Saturday, May 29, 2010

Manirathnam - GURU


( මෙම වියමනට ප්‍රස්තුත වන මනිරත්නම්ගේ Guru චිත්‍රපටය වෙත මෙතනින් පිවිසිය හැක )

මනිරත්නම් ගේ Guru චිත්‍රපටය 2007 දී තිරගත වූ අතර බොලිවුඩ් සිනමාවේ දැවැන්ත තරු විසින් භූමිකා රගදැක්වුන එය මහා පරිමාන සාර්ථකත්වයක් ඉලක්ක කලා.ලංකාව තුල රූපවාහිනියේත් කිහිප වරක් විකාශනය වුන මෙය දුක දිනා සාර්ථක වූ වීරයෙක්ගේ වීර කාව්‍යයක් හෝ සෞන්දර්යාත්මක ප්‍රේම වෘත්තාන්තයක් විදිහට මතුපිටින් ප්‍රමෝට් කෙරුනත් ඇත්ත වශයෙන් මෙම චිත්‍රපටය අතිශය දේශපාලනික ප්‍රකාශනයක්.තරමක කාව්‍යමය බසකින් කියන්නේ නම් Guru වූ කලී නූතන ඉන්දියාවේ යටි සිතෙහි ආශාවයි.

ගුරු කාන්ත් දේසායි නැමැත්තා ( අභිෂේක් බච්චන් ) දුගියෙක්.ග්‍රාමීය ප්‍රදේශයක සාමාන්‍ය පවුලක තරුනයෙක් වන ඔහු නගරයට සංක්‍රමනය වෙන්නෙ කිසිවක් අත නැතිව.ව්‍යාපාරිකයෙක් ලෙස හිස ඔසවා දියුනු වීමේ අභිලාෂය පමනක් ඇතිව.
ව්‍යාපාර ලෝකයේ පුසුඹ ඉව කරමින් නගරයට ඇදෙන ගුරුට අභිමුඛ වෙන්නෙ ඉංග්‍රීසි වහරන,කුලීනයන්ගේ බලය රජයන පාරාදීසියක්.මේ ආගන්තුක ලෝකය තුල ගුරු වැන්නවුන් හුදු "බයියන්" විතරයි.
මෙම විදේශීය පාරාදීසියේ ගුරු කාන්ත් නැමැති කොලු ගැටයා ආරම්භ කරන්නේ කුඩාම ස්ථානයෙන්.මුලින්ම සුදු ජාතිකයෙක්ගේ කොම්පැනියක වැඩ කර අත්දැකීම් ලබාගන්න හෙතෙම එහි සේවා වර්ධකයක් ලැබෙන්නා හාම සේවයෙන් ඉවත් වෙන්න තිරනය කරනවා.සුද්දාගේ ව්‍යාපාරයේ සේවකයෙක් වනවාට වඩා හේ ප්‍රිය කරන්නේ තමාගේම ව්‍යාපාරයක ස්වාමියෙක් වීමටයි.
සුද්දාගේ කොම්පැනියේ සේවය දිගටම කරන්න ලැබෙන ඇරයුම ඔහු ඉවතලනවා.සුද්දාගේ කොම්පැනියේ ඉදීමෙන් වෙන්නේ නුහුරු ටයිපටියක් ගෙල බැදගෙන හැමදේටම ඔලුව වනන්න විතරයි.
මෙය අසන ගුරුගේ හිතවෙතෙක් මෙසේ ප්‍රකාශ කරනවා.
"You will never succeed!"

ව්‍යාපාරිකයෙක් ලෙස තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන ගුරුට ස්ථාපිත වෙලද අධිකාරිය සමග විශාල පොරබැදීමක් කරන්න වෙනවා.වෙලද සංගමයේ බලය පවතින්නේ ගොල්ෆ් ක්‍රීඩාවට ප්‍රිය ඉංග්‍රීසි වහරන මහත්මයෙක් අත.වෙලද සංගමයේ සියල්ලන් ඔහුට අවනතයි.ඊට අතිරේකව පරිපාලන නිලධාරීන්ගේ කෙනෙහිලිකම් ගුරු ඉදිරියේ බාධක ‍විදිහට මතුවෙනවා.
මේ සියල්ල ඉදිරියේ හේ අකම්පිතයි.
වෙලදාම සදහා බලපත්‍රයට අවසර ඉල්ලන්න වෙලද සංගමයේ සභාපතිව මුන ගැහෙන්න යද්දි සභාපති ගොල්ෆ් ගසමින් ඉන්නවා.( ගොල්ෆ් කියන්නේ සුදු ජාතිකයන්ගේ ප්‍රභූ ක්‍රීඩාවක් යන්න ගැන සිහිකැදවීමක් කරගනිමු)
ගොල්ෆ් ගසමින් සිටින සභාපති පන්දුව වලට දැමිය හැකි නම් බලපත්‍රය දීම ගැන සලකා බැලිය හැකියයි ගුරුට කියනවා.ගැමියෙක් වන ගුරු කාන්ත් ඉංග්‍රීසින්ගේ මේ ක්‍රීඩාව හෝ ගොල්ෆ් පිති පරිහරනය ගැන කිසිවක් දන්නෙ නැහැ.
අභියෝගය භාර ගන්නා ගුරු තමන්ගේ අතින් ගොල්ෆ් බෝලය ගෙන වල ලගට ඇවිදගෙන ගොස් එය වල තුලට දමනවා.ඉලක්කය බෝලය වලට දැමීම.එය අතින් කලත් පිත්තෙන් කලත් තිබෙන වෙනස කුමක්ද?
බාධක මැඩගෙන ඉස්සරහට යාමට ගුරු තුල තිබෙන දැඩි උවමනාව වාගේම සිය ඉලක්කය වෙත යාමේදී සම්මත නීති රීති ගැන වුවත් තමන් තකන්නේ නැති බව පෙන්වන මෙම නාටකීය සිදුවීම වූ කලී මෙම ලියුම්කරුට අනුව චිත්‍රපටියේ ප්‍රබලම සංකේතයයි.

මනිරත්නම්ගේ ගුරු චිත්‍රපටියෙහි නිරූපනය වෙන මෙම ගුරු කාන්ත් දේසායි වූ කලී කවරෙක්ද?
ගුරු යනු පශ්චාත් යටත් විජිත භාරතීය සංවර්ධනයේ ආධ්‍යාත්මයයි.පශ්චාත් යටත් විජිත භාරතයේ නැගී එන දේශීය ධනේශ්වරයේ හා වෙලද කුලයේ සංකේතයයි.

ඉන්දීය නිදහස් අරගලය 20 වන සියවසේ අතිශය දැවැන්ත දේශපාලන පරිච්ඡේදයක්ය යන්න ගැන විවාදයක් තිබිය නොහැකියි.බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට එරෙහි ඉන්දීය අරගලයේ ප්‍රධාන දහරාවන් දෙකක් පැවතුනා.ඉන් එකකට ඉන්දීය කොංග්‍රසය නායකත්වය දුන් අතර අනෙත් දහරාව කොංග්‍රසයේ සාම්ප්‍රදායික නායකත්වය ප්‍රතික්ෂේප කල කැරලිකාරී ස්වභාවයක් ගත් භගත් සිං,චන්ද්‍ර බෝෂ් වැන්නවුන්ගෙන් සමන්විත වූවක් වුනා.
කොහොම වුනත් මින් මතු වුනේ ඉන්දීය කොංග්‍රසයේ නායකත්වය.
ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඉංග්‍රීසි ශික්ෂනයක් සහිත නේරු වැනි අයගේ නායකත්වය පැවති කොංග්‍රසයේ හදවත වුනේ භාරතයේ හිස ඔසවමින් සිටි නව ව්‍යාපාර හිමි පංතියයි.බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුන ආභාසය මත කර්මාන්තශාලා අරඹමින් වානිජ ව්‍යාපාරවලට අත ගසමින් 19 වන සියවසේ මැද භාගයේ සිටම මේ ප්‍රාග්ධන හිමි පංතිය ඉන්දියාවේ අලුත් සමාජ කොටසක් විදිහට මතුවෙන්න පටන් ගෙන තිබුනා.නමුත් ඉංග්‍රීසින්ගේ ව්‍යාපාරමය ආධිපත්‍යය නිසා මේ දේශීය ප්‍රාග්ධන හිමිකාරයන්ට ව්‍යාප්ත වෙන්න ලැබුන අවස්ථාව අවමයි.මේ සීමාව පුපුරවා දැමීමේ අවශ්‍යතාවය මෙම දේශීය ධනහිමි පංතියට බරපතල ලෙස තිබුන අතර 1947 දී එය එලෙසින්ම පුපුරවා දමන ලදී.

නැවතත් අපි ගුරු චිත්‍රපටය දෙස හැරෙමු.තමන් ඉදිරියේ මතුවන බාධක එක එක ජය ගන්න ගුරු කාන්ත් දේසායි කාලයාගේ ඇවෑමෙන් "දුක දිනා ජයගත්" වීරයා බවට පරිවර්තනය වෙනවා.ඔහුගේ ආයෝජකත්වයෙන් යුතු පොලිඑස්ටර් කම්හල් ඉන්දියාව පුරා ඉදිවෙනවා.ව්‍යාපාර ලෝකයේ පැරනි සංකේත එකිනෙක ඇදහැලෙද්දී ගුරු කාන්ත් දේසායි වානිජ ලෝකය දිග් විජය කරනවා.දිග් විජය ලැබූ පසු කල යුත්තේ කුමක්ද?
ඉන්පසු තිබෙන්නේ තමන් ලබාගත්ත ජයග්‍රහනය ස්ථාවර කරගැනීමේ හා තව තවත් පැතිරවීමේ අභියෝගය.
මෙන්න මෙතැනදීයි නැවතත් පරන කතන්දරයම වෙන විදිහකට රග දැක්වෙන්න පටන් ගන්නේ.
වංචා කිරීම,රැවටීම,බොරු කිරීම් හා අල්ලස් දීම ගුරු කාන්ත්ලාගේ නව ආධිපත්‍යය තුල ආයෙත් වතාවක් මහා පරිමානයෙන් එලියට එන්න ගන්නවා.පැරනි කාලයේ වගේමයි.දේශපාලකයන්ට අල්ලස් දීම්,අත යට ගනුදෙනු වැනි කුප්‍රකට සිදුවීම් නැවත කරකැවීම ආරම්භ වෙනවා.දේශපාලකයන් මාධ්‍යකරුවන් යන සියල්ලන්ම ගුරු කාන්ත්ගේ - එනම් අලුත් දේශීය ධන හිමි පංතියේ - අත නැටවෙන රූකඩ බවට පත්වෙනවා.එකම වෙනස - ඉස්සර මේ රූකඩ නැටවූයේ ගොල්ෆ් ගහන මහත්වරු වීමත් දැන් රූකඩ නටවන ගුරුලා ‍ගොල්ෆ් නොගැසීමත් විතරයි.
කොහොම වුනත් බදු වංචා ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන දෝරේ ගලා යන්න ගන්නවා.ගුරු කාන්ත් නැමැති දුක දිනා ජයගත් වීරයා පසුපස හඹායමින් ව්‍යාපාර ලෝකයේ අත යට ගනුදෙනු ගැන හෙලිදරවු කරන පුවත්පත් කතුවරයෙක් හා කලාවේදියෙක් මේ අතර චිත්‍රපටියේදී අපට හමුවෙනවා.
වානිජමය ලෙස සිදුකල අක්‍රමිකතා පිලිබද චෝදනා උග්‍ර වීම මත අවසානයේ ගුරු කාන්ත්ට එරෙහි පරීක්ෂනයක් සදහා රජය විසින් කොමිසමක් පත්කරන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස.

චිත්‍රපටය නැරඹූ ඇතැමුන්ට සිතාගැනීමට බැරි දෙය වූයේ කොමිසමේදි සිදු වන දෙයයි.බදු වංචා වලට සම්බන්ධ වූ ගුරුකාන්ත්ව ඇන ගසනු ඇතැයි ඇතමුන් අපේක්ෂා කලත් සුලු දඩයකට ඔහුව යටත් කරන රජය ඉක්බිති ඔහුව නිදහස් කර හරිනවා.කොමිසම ඉදිරියේ ගුරු චිත්තාකර්ශනීය කතාවක් පවත්වනවා.තමා වැනි "මධ්‍යම පංතික" ව්‍යාපාරිකයන්ගේ කටයුතු වලට එලඹෙන බාධා ගැන දරුනු විවේචනයක් හේ ඉදිරිපත් කරනවා.රජය හා නිලධාරීන් අනවශ්‍ය ලෙස ව්‍යාපාරික ගනුදෙනු පාලනය කිරීමට යාම හේ පතුරු ගසනවා.ඉන්දියාව තාම තුන්වෙනි ලෝකයේ රටක් විදිහට තියෙන්නේ මේ බාධාවන් නිසා බව හේ චෝදනා කරනවා.කොමිසම ඉදිරියේ ඇත්තටම මේ කතාකරන්නේ ගුරු නෙමෙයි.රාජ්‍ය පාලනයන් නිසා සංසරනය වෙන්න තිබෙන නිදහස අවම වීම මත කෝපාවිෂ්ට වූ ප්‍රාග්ධනයේ කටහඩයි.
නිදහස ලැබ සුපුරුදු පරිදි ව්‍යාපාර ලෝකයට අවතීර්න වෙන ගුරු කාන්ත් දේසායි මහා රැස්වීමක් අමතමින් ලෝකයාට මෙසේ ප්‍රකාශ කරනවා.
"we are coming!"

වර්තමාන ඉන්දියාව කියන්නේ ශක්තිමත් කාර්මික පදනමක් සමග වේගයෙන් නැගීගෙන එන රාජ්‍යයක්.ගුරු කාන්ත් දේසායිලාට ඇනයක් වී තිබූ රාජ්‍ය සුබසාධකවාදය 90 දශකය මුලදී ඉවත් කෙරෙන අතර ඒ සමග ඉන්දියාවේ ප්‍රාග්ධන හිමියන්ගේ නැගීම අතිශය වේගවත් උනා.ඉන්දීය සමාජ පිරමීඩයේ පතුල අන්ත දරිද්‍රතාවයේ ගුහාවක් වුනත් ඒ දරිද්‍රතාවයේ ගුහාව මත පය ගසා නැගිටින දිදුලන ප්‍රාග්ධන හිමි පංතිය නූතන ඉන්දීය රාජ්‍යයේ අරටුවයි.කොටින්ම මේ අරටුව කැඩුනොත් ඉන්දීය "රාජ්‍යයක්' ඉතිරි වෙන්නෙ නැහැ.චෝදනා එල්ල වෙන ගුරු කාන්ත් දේසායි නිදහස ලැබ කරලියට පිවිසීමේ රහස තිබෙන්නේ එතැන.
( ලංකාවේ අතිශය දූෂිත ගනුදෙනු වලට චෝදනා ලැබූ ඇතැම් ව්‍යාපාර හිමියන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේ පෙරේදා රාජ්‍ය ආයතන වල සභාපතිත්වයට පත් කල ආකාරය සමග මෙය සංසන්දනය කරන්න)

ඉන්දීය නව ධනේශ්වරයේ මෙම නෑඹුල් ප්‍රාග්ධනය ලාබය ඉව කරමින් සිටිනවා.ලාබය ඉව කරමින් එය හතර අත විසිරෙන්න උත්සාහ දරනවා.
ඈත යුරෝපයේ හෝ අප්‍රිකාවේ හෝ ලතින් අමෙරිකාවේ වෙලදපොලවල් දිග්විජය කරන්නට තරම් ඉන්දීය ප්‍රාග්ධනය තාම මේරිලා නැහැ.මේ නිසා නොවැලැක්විය හැකි ලෙස එහි බැල්ම වැටෙන්නේ මේ අනුව පලමුව තමන්ගේ දකුනු ආසියානු දුබල අසල්වාසීන් වෙත.කලාපය තුල උත්සන්න වෙමින් තිබෙන ඉන්දියාවේ "ලොකු අයියාගේ භූමිකාව" මේ අනුව අහම්භයක් නෙමෙයි.දවසින් දවස පැතිරෙන වෙලදපොල හා ප්‍රාග්ධන අවශ්‍යතා සමග මේ භූමිකාව ගැටගැහිලා තියෙනවා.

ස්වකීය අරගලය නේපාල වැඩවසම්වාදයට හා ඉන්දීය අධිපතිවාදයට යන දෙකටම එරෙහිව යැයි පසුගියදා නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක් වන ගෞරව් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා.
නේපාලයේ මෑතක් වන තුරු තිබුනේ ඉන්දියාවට හිතැති රාජාන්ඩුවක්.නමුත් එහි ගයනේන්ද්‍ර රජතුමා හිතුවක්කාරී විදිහට ඉන්දියාව නොසලකමින් චීනය සමග ඇයිහොදයිකම් පවත්වන්න පටන්ගැනීම නිසා රජුට "පාඩමක්" ඉගැන්වීමට යම් දේශපාලන මැදිහත්වීමක් ඉන්දියාව නේපාලය තුල සිදු කරනවා.රජුට එරෙහිව වසර දෙකකට පමන පෙර හටගත් මහා නැගිටීමට ඉන්දියාවේ උදව්වද ලැබුන අතර ඉන්දියාවේ සහය මෙහිදී ප්‍රධාන වශයෙන්‍ නේපාල කොංග්‍රසයට හිමිවුනා.
නමුත් නොසිතූ විරූ ලෙස රජුට එරෙහි අරගලයේ නායකත්වය තමන් අතේ රදවගන්න නේපාල කොංග්‍රසය අසමත් වෙනවා.ඒ වනවිට ග්‍රාමීයව ව්‍යාප්ත වී සිටි මාඕවාදී කැරලිකරුවන් අරගලයේ නායකත්වය කොංග්‍රසය අතින් ඩැහැගෙන තරගයේ වීරයා බවට පත්වෙනවා.මෙහි කූටාප්‍රාප්තිය සිදුවෙන්නේ 2008 පැවති මහජන චන්දයේ වැඩි බහුතරය නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය දිනාගැනීමෙන්.
මාඕවාදීන් රාජාන්ඩුව ‍අහෝසි කර දමන අතර ඉන්දියාව ඉගුරු දී මිරිස් ගත් තත්වයකට පත්වෙනවා.තමන් දෙසට නම්මා ගැනීමට යම් සම්භාවිතාවයක් හෝ තිබූ රජු වෙනුවට දැන් බලයට පත්ව තිබෙන්නේ චීනය සමග දැඩි ලෙස සම්බන්ධකම් පවත්වන ඉන්දීය ව්‍යාප්තියට විරුද්ධ බලවේගයක්.
මාඕවාදීන් පිහිටුවන අන්තර් වාර රජය බිදදැමීමට නේපාල කොංග්‍රසය හා ප්‍රාදේශීය ගෝත්‍රික කන්ඩායමක් පෙරටු කරගෙන නැවත ව්‍යාපෘතියක් දියත් ‍කෙරෙන්නේ මේ අතර.මේ ව්‍යාපෘතිය පසුපස ඉන්දියාව සිටින බවට මාඕවාදී නායක පුෂ්ප කමල් දහල් හෙවත් ප්‍රචන්ඩා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.කෙසේ නමුත් නිර්මානය වෙන දේශපාලන අසමබරතාවය උඩ ප්‍රචන්ඩා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වුනා.ඉන්පසු බලයට පත් නේපාල කොංග්‍රසයේ වත්මන් අගමැති මාධව් කුමාර් ඉන්දීය රූකඩයක් බවට චෝදනා එල්ල වී තිබෙනවා.නේපාල දේශපාලනය මේ වනවිට ඒ මේ අතට සැලෙමින් තිබෙන්නේ නිල රජයේ බලය හා මාඕවාදීන්ගේ ආධිපත්‍යය යන දෙකම සහිත ද්විත්ව බලයක් නේපාලයේ නිර්මානය වෙලා තිබෙන නිසා.

හැම රටක්ම වෙලදපොලක්.හැම රටවැසියෙක්ම එක්කෝ නිෂ්පාදන අමුද්‍රව්‍යයක්.නැතිනම් සූරා කා හැකි පාරිභෝගිකයෙක්.මේ වූ කලී ධනවාදයේ තර්කනයයි.තම බලපෑමේ චක්‍රය තුල හැකිතාක් භූමි ප්‍රමානයක් පවත්වා ගැනීමේ "ආසාව" පැන නගින්නේ මෙතනින්.
අලුත් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර බිම් පෙදෙස් මත ආයෝජන මත ආයෝජන අරඹමින්,සාම්පූර්හි බිමි පෙදෙස් විශේෂ ආර්ථික කලාප ලෙස ලබාගනිමින් වේගයෙන් මේ මොහොතේ ලංකාව තුලට ගලා එමින් තිබෙන්නේ ඉන්දියාවයි.සෙපා ගිවිසුමේ ප්‍රතිලාභ,රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරනය කල යුතු ආකාරය ගැන කාරුනික උපදෙස් හා ටියුෂන් රාජපක්ෂ රෙජිමයට ලබා දෙමින් සිටින්නේ එකී ඉන්දියාවයි.
මේ වූ කලී නේපාලය වැනි කුඩා රටක වුව ස්වාධීන පාලනයක් බිහිවීමට ඉඩ නොදෙන ඊට මැදිහත්වන හා කුමන්ත්‍රන මෙහෙයවන ගුරු කාන්ත් දේසායිලාගේ ඉන්දියාවයි.
අලුත් ලංකාවක සුබ සිහින දකින සියල්ලෝ සිහිකැදවා ගත යුතු වැදගත්ම කරුන එයයි.





Saturday, May 8, 2010

ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි


1

ක්‍රිෂාන්ති කුමාරස්වාමි යාපන ප්‍රදේශයේ ජීවත්වූ තරුනියකි.අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් සාමාර්ථ 7ක් සහිතව සමත් ව සිටි ඇය උසස් පෙල සදහා විද්‍යා විෂයන් හදාලාය.
1996 සැප්තැම්බර් 07 වන දින ඇය පාසල වෙත නික්මුනේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම සදහාය.පිලිතුරු ලියූ ඉක්බිති සිය පා පැදියෙන් මිතුරියක බැලීමට ඇය පිටත් වූවාය.අතරමගදී කයිතාඩි හමුදා මුරපොලේදී ඇයව රදවා ගනු ලැබින.පස්වරු 2ට ඇයව හමුදා භාරයට ගනු මග යන එන කිහිප දෙනෙක් විසින් දක්නා ලදී.
එසේ දුටූවෝ ඇය හමුදා භාරයට පත්වූ පුවත ඇගේ මවට දන්වනු ලැබීය.කයිතාඩි මහා විද්‍යාලයේ උප විදුහල්පතිනිය ලෙස සේවය කල 59 හැවිරිදි රාසම්මා කුමාරස්වාමිගේ සැමියා පිලිකා රෝගයට ගොදුරුව කලකට ඉහතදී මිය ගොස් තිබුනි.සිය දහසය හැවිරිදි පුත්‍රයා වූ පරවනන් හා අසල්වාසියෙක් වූ 32 හැවිරිදි සිතම්පරම් සමග සිය දියනිය සෙවීම උදෙසා රාසම්මා කුමාරස්වාමි සිය නිවසින් හමුදා කදවුර වෙත පිටත් වූවාය.
දවස අවසාන වීමට ප්‍රථම මේ සියල්ලෝ අතුරුදහන් වූහ.

අතුරුදහන් වූවෝ යලි මතු වූයේ දින 45ට පසුවය.
හමුදා පරිශ්‍රය අසල නොගැඹුරු මිනී වලකින් සිවුදෙනාගේ සිරුරු ගොඩගන්නා ලදී.පලල් කඹයකින් ගෙල සිරකරනු ලැබ රාසම්මා කුමාරස්වාමි මාතාව මරා දමා තිබුනි.සිතම්පරම්ගේ සිරුර එවැනිම කඹයකින් වෙලනු ලැබ හුස්ම හිර කොට ඝාතනය කොට තිබුනි.ක්‍රිෂාන්තිගේ හා ඇගේ දහසය හැවිරිදි සොයුරාගේ මල සිරුරු කෑලි කෑලි වලට කපා දමා තිබුනි.

පසුව සාක්ෂි වලින් හෙලි වූ පරිදි හමුදා භාරයේදී ක්‍රිෂාන්ති සොල්දාදුවන් සය දෙනෙකු අතින් සාහසික ලෙස දූෂනයට ලක්වී තිබුනි.රංචු ගැසී දූෂනය කිරීමක (gang rape ) ගොදුර බවට විභාගය අවසන් කොට ගෙදර එමින් සිටි මෙම තරුනිය පත්විය.
සය වෙනි සෙබලා සිය අවස්ථාව අර ගැනීමට පෙර - ඒ වනවිටත් පස් වරක් දූෂනයට ලක්ව හෙම්බත්ව සිටි තරුනිය වතුර පොදක් බීමට ඉල්ලා තිබේ.
"කරුනාකර විනාඩි පහක් මට පාඩුවේ ඉන්න අරින්නැයි" ඇය හය වෙනි සෙබලාගෙන් ඉල්ලූ බවද හෙලිදරවු විය.
ඇය මරා දැමුනේ ඉන් පසුවය.


2

තුන්වන ගැමුනු බලකායේ ලුතිනන් ඒ.විජේසූරියගේ අන මත අමරදාස රත්නායක නම් සොල්දාදුවාගේ වෙඩි පහර කාගෙන කතරගම නගර මධ්‍යයේ ප්‍රේමවතී මනම්පේරි බිම ඇද වැටුනේ ක්‍රිෂාන්තිගේ මරනය වීමට වසර 25 ට පෙර 1971 දීය.
මිය යාමට පෙර දින අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රේමවතී රැය පුරා හමුදා නිලධාරින්ගේ අඩත්තේට්ටම් කිරීමට ලක්ව සිටියාය.නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ නිරුවත් කරනු ලැබූ තරුනිය තිරශ්චීන ලෙස වෙඩි තබා මරා දැමීමට ලක්වූවාය.
පසුකාලීන නඩු විභාගයකදී මිනීමැරීමට තැත් කිරීම යටතේ ඒ.විජේසූරිය හා අමරදාස රත්නායක චෝදනා ලැබූ අතර චෝදනාවට වරදකරු කරනු ලැබ සිරදඩුවම් නියම විය.කෙසේ වෙතත් කතරගම ප්‍රදේශයේ "ත්‍රස්තවාදී" ක්‍රියා මැඩපැවැත්වීමට කල "සේවය" සලකා පසුව ඒ.විජේසූරියගේ දඩුවම ලිහිල් කරන ලදී.


3

ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි යනු සංකේත දෙකකි.ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහසිකත්වයේ හා හිංසනයේ සංකේත දෙකකි.
රාජ්‍යය වූ කලී සංවිධානය වූ හිංසනයයි.සමාජයට "සේවා" සපයන අහිංසක ආයතනයක් ලෙස වෙස් ගන්වා තිබුනද රාජ්‍යයේ අභ්‍යන්තර සාරය බලහත්කාරයයි.හිංසනයයි.එය සෑම විටම එක්තරා සමාජ කන්ඩායමක,ස්ථරයක උවමනාවන් ආරක්ෂා කරයි.මතුපිට සැරසිලි ඉරා දැමූ විට අභ්‍යන්තරයේ පෙනෙන නිරුවත් ඇත්ත එයයි.
රාජ්‍යයේ අභ්‍යන්තර සාහසිකත්වය එලියට පනින්නේ රාජ්‍යයේ පදනම සැබැවින්ම අභියෝගයට ලක්වු කලය.රාජ්‍යය විසින් ආරක්ෂා කරන ප්‍රභූවේ පැවැත්ම සමාජයේ විවිධ කොටස් අතින් ප්‍රශ්න කෙරෙන කල රාජ්‍යය සිය වර්නවත් සලු පිලි ඉවතලා එහි උපන් ඇදුමින් පෙනී සිටී.
ලංකාවේ සිංහල කේන්ද්‍රීය ධනපති රාජ්‍යය අවස්ථා තුනකදී මෙරට බැහැර කරන ලද ජනකොටස් අතින් ප්‍රශ්න කිරීමට ලක්විය.71,88 හා ඊලාම් කැරැල්ල එම අවස්ථා තුනයි.අවස්ථා තුනේදීම සිය ව්‍යාජ "ප්‍රජාතන්ත්‍රවාදී" සලු පිලි උනා දැමූ රාජ්‍යය තමන්ව ප්‍රශ්න කිරීමට තරම් දිරිමත් වූවෝ බුල්ඩෝසර් කර දැමිමට සිය අවයව වලට විධාන දුන්නේය.හමුදාව නම් වූ රාජ්‍යයේ ප්‍රධාන අවයවය එම විධානය සියතට ගත්හ.

සිහලුන් වේවා දෙමලුන් වේවා - සාමාන්‍ය මිනිසා මෙම රාජ්‍ය අවයවයන් හට හුදෙක් ද්‍රව්‍යයයන් පමනි.මනම්පේරි ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර කොට මරා දැමුනේ ඈ තුල මිනිස් සාරයක් ඔවුහු නොදුටු නිසාය.කුමාරස්වාමි මෙන්ම ඇගේ කුඩා සොහොයුරාද කෑලි කෑලි වලට කපා ගෝනි තුල වලලනු ලැබූයේ කුමාරස්වාමිලා ගනන් නොගත යුතු මිනිස් "කෑලි" වූ නිසාය.
මනම්පේරි හා කුමාරස්වාමි උතුරේදි මෙන්ම දකුනේදී අසාධාරනයට අතවරයට හා පෑගීමට ලක්වූ නම් දත් නොදත් දස දහස් සංඛ්‍යාත තරුන තරුනියන් අතුරින් සංකේත දෙකකි.ඔවුන් ඝාතනය කල "නියෝජිතයන්" දඩුවම් ලැබුවද නියෝජිතයන් හට විධානය පැවරූ රාජ්‍යය - එය අද උතුරද දකුනද යටකරගෙන ආඩම්බරයෙන් සිනාසෙමින් සිටී.

පශ්චාත් යටත්විජිත ලාංකීය ඉතිහාසය නැවත ලිවිය යුතුය.
එය ලිවිය යුත්තේ මනම්පේරිලා හා කුමාරස්වාමිලාගේ රුධිරයෙනි.ඔවුන් හෙලූ කදුලෙනි.
මෑත ඉතිහාසය යනු ඔවුනගේ ලේ කදුලු වල ඉතිහාසය මිස බන්ඩාරනායකලාගේ රාජපක්ෂලාගේ හෝ ප්‍රේමදාසලාගේ "දැහැමිකම" පිලිබද ඉතිහාසය නොවේ.

Friday, May 7, 2010

එක්සත් ජාතික පක්ෂය අර්බුදය කවරක්ද?


සනත් ජයසූරිය මගේ ආශාවේ වස්තුවයි.හේ කෙතරම් බිංදුවට ගියත් මම මැච් එක බලන්නේ ජයසුරිය නිසාය.ජයසූරිය කන්ඩායමෙන් ඉවත් කලොත් මම මින් පසු මැච් නොබලමි. ජයසූරිය කන්ඩායමෙන් ඉවත් කර වෙන මොන ජගතෙක් බැට් කරන්න එවුවත් කොදෙව්වන් නූලට ක්‍රීඩා කරන තුරු ලංකා කන්ඩායමට කල හැක්කක්ද නැත.නූලට ක්‍රීඩා කරන කන්ඩායමක් අබිබවා යාමට කාටවත් නොහැකි බැවිනි. කන්ඩායම නොදින්නත් ජයසූරිය මැච් එක ගහන නිසා අඩුම තරමින් මම වත් මැච් එක බලමි.ජයසූරිය ඉවත් කලහොත් මාත් මැච් එක බැලීම අත්හැර දමනු ඇත.
ජයසූරිය ඉවත් කලා කියලා කන්ඩායම මැච් එක දිනන්නේ නැත. ජයසූරිය හිටියා කියා ඒත් කන්ඩායම මැච් එක දිනන්නේ නැත.
- විසි එක් වන සියවසේ ඊසොප්
-


ලාංකීය දේශපාලන අවකාශය තුල එක්සත් ජාතික පක්ෂයට පැවති සාම්ප්‍රදායික බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වේගයෙන් ගිල ගනිමින් තිබෙනවා යන්න ගැන විවාදයක් නැහැ.එජාප බලකොටු ලෙස සැලකෙන මහනුවර සෙංකඩගල ආසනය වැනි අතිශය ගතානුගතික යූ ඇන් පී ආසන පවා පසුගිය මැතිවරනවලදී එජායෙන් ගිලිහී ගියා.දෙමල හා මුස්ලිම් ජනයා ජීවත් වන ප්‍රදේශ හැර (දකුනේ) අනෙත් ප්‍රදේශ වලින් එජාපය ලැබුවේ අවම ප්‍රතිචාරයක්.සියයට විස්සත් තිහත් අතර දෝලනය වෙන ඡන්ද ප්‍රතිශතයක් එජාපයට අදාලව බොහෝ දිස්ත්‍රික්කවලදී දැකගන්නට ලැබුනා.2004 මැතිවරනයේදී රනිල් වික්‍රමසිංහ ලබාගත් මනාප සංඛ්‍යාව හා සමාන චන්ද සංඛ්‍යාවක්වත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට 2010 දී එජාපය අසමත් වෙනවා.මෙම සංකෝචනය වීම ඇත්තටම සැහැල්ලුවෙන් බැහැර කල හැක්කක් නොවේය යන්න පැහැදිලියි.

සාමාන්‍යයෙන් ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂය එජාපය බව හැමෝම පුරුද්දට වගේ කියනවා.මේ "හැමෝම" යන්නට එක්සත් ජාතික පාක්ෂිකයන්ට අමතරව ඊට සම්බන්ධ නොවූ අයත් ඇතුලත්.ඒ කියන්නේ එජාපය විශාලතම පක්ෂය බව එහි හිතවතුන් වගේම විරුද්ධවාදීනුත් පොදුවේ පිලිගත් කාරනයක්.
48 සිට මෙරට දේශපාලන ඉතිහාසයේ තනියම ආන්ඩු හැදීමේ හැකියාවක් සාපේක්ෂව තිබුනේ එජාපයට.ඒ වගේම සෑම සමාජ ස්ථරයක්ම විනිවිද යන පදනමක් එජාපය සතුව පැවතුනා.ගොවි ජනපද ව්‍යාපාර වල පදිංචි කල ගැමියන්,නාගරික මුඩුක්කු වල අව වරප්‍රසාදිතයන්,නගරබද මධ්‍යම පංතික පිරිස් ආදී වශයෙන් විශාල පිරිස් සංකේන්ද්‍රනයකට එජාපය උරුමකම් කීවා.පහලටම විහිදුනු විශාල ජාලයක් පැවති එජාපයේ ආධිපත්‍යය කවදත් පැවතියේ එක්තරා වරප්‍රසාද ලත් ප්‍රභූ කවයක් අත.60 දශකයේ දී ෆාම් බීච් කල්ලිය යනුවෙන් හැදින්වුනේ මෙම වරප්‍රසාද ලත් කවය.නිදහස් වෙලදපොලවාදී,කොන්සර්වැටිව් ඉහල පාංතිකයන් එජාපයේ තීරන ගැනීමේ අක්ෂය ලෙස හැමදාමත් වැජඹුනා.දොන් ස්ටෙපර් සේනානායක,ජුනියස් රිචඩ් ජයවර්ධන,ගාමිනී දිසානායක,රනිල් වික්‍රමසිංහ යනාදී සියලු නායකත්ව සංකේත බිහිවූ සමාජ පසුබිම එකක්.එය එක්තරා අන්දමක රෝයලිස්ට්/සෙන්ට් තෝමියන් වර්ගයේ කල්තරයක්.මේ සම්බන්ධ එකම ව්‍යතිරේඛය වන කෙසෙල්වත්තේ රනසිංහ ප්‍රේමදාස 88/89 මෙරට පැවති අතිශය ව්‍යාකූල පරිසරය මත හටගත් අහඹුවක් විනා එජාපයේ සාමාන්‍ය රීතිය නෙමෙයි.

එජාප කඩා වැටීමේ හේතුව රනිල් වික්‍රමසිංහ විදිහට දකින අය දැන් ඊට විකල්පය විදිහට සජිත් ප්‍රේමදාසව නම් කරන ප්‍රවනතාවයක් ඇතිවෙලා තියෙනවා.1994 ඉදලාම එජාපයේ විවිධ "ප්‍රතිසංවිධාන" ඇතිවුනා.මේ අනුව විවිධ තනතුරු ඇති කරල විවිධ අයව එම තනතුරු වලට පත්කෙරුනා.රනිල් වෙනුවට කරු ජයසූරිය යෝජනා කෙරුනා.එස් බී දිසානායකව ඉහල පුටුවේ වාඩි කරවීමෙන් අර්බුදයෙන් ගොඩ ආ හැකි යැයි ප්‍රකාශ කෙරුනා.රනිල් වෙනුවට යෝජනා වුන කරු මෙවර කොර වුනේ සමගිපුර පබා අක්කීටත් වඩා මනාප ලැයිස්තුවේ පහලට යාමෙන්.එස් බී දිසානායක රාජපක්ෂ පවුලට සේවය කිරීම සදහා ආන්ඩුවට බල්ටියක් ගැහුවා.ලැයිස්තුවේ දැන් හොයාගෙන තිබෙන අලුත්ම තුරුම්පුව හම්බන්තොට දිසාවේ පුංචි ප්‍රේමදාස.රනිල් ඉවත් කොට පුංචි ප්‍රේමදාස නායකත්වයට පත් කිරීමෙන් එජාපයට අහිමි වූ "සිංහල බෞද්ධ" පදනම යලි ආසක්ත කර ගත හැකි බවට අදහස් පල කෙරෙනවා.රනිල් කොටි සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් නිශේධනීය ස්ථාවරයක ඉද්දී තමන් දිගටම යුද්ධය වෙනුවෙන් පෙනී සිටි බව පසුගිය දිනෙක ප්‍රේමදාස එජාප හිතවාදී ඉරුදින පුවත්පතට ප්‍රකාශ කොට තිබුනා."සිංහල බෞද්ධ" ගැලවුම්කරුවාගේ පාට් එකට අදින්න පුංචි ප්‍රේමදාස සතුව තිබෙන උවමනාව මෙම ප්‍රකාශයෙන් පෙනී යනවා.

සාකච්ඡා කල යුතු වැදගත්ම කාරනය නම් එජාප අර්බුදයේ හේතුව රනිල් වික්‍රමසිංහමද යන්නයි.එජාපයේ අර්බුදයේ "හේතුව" එජාපය තුලින් පමනක් සෙවීමට යාම බොහෝ දෙනා ඇන ගන්න එක අවස්ථාවක්.
ඒ ගැන කතා කිරීම පසුවට තබා රනිල් වික්‍රමසිංහ මාකට් කරන්න බැරි ඉහල පාංතික චරිතයකි/සිංහල බෞද්ධ නොවන චරිතයකි යන තර්කය පලමුව සලකමු.
එජාපය පරාද වීමට වික්‍රමසිංහගේ දුර්වල සමාජ පෞරුෂය එක්තරා හේතුවක් විය හැකි වුනත් ඔහු හා සමාන වෙනත් කූල්ටූර් චරිත එජාප නායකත්ව හෙබවූ අතීතයේදී එජාපය ඕනෑ තරම් චන්ද දිනා තිබෙනවා යන්න තේරුම් ගැනීම වැදගත්.අනෙත් කරුන නම් 2001 දි ආන්ඩු බලය ගත්තේත් 2005 රාජපක්ෂට කරට කර ගේමක් දුන්නේත් මෙම කූල්ටූර් වික්‍රමසිංහමයි.හාස්‍යජනක කාරනය වෙන්නේ සිංහල චන්ද "අහිමි" කරන හේතුව ලෙස වික්‍රමසිංහ විරෝදීන් දකින රනිල්ගේ කූල්ටූර් ඉමේජය එජාපය වෙත දැනට ලැබෙන ඡන්ද ටික හෝ ආකර්ශනය කරවන කාන්දම වී තිබීමයි.
කොළඹ ඉහල පංතිය සහ ප්‍රත්‍යන්ත නාගරික ඉහල මධ්‍යම පංතික කොටස් සහය දක්වන්නේ වික්‍රමසිංහගේ කුල්ටූර් ඉමේජයට මිස අනෙකකට නෙමෙයි.එජාපය වෙත දෙමල හා මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව ආකර්ශනය කරවන සාධකය වෙන්නෙත් වික්‍රමසිංහගේ කුල්ටූර් රූපය විසින් ඔවුනට සහතික කොට තිබෙන නිදහස් වෙලදපොලවාදී ආරක්ෂනය.
රාජපක්ෂ සමග සෙට් වීමට සුලු ජාතික ප්‍රභුන්ට හා සෙමි ප්‍රභූන්ට තිබෙන සැලකිය යුතු බාධාව වු කලී රාජපක්ෂගේ සිංහලවාදී ඉමේජයයි.නිදහස් වෙලදපොලවාදය සම්බන්ධ රාජපක්ෂගේ ප්‍රවේශයට මෙම ව්‍යාපාරිකයන් කැමැත්ත දැක්වුවත් ඔහුගේ සිංහලවාදී රූපය විසින් රාජපක්ෂ වෙනුවට වික්‍රමසිංහ වඩා හොද විකල්පයක් ලෙස මෙම සුලු ජාතික කොටස් සදහා ඉතිරි කොට තිබෙනවා.එජාපයට පසුගිය කාලයේ ලැබුන චන්ද ස්වල්පයෙන් සැලකිය යුතු කොටසක් සංයුක්ත වුනේ මෙම සුලු ජාතික ව්‍යාපාරික ගනයේ පෙලඹවීම මත ලැබුන චන්ද වලින්.එජාපයේ මුදුනට රාජපක්ෂ වැනිම සිංහල බෞද්ධ "වීරයෙක්" ආදේශ වුනහොත් මෙම සුලු ජන පදනම හරි මැදින් දෙකට කැඩෙන එක කොහොමවත් වලක්වගන්න බැහැ.

ඇත්තටම එජාප අර්බුදයේ "හේතුව" සෙවිය යුත්තේ එජාපය තුලින් නෙමෙයි එජාපට පිටතින් ලංකාවේ සිදුවෙමින් තිබෙන දේශපාලන සමාජ විපරිවර්තනය තුලින් බව මෙම ලියුම්කරුගේ අදහසයි.
වික්‍රමසිංහ වෙනුවට පුංචි ප්‍රේමදාස වැනි ඊනියා සිංහල බෞද්ධ කොල්ලෙක් ආදේශ කිරීමෙන් වැඩක් වෙන්නේ නැත්තේ එජාපයේ ප්‍රතිවාදියා වන රාජපක්ෂ විසින් යුද්ධය නැමැති භෞතික කාරනය හරහා දැනටමත් ගොඩනගාගෙන තිබෙන සිංහලවාදී ඉමේජය වට්ටන්න පුංචි ප්‍රේමදාසට තමන්ගේ දේශානුරාගී ටෝක් වලින් තිබෙන හැකියාව ඉතාම අඩු එකක් නිසා සහ එවැන්නක් විසින් එජාපයට ඉතිරි වි තිබෙන චන්ද පදනමත් කැබලී වී යන නිසා.
( රාජපක්ෂ හා තරග කිරීමට පුංචි ප්‍රේමදාස දැමීම විජය කුමාරතුංග සමග සටනට අර්ජුන කමලනාත් දැමීම හා සමානයි.අර්ජුන් කරන්නේ විජය කරන දෙයයි.අර්ජුන් මේ නිසා හැමවෙලාවෙම ඉන්නෙ විජයට පිටුපසින් මිස ඉදිරියෙන් නෙමෙයි.ස්වායක්ත විචල්‍යය විජය.අර්ජුන් පරායක්තයි.ගැලරිය අත්පොලසන් දෙන්නේ විජයට මිස අර්ජුන්ට නෙමෙයි )

එජාපයේ "අපලය" ඇත්තටම පවතින්නේ එජාපයට බාහිරව.එජාපයට කෙලවෙන්න සැබෑ හේතුව නම් එජාපයේ ප්‍රතිපත්තිමය "සාරය" ශ්‍රීලනිපය විසින් සොරාගෙන තිබීමයි.
අප පසුගිය ලිපියෙන්ද පෙන්වා දුන් පරිදි ලාංකීය ධනවාදයේ අති සාර්ථක නියෝජිතයා විදිහට මහින්ද රාජපක්ෂ දැනටමත් උඩට ඇවිල්ලා තිබෙනවා.සාම්ප්‍රදායිකව ශ්‍රීලනිපය නියෝජනය කලේ ලංකාවේ ධනේශ්වර කොටස් වල වඩා දේශීය නැඹුරුවක් තිබෙන පිරිස් වල අවශ්‍යතාවය.පංති වලට කැඩුන අනෙත් හැම සමාජ ක්‍රමයක වගේම ධනේශ්වර ක්‍රමයේත් පැවැත්ම පවතින්නේ බලයේ සිටින පංතිය බලයට යටත් පංතීන් හා සමාජ ස්ථරයන් කෙතරම් දුරට කලමනාකරනය කරගන්නවාද,තමන්ගේ වසගය යටතේ පවත්වා ගන්නවාද කියන කාරනය මතයි.මෙම වසග කර්තව්‍යය කූල්ටූර් වික්‍රමසිංහට වඩා ඉතා සාර්ථක ලෙස මැදමුලන රාජපක්ෂ මේ මොහොතේදී සිදුකරමින් ඉන්නවා.පසුගිය මැයි දිනයේදී කොලඹ නගර සභා පිටියට එකතු වුන වැඩ කරන කොටස් තමන්ව හෙම්බත් කරල තියෙන පසුගාමී නොදියුනු සමාජ ක්‍රමය ආරක්ෂා කරන පාලකයාම තමන්ගේ "රජතුමා" විදිහට ආදරයෙන් පිලිගනු ලැබුවා.පවතින ක්‍රමය පවත්වාගෙන යන්න හැම අතින්ම දක්ෂ,මැකියාවෙලි පන්නයේ "කුමාරයෙක්" සිංහාසනාරූඩ වී සිටින පසුබිමක වික්‍රමසිංහගෙන් හෝ එජාපයෙන් පවතින ක්‍රමයට ඇති ප්‍රයෝජනය කුමක්ද?
එජාපය සතුව තිබෙන දේශපාලන අවකාශය හැකිලෙන්නේ එජාපයේත් ප්‍රතිපත්තිමය "සාරය" වන ධනවාදය ඉදිරියට ගෙන යාමෙහිලා වඩා සාර්ථක නියෝජිතයෙක් වන රාජපක්ෂ දේශපාලන අවකාශය තුල සරන්නට පටන් ගෙන තිබෙන නිසා.
මේ අනුව වැඩි කල් නොගොස් ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ආශිර්වාදයත් රාජපක්ෂ දිනාගන්නා ආකාරය අපිට දැකගන්න පුලුවන් වෙනවා ඇති.තිස්සනායගම් මුදා හැරීම,පදික වේදිකා සුද්ද කර කොළඹ වානිජ නගරයක් කිරීමේ පදනම දැමීම වැනි ඉගි බිගි හරහා තමන් සමග හාද වීමට රාජපක්ෂ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ඇරයුම් කොට තිබෙන අතර ජාත්‍යන්තර ප්‍රාග්ධනයට දැන් දැන් එජාපය යනු ඉස්සර කාලේ වැඩ ගන්න යොදාගෙන වයසට යාම නිසා පස්සට තල්ලු වුන නාකි වූ පරන හරකෙක් විතරයි.පරන හරකා වෙනුවට කාර්යක්ෂම හරකෙක් දැන් ගිරුවාපත්තුවෙන් බිහිවී තිබෙනවා!

එජාපයේ පැවැත්මට අදාල භෞතික පසුබිම හැකිලී යාම නිසා කුඩා තීරුවකට සීමා වෙන්න මේ අනුව එජාපයට සිද්ද වෙලා තියෙනවා.අතිශය කොන්සර්වැටිව් ඉහල පාංතිකයන් හා සුලු ජාතික පිරිස් හැරුනාම එජාපය සමග ඉතිරි වී සිටින්නේ කැපුවත් කොල විඥානයක් තියෙන ගම්බද අහිංසක යූ එන් පී කාරයන් විතරයි.පවතින දෘෂ්ටිවාදය මගින් මෙහෙයවෙන මේ අයගෙනුත් විශාල කොටසක් තමන්ට මොන මොනවා හරි ලැබෙන ජයග්‍රාහී රාජපක්ෂ පිල සමග දැනටමත් එකතු වෙලා තියෙන්නේ සදා පරාජිත පක්ෂයකින් තමන්ගේ ලමයෙක්ට රස්සාවක්වත් ලබාගන්න ඉඩක් ලැබෙන්නේ නැති නිසා.රාජපක්ෂ සාර්ථකව පවතින සමාජ ක්‍රමය ආරක්ෂා කරන තරමට සමාජ ක්‍රමය පවත්වා ගෙන යන්න ශ්‍රීලනිපය වෙනුවට විකල්පයක් සදහා භෞතික අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ.මේ නිසා එජාපයට - එහි නායකයා වික්‍රමසිංහ වුවත්,ප්‍රේමදාස වුවත්,කරු වුවත් වෙන කවරෙකු වුවත් ( අර තරම් ජනප්‍රිය පබා අක්කී එජාප නායකයා වුනත් )රාජපක්ෂ (ලා) සාර්ථකව බැට් කරන තුරු බෙන්ච් එකට වී ඉන්නට සිදුවීම අනිවාර්යයක්.

අනෙත් අතට රාජපක්ෂ පවුලේ අධිකාරිවාදී නැඹුරුව විසින් ඇති කොට තිබෙන සක්‍රීය විපක්ෂයක භූමිකාව සීමිත අර්ථයකින් වුනත් පුරවන්න එජාපයේ ව්‍යුහය අසමර්ථයි.
වීදි සටන්,වැඩ වර්ජන,කදුලු ගෑස් වැනි දේවල් එජාපයට හුරු පුරුදු ඒවා නෙමෙයි.පාරට බැස හෝන් ගැස්සීම වැනි ආතල් දිමක් හැරෙන්න සීරියස් බහුජන අරගලයකට එජාප ව්‍යුහය සතුව තිබෙන නොහැකියාව පසුගිය දිනවල කදිමට පෙන්නුම් වුනේ ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවැත්වූ වීථි අරගලවලදී.එම සටන්වල සංඛ්‍යාත්මක බහුතරය එජාප පාක්ෂිකයන් වුනාට කැපී පෙනෙන ලෙස මෑන් ඔෆ් ද මැච් වුනේ සංඛ්‍යාත්මකව අති සුලුතරය වුන ජවිපෙ.නිල විපක්ෂය ලෙස එජාපය සතුව තිබෙන නිද්‍රාශීලිත්වය ආන්ඩුව සමග දැනටමත් එජාපය කරන කතානායක පත්කිරීම වැනි "අත යට" ගනුදෙනු හරහා පෙනී යනවා.

මේ නිසා එජාප අර්බුදය අපට වාක්‍ය කිහිපයකට ගොනු කල හැක.
පලමුව රනිල්ගේ කූල්ටූර් ඉමේජය ඉවත් කලහොත් එජාපයට දැනට ඉතිරි වී තිබෙන පදනමත් අහිමි වේ.
එසේම පුංචි ප්‍රේමදාස වැනි ඩුප්ලිකේට් යූඇන්පී රාජපක්ෂ කෙනෙක්ට රගපෑම හොදට කරගෙන යන ඔරිජිනල් රාජපක්ෂගේ භූමිකාවට කල හැකි අභියෝගයක් නැත.
දෙවනුව රනිල් දිගටම සිටියත් රාජපක්ෂ එජාපයේ ප්‍රතිපත්තිමය සාරය පවත්වාගෙන යන තාක් දුරට සියයට තිහේ රැදෙනවා හැර එජාපයට කල හැකි මගුලක් නැත.
මේ වූ කලී යූඇන්පියේ උභතෝකෝටිකයයි.
මේ වූ කලී කැපුවත් කොල පාක්ෂිකයාගේ සිහින බොද කරන සදා පවතින අපලයයි.







Saturday, May 1, 2010

මහින්ද රාජපක්ෂ - ඔබ ධනවාදයේ ගැලවුම්කරුවාය!ධනවාදය ඔබේ ගැලවුම්කරුවාය!



කොලඹ වීදි වල "අනවසර" කඩ සාප්පු කඩා ඉවත්කිරීම පිලිබද තියුනු දේශපාලන කියැවීමක් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියනු ලැබ මෙම සතියේ රාවය පුවත්පතෙහි පලව තිබුනා.මෙම ලිපිය බ්ලොග් අවකාශය තුලත් එක්තරා දුරක සංවාදයකට හේතුවක් වී තිබෙනු දැකිය හැකියි.
මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය ජනාධිපතිගේ සොහොයුරු ආරක්ෂක ලේකම් යටතට ගැනීම සමග එකට සම්බන්ධ වෙලා තිබෙන බව පෙනෙනවා.
හිගන්නන්ට සහ ජංගම වෙලෙන්දන්ට පුද්ගලික බස් රථ වලට ගොඩවීම තහනම් කෙරෙන තීරනයකට පුද්ගලික බස් හිමියන්ගේ සංගමය අවතීර්න වෙන්නේ මේ අතරතුර.හිගන්නන්,වට්ටි උස්සාගෙන පාරේ ඇවිදිමින් වෙලදාම් කරන්නන්,පේව්මන්ට් කඩවල නාවර පෙරාගත් කොල්ලන් හා ඒවාවල එල්ලෙන ලාබෙට විකිනෙන බඩු - මේවා "සුපිරි වානිජ නගරයක" නොතිබිය යුතු "අපුල දනවන දර්ශන" කියන තර්කය උඩ මෙවැනි ලක්ෂන අතු ගා දැමීමේ මෙහෙයුමකට පාලකයන් එලඹ සිටින බව පැහැදිලියි.කොලඹ අවට මුහුදේ අක්කර ගනනාවක් ගොඩ කර සර්ව සම්පූර්න වෙලද කලාපයක් ඉදිකිරීමට රජයේ සූදානමක් තිබෙන බව මේ අතර පැතිර යන තවත් ආරංචියක්.දිලිසෙන විදුලි පහන්,මහා ප්‍රාකාර,කැසිනෝ ශාලා සහ විනෝදය සපයන මධ්‍යස්ථාන ආදියෙන් හෙබි සංචාරකයන් හා විදේශ "ආයෝජකයන්" ආසක්ත කරවන සිංගප්පූරු පන්නයේ නගරයක් ගොඩනැගීමේ පාලකයන්ගේ ආධ්‍යාශය ඉහත උදාහරන කීපයෙන් තේරුම් ගන්න පුලුවන්.

මේ සිද්ධ වෙන ක්‍රියාවලිය වූ කලී කවරක්ද?මේකට දෙන්න තියන පිලිතුර සරලයි.මේ වූ කලී ධනවාදය මිස අනෙකක් නොවේ!
සිවිල් යුද්ධය අවසන් කෙරුනු පසුබිමක නිදහස් ප්‍රාග්ධන සංසරනයට සරු පසක් දැන් ලංකාවේ හැදිල තියෙනව."උතුරට වසන්තය" ගෙන ඒම උදෙසා ඉන්දීය සමාගම් දේශසීමා කඩාගෙන දැන් ගලාගෙන එනවා.ඒකොන් ප්‍රසංගය,හික්කා සැනකෙලි උත්සවය වැනි ව්‍යාපෘති විදේශ විනිමය අද්දවා ගැනීමේ අවශ්‍යතාවය මත නිර්මානය වූ ව්‍යාපෘති.බුකර්ටේට් සමාගම ඌව වෙල්ලස්ස ප්‍රදේශය පුරා සරන්නට ලක ලෑස්ති වී සිටිනවා.හම්බන්තොට වරාය ක්‍රම ක්‍රමයෙන් ඉදිවෙනවා.නැව් වලට තෙල් ගැසීම කොහොම වුනත් බඩු පැටවීම හා බඩු බෑම මෙම වරායෙන් කෙරෙනු අපේක්ෂා කල හැකියි.ගිරුවාපත්තුවේ "වීර ගොවි පුතුන්ට" වරාය කම්කරුවන් ලෙස ශ්‍රමය විකිනීමේ අවස්ථාවක් විවර වෙමින් තිබෙනවා.ඌව වෙල්ලස්ස "වීරෝදාර" ජනයාගේ සාම්ප්‍රදායික ජීවන රටාව වෙනුවට වැටුප් ශ්‍රමිකයන් බවට පත්වීමේ අවස්ථාවක් බුකර්ටේට් සමාගම විසින් සපයා දෙනු ලැබෙමින් තිබෙනවා.

මීට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රාජපක්ෂ ආන්ඩුවේ පැවති තාවකාලික ආරෝව කෙසේ හෝ සංසිදුවාගැනීමට ආන්ඩුව උත්සාහ කරමින් ඉන්නා බව පැහැදිලියි.මූල්‍ය අරමුදලේ නිර්නායක වන අවම අයවැය හිගය වැනි අරමුනු පෙන්නා ගත නොහැකි නිසා අය වැය ඉදිරිපත් කිරීම යලිත් වතාවක් ආන්ඩුව විසින් කල් දමා තිබෙනවා.අතුරු සම්මත ගිනුමකින් තාවකාලිකව ඇග බේරා ගන්නා ගමන් මූල්‍ය අරමුදලට පෙන්වීම සදහා බදු ආදායම් වැඩි කරගන්නේ හා රජයේ වියදම් අඩු කරගන්නේ කොහොමද කියන බරපතල ගැටලුවට මේ දිනවල ආන්ඩුව උත්තර සොයමින් සිටිනවා.රජයේ සුබසාධන වියදම් කපා දැමීම,පෞද්ගලිකකරනය,බදු මත බදු පැනවීම වැනි පියවරයන්ට ඉදිරියේදි යන්නට සිදුවීම මේ අනුව ඉදිරි මාස කිහිපය තුල අනිවාර්යයෙන් දැකගත හැකිවනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

රාජපක්ෂගේ කුරහන් සාටකය යටින් මේ අනුව ගලාගෙන යන්නේ අමුම අමු ධනවාදය බව පැහැදිලියි.
මෙලෙස කුරහන් සාටකය යටින් ධනවාදය ගලාගෙන යාම විසින් ලංකාවේ ඇතැම් "ලිබරල්වාදී" මහත්වරුන් අඤ්ඥකොරොස් වෙන්න පටන්ගෙන තියෙනවා.
මේ ලිබරල්වාදින් ධනවාදයේ පාරාදීසිය වන අමෙරිකාව හෝ යුරෝපය දෙස බලාගෙන රාජපක්ෂ පාලනයත් දියුනු ධනපති රටවල රෙජිමයනුත් සසදනවා.රාජපක්ෂ පාලන තන්ත්‍රය පවුල්වාදී ගුහාවක්.බටහිර තියනවා කියන "මාධ්‍ය නිදහස" ලංකාවේ දකින්නටවත් නැහැ.මාධ්‍ය වේදීන්ගේ පිටවල් කැපීම නිසා බටහිර රටක නම් සිරේ ලැගිය යුතු පාදඩ අපරාධකාරයෙක් ලංකාවේ මාධ්‍ය නියෝජ්‍ය ඇමති වී සිටිනවා.බටහිර රටක කවදාවත් සිදු නොවන ආකාරයකට ජනාධිපතිවරනයට ඉදිරිපත් වුන විපක්ෂ අපේක්ෂකයා අතාර්කික චෝදනා සමූහයක් මත සිරගත කොට තිබෙනවා.මෙවැනි දෙයක් ප්‍රශ්න කරන බටහිර පන්නයේ "මාධ්‍යවේදීන්" ලංකාවේ නැහැ.පලමු පාර්ලිමේන්තු සැසිවාරය දවසේ ගවයන් රංචුවක් දක්කන්නා සේ මාධ්‍යවේදින්ව පාර්ලිමේන්තුවට රජය විසින් බසයක පටවා රැගෙන ගියා.සැසිය අවසන් වූ සැනින් පාර්ලිමේන්තුවේ ඔබ මොබ යාමට වත් ඉඩ නොතබා යලි බස් රියේ පටවා අරගෙන එනු ලැබුවා.තමන්ට රජය ගවයන් රංචුවක් දක්කන්නා සේ සැලකූ බව ලියන්නටවත් කශේරුවක් නැති හරක් මාධ්‍ය භාවිතාවක් විනා විමර්ශනශිලී මාධ්‍ය භාවිතාවක් ලංකාව තුල නැහැ.

මේ ආකාරයට බටහිර යුරෝපයේ ධනේශ්වර "ප්‍රජාතන්ත්‍රවාදී" ලක්ෂන ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රයේ දේශපාලනය තුල නැති නිසා මෙම තන්ත්‍රය ධනේශ්වර එකක් විදිහට පිලිගන්න ලිබරල්වාදි මහත්වරු මැලිවෙනවා.රාජපක්ෂ තන්ත්‍රය ධනේශ්වර එකක් නොවේ එය වැඩවසම්වාදයකි,රාජ්‍යවාදයකි එහෙම නැත්නම් වෙන මොකක් හරි වාදයකි යැයි කියාගෙන හිත හදාගන්නට මේ මහත්වරු කැමැත්ත දක්වනවා.හැබැයි මේ මහත්වරුන්ව අන්දමන්ද කර දමමින් හතර අතින් පිටාර ගලන්නේ ධනවාදය.ප්‍රාග්ධනය.රනිල් වික්‍රමසිංහ නැමැති මහා "ධනවාදියාට" විදේශ සමාගම් වලට මෙරට ඉඩම් හරියකට පවරා දෙන්න හැකියාව ලැබුනේ නැහැ.සමාජ විරෝධය උඩ ඒ පියවර හකුලා ගැනුනා.නමුත් රාජපක්ෂ නැමැති "වැඩවසම්වාදියා" යලි පුබුදමු ලංකා මූලධර්මය වික්‍රමසිංහව පරයා සාර්ථක ලෙස මෙහෙයවමින් ඉන්නවා.නැගෙනහිර භූමිය ඉන්දීය සමාගම් විසින්,ඌව වෙල්ලස්ස භූමිය බ්‍රිතාන්‍ය සමාගම් විසින් රිසි සේ අත්පත් කරගනිමින් ඉන්නා අතර කිසිවෙකුගෙන් මේ පිලිබද ‍මැසිවිල්ලකුදු නැගෙන්නේ නැහැ.

ලංකාවේ ශිෂ්ට ලිබරල් මහත්වරුන්ගේ ධනවාදයේ පාරාදීසයික සිහිනය බටහිර යුරෝපය වුනාට යථාර්ථයක් විදිහට ගත්තම යුරෝපයේ වැනි ධනවාදී "ප්‍රජාතන්ත්‍රවාදයක්" ලංකාව වැනි පරිධියේ රටක දකින්නට ලැබෙන්නේ නැහැ.යුරෝප‍යේදී ධනවාදය සහ ඒකාධිපතිවාදය එකිනෙක නොගැලපෙන සුලු සංරචකයන් වුනාට ලංකාව වැනි පරිවාරයේ රටවල එය එසේ නොවෙයි.මේ වගේ රටවල ධනවාදී අර්ථ ක්‍රමය සාර්ථකව ගලාගෙන යන්නේ අධිකාරිවාදී පාලන තත්න්‍රයන් හරහායි.මානව හිමිකම් තකන්නේ නැති තරමට,විවෙචනයට තිබෙන ඉඩ හකුලා දමන තරමට අභියෝගයක් හෝ ගැටලුවක් රහිතව පරිවාරයේ රටවල ධනවාදය සාර්ථක ලෙස පවත්වාගන්න පුලුවන් කියන එක අත්දැකීමෙන් සාධනය වෙලා තියෙනවා.

උදාහරන කිහිපයක් ඇසුරින් මෙය තේරුම් ගැනීමට වෑයම් කරමු.

1.සෞදි අරාබිය - සෞදිය වූ කලී අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රධාන මැදපෙරදිග හවුල්කරුවෙක්.රජ පවුලක් විසින් මෙහි දේශපාලනය මෙහෙයවනු ලැබෙනවා.අමෙරිකානු සමාගම් මහා පරිමානව සෞදියේ තෙල් සම්පත මත ආයෝජනය කරල තිබෙන අතර ඉන් උපදින මහා සමෘද්ධියේ සැලකිය යුතු පංගුවක් සෞදියේ ප්‍රභූන් විසින් බෙදාහදා ගන්නවා.අතිශය දරුනු මර්ධනකාරී අවයවයක් විදිහට සෞදියේ රාජ්‍යය ක්‍රියාත්මක වෙනවා.කාන්තා නිදහස මානව අයිතීන් වැනි දේවල් මුද්‍රා කරනු ලැබ ඝනීභූතව පවතිනවා.දේශපාලනිකව සෞදිය කිසිසේත්ම "ප්‍රජාතන්ත්‍රවාදී" එකක් නොවුනත් සමාජ ආර්ථික වශයෙන් ධනවාදය එහි සාරයයි.

2.සුහර්තෝගේ ඉන්දුනීසියාව - 1965 ඉන්දුනිසියාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ක්‍රියාකාරීන් මිලියනයකට ආසන්න ප්‍රමානයක් සංහාරය කොට දමමින්,ඉන් ගලා ගිය රුධිරය මතිනුයි සුහර්තෝ බලයට පත්වෙන්නේ.දැඩි හා ආඥාදායක ස්වරූපී පාලනයක් දශක කිහිපයක් තිස්සේ හේ මෙහෙයවූ අතර මේ කාලය වූ කලී ඉන්දුනිසියානු ධනවාදයේ ස්වර්නමය යුගයක්.විදේශ සමාගම් හා ප්‍රාග්ධනයට කිසි ගැටලුවක් නැතිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දේශපාලන ආරක්ෂාව සුහර්තෝගේ අධිකාරිවාදී පාලනය තුලින් සැපයුනා.විපක්ෂ කන්ඩායම් සීල් කෙරුනු සුහර්තෝගේ අනම්‍ය පාලනය ධනවාදයට ප්‍රශ්නයක් වුනේ නැහැ.

3.ඔගස්තෝ පිනෝෂේගේ චිලි දේශය - 70 දශකයේදී සැල්වදෝර් අයියන්දේගේ පාලනය පෙරලා දමමින් පැන නැගුනු පිනෝෂේ රෙජිමය අමෙරිකානු එක්සත් ජනපද "ශිෂ්ට" "ප්‍රජාතන්ත්‍රවාදී" ධනවාදයේ පූර්න ආශිර්වාදය ලැබ ක්‍රියාත්මක වුන එකක්.බටහිර සමාගම් වලට පරිවාරයේ රටවල ආයෝජනය කිරීම ලාබදායී කටයුත්තක්.තමන්ගේ ‍රටේදී මෙන් ශ්‍රමිකයන්ට ඉහල වැටුප් ගෙවීමට සිදු නොවීමත්,ඉතාම සොච්චම් මුදලකට ශ්‍රමය මිලදී ගැනීමට හැකිවීමත් මීට හේතුවයි.ෆිනෝෂේ මිනී මැරුවත් නැතත්,මාධ්‍ය වාරනය කලත් නැතත්,මානව හිමිකම් නොතකා හලත් නැතත් ඒක ගෝලීය ධනවාදයට ප්‍රශ්නයක් වුනේ නැහැ.ෆිනෝෂේගේ දැඩි පාලනය තුල බහුජාතික සමාගම් වලට හිසරදයක් වූ වෘත්තිය සංගම්වලට තැනක් තිබුනේ නැහැ.දේශපාලන විරෝධතාවලට ඉඩක් තිබුනේ නැහැ.වෘත්තිය සංගම් වලට "දැගලීමට" ඉඩ ලැබෙන "ප්‍රජාතන්ත්‍රවාදයකට" වඩා ෆිනෝෂේගේ අධිකාරිවාදය ධනවාදයේ පැවැත්මට වඩා හිතකර වුනා.

මාකෝස්ගේ පිලිපිනය,සියා උල් හක්ගේ පකිස්ථානය,ලතින් අමෙරිකානු කෙසෙල් රාජධානි (banana states)වල හිතුවක්කාරි උද්දච්ච පාලකයන් මේ සම්බන්ධ තවත් උදාහරන විදිහට ගන්න පුලුවන්.මාකෝස් වැනි පාලකයන් පවුල් පෝෂනයෙහි කෙල පැමිනි උදවිය වුනා.මොවුන්ගේ පාලනයන් තුල "ප්‍රජාතන්ත්‍රවාදය" නොපැවතියත් ඉතාම උත්කෘෂ්ට ලෙස "ධනවාදය" පැවතුනා.තමන්ට ලාභය සපයා දෙනවා නම්,ඒ ප්‍රමානයට මේ රටවල දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී වුනත් නැතත්,වැඩවසම් ලක්ෂන තිබුනත් නැතත් ,පවුල්වාදී ලක්ෂන තිබුනත් නැතත් බටහිර "ශිෂ්ට" ධනේශ්වර රටවල්වලට ඉන් ඇති වැඩක් නැහැ.
මේ තර්කය උඩම රාජපක්ෂ රෙජිමය ඉන්දිය සමාගම්වලට උතුරු නැගෙනහිර දොර හරී නම්,බටහිර ප්‍රාග්ධනයට කොලඹ නගරයේ දොර විවර කරයි නම්,බුකර්ටේට් සමාගමට වෙල්ලස්ස භූමිය විවෘත කරයි නම්,වෘත්තිය සමිති ව්‍යාපාර නිර‍්වින්දනය කර දැමීම හරහා බහුජාතික සමාගම්වලට ලාභ ශ්‍රමය සදහා ගොදුරු බිම් සපයා දේ නම් ගෝලීය ධනවාදයට අවශ්‍ය එපමනයි.ලංකාව "ආසියාවේ ආශ්චර්යය" කරන මහා සංවර්ධන ව්‍යාපෘතිය යනු නිදහස් ප්‍රාග්ධන සංසරනයට හායි ගා දොර හැර දැමීම මිස අනෙකක් නෙමෙයි.
"ලිබරල්" වික්‍රමසිංහට යලි පුබුදමු ලංකා හරහා කරගැනීමට බැරි වූ හරිය අතිශය සාර්ථක ලෙස "වැඩවසම්" රාජපක්ෂ ඉදිරියට ගෙන යමින් සිටිනවා.මේ අනුව ලාංකීය ධනවාදයට මෑතකාලයේ හමු වූ ඉතාම සාර්ථක නායකයා මැදමුලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ විය හැකියි!

නිදහස් ප්‍රාග්ධන සංසරනයට දොර හැරීම මගින් බටහිර සමග යුද සමයේ පැවති ආරෝවේ තුවාල සනීප කරගන්නටත්,ගෝලීය ධනවාදය සමග යහමින් "සෙට්" වීමටත් රාජපක්ෂ රෙජිමය වෙර දරන බව පැහැදිලියි.මෙය තේරුම් ගන්න මිලින්ද මොරගොඩ වැනි "ප්‍රායෝගික" ලිබරල් වාදීන් රාජපක්ෂ තන්ත්‍රයේ නෞකාවට ගොඩවෙනවා.වික්‍රමසිංහගේ යූ එන් පියට වඩා රාජපක්ෂගේ ජනප්‍රියවාදී ශ්‍රීලනිපය ධනවාදය ගෙන යාමෙහිලා මේ මොහොතේදී වඩා සාර්ථකයි.ලංකාව සම්බන්ධ ප්‍රතිපත්තියේ වෙනසක් විය යුතු බවට එක්සත් ජනපදයේ යෝජනා සම්මත වෙන්නේ මේ අනුව.පිස්සු කෙලමින් ඉන්නේ නැතිව රාජපක්ෂට කරන්න පුලුවන් උදව්වක් කරන ලෙස වික්‍රමසිංහට "ඉහලින්" අන ලැබෙන්නේත්,ඒ අන මත වික්‍රමසිංහ රාජපක්ෂ හා සාකච්ඡා කරන්නේත්,එම සාකච්ඡා මත වික්‍රමසිංහ කාලයක් තිස්සේ පතුරු ගැසු "පවුල් තන්ත්‍රයේ" ජ්‍යෙෂ්ඨ පුරුක වූ චමල් රාජපක්ෂ කිසිම විරෝධයක් නැතිව රනිල් වික්‍රමසිංහගේම කැමැත්ත මත කතානායක කෙරෙන්නේත් ඒ අනුව.

ඉතින් මෙවැනි සන්දර්භයක් තුල ලංකාවේ "ලිබරල්වාදී" මහත්වරුන්ට ඉතිරි වී තිබෙන්නේ විකල්ප දෙකයි.
ලංකාවේ තියෙන්නේ "නියම" ධනවාදය නොවන බව කියමින්,පිටාර ගලන ප්‍රාග්ධනය දෙස අමාරුවෙන් හෝ නොබලමින්,යුරෝපය දෙස බලාගෙන කවදාවත් උදා නොවෙන යුරෝපා පන්නයේ ධනේශවර ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සිහින දකිමින් ස්වයං වින්දනයේ යෙදීම එක් විකල්පයක්.
නැතිනම් මිලින්ද මොරගොඩ මෙන් "ප්‍රායෝගික" වී මේ මොහොතේ ධනවාදය පවත්වාගත හැකි සුදුසුම ව්‍යුහය රාජපක්ෂගේ ආඥාදායකත්වය බව පිලිගනිමින්,හිත රිදෙන මාධ්‍ය මර්ධනය වගේ දේවල් දැක්කත් නොදැක්කා වගේ සිටිමින් රාජපක්ෂ නෞකාවට ගොඩ වී ගොඩ යාම අනිත් විකල්පයයි.

නිරයෙහි වැඩ වසන අපගේ සාතන් ස්වාමීනි,
ඔබගේ නාමයට ගෞරව වේවා!
ඔබගේ රාජ්‍යය පැමිනේවා!
ඔබගේ කැමැත්ත නිරයේ මෙන් මෙලොවද ඉටු වේවා!
- මරා සාද් -