Thursday, April 8, 2010

ලංකාවේ ජාතික ධජය - අර්බුදයක සංකේතයක් වශයෙන්


අවවාදය- මෙය ජාතික ධජය පිලිබද ඊනියා "අපහාසයක් නොවේ".ඒ පිලිබද කෙරෙන දේශපාලන විශ්ලේෂනයකි.දේශපාලන විශ්ලේෂන බුද්ධිමය ලෙස භාරගත නොහැකි ජාත්‍යන්ධයන් මෙය නොකියවත්වා!

ලාංකිකයන්ට ආරම්භයේ සිටම ලංකාවේ ජාතික ධජය පිලිබද පොදු සම්මුතියක් නොපැවතින.ඇත්ත වශයෙන්ම ලංකාවේ ජාතික ධජයේ ඉතිහාසය පිලිබද කතාව අපූර්ව අන්දමට ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වාර්ගික ධ්‍රැවීකරනය පිලිබද කතාවට සමාන වේ.
ලංකාව ඩොමිනියන් පන්නයේ නිදහසක් ලැබීමට යන බවට වූ පුවත සත්‍යයක් යැයි හැගෙන්නට වන් කාලයේ සිටම "අභිනව" රාජ්‍යයේ ජාතික ධජය කවරක් විය යුතුද යන්න ගැන දේශපාන කවයන් තුල සාකච්ඡාවන් මතු විය.40 දශකයේ අග භාගයේ මෙම සාකච්ඡාවන් වාද විවාද වලට පෙරලින.ජාතික ධජය කුමක්ද යන්න තීරනය කිරීමට ඩී ඇස් සේනානායක කමිටුවක් පත් කල අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජධානියේ සංකේතය වූ සිංහ ධජය ජාතික ධජය විය යුතු බවට එහිදී යෝජනා විය.
කෙසේ වෙතත් සුලු වාර්ගික දේශපාලකයන් මෙම යෝජනාව සම්බන්ධයෙන් එකගතාවයක් නොදැක්වීය.සිංහ සලකුන ධජයට යොදනවා නම් හින්දු ආගමේ පූජනීය සංකේතයක් වූ ගවයා ද ඒ සමගම ධජයට භාවිතා කල යුතු බවට ඇතැම් ද්‍රවිඩ පාර්ශවයන්ගෙන් යෝජනා ඉදිරිපත් වූ බව මෙම ලේඛකයා අසා තිබෙන කරුනකි.
කෙසේ වෙතත් නිදහස ලැබුවා යැයි කියන 1948 පෙබරවාරි 04 වන දා වනවිටද ජාතික ධජය පිලිබද අවසන් සම්මුතියක් නොපැවතින.1948 පෙබරවාරි 11 දින ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කරන දිනයේ බ්‍රිතාන්‍යයේ ධජය සමග සිංහ ධජය ඔසවන ලදී,අද තිබෙන ජාතික ධජයේ මූලික ස්වභාවය පිලිබද එකගතාවයක් ඇතිවන්නේ 1951 දීය.1951 මාර්තු 02 දා පත්කරන ලද විශේෂ කමිටුවක් විසින් දෙමල හා මුස්ලිම් ජාතින් නියෝජනය කිරීමට යැයි පවසමින් තැඹිලි පාට හා කොල පැහැති තීරු දෙකක්ද සහිතව සිංහ කොඩිය සංශෝධනය කෙරින.1972 මෙය තවදුරටත් වෙනස් වූ අතර "බෞද්ධාගම නියෝජනය කරන්නට" බෝ කොල හතරක්ද ධජයේ කොන් සතරට එකතු වී තිබුනි.
මේ සම්බන්ධයෙන් උපහාසාත්මක සදහනක් කල ( දැනට මැදිවියේ පසුවන ) ලේඛකයාගේ ද්‍රවිඩ ජාතික ඥාතියෙක් පැවසුවේ "අපි දන්නෙත් නැහැ.ඊළග දවසෙ උදේ ඇහැරිල බලන කොට ජාතික කොඩියට කොහෙන්දෝ බෝ කොල හතරකුත් එකතු වෙලා" යනුවෙනි.

ලංකාවේ ජාතික ධජය අතිශය සංකීර්න එකකි යන්න ගැන විවාදයක් තිබිය නොහැක.සිංහ රූපයේ කේශර වලින් ඥානය,ධ්‍යානය වැනි ගුනාංග පෙන්නුම් කෙරේ,සිංහයාගේ වලිගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්නුම් කෙරේ,නාසයෙන් බුද්ධිය (intelligence)නිරූපනය වේ ආදි වශයෙන් සංකේතමය ලෙස සංකීර්න අර්ථාවලියක් ජාතික ධජයට ලබා දී ඇත.සදකඩපහන වැනි නිර්මාන වල තිබෙන සංකීර්න අර්ථාවලිය සමග මෙය ඇතැම් විට සමාන කල හැක.කෙසේ වුවද මේවා සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් පැන නොනගී.
ගැටලුව පැන නගින්නේ ජාතික ධජය තුල ගැබ් වී තිබෙන වාර්ගික අසමානතාවය හා වාර්ගික ධ්‍රැවීකරනය පිලිබද සංඥාව මතයි.

ඉංග්‍රීසින් ඒමට පෙර ලංකාව යනුවෙන් "රාජ්‍යයක්" නොපැවතින.තිබුනේ එකිනෙකට හුදෙකලාව පාලනය වූ වැඩවසම් රාජධානි කිහිපයකි."අපි ලාංකිකයො" යන සවිඥානිකත්වය එවකට නොතිබුන අතර "අපි කන්දෙ රාජ්ජයෙ යටත් වැස්සො","අපි යාපන රාජධානියේ අය" ආදි වශයෙන් රාජධානිමය මානසිකත්වයකි එවකට පැවතුනේ.ලංකාව අවුරුදු 2500ක් පුරා "ඒකිය" රාජ්‍යයක් ලෙස පැවතින යන්න අමුම අමු ප්‍රලාපයකි."ඒකීය" රාජ්‍යය වූ කලී උත්පත්තියෙන්ම යුරෝපා ධනේශ්වර සංකල්පයකි.ධනවාදය කියන සමාජ ක්‍රමය ඒමට පෙර ලංකාවේ නොව ලෝකයෙ කොතැනකවත් "ඒකීය" රාජ්‍යය යනුවෙන් දෙයක් තිබුනේ නැහැ.තිබුනේ ප්‍රදේශ පදනම උඩ විසිරිලා සකස් වුන වැඩවසම් රාජධානි පමනි.
නිදසුනක් ලෙස මධ්‍යකාලීන ජර්මනියේ කුඩා කුඩා රාජධානි සිය ගනනක් තිබුනි.ඉන්දියාව යනුවෙන් රටක් නොතිබුන අතර අද ඉන්දියාව යනුවෙන් හදුන්වන භූමියේ රාජධානි සිය ගනනින් විහිදී තිබුනි.ලංකාව සම්බන්ධයෙන් ගත්තද එය එසේමය.ඉතිහාසය පුරා අද ලංකාව කියල හදුන්වන භූමියේ පැවතුනේ ප්‍රාදේශීය අනන්‍යතා මත හැදුන රාජධානි ගනනාවකි.

වැඩවසම් යුගයේ මේ හුදෙකලා භාවය වෙනස් කරන්නේ ධනවාදය කියන සමාජ ක්‍රමය විසින්.ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් වෙලද සම්බන්ධතා ඉල්ලා සිටිනවා.ප්‍රාග්ධනය ව්‍යාප්ත වෙන තරමටයි ධනවාදය පවතින්නේ.මේ හින්ද හුදෙකලා රාජධානි වෙනුවට විශාල භූමි කලාපයක් එකට එකතු කරන,එකට බදින විශාල මධ්‍යගත රාජ්‍යය ධනවාදයේ වර්ධනය එක්ක නිර්මානය වෙන්න පටන්ගන්නවා.කුඩා කුඩා රාජධානි තිබීම ධනවාදයට බාධාවක්.මේ නිසා ජර්මනිය වැනි රටවල කුඩා වැඩවසම් රාජ්‍යයන්ට එක් තනි රාජ්‍යයක් විදිහට එක්සත් වෙන්න ධනවාදය විසින් බලකරනවා.අමෙරිකානු භූමියේ තිබුන ජනපද රාජ්‍යයන් එක රාජ්‍යයක් විදිහට මධ්‍යගත කරන්නේ විශාල තනි වෙලදපොලක් පිලිබද ධනවාදයේ උවමනාව විසින්.
ලංකාව නැමැති වැඩවසම් දූපතට ධනවාදය පැමිනෙන්නේ අධිරාජ්‍යවාදීන් හරහා.ලංකාව එකිනෙකට හුදෙකලා රාජධානි ගනනාවකින් සමන්විත වීම ධනවාදයේ වර්ධනයට බාධාවක් වන බැවින් ධනවාදය විසින් මෙම රාජධානි යා කොට ලංකාව යන තනි මධ්‍යගත රාජ්‍යය නිර්මානය කරනවා.
මේ අනුව නලින් ද සිල්වා ඒකීය රාජ්‍යයේ නිර්මාතෘ ලෙස වන්දනාමාන කල යුත්තේ පරාක්‍රමබාහුව නෙමෙයි.රොබට් බ්‍රවුන්රිග්වයි!

ලංකාව නැමැති දූපතේ ලංකාව කියන ජාතික රාජ්‍යය නිර්මානය කලාට ධනවාදය මෙහිදී අසමත් වන එක තැනක් තිබෙනවා.ජාතිකත්ව විදිහට බෙදිල තිබුන මෙහි වැසියන්ගේ මානසිකත්වයන් "ජාතික" පදනමකින් එක්සත් කිරීමට අධිරාජ්‍යවාදීන් වගේම,අධිරාජ්‍යවාදීන්ගෙන් පසු මෙරට බලය ගන්න දේශීය ප්‍රභූ පංතියත් අසමත් වෙනවා.ඒ කියන්නෙ ලංකාව කියල ජාතික රාජ්‍යයක් හැදුනට ලාංකීය කියල "ජාතියක්" නිර්මානය කරගන්න ඉතිහාසය තුල නොහැකි වෙනවා.
මේ තත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වගේ දියුනු ධනවාදි රටක් සමග සැසදිය හැකියි.එම රටවල ස්පාඥ්ඥ භාෂාව,ඉංග්‍රීසි භාෂාව වහරන නා නා විද ආගම් අදහන විවිධ ජාතිකත්ව කොටස් ජීවත් වෙනවා.නමුත් මේ අනන්‍යතා තියෙන අතරේම අපි අමෙරිකානු ( we are american) කියන පොදු මනෝභාවය සාර්ථක ලෙස වර්ධනය වෙලා තියෙනවා.අඩුපාඩු මධ්‍යයේ වුනත් ඉන්දියාවේ මේ තත්වය සාපෙක්ෂව දකින්න පුලුවන්.
නමුත් ජාතිකත්ව හා ආගමික මනෝභාවයන් පිලිබද අගයන් ද්විතික කරමින් "ජාතික" මනෝභාවයක් ලංකාව තුල ගොඩනැගෙන්නෙ නැහැ.ඉංග්‍රීසින් ගෙන ගිය බෙදා පාලනය කිරිමේ ව්‍යාපෘතිය,මෙරට සිංහල හා දෙමල ප්‍රභූ පංතිකයන් තුල තිබුන නොදියුනු හා පසුගාමී මානසිතක්වය උඩ ජාතික ව්‍යාපාරයක් යනුවෙන් දෙයක් ගොඩනොනැගීම මේ තත්වයට හේතු වූ සාධක ලෙස නිරීක්ෂනය කල හැකියි.

ජාතික කොඩියේ අර්බුදයේ මූලය තේරුම් ගන්න අවශ්‍ය වෙන්නෙත් මේ පසුබිම තුල.
"ජාතික" ධජයක් නිර්මානය කල යුතුයි කියල යෝජනා වෙද්දි සංකේතයක් විදිහට නිර්දේශ වෙන්නෙ පැරනි "රාජධානියක" සංකේතය වුන සිංහ කොඩිය.ලංකාව කියන අභිනව රාජ්‍යයේ සංකේතය විදිහට එක්තරා වාර්ගිකත්වයක සංකේතය යෝජනා වීම කෙතරම් උචිතද යන්න කල්පනා කර බැලිය යුතුයි.අවසානයේදී සිංහයාට ධජයේ හතරෙන් තුනක පමන විශාල ඉඩක් වෙන්කොට සුලු ජාතීන් නියෝජනය කරන්න යැයි පවසමින් කුඩා තීරු දෙකක් ඒ වෙනුවෙන් ඉතිරි කර තිබෙනවා.මේ සංකේතයම වාර්ගික අසමානතාවය පිලිබද කදිම සංඥාවක් නොවන්නේද?
නේෂන් පුවත්පතට ලිපියක් සපයන විහංග පෙරේරා නැමැති ලේඛකයා වරෙක සිංහයා සුලු ජාතින්ගේ තීරු දෙක දෙස අසිපත මානාගෙන සිටීම මහ ජාතික අධිපතිවාදයේ සංකේතයක් බදු යැයි ඔහුගේ මිතුරෙක් උපහාසාත්මකව පවසා ඇති බව සදහන් කරනවා.තරමක අතිශයෝක්තියක් විය හැකි වුවත් ඉන් පැවසෙන කාරනයෙහිත් අර්ථයක් නැතිවා නොවේ!

ධජයට අනවශ්‍ය ආගමික අර්ථයක් දීම වැඩවසම් අගතීන් ඉක්මවීමට ලාංකීය දේශපාලනය අසමත් වුන ආකාරය පිලිබද තවත් කදිම නිදසුනක්.සිංහයාගේ වලිගයේ පවා තිබෙන්නේ බුදුදහම නැමැති එක් ආගමක අර්ථයක්.72 අලුතෙන් එකතු කල බෝ කොල සතර මෙතනදී කැපී පෙනෙනවා.එය අවශ්‍යතාවයක් මත එක්කල දෙයකට වඩා බහුතරයක් දෙනාගේ ආගමික හැගීම් කුල්මත් කර ජනප්‍රිය වාසියක් ගැනීමේ අදහසින් කල ක්‍රියාවක් යැයි සිතීමට තිබෙන කරුනු කාරනා වැඩියි.බුදු දහම යනු 70 %ක් දෙනා අදහන ආගම පමනයි.එම ආගම නොඅදහන තවත් 30 % ක් ( ඒ කියන්නෙ ලක්ෂ ගනනක් ) රටේ ජිවත් වෙනවා.එවැනි සන්දර්භයක එක් ආගමක් පමනක් අතිශය විශේෂ කිරිම අසමානතාවයක් නොවේ නම් අන් කවරක්ද?

විශේෂයෙන් දෙමල හා මුස්ලිම් ජනයා සමග කතාකරන විට ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමානයක් ජාතික ධජය "ජාතික' අර්ථයකින් නොසලකන ආකාරය නිරික්ෂනය කරන්න පුලුවන්.තමන්ට අඩු තැනක් ලබාදෙන සංකේතාවලියක් තමන්ගේ සංකේතාවලියක් ලෙස පිලිගැනීමට ඔවුන් මැලිවීම ස්වභාවිකයි.සියලු දෙනාව එකග කරවා ගත හැකි සංකේතයක්වත් නිර්මානය කරගැනීමට නොහැකි වීම ලංකාවේ පසුගාමි ධනවාදය කෙතරම් දුර්වලද කෙතරම් අබ්බගාතද යන්න පෙන්වන විශිෂ්ට නිදර්ශනයකි.
ස්වකීය ඓතිහාසික කාර්යයක් වන ජාතික රාජ්‍යය නිර්මානය කිරීම හෝ සාර්ථක ලෙස කරගැනීමට අසමර්ථ වූ සමාජ ක්‍රමයක් වන ලංකාවේ ධනේශ්වර ක්‍රමය, අතිශය දුබල ක්‍රමයක් වශයෙන් ඉතිහාසගත කල යුතුය!

Tuesday, April 6, 2010

1971 අප්‍රේල් - ප්‍රභූ විරෝධී දේශපාලනයේ සංධිස්ථානයක් ලෙස



And from every dead child a rifle with eyes,
and from every crime bullets are born
which will one day find
the bull's eye of your hearts.

And you'll ask: why doesn't his poetry
speak of dreams and leaves
and the great volcanoes of his native land?

Come and see the blood in the streets.
Come and see
The blood in the streets.
Come and see the blood
In the streets

- pablo Neruda


71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ යැයි සැක කෙරුනු තරුනියක් වූ ප්‍රේමවතී මනම්පේරිව අප්‍රේල් මැද භාගයේදී රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගත්තා.අත්අඩංගුවට ගත්ත රාත්‍රිය පුරා හමුදා භටයන්ගේ වධ හිංසාවන්ට හා අතවර වලට ඇය ගොදුරු කෙරුනා.ඇගේ දේශපාලන කටයුතු කිසිවක් ගැන ඇය "හෙලිදරවු" නොකිරීම මත පසුදින කතරගම නගර මධ්‍යයට ඇය ගෙන ගිය හමුදා නිලධාරීන් ඇයට මහ මග ප්‍රසිද්ධියේ ඇදුම් ගලවා දමන ලෙස අන කලා.
බලහත්කාරයෙන් නිරුවත් කරනු ලැබූ තරුනියට නගරය හරහා "මම පංති පහම කලා" යැයි කියමින් ඇවිද යන ලෙස අන කල හමුදා නිලධාරීන් තැපැල් හලක් අසලදී පිට පිට වෙඩි තබා ඇය මරා දමනු ලැබුවා.හිස කා වැදී ගිය රයිෆල් උන්ඩයක් ඇගේ මරනය සිදු කල ආසන්නම සාධකය විදිහට පසුව හදුනා ගැනුනා.

1971 අප්‍රේල් ලාංකීය ඉතිහාසයේ සංධිස්ථානයක් විදිහට සැලකිය යුතුයි.එය සංධිස්ථානයක් වෙන්නේ කරුනු කිහිපයක් මත.

පලමුව ආසියාවේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සුන්දර දේශයක් විදිහට මතුපිටින් වර්නනා කරල තිබුන ලංකාවෙ "ප්‍රජාතන්ත්‍රවාදය" හා "සුන්දරත්වය" අභ්‍යන්තරව කෙතරම් ව්‍යාජයක්ද යන්න දැවැන්ත අර්ථයකින් පලමු වතාවට ප්‍රශ්න කෙරුනෙ 71 අප්‍රේල් වලදී.

දෙවෙනුව රටේ "නීතිය හා සාමය රකින්න", රටේ ජනතාව "රැකබලාගන්න" පිහිටුවා තිබෙන අහිංසක ආයතනයක් විදිහට හදුන්වා දිල තිබුන රාජ්‍යය කියන ආයතනය එහි ස්වභාවයෙන් කොයිතරම් ක්‍රෑරද,කොයිතරම් ප්‍රචන්ඩද හා කොයිතරම් හිංසාකාරීද යන්න මහා පරිමානයෙන් එලිදරවු වුනේ 71 අප්‍රේල් වලදී.

තෙවනුව පාර්ලිමේන්තුවට සීමා වූ දේශපාලනයක් කරමින් සිටි පරන වම කියල හදුනගන්න සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වල වාමාංශික සටන්පාඨ වල නිස්සාරත්වය හෙලිදරවු වි ලංකාවේ වාමාංශික දේශපාලනයේ යුගයක අවසානය සටහන් වෙන්න පටන් ගත්තේ 71 අප්‍රේල් වලදී

සිවුවෙනුව ප්‍රභූ කේන්ද්‍රීයව හැඩ ගැසී තිබුන ලංකාවේ දේශපාලන සිතියම ප්‍රභූ නොවන දේශපාලන නැගිටිමකින් මහා පරිමානව ප්‍රශ්න කිරීමට ලක්වුනේ 71 අප්‍රේල් වලදී.

නිදහසෙන් පස්සෙ ලංකාවෙ දේශපාලනය කියන්නෙ ප්‍රභූත්ව දේශපාලනයක්.දේශපාලන ආධිපත්‍යය නිශ්චිත පංතියක්,සමාජ ස්ථරයක් වටේ කේන්ද්‍රගත වෙලා ගොඩනැගිල තිබුනෙ.මේ බලය සහිත පංතියේ වඩා දේශීය කොටස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහටත්,වඩා බටහිරවාදී කොටස එක්සත් ජාතික පක්ෂය විදිහටත් සංවිධානය වෙලා තිබුනා.වලව්ව බලාගන්නේ කොහොමද? කියන එක ගැන මේ ප්‍රධාන ආයතන දෙක අතර විවිධ මත භේද තිබුනත් වලව්ව වලව්කාරයන්ගේ විය යුතු බවටත්,ගස් ගෙඩි කඩන බයියන්ට වැඩිම උනොත් වලව්වේ පිලිකන්නට ගොඩ වෙන්න "චාන්ස්" එකක් දෙනවා මිස වලව්වේ අයිතිය වලව්කාරයන්ගෙන් පිට නොයා යුතු බවටත් මේ දෙපිරිස අතරම මූලධාර්මික සම්මුතියක් තිබුනා.
වලව්වට පිට ගැමියෝ වලව්වට බය පක්ෂපාතව හේනක් කුඹුරක් කොටගෙන පරම්පරා ගානක් තිස්සෙ ජීවත් වුනා.වලව්කාරයෝ එලියට යද්දි මේ අය දෙකට නැවුනා.ගරු සරු ඇතිව "ඩඩ්ලි හාමු" කිව්වා."මැතිනිය" කියල ලේන්සුව කරට ගත්තා.වලව්කාරයෝ සැපට ඉන්න එක ගැමියන්ට ප්‍රශ්නයක් වුනේ නැහැ."ඒක ඒ අයගෙ වාසනාව" කියල සද්භාවයෙන්ම හිතාගත්තා.වලව්වට සෙට් වුන කවුරු හරි අයුතු විදිහට හරි හම්බු කරනව දැක්කොත් "ඔය තත්වෙට ආවම කවුද ඔහොම නොකරන්නෙ" කියල හිතාගත්තා.වලව්වෙ මහත්වරු ඉදල හිටල ගැමියන්ට තෑගි දුන්න.තමන් කාල ඉතිරි වුන දෙයක් තියනව නම් ගම්මුන්ට කතා කරල කන්නත්,බීල ඉතිරි වුන දෙයක් තියෙනව නම් බොන්නත් දුන්න.මේ අහක දාන පිංබත් වලට නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍යය වගේ ගාම්භීර නම් සෙට් එකකුත් දැම්මා.
වලව්කාරයන්ගේ උදර පෝෂනය ගැන මෙලෝ දෙයක් නොදත් අහිංසක ගැමියෝ "අනේ අපේ මහත්තුරු අපිට කොයිතරම් කරුනාවද" කියල විසී කරන ඉදුල් ආසාවෙන් ගිල දැම්මා.චන්දෙ දවසට ගිහින් ගිල දමපු ඒවට හොදට කලගුන සැලකුවා.

පරම්පරා ගනනක් තිස්සේ දිග හැරුන මේ ක්‍රියාවලිය තුල ගම්මුන් වෙනුවෙන් කතාකල තැරැව්කරුවන් කීප දෙනෙක් සිටියා.මේ අයටත් වලව්වේ යම් ඉඩක් හදල දීල තිබුනා.ගම්මුන්ගේ දුක ගැන යමක් කමක් වලව්කාරයන්ට කියල පුලු පුලුවන් විදිහට ඉදල හිටල මොනව හරි දෙයක් වලව්වෙන් ගැමියන්ට ප්‍රදානය කරවන්න මේ තැරැව්කාර මහත්වරු යම් සේවයක් කලා.වලව්වෙ ලැගුම් ගෙන සිටි මේ ප්‍රභූවරු කොටස තමන් "වාමාංශිකයි" කියල හදුන්වගත්තා.ගැමියන්ට මොන මොනව හරි ලබා දෙන්න බ්‍රෝකර් වැඩක් කලත් ගැමියන් වලව්වේ බලය ගන්නවාට හෝ ඊට ඇතුල් වෙනවාට මේ අයත් කැමති වුනේ නැහැ.මේ වාමාංශික ප්‍රභූවරුන්ගේ ජීවිත විලාසිතාව සුගතපාල සිල්වා "බල්ලෝ බත් කති" තුල විශිෂ්ට ලෙස නිරූපනය කරනවා.

කෙසේ වුවත් 71 අප්‍රේල් පිපිරිම සිදුවෙන්නේ වලව්වේ හා වලව්වට යටත් වැස්සන්ගේ මේ අලස,නිද්‍රාශීලි ජීවන රටාව තිගැස්මට ලක්කරමින්.
"ක්‍රමය" පිලිඅරගෙන අවුලක් නැතිව සාමකාමීව ජීවත් වූ ගැමියන්ගේ නව පරම්පරාව එක් වරම වලව්වට හා එහි පාලනයට විරුද්ධව කැරලි ගසා නැගීටීම ඉහත කී සියලු පාර්ශව අන්දමන්ද කරවාලන සිදුවීමක් වුනා.ඉහත කී සියලු දෙනා හොල්මං වෙන්න පටන් ගත්තා.ජේආර් ජයවර්ධන,සිරිමා බන්ඩාරනායක,එන් එම් පෙරේරා - තමන් එකිනෙකාගේ දැවැන්ත දේශපාලන "සතුරන්" යැයි ලෝකයට පෙන්වාගෙන සිටි මේ සියලු ප්‍රභූ ගනයා තමන් අයිති වන්නේ එකම පංතියකට කියන එක ඔප්පු කරමින් කැරලි ගැසූවන් මර්ධනය කොට කැරැල්ල සමතලා කිරීමට එකාවන්ව එක්සත් වුනා.

71 නැගිටීම ගැන බොහෝවිට කෙරෙන විග්‍රහයන් එම අරගලය ජනතා විමුක්ති පෙරමුනේ ව්‍යාපෘතියක් කියන සරල අර්ථයෙන් ඒක විග්‍රහ කරන්න උත්සාහ කරනවා.
71ට සම්බන්ධ වූ ඇතැමුන් දිගටම ජවිපෙ සමග සිටි අතර ඇතැමුන් පසුව ජවිපෙ හැරගියා.ඒ කුමක් වුවත් 71 නැගිටීම අහම්බයක් නෙමෙයි.ඒක හුදු දේශපාලන පක්ෂයක වීර ක්‍රියාවක් විදිහට තේරුම් ගැනීම සාවද්‍යයි.71 අරගලය සමාජයීය සංසිද්ධියක්.
නිදහසෙන් පස්සේ සමාජය ප්‍රභූ කේන්ද්‍රීයව හැඩගැසුන නිසා පහල සමාජ ස්ථරයන් මත නොනවතින පීඩනයක් ක්‍රියාත්මක වුනා.මේ අගහිගකම්,පීඩනය දේශපාලනිකව තේරුම් ගන්න බහුතරයක් දෙනාට පුලුවන් කම තිබුනෙ නැහැ.දුප්පත්කම,විරැකියාව - මේවා සමාජ ක්‍රමයේ ගැටලු විදිහට තේරුම් ගන්නවා වෙනුවට තම තමන්ගෙ අතීත පව හෝ පින සම්බන්ධ කාරනයක් විදිහට හිතාගෙන හිත හදාගන්නයි බහුතරයක් දෙනා පුරුදු වෙලා සහ පුරුදු කරවලා තිබුනෙ.
1948 ඉදල විවිධ "සංවර්ධන" ව්‍යාපෘති ක්‍රියාත්මක වුන.මේ "සංවර්ධනයේ" ප්‍රතිලාභ නැවතත් සමාජයේ එක්තරා කොටසක් අත රැදුනා මිස පහලට ගලා ඒමක් සිදුවුනේ නැහැ.කැකෑරෙමින් තිබුන මේ විෂම චක්‍රය දේශපාලන අර්ථයකින් තේරුම් ගන්න නිර්ප්‍රභූ ජනයාගේ නව පරම්පරාවේ ඇතැම් කොටස් උත්සාහ කරන්න ගත්තා.පැරනි වමේ ව්‍යාපාරය වලව්වටම සින්න වීමත් එක්ක ඒ හිස්තැන පුරවන්න විවිධ උත්සාහයන් දැරුනා.නව සම සමාජ පක්ෂය,පෙරදිග සුලං,ගිනිපුපුර,විකොස වගේ විවිධ සංවිධාන බිහි වෙන්න ගන්නෙ මේ අනුව.
නමුත් මේ සියලු සංවිධාන න්‍යායික දේශපාලනයට අනවශ්‍ය ලෙස සීමා වෙලා නාගරිකව පරන වම එක්ක හෙට්ටු කරද්දි ග්‍රාමීය හා අර්ධ නාගරික දේශපාලන ව්‍යාපාරයක් විදිහට ජනතා විමුක්ති පෙරමුන වර්ධනය වෙන්න පටන් ගත්තා.අන්තිමේදී අනිත් සියලු කන්ඩායම් වේදිකාවේ පසෙකට ඇද දමමින් "නව" වාමාංශික දේශපාලනයේ ප්‍රධාන දහරාව බවට ජවිපෙ පත්වුනා විතරක් නෙමෙයි 71 දී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ප්‍රභූවාදී දේශපාලන සංස්ථාපිතය සන්නද්ධව ප්‍රශ්න කිරීමට ලක්වෙනවා.

71 සම්බන්ධව බොහෝ දෙනාට තියන "ජනප්‍රිය" ප්‍රශ්නය තමයි අනේ කැරලි ගහන එක මිනී මරන එක හොද නැහැ නේද?කියන ප්‍රශ්නෙ.
මේ හැමදෙනාම අමතක කරන,නැතිනම් මේ කාටවත් නොපෙනෙන කාරනය තමයි කැරලි ඇතිවෙන්නේ ඇයි කියන කරුන.ඒ කරුනට උත්තර දන්නවනම් කවුරුත් කැරලි ඇතිවීමේ යුක්ති යුක්ත භාවය ගැන ප්‍රශ්න කරන්නේ නැහැ.
Johan Galtung කියන නෝර්විජියානු චින්තකයා ඉදිරිපත් කරන ව්‍යුහාත්මක ප්‍රචන්ඩත්වය (structural violence) කියන අදහස කැරලි ඇතිවීම තේරුම් ගන්න විශාල ආලෝකයක් අපට සපයනවා.
යම් දේශපාලන සංස්ථාවක් ඉදිවෙලා තියෙන ආකාරය තුල ප්‍රචන්ඩත්වය හා හිංසනය ගැබ්වෙලා තියෙනවා.උදාහරනයක් විදිහට 48 න් පස්සේ ලංකාවේ හැදෙන ප්‍රභුවාදී දේශපාලන ක්‍රමය ප්‍රභූ නොවන කොටස් මත විශාල පීඩනයක් එල්ල කරනවා.ඒ පීඩනය ඇගිල්ල දිගුකරල ස්පර්ශ කරන්න පුලුවන් එකක් නෙමෙයි.ඒ හිංසනය එලියට එන්නෙ දරිද්‍රතාවය,නූගත්කම,විරැකියාව,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වගේ වේශයන් හරහා.ව්‍යුහගත ප්‍රචන්ඩත්වයට ඒ හිංසනයට යටත් වූ අය ප්‍රතික්‍රියා දක්වනවා.කැරලි ගසා නැගිසිටීම් සිදුවෙන්නේ ව්‍යුහගත හිංසනයට එරෙහිව යොදන ප්‍රති හිංසනය විදිහට.
මේ හින්ද කැරලි වල හිංසනය ගැන අහන හතර පෝයට සිල්ගන්න මහත්වරු ඉස්සෙල්ලාම ඒ අරගල සිදුවන සමාජයේ ව්‍යුහය තුල ක්‍රියාකාරී වන ක්‍රමයේ හිංසනය ගැන කතාකරල ඉන්න ඕනෙ.ව්‍යුහයේ හිංසනය ගැන කතා නොකර ව්‍යුහයට එරෙහිව එන හිංසනය ගැන කතා කරන එක,තමන්ව හපා කන්න එන බල්ලට පොල්ලෙන් ගහන එක "හිංසාකාරීයි" නේද කියල අහනව වගේ බොලද සහ මෝඩ ප්‍රශ්නයක්.

ප්‍රේමවතී මනම්පේරිලාව පරම්පරා ගනනක් තිස්සේ රවටනු ලැබුවා.රැවටීමට එරෙහිව මනම්පේරිලා වැනි දහස් ගනන් අය එක් නිමේෂයකදී ප්‍රතික්‍රියා දක්වනු ලැබුවා.රවටනු ලැබූවන් විසින් එහිදී පෙරලා මනම්පේරිලා ජීවග්‍රහයෙන් ගෙන ඔවුන් "ත්‍රස්තවාදීන්" යැයි ලේබල් කොට ඝාතනය කර දැමුනා.
ඇත්තම ත්‍රස්තවාදීන් වූ කලී කවරහුද?

ඔවුන් හරිද අපි වැරදිද
අපි හරි නම් උන් වැරදිදි
ඇති මග පියවිලි උඩින්ද
වැගිරෙන ලේ වැල් මතින්ද
නැගෙන කුකුස නිති මා සිත
සිදලයි බැති සිත මා තුල

- ගුනදාස අමරසේකර






Friday, April 2, 2010

බැරැක් හුසේන් ඔබාමාගේ ජයග්‍රහනය ගැන - 2


We shall overcome
we shall overcome
We shall overcome someday
Oh deep in my heart I do believe
We shall overcome someday!

We are not afraid
we are not afraid
We are not afraid today
Oh deep in my heart I do believe
We shall overcome someday!

මානව ඉතිහාසය තුල වර්නභේදවාදයට අතිශය අපකීර්තිමත් ඉතිහාසයක් හිමියි.
කලු හම නරක දෙයක් විදිහටත් සුදු හම හොද හා උතුම් දෙයක් විදිහටත් මේ අනුව සියවස් ගනනාවක් තිස්සේ පිලිගනු ලැබුවා.රඩ්යාඩ් කිප්ලිංගේ "සුදු මිනිසාගේ වගකීම" කියන කවිය ලෝකය ශිෂ්ට සම්පන්න කිරීම සුදු මිනිසාගේ වගකීමක් හා කාර්යභාරයක් යැයි ප්‍රකාශ කරනවා.ඒ කියන්නේ සුදු හම වූ කලී ශීෂ්ටත්වය බවත් කලු හම වූ කලී මිලේච්ඡත්වය හා අශිෂ්ටත්වය බවත් පැරනි කාලයේ සිටම පිලිගැනීමට ලක්වූ දෙයක්.
අප්‍රිකාවෙන් අල්ලා ගනු ලැබූ නිග්‍රෝ ජාතික වහලුන්ගෙන් යුක්ත අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යය 17 වෙනි සියවසේ සිටම වර්නභේදවාදය පදනමක් විදිහට ගත්තු රාජ්‍යයක් විදිහටයි ගොඩනැගුනෙ.කලු මිනිසුන් වහලුන් වූ අතර ඔවුන් වහලුන් වූ නිසාම සුදු මිනිසා කල්ලාට වඩා උතුම්ය යන අදහසට වලංගුතාවයක් නිතැතින්ම ලැබුනා.
වහල් සේවය අහෝසි කරන්න ඒබ්‍රහම් ලින්කන් 1861 දී තීරනය කිරීමත් සමග වහල් සේවය දරුනුවට මුල් බැහැලා තිබුන අමෙරිකාවේ දකුනු දිග ප්‍රදේශ වල ජනපද ලින්කන්ගේ පාලනයට විරුද්ධව දැවැන්ත කැරැල්ලක් ගහනවා.අමෙරිකානු සිවිල් යුද්ධය කියල ඉතිහාසගත වුනේ මේ කැරැල්ල.කල්ලන් වහලුන් බවත් කල්ලන් තමන්ගේ අධිකාරිය යටතේ සිටිය යුතු බවත් දැඩිව ඇදහූ අමෙරිකාවේ දකුනු දිග ප්‍රාන්ත වල සුදු වහල් හිමියෝ මාරාන්තික ලෙස ලින්කන්ගේ තීරනයට ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන්ම වර්නභේදවාදය කෙතරම් දරුනු ලෙස මුල් බසින ලදුව තිබූ දෙයක්ද යන්න පැහැදිලි වෙනවා.
නීත්‍යනුකූල ලෙස 1861 දී අමෙරිකාවේ වහල්සේවය අහෝසි කලත් කලු සුදු ධ්‍රැවීකරනය සමාජය තුලින් ඉවත් වීම සිදු වුනේ නැහැ.බොහෝ දකුනු දිග ප්‍රාන්ත වල වැඩි ජනගහනයක් සිටියේ කලු ජාතිකයන්.මේ නිග්‍රෝවරුන් සුලුතරයක් වූ සුද්දන්ගේ ආධිපත්‍යයට යටත් වෙලා ජීවත් විය යුතු යැයි සැලකුනා.කල්ලෙක්ට පාරේදී හමුවන සුද්දෙක් කලු මිනිසා කෙතරම් වයස්ගත වූවත් ආමන්ත්‍රනය කලේ නිගර් ( කල්ලා ) හෝ බෝයි යන අවමානාත්මක වදන් වලින්.පාසල් රෝහල් අවන්හල් ප්‍රසිද්ධ උද්‍යාන වගේ හැම දෙයක්ම වර්නභේදවාදී පදනම උඩ වර්ගීකරනය කරල තිබුනා.හොදම පාසල්,හොදම සමාජ ශාලා සුද්දන්ට පමනක් වෙන්වුන ඒවා වුනා.කලු බහුතරය දරිද්‍රතාවයේ ගිලී ජීවත් වූ අතර අවම පහසුකම් යටතේ දෙවන පංතියේ පුරවැසියන් සමූශයක් ලෙස පවතින්නට ඔවුන්ට බල කෙරී තිබුනා.

මේ අනුව ගත්තම අමෙරිකානු වර්නභේදවාදය කියන්නෙ 20 වන සියවස වන විටත් ශේෂව පැවතුන දෙයක් වන අතර එම සියවසේ අතිශය දරුනු ලෙස බලපැවැත්වූ පීඩාකාරී ව්‍යුහයක්.මෙය ඇතැම් විට දෙවනි වෙන්නේ යුදෙව්වන් ප්‍රසිද්ධියේ සමූලඝාතනය කල හිට්ලර්ගේ භාවිතාවට පමනක් විය හැකියි.සමූලඝාතනය කිරීම හැර අනෙත් සියලුම ආකාරයේ සීමා කිරීම්,කොන්කිරීම් හා සූරාකෑම් වලට ගොදුරු වූ ජනකොටසක් විදිහටයි අමෙරිකානු නීග්‍රෝ ජනයා ජීවත් වුනේ.
එවකට ජීවත් වූ සුද්දන් මෙන්ම කල්ලන්ද විශ්වාස කලේ වර්නභේදවාදය යනු ස්වභාවික දෙයක් බවයි.
සෝවියට් පුවත්පත් කලාවේදියෙක් අමෙරිකානු සංචාරවල අත්දැකීම් උඩ ලියපු "මාටින් ලූතර් කිං - ජීවිතය හා මරනය " කියන කෘතියේ වර්නභේදවාදය අමෙරිකාවේ සිස්ටම් එකක් ලෙස පැවතුනේ කොහොමද කියන එක ගැන ඉතා කදිම නිදර්ශන ගනනාවක් සපයනවා.
මෙහිදී එක අවස්ථාවක මෙම කලාවේදියා සුදු ජාතික ගෘහනියකගෙන් කලු ජාතිකයන්ට "සමතැන" ලබා දීම ගැන විමසනවා.සුදු ජාතික ගෘහනිය අවඥාවෙන් ඒ අදහස බැහැර කරනවා විතරක් නෙමෙයි,කලු ජාතිකයන්ට සම තැනක් අවශ්‍ය බව කලු ජාතිකයන්වත් නොසිතන බවත් ඇය පවසනවා.ඒ කියන්නේ තමන් ඇත්තටම,ස්වභාවිකවම දෙවෙනි පංතියේ අයවලුන් සමූහයකි යන්න සාමාන්‍ය නීග්‍රෝ ජනයා පිලිගෙන සිටියා කියන එක පැහැදිලියි.

අපි ස්වභාවිකයි කියල හිතාගෙන ඉන්න බොහෝ දේවල් ස්වභාවික දේවල් නෙමෙයි.ඒවා සමාජමය ගොඩනැංවීම්.ඕනෑම සමාජමය ගොඩනැංවීමක් සමාජමය වශයෙන් බිද දමන්නත් පුලුවන්.

වර්නභේදවාදය "සාමාන්‍ය" හා "ස්වභාවික" දෙයක්ය යන විශ්වාසය කලු ජනයා අතින්ම අභියෝගයට ලක්වෙන්න පටන්ගන්නේ 20 වන සියවස මුල ඉදන්මයි.50 දශකය වනවිට පෙර නොවූ විරූ සංවිධානාත්මක ව්‍යාපාරයක් විදිහට කලු ජනයාට අයිතිවාසීකම් දිනාගැනීම සදහා වූ සටන ඉස්සරහට එනවා.මාටින් ලූතර් කිං කියන කලු ජාතික පූජකවරයා මේ සටනේ ආරම්භක ක්‍රියාධරයෙක්.
රෝසා පාක්ස් නමැති නිග්‍රෝ ජාතික කාර්යාල සේවිකාවක් දිනක් බස් රියකට නගිනවා.ඇය සුදු ජාතිකයෙක්ට අසුන පිරි නොනැමුවේය කියන චෝදනාව මත ඇයව බලහත්කාරයෙන් බසයෙන් එලියට දැමෙනවා.මීට විරෝධය පලකරමින් නගරයේ සියලු කලු ජනයා එක්සත්ව බස් වර්ජනයක් කල යුතුයි කියන යෝජනාව උඩ සිව්ල් නීති කඩකිරීමේ ව්‍යාපාරයක් මාටින් ලූතර් කිං ආරම්භ කරනවා.මේ බස් රථ වර්ජනය 60 දශකය දක්වා ඇවිල ගිය කලු ජාතීන්ගේ දැවැන්ත සටනක ආරම්භය විදිහටයි සැලකෙන්නෙ.

කලු ජාතිකයන්ට අමෙරිකාව තුල සමතැන ලබාගැනීම සදහා ගෙන ගිය අරගලය ප්‍රසිද්ධ වූයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය යනුවෙනුයි.මේ ව්‍යාපාරය තුල ප්‍රවනතා කිහිපයක් දක්නට ලැබුනා.
1.මාටින් ලූතර් කිං විසින් නියෝජනය කල අවිහිංසාවාදී සටන් ප්‍රවනතාවය.කිං ධනේශ්වර "මහත්මයෙක්" වූ අතර එක්තරා විදිහක ලිබරල් ස්වරූපයක් මේ ප්‍රවනතාවය තුල තිබුනා.මේ අය සුදු ආධිපත්‍යයට විරුද්ධව සටන් කිරීමේදී හිංසනය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කලා.ඉන්දියාවේ ගාන්ධි අනුදකිමින් අවිහිංසාවාදී සටන් හා සිවිල් නීති කඩකිරීමේ සටන් හරහා අයිතීන් දිනාගත යුතු බව ඔවුන් යෝජනා කලා.
2.ආගමික සම්භවයක් සහිත ප්‍රවනතාවය - කලු ජාතිකයන් තුල ඉස්ලාම් දහම වැලදගැනීමේ ප්‍රවනතාවයක් 50 හා 60 දශක වල ව්‍යාප්ත වුනා.සුප්‍රකට බොක්සිං ක්‍රීඩක කැෂියස් ක්ලේ මොහොමඩ් අලි බවට පත්වන්නේ කලු ජාතිකයන් "විමුක්තිය" ලැබීම උදෙසා ඉස්ලාම් දහම වැලද ගත යුතු බවට ව්‍යාප්ත වූ අදහස සමග.
3.රැඩිකල් දේශපාලන ප්‍රවනතාවය- ස්ටොක්ලි කාමයිකල් මැල්කම් එක්ස් වැනි නායකයන් මේ ප්‍රවනතාවයේ පූර්වගාමීන් වුනා.කිංලාගේ අවිහිංසාවාදය මේ අය අතින් විවේචනයට ලක්වුනා.මැල්කම් එක්ස් ප්‍රසිද්ධ රැස්වීමක වරෙක පැවසුවේ සුදු ආධිපත්‍යයෙන් මිදිය හැක්කේ we shall overcome යනුවෙන් සිංදු කියමින් සිටීම තුල නොව සන්නද්ධ වී සුද්දන්ගේ පීඩනයට විරෝධය පෑම තුල බවයි.
(we shall overcome - මේ ගීතය මාටින් ලූතර් කිංගේ ව්‍යාපාරයේ තේමා ගීතය තරම් ප්‍රසිද්ද වූ ගීතයක්)
අමෙරිකානු සුදු බලවතුන් කලු ජාතිකයන් "සමූලඝාතනය" කිරීමට තැත් කරන බව ස්ටොක්ලි කාමයිකල් කියන තරුන නායකයා වරෙක ප්‍රසිද්ධ රැස්වීමක උද්වේගකර ලෙස චෝදනා කලා.රතු ඉන්දියානුවන් සමූලඝාතනය කොට ගොඩනැගුනු රටකට,වියට්නාම් යුද්ධය හරහා ඈත ආසියානු රටක අහිංසක ජනතාවක් සංහාරය කරමින් ඉන්නා රටකට කලු ජාතිකයන් සමූලඝාතනය කිරීමේ බැරිකමක් නැති බව ඔහු මේ කතාවේදී පවසනවා.අමෙරිකාවේ ඉතිහාසයම යලි සලකා බැලිය යුතුයි කියන අදහස මේ රැඩකල් ප්‍රවනතාවය විසින් මතුකලා.උදාහරනයක් විදිහට අමෙරිකාවේ ජාතියේ පීතෘවරයා විදිහට සැලකෙන ජෝර්ජ් වොෂිංටන් යනු විශාල වහල් හිමියෙක්.ස්වකීය ජනයා වහලුන් ලෙස තබාගන්නා ලද පීඩකයෙක් තමන්ගේ අධ්‍යාත්මික පිතෘවරයා ලෙස සැලකිය හැකිදැයි මෙම දහරාවට අයිති ක්‍රියාධරයන් ප්‍රශ්න කරනවා.මේ අදහස්වලට සමාන අදහස් ගනනාවක් Black panther party කියන රැඩිකල් දේශපාලන ව්‍යාපාරයේ ලිපි ලේඛන කියවූ විට සොයාගත හැකියි.

වියට්නාම් යුද්ධයට බැදෙන්නට අමෙරිකානු තරුනයන්ට නියෝග කල අනිවාර්ය යුද හමුදා සේවය පිලිබද නීති කලු ජාතික දේශපාලන සටන්කරුවන්ගේ බරපතල විරෝධයන්ට තුඩු දුන්නා."තමන්ට දෙවෙනි පෙල පුරවැසියන් ලෙස සලකන රාජ්‍යයක් වෙනුවෙන් ඇත ආසියාතික රටක මරාගෙන මැරෙන්නට යන්නේ කුමකටද"යන්න කාමයිකල් ප්‍රශ්න කලා.ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා වූ මොහොමඩ් අලි යුද සේවයට බැදීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරමින් බන්ධනාගාරගත වීම තෝරාගත් බව ප්‍රසිද්ධ කතාවක්.වර්නභේදවාදී සංස්ථාපිතයට විරුද්ධ කලු ජාතිකයන්ගේ සටන නොතකා හැරිය නොහැකි බලසම්පන්න එකක් බවට 60 දශකය මැද භාගය වනවිට පත්ව තිබුනා.මේ සටන්වලට සහය දෙන්න ඉදිරිගාමී අදහස් තියන සුදු ජාතිකයන් ඉදිරිපත් වුනා.බොබ් ඩිලන් වගේ සුදු ජාතික ගායකයන් වර්නභේදවාදය විවේචනය කරමින් හා කලු ජාතික සටන්වලට සහය පලකරමින් දේශපාලන ගීත නිර්මානකරනයේ යෙදෙන්නට වුනා.
වර්නභේදවාදී පද්ධතියේ ආරක්ෂකයන් තමන්ගේ ආධිපත්‍යය ප්‍රශ්න කල විරුද්ධකාමින්ට එරෙහි කුප්‍රකට සංවිධාන අටවා ගන්නට පටන් ගන්නේ මේ අතර.කූ ක්ලකස් ක්ලෑන් ( KKK )නමැති අපකීර්තිමත් සංවිධානය මෙවැන්නක්.කුලියට ගත් සුදු ජාතික මිනීමරුවන් යොදවා අමෙරිකාවේ දකුනු ප්‍රාන්ත වල දේශපාලන ක්‍රියාකාරීන් මරා දැමීම,බිය ගැන්වීම මේ අනුව සිදුවුනා.මේ සිදුවීම් වල ඛේදනීයම අවස්ථාව විදිහට සැලකෙන්නේ මාටින් ලූතර් කිං නැමැති නායකයා මරා දැමීමට ලක්වූ අවස්ථාවයි.

සාහසික මරන,බිය ගැන්වීම්,පොලිසිය යොදවා පහරදීම් හා අතුරුදහන් කිරීම් වැනි භයානක සිදුවීම් ගනනාවක් අතරින් පරිනාමය වූ කලු ජාතිකයන්ගේ අරගලය අවසානයේ වර්නභේදවාදී අමෙරිකානු සමාජයේ තීරනාත්මක වෙනසක් සිදු කිරීමට සමත් වෙලා තියෙනවා.කලු ජාතිකයෙක් වූ බැරැක් ඔබාමා රටේ ජනාධිපතිධූරයට පත්වීම වැදගත් වෙන්නේ මේ අර්ථයෙන්.ඔබාමාගේ මුතුන් මිත්තා "බෝයි"යනුවෙන් අවමානයට ලක්වූ නිකම්ම නිකම් නීගරයෙක් විය හැකිව තිබුනා.මැල්කම් එක්ස්,මාටින් ලූතර් කිං වැනි මිනිසුන් පවතින තත්වයන්ට විරුද්ධව සටන් නොකලා නම් ඔබාමාත් මුඩුක්කුවක කුලී වැඩ කරන හුදු කල්ලෙක් පමනක් විමට ඉඩ තිබුනා.
නමුත් සමාජය දැවැන්ත ලෙස වෙනස් වී තිබෙනවා.වඩාත් නිවැරදිව කියනවා නම් ධෛර්යසම්පන්න මිනිසුන් විසින් කල විරෝධය පෑම් වල ප්‍රතිඵලයක් ලෙස සමාජය වඩා හොද දිශාවකට වෙනස් කරගන්නට හැකිවී තිබෙනවා.වසර එකසිය පනහකට පෙර ඉපදුනා නම් කස පහර කන වහලෙක් විය යුතුව තිබූ අයෙක් රාජ්‍යයේ ජනාධිපතිධූරයට පත්වීම විසින් පෙන්නුම් කරන්නේ පවතින අසාධාරනයන් ඉවසීම වෙනුවට,ඒවාට අභිමුඛ වීම හා ඒවා සමග සටන් කිරීමේන් කොතරම් ශ්‍රේෂ්ඨ වෙනස්කම් මිනිසුන්ට කල හැකිද යන්න මිස වෙන කිසිවක් නෙමෙයි.

ඔබාමා බලයට පත්වීම පිලිබද කතාන්දරය මේ අනුව මිනිසාගේ ශක්තිය කෙතරම්ද යන්න විදහා දක්වන කතාවක්.සමාජයේ තිබෙන බොහෝ අයුක්තීන් "ස්වභාවික" දේවල් විදිහට අපි හිතාගෙන ඉන්නවා.සිය ගනන් ගැහැනුන් පිරිමින් නිදාගන්නට තැනක් නැතිව කොටුව දුම්රිය ස්ථානය අසල ඉටි රෙදි එලාගෙන නිදාගද්දී,අම්මාවරුන් සිය දරුවන් උස්මහත් කරගත නොහැකිව ගංගා වලට විසි කරද්දි මේ සියල්ල අතරින් එක් රැයකට විසි තිස් දහස් ගනන් සල්ලි වියදම් කිරිම උදෙසා සුඛෝපභෝගී ඉන්ටකූලර් වල නැගි කුමර කුමරියන් රාත්‍රී සමාජ ශාලා වෙත පියාඹා යද්දී - මේ විෂමතාවය,මේ පරතරය,මේ බරපතල වෙනස ස්වභාවික දෙයක් විදිහට හිතන්න අපිව පුරුදු කරවලා තියනවා.එහෙම හිතන්න අපි පුරුදු වෙලා තියෙනවා.හරියට අවුරුදු එකසිය පනහකට පෙර වහලෙක් සේ ජීවත් වීම කල්ලාගේ ස්වභාවික ඉරනම යැයි අමෙරිකානු සමාජය කල්පනා කලා වගේ සමාජයේ ඇති තාක් අයුක්තීන් "සාමාන්‍ය" ඒවා විදිහට ඉවසිය යුතු යැයි අපට උගන්වා,අපව සිතන්න පුරුදු කොට තිබෙනවා.
සියලු සමාජ අයුක්තීන් සමාජයීයයි.සමාජමය ගොඩනැංවීම් ඕනෑම එකක් බිද දමන්නටත් වෙනත් විදිහකට නැවත ගොඩනගන්නටත් මිනිසුන්ට හැකියාව තියෙනවා.
ඔබාමාගේ සංකේතාත්මක ජයග්‍රහනය විසින් උගන්වනු ලබන පාඩම වූ කලී මානවයාගේ මෙම විභව ශක්තියේ බල පරාක්‍රමය පිලිබද පාඩමයි.





බැරැක් හුසේන් ඔබාමාගේ ජයග්‍රහනය ගැන - 1


බැරැක් ඔබාමා අමෙරිකාවේ ජනාධිපතිධූරයට පත් වූ වි‍ට ඇතැම් බොලද විදග්ධයන් අපේක්ෂා කලේ අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වනු ඇති බවටයි.
අමෙරිකාවේ අධිපතිවාදී භූමිකාව ඔබාමා විසින් වෙනස් කොට සාධාරන ප්‍රජාතන්ත්‍රවාදී විදෙස් පිලිවෙතක් සහිත අහිංසක රටක් බවට අමෙරිකාව පත්කෙ‍රෙනු ඇති බවට මේ විදග්ධයන් අවංකව අදහන්නට පටන් ගත්තා.දයාන් ජයතිලක වරෙක ප්‍රකාශ කලේ ඔබාමාගේ "ඩිමොක්‍රටික්" ප්‍රතිපත්ති බලයට පත්වීම මේ සියවසේ ඉතාම සුවිශේෂී සංසිද්ධියක් වන බවයි.

අධිරාජ්‍යවාදය හා අමෙරිකානු අධිපතිවාදය ගැන ලොකු කතාබහක් මේ වනවිට ලංකාවේ දකින්න ලැබෙනවා.විශේෂයෙන් ආන්ඩුව තමන්ගේ පැවැත්මේ තර්කය විදිහට "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන වලින් රට බේරා ගැනීම" පිලිබද සූත්‍රය ඉස්සරහට දාගෙන සිටින සන්දර්භයක අධිරාජ්‍යවාදය සමාජයේ සෑම තරාතිරමක් තුලම "මාතෘකාවක්" වී තිබෙනවා.අධිරාජ්‍යවාදය කියන අතිශය සංකීර්න දේශපාලන ප්‍රපංචය අපේ ඊනියා දේශප්‍රෙමී චින්තකයන් විසින් තේරුම් අරගෙන තිබෙන්නේ ඉතාම පැතලි සහ බොලද විදිහකට.මේකට හේතුව වෙන්නෙ අධිරාජ්‍යවාදය ගැන උඩින් පල්ලෙන් අත ගා ගෙන තමන්ගේ නැන හා තමන්ගේ බල ව්‍යාපෘතියට අනුකූල විදිහට හදාගත්ත විග්‍රහයක් මිස විද්‍යාත්මක පදනමක් මත සිදු වූ වාස්තවික විග්‍රහයක් මේ ඊනියා ‍දෑ හිතකාමී චින්තකයන්ට නැති වීමයි.මේ හින්ද අධිරාජ්‍යවාදය කියන්නෙ ධනවාදයේම ඉහල පියවරක්ය යන අවබෝධය වෙනුවට අපේ සමාජයේ තියෙන්නේ අධිරාජ්‍යවාදය කියන්නෙ සුද්දගේ නපුරුකම හින්ද ඇතිවුන එකක් කියන ඉතාම සරල කල්පනාව.බටහිර රටවල අධිරාජ්‍යවාදී ක්‍රියාකාරීත්වය "ක්‍රිස්තියානිය" සමග ගැටගහල තේරුම් ගන්න උත්සාහ කරන ලංකාවේ ජාතික චින්තන මහත්වරු කොර වෙන්නේ ධනවාදය තුලම පරිනාමය වෙමින් බලවත් රටවල් විදිහට නැගෙමින් අධිපතිවාදී චර්යාවන් පෙන්නුම් කරන ඉන්දියාව,ජපානය වගේ රටවල් වල අධිපතිවාදය විග්‍රහ කරන්න ගියාම.උදාහරනයක් විදිහට ඉන්දීය අධිපතිවාදයට හේතුවත් ක්‍රිස්තියානියද?
ඉන්දියාව අමෙරිකාව යුරෝපය කියන මේ හැමතැනම තියෙන අධිරාජ්‍යවාදී හෝ ව්‍යාප්තවාදී භාවිතාවන් එක්ක ගැටගැහුන මහා පොදු සාධකය වෙන ධනවාදය අල්ලගන්න බැරිව ගියාම අධිරාජ්‍යවාදය = සුද්දගෙ නපුරුකම වගේ "ජාතික" ප්‍රවාද නිර්මානය වෙන එක ස්වභාවිකයි.

අධිරාජ්‍යවාදය ගැන කතාකරන්න ගියාම ලිපියේ කතානායකයා වන බැරැක් ඔබාමා මග හැරෙන නිසා යලි කතානායකයා වෙත පිවිසෙමු.
අප සියලු දෙනා දන්නා විදිහට බැරැක් ඔබාමා බලයට පත්වූවා කියා අමෙරිකානු විදෙස් පිලිවෙතේ‍ අබැටක තරම් හෝ ගුනාත්මක වෙනසක් වෙලා නැති අතර සුපුරුදු ලෝක පොලිස්කාරයාගේ අධිපතිවාදී භූමිකාව ඔබාමා රෙජිමය ය‍ටතේදීත් අමෙරිකානු බලාධිකාරිය විසින් රගපානු ලැබෙනවා.මෙතනදි අපි සලකා බැලිය යුතු කාරනය තමයි අමෙරිකාවේ දේශපාලන හයිය උපදින්නේ කොතනින්ද යන්නයි.
අමෙරිකාව (ඇතුලු රටවල) දේශපාලන චන්ඩිකම/උද්දචිචකම උපදින්නෙ ආර්ථික බලය රදවාගැනිමේ උවමනාව හරහා.
ඉස්සර සමාජ ක්‍රම වල නොතිබුන,ධනවාදයේ තිබෙන විශේෂ ලක්ෂනයක් තමයි ප්‍රාග්ධන අපනයනය.වැඩවසම් යුග වල ( රජවරුන්ගේ කාලයේ කියල සරල කරල ගමු) භාන්ඩ අපනයනය කලා ආනයනය වුනා කියල අපි දන්නවා.නමුත් ධනවාදය තුල භාන්ඩ විතරක් නෙමෙයි ප්‍රාග්ධනයත් අපනයනය කෙරෙනවා.ඒ කියන්නේ අමෙරිකාව වගේ දියුනු වුන ධනවාදී රටවල ප්‍රාග්ධන හිමියන් තමන්ගේ ජාතික රාජ්‍යයේ වෙලදපොල තුල ප්‍රාග්ධනය යොදවලා ලාභ ඉපයීමෙන් නොනැවතී‍ ලෝකයේ නොදියුනු රටවල් වෙන පරිධියේ රටවල් වලත් තමන්ගේ අතිරික්ත ප්‍රාග්ධනය ආයෝජනය කරල තම ලාභ ජනනය කිරීමේ ක්‍රියාවලිය තවත් පලල් කරගන්නවා.ප්‍රාග්ධනය කියන්නේ අතිරික්ත ශ්‍රමය කියන රුධිරය ගැන නොසංසිදෙන පිපාසයක් සහිත,යලි යලිත් ලේ බොමින් වැඩෙන යක්ෂයෙක් විදිහටයි හදුන්වලා තියෙන්නෙ.ධනවාදයේ තර්කය ලාභය නිසා ධනවාදයට කෙතරම් ලාබ ඉපයූවත් මදි.තමන්ගේ දේශීය වෙලදපොලින් සෑහිමකට පත්නොවෙන අමෙරිකාව වගේ රටවල ප්‍රාග්ධනය හිමි පංතිය මේ හින්ද නොදියුනු රටවල් වෙතත් ව්‍යාප්ත වෙමින් ලාභ හොයන්න පටන්ගන්නවා.මෙ විදිහට ඇදගන්න ලාබ කන්දරාව මත තමයි අමෙරිකාව වගේ රටවල අති සුඛෝපභෝගී ජීවන රටාව පදනම් වෙලා තියෙන්නෙ.

තමන්ගේ සුඛෝපභෝගී පැවැත්ම ආරක්ෂා කරගන්න නම් මේ රටවලට අනිවාර්යයෙන් තමන්ට අතිරික්ත ලාභ උපයා දෙන ගොදුරු බිම් ආරක්ෂා කරගත යුතු වෙනවා.නොදියුනු රටවල් කෙරෙහි යම් ආධිපත්‍යයක් පැතිරවීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ මෙතනදී.ආර්ථික බලය ඔස්සේ ‍දේශපාලන "හයිය" උපදිනවා කියල මුලදි කීවේ ඒ නිසා.අමෙරිකාවේ දේශපාලන හයිකාරකම මේ අනුව ධවල මන්දිරයේ අවුරුදු හතරක් වැඩ බලන්න පත්වෙන ජනාධිපතිගේ පුද්ගලික හොද නොහොදක් නෙමෙයි.එය ධනවාදී අධිරාජ්‍යවාදය කියන දේශපාලන සමාජ ක්‍රමයේ නෛසර්ගික ප්‍රශ්නයක්.
උක්ත දේශපාලන අවබෝධය නැති නිසා ලංකාව වගේ රටවල සුබසිහින දකින අහිංසකයන් ඔබාමා කියන "හොද" මිනිසා ඇවිත් අමෙරිකාවේ "නරක" අතුගා දමනු ඇතැයි අපේක්ෂා කලා.ප්‍රශ්න විග්‍රහ කරන්න සරල විඥානවාදී ප්‍රවේශයන් වෙනුවට සමාජ දේශපාලන තත්වයන් තක්සේරු කරන විශ්ලේෂනාත්මක මැදිහත්වීමක් අවශ්‍යයි කියල කියන්නෙ මේ වගේ බොරු වලවල් වල නොවැටීම උදෙසායි.

කොහොම වුනත් අමෙරිකාවේ අධිකාරිවාදය අබමල් ‍රොනක වෙනසකට බදුන් නොවුවත් බැරැක් ඔබාමාගේ බලයට පත්වීම සම්පූර්නයෙන්ම නොවැදගත් සිදුවීමක්ය කියල බැහැර කරන්න බැහැ.ඔබාමා බලයට පත්වීම තුල වැදගත්කමක් තියෙනවා.එය වැදගත් වනුයේ ඉන් අමෙරිකානු උද්දචිචකමේ සිදුවන කෙහෙල්මල් වෙනසක් නිසා නෙමෙයි.ඔබාමාගේ බලයට පත්වීම එක්තරා සංකේතාත්මක සිදුවීමක්.නූතන ලෝකයේ පැවති ඉතාම පීඩාකාරී ක්‍රියාවලියක් වුන වර්නභේදවාදය නමැති ක්‍රියාවලියේ තීරනාත්මක පරාජය වීමක් මේ සිදුවීමෙන් සංකේතවත් වෙනවා.
ඔබාමා බලයට පත්වීම සහ අමෙරිකානු වර්නභේදවාදය පිලිබද සාකච්ඡාව ඊලග ලිපියට අපි ඉතුරු කර ගනිමු.