩුව විභාග වුනා නම් සිදුවීමේ ඇති දේශපාලන මුහුනවර හෙලිදරවු වෙනවා.අවසානයේදී ඉත්තන් මිය ‍ගොස් ඉත්තන් මෙහෙයවූ දෑත් ඉතුරු වී තිබෙනවා.
(ඔවුනුත් ඇත්තටම ඉත්තන් දැයි පැවසීමට බැහැ.මිය ගිය අය අපරාධය කලා යැයි පවසන්නේ පොලිසිය.මලවුන්ට නිදහසට කාරනා කීමට ඉඩක් නැති නිසා පොලිසියේ ප්‍රකාශය අභියෝගයට ලක්කරන්නට විදිහක් නැහැ)
දැන් ඇත්තටම යුක්තිය ඉ‍‍ටුවෙලාද?
සැකකරුවන් අත් අඩංගුවෙන් පලා යන්න වැර දරනවා නම් එක සැනෙන් ඔවුන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිරිතක් නැහැ.සම්මතය අනුව වෙඩි තබනුයේ පලා යන්නාගේ දෙපා වලට.අදාල පුද්ගලයා නොමරා තුවාල සිදු කොට ජීවග්‍රහයෙන් ගැනීමයි සාමාන්‍යයෙන් අනුගමනය කල යුතු රීතිය.දැන් ඒ හැමදේම නොසලකා හැර තිබෙනවා.සිදුවීමක් සිදු වූ විට පොලිසිය කැමති අය සැකකරුවන් ලෙස නම් කොට අත් අඩංගුවට ගැනෙන අතර,නඩු විභාගයකින් තොරව අදාල "සැකකරුවන්"අත්අඩංගුවේදීම විවිද ක්‍රමවලින්(පැනල යන්න හදද්දි/සියදිවි නසාගෙන/කොටි වෙඩි තියල)මිය යනවා.දිටිඨ ධම්මවේදනිය කර්මය අනුව යුක්තිය ඉටු වුනා කියල සමාජයට ඒත්තු ගන්වන්නත් ඉක්බිති බලධරයන් කටයුතු කරනවා.දුර දිග ‍සොයා නොබලන සමාජයත් අනේ සාදු කියල නිල විග්‍රහය ඒ විදිහටම බාර ගන්නවා.
මෙම විනිවිද නොපෙනෙන ක්‍රමවේදය තුල අපරාධවලට ඇත්තටම සම්බන්ධ අයට සැගවී යන්නටත්,සමහර විට අපරාදයට සම්බන්ධයක් නැති අයට අපරාධකරුවන් ලෙස මියයාමටත් සිදුවීමේ සම්භාවිතාවයක් ඇත්ත වශයෙන්ම තිබෙනවා.යුක්තිය පසිද ලීමේ ක්‍රියාවලිය මේ විදිහට විනිවිද නොපෙනෙන ලෙස බලය සහිතවුන්ගේ රුචිය මත රැදෙන ව්‍යාපෘතියක් වීම අතිශය අහිතකරයි කියන්නේ එම පදනම මත.

පොලිසියේ (එනම් රාජ්‍යයේ-පොලිසිය යනු වියුක්ත සංස්ථාවක් නොව රාජ්‍යයේ අධිකාරිය සමාජය මත බලාත්මක කරන අංගෝපාංග වලින් එකක්) මෙම ක්‍රියාකලාපය බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන තවත් සිදුවීමක් පසුගිය දිනෙක වාර්තා වුනා.අවාසනාවකට වගේ මේ සිදුවීම් දකුනේ මාධ්‍ය තුල සාකච්ඡා නොකෙරෙන තරම්.
එම සිදුවීම නම් දෙමල පුවත් පත් කතුවරයෙක්වූ එන්.විද්‍යාදරන් මහතා හා සම්බන්ද සිදුවීම.කොලඔට සිදු වූ ගුවන් ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය අතිශය ප්‍රශ්නකාරී එකක්.
අවමගුල් උලෙලකට සහභාගී වෙමින් සිටියදී එම මහතාව වෑන් රියකින් පැමිනි පිරිසක් විසින් පැහැර ගැනීමකට ලක්වුන අතර පැහැර ගත් පිරිස අතර පොලිස් නිල ඇදුමින් සැරසුනු තිදෙනෙකුද සිට තිබෙනවා.මෙම පැහැරගැනීම ප්‍රසිද්ධ වූ සැනින් නිවේදනයක් නිකුත් කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක එයට පොලිස් සම්බන්ධයක් නැති බවත් එය පැහැර ගැනීමක් බවත් ප්‍රකාශ කරනවා.
නමුත් සිදුවීම සිදු වී තව හෝරා කිහිපයක් ගිය තැන සිය මුල් ප්‍රකාශයට හාත් පසින් වෙනස් ප්‍රකාශයක් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක විද්‍යාධරන් මහතා පොලිස් අත්අඩංගුවේ-කොලඹ අපරාධ අංශයෙහි සිටින බවට ප්‍රකාශ කරනවා.
ඒ අතර මාධ්‍ය සාකච්ඡාවකට එන ජනමාධ්‍ය ඇමැති මෙහිදී කිසිදු පැහැර ගැනීමක් වී නැති බවත් විද්‍යාදරන්ව නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන ඇති බවත් පවසනවා.
වඩාත්ම හාස්‍යජනක සිද්ධිය සිදු වෙන්නේ ඉන්පසුව.මාර්තු 18දා විද්‍යාධරන්ව අධිකරනයට ඉදිරිපත් කරන පොලිසිය පවසනුයේ කුමක්ද?යම් හදුනානොගත් කන්ඩායමක් විසින් පැහැරගෙන ගොස් දෙමටගොඩ පාරේ දමාගොස් තිබියදී ඔහුව තමන්ට හමුවුන බවත් තමන් ප්‍රශ්න කිරීමට ඔහුව සොයමින් සිටි නිසා ඔහුව එවිට නීත්‍යානුකූලව අත්අඩංගුවට ගන්නා ලද බවත් පොලිසිය ප්‍රකාශ කරනවා!
මේ අතර විද්‍යාදරන් අධිකරනයට ඉදිරිපත් කිරීමට පෙර,අඩුම තරමින් ඔහු ගැන විධිමත් පරීක්ෂනයක් හෝ සිදු කිරිමට පෙර ඕස්ට්‍රේලියාවේ SBS රූපවාහිනී සේවයට සාකච්ඡාවක් ලබාදෙන ආරක්ෂක ලේකම් ආවේගශීලිව මෙසේ ප්‍රකාශ කරනවා.
"විද්‍යාදරන් ත්‍රස්තවාදියෙක්!ඔහුව ආරක්ෂා කිරීමට හැදුවොත් ඔබේ අතෙත් රුධිරය තැවරේවි.කොලඹට එල්ල වූ කොටි ගුවන් ප්‍රහාර සම්බන්දීකරනය කලේ ඔහුයි"
ඉතාම නීති විරෝධී හා අශිෂ්ට ආකාරයක අත්අඩංගුවට ගැනීමක් පමනක් නොවෙයි නඩු විභාගයක් රහිතවමැ විද්‍යාදරන් ත්‍රස්තවාදියෙක් බවට නඩු තීන්දුවකුත් රාජ්‍යයේ ඉහලම තැනින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඔය ආකාරයට.
නමුත් අන්තිමේදී සිදු වූයේ කුමක්ද?කොටි ප්‍රහාරයට විද්‍යාදරන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව තීරනය කරන අධිකරනය පසුගිය අප්‍රේල් 24දා ඔහුවා නිදොස් කොට නිදහස් කර හරිනවා.කොටි ප්‍රහාරය වූ දින ඔහු විදේශ දුරකතන ඇමතුම ගෙන තිබෙන්නේ පවුලේ ඥාතින් පිරිසකට බව ඔප්පු වෙනවා.
වරදකට සම්බන්ධ නොවූ පුරවැසියෙක් "ත්‍රස්තවාදියෙක්!"ලෙස ජාත්‍යන්තරවම ප්‍රකාශ කල ආරක්ෂක ලේකම් ඇත්තටම මෙහිදී ඔහුගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.
කෙසේවුවත් මෙම සිදුවීමෙන් නඩු විභාග වලින් තොරව සැකකරුවන් "අපරාධකරුවන්" බවට පත්කිරීමේ ඇති භයානක කම ඉතා හොදින් පැහැදිලි වෙනවා.
ඒ වාගේම පොලිසිය මෙහිදී ක්‍රියා කල ආකාරයත් රාජ්‍ය ආරක්ෂක ලේකම්ගේ හැසිරීමත් අතිශය ගැටලුසහගතයි.ත්‍රස්තවාදයට හෝ හිංසනයට සමාජයේ ඇති පොදු විරෝධය පොලිසිය/රාජ්‍යය විසින් ඉතාම නින්දිත ලෙස ගනිකා වෘත්තියෙහි යොදවමින් අන්තනෝමතික ලෙස ක්‍රියා කරමින් සිටිනවා.මේ අන්තනෝමතිකත්වයෙහි අද ගොදුර විද්‍යාදරන් වන අතර හෙට ඒ ඕනෑම කෙනෙක් විය හැකියි.
සමහරවිට ඒ මෙය කියවන ඔබ විය හැකියි.
මේ සිදුවීම් ගැන සමාජයේ අවධානය වහ වහා යොමු විය යුත්තේ පිලිකාවක් වීමට පෙර මෙම දදය මුලිනුපුටා දැමීම අතිශය අවශ්‍ය වූවක් වන නිසා.


(-පසු සටහන-විද්‍යාදරන් මහතා සම්බන්ධ සිදුවීම ගැන කරුනු දැක්වීමේදී මැයි 03 රාවය පුවත්පතේ "පුරවැසියෙකුගේ සටහන්"තීරයේ ඇති තොරතුරු දායක කර ගන්නා ලදී.ඇත්තෙන්ම වෙනත් පුවත්පත් එකක හෝ සහෝදර මාධ්‍යවේදියෙකු මුහුන දුන් මෙම සිදුවීම ගැන පැහැදිලි කිරීමක් දැකීමට ලැබුනේ නැහැ)