Friday, October 23, 2009

ජෙනරාල් ෆොන්සේකා - පුද්ගලිකව නොව දේශපාලනිකව කියවමු


‍ජෙනරාල් සරත් ෆොන්සේකා පිලිබද පුවත මේ වනවිට ලංකාවේ ඉතාම ආන්දෝලනාත්මක පුවත බවට පත්වෙලා තිබෙනවා.යුද්ධයේ වීරයන්,හමුදා කුමන්ත්‍රන සූදානම් වැනි බොහෝ පැති කරා මේ සාකච්ඡාව ගමන් කොට තිබෙනු මේ වන විට දැක ගත හැකියි.
කොහොම වුනත් ෆොන්සේකා පිලිබද පුවත රාජපක්ෂ පාලනය ගැන මීට පෙර පොදුවේ විවේචනාත්මකව මතු වූ අදහස් ප්‍රමානයක් නැවත තහවුරු කරන්න ඉවහල් වෙලා තියෙනවා.වර්තමාන පාලනය කියන්නෙ පුලුල් දැක්මක් සහිතව සමාජය ඉදිරියට ගෙනියන්න හදන එකක් නෙමෙයි පවුලේ ආධිපත්‍යය ඥාති සංග්‍රහයෙන් ජරපත් වුන අන්තිම ප්‍රතිගාමී තන්ත්‍රයකි යන අදහස නැවත මේ සිදුවීමෙන් තහවුරු වෙනවා.තම පවුලේ ආධිපත්‍යයට එරෙහිවන අයට පමනක් නොවෙයි තමන්ට වඩා ජනප්‍රිය වේ යැයි උපකල්පනය කරන අයගෙන් පවා පලිගන්න තැනකට පාලකයන් ගමන් කරමින් ඉන්නා බව පෙනෙන්නට තිබෙනවා.

හිටපු හමුදාපති ජනාධිපතිවරනයට එනවා කියන ප්‍රවෘත්තිය ඕපාදූපයක් ලෙස රට පුරා සැරිසරන්න ගන්නෙ මේ අතර වාරයේ.තාම මේ ගැන නිල ප්‍රකාශයක් නැහැ.හමුදාපති මේ ගැන අදහසක් ප්‍රකාශ කරලත් නැහැ.නමුත් හමුදා කුමන්ත්‍රන,යුද්ධයේ ඇත්ත අයිතිකාරයන් දේශපාලකයන්ය කියන ඇමති වරුන්ගේ වාචාල කතා වලින් අපිට පැහැදිලි වෙන්නේ ෆොන්සේකා දේශපාලනයට ඒම නොවිය හැක්කක්ම නොවන බවයි.
මේ කටකතාව ආන්ඩුව කෙතරම් ත්‍රස්ත කොට තිබෙනවාද යත් මේ ගැන කතා කරන මාධ්‍ය වලට එරෙහිව "නීතිමය පියවර ගන්නා බව" හමුදා ප්‍රකාශක පසුගියදා පවසා තිබුනා.එක්තරා සති අන්ත පුවත්පතක කතුවරයෙක් මේ අනුව ෆොන්සේකා ගැන කතාකිරීමේ වරදට අපරාධ විමර්ශන අංශයට කුදලාගෙන යනු ලැබුවා.
කෙසේ වෙතත් දකුනු පලාතේදී රජය ඉල්ලූ 80% ජනතාව විසින් බැහැර කිරීම නිසා හොල්මන් වී සිටින රාජපක්ෂ ආන්ඩුවේ තැරැව්කාරයන්ට ‍ෆොන්සේකාගේ දේශපාලන ආගමනය මිට මොලවා මුහුනට ගැසූ පහරක් වැනියි.ජයග්‍රහනයෙන් උදම් වී විපක්ෂයට කොචොක් කරමින් ආතල් ගත් දේශපාලකයන් මෙතරම් ඉක්මනින් තමන්ගේ උද්දාමයට මෙහෙම කෙලවෙතැයි අපේක්ෂා නොකල බවට සැකක් නැහැ.
හදිසි ජනාධිපතිවරනයක් නියමිත කාලයට පෙර රජය කැදවන්නට සිතාගෙන සිටියේ යුද්ධය නිසා තමන් ලද ජනප්‍රියත්වයෙන් ජනාධිපතිවරනය ගොඩ දා ගත හැකියි යන විශ්වාසයෙන්.චන්දයේදී විකිනීමට හැකි එකම "භාන්ඩය"වන්නේත් යුද ජය පමනයි.යුද්ධයේදී හමුදාවට ක්‍රියාන්විත නායකත්වය දුන් පුද්ගලයා ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වුවහොත් රාජපක්ෂ රජයේ තරග සැලැස්ම එහෙම් පිටින්ම අවුල් වෙන බවට අමුතුවෙන් කිව යුතු නැහැ.
‍ෆොන්සේකා දේශපාලනයට ඒම ගැන භීතියෙන් හතර අතේ ආන්ඩුවේ ඉදුල් කන්නන් කෑ මොර දෙන්නේ යුද්ධය පෙන්වා සීත කාමර වලට වී කතා සාප්පු දැමීමේ සනීප දේශපාලනය ඔහු ආවොත් තවදුරටත් වලංගු නැති බව මේ දූෂිත දේශපාලන ස්තරය දන්නා නිසා.

කොහොම වුනත් රජයේ අදෝනා වලට අමතරව ෆොන්සේකාගේ (සිදු වෙනවා යැයි උපකල්පනය කෙරෙන) දේශපාලන ආගමනය ගැන රජයේ නොවන විරුද්ධ පාර්ශවවලිනුත් යම් විවේචනාත්මක අදහස් ප්‍රමානයක් මතුව තිබෙනු දැකගත හැකියි.
වාමවාදී ස්ථාවරයක සිට රාවයට ලියන අජිත් පැරකුම් ජයසිංහ මේ පිලිබදව පසුගිය සති දෙකේදීම ප්‍රශ්න කොට තිබුනා.රාජපක්ෂ රජයේ අන්තනෝමතිකත්වයට එරෙහි තැනක සිට ලියන බ්ලොග් අඩවි කිහිපයකත් මෙවැනිම ලිපි කිහිපයක් පසුගිය සතියේ පල වී තිබුනා.
ආන්ඩුව ෆොන්සේකාට එරෙහිව ගේන හමුදා කුමන්ත්‍රන ගැන තක්කඩි කතා වලට වැඩිය සලකා බැලිය යුතු නිරීක්ෂන කිහිපයක් මෙම ලිපි වල ගැබ්ව තිබු බව කිව යුතුයි.
1.ෆොන්සේකා මහතාගේ දේශපාලන ස්ථාවරය මෙම විවේචන තුල ප්‍රශ්න කෙරුනු ප්‍රධාන කාරනයයි.
කැනේඩියානු පුවත්පතකට වසර දෙකකට පමන පෙර ඔහු කල ප්‍රකාශයක් නැවත නැවත උපු‍ටා දක්වමින් ෆොන්සේකා දැඩි සිංහලවාදියෙක් බවත් ඔහුගේ පාලනයක් රාජපක්ෂගේ පාලනයටත් වඩා ආධිපත්‍යවාදී හා මර්ධනකාරී විය හැකි බවට එක් අතෙකින් ප්‍රකාශ වී තිබුනා.
2.ඉහත තර්කය මතම රැදෙමින් සුලු ජාතීන්ගේ කැමැත්ත ෆොන්සේකාට නොලැබෙන බවත් මේ නිසා ඔහුව බලයට පත් කිරීම "ඉගුරු දී මිරිස් ගැනීමක්" විය හැකි බවටත් අනාවැකි මතුකෙරෙනු දැකිය හැකියි.

මේ හැම අදහසක්ම පලවෙන්නේ හිටපු හමුදාපති චන්දයට එන බවක් ස්ථිර වෙලා නැති සන්දර්භයක.මේ නිසා මේ ගැන විස්තරාත්මකව කතා කිරීම තේරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන්.
ඒ වුනත් කවර සීමාසහිතකම් මැද වුනත් ඔහු ජනාධිපතිවරනයට ඒම සාධනීය දෙයක් යැයි මේ ලියුම්කරු කල්පනා කරනවා.

ෆොන්සේකාට එරෙහි ආන්ඩු විරෝධීන්ගේ තර්කයෙහි ඇති හිස්තැන නම් ඔවුන් ‍සරත් ෆොන්සේකා කියන පුද්ගල සාධකය සන්දර්භයෙන් පිට අරගෙන වියුක්තව විග්‍රහ කිරීම.ඒ වෙනුවට ඇත්තටම විය යුත්තේ මේ මොහොතේ පවතින දේශපාලන වාතාවරනයට සාපේක්ෂව සංයුක්ත සිතීමකට යාම.ඉතාම සුදු පරමාදර්ශී විකල්ප මනෝරාජික සිහින වලට වලංගු වුනාට මහපොලොවේ දේශපාලනය ඉල්ලා සිටින්නේ ප්‍රායෝගිකත්වය මිස අනෙකක් නොවෙයි.
මේ නිශ්චිත මොහොතේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?
පාලන බලය තිබෙන පුද්ගලයා තනි පුද්ගල ආඥාදායකත්වයක් කරා යමින් තිබෙන අතර සිම්බාබ්වේ මට්ටමේ ඉතාම පසුගාමී තැනකට රට පල්ලම් බස්සමින් සිටිනවා.
මේ ගමන ආපසු හැරවිය යුතුයි.එසේ හරවන්න නම් හුදෙක් රාජපක්ෂ බලයෙන් පහ කිරීම ප්‍රමානවත් නැහැ.ඔහුව බලයෙන් පහ කරන ගමන් ඒකාධිපතියන් බිහිවීමට දේශපාලන සමාජයේ තිබෙන අවකාශය අවහිර කරන්න ඕනෙ.
JR ගේ ප්‍රේමදාසගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා චන්දයෙන් තේරුනු පාලකයන් ජනතාවට කොකා පෙන්වන අනභිබවනීය ඒකාධිපතියන් බවට පත්වුනේ කොහොමද?
ඒක එහෙම වුනේ දේශපාලන සමාජය තුල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල තිබෙන දුබලතාවය නිසා.මේ දුබලතාවයට බලපාන ඉතාම මූලික හේතුව තමයි පාලකයාව නීතියටත් ඉහලින් තබන විධායක ජනාධිපතිධූරය.
රාජපක්ෂ ඇතුලු මෙ‍තෙක් කල් සිටි උතුමානන් වහන්සේලාට ආඥාදායකයන් ලෙස පිම්බීමට හා පිස්සු කෙලීමට ඉඩ ලැබුනේ අඩුම තරමින් අධිකරනය ඉදිරියේවත් ප්‍රශ්න කල නොහැකි අසීමිත විධායක බලය නිසා.
මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය ක්‍රමයක් ලෙස ‍අහෝසි කිරීම සමාජය ප්‍රජාතාන්ත්‍රීකරනය පැත්තෙන් බලන විට අතිශය තීරනාත්මක ඉදිරි පිම්මක්.
මේ කාරනයත් එක්කම 17 වෙනි සංශෝධනය පිලිබද කතිකාව ඉදිරියට එනවා.රාජ්‍ය සේවය,පොලිස් සේවය,මැතිවරන ක්‍රියාවලිය වැනි අංග අද වන විට ශිෂ්ට සමාජයකට කිසිසේත් නොගැලපෙන විදිහට ලංකාව තුල කුනු වෙලා ගොස් තිබෙනවා.මේවා බලයේ සිටින දේශපාලකයන්ගේ හොර ගුහාවල් මිස සමාජයේ සේවය උදෙසා කැපවුනු ආයතන නෙමෙයි.
17 වෙනි සංශෝධනය බලාත්මක කිරීම සරල දෙයක් නොවෙන්නේ මේ නිසා.පරමාදර්ශි වෙනසක් සිදු වුවත් නැතත් රාජ්‍ය සේවය,පොලිසිය වැනි සමාජයේ සංවේදී "නිල"ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශයකින් ස්පර්ශ කරන එක සමාජයක් විදිහට අපිව ඉදිරියට ගෙනියනවාද ?නැද්ද?
මහපොලොවේ තිබෙන ප්‍රශ්න මේවායි.ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමාජ සාධාරනත්වයේ පැත්තෙන් බලන කොට ඉහත පියවරයන්ගේ තිබෙන වැදගත්කම නොසලකා හල නොහැකියි.

රාජපක්ෂ සිහසුනෙන් බසවා සිදු කෙරෙන්නේ නිකම්ම නිකම් ෆොන්සේකාව රාජාභිෂේක කිරීමක් නම් එහි ඇති දේශපාලන වැදගත්කමක් නැහැ තමයි.එතකොට ඔහුගේ තිබෙනවා යැයි කියන සිංහලවාදී මර්ධනකාරී චර්යාවන් අධිපතිත්වයට පත්වෙන බව ඇත්තක් විය හැකියි.
නමුත් ෆොන්සේකා ජනාධිපති චන්දෙට එන්නේ හුදෙක් තනි පුද්ගල සාධකයක් විදිහට නෙමෙයි නම් තත්වය වෙනස් මුහුනවරක් ගන්නවා.දේශපාලනයේදී කේවල සාධක වැදගත් වුනත් අන්තිමේදී ඊට වඩා බලපෑම් සහගත වෙන්නේ කේවල සාධක ස්ථානගත වෙන බලවේගයන්ගේ ව්‍යුහය.
ෆොන්සේකාගේ ප්‍රතිරූපයට ලැබෙන චන්ද අන්තනෝමතික විධායක ජනාධිපති ධූරය අහෝසි කරන තැනකට හරවා ගත නොහැකිද?
ෆොන්සේකාගේ ප්‍රතිරූපයට එන චන්ද 17 වෙනි සංශෝධනය බලාත්මක කරන තැනකට ගෙනි යන්නේ කොහොමද?
කොටින්ම කියනවා නම් සමාජය ප්‍රජාතාන්ත්‍රිකව ශක්තිමත් කිරීමේ අවම වැඩපිලිවෙලක් (minimum programme) බලාත්මක කිරීම සදහා මේ අවස්ථාව යොදා ගත හැකිද?නොහැකිද?
සලකා බැලිය යුතු කේන්ද්‍රීය ප්‍රශ්න වන්නේ මේවායි.
ආරංචි වී තිබෙන හැටියට විපක්ෂය ඕනෑම පොදු අපෙක්ෂකයෙක්ට සහය දෙනවා නම් දෙනු ලබන්නේ විධායක ජනාදිපති ධූරය දින 180 ක් තුල අහෝසි කරනවා කියන නිශ්චිත ප්‍රධාන කොන්දේසියට යටත්ව යැයි පැවසෙනවා.මේ අනුව පැවැත්වෙන ජනාධිපති චන්දයක් විධායක ක්‍රමයට පක්ෂ හා විපක්ෂ බලවේග අතර ජනමත විචාරනයක් බවට පත්වීම වලක්වන්න බැහැ.එවැනි පසුබිමක් තුල රාජපක්ෂ හෝ චන්ද්‍රිකා කලා වගේ සිය පොරොන්දුවෙන් කට්ටි පැනීමට බලයට පත්වෙන කෙනාට ලෙහෙසියෙන් අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ

කොහොම වුනත් ෆොන්සේකාව මෙවැනි අවම වැඩපිලිවලකට එකග කරවා ගත හැකි නම් එම වැඩපිලිවෙල වෙනුවෙන් ෆොන්සේකාට සහය දීම සාධනීය දෙයක් බව පැහැදිලියි.
සරත් ෆෙන්සේකාගෙන් ඉර හද බලාපොරොත්තු විය නොහැකියි.ඔහුගෙන් සුලු ජාතින්ගේ ගැටලුව සහමුලින් විසදීම අපේක්ෂා කිරීමත් ප්‍රායෝගික නැහැ.(අපි කල්පනා කරන විදිහට සුලු ජාතින්ගේ ගැටලුවට ධනේශ්වර ක්‍රමය තුල කොහොමත් විසදුමකුත් නැහැ)
නමුත් සුලු ජාතින්ගේ අයිතීනුත් තහවුරු කරන,මෙතනින් ඉදිරියට යාමට අවශ්‍ය කවුලුව විවර කර දෙන "ප්‍රවේශ මාර්ගයක් "හදාගන්න ජනරාල් ෆොන්සේකාව යොදාගන්න පුලුවන් නම් අදුරට ශාප කිරීමට වඩා ඒ දැල්වෙන එක ඉටි පහන ඉතාම වටින බව කිව යුතුයි.

සරත් ෆොන්සේකා චන්දයට ඒම අපි පසෙක තබමු.ඔහු චන්දයට නොආවොත් ලබන ජනවාරියේ පැවැත්වෙනවා යැයි කියන ජනාධිපතිවරනයේදී වනු ඇත්තේ කුමක්ද?
යථාර්ථය නම් රාජපක්ෂට අභියෝග කල හැකි චරිතයක් මේ මොහොතේ සොයාගත නොහැක යන්නයි.නිසැක වශයෙන්ම එම චන්දය රාජපක්ෂගේ රේස් එක වනු ඇති අතර එජාපයේ 17 වසරක ගසාකෑම් වලට වඩා ගසාකෑම් වලින් පිරුනු මේ පාලන තන්ත්‍රය තවත් වසර 06කට හෝ 08කට දීර්ඝ වීම කවර තත්වයක් කරා සමාජය ගෙනයනු ඇත්ද?
රාජපක්ෂට අභියෝග කල හැකි යෝග්‍යම චරිතය ජෙනරාල් ෆොන්සේකාය යන්න ඇත්ත කාරනයයි.ඔහු චන්දෙට එනවා කියන හුදු ඕපාදූප‍ය නිසා ආන්ඩුවට සුලු දිය පහවෙන්නට පටන්ගෙන තිබෙන්නේ ඒ නිසාය.
‍ෆොන්සේකාගේ පුද්ගලික කීර්තිය දේශපාලන සැලැස්මක් තුලට අන්තර්ග්‍රහනය කරගත හැකි නම් ඊලග චන්දය ජනාධිපතිගේ පම්පෝරි සහිත තනි රේස් එකක් වෙනුවට ඒකාධිපතිත්වය හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරන අතර ගැටුමක් බවට පත්කරගත හැක.
පුද්ගලයන්ගේ පුද්ගලික මතවාද වල සීමාවන් අතිශයෝක්තියට නංවා සතිපතා ප්‍රචාරය කරමින් මුකුත් නොකර ඉන්නවාට වඩා පුද්ගලයා කලමනාකරනය කරමින් "යමක් කිරීමට" උත්සාහ කිරීම හැම අතින්ම වැදගත්ය.
‍කිසිම දුර්වලතාවයක් නැති සුපිරි පොදු අපේක්ෂකයෙක් ගැන සිහින මවමින් වචන වලින් දේශපාලනය කරනවාට වඩා ඇවැසිව තිබෙන්නේ කුඹුරට බැස මඩ ගා ගැනීමේ අභියෝගයට නොබියව මුහුන දෙමින් කුඹුර සෑමේ භාවිතයකි.
දේශපාලනයට අවශ්‍ය කරන්නේ "වැඩ" මිස නොකෙරෙන වෙදකම් වලට කෝදුරු තෙල් ඉල්ලන "වචන"නොවේ.


Thursday, October 8, 2009

නවකවදය



නවක වද කාල සීමාවන් බො‍හෝ විශ්ව විද්‍යාල වල දැන් අවසන් අදියර‍ට පිවිසෙමින් තිබේ.ඇත්ත වශයෙන්ම නවකවදය අතිශය සංකීර්න වූද එසේම කුහුල දනවන සුලු වූද ක්‍රියාවලියකි."වදයක්"යනු කොහොමත් නොහොද දෙයකි.මේ ක්‍රියාවලිය තුල අශෝභන එමෙන්ම ජුගුප්සාජනක පැතිද බොහෝය.නමුත් උත්ප්‍රාසාත්මක ලෙස මේ අශෝභනත්වයම සමහර විට වදයට ලක්වන්නාවද ආකර්ෂනය කරන ආකර්ෂන ලක්ෂ්‍යයක් ලෙස ක්‍රියා කරයි.

විශ්ව විද්‍යාලයට එන නවකයන් එහි පරිසරයට හැඩගැස්වීම උදෙසා නවකවදය ක්‍රියාත්මක වේ යැයි පවසනු ලැබේ.මෙහි ඇත්තක් නැත්තේම නැත.පිට සමාජයේ දහසක් වෙනස්කම් සහිත ස්ථර වල ජිවත්වන අය අලුත විශ්ව විද්‍යාලය තුලට එන්නේ ඒ වෙනස්කම් සමගිනි.
සමාජ ස්ථරයන්ගේ වෙනස්කම් එක් පසෙකය.ගැහැනු පිරිමි අතර අස්වාභාවික දුරස්ථභාවය තව පසෙකය.ගමේ නගරයේ භේදය තව පසෙකය.
මේ සමාජ කොටස් ස්වයංක්‍රීයව මුහු වීම ඇත්තටම සිදු නොවන නිසා blend වීම සදහා යම් ක්‍රියාවලියක් අවශ්‍ය වේ.
නැතිනම් සරසවියක් හා ටියුෂන් පංතියක් අතර වෙනසක් නැතිවනු ඇත.කොලඹ අය වෙනම,ගමේ අය වෙනම,කෙල්ලො වෙනම,කොල්ලො වෙනම - බාහිර බලපෑමක් නැති තැන ස්වයංක්‍රීයව ඇති වනු ඇත්තේ එම තත්වයයි.
batch fit එක සහ නවකවදය අතර සමීකරනයේ ඇත්තක් නැත්තේ නැති බව පැවසූයේ ඒ නිසාය.යම් මුහු කිරීමක් නොවුනහොත් හැමෝම එකතු කරගෙන පිරිත් පිංකමක් තියාගැනීමට තරම් වත් එකමුතුවක් බැච් එකක් තුල නිර්මානය නොවනු ඇත.

නමුත් මේ සමීකරනය අවුල් වෙන්නේ ඉහත පරමාර්ථය වෙනුවට වෙන වෙන ඉලක්කම් හා අරමුනු මිශ්‍ර වීම නිසාය.
පලමුව නවකවදය හීනමානයෙන් පෙලෙන්නන්ට මාර අවස්ථාවකි.නවකයන් කිසිම ප්‍රතිරෝධයක් දැක්විය නොහැකි නිරායුධ අසරන මිනිස් කොටසක් බවට පිරිහෙලන නිසා ඉහල වසරේ උදවියට නවකයන් හොද "බයිට්" එකකි.
සාමාන්‍යයෙන් සමාජයේ මිනිසෙකුට එරෙහිව මිනිසෙක් බලය යොදවන විට පෙරලා ඊට විරෝධය පලකිරීමේ හැකියාවක් තිබේ.මෙය ශිෂ්ට සමාජයක අවම ලක්ෂනයක්ය.
නවකවදය තුල ඒ අවම අයිතිය පවා නවකයන්ට අහිමිය.ඒ තුල ඔවුන් මිනිසුන් නොව ජ්‍යෙෂ්ඨයන්ගේ අතෙහි නැටවෙන කෙලි බඩු උපකරන තත්වයට පිරිහෙලනු ලැබේ.
පේරාදෙනියේ නේවාසිකාගාර තුල නවකයන් නිරුවත් කරන අතර අනෙකාට අතේ ගැස්සවීමට නවකයන්ට බල කෙරේ.සාමාන්‍ය වාතාවරනයක් තුල මෙය ලිංගික බලහත්කාරකමකි.
මෙවැනි බලහත්කාරකමක් සහ බැච් ෆිට් එක අතර සම්බන්ධය කුමක්ද?
එවැනි තාර්කික සම්බන්ධයක් නිර්මානය කල හැක්කේ කාටද?
අනෙකාට ‍අතේ ගැස්සවීම ප්‍රතික්ෂේප කරන්නා ( විරෝධය පෑමේ අවම අයිතිය යොදා ගන්නා කෙනා) තොල් පුපුරා යන්න පහර කෑමට සූදානම්ව සිටිය යුතුය.
මේවා ජ්‍යෙෂ්ඨයන්ගේ සැගවුනු තිරිසන්මය ගති එලියට ඒමට දෙන ලයිසන් මිස වෙන කුමක්වත් නොවේ.නවකවදයේ "ප්‍රකාශිත" පරමාර්ථ සහ මේ පිලිකුල් සහගත අපචාරයන් අතර සබදතාවයක් නොමැත.
මෙවැනි කායික හිංසනයන් කුමන තත්වයක් යටතේවත් සාධාරනීකරනය කල නොහැක.ප්‍රශ්නය වන්නේ මෙවැනි කතන්දර සමාජය ඉදිරියට නොඒමයි.වදයට ලක්වන්නන් මේවා ගැන කතා නොකරන අතර සරසවි වල අදුරු සෙවනැලි යටතේ මේ නිසා වසර ගනන් මෙම අශෝභන සිදුවීම් දිගින් දිගටම ඇදෙමින් පවතී.
අතීතයේ විශ්ව විද්‍යාල වල පැවැති පොහොසත් සංස්කෘතික දේශපාලන පරිසරයෙන් වර්තමානයට උරුම වී තිබෙන්නේ නවකවදය පමනි.එයද තිබුනු නවකවදය මෙන් සිය ගුනයක අවමානුෂික හා ජඩ එකක් බවට දිනෙන් දින රූපාන්තරනය වෙමින් පවතී.

විශ්ව විද්‍යාල එකාට එකා නැති අලයන් සිටින අල නිෂ්පාදනාගාර බවට පත්වීම නොහොද වෙනවා වගේම සීලාචාර සමාජයට අනුමත කල නොහැකි පාදඩකම් නවකවදයේ නාමයෙන් සිදු වෙන තත්වයන්ද එක සේම නරකය.
නවකවද ක්‍රියාකාරකම් පාලනය කිරීම මේ නිසා අද වන විට අවශ්‍ය නොව අත්‍යවශ්‍ය කාරනයකි.
නවකවද කතා එලියට ඒම සාධනීය වන්නේ මේ නිසාය.මේ තොරතුරු එලියට එන තරමට සමාජය මේවා ගැන සංවේදී වෙන්න,ප්‍රතික්‍රියා දක්වන්න යොමුවේ.සමාජයේ මේ අවධානය නවකවදය පාලනය කිරීම සදහා වැදගත් වනු ඇත.
සමාජයේ බොහෝ අය නවකවදයේ "ඇත්ත" දන්නේ නැත.රැග් එකට පක්ෂ අදහස් පිට සමාජයෙන් පල වෙන්නේ මේ තොරතුරු හිගකම නිසාය.
මේ නිසා අවසාන වශයෙන් සිදු වන්නේ රැග් එකට යම් සාධාරන පසුබිමක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ගනිකා වෘත්තියේ යොදවා ගෙන හීනමානකාරයන් පිස්සු කෙලීමය.

අනෙත් අතට රැග් එක හරහා යම් දේශපාලන අරමුනක් අපේක්ෂා කරන දේශපාලන කොටස් වලටද යා යුතු පනිවිඩයක් තිබේ.
"අපිත් මේක පාලනය කරගන්න බලනවා.ඒත් මේක පාලනයෙන් පිට පැනලා"වැනි ඇග ෂේප් වෙන උත්තර නොදී මේ ක්‍රියාවලිය හා තමන්ගේ අරමුනු ගැඹුරින් සංසන්දනය කල යුතුව පවතී.
දේශපාලන විඥානයක් නිර්මානය කිරීම හා පෞරුෂ දුබලතාවලින් පෙලෙන රෝගීන්ට ආතල් ගැනීමට අවස්ථා සැපයීම එකක් නොව දෙකකි.
මේ දෙක මුසු වීම පලමු අරමුනද භයානක ලෙස බොද කර දමනු ලබයි.
සියයට සියයක් "අල" වීම එක අන්තයක් වන අතර සියයට සියයක් "වැල"වීම අනෙත් අන්තයයි.
මේ අන්ත දෙක අතර සමබර ලක්ෂ්‍යයක් සොයා ගන්නා තැනට නවක වද සාකච්ඡාව යොමු විය යුතු බව අපගේ යෝජනාවයි.
මේ යන විදිහට පෞරුෂ රෝගීන් ආතල් ගැනීම,කිසිම වරදක් නොකල අහිංසකයන් මානසික රෝගීන් වීම වැනි සහ ගහන අපරාධ සිදු වෙන එක හැර වෙන යමක් වන්නේ නැත.

පසුවදන-
කවුරුත් කතා කරන්නේ විශ්ව විද්‍යාල වල නවකවදය ගැන පමනි.සරසවි වල පමනක් නොව වෙනත් ආයතන තුලද නවකවද ක්‍රියාකාරකම් අඩු වැඩි වශයෙන් පවතී.
රනවිරුවන් සිටින හමුදාව තුලද මේවා සිදුවේ.හමුදා පුහුනුවට ගිය අපගේ මිතුරෙක් නවකවදයට ගොදුරු වූ අතර අවසානයේ ඔහු දරුනු මානසික කම්පනයකට ලක්ව ඔහුගේ "සිහිය" ඔහුට අහිමි විය.
දැන් ඔහුට බොහෝ දේ මතක නැත.තමන්ගේ මිතුරන්,තමන් කල කී දේ - මේ බොහෝ දේ කම්පනය නිසා ඔහුගේ සිහියෙන් බැහැර වී තිබේ.
මේවා ගැන කතා කිරීමට බොහෝ විට බොහෝ අය බයය.
ඒත් මේවා වැඩි වැඩියෙන් කතා බහට ලක්විය යුතු තේමාවන්ය.