Monday, December 27, 2010

ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ හෙලුව - වෛද්‍ය බිනායක් සෙන් සිරගත කිරීම සම්බන්ධ සටහනකි

වෛද්‍ය බිනායක් සෙන් 
ප්‍රජාතන්ත්‍රවාදයේ වත්මන් අර්බුදය හුදු අහම්බයක් නොවේ.වැඩිම මිල ගෙවන්නාට මිල දී ගත හැකි ,වෙන්දේසි‍යේ තබා තිබෙන හුදු භාන්ඩ සමූහයක් බවට නිදහස් මැතිවරන,නිදහස් ජනමාධ්‍ය හා ස්වාධීන අධිකරනය යනාදිය පත්ව තිබෙන පසුබිමක,ඒවායේ වැදගත්කම අතිශය හීනය.
- අරුන්දතී  රෝයි 


2007 මැයි 14 දින ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්ත පොලිසිය විසින් වෛද්‍ය බිනායක් සෙන්ව අත්අඩංගුවට ගනු ලැබින.2005 සම්මත කල විශේෂ මහජන ආරක්ෂක පනත නම් නීතිය යටතේ මෙම සිරගත කිරීම සිදුවූ අතර තහනම් කරන ලද මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය සමග සබදතා පැවැත්වීම ඔහුව අත්අඩංගුවට ගැනීමේ හේතුව ලෙස පොලිසිය විසින් ප්‍රකාශ කරනු ලැබීය.
රාජ්‍යද්‍රෝහය පිලිබදව සෙන්ට එරෙහිව අධිකරනය ඉදිරියේ චෝදනා නගන ලදී. 2010 දෙසැම්බර් 24 දින ස්වකීය තීරනය ලබා දෙමින් රායිපූර් හි අධිකරනය බිනායක් සෙන් ජීවිතාන්තය දක්වා සිරගත කරන මෙන් නියෝග කලේය.මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ඉන්දියාව තුල ප්‍රචලිතව සිටින සෙන් සිවිල් අයිතිවාසිකම් සදහා වූ ජනතා සංගමය ( Peoples union for civil liberties) නම් චිර ප්‍රසිද්ධ මානව හිමිකම් සංවිධානයේ උප සභාපති ද වේ.සෙන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කල උසාවි තීරනය එක මොහොතින් විරෝධය පෑම් ගනනකට මග පාදා තිබේ.ඉන්දියාව පුරා මානව හිමිකම් සංවිධාන මෙම තීරනය කෙරෙහි සිය අප්‍රසාදය ප්‍රකාශ කොට තිබෙන අතර අමෙරිකානු ජාතික චින්තකයෙකු වන නොම්චොම්ස්කි ඇතුලු විශ්ව විද්‍යාලයීය මට්ටමේ විද්වතුන් 82 කු විසින් අත්සන් කල විරෝධය දැක්වීමේ ප්‍රකාශයක් මේ වනවිටත් මාධ්‍ය වෙත නිකුත් ව ඇත.මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන හරීශ් දවාන්ට අනුව මෙම අධිකරන තීරනය ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය හෙලිය හැකි පහලම අඩිය දක්වා වට්ටවන ලද තීන්දුවකි.

බිනායක් සෙන් වනාහි වෘත්තීමය වශයෙන් වෛද්‍යවරයෙකි.වෙල්ලෝර් හි ක්‍රිස්තියානි වෛද්‍ය පාසල නම් ප්‍රභූ මට්ටමේ ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලත් හෙතෙම 1970 ගනන් වලදී වෛද්‍ය වෘත්තියට ප්‍රවේශ විය.ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්‍රාමීය සෞඛ්‍ය ව්‍යාපෘතියක සේවය කිරීමෙන් ලත් අත්දැකීම් මත සාම්ප්‍රදායික වෛද්‍යවරයෙකු වනවාට වඩා සමාජමය වශයෙන් වඩා සංවේදී වෘත්තිකයෙකු වීමට තීන්දු කරන සෙන් 1975 ඉන්දිරා ගාන්ධි පාලන සමයේදී පනවනු ලැබූ හදිසි නීති තත්වය සමග ඇති වූ මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ජයප්‍රකාශ් නාරායන් විසින් ගෙනියන්නට යෙදුනු සාමකාමී විරෝධය පෑමේ ව්‍යාපාරයෙන් ද ආභාෂය ලැබීය.හේ ඉන්පසු ගත වූ සිය මුලු ජීවිතයම කැප කරන ලද්දේ චත්තිස්ගාර් නම් දිලිදු ඉන්දීය ප්‍රාන්තයේ සෞඛ්‍ය තත්වය නගාසිටුවනු  වස් වෙහෙසෙන ස්වේච්ඡා ක්‍රියාධරයෙකු බවට පත්වනු පිනිසය.සිය බිරිද සමග එක්ව ඔහු Mukti Morcha's Shaheed Hospital නම් ප්‍රාදේශීය රෝහල චත්තිස්ගාර් හිදී ආරම්භ කලේය.Jan Swasthya Sahyog නම් සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරයෙකු ද වූ සෙන් ඉන්දියාවේ ඉතාම පසුගාමී සෞඛ්‍ය තත්වයක් පවතින චත්තිස්ගාර්හි ජනකොටස් වෙත නොමිලේ සෞඛ්‍ය සායන පවත්වමින්,ප්‍රදේශයේ සෞඛ්‍යය තත්වය නංවනු වස් සිය ශක්ති ප්‍රමානයෙන් වෙහෙසෙමින් සිටි අයෙකි.2004 ඔහු උගත් සරසවිය විසින් සමාජය වෙනුවෙන් ඔහු කල මෙහෙවර අගයා විශේෂ සම්මානයක් පුද කරනු ලැබූ  අතර හුදු සාම්ප්‍රදායික වෛද්‍යවරයෙකුගේ සීමාව ඉක්මවා යමින් අසාධාරන වූත් භේදබින්න වීමට ලක්වුනා වූත් සමාජයක වෛද්‍යවරයෙකුට ඉටු කල හැකි භූමිකාව ප්‍රතිඅර්ථකථනයකට ලක්කිරීම එම ඇගයීම සදහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව එහිදී දක්වන ලදී.

සිරගත කරනු ලැබූ වෛද්‍ය සෙන්
විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සෑම අතින්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබියදී එම සුවපහසු ජීවිතය අතහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල දුගී ජනකොටස් වෙනුවෙන් වෙ‍හෙසීමට තීන්දු කරන වෛද්‍ය සෙන් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වනුයේ සාම්ප්‍රදායික වෛද්‍යවරයාගේ භූමිකාවට සීමා නොවීමේ ඔහුගේ තීරනය නිසාමය.ඔහු සිය සේවය පුද කරන ලද චත්තිස්ගාර් ප්‍රාන්තයේ ජනතාව වනාහි සෑම අතින්ම කොන්කිරීමට හා නොසලකා හැරීමට ලක්ව සිටින ජනතාවකි.විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල ආදිවාසී ලෙස හැදින්වෙන ගෝත්‍රික ජනතාව අතිශය ඛේදජනක දරිද්‍රතාවයක් තුල ජීවත් වෙති.තමා න්‍යෂ්ඨික ආයුධ නිපදවන බව හා ලෝකයේ සුපිරි බලවතෙකු වෙමින් සිටින බවට පාරම් බාමින් සිටින ඉන්දීය රාජ්‍යය මෙම කෝටි සංඛ්‍යාත ජනතාව අවම වශයෙන් අන්ත දිලිදුභාවයෙන් මුදවා ගැන්මට හෝ අසමත්ව තිබේ.චත්තිස්ගාර් යනු ඛනිජ සම්පතින් පරිපූර්න භූමියකි.ජනතාව සහභාගී කරවාගනු ලැබූ හා ජනතාව මත පදනම් වූ සංවර්ධන මාදිලියක් නිර්මානය කරනු වෙනුවට ඉන්දීය රජය විසින් සිදුකරන ලද්දේ වනාන්තරවලින් හා ඛනිජ සම්පත්වලින් ගහන ප්‍රාන්තයේ ඉඩම් මහා පරිමාන සමාගම් වෙත "සංවර්ධන ව්‍යාපෘති" වෙනුවෙන් විකුනා දැමීමයි.විශාල වේලි ඉදිකිරීමේ ව්‍යාපෘති නිසා ලක්ෂ සංඛ්‍යාත ගෝත්‍රික ජනතාවකට උන්හිටි තැන් අහිමි වී ඇත.ඉන්දීය රජය හා සමාගම් තන්ත්‍රය අතර වන ශුද්ධ හවුලේ අරමුනු ඉටුකරගැනීම සදහා මෙම ජනතාව ඔවුන් ජීවත්වෙමින් සිටින ඉඩම් වලින් පලවා හැර තිබේ.

සමාගම් වෙත පිරිනමනු වස් තමන් අවුරුදු සියගනනක් තිස්සේ ජීවත් වූ නිජභූමිය තමාගෙන් උදුරා ගැනීම නිසා ස්වදේශික ඉන්දියානු ජනයා අපේක්ෂාභංගත්වයට පසුතැවිල්ලට හා කෝපයට පත්ව සිටියේය.මාඕවාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය විසින් මුල පුරනු ලැබූ සන්නද්ධ අරගලය ආරම්භ වූ කල්හි එම අරගලය විශාල වශයෙන්මෙම ස්වදේශීය ජනතාවන්ගේ සහයෝගය දිනාගැනීමට සමත් වූයේය.

මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරය මධ්‍යම ඉන්දීය ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ජනයාගෙන් කෙතරම් සහයෝගයක් දිනාගෙන තිබේද යත් මේ වනවිට එය විස්මයජනක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ.ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය යැයි කියන ඉන්දීය රාජ්‍යය මෙම මාඕවාදී අරගලයට මුහුන දීම සදහා ඉතාම තිරශ්චීන වූද සදාචාර විරෝධී වූද භීෂනකාරී වූද උපක්‍රම අත්හදා බලමින් තිබේ.කැරලි බහුල ප්‍රදේශ වල සාමාන්‍ය සිවිල් වැසියන්හට ආයුද පුහුනුව දී පැරා මිලිටරි කන්ඩායම් සංවිධානය කොට සිත් සේ ක්‍රියාකිරීමට එම කන්ඩායම් වලට අවසර දීම මින් එක් උපක්‍රමයකි.මෙසේ සංවිධානය කරන සල්වා ජුදුම් නම් වූ පැරා මිලිටරි කන්ඩායම් විසින් මාඕවාදීන් දඩයම් කිරීමේ නාමයෙන් ඉවක් බවක් රහිතව ආදිවාසී ගම්මාන වලට කඩා පැන අපරාද සිදුකරමින් තිබෙන අතර ඒ ඒ ප්‍රාන්තවල පොලිස් කන්ඩායම් වල අනුග්‍රහය මෙවැනි සාහසිකකම් සදහා නොඅඩුව ලැබේ.මාඕවාදී අරගලයට එරෙහිව ඉන්දීය රජය සිදුකරන මෙම මානව විරෝධී වියරු ප්‍රතිචාරය මානව හිමිකම් කන්ඩායම් වල දැඩි විරෝධයට හා විවේචනයට ලක්වූවකි.මාඕවාදී කැරැල්ලත් එය චප්ප කරදමනු වස් රජය විසින් ගනු ලැබූ අතිශය උන්මන්තක ප්‍රතික්‍රියාවනුත් විසින් ආලෝලනයට ලක්වූ වකවානුවක මානව අයිතිවාසිකම් සම්බන්ධ ක්‍රියාකාරිකයෙකු වශයෙන් බිනායක් සෙන් අතිශය දීප්තිමත් ලෙස කැපී පෙනෙන්නට වූයේය.

බිනායක් සෙන්ගේ සංවිධානය දිගින් දිගටම සල්වා ජුදුමය විසින් සිදුකල මිනීමැරීම් ස්ත්‍රී දූෂන හා කොල්ලකෑම් පිලිබද හෙලිදරවු කරන්නට වූ අතර මෙම හෙලිදරවු කිරීම් ශිෂ්ට ලෝකයේ මවිල් කෙලින් කරවන තරමේ හෙලිකිරීම් වූයේය.තමා දශක ගනනාවක් තිස්සේ මහත් ආදරයෙන් සේවය කරමින් සිටි ගෝත්‍රික ජනකොටස් කෙරෙහි ඉන්දීය රාජ්‍යය,පොලිසිය හා පැරා මිලිටරි කන්ඩායම් දක්වන අවමන්සහගත ආකල්පය වෛද්‍ය සෙන්ගේ දැඩි දෝශදර්ශනයට ලක් වූයේය.මධ්‍යම ඉන්දියාවේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් සිදුකරනු ලැබූ සාහසිකකම් පිලිබද වෛද්‍ය සෙන්ගේ විවේචනයන් සැබැවින්ම ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ දෙබිඩිභාවය නිරුවත් කරයි.

මාඕවාදී යුද්ධයේදී ඉන්දීය රජය කෙරෙහි විවේචනාත්මක ස්ථාවරයක් ගැනීම වෛද්‍ය සෙන් ගේ පමනක් නොව සමකාලීන ඉන්දීය විද්වතුන් බොහෝ දෙනෙකුගේ ආස්ථානය බවට පත්ව තිබේ.ඒ අතර කැපී පෙනෙන විවේචිකාවක වනුයේ සම්මානනීය ලේඛිකා අරුන්දති රෝයිය.

මාඕවාදීන්ට එරෙහි පැරා මිලිටරි කන්ඩායම්
 විසින් මරා දමනු ලැබූවෙකුගේ සිරුරක්
කෙසේ වුවද ස්වකීය ක්‍රියාකාරකම් විවේචනයට ලක්කල බිනායක් සෙන්ව ප්‍රාන්ත පොලිසිය විසින් 2007 දී මාඕවාදීන් සමග සබදතා පැවැත්වීමේ චෝදනා මත සිරභාරයට ගනු ලැබූ අතර දැන් ඔහු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමකට ලක්ව තිබේ.මාඕවාදීන් හා සබදතා පැවැත්වීම යන ‍චෝදනාව ඔප්පු කරනු වස් පොලිසිය විසින් නඩුවේදී ඉදිරිපත් කොට තිබුනේ විහිලු සහගත සාක්ෂි සමූහයකි.මාඕවාදී හා වාමාංශික සාහිත්‍යය සහිත පොත් පත් කිහිපයක් මිස කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවකට සෙන් සම්බන්ධ බවට එකදු සාක්ෂියක් හෝ ඉදිරිපත්ව නොතිබුනි.සමානකම අතින් මෙම තීන්දුව පුවත්පත් ලිපියක් හරහා අදහස් දැක්වීම මත මාධ්‍යවේදී තිස්සනායගම් විසිවසරකට සිරගත කිරීමේ අමන තීරනය ගනයෙහි සැලකිය හැක්කකි.

බිනායක්‍ සෙන්ගේ සිරගත කිරීම හරහා ඉන්දීය ආන්ඩුව ලෝකයා වෙත පැහැදිලි පනිවුඩයක් දී තිබේ.නව ලිබරල් සන්දර්භයක් තුල රජය වනාහි මහා පරිමාන සමාගම් වල අවශ්‍යතා ඉටු කරමින් සිටින,සමාගම් තන්ත්‍රය සදහා පහසුකම් සැපයීමේ යෙදෙන බලහත්කාරී යාන්ත්‍රනයක් මිස අන් කිසිවක් නොවන බව එය විසින් ඔප්පු කොට තිබේ.මහා පරිමාන සමාගම් සහ රාජ්‍යය අතර ශුද්ධ හවුල ප්‍රශ්න කෙරෙන කිසිදු බලවේගයකට පැවතීමට ඉඩ දෙනු නොලැබේ.ඊට එරෙහිවන මාඕවාදීන් හා ස්වදේශීක ඉන්දියානුවන් සියලු සදාචාර මිනුම් දඩුවලට පටහැනි ලෙස චප්ප කොට දැමෙන අතර එවැනි ක්‍රියාවන්හි යුක්තිගරුක භාවය ප්‍රශ්න කරන බිනායක් සෙන් වර්ගයේ මිනිසුන් නිහඩ කරවනු ලැබේ.මේ අනුව නව ලිබරල් ලෝකය තුල රාජ්‍යය වූ කලී මහා සමාගම් වල ඒජන්තයෙකි.සංවර්ධනය යනුවෙන් සිදු කෙරෙන්නේ ජනතාවගේ සැබෑ අවශ්‍යතා වලින් වියුක්ත,සමාගම් වල ආශාවන් ඉටු කරදෙන ක්‍රියාදාමයක් වන අතර රජය ජනතාවට එරෙහිව එම ක්‍රියාවලිය ආරක්ෂා කරනු වස් ඇප කැපවී සිටී.

බිනායක් සෙන් වැදගත් වනුයේ හුදු යමක් කමක් උපයාගැනීමේ ආත්මාර්ථකාමී ආශාවෙන් අදූෂිත උත්තුංග අරමුනක් වෙනුවෙන් සිය දැනුම හා ජීවිතය කැප කල වෛද්‍යවරයෙකු ලෙස පමනක් නොවේ.ඔහු වූ කලී ඉන්දියාව ලංකාව ඇතුලු ලෝකයේ ඕනෑම,කවර හෝ නව ලිබරල් රාජ්‍යයක දෙබිඩිභාවය හෙලිදරවු කරන සංකේතයකි.කොදු කඩනු ලැබූ සමාජයක වසන වත්මන් ලාංකිකයා වෙත බිනායක් සෙන් විසින් ගෙන එන්නේ කශේරුවක් සහිතව ජීවත් වීමේ වීරත්වය පිලිබද පනිවුඩයයි.එවැනි වීරත්වයකට ලෝකයේ බලසම්පන්නම රාජ්‍යයක් වූවද නිසැකවම බියවන්නේය යන පනිවුඩයයි.

Wednesday, December 22, 2010

අමාත්‍ය විමල් වීරවංශ නොහොත් ගෝනමඩිත්තේ පොඩි එකා

බඹර වලල්ල - මැල් නම් වූ මිනී පෙට්ටි වෙලෙන්දා
ජාතික ගීය මත සිංහල පමනයි මුද්‍රාව තැබීමෙහිලා අන් කාටත් වඩා උද්යෝගයක් පෙන්නුම් කරමින් සිටින්නේ අමාත්‍ය විමල් වීරවංශයි.වීරවංශ උපුටමින් බීබීසී ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කොට සිටියේ භාෂා දෙකකින් ජාතික ගීය ගැයීම "හුදු විහිලුවක්" බව හෙතෙම පැවසූ බවයි.

ජාතික ගීය පිලිබද ආන්දෝලනයට මුල පිරුවේ සති අන්ත ටයිම්ස් පුවත්පතය.සිරිමාවෝ බන්ඩාරනායක අගමැති ධූරය හෙබවූ සමයේ යාපන සංචාරයකදී දෙමලෙන් ජාතික ගීය වැයීම පිලිබද අප්‍රසාදයට පත්ව ඇය යම් උත්සවයක් වර්ජනය කොට ආපසු හැරී යාමේ සිදුවීමක් පිලිබද සදහන් කරමින් ජාතික ගීය සිංහලයට පමනක් සීමා කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා කැබිනට් මන්ඩලය ඉදිරියේ අවධාරනය කල බව එම පුවත්පත වාර්තා කොට තිබුනේය.ජාතික ගීයේ දෙමල පරිවර්තනය ඉවත් කිරීම පිලිබද කැබිනට් මන්ඩලයේදී සාකච්ඡා වු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ද  පිලිගෙන තිබුනි.කෙසේ වුවද ඒ පිලිබද අවසන් නිගමනයකට ඒමෙන් කැබිනට් මන්ඩලය වැලකී සිටි බවද ඔහු සදහන් කර සිටියේය.මෙම ප්‍රවෘත්තිය දැඩි ආන්දෝලනයක් ජනිත කල අතර එම ආන්දෝලනය කෙතරම් වී ද යත් පසුව මාධ්‍ය හමුවකදී අදාල ප්‍රශ්නය නිශ්චිතව මතු වූ විට රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ඊට සෘජු පිලිතුරක් දීමට අසමත් වූයේ "ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලන්න,ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලන්න" (Refer to the constitution)යනුවෙන් ගොත ගසන තැනකට අවසානයේ තල්ලු වී ගියේය.රජය ජාතික ප්‍රතිසන්ධානයක් පිලිබද චාටු කතා තෙපලමින් සිටින කාලයක එම රජයම ජාතික ගීයේ දෙමල පරිවර්තනය කටු ගා දැමීමේ මෙවැනි තීන්දුවකට එලඹීම සැබැවින්ම ජාතික සමගිය පිලිබද ව්‍යාජ සලු පිලි ඉවත ලා සම්පූර්න නිරුවතින් ලෝකය ඉදිරියේ හිටගැනීමක් හා සමාන සිදුවීමකි.

ඉහත සමස්ථ ක්‍රියාවලිය සලකන විට කෙසේ වුවද තරගයේ වීරයා බවට පත්වන්නට මාන බලමින් සිටි තැනැත්තා අමාත්‍ය විමල් වීරවංශ බව පැහැදිලිය.ඔහු නාමිකව ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමතිවරයාය.නමුත් ඔහු අඩුවෙන්ම වැඩ බලන්නේ ඉදිකිරීම් අමාත්‍යංශයේ වූවා වැන්න.ඒ තරමට සිය විෂයට බාහිර නා නා ප්‍රකාර දේ අරභයා හෙතෙම නිරන්තරයෙන් කාර්යබහුලය.
ජාතික ගීය සිංහලට පමනක් සීමා කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධාන උද්ඝෝෂකයා ඔහුය.ඒ වෙනුවෙන් හඩ තලන,ඒ උදෙසා මත සම්පාදනය කරනු වස් මාධ්‍ය වෙත වොයිස් කට් දෙන ප්‍රධාන කථිකයා ඔහුය.

වීරවංශ සහ පිල්ලෙයාන්
එක අත්තෙහි වසන්නෝ එක වර්ගයෙහි කුරුල්ලෝ වෙති
සිය සිංහල ඔන්ලි මෙහෙයුමට පෙර අමාත්‍ය වීරවංශ විසින් පන පොවනු ලැබූ මෙහෙයුම් ගනනාවක් විය.ඉන් දැවැන්ත ප්‍රචාරයක් ලද එක් මෙහෙයුමක් වූයේ ඔහුගේ සුප්‍රසිද්ධ මාරාන්තික උපවාස මෙහෙයුමයි.එය, සියල්ලන් දන්නා පරිදි වීර කාව්‍යයක් හෝ ශෝකාන්තයක් නොවී ජොන්සන් ඇන්ඩ් ගොන්සන් වර්ගයේ කොමඩියක් බවට පත්ව කෙලවර වූවද එම සමස්ථ සිදුවීම තුල,ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කල ත්‍රිපුද්ගල කමිටුවට එරෙහි ප්‍රධාන භූමිකාව රගපාන ලද්දේ අමාත්‍ය වීරවංශ විසිනි.රටම බලා සිටියේ වීරවංශ දෙසය.පොලිස් මාර්ග බාධක පෙරලා දමමින්,දේශද්‍රෝහී පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින්,එක්සත් ජාතීන්ගේ දොරටුව අසබඩ සිට බැන් කී මූනා ට එරෙහි වහසි බස් දොඩමින් සම්පූර්න සිදුවීමෙහි අවධානය තමා වෙත යොමුකරගනු වස් හේ ක්‍රියා කලේය.

මාරාන්තික උපවාස මෙහෙයුම උනුසුම්ව පුපුරා යද්දී  වහ වහා ක්‍රියාත්මක වූ රජය කෙසේ වුවද අමාත්‍ය වීරවංශගේ ක්‍රියාකලාපයෙන් ස්වකීය "නිල ස්ථාවරය" නිරූපනය නොවන බව නිවේදනය කලේය.රජය ප්‍රකාශ කලේ එය වීරවංශගේ පුද්ගලික ක්‍රියාවක් පමනක් බවයි.එය රජයේ "නිල" ක්‍රියාවක්  වූවත් නැතත් රජයේ නිල ආශීර්වාදය එම සමස්ථ ක්‍රියාවලිය සදහා නොඅඩුව සපයනු ලැබින.ඉහල නගින පාන් මිල අභිමුව වීරවංශ විසින් ඉක්බිති දියත් කරනු ලැබූ "පාන් පිටි ත්‍රස්තවාදය" පිලිබද මෙහෙයුමේදී එය ද නැවතත් රජයේ නිල ස්ථාවරය නොවන බව ප්‍රකාශ වූයේය.දැන් ජාතික ගීය සිංහලට සීමා කල යුතු බවට මහ හඩින් වීරවංශ ප්‍රකාශ කරමින් සිටී.රජයේ නිල මාධ්‍ය හමුවේදී කෙහෙලිය රඹුක්වැල්ල විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ එයත් වීරවංශගේ පෞද්ගලික ස්ථාවරයක් මිස රජයේ නිල ස්ථාවරය නොවන බවය.
( කෙසේ වෙතත් එහිදී රජයේ නිල ස්ථාවරය කුමක්දැයි කීමට රඹුක්වැල්ලද අසමත් විය.ඔහුගෙන් පිටවූ එකම ස්ථාවරය වූයේ ව්‍යවස්ථාව බලන්න යන වචන දෙක පමනි)

මේ අනුව ඉහත කරුනු අනුව පෙනෙන්නේ "රජයේ නිල ස්ථාවරය" සහ ඊට වෙනස් "වීරවංශගේ නිල නොවන ස්ථාවරය" පිලිබද කතාන්දරය නිතර නිතර කරලියට එන,සිදුවීම් පැහැදිලි කරනු වස් රජය විසින් නිරන්තරයෙන් යොදා ගනු ලැබෙන සමීකරනයක් බවයි.අතුල ලියනගේ ගේ බඹර වලල්ල චිත්‍රපටය මෙම ක්‍රියාවලිය පැහැදිලි කරගැනීම සදහා යොදා ගත හැකි සිත්ගන්නා සුලු රූපකයක් වන්නේය.

බඹර වලල්ල චිත්‍රපටයෙහි එන මැල් මහත්තයා වනාහි මිනී පෙට්ටි වෙලෙන්දෙකි.හෙතෙම ජාතික ඇදුම අදී.ඉඩ ලබන සෑම විටෙකම අසරනුන්ට පිහිට වේ.දුගීන් වෙත අත දීමට සැදී පැහැදී සිටින වැදගත් මහත්මයෙකු වන ඔහු සද්ගුනවත් ව්‍යාපාරිකයෙකි.මුල් බැල්මට පෙනෙන මැල් මහත්තයාගේ මෙම නිල සද්ගුනවත් ලෝකයට වඩා ඔහුගේ නිල නොවන ලෝකය විශාලය.ගැඹුරුය.එම නිල නොවන ලෝකය තුල පිලිමල් ව්‍යාපාරිකයන් ඝාතනය කෙරේ.පාතාල මැරයන් නඩත්තු කෙරේ.ගැහැනුන් ලිංගිකව සූරාකනු ලැබේ.එම නිල නොවන ලෝකයට කෙසේ වුවද මැල් මහත්තයා සෘජුව සමබන්ධ වන්නේ නැත.එම ලෝකය ඒ වෙනුවෙන්ම පුරුදු පුහුනු කරනු ලැබූ ගෝනමඩිත්තේ පොඩි එකා වැනි පුහුනු මෙහෙයුම්කරුවන් හරහා ක්‍රියාත්මක වන අතර ප්‍රසිද්ධ ලෝකයේදී ගෝනමඩිත්තේ පොඩි එකා විසින් සිදු කරන සාපරාධී ක්‍රියාවන් හා මැල් මහත්තයාගේ ව්‍යාපාරය අතර සබදතාවයක් තිබෙන බව පිලිගනු නොලැබේ.

පාන් මිල නගින්නේ නම් එය ත්‍රස්තවාදයකි.මිල බසින්නේ නම් එය රජයේ කලමනාකරන දස්කමකි
රජයට එරෙහි විරෝධතාවයක අවස්ථාවක්
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වනාහි මැල් නම් වූ මිනී පෙට්ටි ව්‍යාපාරිකයා නම් විමල් වීරවංශ වූ කලී එම ව්‍යාපාරිකයා වෙනුවෙන් සේවයේ යෙදෙන පාතාල ඒජන්තයෙකි.ඉදින් අතෙකින් පෝදා බන අසන ලෝකයට ගොස් දෙමල බසින් දේශනා පවත්වන මහ රජුය.අනෙත් අතින් දෙමල ජාතික ගීය කටුගා දැමිය යුතු බවටත් දෙමලුන්ටද ජාතික ගීය සිංහලෙන් ගායනා කරන ලෙස බලකොට සිටිය යුතු බවටත් මොර දෙන වීරවංශය.අතෙකින් දුටු දුටුවන් ශ්‍රද්ධාවෙන් සනහාලන,මෛත්‍රියේ වටිනාකම සහ අවෛරී දේශපාලනයේ අගය පිලිබද දැහැමි බස් තෙපලන මහ රජුය.අනෙත් අතින් බැලූ බැලූවන් ඇග මවිල් කෙලින් කරවමින් මග දෙපස ධූලි නංවමින් දේශද්‍රෝහී විරුද්ධ පාක්ෂික කුමන්ත්‍රනකරුවන් සුන්නද්ධූලි කල යුතුයැයි මොර දෙන වීරවංශය.අතෙකින් බැන් කී මූන්ගේ කමිටුව වුව උපේක්ෂාවෙන් ඉවසන,තමා වනසනු වස් එන මූන්ට වුවද කරුනා සිතින් ඉඩ හරින මහරජුය.අනෙත් අතින් බැන් කී මූනාගේ බොටුව ගෙන පරසක්වල ගසන බවට දස අතේ ශපථ කරනා වීරවංශය.

බැන් කී මූන්ගේ කමිටුවට එරෙහි විශාල ජන විරෝධයක් ලංකාවේ තිබෙන බව පෙන්වීමට රජයට අවශ්‍ය වූවද එවැන්නක් නිල වශයෙන් සිදු කිරීමේ අවදානම භාර ගැනීමට රජය අකමැතිය.මේ සදහා මේ අනුව වීරවංශ නම් වූ පාතාලයාට කොන්ත්‍රාත්තුව පිරිනමනු ලැබේ.ඉහල යන පාන් මිල අභිමුව විසදුමක් නැතිවන රජයට ඊට විරුද්ධව නැගිය හැකි විරෝධය වෙනතක හරවනු වස් භාවිතා කල හැකි විකල්ප සටන්පාඨයක අවශ්‍යතාවය පවතී.පාන් පිටි ත්‍රස්තවාදය වැනි විකාර අදහසක් රජයට නිල වශයෙන් සූත්‍රගත කල නොහෙන නිසා නැවතත් කොන්ත්‍රාත්තුව වීරවංශ නම් වූ පාතාලයා වෙත පැවරේ.කොන්ත්‍රාත්තුව යම් හෙයකින් අසාර්ථක වූවද රජය අපහසුතාවයට පත් වන්නේ නැත.මන්ද යත් අදාල මෙහෙයුම රජයේ නිල මෙහෙයුමක් නොව වීරවංශගේ පෞද්ගලික මෙහෙයුමක් බව කල් තබා මනාව ප්‍රකාශ කොට තිබෙන හෙයිනි.
සිරස ආයතනයේ අඩු කැඩීම වැනි ඇගේ හයිය අවශ්‍ය කෙරෙන මජර කොන්ත්‍රාත්තු සදහා මර්වින් සිල්වා වැනි පාතාල සත්වයන් කුලියට ගනු ලබන දැහැමි රාජපක්ෂ රජය මාධ්‍ය හරහා ජනමතයට බලපෑම් කිරීම වැනි කටේ හයිය අවශ්‍ය කෙරෙන කොන්ත්‍රාත්තු සදහා වීරවංශ වර්ගයේ පාතාල සත්වයන් භාවිතා කරයි.දත් බුරුසුව කරලියට ආ කල්හි දැහැටි දඩුව ‍පසෙකට විසිව ගියේ යම් සේද,මෙ‍තෙක් ඉහත කාර්යය සදහා භාවිතා වූ රාජිත සේනාරත්න වැනි ඒජන්තයන් වීරවංශගේ ආගමනයෙන් පසු කුනු කූඩයට විසිව ගොස් තිබේ.

සමාජයේ ඉතාම පීඩිත ස්ථරයක උපත ලද විමල් වීරවංශ වනාහි මෑතකාලීනව ලංකාවේ බිහි වූ ඉතාම ප්‍රතිභාසම්පන්න කථිකයෙකු හා සන්නිවේදකයෙකු බවට සැකයක් තිබිය නොහැක.කථිකත්වයෙහි කෙතරම් ශූර වූවද ප්‍රභූන් විසින් පාලනය කෙරෙන දේශපාලන ලෝකය තුල මෙවැන්නවුන්ට හිමිවන භූමිකාව එම ප්‍රභූන්ගේ සුඛ විහරනය වෙනුවෙන් බැල මෙහෙ කිරීම මිස අනෙකක් නොවේ.මේ අනුව සිය සියලු හැකියාවන් සහ ශක්තීන් වීරවංශ විසින් මේ මො‍හොතේ යොදවමින් සිටිනුයේ ස්වකීය මජර භූමිකාව හැකිතාක් හොදින් ඉටු කිරීම සදහාය.වීරවංශ වැන්නවුන්ගේ ආත්ම ගෞරවය දැහැමි මහරජුට බලු නොවටනා බව වීරවංශ විසින් මාරාන්තිකව විරෝධය පලකල බැන් කී මූන්ගේ කමිටුව රජය විසින් පසුව සිඹ පිලිගැනීමෙන්ම පෙනී යයි.
සමාජයේ ඉහලට බඩ ගාගනු වස් ස්වකීය පාංතික මූලයන් අමතක කොට දැමිම ඉතාම පහසුය.නමුත් හුදු පාතාල මැරයෙකු ලෙස කෙලවර නොවී,පිටින් පැමින,ප්‍රභූ සමාජයෙහි ස්වීය අනන්‍යතාවයක් සහිතව තහවුරු වීම සෑම අතින්ම දුෂ්කරය.ගෝනමඩිත්තේ පොඩි එකා මැල් මහත්තයා අබිබවා මිනී පෙට්ටි ව්‍යාපාරය තුල තහවුරු වූයේය.නමුත් හටගනු ලැබූ සියලු සිදුවීම් විසින් පෙන්නුම් කරනුයේ වලව්වේ දොර වීරවංශට අකැප බවත්,වලව් වත්තේ මුරබල්ලාගේ භූමිකාවෙන් ඔබ්බට යාමේ වාසනාවක් වීරවංශ වෙත නොලැබෙන බවත් මිස අනෙකක් නොවේ.

Monday, November 15, 2010

උතුර හා දකුන බෙදා වෙන් කොට පාලනය කිරීම

උතුරේ විරුද්ධ දේශපාලනය ඔලු පැලීම සදහා වරෙන්තුවකි
 යාපනයේදී මැර ප්‍රහාරයකට ලක්වූ සුනිල් හදුන්නෙත්ති
කුනු අප්‍රිකාවේ ඇපාතයිඩ් (Apartheid)  පාලන සමය වර්ගභේදවාදයේ ඉතාම කාලකන්නිම ස්වරූපයක් ලෙස ඉතිහාසගත වූවකි.ඇපතයිඩ් යනු දකුනු අප්‍රිකානු කලු ජාතිකයන් ප්‍රධාන ජීවිතයෙන් වෙන් කොට පාලනය කරනු වස් සුදු පාලකයන් ‍විසින් ගෙන ගිය ප්‍රතිපත්තියයි.මේ යටතේ සුදු හම සහිත අෆ්‍රිකානර්වරුන් භුක්ති විදි අයිතිවාසිකම් ගනනාවක් කලු ජාතිකයන්ගෙන් නීත්‍යනුකූලවම උදුරා ගනු ලැබුනි.එම පාලන කාලයේ සුද්දන්ට දේශපාලන අයිතිවාසිකම් තිබුනි.නමුත් කල්ලන් දේශපාලනමය ලෙස සංවිධානය වීම කැරලි ගැසීමක් ලෙස සැලකුනි.සුද්දන්ට මාධ්‍යවේදීන් වීමට,මාධ්‍ය තුල රිසි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට පුලුල් ඉඩක් පැවතුනද කල්ලන් එවැනි දේට යොමුවීම හදිසි අතුරුදහන්වීමක් කැදවන මරන වරෙන්තුවක් බවට පත්වී තිබුනි.කලු ජාතිකයන්ගේ ජීවිත දෙස ඇස ගසාගෙන සිටිම සදහා පොලිසිය හා හමුදාව සීරුවෙන් තබා තිබුනි. සුදු රෙජිමයට එරෙහිව කෙරෙන ඉතාම සියුම් චලනය පවා එම පොලිස් බලය යොදා දරදඩු ලෙස සමතලා කරන ලදී.

කොටි සංවිධානය පරාජය කිරිමෙන් පසු ලංකාව තුල ගොඩනැගෙමින් තිබෙනුයේ දකුනු අප්‍රිකානු ඇපාතයිඩ් පාලනයේ දේශීය වර්ෂනයද යන්න සාධාරන ලෙස මතුකල හැකි ප්‍රශ්නයකි.චෝදනා රහිතව සිරගත කොට තිබෙන දෙමල දේශපාලන සැකකරුවන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයකට සහභාගී වනු වස් යාපනයට ගිය ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විරෝධතාවයට පෙර දින ( 15) රාත්‍රියේ දරුනු පහර කෑමකට ලක්විය.පහරදීම සිදුවනුයේ හෙතෙම යාපනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නිවසේ සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටින අතරතුරය.ජාතික ආරක්ෂාව පිලිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශක ලක්ෂමන් හුලුගල්ල අදාල පහරදීමට රජයේ සම්බන්ධයක් නොමැති බවත් එය කෝපයට පත්වූ දෙමල සිවිල් වැසියන් විසින් සිදුකරන ලද්දක් බවත් පැවසීය.කැලනියේදී සරසවි සිසුන්ට පහර දුන්නේ කෝපයට පත්වූ "මවුපියන්ය".යාප‍නයේදි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දෙන්නේ කෝපයට පත්වූ "දෙමල ජනයාය".ඔබට රජය අයුතු යමක් කරන්නේ යැයි සි‍තෙන්නේ නම් ඊට එරෙහිවීමට පෙර හොදින් සිතාබලන්න.කෝපයට පත්වූ කවුරු කොයිවෙලේ ඔබට කුමක් කරනු ඇද්දැයි කිව නොහැක.

කල්ලන්ට හා සුද්දන්ට එකිනෙක වෙනස් පාලන
ප්‍රමිතීන් ඇති කල දකුනු අප්‍රිකානු ඇපාතයිඩ් පාලනය
කැලනිය සරසවිය ඉදිරියේ ඇතිවෙන මවුපිය පෙලපාලි දේශපාලන අනුග්‍රහය යටතේ සිදුකෙරෙන්නේ යම් සේද හදුන්නෙත්තිට යාපනයේදී පහර දීම රාජ්‍ය අනුග්‍රහය සහිත ක්‍රියාවක් බව සිතාගැනීමට අමුතුවෙන් දිවැස් ඇවැසි නැත.2009 මැයි 19 දාට පසු උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන එකම දේශපාලන බලවේගය එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.කොටි සංවිධානය සහමුලින් අතුගා දමා තිබෙන පසුබිමක ආයුධ දරනුයේ රජයේ හමුදා සහ රජය විසින් නඩත්තු කරන දේවානන්දාගේ අතුරු සන්නද්ධ හමුදා පමනි.හදුන්නෙත්තිට පහර දීම කිසිවිටෙක හුදෙකලා සිදුවීමක් ලෙස භාර නොගත යුතුය.යුද්ධය අවසන්ව වසරක් සපිරුනු පසුගිය මැයි 19 දා සිය මියගිය ඥාතින් සිහිපත් කරමින් ආගමික ස්ථාන වල දෙමල ජාතික පිරිස් විසින් සංවිධානය කරන්නට යෙදුනු සැමරීමේ උත්සව ගනනාවක් රජය මැදිහත්ව කඩාකප්පල් කරන ලදී.
යුද්ධය අවසන්ව වසරක් ඉක්මවා තිබුනද උතුරේ හමුදා සංකේන්ද්‍රනය අංශුවකිනුදු වෙනස් වි නැත.ඒ වෙනුවට තවත් හමුදා සංකීර්න ඉදිකරනු වස් අරමුදල් වෙන්වෙමින් තිබේ.
උතුර හමුදා පාලනයෙන් සිවිල් පාලනයට මාරු වෙන සලකුනක් හෝ තවම දකින්නට නැත.රජය හැර වෙනත් දේශපාලන අදහස් දරන්නන්ට උතුරේ දේශපාලනය කිරිමට තිබෙන ඉඩ අහුරා දමන යෝධ ප්‍රාකාරයක් ලෙස මෙම හමුදා සංකේන්ද්‍රිතය ක්‍රියාකරමින් සිටි.සමාජවාදී තරුන සංගමය විසින් යාපනයේ සංවිධානය කරන්නට යෙදුනු චිත්‍රපට උලෙලක් පසුගිය දිනෙක නිල නොලත් මැර පිරිස් වල තර්ජන මැද කඩාකප්පල් විය.යාපන සරසවිය තුල පවතින්නේ අතිශය දරදඩු පාලනයකි.ශිෂ්‍යයින්ට සංවිධානය වීමට තිබෙන අවම ඉඩ පවා ඒ තුල මුලුමනින් අහුරා දමා තිබේ.කොටි සංවිධානය පරාජය වීමෙන් උතුරේ මතුව තිබෙන දේශපාලන රික්තයට ඇතුලු වීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු උනන්දුවක්‍ නොගන්නා සෙයකි.යාපනයේ සිට අධ්‍යාපන කටයුතු සදහා කොලඹ පැමින සිටින මෙම ලියුම්කරුගේ දමිල හිතවතෙකු පසුගිය දිනෙක පැවසුවේ දෙමල ජාතික සන්ධානය රජයේ ආධිපත්‍යය අභිමුව බොහෝ දුරට නිෂ්ක්‍රිය වී තිබෙන බවයි.රාජ්‍ය ආධිපත්‍යය නොසලකා යම් හෝ දේශපාලනයක් උතුරේ කිරීමට වෑයම් කරමින් සිටින්නේ ජවිපෙ පමනි.කොටි සංවිධානය සමග එක්ව දකුනේ එක්තරා දේශපාලන පක්ෂයක් කලබල ඇතිකිරීමට තැත්කරන බවට තමාට ආරංචි වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මන්ඩලයේදී කී බව සති කිහිපයකට පෙර දිවයින පුවත්පතේ ඕපාදූප කොලම වාර්තා කලේය.හදුන්නෙත්තිට සිදු වූ පහරදීම වැඩි වැඩ දාන්න ඇවිත් ඇන නොගනු යනුවෙන් රජය විසින් එම පක්ෂයට  සිදුකල අනතුරු හැගවීමකියි නිගමනය කිරීම සදොස් නොවේ.

මේ කරුනු විසින් අපට ඒත්තු ගන්වන්නේ මොනවාද?දකුනේ එදිනෙදා පාලනය සිවිල් ආයතන සිදුකරද්දි උතුර පාලනය කරන්නේ මිලිටරියයි.දකුනේ අපමන බාධා මැද වුවද තවමත් විරුද්ධ පක්ෂ වලට දේශපාලනය කිරිමේ යම් හෝ අයිතියක් පවතී.කවර බාධා තිබුනත් වැලිකඩ බන්ධනාගාරය වටලා පෙලපාලි දැක්වීමට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට තවමත් නිදහසක් තිබේ.
( එම නිදහස දිනෙන් දින හැකිලෙමින් තිබීම වෙනම සාකච්ඡා කල යුත්තකි )
කෙසේ වෙතත් උතුරේදී එම ඉඩ මුලුමනින් හකුලා දමා තිබේ.දකුනේ ඔබ මොබ යාමට පුරවැසියාට තිබෙන අයිතිය මානුෂික මෙහෙයුමෙන් "නිදහස්" කරගත් උතුර තුල බරපතල ලෙස සීමා කොට තිබේ.දේශපාලන හෝ ජනමාධ්‍යමය අරමුනු වෙනුවෙන් නම් එවැනි ගමන්කිරිමක් කිරීම අතිශය දුෂ්කරය.එක්සේසත් කල අලුත් ලංකාවේ යාපා පටුනේ සිට දෙවුන්දර තුඩුව දක්වා බිය සැක නැතිව යාමේ වරම ලැබි තිබෙන්නේ නාමල් බබාට,බැසිල් බාප්පාට සහ ඔවුන්ගේ අධෝවාතය ආඝ්‍රානය කරමින් යැපෙන හුලුගල්ල වර්ගයේ වැටුප් වහලුන්ට පමනි.දකුනේ ජනයා විශ්ව විද්‍යාල පහසුකම්,වැඩි වැටුප් වැනි ආර්ථික සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරද්දී උතුරේ ජනයාට කතාකරන්නට සිදුව තිබෙන්නේ හිසට වහලක් ලබාගැනීම වැනි ඉතාම මූලික මනුශ්‍ය අවශ්‍යතා ගැනය.අත්අඩංගුවට පත්වූ දමිල තරුනයන් චෝදනා ගොනුකිරීමෙන් තොරව  වසර ගනන් බන්ධනාගාරගත කරනු ලැබ ඇත.තම හිතෛශීන් අඩුම තරමින් ජීවතුන් අතරද නැද්ද යන්නවත් බොහෝ අය දන්නේ නැත.අත්අඩංගුවේ සිටින අයගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සංවිධානය වීමටවත්,ප්‍රජාතන්ත්‍රවාදි ලෙස විරෝධය දැක්වීමටවත් උතුරේ ජනයාට අවස්ථාවක් නොමැත.
මේ සියල්ල විසින් පෙන්නුම් කරන්නේ පශ්චාත් එල්ටීටීඊ ලාංකීය රාජ්‍යය ගොඩනැගී තිබෙන ද්විත්ව ආකාරය නොවේද?එය උතුරට එක විදිහකටත් දකුනට තව විදිහකටත් සලකයි.එය රාජපක්ෂ පවුලට පූර්න ප්‍රජතාන්ත්‍රවාදයත්,රාජපක්ෂ නොවන දකුනට කප්පාදු කල ප්‍රජාතන්ත්‍රවාදයකුත් ලබාදෙන අතර උතුර මත සම්පූර්න මිලිටරි ආඥාදායකත්වයක් ආරෝපනය කොට තිබේ.

කාකි පැහැ ඡායාවෝ උකුසු ඇස කරකවයි! : මිලිටරිය -  උතුරේ පරමාධිකාරය
රජය පත්කල ප්‍රතිසන්ධානය හා පාඩම් ඉගෙනගැනීම පිලිබද කොමිසන් සභාවේ හැසිරීම මෙම බෙදා වෙන් කොට කෙරෙන පාලනයේ ස්වරූපය මනාව විදහා දක්වන්නේය.මෙම කොමිසම රජය පත්කලේ සිවිල් යුද්ධය පිලිබද පුරවැසියන්ගේ අදහස් විමසා යලි එවැන්නක් ඇතිනොවනු වස් කල යුතු නි‍ර්දේශ පිලිබද වාර්තා කිරීමට යැයි පවසමිනි.කොමිසම ඉදිරියේ දකුනේදී ගෝමින් දයාසිරි,ගෝඨාභය රාජපක්ෂ වැනි අය සාක්ෂි දුන් අතර මෙම සාක්ෂි වලට ජනමාධ්‍ය විසින් පුලුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.
කෙසේවෙතත් උතුරේදී එම කොමිසමට වැඩකරන්නට වූ පසුබිම හාත්පසින් වෙනස් එකකි.කයිට්ස් දූපතේ පැවති සාක්ෂි දීමේ සැසිවාරවලට සිවිල් වැසියන් සහභාගී වීම වැලැක්වීම සදහා සංවිධානාත්මකව කටයුතු යෙදුනි.විදේශ ජනමාධ්‍යයන්ට එම සැසිවාර වාර්තා කිරීමට බාධා එල්ල කෙරුනි.වැලනොකැඩී කොමිසම ඉදිරියට ආ දෙමල සිවිල් ජනයා යුද්ධයේදී තමනට වූ අතවර,තමන් මේ මොහොතේ විදිමින් සිටින දුක්වේදනා පිලිබද නැවත නැවත සාක්ෂි දෙන්නට වූ අතර වේදනාවෙන් හා කදුලුවලින් බොදවූ එම ලෝකය සම්පූර්නයෙන්ම බාහිර සමාජයෙන් වසන් කිරීමට දකුනේ ජනමාධ්‍ය ක්‍රියාකලේය.
මෙම  හැසිරීම හුදෙක් මාධ්‍යවල කුහකකමක් ලෙස තේරුම් ගැනීම නිවැරදි නැත.මේ වනාහි ලාංකීය ඇපාතයිඩය තුල ජනමාධ්‍ය ස්ථානගත වන ආකාරයයි.දකුනේදී නම් කැඩුනු පාරවල්,අබලන් වූ බොක්කු,ප්‍රසිද්ධ තැන්වල සිගරට් බොන පිරිමි ආදී "ප්‍රශ්න" ගැන කතාකරන විමර්ශන වැඩසටහන් වලින් මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්තී පිරී තිබේ.දකුනේ එවැනි ගැටලු කෙරෙහි යම් අවම මට්ටමකින් හෝ යොමුවෙන රූපවාහිනී කැමරා ඇස් කිසිවිටෙක උතුරේ පවතින මහා මනුශ්‍ය ඛේදවාචකය දෙස යොමු නොවේ.ඒ වෙනුවට එම මාධ්‍ය වල ඇත්තේ උතුරේ මැවෙන වසන්තයක් පිලිබද ව්‍යාජ වර්නනා පමනි.

උතුර එක් විදිහකටත් දකුන තව විදිහකටත් පාලනය කිරිමේ මෙම ඇපාතයිඩ් ක්‍රමවේදය අනාගත ලංකාව තවත් මහා ව්‍යසනයකට ඇද දමනු ඇත.මර්ධනය ලොව කවර තැනකදි වුවද ප්‍රචන්ඩ ප්‍රතික්‍රියාවන් වලට පාර කපයි.මිය ගිය ප්‍රභාකරන්ලා වෙනුවට වෙනත් ප්‍රභාකරන්ලා උතුරින් ඉපදීම මේ යන ආකාරයට හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමනි.එවැනි ගැටුමක් යම් හෙයකින් නිර්මානය වූ කලෙක වුවද සිංහල හා දෙමල පීඩිතයන් කෙටවිම සදහා එය අවස්ථාවක් කරගනිමින් යෙහෙන් වැජඹීමට පාලකයන් ක්‍රියාකරනු ඇත.
සැබැවින්ම මේ කැරකෙමින් තිබෙන්නේ එකම විෂම චක්‍රයකි.මෙම චක්‍රය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද අර්බුදය සේම ජාතික ප්‍රශ්නය විසදීමට පාලක පංතිය සතු අශක්නුතාවය ද විදහා දක්වන්නකි.

Thursday, November 4, 2010

සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මලත්වය හෙවත් ඉතිහාසය කන පිට හරවා කියවීම

උඩුකය නොවැසීමේ සදාචාරය
දෙසැම්බර් 25 යනු ජේසුස් ක්‍රිස්තුස්ගේ උපන් දිනය නොවේ.එබව බොහෝ ක්‍රිස්තියානින් දනීද යන්න සැක සහිතය.රෝම අධිරාජ්‍යවරු ක්‍රිස්තියානිය වැලදගත් අලුත එම ලබ්ධිය රෝම සමාජය තුල ස්ථාපිත කිරීමේ අභියෝගයකට මුහුන දුන්හ.රෝම සමාජය පුරුදු වී උන්නේ බහුදේවවාදයටයි.ඒ මත සාදාගත් විවිධ උත්සව එම සමාජයේ විය.මේ සදහා අධිරාජ්‍යවරු යෙදූ උපක්‍රමය වූයේ ඒ ඒ මාසයේ පැවැත්වෙන උත්සවයට ක්‍රිස්තියානි අර්ථකතනයක් දීමයි.දෙසැම්බර් මාසයේ ආගමික උත්සව පැවැත්වීමට රෝම සමාජය පුරුදු ව සිටි අතර දෙසැම්බර් 25 ජේසුස් ගේ උපන් දිනය ලෙස නම් කිරීමෙන් සමාජයේ පැවති ඇදහිල්ල සමග ක්‍රිස්තියානිය සාර්ථකව බද්ධ කිරීමට අධිරාජ්‍යවරු සමත් වූහ.සියවස් ගනනාවක් ගතවී අද වන විට දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන් දිනය බව ලොව පුරා ලක්ෂ ගනන් ක්‍රිස්තියානිහු සද්භාවයෙන් විශ්වාස කරති.තමන් සද්භාවයෙන් අදහන්නේ ඉතිහාසයේ එක්තරා කාලයක දේශපාලන බල ව්‍යාපෘතියක් මත සිදු කෙරුනු විකෘති අර්ථනිරූපනයක් බව මේ කිසිවෙක් නොදනිති.

සිංහල බෞද්ධ සදාචාරය 

ඉහත උදාහරනය වර්තමානයේ බලවත්ව තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අධිපති කතිකාවත ‍තේරුම් ගැනිම සදහා පසුබිමක් සකස් කරන්නේය.අවුරුදු දෙදහස් ගනනක් තිස්සේ පැවත එන නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් පිලිබද අදහසට විශාල ඉතිහාසයක් ඇත.එය අඩුම තරමින් අනගාරික ධර්මපාලතුමාගේ කාලය දක්වා දිව යයි."අපේ සිංහල සංස්කෘතිය" පිලිබද මෙම කතිකාවතෙහි ලක්ෂන කිහිපයකි.
මෙම කතිකාවතට අනුව මත විනාශකාරී දෙයකි.ගැහැනු නිරුවත හෙලා දැකිය යුත්තකි.ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක් බවට පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.හේතුව ලෙස බලධාරින් දැක්වූයේ එය "සදාචාරයට" ‍නොගැලපෙන බවයි.සදාචාරය රකිනු වස් පොලිසිය තානායම් වටලයි.අනාචාරයේ හැසිරෙන අයවලුන් කුදලාගෙන යයි.ඒකභාර්යා/ඒකපුරුෂ විවාහය පරම දෙයක් ලෙස මෙම කතිකාව තුල පිලිගැනේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා මෙන්ම විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතාද මේ තුල තහනම් මාතෘකාවෝ වෙත්.ලිංගිකත්වය ගැන විවෘතව කතාබහ කිරීම "අපේ සංස්කෘතියේ අංගයක්" නොවන බව කියනු ලැබේ.එවැන්නක් සිනමාවට නැගිම අදාල සිනමාපටය තහනම්වීමට පවා මග පාදන හේතුවකි.

නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අදහස මේ වන විට හෙජමොනික් වී තිබේ.එනම් කිසිවෙකුත් අතීතයේ සිට පැවතෙන අපේ සංස්කෘතිය වනාහි මෙයයි යන්න ප්‍රශ්න කරන්නේ නැත.ඒකභාර්යා ව්‍රතය,විවාහයේ පරමත්වය,ලිංගිකත්වය ටැබුකරනය කිරීම යනාදිය සිංහල සංස්කෘතියේ පරම සංකල්පයන් බව සද්භාවයෙන් සියල්ලෝ විශ්වාස කරති.මෙම අදහස මේ වන විට දේශපාලන බලය හා ගැටගැසෙන තරමට බලගතු වී ඇත.අනගාරික ධර්මපාල,මෙත්තානන්ද,නලින් ද සිල්වා,ගුනදාස අමරසේකර වැනි මධ්‍යම පංතික බුද්ධිමතුන් විසින් වර්ධනය කල හුදු ප්‍රවාදයක් වූ මෙය බලයට පත්ව සිටින ධනපති පංතියේ ග්‍රාමීය ප්‍රභූ කුලකය අත පත්වූ කල්හි - එය නිල රාජ්‍ය මතවාදය වන තරමේ ප්‍රබලත්වයක් අත්පත් කරගෙන ඇත.

අනගාරික ධර්මපාල
නූතන සිංහල බෞද්ධත්ව කතිකාවතේ ඇරඹුම් ලක්ෂ්‍යය
නමුත් ඇත්තටම අතීතයේ සිට පැවතෙන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය යැයි අප විශ්වාස කරගෙන සිටින දේ අතීතයේ සිට පැවතෙන්නක්මද?
මෙය දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන්දිනය යැයි අවංකව අදහාගෙන සිටින කතෝලිකයන්ගේ තත්වය සිහිගන්වයි.අතීතයේ පැවති පැරනි සිංහල බෞද්ධ සමාජය හා එහි සංස්කෘතිය වර්තමානයේ සිංහල සංස්කෘතිය යනුවෙන් අප පරිකල්පනය කෙරෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූද,පරස්පර වූද එකකි.
 (අතීත සමාජය සිංහල බෞද්ධ සමාජයක් ලෙස නාමකරනය කරන්නේද වර්තමානයේ ජීවත්වන අපය.නොක්ස්ගේ පොත වැනි ඓතිහාසික සාක්ෂි විමසූ විට පෙනී යන්නේ අප සිංහලුන්ය.මේ දේශය බොදුනුවන්ගේ රටය වැනි සවිඥානිකත්වයක් බරපතල අර්ථයෙන් පොදුජනයා අතර නොපැවති බවයි)
ඇත්ත වශයෙන්ම අපගේ සදාචාරයේ අංගයන් ලෙස අද වන විට වර නැගෙන්නේ අතීත සිංහල සමාජයේ සදාචාරමය වටිනාකම් නොව බටහිර ක්‍රිස්තියානි සමාජවල පැවති වටිනාකම්ය.එනම් අප "අපේ දෙයක්" යනුවෙන් වැලදගෙන සිටින්නේ අතීතයේ අපේ සමාජවල පැවති දෙයක් නොව විදේශිකයන් විසින් අපගේ සමාජ මත ආරෝපනය කරන ලද වටිනාකම් සමූහයකි.


අවිවාහජ දරුවන් හා දික්කසාදය

මෙම තත්වය තේරුම් ගැනීම සදහා ඇති විචිත්‍ර අධ්‍යයන කලාපයකි ලංකාවේ නීතික්‍රම වල සංයුතිය.වර්තමාන ලංකාවේ නීති පද්ධතිය ප්‍රධාන වශයෙන් රෝම ලන්දේසි නීතියෙන් හා ඉංග්‍රීසි නීතියෙන් ආභාෂය ලබා තිබේ.මේවා යටත්විජිතවාදීන්ගේ නීතිය.ඕනෑම සමාජයක නීතියක් එම සමාජයේ ඇති සදාචාරමය වටිනාකම් වල හරය ප්‍රතිබිම්භනය කරයි.මධ්‍යකාලීන යුරෝපා සමාජ දැඩි ලෙස ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදායෙන් ශික්ෂනය වූවකි.ක්‍රිස්තියානිය විවාහය පරම දෙයක් ලෙස පිලිගනී.දෙවියන් වහන්සේ විසින් යුවලක් එකතු කරන්නේ යලි වෙන්කිරීමට නොවේ යන පදනම මත දික්කසාදය කෙරෙහි කිතුසමය දක්වන්නේ අනුකම්පා විරහිත ආකල්පයකි.විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් එම සම්ප්‍රදාය තුල දැඩි ලෙස හෙලා දැකේ.මෙම ක්‍රිස්තියානි ආකල්පය මධ්‍යකාලීන ඉංග්‍රීසි නීතිය හා රෝම ලන්දේසි නීතිය සංවිධානය වීමේදී විශාල බලපෑමක් එල්ල කලේය.

ලංකාවේ සාමාන්‍ය නීතිය රෝම ලන්දේසි නීතියේ හා ඉංග්‍රීසි නීතියේ බලපෑම මත සකස් වී තිබේ. මේ අනුව විවාහයෙන් පිට දරුවන් කෙරෙහි ( අවිවාහජ දරුවන් ) ලංකාවේ නීතිය දක්වන්නේ එක්තරා ආකාරයක නොසැලකිල්ලකි.විවාහයෙන් පිට දරුවෙක්ට පියාගේ දේපල වලට උරුමකම් කිව නොහැක.නඩත්තු ඉල්ලා සිටිය නොහැක.සාමාන්‍ය දරුවෙක්ට හිමිවන ඉහත කී අන්දමේ අයිතිවාසිකම් ගනනාවකින් අවිවාහජ දරුවන් ඉවත් කර තිබේ.මෙම ප්‍රතිපාදනය විවාහය පරම ලෙස සලකන,විවාහයෙන් පිට සබදතා අසංස්කෘතික ලෙස සලකන ක්‍රිස්තියානි තර්කනය තුලින් රෝම ලන්දේසි නීතිය තුලට පිවිසුන එකකි.
දික්කසාදය සම්බන්ධයෙන් ද ඉංග්‍රීසි නීතිය දරන්නේ දැඩි ආකල්පයකි.ඒ අනුව දික්කසාදයක් ගත හැකි වනුයේ අධිකරනමය විභාගයකින් පසුව පමනි.විවාහයක් කඩාකප්පල් වීම නිසා දෙපාර්ශවය ස්වේච්ඡාවෙන් වෙන්වීම ගැන අදහස රෝම ලන්දේසි නිතියද පිලි‍ නොගනී.අනාචාරය හෝ ද්වේශ සහගත හැර යාම යන කරුනු දෙක උඩ පමනක් එම නීතිය තුල දික්කසාද වීමට ඉඩ ලබා දුන් අතර දික්කසාදයට පෙර යම් පාර්ශවයක වැරැද්ද උසාවියක් ඉදිරියේ ඔප්පු කිරීම අත්‍යවශය කරුනක් ලෙස ඒ තුල සැලකේ.මෙම නීති දෙකින් ආභාසය ලත් ලංකාවේ නීතියට අනුව අනාචාරය,ද්වේශ සහගත හැරයාම හා විවාහ වන අවස්ථාවේ තිබෙන සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවය නමැති සීමිත අවස්ථා තුන මත පමනක් දික්කසාද වීමට යුවලකට ඉඩ දෙනු ලැබේ.

ඒකභාර්යා/පුරුෂ ව්‍රතය සිංහල බෞද්ධ ද?
දික්කසාද වීම,විවාහයෙන් පිට සබදතා යනාදිය ගැන ක්‍රිස්තියානි විදේශීක නීතින් එවැනි ආකල්පයක් දරද්දී ඒ පිලිබද සිංහල බෞද්ධ සංස්කෘතිය පැවතියා යැයි කියන පැරනි සමාජය දැරූ ආකල්පය කවරක්ද?
මේ පිලිබද අවබෝධයක් වර්තමානයේ සීමිත මට්ටමකින් ඉතිරි වී තිබෙන උඩරට නීතිය හැදෑරීමේදී ලබා ගත හැක.උඩරට නීතිය ( තේසවලාමෛ නීතිය මෙන් ) ලංකාව තුල උප නීතියක් ලෙස පිලිගැනේ.එනම් උඩරට සිංහල ජනයාට යම් යම් විශේෂිත කරුනු වලදී පමනක් අදාල වෙන උප නීති ක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක වේ.උඩරට නීතිය යනු ඉංග්‍රීසින් උඩරට යටත් කරගැනීමට පෙර උඩරට පලාත් වල පැවති පාරම්පරික නිතියයි.සිංහල නිතියක් ලෙස පිරිසිදු අර්ථයෙන් සැලකිය හැක්කේ උඩරට නීතිය පමනකි යන්න එල්.ජේ.එම්.කුරේ වැනි ශාස්ත්‍රඥයන් දක්වා තිබෙන අදහසකි.

සිංහල සදාචාරය තුල උඩරට නීතිය

දික්කසාදය කෙරෙහි උඩරට නීතිය දක්වන ආකල්පය කවරක්ද?රෝම ලන්දේසි හා ඉංග්‍රීසි නීතියට වෙනස්ව උඩරට නීතිය යම් යුවලකට හුදෙක් එකිනෙකාගේ කැමැත්ත මත (mutual consent) දික්කසාද වීමට තිබෙන ඉඩ පිලිගනී.එනම් එකට විසීමට දෙදෙනා අකමැති නම්,නඩු පවරමින් විවිධ පූර්ව අවශ්‍යතා ඔප්පු කිරීමට වෙහෙසීම අවශ්‍ය නොවේ.සරලවම වෙන්වී යා හැක.මෙය පැහැදිලිවම විවාහය කෙරෙහි දක්වන ලිහිල් නිදහස්කාමී ආකල්පයකි.එවැනි දික්කසාදයකට අධිකරනමය ක්‍රියාවලියක් අනවශ්‍ය අතර රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරියේ දික්කසාදය ප්‍රකාශ කිරීම පමනක් ප්‍රමානවත්ය.

අනෙත් අතට යුරෝපා නීතින්ට වෙනස්ව උඩරට නිතිය අවිවාහජ දරුවෙක්ට (විවාහයෙන් පිට සබදතාවක් නිසා උපදින දරුවෙක්ට ) පියාගේ දේපල උරුමය පිලිබද යම් යම් අයිතිවාසිකම් පිරිනමා තිබේ.විවාහයෙන් පිට උපදින දරුවෙක්ටත් විවාහය තුල සිටින දරුවන්ට වාගේම ඇතැම් අයිතීන් තිබේ යන්න පිලිගැනීම හරහා උඩරට නීතිය විවාහය නම් සංස්ථාව එතරම් පරම දෙයක් ලෙස සලකා නොමැත යන නිගමනයට ඒම අසීරු නොවේ.
මේ අනුව පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි ආභාෂය ඇති විදේශ නීති ක්‍රම විවාහය පරමත්වයට නංවද්දී පිරිසිදු සිංහල නීතිය වන උඩරට නීතිය විවාහය වැනි නිල සබදතා එතරම් බැරෑරුම්ව සලකා නොමැති බවයි.නමුත් අද අප අපේ සිංහල සංස්කෘතිය යනුවෙන් පිලිගන්නේ විවාහය කෙරෙහි කොන්සර්වැටිව් ආකල්පයක් දරන ක්‍රිස්තියානි ආකල්පයද,නැත්නම් ඒ කෙරෙහි ඉතාම නිදහස්කාමී ආකල්පයක් දැරූ පැරනි සිංහල සමාජයේ ආකල්පයද යන්න සැලකීම මෙහිදී විනෝදජනක අභ්‍යාසයකි.අප "අපේ දෙය" ලෙස වැලදගෙන තිබෙන්නේ ඇත්තටම "අපේ දෙය" නොව විදේශික අනෙකකි!

ඒක භාර්යා ඒක පුරුෂ ව්‍රතය පිරිසිදු සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.එය ක්‍රිස්තියානි දායාදයකි.ලිංගික සබදතා කෙරෙහි දැඩි නිල ආකල්පයක් දැරීම පැරනි සිංහල සමාජවල ලක්ෂනයක් නොවේ.එය යටත්විජිතවාදය විසින් ආරෝපනය කල වටිනාකමකි.ගැහැනුන් ඇග වසා ඇදුම් හැදීම පැරනි සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.ඊට වෙනස්ව නිරුවත කෙරෙහි එම සමාජ දැක්වූ ආකල්පය අතිශය විවෘතය.නිරුවත වාරනය කිරීමද වික්ටෝරියානු දායාදයකි.
ගංගොඩවිල සෝම හිමි වරෙක කාලයකට ඉහත පලවූ පාරාදීසිය නම් සගරාව දරුනු ලෙස විවේචනය කලේ ගැහැනු නිරුවත අන්තර්ගත එවැනි ප්‍රකාශන සිංහල සභ්‍යත්වයට දැඩිලෙස හානිකර බව පවසමිනි.එම හිමියන් එවැනි දැඩි සදාචාරවාදී පෙනී සිටීමක් කරද්දී තමන් සිංහල සභ්‍යත්වය යනුවෙන් පරිකල්පනය කරගෙන සිටිනුයේ ඇත්ත වශයෙන්ම සිංහල සභ්‍යත්වය නොව බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයයි යන්න දැන නොසිටීම අතිශය උත්ප්‍රාසවත්ය.

බලය විසින් ඉතිහාසය අර්ථකතනය කිරිමේදී සිදුව තිබෙන මෙවැනි විකෘතිවීම් හැදෑරීම ඉතාම රසවත් අත්දැකීමක් වන්නේය.ස්වකීය දේශපාලන බලය රැකගනු වස් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා දෙසැම්බර් 25 ජේසුගේ උපන් දිනයයි යනුවෙන් කල විකෘතිය අද වන විට ලක්ෂ ගනන් ක්‍රිස්තියානි ජනයා පරම සද්භාවයෙන් අදහන උත්කෘෂ්ට ඇදහීමක් බවට පත් ඇත්තේ යම් සේද,අනන්‍යතා අර්බුදයකින් පෙලුන මධ්‍යම පංතික චින්තකයන් සමූහයක් පාරම්පරික සිංහල බෞද්ධ සංස්කෘතිය වනාහි මෙයයි යනුවෙන් විකෘති ලෙස අර්ථනිරූපනය කල වටිනාකම් සමුදායක් සැබැවින්ම සිංහල සංස්කෘතිය යැයි අදහමින් ලක්ෂ ගනන් සිංහලයෝ අද වන විට සංස්කෘතිය සුරැකීමේ රාජ්‍ය මතවාදය වන්දනාමාන කරමින් සිටිති.