![]() |
ඩිල්කා සමන්මලී - Dynamite dilka |
90 දශකය මැද භාගයේදී ආරම්භ වූ මේ ක්‍රියාදාමය විවිධ වෙනස්වීම් මධ්‍යයේ අද දක්වාම නොනැවතී ගලා විත් තිබේ.තම තමන්ගේ වැඩසටහනට වෙනම අනන්‍යතාවයක් ලබා දෙමින් අනෙත් නිෂ්පාදන වලට වඩා සිය නිෂ්පාදනය ප්‍රමෝට් කර ගනු වස් සෑම ආයතනයක්ම විවිධාකාරයෙන් මහන්සි වූයේය.අසන්නන්ට සජීවිව සම්බන්ධ වෙමින් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දීම එවැනි උපක්‍රම වල ප්රාථමිකම අවස්ථාවයි.ස්වර්නවාහිනිය කාලයක් විකාශනය කල කිනිහිර නම් වැඩසටහනට දේශපාලන පක්ෂ වල නියෝජිතයන්ට අමතරව සිවිල් සමාජය නියෝජනය කරන අයවලුන්වද එකතු කර ගනිමින් විවිධත්වයක් එකතු කිරීමට වෑයම් කලේය.ජාතික රූපවාහිනියේ එක්තරා වැඩසටහනක් කාර්යබහුල මහපාරට සිය නිවේදකයෙක් හා කැමරාකරුවෙක් යවා ඒ මොහොතේ සජීවීව මහමග යනෙන ජනයාගේ ප්‍රශ්න දේශපාලනකයන්ට යොමුකිරීමේ අංගයක් එක්කාසු කලේය.ස්වර්නවාහිනිය දැන් විකාශනය කරන රතු ඉර වැඩසටහනට සහභාගි වනුයේ වෙනත් වැඩසටහන්වල මෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් සිවු දෙනෙකු නොව දෙදෙනෙකි.පසුගිය ජනාධිපතිවරන සමයේ සිරස ආයතනය විකාශනය කල සටන නම් වැඩසටහන සියලු ආකෘති අතරින් වෙනස් ආකෘතියක් අත්හදා බැලීය.ඒ අනුව ඒ ඒ පක්ෂ වල සපෝටර්ලාටත් වැඩසහනට සහභාගී වී ඔල්වරසන් නැගීමට ඉඩ ලැබුනි.ඒ හරහා වැහුනු දොරවල් තුල එතෙක් කෙරුනු දේශපාලන සංවාද විවෘත කානිවල් එකක් බවට පරිවර්තනය විය.මේ සියල්ල අතරට හුදෙක් රජයේ නියෝජිතයන් පමනක් සහභාගී වන,පාලුගෙයි වලං බිදින ආන්ඩු පාක්ෂික චැනල වල නීරස වැඩසටහන්ද එකතු කල යුතුය.
![]() |
ශ්‍රී රංගා : සටන වැඩසටහනේ කසකරු |
සම්භාව්‍ය සිනමාව සහ වෙලද සිනමාව අතර වෙනස ඇසුරින් මේ තත්වය වටහා ගත හැක.සම්භාව්‍ය සිනමාවේ පරමාර්ථය කලාවයි.මේ නිසා එය ප්‍රේක්ෂකයාගේ බුද්ධිය අරමුනු කර ගනී.වානිජ සිනමාව වෙලදපොල ඉලක්ක කරගන්නා නිසා එය හුදෙක් වින්දනය නමැති අක්ෂය වටා භ්රමනය වේ.පොදු ප්‍රේක්ෂකයාට ෆන් එකක් ගත හැක්කේ ටෙනිසන් කුරේගේ දෙපිට කැපෙන විහිලු වලිනි.රන්ජන් රාමනායකගේ මස්පිඩු පිම්බූ ශරීර ප්‍රදර්ශනයෙනි.අනර්කලීගේ නිරාවරනය වූ දෙපා වල සමීප රූපවලිනි.පොදුජන විසිල් වැදෙනුයේ මේවාට මිස පුරහද කලුවරෙහි සොල්දාදුවාගේ ඛේදවාචකය වැනි සීරියස් බැරූරැම් දේවලට නොවේ.සිනමා ප්‍රේක්ෂක වෙලදපොල මෙන් දස ගුනයකටද වැඩි පරාසයක රූපවාහිනී වෙලදපොල පැතිරේ.සමාන ආකාරයෙන් එම පොදුජනයා පිනවිය හැක්කේ ආර්ථිකය හෝ දේශපාලනය ගැන කෙරෙන සීරියස් විග්රහයන්ගෙන් නොව අලුත්ගමගේ මහින්දානන්දගේ වාචාල කතා වලිනි.ජයලත් ජයවර්ධන සහ රාජිත සේනාරත්න අතර කෙරෙන බොල් වාග් සංග්රාමයන්ගෙනි.
පසුගිය ජනාධිපතිවරන සමයේ සංවාදයන් ගත් කල මෙබදු රූපවාහිනී සංවාද වල මුඛ්‍ය ප්රශ්නය වූයේ යුද්ධය දිනා දුන්නේ කවුද යන්නයි.රාජපක්ෂ ඒසී කාමරවල සිටියදී ෆොන්සේකා සිටියේ යුද භූමියේ නිසා විරුවා ඔහු බව එක් පිරිසක් අඩි හප්පා කියයි.ෆොන්සේකා යුද පිටියේ සිටියාට ඔහුව මෙහෙයවූයේ කොලඹ සිටි රාජපක්ෂ බැවින් සැබෑ විරුවා රාජපක්ෂ බව අනෙත් පිරිස ඊටත් වඩා ශබ්දයෙන් අඩි හප්පා කියයි.මෙම අතිශය අදේශපාලනික කරුන උඩ රූපවාහිනී කැමරා ඉදිරියේ දේශපාලකයන් එකිනෙකා මරාගැනීමට තැත් කරයි.කුල මල කියයි.මිට මොලවා ගත් අතින් මේසයට තඩි බායි.
පොදු ප්‍රේක්ෂකයාට මෙය මාර ආතල්ය.වැඩසටහනේ රේටිංස් රැදී පවතිනුයේ මෙසේ ආතල් සපයන ප්‍රමානය මත වන නිසාත්,බැරූරැම් දෙයින් ලද හැකි ආතලයක් නොපවතින නිසාත් මෙබදු වැඩසටහන්වලින් දේශපාලනය ගිලිහේ.දේශපාලන සංවාද යන මැයෙන් අදේශපාලනික විකාර නැවත නැවත හෝද හෝදා මඩේ දැමෙයි.
![]() |
මනූෂ නානායක්කාර : රොනී ද මැල් සම්ප්රදායේ නවතම පුරුක |
ඉහත සියලු චරිත වෙත පොදුජන ඡන්දය ආකර්ශනය කල සාධකය වූයේ ඔවුන් රූපවාහිනී තිරය මත රගදැක්වූ මාධ්‍යවේදී භූමිකාව බවට සැකයක් නැත.එම වැඩසටහන් තුල ඔවුන් රගදැක්වූ භූමිකාව වනාහි කවරක්ද?මුල් බැල්මට එය වූ කලී සාධාරනත්වයේ භූමිකාවයි.අපක්ෂපාතිත්වයේ භූමිකාවයි.දේශපාලකයන්ගේ වැරදි ගැන දිගට හරහට රූපවාහිනී කැමරා ඉදිරියේ ප්‍රශ්න කරනුයේ ඔවුන්ය."ජනතා අධිකරනය" ඉදිරියේ දේශපාලකයන් නිරුවත් කරනුයේ මෙම මාධ්‍ය මෙහෙයවන්නන්ය.දේශපාලකයෙකු යමක් සැගවීමට තැත් කරන කල්හි මෙම මාධ්‍ය වීරවරු පන්න පන්නා එය මතු කර ගැන්මට උත්සාහ කරති.නිතර දෙවේලේ පෙනෙන මෙම දෘශ්‍යමානය තුල පොදු සමාජය සිතනුයේ මෙම මාධ්‍යවේදීන් සිරා පොරවල් බවයි.ඔවුන් සත්‍යය වෙනුවෙන් කැපවූ අය බවයි.අසාධාරනත්වය නුරුස්සන,යුක්තිය වෙනුවෙන් කැපවුනු වීරවරයන් බවයි.මෙවැනි සන්දර්භයක කදුකරයේ යූඇන්පී කනු ඇද දමමින් ශ්‍රී රංගා ඡන්ද ලැයිස්තුවේ මුලට ඒම අහම්බයක්ද?
දේශපාලකයන් සහ ජනතාව අතර සම්බන්ධය හින්දි චිත්‍රපටයක අහිංසක පෙම්වතිය - දුෂ්ටයා අතර සම්බන්ධය මෙන් පැතලි,කලු සුදු එකකි යන්න සමාජයේ මුල් බැසගත් මිථ්‍යාවකි.දේශපාලකයන් තක්කඩියන් බව බොහෝ විට කියැවේ.නමුත් වංචනිකයන් හා දෙබිඩ්ඩන් වන්නේ දේශපාලකයන් පමනද?නිදසුනක් ලෙස පලාතේ මන්ත්‍රීවරයා ගසා කන්නෙකු බව දැන දැනම,කොච්චර ගසා කෑවත් අපේ පාරක් වත් කොන්ක්‍රීට් කරල දෙනවනෙ යනුවෙන් පුනරුච්චාරනය කරමින්,ඡන්දය කාලෙට දිවිපුදාගෙන කැන්වසින් යමින්,කතිරය ගසා ඔහුවම නැවත බලයට පත් කරමින්,ඉක්බිති යලිත් දේශපාලකයන් හොරුය යන සුපුරුදු මන්තරය කියමින් සිටින,තක්කඩිකම විනෝදයක් බවට පත්කරගෙන සිටින පොදු ජනතාව යනු ඊටත් වඩා දෙබිඩ්ඩන් පිරිසක් නොවේද?සජීවි සංවාද නමැති මාධ්‍ය සංදර්ශනය තුල මාධ්‍යවේදියාව වෙස් ගැන්වෙන්නේ "නරක" දේශපාලකයාට ඇට්ටි හැලෙන්න දෙන "හොද" ජනතාව නියෝජනය කරන යහපත්භාවයේ පාරිශුද්ධ ඒජන්තයා ලෙසිනි.රිදී තිරයේ වීරයාට ඇදි එම්ජීආර් සිය අසහාය නායකයා ලෙස ඡන්දය දී තෝරාගත් තමිල්නාඩු ජනතාව මෙන් ලංකාවේ පොදු ජනයාද මේ අනුව මෙම පාරිශුද්ධ මාධ්‍ය ඒජන්තවරුන් සිය නියෝජිතයන් ලෙස තෝරා ගනී.
එහෙත් අවාසනාවකට මෙම සමස්ථ ක්‍රියාවලිය මෙගා ඇන්දිල්ලකි.මෙගා ඇදගැනීමකි.යුක්තිය වෙනුවෙන් රූපවාහිනිය ඉදිරියේ වීර චරිතයක් රග පෑ ශ්‍රී රංගාට තමා එතෙක් තමා'තින් විවේචනය වූ දේශපාලකයන් තරම්ම අවස්ථාවාදියෙක් හා වංචනිකයෙක් බව ඔප්පු කිරීමට ගත වූයේ යම්තම් මාස දෙකකි.සිය පියාගේ නාමයෙන් තම පක්ෂය කෙරෙහි පක්ෂපාතිත්වය පිලිබද දිවුරුම් දුන් මනූෂ නානායක්කාර ගැන අමුතුයෙන් යමක් කියනු නොවටී.වඩා වැදගත් කරුන කෙසේ වුවද එය නොවේ.සැබැවින්ම මෙම මාධ්‍ය මහත්වරුන්ගේ වීරත්වයට සීමාවක් ඇත.එම සීමාව තීරනය කරන්නේ ඔවුන්ගේ චැනල් පසුපස තිබෙන ප්රාග්ධනය විසිනි.සියලුම දෙනාගෙන් වසන් කරන,එහෙත් සියලුම දෙනා දැනගත යුතු සත්‍යය එයයි.
දෙරන රූපවාහිනියේ 360 වැඩසටහන චතුර ලෙස ඉදිරිපත් කරන,දක්ෂ මාධ්‍යවේදිනියක ලෙස සැලකිය හැකි ඩිල්කා සමන්මලීගේ භූමිකාව නිදසුනක් ලෙස ගෙන මෙය පැහැදිලි කර ගත හැක.
ඩිල්කා බැලූ බැල්මට මාරය.සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වරෙක ඇයව හැදින්වූයේ ඩයිනමයිට් ඩිල්කා (Dynamite Dilka )යන නමිනි.කාන්තාව අක්‍රීය (passive) චරිතයක් සේ ගැනෙන ආසියාතික සමාජයක් තුල දේශපාලකයන් වන තඩි පිරිමින්ගෙන් දිගට හරහට ප්‍රශ්න අසන සක්‍රීය ( active) ගැහැනියක කෙරෙහි පොදු සමාජය,විශේෂයෙන් පොදු සමාජයේ පිරිමි ප්‍රේක්ෂකයා වශී වීම පසුපස මානසික ආකර්ශනයක් පවතී.
මෑතකදී විකාශනය වූ ඩිල්කා සමන්මලී එ රන්ජන් රාමනායක වැඩසටහන පසුගිය දිනවල බොහෝ ආන්දෝලනයට තුඩු දුන්නකි.කාන්තා අයිතීන් වෙනුවෙන් පිතිහරඹයේ යෙදෙනවා යැයි කියන කාන්තා විරවරයෙකු සැබෑ ජීවිතයේදී අනෙකෙක් නොව කාන්තා හිංසකයෙකි යන අදහස ගම්‍ය වන පරිදි සූක්ෂම ලෙස එහිදී සමන්මලී රාමනායකව කොටු කලාය.තවද රාමනායකගේ මන්ත්‍රීධූරයට ලැබෙන කාර් පර්මිටය ඔහු විසින් විකුනා දැමීම පිලිබද "රහස" හෙලිදරවු කරමින් රාමනායකව ඇය දැඩි ලෙස අපහසුතාවයට ලක් කලාය.
ඇය මෙවැනිම වැඩසටහනකින් (එවකට) එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනියක වූ උපේක්ෂා ස්වර්නමාලීව උග්‍ර කරදරයකට ඇද දැමූ ආකාරය ප්‍රසිද්ධ සිද්ධියක් බවට පත්විය.
කෙසේ වුවද රාමනායකගේ වැඩසටහින් ඉක්බිති,ඊලග සතියේ 360 වැඩසටහනට පැමින සිටියේ ජාතික හෙල උරුමය විසින් එහි නායකත්වයෙන් පන්නා දැමූ එල්ලාවල මේධානන්ද හිමිය.මේධානන්ද හිමිගේ කාර් පර්මිට් වංචාව පිලිබද කතාව කලෙකට ඉහතදී මහත් කතාබහට ලක්වූවකි.උන්වහන්සේව හදිසියේ හෙල උරුමයේ නායකත්වයෙන් පන්නා දැමීම ආදී වශයෙන් අසනවා නම් ඇසිය හැකි "රසවත්" ප්‍රශ්න රාශියක් පැවතුනි.
නමුත් උන්වහන්සේ අභිමුව ඩිල්කා සමන්මලී රගන්නට වූයේ දහම් පාසල් ශිෂ්‍යාවකගේ චරිතයයි.ඇයගෙන් උන්වහන්සේ වෙත එල්ල වූයේ අලුත්ම පුරාවස්තුව හොයාගත්තේ කොහෙන්ද අපෙ හාමුදුරුවනේ?ඒකෙ වටිනාකම කීයද හාමුදුරුවනේ?ඒකෙ දිග කීයද හාමුදුරුවනේ?පලල කොච්චරක් විතරද හාමුදුරුවනේ? වර්ගයේ බබා ප්‍රශ්න සමූහයකි.මෙම බබා ප්‍රශ්න සමූහය ඇය සීරියස් මූඩ් එකක් මවාගෙන විමසන විට,එය මහත් හාස්‍යයකි.
ජයලත් ජයවර්ධනගෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ගැන දිගට හරහට ප්‍රශ්න කරන සමන්මලී ආන්ඩු පාක්ෂික මන්ත්‍රීවරයෙකුගෙන් කිසිවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය පිලිබද විමසීමට ඉදිරිපත් වනු මෙම ලියුම්කරුගේ ඇස ගැටී නොමැත.අන්තර්ජාලයේ තිබී ඇස ගැටුනු සමන්මලී එ නාමල් රාජපක්ෂ වැඩසටහන ද ලියුම්කරුගේ අවධානයට හසුවූවකි.මෙම වැඩසටහනේදී තාරුන්‍යයට හෙටක් සංවිධානය මුලුමනින් දේශපාලනයෙන් තොර වූවක් බව ( අනේ සාධු!) නාමල් රාජපක්ෂ ( එවකට මන්ත්‍රී ධූර අපේක්ෂකයා ) පවසයි.එසේ නම් ජනාධිපතිවරනය වෙනුවෙන් කලාකරුවන් රැගත් "සංවේදී පලපුරුදු නායකයාට ඡන්දය දෙන්න" නම් දේශපාලන දැන්වීම් පෙල ජනාධිපති වෙනුවෙන් එම සංවිධානය මගින් විකාශය කලේ ඇයිදැයි සමන්මලි ප්‍රශ්න කරයි.ඊට ජනාධිපති පුත්‍රයා දෙන පිලිතුර - එම දැන්වීම් පෙල ජනාධිපති දිනවීම අරමුනු කරගත්තක් නොවන බවය.දැන්වීමෙන් ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටීමක් සිදුවූවත්,ඡන්දය දිය යුත්තේ කාටදැයි නිශ්චිත අපේක්ෂකයෙකුගේ නම සදහන් නොවූ නිසා එය හුදෙක් තරුන පිරිස් මැතිවරන ක්‍රියාවලියට ඇද ගැනීමට විකාශය කල දේශපාලනයෙන් තොර දැන්වීම් පෙලක් බව හෙතෙම පවසයි.
මෙම පිලිතුර සත්‍යයෙන් තොර,අතේ පැලවෙන තක්කඩි බොරුවක් බව නාමල් බබා මෙන්ම සමන්මලීද දැන සිටියාට සැක නැත.නමුත් ඒ ගැන විමසීමට තරම් එඩිතර වූයේ සමන්මලී නොවේ.ඇය ඒ වෙනුවට තරුනයන්ගේ සදාචාරය ගැන ලදරු ප්‍රශ්නයක් නාමල් බබා වෙත ඉදිරිපත් කරමින් කතාව වෙන අතකට ගෙන යයි.
ජවිපෙන් ඉවත් වූ අලුත විමල් වීරවංශ සහභාගි වූ 360 වැඩසටහනද ලියුම්කරුගේ මතකයේ රැදෙන තවත් නිදසුනකි.එම වැඩසටහන පුරා සමන්මලී වීරවංශ වෙත අත් හරින්නේ "ඔබ ජවිපෙන් අයින් වුනාම ජවිපෙ තුල තිබුන සිංහල හඩට මොකෝ වෙන්නේ" වර්ගයේ මහා පරිමාන ෆුල් ටොස්ය.විය යුතු පරිදිම මෙම ෆුල්ටොස් වලට දෑත බදා හයේ පහර එල්ල කරන වීරවංශ සිත පුරා ලකුනු රැස්කරගනී.අඩු තරමින් ඔහුගේ ඉවත් වීම පිලිබද ජවිපෙට කීමට තිබෙන්නේ කුමක්දැයි විමසනු වස් ජවිපෙ නියෝජිතයෙක් සම්බන්ධ කරගැනීමවත් එහිදී සිදු නොවීය.
දෙරන රූපවාහිනියේ ඩිල්කා සමන්මලීගේ භූමිකාව පිලිබද ඉහත විස්තරාත්මක නිදසුන් කිහිපය අපව පැහැදිලි නිගමනයක් වෙත යොමු කරයි.
සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරස්‍රයක් තුල සිටය.එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි.අලංකාර උපමාවකින් දැක්වුවහොත් සමන්මලී යනු අමුනුගම ප්රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි.විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ ප්‍රහාරකයෙකු වන ඇයට මේධානන්ද ලොකු හාමුදුරුවන් ඉදිරියේ දහම් පාසල් ලදැරියක වන්නට සිදුවන්නේ මේ නිසාය.තමා සැබැවින්ම අපක්ෂපාතී නොවන බව හා තමාට එසේ විය නොහැකි බව දැන දැනත් සමන්මලී තමා අපක්ෂපාතී මෙහෙයවන්නියක බව මවා පෙන්වීමට තැත් කරයි.ව්‍යාජ ස්වාධීනත්වයක් මවා පාමින් ඇය කරන්නේද එක්තරා අන්දමක තක්කඩිකමකි.නැති ගුනාංගයක් තිබෙන බව පෙන්වීමට වෑයම් කරමින් රගපෑම කුහකකමක් නොවේ නම් අන් කවරක්ද?සමාජය ඇන්දවීම වෘත්තිය කරගත් දේශපාලකයා වංචනිකයෙක්,කුහකයෙක් සහ දෙබිඩ්ඩෙක් වන්නේ නම් එයම වෙනත් විදිහකින් වෘත්තිමය ලෙස සිදු කරන මේ නෝනාවරුන් හට දිය යුතු නම කවරක්ද?
සජීවි දේශපාලන සංවාද නම් මාධ්‍ය සංදර්ශනය තුල පොරවල් ලෙස පෙනී සිටින අනෙකුත් මහත්වරුන් සම්බන්ධයෙන්ද සත්‍යය මෙයයි.විද්‍යුත් මාධ්‍ය නම් ඉන්ද්‍රජාලය විසින් මහා ප්රතිරූප ලෙස ප්රක්ෂේපනය කෙරෙන සන්නිවේදක වීරයන් යනු වේතනය වෙනුවෙන් ආත්ම උගස් කල වැටුප් ශ්‍රමිකයන් පිරිසකි.ඔවුන් අතින් නිරුවත් කෙරෙන දේශපාලකයන් තරමටම මොවුන්ද දෙබිඩිය.ආත්මාර්ථයෙන් හා මජරත්වයෙන් අඩු වැඩි වශයෙන් දූෂිතය.එව බලව.මේ යුගය තුල අපට ජීවත් වන්නට නියම වි තිබෙනුයේ සංකීර්න ලෙස වියනු ලැබූ මහා මායාවක් තුලය.