Sunday, April 17, 2011

එක්සත් ජාතීන්ගේ කමිටුව හා ජාතිහිතෛශී සැනකෙලිය - 2

2009 මැයි මාසයේ සිවිල් යුද්ධය අවසන් වනවාත් සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ලංකා රජයට එරෙහි යුද අපරාද යෝජනාවක් විවාදයට ගැනුනි.එම විවාදය ලංකා රජය වෙත ජයගෙන දෙමින් අවසන් විය.මෙහිදී එවකට එම කවුන්සිලය තුල ලංකා රජය නියෝජනය කල දයාන් ජයතිලක කොටි සංවිධානයට එරෙහිව රජය කල යුද්ධය හැදින්වූයේ "සාධාරන යුද්ධයක්" (just war) ලෙසය.එබදු යුද්ධයකදී මානව හිමිකම් උල්ලංඝනය වීම සදහා ඉඩක් පවතින බව ජයතිලක පිලිගත්තේය.නමුත් එවැන්නක් දෙස සාධාරන ලෙස බැලිය යුතු බවත්,පශ්චාත් යුද කාලය තුල එකී වැරදීම්ද මගහරවා ගත් විනිවිද පෙනෙන,සියලු ජනවර්ගයන්ට සාධාරනය ඉටු කෙරෙන වැඩපිලිවෙලකට යාමට සිය රජය ඉටා සිටින බවත් එම නිසා තමාට එරෙහි චෝදනා පරාජය කරන ලෙසත් එහිදී කවුන්සිලයෙන් ඉල්ලා සිටින ලදී.රජයේ මෙම ඉල්ලීමට මානව හිමිකම් කවුන්සිලය සාධනීයව ප්‍රතිචාර දැක්වූ අතර එසේ සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට කවුන්සිලයේ බොහෝ රටවල් පෙලඹවූ කරුන වූයේ යුක්තිසහගත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධව රජය විසින් දෙන ලද ප්‍රතිඥාවයි.

2009 මැයි මාසයේ සිට වසර දෙකක් ගිය තැන දැන් අපට ප්‍රශ්න කල හැක - ගෙවුනු කාලය තුල පාලකයන් විසින් සිදුකරන ලද්දේ කුමක්ද?දයාන් ජයතිලක පොරොන්දු වූ ආකාරයේ විනිවිද පෙනෙන සුලු වැඩපිලිවෙලක් මෙරට තුල දියත් වී තිබේද?මෙය අමතක කොට මූන්ගේ වාර්තාව වියුක්තව ගැනිම කිසිසේත්ම තර්කානුකූල නැත.

උතුරේ හමුදා පාලනය වෙනුවට සාමාන්‍ය සිවිල් පාලනයක් ඇතිකිරීමට රජය විසින් ගත් පියවර මොනවාද?සත්‍යය නම් කොටි සංවිධානයේ අධිකාරිය වෙනුවට පූර්න මිලිටර් ඒකාධිපතීත්වයක් උතුරේ පලාතේ මේ වනවිට ස්ථාපනය කොට තිබේ යන්නයි.යුද්ධයෙන් පසුත් යාපන අර්ධද්වීපයේ සෑම පුරවැසියෙක්ම හමුදා රෙජිස්ටරවල අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතු බවට නාසි පන්නයේ වැඩපිලිවෙලක් ක්‍රියාවෙහි යෙදවින.පවුලේ සියලු සාමාජිකයන් දැක්වෙන සමූහ ඡායාරූපයක් සෑම නිවෙසක් ඉදිරියේම එල්ලා තැබිය යුතු බවටත්,ඉන් බැහැර අමුත්තෙකු නිවෙසක නතර වන්නේ නම් ඒ සදහා අසල හමුදා කදවුරින් විශේෂ අවසරයක් ගතයුතු බවටත් නියෝග නිකුත් කෙරින.රජයට හැර අන් කිසිවෙකුට අර්ධද්වීපය තුල දේශපාලනය කිරීමෙහි ඉඩක් නොවීය.පලාත් පාලන මැතිවරනයේදී දෙමල ජාතික සන්ධානයට වවුනියාවේ ගමින් ගමට කැන්වසින් යාමේදී විශේෂ හමුදා අවසර ලබාගැනීමට සිදුවිය.යාපනයේ අතුරුදහන් වූවන් සම්බන්ධව කතාකිරීමට ගිය සුනිල් හදුන්නෙත්ති වැනි සිංහල ජාතික මන්ත්‍රීවරුන්ගේ පවා ඔලු රජය විසින් පලාදමන ලදී.උතුරේ ජනජීවිතය සාමාන්‍යකරනය කරනවා වෙනුවට ඒ මත විශේෂ හමුදා පීඩනයක් දිගින් දිගටම රදවා ගනු ලැබුනි.

අවතැන් වූවන් සම්බන්ධ තත්වය මෙහිලා වැදගත් වන අනෙත් ගැටලුවයි.යුද්ධයෙන් අවතැන් වූ ජනයා යලි පදිංචි කිරීම සදහා සෑහීමට පත්විය හැකි වැඩපිලිවෙලකට රජය අවතීර්න වූවාද?දැයට කිරුල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය වැනි සමයම් වැඩවලට දෙන ලද ප්‍රමුඛත්වයවත් මෙම අතිශය සංවේදී කරුනට හිමි වූවාද?ජාතික වශයෙන් අතිශය වැදගත් මෙම කාර්යයෙන් අනෙත් සියලු ‍දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය ඈත් කරනු ලැබුවා නොවේද?
අත්අඩංගුවට පත්වූ දමිල රැදවියන් සම්බන්ධ තත්වය කුමක්ද?ඔවුන් සම්බන්ධ සාධාරනය ඉටු වූවාද?අවම වශයෙන් අත්අඩංගුවට පත්වූ අයගේ නාමලේඛනයක්වත් රජය විසින් ප්‍රකාශයට පත්කොට තිබේද?.සිය දරුවා මිය ගියේද/අතුරුදහන් වුයේද/අත්අඩංගුවේ සිටීද යන්න ගැනවත් නොදන්නා දහස් ගනන් මවුවරු උතුරේ සිටිති.පාලකයන් මේ සම්බන්ධව ක්‍රියාකොට තිබෙනුයේ මොවුන් වූ කලී මිනිස් ධූවිලි විශේෂයකි යන ආකල්පයෙන් නොවේද?

මානව හිමිකම් කඩවීමක් සම්බන්ධව තවදුරටත් රජයේ ආයතන වලින් පිලිසරන පැතීමේ අවකාශයක් පවතීද?විධායකය විසින් කෙරෙන මානව හිමිකම් කඩකිරීමකදී පුරවැසියන්ට පිලිසරන පැතිය හැකි ආයතනය ලෙස අධිකරනය හැදින්වේ.හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් ක්‍රිශාන්ති කුමාරස්වාමි නම් දමිල තරුනිය දූෂනය කොට මරා දැමුනු අවස්ථාවේ ඒ පිලිබද නඩු අසා තීන්දු නිකුත් කිරීමට තරම් හෝ යම් විනිවිදභාවයක් මෙරට අධිකරන ක්‍රියාවලිය තුල පැවතුනා යැයි කිව හැක.නමුත් අද වනවිට තත්වය කවරක්ද?එම අවම විනිවිදභාවය හෝ සුරැකි තිබේද?අසාධාරන ලෙස සිරගත කලේ යැයි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම විසින් තීන්දු කල නල්ලරත්නම් සිංහරාසාට මෙරට අධිකරනය විසින් ඉටු කල යුක්තිය කුමක්ද?දේශපාලන ගැතිකම මත චන්දන කත්‍රිආරච්චි‍ගේ මිනීමැරුම් පිලිබද අධිචෝදනා ඉවත්කරගන්නා,අබ්දුල් කාදර්ගේ දූෂන චෝදනා ඉවත්කරගන්නා නීතිපතිවරයෙකුගෙන් අපේක්ෂා කල හැකි මානව හිමිකම් සහතිකය කවරක්ද?යුද අධිකරනය වනාහි රටේ පිලිගත් නිල අධිකරන විශේෂයකි යනුවෙන් තීන්දු දීමට තරම් දේශපාලනිකව පක්ෂග්‍රාහී වී ඇති යාන්ත්‍රනයකින් ආරක්ෂා වේ යැයි බලාපොරොත්තු විය හැකි පුරවැසි අයිතියක් තිබේද?

හදිසි නීතිය පිලිබදව දිය හැකි පිලිතුර කවරක්ද?යුද්ධය අවසන්ව වසර දෙකක්ද අවසන් වූ සන්දර්භයක ප්‍රජාතන්ත්‍රවාදී අයීතීන් බරපතල ලෙසින් සීමා කරන හදිසි නීතිය කුමකටද?කාට එරෙහිවද?කා සදහාද?

ඉහත ගැටලු වලට පිලිතුරු දීම මග හැර හුදෙක් මූන්ගේ ජාත්‍යන්තර දෙබිඩිභාවය මත එල්ලීම අර්ථ විරහිත ක්‍රියාවකි.වර්තමාන දේශපාලන තත්වය ඇති වී තිබෙන්නේ ඇයිදැයි යමෙක් අවංකව විග්‍රහ කරන්නේ නම් ඔහුට මෙම කරුනු අනිවාර්යයෙන් සැලකීමට සිදුවනු ඇත.

එල්ටීටීඊ සංවිධානය විනාශ වී ගිය පශ්චාත් නන්දිකඩාල් වපසරිය තුල රාජපක්ෂ පවුල් පාලනය සිත් සේ බඩ පිනුම් ගැසුවේය.උතුරු නැගෙනහිර බිස්නස් සදහා කදිම අවකාශයක් විවර විය.නැගෙනහිර සංචාරක වෙරල තීරය ධනවත් ව්‍යාපාරිකයන් සදහා අලෙවි කරන ලදී.
ප්‍රාග්ධන හිමියන් කෙරෙහි පාලකයන් තුල වූ මෙම තක්කඩි ආදරය පොදු ජනයා කෙරෙහි නොවූ අතර උතුර කෙරෙහි වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තියක් දිගින් දිගටම පවත්වා ගන්නා ලදී.උතුර සම්බන්ධව රාජපක්ෂ රජයේ දෙබිඩි ප්‍රතිපත්තියක් වීය යන්න කිසිදු විටෙක ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යය කරුනකි.බෑන් කී මූන්ගේ වාර්තාව ලංකාවේ ස්වෛරීභාවය කෙරෙහි වන ඇගිලිගැසීමක් නම් එම ඇගිලි ගැසීම සදහා ඉඩ,අවකාශය සහ අවස්ථාව සලසා දෙනු ලැබුවේ පාලකයන්ගේ තක්කඩිකම විසිනි.අඩුම තරමින් යුද කාලයට පසු දයාන් ජයතිලක ජිනිවාහිදී ලෝකයා වෙත ඉදිරිපත් කල පොරොන්දු යෝජනාවලිය හෝ ක්‍රියාවට නැංවී නම් මීට වඩා යහපත් තත්වයක් අපේක්ෂා කල හැකිව තිබුනි.අල් ජසීරා බදු අත්‍යන්තයෙන්ම අමෙරිකානු විරෝධී මාධ්‍ය පවා මේ වනවිට සිටිනුයේ මූන්ගේ වාර්තාවට පක්ෂපාතී ස්ථාවරයකය.පුරවැසියන්ගේ අයිතීන් පාගාදමමින් ජාත්‍යන්තර ඇගිලි ගැසීම් සදහා අවකාශය විවර කොට දුන්නේ රාජපක්ෂ රෙජිමයම මිස අන් කවරෙකු හෝ නොවේ.ස්වෛරීභාවය අනතුරේ හෙලනවා යැයි පාලකයන් මූන්ට ඇගිල්ල දිගු කරද්දී ඇගිලි හතරක් ඔවුන් වෙත එල්ල වී තිබේ.එම ඇගිලි හතරේ ශාපයෙන් ගැලවි යාමට ඔවුන්ට කිසිවිටෙක ඉඩක් නැත.එක්සත් ජාතීන්ගේ දෙබිඩිභාවය තරමටම රාජපක්ෂ රෙජිමයේ මෙම දෙබිඩිභාවයද පිලිකුල් සහගතය.අජූවය.

දැන් අපට අවසාන වශයෙන් ප්‍රශ්නය මෙසේ සාරාංශ කල හැක.තමන්ගේ ඉඩම් උදුරාගෙන සමාගම් වෙත බදු දීමට කැසකවන පාලකයා සම්බන්ධව මැයි 01 දා පානම් පත්තුවේ ජනතාව අනුගමනය කල යුතු ප්‍රතිපත්තිය කුමක්ද?අනුකම්පා විරහිතව පලවා හැරීමට නියමිතව සිටින කොලඹ ප්‍රදේශයේ දහස් ගනන් පැල්පත්වාසීන්,මුඩුක්කු වාසීන් ඔහු අරභයා ගත යුතු ප්‍රතිපත්තිය කුමක්ද?වැටුප් වැඩි කිරීමේ ව්‍යාජ පො‍රොන්දුවෙන් ඔහු විසින් රවටනු ලැබූ රජයේ සේවකයා,විශ්ව විද්‍යාල ආචාර්යවරයා ගත යුතු ස්ථාවරය කුමක්ද?සී ප්ලේන් බෑමේ ව්‍යාපාරවලින් අනාථ කොට තිබෙන මීගමු කලපුවේ ධීවරයා මැයි 01 දා ජනාධිපතිවරයා සම්බන්ධව ගත යුතු ආස්ථානය කවරක්ද?ඔහුගේ ඉල්ලීම පිලිගෙන රටම ඔහු සමග බව පෙන්වීමට මූන්ට එරෙහිව පෙලපාලි යා යුතුද?"රාජ්‍යයේ ස්වාධීනත්වය" උදෙසා ස්වකීය පීඩකයා සමග මෙම ජනතාව සෙනෙහසින් එක් විය යුතුද?

දේශප්‍රේමී ගැලරි කතාවනට වඩා මෙම ප්‍රශ්න ගැඹුරුය.බුද්ධිය වෙහෙසන සුලුය.

එක්සත් ජාතීන්ගේ කමිටුව හා ජාතිහිතෛශී සැනකෙලිය - 1

ප්‍රාතිහාර්ය සමය ඇරඹී ඇත.රට වෙනුවෙන් විදුලි පුටුවේ වාඩි වීමට වුව තමා පසුබට නොවන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහත් අභිමානයෙන් යුක්තව ප්‍රකාශ කොට තිබේ.එලඹෙන මැයි දිනය බෑන් කි මූන් විසින් පත් කල කමිටු වාර්තාවට විරෝධය දැක්වීමේ අවස්ථාව කරගන්නා ලෙසත් ඒ අතරේ ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබුනි.ඉරිදා දිවයින පුවත්පත සිය ශීර්ෂපාඨයෙන් නිවේදනය කලේ බෑන් කී මූන්ගේ "කොටි හිතවාදී කමිටුව" "කොටි හිතවාදී" වාර්තාවක් නිකුත් කොට ඇති බවයි.සිය සාමාජික රටක් ආරක්ෂා කරගැනීමට එක්සත් ජාතීන්ට නොහැකි නම් තමාට චීනය හා රුසියාව වෙත හැරීමට සිදුවන බවට ආරක්ෂක ලේකම්වරයා විවෘතව ප්‍රකාශ කොට තිබේ.වැඩි දිනක් ගත නොවීම මූන්ගේ කමිටුවට එරෙහිව වීරවංශ‍ගේ වීදි බැසීමක් බලාපොරොත්තු විය හැක.පඹයන් පුච්චන,ජාත්‍යන්තර කුමන්ත්‍රනය පතුරු ගස්සන,ජාතික ධජ ආවේගශීලීව වනන,දේශප්‍රේමී කැදවීම් හා ශපථ කිරීම් වලින් වැසීගිය ප්‍රාතිහාර්ය සමය නැවත උදාවී ඇත.

බෑන් කී මූන්ගේ කමිටු වාර්තාවේ කොටසක් ප්‍රකාශයට පත්වන මොහොත වනවිට මෙම ලියුම්කරු ලියන්නට සිතාගෙන සිටියේ පානම ගැනය.නැගෙනහිර පලාතේ පානම් පත්තුවේ ඉඩම් රජය විසින් පවරා ගනු ලැබීම සම්බන්ධව පසුගිය කාලය තුල විශාල ආන්දෝලනයක් පැවතුනි.මාධ්‍ය සාකච්ඡාවක් කැදවූ උතුරු නැගෙනහිර සිංහල සංවිධානය ප්‍රකාශ කොට තිබුනේ තමන්ට දැන් එල්ටීටීඊ සංවිධානයේ සහ රජයේ වෙනසක් නොදැනෙන බවය.කොටි සංවිධානය තමන්ගේ ඉඩම් කොල්ලකෑවා මෙන්ම නැගෙනහිර "නිදහස් කරගත්" රජයත් ස්වකීය භූමිය කොල්ලකමින් සිටින බවට මෙම සංවිධානය විසින් චෝදනා කොට තිබුනි.පැල්පත්වාසීන් හා මුඩුක්කු වාසීන් දහස් ගනන් කොලඹ නගරයෙන් පිට මං කොට එම ඉඩම් අත්පත් කරගැනීමටත්,ඒවා විශාල මිල ගනන් වලට ‍දේශීය/විදේශීය සමාගම් වලට විකුනා නගරය "සංවර්ධනය" කිරීමටත් රජය සැලසුම් සකස් කර තිබේ.රජය ආසියාවේ ආශ්චර්යය නාමයෙන් නියුක්තව සිටින්නේ පොදු ජනතාව බැහැර කරන,සමාගම් හා මහා පරිමාන ව්‍යාපාරිකයන්ට සිත්සේ බිස්නස් කරගනිමින් විනෝද වීමට අවකාශය විවර කර දෙන නව ලිබරල් පන්නයේ සංවර්ධන ව්‍යායාමයකය.

මූන්ගේ කමිටු වාර්තාව කරලියට එන්නේ රජයේ මෙම ධනේශ්වර සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ඇදෙමින් තිබෙන පසුබිමකය.රජය එම වාර්තාවට එරෙහිව යුද ප්‍රකාශ කලේ එය ප්‍රසිද්ධියට පත්වීමටත් පෙරය.මෙම වාර්තාව එකදු ජාතික පුවත්පතක ‍හෝ සිංහලයෙන් පලවනු ඇද්දැයි මෙම ලියුම්කරු තුල සැකයක් පවතී.ඒ එසේ පලවුවහොත් එම වාර්තාව "කොටි ඒජන්තයන් විසින් විකෘති කොට සාදන ලද්දකි" යන ජනප්‍රිය ගාමිනී සුමනසේකර සූත්‍රය අර්බුදයට යාමට ඉඩ තිබෙන හෙයිනි.කෙසේ වෙතත් මේ පිලිබද සත්‍යය දැනගැනීමට සෑම පුරවැසියෙකු සතුවම අයිතියක් පවතී.

බැන් කී මූන් වාර්තාවේ මේ වනවිට ප්‍රසිද්ධව තිබෙන කොටස රජය හා කොටි සංවිධානය යන දෙපාර්ශවය වෙත යුද අපරාධ චෝදනා එල්ල කරයි.

මෙමගින්  -

a)ෂෙල් ප්‍රහාර මගින් සිවිල් වැසියන් මරා දැමීම 
b) මානුශික ආධාර සදහා ප්‍රමානවත් ඉඩ ලබා නොදීම 
c)රෝහල් ඇතුලු වෙනත් මානුශිකවාදී ආයතන වෙත ෂෙල් ප්‍රහාර එල්ල කිරීම
d)අවතැන් වූවන් හා අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන් ගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම
e)ජනමාධ්‍ය මර්ධනය වැනි ගැටුම් කලාපයෙන් පිට මානව හිමිකම් කඩකිරීමට ක්‍රියාකිරීම යන ශීර්ෂයන් පහ යටතේ ශ්‍රී ලංකා රජයට චෝදනා ගොනු කර ඇත.

එසේම

a)සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගැනීම 
b) එල්ටිටීඊ පාලන කලාපයෙන් පැන යාමට තැත් කරන සිවිල් වැසියන් මරා දැමීම 
c) සිවිල් වැසියන් ආසන්නයේ සිට ඔවුන් අවදානමට ලක්කරමින් යුද උපාංග භාවිතා කිරීම 
d) ලමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බදවා ගැනීම 
e) බලහත්කාරීව ශ්‍රමය යොදා ගැනීම හා 
f) මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සිවිල් වැසියන් ඝාතනය කිරීම යන ශීර්ෂ හය යටතේ කොටි සංවිධානයට එරෙහිව චෝදනා නගා තිබේ.

සිදුවුනා යැයි කියන මෙම සිදුවීම් සම්බන්ධ අවංක සොයාබැලීමේ උනන්දුවක් රජය වෙතින් පශ්චාත් යුද කාලය තුල පලනොවුනු බව වාර්තාව දක්වයි.ඊට අමතරව අධිකරනය දේශපාලනිකකරනය වීම,නීතිපති ධූරයේ විශ්වසනීයත්වය බිද වැටිම,මාධ්‍ය වල ක්‍රියාකාරිත්වය සීමා කිරීම,රාජ්‍යය විසින් උතුරු ප්‍රදේශයේ ගෙනයන මිලිටරි පන්නයේ පාලනය,මිය ගිය හා අතුරුදහන් වූ අය සම්බන්ධ නිසි වැඩපිලිවෙලක් අනුගමනය වී නොතිබීම,අවතැන් වූවන් සම්බන්ධ ප්‍රශස්ත වැඩසටහනක් දියත් වී නොතිබීම,හදිසි නිතිය හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි මර්ධන නීතිවල ක්‍රියාකාරිත්වය,අත්අඩංගුවට ගත් දමිල රැදවියන් සම්බන්ධ අධිකරන ක්‍රියාදාමයක් නොපැවතීම යනාදී කරුනුද වාර්තාව මගින් අවධානයට ලක්කොට තිබේ.

මානව හිමිකම් චෝදනා සම්බන්ධව බොහෝවිට මතුකෙරෙන ජනප්‍රිය අදහස කෙසේ වුවද මෙහිලා උපුටා දක්වනු වටී.එනම් එක්සත් ජාතින්ගේ සංවිධානයට ලංකාවේ මානව හිමිකම් පිලිබද මෙම විශේෂ රුදාව කුමක් නිසාද යන ප්‍රශ්නයයි.
එක්සත් ජනපදය බටහිර පකිස්ථානයේ ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේත්,ඊශ්‍රායලය ගාසා තීරයේත් බරපතල සංග්‍රාමයන්හි පැටලී සිටිති.කාශ්මීරයේ,චත්තිස්තාර් ප්‍රාන්තයේ ජනඝාතක සංග්‍රාමයන් වලට ඉන්දියාව එලැඹී සිටී.ඒවායේදීත් ෂෙල් වෙඩි අත්හැරෙන අතර මිනිසුන් දහස් ගනනින් මියයති.සිරකදවුරු තුල සිරකරුවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කෙරේ.අධිපතිවාදී රටවල් විසින් සිදු කරන මෙබදු ක්‍රියාවන් කෙරෙහි මුනිවත රකින එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව බදු කුඩා රටවල් වලට අදාලව පමනක් මානව හිමිකම් චෝදනා මතු කිරීම දෙබිඩි හා වංක පිලිවෙතක් නොවේද යන ජනප්‍රිය අදහසට - මෙම ලියුම්කරු සිතන පරිදි වලංගුභාවයක් පවතී.එක්සත් ජනපදයට,ඉන්දියාවට මැදිහත් නොවන එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට,යුගොස්ලාවියාවට,සුඩානයට පමනක් මැදිහත් වන්නේ ඇයි?

නමුත් මෙම ගැටලුව මතු කරන්නන් සිතා මතා හෝ නොදැනුවත්ව මග හරින තීරනාත්මක ප්‍රශ්නයක් පවතී.එනම් එබදු මැදිහත්වීම් සදහා වූ අවකාශය නිර්මානය වන්නේ කෙසේද?එම අවකාශය නිර්මානය කරන්නේ කවුද?යන ප්‍රශ්නයයි.මෙම ප්‍රශ්නය අමතක කොට මේ පිලිබද කරන කවර විග්‍රහයක් වුවත් අසම්පූර්න හා විකෘති විග්‍රහයක් වනු ඇත.

එක්සත් ජාතීන්ගේ  කමිටුව හා ජාතිහිතෛශී  සැනකෙලිය - 2)

Sunday, April 10, 2011

රාජපක්ෂ මුද්‍රාව ක්‍රිකට් මත පතිතවීම / Big Brother is watching you



ක්‍රිකට් ලෝක ශුරතා අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රදානයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ නායක කුමාර් සංගක්කාර -මුලු මහත් ලෝකයා ඉදිරියේ - අතිගරු ජනාධිපතිතුමාට සිය ස්තුතිය පුද කලේය.ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කන්ඩායමේ නායක මහෙන්ද්‍ර සිං දෝනි එදින තරගය නැරඹීමට පැමින සිටි ඉන්දීය ජනාධිපතිවරියට ස්තුතිය ප්‍රකාශ කිරීමක් අමුතුවෙන් සිදු නොකලේය.මෙම වෙනස කුමක් නිසාද?ඉන්දීය ජනාධිපතිවරිය තරගය නැරඹූ දහස් ගනනක් අතුරින් තවත් කෙනෙකු පමනක් යැයි දෝනි සිතුවාද?ඉන්දීය රජය ක්‍රිකට් වෙනුවෙන් කල දේට වඩා වැඩි දෙයක් ලංකා රජය සිදුකර තිබේද?මෙම වෙනස ලංකාවේ ජනාධිපති සිය දේශය තුල සර්වබලධාරී වීමත් ඉන්දීය ජනාධපතිධූරය හුදු නාමික ධූරයක් වීමත් නිසාද?මෙය සංගක්කාරගේ විනීතභාවය හා දෝනිගේ අහංකාරය පිලිබද ගැටලුවක්ද?එසේත් නැතිනම් කශේරුකාවේ ශක්තිය පිලිබද වෙනසක්ද?

ඉහත පැහැදිලි කිරීම් අතුරින් තමා කැමති පිලිතුරක් යටින් ඉරි ඇද ගැනීමට ඕනෑම කෙනෙකුට අවසර තිබුනත් ලංකාව තුල ක්‍රිකට් දේශපාලනිකකරනය වන ප්‍රවනතාවයේ සංකේතයක් ලෙස උක්ත සිදුවීම තේරුම් ගත යුතු යැයි මෙම ලියුම්කරු යෝජනා කරයි.ජෝර්ජ් ඕවල්ගේ “1984” නවකථාව ඕෂිනියාව නැමැති කල්පිත රාජ්‍යයක ජීවිතය තේමා කොට ගෙන රචනා වූවකි.එම රාජ්‍යයේ පාලකයා “බිග් බ්‍රදර්” නම් වුවෙකි.බිග් බ්‍රදර් ඕෂිනියාවේ පරම බලධාරියාය.හෙතෙම ජාතිය අමතා කථාකරද්දී පුරවැසියන් එය අසා සිටිය යුතුය.ටෙලිස්ක්‍රීනය නමින් රජය විසින් නිෂ්පාදනය කල අධිතාක්ෂනික උපකරනයකින් සෑම මිනිසෙකුගේම පෞද්ගලික චර්යාවන් අධීක්ෂනය කෙරේ.බිග් බ්‍රදර් ඔබ දෙස බලා සිටී” යන්න රාජ්‍යයේ සියල්ලන් විසින් මතක තබාගත යුත්තකි.බිග් බ්‍රදර්ට නොදැනෙන ලෙසින් කිසිවක් රාජ්‍යය තුල සිදුකල නොහැක.

විචාරාත්මක බැලුවහොත් වහා අවබෝධ වන කරුන නම් රාජපක්ෂ මුද්‍රාව රහිතව කිසිදු කටයුත්තක් සිදු විය නොහැකි තත්වයක් වෙත ලාංකීය සමාජය ක්‍රමයෙන් ගමන් කරමින් සිටින බවයි.

හුදු ආස්වාදය සපයන විනෝදාංගයක් ලෙස පැවති ක්‍රිකට් ක්‍රීඩාව මත රාජපක්ෂ මුද්‍රාව පතිත වීම මෙය පෙන්වා දෙන අගනා නිදසුනකි.හම්බන්තොට “මහින්ද රාජපක්ෂ” ක්‍රීඩාංගනයේ හයේ හතර පහර වදින විට ප්‍රේක්ෂකාගාරයේ සිට එසවෙන “හය”/”හතර” දැක්වෙන පුවරු පසුපස “තාරුන්‍යයට හෙටක්” නම කොටා තිබේ.හම්බන්තොට ක්‍රීඩාංගනයක් තැනවීමේ මුලු ක්‍රියාවලියම ක්‍රීඩාව සදහා වූ ජාතික මට්ටමේ ව්‍යාපෘතියකට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලික ව්‍යාපෘතියක් වූවා වැන්න.සම්පූර්න ක්‍රියාදාමය රාජපක්ෂ ශ්‍රී නාමය හයිලයිට්කරනය සදහා සිදුවූවා බදුය.ඔබ රගර් ක්‍රීඩාව ප්‍රිය කරන්නෙකු නම් ක්‍රීඩාව රාජපක්ෂකරනය වීමේ ප්‍රවතනාතවය කෙතරම් ගැඹුරුද යන්න ඔබට රහසක් නොවනු ඇත.දේශීය අන්තර් සමාජ රගර් තරගවලදී ජනාධිපතිවරයාගේ පුත්‍රයන් දෙදෙනෙකු නාවික හමුදා පිල නියෝජනය කරයි.එබදු තරගවල රූපවාහිනී විකාශයන්හීදී රූපවාහිනී කැමරා ඇස යෝෂිතගේ හෝ නාමල්ගේ ශ්‍රී දේහයන් වෙතින් ඉවත් වන්නේ එහෙමත් වෙලාවකය.ජනපති පුත්‍රයන් දෙපල,ඔවුන්ගේ කෞශල්‍යය,තරගය නැරඹීමට පැමින සිටින එම ආර්යාව-විස්තර විචාරකයන් ක්‍රීඩාව ගැන කතාකරනවාට වඩා දොඩනුයේ ඒවා පිලිබදවය.තරග වදින ප්‍රතිවාදී පිලක් නැතිවා සේය.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රනතුංග පසුගිය දිනවල මාධ්‍යමය දඩයමක් බවට පත්වීමද මෙකී දේශපාලනිකකරනයේ පැතිකඩක් පෙන්වන්නකි.ඉන්දීය මාධ්‍යයක පැවති සාකච්ඡාවකට සහභාගී වූ රනතුංගගෙන් ලෝක කුසලාන අවසන් මහා තරගය පිලිබද ප්‍රශ්න කෙරුනු විට ලංකාව ජයගන්නවාට තමා හදවතින් කැමති බවත්,නමුත් තරගය කරට කර (Fifty - fifty) එකක් වනු ඇති බවට තමා කල්පනා කරන බවත් හේ පැවසීය.මෙය හුදෙක් ක්‍රිකට් පිලිබද විශේෂඥ දැනුම සහිත අයෙකු කරනු ලබන මත දැක්වීමකි.එම මත දැක්වීමෙහි වරදක්ද නැති බව අවසන් මහා තරගය පැවැත්වුනු දිනයේදී පැහැදිලි විය.

කෙසේ වෙතත් රාජපක්ෂවාදී මාධ්‍යයන්ට මෙම ප්‍රකාශය රනතුංගව ඔසවා පරසක්වල ගැසීමට තරම් ගර්හිත,දේශද්‍රෝහී ප්‍රකාශයක් වූයේය.යම් හෙයකින් මෙම ප්‍රකාශය රනතුංග නොවන - විශ්‍රාම ගිය වෙනත් කවර ක්‍රීඩකයෙකු සිදුකලත් මෙරට මාධ්‍යයන්ට එය ප්‍රශ්නයක් විය නොහැකිව තිබුනි.මෙහිදී තීරනාත්මක වූයේ රනතුංග හුදු හිටපු ක්‍රීඩකයෙකු වීම නොව විපක්ෂ දේශපාලකයෙකු වීමයි.බිග් බ්‍රදර් ඔබ දෙස උකුසු ඇසින් බලා සිටී.එබදු රාජ්‍යයක සිතට එකගව,ස්වාධීනව,ක්‍රිකට් තරගයක් පිලිබද අදහසක්වත් ප්‍රකාශ කල නොහැක.ඔබ සිතිය යුත්තේ බ්‍රිග් බදර් සිතන ආකාරයටය.හඩ ඔබගේය.නමුත් ඉන් නික්මිය යුත්තේ බිග් බ්‍රදර් විසින් අනුමත කල අදහස් පමනි.

ලංකාවේ සිනමාකරුවන් නිර්මාන කල යුත්තේ මහින්ද චින්තනය අනුව බව කලෙකට ඉහතදී නිවේදනය කලේ රැගුම් පාලක මන්ඩලයේ (හිටපු) අධිපති අශෝක සේරසිංහය.රනතුංගලා අදහස් දැක්විය යුත්තේත්,ක්‍රීඩාංගන ඉදිවිය යුත්තේත්,ඒවායේ පුවරු එසවිය යුත්තේත් එම චින්තනය අමතක නොකරය.උන්වහන්සේ සෑම තන්හිම වැඩ සිටී.උන්වහන්සේට කෘතඥතාවය නොදක්වා අනුශූරතාවයක්වත් භාරගැනීමට නොහැකි තරමට - කයින් හා මනසින් - අප උන්වහන්සේගේ ගැත්තෝ වම්හ.

( මෙම ලිපිය 2011/04/10 ඉරිදා ලංකා පුවත්පතේ පලවූවකි )

Sunday, April 3, 2011

ගාමිනී හත්තොටුවේගම ගැන / On Gamini Haththotuwegama


ආචාර්ය හත්තොටුවේගම
ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් ගාමිනී හත්තොටුවේගම අනුස්මරන නාට්‍ය දැක්මක් පසුගිය මාර්තු 27 වෙනිදා සවස බෞද්ධාලෝක මාවතේ සුදර්ශියේදී පැවැත්වුනා.එම උලෙල පිලිබද දැනුම් දෙමින් කොලඹ නගරය පුරා ඇලවුනු පෝස්ටර් දින කිහිපයක් තිස්සේ ප්‍රදර්ශනය වුනා.

අදාල අනුස්මරන නාට්‍ය දැක්ම 27 සන්ධ්‍යා යාමයේදී පැවැත්වුනු අතර රෑ බෝ වන තුරු සැලකිය යුතු පිරිසක් එම අවස්ථාව සමග රැදී සිටියා.හත්තොටුවේගම විවෘත වීදි නාට්‍ය කන්ඩායමේ නාට්‍ය දැක්මකට අමතරව එදින න්‍යාය පත්‍රයේ අවසාන කොටස ලෙස ගාලු නඩය වීදි නාට්‍ය කන්ඩායමේ ඉදිරිපත් කිරිමක්ද දැකගන්නට ලැබුනා.

මේ ඒ ආශ්‍රිත අසංවිධානාත්මක සිතුවිලි සටහනක්.

වීදි නාට්‍ය - ජන කලා සම්ප්‍රදායේ දිගුවක්

ලංකාවට විදි නාට්‍ය කලාව හදුන්වා දුන් පුරෝගාමියා වනුයේ ගාමිනී හත්තොටුවේගම.හෙතෙම පේරාදෙනි සරසවියේ මුල් යුගයට අයත් ඉංග්‍රීසි සාහිත්‍යය පිලිබද කථිකාචාරයවරයෙක්.මුල්කාලීන පේරාදෙනිය යනු - ගුනදාස අමරසේකර සිය නවකථා වලින් හෙලි කරන පරිදි - කුල්ටූර් ඇකඩමියක්.එනම් බ්‍රිතාන්‍ය ජෙනිංසියානු පන්නයේ සම්ප්‍රදායකින් දැඩිව ශික්ෂනය කරන ලද්දක්.හත්තොටුවේගම අයත් වනුයේ සිංහල පමනයි පෙරලියට පෙර - ඉංග්‍රීසි භාෂිත බුද්ධිමය පරම්පරාවට.

වීදි නාට්‍ය යනු කුමන අතින් බැලුවත් සාම්ප්‍රදායික රංග කලා මාධ්‍යයන්ට විකල්ප අත්හදා බැලිමක් බව පැහැදිලියි.සුවපහසු ආසන මතට වී,රංගය සදහා උචිත ලෙස සැකසූ වේදිකාවක නාට්‍ය කෙරෙහි උනන්දු සහෘද සභාවක් ඉදිරියේ මෘදු ලෙස කෙරෙන රංගනයකට වඩා,මහ පාරේ,සමහර විට දැඩි අවු රශ්මිය මධ්‍යයේ,නාට්‍යලෝලී හා ඇතැම් විට නාට්‍ය පිලිබද අබමල් රොනක දැනුමක් නොමැති ජනී ජනයා ගේ එකතුවක් ඉදිරියේ කෙරෙන රංගනයක් - එය සපුරා වෙනස් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ස්වභාවය අතින් වීදි නාට්‍ය හදුන්වා දිය යුත්තේ එක්තරා ආකාරයක නූතන ජන කලා විශේෂයක් ලෙස.

ජනකලාව හා සම්භාව්‍ය කලාව

සම්භාව්‍ය කලාව හා ජනකලාව අතර බෙදුම් ඉරට විශාල අතීතයක් තියෙනවා.අතිරික්ත නිෂ්පාදනයක් නොතිබුනු ප්‍රාථමික සමාජවල සම්භාව්‍ය කලාවක් යනුවෙන් දෙයක් තිබුනේ නැහැ.නමුත් අතිරික්තයක් බිහිකරන තැනට වර්ධනය වෙලා,මිනිස් සමාජ පංතිවලට බෙදුනාට පස්සෙ කලාව,සාහිත්‍යය යනාදිය ගැන ගැඹුරට හැදෑරීමේ මානසික විවේකය ලැබෙන්නේ ප්‍රභූ ජනයාට.ගැඹුරු කලාත්මක ගවේෂනයක් ගැබ්කරගත් සම්භාව්‍ය නිර්මාන මේ අනුව ප්‍රභූ පාංතික සමාජ තලය ඇසුරු කරගෙන බිහිවෙනවා.එවැනි මානසික විවේකයක් රහිත,කායික ශ්‍රමය හෙලීමේ ඉරනමට ලක්කරල තිබුනු පොදු ජනයින් අතර වින්දනය සදහා නිපදවුනු කලාවට ජන කලා යැයි කියනවා.

විය යුතු පරිදිම සම්භාව්‍ය කලාවන් සමග සසදන විට ජනකලාවන් සරලයි.සමුද්‍රඝෝෂ විරිත වගේ කලාත්මක අර්ථයෙන් සුවිශිෂ්ට ප්‍රයෝග ගැන ජනකවියා දැනගෙන හිටියෙ නැහැ.ජනකලාවන් අභ්‍යාස කලේ පොදු සමාජයෙන් වෙන්ව ජීවත් වූ වෙනම කලා විශේෂඥයන් පිරිසක් වෙනුවට පොදුජනයාමයි.තමන්ගේ එදිනෙදා ජීවිතයේදී වින්දනය සදහා පොදුජනයා යොදාගත්ත මෙවැනි ඇතැම් කලා ප්‍රකාශනයන් ඇතැම් අවස්ථාවල ග්‍රාම්‍ය ස්වභාවයක් ඉසිලුවා.රාජසභා තක්සලා අධ්‍යාපනය හරහා කලාව පිලිබද හැදෑරීමක් සහිතව ශික්ෂනය වුනු ප්‍රභූන් අතර සම්භාව්‍ය කලාව ව්‍යවහාර වෙද්දි එවැනි හැදෑරීමකට අවස්ථාව නොලද පොදු සමාජය ජනකලාවෙන් වින්දනයක් ලැබුවා.

වීදි නාට්‍ය කලාව ජන කලාවක් වනුයේ මූලික වශයෙන් ඉන් ආමන්ත්‍රනය කෙ‍රෙන්නේ පොදු ජනතාව වන නිසා.එහි ප්‍රේක්ෂකාගාරය ලයනල් වෙන්ඩ්ට් ශාලාවට නොඑන,නාට්‍ය රංගයේ ගැඹුරු ආස්වාදය නොදත්,එවැනි කලාකෘති පිලිබද ඇසුරක් ශික්ෂනයක් ලැබීමේ අවස්ථාව අහිමි කරනු ලැබූ පොදු සමාජයයි.වීදි නාට්‍ය කලාව හුදු ජන කලාවක් නොවී “නූතන” ජනකලාවක් වෙන්නේ ඇයි?පැරනි ජන කලාවන්ට වෙනස්ව මෙහිදී නාට්‍යය රගදක්වන්නේ ඒ සදහා වෙනමම පුරුදු වූ ශිල්පීන් පිරිසක්.පැරනි සමාජවල නොතිබුනු ශ්‍රම විභජනයක් මෙහිලා පවතිනවා.

ඉංග්‍රීසිය හා හත්තොටුවේගම

මෙම පසුබිම තුල හත්තොටුවේගමගේ විශේෂත්වය - මෙම ලියුම්කරුට අනුව - වීදි නාට්‍ය නම් ජනකලා විශේෂය බහුමානීය එකක් බවට පත්කිරීමයි.සරල ඒකමානීය ජනකලාවක් වෙන්නට ඉඩ නොදි හත්තොටුවේගම හදුන්වා දෙන වීදි නාට්‍ය කලාව මානයන් රාශියක් ගැබ්කරගත්තක්.

හත්තොටුවේගම නාට්‍ය කන්ඩායමේ රංගය ආරම්භ වෙන්නේ අමෙරිකානු ගායක බොබ් ඩිලන් විසින් ගැයූ Blowing in the wind ගීතය සිංහලයෙන් හා දමිල බසින් ඉදිරිපත් කිරීමෙන්.පැරනි සමාජවල කලාව පිලිබද ඉගෙනිම ප්‍රභූ පංතිවල වරප්‍රසාදයක් වුනේ යම් සේද වර්තමාන ලංකාවේ ඉංග්‍රීසිය යනු ඉහල සමාජ පංති වල වරප්‍රසාදයක්.ඉංග්‍රීසි භාෂාවට මේ නිසා එක්තරා ආකාරයක ප්‍රභූ වටිනාකමක් පවතිනවා.පාසල් වල ඉංග්‍රීසි ඉගැන්වීම හුදු විකාරයක්ව තිබෙන පසුබිමක අවවරප්‍රසාදිත පවුල් වල බහුතරයක් අයට ඉංග්‍රීසිය වෙත ප්‍රවේශ වීමට තිබෙන මාර්ග අතිශය සීමිතයි.

මෙහි ප්‍රතිඵලයක් විදිහට ඉංග්‍රීසිය හුදු භාෂාවක් නොවී ප්‍රභූ-නිර්ප්‍රභූ සම්බන්ධතාවය සටහන් කරන මිනුම් දන්ඩක් බවට පත්වෙලා තියෙනවා.ලංකාවේ ඉංග්‍රීසි භාෂිත බොහෝ මධ්‍යම හා ඉහල පංතික මහත්වරුන්ට ඉංග්‍රීසිය යනු තමාව පොදු සමාජයෙන් ඉහලට ඔසවා තබන යාත්‍රාවක්.

ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යය මෙම ප්‍රභූ නිර්ප්‍රභූ වෙනස පෙන්නුම් කරන කදිම කැඩපතක්.පසුගිය දශක කිහිපය තුල ඉංග්‍රීසියෙන් ලියන ලාංකික ලේඛක ලේඛිකාවන් ගනනාවක් බිහිවෙලා තියෙනවා.මේ බොහෝ නිර්මාන අතිශය පාංතික ස්වරූපයක් උසුලනවා.නිදසුනක් විදිහට නිහාල් සිල්වා නම් ලේඛකයා ( සිනමාවට නැගුනු “මේ ඉරහද යට” චිත්‍රපටයට මූලාශ්‍ර වූ Road to elephant pass ඔහුගේ කෘතියක්) විසින් රචිත Ginirella conspiracy නම් නවකථාව තුල අරගලකාරී දේශපාලනයට ලැදි සරසවි ශිෂ්‍යයන් නිරූපනය වෙන්නේ ප්‍රචන්ඩ,කිසිදු ගුනධර්මයක් නොදත්,භීෂනයට හා ‍රුධිරයට උමතු ආශාවක් දක්වන,ඉහල පංතිය කෙරෙහි අඝාත වෛරයකින් පෙලෙන,ගොරහැඩියන් පිරිසක් ලෙසින්.සදැල්ලෙහි සිට බිමට නෙත් යොමන මෙම සරලමතික ප්‍රභූවාදී දැක්ම සිය අදහස් ප්‍රකාශන මාධ්‍යය ලෙස ඉංග්‍රීසිය යොදාගන්නා බොහෝ පිරිස් තුලින් නිරීක්ෂනය කල හැක්කක්.

හත්තොටුවේගම සිය වීදි නාට්‍ය හරහා කරන්නේ ලාංකීය ඉංග්‍රීසියේ මෙම ප්‍රභූවාදී ස්වභාවය අවහෙජිමොනික කිරීමයි.ඉංග්‍රීසි භාෂාව යනු ඉංග්‍රීසි සාහිත්‍යය හා නූතන දැනුම උකහා ගත හැකි ප්‍රබල මාධ්‍යයක්.ඉහල පාංතික වරප්‍රසාදයක් විදිහට පවතින මෙම සංස්කෘතික උරුමය හත්තොටුවේගම වීදියට/මහ පාරට ගෙන එනවා.මෙය ශිතලෙන් පෙලෙන මිහිමතට ප්‍රොමිතියස් විසින් දෙව්ලොවින් ගින්දර සොරාගෙන ඒමට සමාන විප්ලවකාරී ප්‍රවේශයක්.

How many roads must a man walk down ගීතය 60 දශකයේ අමෙරිකාවේ ජනප්‍රිය වුනේ වියට්නාම් යුද්ධයට එරෙහි අර්ථසම්පන්න ගීතයක් ලෙස.සාහිත්‍යමය වශයෙන් ගත්විට මෙහි ගැඹුර අති ප්‍රබලයි.මෙම ගීතය ලංකාවේ මහ පාර මත,පොදු සමාජයේ නලු නිලි පිරිසක් විසින්,පොදු සමාජය නම් ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ සිංහල උච්චාරනය සහිතව ගැයෙන විට,එම ගීතයට පසු වහා එහි සිංහල හා දමිල අනුවාදනයන් ගැයෙන විට එය රැඩිකල් මුලපිරීමක්.බොබ් ඩිලන්,ජෝන් ලෙනන් යනාදීන් නියෝජනය කල පොහොසත් විරෝධාත්මක ගීත සම්ප්‍රදාය ලෝක සංස්කෘතිය වින්දනය කිරීමේ අයිතිය අහිමි කරවනු ලැබූ ලංකාවේ පොදු සමාජයට හදුන්වා දීමක්.

වීදියේ සටන

හත්තොටුවේගම සිය නාට්‍යවලදී පොදු ජනයාගේ අවධානය දිනාගනු වස් සරල හාස්‍යය යොදාගන්නවා.ඊට සමගාමීව ගැඹුරු අර්ථ දනවන අභූතරූපී රංග ක්‍රම යොදාගන්නවා.සියලු දෙනා දන්නා,සියලු දෙනා අසා තිබෙන බයිලා ගීත,සරල ජනප්‍රිය ගීත වෙනත් අර්ථ සහිතව යොදාගන්නා අතරේම බොබ් ඩිලන්,සයිමන් ඇන්ඩ් ගාෆන්කල් වැනි අවරදිග (Woodstock යුගයේ ) දේශපාලන ස්වරූපී ගී ගැයූ පරම්පරාවේ ගීතත් භාවිතා කරනවා.

හත්තොටුවේගම වැදගත් වනුයේ එම අර්ථයෙන්.එනම් ජන කලාව හා විදග්ධ කලාව අතර බෙදුම් ඉර රැඩිකල් ප්‍රතිඅර්ථකථනයකට ලක් කල පුරෝගාමියෙකු වශයෙන්.

පසුගිය 27 දා සවස රංගයක් ඉදිරිපත් කල ගාලු නඩය වීදි නාට්‍ය කන්ඩායම හත්තොටු‍වේගමගෙන් උගත යුතු පාඩම එයයි.නූතන ජනකලාව දේශපාලනික කලාවක් ලෙස භාවිතා කරනවා නම් අවශ්‍ය කෙරෙන්නේ හුදෙක් ජනතාවට සරල වින්දනයක් සැපයීම විතරක් නෙමෙයි. නපුංසක චරිත හරහා සිනහ ඉපදවීම වෙනුවට  (නපුංසකභාවය හාස්‍යයට ලක්කිරීම දේශපාලනිකව කොතරම් නිවැරදිද යන්න වෙනම කතාකල යුත්තක්) විදග්ධ කලාවේ උරුමය ජන කලාව වෙත කැදවනවා නම් - හත්තොටුවේගම විදියේ කල සටන එයයි.