Friday, December 28, 2012

අධිරාජ්‍යවාදීහු සුදු කොටිද?


ලැඹෙන මාර්තුවේදී (2013) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු සැසිවාරයේදී එල්.එල්.ආර්.සී වාර්තාව රජය විසින් නොතකා හැරීම ගැන කරුනු දැක්වීමට දෙමල ජාතික සන්ධානය සූදානමින් සිටී.එම නිල සැසිවාරය ඇමතීමට දේශපාලන පක්ෂ වලට අවස්ථාවක් නොලැබෙන නිසා තමාට වූ අසාධාරනය ගැන එම සභාව දැනුවත් කිරීමට තමන්ට යොදාගත හැකි වෙනත් සියලු ක්‍රමවේද භාවිතා කිරීමට සූදානම් බව ඔවුහු පවසති.

එල්ටීටීඊ සංවිධානය සහ දෙමල ජාතිකවාදය යනු රට බෙදීම සදහා අධිරාජ්‍යවාදී බලවේග විසින් යොදාගන්නා බලල් අන්ඩකි යන්න සිංහල ජාතිකවාදී කතිකාව තුල විශාල අධිකාරියක් දරන ප්‍රවාදයකි.මේ මොහොතේ ලංකාව "බෙදීම" සදහා ගෝලීය ධනවාදි බලවතුන්ගේ පාර්ශවයෙන් දැඩි උවමනාවක් පවතී යැයි සිංහල ජාතිකවාදීහු විශ්වාස කරති.මෙරට පැරනි වමේ ව්‍යාපාරයත් එල්ටීටීඊය හා සිංහල ධනපති ආන්ඩුව අතර යුද්ධයේදී රාජ්‍ය හමුදා සමග එක පෙලට හිටගත් අතර එසේ පෙලගැසීම සාධාරනීකරනය කලේ "රට බෙදීමේ" අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනය පැරදවීමට ධනපති හමුදා සමග වුව එකට ලැගීමේ වරදක් නැති බව පවසමිනි.මේ නිසා මානව හිමිකම් කමිටුව නැවත රැස්වන එලැඹෙන මාර්තුවේ දීත් රට බෙදීම පිලිබද මෙම "න්‍යාය" සිංහල සමාජය තුල රැව්පිලිරැවු දීම අපේක්ෂා කල හැක.

ගෝලීය ධනවාදයට ලංකාව වැනි පරිධියේ පිහිටි රටවල් වැදගත් වන්නේ කෙසේද?එහි ආකාර දෙකකි.ඒ පලමුව සිය කර්මාන්ත සදහා ලාභ ශ්‍රමය ඇතුලු අමුද්‍රව්‍ය සපයා ගැනීමටය.දෙවනුව සිය භාන්ඩ අලෙවි කල හැකි වෙලදපොලක් ලෙසය.ගෝලීය බලවතුන් අප වැනි රටවලට අදාල සිය ස්ථාවරය සකස් කරගන්නේ මූලික වශයෙන් මෙම අරමුනු මතින් ප්‍රේරනය ලබමිනි.මෙකී අරමුනු ඉටු කරගැනීම උදෙසා අප වැනි රටවල සාපේක්ෂ සාමයක් ( කාර්මික සාමය ) පැවතිය යුතුය.බෝම්බ පුපුරන,ෂෙල් වෙඩි වැටෙන පසුබිමක ගෝලීය ප්‍රාග්ධනයට ආරක්ෂාකාරීව පැලපැදියම් විය නොහැක.

මෙරට පැවති වාර්ගික යුද්ධය ගෝලීය ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය කෙරෙහි බාධාවක් වූයේ එම අර්ථයෙනි.මෙම තතු යටතේ ගෝලීය බලවතුන් මුල්කාලීනව එල්ටීටීඊය සහ රජය අතර සාම සන්ධානයක් ඇතිකරමින් කාර්මික සාමය උදා කරගැන්මෙහිලා වෙහෙස වූහ.2002 සටන් විරාම ගිවිසුම එම උත්සාහයේ ප්‍රකාශනයකි.

ඒ මොහොතේ දී සිංහල ජාතිකවාදය ( සහ ජාතිකවාදී වෛරසය ආසාදනය වූ  වම) එකී උත්සාහය කියවා ගත්තේ මෙම බලවතුන් "රට බෙදීමේ" පවිටු උවමනාවෙන් මෙම මැදිහත්වීම් කරනා බවයි. එහෙත් එල්ටීටීඊය අවසානයේ එම සාම ක්‍රියාවලියෙන් ඉවත් වූයේද ජාත්‍යන්තරය තමාට ශ්‍රී ලංකා රජය හා "සම තැන" නොදෙන බවට නෝක්කාඩු නගමිනි.මෙය උත්ප්‍රාසාත්මකය.සිංහල ජාතිකවාදීන් ජාත්‍යන්තර බලවතුන් වෙනම දෙමල රාජ්‍යයක් සදහා මෙරටට මැදිහත් වන බවට පරිකල්පනය කරද්දී දෙමල ජාතිකවාදීන් කල්පනා කලේ සිය අරමුන ඉටු කර දීමේ උවමනාවක් එම බලවතුන්ට නැති බවයි.

දෙමල සුලු ධනේශ්වර සමාජ කොටස් මත පදනම් වූ කේඩරයක් සහිත එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් පිලිබද ජාතිකවාදී ඉල්ලීමෙන් මෙහා ඒමට කිසිවිටෙක සූදානම් නොවීය.නමුත් එල්ටීටීඊයටත් පාලන බලයට හවුල් වීමට ඉඩ ලැබෙන ෆෙඩරල් වර්ගයේ රාජ්‍යමය ප්‍රතිසංස්කරනයකින් එහා යාමට ‍ගෝලීය බලවතුන්ටත් අවශ්‍යතාවයක් තිබුනේ නැත.කුඩා දූපතක පිලිමල් සතුරු රාජ්‍යයන් දෙකක් - එල්ටීටීයේ මෙම ඉදිරිදර්ශනය ගෝලීය බලවතුන්ගේ වෙලද අරමුනු සමග සමපාත වූවක් නොවීය.

සාම සාකච්ඡා බිද වැටී යුද්ධය ආරම්භ වූ කල්හි එල්ටීටීඊය රජයේ හමුදා අතින් සමූලඝාතනය වනවිට නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ගෝලීය බලවතුන් යොමු වූයේ එල්ටීටීඊයේ  අසම්මුතිකාමී චර්යාව තවදුරටත් කලමනාකරනය කල නොහැකි බවට ඔවුන් වටහා ගෙන තිබුනු බැවිනි.සුලු ධනේශ්වර එල්ටීටීඊය මෝඩ ලෙස විශ්වාස කලේ අවසන් මොහොතේ හෝ ගෝලීය බලවතුන් මැදිහත්ව තමන්ව ගලවාගනු ඇති බවයි.එහෙත් එල්ටීටීඊය පනිවුඩ පිට පනිවුඩ යවද්දීත් වන්නියේ දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් මියයද්දීත් රජයට යුද්ධය නතර කරන ලෙස ආඥා නිකුත් කිරීමට ගෝලීය බලවතුන් ඉදිරිපත් වූයේ නැත.

එසේ ඉදිරිපත් නොවූයේ ඇයි? සිංහල ජාතිකවාදීන් අදටත් අමන ලෙස කල්පනා කරන්නේ එවැන්නක් සිදුනොවූයේ මහින්ද රාජපක්ෂගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ඔහුගේ මහානුභාවසම්පන්න පෞරුෂය නිසා බවයි.එහෙත් සැබැවින්ම එල්ටීටීඊය විනාශ වීම වැලැක්වීමේ උවමනාවක් අධිරාජ්‍යවාදයට නොවීය.ඔවුහු  එහි විනාශය නිහඩව අනුමත කලහ.අවම වශයෙන් තම රටවල පැනැවූ එල්ටීටීඊ තහනම ඉවත් කිරීමට හෝ පියවර නොගත්හ.

එල්ටීටීය විනාශ වූ පසු දැන් ගෝලීය ප්‍රාග්ධනය දිවයින තුල බාධා රහිතව ගලායමින් පවතී.දෙමල ප්‍රභූ පංතිය සමග යම් බලය බෙදාගැනීමක් සිදුකරන ලෙසට ගෝලීය බලවතුන්ගේ පාර්ශවයෙන් සිංහල ධනපති ආන්ඩුවට තෙරපීමක් ඇත.එවැන්නක් සිදුනොකලහොත් පවතින ජාතික පීඩනය පුපුරා ගොස් නැවත රටේ කාර්මික සාමය බිද වැටිය හැකි බවට ගනන් බැලීමක් ඔවුන්ට පවතී.මානව හිමිකම් හා බලය බෙදීම යනාදිය පිලිබද තෙරපුම ආන්ඩුවට එනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.දෙමල ප්‍රභූ පංතිය සමග සම්මුතියකට යන ලෙස ගෝලීය බලවතුන් බල කරන්නේ රට බෙදීමේ ඊනියා උවමනාවක් මත නොව රට තුල ගෝලීය ප්‍රාග්ධනයේ ගලායාම කල්පවතින ලෙස තහවුරු කල හැකි එකම මාර්ගය එවැනි ප්‍රතිසංස්කරනයක් බවට ඔවුන් තක්සේරු කර ඇති බැවිනි.ප්‍රාග්ධනයේ චලිතය ගැන අවබෝධය රහිත ජාතිකවාදී අප්‍රබුද්ධයින් සිංහල සංස්කෘතියට රටේ ඇති තැන අහිමි කරන "බටහිරයන්ගේ කුමන්ත්‍රනයක්" ලෙස වටහා ගන්නේ ගෝලීය ධනවාදයේ මෙකී හැසිරීමයි.

Sunday, December 9, 2012

සමාජ ඇපාතයිඩය

ප්‍රාසාද සහ මුඩුක්කු - බ්‍රසීල නගරයක දර්ශනයක් 
කුනු අප්‍රිකානු සුදු පාලකයන් විසින් වර්නභේදවාදී පදනම මත සමාජය පාලනය කල යුගය ඇපාතයිඩ් යුගය ලෙස හැදින්වින.අෆ්‍රිකන්ස් භාෂාව තුල ඇපාතයිඩ් යන්නෙහි අර්ථය වෙන්කිරීම යන්නයි.වර්නභේදවාදී යුගයේ දකුනු අප්‍රිකානු සමාජය ගැඹුරු බෙදීමකට ලක්කොට තිබුනු අතර සියලු ‍"හොද" දේ සුදු ජාතිකයන්ගේ වරප්‍රසාදයක් විය.ස්වභාවික සම්පතින් අනූන එරට ආර්ථිකමය අතින් සමෘද්ධිමත් ආර්ථිකයකට හිමිකම් කීවේය.එම සමෘද්ධියේ සැබෑ ප්‍රතිලාභ භුක්ති වින්දේ සුදු ජාතිකයින්ය.සුදු ජාතිකයින්ගේ දරුවෝ හොදම පාසල්වලට ගියහ.ඔවුහු නගරවල සුන්දර පෙදෙස්වල දිවිගෙවූහ.හොදම සමාජශාලා/රංගශාලා ඔවුන් වෙනුවෙන් පැවතුනි.

අනෙත් අතට ජනගහනයේ බහුතරය වන කලු ජාතිකයෝ දරිද්‍ර අපිරිසිදු විශාල වශයෙන් දුගද හමන ජනාවාස වල ජීවත් වූහ.ඔවුන්ගේ දරුවන් ගියේ පහසුකමින් අඩු දුගී පාසල්/සරසවි වලටය.අපරාධ හා විවිධ අපචාර ඔවුන් අතර බහුලව විය.නගරවල ඇතැම් කලාප "සුද්දන්ට පමනයි " ලෙස නම් කොට කලු ජාතිකයන් ඊට ඇතුලු වීම වලක්වාලීම දක්වා ඇපාතයිඩ් යුගයේ ප්‍රතිපත්තිය දීර්ඝ වූයේය.

ඇපාතයිඩය වාර්ගික භේදයේ ඉතාම අමානුශික ආකාරයක් ලෙස වර්තමානයේ හෙලා දකිනු ලැබෙන අතර ලිබරල්වාදීන් ද එම විරෝධය බෙදා හදා ගනිති.එහෙත් ධනවාදය ලෝක ක්‍රමයක් ලෙස ව්‍යවහාරයට පැමිනි තැන් සිට වෙනත් ආකාරයක ඇපාතයිඩයක් ලෝකය තුල හා ඒ ඒ  සමාජ තුල නිර්මානය වී ඇත. මෙය සමාජ ඇපාතයිඩය ( Social apartheid) නම් වේ.වාර්ගික ඇපාතයිඩය තුල බහුතර කල්ලන් හා සුලුතර සුද්දන් අතර බෙදීම නිර්මානය කොට තිබුනේ වාර්ගිකත්වය මතය.එහෙත් ධනවාදයේ සීඝ්‍ර ව්‍යාප්තිය විසින් ඇති අය හා නැති අය අතර ගැඹුරු බෙදීමක් නිර්මානය කොට ඇති අතර සමාජ ආර්ථික ධූරාවලියේ යමෙක් ස්ථානගත වන ආකාරය මත මෙම බෙදීම පදනම් වී තිබේ.

බ්‍රසීලය වැනි රටවල නගරයන්හි මෙම භේදය ඉතාම කාලකන්නි ආකාරයකින් ප්‍රකාශයට පත්ව තිබේ.නගරයේ  දුගීන් ජීවත් වන ප්‍රදේශ හා ධනවතුන් ජීවත් වන ප්‍රදේශ අතර කම්බි වැටවල් ගසා වෙන් කරන තත්වය දක්වා සාඕ පාවුලෝ බදු නගරවල ධනවත්-දුගී බෙදීම පවතී.කම්බි වැටවල් බදු භෞතික දෘශ්‍යමාන බෙදුම් රේඛා නොපැවතියත් යථාර්ථය තුල ධනවාදී සමාජවල පවතින්නේ සමාජමය ඇපාතයිඩමය තත්වයකි.

එවැනි සමාජ ඉතාම සමෘද්ධිමත්ය.ආර්ථික වර්ධන වේගය දැවැන්තය.හොද පාසල් හොද රෝහල් විනෝද විම සදහා හොද තැන් යනාදිය අපමනය.එහෙත් මේවා සදහා ප්‍රවේශය පුද්ගලයාගේ ක්‍රය ශක්තිය හා ඔහුගේ සමාජ පංතිය අනුව තීන්දු වනු ඇත. ආර්ථිකමය වශයෙන් සවිමත් වරප්‍රසාද ලත් පංතීන්වල ජනයා (මොවුන් ජනගහනයෙන් අති සුලුතරයකි ) ඉහත සියලු පහසුකම් භුක්ති විදීමෙහිලා පොහොසත්ය.අවවරප්‍රසාදිත‍යන් සදහා මෙකී පහසුකම් වෙත ප්‍රවේශය අහිමිය. ධනවාදයේ සුබසාධන යුගය අවසන් වී නව ලිබරල් යුගය මතුපිටට පැමිනීමත් සමග අවවරප්‍රසාදිතයන් හා වරප්‍රසාදිතයන් අතර මෙම පැල්ම තව තවත් උග්‍ර වෙමින් පවතී.

අගනගරය ආශ්‍රිතව පසුගිය කාලය තුල හටගත් වෙනස්කම් විසින් පෙන්නුම කරන්නේ කවරක්ද?කොලඹ නගරයේ දැන් දැන් නව ඉදිකිරීම් ලෙස තට්ටු පනහ හැට සහිත සුපිරි වෙලද සංකීර්න/හෝටල් ආදිය පහල වෙමින් තිබේ.ඊට සමාන්තරව පැල්පත්වාසීන් අනවසර පදිංචිකරුවන් ලෙස ලේබල් කොට නගරයෙන් බැහැරට එලවා දැමෙමින් පවතී.නගරයේ සමෘද්ධිමත් සුන්දර කලාපය දුගීන් හා පැල්පත්වාසීන් ගෙන් තොර වරප්‍රසාද ලත් පංතිවලට අයත් ජනයා සැරිසරන ඔවුන්ට වෙන් වූ කලාපයක් බවට මේ අනුව පත්කෙරෙන අතර දුගීන් ජීවත් විය යුත්තේ එම සමෘද්ධිමත් කලාපයන්ගෙන් බැහැරවය.ධනවතුන්ගේ දරුවන්ට ජාත්‍යන්තර පාසල් හා ලන්ඩන් විභාග පවතී.සාමාන්‍ය පංතික දරුවා පහසුකම් අඩු රජයේ පාසල් වල උගෙන ප්‍රමිතියෙන් බාල විභාගවලට මුහුන දිය යුතුය.වරප්‍රසාදිතයන්ට ඇපලෝ බදු සුඛෝපභෝගී රෝහල් හා ඒවායින් සැපයෙන ඉස්තරම් සෞඛ්‍ය සේවා පවතී.අවවරප්‍රසාදිතයින් රෝහල් ඇදන් හිග පහසුකම් ඌන සේවකයින්ගේ රැවුම් ගෙරවුම් සහිත රජයේ රෝහල් වල සරන යා යුතුය.බ්‍රසීලයේ මෙන් භෞතික වැටවල් නොපැවතිය ද සමාජ ස්ථර අතර බෙදීම බරපතල ලෙස උග්‍රවෙමින් තිබෙන අතර ඔවුන්ගේ ලෝකවල් වෙන් කරමින් දැවැන්ත ප්‍රාකාරයක් පැන නැගී ඇත.

වාර්ගික ඇපාතයිඩය පිලිකුල් කරන ලිබරල්වාදීන් ධනවාදය විසින් නිර්මිත මෙම සමාජමය ඇපාතයිඩය පිලිබද නිහඩය.ඒ පිලිබද කතිකාවත මග හැර යා නොහෙන ලෙස මතුපිටට ගැනීම අද දවසේ සමාජ ව්‍යාපාරයන්ගේ කර්තව්‍යය වන්නේය.


Friday, December 7, 2012

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තුලින් විමුක්තිය ලැබීම

අහිතකර සේවා කොන්දේසි වලට එරෙහිව දකුනු එංගලන්තයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක්
ඉදිරිපස සිදුකෙරෙන විරෝධතා දැක්වීමක් 

මැක් ඩොනල්ඩ්ස් ආයතනය "මැක් සේවර්ස්" නමින් අලුත් ආහාර පැකේජයක් හදුන්වා දී ඇති බව දැනුම් දෙන දැන්වීම් දැන් කොලඹ නගරය පුරා දක්නට ලැබේ.මෙම නව පැකේජය අනුව රුපියල් සියයක පමන මුදලකට ආහාර වට්ටෝරුවක් මිලදී ගත හැක.කලෙකට ඉහත KFC ආයතනයත් මෙවැනිම ක්‍රියාමාර්ගයකට යොමු වූ අතර සාමාන්‍ය පාරිභෝගිකයෙක්ට දැරිය හැකි මිලකට ප්‍රමානයත් ගුනයත් අඩු කරනු ලැබූ ආහාර පැකේජ හදුන්වා දීම හරහා තමා වෙත ඇද ගන්නා පාරිභෝගිකයන් පිරිස ඔවුහු වැඩි කර ගත්හ.

මැක්ඩොනල්ඩ්ස් පන්නයේ අවන්හල් ඒවා මෙරටට හදුන්වා දුන් මුල් කාලයේදී යම් පාංතික අනන්‍යතාවයක් හගවන ආයතන ලෙසය සලකන ලද්දේ.එනම් ඒවායේ ආහාර වල සාපේක්ෂ ඉහල මිල නිසා මෙබදු අවන්හල් ඉහල පංතියේ පරිභෝජනය සදහා පමනක් විවෘත වූ ඒවා ලෙස සලකන ලදී.ඒ නිසා මේවා වෙත යාම පහල පාංතිකයෙකුගේ දෘෂ්ටියෙන් ගත් කල "මාර" අත්දැකීමක් විය.පීසා හට් අවන්හලට සිය පෙම්වතිය සමග ගොස් එහි ඇති අධික මිලැති ආහාර අතරින් සාපේක්ෂව අඩු මිලට මිල දී ගත හැකි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අනුභව කිරීමට පුරුදු ව සිටි මිතුරෙක් මෙම ලියුම්කරු දැන සිටියේය.මෙහිදී ඔවුන් පීසා හට් වෙත යන්නේ ආහාර අවශ්‍යතාව මතම නොව එබදු ස්ථානයකට ගිය විටදී භුක්ති විදිය හැකි "මාර" හැගීම විදගැනීමටය.එය තමුන් පොෂ් වැඩක් කලා යැයි සිතීම තුල දැනෙන හැගීමකි.

අඩු මිලැති ආහාර පැකේජ හදුන්වා දීම මගින් මෙබදු අවන්හල් දැන් දැන් සිය පාරිභෝගික තීරුව ප්‍රසාරනය කර ගනිමින් සිටී.KFC බදු අවන්හලක් වෙත වර්තමානයේ ගිය කල්හි එහි ආහාර පෝලිම්වල බොහෝ විට දක්නට ලැබෙන්නේ සාමාන්‍ය පාංතික ගැහැනුන් හා මිනිසුන්ය.සියොලග දාඩිය පෙරාගෙන බස් රියේ,දුම්රියේ දෛනික ගමන් සිදුකරන මෙම ජනයා එබදු 'පොෂ්' අවන්හල් වෙත ‍ගොස් අඩු මිලැති ආහාර පැකේජයක් මිලදී ගෙන භුක්ති විදිති.අවන්හල් සේවකයෝ  සර් හෝ මැඩම් යනුවෙන් ආමන්ත්‍රනය කොට ඔවුන් පිලිගනිති.

මෙබදු ස්ථානයකට ඇතුලු වන සාමාන්‍ය පංතික මිනිසාගේ මානසිකත්වය තුල ඇතිවෙන පරිවර්තනය මෙහිලා සිත්ගන්නා සුලුය.දෛනික ජීවිතය තුල දහසක් පීඩාවන්ගෙන් හෙම්බවත්ව සිටින්නෙක් වෙත නිල ඇදුමක් හැදගත් අවන්හල් සේවකයෙක් පැමින සර් යැයි ගරුසරු සහිතව ඇමතූ කල්හි ඇතිවන මනෝභාවය කවරක්ද?මීට පෙර ධනවත් අය සදහා පමනක් වෙන් වූ අවන්හලක් වෙත තමා දැන් පැමින සිටිනවා පමනක් නොව එහි සිටින සේවකයින් තමාට සර් කියා ද අමතයි.දැන් දෛනික ජීවිතය තුල පීඩිතයාගේ ජීවන කොන්දේසි අබ මල් රේනුවකින් වෙනස් වී නැත.වැටුප් ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න හා ජීවන අරගලය පිලිබද ප්‍රශ්න සියල්ල එසේමය.එහෙත් එක් මොහොතකට ඔහුත් සර් කෙනෙකි.

මේ අනුව තවදුරටත් තමා පෙලන පීඩක යථාර්තය ජයගැනීම සදහා තමා අවට තිබෙන සමාජ ‍කොන්දේසි සමග පොර බැදීම අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නේ හුදෙක් මැක්ඩොනල්ඩ්ස් බදු අවන්හලකට ගොස් අඩු මිලට තිබෙන ආහාර පැකේජයක් භුක්ති විදිමින් හෝරාවක් දෙකක් ගත කිරීම පමනි.පරිභෝජනය විසින් විමුක්තිය පිලිබද ව්‍යාජ හැගීමක් පීඩිතයා තුල ජනිත කරන අතර පීඩිතයා ඒ හරහා වඩ වඩා පරිභෝජනය වෙතම යොමුවීම පෙරලා සේවය කරන්නේ ඒ ඒ ව්‍යවසායන්ගේම ප්‍රාග්ධනය ඉහල නැංවීම වෙනුවෙනි.

මෙහි ඇති විරුද්ධාභාසය වූ කලී බාහිර සමාජයේ පීඩිතයාට විමුක්තිය පිලිබද මනෝභාවය සපයන මෙබදු ව්‍යවසාය වල අභ්‍යන්තර සේවකයින් ගොදුරු වන පීඩාකාරී මනෝභාවයයි.KFC වැනි ආයතන දැන් වැඩි වැඩියෙන් බදවා ගන්නේ අර්ධකාලීන සේවකයින්ය.බොහෝවිට සරසවි සිසුන් වැනි ආර්ථික අපහසුතා සහිත පිරිස් මේවායේ සේවයට යොමුවෙති.අතිශය වෙහෙසකාරී වැඩ දිනයක් මෙම සේවකයින් මත පැටවෙන අතර ඊට ඔවුන් ලබනුයේ සොච්චම් ගෙවීමකි.අවන්හලට එන (පාරිභෝගික) පීඩිතයාට සර් යැයි අමතන්නේ සිය දෛනික ජීවිතයේ පීඩාවෙන් මිදෙනු වස් සුලු වේතනයකට මෙබදු ආයතන වෙත සේවයට බැදෙන, එම ආයතනය තුලමත් නැවත වටයකින් සූරාකෑමට ගොදුරු වන පීඩිතයෙකි.

එම අභ්‍යන්තර කම්කරුවාගේ විමුක්තිය සදහා ධනවාදය යෝජනා කරන විසදුම කුමක්ද?වෙහෙසකාරී වැඩ දිනය අවසානයේ නිවෙස බලායන අතරතුර ඔහුට ඇවැසි නම් ඒ වාගේම තවත් අවන්හලකට ගොඩවැදිය හැක.එවිට වෙනත් පීඩිතයෙක් පැමින ඔහුට සර් යැයි අමතනු ඇත.


Friday, November 9, 2012

කොල පාට රනිල්ගේ ‍රෝස පාට තොප්පිය

රනිල් සමග තැන්පත් කොලින් පවෙල්
ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මන්ඩලය ඔක්තෝබර් 30 වන දින  "රැඩිකල් වැඩපිලිවෙල" නමින් යෝජනාවලියක්සම්මත කරගෙන තිබේ.එම වැඩසටහන නව ලිබරල්වාදයත් කොටස් වෙලදපොල ධනවාදය නමින් ඔවුන් හදුන්වන දෙයත් මහජන සුබසාධන වියදම් කප්පාදු කිරීමත් හෙලා දකින්නකි.

මේ අනුව දුර්දශාවට පත්වූ  දිලින්දන් වෙත ප්‍රීතියේ පනිවුඩය ගෙන එන නත්තල් පප්පෙක් මෙන් රෝස පැහැති තොප්පියක් පැලැද රනිල් වික්‍රමසිංහ අලුත් සිනහවකින් සැරසී කරලියට පිවිස සිටී.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  පතුරු ගසමින් ඔහු විසින් කල කථාවක් ද පසුගිය සතියේ පුවත්පතක පලව තිබුනේය.

නව ලිබරල්වාදයේ ලාංකීය කර්තෘවරයා වන එජාපයම ඊට එරෙහිව ඇදුම් හැදීමට පටන් ගෙන තිබෙන්නේ ඇයි?මෙය  හුදු අවස්ථාවාදයකට හෝ විහිලුවකට වඩා වැඩි යමක් ලෙසය වටහා ගත යුත්තේ.සිවිල් යුද්ධය අවසාන වීමෙන් පසු රාජපක්ෂ ආන්ඩුව මහා පරිමාන ලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරන දාමයකට දොරටු හැර ඇත.එහි ප්‍රතිඵල දැන් දැන් සමාජය තුල හිස එසවෙමින් තිබේ.අතෙකින් කොලඹ නගරය පුරා සංචාරකයන් හා ධනවතුන්ගේ පරිභොජනය වෙනුවෙන් අති දැවැන්ත හෝටල් ප්‍රාසාද,විනෝද උයන් විදෙස් ප්‍රාග්ධනය යොදවා ඉදිවෙමින් පවතිද්දී අනිත් අතින් ශිෂ්‍යයන්,ධීවරයන්,අධ්‍යාපන වෘත්තිකයින්,නාගරික දිලින්දන් වැනි එකී ප්‍රතිසංස්කරනයන්ගෙන් පීඩාවට ලක්වන බලවේග අසහනයට පත්වෙමින් සිටිති. භූගත ජලය සදහා මිලක් නියම කරමින් පැනවීමට නියමිත නීති ගොවි ජනයා හා පරිසර හිතවාදීන් අලුත් වටයකින් අරගල භූමියට කැදවීමට නියමිතය.

රනිල් සහ බුෂ් - උරහිසෙහි අතලූ සබැදියාව
නව ලිබරල් ධනවාදයේ තාර්කික ප්‍රතිඵල ලෙස මතුවන මෙවැනි අසහනකාරී උද්ගතයන් කලමනාකරනය කරගන්නේ කෙසේද?මෙය අවබෝධ කරගැනීම සදහා අප චන්ද්‍රිකා බන්ඩාරනායකගේ ආන්ඩු සමය නැවත සිහියට කැදවා ගනිමු.නව ලිබරල්වාදයේ පලමු ඉනිම ක්‍රියාවෙහි යෙදවූ දාහත් වසරක එජාප පාලනය අවසන් කරමින් චන්ද්‍රිකා බන්ඩාරනායක බලයට පැමිනියේ "විවෘත ආර්ථිකයට මානුශික මුහුනුවරක් සපයමු" යන සටන් පාඨය ඉදිරියට දමමිනි.එජාපයේ ගජ මිතුරු ධනවාදයට එරෙහිව මානුශික විවෘත ආර්ථිකය.එජාප යුගය තුල පීඩාවට ලක්ව සිටි සමාජ කොටස් පොදු පෙරමුන වෙත බැදවූ ආදර්ශ පාඨය එය විය.

කෙසේ වුවද පොදු පෙරමුන සිය භූමිකාව අවසානයේ කෙලවර කල ආකාරය අපි දනිමු.එජාපය ද පරදා පුද්ගලිකකරන ක්‍රියාදාමය මහා පරිමානයෙන් පෙරමුනට ගත් චන්ද්‍රිකා පාලනය ජල සම්පත,එප්පාවල ෆොස්පේට් නිධිය යනාදී ස්වභාවික සම්පත් වානිජකකරනයට ලක්කිරීම සම්බන්ධ යෝජනා පලමුවරට ගෙන ආ පාලනය ද වූයේය.වාසුදේව වැනි ප්‍රතිසංස්කරනවාදී වම්මු පසුකාලීනව කෙදිරි ගාන්නට වූයේ "චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුන‍ට හැරවූවා" යනාදී වශයෙනි.

ලෝක ධනවාදයේ පරිධියේ පිහිටි ලංකාව වැනි රටවල ධනපති පංතිය ගෝලීය ධනවාදය මත යැපීම උරුම කරගත් පංතියකි.ශක්තිමත් කාර්මික පදනමක් සිය රටවල් තුල නොවීම මත මෙම පංතියෙහි ඉරනම වනුයේ ගෝලීය ධනවාදය සමග සන්ධානගතව ලද හැකි දෙයක් උපයා ගැනීම පමනි.ලෝක ධනවාදය ආර්ථික ලිබරල්කරනය/රෙගුලාසිහරනය පිලිබද තුන්වෙනි ලෝකයට නිර්දේශ නිකුත් කරනුයේ ගෝලීය ප්‍රාග්ධනය සදහා නිදහස් සංචරනයක් ඇවැසි නිසාය.සෝවියට් කදවුර බිදවැටීමෙන් පසු තුන්වන ලෝකයේ රටවල් එකක් නෑර නව ලිබරල්වාදය වෙත ගමන් කිරීම සම්පූර්න වූයේ එම රටවලට පැවැතීමට නම් ගෝලීය ධනවාදයේ කොන්දේසි සමග සම්මුතිගත වීම හැර අන් විකල්පයක් නොමැති හෙයිනි.චන්ද්‍රිකා බන්ඩාරනායක වමට සිග්නල් දමා දකුනට හැරවීමත් ජාතික ආර්ථිකයක් පිලිබද මහින්ද රාජපක්ෂ කල පම්පොරි කථා හිරු දුටු පිනි සේ වියැකී යාමත් සිදුවනුයේ පරිධියේ රටවල ධනපති පංතිය ගෝලීය ධනවාදයට යටත් වීමේ අනිවාර්යය ධර්මතාව ප්‍රකාරව මිස චන්ද්‍රිකාගේ පුද්ගලික චපලකමක් නිසා හෝ රාජපක්ෂගේ මැදමුලන සම්භවයේ වරදක් නිසා නොවේ.

එහෙත් මෙකී නවලිබරල් ප්‍රවාහයන්ට එරෙහිව සමාජය තුලින් පැනනැගෙන විරෝධතා හා දුක්ගැනිවිලි යම් අවකාශයක් තුලට උරා ගත යුතුව පවතී.ක්‍රමය විසින්ම ඒවා උරා ගැනීම සදහා යම් අවකාශයක් සපයන්නේ නැතිනම් ඒවා ක්‍රමයට එරෙහි තත්වයන් දක්වා මෝරා යා හැක.රනිල් වික්‍රමසිංහලා සිටින්නේත් රෝස පාට තොප්පි සහ ඊනියා රැඩිකල් වැඩපිලිවෙලවල් අවශ්‍ය වන්නේත් ඒ වෙනුවෙනි."ගජමිතුරු එජාප ධනවාදයට එරෙහිව මානුශික විවෘත ආර්ථිකය" නමැති සටන්පාඨය වෙනුවට දැන් "කොටස් වෙලදපොල ධනවාදයට එරෙහිව සමාජ වෙලදපොල ආර්ථිකය" නමින් අලුත් මන්තරයක් මැතිරෙමින් තිබේ.පරන තැටියමය.වෙනස් දවටනයකි.

කෙසේවුවද එජාපයට කිව යුත්තේ මේ 2012 මිස 1994 නොවන බවයි.නව ලිබරල් ධනවාදය සාපේක්ෂව ලෝකයට අලුත් එකක් වූ 1994 ට වඩා ලෝකයත් සමාජයත් බොහෝ දුර මේ වනවිට පැමින තිබේ.ලෝකයේ ඇති උග්‍ර දක්ෂිනාංශික පක්ෂ එක්ව අටවා ගත් ලෝක ප්‍රජාතන්ත්‍රිකයින්ගේ සංගමය නැමැති සංවිධානය ලංකාව වෙනුවෙන් නියෝජනය කරන එජාපය රෝස පාට තොප්පියක් පැලද ගැනීම අදිටන් විරහිත ඇතැම් වම්මුන්ට මාර මැජික් එකක් විය හැකි වුවත් එය අප තුල හාස්‍යයකට වඩා වැඩියමක් දල්වන්නේ නැත.



Friday, October 19, 2012

අධ්‍යාපන සටන - අදේශපාලනයෙන් දේශපාලනයට කැදවීම

අධ්‍යාපන පුද්ගලිකකරනයේ තකතීරු සිනහව 

දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කදවුරු 28 දී එලැඹෙන නොවැම්බර් 15 වන දා සිට සරසවි ප්‍රවේශය ලත් සිසුන් සදහා නායක්තව පුහුනු වැඩසටහන පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.කෝටි ගනනක මුදලක් වැයවන මෙම නිස්සාර ව්‍යාපෘතිය ඉහලින් එන අනට මුග්ධ ලෙස අවනතවීම නැමැති මිලිටරි විනය සම්ප්‍රදාය සරසවි විද්‍යාර්ථීන් මත වගා දිගා කිරීමට සැලසුම් කරනු ලැබූවකි.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය රජය සමග පසුගිය 11 වන දින අවබෝධතා සම්මුතියකට එලැඹුනි.එකගතාවය ප්‍රකාරව මෙවැනි නායක්ව පුහුනුවක් පවත්වන්නේ නම් එම පුහුනුවේ ස්වභාවය තීරනය කිරීමේ බලය විශ්ව විද්‍යාල පරිපාලන මන්ඩල වෙත ලබාදිය යුතුය.දැන් එම එකගතාවයට පිවිස සතියක් යාමටත් පෙර අදාල එකගතාව කඩ කරමින් පැරනි ආකාරයටම නායක්තව පුහුනුව පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කොට තිබේ.විශ්ව විද්‍යාලවල ස්වාධීනතාවය හා අධ්‍යාපනයට කෙරනෙ වියදම ගැන රජය ආචාර්යවරුන්ට ලබාදුන් ඉතිරි දියාරු පොරොන්දු ද මෙලෙස  කඩ කෙරෙන ආකාරය ඉදිරියේදී අපට දැකගත හැකි වනු ඇත.

අධ්‍යාපනය සදහා දල ජාතික නිමැවුමින් සියයට හයක් වෙන් කිරීම සදහා රජය එකගතාවයකට නොඑලඹෙන්නේ ඇයි?සරසවි තුලින් නිදහස් අදහස් මතුවීමට ඉඩ නොලැබෙන ආකාරයේ දෘඩ මර්ධනයක් ඒ මත පවත්වා ගැන්මට රජය මේ තරම් උත්සාහ කරන්නේ ඇයි?ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තුලදී මතුකෙරුනු ප්‍රධානම සටන් පාඨ දෙකක් වූයේ සියයට හයේ සටන් පාඨය සහ සරසවි වල ස්වාධීනතාවය පිලිබද තර්කයයි.මෙම සටන්පාඨ සැබැවින්ම දිනාගැනීම සදහා වන ප්‍රායෝගික වැඩපිලිවෙලක් සකසා ගැනීමට නම් ඒවා වර්තමානයේ අහිමි වී තිබෙන්නේ මන්ද යන්නට පිලිතුරු සපයා ගත යුතුය.

රජය අධ්‍යාපනය සදහා රාජ්‍ය වියදම් වැඩිකිරීම සම්බන්ධ එකගතාවයකට කිසිවිටෙක නොඑලඹෙන්නේ එවැන්නක් ඔවුන් විසින් අනුගමනය කරමින් සිටින ආර්ථික දේශපාලන වැඩපිලිවෙල සමග මුලුමනින්ම පරස්පර විරෝධී වන නිසාය.1977 න් පසු ශ්‍රීලනිපය හා එජාපය අතර ඊට පෙර යම් පමනකට හෝ වූ ප්‍රතිපත්තිමය වෙනස දැන් මැකී ගොස් ඇත.මේ නව ලිබරල්වාදය රජකරන යුගයයි.දෙපාර්ශවයම ක්‍රියාවට නගනුයේ එම දක්ෂිනාංශික ආර්ථික දෘෂ්ටියයි.එසේ කිරීමට ඔවුන්ට සිදුව තිබෙන්නේ මේ යුගයේ ගෝලීය ධනවාදයේ කීකරු ගෝලයින් වීම හැර අන් විකල්පයක් ලංකාව වැනි රටවල දුබල ධනපති පාලකයන් සතු නොවන නිසාය.අතිරික්ත ලාභය ඉවකරමින් යන ප්‍රාග්ධනය සදහා අධ්‍යාපනය සෞඛ්‍ය යනාදී ක්ෂේත්‍ර බිලි දී එම සේවා සැපයීමෙන් ඉවත් වීම මේ යුගයේ ගෝලීය ධනවාදය විසින් රාජපක්ෂලාගෙන් වික්‍රමසිංහලාගෙන් මෙන්ම ෆොන්සේකාලාගෙන් ද අපේක්ෂා කරන කර්තව්‍යයයි.සියයට හයේ සටන්පාඨය තමාට කිසිසේත්ම පිලිගත නොහැකි බව එජාපයේ ආර්ථික උපදේශක හර්ෂ ද සිල්වා පසුගිය සතියේ රාවය පුවත්පතට ප්‍රසිද්ධියේ පවසන්නේ ඒ අනුවය.

විශාල වශයෙන් සුබසාධන සපයමින් තිබුනු රටක රාජ්‍ය සුබසාධන මෙලෙස කපා දැමීම සමාජය තුල කැලඹීමක් ඇතිකිරීමට හේතු වන්නේය.සුබසාධක ධනවාදයේ දරුවන් වූ රාජ්‍ය විශ්ව විද්‍යාල නව ලිබරල් ආර්ථික වැඩපිලිවෙල තුල අර්බුදයට යන කල්හි ඒවා තුලින් විවිධ විරෝධතා මතුවිය හැක.ඒ නිසා පාලකයින්ට ස්වකීය සමාජ ආර්ථික ප්‍රතිපත්ති දිගටම පවත්වා ගැනීමට නම් එකී විරෝධතා නිර්දය ලෙස මැඩලීමට සිදුවේ.විශ්ව විද්‍යාල ප්‍රජාවේ නිදහසට ඇනගසනු ලැබූ ජේආර් ජයවර්ධන ගෙනා 1978 විශ්ව විද්‍යාල පනතේ සිට වර්තමාන නායකත්ව පුහුනුව හා වෙනත් මර්ධනකාරී චක්‍රලේඛ දක්වා සියල්ල පැනවෙන්නේ එම අධිකාරීවාදී උවමනාව මතය.

මේ අනුව රාජ්‍ය සරසවි වලට මුදල් වෙන්නොකිරීමත් සරසවි ප්‍රජාවේ නිදහස අහිමි කිරීමත් යනු 77 ට පසු මෙරට උදා වූ නව ආර්ථික යුගයේ පදනම හා සබැදි ප්‍රශ්නයකි.මෙකී ප්‍රශ්න විසදාගැන්ම වෙනුවෙන් යමෙක් අවංක නම් ප්‍රශ්නයේ එම සැබෑ හේතුව තවදුරටත් මග හල නොහේ.අධ්‍යාපනය නිදහස් කරගැන්ම සදහා වන සටන මෙම ආර්ථික යුගය පෙරලා දැමීම පිලිබද සටනින් වෙන්කල නොහැක.අධ්‍යාපන නිදහස පිලිබද අව්‍යාජව සංවේදීව වන සියල්ලෝ මෙම දේශපාලන අවබෝධයෙන් සන්නද්ධ විය යුතු මංසන්ධියකට මේ වනවිට අධ්‍යාපනය සම්බන්ධ අරගලය පිවිස ඇත.

Friday, September 14, 2012

අනගාරික ධර්මපාල සමග අඩ නිරුවත් ගැහැනු



GO (Guys Only) නමැති සගරාව වසර කිහිපයකට පෙර හදුන්වා දෙන ලද්දේ තරුනයන් සදහා වූ ප්‍රකාශනයක් ලෙසිනි.බටහිර රටවල පලවන Men's magazine ආකෘතිය අනුව මෙරට සම්පාදිත පලමු දේශීය සගරාව එය විය.ඉහල ප්‍රමිතියෙන් යුක්ත කඩදාසියෙන් මුද්‍රිත එය අලෙවි කරන ලද්දේද තරමක අධික මිලකටය.සගරාවේ ඉලක්කගත පාඨක පිරිස වූයේ සිංහල කථාකරන මධ්‍යම පංතික යෞවන ප්‍රජාවයි.ඉහල මිලක් ගෙවා KFC අවන්හල් වෙතින් ආහාර මිලදී ගැනීම පොෂ්භාවය නිරූපනය කරන සංඥාවක් වන්නේ යම් සේද මධ්‍යම පංතික නාගරික තරුනයන් ඉහල  මිලකට GO සගරාව මිලට ගැන්මද සලකන්නට වූයේ ස්වකීය පොෂ්භාවය/මොඩ්භාවය පෙන්නුම් කරන විලාසිතාවක් වශයෙනි.

මෙම සගරාවේ කැපීපෙනෙන ලක්ෂනයක් වූයේ තරුනයන් උනන්දුව දක්වන නවීන තාක්ෂනික උපාංග,මෝටර් රථ,රගර් වැනි ක්‍රීඩා පිලිබද විශේෂාංග පලකිරීමට අතිරේකව සෑම කලාපයකම කවරය සැරසීම පිනිස කාන්තා නිරුපිකාවක් යොදාගැනීමය.බොහෝ විට අඩ නිරුවත් ලලනාවක මේ සදහා යොදාගනු ලැබුනි.සංස්කෘතික වශයෙන් ගතානුගතික රටක මෙලෙස අඩ නිරුවත් දේශීය නිරූපිකාවන්ගේ ඡායාරූප විවෘතව යොදාගැනීම මෙම සගරාව තරුනයන් අතර ජනප්‍රිය වීමට බලපෑ වැදගත් හේතුවකි.

GO සගරාවේ 2012 ජූලි කලාපයේ "සිංහලයෝ ජාතිවාදීහුද?බෞද්ධයෝ ආගම්වාදීහුද?"යන හිසින් විශේෂාංග ලිපියක් පලව තිබුනි.එම ලිපිය මෙම ලියුම්කරුගේ අවධානයට හසු වූයේ අදාල සගරාවේ සුවිශේෂී අනන්‍යතාවය තුල සැලකූ කල්හි එය කැපී පෙනෙන්නක් වූ බැවිනි." බොහෝ කලකට පෙර රාවනා යුගය තුල සිංහලයෝ දඩුමොන්රයේ නැගී අහසින් ගියෝය.රාවනා පරපුර සිහල නමින්ද හදුන්වයි.ශුද්ධ අධ්‍යාත්මික සංයමයක් සහිත අති දක්ශ රනකාමීහු එකල සිටියහ" යනුවෙන් රාවනා යුගය පිලිබද වර්නනයකින් ඇරඹෙන එම ලිපිය මගින් අවධාරනය කොට තිබුනේ මෙරට භූමිපුත්‍රයන් වන සිංහලයන්ට දිවයින තුල තිබිය යුතු සුවිශේෂී අයිතිය පිලිබදවය.මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවයට සුලු ජාතීන් තර්ජනයක්ව ඇති ආකාරයත් සිංහල දේශපාලකයින් සිංහල උරුමය වෙනුවෙන් වඩ වඩා පෙනී සිටීමේ අවශ්‍යතාවයත් එමගින් ප්‍රකාශ කොට තිබුනි.එම ලිපිය සැරසීමට අනගාරික ධර්මපාලගේ ඡායාරූපයක් යොදාගෙන තිබුනු අතර ධර්මපාල සිංහලයන්ට සුලු ජාතීන්ගෙන් විය හැකි උපද්‍රව පිලිබද කරනු ලැබූ "අනතුරු හැගවීමක" උපුටනයක් ද ලිපියේ විය.

GO පන්නයේ සගරා නූතන ධනවාදයේ නවීන සංස්කෘතික නිමැවුම්‍ ලෙස සැලකිය හැක.වෙලදපොල විසින් - මොඩ් තරුනයා යනු මෙවැන්නෙකි - යනුවෙන් කතිකාමය ගොඩනැංවීමක් නිර්මානය කොට ඇත.GO වර්ගයේ ප්‍රකාශනයන් එම කතිකාමය සන්දර්භය තුල අර්ථ ගැන්වී ඇත්තේ නවීනභාවයේ සංඥාවන් ලෙසය.නවීන පන්නයේ විද්‍යුත් උපාංගවල විස්තර වල සිට අඩ නිරුවත් විලාසිතා දක්වා සියල්ලට එහි පිටු තුල ඉඩ වෙන් කෙරෙනුයේ මේවා මගින් නවීනත්වය ප්‍රකාශයට පත්වේ යන පදනම මත සිටය.

එබදු සන්දර්භයක නවීන විලාසිතාවෙන් සැරසුනු නලගනන් සමග සගරා පිටු තුල එකට අනගාරික ධර්මපාල ලැගීම අප‍ වටහා ගත යුත්තේ කෙසේද?නවීනත්වයේ ප්‍රකාශනයක් යැයි කියන සගරාවක රාවනා යුගය වැනි දූපත්වාදී ග්‍රාම්‍ය අදහස් වර්න ගැන්වීම පැහැදිලි කල හැක්කේ කෙසේද?විසිවස සියවස මුල දී යටත් විජිත සන්දර්භයක් තුල සිංහල වෙලද ස්ථරවල පැවැත්ම වෙනුවෙන් ධර්මපාල වැනි අය පල කල පසුගාමී ජාතිවාදී අදහස් විසිඑක් වන සියවසේ නූතන ධනවාදයේ වෙලදපොල තර්කනය යටතේ පලකෙරෙන සගරාවල එලෙසම මුද්‍රනය වන්නේ ඇයි?

මේ නූතන ධනවාදය ජාතිවාදය,ආගම්වාදය වැනි පසුගාමී අගතීන් සමග සන්ධානගතව ඇති ආකාරය සම්බන්ධ කදිම නිදර්ශනයකි.වෙලදපොල බලවේග වල දෘෂ්ටියෙන් ගත් කල්හි සමාජයේ පවතින මෙබදු පසුගාමී මනෝභාවයන් යනු ලාභ ලබනු වස් ඉලිප්පිය හැකි මුදල් උලපත් වෙති.ඒ නිසා ඒවා සමග සටන් වදිනු වෙනුවට ධනවාදය විසින් ඒවා මූල්‍යෝත්පාදක මාර්ග බවට පරිවර්තනය කෙරෙනු ලැබේ.ධර්මපාලගේ මුස්ලිම් විරෝධී ග්‍රාම්‍ය වර්ගවාදී අදහස් GO සගරාවේ වර්නවත් පිටු අතර නැවත මුද්‍රනය වන්නේ ඒ අනුවය.පෙනුමින් නවීන විලාසිතා අනුගමනය කලද පසුගාමී මනෝභාවයන්ගෙන් අත් නොමිදුනු සිංහල කථාකරන තරුන ජනයා අතර ධර්මපාල මෙන්ම රාවනා ද කදිමට විකිනිය හැකි බව වෙලද‍පොල දනී.ධනවාදය තව තවත් ව්‍යාප්ත කිරීම මගින් පසුගාමී සමාජ මනෝභාවයන් පරාජය කිරීම පිලිබද සිහින දකින්නවුන් අර්බුදයට යන්නේ වත්මන් ධනවාදය යනු අනගාරික ධර්මපාලත්,රාවන රජුත්,අඩ නිර්වස්ත්‍ර නිරූපිකාවනුත් එක මිටට ගනු ලැබූ සංකලනයක් වන හෙයිනි.

Friday, July 27, 2012

කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්ට මහාචාර්ය නලින් ද සිල්වා අභිමුඛ වීම


විශ්ව විද්‍යාලයිය ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට දිවයිනේ අති බහුතරයක් විශ්ව විද්‍යාල වල කටයුතු නතර වී තිබේ.මෙය මෙරට විශ්ව විද්‍යාල  "මුදා නොගත් කලාප" බවට පත්ව ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිතර පුනරුච්චාරනය කරන ප්‍රකාශය සනාථ කරන නිදර්ශනයක් ලෙස දැක්විය හැක.මෙරට විශ්ව විද්‍යාල එක්තරා ආකාරයකින් ආන්ඩුවේ අන්තනෝමතිකභාවයට එරෙහි විරෝධය පෑමේ කලාපයක් ( zone of resistance) බවට මේ වනවිට පත්ව තිබේ.මිලිටරි පන්න‍යේ නායකත්ව පුහුනු,බිය වැද්දීම්,සිසුන් අත්අඩංගුට ගැනීම් යනාදී ක්‍රමෝපායන් සියල්ල අවසානයේත් ආන්ඩුවට මෙරට  සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය හීලෑ කරගත‍ නොහැකි වී තිබේ.
එබදුම තවත් කුලකයක් ලෙස සරසවි ආචාර්යවරුන්ගේ ක්‍රියාකාරීත්වය මේ වනවිට වර්ධනය වෙමින් තිබේ යැයි යෝජනා කල හැක.

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයේදී මතු කෙරී තිබෙන ඉල්ලීම් වල ස්වභාවය විසින් එය  සාමාන්‍ය වෘත්තිය සමිති සටනකට එහා ගිය වඩා බැරෑරුම් සටනක් බවට පත් කෙරී තිබේ.පොදු අධ්‍යාපනය සදහා කෙරෙන රාජ්‍ය ආයෝජනය ඉදිරි වසර කිහිපය තුල නැංවිය යුතුය යන්න ඔවුන්ගේ මූලික සටන්පාඨයකි.

පොදු අධ්‍යාපනය පිලිබද සටන්පාඨය පවතින අධිපති නව ලිබරල් ආර්ථික සැකැස්මේ සුජාතභාවය ප්‍රශ්න කිරීමේ විභවය සහිත ඉල්ලිමකි.මෙවැනි ඉල්ලීමක් අනුව කටයුතු කිරීමට නම් රජයට සිය ආර්ථික උපාය මාර්ගය සම්පූර්නයෙන්ම කන පිට හැරවීමට සිදුවනු ඇත. පසුගිය දිනෙක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් තවත් නය වාරිකයක් අනුමත කල අතර රජයේ ආර්ථික වැඩපිලිවෙල ගෝලීය ධනවාදය සමග පවත්වා ගන්නා මෙම සන්ධානය මත රැදී පවතී.අධ්‍යාපනය සදහා කරන වැය ඇතුලු රාජ්‍ය සුබසාධන වියදම් අනවශ්‍ය බරක් ලෙස දකින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු ආයතන ඒවා කප්පාදු කිරීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරනය කරයි.ඔවුන් නය අනුමත කරන්නේ එම නිර්දේශ බලාත්මක කරන රාජ්‍යයන්ටය.රජය අනුගමනය කරන ආර්ථික චින්තනයේ තාර්කික ආනුශංගයන් වනුයේ පොදු අධ්‍යාපනයට කෙරෙන වැය කපා දමමින් අධ්‍යාපන පෞද්ගලිකකරනය සදහා වැඩි බරක් තැබීමයි.

අධ්‍යාපන පුද්ගලිකකරනය පිලිබද විවාදයේ දී පුද්ගලිකකරනයට එරෙහි පාර්ශවය නියෝජනය කිරීමට වසර කිහිපයකට පෙර සිටියේ ස්වල්ප බලවේග ප්‍රමානයකි.උදාහරනයක් ලෙස මේ දිනවල නිතර උපුටා දැක්වෙන අධ්‍යාපනය සදහා දල දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කල යුතු බවට වූ සටන්පාඨය වසර කිහිපයකට පෙර දක්නට ලැබුනේ ශිෂ්‍ය සංවිධාන විසින් කෙරෙන ප්‍රකාශනයන් තුල පමනි.එහෙත් දැන් ක්‍රමයෙන් එම සටන්පාඨය සදහා වන පිලිගැනීම වර්ධනය වෙමින් තිබේ.මෙය ඉදිරියටත් වර්ධනය වුවහොත් එබදු සටන්පාඨයක් හුදෙක් කැම්පස් කොල්ලන්ගේ සිතලුවක් ලෙස සමාජය ඉදිරියේ අර්ථනිරූපනය කොට ලිස්සා යාමට රජයට තිබෙන හැකියාව බරපතල ලෙස සීමා වනු ඇත.

පොදු අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන ඕනෑම උද්‍ඝෝෂනයක්,අරගලයක් සමාජ ආර්ථික පදනමක් මත සිදුකෙරෙන අරගලයකි.යුද්ධය පැවති යුගයේ දීත් පසුගිය දිනෙක දඹුල්ලේදීත් අප දුටු ලෙස මහජන පරිකල්පනයන් සහ පෙලගැසීම් මූලික වශයෙන් භ්‍රමනය වනු දක්නට ලැබුනේ වාර්ගික අක්ෂයක් වටාය.සමාජ ආර්ථික පසමිතුරුතා වෙනුවට වාර්ගික පසමිතුරුතා අධිනිශ්චය වීම පාලක ප්‍රභූවේ පැත්තෙන් ගත් කල වාසිදායක තත්වයකි.වාර්ගික අක්ෂය වෙනුවට දේශපාලන කතිකාවත සමාජ ආර්ථික අක්ෂයක් මත වූ බෙදීමකට ලක්කිරීමේ හැකියාව ආචාර්යවරුන්ගේ අරගලය විසින් පෙන්නුම් කරයි.

මේ සම්බන්ධ සිත්ගන්නා සුලු නිදසුනක් පසුගිය දිනෙක රූපවාහිනි විවාදයක දී දැකගන්නට ලැබුනි.එම විවාදයට සහභාගී වූ මහාචාර්ය නලින් ද සිල්වා සෘජුව ප්‍රකාශ කරනු ලැබූයේ මෙවැනි වැඩවර්ජන මගින් පවතින ආන්ඩුව අපහසුතාවයට පත්වන බවත් මේ මොහොතේ ජාතියේ ප්‍රමුඛතාවය ලැබිය යුත්තා රනවිරුවා මිස ‍අධ්‍යාපනය නොවන බවත්ය.නලින් ද සිල්වාට විපක්ෂව එදින හෙල උරුමයේ සාමාජිකයෙක් වන අනුරුද්ධ ප්‍රදීප් වාඩි වී සිටි අතර එහිදී ජාතිකවාදී ප්‍රදීප් ජාතිකවාදී සිල්වාගේ කටුක වාග් ප්‍රහාරයකට ගොදුරු වූයේය.

ඇත්තෙන්ම නලින් ද සිල්වා එහිදී නිවැරදිය.මෙබදු සමාජ ආර්ථික සටනක් පාලක ප්‍රභූවේ පැවැත්ම ආරක්ෂා කර දෙන රනවිරු දෘෂ්ටිවාදය සමග පැහැදිලිවම විසංවාදී වේ.වාර්ගික ජාතිකවාදය නඩත්තු කිරීම සදහා මිලියන ගනනින් යුද වියදම් සම්මත කිරීමට සිදුව තිබෙන සන්දර්භයක් තුල අධ්‍යාපනය සදහා වියදම් වැඩි කරන්නේ කෙසේද?මෙහිදී අනුරුද්ධ ප්‍රදීප්ලාට එක්කෝ රනවිරුවා ( අධිපති සිංහල ජාතිකවාදය)  නැතිනම් අධ්‍යාපනය යන දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවනු ඇත.මලී ටෙලිනාට්‍යයේ නිර්මාල් මහතාට මෙන් ගැමි මලීටත් නාගරික මධුරංගීටත් දෙදෙනාටම පෙම් කිරීම ප්‍රදීප්ලාට දිගටම සිදුකල නොහැක.

දැන් අවශ්‍යව තිබෙනුයේ අධ්‍යාපන අයිතිය පිලිබද අරගලය ආචාර්යවරුන්ගේ සටන නැමැති සීමාවෙන් ඔබ්බට ගිය සමාජ සටනක් බවට පරිවර්තනය කර ගැනීමය.මෙබදු අරගල වටා මහජන පරිකල්පනය පෙලගැසෙන තරමට අවුල් වන්නේ ආන්ඩුව අනුදත් නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයයි.එහිදී ආන්ඩුව අර්බුදයට යන්නේ මෙය කිසිවෙකුගේ දුෂ්ට කුමන්ත්‍රනයක් නිසා නොව ආන්ඩුව යනු එම නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයේ පරම ආරක්ෂකයා වන නිසාය.





Thursday, July 5, 2012

සිරකරුවෝ ද මනුශ්‍යයෝය ( එල්.ටී.ටී.ඊ රැදවියන් හැර )



වුනියාව බන්ධනාගාරය වටලා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය දිනෙක සිදුකල පහරදීමෙහි ප්‍රතිඵලයක් ලෙස නිමලරූබන් නැමැති දෙමල ජාතික සිරකරු මිය ගොස් තිබේ.වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ මෙය බහුතරයක් ජනයා තුල කිසිදු කම්පනයක් ඇති නොකරන සාමාන්‍ය පුවතක් පමනක් වීමටය.සිය සගයන් කිහිප දෙනෙකු අපරාධ විමර්ශන අංශයට රැගෙන යාමට එරෙහිව වවුනියාව සිරකරුවන් විසින් එහි ජේලර්වරුන් කීප දෙනෙකු රදවා ගනිමින් විරෝධතාවයක් දියත් කල අතර පසුව හමුදාව මැදිහත්ව එය මර්ධනය කරනු ලැබීය.විශේෂ කාර්ය බලකායේ මෙම මෙහෙයුම දිනපතා දිවයින පුවත්පත විසින් වාර්තා කර තිබුනේ "වවුනියාව බන්ධනාගාරයේ කොටි සෙල්ලම් මැඩලයි" යන හිසිනි.විමල් වීරවංශ ඇමතිවරයාට සම්බන්ධ වෙබ් අඩවියක් එය වාර්තා කරන්නට යොදාගත්තේ " ප්‍රාන ඇපකරුවන් මුදාගෙන කොටි චන්ඩිත් කුදලාගෙන එයි" යන ශීර්ෂයයි.

මෙහෙයුමට පසු දින විශේෂ කාර්ය බලකාය එහි විඩියෝ දර්ශන රූපවාහිනී ආයතනවලට මුදා හැරියේය.සියලුම මාධ්‍ය ආයතන තමන්ගේ ප්‍රවෘත්ති හරහා සාඩම්බර ලීලාවෙන් විකාශය කල මෙම දර්ශන වලින් බැරූරුම් සංග්‍රාමයකට මෙන් විශේෂ කාර්ය බලකා සෙබලු තුවක්කු මානාගෙන බිමට නැවී බන්ධනාගාරය වට කරන ආකාරය, අන නිකුත් වූ සැනින් ඔවුහු එක්වර බන්ධනාගාරයට තුලට කඩා වදින ආකාරය නිරූපනය කෙරුනි.මෙහෙයුමින් පසු කිලුටු ඇදුමින් සැරසුනු බන්ධනාගාර රැදවියන් ඔවුන්ගේ කමිස කොලර වලින් ඇදගෙන විත් බන්ධනාගාර බස් රථයකට පටවනු ප්‍රදර්ශනය වූ අතර පසුව මෙහෙයුමට සම්බන්ධ වූ සෙබලුන්ට ඉහල හමුදා නිලධාරියෙක් අතට අත දී ආචාර කරන ආකාරයද පෙන්වන ලදී.සමස්තයක් ලෙස මෙම පුවත් විකාශයන් මගින් මතුකරන්නට උත්සාහ කල අදහස වූයේ මෙන්න අපේ හමුදාවේ වැඩ වර්ගයේ පනිවුඩයකි.යුද්ධය නිමා වීමෙන් පසු "අපේ හමුදාවේ වැඩ" විකාශය කල වන්නි සටන පන්නයේ වැඩසටහන් නොමැති කමේ සාංකාවෙන් පෙලුනු දකුනේ මධ්‍යම පංතික ප්‍රේක්ෂකාගාරයට බරපතල යුද මෙහෙයුමක් ලෙස හුවා දැක්වුනු උක්ත මෙහෙයුම ඇතැම්විට රසවත් අත්දැකීමක්  වූවා විය හැක.

සැබැවින්ම මෙම මෙහෙයුමේ ඇති වීරෝදාරභාවය කුමක්ද?බන්ධනාගාර රැදවියෝ වැඩිම වුවහොත් අතට හසුවූ දෙයකින් සන්නද්ධව සිටින්නට ඇත.මෙය දුබලයන් සමූහයකට එරෙහිව මනා ලෙස නවීන යුදමය උපාංගයන්ගෙන් හෙබි ප්‍රබලයන් පිරිසක් විසින් කල බලය යෙදවීමකි. 1971 හා 1988 දකුනේ දේශපාලන රැදවියන් ආරක්ෂක අංශ සමග ඇතිකරගත් මෙවැනි ගැටුම් අපමන පැවැතිනි.එවැන්නකදී සිදුවුනු හමුදා පහරදීමක් වීරෝදාර මෙහෙයුමක් ලෙස විස්තර කෙරෙනු ඇද්ද?

අධිපති සිංහල සිතීම් රටාව තුල දෙමල කැරලිකරුවන් /දෙමල සමාජය ගැන වන චිත්‍රය පදනම් වී තිබෙන්නේ යථාර්තයේ පවතින කරුනු මත නොව එම සමාජය පිලිබද කරන ලද පරිකල්පනයක් මතය.මෙම පරිකල්පනය තුල "උන්" සහ "අප" යනුවෙන් විභේදනයක් පවතී.එහිදී "අප" පිරිසිදුය.වීරෝදාරය."උන්" දුෂ්ටය.අමනුශ්‍යයය.එල්ටීටීඊය වෙනුවෙන් සටන් කල රැදවියන් හැදින්වීමට අධිපති ජනමාධ්‍යයන්  බොහෝ විට භාවිතා කරනුයේ කොටි සැකකරුවන්/ත්‍රස්තවාදී සැකකරුවන් යන යෙදුම්ය.දිවයින පුවත්පතට ආරක්ෂක කොලම සපයන කීර්ති වර්නකුලසූරිය ගර්හා සහගතව යොදාගනුයේ කොටි ත්‍රස්තයන් යන වචනයයි.බන්ධනාගාර විරෝධතාවය වනාහි ඒ අනුව කොටි සෙල්ලමකි.

මෙම යෙදුම් හුදු අහඹු ලෙස උපත ලද ඒවා නොවේ.එමගින් සංකීර්න දෘෂ්ටිවාදී සත්‍යයක් පෙන්නුම් කෙරේ.දේශපාලන සිරකරුවන් යන වචනය කෙසේ වෙතත් සිරකරුවන් යන වචනය හෝ භාවිතා නොකොට කෙටි සැකකරුවන්/කොටි ත්‍රස්තයන් වැනි යෙදුම් අධිපති මාධ්‍යයන් විසින් යොදාගන්නේ මෙම රැදවුම්කරුවන් සෙසු මිනිසුන්ගෙන් වෙනස් කුරිරු දුෂ්ට විශේෂයකි යන අදහස ගම්‍ය කරනු වස්ය.
.එබදු "නොමිනිසුන්ට" කවරාකාරයකින් සැලකූවත් ගැටලුවක් නැත යන මනෝභාවය පැනනැගීමට මෙම භාෂාමය භාවිතය විශාල වශයෙන් උපකාරී වේ.

මේ නිසා සාමාන්‍ය තත්වයක් යටතේ නිර්භීත ක්‍රියාවක් යැයි කිසිසේත් විස්තර කල නොහැකි දුබලයා මැඩීම සදහා බලවතා කරන බලය යෙදවීමක් වීරෝදාක උතුම් ක්‍රියාවක් බවට පත්වනුයේ දෙමල අනෙකා - විශේෂයෙන් සිංහල බහුතරවාදය ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන විසමුම්මිතක දමිලයා  - නොමිනිසෙකි/කෲර අඩ මිනිසෙකි  යනුවෙන් පවතින අධිපති අදහස හේතුවෙනි.

යටත් විජිත යුගවල අධිරාජ්‍යමය රටවල පුරවැසියන් සිය යටත් විජිතවාසීන් කෙරෙහි යොමුකරන ලද්දේ යටත් ජාතීන් වනාහි අර්ධ මනුශ්‍යයන් පිරිසක් වෙති වර්ගයේ දාෂ්ටියකි.විශේෂයෙන් යටත් විජිත සාහිත්‍යය තුල ඉන්දියානුවා/අප්‍රිකානුවා/චින ජාතිකයා යනාදීන් පිලිබද ස්ථාපිත වට්ටෝරු ආකෘතියක් විය.එඩ්වඩ් සයිඩ් සිය orientalism නම් කෘතියෙන් තර්ක කල පරිදි පෙරදිග පිලිබද බටහිර සාහිත්‍යය තුල පවතින මෙම රුපය යථාව ඇසුරින් උපදින්නක් නොව හුදෙක් පෙරදිග පිලිබද බටහිර තුල වූ පරිකල්පනයක් මතින් බිහිවන්නකි.

අධිපති සිංහල කතිකාවත තුල විසම්මුතික දෙමල ජාතිකයා සම්බන්ධයෙන් තිබෙන්නේ අධිරාජ්‍යවාදී බටහිරට යටත් විජිත පෙරදිග වාසිකයා  සම්බන්ධයෙන් වූවා හා සමාන පරිකල්පිත අදහසකි.එම පරිකල්පනය විසින් පීඩක යන්ත්‍රනයක මිනීමරු ක්‍රියාවක් වුව විරෝදාර ක්‍රියාවක් ලෙස දැකීම සදහා මාවත විවෘත කරයි.




Friday, June 15, 2012

විජේදාසගේ කරුනාව සහ මේධානන්දගේ කන්‍යාභාවය

දේශපාලකයන් භික්ෂූන්ගේ වෘෂන කෝෂ මිරිකීම නිසා
භික්ෂූන්ට පාර්ලිමේන්තුව නුසුදුසුය 
ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයන්ට වමාරා කෑම සදහා මේ දිනවල ලැබී තිබෙන අලුත්ම ආහාරය වූ කලී පූජ්‍ය පක්ෂයට පාර්ලිමේන්තුව තහනම් කිරීම සදහා ගෙන ඒමට නියමිත පනතයි.භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම උචිත ද නැද්ද යන්න එක්වරම විශාල ජාතික ප්‍රශ්නයක තත්වයට උසස් කරනු ලැබ තිබේ.මාධ්‍ය ආයතන ජනතාවගෙන් මේ පිලිබද අදහස් විමසති.එලෙස අදහස් පල කරන ජනයාගෙන් බහුතරය භික්ෂූන් පාර්ලිමේන්තුවේ සිටීම පිලිබද අප්‍රසාදය පල කරති.

දැනට හටගෙන තිබෙන විවාදයේ ස්වභාවය මෙසේය.භික්ෂූන් පාර්ලිමේන්තුවේ සිටීමට විරෝධය දක්වන අය එමගින් භික්ෂුවගේ ගෞරවය හෑල්ලු වන බව ප්‍රකාශ කරති.දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මෙම පනත ගෙන එන්නට පුරෝගාමි වූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුනේ එක්තරා අවස්ථාවක භික්ෂුවකගේ වෘෂන කෝෂ මිරිකීම දක්වා පාර්ලිමේන්තුව තුල ඇති වූ ගැටුම් දුරදිග ගිය බවයි.පනතට එරෙහි හෙල උරුමවාදීහු භික්ෂූන් පාර්ලිමේන්තුවේ සිට කල "මෙහෙය" සිහිපත් කරති.කොටි පරද්දන්න උදවු කල හැටි,මතට තිත සදහා මුල පිරූ හැටි ආදී වශයෙනි.අතුරලියේ රතන හිමිට අනුව මෙය භික්ෂූන්ගේ  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමකි.සුලුතර ප්‍රජාවන්ගේ හා ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් "බටහිර" සංකල්ප වී පාර්ලිමේන්තු යාමට භික්ෂූන්ට තිබෙන අයිතිය පෙරදිග එකක් වනුයේ චතුස්කෝටිකයේ කවර ‍කෝටියකට අනුවද යන්නට දාර්ශනික පිලිතුරක් අමාත්‍ය චම්පික රනවක අපට සපයනු ඇද්ද?

ප්‍රශ්නය පාර්ලිමේන්තු යාමෙන් භික්ෂූන්ගේ පූජනීයත්වය හෑල්ලු වීම නම් අපට එම ප්‍රශ්නය තරමක් විවෘත තලයකට රැගෙන යා හැක.පූජනීයත්වය යනු කුමක්ද?භික්ෂුව පූජනීය වනුයේ කවර අර්ථයකින්ද?

ප්‍රධාන සමාජ ජීවිතයෙන් බැහැරව "සත්‍යය සෙවීම" සදහා සිය ජීවිතය තවුස් වත් පිරීම උදෙසා කැපකිරීම  පැරනි ඉන්දියාවේ පැවැති පරිචයකි.අතිශය පරමාර්ථ සහිත ජීවිතයක් ගතකරන මෙබදු ශ්‍රමන පිරිස් පොදු සමාජයේ ගෞරවය දිනාගත්හ.බෞද්ධ භික්ෂූන් යනු එලෙස පරිනාමය වූ ශ්‍රමන සංස්ථාවකි. .

පිදිය යුත්තන් පිදිය යුත්තේමය 
මුල් බුදු දහමේ උක්ත පරමාර්ථය සහ වර්තමාන ලාංකීය සංඝ සංස්ථාවේ ස්වභාවය අතර තිබෙන සම්බන්ධතාවය කෙසේ වුවද අතිශය දුරස්ථය.මෙරට මුල සිටම භික්ෂූන් අතර වනවාසී හා ග්‍රාමවාසී ලෙස විභේදනයක් පැවැති අතර මුල් බුදු දහමේ පරමාර්ථය සමග සමිපත්වයක් දැක්වී යැයි කිව හැක්කේ වනවාසී සම්ප්‍රදායයි.ලෞකික සමාජයේ තවත් එක් ආයතනයක් ලෙස තහවුරු වූ අනෙත් සම්ප්‍රදාය නොවැලැක්විය හැකි ලෙසම සමාජයේ සිදුවන වෙනස්කම් වලට අනුව හැඩගැසෙමින් සමාජයට අනුකූලව පරිනාමය වී තිබේ.මුල් බුදු සමය තුල කුලභේදයට පැවැති වි‍රෝධයත් මෙරට ස්ථාපිත භික්ෂු සංස්ථාව තුල කුලභේදයට පවතින අනුබලයත් සැලකූ විට බෞද්ධ සංස්ථාව "සමාජයට අනුව" හැඩගැසී තිබෙන ආකාරය මනාව හදුනාගත හැක.

මේ නිසා වර්තමාන භික්ෂු සංස්ථාව අතීත ඉන්දියාවේ මෙන් සමාජයෙන් බැහැරට ගොස් විමුක්තිය සොයන්නවුන්ගේ නිදහස් එකතුවකට වඩා සමාජය සමග බද්ධ වී තිබෙන ලෞකික සමාජයේම තවත් අංගයක් ලෙස සැලකීම වඩා නිවැරදිය.නිවන් දැකීමත් මහනකමත් අතර අති බහුතරයක් භික්ෂූන්ට ඇත්තේ අල්ප සම්බන්ධයක් බව අතිශයෝක්තියක් නොවේ.ලමා මහනකිරීම් රට තුල බහුලව සිදුවන අතර එලෙස මහන කෙරෙන කුඩා දරුවෙකු බොහෝවිට භික්ෂුවක ලෙස උස්මහත් වනුයේ එසේ ජීවත් වන්නට ඔහුට නියම වූ නිසාය.බීබීසී සිංහල සේවය වාර්තා කරන පරිදි පසුගිය දශකය තුල භික්ෂූන් 110 නමකට එරෙහිව ලමා අපචාර චෝදනා ගොනු වී තිබේ.බොහෝ නාගරික පන්සල් මහා පරිමාන වානිජ මධ්‍යස්ථාන බවට පත්ව ඇත.පිටිදූවේ සිරිධම්ම හිමි වැනි අය බන කීම උදෙසා විවිධ වටිනාකම් සහිත මුදල් පැකේජ සම්පාදනය කර තිබේ.ටියුශන් දීම,ශාස්ත්‍ර කීම,බිස්නස් කිරීම  සදහා භික්ෂූන් විශාල වශයෙන් පෙලඹි ඇති අතර ශ්‍රද්ධාවන්තයන්ට මේවා හෘදයාබාධ ඇතිකරීමට තරම් බරපතල සිදුවීම් වුවද මෙහි ඇති අමුත්තක් නැත.සංඝ සංස්ථාව පෙර කි පරිදිම සමාජයේ තවත් එක් ආයතනයක් වන හෙයින් සමාජය වෙලදපොලකරනය වනවිට,කුනුවන විට හා එකතැන පල්වනවිට සංඝ සංස්ථාවත් වෙලදපොලකරනය වීම,පල්වීම හා කුනු වීම පුදුම විය යුත්තක් නොවේ.

ජාතිවාදී හා ආගම්වාදී වහසි බස් දොඩන මන්ත්‍රී භික්ෂූන් වනාහි කුනු වී ගිය පොදු සමාජයේම පැතිකඩකි. වෙනෙකක් තබා පාර්ලිමේන්තුවද මිනීමරුවන්ගේ,මත්කුඩු වෙලෙන්දන්ගේ හා අවස්ථාවාදීන්ගේ පල් වලකි.එම ගොහොරුවේ ලගින අරටුව දක්වා කුනු වූ දේශපාලකයින් දැන් දේශපාලනය කරන භික්ෂූන්ගේ පූජනීයභාවය ගැන හදිසියේ කලබලයට පත්ව සිටිති.සමාජය නැමැති ගොහොරුවෙන් පැනනගින නෙලුමක් මෙන් පූජනීය සංඝ සංස්ථාවක් මෙම දේශපාලකයන්ගේ යෝජනා මගින් බිහිවනු ඇතැයි සිතා පොදුජනයාද මඩවල කලත්තන මන්ත්‍රීවරුන් හා මාධ්‍ය ආයතන වෙනුවෙන් විසිල් ගසමින් සිටිති.පාර්ලිමේන්තු යාම මගින් භික්ෂුවගේ "පූජනීයභාවය " කෙලෙසේ යැයි කියන්නවුන්ට දීමට ඇත්තේ එක පිලිතුරකි.අමුතුවෙන් කෙලෙසන්නට තරම් පූජනීය කිසිවක් මෙම සමාජ ක්‍රමය විසින් තවදුරටත් ඉතුරු කර නැත.











Saturday, May 19, 2012

ගෝඨාගේ යුද්ධය තවමත් අවසාන නැත


ධනවාදයේ මිලිටරි මුහුන 
දැන් එය ගෝඨාගේ යුද්ධයයි.ලංකාවේ සිවිල් යුද්ධය අලලා සී.ඒ.චන්ද්‍රප්‍රේම ලියා තිබෙන ග්‍රන්ථය එම නමින්   -"Gota's war" -  නම් කර තිබෙන අතර එකම ක්‍රියාවලියකට මේ තරම් කෙටි කාලයක් තුල භාවිතා වූ නම් සංඛ්‍යාව හාස්‍යය උපදවයි.ආරම්භ‍යේදී එය "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" විය.පසුව යුද්ධය නම් කොටස හැලී ගොස් මානුශික මෙහෙයුම යනුවෙන් එය නාමකරනය විය.යුද්ධය අවසාන වූ කල්හි එය මහින්ද-ගෝඨාභය-ෆොන්සේකා ත්‍රිමූර්ති‍යේ වික්‍රමයක් බව ඔවුහු අපට පැවසූහ.දැන් එය හුදෙක් ගෝඨාගේ වික්‍රමයයි.

උක්ත කෘතිය ලියා තිබෙන්නේ ගෝඨාගේ යුද්ධය 2009 මැයි 19 දින පරිසමාප්තියට පත්විය යන නිගමනය මතය.එහෙත් ගෝඨාගේ යුද්ධය සැබැවින්ම එම මැයි මාසයේදී පරිසමාප්තියට පත් ‍නොවීය.මැයි 19 වන දින සැබැවින්ම සිදුවූ‍යේ ප්‍රකාශිත යුද්ධය අප්‍රකාශිත යුද්ධයක් බවට පරිවර්තනය වීම පමනි.එතැන් සිට මේ දක්වා කොලඹ ප්‍රභූ ස්ථාපිතය විසින් අප්‍රකාශිත යුද්ධයක් උතුරේ සමාජයට එරෙහිව අඛන්ඩව පවත්වාගෙන එමින් තිබේ.

කිලිනොච්චියේ එස්.ක්‍රිෂ්නකුමාර්  එම අප්‍රකාශිත යුද්ධයේ අලුත්ම ගොදුරයි.පාසල් විය නොඉක්මවූ තරුන ක්‍රිෂ්නකුමාර් වෘත්තියෙන් ගොපල්ලෙකි.හෙතෙම හමුදා භටයන් කිහිප දෙනෙකු අතින් වෙඩි කනු ලැබ පසුගිය 12 වනදා අනුරාධපුර රෝහ‍ලට ඇතුලත් කරනු ලැබීය. හමුදාව විසින් කිලිනොච්චියේ දී කර තිබූ වෙසක් සැරසිලි කිහිපයක ඔහුගේ ගව රංචුවක් ගැටීම මෙම වෙඩි ප්‍රහාරයට හේතුවයි.මෙම වෙඩි තැබීම දිනපතා ලක්බිම පුවත්පත වාර්තා කලේ ‍මෙසේය.

"වල් ඌරෙක් යැයි සිතා පදුරකට මුවාවී සිටි තරුනයෙකුට වෙඩි තියලා"


වෙඩි කෑමට ලක්වන තරුනයන් වල් ඌරන් ලෙස දර්ශනය වීම උත්ප්‍රාසවත්ය.

මේ අතර ලාංකීය සම්භවය සහිත කැනේඩියානු පුරවැසියෙක් වන අන්තෝනිපිල්ලේ මහේන්ද්‍රරාජා  ද කිලිනොච්චි ප්‍රදේශයේදී පසුගිය දිනෙක ඝාතනයට ලක්විය.කිලිනොච්චියේ ව්‍යාපාරිකයෙකු වූ හෙතෙම යුද කාලය තුල කැනඩාව බලා විගමනය කර තිබුනි.යුද්ධ කාලය තුලදී කොටි සංවිධානය විසින් ඔහුගේ දේපල අත්පත් කරගනු ලැබ තිබුනි.මියයන අවස්ථාවේ දී ඔහු ලංකාවට පැමින තිබුනේ සිය දේපල නැවත ලබාගත හැකි ආකාරය විමසා බැලීමටය.යුද්ධය නිමවීමෙන් පසු හමුදා භාරයට පවරාගනු ලැබූ ඔහුගේ කඩපේලි සමූහයක් මේ වනවිට කාගිල්ස් සමාගමෙහි සන්තකයේ පවතී.මහේන්ද්‍රරාජාව නාදුනන පිරිසක් විසින් මරා දමන ලද්දේ උදලු වලින් පහර දීමෙනි.පහර දුන් සාහසිකයෝ ඔහුගේ ලිංගේන්ද්‍රය ද කපා දමා තිබූ බවට ජනමාධ්‍ය විසින් වාර්තා කරන්නට යෙදුනි.

මුලතිවු දිස්ත්‍රික්කයේ කරුවඩ්ඩුක්කර්නි හි ප්‍රදේශවාසීන් සිය උන් හිටි තැන් අහිමිව යාමේ අවදානමක් පිලිබද මුලතිවු දිසාපතිට පැමිනිලි කරනුයේ උක්ත මරන දෙකට සමගාමීවය.එම ප්‍රදේශය ආශ්‍රිතව ඉල්මනයිට් නිධියක් සොයාගෙන තිබෙන බවත් නාවික හමුදාව නුදුරේදීම එහි කැනීම් කටයුතු ආරම්භ කරන හෙයින් එම ජනතාව ඉවත් කිරීමට කටයුතු කරන බවටත් පැතිර යමින් තිබෙන ආරංචි හේතුවෙන් මෙම ජනයා නොසන්සුන් වී තිබේ.එම ආරංචිය සත්‍යයක් නම් සාම්ප්‍රදායික ධිවර වෘත්තියේ යෙදී සිටි ජනයාට ඉල්මනයිට් කැනීම වෙනුවෙන් සිය භූමිය නාවික හමුදාවට භාර දී ඉවත් වන්නට සිදු වනු ඇත.

දැන් අප අභියස එකිනෙකට සම්බන්ධයක් නොමැති සිදුවීම් තුනක් තිබේ.වෙසක් කූඩුවක ගව රැලක් හැපීම නිසා වෙඩි ප්‍රහාරයට ලක් වන තරුනයෙක්.හමුදාව විසින් ඉල්මනයිට් උදෙසා සිය ගම්බිම් උදුර ගනු ඇතැයි බියපත් ප්‍රජාවක්.කාගිලිස් සමාගම සතු සිය දේපල ගැන සොයාබැලීමට පැමින සිටින අතර මරා දැමෙන ව්‍යාපාරිකයෙක්.මෙම සිදුවීම් තුන එක් කල කල්හි වත්මන් උතුරු අර්ධද්වීපයේ දේශපාලන සමාජ යථාර්තය පිලිබද ප්‍රතිරූපනයක් අපට මතු කර ගත හැක.කෙටියෙන් කිවහොත් උතුරේ වත්මන් යථාර්තය යනු ධනවාදයේත්,මිලිටරිවාදයේත්,ජාතික පීඩනයේත් අජූව සංකලනයකි.

යුද්ධය අවසන් වීමත් සමග ලිබරල් ධනවාදයේ ව්‍යාප්තියට බාධාකාරීව පැවැති එකම බාධකයත් පෙරලී ගියේය.ප්‍රාග්ධනය උතුරුකරයට පැමිනීම දැන් සිදුවෙමින් තිබේ.විශාල සමාගම් විසින් උතුරේ සුපිරි වෙලදසැල් ආරම්භ කෙරෙමින් තිබේ.තමා බේරාගන්නා ලෙස පනිවුඩ පිට පනිවුඩ යවමින් සිටියදීත් ගෝඨාගේ යුද්ධයේ අවසාන අදියරේදී ඉන්දියාව හෝ බටහිර ලෝකය මැදිහත්ව ප්‍රභාකරන් මුදා නොගත්තේ මන්ද යන්න බොහෝ දෙනෙක්ට ප්‍රහේලිකාවකි.අදේශපාලනික අමනයන් එය ගෝඨාගේ/මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික වික්‍රමයක ප්‍රතිඵල බව සිතා සිටියද සැබෑව නම් ගෝලීය ධනවාදයට අවැසි වූයේ සිය ව්‍යාප්තියට අදාල සිවිල් යුද්ධය නම් බාධාව ඉවත් වනු දැකීම බවයි.

කෙසේ වුවද උතුරට දැන් නව ලිබරල් ධනවාදය පැමින තිබෙනුයේ  උග්‍ර මිලිටරිවාදයක් සහ ජාතික පීඩනක් සමග සන්ධානගතවය.ඉල්මනයිට් කැනීමට නාවික හමුදාව සමග කවර ව්‍යාපාරික මහත්මයෙක් සම්බන්ධ වේ දැයි කිව නොහැක.ආක්‍රමනශිලී ලිබරල් ධනවාදය යනු තමා පදිංචි වන ලෝක ගෝලයේ සෑම ඈත කෙලවරකම ස්වදේශික ජන ප්‍රජාවන් සමග ගැටුම් ඇතිකරගනු ලැබූ ප්‍රපංචයකි.රාජ්‍යය පවතිනුයේ ලාභ පද්ධතියේ ව්‍යාප්තිය සහ ජනප්‍රජාවන්ගේ දෙදනික ජීවිතය අතර හටගැනෙන ප්‍රතිවිරෝධතාවලදී  ලාභ පද්ධතිය ආරක්ෂා කරගැන්ම සදහාය.මිලිටරි ආඥාදායකත්වයක් හරහා මේ අනුව උතුරේ ජනප්‍රජාවන් හීලෑ කරන්නට කටයුතු කෙරෙමින් තිබෙන අතර එම බලහත්කාරයේ දේශපාලන තර්කනය වාර්ගික ජාතිවාදයයි.

ගෝඨාගේ යුද්ධය නිමාවී නැත.කොල්ලකාරී ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් එම යුද්ධය අප්‍රකාශිතව නොනැවතී උතුරෙහි ක්‍රියාත්මක වෙමින් පවතී.


( ජනරළ ඉරිදා සංග්‍රහය - 2012.05.20 )




Saturday, May 12, 2012

යුරෝපා සිතියම මතට රතු පැහැය මුසු වීම


ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ (KKE) රැලියක් 

ගෝලීය ආර්ථික අවපාතය තවදුරටත් ගැඹුරු වෙමින් පවතින වටපිටාවක් තුල යුරෝපයේ ප්‍රධාන පෙලේ මැතිවරන දෙකක් පසුගිය සතියේ දී නිමාව දුටුවේය.ප්‍රංශ ජනාධිපතිවරනයේ දෙවැනි වටය අවසානයේදී හිටපු ජනාධිපති නිකොලාස් සාර්කෝසි පරාජය කරමින් සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ප්‍රන්සුවා ඔලොන්ද් ජය ලබා තිබුනි.2007 දී විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිතව බලයට පැමිනි  ජනාධිපති සා‍ර්කෝසිගේ ඇදවැටීම ඔහුගේ මෙන්ම ප්‍රංශ රජය පසුගිය වසර කිහිපය තුල අනුගමනය කල ප්‍රතිපත්තියේ ද බරපතල පරාජයකි.මේ අතර ග්‍රීසියේ මහ මැතිවරනය කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ව්‍යවස්ථාදායකය තුල හිමිකරගැනීමට අවකාශ නොදෙමින් අවසන් වී තිබේ.එහිදී කැපීපෙනෙන ප්‍රතිඵලයක් ලබාගනිමින් වාමාංශයේ රැඩිකල් සන්ධානය - Radical coalation of the left -  ( මෙය SYRIZA නමින් හදුන්වයි ) ප්‍රකාශිත මුලු ඡන්ද සංඛ්‍යාවෙන්  17% හිමිකරගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබේ.පලමු ස්ථානය දිනාගත් New Democracy ( නව ප්‍රජාතන්ත්‍රවාදය ) නම් ධනේශ්වර පක්ෂය හිමිකරගෙන තිබෙනුයේ ඡන්ද 19 % පමනි.

2008 හටගත් ගෝලීය ආර්ථික අර්බුදය තවමත් සංහිදියාවකට පැමින නැත.ලෝකයේ ප්‍රධාන ආර්ථික කලාපයක් වන යුරෝපය මෙමගින් දරුනු පසුබෑමකට ලක්වූ අතර එම ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස වැඩී ඒමේ සලකුනු  මෙම මැතිවරන ප්‍රතිඵල විස්තරාත්මකව විශ්ලේෂනය කල විට පෙනී යයි.යුරෝපා රටවල් අතරින් ආර්ථික අර්බුදයේ ගැඹුරු කුහරය තුල ගිලී යමින් තිබෙන ප්‍රධාන රටක් වනුයේ ග්‍රීසියයි.එරට වසර කිහිපයක් තිස්සේ බරපතල මූල්‍ය අර්බුදයකට ගොදුරු වී තිබෙන අතර  2010 වනවිට එහි රාජ්‍ය නය දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 120% ඉක්මවා තිබුනි.එම වසරේදීම ග්‍රීසිය ආර්ථික අර්බුදයෙන් "ගලවාගනු" වස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝ බිලියන 110 ක නය පැකේජයක් යෝජනා කලේය.එම පැකේජයේ තීරනාත්මක කොන්දේසිය වූයේ සුබසාධනය සදහා වූ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමයි.මෙම කප්පාදු පැකේජය ක්‍රියාත්මක වීමත් සමග රටපුරා දැවැන්ත වි‍රෝධතා හා කැරලිකාරී හැසිරීම් උද්ගත විය.පසුගිය මැතිවරනය පවත්වන ලද්දේ එම නොසන්සුන්තාවය මධ්‍යයේය.

මැතිවරනයේ දෙවැනි ස්ථානය දිනාගත් SYRIZA සංවිධානය ග්‍රීසියේ වාමාංශික කන්ඩායම් කිහිපයක සන්ධානයකි.එම සංවිධානය 2009 දී හිමිකරගත් 5% ක ඡන්ද ප්‍රතිඵලය හා සැසදීමේදී මෙවර ප්‍රතිඵලය දැවැන්ත වර්ධනයකි.එම සංවිධානය මැතිවරන ව්‍යාපාරය තුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආන්ඩුව අතර එකගතාවය ඉරා දැමිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය.එම සංවිධානයට පරිබාහිරව තරග කල ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය මුලු ඡන්ද වලින් 8% දිනාගෙන තිබෙන අතර  කවර අර්ථයකින් බැලුවත් රැඩිකල් වාමවාදී පක්ෂ විශාල ප්‍රතිචාරයක් මැතිවරනයේදී ලබා තිබෙන බව පැහැදිලිය.2009 දී ග්‍රීසියේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක ( New Democracy සහ Pan Hellenic Socialist Movement) මුලු ඡන්ද වලින් 80% කට ආසන්න ප්‍රමානයකට හිමිකම් කියූ අතර එය 2012 වනවිට 31% දක්වා පහල බැස තිබේ.

ප්‍රංශයේ සාර්කෝසි වෙනුවට බලයට පැමින තිබෙන ඔලොන්ද්ගේ සමාජවාදී පක්ෂය සැබැවින්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකි.එය රැඩිකල් වාමාංශයේ නැගීමක් ලෙස විස්තර කිරීම අපහසුය.කෙසේ වුවද වාමාංශික පක්ෂ වෙත කැපීපෙනෙන ප්‍රතිචාරයක් එම මැතිවරනයේදී හිමිව තිබුනු අතර  මැතිවරනයේ පලමු වටයේදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලත් වාමාංශික පෙරමුන මුලු ඡන්ද වලින් 11% ලබාගෙන තිබුනි.2007 ජනාධිපතිවරනයේදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය වෙත හිමිව තිබුනේ ඡන්ද 1.93% පමනි.කෙසේවෙතත් අන්ත දක්ෂිනාංශික ප්‍රංශ ජාතික පෙරමුනද මෙම මැතිවරනයේදී කැපීපෙනෙන ප්‍රතිඵලයක් ලබාගෙන තිබේ.එහි අපේක්සිකා මරීන් ලෙ පෙන් ප්‍රථම වටයේ මුලු ඡන්ද වලින් 19% දිනාගෙන තිබුනු අතර සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධ විරෝධය එහි වැඩපිලිවෙලෙහි මුඛ්‍ය තේමාවක් වූයේය.මෙම පක්ෂය උග්‍ර ජාතිකවාදය මත පදනම් වූවකි.සංක්‍රමනිකයන්ට එරෙහි වර්ගවාදී විරෝධය එහි කේන්ද්‍රීය සංරචකයකි.

යුරෝපයේ සමකාලීනව සිදුවෙමින් පවතින දේශපාලන චලනයන් අතිශය වැදගත්ය.ගෝලීය ධනවාදයේ අවපාතය උග්‍ර වීම ග්‍රීසියේ මෙන් රැඩිකල් වාමාංශයේ නැගීමක් ලෙස මෙන්ම ප්‍රංශයේ මෙන් උග්‍ර දක්ෂිනාංශික ප්‍රවනතාවල නැගීමක් ලෙසත් යන දෙයාකාරයටම ප්‍රකාශ විය හැක.ග්‍රීසියේත් ප්‍රංශයේත් වාමාංශික කන්ඩායම් නගරබදව විශාල ලෙස ප්‍රතිචාර ලබා තිබූ අතර එම රටවල වැඩකරන ජනයා ආර්ථික අර්බුදය අභියස රැඩිකල්කරනය වෙමින් තිබෙන බවට එය සංඥාවකි.අර්බුදය විසින් ඇතිකරන අවකාශය වාමාංශය විසින් අත්පත් කර නොගන්නේ නම් 1933 දී ජර්මනියේදී සිදුවූවාක් මෙන් ෆැසිස්ට් ලක්ෂන සහිත දක්ෂිනාංශය වෙත සමාජය තල්ලු වනු ඇත.ප්‍රංශ ජාතික පෙරමුනේ මැතිවරන සාර්ථකත්වය පෙන්නුම් කරන යථාර්තය එයයි.ලෝක ධනවාදයේ කේන්ද්‍රය වූ කලී බටහිර අර්ධගෝලයයි.ලංකාව වැනි පරිවාරයේ රටවල ඉරනම කේන්ද්‍රයේ මෙම දේශපාලන චලනයන් සමග සෘජු ලෙස සම්බන්ධ වී තිබේ.



Saturday, April 21, 2012

රාජ්‍ය පාලනය ASP පැදුරු පාටිය වගේද?


A.S.P.ලියනගේ - ව්‍යාපාරිකයා,කලාකරුවා,දේශපාලකයා,නිවේදකයා,සෙනෙහෙබර පියා

සිය උපන් බිමට ප්‍රමුඛතාවය දෙනු වෙනුවට තම තමන්ගේ ක්‍රීඩා සමාජවලට ප්‍රමුඛතාවය ලබාදෙන ක්‍රීඩකයින් ද්‍රෝහීන් ලෙස සැලකිය යුතු බවට යෝෂිත රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට දැනට දින කිහිපයක් ගතව තිබේ.පිලිපිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර රගර් තරගාවලියකට (HSBC Five Nation rugby Asiad)  සහභාගී වනු වස් දිවයිනෙන් නික්මීමට පෙර ජනමාධ්‍ය අමතමිනි යෝෂිත මහතා මෙම ප්‍රකාශය කරන ලද්දේ.යෝෂිත මහතා යනු හුදු ජනාධිපති පුත්‍රයෙක්,නාවික හමුදා නිලධරයෙක් පමනක් නොව ශ්‍රී ලංකා ජාතික රග්බි කන්ඩායමේ අභිනව නායකයා ද වන්නේය.

රග්බි නායක යෝෂිත මහතා උරන වී තිබෙන්නේ දිවයිනේ ජ්‍යෙෂ්ඨ රගර් ක්‍රීඩකයින් විශාල පිරිසක්  පිලිපීන තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට තිබෙන නිසාය.බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට කන්ඩායම් නායකත්වය පිලිබද ආරවුලක් මෙම වර්ජනය කිරීමට හේතු වී තිබේ.ෆාසිල් මරීජා සහ රොෂාන් වීරරත්න නැමැති ක්‍රීඩකයින් දෙදෙනා පිලිපීනයට යනු වෙනුවට නවසීලන්තයේ පෞද්ගලික තරග සංචාරයකට සහභාගී වී සිටින අතර හිටපු කන්ඩායම් නායක ප්‍රදීප් ලියනගේ,ගයාන් වීරරත්න,දුෂාන් ලෙව්කේ වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ද විවිධ හේතු දක්වා තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට තිබේ.වසර අටක් තිස්සේ මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන මරීජා දක්ෂතාවය සහ පලපුරුද්ද අතින් නායකත්වය සදහා වඩාත්ම උචිත බවට සැලකෙන තැනැත්තාය.ඒ වෙනුවට යෝෂිත මහතා පත්කිරීමට ගත් තීරනය ක්‍රීඩකයින් අතර අසන්තෝෂයක් ජනිත කොට තිබෙන බව පැහැදිලිය.

සීමිත සමාජ කවයක් අතර පමනක් ජනප්‍රිය යැයි සැලකිය හැකි දේශීය රගර් ක්‍රීඩාව මෑතකාලිනව උග්‍ර රාජපක්ෂකරනයකට ලක්වූ ක්ෂේත්‍රයකි.නාමල් හා යෝෂිත රාජපක්ෂ දෙපල නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම අරඹන තාක් එම ක්ෂේත්‍රය තුල ජයග්‍රාහීව පසුවූයේ මහනුවර ක්‍රීඩා සමාජයයි.ඉක්බිති මහනුවර ක්‍රීඩා සමාජයට හිමි තැන උදුරා ගනු වස් මුදල් විසිකොට ක්‍රීඩකයින් මිලදී ගැනීමේ සිට ක්‍රීඩකයින් සිර අඩස්සියට ගැනීම දක්වා විවිධ දේ සිදුකෙරුනි.රග්බි ක්‍රීඩා විකාශනයන් හිදී නිවේදකයින් ඉස්පාසුවක් නැතිව කතාකරන්නට වූයේ ක්‍රීඩක යෝෂිත මහතා ගැනය.තනි පුද්ගලයෙකු වෙත ලැබුනු මෙම අසාමාන්‍ය අවධානය විකාරරූපී ස්වභාවයක් එම විකාශනයන්ට ගෙන දුන්නේය.හොදින් හෝ නොහොදින් සියලු ක්‍රීඩා සමාජ අතර අග්‍ර ස්ථානය දිනාගැනීමේ සිහිනය මේ වනවිට සියලු ක්‍රීඩකයින් අතර අගතැන දිනා නායකත්වයට පත්වීමේ යථාර්තය දක්වා දීර්ඝ වී තිබේ.

මෙම මානසිකත්වය කවරක්ද?එය වටහා ගනු වස් ටීඑන්එල් රූපවාහිනී සේවයේ විකාශය වන ඒඑස්පී පැදුරු පාටිය නම් වැඩසටහන කදිම සාදෘශ්‍යයකි.විවිධ ශිල්පින් ගෙන්වා ඔවුන් ලවා පැදුරු සාජ්ජයක විලාශයෙන් ගීත ගායනා කරවන ඒඑස්පී පැදුරු පාටිය වැඩසටහනට මූල්‍ය අනුග්‍රහය දක්වනුයේ ඒ.එස්.පී.ලියනගේ නම් ව්‍යාපාරික මහතාය.ඔහුට ලංකා කම්කරු පක්ෂය නමින් පක්ෂයක් ද තිබේ.වැඩසටහනට මූල්‍ය අනුග්‍රහය දක්වනවාට අමතරව එහි නිවේදන කටයුතු කරන්නේත් ඒ.එස්.පී මහතාය.ඔහුගේ දියනිය ද නිවේදනයෙන් සහය දක්වයි.වැඩසටහන යන අතර ප්‍රචාරය වන්නේ ඒ.එස්.පී ගෲප් ආයතනයේ වෙලද දැන්වීම් වන අතර ඒවායේ පෙනී ඉන්නේ ද ඒ.එස්.පී  මහතාය.ඊට අමතරව ඒ.එස්.පී මහතා විසින් රචිත ගීත ද විකාශය කෙරේ.එම ගීත ගායනා කරනුයේ ඔහුගේ දියනියයි.ගීත රූප රාමු වල නැවතත් දියනිය සමග පෙනී සිටින්නේ ඒ.එස්.පී මහතාය.

සොක්කන් ලොක්කන් වනුයේ මානසික හීනමානයක් සහිතවය.අලුත ප්‍රභූ පංතිය වෙත බඩ ගාගත් කල්හි තමුන් සොක්කන්ව සිටි සමයේ නොලැබූ සියල්ල කෙසේ හෝ වින්දනය කිරීමේ ආශාව පහල වූ විට ලොක්කන් වෙතින් අතාර්කික හැසිරීම් ප්‍රදර්ශනය වන්නට ගනී.දේපල වෙලදාම හරහා ධනවතෙකු වන ඒඑස්පී මහතාට එක්වරම ගායකයෙක්,නිවේදයෙක්,පක්ෂ නායකයෙක් බවට පත්වීමට මෙන්ම සිය දියනිය ගායිකාවක් කිරීමේ ආශාව ද පහල වේ.මෙම අතාර්කික ආශාවන් ඉෂ්ට කරගැනීමට යාමේදී පිටත සමාජයට එය කෙතරම් විකාරයක් ලෙස දිස්වේද යන්න  එහිදී අදාල වන්නේ නැත.

මායාබන්ධන නමින් කලෙකට ඉහත රූපවාහිනියේ ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවක් විකාශය වූ අතර එම කතාමාලාවේ බල ඇදුම ( power suit) නමින් සංකල්පයක් එයි.මෙම බලඇදුම් මගින් ශක්තිය ඉපදවිය හැක.ඒවා පාවිච්චි කරනුයේ (සමාන්තර ලෝකයක ජීවත් වන) මායාබන්ධකයන් නම් ඒ සදහා විශේෂිත පුහුනුවක් ලැබූ පිරිසකි.එම කතාපෙලෙහි එක් ජවනිකාවක වැරදීමකින් මෙම බලඇදුමක් කත්‍රිනා නම් - මායාබන්ධකයෙක් නොවන - වර්තමාන ලෝකයේ  තරුනියක් අතට පත්වේ.ඇයට එම ඇදුම භාවිතය පිලිබද ශික්ෂනයක් නැත.එය කෙරෙහි හුදු ආශාවෙන් ඇය තම නිවස තුල එය බලගන්වයි.බල ඇදුමේ ශක්තියට නිවසේ සියලු යන්ත්‍රෝපකරන එක්වර ප්‍රතික්‍රියා දක්වන අතර දුරකථන,පරිගනක,විදුලි පංකා සියල්ල පිස්සු වැටුනාක් මෙන් ස්වයංක්‍රීයව එකවිට ක්‍රියාත්මක වී මුලු නිවෙසම විකාරයක් බවට එහිදී පත්වේ.

රාජ්‍ය බලයේ අවකාශයට රාජපක්ෂ පවුල ඇතුලු වනුයේ කොලඹ කේන්ද්‍රීය සාම්ප්‍රදායික ධනේශ්වරයට පිටතිනි.එම පවුල ප්‍රධාන වශයෙන් ගැමි ඉඩම් හිමි ස්ථරය නියෝජනය කරයි.අලුත හිමිවුනු බලය මේ නිසා එක්තරා ආකාරයක භ්‍රාන්තිමය අත්දැකීමකි.රාජපක්ෂ පාලනය යටතේ අප මේ මුහුන දෙමින් සිටින්නේ ආශ්කා වෙනුවෙන් නිමැවුනු බලඇදුම කත්‍රිනා අතට පත්වූ විට සියල්ල විකාරයක් බවට පත්වූවා හා සමාන අත්දැකීමකටය.යෝෂිත මහතා ජාතික රග්බි නායකයා වන්නේත්,නාමල් මහතා නීතිඥ විභාගයේ වාර්තාගත ඉහල ලකුනු ලබා සමත් වන්නේත් ඒ අනුවය.හීනමානී මනෝභාවය සහිත කල්ලියක් අත ආන්ඩු බලය සංකේන්ද්‍රනය වූ කල්හි ආන්ඩුකරනය ඒඑස්පී පැදුරු පාටිය වැනි විහිලුවක් බවට පත්වීම වැලැක්විය නොහැක.


Monday, April 16, 2012

මකර අධිරාජ්‍යයේ නැගීම / Rise of the Dragon Empire



2002 පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ දහසය වන සම්මේලනයේදී එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනයකට භාජනය විය.එතෙක් එම පක්ෂය නිල වශයෙන් හැදින්වූයේ නිර්ධන පංතියේ අභිලාෂයන් නියෝජනය කරන්නා වූ කම්කරු පංතියේ පෙරටු බල ඇනිය වශයෙනි.නමුත් සම්මේලනයේදී සිදුකල සංශෝධනයෙන් පසු එය "පුලුල්තම මහජනයාගේ" සහ "වඩාත් ඉදිරිගාමී නිෂ්පාදන බලවේගයන්ගේ" අභිලාෂයන් නියෝජනය කරන්නා වූ පක්ෂය ලෙස සිය නිල හැදින්වීම වෙනස්කරගත්තාය.

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තමාව හදුන්වාගන්නා ආකාරයේ සිදුකල මෙම නිල වෙනස පසුගිය දශක කිහිපය පුරා චීනය තුල සිදුවෙමින් තිබෙන සමාජ පරිවර්තනයේ ස්වභාවය හකුලුවා දක්වන්නකි.එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගී තිබෙන වත්මන් අධිරාජ්‍යවාදී ලෝක පර්යාය විවේචනයට හසුකරන ලංකාවේ බොහෝ දෙනා චීනය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙමින් ඇති බල කදවුර "වඩා හොද" එකක් ලෙස නිර්වචනය කරන ප්‍රවනතාවයක් පවතී.සිංහල ජාතිකවාදීන් චීනය /රුසියාව ලංකාව වැනි රටවලට දයාද්‍රව අතහිත දෙන "මිත්‍රයන්" ලෙස හදුනාගන්නා අතර බොහෝ වාමාංශිකයෝ චීනය සමාජවාදී රාජ්‍යයක් ලෙස හැදින්වීමට තවමත් ප්‍රිය කරති.චීනය "සමාජවාදී" "හොද" රාජ්‍යයකි යනුවෙන් සමාජයේ තිබෙන මෙම අදහස චීනය සමග වඩා සමීපව ගනුදෙනු කරන වර්තමාන ආන්ඩුවට එක්තරා ආකාරයක ප්‍රගතිශීලී මුහුනුවරක් පවා පැලැදීමට සමත්ව තිබේ.

කෙසේවුවද වත්මන් ‍ලෝක රටාවේ යථාර්තය ග්‍රහනය කරගැනීමට නම් ජාතිකවාදින්ගේ රොමෑන්ටික් සිහින සහ ඇතැම් වාමාංශිකයන්ගේ අතීතකාමී ආදරය නොතකා ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ.සැබැවින්ම චීනය යනු කුමක්ද?

1949 චීන විප්ලවය යනු එරට රදලවාදයට හා ධනවාදයට  එරෙහිව සිදුවූ මහා පරිමානයේ විමුක්තිකාමී ඒකරාශීවීමක ප්‍රතිඵලයක් ලෙස පැනනැගෙන්නකි.ඉක්බිති එලැඹුනු දශක කිහිපය තුල චීනය සමාජවාදී පරමාදර්ශ මත ප්‍රතිසංවිධානය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ වූ අතර  සීඝ්‍ර කර්මාන්තකරනයක් සදහා රාජ්‍යය මැදිහත්විය.රාජ්‍යය අත සංකේන්ද්‍රනය වූ ආර්ථික අතිරික්තය පෙරලා කාර්මික ආයෝජනය සදහා යොදාගන්නා ලදී.මින්කි ලී (Minqi li) යනු වර්තමානයේ අමෙරිකාවේ පිටුවහලේ ජීවත්වන චීන රජයේ වත්මන් ප්‍රතිපත්ති සම්බන්ධ විවේචනාත්මක වාමවාදී විචාරකයෙකි.ඔහු දක්වන පරිදි රාජ්‍යය චීන ආර්ථිකය තුල අත්කරගත් මෙම දැවැන්ත භූමිකාවට අනුරූපීව රාජ්‍ය නිලධාරීන් හා තාක්ෂන විශේෂඥයන්ගෙන් සමන්විත නව ආකාරයක ප්‍රභූ ස්ථරයක බිහිවීම සිදුවිය.මෙම ප්‍රභූ ස්ථරය වටා විශාල දේශපාලන බලයක් සහ භෞතික වරප්‍රසාද රාශියක් ඒකරාශී වී තිබුනි.එම බලය හා වරප්‍රසාද තවදුරටත් ව්‍යාප්ත කරගැනීමට ඔවුන් තුල වූ අභිලාෂය සමග පැවති සමාජවාදී පරමාදර්ශයන් ගැටීම ප්‍රති වෙලදපොලකරනයක් සදහා පාර කැපීය.

චීනයේ වෙලදපොල ප්‍රතිසංස්කරන 1970 දශකය අගභාගයේදී ආරම්භ විය.ආරම්භයක් ලෙස ගම්බදව පැවති සාමූහික ගොවිපල විසුරුවා දමන ලදී.එහිදී විරක්ෂාවට පත් දහස් සංඛ්‍යාත ගොවීන් නගරවලට සංක්‍රමනය වන්නට වූ අතර ඊට අනුරූපීව දැවැන්ත පෞද්ගලිකකරන රැල්ලක් නාගරික කර්මාන්ත ආශ්‍රිතව ක්‍රියාවෙහි යෙදවින.1990 දශකයේ මැදභාගය වනවිට සියලුම කුඩා හා මධ්‍යම පරිමානයේ රාජ්‍ය කාර්මික ව්‍යවසායන් ඉතා අඩු මුදලකට විකුනා දමා තිබූ අතර රාජ්‍ය නිලධාරීන්,ආන්ඩුව සමග සම්බන්ධකම් තිබූ පුද්ගලික ධනපතීන් සහ පාරජාතික සමාගම් මෙම ව්‍යවසායන් මිලදී ගත්හ.ගම්වලින් නික්මුනු දහස් සංඛ්‍යාත විරැකියා ජනගහනය කම්කරුවන් ලෙස මෙම කර්මාන්තයන්ට අන්තර්ග්‍රහනය කරගන්නා ලදී.1980 දී 31% ක් වූ කර්මාන්ත අංශයේ රැකියා කරන ජනගහනය 2008 වනවිට 61% දක්වා වැඩුනි.

මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල ලෙස නව ධනේශ්වරයක් චීනයේ මේ වනවිට බිහිව තිබෙන අතර චීන රෙජිමයේ බල මූලාශ්‍රයක් බවට මෙම පංතිය පත්ව තිබේ.මින්කි ලීට අනුව ( කලින් නිර්ධන පංතියේ පක්ෂය වූ)  චීන කොමියුනිස්ට්  පක්ෂය තමා "වඩාත් ඉදිරිගාමී නිෂ්පාදන බලවේගයන්ගේ" අභිලාෂයන් ද නියෝජනය කරන පක්ෂය බවට 2002 දී  සිය නිල හැදින්වීම ප්‍රතිසංස්කරනය කිරීමෙන් සිදුකරන්නේ මෙම නව ධනේශ්වරයට අදාල සුජාතභාවය පිලිගැනීමයි.

චීන ධනවාදයේ මෙම නැගීම බටහිර යුරෝපා රටවල ධනවාදය සමග සංසන්දනය කලවිට කැපීපෙනෙන වෙනසක් උසුලයි.බටහිර රටවල ධනපති පංතිය නැගි ආවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සටන්පාඨ සමගය.මේ නිසා ධනවාදය නැමැති ආර්ථික ආකෘතියේ දේශපාලන මුහුනුවර ලෙස සාම්ප්‍රදායිකව සැලකුනේ ලිබරල්වාදයයි.

එහෙත් චීන ධනවාදය මුලුමනින්ම අධිකාරිවාදී ප්‍රපංචයකි.චීන ධනවාදය මෙහෙයවන්නා වූ රෙජිමයේ නිලධාරී තන්ත්‍රය හෝ නව ධනේශ්වරය මූනිච්චාවටවත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් පිලිබද වදනුකුදු නොදොඩයි.කම්කරු අයිතීන් හා අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සමතලා කරදැමීම අතින් චීනය ‍ලෝකයේ වඩාත්ම ධනේශ්වර රටටත් වඩා ඉදිරියෙන් සිටී."කොමියුනිස්ට්" පක්ෂයේ කොමියුනිස්ට්භාවය කොමියුනිස්ට් පදනමක් මත හිද ප්‍රශ්න කරන මින්කි ලී වැන්නවුන්ට අද පිටුවහලේ සිටීමට සිදුව තිබීම මෙම අධිකාරිවාදය පිලිබද සංකේතයකි. මෑතකදී ස්ලැවෝජ් ජිජැක් චීන ධනවාදයේ මෙම නග්න ස්වභාවය පිලිබද සදහන් කරමින් "ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය අතර ඇති විවාහය වර්තමානයේදී අ‍හෝසි වී ඇතැයි" උත්ප්‍රාසාත්මකව ප්‍රකාශ කලේය.බටහිර ධනවාදය අර්බුදයට ගොස් තිබෙන සන්දර්භයක අධිකාරීවාදී චීන ධනවාදය වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් ලෙස සැලකීමේ ප්‍රවනතාවක් මේ වනවිට මතුව ඇත.

ධනවාදය අධිරාජ්‍යවාදයක් දක්වා වැඩීයාම පිලිබද ලෙනින්ගේ ප්‍රවාදය තහවරු කරමින් අද චීන සමාගම් අප්‍රිකානු රටවල ඛනිජ සම්පත් සොයා වේගයෙන් ඇදෙමින් සිටී,මෑතකදී සුඩාන අර්බුදයේදී එය සිය ආර්ථික අභිලාෂයන් උදෙසා ඉතා විවෘතව වර්ග සංහාරයේ යෙදුනු උතුරු සුඩාන රජය වෙනුවෙන් පෙනී සිටියේය.ලංකාව බදු උපක්‍රමිකව වැදගත් ස්ථානයන්හි කදවුරු බදිමින් චීනය අවතීර්න වී තිබෙන්නේ මේ අනුව අනාගත අධිරාජ්‍යයක භූමිකාවටය.

අනුරාගිකව චීනය වැලද ගන්නා කවුරු කවුරුත් මේ නිසා චිනය යනු කුමක්දැයි නැවතත් තමාගෙන්ම විමසා ගැනීම තීරනාත්මක ලෙස වැදගත්ය.බටහිර ධනවාදයට එරෙහිව යැයි කියා චීන ධනවාදය වෙනුවෙන් විසිල් ගැසීම  කල්පනාකාරීව සැලකිල්ලට ගත යුතු කාරනයක් වන්නේය.







Friday, March 23, 2012

මහනායක හිමියන්ට ප්‍රාග්ධනය මුන ගැසීම / Asgiri Mahanayaka : confronted by the Capital


වංක සහයෝගයේ පිරිත් නූල 

ස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි මහනුවර නගරයේ රාත්‍රී මෝටර් රථ ධාවන තරග පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ සිය විරෝධය පල කරන ලදී.කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතනයේ මාධ්‍ය අනුග්‍රහය යටතේ සංවිධානය වු රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය ( Kandy night races) මාර්තු 17,18 
17 සහ 18 දෙදින තුල මහනුවර නගරයේ පැවැත්විනි.රාත්‍රී 7.30 සිට ඊලග දිනයේ පාන්දර වන තුරු මෙම ක්‍රීඩා සැනකෙලිය පැවැත්වුනු අතර එහි ධාවන පථය වැටී තිබුනේ ශ්‍රී දලදා මාලිගාව අබියසිනි.පොලිස්පතිතුමා හමු වූ බුද්ධරක්ඛිත හිමි මේ සම්බන්ධව සිය අප්‍රසාදය පලකොට තිබූ අතර මහනුවර නගරය පූජනීය නගරයක් බවත් ඒ කරුන නොතකා ඇතැම් දේශපාලකයන් පිරිසක් විසින් ක්ෂනිකව මුදල් උපයනු වස් මෙම තරග සංවිධානය කොට තිබෙන බවත් එහිදී උන්වහන්සේ චෝදනා කල බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුනි.මේ පිලිබද උන්වහන්සේ ජනාධිපතිවරයාට පැමිනිලි කල කල්හි තමා එවැනි තරගාවලියක් පවත්වන්නේද යන්න ගැන නොදන්නා බවට හෙතෙම මහනායක හිමිට ප්‍රකාශ කල බව මාර්තු 16 දින ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කලේය.

මහනුවර නගරයේ රාත්‍රී නිසංසලභාවය දෙබෑ කරමින් දලදා මාලිගාව ඉදිරියෙන් හඩ නගමින් මෝටර් රථ විදුලි වේගයෙන් ගමන් කිරීම සහ රැසව සිටින දහස් ගනන් ජනයා ඒ අභියස ඔල්වරසන් හඩ නැගීම මාලිගාවේ පූජනීයත්වයට හානිකර වූවක් ලෙස අස්ගිරි මහනායක හිමි සැලකුවා විය හැක.වැඩවසම් යුගයේ රාජ්‍යත්වයේ සංකේතය වූ දලදාව ආරක්ෂා කිරීමේ වගකීම පැවතියේ අස්ගිරි - මල්වතු විහාර ද්වයට වන අතර එකල කලබලකාරී තත්වයක් උද්ගත වූ කල්හි අස්ගිරි විහාරවාසී භික්ෂූන් දලදාව තමා භාරයේ තබාගත් බව කියැවේ.අදත් මාලිගාවේ තේවාවන් සහ වෙනත් වතාවත් සිදුකෙරෙනුයේ අස්ගිරි - මල්වතු විහාරවල අධීක්ෂනය යටතේය.මේ අනුව දලදාවේ ආරක්ෂාව පූර්ව ධනවාදී ආසියාතික යුගයේ සිට මහනායකවරුන් මත පැවරී තිබෙන වගකීමකි.ඝෝෂාකාරී නයිට් රේස් වල කලබගෑනියෙන් දලදාවේ පූජනීයත්වය රැකගැනීමේ උවමනාව මහනායක හිමි තුල පහල වනුයේ එම පාරම්පරික රාජකාරිය උන්වහන්සේගේ සිත්හි පවත්නා බැවින් විය හැකිය.

මහනායක හිමිගේ විරෝධය කවරක් වුවද නයිට් රේස් තරග යනු පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ධනේශ්වරකරනයේ ස්වභාවය හකුලුවා දක්වන උත්සවකාරී ප්‍රකාශනයකි.පසුගිය දෙසැම්බර් මස අග කොලඹ නගරයේ මෙවැනිම රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලියක් පැවැත්වුනු අතර ඒ සදහා කොලඹ වීදි කඩා නැවත සකස් කිරීමට පවා රජය ‍කටයුතු යෙදීය.තරග සදහා අවශ්‍ය වැලි ගෝනි ඇදීම සදහා ආරක්ෂක අමාත්‍යංශය හමුදා භටයින් අනුයුක්ත ක‍ලේය.ශක්තිමත් නිෂ්පාදන පදනමක් රහිත පරිභෝජනය උත්කර්ෂයට නැංවුනු සමාජයක් තුලට ප්‍රාග්ධනය ගෙන්වා ගැනීම සදහා මෙවැනි සැනකෙලි අවශ්‍ය කෙරේ.සංචාරකයන් ඉලක්ක කොටගෙන දියත් කෙරෙන සී ප්ලේන් ව්‍යාපෘති හා සමගාමී ශ්‍රේනියක ලා මෙවැනි ක්‍රීඩා සැනකෙලි සැලකිය යුතුය.කොලඹ නයිට් රේස් තරග සදහා විදේශීය ධාවකයින්ද සහභාගී විය.ධනවාදයේ මෙම මොහොත තුල ලංකාව වැනි සමාජයක් තුල මේවා වූ කලී ධනය උපදවන වැදගත් ආර්ථික ක්‍රියාවෝ වෙති.ආරක්ෂක අමාත්‍යංශය කොලඹ වීදි පවා කඩමින් නැවත හදමින් මේ සදහා මැදිහත් වන්නේ එම වැදගත්කම නිසාය.

අනිත් අතට දේශපාලන අධිකාරීන්ගේ පැත්තෙන් බැලූ විට මෙවැනි සැනකෙලි ආර්ථික වාසි ගෙන එන කෙටි හා පහසු මූලාශ්‍රයන්ය.කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් යනු රූපවාහිනී කර්මාන්තය තුල පාතාල පන්නයේ තරගකරුවෙකි.සියලුම ක්‍රීඩා තරගවල ආවරන අයිතිය දැන් එම ආයතනයට නතුවෙමින් තිබෙන්නේ දිවයිනේ ක්‍රීඩා සම්බන්ධ පරම විකාශන අයිතිය අදාල ආයතනය සතු වූවාක් සේය.මෙම ආයතනය ජනාධිපතිවරයාගේ පවුලේ ව්‍යවසායක් බව මෙහිදී අමුතුවෙන් සදහන් කල යුතු නැත.

දැන් උඩුගම බුද්ධරක්ඛිත හිමිට ධනවාදය මුන ගැසී තිබේ.වැඩවසම් යුගයේ රජුට අනුශාසනා කිරීම සදහා පිහිටවූ ආයතනයක වර්තමාන අධිපති වන මෙම හිමි නම නයිට් රේස් පිලිබද වර්තමාන "රජුට' පැමිනිලි කල විට උන්වහන්සේට ලැබෙන්නේ නියම පිලිතුරකි.ජනාධිපතිතුමා ඒ ගැන කිසිවක් දන්නේ නැත.සිය පුත්‍රයාගේ රූපවාහිනි නාලිකාව මාධ්‍ය අනුග්‍රහය සපයන මෙම තරගාවලිය ගැන තමුන් කිසිවක් නොදන්නා බව ජනාධිපතිවරයා කියද්දී එය මුසාවක් බව උඩුගම බුද්ධරක්ඛිත හිමි නොදන්නවා නොවේ.නමුත් කල හැක්කේ කුමක්ද?අස්ගිරි මහනායක යනු මේ යුගය තුල තවදුරටත් සීරියස් චරිතයක් නොවන බව උන්වහන්සේම දනී.දේශපාලකයින් තමුන්ව බැහැදකින්නට එන්නේ බොරුවට බව උන්වහන්සේලා දනිති.තමුන් එහිදී දේශපාලකයන්ට කරන "අනුශාසනා" ද අමුතු යමක් නොව "කවුරු කවුරුත් සමගි විය යුතුයි " වැනි දෙකේ පංතියේ ලමයෙකුට වුවද දිය හැකි පොදු සරල "උපදෙස්" බව උන්වහන්සේලා නොදන්නවා නොවේ.ඒ කියන දේ පාලකයන් සීරියස් ගනන් නොගන්නා බව උන්වහන්සේලා ඊටත් වඩා දනිති.තමුන් කරන්නේ බොරුවක් බව දැන දැනම උන්වහන්සේලා පාලකයන් සමග මෙම ව්‍යාජ කෙලියෙහි නියුතු වෙති.පාලකයන් වෙත ප්‍රශස්ති කියති.පිරිත් නූල් බදිති.වැඩවසම් යුගයේ තමුන් ලද රාජ්‍ය අනුග්‍රහය දිගටම ලබාගැනීම සදහා වංක සහයෝගයෙන් කටයුතු කරති.

ප්‍රසිද්ධ අවකාශයේදී සිංහල ජනමනස ආස්වාදයෙන් කිතිකැවීම සදහා මහනායකවරු අභියස වැදවැටෙන පාලකයින් සැබෑ ලෝකයේදී සැබැවින්ම  ආදරය කරන්නේ පැරනි ගතානුගතික ආසියාතික චාරිත්‍රයන්ට නොව ධනවාදයටය.දලදාවේ පූජනීයත්වය පිලිබද රොමෑන්ටික සෞන්දර්ය රූපයට වඩා මහපොලොවේ පවතින ප්‍රාග්ධනය සැබෑවකි.එය ස්පර්ශ කල හැක.දිව ගෑ හැක.භෞතිකව ආශ්වාදනය කල හැක.යෝෂිත රාජපක්ෂ මෙන්ම ඔහුව ශාන්ත තෝමස් විද්‍යාලයට යැවූ රාජපක්ෂ පියානන්ද මෙම භෞතික සත්‍යය ඉතා හොදින් දනී.මේ අනුව භූමිතෙල්ද?මවුබිමද?යනුවෙන් අ‍පගෙන් අහන පාලකයන්ගෙන් අප පෙරලා  ඇසිය යුත්තේ දලදාවද?නයිට් රේස්ද? යන වඩා යථාර්තවාදී ප්‍රශ්නයයි.







Saturday, March 17, 2012

සිවිල් යුද්ධය ජංගම දුරකථනගත වීම



මුදා සෙබලුන් පිරිසක් විසින් දූෂනය කොටමරා දමා තිබෙන බවට සැලකිය හැකි එල්.ටී.ටී.ඊ සටන්කාරියකගේ තැතිගන්වන සුලු ඡායාරූප පෙලක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරනය වෙමින් පවතී.සොල්දාදුවන් එම මෘත ශරීරයේ යට ඇදුම් පහත් කොට සිය ජංගම දුරකථන භාවිතා කරමින් රහස් අවයවන්ගේ පින්තූර ගන්නා ආකාරය  එම ඡායාරූප වල සටහන්ව තිබේ.මෙම ඡායාරූප පෙල පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී සේවාව විසින් ප්‍රචාරය කල Sri Lankan killing fields  වාර්තා වැඩසටහනේ අඩංගු වූ මීට සමාන දර්ශනයක් සිහිගන්වයි.නිරුවත් කරනු ලැබූ ගැහැනු මල සිරුරු සමූහයක් සමග හමුදා සෙබලුන් පිරිසක් විනෝද වන ආකාරය එම වීඩියෝ දර්ශනය මගින් පිලිබිඹු වූ අතර ජංගම දුරකථන යොදාගෙන මෘත ශරීරවල රහස් තැන් රූපගත කරන ආකාරය එමගින්ද දැක්වුනි.

යුද භූමියේදි සොල්දාදුවන්  ජංගම දුරකථන භාවිතා කොට සිය මතක සටහන් ලෙස රූගත කරගත් දෑ මෙලෙස එලියට පැමිනීමත් සමග යුද්ධය පිලිබද බාහිර ලෝකයා නොදත් බොහෝ කරුනු හෙලිදරවු වීම ආරම්භ වි තිබේ.සිවිල් යුද සමයේදී දෙස් විදෙස් ජනමාධ්‍ය රජයේ දැඩි පාලනයට යටත් වූ අතර පුවත් වාර්තා කිරීම සදහා ස්වාධීනව යුද බිමට  යාමට මාධ්‍යවේදීහු අවසර නොලද්දාහ.රජය විසින් සංවිධානය කරන සංචාර පැකේජ් හරහා මාධ්‍යවේදීන් යුදබිමට ගිය අතර එලෙස නික්මුනු මාධ්‍යවේදීහු "වන්නි සටන","රනබිමෙන් අටට" වැනි රියැලිටි වැඩසටහන් දකුනේ සිංහල ප්‍රෙක්ෂකයා වෙත ගෙන ආහ.දකුනේ මධ්‍යම පංතික ප්‍රේක්ෂකයා යුද්ධය කියවා ගත්තේ සිය ආලින්දයේ වාඩි වී බට්ටි හෝ පබා ප්‍රචාරය වීමට පෙර විකාශය වූ මෙවැනි රියැලිටි වැඩසටහන් හරහාය.

මෙබදු වැඩසටහන් සහ රජයේ නිල ප්‍රචාර මගින් මේ අනුව මැවුනු චිත්‍රයක් විය.ජනාධිපතිවරයාගේ වචනයෙන් කිවහොත් අපගේ සොල්දාදුවන් රනබිමට ගියේ අතෙකින් තුවක්කුවත් අනෙත් අතින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියත් රැගෙනය.ආරක්ෂක ලේකම්වරයාට අනුව යුද්ධය කිසිදු සිවිල් වැසියෙකුට හානි නොවන ආකාරයට ( Zero single casualties) සිදුකරන ලදී.එම මෙහෙයුම මානුශික මෙහෙයුමක් වූ අතර දමිල ජනයා කොටි සංවිධානයේ ආඥාචක්‍රයෙන් ගලවා ගැනීම හැර අනෙක් අරමුනක් එහි නොවීය.

මෙම ෆැන්ටසිය තුල ස්වප්නගතව සිටි දකුනේ ප්‍රේක්ෂකයා සැබැවින්ම උතුරේ සිදුවනුයේ කවරක්දැයි නොදත්තේය.තමා රූපවාහිනියෙන් නරඹමින් සිටි රමනීය රියැලිටි වැඩසටහන උත්කර්ෂයට පත් 2009 මැයි 19 වනදා මේ අනුව ප්‍රීත්‍යෝනමාදයෙන් ඔවුහු ඔල්වරසන් නැගූහ.

සොල්දාදුවන්ගේ මොබයිල් වීඩියෝ සහ සේයා රූ හරහා දැන් එලියට එමින් තිබෙන්නේ වන්නි සටන වර්ගයේ යුදකාලීන රියැලිටි වැඩසටහන් වලට හසු නොවුනු රියැලිටියයි.රනබිමට යන සොල්දාදුවා තුවක්කුව හා මානව හිමිකම් ප්‍රඥප්තියට අමතරව ජංගම දුරකථන ද රැගෙන ගොස් තිබෙන බව ජනාධිපතිවරයාට අමතක වූවා විය හැක.වසර කිහිපයකට පෙර කාන්දු වූ නිරුවත් කොට අත් ගැටගසනු ලැබූ කොටි සටන්කරුවන් පිරිසක් සොල්දාදුවන් විසින් වෙඩි තබා මරා දමන දර්ශනය සහිත වීඩියෝව මෙලෙස ප්‍රසිද්ධියට පත් පලමු වීඩියෝවයි.යුද්ධයකදී යටත් වන අයවලුන් මරාදැමීම ( Extra judicial killings) ජාත්‍යන්තර යුද නීතියට අනුව බරපතල වරදක් වන නිසා මෙම වීඩියෝව එකල මහත් ආන්දෝලනයක් ජනිත කලේය.මේ සම්බන්ධව රජයේ ක්ෂනික ප්‍රතිචාරය වූයේ මෙම දර්ශන ව්‍යාජ ඒවා බවත්,මේ සියල්ල රටට එරෙහිව සිදුකරන කුමන්ත්‍රනයක ප්‍රතිඵල බවත්ය.රජය පමනක් නොව එවකට මෙරට ප්‍රධාන වාමාංශික පක්ෂයක ප්‍රචාරක ලේකම්වරයා පවා මෙම ජංගම දුරකථන වීඩියෝව මාධ්‍ය ඉදිරියේ විස්තර කලේ "කුමන්ත්‍රනයක්" ලෙසය.

ඉන්පසු 2010 ජූනි මාසයේදි මෙවැනි ජංගම දුරකථන වීඩියෝ පට රාශියක් ඇතුලත් කොට චැනල් ෆෝ නාලිකාව සිය වාර්තා වැඩසටහන නිෂ්පාදනය කලේය.මෙම වීඩියෝ පට හා ඡායාරූප යුද්ධය පිලිබදව මවා තිබූ රමනීය චිත්‍රය තූ තූ කර දැමිමෙහිලා සමර්ථය.නිරුවත් ගැහැනු මල සිරුරු සමග කුනුහරුප කියමින් කෑ ගසමින් විනෝද වන සාමාන්‍ය පිරිමියෙකුගේ දර්ශනය  සමග වීරෝදාර මානුශික රනවිරුවා පිලිබදව මවා තිබුනු චිත්‍රය අනන්‍ය කිරීම එතරම් පහසු නොවේ.රජය විසින්ම පත්කල උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම අදාල වීඩියෝ පට පිලිබද පරීක්ෂනයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කොට තිබේ.යුද්ධය යනු දකුනේ මධ්‍යම පංතිකයා පරිකල්පනය කරගෙන සිටි ආකාරයේ වීරෝදාර,රමනීය මානුශික මෙහෙයුමක් නොව ප්‍රචන්ඩත්වයෙන්,මානව හිමිකම් කෙලෙසීම්වලින් හා පිලිකුල් සහගත හැසිරීම් වලින් කිලිටි වී ගිය ගොරතර  ක්‍රියාදාමයක් බව මේ වනවිට සැගවිය නොහැකි ලෙස හෙලිදරවු වෙමින් පවතී.

ධනේශ්වර හමුදාව වූ කලී ධනේශ්වර රාජ්‍යයේ සාහසික මර්ධකයායි.රාජ්‍යයට කවර අන්දමකින් හෝ අභියෝග කරන්නේ කවර සමාජ කොටසක්ද රාජ්‍යය විසින්  කිසිදු මානව චර්යා ධර්මයක් නොතකා එම අභියෝගය චප්ප කර දමනු ඇත.එම චප්ප කරදැමීමේ සාහසිකත්වය දමිලයාගේ සිට හලාවත ධීවරයා දක්වා සියල්ලන්ටම පොදුය.එහි කිසිදු වෙනසක් නැත.මානුශික මෙහෙයුම්, Zero civilian casualties  වැනි ප්‍රබන්ධයන් ගත වන මොහොතක් පාසා කඩා හැලෙමින් තිබේ.රජය යුද්ධය සදහා පැරා මිලිටරි කන්ඩායම් යොදාගත් බවත් ඔවුන් අපරාධ කල බවත් පිලිගැනීමට එල්.එල්.ආර්.සී කමිටුවට සිදුව තිබේ.ලොව වඩාත්ම විනයගරුක හමුදාව සිය හමුදාව බවට පාරම් බෑ ආරක්ෂක බලධාරීන්ට දැන් අශෝභන සිදුවීම් සිදුව තිබේ නම් ඒ ගැන පරීක්ෂන පවත්වන බවට මූනිච්චාවට හෝ කීමට සිදුව තිබේ.ඉතිහාසයට බොරු කල නොහැක.ඉතිහාසය අවසානයේ ජයග්‍රහනය කරනු ඇත.යුද්ධය යනු රියැලිටි වැඩසටහනක්වත් විසිල් ගැසිය යුතු කානිවල් එකක්වත් නොව බිහිසුනු ඝාතනවලියක් බවටත්,හමුදාව පිලිබද රනවිරු ලේබලය පාලකයින්ගේ දෘෂ්ටිවාදී කෙබරයක් බවත් අනාගතය විසින් ඉගෙනගන්නවා ඇත.

[[රාමචන්ද්‍ර සටහන 2012.03.18 - ජනරල ඉරිදා සංග්‍රහය ]]