Monday, November 15, 2010

උතුර හා දකුන බෙදා වෙන් කොට පාලනය කිරීම

උතුරේ විරුද්ධ දේශපාලනය ඔලු පැලීම සදහා වරෙන්තුවකි
 යාපනයේදී මැර ප්‍රහාරයකට ලක්වූ සුනිල් හදුන්නෙත්ති
කුනු අප්‍රිකාවේ ඇපාතයිඩ් (Apartheid)  පාලන සමය වර්ගභේදවාදයේ ඉතාම කාලකන්නිම ස්වරූපයක් ලෙස ඉතිහාසගත වූවකි.ඇපතයිඩ් යනු දකුනු අප්‍රිකානු කලු ජාතිකයන් ප්‍රධාන ජීවිතයෙන් වෙන් කොට පාලනය කරනු වස් සුදු පාලකයන් ‍විසින් ගෙන ගිය ප්‍රතිපත්තියයි.මේ යටතේ සුදු හම සහිත අෆ්‍රිකානර්වරුන් භුක්ති විදි අයිතිවාසිකම් ගනනාවක් කලු ජාතිකයන්ගෙන් නීත්‍යනුකූලවම උදුරා ගනු ලැබුනි.එම පාලන කාලයේ සුද්දන්ට දේශපාලන අයිතිවාසිකම් තිබුනි.නමුත් කල්ලන් දේශපාලනමය ලෙස සංවිධානය වීම කැරලි ගැසීමක් ලෙස සැලකුනි.සුද්දන්ට මාධ්‍යවේදීන් වීමට,මාධ්‍ය තුල රිසි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට පුලුල් ඉඩක් පැවතුනද කල්ලන් එවැනි දේට යොමුවීම හදිසි අතුරුදහන්වීමක් කැදවන මරන වරෙන්තුවක් බවට පත්වී තිබුනි.කලු ජාතිකයන්ගේ ජීවිත දෙස ඇස ගසාගෙන සිටිම සදහා පොලිසිය හා හමුදාව සීරුවෙන් තබා තිබුනි. සුදු රෙජිමයට එරෙහිව කෙරෙන ඉතාම සියුම් චලනය පවා එම පොලිස් බලය යොදා දරදඩු ලෙස සමතලා කරන ලදී.

කොටි සංවිධානය පරාජය කිරිමෙන් පසු ලංකාව තුල ගොඩනැගෙමින් තිබෙනුයේ දකුනු අප්‍රිකානු ඇපාතයිඩ් පාලනයේ දේශීය වර්ෂනයද යන්න සාධාරන ලෙස මතුකල හැකි ප්‍රශ්නයකි.චෝදනා රහිතව සිරගත කොට තිබෙන දෙමල දේශපාලන සැකකරුවන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයකට සහභාගී වනු වස් යාපනයට ගිය ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විරෝධතාවයට පෙර දින ( 15) රාත්‍රියේ දරුනු පහර කෑමකට ලක්විය.පහරදීම සිදුවනුයේ හෙතෙම යාපනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නිවසේ සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටින අතරතුරය.ජාතික ආරක්ෂාව පිලිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශක ලක්ෂමන් හුලුගල්ල අදාල පහරදීමට රජයේ සම්බන්ධයක් නොමැති බවත් එය කෝපයට පත්වූ දෙමල සිවිල් වැසියන් විසින් සිදුකරන ලද්දක් බවත් පැවසීය.කැලනියේදී සරසවි සිසුන්ට පහර දුන්නේ කෝපයට පත්වූ "මවුපියන්ය".යාප‍නයේදි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දෙන්නේ කෝපයට පත්වූ "දෙමල ජනයාය".ඔබට රජය අයුතු යමක් කරන්නේ යැයි සි‍තෙන්නේ නම් ඊට එරෙහිවීමට පෙර හොදින් සිතාබලන්න.කෝපයට පත්වූ කවුරු කොයිවෙලේ ඔබට කුමක් කරනු ඇද්දැයි කිව නොහැක.

කල්ලන්ට හා සුද්දන්ට එකිනෙක වෙනස් පාලන
ප්‍රමිතීන් ඇති කල දකුනු අප්‍රිකානු ඇපාතයිඩ් පාලනය
කැලනිය සරසවිය ඉදිරියේ ඇතිවෙන මවුපිය පෙලපාලි දේශපාලන අනුග්‍රහය යටතේ සිදුකෙරෙන්නේ යම් සේද හදුන්නෙත්තිට යාපනයේදී පහර දීම රාජ්‍ය අනුග්‍රහය සහිත ක්‍රියාවක් බව සිතාගැනීමට අමුතුවෙන් දිවැස් ඇවැසි නැත.2009 මැයි 19 දාට පසු උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන එකම දේශපාලන බලවේගය එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.කොටි සංවිධානය සහමුලින් අතුගා දමා තිබෙන පසුබිමක ආයුධ දරනුයේ රජයේ හමුදා සහ රජය විසින් නඩත්තු කරන දේවානන්දාගේ අතුරු සන්නද්ධ හමුදා පමනි.හදුන්නෙත්තිට පහර දීම කිසිවිටෙක හුදෙකලා සිදුවීමක් ලෙස භාර නොගත යුතුය.යුද්ධය අවසන්ව වසරක් සපිරුනු පසුගිය මැයි 19 දා සිය මියගිය ඥාතින් සිහිපත් කරමින් ආගමික ස්ථාන වල දෙමල ජාතික පිරිස් විසින් සංවිධානය කරන්නට යෙදුනු සැමරීමේ උත්සව ගනනාවක් රජය මැදිහත්ව කඩාකප්පල් කරන ලදී.
යුද්ධය අවසන්ව වසරක් ඉක්මවා තිබුනද උතුරේ හමුදා සංකේන්ද්‍රනය අංශුවකිනුදු වෙනස් වි නැත.ඒ වෙනුවට තවත් හමුදා සංකීර්න ඉදිකරනු වස් අරමුදල් වෙන්වෙමින් තිබේ.
උතුර හමුදා පාලනයෙන් සිවිල් පාලනයට මාරු වෙන සලකුනක් හෝ තවම දකින්නට නැත.රජය හැර වෙනත් දේශපාලන අදහස් දරන්නන්ට උතුරේ දේශපාලනය කිරිමට තිබෙන ඉඩ අහුරා දමන යෝධ ප්‍රාකාරයක් ලෙස මෙම හමුදා සංකේන්ද්‍රිතය ක්‍රියාකරමින් සිටි.සමාජවාදී තරුන සංගමය විසින් යාපනයේ සංවිධානය කරන්නට යෙදුනු චිත්‍රපට උලෙලක් පසුගිය දිනෙක නිල නොලත් මැර පිරිස් වල තර්ජන මැද කඩාකප්පල් විය.යාපන සරසවිය තුල පවතින්නේ අතිශය දරදඩු පාලනයකි.ශිෂ්‍යයින්ට සංවිධානය වීමට තිබෙන අවම ඉඩ පවා ඒ තුල මුලුමනින් අහුරා දමා තිබේ.කොටි සංවිධානය පරාජය වීමෙන් උතුරේ මතුව තිබෙන දේශපාලන රික්තයට ඇතුලු වීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු උනන්දුවක්‍ නොගන්නා සෙයකි.යාපනයේ සිට අධ්‍යාපන කටයුතු සදහා කොලඹ පැමින සිටින මෙම ලියුම්කරුගේ දමිල හිතවතෙකු පසුගිය දිනෙක පැවසුවේ දෙමල ජාතික සන්ධානය රජයේ ආධිපත්‍යය අභිමුව බොහෝ දුරට නිෂ්ක්‍රිය වී තිබෙන බවයි.රාජ්‍ය ආධිපත්‍යය නොසලකා යම් හෝ දේශපාලනයක් උතුරේ කිරීමට වෑයම් කරමින් සිටින්නේ ජවිපෙ පමනි.කොටි සංවිධානය සමග එක්ව දකුනේ එක්තරා දේශපාලන පක්ෂයක් කලබල ඇතිකිරීමට තැත්කරන බවට තමාට ආරංචි වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මන්ඩලයේදී කී බව සති කිහිපයකට පෙර දිවයින පුවත්පතේ ඕපාදූප කොලම වාර්තා කලේය.හදුන්නෙත්තිට සිදු වූ පහරදීම වැඩි වැඩ දාන්න ඇවිත් ඇන නොගනු යනුවෙන් රජය විසින් එම පක්ෂයට  සිදුකල අනතුරු හැගවීමකියි නිගමනය කිරීම සදොස් නොවේ.

මේ කරුනු විසින් අපට ඒත්තු ගන්වන්නේ මොනවාද?දකුනේ එදිනෙදා පාලනය සිවිල් ආයතන සිදුකරද්දි උතුර පාලනය කරන්නේ මිලිටරියයි.දකුනේ අපමන බාධා මැද වුවද තවමත් විරුද්ධ පක්ෂ වලට දේශපාලනය කිරිමේ යම් හෝ අයිතියක් පවතී.කවර බාධා තිබුනත් වැලිකඩ බන්ධනාගාරය වටලා පෙලපාලි දැක්වීමට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට තවමත් නිදහසක් තිබේ.
( එම නිදහස දිනෙන් දින හැකිලෙමින් තිබීම වෙනම සාකච්ඡා කල යුත්තකි )
කෙසේ වෙතත් උතුරේදී එම ඉඩ මුලුමනින් හකුලා දමා තිබේ.දකුනේ ඔබ මොබ යාමට පුරවැසියාට තිබෙන අයිතිය මානුෂික මෙහෙයුමෙන් "නිදහස්" කරගත් උතුර තුල බරපතල ලෙස සීමා කොට තිබේ.දේශපාලන හෝ ජනමාධ්‍යමය අරමුනු වෙනුවෙන් නම් එවැනි ගමන්කිරිමක් කිරීම අතිශය දුෂ්කරය.එක්සේසත් කල අලුත් ලංකාවේ යාපා පටුනේ සිට දෙවුන්දර තුඩුව දක්වා බිය සැක නැතිව යාමේ වරම ලැබි තිබෙන්නේ නාමල් බබාට,බැසිල් බාප්පාට සහ ඔවුන්ගේ අධෝවාතය ආඝ්‍රානය කරමින් යැපෙන හුලුගල්ල වර්ගයේ වැටුප් වහලුන්ට පමනි.දකුනේ ජනයා විශ්ව විද්‍යාල පහසුකම්,වැඩි වැටුප් වැනි ආර්ථික සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරද්දී උතුරේ ජනයාට කතාකරන්නට සිදුව තිබෙන්නේ හිසට වහලක් ලබාගැනීම වැනි ඉතාම මූලික මනුශ්‍ය අවශ්‍යතා ගැනය.අත්අඩංගුවට පත්වූ දමිල තරුනයන් චෝදනා ගොනුකිරීමෙන් තොරව  වසර ගනන් බන්ධනාගාරගත කරනු ලැබ ඇත.තම හිතෛශීන් අඩුම තරමින් ජීවතුන් අතරද නැද්ද යන්නවත් බොහෝ අය දන්නේ නැත.අත්අඩංගුවේ සිටින අයගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සංවිධානය වීමටවත්,ප්‍රජාතන්ත්‍රවාදි ලෙස විරෝධය දැක්වීමටවත් උතුරේ ජනයාට අවස්ථාවක් නොමැත.
මේ සියල්ල විසින් පෙන්නුම් කරන්නේ පශ්චාත් එල්ටීටීඊ ලාංකීය රාජ්‍යය ගොඩනැගී තිබෙන ද්විත්ව ආකාරය නොවේද?එය උතුරට එක විදිහකටත් දකුනට තව විදිහකටත් සලකයි.එය රාජපක්ෂ පවුලට පූර්න ප්‍රජතාන්ත්‍රවාදයත්,රාජපක්ෂ නොවන දකුනට කප්පාදු කල ප්‍රජාතන්ත්‍රවාදයකුත් ලබාදෙන අතර උතුර මත සම්පූර්න මිලිටරි ආඥාදායකත්වයක් ආරෝපනය කොට තිබේ.

කාකි පැහැ ඡායාවෝ උකුසු ඇස කරකවයි! : මිලිටරිය -  උතුරේ පරමාධිකාරය
රජය පත්කල ප්‍රතිසන්ධානය හා පාඩම් ඉගෙනගැනීම පිලිබද කොමිසන් සභාවේ හැසිරීම මෙම බෙදා වෙන් කොට කෙරෙන පාලනයේ ස්වරූපය මනාව විදහා දක්වන්නේය.මෙම කොමිසම රජය පත්කලේ සිවිල් යුද්ධය පිලිබද පුරවැසියන්ගේ අදහස් විමසා යලි එවැන්නක් ඇතිනොවනු වස් කල යුතු නි‍ර්දේශ පිලිබද වාර්තා කිරීමට යැයි පවසමිනි.කොමිසම ඉදිරියේ දකුනේදී ගෝමින් දයාසිරි,ගෝඨාභය රාජපක්ෂ වැනි අය සාක්ෂි දුන් අතර මෙම සාක්ෂි වලට ජනමාධ්‍ය විසින් පුලුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.
කෙසේවෙතත් උතුරේදී එම කොමිසමට වැඩකරන්නට වූ පසුබිම හාත්පසින් වෙනස් එකකි.කයිට්ස් දූපතේ පැවති සාක්ෂි දීමේ සැසිවාරවලට සිවිල් වැසියන් සහභාගී වීම වැලැක්වීම සදහා සංවිධානාත්මකව කටයුතු යෙදුනි.විදේශ ජනමාධ්‍යයන්ට එම සැසිවාර වාර්තා කිරීමට බාධා එල්ල කෙරුනි.වැලනොකැඩී කොමිසම ඉදිරියට ආ දෙමල සිවිල් ජනයා යුද්ධයේදී තමනට වූ අතවර,තමන් මේ මොහොතේ විදිමින් සිටින දුක්වේදනා පිලිබද නැවත නැවත සාක්ෂි දෙන්නට වූ අතර වේදනාවෙන් හා කදුලුවලින් බොදවූ එම ලෝකය සම්පූර්නයෙන්ම බාහිර සමාජයෙන් වසන් කිරීමට දකුනේ ජනමාධ්‍ය ක්‍රියාකලේය.
මෙම  හැසිරීම හුදෙක් මාධ්‍යවල කුහකකමක් ලෙස තේරුම් ගැනීම නිවැරදි නැත.මේ වනාහි ලාංකීය ඇපාතයිඩය තුල ජනමාධ්‍ය ස්ථානගත වන ආකාරයයි.දකුනේදී නම් කැඩුනු පාරවල්,අබලන් වූ බොක්කු,ප්‍රසිද්ධ තැන්වල සිගරට් බොන පිරිමි ආදී "ප්‍රශ්න" ගැන කතාකරන විමර්ශන වැඩසටහන් වලින් මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්තී පිරී තිබේ.දකුනේ එවැනි ගැටලු කෙරෙහි යම් අවම මට්ටමකින් හෝ යොමුවෙන රූපවාහිනී කැමරා ඇස් කිසිවිටෙක උතුරේ පවතින මහා මනුශ්‍ය ඛේදවාචකය දෙස යොමු නොවේ.ඒ වෙනුවට එම මාධ්‍ය වල ඇත්තේ උතුරේ මැවෙන වසන්තයක් පිලිබද ව්‍යාජ වර්නනා පමනි.

උතුර එක් විදිහකටත් දකුන තව විදිහකටත් පාලනය කිරිමේ මෙම ඇපාතයිඩ් ක්‍රමවේදය අනාගත ලංකාව තවත් මහා ව්‍යසනයකට ඇද දමනු ඇත.මර්ධනය ලොව කවර තැනකදි වුවද ප්‍රචන්ඩ ප්‍රතික්‍රියාවන් වලට පාර කපයි.මිය ගිය ප්‍රභාකරන්ලා වෙනුවට වෙනත් ප්‍රභාකරන්ලා උතුරින් ඉපදීම මේ යන ආකාරයට හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමනි.එවැනි ගැටුමක් යම් හෙයකින් නිර්මානය වූ කලෙක වුවද සිංහල හා දෙමල පීඩිතයන් කෙටවිම සදහා එය අවස්ථාවක් කරගනිමින් යෙහෙන් වැජඹීමට පාලකයන් ක්‍රියාකරනු ඇත.
සැබැවින්ම මේ කැරකෙමින් තිබෙන්නේ එකම විෂම චක්‍රයකි.මෙම චක්‍රය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද අර්බුදය සේම ජාතික ප්‍රශ්නය විසදීමට පාලක පංතිය සතු අශක්නුතාවය ද විදහා දක්වන්නකි.

Thursday, November 4, 2010

සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මලත්වය හෙවත් ඉතිහාසය කන පිට හරවා කියවීම

උඩුකය නොවැසීමේ සදාචාරය
දෙසැම්බර් 25 යනු ජේසුස් ක්‍රිස්තුස්ගේ උපන් දිනය නොවේ.එබව බොහෝ ක්‍රිස්තියානින් දනීද යන්න සැක සහිතය.රෝම අධිරාජ්‍යවරු ක්‍රිස්තියානිය වැලදගත් අලුත එම ලබ්ධිය රෝම සමාජය තුල ස්ථාපිත කිරීමේ අභියෝගයකට මුහුන දුන්හ.රෝම සමාජය පුරුදු වී උන්නේ බහුදේවවාදයටයි.ඒ මත සාදාගත් විවිධ උත්සව එම සමාජයේ විය.මේ සදහා අධිරාජ්‍යවරු යෙදූ උපක්‍රමය වූයේ ඒ ඒ මාසයේ පැවැත්වෙන උත්සවයට ක්‍රිස්තියානි අර්ථකතනයක් දීමයි.දෙසැම්බර් මාසයේ ආගමික උත්සව පැවැත්වීමට රෝම සමාජය පුරුදු ව සිටි අතර දෙසැම්බර් 25 ජේසුස් ගේ උපන් දිනය ලෙස නම් කිරීමෙන් සමාජයේ පැවති ඇදහිල්ල සමග ක්‍රිස්තියානිය සාර්ථකව බද්ධ කිරීමට අධිරාජ්‍යවරු සමත් වූහ.සියවස් ගනනාවක් ගතවී අද වන විට දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන් දිනය බව ලොව පුරා ලක්ෂ ගනන් ක්‍රිස්තියානිහු සද්භාවයෙන් විශ්වාස කරති.තමන් සද්භාවයෙන් අදහන්නේ ඉතිහාසයේ එක්තරා කාලයක දේශපාලන බල ව්‍යාපෘතියක් මත සිදු කෙරුනු විකෘති අර්ථනිරූපනයක් බව මේ කිසිවෙක් නොදනිති.

සිංහල බෞද්ධ සදාචාරය 

ඉහත උදාහරනය වර්තමානයේ බලවත්ව තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අධිපති කතිකාවත ‍තේරුම් ගැනිම සදහා පසුබිමක් සකස් කරන්නේය.අවුරුදු දෙදහස් ගනනක් තිස්සේ පැවත එන නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් පිලිබද අදහසට විශාල ඉතිහාසයක් ඇත.එය අඩුම තරමින් අනගාරික ධර්මපාලතුමාගේ කාලය දක්වා දිව යයි."අපේ සිංහල සංස්කෘතිය" පිලිබද මෙම කතිකාවතෙහි ලක්ෂන කිහිපයකි.
මෙම කතිකාවතට අනුව මත විනාශකාරී දෙයකි.ගැහැනු නිරුවත හෙලා දැකිය යුත්තකි.ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක් බවට පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.හේතුව ලෙස බලධාරින් දැක්වූයේ එය "සදාචාරයට" ‍නොගැලපෙන බවයි.සදාචාරය රකිනු වස් පොලිසිය තානායම් වටලයි.අනාචාරයේ හැසිරෙන අයවලුන් කුදලාගෙන යයි.ඒකභාර්යා/ඒකපුරුෂ විවාහය පරම දෙයක් ලෙස මෙම කතිකාව තුල පිලිගැනේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා මෙන්ම විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතාද මේ තුල තහනම් මාතෘකාවෝ වෙත්.ලිංගිකත්වය ගැන විවෘතව කතාබහ කිරීම "අපේ සංස්කෘතියේ අංගයක්" නොවන බව කියනු ලැබේ.එවැන්නක් සිනමාවට නැගිම අදාල සිනමාපටය තහනම්වීමට පවා මග පාදන හේතුවකි.

නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අදහස මේ වන විට හෙජමොනික් වී තිබේ.එනම් කිසිවෙකුත් අතීතයේ සිට පැවතෙන අපේ සංස්කෘතිය වනාහි මෙයයි යන්න ප්‍රශ්න කරන්නේ නැත.ඒකභාර්යා ව්‍රතය,විවාහයේ පරමත්වය,ලිංගිකත්වය ටැබුකරනය කිරීම යනාදිය සිංහල සංස්කෘතියේ පරම සංකල්පයන් බව සද්භාවයෙන් සියල්ලෝ විශ්වාස කරති.මෙම අදහස මේ වන විට දේශපාලන බලය හා ගැටගැසෙන තරමට බලගතු වී ඇත.අනගාරික ධර්මපාල,මෙත්තානන්ද,නලින් ද සිල්වා,ගුනදාස අමරසේකර වැනි මධ්‍යම පංතික බුද්ධිමතුන් විසින් වර්ධනය කල හුදු ප්‍රවාදයක් වූ මෙය බලයට පත්ව සිටින ධනපති පංතියේ ග්‍රාමීය ප්‍රභූ කුලකය අත පත්වූ කල්හි - එය නිල රාජ්‍ය මතවාදය වන තරමේ ප්‍රබලත්වයක් අත්පත් කරගෙන ඇත.

අනගාරික ධර්මපාල
නූතන සිංහල බෞද්ධත්ව කතිකාවතේ ඇරඹුම් ලක්ෂ්‍යය
නමුත් ඇත්තටම අතීතයේ සිට පැවතෙන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය යැයි අප විශ්වාස කරගෙන සිටින දේ අතීතයේ සිට පැවතෙන්නක්මද?
මෙය දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන්දිනය යැයි අවංකව අදහාගෙන සිටින කතෝලිකයන්ගේ තත්වය සිහිගන්වයි.අතීතයේ පැවති පැරනි සිංහල බෞද්ධ සමාජය හා එහි සංස්කෘතිය වර්තමානයේ සිංහල සංස්කෘතිය යනුවෙන් අප පරිකල්පනය කෙරෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූද,පරස්පර වූද එකකි.
 (අතීත සමාජය සිංහල බෞද්ධ සමාජයක් ලෙස නාමකරනය කරන්නේද වර්තමානයේ ජීවත්වන අපය.නොක්ස්ගේ පොත වැනි ඓතිහාසික සාක්ෂි විමසූ විට පෙනී යන්නේ අප සිංහලුන්ය.මේ දේශය බොදුනුවන්ගේ රටය වැනි සවිඥානිකත්වයක් බරපතල අර්ථයෙන් පොදුජනයා අතර නොපැවති බවයි)
ඇත්ත වශයෙන්ම අපගේ සදාචාරයේ අංගයන් ලෙස අද වන විට වර නැගෙන්නේ අතීත සිංහල සමාජයේ සදාචාරමය වටිනාකම් නොව බටහිර ක්‍රිස්තියානි සමාජවල පැවති වටිනාකම්ය.එනම් අප "අපේ දෙයක්" යනුවෙන් වැලදගෙන සිටින්නේ අතීතයේ අපේ සමාජවල පැවති දෙයක් නොව විදේශිකයන් විසින් අපගේ සමාජ මත ආරෝපනය කරන ලද වටිනාකම් සමූහයකි.


අවිවාහජ දරුවන් හා දික්කසාදය

මෙම තත්වය තේරුම් ගැනීම සදහා ඇති විචිත්‍ර අධ්‍යයන කලාපයකි ලංකාවේ නීතික්‍රම වල සංයුතිය.වර්තමාන ලංකාවේ නීති පද්ධතිය ප්‍රධාන වශයෙන් රෝම ලන්දේසි නීතියෙන් හා ඉංග්‍රීසි නීතියෙන් ආභාෂය ලබා තිබේ.මේවා යටත්විජිතවාදීන්ගේ නීතිය.ඕනෑම සමාජයක නීතියක් එම සමාජයේ ඇති සදාචාරමය වටිනාකම් වල හරය ප්‍රතිබිම්භනය කරයි.මධ්‍යකාලීන යුරෝපා සමාජ දැඩි ලෙස ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදායෙන් ශික්ෂනය වූවකි.ක්‍රිස්තියානිය විවාහය පරම දෙයක් ලෙස පිලිගනී.දෙවියන් වහන්සේ විසින් යුවලක් එකතු කරන්නේ යලි වෙන්කිරීමට නොවේ යන පදනම මත දික්කසාදය කෙරෙහි කිතුසමය දක්වන්නේ අනුකම්පා විරහිත ආකල්පයකි.විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් එම සම්ප්‍රදාය තුල දැඩි ලෙස හෙලා දැකේ.මෙම ක්‍රිස්තියානි ආකල්පය මධ්‍යකාලීන ඉංග්‍රීසි නීතිය හා රෝම ලන්දේසි නීතිය සංවිධානය වීමේදී විශාල බලපෑමක් එල්ල කලේය.

ලංකාවේ සාමාන්‍ය නීතිය රෝම ලන්දේසි නීතියේ හා ඉංග්‍රීසි නීතියේ බලපෑම මත සකස් වී තිබේ. මේ අනුව විවාහයෙන් පිට දරුවන් කෙරෙහි ( අවිවාහජ දරුවන් ) ලංකාවේ නීතිය දක්වන්නේ එක්තරා ආකාරයක නොසැලකිල්ලකි.විවාහයෙන් පිට දරුවෙක්ට පියාගේ දේපල වලට උරුමකම් කිව නොහැක.නඩත්තු ඉල්ලා සිටිය නොහැක.සාමාන්‍ය දරුවෙක්ට හිමිවන ඉහත කී අන්දමේ අයිතිවාසිකම් ගනනාවකින් අවිවාහජ දරුවන් ඉවත් කර තිබේ.මෙම ප්‍රතිපාදනය විවාහය පරම ලෙස සලකන,විවාහයෙන් පිට සබදතා අසංස්කෘතික ලෙස සලකන ක්‍රිස්තියානි තර්කනය තුලින් රෝම ලන්දේසි නීතිය තුලට පිවිසුන එකකි.
දික්කසාදය සම්බන්ධයෙන් ද ඉංග්‍රීසි නීතිය දරන්නේ දැඩි ආකල්පයකි.ඒ අනුව දික්කසාදයක් ගත හැකි වනුයේ අධිකරනමය විභාගයකින් පසුව පමනි.විවාහයක් කඩාකප්පල් වීම නිසා දෙපාර්ශවය ස්වේච්ඡාවෙන් වෙන්වීම ගැන අදහස රෝම ලන්දේසි නිතියද පිලි‍ නොගනී.අනාචාරය හෝ ද්වේශ සහගත හැර යාම යන කරුනු දෙක උඩ පමනක් එම නීතිය තුල දික්කසාද වීමට ඉඩ ලබා දුන් අතර දික්කසාදයට පෙර යම් පාර්ශවයක වැරැද්ද උසාවියක් ඉදිරියේ ඔප්පු කිරීම අත්‍යවශය කරුනක් ලෙස ඒ තුල සැලකේ.මෙම නීති දෙකින් ආභාසය ලත් ලංකාවේ නීතියට අනුව අනාචාරය,ද්වේශ සහගත හැරයාම හා විවාහ වන අවස්ථාවේ තිබෙන සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවය නමැති සීමිත අවස්ථා තුන මත පමනක් දික්කසාද වීමට යුවලකට ඉඩ දෙනු ලැබේ.

ඒකභාර්යා/පුරුෂ ව්‍රතය සිංහල බෞද්ධ ද?
දික්කසාද වීම,විවාහයෙන් පිට සබදතා යනාදිය ගැන ක්‍රිස්තියානි විදේශීක නීතින් එවැනි ආකල්පයක් දරද්දී ඒ පිලිබද සිංහල බෞද්ධ සංස්කෘතිය පැවතියා යැයි කියන පැරනි සමාජය දැරූ ආකල්පය කවරක්ද?
මේ පිලිබද අවබෝධයක් වර්තමානයේ සීමිත මට්ටමකින් ඉතිරි වී තිබෙන උඩරට නීතිය හැදෑරීමේදී ලබා ගත හැක.උඩරට නීතිය ( තේසවලාමෛ නීතිය මෙන් ) ලංකාව තුල උප නීතියක් ලෙස පිලිගැනේ.එනම් උඩරට සිංහල ජනයාට යම් යම් විශේෂිත කරුනු වලදී පමනක් අදාල වෙන උප නීති ක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක වේ.උඩරට නීතිය යනු ඉංග්‍රීසින් උඩරට යටත් කරගැනීමට පෙර උඩරට පලාත් වල පැවති පාරම්පරික නිතියයි.සිංහල නිතියක් ලෙස පිරිසිදු අර්ථයෙන් සැලකිය හැක්කේ උඩරට නීතිය පමනකි යන්න එල්.ජේ.එම්.කුරේ වැනි ශාස්ත්‍රඥයන් දක්වා තිබෙන අදහසකි.

සිංහල සදාචාරය තුල උඩරට නීතිය

දික්කසාදය කෙරෙහි උඩරට නීතිය දක්වන ආකල්පය කවරක්ද?රෝම ලන්දේසි හා ඉංග්‍රීසි නීතියට වෙනස්ව උඩරට නීතිය යම් යුවලකට හුදෙක් එකිනෙකාගේ කැමැත්ත මත (mutual consent) දික්කසාද වීමට තිබෙන ඉඩ පිලිගනී.එනම් එකට විසීමට දෙදෙනා අකමැති නම්,නඩු පවරමින් විවිධ පූර්ව අවශ්‍යතා ඔප්පු කිරීමට වෙහෙසීම අවශ්‍ය නොවේ.සරලවම වෙන්වී යා හැක.මෙය පැහැදිලිවම විවාහය කෙරෙහි දක්වන ලිහිල් නිදහස්කාමී ආකල්පයකි.එවැනි දික්කසාදයකට අධිකරනමය ක්‍රියාවලියක් අනවශ්‍ය අතර රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරියේ දික්කසාදය ප්‍රකාශ කිරීම පමනක් ප්‍රමානවත්ය.

අනෙත් අතට යුරෝපා නීතින්ට වෙනස්ව උඩරට නිතිය අවිවාහජ දරුවෙක්ට (විවාහයෙන් පිට සබදතාවක් නිසා උපදින දරුවෙක්ට ) පියාගේ දේපල උරුමය පිලිබද යම් යම් අයිතිවාසිකම් පිරිනමා තිබේ.විවාහයෙන් පිට උපදින දරුවෙක්ටත් විවාහය තුල සිටින දරුවන්ට වාගේම ඇතැම් අයිතීන් තිබේ යන්න පිලිගැනීම හරහා උඩරට නීතිය විවාහය නම් සංස්ථාව එතරම් පරම දෙයක් ලෙස සලකා නොමැත යන නිගමනයට ඒම අසීරු නොවේ.
මේ අනුව පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි ආභාෂය ඇති විදේශ නීති ක්‍රම විවාහය පරමත්වයට නංවද්දී පිරිසිදු සිංහල නීතිය වන උඩරට නීතිය විවාහය වැනි නිල සබදතා එතරම් බැරෑරුම්ව සලකා නොමැති බවයි.නමුත් අද අප අපේ සිංහල සංස්කෘතිය යනුවෙන් පිලිගන්නේ විවාහය කෙරෙහි කොන්සර්වැටිව් ආකල්පයක් දරන ක්‍රිස්තියානි ආකල්පයද,නැත්නම් ඒ කෙරෙහි ඉතාම නිදහස්කාමී ආකල්පයක් දැරූ පැරනි සිංහල සමාජයේ ආකල්පයද යන්න සැලකීම මෙහිදී විනෝදජනක අභ්‍යාසයකි.අප "අපේ දෙය" ලෙස වැලදගෙන තිබෙන්නේ ඇත්තටම "අපේ දෙය" නොව විදේශික අනෙකකි!

ඒක භාර්යා ඒක පුරුෂ ව්‍රතය පිරිසිදු සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.එය ක්‍රිස්තියානි දායාදයකි.ලිංගික සබදතා කෙරෙහි දැඩි නිල ආකල්පයක් දැරීම පැරනි සිංහල සමාජවල ලක්ෂනයක් නොවේ.එය යටත්විජිතවාදය විසින් ආරෝපනය කල වටිනාකමකි.ගැහැනුන් ඇග වසා ඇදුම් හැදීම පැරනි සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.ඊට වෙනස්ව නිරුවත කෙරෙහි එම සමාජ දැක්වූ ආකල්පය අතිශය විවෘතය.නිරුවත වාරනය කිරීමද වික්ටෝරියානු දායාදයකි.
ගංගොඩවිල සෝම හිමි වරෙක කාලයකට ඉහත පලවූ පාරාදීසිය නම් සගරාව දරුනු ලෙස විවේචනය කලේ ගැහැනු නිරුවත අන්තර්ගත එවැනි ප්‍රකාශන සිංහල සභ්‍යත්වයට දැඩිලෙස හානිකර බව පවසමිනි.එම හිමියන් එවැනි දැඩි සදාචාරවාදී පෙනී සිටීමක් කරද්දී තමන් සිංහල සභ්‍යත්වය යනුවෙන් පරිකල්පනය කරගෙන සිටිනුයේ ඇත්ත වශයෙන්ම සිංහල සභ්‍යත්වය නොව බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයයි යන්න දැන නොසිටීම අතිශය උත්ප්‍රාසවත්ය.

බලය විසින් ඉතිහාසය අර්ථකතනය කිරිමේදී සිදුව තිබෙන මෙවැනි විකෘතිවීම් හැදෑරීම ඉතාම රසවත් අත්දැකීමක් වන්නේය.ස්වකීය දේශපාලන බලය රැකගනු වස් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා දෙසැම්බර් 25 ජේසුගේ උපන් දිනයයි යනුවෙන් කල විකෘතිය අද වන විට ලක්ෂ ගනන් ක්‍රිස්තියානි ජනයා පරම සද්භාවයෙන් අදහන උත්කෘෂ්ට ඇදහීමක් බවට පත් ඇත්තේ යම් සේද,අනන්‍යතා අර්බුදයකින් පෙලුන මධ්‍යම පංතික චින්තකයන් සමූහයක් පාරම්පරික සිංහල බෞද්ධ සංස්කෘතිය වනාහි මෙයයි යනුවෙන් විකෘති ලෙස අර්ථනිරූපනය කල වටිනාකම් සමුදායක් සැබැවින්ම සිංහල සංස්කෘතිය යැයි අදහමින් ලක්ෂ ගනන් සිංහලයෝ අද වන විට සංස්කෘතිය සුරැකීමේ රාජ්‍ය මතවාදය වන්දනාමාන කරමින් සිටිති.