Thursday, October 28, 2010

ශිෂ්‍ය ත්‍රස්තවාදය සමතලා කිරීමේ මෙහෙයුම


"ශිෂ්‍ය ත්‍රස්තවාදය" : රජයේ නවතම දේශපාලන දඩයම

ජය සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය අතර සිවිල් යුද්ධය මේ වන විට රටේම මාතෘකාව බවට පත්ව ඇත.මෙම මොහොත වන විට රට පුරා සරසවි වල සිසුන් 28 ක් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර 203 දෙනෙකුගේ පංති තහනම් කරනු ලැබ ඇත.අජිත් පැරකුම් ජයසිංහට අනුව මෙය අන්තරය කොටි ලෙසද උදුල් ප්‍රේමරත්න ප්‍රභාකරන් ලෙසද නම් ‍කොට සිදුවන දැවැන්ත හමුදා මෙහෙයුමකි.සෑම දිනෙකම කුමන හෝ සිදුවීමක් වාර්තා වේ.අතෙකින් ශිෂ්‍ය වර්ජනය.පෙලපාලි යාම්ය.හූ කීම්ය.අනෙත් අතින් විශ්ව විද්‍යාල ප්‍රචන්ඩත්වය පිලිබද විද්වතුන්ගේ අදහස් දැක්වීම්ය.පොලිස් බැටන් පොලු පහරවල්ය.විනය අකුරට ක්‍රියාත්මක කරන ලෙස පැවසෙන ජනපතිදුන්ගේ පිතෘ ස්නේහයෙන් පිරි ආඥාය.සිසුන් දෙතුන් දාහක් වුවද සරසවි වලින් දොට්ට දමන්නට තමන් මැලි නොවන බවට පාරම් බාන එස්.බී.දිසානායක ඇමැතිගේ සාඩම්බර ප්‍රකාශයන්ය.

රජය පැහැදිලිවම ශුද්ධ කිරීමේ මෙහෙයුමකට එලඹ ඇති බව පෙනේ.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය සරසවි පද්ධතියෙන් තීරනාත්මකව අතු ගා දැමීමේ ව්‍යාපෘතියකට රජය අත ගසා තිබේ.ශුද්ධ කිරීමේ මෙහෙයුම යනු මාඕවාදී ගරිල්ලන්ට එරෙහිව ඉන්දීය හමුදා කරන සංග්‍රාමයේදී යොදා ගැනෙන යෙදුමකි.ප්‍රචන්ඩ මාඕවාදීන් සුලුතරයක් විසින් අහිංසක බහුතර ජනතාව ප්‍රාන ඇපයට ගෙන තිබෙන නිසා එම සුලුතරය ශුද්ධ කොට දැමීම යුක්ති සහගත බව ඉන්දීය රජය මෙහිදී ගොඩනගන තර්කයයි.මේ අනුව එම ශුද්ධ කිරීම වෙනුවෙන් කෙරෙන ඕනෑම කටයුත්තක් සාධාරනය.ප්‍රචන්ඩ මාඕවාදීන් ශුද්ධ කරනු වස් කැරලි පවතින ප්‍රදේශ වලින් තෝරා ගත් සිවිල් වැසියන්ට ආයුධ පුහුනුව ලබා දී පැරා මිලිටරි කන්ඩායම් ආන්ඩුව විසින් සංවිධානය කරනු ලැබේ.මාඕවාදීන්ට ඉක්බිති පහර දෙනුයේ මෙම පැරා මිලිටරි කන්ඩායම්ය.මේවා ඉන්දීය රජය අර්ථකථනය කරන්නේ කෝපයට පත් ජනතාව විසින් ත්‍රස්තවාදීන්ට කල පහර දීම් ලෙසය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයට එරෙහිව ඉදිරියේදී පුලුල්ව සිදුවෙතැයි උපකල්පනය කල හැකි පැරා මිලිටරි පන්නයේ ප්‍රහාරයන්ගේ පලමුවැන්න ඊයේ ( 27) දින කැලනියේදී සිදු විය.ස්වාධීන රූපවාහිනී සේවය වාර්තා කල ආකාරයට අන්තරය නිසා පීඩාවට පත් සිය දූ දරුවන් වෙනුවෙන් "සරසවි සිසුන්ගේ මාපියන් සමූහයක්" කැලනියේදී පෙලපාලි දක්වා තිබේ.ආන්ඩුවේ ජනමාධ්‍ය විසින් "සරසවි මවුපියන්" ලෙස හැදින්වූ පිරිස පාරේ යමින් සිටි සරසවි සිසුවෙකු අල්ලාගෙන ඔහුට ප්‍රසිද්ධියේ පහර දෙනු ආන්ඩුවේ මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් නොවූවද වෙනත් මාධ්‍යයන් ඇසුරින් එම සිදුවීම රටටම දැකබලා ගැනීමට අවස්ථාව ලැබුනි.පොලිසිය සහ මාධ්‍යවේදීන් බලා සිටියදී සිසුවෙකු අල්ලා ගත් උද්ඝෝෂකයෝ එම සිසුවාට ඇති වන තුරු තඩි බෑහ.තම දරුවන්ව අන්තරයෙන් බේරා දෙන ලෙසට උද්ඝෝෂනය කරන මවුපියන් සරසවියේම අහිංසකයෙකු (දරුවෙකු ) ඇදලා ගෙන මහමග තඩි බාන්නට වීම තරමක් උත්ප්‍රාසවත්ය.නමුත් මෙම උත්ප්‍රාසය විසින් කැලනි සරසවියේ සිසුන් වෙත සිනහ වීමට ඉඩක් නොතබා ඒ වෙනුවට භයානක අනතුරු හැගවීමේ සංඥාවක් නිකුත් කර තිබේ.මවුපියන් ලෙස වර්න ගැන්වූ මර්වින් සිල්වා ප්‍රාදේශීය අධිපතිතුමාගේ ගෝල බාලයන් එම උද්ඝෝෂනයේදී මොර දුන්නේ "කැලනියේදී අන්තරේ සෙල්ලම් බැහැ" යනුවෙනි.හුදෙක් කැම්පස් සිසුවෙකු වීම ඕනෑම අයෙකුගෙන් ප්‍රදේශය තුලදී පහර කෑමට ලක්විම සදහා වන විවෘත වරෙන්තුවක් බවට පත්වීමේ අවදානමක් මේ තුලින් මතුව තිබේ.සරසවි සිසුන් යනු කඩාකප්පල්කාරින් සහ ත්‍රස්තවාදීන්ය යන පොදුජන මනෝභාවය රජය විසින් ගොඩනගා තිබෙන පසුබිමක මෙවැනි පහර කෑමක් වහා සාධාරනීකරනය කෙරෙනු ඇත.

අන්තරයෙන් විශ්ව විද්‍යාල බේරාගනු!
-කැලනි සරසවියේ සිසුවෙකුට පහර දෙන සරසවි "දෙමවුපියන්"
විශ්ව විද්‍යාල ආශ්‍රිතව මේ වන විට පැන නැගී තිබෙන මහා ආන්දෝලනය තේරුම් කෙරෙන ප්‍රවේශයන් දෙකක් මූලික වශයෙන් පවතී.පලමුව රජය විසින් මෙය ශිෂ්‍ය ව්‍යාපාරයේ,අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ සහ උදුල් ප්‍රේමරත්නගේ දඩබ්බරකමක් ලෙස විස්තර කෙරෙනු දැකිය හැක.රජයට අනුව මේ සියලු ප්‍රශ්න පසුපස සිටිනුයේ කචල්කාරයන් කිහිප දෙනෙකි.මෙම කචල්කාරයන් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව වැඩකරයි.ඒ හැර පොදු සිසුන්ට ඇති ගැටලුවක් නැත.රජය සිතිජයටත් ඉහලින් දැකිය හැකි විශ්ව දරුවෙකු නිර්මානය කිරීමේ ව්‍යාපෘතියකට අත ගසා ඇති අතර පටු අදහස් ඇති මෙම කචල්කාරයන් කිහිප දෙනා දේශපාලන අරමුනු වෙනුවෙන් එම මහා ව්‍යාපෘතිය ක‍ඩාකප්පල් කරනු වස් නැති ප්‍රශ්න මවමින් සිසුන් මෙහෙයවයි.
දෙවනුව ශිෂ්‍ය ව්‍යාපාරය පාර්ශවයෙන් මේ සම්බන්ධව සිදු කෙරෙන පැහැදිලි කිරීමක් තිබේ.පේරාදෙනිය සරසවියේදී ඇමති එස්.බී ට විරෝධය දැක්වීම මත පුද්ගලික පලිගැනීමක් නිසා සිසුන් සිවුදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කොට ඇති බවත්,රජරටදී නාට්‍යයක් පෙන්වීමට උපකුලපති අවසර නොදුන් නිසා විරෝධතා පෑ සිසුන්ගේ පංති තහනම් කල බවත්,කැලනියේදී පිරිමි නේවාසිකාගාර වල සිසුන්ට ඉවත් වීමට නියෝග කර ඇති බවත් යනාදී වශයෙන් සිසුනට මුහුන දෙන්නට වී තිබෙන ප්‍රශ්න හා මර්ධනයන් ගනනාවක් පිලිබද ඔවුන් කරුනු දක්වයි.මෙම මර්ධනීය ක්‍රියා නිසා වත්මන් අරගල රැල්ල නිර්මානය වී ඇති බව මේ අනුව අන්තරය විසින් ප්‍රකාශ කෙරේ.

මෙහිදී ඉහත ප්‍රවේශයන් දෙක තුල සිර වී පොර බදිනු වෙනුවට මතුව තිබෙන ප්‍රශ්නයේ ස්වරූපය වඩා පුලුල් සන්දර්භයක් තුල විමසා බැලීම වඩා යෝග්‍ය වේ.ලංකාව තව දුරටත් සුභසාධක රාජ්‍යයක් නොවේ.සමාජ විෂමතා අවම කරනු වස් සුභසාධක සේවා සැපයීමේ මූලිකත්වය රජය විසින් ගැනීම පිලිබද සිද්ධාන්තය 80 දශකයෙන් මෙහා තවදුරටත් වලංගු නොවේ.මේ අනුව ආර්ථිකයේ සහ සමාජයේ සෑම සුභසාධක සේවාවකින්ම හැකි උපරිම දුරට ඉවත්වීම මෙම දශක කිහිපය තුල රජය විසින් සිදුකොට තිබේ.අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරනය කිරීම සහ අධ්‍යාපනයේ වගකීමෙන් හැකිතාක් ඉවත් වීම මේ අනුව රාජ්‍යයේ දෘෂ්ටි ‍කෝනයෙන් බැලූ කල්හි අත්‍යවශ්‍ය තර්කානුකූල පියවරකි.පාසල් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පාසැල් පිහිටවූවා සේ තෘතික අධ්‍යාපන ක්ෂේත්‍රය තුල පෞද්ගලික විශ්ව විද්‍යාල සදහා අවසර දීම රජයේ පැත්තෙන් ගත් කල අත් හල නොහෙන,එසේම රජයේ ඇමතිවරුන්ගේ පැත්තෙන් ගත් කල කොමිස් කැන්දන ව්‍යාපාරයකි.

සුසන්තිකා මට්ටු කල මුවා මැරූ සලමන්
 ශුද්ධ කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන ඒජන්ත
කෙසේ වුවද ලංකාවේ ආර්ථිකය ලිබරල්කරනය කිරීමෙන් දශක තුනක් පමන ගතව තිබුනද තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඉලක්කය වෙත සාර්ථකව පිවිසීමට රජය අසමත්ව තිබේ.මේ සදහා උත්සාහයන් ගනනාවක් ඉතිහාසයේ ගනු ලැබින.ඉන් කැපී පෙනෙන එක් උත්සාහයක් වූයේ 80 දශකයේ විශාල උද්ඝෝෂන රැල්ලකට හේතුව සැපයූ උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලයයි.සිය විධායක බලය සහ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් ශක්තිය ලද ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුව එහිදී සාර්ථකව පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ස්ථාපනය කලත් පසුව මතු වූ දැවැන්ත විරෝධතා විසින් ගත් පියවර පසුපසට ගැනීමට ආන්ඩුවට බල කෙරිනි.අද කැලනිය සරසවියට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨය යන නමින් සාමාන්‍ය පංතියේ දරුවන් බොහෝ පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙමින් තිබෙනුයේ සරසවි ප්‍රවේශය අහිමි වන ඉසුරුමතුන්ගේ දරුවන් ස්වල්පයක් වෙත පිරිනැමෙන බෝනස් අවස්ථාවක් ලෙස ආරම්භ කරන්නට යෙදුන එම උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලයයි.

සෙසු සියලු ක්ෂේත්‍ර සාර්ථක ලෙස පෞද්ගලිකකරනය කිරීම සිදුවූවද උසස් අධ්‍යාපනය සම්බන්ධව එම කටයුත්ත අසාර්ථක වීම කෙරෙහි බලපෑ හේතුව කවරක්ද යන්න මෙහිලා සලකනු වටී.විවාදයකින් තොරව එවැනි පියවරකින් රජය වලකනු ලැබූ හේතුව වූ කලී පෞද්ගලීකකරනයට අන් කිසිදු තැනෙකින් පැන නොනැගි සංවිධානාත්මක විරෝධයක් විශ්ව විද්‍යාල තුලින් පැන නැගීමයි.සමූහ වශයෙන් එකට,වසර ගනනාවක් එකම අත්දැකීම් බෙදාහදා ගනිමින් ජීවත් වීම මත සරසවි ශිෂ්‍යයන් සංවිධානය කිරීම සාපේක්ෂව පහසු ක්‍රියාවකි.මේ තුල ශිෂ්‍ය ව්‍යාපාරය පසුගිය දශක කිහිපය තුලම ප්‍රබල වූද සංවිධානාත්මක වූද බලපෑම් කන්ඩායමක් වශයෙන් ක්‍රියාකරමින් සිටී යන්න කවරෙකු කැමති වුනත් අකමැති වුනත් පිලිගත යුතු සත්‍යයයි.
මෙම ව්‍යාපාරයට නායකත්වය දෙමින් සිටිනුයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයයි.මෙහිදී අන්තරය සරසවි තුල කරමින් සිටින දේශපාලනයේ සාධනීය පැති මෙන්ම එහි නිශේධනීය පැති ද සාකච්ඡාවට හසු විය යුතුය.නවකවදයේ ප්‍රචන්ඩභාවය,උද්ඝෝෂනය කිරීමට නොවටනා දේවලට පවා නිරන්තරයෙන් උද්ඝෝෂන සංවිධානය කිරීමෙන් විරෝධය දැක්වීම නැමැති ක්‍රියාවලියේ ඇති බර සමාජය ඉදිරියේ සැහැල්ලු කරගැනීම වැනි සීමාවන් හා දුර්වලතා අපමන අන්තරයේ ක්‍රියාකාරිත්වය තුල පවතී.කෙසේ වුවද මෙම ලියුම්කරුට අනුව එවැනි දහසකුත් සීමාවන් මධ්‍යයේ පවා උසස් අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරිමේ රජයේ වෑයම දුර්වල කරන බරපතලම බාධකය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයයි.

මෙහිදී වර්තමාන දේශපාලන මොහොත ද බැරෑරුම්ව සලකා බැලිය යුතුය.මේ මොහොත වනාහි මහින්ද රාජපක්ෂ රෙජිමය මෙරට අසහාය බල කේන්ද්‍රය බවට පත්ව ඇති මොහොතයි.විපක්ෂය සීල් තබා තිබේ.ජනමාධ්‍ය වල කොදු කඩා තිබේ.වෘත්තිය සමිති ව්‍යාපාරය දුර්වලව ඇත.විකල්ප බලවේග යනුවෙන් දෙයක් ඇත්තටම නැති තරම්ය.
මේ අනුව එවැනි බලසම්පන්න  ඒකාධිපති රෙජිමයක බලවත් ඇමැතිවරයෙකුට සිය පරිශ්‍රය තුල හූ කියා විරෝධය පල කිරීමට තරම් ධෛර්යයක් සරසවි සිසුන් වෙත සැපයෙන්නේ කොතැනින්නද යන්න සැහැල්ලුවෙන් ගත යුතු කරුනක් නොවේ.ධම්ම දිසානායක,වාසුදේව වැනි විශ්‍රාම ගිය රැඩිකලුන්/සිවිල් සමාජය හෙල්ලූ "විප්ලවවාදී" චරිත සිය පැවැත්ම වෙනුවෙන් ඒකාධිපතිවාදය වන්දනා මාන කරද්දී ,එය ඉදිරියේ නගුට හකුලාගනිද්දී එවැනි රෙජිමයකට හූ කියා විරෝධය පෑම - මෙය විස්මය උපදන සුලු ව්‍යතිරේඛයක් නොවන්නේද?
තම හිසට ඉහලින් මැස්සෙකුවත් පියාඹනු දැකීමට බලයෙන් මත්ව සිටින වත්මන් රෙජිමය කැමති නැත.එවැනි පසුබිමක තමන්ට අභියෝග කිරීමට,හූ කීමට තරම් නිර්භය වන ශිෂ්‍ය ව්‍යාපාරය චප්ප කර දැමීමේ වියරු අවශ්‍යතාවය රජයේ පාර්ශවයෙන් මතු වීම ස්වභාවිකය.

මේ අනුව කරුනු කාරනා පෙලගැසෙන දිශාව එයයි.අවනත වෙනු!නැතිනම් විනාශ වීමට සූදානම් වෙනු! නම් ස්ලෝගනය යටතේ රජය සීඝ්‍රගාමීව ක්‍රියාමාර්ග තෝරමින් සිටී.කොලඹ විශ්ව විද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලය අවනත වී ඇත.ඒවාවල විරෝධතා නැත.ශිෂ්‍ය ක්‍රියාමාර්ග නැත.අධ්‍යාපනය පෞද්ගලිකරනය කරනවා තබා ලංකාව හෙට මුහුදේ ගිලුනත් ඒවායේ සිසුනට ඒ පිලිබද වගේ වගක් නැත.මහපොල ලැබෙනවා නම් ගනී.නොලැබෙනවා නම් ඒත් කමක් නැත.පුලුවන් විදිහකට ලුනුයි බතුයි කා හෝ ජීවත් විය හැක.ඕවට කතාකරන්න ගොස් සස්පෙන්ඩ් විය නොහැක.කොලඹ සරසවිය වැනි තැනක ශිෂ්‍ය සටන්වලට තබා කාලීන මාතෘකාවක් පිලිබද සංවාදයක් පැවැත්වීමටවත් ශිෂ්‍යයන්ට නිදහසක් නැත.

පවතින රජයට සරසවි සිසුන් ලෙස අවශ්‍ය කරනුයේ එවැනි අදේශපාලනික,අසංවේදී පංචස්කන්ධ සමූහයකි.සරසවි තුල දේශපාලනය එපා යනුවෙන් රජයේ දේශපාලන හෙංචයියන් සරසවි ඉදිරියේ උද්ඝෝෂනය කරන්නේ ශිෂ්‍ය සංවිධාන බලසම්පන්න වීම ආඥාදායක රජයට දේශපාලනික අභියෝගයක් වන හෙයිනි.සිය දුක් වේදනා ගැන කතාකල දෙමල ජාතිකයන්  රජයට අනුව දෙමල ත්‍රස්තවාදින් විය.අද ශිෂ්‍ය ත්‍රස්තවාදයක් ගැන කතා කෙරේ.හෙට සිය වැටුප වෙනුවෙන්,අර්ථ සාධකය වෙනුවෙන් කතාකරන කම්කරුවා/රජයේ සේවකයා වෘත්තිය සමිති ත්‍රස්තවාදියෙකු වනු ඇත.සැබැවින්ම අවිවිශිබමය සහ රජය අතර සිවිල් යුද්ධය ගල උඩ සටනකි.එය හුදෙක් සරසවි සිසුන්ට සීමා වූ ගැටලුවක් නොවේ.එය ලංකාවේ දේශපාලන හෙට දවස කුමන හැඩයක් ගනු ඇද්ද යන්න තීන්දු කරන තරමේ තීරනාත්මක සටනකි.