Monday, September 27, 2010

ඩයිනමයිට් ඩිල්කා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී රංගා

ඩිල්කා සමන්මලී - Dynamite  dilka
ජීවි රූපවාහිනී දේශපාලන සංවාද යනු වෙලදපොල මිල සංඥාවනට විද්‍යුත් මාධ්‍ය නාලිකා සංවේදී වීම නිසා උපත ලැබූවකි.ටීඑන්එල් රූපවාහිනී සේවයේ ජනහඩ වැඩසටහන මෙලෙස කරලියට ආ පලමු සජීවි සංවාද වැඩසටහනයි.එය විසින් ගොඩනගාගනු ලැබූ සාර්ථකත්වය මත ඉක්බිති සියල්ලෝ ඔවුන් ගත් මග ගත්හ.සිරස සුපර් ස්ටාර් හරහා මහරාජා ආයතනය ලැබූ ලාභය කෙරෙහි ගිනිකන වැටී සෙසු මාධ්‍ය ආයතන සියල්ල ඩ්‍රීම් ස්ටාර්,ශ්‍රී ලංකන් ලයිෆ් යනාදී වශයෙන් ඩුප්ලිකේට් නිෂ්පාදන බිහිකලේ යම් සේද,නෙත් එෆ් එම් විසින් පිරිත් නැමැති පාරිභෝගික භාන්ඩය අලෙවි කරමින් ලබන සාර්ථකත්වය කෙරෙහි ලොබ බැද පුරුදු පිරිත් පුරුදු විදිහට අහන්න යනාදී ලෙස සෙසු සියලු ගුවන්විදුලි නාලිකා පිරිත් වැඩසටහන් නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේ යම් සේද ජනහඩ අනුව යමින් සෙසු සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන දේශපාලන වැඩසටහන් නැමැති හුවමාරු භාන්ඩය නිපදවන්නට වූයේය.90 දශකය අවසාන වන විට සෑම රූපවාහිනී සේවාවක්ම මෙවැනි දේශපාලන සංවාද වැඩසටහන් සංවිධානය කිරීම ස්වකීය කාලසටහනේ අනිවාර්ය අංගයක් බවට පත් කර ගෙන තිබුනි.


90 දශකය මැද භාගයේදී ආරම්භ වූ මේ ක්‍රියාදාමය විවිධ වෙනස්වීම් මධ්‍යයේ අද දක්වාම නොනැවතී ගලා විත් තිබේ.තම තමන්ගේ වැඩසටහනට වෙනම අනන්‍යතාවයක් ලබා දෙමින් අනෙත් නිෂ්පාදන වලට වඩා සිය නිෂ්පාදනය ප්‍රමෝට් කර ගනු වස් සෑම ආයතනයක්ම විවිධාකාරයෙන් මහන්සි වූයේය.අසන්නන්ට සජීවිව සම්බන්ධ වෙමින් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දීම එවැනි උපක්‍රම වල ප්‍රාථමිකම අවස්ථාවයි.ස්වර්නවාහිනිය කාලයක් විකාශනය කල කිනිහිර නම් වැඩසටහනට දේශපාලන පක්ෂ වල නියෝජිතයන්ට අමතරව සිවිල් සමාජය නියෝජනය කරන අයවලුන්වද එකතු කර ගනිමින් විවිධත්වයක් එකතු කිරීමට වෑයම් කලේය.ජාතික රූපවාහිනියේ එක්තරා වැඩසටහනක් කාර්යබහුල මහපාරට සිය නිවේදකයෙක් හා කැමරාකරුවෙක් යවා ඒ මොහොතේ සජීවීව මහමග යනෙන ජනයාගේ ප්‍රශ්න දේශපාලනකයන්ට යොමුකිරීමේ අංගයක් එක්කාසු කලේය.ස්වර්නවාහිනිය දැන් විකාශනය කරන රතු ඉර වැඩසටහනට සහභාගි වනුයේ වෙනත් වැඩසටහන්වල මෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් සිවු දෙනෙකු නොව දෙදෙනෙකි.පසුගිය ජනාධිපතිවරන සමයේ සිරස ආයතනය විකාශනය කල සටන නම් වැඩසටහන සියලු ආකෘති අතරින් වෙනස් ආකෘතියක් අත්හදා බැලීය.ඒ අනුව ඒ ඒ පක්ෂ වල සපෝටර්ලාටත් වැඩසහනට සහභාගී වී ඔල්වරසන් නැගීමට ඉඩ ලැබුනි.ඒ හරහා වැහුනු දොරවල් තුල එතෙක් කෙරුනු දේශපාලන සංවාද විවෘත කානිවල් එකක් බවට පරිවර්තනය විය.මේ සියල්ල අතරට හුදෙක් රජයේ නියෝජිතයන් පමනක් සහභාගී වන,පාලුගෙයි වලං බිදින ආන්ඩු පාක්ෂික චැනල වල නීරස වැඩසටහන්ද එකතු කල යුතුය.


ශ්‍රී රංගා : සටන වැඩසටහනේ කසකරු
විවිධ ආකෘතික වෙනස්කම් පැවතියේ නමුදු මේ සියලු වැඩසටහන් වල පොදු හරය එක සමානය.මේවාට ඒ ඒ පක්ෂ වල නියෝජිතයන් ඇරයුම් ලබන අතර ඔවුන් අතර විසංවාදයන් ඇවිලෙන ප්‍රමානය මත වැඩසටහනේ සාර්ථකත්වය රැදී තිබේ.මෙවැනි වැඩසටහන් හරහා මතු කර ගත හැකි සාධනීය ලක්ෂනය නම් ඒ ඒ පාර්ශවයන්ගේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හරවත් ලෙස එකිනෙක හා ගැටීමට සැලැස්වීමයි.නමුත් බොහෝ විට මේවා තුල දක්නට නැත්තේද එවැනි බුද්ධිමය අභ්‍යාසයකි.කටින් ගසා ගැනීමට ඒ ඒ දේශපාලකයා දක්වන හැකියාව මත මෙවැනි වැඩසටහන් ඉදිරියට දිව යයි.කොටින්ම මේවායේදී ප්‍රමුඛ වනුයේ කරුනු නොව කටින් ගසා අනෙකාව යටපත් කිරීමට යමෙකු සතු වන හැකියාවයි.මේ නිසා බුද්ධිමත් සංවාදයක් වනවා වෙනුවට බොහෝ විට මෙබදු වැඩසටහන් ස්වකීය මුඛයේ බලය පෙන්වන,කැමරාව ඉදිරියේ තමනට තිබෙන රගපෑමේ හැකියාව පෙන්වන මාධ්‍ය සංදර්ශන බවට පත්වී කෙලවර වේ.


සම්භාව්‍ය සිනමාව සහ වෙලද සිනමාව අතර වෙනස ඇසුරින් මේ තත්වය වටහා ගත හැක.සම්භාව්‍ය සිනමාවේ පරමාර්ථය කලාවයි.මේ නිසා එය ප්‍රේක්ෂකයාගේ බුද්ධිය අරමුනු කර ගනී.වානිජ සිනමාව වෙලදපොල ඉලක්ක කරගන්නා නිසා එය හුදෙක් වින්දනය නමැති අක්ෂය වටා භ්‍රමනය වේ.පොදු ප්‍රේක්ෂකයාට ෆන් එකක් ගත හැක්කේ ටෙනිසන් කුරේගේ දෙපිට කැපෙන විහිලු වලිනි.රන්ජන් රාමනායකගේ මස්පිඩු පිම්බූ ශරීර ප්‍රදර්ශනයෙනි.අනර්කලීගේ නිරාවරනය වූ දෙපා වල සමීප රූපවලිනි.පොදුජන විසිල් වැදෙනුයේ මේවාට මිස පුරහද කලුවරෙහි සොල්දාදුවාගේ ඛේදවාචකය වැනි සීරියස් බැරූරැම් දේවලට නොවේ.සිනමා ප්‍රේක්ෂක වෙලදපොල මෙන් දස ගුනයකටද වැඩි පරාසයක රූපවාහිනී වෙලදපොල පැතිරේ.සමාන ආකාරයෙන් එම පොදුජනයා පිනවිය හැක්කේ ආර්ථිකය හෝ දේශපාලනය ගැන කෙරෙන සීරියස් විග්‍රහයන්ගෙන් නොව අලුත්ගමගේ මහින්දානන්දගේ වාචාල කතා වලිනි.ජයලත් ජයවර්ධන සහ රාජිත සේනාරත්න අතර කෙරෙන බොල් වාග් සංග්‍රාමයන්ගෙනි.
පසුගිය ජනාධිපතිවරන සමයේ සංවාදයන් ගත් කල මෙබදු රූපවාහිනී සංවාද වල මුඛ්‍ය ප්‍රශ්නය වූයේ යුද්ධය දිනා දුන්නේ කවුද යන්නයි.රාජපක්ෂ ඒසී කාමරවල සිටියදී ෆොන්සේකා සිටියේ යුද භූමියේ නිසා විරුවා ඔහු බව එක් පිරිසක් අඩි හප්පා කියයි.ෆොන්සේකා යුද පිටියේ සිටියාට ඔහුව මෙහෙයවූයේ කොලඹ සිටි රාජපක්ෂ බැවින් සැබෑ විරුවා රාජපක්ෂ බව අනෙත් පිරිස ඊටත් වඩා ශබ්දයෙන් අඩි හප්පා කියයි.මෙම අතිශය අදේශපාලනික කරුන උඩ රූපවාහිනී කැමරා ඉදිරියේ දේශපාලකයන් එකිනෙකා මරාගැනීමට තැත් කරයි.කුල මල කියයි.මිට මොලවා ගත් අතින් මේසයට තඩි බායි.
පොදු ප්‍රේක්ෂකයාට මෙය මාර ආතල්ය.වැඩසටහනේ රේටිංස් රැදී පවතිනු‍‍යේ මෙසේ ආතල් සපයන ප්‍රමානය මත වන නිසාත්,බැරූරැම් දෙයින් ලද හැකි ආතලයක් නොපවතින නිසාත් මෙබදු වැඩසටහන්වලින් දේශපාලනය ගිලිහේ.දේශපාලන සංවාද යන මැයෙන් අදේශපාලනික විකාර නැවත නැවත හෝද හෝදා මඩේ දැමෙයි.


මනූෂ නානායක්කාර : රොනී ද මැල් සම්ප්‍රදායේ නවතම පුරුක
සජීවි දේශපාලන සංවාදයන්ගේ අනෙත් කැපී පෙනෙන සුලු ලක්ෂනය වනාහි ඒවායේ මෙහෙයවන්නාගේ භූමිකාවයි.මෙම භූමිකාව ස්ථානගත වන අවකාශය වටහාගනු වස් මෙවැනි වැඩසටහන් මෙහෙයවූ චරිත වල ඓතිහාසික පරිනාමය මදක් අවධානයට ගනු වටී.ස්වර්නවාහිනියේ රතු ඉර මෙහෙයවූ චන්දන සුරියබන්ඩාර පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙකු ලෙස අබිසෙස් ලැබීය.සිරසෙහි එවැනි භූමිකාවක සිටි බුද්ධික පතිරන අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.දේශපාලන සංවාද මෙහෙයවන්නෙකු නොවුවද "සමබර" හා "අපක්ෂපාතී" ප්‍රවෘත්ති ඉදිරිපත් කල ස්වර්නවාහිනියේ මනූෂ නානායක්කාර පසුගිය මැතිවරනයේදී වජිර අබේවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ යූඇන්පී කාරයන් අබිබවා ජය ලැබීය.සටන වැඩසටහනේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් පසුගිය ජනාධිපතිවරන සමයේ දේශපාලකයන් "නිරුවත්" කරවමින් දිගට හරහට ඔවුනගෙන් ප්‍රශ්න විමසූයේ ජේ.ශ්‍රී රංගාය.දේශපාලකයනගේ දෙබිඩිභාවය "හෙලිදරවු කල" මෙම මාධ්‍ය වීරයා අද දේශපාලකයෙකි.හුදු දේශපාලකයෙකු නොව තේරී පත්ව මාස කිහිපයක් තුල රොනී ද මැල් වර්ගයේ බල්ටියක් ගැසූ දේශපාලඥයෙකි.


ඉහත සියලු චරිත වෙත පොදුජන ඡන්දය ආකර්ශනය කල සාධකය වූයේ ඔවුන් රූපවාහිනී තිරය මත රගදැක්වූ මාධ්‍යවේදී භූමිකාව බවට සැකයක් නැත.එම වැඩසටහන් තුල ඔවුන් රගදැක්වූ භූමිකාව වනාහි කවරක්ද?මුල් බැල්මට එය වූ කලී සාධාරනත්වයේ භූමිකාවයි.අපක්ෂපාතිත්වයේ භූමිකාවයි.දේශපාලකයන්ගේ වැරදි ගැන දිගට හරහට රූපවාහිනී කැමරා ඉදිරියේ ප්‍රශ්න කරනුයේ ඔවුන්ය."ජනතා අධිකරනය" ඉදිරියේ දේශපාලකයන් නිරුවත් කරනුයේ මෙම මාධ්‍ය මෙහෙයවන්නන්ය.දේශපාලකයෙකු යමක් සැගවීමට තැත් කරන කල්හි මෙම මාධ්‍ය වීරවරු පන්න පන්නා එය මතු කර ගැන්මට උත්සාහ කරති.නිතර දෙවේලේ පෙනෙන මෙම දෘශ්‍යමානය තුල පොදු සමාජය සිතනුයේ මෙම මාධ්‍යවේදීන් සිරා පොරවල් බවයි.ඔවුන් සත්‍යය වෙනුවෙන් කැපවූ අය බවයි.අසාධාරනත්වය නුරුස්සන,යුක්තිය වෙනුවෙන් කැපවුනු වීරවරයන් බවයි.මෙවැනි සන්දර්භයක කදුකරයේ යූඇන්පී කනු ඇද දමමින් ශ්‍රී රංගා ඡන්ද ලැයිස්තුවේ මුලට ඒම අහම්බයක්ද?


දේශපාලකයන් සහ ජනතාව අතර සම්බන්ධය හින්දි චිත්‍රපටයක අහිංසක පෙම්වතිය - දුෂ්ටයා අතර සම්බන්ධය මෙන් පැතලි,කලු සුදු එකකි යන්න සමාජයේ මුල් බැසගත් මිථ්‍යාවකි.දේශපාලකයන් තක්කඩියන් බව බොහෝ විට කියැවේ.නමුත් වංචනිකයන් හා දෙබිඩ්ඩන් වන්නේ දේශපාලකයන් පමනද?නිදසුනක් ලෙස පලාතේ මන්ත්‍රීවරයා ගසා කන්නෙකු බව දැන දැනම,කොච්චර ගසා කෑවත් අපේ පාරක් වත් කොන්ක්‍රීට් කරල දෙනවනෙ යනුවෙන් පුනරුච්චාරනය කරමින්,ඡන්දය කාලෙට දිවිපුදාගෙන කැන්වසින් යමින්,කතිරය ගසා ඔහුවම නැවත බලයට පත් කරමින්,ඉක්බිති යලිත් දේශපාලකයන් හොරුය යන සුපුරුදු මන්තරය කියමින් සිටින,තක්කඩිකම විනෝදයක් බවට පත්කරගෙන සිටින පොදු ජනතාව යනු ඊටත් වඩා දෙබිඩ්ඩන් පිරිසක් නොවේද?සජීවි සංවාද නමැති මාධ්‍ය සංදර්ශනය තුල මාධ්‍යවේදියාව වෙස් ගැන්වෙන්නේ "නරක" දේශපාලකයාට ඇට්ටි හැලෙන්න දෙන "හොද" ජනතාව නියෝජනය කරන යහපත්භාවයේ පාරිශුද්ධ ඒජන්තයා ලෙසිනි.රිදී තිරයේ වීරයාට ඇදි එම්ජීආර් සිය අසහාය නායකයා ලෙස ඡන්දය දී තෝරාගත් තමිල්නාඩු ජනතාව මෙන් ලංකාවේ පොදු ජනයාද මේ අනුව මෙම පාරිශුද්ධ මාධ්‍ය ඒජන්තවරුන් සිය නියෝජිතයන් ලෙස තෝරා ගනී.


එහෙත් අවාසනාවකට මෙම සමස්ථ ක්‍රියාවලිය මෙගා ඇන්දිල්ලකි.මෙගා ඇදගැනීමකි.යුක්තිය වෙනුවෙන් රූපවාහිනිය ඉදිරියේ වීර චරිතයක් රග පෑ ශ්‍රී රංගාට තමා එතෙක් තමා'තින් විවේචනය වූ දේශපාලකයන් තරම්ම අවස්ථාවාදියෙක් හා වංචනිකයෙක් බව ඔප්පු කිරීමට ගත වූයේ යම්තම් මාස දෙකකි.සිය පියාගේ නාමයෙන් තම පක්ෂය කෙරෙහි පක්ෂපාතිත්වය පිලිබද දිවුරුම් දුන්  මනූෂ නානායක්කාර ගැන අමුතුයෙන් යමක් කියනු නොවටී.වඩා වැදගත් කරුන කෙසේ වුවද එය නොවේ.සැබැවින්ම මෙම මාධ්‍ය මහත්වරුන්ගේ වීරත්වයට සීමාවක් ඇත.එම සීමාව තීරනය කරන්නේ ඔවුන්ගේ චැනල් පසුපස තිබෙන ප්‍රාග්ධනය විසිනි.සියලුම දෙනාගෙන් වසන් කරන,එහෙත් සියලුම දෙනා දැනගත යුතු සත්‍යය එයයි.


දෙරන රූපවාහිනියේ 360 වැඩසටහන චතුර ලෙස ඉදිරිපත් කරන,දක්ෂ මාධ්‍යවේදිනියක ලෙස සැලකිය හැකි ඩිල්කා සමන්මලීගේ භූමිකාව නිදසුනක් ලෙස ගෙන මෙය පැහැදිලි කර ගත හැක.
ඩිල්කා බැලූ බැල්මට මාරය.සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වරෙක ඇයව හැදින්වූයේ ඩයිනමයිට් ඩිල්කා (Dynamite Dilka )යන නමිනි.කාන්තාව අක්‍රීය (passive) චරිතයක් සේ ගැනෙන ආසියාතික සමාජයක් තුල දේශපාලකයන් වන තඩි පිරිමින්ගෙන් දිගට හරහට ප්‍රශ්න අසන සක්‍රීය ( active) ගැහැනියක කෙරෙහි පොදු සමාජය,විශේෂයෙන් පොදු සමාජයේ පිරිමි ප්‍රේක්ෂකයා වශී වීම පසුපස මානසික ආකර්ශනයක් පවතී.
මෑතකදී විකාශනය වූ ඩිල්කා සමන්මලී එ රන්ජන් රාමනායක වැඩසටහන පසුගිය දිනවල බොහෝ ආ‍න්දෝලනයට තුඩු දුන්නකි.කාන්තා අයිතීන් වෙනුවෙන් පිතිහරඹයේ යෙදෙනවා යැයි කියන කාන්තා විරවරයෙකු සැබෑ ජීවිතයේදී අනෙකෙක් නොව කාන්තා හිංසකයෙකි යන අදහස ගම්‍ය වන පරිදි සූක්ෂම ලෙස එහිදී සමන්මලී රාමනායකව කොටු කලාය.තවද රාමනායකගේ මන්ත්‍රීධූරයට ලැබෙන කාර් පර්මිටය ඔහු විසින් විකුනා දැමීම පිලිබද "රහස" හෙලිදරවු කරමින් රාමනායකව ඇය දැඩි ලෙස අපහසුතාවයට ලක් කලාය.
ඇය මෙවැනිම වැඩසටහනකින් (එවකට) එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනියක වූ උපේක්ෂා ස්වර්නමාලීව උග්‍ර කරදරයකට ඇද දැමූ ආකාරය ප්‍රසිද්ධ සිද්ධියක් බවට පත්විය.


කෙසේ වුවද රාමනායකගේ වැඩසටහින් ඉක්බිති,ඊලග සතියේ 360 වැඩසටහනට පැමින සිටියේ ජාතික හෙල උරුමය විසින් එහි නායකත්වයෙන් පන්නා දැමූ එල්ලාවල මේධානන්ද හිමිය.මේධානන්ද හිමිගේ කාර් පර්මිට් වංචාව පිලිබද කතාව කලෙකට ඉහතදී මහත් කතාබහට ලක්වූවකි.උන්වහන්සේව හදිසියේ හෙල උරුමයේ නායකත්වයෙන් පන්නා දැමීම ආදී වශයෙන් අසනවා නම් ඇසිය හැකි "රසවත්" ප්‍රශ්න රාශියක් පැවතුනි.
නමුත් උන්වහන්සේ අභිමුව ඩිල්කා සමන්මලී රගන්නට වූයේ දහම් පාසල් ශිෂ්‍යාවකගේ චරිතයයි.ඇයගෙන් උන්වහන්සේ වෙත එල්ල වූයේ අලුත්ම පුරාවස්තුව හොයාගත්තේ කොහෙන්ද අපෙ හාමුදුරුවනේ?ඒකෙ වටිනාකම කීයද හාමුදුරුවනේ?ඒකෙ දිග කීයද හාමුදුරුවනේ?පලල කොච්චරක් විතරද හාමුදුරුවනේ? වර්ගයේ බබා ප්‍රශ්න සමූහයකි.මෙම බබා ප්‍රශ්න සමූහය ඇය සීරියස් මූඩ් එකක් මවාගෙන විමසන විට,එය මහත් හාස්‍යයකි.


ජයලත් ජයවර්ධනගෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන දිගට හරහට ප්‍රශ්න කරන සමන්මලී ආන්ඩු පාක්ෂික මන්ත්‍රීවරයෙකුගෙන් කිසිවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද විමසීමට ඉදිරිපත් වනු මෙම ලියුම්කරුගේ ඇස ගැටී නොමැත.අන්තර්ජාලයේ තිබී ඇස ගැටුනු සමන්මලී එ නාමල් රාජපක්ෂ වැඩසටහන ද ලියුම්කරුගේ අවධානයට හසුවූවකි.මෙම වැඩසටහනේදී තාරුන්‍යයට හෙටක් සංවිධානය මුලුමනින් දේශපාලනයෙන් තොර වූවක් බව ( අනේ සාධු!) නාමල් රාජපක්ෂ ( එවකට මන්ත්‍රී ධූර අපේක්ෂකයා ) පවසයි.එසේ නම් ජනාධිපතිවරනය වෙනුවෙන් කලාකරුවන් රැගත් "සංවේදී පලපුරුදු නායකයාට ඡන්දය දෙන්න" නම් දේශපාලන දැන්වීම් පෙල ජනාධිපති වෙනුවෙන්  එම සංවිධානය මගින් විකාශය කලේ ඇයිදැයි සමන්මලි ප්‍රශ්න කරයි.ඊට ජනාධිපති පුත්‍රයා දෙන පිලිතුර - එම දැන්වීම් පෙල ජනාධිපති දිනවීම අරමුනු කරගත්තක් නොවන බවය.දැන්වීමෙන් ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටීමක් සිදුවූවත්,ඡන්දය දිය යුත්තේ කාටදැයි නිශ්චිත අපේක්ෂකයෙකුගේ නම සදහන් නොවූ නිසා එය හුදෙක් තරුන පිරිස් මැතිවරන ක්‍රියාවලියට ඇද ගැනීමට විකාශය කල දේශපාලනයෙන් තොර දැන්වීම් පෙලක් බව හෙතෙම පවසයි.
මෙම පිලිතුර සත්‍යයෙන් තොර,අතේ පැලවෙන තක්කඩි බොරුවක් බව නාමල් බබා මෙන්ම සමන්මලීද දැන සිටියාට සැක නැත.නමුත් ඒ ගැන විමසීමට තරම් එඩිතර වූයේ සමන්මලී නොවේ.ඇය ඒ වෙනුවට තරුනයන්ගේ සදාචාරය ගැන ලදරු ප්‍රශ්නයක් නාමල් බබා වෙත ඉදිරිපත් කරමින් කතාව වෙන අතකට ගෙන යයි.
ජවිපෙන් ඉවත් වූ අලුත විමල් වීරවංශ සහභාගි වූ 360 වැඩසටහනද ලියුම්කරුගේ මතකයේ රැදෙන තවත් නිදසුනකි.එම වැඩසටහන පුරා සමන්මලී වීරවංශ වෙත අත් හරින්නේ "ඔබ ජවිපෙන් අයින් වුනාම ජවිපෙ තුල තිබුන සිංහල හඩට මොකෝ වෙන්නේ" වර්ගයේ මහා පරිමාන ෆුල් ටොස්ය.විය යුතු පරිදිම මෙම ෆුල්ටොස් වලට දෑත බදා හයේ පහර එල්ල කරන වීරවංශ සිත පුරා ලකුනු රැස්කරගනී.අඩු තරමින් ඔහුගේ ඉවත් වීම පිලිබද ජවිපෙට කීමට තිබෙන්නේ කුමක්දැයි විමසනු වස් ජවිපෙ නියෝජිතයෙක් සම්බන්ධ කරගැනීමවත් එහිදී සිදු නොවීය.


දෙරන රූපවාහිනියේ ඩිල්කා සමන්මලීගේ භූමිකාව පිලිබද ඉහත විස්තරාත්මක නිදසුන් කිහිපය අපව පැහැදිලි නිගමනයක් වෙත යොමු කරයි.
සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරස්‍රයක් තුල සිටය.එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි.අලංකාර උපමාවකින් දැක්වුවහොත් සමන්මලී යනු අමුනුගම ප්‍රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි.විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ ප්‍රහාරකයෙකු වන ඇයට මේධානන්ද ලොකු හාමුදුරුවන් ඉදිරියේ දහම් පාසල් ලදැරියක වන්නට සිදුවන්නේ මේ නිසාය.තමා සැබැවින්ම අපක්ෂපාතී නොවන බව හා තමාට එසේ විය නොහැකි බව දැන දැනත් සමන්මලී තමා අපක්ෂපාතී මෙහෙයවන්නියක බව මවා පෙන්වීමට තැත් කරයි.ව්‍යාජ ස්වාධීනත්වයක් මවා පාමින් ඇය කරන්නේද එක්තරා අන්දමක තක්කඩිකමකි.නැති ගුනාංගයක් තිබෙන බව පෙන්වීමට වෑයම් කරමින් රගපෑම කුහකකමක් නොවේ නම් අන් කවරක්ද?සමාජය ඇන්දවීම වෘත්තිය කරගත් දේශපාලකයා වංචනිකයෙක්,කුහකයෙක් සහ දෙබිඩ්ඩෙක් වන්නේ නම් එයම වෙනත් විදිහකින් වෘත්තිමය ලෙස සිදු කරන මේ නෝනාවරුන් හට දිය යුතු නම කවරක්ද?


සජීවි දේශපාලන සංවාද නම් මාධ්‍ය සංදර්ශනය තුල පොරවල් ලෙස පෙනී සිටින අනෙකුත් මහත්වරුන් සම්බන්ධයෙන්ද සත්‍යය මෙයයි.විද්‍යුත් මාධ්‍ය නම් ඉන්ද්‍රජාලය විසින් මහා ප්‍රතිරූප ලෙස ප්‍රක්ෂේපනය කෙරෙන සන්නිවේදක වීරයන් යනු වේතනය වෙනුවෙන් ආත්ම උගස් කල වැටුප් ශ්‍රමිකයන් පිරිසකි.ඔවුන් අතින් නිරුවත් කෙරෙන දේශපාලකයන් තරමටම මොවුන්ද දෙබිඩිය.ආත්මාර්ථයෙන් හා මජරත්වයෙන් අඩු වැඩි වශයෙන් දූෂිතය.එව බලව.මේ යුගය තුල අපට ජීවත් වන්නට නියම වි තිබෙනුයේ සංකීර්න ලෙස වියනු ලැබූ මහා මායාවක් තුලය.


38 comments:

  1. කාලෙකින් කියවපු කට ඇරල හොඳයි කියන්න පුලුවන් ලිපියක්.ඇත්තටම කියනවනම් පට්ටයි!

    ReplyDelete
  2. මාධ්‍ය මගින් බොරු කාඩ්බෝඩ් වීරවරයන් බවට පත් වූ හා පත්වීමට නීයමිත කීප දෙනනෙක් ගේ සැබැ තත්වය නීරාවරනය කෙරී ඇති ලිපියක් ලෙස මයියා මෙය ඉතා අගේ කොට සලකනනවාය...තවද මේ මීඩීයා රුකඩයන් නටවන සැබැ නූල ඇත්තේ කොතැනකදැයි නිරාවරනය කිරීමට දරා ඇති උත්සහයද ප්‍රශOශනීයය.තවද එම රූකඩ නටවන්නගේ සැබැ අරමුන වෙලදපොල ඉලක්ක කරගත් මුදල් බවත් මනාව විස්තර කර ඇත්තේය

    කෙසේ නමුත් ඩිල්කා අරමුනු කර ලියා ඇති සටහනත්, රන්ජන් ගෙන් ඩිල්කාට එල්ල උන තර්ජනයත්, මේ ලිපියත් අතර සම්ඹන්දයක් නැතැයි මයියා ගේ විශ්වාසයයි..

    ReplyDelete
  3. චිරාත් කාලයකට පසුව රාමචන්ද්‍ර ලියූ, හොඳ, එකඟ විය හැකි සටහනක්. ඩිල්කාගේ හැසිරීමට ඇගේ දේශපාලන නොමේරූ භාවයද බලපානවා. කොටින් කිව්වොත් මේ අමු මැට්ටියක්. ඈ සිටින්නේ මේ රටේ 'සාමාන්‍ය ජනතාව' (අර දෙමළ චිත්‍රපට බලලා එයින් දේශපාලනය දකිනවාය කවුද කියූ) සිටින තලයේමයි. ඒ තලයේදී රන්ජන් රාමනායක දූෂිතයකුය යන කාරණාව ඇයට තේරුම් ගන්න පුළුවන්. ඒත් එල්ලාවල මේධානන්ද දූෂිතයකුය යන කාරණාව හමුවේ ගත යුතු ස්ථාවරය ගැන ඇයට වැටහීමක් නැහැ. මොකද ඔහු දූෂිතයකුය යන කාරණාව පිළි ගන්නේ නම් තව දුරටත් ඔහු 'ගෞරවණීය ලොකු හාමුදුරුවන්' කර ගන්නට බැරි නිසා. මේ නිසා ඇයද හන්දියෙ කඩේ සිරිපාල අයියාගේ චින්තනයට අනුගත වෙනවා. මේ දුර්වලතාව ඇය නලින් ද සිල්වා සමඟ කළ සංවාදයේදීත් පෙණුනා. නලින් ද සිල්වාගේ මහප්‍රාණ තර්ක මේ මැට්ටිට ගෝචර වන්නේ නෑ. ඒ හන්දා ඇය ඒවා ප්‍රශ්න නොකරන ස්ථාවරයකට යොමු වෙනවා.

    වරුණි අමුණුගමගේ බලපෑම සේම ඇගේ නොමේරූ කමද ඇගේ හැසිරීම විස්තර කිරීමට යොදා ගත හැකියි.

    ReplyDelete
  4. තාමත් 'ශාකුන්තල මෙතඩ්' දාගෙන කමෙන්ට් පාලනයට රාමචන්ද්‍ර යොදන ක්‍රියා මාර්ග කැතයි. ඇයි අනෙක් අය කමෙන්ට් කරනවාට ඔය තරම් බය?

    ReplyDelete
  5. Dilka was cut to size by Upul Shantha Sannasgala once. She became just a Montessori girl at the program.

    ReplyDelete
  6. කලු පසුබිමේ සුදු අකුරු කියවන එක අමාරුයි මෙතන,පොඩ්ඩක් හිතලා බලන්න වෙනසක්

    ReplyDelete
  7. ඇත්තටම ඉතාම හොඳ ලිපියක්.මගේ හිතෙත් ඩිල්කා සමන්මලීගේ මාධ්‍ය භාවිතය ගැන ප්‍රශ්න ගොඩක් තිබුණා...ඇත්තටම ඒ ඔක්කොම මේ ලිපියට ඇතුළත්......ආයෙත් කියන්න තියෙන්නේ ඉතාම හොඳ ලිපියක් කියල..

    ReplyDelete
  8. මේක සිරාවටම පට්ට ලිපියක්. මහන්සිවෙලා ලියපු සෑහෙන ඇත්තක්. දිල්කාගේ ජංගිය ඉතිරිවෙද්දි අනිත් රෙදි ගැලෙව්වාට ඔබට තෑන්ක්ස්.

    ReplyDelete
  9. බලන් යද්දි ඔක්කෝම එකයි... රාමචන්ද්‍ර හිතන්නේ ඌ පොර කියල ඩිල්කා හිතන්නේ ඒකි කෑල්ල කියල... කමෙන්ට් කරපු අයියල හිතන්නේ උන් පොරවල් කියල...

    කාට හරි බනින්නම තියෙනවනම් උම්බලට උදේට දවල්ට රෑට කෑවත් කමක් නෑ...

    ReplyDelete
  10. This's a shit post....!!!!

    do not use these kind of points to navigate your political purposes....
    totally unfair.!!!

    ReplyDelete
  11. All these heroes are whores.proffesional prostitutes who sell their talents for living!

    ReplyDelete
  12. @ මයියා

    නැහැ රන්ජන්ගේ තර්ජනයයි මේකයි අතර සම්බන්ධයක් නැහැ.රන්ජන් නාගන්න ගොඩක් කාලෙකට උඩ ඉදන් මේ වගේ එකක් ලියන්න අදහසක් තිබුනා

    @ swim ist comment

    ඔවු නලින් ද සිල්වා වැඩසටහන සදහන් වෙන්න ඕනෙ එකක්.ගෝඨාභය රාජපක්ෂ සදහන් වු වැඩසටහනකුත් මතකයි.නාමල්ගෙන් අභියෝගාත්මක දෙයක් නොඅසන කෙනෙක් ගෝඨාභයගෙන් එවැන්නක් විමසාවි කියල අනිත් අතට බලාපොරොත්තු වෙන්නත් බැහැ

    @ swim 2 nd comment

    plz check your e mail inbox.Actually there is no comment moderation here.

    @ ඩී.කේ. [DK]

    මේක shit post එකක් වෙන්නෙ කොහොමද කියල ඔබේ පැත්තෙන් කරුනු ඉදිරිපත් කලා නම් එය වඩා ප්‍රයෝජනවත් වේවි :)

    @ සෙසු සියල්ලන්

    ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම් වලට :)

    ReplyDelete
  13. @ tharanga

    Applied a different template.thank you.

    ReplyDelete
  14. kuru dasapalanaya klth.. prasnaya ounta lankawa pawgalika bumikawak misak dasapalana bumikawak nathi vimai... aka appe pahu giya dawaswala dakka pabacan...

    ReplyDelete
  15. @ Avani;

    දිල්කා, රාමචන්දන් හෝ කොමෙන්ට් දාපු එවුන් පොරවල් කියල ඔයාට පේනවනම් හෝ හිතාගෙන ඉන්නවනම් එ්ක් ඔයාගේ loku අප්සට් එකක්. ඇත්ත කතා කරනවිට පොඩ්ඩක් රිදෙනවනම්, පෝස්ට් එක කියවල ඉවරවුනාම පේස්බුක් ගිහිල්ලා කවුරැහරි එක්ක චැටි එකක් දාල fun එකක් ගන්න. රිද්දගන්න තරම් දෙයක් මෙතන නෑනෙ.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. හොද රචනාවක්, නමුත් පට්ට ගහපු හනමිටි අදහසක්. "සාධාරන අපක්ෂපාතී මාධ්‍යවේදීන්" ඉන්නේ යුතෝපියාවේ, පුළුවන්නම් අපක්ෂපාතී මාධ්‍යවේදීන් ඉන්න රටකින් අබ මිටක් ඉල්ලන් වරෙන්, සෑම මාධ්‍යවේදියෙක්ම ක්‍රියාකරන්නේ තමන්ගේ මාධ්‍ය හිමිකරුවන් තීරනය කරන මතවාදී හා තමන්ගේ මතවාදී සීමා තුලයි.

    අනිත් එක තමයි මේ මහා ලියුම්කරු, අනුන්ට චොදනා කරන වැරැද්ද තමන් විසින්ම කිරීම. දිල්කා පාලනයවෙන්නේ ඇගේ මාධ්‍ය ආයතනයේ හිමිකරුවන් නිර්නය කරන සීමා තුල වගේම මේ ලියුම්කරු ලියන්නේත් තමන්ගේ මතවාදී (Ideological) සීමාතුල පමනක් බව ඔහුවිසින්ම ඔප්පු කරලාතියනවා.


    පාර්ෂීයව තමන්ගේ මාධ්‍ය මෙහෙයවන්නේ රජයට පක්ෂපාතී මාධ්‍ය විතරද? , ලියුම්කරු, සිරසේ මාධ්‍යවේදීන් දෙදෙනෙක් ජනතානියෝජිතයන්වී පසුව පක්ෂ මාරුකිරීම විවේචනය කලාට ඔවුන්ගේ හෝ ඔවුන්ගේ ආයතනයේ රාජ්‍ය විරෝදී, එජාප ගැති පාර්ෂිකත්වය විවේචනය කරන්නේනැහැ. සන්ඩේ ලීඩර් ගැන ලියුම්කරු අහලා නැද්ද? ලීඩර්ගේ කතුවරිය ෆෙඩ්‍රිකා ජෑන්ස්ම කිවවා කතෲ මන්ඩ්ලය ජනාධිපතිවරනයේදී ජනරාල්ට පක්ෂපාතීව සිටීමට, ජනරාල් වෙනුවෙන් ආන්ඩුව දේශපාලන උගුල්වල පටලැවීමට තම මාධ්‍යහරහා ක්‍රියාකිරීමට තීරනය කලා කියලා.

    සදරුවන් සේනාධීරගේ, අපක්ෂපාතීත්වය මොනවගේද? නිලන්ත ඉලoගමුවගේ අපක්ෂපාතීත්වය කොහොමද? ජනාධිපතිවරනය කාලේ අත හැරපු ගල්පැලේන බොරු ගැන මහා ලියුම්කරු කියන්නේ මොකක්ද, ඒවා කියද්දී ඒවාට අභියෝග නොකර කටව්ල් ඇරගෙන අසාසිටි මාධ්‍යවේදීන් ගැන ලියුම්කරු කියන්නේ මොකක්ද?

    මේවා බලන් ඉන්න බැරිතැන වික්ටර් අයිවන් කිව්වා, තමන් යම් චොදනාවක් කරනවානම් එක තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමයි කියලා, එහෙම නැත්තම් මාධ්‍යවේදීන් තම්න්ගේ විශ්වසනීයත්වය පලුදු කරගන්නවා කියලා. ඒකට වික්ටර් අයිවන්වත් විවේචනය කරන්න මාධ්‍යවේදීන් ඉදිරිපත් වුනා.

    මාධ්‍යයේ පාර්ෂිකත්වය පිලිබදව රාජ්‍ය ගැති මාධ්‍යවේදීන් පමනක් විවේචනය කිරීමෙන් (ලියුම් කරු, සිරසේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සoස්කෘතිය විවෙචනය කර නැත, ඔවුන්ගේ පසුකාලීන දෙශපාලන සoස්කෘතිය පමනි ) තමනුත් ක්‍රියාකරන්නේ, තමන්විසින්ම හදාගත් මතවාදී (Ideological) කූඩුවක් තුල පමනක් බව පෙන්වා ඇත. රජයේ මතවාදය තමන්ගේ මතවාදයට විරුද්ද නිසාත්, විපක්ෂයේ මතවාදය තමන්ගේ මතවාදයට ආසන්න නිසාත්, රාජ්‍ය පක්ෂපාතීතවය විවේචනය කර විපක්ෂ පක්ෂපාතීවය නොසලකා හැර ඇත.

    දිල්කා කොටුවක ඉන්න වයින් කරපු බෝනික්කෙක් නම්, මේ මහා ලියුම්කරු මතවාදය (Ideology) කියන කූඩුවේ ඉන්න වදුරෙක්, ඔහුට උඩ පනින්න දගලන්න, කෑගහන්න, වෙන ඕනෑම අසභ්‍ය වදුරු වැඩක් කරන්න නිදහස තියෙන්නේ තමන්විසින්ම ගාල්වේලා ඉන්න මතවාදී කූඩුව තුල පමනයි.

    දිල්කා ගේ ජoගිය ගලවන්න තැත්කරාට ෆෙඩ්‍රිකාගේ ජoගිය නෙමෙයි කොන්ඩ කටුවවත් ගලවලා නැහැ, ඊටත් වඩා තමන් ඉන්නෙත් හෙලුවෙන් කියලා ලියුම්කරුට පේන්නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙතන කතා කරන්නෙ අපක්ෂපාතිත්වය ගැන නෙමේ.. ඩිල්කගෙ බය ගැන.. (ලොකු මිනිස්සුන්ට)

      Delete
  19. @ දේශපාලුවා -

    මෙම ලියුම්කරු තමා අපක්ෂපාතී හෝ සමබර බව කිසිතැනක කියා නැත.ඔහු පැහැදිලිවම මතයක් වෙනුවෙන් පෙනී සිටී.තමුන්ට මතවාදයක් නැත තමුන් අපක්ෂපාතී හා සමබර බවට බොරු මවාපෑමක් අපගේ පාර්ශවයෙන් කිසිවිට සිදුනොවේ.නමුත් ඩිල්කා සහ ( තවත් එවැනි අය )තමා තුල නැති අපක්ෂපාතීත්වයක් මවා පෑමට තැත් කරයි.
    අප ප්‍රශ්න කරන්නේ එයයි.

    ReplyDelete
  20. Where's Buddhk Pathirana's impatanality?

    ReplyDelete
  21. අපේ රජ දරුවන් මහජනතාව තණකොල ආහාරයට ගන්නා බුද්ධිමතුන් යැයි සිතා කරන මාධ්‍ය විජ්ජාවේ තරම විවරනාත්මකව දුටු අගනා ලිපියක්.අවාසනාවකට මේවා නෙත ගැටෙන්නේ නිතර ජනමාධ්‍ය ඇසුරු කරන අපට පමනක් මිස ගමේ දිනමිණ,ITN පමණක් බලන උදවියට නෙවෙයි.

    ReplyDelete
  22. ලිපිය විශිෂ්ටයි...මෙවැනි දැනුවත්කිරීම් අත්‍යාවශ්‍යයි. සත්‍යය නම් වරුණි හෝ මයින්ද හෝ රනිල් හො රන්ජන් හෝ ඔබාමා හෝ කවරෙකු හෝ වේවා... ලංකාවේ පමණක් නොව ලොව කොයිම රටකවත් මාධ්‍යයට ඈඟිලි නොගසන පාලකයන් නැත. ස්වාධීන චැනල් නැත... නිවේදක නිවේදිකාවන් ද නැත.

    ReplyDelete
  23. ඇත්තටම දෙරණ මාධ්‍ය ආයතනයම කරන්නේ අපක්ෂපාතිකම පෙන්නගෙන කඩේ යන එක තමා " අද දෙරණ " ප්‍රවෘත්ති විකාශය උනත් එහෙමයි ඒත් ස්වර්ණවාහිනියෙ මල ඇඩියාවට වඩා නම් හොඳයි

    හැබැයි දිල්කා ඇරුණු කොට ලංකාවේ මම දැකල තියන කිසිම නිවේදිකාවකට ඔය තරමින් වත් දේශපාලන සාකඡාවක් ගෙනියන්න බැ . ඇයට වඩා පුලුල් රාමුව්ක කටයුතු කරන්න ලැබුනා නම් මීට වඩා දක්ෂ කමක් පෙන්වන්න තිබුනා

    @ලෝකෙ හැම මාධ්‍යක්ම පක්ෂපාතයි කියන අයට

    ලෝකෙ හැම මාධ්‍යක්ම යම් මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නව තමා ඒත් මෙහෙ වගෙ හිරිකිත විදිහට කඩේ යන්නේ නැ හැමෝම .

    ReplyDelete
  24. දිල්කා මර්වින්ගේ බඩුව ඇයි දන්නේ නැද්ද?

    ReplyDelete
  25. Wel Said.. Desapaluwa...!!!

    ReplyDelete
  26. Mata oya methana kiyana de point eka therenne na
    Hamoma yam seemawak athule thami inne. E seemawa himin himin loku karanawaa misa eka kadaagena yaama siyathinma gela sinda ganeemak.

    Oya udaharanayak hatiyata daala thiyana naamalge prashnaya gaththoth eeta wada deyak eya ahana eken Dilkage bella gahala yanawata wada deyak wenawada kiyana prashne mata thiyanwa.
    Ona modayekta namal kiyapu dein prashneta uththaraya therenna one

    mama nam wishwaasa karanne oya anshe media wala saahena development ekak thiyanawi kiyana eka. meeta kalin ranjangen ahapu wage prashana ahana eakth taboo welane thibbe.

    Me welawe mahindage adhika balayath ekka podi pasubaamak thibbath lankaawe media wala saahena diyunuwak thiayanwa. Pabage redi galopu ekath saadhaneeya deyak.

    Kawadahari interview waladi lankawe janadhipathithumawath kora wenna prashana ahana yugayakta api yai kiyala mama hithanawa.
    Eth ada ehema kale na kiyala mama media kaarainta baninna yanne nam na.

    ReplyDelete
  27. හොද ලිපියක්, කට හරි පුලුවන් නම් මේක ඔය නිවේදිකාවට කියවන්න දෙන්න,

    රණා

    ReplyDelete
  28. දිල්කා එකම එක දවසක් හොදම
    පරිප්පුවක් ඉල්ලන් කෑවා. මතකද දවස...
    පාක්‍යසෝති සරවනමුත්තු මහත්තයගෙන්.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. මමත් කාලෙක ඉදන් බලාන හිටිය මේ දෙරණෙ කෑල්ලගෙ වැඩ....ඔය කොහෙන් හරි එළියට දාපු ගිරවියක්...ඔහේ කියවනව..නිකම් ගිරවියක් නෙමේ..මැකෝ එකියක්...මොකද උන් කන්නෙ මැටි...කට ඇරියම තේරෙනව...අපේ අල්ලපු ගෙදර ගෑණි වගේ වැට ලගට ඇවිත් එහෙම කොහොමද? ඇයි එහෙම කියන්නෙ? අරකෙ තිබ්බ එක කොහොමද වගේ ඒව ඇහුවට..තග දැම්මට...නියම වැඩ්ඩො ඉස්සරහ නෝනඩි වෙනව කියල....පට්ට පොස්ටුව..(පබාව පට්ට ගැහන්න, මර්වින්ව කොර කරන්න කාටද බං සාක්ෂරතාවයක් ඕනෙ..)

    ReplyDelete
  31. එල.දැනගෙන නොහිට්ස්පු කරුණු කාරණා හුගක් දැනගත්ත.

    ReplyDelete
  32. කවුරුවත් කා ඉස්සරහවත් වීරයො වෙන්ඩ ඕන නෑ.. හුඟක් අය අනිත් අයට පෙන්නන්නෙත් තමන් ළඟ නැති දේවල්.. තමංගෙ යහපත් කම, වීරත්වය තමං ළඟම තබා ගන්ඩ.. ප්‍රතිපත්ති ගරුක වන්න.. තමං තමංගැන සිතා සතුටු වන්න.. අනිත් අය වැරදි කරනව කියල තමං වැරදි කරන්ඩ ඕනෙත් නෑ.. තමං ගත කරපු යහපත් ජීවිතේ ගැන හිතල සතුටු වෙන්ඩ.. තමංට ලැබෙන දේ කවද හරි ලැබෙයි..

    ReplyDelete