Thursday, July 29, 2010

නූතන අධිරාජ්‍යවාදය ගැන දල සටහනක්


Hugo Chavez සහ political chaos අතර කිට්ටු සබදතාවයක් තිබේ යන අදහස වෙනිසියුවේලියානු ඉහල පාංතිකයන්,අමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අමරිකන් කේන්ද්‍රීය ජනමාධ්‍ය පොදුවේ බෙදාගනු ලබන අදහසක්.චාවේස් වූ කලී ත්‍රස්තවාදියෙකි.චාවේස් වූ කලී වහා බලයෙන් පහ කල යුතු ආඥාදායකයෙකි.මෙය එක්සත් ජනපදයේ ස්වාධීන ලිබරල් ජනමාධ්‍ය විසින් නිතර වයනු ලබන ජනප්‍රිය තාලයයි.
ප්‍රසිද්ධ ජනාධිපතිවරනයකින් හියුගෝ රෆායෙල් චාවෙස් වෙනිසියුවේලාවේ බලයට පත්වන්නේ 1998 දීය.ඉක්බිති 2000 හා 2006 වසර වල පිලිවෙලින් පැවැත්වූ චන්ද වලදි හෙතෙම යලි යලිත් ජනාධිපතිධූරයට තේරි පත් වන අතර Times සගරාවට අනුව හෙතෙම 2005 වසරේ ලොව වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් සිය දෙනා අතුරින් කෙනෙකි.
මහජන චන්දයෙන් බලයට ආ චාවේස්ට එරෙහි හමුදා කුමන්ත්‍රනයක් 2002 දී දියත් කෙරින.පැය 48 ට ආසන්න කාලයක් කුමන්ත්‍රනය පැවතින.චාවෙස් බලයෙන් අස්වාමික කෙරිනි.චාවේස් විරෝධී ව්‍යාපාරිකයෙක් වූ පෙද්රෝ කාර්මෝනා ජනාධිපති ලෙස නම් කෙරුනු අතර මෙම හමුදා කුමන්ත්‍රනය අමරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත විග්‍රහ කලේ "ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක්" ලෙසය.වෙනිසියුවේලානු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් "ඉපදිමට නියමිත" ඒකාධිපතියෙකුගේ තර්ජනයෙන් පීඩා නොවිදිනු ඇතැයි 2002 අප්‍රේල් 13 එහි කතුවැකිය පැවසීය.2000 වසරේදී චාවෙස් බලයට පත්ව තිබුනේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 59.76% ක් ලබාගනිමිනි.ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනු වස් "හමුදා කුමන්ත්‍රනයකට" බටහිර ලිබරල් පුවත්පත් ආ වැඩීම සිත්ගන්නා සුලු විහිලුවක් නොවේද?
හාස්‍ය රසය බල දේශපාලනයේ ජාති ලක්ෂනයකි.

දකුනු අමරිකාව හමුදා කුමන්ත්‍රන සදහා නම් දැරූ කලාපයක්.වෙනිසියුවේලාවේ 2002 කුමන්ත්‍රනය එවැනි කුමන්ත්‍රන දාමයක හුදු තව එකක් විතරයි.හමුදා කුමන්ත්‍රන සහ එක්සත් ජනපද රජය අතර ඇති ගුප්ත සබදතාවය තවදුරටත් වහන් කරන්න බැරි ප්‍රසිද්ධ රහසක්.1970 දී බලයට ආ සැල්වදෝර් අයියන්දේ ඔගස්තෝ ෆිනොෂේ නම් ආඥාදායකයා හරහා විස්ථාපනය කෙරෙමින් චිලි වල සිදු වූ හමුදා කුමන්ත්‍රනය සහ සීඅයිඒ සංවිධානය අතර තිබුන සබදතාවය පිලිබද පසුකලෙක වාර්තා පවා එලියට ආවා.
එක්සත් ජනපද රජය සහ හමුදා කුමන්ත්‍රන අතර ගුප්ත ආලය වර්තමාන ලෝක දේශපාලන භාෂාවේ වැදගත්ම ව්‍යාකරන රීතිය වන අධිරාජ්‍යවාදයේ රිතිය තනි කලු පැහැ ඉරක් ගසා underline කරනු ලබනවා.

අධිරාජ්‍යවාදය යනු කුමක්ද?එවැනි දෙයක් ඇත්තටම පවතීද?
බොහෝ දෙනාට අධිරාජ්‍යවාදය යනු 20 වන සියවසේ මාතෘකාවක්.බයිබලය සහ අසිපත සහිතව සුද්දන් කලු මිනිසුන්ගේ විජිතයන්ට පය තැබීමත් රැජිනගේ ආන්ඩුව සහ රැජිනගේ බලය පිහිටුවීමත් ස්වදේශීකයන් කැති ගෑමත් බොහෝ අයෙක්ට අනුව අධිරාජ්‍යවාදයයි.එය 20 වන සියවස මැද භාගයේදී නිමියේය.තවදුරටත් එවැන්නක් නැත.‍
මේ අපට උගන්වා තිබෙන,බොහෝ දෙනා විශ්වාස කරගෙන සිටින ජනප්‍රිය ඇත්තයි.
ඒත් අධිරාජ්‍යවාදය පිලිබද මෙම සරල කතාව සුන්දර වුනත් අවාසනාවකට මෙන් එතරම් ඇත්තක් නෙමෙයි.අධිරාජ්‍යවාදය යනු කවරක්ද?එය බිහි වුනේ කවර තත්වයන් යටතේද යන්න තේරුම් නොගෙන අධිරාජ්‍යවාදය පිලිබද නිගමන වලට පැමිනීම බුද්ධිගෝචර නැහැ.

යුරෝපයේ වැඩවසම් ක්‍රමය පරද්දලා ධනවාදය තහවුරු වෙමින් තිබුන 19 වන සියවසේ කාල් මාක්ස් සහ එංගල්ස් මේ විදිහට ලියනවා.

සිය නිෂ්පාදන භාන්ඩ වලට නියත ලෙසම විශාල වෙමින් පවතින වෙලදපොලක් සොයාගැනීමේ අවශ්‍යතාවය විසින් මුලු මහත් ලෝක ගෝලය වටා ධනපති පංතියට දුවන්නට සිදුවෙයි.එයට සෑම තැනටම රිංගන්නටද හැම තැනකම පදිංචි වීමටද හැමතැනකම සම්බන්ධකම් ඇතිකරගැනීමටද සිදුවෙයි.
- කාල් මාක්ස් / ෆෙ.එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය - 1848

අද අප කතාකරන අධිරාජ්‍යවාදය යනු අන් කිසිවක් නොව ධනවාදය නැමැති සමාජ ක්‍රමය පරිනාමය වීමේ තාර්කික අවසානයයි.අධිරාජ්‍යවාදයේ ඉතිහාසය අපට දල ලෙස පහත ආකාරයට සටහන් කරගන්න පුලුවන්.

1.යුරෝපයේ ධනේශ්වර ක්‍රමය විසින් හස්ත කර්මාන්ත සහිත යුරෝපයේ වැඩවසම් සුලු නිෂ්පාදනය වෙනුවට මහා පරිමාන නිෂ්පාදනය ආදේශ කලා.ධනවාදී නිෂ්පාදනය වැඩෙන තරමට නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍ය සහ වෙලදපොලවල් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්න ගත්තා.එක්තරා අවදියකට පස්සෙ තවදුරටත් ජාතික දේශ සීමා මීට ප්‍රමානවත් වුනේ නැති නිසා ලෝකය පුරා දුවන්නටත් ලෝකයේ හැම මුල්ලකම "පදිංචි" වෙන්නත් දියුනු යුරෝපා ජාතීන්ට සිදුවුනා.අපි පරන යටත්විජිතවාදය කියල හදුන්වන්නේ මෙම ක්‍රියාවලිය.

නිදසුනක් ලෙස අප්‍රිකාව බලවත් යුරෝපා රටවල් අතර බෙදුන විදිහ විමසන විට මේ කරුන ඉතාම පැහැදිලිව පෙනෙනවා.රත්තරං,දියමන්ති,තඹ වැනි පැරනි සියවස් වල වටිනා සම්පත් වගේම ඛනිජ තෙල් වැනි නව යුගයේ වටිනා සම්පත් වලින් අනූන සරුසාර මහද්විපයක් වන අප්‍රිකාව පැතලි විදිහට ඉරි ගසලා බලවත් රටවල් විසින් තමා අතරේ බෙදාගත්තා.මේ බෙදා ගැනීම් සදහා රන්ඩු ඇතිවුනා.දියුනු ජාතින් එකිනෙකා කොටාගත්තා.මුල සිටම මේ නිසා යටත්විජිතවාදය හිංසාකාරී ක්‍රියාවලියක් ලෙසයි දිගහැරුනේ.
අධිරාජ්‍යවාදය කියන්නෙ සුදු අයගේ නපුරුකම නිසාවත්,ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇති කෙහෙල්මලක් නිසාවත් ඇතිවුන ප්‍රශ්නයක් නෙමෙයි එහි මූලය සෑම අතින්ම ආර්ථිකයි කියන එක තේරුම් ගැනීම මෙතනදී ඉතාම වැදගත්.

2.20 වන සියවස මුල වෙනකොට මෙම ක්‍රියාවලිය උපරිම ලක්ෂ්‍යයකට සේන්දු වෙන්න ගන්නවා.ලෙනින් මේ ක්‍රියාවලිය සාරාංශගත කරමින් පහත නිරික්ෂන කිහිපය අධිරාජ්‍යවාදය - ධනවාදයේ ඉහලම අවධිය නැමැති කෘතියෙන් ඉදරිපත් කරනවා.

අ)ප්‍රාග්ධන සංකේන්ද්‍රනය වීම හා දියුනු රටවල ප්‍රාග්ධනයේ අසීමිත වර්ධනය විසින් ප්‍රාග්ධනය ඒකරාශී වී විශාල ඒකාධිකාරි හා කතිපයාධිකාරී ආයතන බිහිවීම.
ධනවාදයේ මුල් කාලයේ වගේ ආයතන ගොඩක් තරගකාරිව ඉන්න නිදහස් තරග තත්වයට වඩා වෙනස් තත්වයක් මෙතනින් හැදෙනවා.කුඩා ආයතන අභාවයට යවමින් ඒකාධිකාර හා කතිපයාධිකාර පන්නයේ ආයතන ආර්ථික ජීවිතයේ වැදගත්ම අංගය බවට පත්වෙනවා.

ආ)බැංකු ප්‍රාග්ධනය සහ කාර්මික ප්‍රාග්ධනය එකතු වී මූල්‍ය ප්‍රාග්ධනයේ පදනම මත අලුත්ම ස්වරූපයේ ප්‍රාග්ධනයක් බිහිවීම.
ලෙනින් මෙය හදුන්වන්නෙ මූල්‍ය කතිපයාධිකාරය (financial oligarchy) ලෙසින්.

ඇ)ප්‍රාග්ධනය අපනයනය - මෙය වු කලි ධනවාදයට ආවේනික ඉතාම වැදගත් ලක්ෂනයක්.19 වන සියවසේ මුල්භාගයේ පැවතුනේ භාන්ඩ අපනයනය පමනයි.නමුත් 20 වන සියවසේ භාන්ඩ වලට අමතරව ප්‍රාග්ධනය අපනයනය වෙන්න ගන්නවා.ඒ කියන්නෙ දියුනු රටවල ප්‍රාග්ධන හිමියන් ( අද තුන්වන ලෝකයේ රටවල්කියල හදුන්වන - එවකට යටත් විජිත හා අර්ධ යටත්විජිත ලෙස පැවතුන ) නොදියුනු රටවලට ප්‍රවේශ වෙලා ඒවයේ කර්මාන්ත ආරම්භ කරනවා.මේවාට ඒ නොදියුනු රටවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදාගැනෙනවා.අද විදේශ ආයෝජන කියල හදුන්වන ක්‍රියාවලියේ ආරම්භය මෙයයි.අඩු පිරිවැයට නොදියුනු රටවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදා ඒ රටවලම නිෂ්පාදනය කොට වැඩි මිලට විකිනීමෙන් දියුනු රටවල ප්‍රාග්ධන හිමියන් දැවැන්ත ලාභ ඉපයීම ආරම්භ වෙනවා.

ඈ)ඒකාධිකාරයන් විසින් ලෝකය බෙදාගැනීම හා නැවත බෙදාගැනීම සදහා සටන් වැදීම.
ප්‍රාග්ධන අපනයනය හරහා තමන් උපයන අධි ලාභ පවත්වාගෙන යන්න නම් නොදියුනු රටවල් තමන්ගේ බලපෑම යටතේ පවත්වා ගැනීම අනිවාර්යයි.මේ නිසා යටත් විජිත හා අර්ධ යටත් විජිත කෙරෙහි වැඩි වැඩියෙන් දේශපාලන බලය යොදවා ඒවා තමන්ගේ ආඥා චක්‍රය යටතට ගැනීමට මෙම බලවත් රටවල රාජ්‍යයන් වෑයම් කරනවා.ඒ සදහා පොර බැදීමේ ප්‍රතිඵලයක් විදිහටයි ‍පලවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ පුපුරා යන්නෙ.
නිදසුනක් විදිහට 20 වන සියවස මුලදී බලවත් වෙන්න ගන්න ජර්මානු ප්‍රාග්ධනයට තමා සතු සූරාකෑමේ අයිතිය "පවරා දෙන්න" බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශ ප්‍රාග්ධනය කැමති වෙන්නෙ නැහැ.සාමකාමී බෙදාගැනීම්වලට අකමැති වීමේ තාර්කික ප්‍රතිඵලය වුනේ සංග්‍රාමයයි.

3.දෙවනි ලෝක යුද්ධය ඉවර වෙන්නෙ ලෝක දේශපාලනය ඇතුලෙ අධිරාජ්‍යවාදයේ පැරනි ස්වරූපය බරපතල අභියෝගයකට ලක්කරමින්.1945 වෙනකොට එක අතෙකින් සෝවියට් කදවුර බිහිවෙලා තිබුනා.එතෙක් කල් යටත් වී සිටි රටවල යටත් විජිත විරෝධී ව්‍යාපාර වර්ධනය වෙන්න පටන් ගෙන තිබුනා.තවදුරටත් තම අධිලාභ පවත්වා ගෙන යාම සදහා "පැරනි" සෘජු උපක්‍රම වල පිහිට පතන්න බැරි බව තේරුම් ගන්නා බලවත් ජාතිහු අලුත් තත්වයන්ට ගැ‍ලපෙන අලුත් ක්‍රම සහ විධි සොයන්න පටන් ගන්නවා.
රැජිනගේ නියෝජිතයන් විසින් පාලනය කරන පැරනි යටත්විජිතවාදය අවසාන වෙන්නෙත් අධිරාජ්‍යවාදය වක්‍ර ලෙස සිය ආධිපත්‍යය පවත්වා ගැනීම සදහා නව ආකාතියකට මාරු වෙන්නේත් මෙහි ප්‍රතිඵල විදිහට.

4."නව" අධිරාජ්‍යවාදයේ පලමු පියවර විදිහට යටත් කොටගෙන තිබූ සියලු රටවලට දේශපාලන නිදහස ලැබෙනවා.‍සෝවියට් සමූහාන්ඩුවේ තර්ජනය නිසා තමන් අතර තිබෙන පසමිතුරුතා තාවකාලිකව පසෙකට කරන සියලු බලවත් බටහිර ජාතීන් එක්සත් වෙන්න ගන්නවා.
නව යුගයේ අධිරාජ්‍යවාදය නියෝජනය වෙන්නෙ මහා පරිමාන සමාගම්,එම සමාගම් සදහා යටිතලය සපයන ලෝක බැංකුව වැනි ආයතන සහ මේ සියල්ල සදහා දේශපාලන ඉන්ධන සපයන බලවත් රටවල රාජ්‍ය තන්ත්‍රයන් විසින්.1991 දී සෝවියට් කදවුර බිදවැටීමත් සමග මෙම නව අධිරාජ්‍යවාදය සිය ඉතිහාසයේ අලුත් පිටුවකට ප්‍රවේශ වෙනවා.

දිග කතන්දරයක් කෙටියෙන් ලියනවා නම් අධිරාජ්‍යවාදය යනු පනහ දශකයෙන් අවසන් වුන එකක් නෙමෙයි.
ඇත්තටම බලවත් රටවල ආර්ථික සමෘද්ධිය සෑහෙන දුරකට නොදියුනු දිලිදු රටවල් ස්වකීය ආධිපත්‍යය ය‍ටතේ පවත්වා ගැනීම මත රැදී තිබෙනවා.උදාහරනයක් විදිහට නයිජිරියාව සහ ෂෙල් සමාගම අතර ජනප්‍රිය කතාව සලකා බලමු.නයිජිරියාවෙ තෙල් වල සෑහෙන අයිතියක් පවතිනුයේ නෙදර්ලන්තය මූලික වුන ෂෙල් සමාගම සතුව.මෙය "විදේශ ආයෝජනයක්".ඛනිජ තෙල් වෙලදාම ඉතාම ලාභදායක වෙලදාමක් වෙන වර්තමාන සන්දර්භය තුල ෂෙල් සමාගමට සහ එනයින් නෙදර්ලන්තයට නයිජිරියාවේ තෙල් නිධි යනු අත්හල‍ නොහෙන සම්පතක්.එක්සත් ජනපදය මැදපෙරදිග කෙරෙහි දක්වන අධික ගිජුත්වය හා අවදානය තේරුම් ගත යුතු සන්දර්භයත් මෙයයි.ඉරාකයේ තෙල් වෙනුවට අර්තාපල් තිබුනා නම් සදාම් හුසේන් "ඒකාධිපතියෙක්" බව එක්සත් ජනපදයට කිසිවිටෙක මතක් නොවනු ඇතැයි යන්න ජනප්‍රිය විහිලුවක්.
ලිපිය ආරම්භයේදී සදහන් කල වෙනිසියුවේලාව වූ කලී ලෝකයේ ප්‍රමුඛතම තෙල් නිපැයුම්කරුවන් අතර ඉදිරියෙන් සිටින රටක්.1998 දී එහි බලයට පත්වන චාවේස් බොලිවේරියානු විප්ලවය යනුවෙන් හැදින්වෙන වාමාංශික ප්‍රතිසංස්කරන රැල්ලක් ක්‍රියාවට නගනවා.ප්‍රතිසංස්කරන වල එක් අංගයක් වුනේ විදේශ සමාගම් සතුව තිබූ තෙල් නිධි වල අයිතිය ජාතිය සතු කිරීමයි.එක්සත් ජනපදය කලබල වෙන්න පටන් ගන්නෙ චාවේස්ගේ මෙම විවාදාත්මක පියවරත් සමග.
අමෙරිකානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන්ට තෙල් නිධි ජනසතු කරන චාවේස් වහා බලයෙන් පහ කල යුතු "ත්‍රස්තවාදියෙක්" වීමේත් තෙල් නිධිවල ස්වකීය භුක්තියට නිදහසේ ඉඩ හැර තිබෙන සෞදි අරාබියේ රජ පවුල ඉතාම "සාමකාමී" තන්ත්‍රයක් වීමේත් කතාවේ තර්කය මේ ආකාරයි.

දෘෂ්ටිවාදය කියන්නෙ අතිශය බලසම්පන්න මෙවලමක්.අධිරාජ්‍යවාදය කියල එකක් නැහැ,විදේශ ආයෝජකයන් හරි අහිංසකයි,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ව්‍යුහමය ගැලපුම් සදහා නය දෙන්නෙ දුප්පත් රටවල් දියුනු කරන්න,අමෙරිකාව ඉන්නෙ තුන්වෙනි ලෝකය ශිෂ්ට කරන්න,ගෝලීය ධනවාදයට විකල්ප නැහැ,සමාජවාදය මැරිල,ලෝක ධනවාදයට විකල්ප සෙවීමට යාම නිෂ්ඵලයි,මෙය ඉතිහාසයේ අවසානයයි ඒ නිසා ගෝලීය ධනවාදයට මල් පහන් පුදමින් තම තමන්ගේ වැඩක් බලාගනු!යනුවෙන් නූතන ලෝකයේ දෘෂ්ටිවාදය දැලක් ලෙස වියනු ලැබ තියෙනවා.මේ මන්තරය නිතර දෙවේලේ මතුරනු ලැබෙනවා.මන්තර වලින් වසග කරනු ලැබූ ලිබරල් බුඩ්ඩිමතුන් ගෝලීය ධනවාදයේ ආශ්චර්යය ගැන සහ විකල්ප සෙවීමේ නිෂ්පලත්වය ගැන නැවත නැවතත් පුනරුච්ඡාරනය කරමින් සිටිනවා.

නමුත් අප බොහෝ විට "පරම සත්‍යය" කියල භාර ගන්නා බොහෝ දේ එක්තරා අධිපති මතවාදයක නිමැවුම්මැ මිස වෙන මොනවත් නෙමෙයි.අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ නූතන ආකාරයයි.එය ඇස්පනා පිට පවතින යථාර්තයයි.
ඇදහීමට අකමැත්තක් යථාර්තයක් වූ කල අප කුමක් නම් කරමුද?
ගුරුවරුන් අදහමුද?ඇදහිල්ලට පහර දෙමුද?














Tuesday, July 13, 2010

නීතිය යනු කන්‍යාවක් නොව ලොම් හැලී ගිය මැහැල්ලකි



පසුගියදා තුම්මුල්ල හංදියට මදක් ඔබ්බෙන් පැවැති රජගහේ නාඩගමේ වඩාත්ම නීරස කොටස වීරවංශගේ උපවාසය බවට සැකයක් නැහැ.මනමේ නාට්‍යය නාට්‍යමය බවින් පොහොසත් කියල අපි කියන්නෙ සිදු වෙන දේ හා සිදුවන්නට යන දේ නාට්‍යකරු ප්‍රේක්ෂකයාගෙන් වසන් කරන නිසා.මනමේ කුමරිය මනමේ රජුට කඩුව දෙයිද?නැද්ද?කඩුව නොදුන්නේ ස්වේච්ඡාවෙන්ද නැත්නම් එය හුදු අහම්බයක්ද?මේ ගැන අවිනිශ්චිතතාවයක් නාට්‍යය පුරා රජයන නිසා නාට්‍යය බලන අයෙක් තුල අපූර්වත්වයක් ඇති වෙනවා.ඊලගට මොනවා වෙයිද කියන නිරන්තර කුතුහලය සිතේ පවතිනවා.
වීරවංශගේ රජගහේ නාඩගම ඉවර වෙන්නෙ කොහොමද කියන එක ගැන කවුරු කවුරුත් දැනගෙන සිටි නිසා නාඩගමේ වීරවංශගේ පාට් එක කිසි නාට්‍යයමය රසයක් නැති බොල් පාට් එකක් වී අවසන් උනා.උපවාසය දින දෙක තුනකින් නිමවන බවත්,ජනාධිපති ඇවිත් ඔලුව අත ගා වීරවංශව නැගිට්ටවන බවත් නුවර පාර ලියන දේශපාලන බබා වැනි නොදරුවන් හැර සිහි කලදක් තිබෙන ඕනෑම අයෙක් පූර්වේක්ෂනය කල කරුනක්.

කෙසේ නමුත් මෙම ලේඛකයාට නාඩගමේ වඩාත්ම රසවත් කොටස වූයේ වීරවංශගේ උපවාසය නොව ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාවයි.ගෝඨාභය මුලු කතන්දරයේම රගපෑවේ එක ජවනිකාවක පමනයි.ඒත් ඒ ජවනිකාව නාට්‍යයේ ප්‍රබලම ජවනිකාව බව ලේඛකයාගේ විශ්වාසයයි.

දැනටමත් මුලු රටම දන්නා ගෝඨාභයගේ එම කෙටි භූමිකාව පහත පරිදියි.
එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාල පරිශ්‍රය වට කරමින් කාර්ය මන්ඩලයට එලියට එන්නට නොදී හිර කරගෙන සිටින ඇමති වීරවංශගේ ආධාරකරුවන් පාලනය කරන්න පොලිසිය පැමිනෙනවා.අධි ආරක්ෂිත කලාපයක උද්ඝෝෂන පාලනය කරන "සාමාන්‍ය" විදිහට වඩා වෙනස් වුනත් කලහකාරීන් මැඩපවත්වන්න පොලිස් ලොක්කා දරන අසරන උත්සාහය දෙනෝ දාහක් මැද කිච වන්නේ ආරක්ෂක ලේකම් විසින් ලබාදෙන එක දුරකතන ඇමතුමකින්.දෙස් විදෙස් මාධ්‍ය වේදීන්,ජනී ජනයා දෙනෝ දාහක් මැද හැමෝටම ඇහෙන ලෙස පොලිස් ලොක්කාගේ ඇගට කඩා පනින ආරක්ෂක ලේකම් වහාම උද්ඝෝෂන පාලක පොලිස් හමුදාව Withdraw කරන්න කියල ලොක්කාට කෑ ගහනවා.හිස දෙකට සහ කොන්ද හතරට නවා ගන්න පොලිස් ලොක්කා යර්ස් සර් කියල අවනත වෙනවා.අවනත වෙන ලොක්කාට ගොනා ඇන්නා සේ රැස්ව සිටින දේශහිතෛශින් විසින් පහර දීමක් කරන අතර දේශප්‍රේමී පහරක් වැදී පොලිස් ලොක්කාගේ තොප්පිය අහසට විසි වෙනවා.නීතිය රකින්න ඉන්නවා යැයි කියන පොලිස් නිලධාරියා සමහරවිට තමන්ගේ වෘත්තිය ජීවිතයේ මුහුන දෙන ලද ලජ්ජාසහගතම සහ වඩාත්ම නින්දා සහගත සිදුවීම මෙය විය හැකියි.ආරක්ෂක ලේකම්ගෙන් කිච වුනා මදිවාට නීතිය "කඩන" නිසා නීතිය රකින්න පැමින නීතිය කඩනවා යැයි සැලකුන උද්ඝෝෂකයන්ගෙන් පහර කෑමට සිදුවීම අපි නම් ගගේ පනිනවා පන්නයේ සිදුවීමක් මිස අනෙකක් නෙමෙයි.

කලහකාරී උද්ඝෝෂනයක් පාලනය කරන්න පැමිනි පොලිස් නිලධාරියෙක්ට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විසින් දෙනෝ දාහක් ඉදිරියේ මේ විදිහට කෑ ගැසීම නාඩගමේ වඩාත්ම දේශපාලනික සිදුවීමය කියල කියන්නේ ඇයි?
හේතු කිහිපයක් මේ නිගමනයට පාදක වෙනවා.

පලමුව මේ සිදුවීමෙන් වර්තමාන ලංකාවේ නීතිය යනු මොනතරම් ජෝක් එකක්ද යන්න පැහැදිලි වෙනවා.නීතිය ගැන කෙරෙන සම්භාව්‍ය ඉගැන්වීම් වලදී නීතියේ විධානය (Rule of law) පරම සංකල්පයක් විදිහටයි පිලිගැනෙන්නෙ.ඒ කියන්නෙ පාලකයාද පාලිතයාද ඇතුලු සියල්ලෝ සමාජයක නීතියට අවනත විය යුතුයි කියන එක නවීන ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම සීලාචාර පොදු මනසටත් සාධාරන අදහසක්.අධි ආරක්ෂිත කලාපයක් කියල රජයම නම් කල කලාපයක කලහකාරී ලෙස ආයතනයක සේවකයන්ට එලියට එන්නට ඉඩ නොදී සිරකර තැබීමක් කැබිනට් ඇමතිවරයෙක්ගේ නායකත්වයෙන් සිදු වෙනව.කලහය මැඩපවත්වන්න තමාට නීතියෙන් බලයක් පැවරුන බව සද්භාවයෙන් විශ්වාස කරමින් පොලිස් නිලධාරියෙක් සිදුවීම පාලනය කරන්න මැදිහත් වෙනවා.පොලිස් නිලධාරින්ව අපිට හදුන්වලා දීල තියෙන්නෙ සමාජයේ "නීතිය හා සාමය" රකින්න ඉන්න නිලධාරින් විශේෂයක් ලෙස.මහජනයාගේ බදු වලින් මේ නිලධාරින්ව නඩත්තු කරන්නේ නීතියයි සාමයයි රකින්න කියලයි දෙකේ පන්තියේ ඉදලම අපට උගන්වන පාඩම.නීතිය රකින්න ඉන්නවය කියන පොලිස් නිලධාරියා තම රාජකාරිය සදහා මැදිහත් වන විට ආරක්ෂක ලේකම් ඔහුට පලු යන්න බැන වදිනවා.
ගමක කසිප්පු තිප්පොලවල් වටලන පොලිස් නිලධාරින්ට ප්‍රදේශයේ මන්ත්‍රී හෝ ආසන සංවිධායක මැදිහත්වෙලා තග දැමීම ප්‍රාදේශීයව අප අත් දැක තිබෙන සුලබ සිදුවීමක්.අදාල පොලිස් නිලධාරින් ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ තග දැමීමට හෝ ස්ථාන මාරුවට ලක්වෙන්නේ සිය රාජකාරිය හරියට ඉටු කරන්නට උත්සාහ කරන නිසා.කසිප්පු පොලක් වටලන ප්‍රාදේශීය පොලිස් නිලධරයෙක්ගේ ඇගට කඩා පනින චන්ඩි දේශපාලකයෙක් සහ නීතිය ක්‍රියාවේ යෙදවීමට තැත් කරන පොලිස් ලොක්කාට බුරා හැලෙන රාජ්‍ය ආරක්ෂක ලේකම් අතර පවතින වෙනස කවරේද?මෙය සුබ අනාගතයක් හා ආසියාවේ ආශ්චර්යක් පතන කවුරු කවුරුත් ගෙදර වැඩ සදහා ලියාගත යුතු ප්‍රශ්නයකි.

දෙවනුව ආරක්ෂක ලේකම් කියන ධූරයේ විෂය පරාසය ගැන සිතා බැලිය යුතු පෙලඹවීමක් මේ සිදුවීමෙන් ඇතිකරනවා.මහනුවර නගරයට කොළඹ සිට යන අයෙක්ට පැනිදෙනිය ආසන්නයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් අටවා තිබෙන බෝඩ් ලෑල්ලක් දකින්න පුලුවන්.රාජපක්ෂ ට්‍රොයිකාවේ මුහුනු තුන මෙම කටවුටයේ ඇද තිබෙන අතර නුවරට පිවිසෙන ජනී ජනයා දෙස රාජපක්ෂ ට්‍රොයිකාව විමර්ශනශීලිව කටවුටයට වෙලා බලාගෙන ඉන්නවා.
බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ රූප ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ කටවුටයක තිබීම ස්වභාවිකයි කියල උපකල්පනය කරන්න පුලුවන්.මේ අය දේශපාලකයන් වන අතර දේශපාලක කටවුට් වන්දනාව බුදු දහම ගාවට වඩාත්ම ප්‍රචලිත ඇදහිල්ල වී තිබෙන රටක එහි ඇති අරුමයක්ද නැහැ.නමුත් ගැටලුව වන්නේ මේ මුහුනු දෙක අතරට හුදු රාජ්‍ය නිලධාරියෙක් වන ගෝඨාභය රාජපක්ෂගේ මුහුන පැමිනියේ කෙසේද යන්නයි.
ආරක්ෂක ලේකම් ධූරය යනු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයයි.එනම් ආරක්ෂක ලේකම් කියන්නෙ අමාත්‍යංශ ලේකම්වරයෙක්.අමාත්‍යංශ ලේකම්වරයෙක් වූ කලී පරිපාලන නීතියෙන් පාලනය වන සීමාසහිත බලයක් සහිත වූවෙක් යන්න ගැන විවාදයක් තිබිය නොහැකියි.
නමුත් අනෙත් අමාත්‍යංශ ලේකම් වරු මෙන් නොව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ රූපය දේශපාලන කටවුට් වල පින්තාරු වෙනවා.දේශපාලන රැස්වීම් ඇමතීම රාජ්‍ය නිලධාරින් සදහා තහනම් දෙයක්.නමුත් ජනාධිපතිවරනයේදි ආරක්ෂක ලේකම්වරයා පමනක් ආන්ඩුවේ අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කැන්වසින් යනවා.සම්මන්ත්‍රන පවත්වනවා.
එපමනකුදු නොව තමාට අදාල නොවන බොහෝ දේවලට මෙම ධූරය හොබවන නිලධාරියා ඇගිලි ගසන ස්වරූපයක් දක්නට තිබෙනවා.සති කිහිපයකට පෙර ජවිපෙ නියෝජිතයන් පිරිසක් උතුරේ කල සංචාරය ගැන ආරක්ෂක ලේකම් අයිලන්ඩ් පුවත්පතට කර තිබූ ප්‍රකාශය මේ පිලිබද කදිම නිදසුනක්.එම පක්ෂය උතුරේ "කලබල ඇතිකරන්න" යන බවට ආරක්ෂක ලේකම් එහිදි පවසා තිබුනා.දේශපාලන පක්ෂයක දේශපාලන ස්වරූපී ක්‍රියාවක් ගැන කෙරෙන දේශපාලන විවේචනයක් වන මෙවැන්නක් කිරීම අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ විෂය පථයට අයත් වන්නක් නොවන බවට තර්කයක් නැහැ.
සරලවම ගතහොත් වත්මන් ආරක්ෂක ලේකම්වරයා යනු නාමිකව ආරක්ෂක ලේකම් වූවාට යථාර්තවත්ව ඉන් එහා ගිය භූමිකාවක් සහිත අයෙක් බව පැහැදිලියි.නාගරික සංවර්ධනය භාර කොට තිබෙන්නේ ඒ සදහා මහජන චන්දයෙන් පත්වූ ඇමැත්තාට නොව මෙම රාජ්‍ය නිලධාරියාටයි.රාජ්‍ය ආරක්ෂාව සේම ඇපලෝ රෝහලේ අධ්‍යක්ෂක මන්ඩල කලමනාකරන වගකීමද ඔහු සතු වනවා.පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊට අවහිර කරමින් ඔහු ලබාදෙන තීන්දුව පැහැදිලිවම දේශපාලන තීන්දුවක්.මහජන චන්දයෙන් නොතේරුන හුදු රාජ්‍ය නිලධාරියෙක් පාලන තන්ත්‍රයෙහි අතිශය බලවත් බලධාරියාගේ තත්වයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය කියල අපිට කියල දීල තියන සංකල්පයට හෝ කොයිතරම් දුරට එකගද යන්න ගැන කෙටි සටහනක් පිලියෙල කරගැනීම හෘද සාක්ෂියක් තියන සුබ අනාගත පතන්නන් කල යුතු අනෙත් හෝම් වර්ක් එකයි.

"ප්‍රජාතන්ත්‍රවාදය" කියල අපි ඉගෙන ගෙන තියන සංකල්පයට කිව යුතු ඇත්ත නම වූ කලී ධනපති ප්‍රජාතන්ත්‍රවාදයයි.යුරෝපයේ රාජාන්ඩු ක්‍රමයට විරුද්ධවයි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඉතිහාසයේ බිහිවුනේ.න්‍යායාත්මක මෙතනදී සියලු දෙනාට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රදානය කෙරෙනවා වුනත් සමාජයක් පංතිවලට කැඩිල ගිය සන්දර්භයක එම අයිතීන් පූර්න ලෙස භුක්ති විදින්න පුලුවන් වෙන්නෙ සමාජ ආධිපත්‍යය දරන පංතීන්ට පමනයි.ලෝකයේ ඉතාම දියුනු රටවල් කියල සැලකෙන බ්‍රිතාන්‍යය හෝ එක්සත් ජනපදය වගේ රටවලටත් මෙම කරුන පොදුයි.මේ රටවලදීත් "ප්‍රජාතන්ත්‍රවාදය" යන්න ක්‍රියාත්මක වෙන්නෙ සුපිරි ධනවත් පංතීන් හා සමාජ ස්ථරයන්ට වැඩි වාසි ගෙන දෙන ආකාරයකට.
නමුත් බටහිර යුරෝපය හා අමරිකාව වගේ රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ‍විසින් රකින අවම සීමාවන් තියනවා."නීතියේ බලය" වැනි සංකල්ප මෙම අවම සීමාවන්ට උදාහරන.අධිකරනය ස්වාධීන විය යුතුයි,රජය විසින් සිදුකරන පුරවැසි අයිතීන් උල්ලංඝනයන්ට සාධාරනය ඉටු කිරීමට නීතියේ විධානය ක්‍රියාත්මක කරන ස්වාධීන නෛතික යාන්ත්‍රනයක් තිබිය යුතුයි ආදී අදහස් එම රටවල වර්ධනය වෙන්නෙ එම සීමාවන් විදිහට.

උතුරු අර්ධ ගෝලයේ රටවලට වෙනස්ව ලංකාව වගේ තුන්වන ලෝකයේ රටවල ක්‍රියාත්මක වෙන්නෙ පාදඩ ධනවාදයක්.මේ පාදඩ ධනවාදය විසින් නිපදවාගෙන තිබෙන දේශපාලන ක්‍රමය පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයක්.ඉහත කී රටවල ඇති අවම සීමාවන් පවා ලංකාව වගේ රටවල දකින්න ලැබෙන්නෙ නැත්තෙ මේ නිසා.

නිදසුනක් ලෙස අධිකරනය ස්වාධීන හා ගෞරවනීය එකක්ව පැවතීමේ වැදගත්කමක් ලාංකීය සමාජය දකින්නෙ නැහැ.ඉහල අධිකරන වල සියලු තනතුරු පත්කෙරෙන්නේ ජනාධිපතිවරයා ගේ තනි කැමැත්ත මත.අධිකරනයට අපහාස කිරීමක් ලෙස සලකා ක්‍රියාත්මක වීමට ඉඩ ඇති නිසා බොහෝ අය ප්‍රසිද්ධියේ කතා නොකලත් මෙම ක්‍රමවේදය අතිශය ගැටලු සහගත බවට විවාදයක් තිබිය නොහැකියි.1987 දහතුන්වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ආන්ඩුවේ නිල මතයට ප‍ටහැනි තීන්දුවක් දුන් විනිශ්චයකාරවරයෙකුට එතුමාට හිමිවිය යුතුව තිබූ අග විනිසුරු තනතුර අහිමි වූ බවත් ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අයෙක් ඒ වෙනුවට එවකට අගවිනිසුරු ලෙස පත්වූ බවත් ප්‍රසිද්ධ රහසක්.අමරිකාව වැනි රටක ඉහල අධිකරන පත්වීම් ජනාධිපති විසින් කල යුත්තේ සෙනෙට් සභාවේ අනුමැතිය සහිතවයි.ඒ හරහා ජනාධිපතිට දේශපාලන පත්වීම් කරන්න තිබෙන ඉඩ සදහා අවම සීමාවක් පැනවී තිබෙනවා.
එවැනි සීමාවන් හෝ ගනන් නොගන්නා ක්‍රමයක් පැවතීම ලංකාවේ පාදඩ ධනවාදය තුල තිබෙන පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය පිලිබද පැහැදිලි නිදර්ශනයක්.

දැන් මහින්ද රාජපක්ෂ විරෝධී යූඇන්පී හිතවාදී ලිබරල් ගුරුකුල මෙතනදී මැදිහත් වෙන්න ඉඩ තියනවා.නීතියේ විධානය ජෝක් එකක් වීම මහින්ද රාජපක්ෂ පාලනයේ ආවේනික ගැටලුවක් බවත් රාජපක්ෂගේ පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තමන් සිවිල් හා ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නියෝජනය කරන බව යූඇන්පී ලිබරල්වාදීන් බොහෝවිට පවසනු අප දැක තිබෙනවා.
නව ලිබරල් ප්‍රතිසංස්කරන වල "පියා" ලෙස සැලකෙන්නේ ජූනියස් රිචඩ් ජයවර්ධන මහතායි.ඉංග්‍රීසි අධ්‍යාපනයෙහි කෙල පැමිනි හෙතෙම අති චතුර ලෙස ඉංග්‍රීසි බස වහරන්නෙක්.විශ්ව සාහිත්‍ය පිලිබද ප්‍රාමානික දැනුමක් ආදී ශිෂ්ට සම්පන්න සිවිල් මහත්මයෙකු සතු යැයි සම්මත සියලු ලක්ෂන ජේ ආර් ජයවර්ධන තුල නොඅඩුව පැවතුනා.ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ අතර එකම වෙනස සමහරවිට පලමුවැන්නා තරම් දෙවැන්නා ශූර හා උපායෙහි දක්ෂ නොවීම පමනක් විය හැකියි.ඒ හැරුනාම මේ දෙපලම එකම කවයක් හා එකම සමාජ තලයක් නියෝජනය කරනවා.

ප්‍රාග්ධනයේ දොරටු ලංකාව විවෘත කලා යැයි කියන,නව ලිබරල් ප්‍රතිසංස්කරන වල පියා යැයි කියන ජේ ආර් ජයවර්ධන නීතියේ විධානය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැරූ ආකල්පය කෙබදු ස්වරූපයේ එකක්ද?
අධිකරනය විසින් වරදකරු කරනු ලැබූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දානය කිරීම,ස්වාධීනව අධිකරන තීරන දුන් විනිසුරන්ගේ නිවෙස්වලට ගල් ගැසීම වැනි අතිශය කුප්‍රකට ක්‍රියා මෙම ශිෂ්ට,ලිබරල් ,ඉංග්‍රීසි උගත්,පොෂ් නායකයාගේ කාලය තුල ඉතාම ප්‍රසිද්ධියේ සිදුකරනු ලැබුනා.අධිකරන හා නීතියේ ස්වාධීනත්වය දෙකයි පනහේ විහිලුවක් කරන වත්මන් අර්ධ ඒකාධිපති ව්‍යවස්ථාව කුරුදුවත්ත වාසී "නාගරික" ධනපති නායකයන් වන ජයවර්ධනලා විසින් සම්පාදනය කරන ලද්දක් බව මතක තබා ගැනීම වැදගත්.ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අවම හතර මායිම නොසලකා සාදන ලද ආඥාදායක ව්‍යවස්ථාව,හදිසි නීති නියෝග යනාදිය ඉතිහාසයේ බිහිවුනේ මැදමුලනින් නෙමෙයි කුරුදුවත්තෙන්.
පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය මහින්ද රාජපක්ෂගේ මැදමුලන ගැමිකමට ඌනනය කරන්න යන බොහෝ දෙනෙක් කොර වෙන්නෙ ගැමි නොවන පොෂ් යූඇන්පී ලිබරල් මොලකාරයන් විසින් බලය හෙබවූ රෙජිමයන්ගේ දේශපාලන භාවිතය වූයේත් පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයක්මැ වීම නිසයි.

නිදසුනක් ලෙස "ලංකාවේ පුවත්පත් මෙල්ලකිරීම" නැමැති කෘතියේ ගුනදාස ලියනගේ එවකට සිටි ප්‍රබලතම කැබිනට් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් තමාට දේශපාලන විරුද්ධතා තිබෙන උපාලි විජේවර්ධන ගැන ප්‍රසිද්ධ රැස්වීමක පැවසූ යමක් පහත ආකාරයට සටහන් කර තිබෙනවා.

පොල්ගොඩ හන්දියේදී රැස්වීමේදී බලවත් කෝපයෙන් යුතුව වේගවත් කතාවක් කල රොනී ද මැල් මහතා තමාගේ ආසනය තුල කිසිවකු දිවයින ඇතුලු උපාලිගේ පත්තර මිලදී ගැනීම හෝ කියවීම මේ මොහොතේ සිට නතර කල යුතු බවත් කිසිම වෙලෙන්දෙකු උපාලිගේ පුවත්පත් විකුනා අසුවූවහොත් ඔවුනට පාඩමක් උගන්වන බවටත් කියා සිටියේය.එපමනක් නොව උපාලිගේ පත්තර එකතුකර ගිනිබත්කිරීමේ මහා වැඩපිලිවෙලක් ඉදිරි දින කීපය තුල බුලත්සිංහල ආසනයෙන් ආරම්භ කරන බවද මැල් මහතා කීවේ අත්පොලසන් හඩ මැදය.
( ගුනදාස ලියනගේ - ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම 121 පිට )

නීතියේ ආධිපත්‍යය ජෝක් එකක් කරන ලංකාවේ පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය මේ අනුව ග්‍රාමීය විඥානයක් තිබෙනවා යැයි කියන මහින්ද රාජපක්ෂ රෙජිමයට මෙන්ම නාගරික විඥානයක් තිබෙනවා කියන එක්සත් ජාතික පක්ෂ රෙජිමයන්ටද එක ලෙස පොදු ලක්ෂනයක් කියන එක පැහැදිලියි.මේ නිසා වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල රාජපක්ෂගේ ගැමිකමට ලඝු කරන්න වෑයම් කරන අය සදහාද මෙහිදී හෝම්වර්ක් එකක් පැවරෙනවා.ශ්‍රීලනිපය වගේම එජාපයත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අවම සීමාවන් රැකීමට බරපතල ලෙස අසමර්ථ වෙලා තිබෙන්නෙ ඇයි?
මෙම පක්ෂ දෙකම අනුදකින පාදඩ ධනවාදය සමග ගැටලුවට පිලිතුර සම්බන්ධ වන බව හෝම්වර්ක් එක සදහා ඉගියක් ලෙස සටහන් කර තැබිය හැකියි.

නැවත අපි රජගහේ නාඩගමට පිවිසෙමු.එක්සත් ජාතින්ගේ පරිශ්‍රය අසල රගදැක්වූ නාඩගමෙන් පෙනෙනුයේ රජය "සාමකාමී" විරෝධතා වලට ඉඩ දෙන ආකාරය බව මේ පිලිබද නිවේදනයක් නිකුත් කරන රජය ප්‍රකාශ කොට තිබුනා.සාමකාමී ලෙස රැස්වීම පුරවැසියන්ගේ මූලික අයිතියක් කියල වර්තමාන ව්‍යවස්ථාවේ 14 වගන්තියේ දක්වලා තියනවා.ඒ වගන්තියට තරමක් ඉහලින් 12 වගන්තියේ තවත් දෙයක් ගැන සදහන් වෙනවා.ඒ නීතිය ඉදිරියේ සර්ව සාධාරනත්වය ගැන අයිතිය.එනම් සෑම දෙනාට ම නීතිය ක්‍රියාත්මක වීම සමාන විය යුතු බව 12 වගන්තියෙන් දක්වනවා.

දැන් අපිට කියන්න තියෙන්නෙ සරල දෙයක්.
හදිසි නීතිය ක්‍රියාත්මක වන කාලයක එක්සත් ජාතින්ගේ මූලස්ථානය වැනි ආරක්ෂාව අතින් අතිශය සංවේදී ස්ථානයක හා අධි ආරක්ෂිත කලාපයක දුම්මල ගෙන,පිරිස් ඒකරාශී කරමින්,පෙට්‍රල් සහිත බෝතල් හා ගිනිපෙට්ටි රැස්කරගනිමින් "සාමකාමී " විරෝධතා පැවැත්වීමට රජය ඉඩ දෙන එක ගැන අපි බොහොම සන්තෝස වෙනවා.ඒ මගින් ව්‍යවස්ථාවේ 14 වගන්තිය රජය පිලිගෙන තිබීම සතුටට කරුනක්.
‍මේ සතුට පරිපූර්න වීමට රජය කල යුත්තේ තව එක දෙයයි.14 වගන්තිය පිලිගත්තා මෙන්ම 12 වගන්තියද එක ලෙස ක්‍රියාත්මක කරනු මැන!
එජා සංවිධානය ඉදිරියේ ඩෙගා නැටීමට වීරවංශට ප්‍රදානය කෙරුන අයිතිය සෙසු පුරවැසියන්ටත් සමානව ලබා දෙන්න.වැටුප් ඉල්ලීම් ගෙන එන වෘත්තිය සමිතිවලට පාර්ලිමේන්තුව වෙත දුම්මල ගෙන පාගමන් ඒමට අවසර ලබාදෙන්න.විශ්ව විද්‍යාල පෙලපාලිවලට පහර නොදෙන්න.පෙට්‍රල් බෝතල් කැටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ රැස්වීමට සිසුන්ට අවසර දෙන්න.උතුරේ අවතැන් වුවන්ට අධිආරක්ෂිත කලාප වල දොරටු හැර තබන්න.එම ජනයාට පාගමනින් පැමින අධි ආරක්ෂිත කලාපයන්හි පෙලපාලි දැක්වීමට සමාන අවස්ථාවක් ලබාදෙන්න.
ඇත්තටම මෙය කිරීම අමාරු නොවේ.ලෝකයේ දරුනුම ත්‍රස්තවාදය ජයගත් ආන්ඩුවකට,සාමකාමී විරෝධතා දැක්වීම පිලිගනිමින් වීරවංශට එජා මූලස්ථානය වට කිරීමට පවා ඉඩ දෙන තරමට ප්‍රජාතන්ත්‍රවාදී වූ ආන්ඩුවකට,නීතිය ඉදිරියේ සර්ව සාධාරනත්වය පිලිබද වගන්තිය පිලිගැනීම එතරම් කජ්ජක් විය හැකිද?









Thursday, July 1, 2010

රාජාන්ඩු සිහිනය උඩින් මෝදු වන කලු වලාකුලු


සිසර්ගේ නැගීමෙන් රෝම ඉතිහාසය සම්පූර්නයෙන් වෙනස් වුනා.සීසර් මාර්ක් ඇන්තනී ආදිහු දක්ෂ සේනාධිනායකයන්.මේ අය රෝමය වෙනුවෙන් රට රටවල යුද වැදුනා.ජුලියස් සීසර් යුද නායකයෙක් ලෙස නැගී එන විට රෝමය කියන්නෙ සමූහාන්ඩුවක්.ලෝකයේ පරනම ප්‍රජාතන්ත්‍රවාදි ආකෘතියක් වුන රෝම සමූහාන්ඩු ක්‍රමය තනි රජෙක් හා ඒකාධිපති බලවතෙක් වෙනුවට චන්දයෙන් තෝරාගත් කොන්සල්වරු දෙදෙනෙක්ගේ පාලනය යටතේ පැවතුනා.
සීසර් ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල , විශේෂයෙන් වර්තමාන ප්‍රංශය ලෙස හැදින්වෙන ගෝල් දේශයේ ලද විශාල ජයග්‍රහන නිසා දැවැන්ත කිර්තියක් සමග රෝමයේ ‍දේශපාලනය ජයගන්නවා.කෙටි කාලයකින් බලය ගන්න ජුලියස් සීසර් රෝම සමූහාන්ඩුව ඒකාධිපති අධිරාජ්‍යයක් බවට පත් කිරීමේ වෑයමක නිරත වෙනවා.මේ නිසා සමූහාන්ඩුවාදීන්,සෙනෙට් සභිකයන් සහ ජුලියස් සීසර් අතර ඇතිවන්නේ  අනවරත ගැටුමක්.
අවසානයේ කුමන්ත්‍රනය කරන සෙනෙට් සභිකයන් සීසර්ව පිහියෙන් ඇන මරා දානවා.විස්මය ජනක ලෙස වර්ධනය වෙමින් ආ සීසර් නැමැති තනි පුද්ගලයාගේ අති මහත් බලය එක පිහිපහරකින් පිපිරි විනාශ වෙනවා.සීසර් අනභිබවනීය යැයි ඔහු බලයේ සිටියදි ඔහු වටා රැස් කෑ පිරිස් බල රික්තකය අයිති කරගන්න සිසර්ගේ මල සිරුර උඩින් කුලල් කා ගන්න පටන් ගන්නේ ඉන්පසුව.
ජුලියස් සීසර්ගේ සිහිනය පසාරු කල බෲටස්ගේ පිහි පහර මහින්ද රාජපක්ෂව සොයාගෙන දැන් සැරිසරන්නට පටන් අරගෙන තිබෙනව.පෙනෙන්න තියෙන බොහෝ සාධක විසින් රාජපක්ෂ රෙජිමය උඩින් හෙමිහිට නමුත් ස්ථිරසාර ලෙස මෝදු වෙන කලු වලා සමූහයක සලකුනු ගැන ඉගි කරනවා.
අධ්‍යනයේ පහසුවට මේ සාධක අපිට අභ්‍යන්තර හා බාහිර සාධක කියල බෙදාගන්න පුලුවන්.අධ්‍යයනයේ පහසුවට බෙදාගතතත් මේ සාධක වර්ග දෙක එකිනෙක එක්ක ගැට ගැහිල තියනව.
ආර්ථික උභතෝකෝටිකය
රාජපක්ෂට අවාසිදායක ප්‍රධාන අභ්‍යන්තර පිහිපහර මෝදු වෙමින් තිබෙන ආර්ථික අර්බුදයයි.
"ආර්ථික අර්බුදය" කියන්නෙ 1948 ඉදල ඇති තරම් දේශපාලන වේදිකා වල පට්ට ගහපු වචනයක්.ඒත් හුදු පට්ට ගහන වචනයක ඉදල ඇස් පනා පිට පෙනෙන ඇත්තක් බවට වේගයෙන් ආර්ථික අර්බුදයක සලකුනු විද්‍යාමාන වෙන්න පටන්ගෙන තියනව.                                                                                                                   රාජපක්ෂ ආන්ඩුව පසුගියදා ඉදිරිපත් කල ලොම් හැලුන අය වැය මේ අර්බුදයේ තීව්‍ර ප්‍රකාශනයක්.1977 ට පස්සෙ ලංකාවෙ ආර්ථික උපාය මාර්ගය ප්‍රධාන ලෙස පදනම් වුන කුලුනු දෙකක් වුනේ විදේශ ආයෝජන සහ විදේශ නය.විදේශ ආයෝජන පැත්තෙන් අපේක්ෂිත මට්ටමට ලගාවෙන්න ලංකාවට කවදාවත් නොහැකි වුන අතර මේ නිසා ඇත්තටම වුනේ විදේශ නය ගැනිම් ආර්ථිකයේ ප්‍රධාන උපාය මාර්ගය බවට පත්වීමයි.මේ තත්වය අද වනකොට කොයිතරම් උග්‍ර වෙලා තියනවාද කිවහොත් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය යැයි පෙන්විමට තිබෙන්නෙ විදේශ වානිජ නය අරගෙන පාරවල් සෑදීමේ ව්‍යාපාති කිහිපයක් පමනයි.දවසෙන් දවස නය බර පැටවු ගහමින් තිබෙන අතර පාරවල් හැදිමේ ආතල් එකෙන් මුසපත්ව ඉන්න බොහෝ දෙනෙක්ට මෙම අධික නයවිම් මගින් ඉදිරියේදි ඇතිවිය හැකි රාජ්‍ය මුල්‍ය අර්බුදය ගැන අදහසක් නැහැ.
සුබසාධන සේවා රැසක් පවත්වාගෙන යාම ලංකාව පූර්ව 77 යුගයෙන් ලැබුව දායාදයක් විදිහට තියනව.ලිබරල් ප්‍රතිසංස්කරන වලට අවුරුදු 25 කට පස්සෙත් රජය විසින් නඩත්තු කරන අධ්‍යාපන පද්ධතියක්,සෞඛ්‍ය පද්ධතියක් ලංකාවේ තිබෙන අතර ගොවින් සදහා පොහොර සහනාධාරය සැපයිම,සමාද්ධි වැනි සහනාධාර ව්‍යාපෘති පවත්වාගැනිම වැනි මග හැරිය නොහැකි වියදම් ගනනාවක් රජය මත පවතිනවා.මේවායෙන් ඉවත් වෙන්න පුලුවන් නම් ඕනෑම රජයක් ඇත්තටම බොහෝ සතුටු වෙන්න ඉඩ තියනවා.පූර්ව 77 යුගයේ සුබසාදන වියදම් ගැන භාරය පැවතුනත් පූර්ව 77 යුගයේ රජය සතුව තිබුන ආදායම් මූලාශ්‍ර එකක්වත් මේ වනවිට ඉතිරි වෙලා නැහැ.රුසියාවෙන් එවකට ලැබුන ඔරුවල වානේ සංස්ථාව වැනි රජයට ආදායම් උපදවා දිය හැකිව තිබූ නිෂ්පාදනිය මාර්ග සියල්ල පශ්චාත් 77 යුගයෙන් පසු විනාශ වී ගොස් තිබෙන අතර ඉතිරි වෙලා තියෙන්නෙ රජයට කිසි ආදායමක් නොදෙන,ඇමතිවරුන්ට චන්දෙට කොඩි දාන හැම එකාටම රස්සා දිම නිසා ලාබ ලැබිම තබා පිරිවැය කවර් කිරිමත් සිහිනයක් වෙලා තියන ලංගම වැනි ඇටසැකිලිමය ව්‍යවසායන් කිහිපයක් විතරයි.
මේ නිසා එක්කෝ රජය සුබසාධන වියදම් වලින් ඉවත් වෙන්න ඕනෙ.නැත්නම් එම වියදම් පියවගන්න මොනවා හෝ ජිල්මාට් එකකට යන්න අවශ්‍ය වෙනවා.සුබසාධන වියදම් කපා දැමීම එක්වර කිරිම මාරාන්තික ප්‍රතිඵල ගේන්න පුලුවන් කියල රජය දන්න නිසා ඊට මැලිවන ආන්ඩුවට තියන එකම විකල්පය වියදම් පියවගන්න නය ගැනිම සහ බදු ආදායම් ඉහල දැමිම පමනයි.සුබසාධන වියදම් කැපුවොත් සමාජයෙන් විරෝධයක් එනවා වගේම ඒ වියදම් කරගෙන යන්න බදු ගහන්න ගියාම බඩු මිල වැඩි වෙන්න ගන්නවා.එවිට නැවතත් සමාජයෙන් විරෝධය මතුවෙන එක නවත්තන්න බැහැ.අද වන විට ලංකාවේ තිබෙන ඉහල ජිවන වියදම් ඉහල යාමට අතිශය මූලික හේතුවක් වෙලා තිබෙන්නෙ රජය පනවන අසිමිත බදු මිස වෙන මොනවත් නෙමෙයි.බඩු මිල වැඩි වෙනවා මිනිස්සු අසහනයට ලක්වෙනවා කියල දැන දැන උනත් බදු ගහනව හැර රජයට විකල්පයක් නැහැ.එස්.බී .වැනි චන්ඩි ඇමතිවරු හරහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය වගේ ව්‍යාපාර මට්ටු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය පුද්ගලිකකරනයට ක්‍රමයෙන් උත්සාහ ගන්නා අතර කැමති වුනත් නැති වුනත් බදු ගහමින් එදාවේල ගැටගසා ගන්නට ආන්ඩුවට සිදුවෙලා තියනවා.
රජය මුහුන දිල තියෙන්නෙ ආර්ථික "ප්‍රශ්නෙකට" නෙමෙයි ආර්ථික "අර්බුදයකට" කියල කියන්නෙ මේ නිසා.ප්‍රශ්නයකට නම් තියන තත්වයන් ඇතුලෙ උත්තර තියනවා.ඒත් අර්බුදයක් එහෙම නෙමෙයි.පවතින තත්වයන් ඇතුලෙ අර්බුද වලට උත්තර නැති අතර අර්බුද යනු එක්තරා ආකාරයක උභතෝකෝටික විශේෂයක්.වියදම් කැපුවොත් අඹු නසී - බදු කැපුවොත් තෝ නසී.අය වැය ඉදිරිපත් කරන අමුනුගම පිටට නොකිවට ඇතුලේ තියන පිරිසිදු ඇත්ත එයයි.
සිවිල් යුද්ධය
අවුරුදු 30 ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන් විම ආන්ඩුව මුහුන දෙන දෙවනි අභ්‍යන්තර අවුලයි.බැලූබැල්මට මෙය හාස්‍යජනක තත්වයක්.යුද්ධයක් "අවසන් වීම" අභ්‍යන්තර අවුලක් වෙන්නෙ කොහොමද?
ලංකාවේ ආර්ථිකයේ තිබෙන ව්‍යුහාත්මක ප්‍රශ්නය නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් වර්ධනය නොවිම මත පදනම් වෙනවා.ඒ සාකච්ඡාව වෙනම සාකච්ඡාවක්.කොහොම වුනත් අභ්‍යන්තර නිෂ්පාදනය නැංවිමක් රහිතව සේවා වියුක්තිය හෝ දුප්පත්කම පිලිබද ප්‍රශ්න විසදන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ.80 දශකයේ සිට ලංකාවේ පාලක කොටස් සමාජය මුහුන දෙන විරක්ෂාව හා දුප්පත්කම වැනි ගැටලු වලට මුහුන දෙන ආමර් එක බවට පත්කරගත්තේ සිවිල් යුද්ධයයි.සමාජ ප්‍රශ්න ගැන දකුනේ සමාජයෙන් මැසිවිලි එනවිට විටෙක යාප්පු ස්වරයෙන් හා විටෙක තර්ජනාත්මක ස්වරයෙන් රජය ගෙනා විත්තිවාචකය වුනේ උතුරේ පවතින යුද ගැටුමයි.එක පැත්තකින් තරුනයන්ට රැකියා දිම සදහා මෙය මාධ්‍යයක් වුනා.අනෙත් අතට වියදම් කැපුවොත් අඹු නසී බදු කැපුවොත් තෝ නසි සූත්‍රය නිසා වර්ධනය වෙන සමාජ අසහනය පාලනය කිරිමේ ක්‍රමවේදය විදිහට සිවිල් යුද්ධය යොදාගැනුනා.
2008 ජූලි වලදී රජයේ ‍ඇතැම් වෘත්තිය සමිති වැටුප් වැඩි කිරිමක් ඉල්ලද්දි රජය පෙන්වූයේ උතුරේ යුද්දයයි.ඒ අවස්ථාවේ රජයේ විත්තිවාචකය පොදු සමාජය පිලිගත් අතර වැඩවර්ජනය කඩාකප්පල් වුනා.පෙට්‍රල් මත ගහන 180 % ක කලු කඩ පන්නයේ බද්ද අධිකරනය ඉදිරියේ පවා ප්‍රශ්න කෙරුන විට රජය ගෙනා තර්කය වුනේ යුද වියදම් ගැන තර්කයයි.මේ තර්කය විකාරයක් වන තරමට දික්ගැස්සුනා.මර්වින් සිල්වා රූපවාහිනියට පැන ඩෙගා නැටිම ගැන වරක් ලක්බිම පුවත් පත විමසූ අවස්ථාවක විමල් වීරවංශ පවසා තිබුනේ තීරනාත්මක යුද්ධයක් පවතින මොහොතක මෙවැනි ගැටලු පිලිබද පුර්න අවධානය යොමු කල නොහැකි බවත් යුද්ධයෙන් පසු එවැනි තත්ව මැඩ පැවැත්විම සාර්ථකව රජයට කල හැකි බවත්.කොටින්ම සමාජයේ සියලු වස්දොස් යුද ජයග්‍රහනයේ සූත්‍රය හරහා යටපත් කෙරුනා.
කොහොම නමුත් සිවිල් යුද්ධය අවසන් නොකර බැරි තැනකට මහින්ද රාජපක්ෂ නියෝජනය කල දෘෂ්ටිවාදය ඔහුව අරගෙන ගිය අතර අන්තිමට යුද්ධය අවසාන කිරිමෙන් ලංකාවේ පාලක පංතියට අවුරුදු 30 ක් තිස්සෙ පැවති විශාලතම ආරක්ෂක පලදනාව එනයින් රාජපක්ෂ විසින් ඉවත් කරනු ලැබුවා.
මේ දේශපාලන මොහොත කියන්නෙ මේ අනුව ‍ඓතිහාසික මොහොතක්.අවුරුදු 30කට පස්සෙ පාලක පංතියත් පොදු සමාජයේ දුක් ගැනවිලිත් එකිනෙක සමග සෘජුව අභිමුඛ වෙන්න පටන් අරගෙන තිබෙනවා.ප්‍රශ්න මග හැර යාමට යොදාගත් කොටි සංවිධානය නැමැති කඩතුරාව ඉවත් කිරීමෙන් රාජපක්ෂ තමන්ට තාවකාලික ආනන්දයක් ලබාගත්තා වගේම දිගුකාලීනව තමන්ටම වද දීමට නියමිත හිසරදයකුත් කැදවාගෙන තිබෙනවා.
ජනාධිපතිවරනයේදී දුන් 2500 වැටුප් වැඩිවීමේ ප්‍රතිඥාව ගැන කසු කුසු දැන් සමාජයේ පැතිරෙන්න පටන් අරගෙන.වැඩි වෙන පාන් මිල යනාදිය තවදුරටත් වන්නි සටනේ වීරත්වය තුල දියකල හැකි ප්‍රශ්න නෙමෙයි.මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය ගැන ප්‍රශ්න.'යුද්ධය නිසා ඉවසනු" කියන තර්කය තවදුරටත් වලංගු නැති නිසා ආන්ඩුව මේ තුල විශාල අර්බුදයකට යාම අනිවාර්යයක්.
මහ ඔලු හැප්පීම හා බැන් කි මූන්
රාජපක්ෂ ආන්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටලු සහගතභාවය අනෙත් ප්‍රශ්නයයි.තවම ආන්ඩුවේ අභ්‍යන්තර අර්බුදය කැපී පෙනෙන ලෙස එලියට ඇවිත් නැහැ.එය මෛත්‍රිපාලගේ නහයෙන් ඇඩීමට,වාසුදේවගේ වයෝවෘද්ධ තග නොදමා තග දැම්මී වලට හා "අපිට ව්‍යවස්ථා සංශෝදනයකට බලය නැහැ " කියල බැසිල් බාල සොහොයුරා ලංකාදීපෙට කරන ප්‍රකාශ වලට සීමා වෙලා තියනවා.කෙසේ වෙතත් පිහියෙන් ඇනිය හැකි බෲටස්ලාගේ අවතාර ආන්ඩුව තුල පවා පන ලබා තියනවා කියන එක වැදගත් කරුනක්.
බාහිර වශයෙන් බැන් කී මූන්ගේ කමිටුව රාජපක්ෂට අභිමුඛ වෙන්නෙ මේ අලකලංචි මධ්‍යයේයි.මෙම කමිටුව රාජපක්ෂ කිසිසේත් අපේක්ෂා කල එකක් නෙමෙයි.ගෝලීය ධනවාදය සමග හාද වීමට රාජපක්ෂ පසුගිය වකවානුවේ සෑහෙන උත්සාහයක් දැරු බව රහසක් නෙමෙයි.යුද සූත්‍රය දිගටම වැයීමෙන් වැඩි කල් පවතින්න බැරි බව වටහා ගන්න හෙතෙම යම් හෝ අස්වැසිල්ලක් ලබාගැනිම අපේක්ෂා කලේ ගෝලිය ධනවාදය සමග සෙට් වීමෙන්.
කෙසේ වෙතත් තමා සමග හාද වී කීයක් හෝ කොටාගන්න බලන රාජපක්ෂ නම් ගැටයාට ගෝලිය ධනවාදය නැමැති තරුනිය පාට් පෙන්නන්න,ගනන් උස්සන්න පටන්ගෙන තිබෙන බව පෙනෙනවා.හදගමගේ දියකැටපහන නාට්‍යයේ සුනිලා නුග ගස උඩ සිට "ඔයා මා එක්ක ඇත්තටම යාලුවෙන්න කැමති නං ගහ දිගේ බඩ ගාගෙන පැල උඩට එන්න"කියල රුවන්ට කියන අවස්ථාව සමග මෙය නාටකීය ලෙස සමානයි.අද හෝ හෙට තමා සමග සෙට් වීමෙන් තොරව මහින්ද රාජපක්ෂ නැමැති ධනේශ්වර නායකයාට පැවැත්මක් නැති බව ගෝලීය ධනවාදය දන්නවා.යුද අපරාධ කමිටු ආදියෙන් කෙනිත්තිම් කරමින් රාජපක්ෂ මත අතිරේක පීඩනයක් එය විසින් එල්ල කරන්නේ වඩා තෙම්පරාදු වුන,තමන්ට වඩා අවනත වුන නායකයෙක් ලෙස ඔහුව කුලවද්දාගැනිමට දරන වෑයමේ ප්‍රතිඵලයක් විදිහට.එක පැත්තකින් අමෙරිකාව ලංකාව ගැන හිතන විදිහ වෙනස් කරන්න ඕනෙ කියල හිලරි ක්ලින්ටන් කියන්නෙත් ඒ එක්කම යුද අපරාද කමිටු දාල රාජපක්ෂව බය කරන්නෙත් තමාට කොහොමත් යටත්වෙන රාජපක්ෂ වඩා හොදින් හීලෑ කොට යටත් කරගැනිම සදහායි.
මේ රාජපක්ෂගේ අනිත් උභතෝකෝටිකයයි.ලෝක ධනවාදය සමග හාද විමෙන් තොරව ඔහුට කිසිදු ඉදිරි පැවැත්මක් නැහැ.වානිජ නය දෙන චීනය හැර ඉරානයේ ජනාධිපති ආදීන්ගෙන් අපේක්ෂා කල හැක්කේ සම්මන්ත්‍රනයක් වෙලාවට දෙන කිස් එකක් පමනයි.අහමනෙයිජාඩ්‍ගේ කිස් එකෙන් තමන් වැටී සිටින ආර්ථික උගුලෙන් මිදිය නොහැකි බව ආන්ඩුව දන්නවා.
අනිත් අතට තමාව කිච කොට තමා කුලවද්දාගන්න යන ජාත්‍යන්තර ප්‍රජාව සමග කිච වෙමින් සෙට් වීම රාජපක්ෂ විසින් යුද සමයේ ගොඩනගන ලද ජාතිහිතෛශි දෘෂ්ටිවාදය අර්බුදයට යවන්නක්.තමා විසින් ලිහන ලද බටහිර විරෝධය නැමැති සුනඛයා විසින් එවැනි තත්වයකදි තමාවම හපාකන්න ඉඩ තිබෙන බව රාජපක්ෂ දන්නවා.
ගෝලිය ධනවාදය සමග සෙට් වුනොත් තෝ නසි - සෙට් නොවුනහොත් ඒත්‍ තෝ නසි.සහේලි ගමගේට ඊලගට මේ වගේ තීම් සෝන්ග් එකක් සිය ආදරනීය නායකයා වෙනුවෙන් ගායනා කරන්න අවස්ථාව තියනවා.
දේශපාලන සිතියමේ භූ ගෝලිය වෙනස්කම්
බැන් කී මූන් පත්කරන යුද අපරාධ කමිටුව පිලිබද කෙටි සදහනක් හෝ නොකලහොත් මෙම සටහන අසම්පූර්නයි.වෙනම මාතෘකාවක් වුනත් මෙම කමිටුව විසින් වැදගත් දේශපාලන වාතාවරනයක් අලුතින් බිහිකොට තිබෙනවා.රාජපක්ෂ තමන්ට හීලෑ වී සෙට් නොවුනහොත් රාජපක්ෂව ඉවත් වන ආකාරයේ දේශපාලන බලපෑමක් කිරීමේ පිඩනයක ආරම්භය මෙම කමිටුවයි.සමහර විට බැසිල් වැනි වඩා හීලෑ නායකයෙක් පත්වීම මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නත් පුලුවන්.සාමාන්‍ය තත්වයක් යටතේ නම් යූඇන්පී ආන්ඩුවක් රාජපක්ෂගේ රික්තය පුරවයි යැයි අපේක්ෂා කල හැකිවුනත් එජාපය මේ මොහොතේ එරි තිබෙන වගුරෙහි ගැඹුර සලකන විට එවැන්නක් වීමට තිබෙන ඉඩ සැක සහිතයි.
සමහර ජාතිකවාදින්ට ගෝලීය ධනවාදයේ කෙනිත්තිම් වලට හසුවන රාජපක්ෂ නැමැති නායකයා හෙන විරයෙක්.රෙජිනෝල්ඩ් කුරේ පසුගිය දිනෙක මොහුව කැස්ත්‍රෝට අන්දන්න හාස්‍යජනක වෑයමක නියුතු වී සිටියා.ගෝලීය ධනවාදය කෙනිත්තුවේ කැස්ත්‍රෝලා පමනක් නෙමෙයි.අන්ත ප්‍රතිගාමී ඒකාධිපතීන් වන මුගාබේ හා බුරුම ජුන්ටා නිලධාරින් වැන්නන් හා මූලධර්මවාදී ඇ‍ෆ්ගනිස්තාන පාලකයන් වැන්නන් පවා ගෝලීය ධනවාදය අඩු වැඩි වශයෙන් කොනිත්තා තියනවා.මේ නිසා ගෝලිය ධනවාදයේ කෙනිත්තීමෙන් "වීරකම" මනින්න යාම ‍මුග්ධ ප්‍රවේශයක්.
අමරිකානු අධිරාජ්‍යයේ වෙලදපොල සිහිනය සහ ප්‍රතිගාමි පවුල් ආඥාදායකත්වයකට මායිම් වෙමින් ලංකාවේ දේශපාලන සිතියම ඇදෙමින් තියනවා.මේ පවුල් ආඥාදායකත්වය කොයි මොහොතක හෝ වෙලදපොල සිහිනය සමග සන්ධානගත වීම සිදුවන්නත් පුලුවන්.නොවන්නත් පුලුවන්.මේ දෙකෙන් කවරක් වුනත් ලංකාවේ පොදු සමාජයට ඉන් යහපතක් හෝ ගැලවිමක් ලැබෙන්නෙ නැහැ.                      
මේ නිසා ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදි ආන්ඩු විරෝධී ව්‍යාපාරයක් වර්ධනය විය යුතුව තිබෙන්නෙ මේ මායිම් දෙක අතර මැදින් මේ මායිම් දෙකටම එරෙහිව බ‍ව අවසන් වශයෙන් සටහන් කල යුතුයි.