![]() |
ගඩාෆි - වෘක වෙස් ගත් සිංහයෙක්ද?සිංහ වෙස් ගත් වෘකයෙක්ද? |
“අද අප පුලුල් සන්ධානයක පාර්ශවකරුවෝ වෙමු.බියට පත්වූ ජනතාවකගේ ආයාචනයන්ට අපි ප්‍රතිචාර දක්වමින් සිටින්නෙමු.අප ගන්නා සෑම පියවරක්ම එක්සත් ජනපදයේත් ලෝක ප්‍රජාවේත් යහපත වෙනුවෙනි”
- බැරැක් ඔබාමා 2011 මාර්තු 19“අමෙරිකානු සහ සන්ධාන හමුදා මේ නිරත වෙමින් සිටින්නේ ඉරාකය නිරායුද කිරීමේ,එහි ජනතාව නිදහස් කරගැනීමේ හා ලෝකයා ගැඹුරු තර්ජනයකින් ආරක්ෂා කිරීමේ සන්නද්ධ මෙහෙයුමක මුල් අදියරයන් තුලයි”
- ජෝජ් බුෂ් 2003 මාර්තු 19
ලිබියානු ට්‍රිපොලි නගරයේ අවකාශය ගුගුරුවමින් ඉතිහාසය නැවත ප්රතිනිර්මානය වෙමින් තිබේ.ලිබියානු ජනතාවගේ “ප්රජාතන්ත්රවාදය” වෙනුවෙන් එක්සත් ජනපද හමුදාව ප්රමුඛ සේනාවෝ බිහිසුනු ගගනාක්රමනයක නියුතු වී සිටිති.වසර කිහිපයකට පෙර සදාම් හුසේන්ගේ හිස කදින් වෙන් කලේ යම් සේද - මොහොමඩ් ගඩාෆි පෙරලා දැමීම මෙකී ආක්රමනයේ පරම අභිලාෂයයි.
මෙම ආක්රමනයේ හරය තෙල් සදහා ලේ හැලීම බව ස්වාධීන රූපවාහිනියේ මහින්ද අබේසුන්දර පන්නයේ ප්රවෘත්ති රචකයනුත් පවසන සමයක ,එය එසේ බව ලිවීමට අමුතුවෙන් වෙහෙසක් ගැනීම අවශ්‍ය නැත.විරෝධතාකරුවන්ට එරෙහි “දරුනු”ක්‍රියාමාර්ග ගන්නා බවට ගර්ජනා කරන සෞදි රාජකීය රජයට එල්ල නොවන,බහරේනයට යේමනයට එල්ල නොවන ගුවන් ප්‍රහාර ලිබියාවට පමනක් කුමටද?ලිබියානු තෙල් සම්පත රිසි සේ ගසා කෑමට ගඩාෆි බාධාවක් වීම මෙකී ආක්රමනයේ සැබෑ අරමුන බව පැහැදිලිය.
එසේ නම් ගත යුතු ස්ථාවරය කුමක්ද?ස්වාධීන රූපවාහිනිය මෙන් බටහිර ආක්රමනයට එරෙහිව ගඩාෆි ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමද?
ලිබියානු ප්රශ්නය ලිබියානු සංකීර්නයක් බවට පත්වන්නේ මෙතැනදීය.ලිබියානු ප්රශ්නය එකිනෙකට පරස්පර අභ්‍යන්තර ප්රතිවිරෝධතා,ගැටීම්,හැගීම් හා ආවේගයන් සමූහයක එකතුවකි.
2008 ජූලි මාසයේදී ස්විට්සර්ලන්තයේ සංචාරයක නියුතු වෙමින් සිටි අසහාය “අධිරාජ්‍ය විරෝධී” නායක ගඩාෆිගේ බාල පුත්‍රයා වන හැනිබාල් ගඩාෆි හා ඔහුගේ ලේලිය ජීනිවා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුනි.ගඩාෆි පුත්‍රයා එම සංචාරයේදී තමන්ගේම සේවකයන්ට අඩත්තේට්ටම් කිරීම පිලිබද චෝදනාවන්ට ලක්වීම මීට හේතුවයි.මීට ගඩාෆි ප්‍රතිචාර දැක්වූයේ සිය ස්විස් ගිනුම් වල පැවති ඩොලර් බිලියන හතරකට ආසන්න මුදල් ඉවත්කරගැනීමෙනි!ඊට අමතරව ස්විස් සමාගම් ගනනාවක ලිබියානු ශාඛා වසා දමන ලදී.
ස්විස් ගිනුම් වල තැන්පත් කරන්නට ඩොලර් බිලියන හතරක තරම් පෞද්ගලික ධනස්කන්ධයක් ගඩාෆි වෙත පහල වූයේ කෙසේද?
![]() |
ලාභ උපයනු වස් යුද්ධය මග හැරිය නොහැක - රනවිරු රියල් ස්ටාර්ලා පිරිවරාගත් ඔබාමා |
කැරලිකරුවන් සුන්නද්ධූලි කරදැමීම සදහා අනදෙමින් සිටින ගඩාෆිගේ අනිත් පුත්‍රයා වන සෙයිෆ් අල් ඉස්ලාම් තවත් ප්රකෝටිපතියෙකි.2009 කැරිබියානු දූපතක පැවති පුද්ගලික සාදයකදී ගීත හතරක් ගායනා කිරීම වෙනුවෙන් මෙම ජනාධිපති පුත්‍රයා මෙරායා කේරී නම් අමෙරිකානු ගායිකාවට ඩොලර් මිලියනයක ගෙවීමක් සිදුකොට තිබුනි.වසර හතලිහක ගඩාෆි පාලනය දැඩි පවුල්වාදී ස්වරූපයක් ඉසිලූ අතර එය තුන්වන ලෝකයේ ධනේශ්වර පාලනයන්ට ආවේනික දුර්ගුනයන්ගෙන් අරටුව දක්වා දූෂනය වූවකි.ගඩාෆිට එරෙහිව පසුගිය දිනවල ආරම්භ වූ උද්ඝෝෂන හා කැරලි කෝලාහල වලදී අතිශය දුර්දාන්ත ලෙස සිය රටේ පුරවැසියන් ඝාතනය කිරීමට ගඩාෆි රෙජිමය ක්‍රියා කල අන්දම අල් ජසීරා වැනි සාපේක්ෂව “අමෙරිකානු විරෝධී” මාධ්‍ය පවා වාර්තා කලේය.
ස්වාධීන රූපවාහිනිය විසින් උඩ දැමෙන අධිරාජ්‍ය විරෝධියාගේ සැබෑ පින්තූරය එබදුය.විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරනය කරන අන්දමට එරට ජාතික තෙල් සමාගම නම් ආයතනය ගඩාෆි වෙත සෞභාග්‍යය උදාකර දෙන උල්පත ලෙස ක්‍රියාකොට තිබේ.
දැන් අපට ලිබියානු අර්බුදය තරමක් වෙනස් ආකාරයකට සාරාංශගත කල හැක.
ලිබියානු තෙල් සම්පත හිමි විය යුත්තේ කාටද?ගඩාෆිවාදී ස්වදේශීක මංකොල්ලකාර කවයටද?ඔබාමාවාදී විදේශීක මංකොල්ලකාර කවයටද?
සරල බටහිර විරෝධයක් මත ලිබියානු ආක්රමනය විග්රහ කිරීමට උත්සාහ කරන්නවුන් සිතා මතා හෝ නොසිතා මග හරින සත්‍යය නම් ධනවාදයයි.ගඩාෆි යටතේ ලිබියාව සැලකිය යුතු ධනේශ්වර සංවර්ධනයකට ලක්වූවකි.ස්වභාවික සම්පත් සූරා කෑමෙන් හටගන්නා ධනය බලවත් ප්‍රභූ කුලකයක් අත සංකේන්ද්‍රනය වීම ධනවාදයේ නෛසර්ගික ලක්ෂනයයි.ගඩාෆි රෙජිමය මේ නිසා අතිමහත් සමෘද්ධියක් සිය ප්‍රභූ කවය අත රදවා ගත් අතර පොදු ලිබියානුවා වෙත ඒ සියල්ල අහිමි කලේය.දැන් එක්සත් ජනපදයේ “ලිබරල්වාදින්” මාන බලමින් සිටින්නේ ලිබියානු ජනතාව ගසා කෑමේ බලය ගඩාෆිගෙන් තමා වෙත පවරා ගැනීමටය.ලිබරල් ප්රජාතන්ත්රවාදයේ රමනීයත්වය පිලිබද මෙම බලවතුන් සංකීර්න න්‍යායන් සම්පාදනය කරන්නේ මෙසේ තුන්වන ලෝකයේ රටවල්වල සම්පත් සූරාකනු ලැබ සිය රටවල ගොඩගසා ගත් ධනස්කන්ධයන් මත ලැගගෙන රාමතෙල් අරිනා අතරේය.
ලිබියානු ආක්රමනයට එරෙහි විය යුත්තේ,මේ නිසා හුදු සරල බටහිර විරෝධී විලාසිතාවක් මත සිට නොවේ.ගඩාෆිවාදී වූවත්,ඔබාමාවාදී වූවත් ධනවාදය යනු ධනවාදයයි.එහි හරය අනුකම්පා විරහිතව ගසාකෑමයි.ජාතිකවාදයේ සහ ලිබරල්වාදයේ සීමාවත්,මාක්ස්වාදයේ අවශ්‍යතාවයත් සලකුනු වන ස්ථානය මෙයයි.