Saturday, March 27, 2010

තාරකාවන්ගේ දේශපාලන ආගමනය



වෙනෙකක් තබා දැන් උපේක්ෂා ස්වර්නමාලිද මැතිවරනයට ඉදිරිපත් වෙලා තියෙනවා.සමගිපුර පබා අක්කී මේ අනුව දේශපාලන අඹරට පෑයූ අලුත්ම තාරකාවයි.
අනර්කලී ආකර්ශා හෝ වේවා,ගීතා කුමාරසිංහ හෝ වේවා,සනත් ජයසූරිය හෝ සුසන්තිකා ජයසිංහ හෝ වේවා දේශපාලන ක්ෂේත්‍රයට "තරු" පෑයීම දැන් විලාසිතාවක් විදිහට නැගී ගෙන එන ස්වභාවයකුයි පවතින්නේ.දේශපාලනයට ඒ යැයි සිහිනෙනුදු නොසිතූ උපේක්ෂා ස්වර්නමාලි,අනර්කලී ආකර්ශා වැනි ඉතාම තරුන චරිත ( මේ අයට කලා ක්ෂේත්‍රය තුල දිගු ගමනක් තිබියදී පවා ) චන්දය ඉල්ලන තත්වයක් දක්වා මේ විලාසිතාව දිග්ගැස්සී තිබෙනවා.
කෙසේ වෙතත් අතීතියේදීත් ලංකාවේ "තරු" දේශපාලනය කොට තිබෙනවා.විජය කුමාරතුංග,ගාමිනි ෆොන්සේකා වැනි අය ඊට උදාහරන.නමුත් මේවා කේවල උදාහරන පමනක් වන අතර වර්තමානයේදී අපි නිරීක්ෂනය කරන්නේ තාරකාවන් යැයි හදුන්වන ජනප්‍රිය චරිත ‍දේශපාලනයට ප්‍රවේශ වීමේ විලාසිතාමය රැල්ලක්.මේ "රැල්ල" පිලිබද කදිම නිදසුනක් විදිහට සනත් ජයසූරියගේ ‍දේශපාලන ආගමනය නැමැති හාස්‍යජනක රංගනය හදුන්වාදෙන්න පුලුවන්.මාතර දිස්ත්‍රික්කයට "සේවය"කිරීම සදහා කුලුදුලේ මැතිවරනයට තරග කරන ගමන්,මැතිවරනයට මාසයක් වත් නොතිබියදී ජයසූරිය නැමැති මන්ත්‍රී අපේක්ෂකයා ඉන්දියාවේ අයි පී එල් තරගාවලියට ක්‍රිකට් ගහනවා.ඔහුට දේශපාලනය යනු ද්වීතිය දෙයක් බවත් ප්‍රධාන දේ වෙනෙකක් බවත් එතනින් මනාව ගම්‍ය වෙනවා.ඒ කියන්නෙ ඔහුට දේශපාලනය කියන්නෙ "සීරියස්" දෙයක් නොවෙයි.තමන්ගේ ජොබ් එක කරගෙන කීයක් හරි හොයාගන්න ගමන් බයිට් එකට කරන සයිඩ් ජොබ් එකක් පමනයි.

දේශපාලනය තාරකාකරනය වීම තරු දේශපාලනයට පිවිසීමට සීමා වුන එකක් නෙමෙයි.දේශපාලනය තුල සිටින චරිත "තරු" හා රංගන විශේෂඥයන් බවට රූපාන්තරනය වීමත් මීට සමගාමීව සිදුවෙනවා.
ආසන්නම කදිම නිදසුන විමල් වීරවංශ නැමැති දේශපාලන තාරකාවයි.විමල් වීරවංශ යනු පැහැදිලිවම මේ මොහොත තුල මාධ්‍යමය ගොඩනැංවීමක්.මාධ්‍යමය පෞරුෂයන් සහ භෞතිකමය දේශපාලන පෞරුෂයන් අතර හරයාත්මක වෙනසක් තියෙනවා.වීරවංශ වූ කලී මවුබිමේ පංචායුදය යැයි සද්භාවයෙන් විශ්වාස කරන සැලකිය යුතු පිරිසක් සමාජයේ ජීවත් වන බව තේරුම් ගැනීම වැදගත්.
දැන් වීරවංශ මවුබිමේ පංචායුදය වුනේ කොහොමද?
වීරවංශ "මවුබිම බේරාගැනීමේ"සටන යැයි කියන සටනේ ක්‍රියාන්විතයේ පස්වත් නොපෑගූ බව ඕනෙම අයෙක් දන්න කරුනක්.භෞතික තලයේදී පහල නිලයක් දරන සොල්දාදුවෙක් කල තරම් දෙයක් හෝ කොටි සංවිධානය සමග යුද වැදීමේදී විමල් වීරවංශ අතින් සිදුවුනේ නැහැ.එතනදී ඇත්තටම කරුනා අම්මාන් වීරවංශට වඩා ඉදිරියෙන් සිටිනවා.
(මේ අනුව භෞතිකමය අර්ථයකින් මවුබිමේ පංචායුදය කියල කිව යුත්තේ කරුනා අම්මාන්ටයි!)
භෞතිකව අබැටක දෙයක් නොකලාට වීරවංශ කොටි විරෝධී පංචායුදය බවට පත්වන්නේ මාධ්‍ය අවකාශය තුලදී.සිය ශූර කථිකත්වය යොදගෙන තුලාව හෝ එවැනි වෙනත් වැඩසටහන් තුල හේ "ශිල්ප"දක්වන අතර හේ "චරිතයක්" බවට පත්වන්නේ වාචික අභිනය,ආංගික අභිනය ඈ විවිද අභිනයන් යොදාගෙන කරන මෙම මාධ්‍යමය රංගනය හරහායි.
පසුගිය ජනාධිපතිවරනය තුලත් මීටම සමාන අත්දැකීම් ගනනාවක් අප අත් දුටුවා.කුඩා පාසල් දරුවන් වඩාගෙන ඔවුන් කිතිකවමින් මහින්ද "මාමා" ලොකු ඇක්ටිං පාරක් දෙන අතර පොඩි ලමයි දෙන්නෙක්ගේ සන්ඩු බේරමින් රූපවාහිනිය ඉදිරියේ රංගන අභ්‍යාසයක යෙදී මහින්ද මාමාට චැලෙන්ජ් එකක් දීමට ෆොන්සේකා උත්සාහ ගනු ලැබුවා.
දේශපාලනයේ ප්‍රතිපත්තිමය පක්ෂය යටපත්ව රංගනමය හෝ සංදර්ශනමය පක්ෂය ඉහලට ඒමක් විදිහට මෙය හදුනාගන්න පුලුවන්.

දැන් අපි ඉහත නිරීක්ෂන දෙක - තරු දේශපාලනයට ඒම හා දේශපාලනය තුල සිටින අය තරු වීමට උත්සාහ කිරීම - එකිනෙක හා අභිමුඛ කරමු.
මෙම අභිමුඛ කිරීමේදී අතිශය වැදගත් දේශපාලන සත්‍යයක් එලියට පනිනවා.පසුගිය දශක කිහිපය තුල වෙමින් පවතින සමාජයේ බැරූරුම් දේ වාෂ්පකරනය වීම හා සැහැල්ලු දේ අධිනිශ්චය වීම කියන දේශපාලන යථාර්තය මෙහිදී අපිට හදුනාගන්න අවස්ථාව ලැබෙනවා.

වසර තිහ හතලියකට කලින් දේශපාලන "චරිත" බිහිවුනේ කොහොමද?
දක්ෂිනාංශික හෝ වේවා වාමාංශික හෝ වේවා දශක කිහිපයකට පෙර බිහිවුන දේශපාලන පොරවල් යම් ආකාරයක භෞතික තලයේ දේශපාලනයක් කල උදවිය වුනා.එන් එම් පෙරේරා වැන්නෙක් බිහිවෙන්නේ මැලේරියා වසංගත කාලයේ ඊට එරෙහිව කල අරගල හරහා.ඩී ඇස් සේනානායක වැනි අයෙක් ගොවි ජනපද ව්‍යාපාර වැනි පොලොවේ කල දේශපාලන වැඩ හරහා ගොඩනැගුනු චරිත.උස මහත රැවුල ට්‍රිම් කිරීම හෝ ඩයි කිරීම එවකට එතරම් වැදගත් සාධක වුනේ නැහැ.
ඉන් අදහස් වන්නේ ඒ කාලයේ දේශපාලනයේ සංදර්ශනමය පැත්තක් නොතිබුනා කියන එක නෙමෙයි.සාපේක්ෂව දේශපාලනයේ සංදර්ශනාත්මක පැත්තට වඩා හරයාත්මක පැත්තට තැබුන බර වැඩියි.විශේෂයෙන් වමේ ව්‍යාපාරය තුලත්,වම හා ප්‍රධාන පක්ෂ අතරත් තිබුන මතවාදීමය ගැටුම් තුල විශාල බුද්ධිමය පොහොසත්කමක් තිබුනා.ඒ කාලේ දේශපාලඥයන් හොද මහත්වරු කියල තියෙන ජනප්‍රිය අදහස අර්ධ සත්‍යයක් වුනත් අසත්‍යයක්ම නෙමෙයි.ශ්‍යාම් සෙල්වදොරෙයිගේ අමුතු ඉලන්දාරියා නවකතාවේ එක්තරා නීතිඥයෙක් පැරනි යුගයේ දේශපාලකයන් ගැන සදහන් කරමින් "අපේකාලේ දේශපාලකයො තක්කඩි හොරු.ඒත් දැන් ඉන්න උන් එක්ක අලගු තියන්නවත් බැහැ" කියන ප්‍රකාශය මේ පිලිබද ආසන්න සත්‍යයක් හෙලිදරවු කරනවා.එනම් මහින්දානන්ද අලුත්ගමගේ,මර්වින් සිල්වා වැනි ලුම්පන් චරිත හෝ ගීතා කුමාරසිංහ,උපේක්ෂා ස්වර්නමාලි වැනි "සමනල" චරිත වලට වඩා යම් සම්භාව්‍ය ස්වභාවයක් පැරනි දේශපාලකයන් තුල අන්තර්ගත වී තිබුනා.

නව සියවසට එන විට මේ සම්භාව්‍ය ස්වරූපය මුලුමනින් හේදී ගොස් තිබෙන අතර "බර" වෙනුවට "සැහැල්ලුව" හැමතැනටම ආදේශ වෙලා තියෙනවා.මේ අනුව දේශපාලනය යනු බැරූරැම්ව ගත යුතු සීරියස් දෙයක් වෙනවා වෙනුවට තනුක කරන ලද විහිලුවක් හෝ ඇඩ් එකක් බවට පත්කොට තිබෙනවා.දේශපාලන සංවාද යනුවෙන් පැවැත්වෙන රූපවාහිනී විවාද තුල හරයාත්මක දෙයක් කතා නොකෙරෙන තරම්.ඒවා හුදෙක් සංදර්ශන සැනකෙලි පමනක් බවට පත්ව තිබෙනවා.සිරස විසින් සංවිධානය කරන සටන නැමැති දේශපාලන සංවාදය මීට හොදම නිදසුනක්.එම සම්පූර්න වැඩසටහනම සංදර්ශනමය ත්‍රිල් එකක් මිස වෙනකක් නොවෙයි.මාධ්‍යවේදීන්ගේ මන්ඩලය යැයි කියාගන්නා කිහිප පොලක් පැමින සිටින දේශපාලකයන් කිච කොට ප්‍රේක්ෂකයාට ත්‍රිල් එකක් දීමට උත්සාහ කරන අතර සංවාද ආතල් එක සදහා විශාල එහෙයියන් පිරිසක් ඕඩියන්ස් එක විදිහටත් වැඩම්මවා තිබෙනවා.මෙවැනි සංදර්ශන වැඩසටහන් විසින් ජන විඥානය තීරනය කෙරෙන සන්දර්භයක පොරවල් වනුයේ සංදර්ශන සැනකෙලි වලට ගැලපෙන ලෙස රගපෑ හැකි වීරවංශ වැනි නලුවන් මිස භෞතික තලයේ වෙහෙසෙන පිරිස් නොවේ.
ස්වර්නවාහීනි ප්‍රවෘත්ති මේ සම්බන්ධ අනෙත් කදිම උදාහරනයයි.එහි "කියන කතා" යනුවෙන් විකාශය වන දේශපාලන කතා තුල ආතල් ගත හැකි රස කතා මිස දේශපාලන වශයෙන් වැදගත්කමක් සහිත කතාවක් අහන්නට ලැබෙන්නේ කලාතුරකින්.ලංකාවේ හංසයො ඉන්නවද?ඉන්නෙ පාත්තයොද?ස්වර්නවාහිනියට අසුවෙන දේශපාලනිකව වැදගත්ම කතා වන්නේ මෙවැනි සරල සිල්ලර කතාවන් පමනයි.
සරලවම කිවහොත් ධනවාදයේ වර්තමාන මොහොත තුල දේශපාලනය කියන්නේ විනෝද සාගරයක්.මේ විනෝද සාගරය තුල සීරියස් දේවල් කිසිවක් නැහැ.බර වෙනුවට සැහැල්ලුව ‍ආදේශ වෙලා තියෙනවා.80 දශකයේදී ධනවාදයට අභියෝග කිරීම ප්‍රගතිශීලිත්වය යැයි සද්භාවයෙන් විශ්වාස කල සුනිල් මාධව වර්තමානය වන විට ප්‍රගතිශීලිත්වය ලෙස දකින්නේ මහරජතුමාගේ කකුල් මසාජ් කිරිමයි.එය ඉතා සම්භාව්‍ය දේශපාලන ආස්ථානයක් යැයි හේ සද්භාවයෙන්ම විශ්වාස කරගෙනත් සිටිනවා!

මේ ආකාරයට දේශපාලනය හැකි තාක් දුරට අදේශපාලනික විනෝද සාගරයක් බවට පත්කිරීම නූතන ධනවාදය ලබාගත් විශිෂ්ටම ජයග්‍රහනයක්.මේ තුල ක්‍රම විරෝධී දේශපාලන ප්‍රවනතා වල පැවැත්ම ඉතාම අසීරු එකක් බවට පත්කොට තිබෙනවා.ක්‍රම විරෝධී දේශපාලන ප්‍රවනතා කොහොමත් බුද්ධිවාදී නැඹුරුවක් පෙන්වන අතර බුද්ධිවාදය දේශපාලනය තුල outdated ලක්ෂනයක් බවට පත් වෙන තරමට ක්‍රම විරෝධී දේශපාලනය ප්‍රධාන ප්‍රවාහය තුලදී අසීරු හා අමාරු එකක් බවට පත්වීම සිදුවෙනවා.පාර්ලිමේන්තුවාදී දේශපාලනය මූලික වුන ප්‍රධාන දහරාවේ දේශපාලනය ගීතා කුමාරසිංහලා විහිලු සපයන,උපේක්ෂා ස්වර්නමාලිලා ඉගි බිගි පාන,ගැඹුරක් හෝ හරයක් රහිත,ජයසූරිය වැන්නවුන්ගේ සයිඩ් ජොබ් එකක් බවට ඌනනය වෙන තරමට ඒ ඌනිත ප්‍රතිබිම්භයට අනුව හැඩගැහෙන්නත්,විනෝද සාගරයේම කොටස්කරුවන් වෙමින් විනෝදය සපයන්නන් බවට පත්වීමටත් ක්‍රම විරෝධී දේශපාලන ප්‍රවනතා වලට සිදුවෙනවා.
මේ නිසා මෙතනින් එහා ක්‍රම විරෝධී දේශපාලනයක් ගැන කතාකරනවා නම් එහි අක්ෂ්‍යය තීරනාත්මක ලෙස ප්‍රධාන පාර්ලිමේන්තුවාදී දහරාවෙන් කැඩී වෙන්විය යුතු වෙනවා.ප්‍රවාහයට පිට සිටිමින් ප්‍රවාහයට අභියෝග කිරීම පිලිබද අත්දැකීම් විජේවීර දේශපාලනය හා ප්‍රභාකරන් දේශපාලනය විසින් ( ඒවායේ අඩුපාඩු ඌනතා පැවතියදී පවා ) පෙන්වා දෙනු ලබනවා.
ප්‍රවාහය එන්න එන්න ජෝක් වීම ප්‍රවාහයෙන් පිට පැනීම සදහා වන පෙලඹවීමක් ලෙස ගතහොත් ඊලග පාර්ලිමේන්තුව ජාතියේ අසහාය නායකයාගේ ගුන වයන,විශේෂ බහුතරයක් සහිත අදේශපාලනික විනෝද මඩමක් වීම තුල ඇත්තටම හොදකුත් තිබෙනවා.
ඒ එය විසින් ක්‍රමයට එරෙහි සටන පාර්ලිමේන්තු විනෝද සාගරයෙන් එලියට -මහ පොලොවට - කැදවීම නිසාවෙනුයි.

පනස් වෙනි සටහන


මෙම කෙටි බ්ලොග් සටහන රාමචන්ද්‍රගේ අඩවිය බ්ලොග් අඩවියේ පනස් වෙනි බ්ලොග් සටහනයි.

බ්ලොග් අඩවියක සටහන් පනහක් තැබීම යන්නෙහි සංකේතාත්මක වටිනාකමකට වැඩි දෙයක් නැහැ.නමුත් ප්‍රායෝගික ජීවිතයේදී මේ වගේ සංකේතාත්මක අවස්ථාවන් එක්තරා විදිහක ධෛර්යයක් විදිහටත් වැඩ කරනවා.මෙතෙක් කල් ආ දුර ගැනත් ඒ ආ ගමන ගැනත් සමාලෝචනයක් කරන්නත්,ඉදිරිය ගැන අදහසක් ඇති කරගන්නත් මෙවැනි සංකේතාත්මක අවස්ථාවන් උදවුවක් වෙනවා.

මුලතිවු නගරය රජයේ හමුදා අතට පත්ව රනකාමය මොහොතින් මොහොත උත්සන්න වෙමින් පවතින වකවානුවකයි රාමචන්ද්‍රගේ අඩවියේ පලවෙනි සටහන ලියවුනේ.දස අතින් දකුන ආලෝලනය කරමින් ඔල්වරසන් නැගෙද්දී "නවත්වන්න ඔල්වරසන්" යන හිසින් එය ලියවුනා.යුද්ධය දිනීමෙන් පසු මෙරට සුරපුරයක් වන බවට පාලකයන් වපුල මතය ව්‍යාජයක් බවත් යුද්ධය දිනුවත් නැතත් සමාජ ප්‍රශ්න වල වියගසින් මොහොතක ඉසිඹුවක් හෝ සමාජයට නොලැබෙන බවත් එම සටහනින් ප්‍රකාශ කෙරුනා.
යුද්ධය පැවති කාලයේ බඩුමිල ඉක්මවා පශ්චාත් යුදකාලීන බඩුමිල ඉහල නගිමින් තියෙනවා.යුද කාලයේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් කප්පාදුවද පරයා පශ්චාත් යුදකාලීන අයිතින් කප්පාදුව හැම පැත්තෙන්ම අවි අමෝරා ගන්න පටන් අරගෙන තියෙනවා.සිවුදිගින් නැගුන ඔල්වරසන් හඩ ක්‍රමයෙන් වියැකෙමින් සුපුරුදු සුසුම් හඩවල් ඇසෙන්නට පටන්ගෙන තිබෙන කාලයෙක - අපි තවමත් ලියමින් ඉන්නවා.

මෙම බ්ලොග් අඩවියේ සටහන් එකින් එක පලවෙනවාට සමගාමීව එලියේ සමාජයේ තීරනාත්මක වෙනසක් සිදුවෙන්න පටන්ගෙන තිබුනා.මෑතකාලීනව බිහිවුන සාර්ථකම ආඥාදායකත්වයක සෙවනැල්ල ක්‍රමයෙන් ලංකාව පුරා වැඩෙන්නට පටන්ගෙන තිබුනේ බ්ලොග් අඩවියේ වර්ධනයට සමගාමීව.මේ නිසා රාමචන්ද්‍රගේ අඩවිය මුල සිටම රාජපක්ෂ තන්ත්‍රය කෙරෙහි දේශපාලනිකව විවේචනාත්මක වුනා.මුල් කාලයේ රාජපක්ෂ යෝදයා කෙරෙහි විවේචනාත්මක වූ සිංහල බ්ලොග් අඩවි අතලොස්සකට වඩා තිබුනේ නැහැ.එම විරුද්ධවාදී බ්ලොග් අඩවිද බහුතරය ලිබරල්වාදී මතයක සිට රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි වූ බ්ලොග් අඩවි විදිහටයි පැවතුනේ.
ලිබරල් දෘෂ්ටියෙන් එහා ගිය වාමවාදී ප්‍රවේශයක් සහිත මැදිහත්වීමක් අවශ්‍යයි කියන අදහස රාමචන්ද්‍රගේ අඩවිය ලියවෙන්න තවත් ප්‍රධාන හේතුවක් වුනා.

කාලය බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා.තත්වයන් බොහෝ දුරට එදා මෙදා තුර වෙනස් ස්වරූපයක් අරගෙන තිබෙනවා.රාජාන්ඩුවාදී පාලකයාගේ දේශපාලනය ප්‍රශ්න කිරීම බ්ලොග් අවකාශය තුල මේ වනවිට වැඩි වශයෙන් සිදුවෙමින් තිබෙන අතර ප්‍රධාන මාධ්‍ය නිහඩ කෙරුනු වපසරියක බ්ලොග් අවකාශයේ මේ වර්ධනය ප්‍රශංසනීයයි.ඒ වගේම ක්‍රමය ගැන ව්වේචනයක් තියෙන,ක්‍රම විරෝදී ආස්ථානයක ඉදල ලියන සහෘදයන් ගනනාවක් පසුගිය කාලය තුල බ්ලොග් අවකාශය තුල සරන්නට පටන්ගෙන තිබෙන අතර තවදුරටත් සිංහල බ්ලොග් අවකාශය පාලු ගෙයි වලං බිදිය හැකි අම්බලමක් නෙමෙයි!

වහල් හිමියන්ගේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ ස්පාටකස්ගේ සිට යහපත් සමාජයක් ප්‍රාර්ථනා කල ගැහැනුන් හා මිනිසුන් ලක්ෂ ගනනින් ලෝකයේ ජීවත් වෙලා තියෙනවා.මිනිස් සමාජය අගලින් අගල ඉදිරියට ආවේ යහපත් ප්‍රාර්ථනා සහිතව පවතින අසාධාරන තත්වයන් වෙනස් කරන්න වැඩ කරපු,සටන් කරපු ඒ වගේ මිනිසුන්ගේ මහන්සිය නිසා.
ආලෝකය යන්නට අර්ථයක් ලැබෙන්නේ අන්ධකාරය නිසා.
විද්‍යාව කියල දෙයක් පවතින්නේ අවිද්‍යාව යනුවෙන් දෙයක් තිබෙන නිසා.
ඒ වගේම අසාධාරනය යනුවෙන් දෙයක් පවතින තුරු සාධාරනය සදහා සටන් කිරීම කිසිසේත් යල් පිනූ දෙයක් බවට පත්වෙන්නේ නැහැ.

අප කලක් වීරයන් ලෙස සැලකූ සුනිල් මාධව ප්‍රෙමතිලකලා සිය වීරත්වය උගස් කරමින් ඉන්නා සන්දර්භයක වුව,එනමුත් අපි ලියනවා.අප පරමාදර්ශ ලෙස සැලකූ චරිත සිය ආත්මයන් පාවාදෙද්දී හා සදාචාරාත්මකව වැහැරෙද්දිත් අපි ලියනවා.වීරයන් මිය යන හා වීරයන් සිය දිවි නසා ගන්න යුගයක - ඒත් අපි ලියමින් ඉන්නවා.
මේ ලිවීම කුමකටද?
මේ ලිවීම කුමක් අරභයා වුවත් , එම්බා සුනිල් මාධව ප්‍රේමතිලක - නුඹ වැන්නවුන් ගිය මග අනුදැක්ම උදෙසා නම් නොවේ.

Saturday, March 13, 2010

යුද අධිකරනය


අසාධාරනයට එරෙහිව කැරලි පැන නොනගින්නා වූ නගරයක්
හෙට හිරු උදා වනු මතු

දවා හලු කල යුතුය

- බර්ටෝල් බ්‍රෙෂ්ට්

ඇට මැස්සා නවකතාවේ අවසන් පරිච්ඡේදයකදී කතා නායකයා වූ රිවාරේස් හෙවත් ඇට මැස්සා හමුදා අත්අඩංගුවට ගනු ලැබ සිරගත කෙරෙනවා.ඉතාලියේ ඈත ප්‍රාන්තයක කැරැල්ලක් ඇතිකිරීමට කටයුතු කිරීම ඔහුට එරෙහිව ගොනු වූ චෝදනාවයි.ඇට මැස්සා හෙවත් රිවාරේස්ව සාමාන්‍ය අධිකරනයක් ඉදිරියට පමුනුවා දඩුවම් කිරීමට ප්‍රදේශයේ ආන්ඩුකාරවරයා මැලි වෙනවා.ඔහුට ඇවැසි වන්නේ ඇට මැස්සාව යුද අධිකරනයක් ඉදිරියට පැමිනවීමයි.යුද අධිකරනයක තීරනය නිශ්චිතයි.ඇට මැස්සාව දඩුකදේ ගැසීමේ පරම අභිලාෂයෙන් පෙලෙන ආන්ඩුකාරවරයා සාමාන්‍ය උසාවියකට නොව යුද උසාවියකටම ඇට මැස්සාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරනවා.
මේ අවධාරනය කිරීමට ප්‍රදේශයේ බිෂොප්වරයා වූ මොන්ටිනෙල්ලි එකග වෙන්නෙ නැහැ.යුද කාලයක් නොවන කාලයක යුද අධිකරනයක් ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බවට එම බිෂොප්වරයා අවධාරනය කරනවා.ඇට මැස්සා කැරලිකාරයෙක් විය හැකි වුවත් නැතත් යුක්ති සහගත නඩු විභාගයකට මුහුන දීමේ අයිතිය ඔහු සතු බව බ්ෂොප්වරයා පවසනවා.

ඇට මැස්සා නවකතාවට පසුබිම් වෙන්නෙ 1840 ගනන් වල ඉතාලිය.ඒ තරම් ඈත කාලයකදී පවා සාමකාමී කාලයක යුද අධිකරන පැවැත්වීමේ යුක්තිය ගැන ප්‍රශ්න කල මිනිසුන් සිට තිබෙනවා.පැරනි වැඩවසම් ඉතාලියේ ක්‍රිස්තියානි පූජකවරයෙක් සතුව තිබුනු යුක්තිය පිලිබද සාමාන්‍ය අවබෝධයවත් නැති මිනිසුන් පිරිසක් පාලකයන් වී සිටන වර්තමාන ලාංකීය සමාජය කල යුත්තේ කුමක්ද?ඇහැට ඇගිල්ලෙන් ඇන ගැනීමද?ගංජා සුරුට්ටුවක් බී සන්තෝසෙන් සින්දු කීමද?

හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මෙම සදුදා (15 දින) යුද අධිකරනයක් අභිමුවට පැමිනවීමට නියමිතයි.යුද අධිකරනයේ කටයුතු කිසිවක් මාධ්‍යයට ආවරනය කිරීමට අවසර නොලැබෙන බවත් තීන්දුව ලබා දෙන අවස්ථාවට පවුලේ ඥාතින්ට වුව සහභාගි වීමට ඇවැසි නම් හමුදාපතිගේ විශේෂ අවසරයක් ගත යුතු බව අද පුවත්පත් වාර්තා කර තිබුනා.හමුදා අධිකරනයෙහි විනිසුරු අසුන් හොබවනුයේ හමුදා නිලධරයන් විසින්.සිවිල් අධිකරන පටිපාටියේ පවතින ලක්ෂන වලින් එය බැහැර බවට විවාදයක් නැහැ.සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ පොදු නීති සම්ප්‍රදාය අනුදකින ලංකාව වැනි රටක අධිකරනය තුල ක්‍රියාත්මක වන්නේ නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියන න්‍යායයි.ඒ කියන්නේ චූදිතයෙක් වරදකරුවෙක් යැයි පැමිනිල්ල විසින් ඔප්පු කරන තුරු හේ සැකකරුවෙක් මිස වැරදිකරුවෙක් නෙමෙයි.මෙය එංගලන්තයේ සාධාරනත්වයේ (equity)අධිකරන පටිපාටිය කියන යුක්තියට මූලිකත්වය දුන්න නීති සම්ප්‍රදායෙන් ලද උරුමයක්.

නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහිත සාධාරන සාමාන්‍ය උසාවි පටිපාටිය වෙනුවට යුද අධිකරනය නැමැති විශේෂ අධිකරන ව්‍යුහයක් කරලියට ඇවිත් තිබීම අප තේරුම් ගත යුත්තේ කොහොමද?
සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ත්‍රාසජනක පුවත් ගනනාවක් ආන්ඩුව පාර්ශවයෙන් නිකුත් වුනා අපට මතකයි.ජනාධිපතිවරනය දාට පසු ඔහු ලැගුම් ගත් හෝටලය සිය ගනන් හමුදා ඛන්ඩ යවා වැටලූ ආන්ඩුව චෝදනා කලේ ෆොන්සේකා හමුදා කුමන්ත්‍රනයක් සදහා ලක ලෑස්ති වූ බවයි.හමුදා කුමන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නට ගිය ආකාරය ගැන මවිල් කෙලින් කරවන කතා ගනනක් රජයේ මාධ්‍ය හරහා එලියට එන්න පටන් ගත්තා.ජනාධිපතිව ගාලු පාරට ගෙනැවිත් මරා දැමීමට ෆොන්සේකා විපක්ෂ දේශපාලකයන් සමග කුමන්ත්‍රනය කල බව කියවුනා.හමුදාවෙන් පැන ගිය අය යැයි කියමින් ෆොන්සේකාගේ ආරක්ෂකයන් ගනනාවක් අත් අඩංගුවට ගැනුනා.හමුදා කුමන්ත්‍රනයකට හවුල් වූ බව කියමින් මේ සියල්ලන්වම හමුදාව විසින් කුදලාගෙන යනු ලැබුවා.
දැන් අපිට අසන්නට තිබෙන්නේ මෙපමනයි.
ඒ කිව්ව කුමන්ත්‍රනේට මොකද උනේ?
කුමන්ත්‍රන චෝදනා මත අත් අඩංගුවට ගත් සියලුම ආරක්ෂකයන් සිවිල් උසාවිය විසින් පසුගිය දවසක නිදොස් කොට නිදහස් කර හරිනු ලැබුවා.රජයේ චෝදනාවට සිවිල් උසාවිය දුන් පිලිතුර එයයි.

සරත් ෆොන්සේකාගේ මාතෘකාව මදකට නතර කොට අපි මෑතකදි සිදු වූ සිදුවීම් කිහිපයක් වෙත හැරෙමු.

1.ලංකා ඉරිදා පුවත්පත රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයක නියැලුන බව කියමින් ආරක්ෂක අංශ විසින් එය පසුගිය දිනෙක සීල් තැබීමට ලක්කලා.නමුත් මේ පිලිබද සිවිල් අධිකරනයේ විභාග වූ අවස්ථාවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරනය එසේ සීල් තැබීමේ තීරනය අවලංගු කලා.රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයක් සම්බන්ධ ප්‍රබන්දයක් විනා පිලිගත හැකි සාක්ෂි අධිකරනය ඉදිරියේ ගොනු කිරීමට බලධාරීන් අපොහොසත් වීම මීට හේතුවයි.

2.සරත් ෆොන්සේකාගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් ඇතිවූ විරෝධතා ව්‍යාපාර වලට පොලිසිය නිල නොවන මැරයන් සමග තරගයට මෙන් පේලි සැදී පහර දෙනු ලැබුවා.ඉනික්බිති ගැටුම් ඇතිකලා යැයි පවසමින් අධිකරනයට ඉදිරිපත් කලේ පහර කෑමට ලක්වූ උද්ඝෝෂකයන්වමයි.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අධිකරනය පොලිසිය වෙත සිය අප්‍රසාදය ප්‍රකාශ කලා.අලුත්කඩේ උසාවිය සම්බන්ධ සිදුවීමේදී කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකි රාජරත්න මහත්මිය ප්‍රකාශ කලේ "අධිකරණ සංකීර්ණයක් මැද්දේ සිදුවූ සිද්ධිය ඇසින් දුටුවන් සිටියදී අධිකරණයට කරුණු විකෘති කර ඉදිරිපත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් බවයි"

3.රජය පෙරලන්න කුමන්ත්‍රනය කලා යැයි අත්අඩංගුවට ගත් සරත් ෆොන්සේකාගේ ඥාතියෙක් වූ විශ්‍රාමික ලුතිනන් කර්නල් රොහාන් ගෝඪාභය විජේසුන්දර මහතා පෙබරවාරි 23 දා අධිකරනය විසින් කිසිදු චෝදනාවක් රහිතව නිදහස් කර හරිනු ලැබුවා."රජය පෙරලන්න කුමන්ත්‍රන වලට උදවු කල" මාධ්‍යවේදියෙක් වූ චන්දන සිරිමල්වත්ත මහතා ඇප රහිතවම අධිකරනය විසින් මුදා හැරියා.

ඉහත සියලු සිදුවීම් වල ඇති සමාන ලක්ෂනය පහත ආකාරයට සූත්‍රගත කරන්න පුලුවන්.
රජය චෝදනාවන් එල්ල කරයි.සිවිල් අධිකරනය එම චෝදනා ප්‍රතික්ෂේප කොට චෝදනාවට ලක්වූවන් නිදහස් කොට හරියි.

සරත් ෆොන්සේකා සාමාන්‍ය සිවිල් අධිකරනයට නොපමුනුවා සාමාන්‍ය නීතිය යටතේ නොපවතින,මාධ්‍යයන්ට හෝ විවර නොවු යුද අධිකරනයක් අභිමුවට පැමිනවීමේ "රහස" මේ අනුව පැහැදිලියි.පවත්වන්නට යන යුද අධිකරනයේ විනිසුරු මඩුල්ලෙහි වත්මන් හමුදාපතිගේ සමීපතම ඥාතියෙක් ( බිරිදගේ සොහොයුරා ) ද වන බව අද (13) පුවත්පත් වාර්තා කොට තිබුනා.
සරත් ෆොන්සේකාට එරෙහිව පවත්වන්නට යන්නේ සාමාන්‍ය යුක්තියට කිසිසේත්ම එකග නොවු,නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ ( රජතුමාගේ ? ) වර්ගයේ කැකිල්ලේ විභාගයක් බව පැහැදිලි වීමට මීටත් වඩා තවත් සාක්ෂි අවශ්‍යයද?

බරපතලම කාරනය මෙසේ අයුක්ති සහගත ලෙස දඩුකදේ ගැසීමට යන්නේ රටේ ජනාධිපති මැතිවරනයට තරග කල විරුද්ධ පක්ෂවල ප්‍රධාන අපේක්ෂකයා වීමයි.පාර්ලිමෙන්තු චන්දයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන පක්ෂයක නායකයෙකු වීමයි.
සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකි.ඔහුව සිරගත කොට තිබෙන්නෙ සුපැහැදිලිවම දේශපාලන හේතු මතය.
ජනාධිපතිගේ විශේෂ අනින් රැදවුම් කදවුරු 8 ක් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්ව වැඩි දවසක් නැහැ.යුද්ධය නිමා වෙලා මාස 10 ක් ඉක්ම ගිය පසුවත් හදිසි නීතිය නැමැති මර්ධන නීතිය පසුගියදා නැවත සම්මත කර ගනු ලැබුවා.
ලංකාව දේශපාලන සිරකරුව්න්ගේ,රැදවුම් කදවුරු හා මර්ධන නීති වල අලුත් යුගයකට දැන් ක්‍රමයෙන් අවතීර්න වෙමින් තිබෙන බව පෙනෙනවා.
පැරනි යුග වල වාගේ මේ අලුත් යුගයේ "දඩයම්" බවට පත්වන්නේ කවුද?
සිංහලයන්ද?
ද්‍රවිඩයන්ද?
නැතිනම් මේ දෙගොල්ලන්මද?