Friday, January 29, 2010

රජුට පක්ෂපාතී වන්නනි - සුබ අනාගතයක්!


"සෝමවංශට මරන තර්ජන"
ලංකා ගිනි තබන බවත් කියලා

ආරක්ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජංගම දුරකථනයෙන් ජනතා විමුක්ති පෙරමුනු නායක සෝමවංශ අමරසිංහ මහතාට කතා කර මරනීය තර්ජන කරන ලදැයි ජවිපෙ මන්ත්‍රීවරයෙක් රාවයට පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ බ්‍රහස්පතින්දා ( 28 ) පෙරවරු 9.21 ට පමන ජවිපෙ නායකයාට මෙම දුරකතන පනිවුඩය ලැබුනු බවත්,එහිදී පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාට මරනීය තර්ජන එල්ල කොට ලංකා පුවත්පත් ආයතනය ගිනි තබන බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තර්ජනය කර ඇති බවත්ය.

( 2010 ජනවාරි 31 රාවය )

චන්ද අක්‍රමිකතා ගැන ප්‍රශ්න ඇසූ විදෙස් මාධ්‍යවේදිනිය පිටුවහල්
(w 3 ලංකා )

CID ය ලංකා කාර්යාලය වටලයි
( ලංකාටෲත් වෙබ් අඩවිය )

Lanka news paper editor arrested
( daily mirror online )

ඊ නිවුස් සීල් තියයි
( ලංකාටෲත් වෙබ් අඩවිය )

හිතන්න නිදහස ලියන්න කියන්න නිදහස
බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුදදෙමු අපි ස්වෛරි සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල


- සුනිල් ආරියරත්න

Wednesday, January 27, 2010

ජනාධිපතිවරනය අවසානය.නමුත් හැමදේම අවසානද?


question - What is your message for the Tamil speaking people?
president Rajapaksha- For those who speak Tamil ..(I say..) , now I too speak Tamil.
So there is no problem at all.

- Lakbima news 2010.01.25


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරනයෙන් විශාල වැඩි චන්ද සංඛ්‍යාවක් සහිතව ජයග්‍රහනය කොට තිබේ.57%ට ආසන්න මෙම ප්‍රතිශතය දෙවැනි වන්නේ චන්ද්‍රිකා බන්ඩාරනායක 94 දී ලබාගත් ජයග්‍රහනයට පමනි.කවරෙක් කැමති වුවත් අකමැති වුවත් බහුතරයක් ජනයා රාජපක්ෂ රෙජිමය අනුමත කොට තිබෙන බව ප්‍රතිඵල විසින් හෙලිදරවු කරන යථාර්තයයි.
විය යුතු පරිදිම රතිඤ්ඥා හඩවල් අවට ගිගුම් දීම ආරම්භ වී ඇති අතර ආන්ඩුවේ මැති ඇමතිවරුන් ජය සැමරුම් කතා කීම ජයටම සිදුවෙමින් පවතී.රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටි බ්ලොග්කරුවන් ප්‍රීති සිනා නගමින් සතුටු වන අතර විවිධ ස්ථාවර මත සිටිමින් එය විවේචනය කල බ්ලොග්කරුවන් කලකිරුනු හා මන්දෝත්සාහී වූ බ්ලොග් සටහන් පලකරමින් සිටියි.මහා සමාජයේ ආන්ඩු පාක්ෂිකයන් විපක්ෂයේ අයට කොචොක් කරමින් සිටියි.විපක්ෂයේ ඇතැමුන් අන්තිම මොහොතේ හෝ මැතිවරන කොමසාරිස් ප්‍රතිඵල අවලංගු කරනු ඇත යන විශ්වාසයෙන් විවිධ කටකතා ආදිය ගැන පවා අවදියෙන් කෙසේ හෝ අස්වැසිල්ලක් ලබාගැනීමේ ආසාවෙන් පසුවූහ.
මේ ආකාරයට සෑම අතින්ම පෙනෙන්නට තිබෙන සංඛ්‍යා ලේඛනය.සිනා හඩවල්ය.කදුලුය.සුසුම්ය.

ලංකාව "ප්‍රජාතන්ත්‍රවාදී" රටකි.කවර හෝ අඩු ලුහුඩුකම් මධ්‍යයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ ලක්ෂන ලංකාව තුල ආරක්ෂා වී තිබුන අතර දකුනු ආසියාව තුල මේ නිසා එම අර්ථයෙන් ලංකාව කැපී පෙනෙන රටක් වී පැවතින.
කෙසේ වෙතත් ඉතිහාසයේ - විශේෂයෙන් 80 දශකයෙන් පසු රට තුල විශාල හැල හැප්පීම් සිදු වීමේ ප්‍රතිඵලයක් විදිහට මෙම අවම ප්‍රජාතාන්ත්‍රික ලක්ෂන යට යාම ආරම්භ විය.තනි පුද්ගලයෙක් අත අසීමිත බලයක් ගොනු කරන විධායක ජනාධිපති ධූරය මීට බලපෑ ප්‍රබල හේතුවක් වූ අතර ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහෝසි කෙරෙන මර්ධන නීති වන හදිසි නීතිය වැනි අන පනත් පැනවීමට අවශ්‍ය පසුබිම රට තුල තිබුනු යුදමය වාතාවරනය විසින් සම්පාදනය කොට දුන්නේය.

කෙසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම් වලට කොහොමත් අහිතිකර ලෙස තිබුනු ලංකාවේ දේශපාලන පරිසරය තවත් නරක අතට හැරෙන්නට ගන්නේ 2005න් පසුවය.
"තව වසර 70ක් මෙරට පාලනය කරන්නේ රාජපක්ෂවරුන්" යැයි චමල් රාජපක්ෂ කලා යැයි කියන ප්‍රකාශය 2005 න් පසු ඇති වූ ගුනාත්මක වෙනස හකුලුවා දක්වයි.
ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සතු විය යුතු තැන පවුලක නාමය හරහා විස්ථාපනය කර දමන ලද අතර 77 න් පසු මේ තරම් උත්සන්න පවුල්වාදයක් ලංකාව අත් දුටුවේම නැත.17 වෙනි සංශෝධනය වැනි රටේ මූලික නීති වලට පයින් ගසා හිතුවක්කාර ලෙස පාලනය ගෙන යාමට 2005 න් පසු පාලකයන් කටයුතු කල අතර මේ සදහා ඔවුන් ලද කදිම ආවරනය වූයේ යුද ජය පිලිබද කීර්ති රාවයයි.2010 හදිසි ජනාධිපතිරවනයක් කඩ පාත් වන්නේ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා වර්තමාන පාලකයා යන ගමනේ එක් සංධිස්ථානයක් ලෙසය.

යුදමය පරිසරයක් තුල හකුලා දැමූ ප්‍රජාතාන්ත්‍රික අවකාශය දිගටම හකුලා තබනවාද යන්න මේ මොහොතේ සමාජය ඉදිරියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයකි.
2010 ජනාධිපතිවරනයේදී පාර්ශවයන් කදවුරු බෙදුනේ ඇත්තටම මේ පදනම මතය.එක් පාර්ශවයක් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම 17 වෙනි සංශෝධනය හා මාධ්‍ය නිදහස වැනි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරනයන් යෝජනා කල අතර අනෙත් පාර්ශවය 17 වෙනි සංශෝධනය අනවශ්‍ය එකක් බවත්,විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාව බටහිර කුමන්ත්‍රනයක් බවත්,අසංවර මාධ්‍ය "මෙල්ල" කල යුතු බවත් පවසමින් සටන තුල කටයුතු කලේය.
අවසානයේ සංඛ්‍යාත්මක ජය ලබා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයන් අනවශ්‍ය බව තර්ක කල පාලක කන්ඩායමයි.
මේ කාරනා උඩ කල්පනා කරන විට චන්දය දිනා තිබෙන පාර්ශවයට පශ්චාත් යුද සමාජයකට අත්‍යවශ්‍යව පවතින ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් වලට අවම වශයෙන් හෝ යොමුවීමේ කිසිදු සූදානමක් නොමැති බව උපකල්පනය කිරීම සාධාරනය.
( මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෙ නැහැ ඕනෙ කරන්නෙ කන්න අදින්න යැයි අදහසක් රජයේ ඇමතිවරුන් මීට පෙර මතුකොට ඇත.බදුල්ලේ රැස්වීමක කතා කල නිමල් සිරිපාල ඇමති කීවේ " තමුන්නාන්සෙලාට විධායක ජනාධිපතිකම 17 වෙනි සංශෝධනෙන් වැඩක් තියෙනවද?තමුන්නාන්සෙලාට ඕනෙ සංවර්ධනය" යන්නයි.
බාල ඖෂධ ගෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස රෝගීන් තිදෙනෙක් මිය ගොස් තිබියදීත්,තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකර තිබියදීත් මහජන මුදලින් පඩි ගන්නත්,එසේ පඩි ගනිමින් සැප විදින අතරේ "තමුන්නාන්සෙලාට ප්‍රජාතන්ත්‍රවාදයක් මොකටද" යැයි ලොකු ටෝක් දීමටත් නිමල් සිරිපාල වැනි ඇමතිලාට ඉඩ ලැබී තිබෙන්නේම ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ නැති නිසාය.ප්‍රජාතන්ත්‍රවාදයට - පුරවැසියාගේ හඩට - සමාජයේ ඉඩක් තිබේ නම් දේශපාලකයන් හා නිලධාරින් කිහිප දෙනෙක් කෝලම් නටන මඩුවක් වෙනවාට වඩා විධිමත් එකක් ලෙස සමාජය පවතිනු ඇත.)

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන වලට අමතරව පශ්චාත් යුදකාලීන සමාජයක් විදිහට අත්‍යවශ්‍ය අනිත් සාධකය නම් වාර්ගික ආතතීන් සමනය කරන යම්කිසි ප්‍රවේශයකි.
යුද කාලය තුල සමාජය වාර්ගික වශයෙන් දරුනු ලෙස ධ්‍රැවීකරනය වූ අතර සත්‍යය නම් දෙමල ජනයාට මේ මොහොතේදීත් පවතින රාජ්‍යය "තමන්ගේ" රාජ්‍යයක් ලෙස නොහැගෙන බවයි.
සුලු වාර්ගික ජනතාව දිනා ගන්නා,ඔවුන්ව දේශපාලන සමාජ ජීවිතයේ මහා ප්‍රවාහය තුලට අවශෝෂනය කරගන්නා,ජනවාර්ගික කොටස් අතර ඇති බිය සැක අවිශ්වාසය සංසිදුවාලන ප්‍රවේශයක් මේ මොහොතේ මේ සමාජයට අත්‍යවශයය.

නමුත් අවාසනාවකට මෙන් මෙම චන්දයේ ප්‍රතිඵලයත්,රාජපක්ෂ පාලනයේ හැසිරීමත් පෙන්නුම් කරන්නේ මොනවාද?
උතුරු නැගෙනහිර සෑම ආසනයක්ම මහින්ද රාජපක්ෂ විශාල චන්ද සංඛ්‍යාවකින් පරාජය වී තිබෙන අතර රාජපක්ෂට සුලුතර වාර්ගික කොටස් වල කිසිදු විශ්වාසයක් නොමැති බව මින් මනාව සනාථ වී තිබේ.මේ අවිශ්වාසය නිකම් ඇතිවූවක් නොවේ.මේ අවිශ්වාසය ඇති වුනේ රාජපක්ෂගේම හැසිරීම හරහාය.
අ) අවතැන් ජනයාහට සැලකූ අන්තිම පහත් ආකාරය
ආ)සන්නද්ධ කන්ඩායම් පෝෂනය කරමින් රජය උතුරු නැගෙනහිර ගෙන යන ක්‍රියා කලාපය
ඇ)යුද්ධයෙන් පසුව පවා දෙමල සමාජයේ මානුෂික ගැටලු ( අධි ආරක්ෂිත කලාප ප්‍රශ්නය,දෙමල සැකකරුවන් පිලිබද ප්‍රශ්නය ) කෙරේ ආන්ඩුව දැක්වූ අසංවේදී ආකල්පය
ඈ)තම වරදාන වලට නොනැමෙන මධ්‍යස්ථ දෙමල නායකයන් පවා කොටි ලෙස වර්ග කරමින් ගෙන ගිය බැහැර කිරිම් වාදී ආකල්පය ආදිය විසින් රාජපක්ෂ දෙමල සමාජයෙන් ඈත් කරන ලදී.
සිංහල දෙමල කොටස් අතර සමගිය කෙසේ වෙතත් මැතිවරන සමයේ වාර්ගික සැකය අවුලමින් රාජපක්ෂ රජය ක්‍රියා කල ආකාරය අන්තිම අගතිගාමී බවට සැකයක් නැත.ජාතික අපේක්ෂකයන් අතරින් කෙනෙක්ට සහය දීමට දෙමල සන්ධානය ගත් සාධනීය තීරනය සාදරයෙන් පිලිගන්නවා වෙනුවට ඔවුන් ගැන සැක උපදවමින්,සිංහල ජනයාගේ හැගීම් කුපිත කරවමින්,අධි ආරක්ෂිත කලාප ආදිය පිලිබද ඔවුනගේ මානුෂීය ඉල්ලීම් ගැන ඉතා පහත් ලෙස දකුනේ සමාජය තුල කුකුසක්,තරහවක් මතුකරවමින් රාජපක්ෂ ආන්ඩුව ක්‍රියා කල ආකාරයෙන් වාර්ගික සංහිදියාව ඇතිකිරීම සදහා මේ ආන්ඩුවට ඇති "කැපවීම" පිලිබද "හොද අවබෝධයක්" ඕනෑම කෙනෙක්ට ලබා ගත හැක.

පශ්චාත් යුද තත්වය විසින් මේ රටේ දේශපාලනයේ අලුත් වීමක් ඉල්ලා සිටී.ප්‍රජාතන්ත්‍රවාදය හා වාර්ගික සංහිදියාව ඒ "අලුත් වීම" තුල අනිවාර්යයෙන් පැවතිය යුතු අවශ්‍යතාවයන්ය.
ඒ අලුත් වීම ලබා දීමට රාජපක්ෂ ආන්ඩුවට හැකිද?
පෙනෙන්නට තිබෙන සියලු සාධක විසින් පෙන්නුම කරන්නේ පරන භාෂාවම,පරන ක්‍රියාකාරිත්වයම ගෙනයනවා මිස අලුත් තත්වය විසින් ඉල්ලන අලුත් වීම සදහා සූදානමක් රාජපක්ෂ ආන්ඩුවට නැති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයත්,වාර්ගික සංහිදියාවේ මාවත වෙනුවට වාර්ගික සැකය මත පදනම්ව දේශපාලන බලය ඩැහැ ගැනීමේ මාවතත් රාජපක්ෂ දේශපාලනය විසින් නියෝජනය කරයි.රාජපක්ෂ පාලනය Expired යැයි අපි මැතිවරනයට සතියකට පෙර ලීවෙමු.
දේශපාලනිකව එය මේ මොහොතටත් වලංගුය.නව දේශපාලන පරිසරයට අනුව වෙනස් වීමට රාජපක්ෂට නොහැකි වීම විසින් දේශපාලනිකව මේ සමාජයට ඉදිරියේදී වාතයක් වන්නට නියමිත,යල් පිනූ අධිකාරියක් බවට ඔහුගේ පාලනය පත්ව තිබේ.මැතිවරනයෙන් ලද සංඛ්‍යාත්මක ජය හරහා මේ කාරනය යටපත් කල නොහැකි අතර ඇත්ත වශයෙන්ම මේ ජයග්‍රහනය සංඛ්‍යාත්මක ජයග්‍රහනයක් වූවාට ගුනාත්මක පරාජයකි!

රාජපක්ෂ ඉදිරියේ රට දියුනු කරතැයි සිතන්නන්ට,ඇමති මන්ඩලය 20ට බස්සවා,මර්වින්ව පන්නලා,දූෂනය අතු ගා දමා,රට එක කොඩියක් යටතේ හැටට හැටේ නග්ගලා ගනිතැයි මේ මොහොතේ සිහින දකින සද්ගුනවන්තයින්ට අපි බාධා නොකරමු.සිහින හරිම චමත්කාරයි.රජවරු කුමාරවරු ගැන දකින හීන වැඩියෙන් චමත්කාරයි.
ඒත් අපි දන්නා තරමට නම් උපෙක්ෂා ස්වර්නමාලිගේ විරුද්ධ අදහසවත් දරා ගත නොහැකි මනෝභාවයක් සහිත අයෙක්ට රටට ලබා දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන වලින් තොරව ස්ථාපිත කල හැකි යහපාලනයක් නැත.
යහපාලනයක් නොමැතිව තුරන් කල හැකි දූෂනයක් නැත.
තමන් ටෙලිප්‍රොම්ප්ටරයෙන් දෙමල කතා කරන නිසා දෙමල ජනතාවට "ප්‍රශ්නයක් නැතැයි" සිතා ඉන්නා පාලනයකින් ගොඩනැගෙන වාර්ගික සංහිදියාවක්ද නැති අතර පත්තු වන රතිඥ්ඥා ,බුබුලු දමන ජයපැන්,ඇමතිවරුනගේ පඩි වදන් ආදී මතුපිට සැරසිලි පිසදා බැලූ විට අමුවෙන්ම පෙනෙන්නට තිබෙන ඇත්ත පින්තූරය එය මිස අනෙකක් නොවේ.

Friday, January 15, 2010

රාජපක්ෂ පාලනය - EXPIRED!


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික "සමාජවාදී" ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරනයට තව ඇත්තේ සතියකට ආසන්න කාලයක් පමනයි.හවසට වැඩ ඇරිලා ඇවිල්ලා මුහුන කට හෝදගෙන රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී රාත්‍රී ආහාරය සමග ගන්නා අතුරු පසක් විදිහට දේශපාලනය සලකන සරල භාවිතාව වෙනුවට හැදෑරිය යුතු විෂයක් වශයෙන් දේශපාලනය ගන්න අයට වටිනා පාඩම් කිහිපයක් පසුගිය මාස කිහිපයක දේශපාලන චලනයන් විසින් ලබා දී තිබෙනවා.
ඉන් වැදගත්ම පාඩම දේශපාලනයේ ගතිකත්වය පිලිබද පාඩමයි.

මාස කිහිපයකට පෙර කොටි සංවිධානය මිලිටරිමය ලෙස පරාජය කිරීම සමග මහින්ද රාජපක්ෂ පාලනය එහි පැවැත්මේ උපරිම ලක්ෂ්‍යයට සේන්දු වෙනවා.එම ජයග්‍රහනය සමග මහින්ද රාජපක්ෂ අනබිබවනීය නායකයෙක් ලෙස ප්‍රතිරූපගත කෙරෙන අතර "ඔබතුමා වසර තිහක් මේ රටේ රජතුමා විය යුතු"යැයි පැවසෙන්නේ මහනායක හාමුදුරුවන්ගේ මුවෙන්.

2009 මැයි මස 19 වෙනිදා දක්වා රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය බවට පත්වී තිබුනේ එක්තරා අන්දමක ජාතිකවාදී ව්‍යාපෘතියක්.මේ ජාතිකවාදී ව්‍යාපෘතිය (මීට මාස කිහිපයකට පෙර මෙම බ්ලොග් අඩවිය තුලම පෙන්වා දුන් ලෙස) ප්‍රබුද්ධ ලාංකීය ජාතිකවාදී ව්‍යාපෘතියක් වෙනවා වෙනුවට ගොඩනැගිලා තිබුනේ සිංහලවාදී හා නොගැඹුරු ව්‍යාපාතියක් විදිහටයි.මේ ව්‍යාපෘතිය සමාජයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ආමන්ත්‍රනය කරන විදිහට ඇතුලට නැඹුරු වීමක් හා සිංහල නොවන ජනකොටස් එකතු කරගන්නා ආකාරයට පිටට නෙරා යාමක් සිදුවිය යුතු බවටත් අදහස් පලවුනා.කොහොම වුනත් ඒ විදිහේ වෙනසක් රාජපක්ෂ පාලනයේ ව්‍යාපෘතිය තුල සිදුනොවුනු අතර 2009 මැයි මස 19 වන දාට පසුවත් දිගටම ක්‍රියාත්මක වුනේ රාජපක්ෂගේ පැරනි ව්‍යාපෘතියමයි.

කොටි සංවිධානයේ පරාජය විසින් ලංකාවේ දේශපාලනයේ විශාල සන්දර්භමය වෙනසක් ඇතිකලා.සිවිල් යුද්ධය විසින් යටපත් කොට තිබුනු විවිධ ප්‍රශ්න සමාජය ඉදිරියේ මතුවෙන්නට පටන් ගත් අතර සිවිල් යුද්ධයේ ප්‍රතිඵල විදිහට පැන නැගුන අවතැන් වූවන්ගේ ප්‍රශ්නය වැනි මානුෂීය ගැටලු රාශියකුත් සමාජය තුල පැන නැගුනා.
කොටින්ම යුද්ධකාලීන ලාංකීය දේශපාලන සන්දර්භය හා පශ්චාත් යුදකාලීන ලාංකීය දේශපාලන සන්දර්භය එකක් නෙමෙයි දෙකක්.
මේ විදිහට අලුතින් නිර්මානය වුනු දේශපාලන සන්දර්භය විසින් සියලු දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටියේ ඇත්ත වශයෙන්ම අලුත් තත්වයන්ට ගැලපෙන අලුත් දේශපාලන භාවිතාවක්.අලුත් දේශපාලන භාෂාවක්.
උදාහරනයක් විදිහට යුද්ධය නිසා යටපත් කරලා තිබුන රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය උඩට එනකොට ඒ සදහා සංවේදි වෙනවා වෙනුවට පැරනි විදිහට කුමන්ත්‍රන කතා කියමින් ඒවා යටගැහීම මේ අලුත් තත්වයට ගැලපෙන්නේ නැහැ.සහල් මිල පිලිබද කාලාන්තරයක් තිස්සේ තිබෙන ප්‍රශ්නය පසුගිය කාලයේ හිස ඔසවනු අපි දුටුවා.මේ ප්‍රශ්නයේ ඇත්ත හේතුව ලංකාවේ කෘෂි ආර්ථිකයේ බෙදාහැරීමේ යාන්ත්‍රනය හා නිෂ්පාදනය සම්බන්ධ ව්‍යුහාත්මක ප්‍රශ්නයක්.මේ ප්‍රශ්නයට ආමන්ත්‍රනය කරනවා වෙනුවට රාජපක්ෂ ආන්ඩුව මේ ප්‍රශ්නය විග්‍රහ කලේ "ආන්ඩුව අපහසුතාවයට පත්කරන විජාතික කුමන්ත්‍රනයක්" විදිහටයි.
යුද්ධයට පසු සමාජයට ඇවැසිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේ භාවිතාවක් ආන්ඩුව වෙතින් පෙනුනේ නැහැ.යුද්ධයෙන් මාස ගනනක් ගතවුනු පසුවත් වීදි දිග අවි අමෝරා ගත් සොල්දාදුවන් සහ චෙක් පොයින්ට් දකින්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට.හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි මර්ධනකාරී අනපනත් තවමත් වලංගුව පවතින්නේ එහි ප්‍රතිඵලයක් විදිහට.

අලුත් දේශපාලන පරිසරයට ගැලපෙන නව භාවිතාවක් හදාගැනීමට ආන්ඩුව අසමත් වීමත් දිගින් දිගටම තමන්ගේ පැරනි නොගැඹුරු ජාතිකවාදී වචන උච්චාරනය කිරීමේත් ප්‍රතිඵලයක් විදිහට වේගයෙන් ආන්ඩුව ගමන් කලේ අධිපතිවාදී ආඥාදායකත්වයක් වෙතටයි.සමාජයේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කතාකරන විදිහට ඇතුලට නොනැමී හුදු සටන් පාඨවලට සීමා වුන නොගැඹුරු ජාතිකවාදයන් නොවැලැක්විය හැකි විදිහට ආඥාදායකත්වයන් වෙත නැඹුරු වෙන බවට ලෝක ඉතිහාසයේ අපමන උදාහරන හමුවෙනවා.
විශේෂයෙන්ම අප්‍රිකානු රටවල් ගනනාවක මෑතකාලීන ඉතිහාසයන් මේ සම්බන්ධ පරමාදර්ශී ( ideal) නියැදීන් ලෙස ගත හැකියි.
නිදසුනක් විදිහට සිම්බාබ්වේහි මුගාබේ ගතහොත් සුදු යටත්විජිතවාදයට විරුද්ධව සටන් කිරීමේදී ඔහු අතින් වර නැගුනු ජාතිකවාදය සමාජය යම් අරමුනකට එකතු කිරීමේදී විශාල වැඩකොටසක් ඉටු කරනු ලැබුවා.
කෙසේ නමුත් යටත්විජිතවාදය කියන තර්ජනය ඉවත්වුනු පසුවත් මුගාබේ සිය පැරනි ව්‍යාපෘතියම දිගටම පවත්වාගෙන ගිය අතර සමාජයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට සංවේදී වුනු යාන්ත්‍රනයක් නිර්මානය කර ගැනීමට උත්සාහයක් සිදුවුනේ නැහැ.රටට නිදහස දුන් වීර නායකයා ලෙස මුගාබේව වර නැගුනු අතර මුගාබේට එරෙහි සෑම ක්‍රියාවක්ම රටේ අසහාය නායකයාට ද්‍රෝහී වෙන,එනයින් රටට ද්‍රෝහී වෙන ක්‍රියාවක් විදිහට හංවඩු ගැසුනා.පාලකයා වටේ සුපිරි නිලධාරී හා දේශපාලන තන්ත්‍රයක් ගොඩනැගුනු අතර මේ දේශපාලන තන්ත්‍රයේ සුඛ විහරනය ආරක්ෂා කෙරෙන තිරයක් බවට ජාතිකවාදී ව්‍යාපාතිය පත් වුනා.අවසාන ප්‍රතිඵලය වුනේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි,සමාජ අර්බුද වලින් බැටකන ජනතාවක් බවට සාමාන්‍ය සමාජයේ ජනයා පත්වීමත් ඔවුන්ගේ දුක් මතින් වැජඹෙන පීඩකයන් සමූහයක් බවට සිම්බාබ්වේ පාලකයන් තහවුරු කරන දෘෂ්ටිවාදයක් බවටත් සිම්බාබ්වේ ජාතිකවාදය පත්වීමයි.

මහින්ද රාජපක්ෂ පාලනය වේගයෙන් ගමන් කරමින් තිබුනේ/තිබෙන්නේ එබදු ඒකාධිපති අන්තයක් කරා බව පැහැදිලියි.සුපිරි ඥාති හා නිලධර හවුලක් වටේ රාජ්‍ය බලය සංකේන්ද්‍රනය වීම,සමාජ ප්‍රශ්න ගැන කතාකරන වෘත්තිය සමිති නායකයන් කුමන්ත්‍රනකාරයන් විදිහට හංවඩු ගැසීම,මානව හිමිකම් ක්‍රියාධරයන්ට තර්ජන එල්ල විම,මානව හිමිකම් යනු "බටහිර දෙයක්" ලෙස ලේබල් කොට බැහැර කිරීම - මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ රාජපක්ෂ ආන්ඩුව ගමන් කරමින් තිබෙන අධිකාරිවාදී ආඥාදායක දිශානතියයි.වෙනෙකක් තබා අවුරුදු 30 ක් රජවිය යුතු යැයි මාස කිහිපයකට පෙර ආශිර්වාද කල මහානායක හිමියන් මේ වනවිට විරුද්ධ වාදීන්ට හිරිහැර කිරීම නවතන ලෙස ඉල්ලා ජනාධිපතිට ලියුම් ලියන තත්වයක් උද්ගත වී තිබෙනවා.
අලුත් දේශපාලන තත්වයන් විසින් ඉල්ලා සිටින අලුත් ප්‍රවේශයක් නොමැති වීම නිසා අවසානයේ මුගාබේ පන්නයේ ඒකාධිපතියෙක් වනවා හැර මහින්ද රාජපක්ෂට වෙන විකල්පයක් ඉතිරි වී නැහැ.

දැන් සමාජය ඉදිරියේ තිබෙන මූලිකම අභියෝගය නම් පබා වැනි දේශපාලනකිව ඉතාම නොවැදගත් කෙනෙකුටත් කතා කිරීමේ අයිතිය බැහැර කරන,ජාතිකවාදය සිය මජර පැවැත්ම සාධාරනීකරනය කරගැනීම සදහා ගනිකා වාත්තියේ යොදවන ආඥාදායක පාලනය නැමැති විලංගුව පුපුරවා දැමීමයි.
අලුත් තත්වයන්ට අනුරූපීව අලුත් වීමට නොහැකි නිසා රාජපක්ෂ පාලනය යල්පැන ගිය පාලනයක් බවට පත්ව තිබෙන බව පැහැදිලියි.
යල් පිනූ දේ ඉවතලමින් ඉදිරියට යාමට සමාජයකට හැකි විය යුතුයි.දේශපාලනයේ පලමු පාඩම නම් දේශපාලනය යනු ස්ථිතික වූවක් නොව ගතික හා නිරත්නර චලනයේ යෙදෙන එකක් බවයි.සමාජය හැමවෙලාවකම නිදහස පතා චලනයේ යෙදෙන බවට ප්‍රගතිය පිලිබද මිනිස් ඉතිහාසය අපට පෙන්වා දෙනවා.
නිදහස සොයා චලනය වන වර්තමාන ලාංකීය දේශපාලනය ඊට අඩ තබන රාජපක්ෂ පාලනය නැමැති විලංගුව පුපුරුවා දැමීම මේ අනුව නුදුරු අනාගතයේදී දකින්නට ලැබෙන අනිවාර්යයක්.
එය මේ ජනාධිපතිවරනයේදී සිදු නොවුවහොත් ඉනික්බිතව එලඹෙන ඊලග වසර දෙක තුන තුල අනිවාර්යයෙන්ම සිදු වේ යැයි උපකල්පනය කල හැකියි.
මේ අවස්ථාවන් දෙකෙහි වෙනස වන්නේ ජනාධිපතිවරනයේදී එය සිදුවුවහොත් එය අත්‍යන්තයෙන්ම සාමකාමී බල හුවමාරුවක් වීමයි.
ජනාධිපතිවරනයට පසු එය සිදු කිරීමට ගියහොත් එම ජයග්‍රහනය ලබාගැනීමට පිලිපිනයේ මාකෝස්ට එරෙහි නැගිටීම බදු "ඇග රිදෙන වන්දියක්" ගෙවීමට සමාජයට සිදු වනු ඇති.


එම නිසා
ජීවත් වුනත්
මිය ගියත්
මම වාසනාවන්ත මැස්සෙක්මි
- ඇට මැස්සා