Monday, December 19, 2011

තාරුන්‍යයේ දේශපාලනය අතුරුදන් කිරීම / Disappearing politics of the youth




"සැබෑ මිනිසා ආර්ථික ලාභය ඇති මාවත නොසොයයි.ඔහු සොයන්නේ යුක්තිය හා සාධාරනත්වය රැදි මාවතයි.අද දින ඔහුගේ සිහිනය හෙට දවසේ දේශයේ නීතිය බවට පත්වනු ඇත"

- ජොසේ මාටි

ලිත් කුමාර් වීරරාජ් යාපනයේදී අතුරුදහන් වී මේ වනවිට දින කිහිපයකි.දෙසැම්බර් 10 වනදා සවස 5 ට මෝටර් සයිකලයක නැගී සිය නිවෙසින් පිටවූ තැන් සිට මේ දක්වා ලලිත් කුමාර් ආ ගිය අතක් පිලිබද හෝඩුවාවක් නොමැත.ලලිත් කුමාර් සමග කුගන් මුරුගානන්දන් නම් තරුනයාද අතුරුදහන් වී ඇත.

මනුශ්‍යයෙකු අතුරුදහන් වීම යනු තරමක ගූඪ අර්ථයක් දනවන්නකි.මිනිසෙකු මියයාම එකකි.ජීවත්වනවාද මියගොස්ද යන්න දැනගැනීමට ඉඩක් නොතබා මිහිමතින් අතුරුදහන් වී යාම තවෙකකි. පෙන බුබුලු ස්වයංසිද්ධව පුපුරා යා හැක.එහෙත් සිය පැවැත්ම පිලිබද කිසිදු සලකුනක් ඉතිරි නොකොට අවතාරයක් මෙන් මනුශ්‍යයෙකුට ක්ෂනයෙන් "අතුරුදහන්" විය හැකිද?අපට ජීවත් වීමට නියම වී තිබෙන්නේ මනුශ්‍යයන් හුදු අවතාර බවට පත්කොට තිබෙන අවිචාර සමයකය.

උතුරු අර්ධද්වීපය යනු මහා පරිමානයේ හමුදා බලකොටුවකට තිබෙන තවත් සමාන පදයක් පමනක් වන සන්දර්භයක ලලිත් කුමාර්ගේ අතුරුදහන් වීමට වගකිව යුත්තේ රජයේ හමුදාව බවට සැකයක් තිබිය නොහැක. පනස්දහසක පමන හමුදා ‍හා පොලිස් බලමුලු රැදී සිටින උතුරේ රජයේ දේශපාලන විරුද්ධවාදියෙකු අතුරුදහන් වන්නේ නම් එම අතුරුදහන් වීම සහ රජය අතර සම්බන්ධතාවය ගැන අමුතුවෙන් පරිකල්පනා ඇතිකරගැනීම අවශ්‍ය නොවේ.
ලංකාවේ රාජ්‍යය යනු මිනිසුන් අතුරුදහන් කිරීම සම්බන්ධ අපකීර්තිමත් කලු පැල්ලමින් අවලස්සන වූ රාජ්‍යයකි.ඉතිහාසය පුරා දේශපාලනිකව තමන්ට එරෙහිවූ දස දහස් සංඛ්‍යාත ගැහැනුන් සහ මිනිසුන් රාජ්‍යය විසින් පැහැරගෙන අතුරුදහන් කොට තිබේ.ආශ්චර්යය උදා වනවා යැයි ප්‍රභූ දේශපාලකයන් විසින් උදම් ඇනූ පශ්චාත් යුද ලංකාවේ පවා රාජ්‍ය ත්‍රස්තවාදය කිසිදු වෙනසක් ‍නොමැතිව නග්න ලෙස දත් විලිස්සමින් සිටී.

ලලිත් කුමාර් යනු කවුද?මේ ප්‍රශ්නයට අපට පිලිතුරු කිහිපයක් ගොනු කල හැක.ඔහු දේශපාලන ක්‍රියාධරයෙකි.හුදු දේශපාලන ක්‍රියාධරයෙකු නොව වාම ක්‍රියාධරයෙකි.හෙතෙම තරුනයෙකි.දමිල තරුනයෙකි.ජීවත්විමේදී සාමාන්‍ය තරුනයෙකු මේ යුගයේ ‍තෝරාගන්නා ජීවන රටාව වන්නේ පරිභෝජනවාදයේ ගිලීමයි.භාන්ඩ පරිභෝජනය පිලිබද නිමා‍ නොවන උමතු ආශාවක කිමිදී ක්‍රමය විසින් නිමවා දී තිබෙන ජීවිතය එලෙසින් භාරගෙන ජිවිතය ගෙවා දැමීම මේ යුගයේ තරුනයෙකුගේ "සාමාන්‍ය" ජීවන ශෛලියයි.ලලිත් කුමාර් තෝරාගනුයේ එම සාමාන්‍ය ජීවන රටාව නොව දේශපාලනය කිරීම නැමැති වෙනස් ජීවන භාවිතාවයි.

ඔහු එලෙස තෝරාගත් දේශපාලනය කුමක්ද?ඔහුට ඉතා පහසුවෙන් සියගනනක් වෙනත් තරුනයන් මෙන් ප්‍රභූ දේශපාලකයෙකුගේ අතවැස්සෙකු වීමේ දේශපාලනය තෝරාගත හැකිව තිබුනි.එසේත් නැතහොත් ජාතික පීඩනයේ තීව්‍රතාවය සලකා බැලීමේදී මේ යුගයේ නිසගයෙන් දෙමල තරුනයෙකු නැඹුරු විය හැකි සුලු ජාතික ජාතිවාදී දේශපාලනය තෝරාගත හැකිව තිබුනි.එහෙත් හෙතෙම තෝරාගනුයේ වාමාංශික දේශපාලනයයි.පරිභෝජනවාදය සහ ජාතිවාදය වෙනුවට ඔහු තෝරාගන්නේ සමාජ සාධාරනත්වයේ දේශපාලනයයි.

මෙරට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ල වාර්ගික ප්‍රජාවන්ගේ සමගිය වෙනුවෙන් දේශපාලනය කිරීම අත්හැර දමා මේ වනවිට දශක කිහිපයකි.වාමාංශික දක්ෂිනාංශික භේදයකින් තොරව පසුගිය දශක කිහිපය පුරා අප අත් දැක්කේ සියලුම දේශපාලන ව්‍යාපාර තරගයට මෙන් ජාතිවාදයේ සරන යාමකි.වර්තමානයේද පාලක පක්ෂය සිය පැවැත්ම බවට සිංහල ජාත්‍යොත්තමවාදය උසිගැන්වීම පත්කරගෙන තිබෙන අතර සිංහල ආන්ඩුවටත් වඩා සිංහල වීමේ තරගයක එක්සත් ජාතික පක්ෂය නිරත වී සිටී.සිංහල ජාතිකවාදය අභිමුව දෙමල ජාතික සන්ධානයේ ප්‍රභූ දේශපාලනයත් සරල ස්වොත්තමවාදයේ සිවුකොන ඉක්මවා යාමට සමත්ව නැත.

මෙවැනි පසුබිමක ලලිත් කුමාර් දේශපාලනය විසින් නියෝජනය කරන්නේ සුවිශේෂී විභවයකි.දෙමල දේශපාලන සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් කතාකිරීම,යුද්ධයෙන් අවතැන්වූවන් අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටීම,උතුරේ හමුදා මර්ධනයට එරෙහිව ජනයා සංවිධානය කිරීම සිංහල ජාතිවාදය උත්කර්ෂයට පත්ව තිබෙන දකුනේ සමාජය තුල එතරම් පහසු ජනප්‍රිය තෝරාගැනීම් නොවේ.අනෙත් අතට ජාතිවාදී මැතිරීම් හැර දශක ගනනාවකින් වෙනත් දේශපාලනයක් අත් නොදුටු දමිල සමාජය තුල උතුරේ පිඩිතයාගේ නිදහස රැදී තිබෙන්නේ දකුනේ පීඩිතයා සමග ඇතිකරගන්නා අරගලකාරී සන්ධානයක් තුල මිස හුදෙකලා වීම තුල නොවේ යනුවෙන් අවධාරනය කිරීම ද සරල ජනප්‍රිය තෝරාගැනීමක් නොවේ.කෙසේවුවද ජාතීන් අතර සමගිය ගොඩනැගීමට නම් එවැනි නිර්භය පෙනී සිටීමක් ඇවැසිය.මේ මොහොතේ කෙතරම් දුෂ්කර වූවත් කෙතරම් අසීරු වූවත් නිරවද්‍ය පෙනී සිටීම වනුයේ එම ස්ථාවරය මිස අනෙකක් නොවේ.

මේ නිසා ලලිත් කුමාර් යනු මේ මොහොතට අදාලව දේශපාලන වීරයෙකි. දකුනේ ජනමාධ්‍යායන්ට ලලිත් කුමාර්ගේ අතුරුදහන් කිරීම එතරම් "ප්‍රවෘත්තියක්" බවට පත්වූ ආකාරයක් පෙනෙන්නට නැත.රාගම ‍දේවාලයේ ලොකු සීයාගේ අතුරුදහන්වීමට දුන් වැදගත්කමවත් මෙම ක්‍රියාධරයාගේ අතුරුදහන් කිරීමට ලැබී ඇති බවක් නොපෙනේ.අපට වීරයන් ලෙස දකින්නට පුරුදු කර තිබෙන්නේ ජනමාධ්‍යයන් විසින් පුම්බනු ලබන ශෝභමාන චරිතය.එසේත් නැතිනම් දේශපාලන වේදිකාවන්හි කථා පවත්වන අනුරාගික චරිතය.නමුත් සැබෑ වීරයන් ජීවත් වන්නේ රූපවාහිනී තිර මත හෝ දේශපාලන ‍වේදිකා මත නොව ඔබ හා අප අතරය.ජාතිවාදය අවුලමින් මානව විරෝධී දේශපාලනයක් අනුයන,එනමුත් මාධ්‍යයන් විසින් "චරිත" බවට පත්කොට තිබෙන මහින්ද රාජපක්ෂ වර්ගයේ ප්‍රභූ ජඩයන් හා සැසදීමේදී සාමාන්‍ය කම්කරුවෙකු වන ආරුමුගම් වීරරාජ්ගේ පුත් ලලිත් කුමාර් වීරරාජ් වූ කලී නිසැකවම වීරයෙකි.









Thursday, December 8, 2011

ත්‍රස්තවාදයට එරෙහිව මානුශිකව මැදිහත්වීම - චම්පික රනවක රක්නා ජෝර්ජ් බුෂ්ගේ උරුමය


 "ප්‍රජාතත්ත්‍රවාදය තහවුරු කිරීම"  වෙනුවෙන් හිලවු වූ ඇෆ්ඝනිස්ථානු ලදරුවෙක්
1
1991 දී සෝවියට් සංගමය බිදවැටීම සමග පෘතුවි තලයේ උදා වූයේ අලුත් අවධියකි.මෙම අලුත් යුගය ආරම්භ වූයේ ලිබරල් ධනවාදයේ ජයග්‍රාහී කාහල නාදය මධ්‍යයේය.ලිබරල් ධනවාදයේ න්‍යායාචාර්යවරු සිහින දැකීම නවතා දමන ලෙස ලෝකය පුරා සිටි විකල්ප මතධාරීන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටියහ.ගෝලීය ධනවාදය පිලිගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට ඔවුහු අභිමානයෙන් නිවේදනය කලහ.ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කිරීමත් සමග ලෝකයේ ඉතිහාසය අවසාන වී ඇති බවත් මානව වර්ගයා පරම සැපත උදා කරගෙන ඇති බවත් පැවසූ මෙම විද්වත්හු ලිබරල් මිනිසා මානව පරිනාමයේ අවසන් අග්‍රඵලය ලෙස පිලිගත යුතු යැයි උදම් ඇනූහ.

සීතල යුද සමයේදී අමෙරිකානු දේශපාලකයන් සෝවියට්-අමෙරිකානු ප්‍රති‍විරෝධය විස්තර කලේ කොමියුනිස්ට් ලෝකය සහ නිදහස් ලෝකය අතර ගැටුමක් ලෙසිනි.දුෂ්ට කොමියුනිස්ට් ලෝකය මිනිස් නිදහසට සතුරු වූ අන්ධකාර ලෝකයක් ලෙස විස්තර කරනු ලැබූ අතර බර්ලින් තාප්පයෙන් ධනවාදී ලෝකයට පලා එන ජනයා නිදහස සොයා බටහිර වෙත ඇදෙන සරනාගතයන් ලෙස හදුන්වා දෙන ලදී.එම දුෂ්ට කොමියුනිස්ට් ලෝකය බිදවැටී ලිබරල් ධනවාදය ලොව පුරා ජයග්‍රහනය කිරීම මේ අනුව "නිදහස් ලෝකය" ලැබූ ජයග්‍රහනයක් ලෙස පින්තාරු වීම නොවැලැක්විය හැකි විය.

එලෙස බිහි වූ නව ලෝක රටාවේ පීතෘමූලිකයා ලෙස අබිසෙස් ලැබුවේ එක්සත් ජනපදයයි.බර්ලින් තාප්පය බිද වැටීම ලෝකයේ සියලුම ව්‍යුහයන් සහ කතිකාවන් උඩු යටිකුරු කලේය.ලොව පුරා පැවැති රුසියාවෙන් ආධාර ලැබූ නිල කොමියුනිස්ට් පක්ෂ එක්කෝ විසුරුවා දමන ලදී.නැතිනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පරිවර්තනය කරන ලදී.මාක්ස්වාදයේ මියයාම දේශනා කරන වාම වේශධාරී සුභාරංචි දේශකයෝ ලොව පුරා මතුවන්නට වූහ.ලංකාවේදී චම්පික රනවක මාක්ස්වාදය වෙනුවට හරිත සමාජවාදය සහ වර්ගවාදය පිලිබද සුභාරංචිය වදාරන්නට වූ අතර අනෙත් අතින් දීප්ති කුමාර ගුනරත්න පශ්චාත් නූතනවාදී සුභාරංචි සුරතින් රැගත් අසිරිමත් පනිවුඩකරුවෙකු ලෙස ප්‍රාදුර්භූත වූයේය.සමාජ සාධාරනත්වය වෙනුවෙන් සටන් කිරීම රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රොජෙක්ට් බවට පත්විය.සමසමාජ කොමියුනිස්ට් පරම්පරාවේ වාමාංශිකයෝ එක්කෝ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් බවට පත්ව තමුන් යුක්තිය වෙනුවෙන් සටන් කරනවා යැයි සිත සාදාගත්හ.නැතිනම් හුදෙක් දේශපාලනයෙන් විශ්‍රාම ගියහ.

මෙම ගෝලීය පරිවර්තනය සියලු ජාත්‍යන්තර සබදතා කනපිට ගැසුවේය.සීතල යුද්ධය නොමැති සන්දර්භයක නොබැදි ජාතීන් යන්න විකට යෙදුමක් බවට පත්විය.ඉන්දියාව බදු සෝවියට් කදවුරේ පතාකයෝ එක්සත් ජනපදය සමග න්‍යෂ්ඨික සම්මුතීන්ට එලඹෙන්නට වූහ.චීනය එක්සත් ජනපද‍යේ ප්‍රේමනීය වෙලද හවුල්කරුවෙකු බවට රූපාන්තරනය විය.හදිසියේම ලෝකය තනි යායක් බවට පත්විය.මෙම සමතලා තනි යායේ  දකුනේ සිට උතුරටත්,උතුරේ සිට දකුනටත් ප්‍රාග්ධනය නිදහසේ ගලායන්නට පටන් ගත්තේය.එකම ගෝලීය ධනවාදී අධිරාජ්‍යයක ප්‍රාදේශීය රාජධානි සහිත සිතියමක් ලෙස මේ අනුව ලෝක දේශපාලන සිතියම අලුත් අර්ථකථනයකට භාජනය විය.


ඇෆ්ගනිස්ථානු ලදරුවාගේ දමිල අර්ධ සොහොයුරා
"මම ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බිලි වුනෙමි" 
මෙම අභිනව ලෝක රටාවට අනුකූලව රටවල් අතර සබදතා පාලනය කෙරෙන ජාත්‍යන්තර නීතිය පවා මේ අනුව අලුතින් නිපදවා ගත යුතු විය.වෙස්ට්ෆේලියා සාම ගිවිසුමේ සිට සීතල යුද්ධය අවසාන වීම දක්වා සියවස් ගනනාවක කාලය තුල දේශාන්තර සම්බන්ධතාවන්හි මූලික සීමාව ලෙස ජාතික රාජ්‍යයේ ස්වාධිපත්‍යය සලකනු ලැබීය.සියලුම ජාතික රාජ්‍යයන් එක සමාන ලෙස ස්වාධිපති බවත් රටක ස්වාධිපත්‍යයට වෙනත් රටක් විසින් ඇගිලි ගැසීම බරපතල වරදක් බවත් මේ අනුව ජාත්‍යන්තර සබදතා විෂය තුල අර්ථ දැක්වින.
ජාතික රාජ්‍යයේ ස්වාධිපත්‍යය පරමත්වයට නැංවූ මෙම පැරනි අන්තර්ජාතික සබදතා න්‍යාය '91 පසු බිහිවූ නව ලෝක රටාවට තවදුරටත් ගැලපෙන්නක් නොවීය.අභිනව ලිබරල් අධිරාජ්‍යයේ පිලිවෙල (අබාධ ප්‍රාග්ධන සංචලනය) පවත්වාගැනීමට නම් එම පිලිවෙල කඩාකප්පල් වෙන ලෙස යම් ප්‍රාදේශීය හිතුවක්කාරයෙකු හැසිරෙන්නේද, ඔහුව ආන්ඩු මාට්ටු කිරීමේ බලයක් අධිරාජ්‍යය භාරව සිටින පීතෘමූලිකයා සතුව පැවැතීම අවශ්‍ය විය. නිදසුනක් ලෙස ඉරාකය ලිබරල් අධිරාජ්‍යයේ පිලිවෙල කඩාකප්පල් වන ලෙස හැසිරේ නම් එම රාජ්‍යය මට්ටු කිරීමේ බලය අධිරාජ්‍යය වෙත තිබිය යුතුය.එබදු මට්ටු කිරීමක් සමග ස්වාධිපත්‍යය අනුලංඝනීය ශික්ෂාවක් ලෙස සලකන පැරනි ජාත්‍යන්තර නීති තර්කය සපුරා ගැටේ.අපගේ නිදසුනින්ම පැහැදිලි කරන්නේ නම්  ලිබරල් අධිරාජ්‍යයේ පිලිවෙල පවත්වාගනු වස් පීතෘමූලිකයා ( එක්සත් ජනපදය)  ඉරාකයට බලපෑම් කලහොත් එය ස්වාධිපත්‍යයට එරෙහිව සිදුකෙරෙන නොමනා ක්‍රියාවක් ලෙස පැරනි කතිකාවත තුල අරුත් ගැන්වීමට පුලුවන.මේ නිසා ස්වාධිපත්‍යය මූලික කරගත් කතිකාවත වෙනුවට ගෝලීයව වෙනත් නව කතිකාවක් ජාත්‍යන්තර සබදතා විෂයෙහි මතුකරගැනීම අත්‍යවශ්‍ය විය.

එලෙස බිහි වූ කතිකාවත වනාහි ජාත්‍යන්තර මානුශවාදී වගකීම පිලිබද ප්‍රවාදයයි.ජාත්‍යන්තර සම්බන්ධතාවලදී රාජ්‍යයන්හි ස්වාධිපත්‍යයට වඩා මානුශවාදී නීතිය බලසම්පන්න විය යුතු බවට නව ප්‍රවාදයක් මේ අනුව 90 දශකයේදී සූත්‍රගත විය.රාජ්‍යයක් සිය පුරවැසියන්ට අඩත්තේට්ටම් කරන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාවට එම පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත්වීමේ අයිතියක් තිබෙන බවට මේ අනුව සංකල්පගත විය.උදාහරනයක් ලෙස ලිබියාවේ රජය සිය පුරවැසියන්ගේ මානුශික අයිතීන් කඩ කරන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාවට එම ජනතාව වෙනුවෙන් ලිබියාවට මැදිහත් වීමේ අයිතිය තිබේ.මෙම මැදිහත් වීම පැරනි අර්ථයෙන් ස්වාධිපත්‍යයට එරෙහිව කරන වරදක් නොව "මානුශවාදී මැදිහත්වීමකි".90 දශකයට පෙර මේ අනුව හුදු ආක්‍රමනයක් ලෙස හැදින්විය හැකි කටයුත්තක් 90 දශකයට පසු බිහිවූ නව ‍ගෝලීය කතිකාවත තුල මානුශවාදී මැදිහත්වීම  නැමැති සෞන්දර්යාත්මක නාමයෙන් වර්න ගන්වන ලදී.


2
මානුශවාදී මැදිහත්වීම යනු පශ්චාත් සීතල යුධ ලෝකයේ ලිබරල් අධිරාජ්‍යය විසින් නිපදවා ගනු ලැබූ විශිෂ්ටතම දෘෂ්ඨිවාදී තර්කයයි.ඔබට යුද්ධයකට හෝ ආක්‍රමනයකට විරුද්ධ විය හැක.නමුත් මානුශවාදී ඛේදවාචකයක් පවත්නා තැන මානුශවාදීව සිදුකෙරෙන මැදිහත්වීමක් සදහා විරුද්ධ වන්නේ කෙසේද?මානුශවාදී මැදිහත්වීම යන යෙදුමින්ම එය හුදු යුද්ධයක් නොවන බව පෙන්නුම් කරනවා නේද?


ජාතික රාජ්‍යයන්ගේ අන්තනෝමතිකභාවය පාලනය කිරීම සදහා විශ්ව සාධාරන ජාත්‍යන්තර මානුශවාදී නීතියක් තිබිය යුතුය යන්න කෙල්සන් වැනි නීතිවේදීන් විසින් මතුකල දීප්තිමත් අදහසකි.එම දීප්තිමත් අදහස එක්සත් ජනපදයේ පීතෘමූලිකත්වය සහිත නව ලිබරල් සන්දර්භය තුලට ආ කල්හි අද වනවිට ඊට සැපයී තිබෙන්නේ කෙල්සන් වැන්නවුන් සිහිනෙනුදු අපේක්ෂා නොකල විකෘති ප්‍රතිඵලයකි.

බටහිර විරෝධයෝ වම්හ.බටහිර ආයුධ බටහිර සංකල්ප සහ බටහිර ප්‍රාග්ධනය  හැර බටහිර අන් සියලු දෙය අකැපය

2011 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ගෝලීයව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ප්‍රකාශයට පත්කල අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් "එක්කෝ ඔබ අප සමගය නැතිනම් සතුරා සමගය" යනුවෙන් ලෝකයාට නිවේදනය කලේය.ඇෆ්ඝනිස්ථානයේ තලෙයිබාන් මර්ධනයෙන් එම ජනතාව ගලවා ගැනීම සදහා නේටෝ හමුදා එරටට කඩා වැදුනු අතර ඉරාකයට මැදිහත්වූයේ සදාම් හුසේන්ගේ ඒකාධීපතීත්වය පරදවනු සදහාය.ලිබියාව මත බෝම්බ හෙලූයේ ගඩාෆි විසින් ඇතිකල මානවවාදී ඛේදවාචකය අවසන් කරනු වස්ය.මේ ආදී වශයෙන් පශ්චාත් සීතල යුද සමයේ සිදුවූ සෑම යුද්ධයක් සදහාම "සාධාරන හේතුවක්" පැවැතිනි.ආකර්ශනීය ලෙස පුවත් සපයන ප්‍රමුඛ මාධ්‍ය ආයතන විසින් මෙම "සාධාරන හේතුව" යලි යලිත් වර නංවන ලදී.මෙම සෑම යුද මෙහෙයුමක්ම ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් වෙනුවෙන් සිදුවන බවට බටහිර සමාජවල පුරවැසියන්ගෙන් සැලකිය යුතු බහුතරයක් සද්භාවයෙන් විශ්වාස කලහ.

නිදහස් ප්‍රාග්ධන සංචරනයට බාධාකරන අධිරාජ්‍යයේ ප්‍රාදේශීය හිතුවක්කාරයන් - මිලොසෙවික් හා ගඩාෆි බදු මෙම හිතුවක්කාර ප්‍රාදේශීය උප රජවරුන්ද අගය කල යුත්තෝ නොවෙති.මොවුහු සියල්ලෝ අඩු වැඩි වශයෙන් පවුල්වාදී,වර්ගවාදී ගර්හා කටයුතු පංචස්කන්ධ වෙති - සම්බන්ධයෙන් අධිරාජ්‍යයේ අධිපතීන් අනුගමනය කරන උපාය මාර්ගයේ තර්කය දැන් අපට පහත පරිදි සාරාංශගත කරගත හැක.(අධිරාජ්‍යයේ පිලිවෙල කඩන ) මෙම ප්‍රාදේශීය හිතුවක්කාරයන් වූ කලී මානුශවාදී ප්‍රමිතීන්ට අනනුකූල දුෂ්ටයෝ වෙති.උන් මුලිනුපුටා දැමිය යුතුය.එලෙස මුලිනුපුටා දමනුයේ මානව වර්ගයේත්,ප්‍රජාතන්ත්‍රවාදයේත්,ඒ ඒ රටවල ජනතාවගේත් යහපත වෙනුවෙනි.ඒ සදහා බලය යෙදවීම හැර විකල්පයක් නැති අතර බලය යෙදවීමේදී හටගන්නා ඝාතන සහ මරන - ඒවා ගැන කනගාටුය.නමුත් වැඩි නපුර නැසීමට යද්දී එවැනි නොවැලැක්විය හැකි අතුරු ආන්තරාවන් හටගත හැකි අතර ඒවා ගැන වැඩිදුර නොසිතිය යුතුය.(පසුගිය දා උද්ගත වූ නේටෝ ගුවන් ප්‍රහාර හේතුකොට ගෙන පකිස්ථානු සොල්දාදුවන් 24 දෙනෙකු මියගොස් තිබූ අතර බැරැක් ඔබාමා ඒ වෙනුවෙන් සිය "කනගාටුව" පකිස්ථාන ජනාධිපතිවරයා වෙත පල කොට සිටියේය)

පශ්චාත් සීතල යුද සමයේ මතුවූ ගෝලීය අධිරාජ්‍යවාදයේ ඉහත සංකල්පගත කිරීම ලංකාවේ මේ වනවිට බලය උසුලන සිංහල ජාතිකවාදී කතිකාවතේ සංකල්පගත කිරීම් සමග සංසන්දනය කිරීම අතිශය රසවත් අභ්‍යාසයකි.බැලූ බැල්මට ලංකාවේ ජාතිකවාදීහු අධිරාජ්‍යවාදයේ පරම සතුරෝ වෙති.හෙරොයින් දුමින්ද සහ බුකී සුමතිපාල සමග එක කැබිනට් මන්ඩලයේ ලැගීම චම්පික රනවක,විමල් වීරවංශ වැනි සිංහල බෞද්ධ ජාතිකවාදීන් සාධාරනීකරනය කරගන්නේත් තමාට එසේ කරන්නට වී තිබෙන්නේ "අධිරාජ්‍ය විරෝධය" නිසා බව දක්වමිනි.

පසුගිය වසර හයක කාලය පුරා සිංහල ජාතිකවාදී කතිකාවත භ්‍රමනය වූයේ දෙමල විරෝධය නම් අක්ෂය වටාය.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2009 පෙබරවාරි මස බීබීසී සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කෝපාන්විත හඩින් මෙසේ ගුගුලේය."එක්කෝ ඔබ අප සමග.නැතිනම් ඔබ ත්‍රස්තවාදීන් සමග!"නලින් ද සිල්වාගේ වචනයෙන් කිවහොත් "යුදෙවු / ග්‍රීක / ක්‍රිස්තියානි බටහිරයෙකු" වන ජෝර්ජ් බුෂ්ගේ මුස්පේන්තු හඩ සිංහල/බෞද්ධ/දේශප්‍රේමී ආරක්ෂක ලේකම්වරයාගේ මුවෙන් එලෙස ප්‍රතිනිෂ්පාදනය විය.ඔබාමා රෙජිමය ගඩාෆි පාලනය බටහිර පුරවැසියා අභියස රාක්ෂසකරනය කලේ යම් සේද අධිපති ජාතිකවාදී කතිකාවත විසින් සිංහල  සමාජය ඉදිරියේ එල්ටීටීඊ පාලනය පිලිබද බියකරු පින්තූරයක් ප්‍රක්ෂේපනය කරන ලදී.ගඩාෆි රෙජිමයේ අමනුශ්‍ය සාහසික ක්‍රියාවන් භයානක චිත්‍රය නිර්මානය කරනු වස් බටහිර ජනමාධ්‍ය විසින් අමුද්‍රව්‍ය කරගත්තේ යම් සේද එල්ටීටීඊ සංවිධානයේ ෆැසිස්ට් චර්යාවන් දුෂ්ට හා භයානක උතුරක් පිලිබද රූපය නිර්මානය කරනු වස් යොදාගන්නා ලදී.

එම රූපය ප්‍රකාරව එල්ටීටීඊ පාලනය උතුරේ මහජනයා පෙලයි.එහි ප්‍රජාතන්ත්‍රවාදය නැත.ඔවුහු දෙමල ජනයා ප්‍රාන ඇපයට ගෙන භීෂනකාරී පාලනයක් අනුයති.මේ නිසා කල යුත්තේ කුමක්ද?අන් කිසිවක් නොව බලය යෙදවීමයි.නේටෝ සංවිධානය තමා කොසෝවෝ මත බෝම්බ හෙලීම යුද්ධයක් නොව මානුශවාදී මැදිහත්වීමක් ලෙසට සුජාතකරනය කලේ යම් සේද උතුරේදී සිදුවූයේ යුද්ධයක් නොව සෞන්දර්යාත්මක මානුශික මෙහෙයුමක් බව අපට පවසන ලදී.ජනතාව සද්භාවයෙන් එය ඇදහීය.දෙමල ජනයා එල්ටීටීඊ යෙන් මුදාගැනීම සදහා සිදුකල මානුශික මෙහෙයුමේ අවසාන මාස හතර තුල පමනක් සාමාන්‍ය දෙමල ජනයා 20 000 පමන මියගිය අතර ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වූහ.එවිට  ජාතිකවාදීහු මෙසේ කීහ."කනගාටුයි.බැරෑරුම් ක්‍රියාවලියකදී එවැනි සුලු සුලු වැරදි සිදුවේ"

අල්ලගත් ඉරාකයේ සිතූ සිතූ ලෙස අද බටහිර සමාගම් තෙල් නිධි කනින්නේ යම් සේද මුදාගත් උතුරු නැගෙනහිර අද නිදහසේ ප්‍රාග්ධනය ගලා යයි.ආන්ඩුව එම "මුදාගත්" ප්‍රදේශවල බිස්නස් කිරීම සදහා මුලපුරා තිබේ.මානුශිකව මැදිහත්වී ත්‍රස්තවාදය චප්ප කරන අතරතුර බිස්නස් සදහා අවස්ථාව පාදාගැනීම නම් වූ මන්ත්‍රය විසින් අධිරාජ්‍යවාදයත්  සිංහල ජාතිකවාදයත් අතර උත්සාවාකාරී විවාහයක් ජනිත කොට තිබේ.

Saturday, November 26, 2011

සෙල්වම් - ජයග්‍රාහී මධුපානෝත්සවයේ දමිල කටගැස්ම / Selvam - An entertaining object in a victorious orgy



1
වු මම කොටියෙක්“ යන වචන සහිත පෝස්ටරයක්  බාල කඩදාසියක අදිනු ලදුව කොලඹ නගරය පුරා ඇලවී තිබෙනු සති දෙකකට පමන පෙර දක්නට ලැබුනි.පෝස්ටරය අග දෙමල භාෂාවෙන් අත්සනක් ද යොදා තිබුනි.එම ප්‍රචාරක ව්‍යාපාරයේම  ඊලග අදියර ලෙස “මම දැන් පුනරුත්ථාපනය උනා“ යනුවෙන් තවත් පෝස්ටර් වටයක් දියත් වූ අතර මේ දිනවල එහි අවසාන අදියර ලෙස “ මම දැන් සෙල්වම් සිංහල චිත්‍රපටියේ නලුවෙක්“ යන වචන රැගත් අලුත් පෝස්ටරයක් ඇලවී තිබේ.

මෙම ප්‍රචාරක ව්‍යාපාරය ඉදිරියේදී තිරගත වීමට නියමිත “සෙල්වම්“නම් සිංහල චිත්‍රපටයක් පිලිබදව වන අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සටන්කරුවෙකු  ( පුනරුත්ථාපනය වුනු ) එහි ප්‍රධාන චරිතය රගපාන බව කියැවේ.සිනමා වෙලදපොල විනෝදාස්වාද වෙලදාම්කරනයේ විෂය පථයට වැටෙන්නකි.විනෝදාස්වාද කර්මාන්තයේ ලක්ෂනය නම් ලාභ උපරිම කරගැනීම සදහා සෑමවිටම අමුතු හා වෙනස් භාන්ඩයක් අලෙවිය සදහා ඉදිරිපත් කල යුතු වීමයි.මෑතකදී පුවත්පත් වෙලද ලෝකයට බට රන්දිව පුවත්පතේ හිමිකරු එලෙස අලෙවි කිරීම සදහා “සකෘද්ධාගාමී වූ පිටිදූවේ සිරිධම්ම“ නැමැති අද්භූත ප්‍රපංචය සොයාගත්තේ යම් සේද දැන් සෙල්වම් නිෂ්පාදකයාට සිංහල මධ්‍යම පංතික පේක්ෂක ප්‍රජාව වෙත සිත්සේ විකුනාගැනීම උදෙසා “පුනරුත්ථාපනය වූ කොටියා“ නැමැති විස්මිත අමුතු සත්වයා පහල වී තිබේ. පුනරුත්ථාපනය වූ කොටියෙක් චිත්‍රපටයක රගපෑමේ අසිරිමත් දසුන බලාගැනීම උදෙසා ප්‍රේක්ෂකයෝ ඉදිරියේදී මහත් කුතුහලයෙන් යුතුව සිනමා ශාලා ඉදිරියේ රොද බදිනු ඇති අතර ගිනි අවි අත දැරූ තරුනයන් සිනමා තාරකාවන් බවට පත්කල රජයේ මානුශිය මෙහෙයුම කොයිතරම් සෞන්දර්යාත්මක දැයි සිංහල පුවත්පත් වල  විචාර පලවනු ඇත.

දැන් මෙම ප්‍රචාරක ව්‍යාපාරය පසුපස පවතින මනෝ විද්‍යාව අපට පහත පරිදි සටහන් කරගත හැක.කොටියා යනු භයානක අශ්ලීල සතෙකි.දෙමල තරුනයන් වසර කිහිපයකට පෙර සිටියේ එම වේශයෙනි.පුනරුත්ථාපන ක්‍රියාවලියකට පසු මෙම සැහැසි සත්ව කොට්ටාශය මෙල්ල වී තිබේ.උන් දැන් “සිංහල“ චිත්‍රපටවල රගපාති.පෝස්ටරයේ “සෙල්වම් චිත්‍රපටය“ යැයි සදහන් නොවී “සෙල්වම් සිංහල චිත්‍රපටය“ යනුවෙන් විශේෂනයක් ඈදා තිබෙන්නේ ඇයි?එම වචන යෙදීම හුදු අහඹුවක්ද?තුවක්කු අරන් සිංහලයාට පාට් දැමූ උන්ට දැන් නගුට හකුලාගෙන අපේ චිත්‍රපටයක රගපාගෙන ජීවිකාව ගැටගසාගෙන ඉන්නට සිදුව තිබේ.උන්ට කෙලවී ඇත.සිංහලත්ව ව්‍යාපෘතිය ඉදිරියේ දමිලයා දනගසා තිබේ. එනම් ඔවුන් ( දමිලයා) අපේ  ( සිංහලයාගේ ) අනන්‍යතාවය තුලට අවශෝෂනය වී ඇත.එම ජයග්‍රහනය සංකේතාත්මකව පෙන්නුම් කරන මෙම චිත්‍රපටය බලන්න පැමින ඔබේ ප්‍රමෝදය උපරිම කරගන්න!සිනමා වෙලෙන්දා සිංහල මධ්‍යම පංතික සමාජය සමග බෙදාගන්නා පනිවුඩයේ තර්කනය එයයි.

2

මෙම සිංහලෝත්තමවාදී දෘෂ්ටිය ලංකාවේ ජාතික ප්‍රශ්නය විසදීමට එනම් පොදු ලාංකීය අනන්‍යතාවයක් බිහිකරගැනීමට එරෙහිව පවතින එක් බරපතල බාධකයකි.පසුගියදා ප්‍රකාශයට පත්වූ සුදු කොඩි නඩු තීන්දුව මෙම සිංහලත්ව දෘෂ්ටිය විසින් කෙතරම් ගැඹුරින් අප සමාජය සිය වසගයට ගෙන තිබේද යන්න පැහැදිලි කරයි.මෙම නඩුවේදී සරත් ෆොන්සේකාව තවත් වසර තුනකට සිරගත කරනු ලැබූ අතර එහිදී ෆොන්සේකා නිවැරදිකරු ලෙස යම් හෙයකින් අධිකරනය තීන්දු කලා නම්ය අප පුදුම විය යුත්තේ.ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් සහිත ලංකාවේ අධිකරන ශාලා පවතින අතර අධිකරන නැත.විනිශ්චයකාර ලෝගුධාරීන් සිටින අතර විනිශ්චයකාරවරුන් නැත.ෆෙඩ්‍රිකා ජෑන්ස්ගේ සාක්ෂිවල තිබෙන පරස්පරතා මොනතරම් ඕප්පු කරන්නට නලින් ලද්දුවහෙට්ටි වලි කෑවත් ඉන් ඇති ප්‍රයෝජනයක් නැත්තේ ඒකාධිපති සමාජයක නඩු තීන්දු ලියැවෙන්නේ නඩුව විභාග වීමට පෙර හෙයිනි.

මෙම තීන්දුවට පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් පලවනු පසුගිය දිනවල දක්නට ලැබුනි.යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි ගෙන යටත්වීමට පැමිනි කොටි සංවිධානයේ නායකයන්/සාමාජිකයන් මරා දැමීමට ආඥා කල බවට පාපොච්චාරනය කිරීමෙන් ෆොන්සේකා රට පාවා දුන් බව එක් පිරිසක් මෙහිදී පැවැසූ අතර ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින බහුතරය ඔහු එවැනි ප්‍රකාශයක් නොකල බව හා ෆෙඩ්‍රිකා ජෑන්ස් මුසා දොඩන බව පමනක් පවසන්නට යෙදුනි.

මේ මතවාද දෙක අතරම අප්‍රකාශිත සම්මුතියක් පවතී.මේ සියල්ලෝ වාද කරන්නේ සුදු කොඩි කතාව ෆොන්සේකා කිව්වද නැද්ද යන්න ගැන විනා එබදු සිදුවීමක් ඇත්තට සිදුවීද යන්න ගැන නොවේ.සිරභාරයට පත්වන /යටත්වන දේශපාලන සිරකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීම ජාත්‍යන්තර නීතියට අනුව යුද වරදක් වන අතර ජාත්‍යන්තර නීතිය පසෙකින් තැබුවත් මානුශික අර්ථයෙන් හෝ දේශපාලනික අර්ථයෙන් එබදු මරාදැමීම් අනුමත කල නොහැක.දේශපාලන සිරකරුවන් මරා දැමීම ලංකාවේ පාදඩ ධනපති රාජ්‍යයේ චිරාගත පුරුද්දකි.1971දී හා 1989 දී දකුනේ සටන්කාමී පරම්පරාවන් දෙකක් මෙන්ම එම පරම්පරාවන්ට නායකත්වය සැපයූ නායකයන් ද ශිෂ්ට සම්මත වටිනාකම් පාගාදමමින් ගොඩනගා තිබෙන රාජ්‍යයේ මෙම කෲරභාවයේම ගොදුරු බවට පත්වූහ.මතවාදීව වෙනත් ධ්‍රැවයක ස්ථානගත වූවද 2009 දී  උතුරේ  තරුන පරම්පරාවටද නැවත අභිමුඛ වනුයේ එදා දකුන ගොදුරු කරගත් රාජ්‍යයේ පාදඩභාවයමැයි.

කෙසේවුවද එම පාදඩභාවයේ එක් ප්‍රකාශනයක් වන සුදු කොඩි සිදුවීම අභියස සමාජය කතාකරන්නේ එවැන්නක් ෆොන්සේකා කිව්වාද නැද්ද යන්න ගැන විනා රජය එලෙස ‍දේශපාලන සිරකරුවන් මරදැමීම නිවැරදිද නැද්ද යන්න ගැන නොවේ.දෙමල තරුනයන් එලෙස මරාදැමූ බව පිලිගැනීම අධිපතීත්වය උසුලන "සිංහල අභිමානයට" කැලැලක් වන අතර ෆොන්සේකාවාදීහුද ෆොන්සේකා විරෝධීහුද මෙම තීරනාත්මක ප්‍රශ්නය අභියස මුනිවත උසුලති.

- 2011 නොවැම්බර් 27ජනරළ ඉරිදා සංග්‍රහය 





Friday, November 18, 2011

දෙමල කැන්වසයේ සිංහල ජනපද සිත්තම් කිරීම / Painting Sinhalese colonies on a Tamil Canvas


මිල්ලෙ සොයා උතුරුකරයට

තුරු නැගෙනහිර පලාත්වල සිදුවන සිංහල ජනපදකරනයට විරෝධය පලකරමින් දෙමල පක්ෂ කිහිපයක නායකයෝ සමූහයක් පසුගිය ඔක්තෝබර් 17 වනදා වවුනියාව නගර සභා ක්‍රීඩාංගන භූමියේදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වූහ.කොටි සංවිධානය දෙමල ජනතාවගේ අසහාය නියෝජිතයා බව කලෙකට ඉහතදි පැවසූ දෙමල ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජාගේ සිට කොටි සංවිධානය මුලිනුපුටා දැමීම සදහා රජය වෙත සහයෝගය පලකල වී.ආනන්දසංගරී දක්වා විවිධ දේශපාලකයෝ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.පශ්චාත් ප්‍රභාකරන් යුගයේ දෙමල ජාතිකවාදී දේශපාලනය පූර්ව ප්‍රභාකරන් යුගයේ බලපැවැත්වූ චෙල්වනායගම් පන්නයේ ශෛලියක් හරහා වර්ධනය වෙමින් තිබෙන බවට මෙම සාමකාමී සත්‍යග්‍රහය සාක්ෂි දරයි.

මෙම සත්‍යග්‍රහය පෙන්නුම් කරන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිංහල ජනපද උතුරු නැගෙනහිර ස්ථාපනය කිරීම මගින් එම පලාත්වල ජන අනුපාතය වෙනස් කිරීම විවිධ ජාතිකත්වයන් අතර සම්බන්ධතා කලමනාකරනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස වත්මන් රජයත් අනුදකින බවයි.මුලතිවු දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශය ආශ්‍රිතව නව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් ප්‍රකාශයට පත්කිරීම හරහා සිංහල කොලනියක් එම ප්‍රදේශයේ ස්ථාපනයට රජය වෑයම් ගන්නා බවට චෝදනා නැගී තිබේ.

ජනපදකරනය යන්නෙන් අදහස් වන්නේ ස්වභාවිකව සිදුවන මිනිස් සංක්‍රමනයන් නොවේ.ජීවත් වීමට,රැකියාවක් කිරීමට එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ස්වභාවිකව ගමන් කිරීම සමග මෙම ක්‍රියාවලිය පටලවා නොගත යුතුය.නිදසුනක් ලෙස එල්.ටී.ටී.ඊ සංව්ධානයේ ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ වීමට ප්‍රථම යාපනය ප්‍රදේශයට ව්‍යාපාරික හා වෘත්තීමය අරමුනු වෙනුවෙන් ගමන් කොට එහි පදිංචි වූ සිංහල ජනයා අපමන සිටියහ.අනිත් අතට අද වන විට කොලඹ නගරයේ විශාල ජනපංගුවක් බවට සිංහල නොවන ජනකොටස් පත්ව තිබෙන්නේත් මෙලෙස සිදුවූ ස්වභාවික සංක්‍රමන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසය.එලෙස තනි තනි පුද්ගලයන් තමන්ටම සුවිශේෂී හේතු මත සිදුකරන යාම් ඊම් වලට වඩා සැලසුම්සහගතව,සිතාමතා රජය විසින් කරනු ලබන පදිංචි කිරීම් හා කොලනි ඉදිකිරීම් අතර බරපතල ගුනාත්මක වෙනසක් පවතී.

සිංහල ජනපදකරනය පිලිබද මෙම ආන්දෝලනාත්මක මාතෘකාවේ  ඉතිහාසය ඩී.එස්.සේනානායක විසින් ආරම්භ කල ගල්ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරය දක්වා දිවයන්නකි.දෙමල භාෂාව කථාකරන ජනයා බහුතරයක් ලෙස ජීවත් වන ප්‍රදේශවල  සිංහල ජනපද ඇතිකිරීම ඩී.ඇස්.සේනානායකගේ සිට සෑම ප්‍රභූ දේශපාලකයෙකු විසින්ම හුවා දක්වන ලද්දේ ඉඩම් අහිමි ජනයාට ඉඩම් ලබාදීමේ අහිංසක සංවර්ධන ව්‍යායාමයක් ලෙසය.නමුත් මෙම ව්‍යාපෘතියේ ඇතුලාන්ත දේශපාලනය එතරම් අහිංසක නොවේ.

1948 න් පසු මෙරට ගොඩනැගුනු රාජ්‍යය ධනේශ්වර ප්‍රභූ රාජ්‍යයක් වනවාට අතිරේකව එය උග්‍ර  සිංහල කේන්ද්‍රීය ස්වභාවයක්ද පෙන්නුම් කලේය.බ්‍රිතාන්‍යයන්ගෙන් පසු රාජ්‍ය බලයේ සැබෑ රසය දිව ගෑවෝ සිංහල ප්‍රභූහු වෙති.එම රසය දිවගෑමේ අවස්ථාව රාජ්‍යයේ  ඒකීය ස්වභාවය නිසා දෙමල ප්‍රභූ පංතිය වෙත නොලැබුනු අතර 48 සිට ’70 දශකය අගභාගය දක්වා දිග්ගැස්සෙන ෆෙඩරල් පක්ෂය හා සිංහල කේන්ද්‍රීය ආන්ඩු අතර ආරෝව සදහා පාරකපන ලද්දේ රාජ්‍ය බලයේ පංගුවක් දෙමල ධනපති පංතිය වෙත නොලැබීම පිලිබද අවනඩුවයි.

දෙමල කථාකරන ජනයා බහුතරයක් ජීවත්වන ප්‍රදේශවලදී සිය ආන්ඩු අභියෝගයට ලක්වීම වලක්වා ගැනීම සදහා සිංහල ප්‍රභූ ආන්ඩු විසින් අනුගමනය කල උපක්‍රමයක් වූයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිංහල ජනපද එම පලාත්වල පිහිටුවීමයි.මෙම උපක්‍රමය ලත් සාර්ථකත්වය සිත්ගන්නා සුලුය.නිදසුනක් ලෙස 1921 දී ත්‍රිකුනාමල දිස්ත්‍රික්කය තුල සිංහල ජනගහනය 4.5% පමන සුලුතරයක් වූ අතර 1981 වනවිට එය 33.6% දක්වා අට ගුනයකින් ඉහල ගොස් තිබුනි.අම්පාරේදී මෙම ප්‍රතිශතය 8.2%  සිට 37.6% දක්වා වැඩිවී තිබුනි.මෙලෙස දෙමල ජනයා අතිබහුතරයක් වන ප්‍රදේශවල සිංහල ජන අනුපාතය සැලසුම්සහගතව ඉහල නැංවීම මගින් මෙම පලාත් මත සිය බලපෑම රදවා ගැනීමට නිදහසින් පසු ආන්ඩු උත්සාහ කරනු ලැබීය.රාජ්‍යය වෙත විවිධ ජාතිකත්වයන්ගේ අනුමැතිය දිනාගැනීම සදහා එනයින් දිගින් දිගටම භාවිත වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වෙනුවට නග්න බලහත්කාරයයි.

මෙකී ජනපදකරනය සිංහල ප්‍රභූ පංතියට තවත් ආකාරයකින් ප්‍රයෝජනවත් විය.ඩී.එස්.සේනානායක වැනි ඉඩම් හිමි වැවිලිකරුවන් යටත්විජිත යුගය තුල ධනවත් වන්නේ යටත්විජිත ආන්ඩුවට හිතවත් පවුල් කිහිපයක් අත මහා පරිමානව සිදුවූ ඉඩම් සංකේන්ද්‍රන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසය.මෙමගින් දකුනේ සිංහල ගැමි ජනයා අතර ඉඩම් හිගය බරපතල අර්බුදයක් ලෙස ඉස්මතුව පැවැති අතර එම ජනයාගේ කැරලිකාරී කෝපය තමා වෙත යොමු වීමට පෙර ඒවා වෙන අතකට හැරවීමද මේ නිසා අවශ්‍ය වූයේය.ඉඩම් අහිමි සිංහලයන්ට උතුරු නැගෙනහිරින් ඉඩම් පිරිනැමීමේ කරුනාව සිංහල ප්‍රභූන් වෙත පහල වන්නේ මේ අනුවය.එම පලාත්වල පදිංචි කරවනු ලැබූ සිංහල පීඩිතයින්ට මේ හරහා නව සතුරෙක් සිංහල ප්‍රභූන් විසින්ම හදුන්වා දෙන ලදී.ඒ වූ කලී ඔවුන්ගේ ජනපදයන්ට අසල්වාසී දෙමල කථාකරන ජනතාවයි.අතෙකින් දෙමල ජනයා සිංහල ජනපදිකයින්ව දුටුවේ සිය වාසභූමි ආක්‍රමනය කල සතුරන් පිරිසක් ලෙසය.එම  පසමිතුරු දෑස් අභිමුව වඩ වඩාත් ආක්‍රමනශීලි වනවා හැර සිංහල ජනපදිකයාටද විකල්පයක් නොවීය.1958 ගල්ඔයදී හටගත් වාර්ගික කෝලාහලය වැනි පසුකාලීන සිදුවීම් හරහා පුපුරා ගියේ ප්‍රභූ පංතිය විසින් සිංහල-දෙමල පීඩිතයන් අතර ඇටැවූ මෙම ප්‍රතිවිරෝධතාවයයි.

මෙම අතීතය නැවත අප්‍රසන්න ලෙස පුනරුච්චාරනය කරමින් දැන් මහින්ද රාජපක්ෂ පාලනයත් සිය පූර්වගාමීන්ගේ අපකීර්තිමත් ජනපදකරන ක්‍රියාදාමය ආරම්භ කොට තිබේ. දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය අගෝස්තු 2 වනදා තමිල්නාඩුවේදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) නැමැති පාර්ලිමේන්තුවාදී පක්ෂය විසින් කැදවා තිබූ සම්මන්ත්‍රනයක් අමතමින් සිංහල ග්‍රහනයෙන් සිය ජනයා මුදාගැනීමට මැදිහත්වන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ මෙම පසුබිම තුලය.සාම්පූර්හි දෙමල ජනයා අනාථ කරමින් විශේෂ ආර්ථික කලාප ගොඩනගන ඉන්දීය රජයට යාඥා කිරීමේ සිට ඇගට සනීප සංකේත වර්ජන පවත්වමින් සිටීම දක්වා දෙමල ප්‍රභූ දේශපාලනයේ විරෝධය දැක්වීම ලඝු වී තිබේ. බංකොලොත්භාවය හැර සමාජය වෙත පෑමට තමන් සතුව අන් කිසිවක් නොමැති බව මෙලෙස උතුරේත් දකුනේත් ප්‍රභූහු යලි යලිත් සනාථ කරමින් සිටිද්දී උතුරේත් දකුනේත් පීඩිතයෝ එම ජරපත් ප්‍රභූන් වෙනුවෙන් ඒ ඒ මැතිවරනයේදී දිගින් දිගටම කතිරය ගැසීමෙහි නියුක්තව සිටිති.

2011 නොවැම්බර් 20 ඉරිදා ජනරල ඉරිදා සංග්‍රහය - රාමචන්ද්‍ර සටහන

Wednesday, November 9, 2011

සමලිංගිකයෝ සහ වාමාංශිකයෝ / Homosexuals and Leftists


සමලිංගික භීතිකාවට එරෙහිව හින්දු ඉන්දියාවේ පැවැති ප්‍රසිද්ධ රැලියක්

මලිංගිකයන් විසින් ලංකාව ගිලගැනීම සදහා සිදුකරන කුමන්ත්‍රනයක් පිලිබද විමර්ශනාත්මක හෙලිදරවුවක් පසුගිය සති කිහිපය පුරා රිවිර පුවත්පත විසින් සිදුකරමින් සිටී.සැප්තැම්බර් 10 වනදා පලවූ මෙම ගවේෂන මාලාවේ මුල්ම ලිපිය අනුව ගමන් මගේ සහකරුවෝ නැමැති රාජ්‍ය නොවන සංවිධානය සර්වෝදය ආයතනයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගය සහිතව සමලිංගිකයන් අතර කොන්ඩොම් සහ ලිංගික සේවනය සදහා ඇවැසි ලිහිසිකාරක ද්‍රව්‍යයක් බෙදාහරිමින් සිටී.අදාල ව්‍යාපෘතිය එහිදී හදුන්වා දී තිබුනේ ලංකාව සමලිංගිකකරනය කිරීම සදහා වූ විදේශ කුමන්ත්‍රනයක් ලෙසය.පසුගිය ඉරිදා (ඔක්තොම්බර් 31) එම පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දී තිබූ ස‍ර්වෝදය අධිපති ඒ.‍ටී.ආරියරත්න සදහන් කොට තිබුනේ තමාට අදාල ව්‍යාපෘතිය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්,සමලිංගිකත්වය යනු රෝගී තත්වයක් බවත් කොන්ඩම් යනුවෙන් වර්ගයක් තමන් ජීවිතේට දැක නොමැති බවත්ය.රිවිර පුවත්පතේ මෙම මුලු හෙලිදරවුව පුරාම ගැබ්ව තිබෙන අර්ථය වනුයේ සමලිංගිකත්වය යනු ගර්හා කටයුතු සමාජ විරෝධී ව්‍යසනයකි යන දෘෂ්ටියයි.

කෙසේ වුවද රිවිර පුවත්පත විදේශ කුමන්ත්‍රනයක් ලෙස  හදුන්වා දී තිබෙනුයේ ලංකාවේ සමලිංගික ප්‍රජාව අතර ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ඔවුන් අතර කොන්ඩම් බෙදාදීම ඉලක්ක කරගනිමින් ඒඩ්ස්, ටියුබකියුලෝසිස් සහ මැලේරියා සඳහා වන ලෝක අරමුදල’ (GFATM) විසින් දියත් කොට තිබූ වැඩසටහනක් බව පසුව ග්‍රවුන්ඩ්ස්වීව් වෙබ් අඩවියට අදහස් පලකොට තිබූ හෑන්ස් බිලිමෝරා විසින් පෙන්වා දී තිබුනි.රිවිර මහා හෙලිදරවුව යනු සමලිංගිකත්වය කෙරෙහි සමාජයේ තිබෙන බැහැරකිරීම්වාදී ආකල්පය හා විදේශ කුමන්ත්‍රන පිලිබද මේ යුගයේ පවත්නා කුහුල අවුස්සා පුවත්පත විකුනා ගැනීම සදහා වූ වෙලද උපක්‍රමයකට වඩා වැඩි දෙයක් නොවන බව මෙනයින් පෙනී යයි.

සමලිංගිකත්වය වනාහි සමාජ ව්‍යසනයකි යන දෘෂ්ටිය ඒ.ටී.ආරියරත්න,රිවිර පුවත්පත පමනක් නොව සමකාලීන සමාජයේ බහුතරය විසින් දරනු ලබන්නකි.මේ නිසා සමලිංගිකත්වය සේම සමලිංගිකයන් ද හෙලා දැකිය යුතු පිරිසක් ලෙස සැලකෙනු ලැබේ.සමාජයේ අධිපතීත්වය දරන මෙම අදහස කවරාකාර වුවත්  සමලිංගිකත්වය යනු සැබැවින්ම රෝගී තත්වයක්වත්,මානසික විකෘතියක්වත් නොවේ.ලමා ව්‍යාධිවේදය පිලිබද අමෙරිකානු ඇකඩමිය 2004 වසරේදී නිකුත් කල පර්යේෂන වාර්තාවකට අනුව පුද්ගලයෙකුගේ ලිංගික නැඹුරුව ජානමය,හෝමෝනමය හා පාරිසරිකමය සාධක ගනනාවක සම්මිශ්‍රනයක් ආශ්‍රයෙන් සකස් වේ.යමෙකු සමලිංගික හෝ විෂමලිංගික වීම සදහා ඔහුගේ ජානමය සැකැස්ම හේතුවන බව අදවන විට බොහෝ විද්‍යාඥයන් පිලිගන්නා අතර මිනිසුන් අතර පමනක් නොව සතුන් අතරත් සමලිංගික චර්යාවන් දක්නට ලැබීම සමලිංගිකත්වය යනු කෘතිම යමක් නොව ස්වභාවධර්මයේ එක්තරා ආකාරයකි යන අදහස තහවුරු කරයි.බෲස් බැගෙම්හිල් විසින් 1999 දී සිදුකල පර්යේෂනයකට අනුව සත්ව විශේෂ 1500 කගේ පමන සමලිංගික චර්යාවන් නිරීක්ෂනය කල හැක.

සමලිංගික හැසිරීම් යනු අනිත් අතට මිනිස් ඉතිහාසය පුරා දක්නට ලැබුනකි.ස්පාඥ්ඥ ආක්‍රමනිකයෝ මායන් හා ඇස්ටෙක් වැනි දකුනු අමෙරිකානු ශිෂ්ටාචාරයන් තුල ප්‍රසිද්ධියේ සමලිංගික හැසිරීම් පැවතුනු අන්දම දැක මවිත වූ බව පැවසේ.චීනයේ ග්‍රීසියේ මෙන්ම අප්‍රිකාවේ ද ආදි සමාජයන්හි සමලිංගික හැසිරීම් පැවති බවට විවිධ සාධක පවතී.කවර සමාජයක වුව සමලිංගිකයින් යම් ප්‍රමානයක් ජීවත් වන බව මේ අනුව අදවනවිට පිලිගැනෙන අදහසයි.සමලිංගික හා පාරලිංගික (Transsexual) ජනතාවන්ගේ අයිතීන් පිලිබද කතිකාවත ඊට සමගාමීව ජාත්‍යනතරව විශාල වශයෙන්  දියුනු වී තිබේ.

මේ අනුව ලංකාවේ ප්‍රචලිතව පවතින සමලිංගිකත්වය යනු රෝගයකි,මනෝ ව්‍යාධියකි වැනි අදහස් ඒ පිලිබද වන සම්පූර්න නොදැනුවත්කම සහ පොදුවේ මෙරට සමාජයේ පසුගාමීත්වය මත අධිපතීත්වයට පත්වූ ඒවා වෙති.යමෙකු ඔහුගේ හෝ ඇයගේ ආගම,වර්නය,ජාතිය මත කොන්කිරීමට ලක්කිරීම වැරදි වන්නේ යම් සේද යමෙකුගේ ලිංගික වරනය මත ඔහුව වෙනස්කොට සැලකීමද නිවැරදි නොවේ.ඕනෑම මිනිස් සමාජයක මෙන්ම ලංකාවේත් සමලිංගික හැසිරීම් සහිත පිරිස් ජීවත් වූ අතර අදද ජීවත් වෙති.එය හුදෙක් ඔවුන්ගේ පැවැත්මේ ආකාරය මිස අස්වාභාවික යමක් නොවේ.කෙසේවුවද ලංකාවේ දන්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ප්‍රකාරව සමලිංගිකත්වය දන්ඩනීය වරදකි.නීතියේ සිට ජනමාධ්‍ය දක්වා සියලුම නිල ව්‍යුහයන් විෂම ලිංගික ඒකාධිකාරය මත සමලිංගිකත්වය බැහැර කිරීමේ පදනම මත ගොඩනැගී ඇත.

වර්තමානය වනවිට බොහෝ දියුනු සමාජ සමලිංගිකත්වය අපරාධහරනය (De criminalise) කිරීම සදහා යොමුව තිබේ.සමකාලීන ලිබරල් කතිකාවත තුල මෙය ප්‍රබල තේමාවක් වූවද ඉතිහාසය තුල සමලිංගික අයිතීන් වෙනුවෙන් කීර්තිමත් අරගලයක නියුතු වූවෝ වාමාංශිකයෝ වෙති.සාර් විසින් සමලිංගිකත්වයට එරෙහිව පනවා තිබූ සියලු නිති 1917 දී බලයට පත් විප්ලවීය රුසියානු රජය ඉවත් කරන යුගයේ බටහිර යුරෝපීය  කතිකාවත තුල සමලිංගිකත්වය පිලිබද කතාබහක් හෝ නොවීය. (කෙසේවුවද විප්ලවයේ මුල් යුගයේදී ඉවත් කල මෙම තහනම 1934 දී ස්ටාලින් විසින් නැවත පනවන ලදී) සමලිංගික අයිතීන් පිලිබද විවාදය යුරෝපය තුල දැඩිව නැගුනු 60 දශකයේදී එම අයිතීන් වෙනුවෙන් ප්‍රබල පෙනීසිටීමක් සිදුකලේ වාමාංශික කොටස් විසිනි.ජාත්‍යන්තරව මෙම තේමාව සම්බන්ධයෙන් වාමාංශිකයන්ගේ පෙනී සිටීම් කවරාකාර වුවද සමලිංගික භීතිකාව නැමැති පසුගාමී මනෝභාවය ප්‍රශ්න කිරීමට මෙරට වම ඉතිහාසයේ කිසිදු විටෙක සමත් නොවීම කනගාටුවට කරුනක් වන්නේය.

 ( රාමචන්ද්‍ර සටහන - 2011 නොවැම්බර් 06 ඉරිදා - ජනරළ ඉරිදා සංග්‍රහය )


Friday, September 30, 2011

වන්දනා කිරීම වෙනුවට කැරලි ගැසීම - Let us learn from Raghavan


IRA සංවිධානයේ ප්‍රචාරක සිතුවමක්

ස හැවිරිදි ශේදු රාඝවන් බන්දුල ගුනවර්ධන ඇමැතිගේ දෙපා නැමැදීම ප්‍රතික්ෂේප කලේය.පසුගිය සැප්තැම්බර් 20 වන දා යාපන පුස්තකාල පරිශ්‍රයේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුනු ලබාගත් සිසුන් සදහා ත්‍යාග පිරිනමනු වස් පැවති උත්සවයකදී  මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුවිය.මනි දර්ශිකා,රමේෂ් සහ ශාර්මිකා ශර්වානන්ද නම් එම අවස්ථාවට සහභාගී වූ අනෙත් සිසුන් තිදෙනා ඇමැතිවරයාගේ දෙපා නමස්කාර කල අතර හුදෙකලා ශේදු රාඝවන් ත්‍යාග ලබාගැනීමේදී ඇමැති ඉදිරියේ දන නොගැසීය.තමා මුලතිවු දිස්ත්‍රික්කයේ ඉතාම අසීරු තත්වයන් යටතේ ඉගෙන ගත් බවත්,සිය ජයග්‍රහනයේ ගෞරවය හිමි විය යුත්තේ සිය දෙමවුපියන්ට හා ගුරුවරුන්ට පමනක් මිස අන් කිසිවකුට නොවන බවත් මෙම ක්‍රියාව පිලිබද පසුව විමසූ කල්හි ශිෂ්‍යයා මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කොට තිබුනි.

මෑතකාලයේ මෙම ලියුම්කරු දුටු හුදෙකලා පුද්ගලයෙකු විසින් සිදුකල වඩාත්ම රැඩිකල් ක්‍රියාව සිදුකිරීමේ ගෞරවය කුඩා ශේදු රාඝවන් වෙත හිමි වේ.රාඝවන් සහ බන්දුල ගුනවර්ධන අතර ඇති සම්බන්ධතාවය අනන්‍යතා කිහිපයක් යටතේ අපට ගොනු කල හැක.පලමුව ගුනවර්ධන ඇමැතිවරයෙකු (ප්‍රභූවරයෙකු) වන අතර රාඝවන් හුදු සාමාන්‍ය සිවිල් වැසියෙකි.දෙවෙනුව ගුනවර්ධන වැඩිහිටියෙකු වන අතර රාඝවන් බාලයෙකි.තෙවනුව ගුනවර්ධන සිංහලයෙකු වන අතර රාඝවන් ‍දමිලයෙකි.

ඉහත අනන්‍යතා අතර සම්බන්ධතාවය පවතින සමාජය තුල ස්ථානගත වී තිබෙන්නේ කෙසේද?එහි සෑම එක් අනන්‍යතාවයක්ම ආධිපත්‍යය පිලිබද හැගවුමක් වන අතර ඊට පසමිතුරු අනෙක් අනන්‍යතාවය යටත්භාවය පිලිබද හැගවුමක් නියෝජනය කරයි.ප්‍රභූ දේශපාලකයා යනු පවතින  සමාජයේ ආධිපත්‍යය සහිත භූමිකාවකි.ආධිපත්‍යය ගොනු වී තිබෙන්නේ දේශපාලකයා නම් ව්‍යුහය තුලය.පුරවැසියා යනු එම ව්‍යුහය වන්දනාමාන කරන යටත් චරිතයකි.සමාන ආකාරයකින් තවමත් ශේෂ වී පවත්නා පූර්ව ධනේශ්වර ආසියාතික මිනිස් සබදතාවන් තුලදී වැඩිහිටියා යනු ආධිපත්‍යය දරන්නාය.ලමයා යනු ඔහු වෙතින් ශික්ෂනය වන,එම නිසා ඔහු වෙත අවනතභාවය පල කල යුතු යැයි අපේක්ෂා කරන්නෙකි.සිංහල - දෙමල අනන්‍යතා අතර ද ඉහත කී ආකාරයේම බල සම්බන්ධතාවයක් පවතී.පශ්චාත් යුද සන්දර්භය තුල සිංහල යනු ජයග්‍රාහී අනන්‍යතාවයක් වන අතර දෙමල - විශේෂයෙන් උතුරේ දෙමල- යනු පරාජිත / යටත් අනන්‍යතාවයකි.ආධිපත්‍යය සංයුක්තව තිබෙනුයේ සිංහල නමැති අනන්‍යතාවය තුලය.උදාහරනයක් ලෙස දකුනේ සිංහල ජනයාට යුද්ධය අවසන් වීම යනු උතු‍රුකරයේ ට්‍රිප් යාමට,නාගදීපය වැදීමට,බිදුනු වතුර බටේ මතට වී ෆොටෝ ගැසීමට උදා වූ රමනීය අවස්ථාවකි.උතුරේ දමිලයාට එය වනාහි අපේක්ෂා භංගත්වයේ සහ පරාජිතභාවයේ මොහොතකි.එල්.ටී.ටී.ඊ ඒකාධිපතිත්වය වෙනුවට ආදේශ වූ හමුදා ඒකාධිපතීත්වයට යටත්ව දකුනින් උතුරට විනෝද චාරිකා එන පිරිස් දෙස බලා සිටීම යනු මේ මොහොතේ උතුරේ දමිලයාට නියම වී ඇති භූමිකාවයි.එනම් යුද්ධය අවසන් වීම නැමැති තනි සිදුවීම සිංහලයාට හා දමිලයාට දනවන්නේ අර්ථ දෙකකි.මෙම වෙනසට හේතුව බහුතරය සහ සුලුතරය අතර තිබෙන පීඩක - පීඩිත සම්බන්ධතාවයයි.

කෙටියෙන් කියන්නේ නම් රාඝවන් හා ගුනවර්ධන අතර ගනුදෙනුවේදී ප්‍රභූ දේශපාලකයා/ආසියාතික වැඩිහිටියා/ජයග්‍රාහී සිංහලයා ලෙස බන්දුල ගුනවර්ධන පීඩකයාගේ භූමිකාවට පන පොවන ප්‍රකාර කිහිපයකි.රාඝවන් නම් පීඩිතයා නිර්ප්‍රභූ වැසියා/ආසියාතික ලමයා/පරාජිත දමිලයා ලෙස අනන්‍යතා තුනකින් යුක්තව පෙනී සිටී.

දැන් බන්දුල ගුනවර්ධනට වන්දනා කිරීම ප්රතික්ෂේප කිරීමෙන් රාඝවන් අභියෝග කරන්නේ කවරකටද?ඉහත කී බල සබදතා ප්‍රකාරයන් ත්‍රිත්වය රාඝවන් මෙහිදී අභියෝගයට ලක් කරයි.ප්‍රභූ දේශපාලකයාට සාමාන්‍ය වැසියන් වැදිය යුත්තේ ඇයි?වැඩිහිටියන් අභිමුව බාල වයස්කරුවන් දන ගැසිය යුත්තේ ඇයි?ඔබ ජයග්‍රාහී සිංහල ධනපති රාජ්‍යයේ කැබිනට් ඇමතිවරයෙකු විය හැක.නමුත් ඔබ ඉදිරියේ මා දන ගැසිය යුත්තේ ඇයි?රාඝවන්ගේ ක්‍රියාව කලාතුරකින් දැකිය හැකි වර්ගයේ රැඩිකල් සංසිද්ධියක් වනුයේ එහි තිබෙන මෙම බහුමානීය ස්වභාවය නිසාය.

පවතින බල ව්‍යුහයන්ට අනුගත වනවාද,ඒවාට එරෙහිව කැරලි ගසනවාද යන විවාදය උනුසුම්ව නැගෙමින් තිබෙන වකවානුවක රාඝවන් සිදුවීම අප වෙත ගෙනෙන සංඥාව අතිශයින් වැදගත්ය.සමාජයේ අධිපතිත්වය දරන බල ව්‍යුහයන්ට අනුගත වීම හා ඒවා ඉදිරියේ දන නැමීම පහසුය.එය ඇග නොරිදෙන භාවිතාවකි.ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද නවකථාවේ එන ලොකු විජේ නම් චරිතය 71 කැරැලිකරුවෙකි.අරගලය පරාජය වී පසුබසිද්දී හෙතෙම රැකවරනය ලබන්නේ චුම්බන කන්ද නම් වන පෙදෙසකය.පසුව පුනරුත්ථාපනය වන ඔහු ප්‍රධාන පක්ෂයකට එක්ව ඇමැතිවරයෙකු බවට පත්වන අතර හේ ඉක්බිති චුම්බන කන්දට එන්නේ එය හොලිඩේ රිසෝට් එකක් බවට පත්කිරීමේ යෝජනාව රැගෙනය.වන අඩවිය ගරිල්ලා කලාපයක් බවට පත්කරගැනීම පවත්නා බල ව්‍යුහයන්ට එරෙහි ඇග රිදෙන වැඩකි.එය හොලිඩේ රිසෝට් එකක් බවට පත්කරගැනීම පවතින දෘෂ්ටිවාදයට අනුගත වීමකි. එනයින් පහසු ක්‍රියාවකි.එහෙත් මෙහිදී අපගේ ගෞරවය හිමි වන්නේ ලොකු විජේ නම් ගරිල්ලා සටන්කරුට මිස හොලිඩේ රිසෝට් යෝජනා ගෙනෙන ඇමැතිවරයාට නොවේ. එලෙසින්ම ‍‍ජාතිවාදය,ආගම්වාදය වැනි සමාජයේ බලපවත්නා පැරනි අගතීන්ට ආමන්ත්‍රනය කරමින්,පවතින බල ව්‍යුහ සමග ගැටෙනවා වෙනුවට ඒවාට අනුගත වෙමින්,ඒ මත්තෙන් ගොඩ යාමට උත්සාහ කිරීම අව්‍යාජ විකල්ප දේශපාලනයක් වෙනුවෙන් සටන් කරනවාට වඩා භෞතිකව පහසුය.සරලය.නමුත් භෞතිකව දුෂ්කර වූ දෙවැන්න මිස පලමුවැන්න කිසිසේත්ම අපගේ ගෞරවයට හෝ විශ්වාසයට හේතු නොවේ.

සටහන - මෙය 2011 ඔක්තෝබර් 02  ලංකා ඉරිදා සංග්‍රහයේ රාමචන්ද්‍ර‍ සටහන යටතේ පල වීමට නියමිතව තිබූ ලිපියයි.ගැටලුකාරී තත්වයක් නිසා පුවත්පත නිකුත් වීම පමා වන බව මේ වනවිට දැනගන්නට ලැබී තිබේ.


Tuesday, September 27, 2011

සිල්වාවරුන්ගේ මුන්නේශ්වරම් වික්‍රමය



හා විනාශයක් නැවැත්වීමට මැදිහත් වීමෙන් මර්වින් සිල්වා ඇමැතිතුමා මහත් වූ කුසල් සම්භාරයක් අත්පත් කරගත් බව  පසුගිය ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් සපයමින් නලින් ද සිල්වා මැතිතුමා ප්‍රකාශ කොට තිබුනි.හලාවත මුන්නේශ්වරම් හි භද්‍රකාලි කෝවිලේ පැවැත්වීමට ගිය සමූහ සත්ව සංහාර අවස්ථාවේදී එම පරිශ්‍රයට පැමින ඇමැති මර්වින් සිල්වා විසින් කරන ලද රගපෑම මෙම ප්‍රශංසාව සදහා පාදක වී තිබුනි. නලින් ද සිල්වා - මර්වින් සිල්වා  දෙබෑයන්ට දුමින්ද සිල්වා ද එකතු කල විට නිර්මානය වන සිල්වා ත්‍රිමූර්තිය වූ කලී රාජපක්ෂවාදයේ අශ්ලීල අවිඥානය හකුලුවා දක්වන සංකේතයකි.සවිඥානිකව රාජපක්ෂ රෙජිමය නම් සත්වයා කථාකරනුයේ දේශවාත්සල්‍යය,සදාචාරය සහ සංවර්ධනය පිලිබදවය.නමුත් එහි යටි සිත වනාහි ජාතිවාදයේ,මූලධර්මවාදයේ හා සමාජ පාදඩකරනයේ අජූව සංකලනයකි.

මුන්නේශ්වරම් හි කාලි කෝවිලේ වාර්ෂිකව සිදුවන සමූහ සත්ව බිලී පූජාව යනු කලෙක පටන් විශාල කතිකාවතකට තුඩු දුන්නකි.මෙම පූජාවට එරෙහිව පසුගිය වසරේ ද භික්ෂූන් පිරිසක් විරෝධතා දැක්වූ අතර මෙවර එය තහනම් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරනය ඉදිරියේ පෙත්සමක් ද ගොනු කෙරින.එවැනි තහනමක් නිකුත් කිරීම ආගමික චාරිත්‍රයකට අදාල සංවේදී කරුනක් වන බැවින් වැඩිදුරටත් කරුනු විමසා බැලීම සදහා අභියාචනාධිකරනය පෙත්සම විභාග කිරීම කල් තබන ලදී.එම පූජාව සමග ගොඩනැගී තිබුනු ආතතිකාරී පරිසරය සලකා බලා මහජන සාමය කඩ වීමට තිබෙන ඉඩ සැලකිල්ලට ගෙන කෙසේ වුවද පසුව හලාවත මහේස්ත්‍රාත් අධිකරනය විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

කාලි දේවිය ඇදහීම මෙන්ම සත්ව බිලී පූජා පැවැත්වීම ද අතිශය ප්‍රාථමික හා ගෝත්‍රික ඇදහිලි වෙති.වර්තමානය යනු ලෝකය පුරා සත්ව හිංසනය පිලිබද අදහස් බොහෝ සෙයින් දියුනු වී තිබෙන යුගයකි.පරිපූර්න වශයෙන් සියලු ආකාරවල සත්ව හිංසනයන්ගෙන් වැලැකීම ප්‍රායෝගික කරුනක් නොවේ.මිනිස් පැවැත්ම සදහා සත්ව පරිභෝජනයේ අවශ්‍යතාවය පිලිගන්නා අතරේ ම එම හිංසනය හැකිතාක් අවම මට්ටමකින් පවත්වාගෙන යාම යනු මේ සදහා ඉදිරිපත් කල හැකි වඩාත්ම සාධාරන විසදුමයි.එම පදනමේ සිට බැලූ කල්හි හුදෙක් මිථ්‍යාමය අභිචාරයක් වෙනුවෙන් වනචාරී ලෙස දහස් ගනන් සතුන් ප්‍රසිද්ධියේ මරා දැමීම අනුමත කල හැකි චාරිත්‍රයක් නොවේ.මෙබදු අභිචාර විධීන්ගේ වලංගුතාවය පිලිබද විධිමත් සංවාදයක් මේ මොහොතේ අවශ්‍ය බවට කිසිදු විවාදයක් තිබිය නොහැක.

කෙසේ නමුත් මෙහිදී අතපසු නොකොට සලකා බැලිය යුතු වැදගත් කරුනක් වනුයේ මර්වින් සිල්වා වර්ගයේ පිරිස් වෙතින් මතුවන බිලී පූජා විරෝධයේ මූලය කවරක්ද යන්නයි.මර්වින් සිල්වා පමනක් නොව සිංහල සමාජයේ බොහෝ පිරිස් මුන්නේශ්වරම් සිදුවීම් අභියස දැඩි සත්ව ප්‍රේමීන් බවට රූපාන්තරනය වූ ආකාරය අපි පසුගිය දවස්වල නිරීක්ෂනය කලෙමු.මෙම සත්ව ප්‍රේමී මනෝභාවය එක්වරම පැනනැගී තිබෙන්නේ කුමක් නිසාද?සත්ව හිංසනය පිලිබද අව්‍යාජව පැන නැගුනු සාධාරන ආවේගයක් නිසාද?

අපට මේ ප්‍රශ්නය තරමක් වෙනත් පැත්තකට යොමුකල හැක.සත්ව හිංසනයට කොන්දේසි විරහිතව එරෙහි වන මෙම සමූහයාගේම වන්දනාවට හා භක්තියට හේතු වන අලි ඇතුන් සහිත පෙරහැර ඉහත සත්ව ප්‍රේමී මනෝභාවය සමග ගලපන්නේ කෙසේද?නිදහසේ ජීවත්වන අලි හෙන්‍ඩුවෙන් ඇන හීලෑ කොට යදම් ලා මිනිස් වින්දනය සදහා පෙරහැරේ ගෙනයාම ආගමික ප්‍රමෝදය වෙනුවෙන් සත්ව හිංසාව අභ්‍යාස කරන වර්තමානයේ පවතින ඉතාම ප්‍රසිද්ධ අවස්ථාවකි.මෙරට මාසිකව තිබෙන කුකුලු මස් සදහා වූ ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 8.5 හා 9 අතර සංඛ්‍යාවකි.මේ ඉල්ලුම පැන නගින්නේ කොහින්ද?රජයේ නිල ලත් ගව ඝාතකාගාර වල මැරෙන ගවයන්ගේ මස් අනුභව කරන්නේ කවුද?හුදෙක් ක්‍රිස්තියානීන් හා මුස්ලිමුන් පමනද?හලාවත සිදුවීම ඉදිරියෙ පැනනැගි සත්ව ප්‍රේමය පිලිබද සාධාරන ආවේගය දෛනිකව අත්දකින සත්ව හිංසාව පිලිබද අනෙත් සිදුවීම් වලදී පැන නොනගින්නේ ඇයි?ආගමික ප්‍රමෝදය සදහා කෙරෙන බිලී පූජා හෙලා දකින සැදැහැවතා මරා නොදමා,ජීවිතාන්තය දක්වා හෙන්ඩුවෙන් අනිමින් වද දෙමින් අලි ඇතුන් මිනිස් විනෝදය සදහා පෙරහැරේ ගෙනයාම ඉදිරියේ සාධුකාර දීම පැහැදිලි කල හැක්කේ කවර තර්කය අනුවද?

මුන්නේශ්වරම් හි සත්ව ඝාතනයට එරෙහිව පැනනැගි ජනප්‍රිය සිංහල බෞද්ධ  සත්වප්‍රේමය වූ කලී හුදෙක් මුන්නේශ්වරම් හින්දු කෝවිල හින්දු කෝවිලක් වීම නිසා පැනනැගෙන්නකි.මෙම ජනප්‍රිය විරෝධය පෑමෙහි ඉදිරියෙන් සිටින බොහෝ අය බෞද්ධ නොවන වෙනත් ආගමික ප්‍රජාවන් තමුන් භුක්ති නොවිදින විනෝදයක් විදී යන අසහනය/කුතුහලය මගින් මඩිනු ලැබූවෝ වෙති.තරුනයන් පිරිසක් සමග පසුගිය 10 වන දා අනුරාධපුර නගරයේ මුස්ලිම් සිද්ධස්ථානයක් වටලා එය සමතලා කල අමත ධම්ම නම භික්ෂුව වෙතින් ද නියෝජනය වූයේ එම මනෝභාවයයි.හලාවතදී මාධ්‍ය ඉදිරියේ බාහුබල පෙන්වූ මර්වින් සිල්වා හෝ මර්වින් සිල්වාගේ ක්‍රියාව ඉදිරියේ විසිල් පහර දෙන නලින් ද සිල්වා හදිසි සත්ව කරුනාවෙන් යුතුව එලුවන් හා කුකුලන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?සත්ව ප්‍රේමය නිසාද?දෙමල විරෝධය නිසාද?සුලු ජාතීන් පීඩාවට ලක්කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින හඩු වර්ගවාදීන් අප රටේ සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යනු සිනා උපදවන සුලු විභ්‍රමයකි.

 ]] 2011 සැප්තැම්බර් 25 - රාමචන්ද්‍ර සටහන ලංකා ඉරිදා සංග්‍රහය [[ 





Saturday, September 17, 2011

මාලබේ උපාධි ග්‍රොසරිය පිලිබද වස්තුව


මාලබේ වෛද්‍යාතනය - පෞද්ගලිකකරනයේ සුරපුරය 
අංක 1701/19 දරන ගැසට් නිවේදනය මගින් උසස් අධ්‍යාපන ඇමති එස්.බි.දිසානායක විසින් දකුනු ආසියානු වෛද්‍ය හා තාක්ෂනික ආයතනය යනුවෙන් හැදින්වෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය උපාධි පිරිනැමීමේ ශක්නුතාවය සහිත ආයතනයක් ලෙස පිලිගෙන තිබේ.මේ අනුව 1980 දශකයේ අසාර්ථක වූ උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතියේ පටන් වරින් වර අත්හදා බලනු ලැබ අසාර්ථක වූ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ක්‍රියාදාමයෙහි නව වටයක පලමු වෙඩිමුරය ඇමැති එස්.බී. විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම පියවර සාර්ථක වුවහොත් එය ලංකාවේ තෘතීය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙලදපොලකරනය කිරීමෙහිලා වන වැදගත් පිම්මක් බවට පත්වනු ඇත.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව ලිබරල්කරනයේ ගොදුරක් බවට පත්වීම ආරම්භ වන සලකුනු පෙන්නුම් කරන අවස්ථාවේදීම එම ගොදුරු බිම සටන් බිමක් බවට පත්වන ලකුනු ද මතු වී තිබේ.මාලඹේ උපාධි ග්‍රොසරිය උපාධි පිරිනැමීමේ ශක්‍යතාවය සහිත ආයතනයක් ලෙස නම් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වනවිට ඉදිරියට පැමින සිටී.වෛද්‍ය විද්‍යාලයකට ඇවැසි ප්‍රමිති තත්වය අදාල ග්‍රොසරිය විසින් සපුරා නොමැති සන්දර්භයක එය උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිලිගනු ලැබූයේ ඇයිදැයි එම සභාව අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කොට තිබුනි.සිය සුපුරුදු බජාර් භාෂාවෙන් වෛද්‍ය සභාවට පිලිතුරු දුන් අමාත්‍යවරයා රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව කටයුතු කල නොහැකි නම් වෛද්‍ය සභාව විසුරුවා දමන බවට තර්ජනය කොට සිටියේය.පසුගිය අගහරුවාදා දෙරන රූපවාහිනියේ පැවැති සජීව සංවාදයකට එක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මාලඹේ උපාධි ග්‍රොසරියේ ප්‍රමිති තත්වය පිලිබද බරපතල ප්‍රශ්න සමූහයක් මතු කරනු ලැබූ අතර එම ප්‍රශ්නවලට පිලිගත හැකි මට්ටමේ පිලිතුරක් ලබා දීමට එම සංවාදයට සම්බන්ධ වූ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අසමත් වූයේය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකකරනය කිරීමේ මෙහෙයුම භාරගෙන තිබෙන ඇමැති එස්.බී.යනු හැදෑරීමට වටිනා කදිම ප්‍රපංචයකි.හගුරන්කෙත අවවරප්‍රසාදිත ග්‍රාමීය පවුලකින් සරසවියට පිවිස කලක් වාමාංශික දේශපාලනයේ යෙදී සිටි මෙම පුද්ගලයා අලුතින් ඉහල පංතියට පැන ගන්නා පීඩිතයන් සාම්ප්‍රදායික ඉහල පාංතිකයන්ටද වඩා පරපීඩක මානසිකත්වයකට ගොදුරු වන ආකාරය සම්බන්ධ අපූරු නිදසුනකි.ඇමතිධූරයේ දිවුරුම් දුන් දා සිට මෙම ඇමතිවරයාගේ පරම අභිලාෂය ලෙස පෙනෙන්නට තිබුනේ කොක්කෙන් හෝ කෙක්කෙන් මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමේ කටයුත්ත ඉටු කර ගැනීමයි.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඉටු කල යුතු ඊට වඩා වෙනත් වැදගත් කාර්යයක් ඔහු වෙත නොවූවා වැන්න.එම අරමුන ඉටු කරගැනීමෙහි පලමු පියවර ලෙස එබදු ව්‍යාපෘතියකට දරුනු ප්‍රතිරෝධයක් එල්ල කිරීමේ ශක්‍යතාවය සහිත සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරය චප්ප කර දැමීමේ එලඹුමකට හෙතෙම පිවිසියේය.සරසවි “හැදීම“ සදහා තමා සිසුන් දහසක් වුව සිරගත කිරීමට සූදානම් බව හෙතෙම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය.සරසවි බිත්තියක් මත පෝස්ටරයක් ගැසීම,අත්පත්‍රිකාවක් බෙදීම පවා වසරකට ශිෂ්‍යභාවය අහෝසි කිරීමට හේතුවන වර්ගයේ වරදක් ලෙස ප්‍රකාශ කෙරෙන චක්‍රලේඛ නිකුත් කලේය.සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා ශිෂ්ට සම්පන්න චර්යා ධර්මයන් ඉවතලා ශිෂ්‍ය “ත්‍රස්තවාදය“ චප්ප කොට දැමීම මගින් 80 දශකයේ  දකුනේ තරුන “ත්‍රස්තවාදය“ සමතලා කොට දැමූ රන්ජන් විජේරත්න හෝ  උතුරේ දෙමල “ත්‍රස්තවාදය“ සමතලා කොට දැමූ ගෝඨාභය රාජපක්ෂ වර්ගයේ “පොර“ චරිතයකට ආරූඪ විමේ අධිකතර ආශාව හෙතෙම පසුගිය කාලය පුරාම පෙන්නුම් කලේය.

දැන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලිකකරනය කිරීම වෙනුවෙන් වෛද්‍ය සභාව වැනි සිවිල් ආයතන විසුරුවා හැරීමට පවා තමා සූදානම් බවට ඔහු පාරම් බාමින් සිටී.වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 65 කට මිල කරන විශ්ව විද්‍යාල පිහිටුවන්නේ රජය පවසන ආකාරයට “රට“ හෝ “ජනතාව“ වෙනුවෙන් නොව පහසු මාර්ගයකින් සිය දරුවන් වෛද්‍යවරුන් බවට පත්කිරීමේ ආශාව සහිත ධනවතුන්,දේශපාලකයන් හා නිලධාරීන්ගෙන් සමන්විත ප්‍රභූ සමාජ ස්ථතරයක අවශ්‍යතාවය වෙනුවෙනි යන්න සැගවිය නොහැක්කකි.සෞඛ්‍ය හෝ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් දැනටමත් හටගෙන තිබෙන ආකාරයට සුපිරි පවුල් වල දරුවන්ට සුපිරි පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් බිහිවීම සහ සාමාන්‍ය පංතියේ දරුවන්ට ප්‍රතිපාදන හිගකමින් මිරිකෙන වියලී ගිය “පිං“ විශ්ව විද්‍යාල පද්ධතියක් ඉතිරි කිරීම මෙම ක්‍රියාවලියේ අවසන් තාර්කික ප්‍රතිඵලය වන බව පැවැසීමට අමුතු ඥානයක් ඇවැසි නැත.  

කෙසේ වුවද රජයට එරෙහිව සටනට බැස තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධ්‍යාපන පෞද්ගලිකකරනයේ ඉහත සමස්ථ රූපය ග්‍රහනය කොටගෙන නැත.ඔවුන්ගේ විරෝධය හුදෙක් මාලඹේ ග්‍රොසරියේ “ප්‍රමිතිය“ පමනක් ප්‍රශ්න කරන  තාක්ෂනික විරෝධයකට සීමා වී තිබේ.ධනය හෝ සමාජ මට්ටම කවරක් වුවද දක්ෂතාවය තිබේ නම් අධ්‍යාපනයේ සම අවස්ථා ලැබෙන ආකාරයකට සමාජයක උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් විය යුතුය.රජයේ පෞද්ගලිකකරන ව්‍යාපෘතිය සම්බන්ධ සරල තාක්ෂනික විරෝධයකට කොටු නොවී එම ප්‍රශ්න කිරීම පුලුල් සංකල්පමය මානයක් කරා ගෙන යාම ඒ නිසා මේ මොහොතේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පවතී.

( 2011 සැප්තැම්බර් 18 - ලංකා ඉරිදා සංග්‍රහය - රාමචන්ද්‍රගේ සටහන ) 




Friday, August 26, 2011

ග්‍රීස් යකා වීදි බසී


බ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ හෝ ඉසබෙල් අයියන්දේගේ නවකථා තුල පමනක් දැකිය හැකි යැයි සිතිය හැකි වර්ගයේ සිදුවීම් දාමයක සජීවි සාක්ෂිකරුවන් සමූහයක් බවට දැන් අපි පත්වී සිටිමු.ග්‍රීස් යක්කු අන්ධකාරයට මුවාවී ගම්මාන අතර සැරිසරති.ඔවුහු කාන්තාවන් ඉලක්ක කරති.ග්‍රීස් යකාට බියෙන් ග්‍රාමීය ජනජීවිත ඇන හිට තිබේ.ග්‍රීස් යකුන් යැයි සැකකරමින් ගම්මු දකින දකින ආගන්තුකයාට පහර දෙති.ඔවුහු පොලිස් ස්ථාන පමනක් නොව ත්‍රිවිධ හමුදා කදවුරු පවා වටලති.වාහන ගිනි තබති.ග්‍රිස් යකා යනු කවුද?එය හුදෙක් මාධ්‍ය ප්‍රබන්ධයක්ද?හදිසි නීතිය යාවත්කාලීන කිරීම සාධාරනීකරනය කරගනු වස් ආන්ඩුව විසින් ඇටවූ සූක්ෂම උපායක්ද?රටේ සාමය අවුල් කරනු සදහා කඩාකප්පල්කාරී සංවිධාන විසින් ගෙනියන කුමන්ත්‍රනයක්ද?එසේත් නැතිනම් ලිංගික අවපීඩනයෙන් පෙලෙන පිරිස් හදිසියේ රංචු ගැසී රට පුරා සැරිසරන්නට පටන් ගෙන තිබේද?කිසිවෙක් මේ කිසිවක් නොදනී.සියල්ලෝ සාමූහික උන්මාදයකට ගොදුරුව දකින දකින අය දඩයම් කරති.ග්‍රීස් යකා යනු මනෝවිකාරයක් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසද්දී එබදු ක්‍රියාකාරකම් පිලිබද සිදුවීම් තමාට වාර්තා වී තිබේ යැයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙවැනි විකාර ජවනිකා දැකිය හැක්කේ මාර්කේස්ගේ නවකථා වල මිස අන් කොහිද?

ග්‍රීස් යකාගේ සම්භවය හෙලිකිරීම ගවේෂනාත්මක මාධ්‍යවේදින් වෙත භාර කරමින් මෙම ලියුම්කරු අවධානය යොමු කරනුයේ මෙම සිදුවීම් පෙලෙහි එක් වැදගත් ලක්ෂනයක් දෙසය.එනම් මෙවැනි සිදුවීම් අභිමුව පොදුවේ රට පුරා ගම්වාසින් දක්වා තිබූ ප්‍රකෝපකාරී හා ප්‍රචන්ඩ ප්‍රතික්‍රියාව දෙසයි.හපුතලේදී වතුකම්කරුවෝ සමූහයක් ග්‍රීස් යකුන් යැයි සැකකරනු ලැබූ සංචාරක වෙලෙන්දන් දෙදෙනෙකු අල්වා මියයන තුරු පහර දුන්හ.පුත්තලමේදී සමාන උද්ගතයකදී පොලිස් නිලධරයෙකු මැරෙන තුරු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්විය.කින්නියා හිදී ගම්මු කලහකාරී ලෙස නාවික හමුදා කදවුරක් වැටලූහ.පසුගිය අගෝස්තු 22 දින කහවත්තේදී අපස්මාර රෝගියෙකු ලෙස හදුනාගත් 37 හැවිරිදි දෙදරු පියෙකු සමාන පහර දීමකින් මරා දමා තිබූ අතර එදිනම රාත්‍රියේ ග්‍රීස් යකාට රැකවරනය දීම පිලිබද හමුදාවට චෝදනා කරමින් සිවිල් වැසියන් හා හමුදාව අතර ඇතිවූ ගැටුමකින් පසු යාපනයේදී පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් සිරභාරයට පත්වූ අතර තවත් 27 දෙනෙකු රෝහල්ගත කරන ලදී.

ඉහත කෙටි විස්තරයෙන් පෙන්නුම් කෙරෙනුයේ සිංහල කහවත්තේදී හෝ වේවා දමිල යාපනයේදී හෝ වේවා මුස්ලිම් කින්නියා හිදී හෝ වේවා කිසිදු වෙනසක් රහිතව ජනයා විසින් පෙන්නුම් කොට තිබූ ආවේගාත්මක ප්‍රතික්‍රියාවයි.එම ප්‍රතිචාර දැක්වීම වියරු එකක් බවට සැකයක් නැත.එය වගකීම් විරහිත සහ අරාජක ලෙස කෝපය පිටකිරීමක් බවද සත්‍යයකි.නමුත් මෙලෙස පිටකරනු ලැබූ ආවේගය කුමක්ද?එය හුදෙක් ග්‍රීස් යකා නැමැති හුදෙකලා සිදුවීම නිසා හටගත් ආවේගයක් පමනද?මෙබදු වියරු ප්‍රතිචාර ග්‍රාමීය ප්‍රදේශ වලින් පමනක් උද්ගත වූයේ ඇයි?කුරුදුවත්තේදී හෝ බම්බලපිටි‍යේදී ග්‍රීස් යකෙකු මුන ගැසුනහොත් එහි වැසියනුත් ඔහුට මියයන තුරු පහර දීමට හා පොලිස් වාහන ගිනි තැබීමට ඉදිරිපත් වනු ඇද්ද?බම්බලපිටියේ ජීවත් වනුයෙත් පුත්තලමේ ජීවත් වනුයේත් එකම දේහ ව්‍යුහය සහිත එකම මානවයෙකි.එම එකම මානවයා බම්බලපිටියේදී එක් විදිහකටත් පුත්තලමේ හෝ කහවත්තේදී තව විදිහකටත් ප්‍රතිචාර දක්වන්නේ ඇයි?

අපට සමාන ප්‍රශ්නයක් මීට දින කිහිපයකට පෙර ලන්ඩනයේ හටගත් තරුන පැනනැගිම ආශ්‍රිතවද මතු කල හැක.ටොටෙන්හම්හි සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් කලු ජාතික තරුනයෙකු මියයාම ඇසුරු කොට ගෙන ලන්ඩනයේ තරුන කොටස් වීදි බට අතර සාමූහික උන්මාදයකින් මෙන් එංගලන්තයේ යෞවන ජනයා පොලිස් රථවාහන ගිනිතබමින්,මහදවල් කඩසාප්පු කොල්ල කමින් එංගලන්තයේ සුප්‍රකට නීතියේ විධානය (Rule of law)  සිය දෙපා මුල දන ගැස්වූහ.මෙම පැනනැගීම්වල ඉදිරියෙන් සිටියෝ කලු ජාතික තරුනයෝය. ලන්ඩනයේ ඉහලම විරැකියා අනුපාතය පවතිනුයේ කැරලි ආරම්භ වූ ටොටෙන්හම් හි වන අතර කලු ජාතික ප්‍රජාවන් සහ පොලිසිය අතර තිබෙන අයහපත් සබදතාවය ද කැරලි සදහා හේතුවක් ලෙස හදුනා ගනු ලැබින.

කැරලි අභිමුව අසහනයට පත් ප්‍රජාතන්ත්‍රවාදී එංගලන්තයේ  අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමේ අවශ්‍යතාව පිලිබද පවා අදහස් දැක්වීය!ශිෂ්ට සම්පන්න ලන්ඩන් නගරය පිලිබද පැරනි එක්ස් කන්ඩායමේ සියලු න්‍යායන් මෙම තනි  ප්‍රායෝගික සිදුවීමෙන් හුදු ජෝක් එකක් බවට පත්වූ අතර කහවත්ත සිංහල ගැමියා සහ ලන්ඩන් නාගරික තරුනයා යනු මොහොතකට දෙදෙනෙකු නොව එක් අයෙකු බවට පත්වූයේය.

ලන්ඩනයේදී මෙන්ම ග්‍රාමීය ලංකාවේදිද අරාජක ලෙස පුපුරා යන්නේ අන් කිසිවක් නොව සමාජ ආර්ථිකමය ලෙස පීඩනයට ලක්වූවන් තුල කැකෑරෙන අසහනයයි.පීඩනයයි.ලන්ඩනයේ පීඩිත යෞවනයන්ට සිය පීඩනය මුදාහැරීම සදහා පොලිස් වෙඩි තැබීම නම් අවස්ථාව මුන ගැසුනු අතර ලංකාවේ ග්‍රාමීය පීඩිතයන්ට ඒ සදහා ග්‍රීස් යකා නම් අවස්ථාව හිමිව තිබේ.ග්‍රීස් යකා පසුපස තිබෙන කුමන්ත්‍රනකාරී රහස්වලට වඩා මෙම සමාජ දේශපාලනික යථාර්තය අපගේ අවධානයට හසුවිය යුත්තේය.

2011 අගෝස්තු 28 - ලංකා ඉරිදා සංග්‍රහය




Wednesday, June 1, 2011

කේවල ඒජන්තයෙක් මත වගකීම පැවරීමේ න්‍යාය

Farewell Bale!
සටහන -

පොලිස්පති මහින්ද බාලසූරිය විශ්‍රාම ගොස් තිබේ.පසුගියදා (මැයි 30) කටුනායක නිදහස් වෙලද කලාප සේවක සේවිකාවන් විසින් රජයේ යෝජිත විශ්‍රාම වැටුප් පනතට එරෙහිව පෑ විරෝධයේදී මෘග ලෙස පොලිසිය එම සේවකයින්ට පහර දෙනු ලැබීය.සිදු වූ හානිය තවමත් අවසන් වශයෙන් තක්සේරු කොට නැති අතර මේ වනවිට පොලිස් පහරදීමෙන් තුවාල ලැබූ තරුනයෙකු මරනාසන්නව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.මෙම සිදුවීම් පෙල විසින් ඇති කල හැකි මහජන ප්‍රකෝපය වෙනතක හැරවීම සදහා රජය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව පැහැදිලිය.මහින්ද බාලසූරිය යනු පැහැදිලිවම ඉත්තෙකි.ඒජන්තයෙකි.දේශපාලන අධිකාරියේ අනුදැනුම රහිතව ස්වාධීන තීරනයක් ගෙන පොලිස් භටයන් යොදා ජීව උන්ඩ හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට තරම් තනි හයියක් මෙම හුදෙකලා පුද්ගලයා සතුව තිබුනු බව අප විශ්වාස කරතැයි පාලකයන් කල්පනා කරනවාද?පොලිස් නිලධරයන් කලාප සේවක සේවිකාවන්ට පහර දීමේදී දැක්වූ තිරශ්චීන මෘග හැසිරීම අපි දුටිමු.මෙය බාලසූරියගේ පෞද්ගලික වරදක්ද?නැතහොත් පොලිසිය නැමැති මර්ධන යන්ත්‍රයේ ආවේනික ස්වභාවය පිලිබද ව්‍යුහාත්මක ප්‍රශ්නයක්ද?මෙහිදී පැහැදිලිවම තනි ඒජන්තයෙකු මත වරද පටවා නිදහස් වීමේ පාලකයන්ගේ සුපුරුදු න්‍යාය ක්‍රියාවට යෙදී තිබේ.පහත පලවන්නේ පාලකයන්ගේ මෙම උපක්‍රමය පිලිබද වසරකට පමන ඉහතදී මෙම අඩවියේම පල කෙරුනු සටහනකි.ඉරිදා ලංකා පුවත්පතේ කර්තෘවරයාව 2010 වසරේදී රජය පොලිසිය හරහා අත්අඩංගුවට පත්කල අතර පසුව ඒ පිලිබද පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා "අවවාද" කිරීමෙහි සිදුවීමක් මෙය ලිවිමට ආසන්න හේතු සැපයීය.
කාලීන වැදගත්කම මත සංස්කරනයක් රහිතව එම ලිපිය නැවත පල කෙරෙනු ලැබේ.මෙහි දැක්වෙන මර්වින් සිල්වා,කිච රුවන්,කුඩු ලාල් හා බැද්දගාන සංජීව යන පුද්ගල නාම සදහන් තැන්වලට මහින්ද බාලසූරිය යන නම ආදේශ කරගන්නා ලෙස පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.


***
මෙඩ්ගාර් එවර්ස් කියන අමෙරිකානු එක්සත් ජනපදයේ කලු ජාතික නායකයාව 60 දශකයේ එක්තරා දිනෙක වෙඩි තබා ඝාතනය කෙරුනා.පදුරක් පසු පස සැගව සිටි ඝාතකයා සුදු ජාතිකයෙක්.වර්නභේදවාදයට විරුද්ධ ව්‍යාපාරයේ නායකයෙක් වුන මෙඩ්ගාර් එවර්ස් වර්නභේදවාදයට පක්ෂ සුදු ජාතික කල්ලියක් විසින් කුලියට යොදවන ලද මැරයෙක් විසින් මරා දැමුන අතර එ ඝාතකයාව පසුව අත්අඩංගුවට ගැනුනා.
මේ සිද්ධිය අලලා ගීතයක් රචනා කල බොබ් ඩිලන් මෙඩ්ගාර් එවර්ස්ගේ ඝාතකයා ගැන මේ විදිහට සදහන් කලා.

But it ain't him to blame
He's only a pawn in their game

ඝාතකයාට දොස් පැවරිය නොහැක.ඝාතකයා "ඔවුන්ගේ" ක්‍රීඩාවේ ඉත්තෙක් පමනකි.
"ඔවුන්" යනුවෙන් ඩිලන් මෙතනදි අදහස් කලේ අමෙරිකාවේ දකුනු ප්‍රාන්ත වල එවකට ක්‍රියාත්මක වුන සිස්ටම් එක දුවවන අයයි.දක්ෂින අමෙරිකාවේ ප්‍රාන්ත ආන්ඩු බොහොමයක් 60 දශකය වන විටත් වර්නභේදවාදය ප්‍රතිපත්තියක් විදිහට පිලිගෙන තිබුනා.පාසල්,උද්‍යාන විතරක් නෙමෙයි බස් රථ පවා වර්නභේදවාදී ලෙස බෙදා තිබුනා.ප්‍රසිද්ධ කෝපි හල් වල "වර්නයන්ට තහනම්" යැයි බෝඩ් එල්ලා තිබුනා.සුද්දන් ගැවසෙන වරප්‍රසාදිත තැන් කල්ලන්ට තහනම් වුනා.සුදු අයගේ දරුවන් වෙනුවෙන් වෙන් කල පාසල් ඉස්තරම් වර්ගයේ පාසල් වශයෙන් පැවතුන අතර කල්ලන්ගේ දරුවන් අව වරප්‍රසාදිත පාසල්වලට යා යුතුව තිබුනා.
කල්ලන් සහ සුද්දන් වෙනස් බවත් සුදු හම සහිතව ඉපදීම ගෞරවයට හේතුවක් බවත් සමාජය තුල අධිපතිත්වය දැරුන මතවාදයයි.මේ දෘෂ්ටිය කුඩා කාලයේ සිටම සුදු හමැති දරුවන්ට වාගේම කලු හමැති දරුවන්ටත් කා වද්දනු ලැබුවා.සිය සුදු හම මේ අනුව උසස් දෙයක් විදිහට සුදු ජාතිකයන් සද්භාවයෙන්ම විශ්වාස කල අතර තමා කලු අයෙක් ලෙස ඉපදිම තමාගේ අඩුවක් ලෙස කලු අය සද්භාවයෙන්ම විශ්වාස කලා.
වර්නභේදවාදය නමැති සිස්ටම් එක ක්‍රියාත්මක උනේ මේ විදිහට.
සුද්දන් කල්ලන්ට වඩා උසස්ය යන්න මේ අනුව සුද්දන් දිව්‍යමය සත්‍යයක් ලෙස අදහගෙන සිටි අතර මේ දිව්‍යමය සත්‍යය අභියෝගයට ලක්වෙනවාට ඒ අය කැමති වුනේ නැහැ.එම දිව්‍යමය සත්‍යය ප්‍රශ්න කල මෙඩ්ගාර් එවරස් වැනි "නපුරන්" මේ අනුව වනසා දැමිය යුතුව තිබුනා.එහෙම වනසා දැමිය යුතුයි කියල සුදු සමාජයේ වඩාත්ම භක්තිවන්ත පිරිස් විශ්වාස කලා.KKK වගේ නොනිල ඝාතක කන්ඩායම් බිහි වන්නේ මේ තර්කය උඩ.මේ ඝාතක කන්ඩායම් වලින් කුලියට යෙදවුනු ඝාතකයන් මෙඩ්ගාර් එවර්ස්,මාටින් ලූතර් කිං වගේ කලු ජාතික නායකයන් ගනනාවක් ඝාතනය කලා.කලු ජාතික ව්‍යාපාරයට සහය දුන්න සුද්දන් ( ද්‍රෝහීන් ) වෙඩි තබා මරා දැමුනා.

දැන් ඇත්තටම මේ අපරාධ කලේ කවරෙක්ද?
මෙඩ්ගාර් එවර්ස් ඝාතනය කලේ කවුද?යි අසන විට බයිරන් ඩි ලා බෙක්විත් යැයි පිලිතුරු ලැබෙනවා.
මාටින් ලූතර් කිං ඝාතනය කලේ කවුද?යි අසන විට ජේම්ස් අර්ල් රේ යැයි පිලිතුරු ලැබෙනවා.
ඒ කියන්නේ ඝාතකයා යැයි පෙන්විය හැකි ඒජන්තයෙක්/නිශ්චිත පුද්ගලයෙක් සිටිනවා.මේ ඝාතන කලේ අසවල් අසවල් පුද්ගලයන් විසින් යැයි කියල සමාජය අත හෝදා ගන්නවා.මේ අදහසට අනුව එවර්ස් ව ඝාතනය කලේ බෙක්විත්.ඔහුට දඩුවම් කල විට හැමදේම හරියනවා.
මේ සරල අදහස තමන්ගේ ගීතය හරහා ප්‍රශ්න කරන බොබ් ඩිලන් මෙඩ්ගාර් එවස්ව ඝාතනය කලේ වෙන කවරෙක් හෝ නොව වර්නභේදවාදී විදිහට සංවිධානය වුන,ඒ විදිහට මිනිසුන්ව හිතන්න පුරුදු කල,සමාජ දේශපාලන ක්‍රමය යැයි ප්‍රකාශ කරනවා.ඝාතකයා ඒ ක්‍රමයේ ඉත්තෙක් විතරයි.දේශපාලන ක්‍රමය මිනිස්සුන්ගේ ජීවිත ක්‍රීඩාවක් විදිහටයි භාරගන්නෙ.සුද්දන් වේවා කල්ලන් වේවා සිස්ටම් එකට ඒ හැමෝම දාම් පෙතක ඉන්නා ඉත්තන් ප්‍රමානයක් විතරයි.ඇවැසි විට ඉත්තා කොටුවෙන් කොටුව පන්නනවා.ඇවැසි වෙලාවට සියලු දොස් ඉත්තා මත ආරෝපනය කරලා ඉත්තාව බිලිදෙනවා.සමාජය මේක ඇතුලෙ හිංසනය සිස්ටම් එක තුල පවතින එකක් නෙමෙයි අදාල පුද්ගලයාගේ පුද්ගලික දෝෂයක් යැයි හිතල හිත හදාගන්නවා.කවුරුත් සිස්ටම් එක ප්‍රශ්න කරන්න පෙලඹෙන්නේ නැහැ.
බොබ් ඩිලන් සිය ගීතයෙන් ඒජන්තයාට ඇගිල්ල දිගු නොකර ඒජන්තයාව හසුරුවන අදෘශ්‍යමාන හිංසකයාට ඇගිල්ල දිගු කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරනවා.

මොහොතකට දැන් අපි ආසන්න සිදුවීම් කිහිපයක් වෙත යොමුවෙමු.ලංකා පත්තරේ කර්තෘ අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපතිවරයා පොලිස්පතිට "අවවාද" කරනවා.ඒ අනුව වරද තිබෙන්නේ නීතියේ විනිවිදභාවයක් නැතිවීම තුල නෙමෙයි.පොලිස්පති කියන "ඒජන්තයාගේ" පුද්ගලික ක්‍රියාකාරිත්වය තුලයි.ජනාධිපති මේ අනුව අහිංසකයෙක්.
මාධ්‍යවේදින්ට පහර දීම ගැන ජනාධිපතිවරයා මර්වින් සිල්වාට තරයේ අවවාද කරනවා.නපුරේ ඒජන්තයා = මර්වින් සිල්වා.
අලුත්ම කතිකාව අනුව යුද සමයේ මාධ්‍යවේදීන් ඝාතනය කල පාපයේ නියෝජිතයා සරත් ෆොන්සේකායි.ජනාධිපති හා ආරක්ෂක ලේකම් වැනි බලධරයන් අහිංසක ලදරුවන්ය.
පොලිසිය බලාගෙන සිටියදී විරෝධතාකරුවන්ට සිවිල් ඇදුමෙන් විත් පහර දෙන එක කිච රුවන්ගේ පුද්ගලික වරදක්.මේ ගැන මහජන විරෝධය උග්‍ර වුනොත් කිච රුවන්ට දඩුවමක් දෙනු ඇති.නමුත් ඒ පසුපස තිබෙන නිතියේ සාධාරනභාවය ගැන ව්‍යුහාත්මක ප්‍රශ්නය කරලියට එන්නෙ නැහැ.
අත් අඩංගුවට ගැනෙන සැකකරුවන් පොලිසිය තුල පහර කනු ලැබ මියයනවා.ඒක අපි පොලිසියයි සමාජයයි අතර සමබන්ධතාවය හැදිල තියෙන "ක්‍රමයේ"( සිස්ටම් එකේ) වරදක් විදිහට දකින්නෙ නැහැ.අපිව පුරුදු කරවලා තියෙන්නෙ ඒ ඝාතන පොලිස්කාරයෙක්ගේ පුද්ගලික වරදක් විදිහට දැකල අමතක කරන්න.
මෙඩ්ගාර් එවර්ස් ඝාතනය වුන විට ඒ ඝාතනය කල ඝාතකයා හිර භාරයට අරන් එයා මත සම්පූර්න වගකීම පවරලා තමන් මුලුමනින් පාරිශුද්ධ බව පෙන්නලා තමන්ට එරෙහිව ගොඩ නැගෙන්නට නියමිතව තිබුන මහජන විරෝධය පුද්ගල ඒජන්තයෙක් වෙත හැරවූ අමෙරිකාවේ වර්නභේදවාදී සිස්ටම් එක සිය පැවැත්ම ආරක්ෂා කර ගත්තා.
සමාජ ක්‍රමයේ තියෙන දුර්වලකම හින්ද වෙන ඛේදවාචකයන් වල පාපය පුද්ගල ඒජන්තයන් මත පවරා තමන් පාරිශුද්ධ ලෙස නිදහස් වීම වර්තමාන ලංකාවේ දේශපාලන සමාජ ආකෘතිය ඇතුලේ සිදුවෙනවා.වැරදි වලට වග කිව යුතු මර්වින් සිල්වා,බැද්දගානේ සංජීව,කුඩු නුවන්,කිච රුවන්,කුඩු ලාල් වැනි අය දඩු කදේ ගැසුවාම සියලු දේ හරියාවි යැයි සමාජය හිතාගෙන ඉන්නවා.
නමුත් ඇත්ත වශයෙන්ම මර්වින් සිල්වලා ජාතක කරන්නේ සිස්ටම් එක විසින්.මේ අය තමන්ට අනවශ්‍ය වූ විට දඩු කදේ ගසන සිස්ටම් එක ඒ අයට පසුව තමන්ගේ වැඩ ටිකට කරගහන්න තවත් මර්වින් සිල්වලා ඇති පදමින් අවශ්‍ය විදිහට ජාතක කරනවා.මර්වින් සිල්වලාත් ඇත්ත වශයෙන්ම අනුකම්පා කට යුතු සිස්ටම් එකේ victims ලා ලෙස තේරුම් ගැනීමයි වඩා නිවැරදි.

දඩුකදේ ගැසිය යුත්තේ ඒජන්තයා නෙමෙයි.
ඒජන්තයා පසුපස තිබෙන අදිසි හස්තයයි.

Friday, May 27, 2011

හමුදා පුහුනුව හරහා පුරවැසියන් විනයගත කිරීම

මාතර දිසා අධිකරනයේ කේ.ඩී.එල්.සමන් කුමාර විනිශ්චයකාරවරයා පසුගිය 22 වන දින දරුනු පහර කෑමකට ලක්වූයේය.අධිකරනයේ සිට නිවෙස බලා යමින් සිටියදී සිය මග හරස්කොට තිබූ යතුරු පැදියක් ඉවත් කරගන්නා ලෙස ඔහු සංඥා කොට තිබුනි.අවාසනාවට යතුරු පැදිය හමුදා සොල්දාදුවෙකු සතු වූවක් විය.කෝපයට පත්වූ සෙබලා විනිශ්චයකාරවරයාට දිගට හරහට පහර දෙන්නට වූ බවත් තමා අධිකරන විනිසුරෙක් බව කියද්දීත් පහර දීම නොනැවතුනු බවත් ක්ෂනයෙන් එතැනට රැස්වුනු තවත් සෙබලුන් කන්ඩායමක් විනිශ්චයකාරවරයාට අඛන්ඩව බැට දුන් බවටත් පුවත් පත් වාර්තා කොට තිබුනි.හමුදා සෙබලුන් මාතර දිස්ත්‍රික් විනිශ්චයකාරවරයාට “නීතිය” ඉගැන්වූයේ එලෙසිනි.

සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් වූ “නායකත්ව පුහුනුවේ” සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුනේ හරියටම ඉහත පහර දීම සිදුවූවාට පසුදිනය.එහි රැස්ව සිටි 3000 ක සිසුන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට සිටියේ “යුද බිමේ විනය වැඩබිමට ගෙන යා යුතු” බවයි.විනයගත වනු වස් මෙරට ඇති වඩාත්ම සුදුසු ස්ථානය ත්‍රිවිධ හමුදාව බව එහිදී ජනාධිපතිවරයා නිවේදනය කලේය.මාතර අධිකරන විනිශ්චයකාරවරයාට විනය ඉගැන්වූ විනයගරුක හමුදාව දැන් මේ මොහොතේ රට පුරා තිබෙන හමුදා බැරැක්ක තුලදී සරසවියට තේරී සිටින දස දහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද විනය උගන්වමින් සිටී.

එස්.බී.දිසානායකගේ වචන වලින් කියනවා නම් ආන්ඩුවේ අභිලාෂය ලංකාවේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තරය සමග තරග කල හැකි මට්ටමකට ගෙන ඒමය.සරසවියට තේරෙන සිසුන් හමුදා බැරැක්ක තුල ගාල් කොට පුහුනු වැඩසටහන් කෙරෙන්නේ ජාත්‍යන්තරයේ කවර රටේ කවර ප්‍රාන්තයේදැයි දිසානායක පැහැදිලි කර නැත.මෙම පුහුනුව සම්බන්ධව දෙමව්පියන්ගෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් විවිධ මැසිවිලි නැගෙමින් තිබේ.පසුගියදා රූපවාහීනී සංවාදයකට සම්බන්ධ වූ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පෙරේරා මෙම පුහුනුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් සිය ආසනයේ එක්තරා මුස්ලිම් ශිෂ්‍යාවක් සිය දිවි නසාගැනීමට තැත් කල පුවතක් හෙලිදරවු කලේය.ශිෂ්‍යයන්ගේ කැමැත්තට පටහැනිව ඔවුන්ගේ අධ්‍යාපනයට මුලුමනින් බාහිර මෙවැනි පුහුනුවකට සහභාගී වීමට බල කිරීමෙන් රජය පැහැදිලිව සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට තිබේ.අවාසනාවකට මෙම වැඩසටහන කල්තැබිමට හැකිදැයි “සලකා බලන ලෙස” සිදුවූ මෘදු දැනුම්දීමක් මිස අධිකරනය මේ පිලිබද මෙතෙක් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත.

ආන්ඩුවට අනුව මෙය සිසුන්ගේ “නායකත්ව හැකියා වර්ධන” පුහුනුවකි.මෙම ලියුම්කරුට අනුව අදාල ව්‍යාපෘතිය කුමක් වුවත් එය නායකත්ව පුහුනුවක් නම් නොවේ.සරසවි වලට ඇතුලත් කරගැනීමේ Z ලකුනු හෝ තවම නිකුත්වී නැත.අඩුම තරමින් තමා තේරී සිටින‍්නේ කුමන විශ්ව විද්‍යාලයේ කුමන පාඨමාලාවටද යන්නවත් මෙම සිසුන් තවමත් දන්නේ නැත.මෙවැනි පසුබිමක හදිසියේ මෙවැනි ආන්දෝලනාත්මක “නායකත්ව” පුහුනුවක් සංවිධානය කිරීමට බලධාරීන්ට සිතෙනුයේ කුමක් නිසාද?

මෙරට සරසවි වනාහි මුදානොගත් කලාප විශේෂයකි යන්න පසුගිය කාලයේදී බලධාරීන් මුවග පැවති සුලබ ප්‍රකාශයකි.කුමාර් සංගක්කාරගේ සිට රටේ යුක්තිය පසිදලන ඉහලම බලධාරීන් දක්වා සියල්ලන් අනුහස් සහිත රාජපක්ෂ ශ්‍රී නාමය ඉදිරියේ දමනයව සිටින සන්දර්භයක උන්වහන්සේගේ එම ආධිපත්‍යය ප්‍රශ්න කිරීමට තරම් නිර්භයත්වයක් පෙන්නුම් කල අතලොස්සක් පිරිස් අතර පසුගිය කාලයේ සරසවි සිසුහු ඉදිරියෙන් සිටියහ.මෙම සිසුහු තෘතීය අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ නව ලිබරල් ව්‍යාපෘතිය සංවිධානාත්මකව ප්‍රශ්න කල අතර  රටේ අනික් සෑම ක්ෂේත්‍රයකම විශාල සාර්ථකත්වයක් ලබා ඇති නව ලිබරල්කරන ක්‍රියාවලිය අධ්‍යාපනය සම්බන්ධව මන්දගාමී වූයේ සංවිධානාත්මක ශිෂ්‍ය විරෝධය හේතුවෙන් බව පැහැදිලිය.සරසවි “මුදාගැනීම” යනු මෙම ශිෂ්‍ය සංවිධානාත්මකභාවය දියකර දැමීම මිස අන් කිසිවක් නොවේ.

නවක සිසුන් මොල ශෝධනයකට ලක්කොට ඔවුන් තුල රාජ්‍යයට යටත් මනෝභාවයක් නිර්මානය කිරීම මිස ක්‍රියාවට නැගෙන නායකත්ව පුහුනුවේ ඇති වෙනත් අරමුනක් නැත.එකී මොල ශෝධනය වෙනුවෙන් දැන් රජය ස්වකීය සමස්ථ සුපිරි මිලිටරි බලය යොදවා තිබේ.යුදබිමේ විනය වැඩබිමට ගෙනයනවා යන්නේ අදහස කුමක්ද?බලධාරීන් සීරුවෙන් සිටින් කී විට ප්‍රශ්න නොකොට සීරුවෙන් සිටින,ගමනේ යා යැයි කී විට හරි වැරැද්ද නොවිමසා ගමනේ යන එහෙයියන් පිරිසක් බිහිකිරීම මිස අන් කවරක්ද? සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරය සමග ඇති දේශපාලන ගැටුම පියවාගැනීමට මෙසේ අලුත සරසවියට තේරුනු සිසුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙහි ඇති යුක්තියුක්තභාවය කුමක්ද?රජය කල්පනා කරන්නේ පුරවැසියන් වූ කලී සිය ඕනෑම අන්තනෝමතික තීරනයක් ඉවසා සිටින,අවශ්‍ය ඕනෑම විටෙක ගුද සංසර්ගයට යොදා ගත හැකි දේශපාලන ඩමියන් පිරිසක් බවද?

සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් සිදුවන මිලිටරිකරනය ගැන එවකට මොර ගෑ ධම්ම දිසානායක පන්නයේ සිවිල් මහත්වරු මිලිටරිය බුද්ධිමතුන් හා විනිශ්චයකාරවරුන්ටත් ඉහලින් ස්ථානගත ශුද්ධ ආයතනයක් වීමේ වර්තමාන ඛේදවාචකය පිලිබද කරුනු පැහැදිලි කල යුතුය.




( 2011 මැයි 29 - ලංකා ඉරිදා සංග්‍රහය - රාමචන්ද්‍රගේ සටහන )

Monday, May 16, 2011

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙනුවට බුදුන්ගේ සාක්ෂිකරුවෝ / Buddha's Witnesses instead of Jehova's Witnesses

උපතින් කතෝලිකයෙකු වූ උන්වහන්සේගේ පියා
 අත්විදි ප්‍රාතිහාර්යයක් සියල්ල වෙනස් කිරිමට හේතු වූයේය

"අපෙන් ගිලිහුනු ඒ සුන්දර රජදහනේ කිරීටය අපි නැවතත් පැලදිය යුතුයි.ඒ සෙනෙහසේ රජදහනේ පවුරු පදනම් අපි ශක්තිමත් කල යුතුයි.හෙල දේශයේ ඒ සොදුරු මනුශ්‍යත්වය යලි රජයා යුතුයි.ඒක අපට කරන්න හැකි දෙයක්.අපේ ගුන දහම් පෝෂනය කරගන්න අපි කැපවෙන්න ඕන.ගල්වන් සිත් වෙනුවට මල් වන් සිත් ලබන්න අපි කැමති වෙන්න ඕන.එතකොටයි මනුශ්‍යත්වයේ සොදුරු මාවතේ අසිරිමත් අත්දැකීම් අපටත් විදින්න හැකි වෙන්නෙ"

- මහාමේඝ පුවත්පත 2010 සැප්තැම්බර් කලාපය.26 පිට

***
ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය සාම්ප්‍රදායික කතෝලික සංවිධාන ව්‍යුහයට එරෙහිව ගසන ලද කැරැල්ලකි.ප්‍රොතෙස්තන්ත්‍රවාදය මතු වන යුගය වන විට කතෝලික පල්ලිය යුරෝපා වැඩවම් ක්‍රමය සමග ඓන්ද්‍රීයව බැදුනු සංස්ථාවක් වූ අතර එහි සමස්ථ ධූරාවලිය වැඩවසම් ස්වභාවයක් පෙන්නුම් කලේය.ප්‍රොතෙස්තන්ත්‍රවාදය යනු එක්තරා ආකාරයකින් ධනේශ්වර යුගයට ගැලපෙන ලෙස සාම්ප්‍රදායික කතෝලික ආගම ප්‍රතිඅර්ථකතනය කිරීමක් ලෙස සැලකිය හැක.දෙවියන් වහන්සේ සහ මිනිසා අතරට අතරමැදියෙක් අනවශ්‍ය බව කී ප්‍රොතෙස්තන්ත්‍රවාදය සාම්ප්‍රදායික කතෝලික සංස්ථාව තුල පූජකවරයා සතුව තිබූ භූමිකාව රැඩිකල් වෙනස් කිරීමකට ලක්කලේය.කතෝලික පල්ලි තුල අපට මුන ගැසෙන වැඩවසම් යුගයේ ආයිත්තම් වලින් සැරසි පූජකවරු වෙනුවට මේ නිසා බොහෝ ක්‍රිස්තියානි සභා වලදි මුනගැසෙන්නේ එදිනෙදා සරල ඇදුමක් ඇද සිටින සාමාන්‍ය මිනිසුන් හා සම පෙනුමක් සහිත පාස්‍ටර්වරයෙකි.පූජකවරයාගේ භූමිකාව පිලිබද මෙම වෙනස එක් අතෙකින් එකල යුරෝපයේ නැගෙමින් තිබූ මානවවාදී අදහස් වලට නෑකමක් දක්වන අතරේම අනිත් අතට ආගමේ මුල් සාරය සොයායාමේ අවශ්‍යතාවය සන් කරන සංඥාවක් ලෙසද සැලකිය හැක.ක්‍රිස්තියානි නිකායක් වන පෙන්තකොස්ත සභාවේ දෙවියන් වහන්සේ සහ මිනිසා අතර නිර්බාධිත සබදතාවයක් ගොඩනැගීම නම් මෙම සංකල්පය ප්‍රබලව දක්නට ලැබේ.දේව ස්පර්ශය පිලිබද දැඩි විශ්වාසයෙන් ඔවුහු වෛද්‍ය ප්‍රතිකාර පවා ප්‍රතික්ෂේප කරන බව ප්‍රසිද්ධ කරුනකි.කතෝලිකයන් විසින් ගොඩනගාගෙන තිබෙන පිලිම වන්දනාවද ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කරන අතර පිලිම වන්දනාව ක්‍රස්තියානීන් දකින්නේ පසුකාලීනව කතෝලිකයන් විසින් මුල් කිතුදහමට සිදුකරනු ලැබූ විකෘතියක් ලෙසිනි.මෙබදු බොහෝ කරුනු මගින් හෙලි වන දෙය නම් ක්‍රිස්තියානි ව්‍යාපෘතිය එක් අතෙකින් වැඩවසම් යුගයේ පැවති කතෝලික සංස්ථාවේ පෙනුම ධනේශ්වර යුගයට අනුරූපීව වෙනස් කරන ප්‍රතිසංස්කරනවාදී බ‍ලවේගයක් වූවා සේම දාර්ශනිකව ආගමේ මුල් සාරය සොයා යන එක්තරා ආකාරයක සිද්ධාන්තවාදී ස්වභාවයක් ගනු ලබන ව්‍යාපෘතියක් බවයි.

21 වන සියවසේ ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය යනු තවදුරටත් කැල්වින්ගේ හෝ මාටින් ලූතර්ගේ ක්‍රිස්තියානිය නොවේ.එය බොහෝ සංකීර්න බෙදීම් වලට අද හසුව තිබේ.ක්‍රිස්තියානි සභා අතුරිනුත් පෙනුම අතින් වඩ වඩාත් නූතන ස්වභාවයක් උසුලන සභා විශේෂ බිහිවෙමින් තිබෙන අතර දර්ශනය අතින් පැරනි සභා අබිබවා පිරිසිදු ක්‍රිස්තියානිය වෙත ලගාවීමේ වැදගත්කම මේවා විසින් අවධාරනය කරනු ලබයි.යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යනු එබදු "නූතන" සභාවකි.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සභාව එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ලෝක ව්‍යාප්ත ජාලයකි.එය විසින් ප්‍රකාශයට පත්කෙරෙන "පිබිදෙවු" සගරාව අතට හසුවන ඕනෑම දෙයක් කියවීමෙහි උමතු පුරුද්දකින් මෙම ලියුම්කරු පෙලුනු බාල වියේදී මෙම ලියුම්කරු ප්‍රිය කල සගරාවක් විය.මතුපිටින් ආකර්ශනීය ස්වභාවයක් උසුලන එකී ප්‍රකාශන මුල් බැල්මට ආගමික ප්‍රකාශනයක් යැයි නොසිතෙන තරම්ය.මෙම සගරා ජීවිතයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරයි.බිරින්දෑවරුන්ට යහපත් පවුල් ජීවිත ගත කරන ආකාරය ගැන,ලමුන්ට යහපත් ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන ආකාරය ගැන ඉන් උපදෙස් සැපයේ.නිදසුනක් ලෙස ප්‍රේමය පිලිබද කතා කරන්නේ නම් නූතන යුගයේ යෞවනයන්ට උචිත වන ලෙස කතා කරන මාතෘකාව තෝරා ගනු ලැබෙන අතර ආගමික "තෙල" වදිනුයේ අවසානයේය.බොහෝ විට මෙම සගරා සමාන වනුයේ ධනාත්මක චින්තනය අලෙවි කරන ඉතා ඉහල ජනප්‍රියත්වයක් සහිත ග්‍රන්ථවලටය.එම ධනාත්මක චින්තන ග්‍රන්ථ මගිනුත් වැදිය යුතු තැනට ඊතලය විදිනු ලැබෙන අතර තරුනයන්,ගෘහනියන්,පෙම්වතුන් වැනි ඉලක්ක කන්ඩායම් වැඩියෙන්ම පෙලන ප්‍රශ්න වලට සාර්ථකව අමතා ඔවුන්ගේ අවධානය දිනා ගනු ලබයි.කතෝලික ආගමට සාපේක්ෂව සම්භාව්‍ය ක්‍රිස්තියානිය 18 වන සියවසේදී "නූතන" පෙනුමක් සහිත ආගමක් වී යැයි පවසන්නේ නම් සම්භාව්‍ය ක්‍රිස්තියානියට සාපේක්ෂව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වැනි නව ක්‍රිස්තියානි නිකායන් 21 වන සියවසේදී වඩා නූතන පෙනුමක් අත්පත් කරගැනීමට සමත්ව ති‍බේ.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ : ආකර්ශනීය ප්‍රකාශනයක්
ක්‍රිස්තියානිය පිලිබද උක්ත විස්තරය අපගේ මාතෘකාව සදහා ප්‍රවේශයක් ලෙස යොදාගැන්මෙහිලා උචිතය.සංස්ථාවක් ලෙස ලාංකීය බුද්ධාගම පසුගිය ශතවර්ශ කිහිපය තුල ක්‍රිස්තියානි කතිකාවත මුහුන දුන් වෙනස්කම් හා සමාන වූ වෙනස්කම් සමූහයකට මුහුන දෙමින් සිටී යැයි තර්ක කල හැකි පොහොසත් පදනමක් මේ වනවිට බිහිව පවතී.ප්‍රොතෙස්තන්ත්‍ර බුදුදහම යන වහර මෙම ලියුම්කරු දන්නා පරිදි මුලින්ම යොදාගනු ලැබුවේ මහාචාර්ය ගනනාථ ඔබේසේකර විසිනි.හෙන්රි ස්ටීල් ඕල්කට් හා අනගාරික ධර්මපාල වැනි බෞද්ධ උගතුන් විසින් මෙරට එක්තරා ආකාරයකට සිදු කරන ලද්දේ බෞද්ධ ප්‍රතිශෝධන ව්‍යාපාරයකි.සාම්ප්‍රදායික සංස්ථාවක් ලෙස පැවති ලාංකීය බුද්ධාගමට මෙම ක්‍රියාකාරීන්ගේ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස  20 වන සියවස මුල වන විට වඩා නූතන පෙනුමක් හිමිවන්නට පටන් ගෙන තිබුනි.වෙසක් භක්ති ගීත,ඉරිදා දහම් පාසල්,ලෞකික අධ්‍යාපනය ලබාදෙන බෞද්ධ පාසැල්,වෙසක් කාඩ්,බෞද්ධ කොඩි හා ඒ වර්ගයේ එතෙක් නොතිබූ නවීන අංගෝපාංග රැසක් මෙම ක්‍රියාවලිය තුල බිහිවූ අතර මෙම ක්‍රියාකාරකම් පැහැදිලිවම සාම්ප්‍රදායික වැඩවසම් පන්සල් සංස්ථාවක් තුල සිරව තිබූ බුද්ධාගම නව අර්ථනිරූපනයකට ලක්කලේය.ක්‍රිස්තියානිය යුරෝපාකරයේදී සිදුකලාක් මෙන් සටන්කාමී,පෙරලිකාරී ස්වභාවයක් මතුපිටින් නොපෙන්වූවත් හරයාත්මකව ඕල්කට්-ධර්මපාල ව්‍යාපෘතිය හරහා සිදුවූයේ පාරම්පරික පැරනි ලාංකීය බෞද්ධ සංස්ථාව නව යුගයට ගැලපෙන ලෙස ප්‍රතිඅර්ථකතනය කිරීමකි.

කාර්මික ධනේශ්වර යුගයේදී පැරනි බෞද්ධ සංස්ථාව ඕල්කට්-ධර්මපාල ව්‍යාපාරය මගින් ප්‍රතිසංස්කරනයට ලක්කලේ යම් සේද අද - සයිබර් යුගය වනවිට ලාංකීය බුදුදහමේ හැඩය යලිත් ප්‍රතිනිර්වචනය කරන ප්‍රවනතාවයක් මේ වනවිට තීරනාත්මක ලෙස පැන නැගෙමින් තිබේ.මෙම ලිපිය ආරම්භයේ දැක්වූ උපුටනය සහිත මහාමේඝ නම් පුවත්පත මහමෙව්නා ආයතනයේ ප්‍රකාශනයකි.කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් අධිපතිත්වය දරන මහමෙව්නාව අසපුව ලංකාවේ විශාල ජනප්‍රියත්වයක් ලබමින් තිබෙන ආයතනයක් වන අතර එය මෙසේ පැනනැගෙමින් ඇති නව බෞද්ධ ප්‍රවනතාවයේ ස්වභාවය මනාව නියෝජනය කරන්නකි.

අහම්බෙන් ඇස ගැටි එම මහාමේඝ පුවත්පත කියැවූ සැනින් උත්ප්‍රාසාත්මකව මෙම ලියුම්කරුගේ මතකයට එක්වනම පිවිසියේ බාලවියේ දී කියැවූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ "පිබිදෙවු" සගරා පිලිබද ස්මරනයන්ය."අපෙන් ගිලිහුනු සුන්දර රජදහනෙහි කිරුලු පැලදීමක්" පිලිබද මහාමේඝය පවසන විට එම වචන හා "අනාගතයේ පහල වෙන්නා වූ සුන්දර වූද පවින් මිදුනා වූද ස්වර්ගරාජ්‍යයේ ප්‍රීතියෙන් ජීවත් වීම" පිලිබද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වචන අතර තිබෙනුයේ අපූර්ව සාම්‍යත්වයකි.මහාමේඝ පුවත්පත අතිශය නූතන උත්සාහයකි.එහි ජපානය හා හිරෝෂිමාව පිලිබද විස්තර කෙරෙන විශේෂාංග ලිපි ඇත.රූපවාහිනිය බැලීමට ඇබ්බැහි වීමෙන් වැලකීම පිලිබද යෞවනයන්ට ලියැවුනු උපදේශ ලිපි ඇත.රසායනික නොවූ අපේ ගොවිතැන පිලිබද සිත්ගන්නා - බැලූ බැල්මට කිසිදු ආගමික ස්වරූපයක් රහිත - ලිපි මෙන්ම පොලොස් සීනි සම්බෝල සාදාගන්නා අන්දම ගැනද විස්තර එහි ඇත.ගතානුගතික ආගමික ස්වරූපී බුදුසරන වැනි පුවත්පතක් හා සැසදූ විට මහාමේඝ මුලුමනින්ම වෙනස් වූද පෙනුමින් නවීන වූද ප්‍රකාශනයකි.

සාම්ප්‍රදායික පන්සල වෙනුවට අසපුව නමින් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන සංකල්පය මෙකී නව බෞද්ධ ප්‍රවනතාවය තුල හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂනයකි.ගතානුගතික පන්සල් සංස්කෘතිය කෙරෙහි උකටලීව ආගම කෙරෙහි එතරම් උනන්දුවක් රහිතව සිටි නාගරික මධ්‍යම පංතික තරුන මහලු බොහෝ දෙනා තමන් වෙත ඇද ගැනීමට මෙකි අසපු සංචිත සමත්ව තිබෙන බව නොරහසකි.ක්‍රිස්තියානිය කෙරෙහි උකටලීව ආගමික කතිකාවතෙන් ඈත්ව සිටි නූතන බටහිර යෞවන ගනයා අතර නව ක්‍රිස්තියානි නිකායන් ලබන සාර්ථකත්වය සමග මෙය සැසදිය හැක.සාම්ප්‍රදායිකව භික්ෂුව යනු පන්සලක වැඩ වාසය කරන්නෙක් යනුවෙන් පැවති අදහස ප්‍රශ්න කිරීමට ලක්කරමින් පන්සල් වලින් බැහැරව ජීවත්වන භික්ෂූන් සමූහයක් මෙකී නව බෞද්ධ ප්‍රවනතාවය තුල හදුනා ගත හැක.ඔවුන් බොහෝ විට "ආශ්චර්යමත් ලක්ෂන" සහිත භික්ෂූන් ලෙස ගිහියන් විසින් වර්නනා කරනු ලබන අය වෙත්.පන්සල් වර්ජනය කොට ඇති මෙබදු භික්ෂූන් ගිහි නිවාස වල වැඩවාසය කරනු දැකිය හැකිය.අනෙත් අතට අසපු වල ජීවත් වන භික්ෂූහු පිඩු සිගා  යාම හෝ ගිහි ගෙවල්වල දාන මානවලට යාම යනාදී සාම්ප්‍රදායික කටයුතු ප්‍රතික්ෂේප කරන අතර ගිහියන් අසපු වෙතට දානය ගෙන එනු ඇතැයි අපේක්ෂා කරති.

වරින් වර සිය දායකයන්ගේ නිවාස වල ටර්න්ස් ගනිමින් වැඩ වාසය කරන මහනුවර ප්‍රදේශයේ එක්තරා භික්ෂුවක් පිලිබද මෙම ලියුම්කරු සතුව පෞද්ගලික දැනුමක් ඇත.එම භික්ෂුව වටා පවුල් සමූහයක් - මේවා බොහෝවිට නාගරික මධ්‍යම පංතික පවුල් වෙති - ඒකරාශිව සිටී.රෝග සුවකිරීමේ හාස්කම් බලයක් එම භික්ෂුව වෙත පවතින බව එම දායකයින් විශ්වාස කරයි.මෙම දායක නිවාස වල ධර්ම වැඩසටහන් සංවිධානය වන අතර මේවා සමග ගමේ පන්සල්වලට කිසිම සම්බන්ධයක් නැත.අදාල භික්ෂුව සහ එම පවුල් වල අය අතර තිබෙන්නේ අමුතු ආකාරයක බැදිමකි.භික්ෂුව ඔවුන් බොහෝ දෙනා - දරුවන් පවා - නමින් හදුනයි.එම භික්ෂුව පවුල් සමූහයක් යා කරන වරප්‍රසාද ලත් වැඩිහිටියෙකු වැන්න.ෆේස්බුක් ප්‍රොෆයිලයක් හරහා සයිබර් අවකාශයේද වැඩවාසය කරන එම භික්ෂුව වනාහි වචනයේ නියම තේරුමින්ම සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාවෙන් වෙනස් වූ මොඩර්න් ප්‍රපංචයකි.

අසපු සංකල්පය සාම්ප්‍රදායික පන්සල් අබිබවා යෞවන ජනයාගේ සිත්ගෙන ඇති සෙයකි
කෙසේ වුවද මෙම නව බෞද්ධ ප්‍රවනතාවය සාම්ප්‍රදායික/සම්භාව්‍ය බෞද්ධ සංස්ථාව ප්‍රශ්න කිරීමකට ලක්කොට තිබෙන බව පැහැදිලිය.පසුගිය දිනෙක සගරාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් දොඩම්පහල රාහුල හිමි "අසපු බුද්ධාගම" දැඩිව විවේචනයට ලක්කොට තිබුනි.මෙම තරගකාරී ප්‍රවනතා දෙක අතර ප්‍රතිවිරෝධය තවමත් ප්‍රබල ලෙස ඉස්මත්තට පැමින නැති නමුත් ඒ අතර පවතින ගැටුම සදහා උක්ත ප්‍රතිචාරය කදිම සාක්ෂියකි.කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් ලියනු ලැබ ප්‍රකාශයට පත්කෙරෙන ග්‍රන්ථ සමූහය සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාව හා මෙම නව ප්‍රවනතාවය අතර වෙනස හකුලුවා දක්වන්නකි.මෙම පොත් ඉතාම සරල භාෂාවෙන් ලියනු ලැබෙන අතර එසේම ත්‍රිපිටකය සිංහලෙන් ලිවීමටත් එම හිමියන් විසින් කටයුතු කොට තිබේ.කතෝලික කතිකාවත තුල ලතින් භාෂාව ආධිපත්‍යය හෙබවූයේ යම් සේද සම්භාව්‍ය බෞද්ධ කතිකාවත තුල පාලිය සතුවනුයේ  භාෂාමය ඒකාධිකාරයකි.ඥානානන්ද හිමි පැහැදිලිවම ඉන් බැහැරට ගොස් තිබේ.එසේම පාලියෙන් ගැයෙන පිරිත් යනාදිය සිංහලයට හැරවීමේ කටයුත්තකටද එම හිමි අවතීර්න වී තිබුනු අතර එය වනාහි සාම්ප්‍රදායික බෞද්ධ භික්ෂූන් සිහිනෙනුදු නොසිතූ කටයුත්තකි.

මේ වනවිට කුන්ඩසාල මහමෙවුනා පරිශ්‍රයේ විශාල චෛත්‍යයක් ඉදිවෙමින් තිබේ. ඥානානන්ද හිමිගේ වචන වලින් කියතොත් එය "රජුන් විසින් නොව පොදු ජනයා විසින්" තනනු ලැබෙන සෑයකි.සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාව තුල මෙවැනි කටයුත්තක් සමග බොහෝ විට දේශපාලඥයෙකු සම්බන්ධ වීම දක්නට ලැබෙන නමුදු මහමෙවුනා සෑයෙහි මුල්ගල තැබීම අත්තිවාරම කැපීම වැනි කිසිදු වැදගත් අවස්ථාවකට එවැනි දේශපාලකයෙකු ආරාධිතයා ලෙස ගෙන්වා ගනු ලැබුනේ නැත.යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙන් කිසිදු ජාතික ගීයකට හෝ ජාතික ධජයකට ආචාර නොකිරීමේ නිර් රාජ්‍යමය ස්ථාවරයක මෙම නව බෞද්ධ ප්‍රවනතාවය පසුනොවන බව පැහැදිලි නමුත් ඉහත නිරික්ෂනය නොසලකා හැරිය හැක්කක් නොවේ.පසුගිය දිනෙක මෙම ලියුම්කරු විසින් දුටු බස්රියෙක "බුදුන් වහන්සේ ජීවමානයි" යනුවෙන් ස්ටිකරයක් අලවා තිබුනි.මහමෙවුනා පරිශ්‍රයේ පසුගියදා පැවති ශීල ව්‍යාපාරයකට සම්බන්ධ වූ මෙම ලියුම්කරුගේ සමීපතමයෙකු - ඔහු ඊට සහභාගිව තිබුනේ පලමු වතාවටය - මෙම ලියුම්කරු හා ප්‍රකාශ කර සිටියේ එහි සිදුවන සෑම දෙයක්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවත්,බුදු ගුන පවා ගායනා කරන්නේ වෙනස් ආකාරයකට බවත්,එය බොහෝ දුරට ජේසුස් වහන්සේගේ ගුන වයන ක්‍රිස්තියානි අභිචාර විධි සිහිගන්වන බවත්ය.අවශ්‍ය නම් මෙම සමානතාවන් නිසා මෙම නව ප්‍රවනතාවය යෙහෝවාවාදී බුදුදහම ලෙසද නම් කල හැක.කෙසේ වෙතත් මෙම "වෙනස්" අභිචාර විධි බෞද්ධ සමාජයේ විශාල පිරිසක් ආකර්ශනය කරගනු ලැබෙමින් තිබෙන අතර අද (17) වෙසක් පොහොය නිමිත්තෙන් කුන්ඩසාලේ මහමෙවුනා පරිශ්‍රයේ පැවැත්වෙන ශීල ව්‍යාපාරයට ලක්ෂ 2 ට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බවට අපේක්ෂා පල කෙරේ.

සුනාමි මරන වූ කලී පෙර කර්මයයි.එබැවින් නොතැවෙනු!
පෙනුම අතින් නවීන හා ආකර්ශනීය ස්වභාවයක් ගන්නවා සේම මෙම නූතන බෞද්ධ ප්‍රවනතාවය හරයාත්මක වඩා සිද්ධාන්තවාදී දාර්ශනික ප්‍රවේශයක් ඉල්ලා සිටින ලක්ෂන පෙන්නුම් කරයි.නිදසුනක් ලෙස සුනාමියෙන් මිනිසුන් මිය යාම කර්මය සමග සම්බන්ධ කොට ඥානානන්ද හිමි විසින් කල විග්‍රහය මෙම ලියුම්කරුගේ මතකයේ තවමත් පවතින්නකි.රූපවාහිනී නාලිකාවක් හරහා එහිලා උන්වහන්සේ සිදු කරනු ලැබූයේ  සුනාමියෙන් මිය ගිය අය මියයාමට ප්‍රධාන හේතුව ඔවුන් පෙර කල කර්මයයි වර්ගයේ ප්‍රකාශයකි.මහාමේඝය පුවත්පතේ සැප්තැම්බර්-ඔක්තොම්බර් කලාපයේ විඩූඩබ නම් රජෙකු මිය යාම පිලිබද පැරනි පුවතක් ගැන කෙරෙන විස්තරය තුලින්ද දැකගත හැක්කේ එවැනි එලඹුමකි.

"... එදා මියයාමට කර්මයක් නොතිබූ ගග ඇතුලේ නිදා සිටි පිරිස අසල කඩියන් මතු වී ඔවුන්ට දෂ්ට කලා.එම නිසා ගගෙන් ගොඩට විත් ගොඩබිම් ප්‍රදේශයේ නිදාගැනීමට ඔවුන්ට සිදුවුනා.එසේම එදා මිය යෑමට කර්ම සකස් වී තිබූ ගොඩබිම් ප්‍රදේශයේ නිදාගෙන සිටි අය අතරද කඩියන් මතුවී ද්ෂ්ට කලා.එවිට ඔවුන් සිදු කලේ ගංවැල්ලට ගොස් එහි නිදා ගැනීමයි.මේ අයුරින් පින් කල අය තේරී ගොඩට ආ විටත් පවුකල පිරිස තේරී ගං වැල්ලට ගිය විටත් ගගෙහි ඉස්මත්තට විශාල වැස්සක් ඇද වැටී මහා වතුරක් පැමිනියා.ගංවැල්ලෙහි නිදා සිටි විඩූඩභ රජු ඇතුලු පාපී පිරිස් සියලු දෙනාටම එම ගංවතුරෙන් මරනය අත්වුනා"

-මහාමේඝය සැප්තැම්බර් කලාපය 2011 පි.15

සුනාමිය වැනි ස්වභාවික විපතක් නිසා මිය ගිය වුන් පෙර පවු කල අය බව ප්‍රකාශ කිරීම එක්තරා අන්දමක කාලකන්නි ප්‍රකාශයක් යැයි පැවසිය හැක.මෙබදු ප්‍රකාශ සිදුවනුයේ ආගමෙහි මූලධර්ම වෙත කෙරෙන අසීමිත නැඹුරුව මගිනි.ආගමෙහි පිරිසිදු සිද්ධාන්ත පාදාගෙන ඒ අනුව තමන් කරනුයේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් යැයි සද්භාවයෙන්ම විශ්වාස කරන්නා එබදු ප්‍රකාශයක පවතින කාලකන්නි ස්වභාවය හෝ නොහගී.පැරනි තෙස්තමේන්තුවේ එන දෙවියන්ට අකීකරු වීම නිසා යෙහෝවා විසින් ගම්මාන පිටින් විනාශ කිරීමේ ප්‍රාථමික කතන්දර සහ මෙම "බෞද්ධ" විග්‍රහයන් අතර වෙනසක් නොතිබීම උත්ප්‍රාසයකි.එසේම බුදු රජානන් වහන්සේ යමා මහ පෙලහර පෑවා සේ,විශාලා නුවර තුන් බිය දුරු කලා සේ පවතින්නේ යැයි විශ්වාස කරන ධර්ම බලයෙන් හාස්කම් පෑමට දැරෙන උත්සාහද මෙම සන්දර්භය තුල සිට වටහා ගත යුතුය.ඥානානන්ද හිමිගේ මූලිකත්වයෙන් පසුගිය වසරෙහි සිදුවූ ආන්දෝලනාත්මක සෝමාවතී සිදුවීම මෙම හාස්කම් ප්‍රවාදයෙහි ස්වභාවය මනාව විදහා පාන්නකි.නව ක්‍රිස්තියානි නිකායවාදීන් දෙවියන් වෙත ලගාවීම හා එමගින් කෙරෙන මහාපරිමාන හාස්කම් ගැන අදහන්නේ යම් සේද බුදු රැස් විහිදීම හා වසින වැසි නවතාලීම වැනි ධර්ම බලයේ හාස්කම් පිලිබද විශ්වාසය තබමින් කෙරෙන අභිචාරයන්ද ආගමේ "පිරිසිදුභාවය" වෙත ලංවීම සදහා අසීමාන්තිකව ගනු ලබන උත්සාහයන්ගේ ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් ඉහත සියලු කරුනු සලකා බැලිමේදී ලාංකීය බුදුදහමේ දෙවන ප්‍රොතෙස්තන්ත්‍ර යුගය එලඹෙමින් තිබේද යන ප්‍රශ්නය මෙම අවස්ථාවේදී සාධාරන‍ ලෙස නැගිය හැක.සයිබර් ධනවාදී යුගයට අනුරූපීව සාම්ප්‍රදායික සම්භාව්‍ය බෞද්ධ සංස්ථාවට පිටස්තරව නව පන්නයේ බුදු දහමක් බිහි වෙමින් තිබේ යන්න පැහැදිලි නිරීක්ෂනයකි.යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැනි නව ක්‍රිස්තු භක්තික නිකායන්ගේ බෞද්ධ අර්ධ සොහොයුරා ලෙස මෙම නව ප්‍රවනතාවය සැලකිය හැකි බව මෙම ලියුම්කරුගේ යෝජනාවයි.මෙම ප්‍රවනතාවය "ශාසනයට" කොතරම් හොදද නැද්ද යන්න පිලිබද වෙහෙසිම මෙම ලියුම්කරුගේ විෂය පථයට අදාල නොවන්නකි.එය සමාජයට කරන යම් බලපෑමක් වේ නම් ඒ පිලිබද පමනක් ලියුම්කරු උනන්දු වනු ඇත.කෙසේ වූවද ලංකාව වූ කලී සතරවරම් දෙවිවරුන්ගෙන් සමන්විත "අපේ විද්‍යාවක්" ගොඩනැගීම පිලිබද මනස්ගාත කියවමින් සිටින නලින් ද සිල්වා පන්නයේ විහිලුකාරයන් ජාතියේ න්‍යායාචාර්යවරුන්/චින්තකයන් ලෙස නම් කරගෙන ඉන්නා වර්ගයේ රටකි.ඇතැම්විට ඥානානන්ද හිමියන්ගේ යෙහෝවාවාදී නවීන බෞද්ධ ප්‍රවනතාවය එම සාමූහික මුග්ධභාවය සමග වඩාත් හොදින් පෑහෙන්නක් වීමටද ඉඩ තිබේ.