Friday, February 17, 2012

කරුනා අම්මාන් නැමැති සිංහල බෞද්ධයා / Karuna amman as a Sinhalese Buddhist


ගරිල්ලා ප්‍රධානී කරුනා 
නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුනා අම්මාන් ලබාදුන් අපූර්ව සම්මුඛ සාකච්ඡාවක් පසුගිය සතිඅන්ත ලංකාදීප පුවත්පතේ පලවිය.අශෝක අධිරාජ්‍යයා ප්‍රචන්ඩත්වය අත්හැර සාමකාමී ජීවිතයකට යොමුවුනා සේ තමන්ද දැන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත පැමින තිබෙන බව එහිදී පවසා තිබූ ඔහු මිනීමරු අංගුලිමාලට රහත්විය හැකි නම් තමාට පමනක් ගරහන්නේ ඇයිදැයි ප්‍රශ්න‍ කොට තිබුනි.තමා දැන් බෞද්ධ පොත පත ඇසුරු කරමින් බුදුදහමට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ දරන බව එහිදී හෙතෙම වැඩිදුරටත් සදහන් කොට තිබුනි. 


කරුනා අම්මාන් මහතා බැලූ බැල්මට ගත කරනුයේ සුඛිත මුදිත ජීවිතයකි.හෙතෙම නියෝජ්‍ය අමාත්‍යධූරයක් හොබවයි.ආන්ඩු පක්‍ෂ‍යේ උසස් නිලයක් ඔහුට හිමිය.උත්සව අවස්ථාවකදී ගනු ලැබූ රූමත් කාන්තාවක් ආලිංගන ලීලාවෙන් වැලදගත් සිනහමුසු කරුනාගේ ඡායාරූප පෙලක් පසුගිය දිනවල අන්තර්ජාලයේ සංසරනය විය.කරුනාගේ නීත්‍යනුකූල භාර්යාව මේ වනවිට ලන්ඩනයේ ජීවත් වන අතර ඔහු සමග උත්සව අවස්ථාවන්ට සහභාගී වන ස්ත්‍රිය ඔහුගේ පුද්ගලික ලේකම්වරිය යැයි කියැවේ.නැගෙනහිර ඝන කැලෑ තුල ගතකල රලු ජීවිතය හා සසදන විට කරුනාගේ වර්තමාන පැවැත්ම ප්‍රමෝදය  උතුරා ගලන එකකි.

එහෙත් එම ආස්වාදයේ හිඩැසක් ඇත.ලංකාදීපයේ පලවන කරුනාගේ ප්‍රකාශය එම හිඩැස මූර්තිමත් කරයි.කොටි සංවිධානය පරාජය කිරීමේදී කරුනා ඉටු කල මෙහෙය අති විශාලය.තමාම කලෙක නායකයෙකුව සිට ගොඩනැගූ සංවිධානයක් චප්ප කිරීමට රාජ්‍යයට සහය වීමෙන් කරුනා අපේක්ෂා කලේ අන් කවරක් හෝ නොව සිංහල දේශපාලන ලෝකයේ "පිලිගැනීමයි".ලංකාවේ අධිපති දේශපාලන කතිකාවත සිංහල කේන්ද්‍රීය එකකි.කොටි සංවිධානයෙන් කැඩී හමුදාව සමග සන්ධානගත වීම සමග කරුනා සිදුකරන්නේ දෙමල ජාතිකවාදී කතිකාවතෙන් කැඩී සිංහල කේන්ද්‍රීය කතිකාවත තුලට ඇතුලු වීමයි.

ඉන්පසු ඔහු සිදුකල සෑම දෙයක්ම අප වටහා ගත යුත්තේ තමා අවතීර්නය වූ මෙම නව කතිකාවත තුල තහවුරු වීම සදහා ඔහු විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ලෙසය.එක්තරා ෂර්ලොක් හෝම්ස් කතාවක (The valley of fear) එක්සත් ජනපදයේ මාෆියා කල්ලියකට ඇතුලු වන රහස් පරීක්ෂකවරයෙකු එම කල්ලියේ ඓන්ද්‍රීය සාමාජිකයෙක් වීම සදහා දරනු ලැබූ උත්සාහය පිලිබද රසවත් විස්තරයක් එයි.ඒ සදහා හෙතෙම එම කල්ලියේ අනෙක් අය අනුයයි.තමා එම කල්ලිය වෙනුවෙන් හදවතින්ම කැපවූවෙකු බව හැකි සෑම විටම පෙන්වීමට වෑයම් කරයි."පිටස්තරයාගේ" තත්වයේ සිට "කල්ලියේ එකා"ගේ තත්වයට උසස්වීම පහසු නොවේ.එම පිලිගැනීම දිනාගත හැක්කේ තමා "කල්ලියේ අයටත් වඩා කල්ලියේ එකෙකි" යන්න ඔප්පු කිරීමට මහන්සි වන තරමටය.

සිංහල‍ ‍දේශපාලන ‍ලෝකය තුල අනන්‍යතාවය සොයන විනයාගමූර්ති මුරලිදරන් 
මේ අනුව සිංහල දේශපාලන රාමුවේ ඓන්ද්‍රීය සාමාජිකයෙක් වීම සදහා කරුනා කල දේ බොහෝය.අතීතයේ තමන් සමග එක කදවුරේ සිටි සගයන් සමූලඝාතනය කරදැමීම සදහා හෙතෙම රාජ්‍යයට කොන්දේසි විරහිතව සහය දැක්වීය.ඉනුදු නොනැවතී තමා නායකත්වය දැරූ ටී.එම්.වී.පී නම් දෙමල පක්ෂයෙන් ඉවත්ව හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.මහනායක හිමිවරු බැහැ දුටුවේය.මල් වට්ටි ගෙන පන්සල් ගානේ ඇවිද්දේය.ජාතික ප්‍රශ්නය විෂයෙහි ජාතිවාදී වීම පිලිබද චෝදනාවක් රජයට එල්ල වන්නේ යම් අවස්ථාවකදීද රජයේ දැහැමිබව කියාපෑම වෙනුවෙන් හෙතෙම නොපැකිල ඉදිරිපත් වූයේය.

මේ සියල්ල වෙනුවෙන් කරුනාට හිමිවූයේ භෞතික වරප්‍රසාදයන්ය.දෙමල සමාජයේ විශ්වාසය දිනාගත නොහැකිව අර්බුදයට පත් රාජ්‍යයට තමා වෙනුවෙන් තමාගේ අයටත් වඩා උවමනාවකින් පෙනී සිටින හිටපු දමිල කැරලි නායකයෙකු යනු මිල කල නොහැකි සම්පතකි.කෙසේවුවද කෙතරම් භෞතික වරප්‍රසාද පිරිනැමූවද කරුනා සිය "කල්ලියේ එකෙකු" ලෙස පිලිගැනීමට සිංහල අධිපති කතිකාවත සූදානම් නැති බවට උක්ත පුවත්පත් සාකච්ඡාව හෙලිකරයි. "තමාගේ අතීතයට ගරහන්න එපා" යැයි කරුනාට නැවත නැවත යාප්පු වීමට සිදුවී තිබෙනුයේ එබැවිනි.

සිංහලවාදී දේශපාලන කතිකාවත  කරුනා වැන්නවුන් කෙරෙහි දක්වන්නේ උපයෝගිතාවාදී උනන්දුවකි.මෑතකදී ඇමතිවරුන් පිරිසක් උතුරේ කල සංචාරයකදී ගුනරත්න වීරකෝන් අමාත්‍යවරයා කරුනා අම්මාන්ට ඔහුගේ "ත්‍රස්තවාදී" ඉතිහාසය පිලිබදව ඇනුම්පදමය ස්වරූපී විහිලු කල බව පසුගිය සතියේ සිංහල පුවත්පත්වල ඕපාදූප තීරුවල සදහන්ව තිබුනි.කරුනා සැබැවින්ම සිංහල දේශපාලන ලෝකය තුල (දේශපාලකයන්ට සහ පොදු සමාජයට) "අපේ එකෙකු" නොව "පිටස්තරයෙකි".අපගේ ආධිපත්‍යය රැකගැනීම සදහා නුඹ අපට උදව් කලෙහිය.ඒ සදහා නුඹට අප යම් යම් වරප්‍රසාද ලබාදෙමු.ගනුදෙනුව එපමනකි.අප හා සම වීමට නුඹට නොහැක.කෙතරම් වෑයම් කලද කරුනාට සිංහල දේශපාලන ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාරය එයයි.

මේ අනුව දැන් කරුනා කරන්නේ කුමක්ද?සිය දෙමල අනන්‍යතාවය ඉවත දමා සිංහල බෞද්ධයෙකු වීමෙන් හෝ තමාට අහිමි පිලිගැනීම ලබාගැනීමට  හෙතෙම වෑයම් කරයි.බන පොත් කියවන දැහැමි සැදැහැවතෙකු ලෙස සිංහල සමාජය අභියස ඔහුට රගපාන්නට වී තිබෙනුයේ මේ නිසාය. කරුනා විසින් පලාත් සභාවන්ට ඉඩම් හා පොලිස් බලතල පැවැරීම ප්‍රසිද්ධ ප්‍රකාශයකින් පසුගිය දිනෙක හෙලා දැක තිබුනි.පලාත් සභා සහ ජාතික ප්‍රශ්නය අතර සම්බන්ධය වෙනම සාකච්ඡා කල යුත්තකි.කෙසේවෙතත් සිංහල කේන්ද්‍රීය රාජ්‍යයට එරෙහිව වෙනම රටක් වෙනුවෙන් යුද්ධ කල තැනැත්තෙකු පලාත් සභාවලට ඉඩම් බලයවත් දිය යුතු නැතැයි කීම උත්ප්‍රාසාත්මකය.කරුනා මෙසේ කියනුයේ නැගෙනහිර පලාත් සභාවේ ඉඩම් ඇමති විමලවීර දිසානායක වැන්නවුන් පවා ඉඩම් බලතල ඉල්ලා සිටින සන්දර්භයකය.සිංහල ලෝකයේ පිලිගැනීම ලබාගැනීමට "සිංහලයන්ටත් වඩා සිංහල වීමට" කරුනාට සිදුව තිබෙනුයේ එලෙසිනි.

කරුනා අම්මාන්ගේ මෙම ඉරනම  එකවිට පිලිකුල සහ අනුකම්පාව උපදවන්නකි.හෙතෙම භෞතික වරප්‍රසාද අභියස සිය පෞරුෂය අහිමි කරගත් අධමයෙකු වීම මත මෙම කතාව පිලිකුල් සහගතය.එසේම අධිපති සිංහල කතිකාවත තුල දමිලයෙකුට කිසිදිනෙක නොලැබෙන පිලිගැනීම ලබාගැනීමට හෙතෙම දරන ‍කනගාටුදායක වෙහෙස අනුකම්පා කටයුතුය.


Saturday, February 11, 2012

අපි නොදන්න ලයිව් නොහොත් සංස්කෘතික රැඩිකල්වාදයේ හතර මායිම




ලෙකට ඉහත සිරස රූපවාහිනියේ විකාශය වූ "අපි නොදන්න ලයිව්" වැඩසටහන සමාජගත වූයේ අතිශය ආන්දෝලනාත්මක වැඩසටහනක් ලෙසය.එදිනෙදා වහරට අනුව එය "රැඩිකල් වැඩක්" වූ අතර එම වැඩසටහන මෙහෙයවූ සුදු මල්ලී සහ චූටි මල්ලී "රැඩිකල් පොරවල්" වූහ.රූපවාහිනී කර්මාන්තයේ පෙනෙන මුහුනට යටින් තිබෙන නොපෙනෙන මුහුන අනාවරනය කිරීම මෙම වැඩසටහන මගින් අරමුනු විය.එහි අපූර්වත්වය වූයේ රූපවාහිනි කර්මාන්තයේ ව්‍යාජය හෙලිදරවු කිරීම සදහා ඔවුන් යොදාගනු ලැබූ මාධ්‍යය වූයේද රූපවාහිනීයම වීමයි.
එවැනි වැඩසටහනකට ඉඩ දීමෙන් එය විකාශනය කල සිරස රූපවාහිනියටත් පහර වදිනවා නේදැයි එකල ඇතැම්හු ප්‍රශ්න කලහ.රූපවාහිනී කර්මාන්තය නිරුවත් කෙරෙන වැඩසටහනක් රූපවාහිනි ආයතනයක් වන සිරසටත් හානිකර වේ යන්න බැලූ බැල්මට පෙනුනු දෙයයි.එහෙත් සිරස අදාල වැඩසටහන දිගටම විකාශය කිරීමෙන් නොනැවතී පසුකාලීනව එහි දෙවන අදියරකට පවා අත ගැසීය.තමාට අවාසිදායක විය හැකි වැඩසටහනක් මෙලෙස නොබියව ප්‍රචාරය කර හැරීමට තරම් සිරස නිර්භය වූයේ ඇයි?

මෙම වැඩසටහනේදී රූපවාහිනී කර්මාන්තය හෙලිදරවු කිරීම සම්බන්ධයෙන් සුදු මල්ලී සහ චූටි මල්ලී තුල තිබුනු චේතනාව අතිශය සද්භාවී එකක් වූවා විය හැක.එම සද්භාවී රැඩිකල් ප්‍රවේශය රූපවාහිනී කර්මාන්තය තුල පැවැති පිලිවෙල/සම්මතයට එරෙහි කැරලිකාරී තැනකින් මතුවූවක් ද විය හැක.එහෙත් අවසානයේ වඩාත් පලල්ව සැලකූ විට සිදුව තිබුනේ කුමක්ද?සුදු මල්ලීගේ හා චූ‍ටි මල්ලීගේ විරෝධයට ලක්වූ අධිපති රූපවාහිනී ප්‍රවාහය විසින්ම අවසානයේ ඔවුන් දෙපල ප්‍රයෝජනයට ගෙන තිබීමයි.ලාභ උපයනු වස් රූපවාහිනී කර්මාන්තය නම් ප්‍රෝඩාව මත ආයෝජනය කොට තිබූ මහරාජා ප්‍රාග්ධනයට එම ප්‍රෝඩාව විවේචනයට ලක්කල තරුනයක් දෙදෙනෙකු මුනගැසුනි.එම ප්‍රාග්ධනය විසින් ඔවුන්ගේ එම විවේචනය තවත් වැඩසටහනක් බවට පත්කරන ලදී.එලෙස ප්‍රෝඩාවට එරෙහි විවේචනය මහරාජා ප්‍රාග්ධනය වෙත තව තවත් ලාභ අද්දා දෙන ප්‍රෝග්‍රෑම් එකක් බවට පත්වුනු අතර සැබැවින්ම සිදුව තිබුනේ සුදු මල්ලී හා චූටි මල්ලීගේ විරෝධාකල්පික ප්‍රවේශය ප්‍රාග්ධනය විසින් අවශෝෂනය කරගැනීමයි.සිරස ආයතනය කිසිදු ගැටලුවක් නැතිව අපි නොදන්න ලයිව් නැවත නැවතත් විකාශය කර හැරීමේ රහස එයයි.

ඕනෑම සමාජයක "රැඩිකල් වීම" යෞවන පරම්පරාව අතර සැලකිය යුතු ප්‍රමානයකින් දක්නට ලැබෙන්නකි.සමාජයේ පවතින අධිපති වටිනාකම් නොතකා ක්‍රියාකිරීම හරහා ඊට විරෝධය පෑම මෙම රැඩිකල් වීම යන්නෙන් අදහස් වේ.සමාජ සම්මතය හිසකෙස් තෙල් ගා පැත්තකට පීරීම නම් තරුනයෝ ජෙල් ආලේප කොට විවිධ විලාසිතා සිදුකරති.සම්මතය අමරදේවගේ සිංදු ඇසීම හොදයි යන්න නම් ඔවුහු හාඩ් රොක් ගීත ශ්‍රවනය කරති.සිය වැඩිහිටියන් විසින් පනවන අගයන් එලෙසම පිලිනොගෙන වෙනස් ආකාරයකින් ජීවත්වීම සදහා ඔවුන් තුල නැඹුරුවක් තිබේ.අධිපති ව්‍යුහ හා වටිනාකම්වලට විරෝධය පෑමේ මෙම මනෝභාවය විමුක්තිකාමී විභවයක් සහිත මනෝභාවයක් ලෙස සැලකිය හැක.

"වෙනස් වීම" සදහා තරුනයන් තුල තිබෙන මෙම මනෝභාවය බටහිර ලෝකයේ දැවැන්ත ලෙස පුපුරා ගිය අවස්ථාවක් ලෙස 1960 ගනන්වල මතුවූ ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරය සැලකිය හැක.මෙය ලිංගික විප්ලවය (sex revolution) යනුවෙන්ද හදුන්වනු ලැබේ.උපත් පාලන පෙති මුල්වරට ලොවට හදුන්වා දුන් මේ යුගයේ ලිංගිකත්වය හා බැදුනු සාම්ප්‍රදායික ආකල්ප හා වටිනාකම් විවෘතව අභියෝගයට ලක්කිරීමට යුරෝපයේ හා එක්සත් ජනපදයේ තරුනයෝ ඉදිරිපත් වූහ.විශේෂයෙන්ම විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම,නිරුවත,නිල් චිත්‍රපට යනාදිය සම්බන්ධ වික්ටෝරියානු සදාචාර පිලිවෙත් මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්කෙරිනි.නිදහස් ලිංගිකත්වයේ වටිනාකම විවෘතව අවධාරනය කල හිපි ව්‍යාපාරය වැනි ප්‍රතිසංස්කෘතික උද්ගතයන් එකල දස දහස් සංඛ්‍යාත තරුන තරුනියන්ගේ මහත් පිලිගැනීමට ලක්විය.

මේ අනුව බටහිර ලෝකයේ "ලිංගික විප්ලවය" යනු සමාජයේ අධිපති වටිනාකම් වලට එරෙහිව තරුනයන් තුල පැවැති විමුක්තිකාමී අභිලාෂයන් තුලින් මතුවූවකි.සංස්කෘතික ආකාරයකින් ප්‍රකාශයට පත් මෙම රැඩිකල්භාවය අවසානයේ ලබාගන්නා හැඩය පැහැදිලි කිරීමට හර්බට් මාකුසෙ නම් චින්තකයා Repressive Desublimation නම් සංකල්පය හදුන්වා දුන්නේය.Sublimation යන්නෙන් ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂනයේදී හදුන්වන්නේ ලිංගික ආශාව නම් ප්‍රාථමික මනුශ්‍ය ප්‍රේරනය වඩාත් සමාජමය වශයෙන් පිලිගත හැකි දෙයක් (උදා - කලාව,ආගම) බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියයි.මාකුසෙට අනුව ලිංගික විප්ලවයේදී සිදුවූයේ මෙහි ප්‍රතිලෝමයයි (Desublimation).එනම් ලිංගිකත්වය යන්න ඉතාම සුලබ දෙයක් බවට පත්වීම හරහා කලාවෙහි යෙදෙනවාට හෝ ආගම අදහනවාට වඩා හුදෙක් සිය මූලික ප්‍රේරනයන්ට අවනතව ලිංගිකාස්වාදයේ යෙදීමට මිනිසා යොමුවේ.නමුත් මෙම ක්‍රියාවලිය අවරෝධක/පීඩාකාරී (Repressive) එකකි.මන්ද මෙලෙස සිදුවූ පරිවර්තනය අවසානයේ ස්ථානගත වන්නේ ධනේශ්වර සමාජය තුලය.මේ අනුව ඉහත පරිවර්තනය මගින් අවසානයේ ඔබට ලබාදෙන්නේ නිදහසක් නොව නැවත වටයකින් ඔබව පීඩාකාරී ව්‍යුහයක් තුලට ඇදගැනීමයි.ඔබේ ලිංගික ප්‍රේරනයන් තෘප්ත කරගැනීමට නම් නිල් චිත්‍රපට/උපත් පාලන උපාංග වැනි පාරිභෝගික භාන්ඩ ධනවාදය විසින් ඔබ වෙනුවෙන් නිමවා ඇති අතර  ඒවා මිලට ගැනීමත් සමග ඔබ ප්‍රාග්ධනයේ තර්කනය තුලට ඇතුලු වේ.සතුට ලැබීමට නම් ඔබ ඒවා "මිලට ගත යුතුය".

මාකුසෙ "ලිංගික විප්ලවය" ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ තරුන පරපුර තුල හටගත් විමුක්තිකාමී/රැඩිකල් මනෝභාවය පෙරලා තමාගේ යැපීමේ ආකාරයක් බවට ධනවාදය විසින් පත්කරගත් ආකාරයයි.එනම් සංස්කෘතිකමය ලෙස ප්‍රකාශයට පත්වන විරෝධාකල්ප ක්‍රමය තුලට උරා ගැනීමට ධනවාදය තුල පවත්නා ශක්‍යතාවයයි.සමාජයේ දේශපාලන/ආර්ථික පදනම් ‍කෙරෙහි විවේචනාත්මක නොවන හුදෙක් සංස්කෘතිකමය ලෙස මතුවන සියලු රැඩිකල්භාවයන් අවසන් විග්‍රහයේදි ක්‍රමය විසින් අවශෝෂනය කරගනු ලැබේ.මොබිටෙල් ඩබල් බොනැන්සා වෙලද දැන්වීමේ විකට නලුවන් බවට පත්වෙමින් සුදු මල්ලී සහ චූටි මල්ලී පසුකලෙක ඔප්පු කලේ මෙම සත්‍යයයි.

[[රාමචන්ද්‍රගේ සටහන - ජනරළ ඉරිදා සංග්‍රහය 2012.02.12]]