Thursday, March 24, 2011

ලිබියානු සංකීර්නය / The Libyan complex

ගඩාෆි - වෘක වෙස් ගත් සිංහයෙක්ද?සිංහ වෙස් ගත් වෘකයෙක්ද?
ද අප පුලුල් සන්ධානයක පාර්ශවකරුවෝ වෙමු.බියට පත්වූ ජනතාවකගේ ආයාචනයන්ට අපි ප්‍රතිචාර දක්වමින් සිටින්නෙමු.අප ගන්නා සෑම පියවරක්ම එක්සත් ජනපදයේත් ලෝක ප්‍රජාවේත් යහපත වෙනුවෙනි
- බැරැක් ඔබාමා 2011 මාර්තු 19

අමෙරිකානු සහ සන්ධාන හමුදා මේ නිරත වෙමින් සිටින්නේ ඉරාකය නිරායුද කිරීමේ,එහි ජනතාව නිදහස් කරගැනීමේ හා ලෝකයා ගැඹුරු තර්ජනයකින් ආරක්ෂා කිරීමේ සන්නද්ධ මෙහෙයුමක මුල් අදියරයන් තුලයි
- ජෝජ් බුෂ් 2003 මාර්තු 19

ලිබියානු ට්‍රිපොලි නගරයේ අවකාශය ගුගුරුවමින් ඉතිහාසය නැවත ප්‍රතිනිර්මානය වෙමින් තිබේ.ලිබියානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්සත් ජනපද හමුදාව ප්‍රමුඛ සේනාවෝ බිහිසුනු ගගනාක්‍රමනයක නියුතු වී සිටිති.වසර කිහිපයකට පෙර සදාම් හුසේන්ගේ හිස කදින් වෙන් කලේ යම් සේද - මොහොමඩ් ගඩාෆි පෙරලා දැමීම මෙකී ආක්‍රමනයේ පරම අභිලාෂයයි.

මෙම ආක්‍රමනයේ හරය තෙල් සදහා ලේ හැලීම බව ස්වාධීන රූපවාහිනියේ මහින්ද අබේසුන්දර පන්නයේ ප්‍රවෘත්ති රචකයනුත් පවසන සමයක ,එය එසේ බව ලිවීමට අමුතුවෙන් වෙහෙසක් ගැනීම අවශ්‍ය නැත.විරෝධතාකරුවන්ට එරෙහි දරුනුක්‍රියාමාර්ග ගන්නා බවට ගර්ජනා කරන සෞදි රාජකීය රජයට එල්ල නොවන,බහරේනයට යේමනයට එල්ල නොවන ගුවන් ප්‍රහාර ලිබියාවට පමනක් කුමටද?ලිබියානු තෙල් සම්පත රිසි සේ ගසා කෑමට ගඩාෆි බාධාවක් වීම මෙකී ආක්‍රමනයේ සැබෑ අරමුන බව පැහැදිලිය.

එසේ නම් ගත යුතු ස්ථාවරය කුමක්ද?ස්වාධීන රූපවාහිනිය මෙන් බටහිර ආක්‍රමනයට එරෙහිව ගඩාෆි ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමද?

ලිබියානු ප්‍රශ්නය ලිබියානු සංකීර්නයක් බවට පත්වන්නේ මෙතැනදීය.ලිබියානු ප්‍රශ්නය එකිනෙකට පරස්පර අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා,ගැටීම්,හැගීම් හා ආවේගයන් සමූහයක එකතුවකි.

2008 ජූලි මාසයේදී ස්විට්සර්ලන්තයේ සංචාරයක නියුතු වෙමින් සිටි අසහාය අධිරාජ්‍ය විරෝධී නායක ගඩාෆිගේ බාල පුත්‍රයා වන හැනිබාල් ගඩාෆි හා ඔහුගේ ලේලිය ජීනිවා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුනි.ගඩාෆි පුත්‍රයා එම සංචාරයේදී තමන්ගේම සේවකයන්ට අඩත්තේට්ටම් කිරීම පිලිබද චෝදනාවන්ට ලක්වීම මීට හේතුවයි.මීට ගඩාෆි ප්‍රතිචාර දැක්වූයේ සිය ස්විස් ගිනුම් වල පැවති ඩොලර් බිලියන හතරකට ආසන්න මුදල් ඉවත්කරගැනීමෙනි!ඊට අමතරව ස්විස් සමාගම් ගනනාවක ලිබියානු ශාඛා වසා දමන ලදී.
ස්විස් ගිනුම් වල තැන්පත් කරන්නට ඩොලර් බිලියන හතරක තරම් පෞද්ගලික ධනස්කන්ධයක් ගඩාෆි වෙත පහල වූයේ කෙසේද?

ලාභ උපයනු වස් යුද්ධය මග හැරිය නොහැක -
 රනවිරු රියල් ස්ටාර්ලා පිරිවරාගත් ඔබාමා
කැරලිකරුවන් සුන්නද්ධූලි කරදැමීම සදහා අනදෙමින් සිටින ගඩාෆිගේ අනිත් පුත්‍රයා වන සෙයිෆ් අල් ඉස්ලාම් තවත් ප්‍රකෝටිපතියෙකි.2009 කැරිබියානු දූපතක පැවති පුද්ගලික සාදයකදී ගීත හතරක් ගායනා කිරීම වෙනුවෙන් මෙම ජනාධිපති පුත්‍රයා  මෙරායා කේරී නම් අමෙරිකානු ගායිකාවට ඩොලර් මිලියනයක ගෙවීමක් සිදුකොට තිබුනි.වසර හතලිහක ගඩාෆි පාලනය දැඩි පවුල්වාදී ස්වරූපයක් ඉසිලූ අතර එය තුන්වන ලෝකයේ ධනේශ්වර පාලනයන්ට ආවේනික දුර්ගුනයන්ගෙන් අරටුව දක්වා දූෂනය වූවකි.ගඩාෆිට එරෙහිව පසුගිය දිනවල ආරම්භ වූ උද්ඝෝෂන හා කැරලි කෝලාහල වලදී අතිශය දුර්දාන්ත ලෙස සිය රටේ පුරවැසියන් ඝාතනය කිරීම‍ට ගඩාෆි රෙජිමය ක්‍රියා කල අන්දම අල් ජසීරා වැනි සාපේක්ෂව අමෙරිකානු විරෝධී මාධ්‍ය පවා වාර්තා කලේය.

ස්වාධීන රූපවාහිනිය විසින් උඩ දැමෙන අධිරාජ්‍ය විරෝධියාගේ සැබෑ පින්තූරය එබදුය.විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරනය කරන අන්දමට එරට ජාතික තෙල් සමාගම නම් ආයතනය ගඩාෆි වෙත සෞභාග්‍යය උදාකර දෙන උල්පත ලෙස ක්‍රියාකොට තිබේ.

දැන් අපට ලිබියානු අර්බුදය තරමක් වෙනස් ආකාරයකට සාරාංශගත කල හැක.
ලිබියානු තෙල් සම්පත හිමි විය යුත්තේ කාටද?ගඩාෆිවාදී ස්වදේශීක මංකොල්ලකාර කවයටද?ඔබාමාවාදී විදේශීක මංකොල්ලකාර කවයටද?

සරල බටහිර විරෝධයක් මත ලිබියානු ආක්‍රමනය විග්‍රහ කිරීමට උත්සාහ කරන්නවුන් සිතා මතා හෝ නොසිතා මග හරින සත්‍යය නම් ධනවාදයයි.ගඩාෆි යටතේ ලිබියාව සැලකිය යුතු ධනේශ්වර සංවර්ධනයකට ලක්වූවකි.ස්වභාවික සම්පත් සූරා කෑමෙන් හටගන්නා ධනය බලවත් ප්‍රභූ කුලකයක් අත සංකේන්ද්‍රනය වීම ධනවාදයේ නෛසර්ගික ලක්ෂනයයි.ගඩාෆි රෙජිමය මේ නිසා අතිමහත් සමෘද්ධියක් සිය ප්‍රභූ කවය අත රදවා ගත් අතර පොදු ලිබියානුවා වෙත ඒ සියල්ල අහිමි කලේය.දැන් එක්සත් ජනපදයේ ලිබරල්වාදින් මාන බලමින් සිටින්නේ ලිබියානු ජනතාව ගසා කෑමේ බලය ගඩාෆිගෙන් තමා වෙත පවරා ගැනීමටය.ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ රමනීයත්වය පිලිබද මෙම බලවතුන් සංකීර්න න්‍යායන් සම්පාදනය කරන්නේ මෙසේ තුන්වන ලෝකයේ රටවල්වල සම්පත් සූරාකනු ලැබ සිය රටවල ගොඩගසා ගත් ධනස්කන්ධයන් මත ලැගගෙන රාමතෙල් අරිනා අතරේය.

ලිබියානු ආක්‍රමනයට එරෙහි විය යුත්තේ,මේ නිසා හුදු සරල බටහිර විරෝධී විලාසිතාවක් මත සිට නොවේ.ගඩාෆිවාදී වූවත්,ඔබාමාවාදී වූවත් ධනවාදය යනු ධනවාදයයි.එහි හරය අනුකම්පා විරහිතව ගසාකෑමයි.ජාතිකවාදයේ සහ ලිබරල්වාදයේ සීමාවත්,මාක්ස්වාදයේ අවශ්‍යතාවයත් සලකුනු වන ස්ථානය මෙයයි.

Monday, March 14, 2011

ෆිදෙල් කැස්ත්‍රෝ - ඉඩම් ප්‍රතිසංස්කරන නීතිය ගැන / Fidel Castro - On promulgation of the Agrarian law

ෆිදෙල් - ගොවිජන ප්‍රතිසංස්කරන නීතිය අත්සන් කරමින්
හැදින්වීම -
පහත පලවන්නේ කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ විසින් 1959 මැයි 17 දින ඉඩම් ප්‍රතිසංස්කරනය අරමුනු කරගත් ගොවිජන නීතිය ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ ජාතිය අමතා කල ප්‍රකාශයේ පරිවර්තනයයි.අර්නස්ටෝ චේ ගෙවාරා විසින් මෙම නීතිය කෙටුම්පත් කෙරුනි.මෙතුලින් විශාල ඉඩම් හිමියන් සතුව තිබූ ආර්ථික ආධිපත්‍යය පෙරලා දැමීමත්,දුගී ගොවි ජනයා සවිබල ගැන්වීමත් අපේක්ෂා කෙරින.මෙම නීතිය කියුබානු විප්ලවයේ තීරනාත්මක අවස්ථාවක් ලෙස සැලකෙන අතර එනයින් විශාල ඓතිහාසිකත්වයක් මෙම ලියවිල්ලේ ගැබ්ව තිබේ.
මූලාශ්‍රය - Marxists.org

"මෙම නීතිය අපගේ ආර්ථික ජීවිතයේ සම්පූර්න අලුත් පරිච්ඡේදයක් පෙරලනු ඇතැයි අපි විශ්වාස කරමු.අප මේ නීතිය සමග අපගේ මුලු හැකියාවෙන්ම වැඩකිරීමට අධිෂ්ඨාන කරන්නේ නම්,සෞභාග්‍යමත් අනාගතයක් අපගේ දේශය අභිමුව පවතී.

සියලුම විප්ලවවාදී තක්සේරු කිරීම් වලට අනුව,මෙම නීතිය ඇතැම් පුද්ගල අභිලාෂයන් සමග පරස්පර විය හැකි බවටත්,මෙයට එරෙහි දරුනු ප්‍රතිවිරෝධයක් එල්ල විය හැකි බවටත් අප වටහා ගෙන ඇත්තෙමු.ඒ වාගේම,මෙම නීතියෙන් උත්පාදනය විය හැකි සියලුම ප්‍රතිලාභ ගැනත් ඒ සම්බන්ධයෙන් පුරවැසියන් කෙරෙහි අප සතුව තිබෙන වගකීම් ගැනත් අප අවබෝධයකින් පසුවන්නෙමු.

කෙසේවෙතත්,අප මීට පෙර සෑම අවස්ථාවකදීම අනුගමනය කල ආකාරයට මෙම නීතීන් ඇතැම් විට ඇතැම් අවශ්‍යතා සමග ගැටෙන සුලු විය හැකි වුවත්,අප ඕනෑම නීතියක් පනවන්නේ සමස්ථ ජාතියේ යහපත උදෙසා බව පැහැදිලිව ප්‍රකාශ කල යුතුය.අප කිසිදු නීතියක් වෛරය මත පදනම්ව පනවන්නේ නැත.මන්ද අප කිසිවෙකුට වෛර නොකරන හෙයිනි.අප අතීතයේ සිට පැවත එන දිගු ක්‍රියාදාමයක කොටස්කරුවන් බවත්,අතීතයේ සිදුව තිබෙන වැරදි නිවැරදි කිරීමේ වගකීමක් ඒ නිසා අප සතුව පවතින බවත් අප ඉතාම නිවැරදිව තේරුම් ගෙන සිටින්නෙමු.

අපි කවුද,අප කලේ මොනවාද,අප නියෝජනය කරන්නේ කුමක්ද සහ අප කරමින් සිටින්නේ මොනවාද යනාදී සියල්ල ප්‍රධාන වශයෙන් අතීතය විසින් තීරනය කරන ලද දේවල් වෙති.කියුබාවේ ඕනෑම කෙනෙක් මේ රට මෙතෙක් කල් පැවතුනේ කෙසේද යන්න ගැන සිතනවා නම්,වෙනස්කම් හදුන්වා නොදුනහොත් කියුබාවේ ඉරනම කවරක් වනු ඇද්දැයි සිතනවා නම්,එ‍සේ සිතන තැනැත්තා අවංක හා සිහිබුද්ධියෙන් යුක්තව සිතන්නෙක් නම්,මේ ගනු ලබන පියවරයන් නිරපේක්ෂව අත්‍යාවශ්‍ය බව ඔහු පිලිගනු ඇත.තවදුරටත් අපගේ රට අපේක්ෂා භංගත්වය හා අරාජකත්වය කරා ඇදී යාමට ඉඩදී බලා සිටීම සාධාරන නොවේ.

අපගේ ජාතිය දැන් පවතින්නේ යම් තත්වයකද එය සැබැවින්ම අපගේ වරද නොවේ.පසුගිය පරම්පරාවන් විසින් සිදු කල වැරදි කෙරෙහි අපගේ වගකීමක් නැත.ඔබ ගම්බදට නොයන්නේ නම්,එසේ ගම්වලට යන තුරු,ගොවියෙකුගේ ගෙදරකට ඇතුලු වන තුරු,පාවහන් රහිත සාගින්නෙන් පෙලෙන රෝගී තත්වයන්ගෙන් බැට කන කියවිමට හෝ ලිවීමට නොහැකි දරුවන් ඔබ දකින තුරු ඔබ මෙය කවදාවත් වටහා නොගනු ඇත.මේ සියල්ල එසේ තිබියදීත්,අපගේ ගොවීන්ගේ හදවත් කෙතරම් කරුනාභරිතද යන්න දුටුවහොත් ඔබ විස්මයට පත්වනු ඇත.ඔබ මේවා අත්දකින්නේ නම්,අප මේ ගනිමින් සිටිනා ක්‍රියාමාර්ග නිරපේක්ෂ වශයෙන් යුක්ති සහගත බවත්,රටේ යහපත සදහා අවශ්‍ය ඒවා බවත් ඔබට ඒත්තු යනු ඇත.

මෙම ක්‍රියාමාර්ගයන්ගෙන් අපේක්ෂා කරන්නේ අප වගකිව යුතු නැති,නමුත් අප මත පතිත වී තිබෙන වර්තමාන තත්වය මුලිනුපුටා දැමීමයි.

ගොවිජන නීතිය සැලකිය යුතු ප්‍රමානයකින් නොවුනත්,පුද්ගලයන් යම් ප්‍රමානයක් කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි වූවත්,එම පුද්ගලයන්ටද එය සම්පූර්න අහිතකර තත්වයක් නොවන්නේ සෑහීමකට පත්විය හැකි ඉඩම් ප්‍රමානයක් තබා ගැනීමට ඔවුන් ඉඩ ලබන නිසා සහ ඔවුන්ගේ ජීවන තත්වය කෙරෙහි බැරෑරුම් තර්ජනයක් ඉන් මතු නොවන නිසාය.නමුත් ඒ අතරේ දුගී පවුල් දහස් ගනනකට මෙම ක්‍රියාමාර්ගයේ  ප්‍රතිලාභ විශාල වශයෙන් හිමිවනු ඇත.අඩුම තරමින් පවුල් ලක්ෂ දෙකකට මෙම ක්‍රියාමාර්ගයන්ගේ වාසි හිමිවනු ඇති බවට ගනන් බැලිය හැක.

මට අද කිව හැක්කේ මෙයයි.ගොවිජන නීතිය සම්පූර්නයෙන්ම බලාත්මක කල විටෙක කියුබානුවන් මිලියන දෙකක ආදායම ඉහල යනු ඇති අතර ඔවුන් දේශීය වෙලදපොලේ මිලදී ගන්නන් බවට ඉන් පත්වනු ඇත.මෙය අපගේ කාර්මික සංවර්ධනයේ පදනම බවට පත්කරගැනීමට අප අපේක්ෂා කරමු.මේ හරහා අප බලාපොරොත්තු වන්නේ කියුබාවේ ආර්ථික අර්බුදය ජයගැනීමයි.අනෙත් අතට බෙදා හැරීමට ලක්වීමට නියමිත ඉඩම් අයත් ඉඩම් හිමියන් මෙහිදී කොල්ලකෑමකට ලක් නොවේ.ඔවුන් සාධාරන වන්දි සදහා හිමිකම් ලබනු ඇත.වාර්ෂිකව 4.5% ක පොලියක් ලැබෙන වසර විස්සක් තුල ගෙවිය හැකි රජයේ බැදුම්කර හරහා ඔවුන් වන්දි ලබනු ඇත.

මෙම නීතිය නිසා මෙතරම් විශාල වෙනස්කමක් සදහා මුල පුරන පලමු ලතින් අමෙරිකානු රට වීමේ ගෞරවය කියුබාව වෙත හිමි වේ.

මෙම අලුත් තත්වයන් වෙත හැඩ ගැසීම තමන්ගේ වගකීම බව විශාල ඉඩම් හිමියන් මෙහිදී තේරුම් ගත යුතුය.සීමා කරන ලද ඉඩම් අයිතිය තුල වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට මේ අනුව ඔවුන් ක්‍රියාකල යුතුයි.තාක්ෂනිකව,ආර්ථිකව කාර්යක්ෂම අන්දමින් ඔවුන්ට ක්‍රියාකිරීමට සිදු වනු ඇති අතර තමන්ට හිමිව තිබෙන ඉඩම් ප්‍රමානයෙන් එවිට උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත.මෙම ක්‍රියාමාර්ගය යුක්ති සහගත වන්නේ කිසිදු කියුබානුවෙක් සාගින්නෙන් පෙලීම සිදු නොවිය යුතු නිසාය.මිනිසුන් බඩගින්නෙන් පෙලෙද්දී රටේ වගා නොකල ඉඩම් ඔහේ පැවතීමට ඉඩ හැරීම මහත් පාඩුවකි.අපරාධයකි.ඒ නිසා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ දේශයේ යහපත උදෙසා බව තේරුම් ගැනීමට කියුබානුවෙකු ලෙස සිතන කිසිවෙකුට,දේශප්‍රේමියෙකු ලෙස සිතන කිසිවෙකුට බැරි විය නොහැක.

ඕනෑම කෙනෙක්ට තමන් කැමති ඉඩම් කැබැල්ලක් කැමති ආකාරයකට අල්ලා ගත හැකි බවවත්,තමා කැමති පරිදි ඉඩම් බෙදාහැරීමට ඕනෑම අයෙක්ට ඉඩ ලැබෙන බවවත් ගොවිජන නීතියෙන් කිසිසේත් අදහස් නොවේ.මෙම නීතිය කිසිවිටෙකත් අරාජකත්වය අපේක්ෂා නොකරයි.අන් කිසි දිනෙකටත් වඩා,දැන් අප දැඩි විනයක් සහිතව ක්‍රියා කල යුතුව තිබේ.ගොවිජන ප්‍රතිසංස්කරන සදහා වූ ජාතික ආයතනයේ අධිකාරිය නොසලකා ක්‍රියාකිරීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේ.අවසර නැතිව දැනටමත් ඉඩම් ගෙන තිබෙන යමෙක් වේ නම් ඔහුට ඒවා භාර දීමට සිදුවනු ඇත.අප මෙම අනතුරු හැගවීම කරන්නේ අපගේ ගොවීන් වැරදි කරනු දැකීමට අප බලාපොරොත්තු නොවන නිසාය.

ගොවිජන ප්‍රතිසංස්කරන නීතියේ ප්‍රතිලාභ අප රටේ ඉතාම දුෂ්කරම ප්‍රදේශයටත් ලගා වනු ඇත.ඒ පිලිබද වැඩි දුර කතා කිරීම අවශ්‍ය නොවේ.මන්ද මෙම නීතිය ක්‍රියාත්මක වීම ඇරඹුනු විට එය විසින්ම කතා කිරීම අරඹනු ඇති හෙයිනි.එය ඉදිරි දින වලදී බොහෝ සංවාදයන් සදහා මාවත විවර කර දෙනු ඇත.සෑම කියුබානුවෙක්ම මෙය විශාල වශයෙන් ප්‍රතිලාභ සහගත සාධාරන පියවරක් ලෙස වටහා ගනු ඇතැයි අප අපේක්ෂා කරමු."

Thursday, March 10, 2011

වර්ගවාදයේ සංස්කෘතික දුගීබව සහ හැකර්වරු


කලු ජූලිය - රාලලාගේ හා අප්පුලාගේ ආනන්දනීය ෆැන්ටසිය
දර්ශනය - 154 කිරිබත්ගොඩ-අගුලාන බස් රථය 
උදෑසන/ පිටත

බස් රිය ජනයාගෙන් පිරී ඉතිරී ගිය එකක්.මිනිස්සු ඉද ගැනීමට ඉඩක් නැතිව එකිනෙකා මත හැපෙමින් තෙරපෙමින් ඉන්නවා.තෙරපෙමින් ඉන්නා මිනිසුන් අතර හිටගෙන සිටින තරුන කාන්තාවකගේ සමීප රූපයක් වෙත කැමරාව ඡේදනය වෙනවා.

කාන්තාව කලබලයෙන් වටපිට බලමිනුයි සිටින්නේ.ඇගේ මුහුනෙහි අපහසුතාවයකින් පෙලීමේ ලකුනු දිස් වෙනවා.ඇය අසීරුතාවයෙන් යුතුව එහෙ මෙහෙ වෙනවා.ඉක්බිති ඇය පසුපස සිටිමින් ඇය වෙත නැඹුරු වී සිටින පිරිමියා වෙත කැමරාව චලනය වෙනවා.

ගන උඩු රැවුලක් සහිත පිරිමියාගේ මුවග සිනහවක්.ආස්වාදජනක සිනාව මුවග රදවා ගනිමින් හෙතෙම දිගින් දිගටම ගැහැනියගේ සිරුර පසුපස ඇතිල්ලෙනවා.

ගැහැනිය - ( අසල සිටින තරමක මැදිවියේ ස්ත්‍රියක් දෙස බලා කැඩුනු සිංහලෙන්) "අක්කා....උදවුවක් කරනවද?"

මැදිවියේ ස්ත්‍රිය ඇය දෙස බලනවා.

ගැහැනිය -(මැදිවියේ ස්ත්‍රියට)  "පොඩ්ඩකට...එහා‍ට වෙන්න පුලුවන්ද?"

මැදිවියේ ස්ත්‍රිය මදක් පසෙකට වනවා.ඒ සමග තමා පසුපසින් සිටින පුද්ගලයාගේ ග්‍රහනයෙන් ගැලවෙනු පිනිස තරුන කාන්තාව මදක් එහාට වෙනවා.ඇය එහාට වනවාත් සමග පුරුෂයාත් ඇය සමග ඇතිල්ලෙමින් ඇදී ඒමට ඒමට වැර දරන ආකාරය දකින්න පුලුවන්.දාඩිය නැගුනු,අසීරුතාවයට හා අඩක් බයට පත්වූ කලු ශීර්ෂාවරනයක් සහිත තරුන ගැහැනියගේ මුහුනේ සමීප දර්ශනයක් හසුකර ගනිමින් කැමරාව නතර වෙනවා.

***

සිංහල පිරිමියෙකු විසින් මුස්ලිම් තරුන ගැහැනියකට ජැක් ගැසීමක් පිලිබදව ලියුම්කරු මීට දින කිහිපයකට පෙර අගනගරයේ බස් රථයකදී අත්දුටු සත්‍ය සිදුවීමක් මේ ලිපිය සදහා වටිනා ප්‍රවේශයක් යැයි ලියුම්කරු කල්පනා කරනවා.සිංහල බ්ලොග් අවකාශය ඇසුරු කරන්නන්ට විවිධ කාලවල් වලදී විවිධ රැලි එම අවකාශය තුලට පැමිනෙනු දැකීම අරුමයක් නෙමෙයි.බෞද්ධ සහ ඉස්ලාම් ආගම් වල සුජාතභාවය ප්‍රශ්න කිරීම පිලිබදව මතු වූ ආගමිකවාදී රැල්ල පසුගිය කාලයේ පැන නැගි මෙවැනි එක් ප්‍රවනතාවයක්.

මේ අනුව ඉස්ලාම් ආගමේ "හෙලුව" හෙලිදරවු කිරීම සදහා පෙරමුනේ රාලගේ අටුවාව යන හිසින් බ්ලොග් අඩවියක් ආරම්භ වූ අතර කුරානයේ විවිධ පාඨ විවේචනය කිරීමේ සිට නබිනායක තුමාගේ විහිලු රූප සෑදීමේ තරග පැවැත්වීම දක්වා විවිධ ක්‍රියාකාරකම් එහි අන්තර්ගත වුනා.ඉස්ලාම් ආගමිකයන් වනාහි ත්‍රස්තවාදීන් පිරිසකි යන අදහස මෙම අඩවිය හරහා ප්‍රවර්ධනය කෙරුනා.එම ආගමික ත්‍රස්තවාදීන් සමූලඝාතනය කිරීම සදහා "කලු ජූලි" නිර්මානය කිරීමට ක්‍රියා කල යුතු යැයි පාරම් බාන තැනට මේවායේ අදහස් දැක්වූවන් ගමන්  කලා.සමස්තයක් විදිහට මෙම අදහස් වල පැවතුනේ හම්බයන් හා කොනකපාලයන් යනාදී වචන සහිත ද්වේශ සහගත බැන අඩ ගැසීමේ අඩංගුවක්.

මීට ප්‍රතිචාර ලෙස ඉස්ලාමීය ප්‍රතිචාර ලෙස හැදින්විය හැකි ප්‍රතිචාර කිහිපයකුත් දැක ගැනීමට අවස්ථාව ලැබුනා.බුදුන්ගේ මව ගනිකාවක් යනාදී මහා "සොයාගැනීම්" සහිත කුනු රසය එවැනි බ්ලොග් වලත් අන්තර්ගතය විදිහට පැවතුනා.සිංහල භාෂිත මුස්ලිම් ජනගහනය යනු සමස්ථ මුස්ලිම් ජනගහනයෙන් සුලු ප්‍රතිශතයක් නිසා සිංහල බ්ලොග් අවකාශය තුල සිංහල/ඉස්ලාම් අඩවි සදහා වැඩි නැඹුරුවක් නොතිබීම තේරුම් ගත හැක්කක්.පෙරමුනේ රාල වර්ගයේ ප්‍රකාශන වලට රිටර්නයන් සැපයීම සදහා සම්පාදනය වූ ඉස්ලාමීය සිංහල බ්ලොග් සුලු ප්‍රමානය කෙසේ වෙතත් ඉහත කී විදිහේම ජුගුප්සාජනක ප්‍රකාශයන්ගෙන් පිරී තිබුනා.

එකිනෙකට හාත්පසින් ප්‍රතිවිරෝධී යැයි පෙනෙන වර්ගවාදයන්ගේ ලක්ෂනය නම් මේවා මතුපිටින් බැලූවිට එකිනෙකට සතුරු යැයි පෙනෙන්නට තිබුනත් සැබැවින්ම එක වර්ගවාදයක් විසින් අනෙක පෝෂනය කිරීමේ ස්වභාවයක් පැවතීම.නිදසුනක් ලෙස ලංකාවේ ඉතිහාසය පිලිබද සිංහලවාදී දෘෂ්ටියකින් කියවන අයෙක්ට දෙමලාට එරෙහිව නැගිය හැකි අරන්තලාවේ භික්ෂු ඝාතනය,පිටකොටුවේ බස් බෝම්බ,මායිම් ගම්මාන වල සමූලඝාතනයන් වැනි චෝදනා ලැයිස්තුවක් තිබෙනවා.අනෙත් අතට ඉතිහාසය දෙමලවාදී දෘෂ්ටියකින් කියවන්නාට ඊටම අදාලව නැගිය හැකි කලු ජූලිය,මානව හිමිකම් පාගා දැමීම්,හමුදා විසින් නිරායුද සිවිල් වැසියන් මරා දැමීම වැනි චෝදනා ලැයිස්තුවක් ලියා ගන්න පුලුවන්.මේ දෙපාර්ශවයම අමතක කරන කාරනය නම් ඉහත සිදුවීම් එකිනෙකෙන් වියුක්ත ඒවා නොව එකිනෙක සමග ගැටගැසී තිබෙන අන්තර් සබදතාවයක් සහිත සිදුවීම් බව.එනම් යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිදුවීම අමතක කරලා 1983 හමුදා සෙබලු 13 දෙනෙකු ඝාතනය වීම ගැන කතාකිරීම අතාර්කිකයි.කලු ජූලිය අමතක කරල පිටකොටුවේ බෝම්බය පිලිබද කතා කිරීමත්,මායිම් ගම්මාන වල සිංහලයන් ඝාතනය කිරීම අමතක කරලා උතුරේ මානව හිමිකම් උල්ලංඝන වීම පිලිබද කතා කිරීමත් එලෙසින්ම අතාර්කිකයි.

සරලවම කිවහොත් පෙරමුනේ රාල හා ශ්‍රී සංඝබෝධි එකම කාසියේ දෙපැත්තයි.එකෙකු පවතින්නේ අනෙකා නිසා.එකෙකුගේ හඩු ප්‍රකාශ අනෙකාටත් එවැනිම හඩු ප්‍රකාශ කිරීමටත්,ඒවා සාධාරනීකරනය කිරීමටත් අවකාශය සපයනවා.අවසානයේ මෙවැනි හඩු සංවාදයන් අනන්තය දක්වා දිග්ගැස්සෙන,අමිහිරි හා අප්‍රසන්න ක්‍රියාවලියක් බවට පත්වෙනවා.

සිංහල බෞද්ධත්වය ගැන යමෙක් අවංකව කම්පා වන්නේ නම් ඔහු විසින් කල යුත්තේ කුමක්ද?මෙම ලියුම්කරුට අනුව බෞද්ධ දර්ශනයේ ආචාර ධර්ම හෝ වටිනාකම් පිලිබද සංවාදයක් සමාජගත කරනවා නම්/සමාජගත කිරීමට උත්සාහ ගන්නවා නම් එය ඒ සම්බන්ධ අව්‍යාජ ප්‍රවේශයක් ලෙස සැලකිය හැකියි.නමුත් ඒ වෙනුවට සිංහල බෞද්ධත්වයේ නාමයෙන් සිදුවෙමින් තිබෙන්නේ සෙසු ආගමිකයන් කැති ගා දැමීම සදහා කෙරෙන ලුම්පන් ගර්ජනාවන්.මෙම ලුම්පන් ගර්ජනා සැබෑ බුදුදහමේ මූලික අදහස් සමග කිසිදු තර්කයකින් ගැලපිය නොහැකියි.අප ජීවත් වන්නේ ඩෙනිම් කලිසමින් සිරුරේ හැඩය මතුවෙන ආකාරයට හදින  ගැහැනුන්ගේ සිට ෆර්දාවෙන් සැරසී සිටින මුස්ලිම් ගැහැනිය දක්වා ඕනෑම ස්ත්‍රී ශරීරයකට ජැක් ගැසීමට බලා සිටින වර්ගයේ විකෘති මිනිසුන් බිහිව තිබෙන සමාජයක.බස් රථවල් වල ගැහැනුන්ට ජැක් ගසන්නේ වෙනත් අන් තැනෙක සංස්කෘතියේ වටිනාකම ගැන පාරම් බාන සිංහල බෞද්ධයාමයි.තමන්ගේම ප්‍රජාවේ පවතින මේ දෙබිඩිකම වැනි දුර් ලක්ෂන ප්‍රශ්න කිරීම සදහා බෞද්ධ දර්ශනයේම එන ආචාර ධර්ම පිලිබද කතිකාව යොදාගන්නවා නම් මුස්ලිමුන් කැති ගෑම සදහා කෙරෙන දහසක් ලිපි වලට වඩා එය පිරිසිදු හා ඉදිරිගාමී ක්‍රියාවක් වනු ඇති.

මෙම කරුන එලෙසින්ම සුලු ආගමික අන්තවාදීන්ටත් අදාල වෙනවා.බුදුන්ගේ මව ගනිකාවක්ද නැද්ද යන්න ගැන කම්පා වනවාට වඩා තමන්ගේම ප්‍රජාව තුල ගුහාගත කොට තිබෙන වෙනත් මවුවරුන් ඇතුලු ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් පිලිබද සංවාදයක් පාදා ගත හැකි නම් එවැන්නක් එම ප්‍රජාවේ මෙන්ම පොදු සමාජයේත් වර්ධනයට උදවුවක් කරගත හැකියි.

නමුත් ධනේශ්වර කවන්ධයක් සහ අර්ධ වැඩවසම් ඔලුවක් සහිත මෙබදු හඩු වර්ගවාදීන්ගෙන් එවැනි බුද්ධිමය මැදිහත්වීමක් අපේක්ෂා කල නොහැකියි.එවැන්නවුන්ගෙන් බ්ලොග් අවකාශය තුලදී පවා අපේක්ෂා කල හැක්කේ දුගද හමන මඩ ගසා ගැනීම් සහ බ්ලොග් අඩවි හැක් කිරීම් වැනි තුට්ටු දෙකේ ක්‍රියාවන් පමනයි.

මෙම සටහන සදහා ආසන්නතම හේතුව සපයනු ලැබුවේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය හැක් වීම පිලිබද ප්‍රවෘත්තියයි.එම හැක් වීම බ්ලොග් අවකාශයේ ආගමික අන්තවාදීන්ගේ සංස්කෘතික දිලිදුකම නැමැති සන්දර්භය තුල වටහා ගත යුත්තක් බව මෙම ලියුම්කරු විශ්වාස කරනවා.ටැබූ සබ්ජෙක්ට්ස් යනු මෙම ලියුම්කරුට අනුව පර්මාදර්ශී අයිකනයක් නොවෙයි.ඔහුගේ/ඇයගේ භාවිතය සීමාවන් ගනනාවකට යටත් වූ ප්‍රශ්න සහගත භාවිතයක්.
ඒ සියලු සීමාවන් තුල පවා එම බ්ලොග් අඩවිය පසුගිය වසර කිහිපය පුරාම වර්ගවාදය හා ආගමික නන් දෙඩවීම් වලට එරෙහි දෘඩ හා අවිචල ස්ථාවරයක් රදවා ගනු ලැබුවා.කවර සීමාවන් පැවතියත් මෙම දෘඩ ස්ථාවරය සැලකීමේදී ටැබූ සබ්ජෙක්ට්ස්ගේ මධ්‍යම පංතික ධනේශ්වර වන්දනාව පෙරමුනේගේ/සංඝබෝධිගේ අර්ධ වැඩවසම් මනෝවිකාරයන් හා සැසදීමේදී අතිශය ඉදිරිගාමීයි.මෙම සටහනින් අදාල බ්ලොග් අඩවිය සහ පිස්සාගේ පලාමල්ල අඩවිය හැක් කිරීම පිලිබද තදබල අප්‍රසාදය ප්‍රකාශ කෙරෙන අතර තම හීනමානී ෆැන්ටසියට විරුද්ධ සියල්ලන් අවජාතකයන් ලෙස දකින නාසිවාදී ව්‍යාපෘතියට එරෙහි එක්සත්භාවයක් සදහා සියලුම බ්ලොග් සහෘදයන් වෙත ආයාචනා කිරීමක් අවසන් වශයෙන් සිදු කරනු ලබනවා.