Monday, October 28, 2013

සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය - 2 ( එරික් ෆ්‍රොම් )



ගම මිනිසාගේ සැබෑ අවශ්‍යතා පූර්නය නොකරන නිසාත්, එය එනයින්ම පරාරෝපිත ප්‍රපංචයක් බවට පත්වූ නිසාත් මාක්ස් ආගමට එරෙහිව සටන් වදී. දෙවියන්ට එරෙහිව මාක්ස් කල සටන, යථාර්ථයේදී, දෙවියන් නමැති මූර්තියට එරෙහිව කරන ලද සටනකි. තරුනයෙක් ලෙස ඔහු තම උපාධි නිබන්ධනයේ මෙසේ ලිවීය. “ දෙවියන් කෙරෙහි අපහාසාත්මක වන්නේ දෙවියන් නොඅදහන අය නොව, මිනිසුන්ගේ ලක්ෂන දෙවියන් වෙත ආරෝපනය කරන්නවුන්ය”. මාක්ස්ගේ අදේවවාදය තාර්කික ගූඨවාදයේ ඉතාමත් වර්ධිත ආකාරයක් නියෝජනය කරයි. එය ඔහුට “අදේවවාදී වීම” සම්බන්ධයෙන් චෝදනා කරන ආගම හා දෙවියන් වෙනුවෙන් සටන් කරන බොහෝ දෙනෙක්ට වඩා මෙයිස්ටර් එකාර්ට් හෝ සෙන් බුදු දහම වැන්නක් සමග බොහෝ සෙයින් සමීප වේ.

ඉතිහාසය පිලිබද මාක්ස්ගේ දර්ශනයත්, සමාජවාදය පිලිබද ඔහුගේ අදහසත් ග්‍රීක හා රෝම චින්තාවලිය තුල දැකිය හැකි මානවවාදයේ දාර්ශනික මූලයන් සහ පරන තෙස්තමේන්තුවේ එන අනාගත දිවැසිවරුන් කෙරෙන් ප්‍රකට වන ගලවා ගැනීම පිලිබද අපේක්ෂාවන් සමග සම්බන්ධ වන අන්දම ගැනත් සදහන් නොකොට ආගම පිලිබද මාක්ස්ගේ ආකල්පය ගැන කථා කල නොහැක. ගැලවුම්කරුවානන්ගේ පැමිනීම පිලිබද අපේක්ෂාව පෙරදිග චින්තනය තුල එන කාවදින සුලු ලක්ෂනයකි. පැරනි තෙස්තමේන්තුවේ එන අනාගත වක්තෘවරු ලාඕ ට්සූ හෝ බුද්ධා මෙන් හුදෙක් ආධ්‍යාත්මික නායකයින් පමනක් නොව ඔවුහු දේශපාලන නායකයින් ද වූහ. ඔවුහු මිනිසාට ඔහු “පැවතිය යුතු” ආකාරය පිලිබද දර්ශනයක් ඉදිරිපත් කරති. මිනිසා විසින් තෝරාගත යුතු විකල්පයන් මිනිසාට අභිමුඛ කරවති. ඉතිහාසයට අර්ථයක් ඇති බවත්, ඓතිහාසික ක්‍රියාවලිය තුල මිනිසා තමාව අංගසම්පූර්න ලෙස හැඩගස්වා ගන්නා බවටත් වූ අදහස පැරනි තෙස්තමේන්තුවේ එන බොහෝ අනාගත වක්තෘවරු බෙදා හදා ගනිති. ඒ අනුව මිනිසා කවදා හෝ සාමය හා යුක්තිය සහිත සමාජ රටාවක් ගොඩනගගා ගනු ඇත. ඒත් මෙම අනාගත වක්තෘවරුන්ට සාමය සහ යුක්තිය යනු යුද්ධය සහ අයුක්තිය නොපැවතීම නොවේ. යුක්තිය සහ සාමය යනු පැරනි තෙස්තමේන්තුව තුල එන මිනිසා පිලිබද සංකල්පය තුල ගැඹුරු ලෙස මුල් බැස පවතින්නකි. 

මිනිසා, තමා පිලිබද ස්ව විඥානය ඇති කරගැනීමට පෙර, එනම් ඔහු “මිනිසෙක්” වීමට පෙර, සොබාදහම සමග සහයෝගීව ජීවත් විය ( ඊඩන් උයනේ ජීවත් වන ආදම් හා ඒව) ඔහුගේ පලමු නිදහස් ක්‍රියාව, එනම් “නැහැ” කීමට ඔහු තුල තිබුනු ශක්‍යතාවය ඔහුගේ දෑස් අරිමින් තමා ලෝකය තුල ආගන්තුකයෙක් ලෙස ස්ථානගත වී සිටින අයුරු දැකීමට ඔහු පොලඹවයි. සොබාදහම සමගත්, මිනිසුන් හා මිනිසුන් අතරත් මිනිසුන් හා ගැහැනුන් අතරත් ඇති අරගල හේ අත් දකී. ඓතිහාසික ක්‍රියාදාමය යනු මිනිසා තම සුවිශේෂී මානවීය ගුනාංගයන් වර්ධනය කරගන්නා වූ ක්‍රියාවලියයි. ඔහු ඒ තුල ආදරය සහ අවබෝධය පිලිබද ගුනාංග වර්ධනය කරගන්නා අතර ඔහු පරිපූර්න මනුෂ්‍යත්වය සාක්ෂාත් කරගත්තාට පසු, මිනිසා සහ සොබාදහම අතර එකමුතුකම වෙත නැවත වතාවක් ඔහු පිවිසෙනු ඇත. මේ නව එකමුතුකම ඉතිහාසය ආරම්භ වීමට පෙර පැවැති පූර්ව-සවිඥානික එකමුතුකමට වඩා වෙනස්ය. එය තමා ගැන, සොබාදහම ගැන, තමා සහ සිය සහෝදර මිනිසුන් අතර සබදතාවය ගැන සිය ඓතිහාසික ක්‍රියාවලිය තුල ලබාගත් අවබෝධය මත පදනම් වන්නකි. පැරනි තෙස්තමේන්තුවේ චින්තනය ප්‍රකාරව, දෙවියන් ඉතිහාසය තුලින් අනාවරනය වේ ( ඒබ්‍රහම්ගේ දෙවියන් , අයිසාක්ගේ දෙවියන් හා ජාකොබ්ගේ දෙවියන් ලෙස) එසේම  ඉතිහාසය මගහැර යන ආකාරයකින් නොව ඉතිහාසය තුල මිනිසාගේ ගැලවීම රැදී ඇත. මෙහි අදහස වන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික අභිලාෂයන් සමාජ පරිවර්තනයන් සමග වෙන් කල නොහැකි ලෙස බැදී ඇති බවත්, දේශපාලනය මානවීය වටිනාකම් සහ මිනිසාගේ ස්වයං සාක්ෂාත්කරගැනීම සමග වෙන් කල නොහැකි පථයක් වන බවත්ය.

මීට සමාන චින්තාවලියක් ග්‍රීක සහ රෝම අදහස් ලෝකය තුලද දැකගත හැක. ස්ටොයික දාර්ශනික සීනොගේ සිට සෙනෙකා හා සෙසෙරෝ දක්වා ස්වභාවික නීතිය සහ මිනිසාගේ සමානත්මතාවය පිලිබද අදහස් මිනිස් මනස තුල මහත් බලපෑම් සහගත තත්වයක් ඉසිලීය. මේවා අනාගත දිවැසිවර සම්ප්‍රදායන් සමග එක්වී ක්‍රිස්තියානි චින්තනයේ පදනම පසුකාලීනව සකස් කලේය.

පෝල්ගෙන් පසු ක්‍රිස්තියානිය ගැලවීම පිලිබද ඓතිහාසික සංකල්පය ශුද්ධ වශයෙන් ආධ්‍යාත්මික එකක් බවට පත්කරමින්, පල්ලිය “ යහපත් සමාජය” පැවැති තැනට ආදේශ කරමින් එම සංකල්පය පරිවර්තනයකට ලක් කල අතර මේ පරිවර්තනය කෙසේ වුවද එහි තාර්කික අන්තයට ගමන් කලේ නැත. මුල්කාලීන පල්ලියේ පියවරු පවතින රාජ්‍යය කෙරෙහි රැඩිකල් විවේචන ගෙන ආ අය වූහ. මධ්‍යකාලීන යුගයේ කතෝලික චින්තනය ලෞකික රාජ්‍යය සහ අධිකාරිය ස්වභාවික හා දිව්‍යමය නීතියේ පදනම උඩ විචාරයට ලක්කරති. මේ දෘෂ්ටිකෝනයට අනුව රාජ්‍යය සහ සමාජය අනාවරනය කරගැනීම් සහ විචාර බුද්ධිය තුලින් සොයාගත හැකි ආධ්‍යාත්මික වටිනාකම් වලින් දික්කසාද නොවිය යුතු බව දක්වයි. තවද ප්‍රතිසංස්කරන යුගයට පෙර මෙම අදහස විවිධ ක්‍රිස්තියානි නිකායන් අත වඩාත් රැඩිකල් ආකාරය වලින් ප්‍රකාශයට පත්වූ අතර සමකාලීන යුගයේ “ මිතුරන්ගේ සමාජය” (Society of Friends ) වැනි නිකායන් දක්වාම ඒ සම්ප්‍රදාය ගලා ඒ.

ක්‍රිස්තියානි ප්‍රතිසංස්කරනයට පසු, මෙම ගැලවුම්කාරවාදී මෙසායාවාදී චින්තනය තවදුරටත් ආගමික භාෂාවකින් ප්‍රකාශයට පත් වූයේ නැත. ඒ වෙනුවට එය දාර්ශනික, ඓතිහාසික හා සමාජයීය චින්තනයක ස්වභාවයෙන් ප්‍රකාශයට පත්විය. පුනරුද යුගයේදී එය ශ්‍රේෂ්ඨ යුටෝපියාවන්හි ස්වභාවයෙන් ප්‍රකාශයට පත්විය. මේ අනුව නව ලෝකය දුර ඈත අනාගතයක නොව දුර ඈත ප්‍රදේශයක් මත සංකල්පගත කරන ලදී. ප්‍රංශ හා ඉංග්‍රීසි විප්ලව තුලත් බුද්ධි ප්‍රබෝධ යුගයේ දාර්ශනිකයින්ගේ අදහස් තුලත් මේ සිතීම් රටාව හදුනාගත හැක. එය එහි වඩාත්ම නූතන සහ වඩාත්ම පරිපූර්න හැඩහුරුව ලබා ගත්තේ සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය තුලය. මොසෙස් හෙස් වැනි සමාජවාදීන් හරහා මාක්ස් මත බල පැවැත්වූ අනාගත දිවැසිවර ගැලවුම්කාරවාදී සම්ප්‍රදායේ බලපෑම කවරාකාර වුවත් බුද්ධි ප්‍රබෝධ යුගයේ දාර්ශනිකයන් තුල විශේෂයෙන් ස්පිනෝසා, ගොයෙතෙ සහ හෙගල් තුල දක්නට ලැබුනු අනාගත වක්තෘමය ගැලවුම්කාරමය සම්ප්‍රදායට නෑකම් කියන චින්තනය ඔහු වෙත වක්‍රාකාරයෙන් බලපෑ බව නම් නිසැකවම පැවැසිය හැක. දහතුන් වන සියවසේ දිවැසිවර ක්‍රිස්තියානි චින්තනයත්, දහ අට වන සියවසේ බුද්ධි ප්‍රබෝධයත්, දහ නම වන සියවසේ සමාජවාදයත් අතර තිබෙන පොදු ලක්ෂනය වන්නේ රාජ්‍යය ( සමාජය) සහ ආධ්‍යාත්මික වටිනාකම් එකිනෙකෙන් වෙන් කල නොහැකි බවත් දේශපාලනය සහ සදාචාරාත්මක වටිනාකම් බෙදිය නොහැකි බවටත් වූ අදහසයි. මේ අදහස පුනරුද යුගයේ ලෞකික සංකල්ප විසින් ( මැකියාවෙලි) අභියෝගයට පාත්‍ර වූ අතර එසේම නූතන රාජ්‍යයන් හි ඓහිකවාදය විසින් ද එය අභියෝගයට ලක්කලේය. බටහිර මිනිසා, ඔහු දැවැන්ත භෞතිකමය අත්පත් කරගැනීම් සාක්ෂාත් කරගන්නා සෑම අවස්ථාවකදීම පාහේ, තමා විසින් අත්පත් කරගත් ඒ නව ශක්තීන්ට තමාවම සීමා රහිත ලෙස පාවා දෙනු ලැබූ බවත් මේ නව ශක්තීන්ගෙන් බීමත්ව තමාවම අමතක කරගත් බවත් කිව හැක්කා සේය. මේ සමාජ වල ප්‍රභූන් බල තන්හාවෙන්, සුඛෝපභෝගීත්වය සදහා වූ තෘෂ්නාවෙන් වියරු වැටී තමා අනුගමනය කරන මිනිසුන් ඒ අනුව මෙහෙයවූහ. පුනරුද කාලයේ ලෝක ගෝලය සොයාගැනීමත්, නව විද්‍යාවක් බිහිවීමත්, උතුරු ඉතාලියේ ධනවත් නගර බිහිවීමත් අතර තුර මෙම තත්වය දක්නට ලැබුනු අතර එය නැවත වතාවක් පලමු හා සමකාලීන දෙවන කාර්මික විප්ලව යුගවලදී එලෙසම විද්‍යාමාන විය.

ඒත් මේ වර්ධනය තවත් වෙනත් සාධකයක පැවැත්ම විසින් වඩාත් සංකීර්න කරනු ලැබේ. රාජ්‍යය සහ සමාජය යම් යම් නිශ්චිත ආධ්‍යාත්මික වටිනාකම් සාක්ෂාත් කරගැනීමට ආධාර කිරීම සදහා පවතින ආයතන වන්නේ නම්, යම් යම් ආකාර වලට සිතන ලෙස හා ඒ අනුව වැඩ කරන ලෙස මිනිසාට බල කරන උත්තරීතර අධිකාරියක පැවැත්ම සුජාත වීම සම්බන්ධ අවදානමක් හටගනී. වාස්තවික ලෙස වලංගු වටිනාකම් සමාජ ජීවිතය තුලට ආබද්ධ කරගැනීම සර්වාධිකාරවාදයක් නිර්මානය වීම සදහා පාර කැපිය හැක. මධ්‍යකාලීන යුගයේ මෙම සර්වාධිකාරී ආධ්‍යාත්මික අධිකාරිය වූයේ කතෝලික පල්ලියයි. මුලදී මිනිසාට වඩා වැඩි නිදහසක් පොරොන්දු වෙමින් ප්‍රොතෙන්සතන්ත්‍රවාදය මේ අධිකාරිය සමග සටන් කල අතර කෙසේ වුවද අවසානයේ එය ආධාර කලේ ප්‍රාදේශික වංශාධිපති රාජ්‍යයන්ට සිය ඒකාධිකාරී සහ අන්තනෝමතික බලය මිනිසාගේ ශරීරය සහ ආත්මය මත අභ්‍යාස කිරීමෙහිලා උපකාර කිරීමටය. වංශාධිපති අධිකාරියට එරෙහි කැරැල්ල පැන නැගුනේ ජාතියේ නාමයෙන්ය. මොහොතකට ජාතික රාජ්‍යය නිදහසේ ඒජන්තයා ලෙස පෙනී සිටියේය. ඒත් ඉක්මනින්ම ජාතික රාජ්‍යය ප්‍රාග්ධනය හිමි සමාජ කොටස් වල භෞතික අවශ්‍යතා ආරක්ෂා කරන්නා වූ ආයතනයක් බවට කැපවුනු අතර එම පංතියට සමාජ‍යේ බහුතරයක් දෙනාගේ ශ්‍රමය හා මහන්සිය සූරාකෑමට උපකාර කරන ආයතනයක් ලෙස එය අවසාන විය. සමාජයේ ඇතැම් පංතීන් මේ නව සර්වාධිකාරයට එරෙහිව විරෝධය පෑ අතර මේ ලෞකික අධිකාරියේ ඇගිලි ගැසීම් වලින් තනි පුද්ගල මිනිසාගේ නිදහස ආරක්ෂා විය යුතු බවට උද්ඝෝෂනය පෑහ. මෙය ලිබරල්වාදයට උපත ලබා දුන්නේය. එය රාජ්‍යයෙන් නිදහස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටි අතර සමාජය සහ රාජ්‍යය නිදහස සාක්ෂාත් කරගැනීම සදහා උත්සාහ නොකල යුතු බවට අනිත් අතට ඇගවීය. එනම් ලිබරල්වාදයට රාජ්‍යය සහ පල්ලිය වෙන් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවූවා සේම අනිත් අතට යම් යම් නිශ්චිත ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක වටිනාකම් සාක්ෂාත් කරගැනීමේදී රාජ්‍යයට හා සමාජයට භූමිකාවක් නැති බවත් මේ වටිනාකම් මුලුමනින්ම තනි තනි පුද්ගලයින් විසින් තමා වෙත ලගා කරගත යුතු බවට ප්‍රකාශ කිරීමටත් සිදුවිය.

සමාජවාදය ( එහි මාක්ස්වාදී රූපාකාරය සහ වෙනත් රූපාකාර තුල) “යහපත් සමාජය” පිලිබද අදහස යලි හරවමින් එය මිනිසාගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා අවශ්‍ය තත්වයන් සකස් කරන්නක් ලෙස අර්ථනිරූපනය කලේය. රාජ්‍යය සහ පල්ලිය සම්බන්ධව ගත් කල්හි එය අධිකාර විරෝධී වූ අතර ඒ අනුව රාජ්‍යය වියැකී යාම වෙනුවෙන් සහ ස්වේච්ඡාවෙන් එකිනෙකා සමග නිදහස් සමාගමයට එලැඹි මිනිසුන්ගේ සංගමයක් ලෙස සංවිධානය වූ සමාජයක් ස්ථාපනය කිරීම කෙරෙහි උත්සුක විය. එහි අරමුන වූයේ මිනිසාට තමා වෙතටම නැවත පැමිනීමට ආධාර කිරීමට හැකි ආකාරයට සමාජය නැවත ගොඩනැංවීමය. මිනිස් මනස වහල්භාවයට පත්කරන අධිකාරිවාදී බලවේග වලින් තොර සමාජයක් එය විසින් පරිකල්පනය කලේය.

මේ අනුව මාක්ස්වාදී සහ වෙනත් ප්‍රවනතාවලට අයත් සමාජවාදය දිවැසිවර ගැලවුම්කාරවාදයේ, දහතුන් වන සියවසේ තෝමිස්වාදයේ, පුනරුද කාලීන යුටෝපියානුවාදයේ සහ දහඅට වන සියවසේ බුද්ධි ප්‍රබෝධයේ අනුප්‍රාප්තිකයෝ වෙති. එය වූ කලී සමාජය ආධ්‍යාත්මික සාක්ෂාත් කරගැනීම සදහා අවකාශ සපයන පසුතලයක් ලෙස දකින දිවැසිවර-ක්‍රිස්තියානි අදහසේත් මිනිස් නිදහස පිලිබද අදහසේත් සහවාදයයි. මේ හේතුව නිසා එය පල්ලියට විරුද්ධය. මන්ද පල්ලිය මිනිස් මනස මත තහංචි පනවන හෙයිනි. එය ලිබරල්වාදයට විරුද්ධය. මන්ද එය සමාජය සහ සදාචාරාත්මක වටිනාකම් වෙන් කරනු ලබන හෙයිනි. එය ස්ටාලින්වාදයට සහ කෘෂෙව්වාදයට විරුද්ධය. මන්ද එහි සර්වාධිකාරවාදී ස්වභාවය එය විසින් යෝජනා කරන මානවවාදී අගයන් නොසලකා හරිනු ලබන හෙයිනි.

සමාජවාදයේ හරය මේ අනුව මිනිසාට නැවත සැබෑ මනුෂ්‍යයෙක් බවට පත්වීමට ආධාර කරමින් මිනිස් පරාරෝපනය අහෝසි කර දැමීමයි. “ එය මිනිසා සහ මිනිසා අතරත් මිනිසා සහ සොබාදහම අතරත් වන පසමිතුරුතාවය බේරුම් කරන්නා වූ  ක්‍රියාදාමයයි. එය පැවැත්ම සහ සාරය අතරත්, වස්තුකරනය සහ ස්වයං-ප්‍රතිඥාව අතරත්, නිදහස සහ අවශ්‍යතාවය අතරත්, පුද්ගලයා හා වර්ගයා අතරත් ගැටුමට ඉදිරිපත් වන්නා වූ සැබෑ විසදුමයි. එය ඉතිහාසය විසින් ඉදිරිපත් කරන ගැටලු ප්‍රකාශයට ඉදිරිපත් කෙරෙන විසදුම වන අතර එම විසදුම ලෙස එය එහි අනන්‍යතාවය ලබයි”. මාක්ස්ට සමාජවාදය යනු මානවයාට නැවත තමාව සොයාගැනීමට, නැවත මිනිස්භාවය වෙත පැමිනීමට ආධාර කරන්නා වූ සමාජ රටාවයි. පැවැත්ම සහ සාරය අතර අනන්‍යතාවය, වස්තුව සහ ආත්මය අතර විභේදනය සහ පසමිතුරුතාවය ජය ගැනීමට, සොබාදහම මානුෂිකකරනය කිරීමට ආධාර කරන්නා වූ සමාජ රටාවයි. එය මිනිසා තවදුරටත් ආගන්තුකයින් අතර ආගන්තුකයෙක් නොවන, ලෝකය තමාගේම නිවස්නය සහ තමාගේම ලෝකය ලෙස දකින සමාජයක් පිලිබද ඇගවුමකි.

සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය - 1 ( එරික් ෆ්‍රොම් )


ධනවාදය එහි අරටුව දක්වා කුනු වී ඕජස් ගලමින් සිටින මේ මොහොතේ ඊට විකල්ප සමාජ රටාවක් ගැන සංවාදය මතු කරගැනීම දැවෙන අවශ්‍යතාවයක් ලෙස පැන නැගී ඇත. සාම්ප්‍රදායිකව ධනවාදයට විකල්ප සමාජ රටාව ලෙස "සමාජවාදය" පිලිබද සංකල්පය ඉදිරිපත් වේ. බොහෝ විට සමාජවාදය ලෙස හදුනා ගැනෙන්නේ ‍20 වන සියවසේ ස්ටාලින්කරනයට ලක්වූ සෝවියට් සංගමය හා එය අනුව යමින් 'සමාජවාදී කදවුර' ලෙස හැදින්වූ රාජ්‍ය පද්ධතිය තුල අභ්‍යාස කල සමාජ ආර්ථික දේශපාලන පිලිවෙලයි. සෝවියට් සංගමයේ ඇද වැටීම විසින් සමාජවාදය පිලිබද සෝවියට් මොඩලයේ අසාර්ථකතාවය පැහැදිලි කරන ලදී.අවාසනාවකට මෙන් ලාංකීය සමාජය තවමත් සමාජවාදයේ පරම ආකාරය ලෙස දකින්නේ මෙම සෝවියට් මොඩලය පමනි. අඩු තරමින් 20 වන සියවස තුලදී සෝවියට් මොඩලයට එරෙහිව සමාජවාදී පදනමක් මත ඉදිරිපත් වූ ට්‍රොට්ස්කිවාදී විචාරය හෝ බටහිර මාක්ස්වාදය තුල ආ විවේචනය ගැනවත් අප සමාජය ප්‍රමානාත්මක ලෙස දැනුවත් නැත.

සෝවියට් මොඩලය සැබැවින්ම සමාජවාදීද යන විවාදය මදෙකට පසෙක තබා සමාජවාදය පිලිබද සෝවියට් මොඩලය ඉක්මවා යමින් විචාරාත්මක ලෙස සමාජවාදී සංකල්පය ප්‍රති-අභිසංස්කරනය කිරිමේ අභියෝගය මේ මොහොතේ සමාජවාදියෙක් ලෙස තමාව හදුන්වා ගන්නා ඕනෑම අයෙක්ට අභිමුඛ වන්නකි. එරික් ෆ්‍රොම් විසින් රචිත Marx's Concept of Man ( මිනිසා පිලිබද මාක්ස්ගේ සංකල්පය) කෘතියේ එන Marx's Concept of Socialism ( සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය)  නමැති පරිච්ඡේදය සිංහලයට නගා මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ  සමාජවාදය පිලිබද එම නව සංවාදයට කෙරෙන දායක වීමක් වශයෙනි.බටහිර මාක්ස්වාදී දහරාවේ චින්තකයෙක් වන එරික් ෆ්‍රොම්ගේ මේ රචනය මානවවාදී මාක්ස්වාදය ( Humanist Marxism) ලෙස හදුන්වන ප්‍රවනතාවයට අයත් වන්නක් ලෙස හැදින්වීමට පුලුවන. එරික් ‍ෆ්‍රොම් මෙම රචනය තුල කාල් මාක්ස්ගේ මුල්කාලීන රචනා මත පදනම්ව ධනවාදයට මෙන්ම ගතානුගතික ස්ටාලින්වාදයට ද එරෙහිව මාක්ස් පිහිටුවමින් සමාජවාදය පිලිබද මාක්ස්ගේ අදහස අභිසංස්කරනය කරයි.


                                                                       ***

සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය
මාජවාදය ගැන මාක්ස්ගේ අදහස ගලා එන්නේ මිනිසා පිලිබද ඔහුගේ සංකල්පය තුලිනි. මේ සංකල්පය අනුව, සමාජවාදය යනු , එම මිනිසුන් අතර ආදායම් සමනතාවය තිබුනා හෝ වේවා නොතිබුනා හෝ වේවා යාන්ත්‍රික ලෙස හැඩගස්වන ලද,‍ රෙජිමේන්තුගත කරන ලද මිනිසුන්ගෙන් යුක්ත සමාජයක් නොවේ. එය පුද්ගලයා රාජ්‍යයට, නිලධාරී තන්ත්‍රයට හෝ යන්ත්‍ර වලට යටත් කරන ලද සමාජයක් නොවේ. රාජ්‍යය “ වියුක්ත ධනවාදියෙක්” ලෙස සේව්‍යයා ලෙස ක්‍රියා කරත්, එය පවා සමාජවාදය නොවේ. ඒ වෙනුවට, මාක්ස් ආර්ථික හා දාර්ශනික අත්පිටපත් වලදී නිශ්චිතවම මෙසේ කියයි. “මෙවැනි කොමියුනිස්ට්වාදයක් මිනිස් සංවර්ධනයේ ඉලක්කය නොවේ”. එසේ නම් ඉලක්කය කුමක්ද?

පැහැදිලිවම සමාජවාදයේ ඉලක්කය වන්නේ මිනිසාය. තමාගේ නිෂ්පාදිතයෙන්, තමාගේ වැඩවලින්, තමාගේ සහෝදර මිනිසුන්ගෙන්, තමාගෙන් හා සොබාදහමෙන් මිනිසා පරාරෝපනය නොවන සමාජ සංවිධානයක් සහ නිෂ්පාදන මාදිලියක් නිර්මානය කරගැනීම එහි පරමාර්ථයයි. එය මිනිසාට නැවත තමා සොයාගැනීමට, ලෝකය තම සැබෑ ශක්තීන් තුලින් ග්‍රහනය කරගැනීමට හා ලෝකය සමග සුසංයෝගී පැවැත්මක් වෙත ඒමට උපකාරී කරයි. පෝල් ටිලිච් දක්වන ආකාරයට, මාක්ස්ට සමාජවාදය යනු “ සමාජ යථාර්ථය තුල ආදරය විනාශ වී ගොස් තිබීමට එරෙහිව ගසනු ලැබෙන කැරැල්ලකි”

ප්‍රාග්ධනයේ තෙවැනි වෙලුමේ අවසානය භාගයේදී මාක්ස් නිශ්චිත පැහැදිලිතාවයකින් යුතුව සමාජවාදයේ අරමුන පැහැදිලි කරයි. “ අවශ්‍යතාවය සහ බාහිර උපයෝගීතාවය විසින් ශ්‍රමය ඉල්ලා සිටින මොහොත ඉක්මවා යන තුරු නිදහස සාක්ෂාත් කරගැනීම යථාවක් කරගත නොහැක.මිලෙච්ඡයා තම පැවැත්ම වෙනුවෙන් , සිය අවශ්‍යතා ඉටු කරගනු වස්, සිය ජීවිතය නිෂ්පාදනය සහ ප්‍රතිනිෂ්පාදනය කරනු වස්, සොබාදහම සමග පොර බදින්නේ යම් සේද, ශිෂ්ටාචාරගත මිනිසාද ඕනෑම සමාජ ක්‍රමයක් තුල, දෙන ලද ඕනෑම නිෂ්පාදන සැකැස්මක් තුල ඒ දේම සිදුකරයි. ඔහුගේ සංවර්ධනයත් සමග අවශ්‍යතා වල විෂය පථය පලල් වේ. මන්ද ඔහුගේ අවශ්‍යතා පලල් වන හෙයිනි. ඒත් මේ සමගම නිෂ්පාදන බලවේග ද වර්ධනය වේ. මේවා තුලින් ඔහුගේ අවශ්‍යතා තෘප්තිමත් වේ.  සමාජමය මිනිසා, එකිනෙකා හා සමාගමය සහිත නිෂ්පාදකයින්, හුදු අන්ධ බලවේගයක් මගින් මෙහෙයවනු ලැබීමෙන් තොරව,සොබාදහම සමග සිය අන්තර් සම්බන්ධය තාර්කිකව නියාමනය කරගනිමින් සිය මිනිස් ස්වභාවයට වඩාත්ම වඩාත්ම යෝග්‍ය තත්වයන් යටතේ, සිය කර්තව්‍යය අඩුම ශක්තියක් වැය කොට සාක්ෂාත් කරගන්නා තත්වයකින් මේ ක්ෂේත්‍රය තුල නිදහසේ විෂය පථය සංයුක්ත වනු ඇත. ඒත් එය හැම විටෙකම අවශ්‍යතාවන්හි විෂය පථයක් ලෙසද පවතිනු ඇත. මේ විෂය පථයට ඔබ්බේ සිට, නිදහසේ සැබෑ විෂය පථය සාක්ෂාත් කරගැනීම උදෙසා මිනිස් ශක්තීන්ගේ වර්ධනය ආරම්භ වේ. මෙය විකසිත වනු ඇත්තේ අවශ්‍යතාවයේ විෂය පථය එහි පදනම බවට පත්වූ තතු යටතේ පමනි”

මාක්ස් මෙහිදී සමාජවාදයේ සියලු අත්‍යවශ්‍ය ලක්ෂන ප්‍රකාශ කරයි. පලමුව, මිනිසා තරගකාරී ආකාරයකින් නොව, හවුල් ආකාරයකින් අන්‍යොන්‍ය සමාගමය යටතේ, නිෂ්පාදනය කරනු ඇත. ඔහු තාර්කිකව සහ පරාරෝපිත නොවූ විධියකින් නිෂ්පාදනය කරනු ඇත. එනම් ඔහු නිෂ්පාදනය තමා යටතට ගෙන එනු ලබන අතර නිෂ්පාදනය විසින් හෝ වෙනත් අන්ධ බලයකින් ඔහු මෙහෙයවීමට ලක් නොවනු ඇත. මෙම පැහැදිලි කිරීම මිනිසා නිලධාරී තන්ත්‍රයක් විසින් පාවිච්චි කරනු ලැබෙන ( මේ නිලධාරි තන්ත්‍රය හුදු එක් තනි සමාගමක් නොව මුලු ආර්ථිකයම මෙහෙයවන රාජ්‍ය අධිකාරියක් වුවද) සමාජවාදී සංකල්පයක් සදහා කිසිදු ඉඩක් තබන්නේ නැත.

මේ අනුව පුද්ගලයා සැලසුම් සකස් කරද්දී මෙන්ම ඒවා ක්‍රියාවට නැගීමේදීද සක්‍රීයව ඊට සම්බන්ධ වනු ඇත. කෙටියෙන් කියන්නේ නම්, ඉන් අදහස් වන්නේ, දේශපාලන සහ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමයි. මෙබදු නව පන්නයේ පරාරෝපනයෙන් නිදහස් වූ සමාජයක් තුල මිනිසා සිය දෙපයින් සිටගත්, නිදහස්, තමා ප‍රාරෝපනයට ලක්කරන නිෂ්පාදන මාදිලියක් සහ පරිභෝජන රටාවක් මගින් හෙම්බත් නොවූ තතු යටතේ මිනිසා සැබැවින්ම තම ජීවිතයේ ස්වාමියා සහ නිර්මාපකයා වනු ඇති බවත්, ජීවත්වීමේ මාධ්‍යයන් නිෂ්පාදනය ‍කරනවා වෙනුවට සිය ජීවිතය ආස්වාදනය කිරීම පටන් ගන්නා මිනිසෙක් වනු ඇති බවට මාක්ස් අපේක්ෂා කලේය. සමාජවාදය ජීවිතය පරිපූර්න වීමක් ලෙස මාක්ස් කිසිදා නොදිටීය. ඔහුට අනුව එය ජීවිතය පරිපුර්න කරගැනීම සදහා තත්වයන් නිර්මානය කරනවා පමනි. මිනිසා තාර්කික, පරාරෝපනයෙන් නිදහස් වූ සමාජයක් ගොඩනැගූ කල්හි, ජීවිතයේ ඉලක්කය වන සැබෑ නිදහසේ පූර්ව කොන්දේසිය වන, “මානව ශක්තීන්ගේ සංවර්ධනය” සාක්ෂාත් කරගනු ඇත. ශේක්ස්පියර්‍ගේ සහ ඇකෙයිලිස්ගේ කෘති මනාව හදාල ඒවා මනා ලෙස ආස්වාදනය කල පුද්ගලයෙක් ලෙස මාක්ස් සමාජවාදය ලෙස හුදෙක් කාබී බඩ පුරවාගත් මිනිසුන්ගෙන් සමන්විත “ සුබසාධන” හෝ “ කම්කරු” රාජ්‍යයක් ගැන කවදාවත් සිහින නොමවන්නට ඇත. ආර්ථික දරිද්‍රතාවයෙන් පමනක් නොව පරාරෝපනය තුලින් නිපන් ආධ්‍යාත්මික පරාරෝපනයෙන්ද අත් මිදුනු කල්හි, තමාගේ සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සදහා ඇවැසි ඓතිහාසික සංස්කෘතික පසුබිම මිනිසා විසින්ම නිර්මානය කර ඇත. මාක්ස්ගේ දැක්ම මිනිසා ගැන ඔහු තුල ඇති භක්තිය තුල රැදී තිබේ. ඔහු සමාජවාදය මිනිස් නිදහසේ සහ නිර්මානශීලීත්වයේ පූර්ව කොන්දේසිය ලෙස දුටුවේ. ඒ වෙනුවට එය මිනිසාගේ ජීවිතයේ අවසාන අරමුන ලෙස දුටුවේ නැත. මාක්ස්ට සමාජවාදය ( හෝ කොමියුනිස්ට්වාදය ) යනු සිය ඉන්ද්‍රීයය ශක්තිය වාස්තවීකරණය කිරීම තුලින් මිනිසා ගොඩනගා ඇති විෂයමූලික ලෝකයෙන් පලා යාමක් හෝ ඉන් වියුක්ත වීමක් නොවේ. එය නැවත අස්වභාවික, ප්‍රාථමික සරලත්වය වෙත ගමන් කිරීමක් නොවේ. එය මිනිස් ස්වභාවය අව්‍යාජ සැබෑ දෙයක් ලෙස සාක්ෂාත්කරනය කරගනු ලබන පලමු සැබෑ පැන නැගීම වේ. සමාජවාදය, මාක්ස්ට අනුව, පරාරෝපනය අබිබවා යමින් මිනිසාට සිය සාරය සාක්ෂාත් කරගැනීම සදහා ඉඩකඩ සපයා දෙනු ලබන්නකි. එය සැබැවින්ම නිදහස්, තාර්කික, සක්‍රීය, ස්වාධීන මිනිසෙක් නිර්මානය කරන්ට අවශ්‍ය පරිසරය සකසා දීමට වඩා අඩු යමක් නොවේ.

මේ මාක්ස්, "නිදහසේ සතුරෙක්" ලෙස හුවා දැක්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ මාක්ස්ගේ නාමයෙන් කථා කරන බව පෙන්නුම් කල ස්ටාලින්ගේ විස්මයජනක ප්‍රෝඩාකාරිත්වය සමග එකතු වී ඇති බටහිර ලෝකය තුල මාක්ස් පිලිබද පොදුවේ පවතින විස්මයජනක නොදැනුවත්භාවය හේතු කොට ගෙනය. මාක්ස්ට සමාජවාදයේ අරමුන වූයේ නිදහසයි. මේ නිදහස මිනිසා සිය දෙපයින් නැගී සිටීම මත පදනම් වූ, සිය ශක්තීන් නිදහස්ව ලෝකය සමග ඵලදායීව සම්බන්ධ වීම සදහා යොදාගන්නා වූ රැඩිකල් අර්ථයක් දරන්නා වූ නිදහසකි. මාක්ස් මෙසේ කියයි. “ නිදහස මිනිසා තුල සාරයක් ලෙස කෙතරම් සංයුක්ත වී තිබේද යත් එහි විරුද්ධවාදීන් පවා එය වටහා ගනී. කිසිදු මිනිසෙක් නිදහස සමග සටන් වදින්නේ නැත. ඔහු වැඩිම උනොත් සටන් කරන්නේ වෙනත් අයගේ නිදහසට විරුද්ධවය. මේ නිසා සෑම විටම සෑම ආකාරයකම නිදහස පැවැතී ඇත. ඒ වරෙක විශේෂ වරප්‍රසාදයක් ලෙසත් වරෙක විශ්වීය අයිතියක් ලෙසත්ය”

මාක්ස්ට අනුව, සමාජවාදය වූ කලී, මිනිසාගේ අවශ්‍යතා සදහා සේවය කරන්නකි. ඒත් මෙහිදී යමෙක් මෙසේ ඇසීමට ඉඩ තිබේ. නූතන ධනවාදය සිදු කරන්නේත් එය නොවේද? අපගේ යුගයේ මහා සමාගම් මිනිසාගේ අවශ්‍යතා සැපිරීම සදහා සැදී පැහැදී සිටිනවා නොවේද? පාරිභෝගික රුචිය පිලිබද සිදු කෙරෙන සමීක්ෂන හරහා මහත් වැර වෑයමක් යොදා මහා පරිමාන ප්‍රචාරක සමාගම් උත්සාහ කරන්නේ මිනිසාගේ අවශ්‍යතා මොනවාද කියා සොයා බැලීමට නොවේද?  සැබැවින්ම යමෙක්ට සමාජවාදය පිලිබද සංකල්පය වටහා ගත හැක්කේ මිනිසාගේ සැබෑ අවශ්‍යතා සහ කෘතිම ලෙස නිර්මානය කරන ලද, ව්‍යාජ අවශ්‍යතා අතර මාක්ස් දකින වෙනස තේරුම් ගන්නේ නම් පමනි.

මිනිසා පිලිබද සමස්ත සංකල්පය තුලින් ගලා එන පරිදි මිනිසාගේ සැබෑ අවශ්‍යතා ඔහුගේ ස්වභාවය තුල මුල් බැස ගෙන ඇත. ව්‍යාජ අවශ්‍යතා සහ සැබෑ අවශ්‍යතා අතර වෙනස වටහා ගත හැක්කේ මිනිසාගේ ස්වභාවය සහ ඒ ස්වභාවය තුලින් පැන නගින ඔහුගේ සැබෑ අවශ්‍යතා වල ස්වභාවය වටහා ගන්නේ නම්ය. මිනිසාගේ සැබෑ අවශ්‍යතා යනු මනුෂ්‍යයෙක් ලෙස සිය සාරය සාක්ෂාත් කරගැනීම සදහා ඔහුට ආධාර කරන්නා වූ අවශ්‍යතාය. මාක්ස් මෙසේ ලියයි. “ මම සැබැවින්ම ආදරය කරන දෙයක පැවැත්ම මා හට අවශ්‍යතාවයක් ලෙස, උවමනාවක් ලෙස දැනෙනු ඇත. එය නොමැතිව මගේ සාරය මා හට පූරනය කරගැනීමට, පරිසමාප්ත කරගැනිමට හෝ සාක්ෂාත් කරගැනීමට නොහැක”. මිනිසාගේ සැබෑ සහ ව්‍යාජ අවශ්‍යතා අතර වෙනස සටහන් කිරීමට මාක්ස්ට හැකියාව ලැබෙන්නේ මිනිස් ස්වභාවය පිලිබද සිදු කරන ලද සුවිශේෂී සංකල්පගත කිරීමක පදනම මත පමනි. මුලුමනින්ම ආත්මීය ප්‍රවේශයක් ගන්නේ නම්, ව්‍යාජ අවශ්‍යතා සැබෑ සහ හදිසි අවශ්‍යතා ලෙස අත්දැකීමට ඉඩ ඇති අතර මෙවැනි පූර්න ලෙස ආත්මමූලික ප්‍රවේශයක් ගන‍්නේ නම් අවශ්‍යතා පිලිබද එවැනි විභේදනයක් ඇති කිරීම සදහා නිර්නායකයක් හදුනා ගත නොහැකි වනු ඇත. (වර්තමාන භාෂා ව්‍යවහාරයට අනුව යමෙක් නියුරෝසික සහ තාර්කික අවශ්‍යතා අතර වෙනස ලෙස මෙය හදුන්වනු ඇත) බොහෝ විට මිනිසා තම ව්‍යාජ අවශ්‍යතා පිලිබද සවිඥානික වන අතර සැබෑ අවශ්‍යතා පිලිබද අවිඥානිකය. සමාජ විශ්ලේෂකයාගේ කාර්යය නම්, සිය සැබෑ අවශ්‍යතා වල යථාර්ථය පිලිබදවත් ව්‍යාජ අවශ්‍යතා වල මායාව පිලිබද වත් මිනිසාට අවබෝධ කරගත හැකි වන පරිදි ඔහු අවදි කිරීමයි. මාක්ස්ට අනුව, සමාජවාදයේ ප්‍රධානම අරමුන වන්නේ, මිනිසාගේ සැබෑ අවශ්‍යතා හදුනා ගැනීම සහ ඒවා සාක්ෂාත් කරගැනීමට ඔහුට සහාය වීමයි. මෙය ඉටු කරගත හැක්කේ ප්‍රාග්ධනයට මිනිසාගේ ව්‍යාජ අවශ්‍යතා නිර්මානය කිරීමටත් ඉක්බිති ඒවා ගසා කෑමටත් තිබෙන අවකාශය අහෝසි කොට, නිෂ්පාදනය මිනිසා සදහා වූ එකක් බවට පත්කිරීමෙන් පසුව පමනි.

සෑම සාංදෘෂ්ටිකවාදී දර්ශනයකම දැකිය හැකි ආකාරයට මිනිසාගේ පරාරෝපනයට එරෙහිව ගසන ලද කැරැල්ලක් ලෙස සමාජවාදය පිලිබද මාක්ස්ගේ අදහස හදුනාගත හැක. හක්ස්ලි දක්වන පරිදි “ අපගේ වර්තමාන ආර්ථික, සමාජයීය හා ජාත්‍යන්තර හැඩගැසීම් පදනම් වී තිබෙන්නේ සංවිධානාත්මක ආදර - විරහිතභාවය මතය”. මේ අනුව සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය මේ ආදර විරහිතභාවයට එරෙහි විරෝධය පල කිරීමකි. මිනිසා විසින් මිනිසාව සූරාකෑමට, මිනිසා විසින් පරිසරය සූරාකෑමට, අපගේ ස්වභාවික සම්පත් නිරපරාදේ අපතේ යැවීමට එරෙහිව එල්ල කරනු ලබන විරෝධය පෑමකි. සමාජවාදයේ අරමුන ලෙස අප පෙර දැක්වූ, පරාරෝපිත බවින් මිදුනු මනුෂ්‍යයා, සොබාදහම “ පාලනය” කරන මිනිසෙක් නොව ඒ හා සහයෝගී පැවැත්මක් පවත්වා ගන්නා මනුෂ්‍යයෙකි. ඔහු ජීවමානය. ඔහු වස්තූන් කෙරෙහි ප්‍රතිචාරාත්මක වන අතර ඒ අනුව වස්තූන් ඔහු වෙනුවෙන් ජීවිතයට එලැඹෙනු ඇත.

මින් අදහස් වන්නේ මාක්ස්ගේ සමාජවාදය ඉතිහාසයේ බොහෝ ශ්‍රේෂ්ඨ මානවවාදී ආගම් වලට පොදු වූ ගැඹුරු ආගමික ආවේශයන් සාක්ෂාත් කරගැනීමක් ලෙස හැදින්වීම නිවැරදි බව නොවේද? මාක්ස්, හෙගල් සහ වෙනත් බොහෝ අය මෙන්, මිනිසාගේ ආත්මය පිලිබද ප්‍රශ්නය දේවධාර්මික අර්ථයකින් නොව ලෞකික දාර්ශනික අර්ථයකින් ගන්නා බව වටහා ගන්නේ නම් එය එසේ බව අපට වටහා ගැනීමට හැකිවනු ඇත.

Friday, October 18, 2013

එල්ටීටීඊ කිසිවෙක් මිනිසෙක් නොවේ

ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් වලංගු නැති බව අගවිනිසුරු මොහාන් ද සිල්වා තීරනය කොට තිබේ. ඔහු මේ තීන්දුව පසුගිය ඔක්තෝබර් 14 වන දා ලබා දුන්නේ 2012 දී වවුනියාව බන්ධනාගාරයේදී රැදවියන් හා බන්ධනාගාර නියාමකයින් අතර ඇති වූ ගැටුමේදී මරා දමන ලද ගනේෂන් නිමලරූබන් ගේ මවුපියන් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දමමිනි. උසස් පෙල තර්ක ශාස්ත්‍රය හදාරන සිසුන්ට උත්තර පත්‍ර වල ලිවීම සදහා අපූරු "E ප්‍රස්තුතයක්" මේ අනුව අගවිනිසුරු ඉදිරිපත් කොට ඇත. කිසිදු ත්‍රස්තවාදියෙක්ට මානව හිමිකම් අදාල නැත.එම නිසා කිසිදු එල්ටීටීඊ සැකකරුවෙක් මිනිසෙක් නොවේ.

"චෙච්නියාවේදී වගේ කල හැකි ප්‍රබලම විදිහට ත්‍රස්තවාදය සමග ගනුදෙනු කල යුතුයි. නිමලරූබන් යනු ත්‍රස්තවාදියෙක්. ඔහුට වෙනත් ආකාරයකට සැලකිය හැකිද?" අගවිනිසුරු පෙත්සම්කරුවන්ගේ නීතිඥයා අමතා විවෘත අධිකරනයේ එසේ ප්‍රකාශ කල බව කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ්අඩවිය වාර්තා කර තිබුනි. වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම නිසා සැකකරුවන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද අතර නිමලරූබන් එහිදී මියයන තුරු පහර කෑමට ලක්විය. නිල පැහැදිලි කිරීම වූයේ මරනයට හේතුව හෘදයාබාධයක් බවයි. එහෙත් පශ්චාත්-මරන පරීක්ෂනය ශරීරය මතුපිට බරපතල තුවාල පිලිබද සදහන් කල අතර නඩුව පැවරූ ඔහුගේ දෙමාපියන් ඉල්ලා සිටියේ මරනයට සැබෑ හේතුව හෙලි කරන ලෙසයි.

නිමලරූබන්ගේ නඩුවට අත් වූ ඉරනම එක්සත් ජනපදයේ දී කාලිඩ් එල් මස්රිගේ නඩුවට අත්වූ ඉරනම සිහිගන්වයි. එල් මස්රි 2001-2005 කාලය තුල සීඅයිඒ සංවිධානය විසින් පැහැර ගෙන රදවාගනු ලැබී යැයි සැලකෙන රැදවියන් 3000 අතරින් එක් අයෙකි. යුරෝපයේදී පැහැර ගනු ලැබ ඇෆ්ගනිස්ථානය ‍වෙත ඔහු ගෙන යනු ලැබූ අතර, එහිදී ලිංගික වධ හිංසා ඇතුලු දරුනු වධ බන්ධනයන්ට ඔහු ලක්විය. 2006 දී ඔහු සිය මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව එක්සත් ජනපද අධිකරනය ඉදිරියේ නඩු පැවරූ කල්හි  "රාජ්‍ය රහස්" පිලිබද වරප්‍රසාදය යටතේ මෙම නඩුව ඇසීම අධිකරනය ප්‍රතික්ෂේප කලේය. නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ ගොනු කල විට ලිබරල් එක්සත් ජනපදයේ විනිසුරුවරු එය ඇසීම ප්‍රතික්ෂේප කලහ.

ලංකා රජයට නිමලරූබන් "ත්‍රස්තවාදයෙක්" වන්නේ යම් සේද එක්සත් ජනපද රජයට කාලිඩ් එල් මස්රි ද "ත්‍රස්තවාදියෙකි" . මෙහිදී "ත්‍රස්තවාදියා" යනු කවුදැයි නිර්වචනය කරන්නේ කවුද? ඒ නිර්වචනය කිරීමේ හැකියාව ලැබෙන්නේ බලවතාටය.ආධිපත්‍යධාරියාටය. ඇෆ්ඝනිස්ථාන දුර්ග වලදී කුඩා ලමුන් මත අදටත් දිනපතා බෝම්බ අත්හරින එක්සත් ජනපද රෙජිමය "ත්‍රස්තවාදී" එකක් නොවී එක්සත් ජනපදය සමග හැප්පෙන්නන් පමනක් ත්‍රස්තවාදීන් වන්නේ කෙසේද? සිවිල් යුද්ධයේ අවසාන භාගයේදී ශෙල් ප්‍රහාර එල්ල කොට දෙමල සිවිල් වැසියන් සමූහ වශයෙන් ඉවක් බවක් නැතිව මරා දැමූ ලංකා රජය ත්‍රස්තවාදී එකක් නොවී එල්ටීටීඊ සටන්කරුවන් පමනක් ත්‍රස්තවාදීන් වන්නේ කෙසේද? "ත්‍රස්තවාදියා" යනු මේ අනුව විෂයමූලික ඇත්තක් නොව කතිකාමය ගොඩනැංවීමකි.

නීතියේ දර්ශනය තුල 'නීතිය යනු කුමක්ද?' යන ප්‍රශ්නයට ලිබරල් කතිකාව තුල එන පිලිතුර ගලා එන්නේ සමාජ සම්මුතිවාදය තුලින්ය. ඒ අනුව නීතිය යනු පාලකයා සහ පාලිතයා අතර ඇති වූ සම්මුතියකි. රොස්කො පවුන්ඩ්ට අනුව නීතිය යනු ප්‍රතිවිරුද්ධ අභිලාෂයන් සහිත සමාජ කන්ඩායම් අතර ඇති වන ගැටුම් වලදී සංහිදියාවක් ඇති කිරීමට මැදිහත් වන බේරුම්කරුවෙකි. නීතිය පිලිබද මෙම 'සම්මුති න්‍යාය' තුලින් යෝජනා කෙරෙන අදහසට පටහැනිව නීතිය පිලිබද 'ගැටුම් න්‍යාය' යෝජනා කරන්නේ නීතිය යනු ප්‍රතිවිරුද්ධ අභිලාෂ සහිත කන්ඩායම් අතර අරගලයේදී වඩා බලගතු කන්ඩායමට පක්ෂපාතීව ක්‍රියා කරන, එම බලගතු කන්ඩායමේ අපේක්ෂාවන් සමග තදින් වෙලී තිබෙන ව්‍යුහයක් වශයෙනි.

ලංකා දේශපාලන ඉතිහාසය තුල වරින් වර ඉස්මතු වන,  එකිනෙක හා පොර බදිමින් සිටින ප්‍රධානම ප්‍රතිවිරෝධතාවයන් වන්නේ පංති අනන්‍යතා අතර ප්‍රතිවිරෝධය සහ වාර්ගික අනන්‍යතා අතර ප්‍රතිවිරෝධයයි. මේ ගැටුම්මය සන්දර්භයන් තුල ලංකා රාජ්‍යය ගොඩ නැගී තිබෙන්නේ කෙසේද? එක් අතෙකින් එය ධනේශ්වර රාජ්‍යයකි. එනම් එය ධනපති පංතියේ අභිලාෂයන් සමග සමීපව සන්ධානගත වී සිටී. ඒ වගේම එය සිංහල-කේන්ද්‍රීය රාජ්‍යයකි. එනම් සිංහල වාර්ගික අභිලාෂයන් හා දෙමල වාර්ගික අභිලාෂයන් අතර ගැටුමේදී එය බහුතර සිංහල අභිලාෂයන් සමග සමීපව සන්ධානගත වී සිටී. නීතිය තුල පරාවර්තනය වන්නේ මෙන්න මේ  බල සම්බන්ධතාවයේ ඡායාවයි.


'ගරු අධිකරනය' ඇස් රෙදි කඩෙකින් වැසූ නීතියේ කන්‍යාව රජකරන යුක්තියේ දෙවොල යැයි සිතා එය ඉදිරියේ හිස් පාත් කරන සියල්ලන් දැන ගත යුත්තේ 'ගරු අධිකරනයේ අපක්ෂපාතීත්වය' සහ 'ස්වාධීනත්වය' යනු පට්ටපල් බොරුවක් බවයි. එවැනි ස්වාධීන අධිකරන ලෝකයේ කොහේවත් නැත. කාලිඩ් එල් මස්රි ගෙන් ජීවමානව මූර්තිමත් වන්නේ එක්සත් ජනපදයේ නීතිය සහ අධිකරනය පවා එරට බලගතු සමාජ කන්ඩායම් වල අපේක්ෂාවන් හා සන්ධානගතව සිටින ආකාරයයි. සිංහල මහජාතිවාදයට අනුව නිරායුධ ගනේෂන් නිමලරූබන් මැරී වැටෙන තුරු පහර දීම වරදක් නොවේ. ඒ අනුව "නීතිය ඉදිරියේද" එය වරදක් ‍නොවේ. රාජ්‍යයේ සෑම උපකරනයකම ඇට මිදුලු තුලට සිංහල මහජාතිවාදය කිදා බැස තිබෙන්නේ ඒ ආකාරයටය. මෙය හුදෙක් මොහාන් ද සිල්වා නමැති අගවිනිසුරුගේ හැසිරීම පිලිබද සදාචාරාත්මක ප්‍රශ්නයක් නොවේ. සමාජය තුල ආධිපත්‍යය සහ පීඩනය ආයතනගත වී ඇති ආකාරය පිලිබද දේශපාලන ප්‍රශ්නයකි. 

Friday, September 27, 2013

සිංහල ජාතිකවාදියාගේ මනෝ ලෝකය සහ දෙමලාගේ නිදහස



තුර සිය පිලිතුර නිශ්චිතවම ලබා දී තිබේ. පසුගිය 21 දා පැවැති පලාත් සභා මැතිවරනයේ ප්‍රතිඵලය පැහැදිලිය. උතුරේදී අන්ත පරාජයට පත්ව තිබෙන්නේ ආන්ඩුව පමනක් නොවේ. උතුර සිය යටත් කොලනියක් ලෙස හගින සමස්ත සිංහල ස්වෝත්තමවාදී කතිකාවම තීරනාත්මක පරාජයකට මුහුන දී සිටී. උතුරු පලාත් සභාවේ මුලු ආසන 38 න් 30 ක්ම දෙමල ජාතික සන්ධානය දිනාගෙන තිබේ. මැතිවරනය සදහා හමුදාව යොදාගැනීමේ සිට ඡන්ද ‍'මිලදී ගැනීම' සදහා තෑගිබෝග, විවිධ බඩු භාන්ඩ බෙදීම වැනි කුප්‍රකට උපක්‍රම කොතෙක් ක්‍රියාත්මක කල ද රජය ලජ්ජාසහගත පරාජයකට මුහුන පා ඇත.

සිංහල ජාතිකවාදී ෆැන්ටසිය තුල උතුර පිලිබදව ඇති චිත්‍රය කවරාකාරද? මානුෂික මෙහෙයුමක් සිදුකොට ප්‍රභාකරන් නමැති දුෂ්ටයාගේ ග්‍රහනයෙන් අපි උතුරේ ජනතාව ගලවා ගත්තෙමු. උතුරේ ජනයාට දේශපාලන අභිලාෂයක් නැත. මංමාවත් තැනීම වැනි භෞතික අවශ්‍යතා ඉටු කල කල්හි උතුර දකුනට හීලෑ වනු ඇත. හමුදාව උතුර පාලනය කිරීම සම්බන්ධයෙන් දෙමල පොදු ජනයාට ප්‍රශ්නයක් නැත. එය ප්‍රශ්නයක් වී තිබෙන්නේ බලලෝභී දෙමල දේශපාලකයින් කීප දෙනෙක්ටය.

කිසිදු සැකයකට ඉඩ නොතබා මෙබදු සියලු තර්ක එකක් නෑර මැතිවරන ප්‍රතිඵලය විසින් නිශේධනය කොට ඇත. එල්ටීටීඊය යටතේ සිටියාට වඩා ආන්ඩුව යටතේ දෙමල ජනයා සතුටින් ඉන්නවා, දෙමල සාමාන්‍ය මිනිසාට නිදහස වෙනුවට අවශ්‍ය කරන්නේ රැකියා,ගෙවල් හා "සංවර්ධනය" පමනයි වැනි තර්ක  තවදුරටත් සිහිබුද්ධිය ඇති අයෙක්ට නම් ඉදිරිපත් කල නොහැක.

උතුරේ ජනයා විරෝධාකල්පික, සටන්කාමී මනෝභාවයක පසුවන බව පැහැදිලිය. දරුනු යුද පරාජයකට පසුව, ඉතා දරුනු ගනයේ රාජ්‍ය මර්දනයක් යටතේ පවා සිය ඉල්ලීම් ඉවතලීමට ඔවුන් සූදානම් නැත. යුද්ධය අවසන් වීමත් සමග ප්‍රාග්ධනය කේන්ද්‍ර කරගත් සම්බන්ධයක් උතුරත් දකුනත් අතර ගොඩනැගෙමින් තිබේ. දකුනේ ප්‍රදර්ශනය වන ව්‍යාපාරික සන්නාම සහිත බිල්බෝඩ් උතුරේ ද සිටුවා ඇත. සංචාරකයින් හා ප්‍රාග්ධනය දකුනේ සිට උතුරට ගලයි. යාපන නගරයේ වෙලෙදුන් සිංහල බස කථා කිරීමට පුරුදු වී සිටී.

මේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රියාවට නැගෙන්නේ අතිශය දරුනු ජාතික පීඩනයක් පවත්නා සන්දර්භයක් තුලය. මුලුමනින්ම සිංහල භාෂිත සොල්දාදුවන්ගෙන් සමන්විත හමුදාවක් උතුරේ වාඩිලා ගෙන සිටී. උතුර පිලිබද සියලු තීරන ගනු ලබන්නේ කොලඹ සිංහල ප්‍රභූ සංස්ථාපිතය විසින්ය. අධි ආරක්ෂිත කලාප නඩත්තු කිරීමට අමතරව හමුදාව සදහා දෙමල ජනයාගේ ඉඩම් පවරා ගැනීම ද මෙම කොලඹ සංස්ථාපිතය විසින් සිදු කරනු ලැබේ. සිංහල ප්‍රභූ තන්ත්‍රය ‍උතුරේ සමාජය මත අභ්‍යාස කරන මේ බලහත්කාරී ආධිපත්‍යය දෙමල ජනතාව පිලිගන්නේ නැත. ඔවුහු ඊට ද්වේශ කරති. මැතිවරනයේදී දෙමල ජනයා ප්‍රකාශයට පත්කරන ලද්දේ එම බලහත්කාරී ආධිපත්‍යයෙන් නිදහස් වීමට ඔවුන් තුල ඇති අභිලාෂයයි.

ප්‍රශ්නය - මේ අභිලාෂය පිලිගැනීමට දකුන කොතෙක් සූදානම් ද යන්නයි. දකුනේ පීඩිත ජනයා මත පදනම් වන පුරෝගාමී වාමාංශය දෙමල සමාජයේ එම ප්‍රජාතාන්ත්‍රික අභිලාෂය පිලිගැනීම මෙහිදී අතිශය වැදගත්ය. මන්ද උතුරේ දෙමල පීඩිතයා සහ දකුනේ සිංහල පීඩිතයා සමගි කරවන පලල් දේශපාලන ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීමේ යතුර තිබෙන්නේ එම දේශපාලන අභිලාෂය සම්බන්ධයෙන් වාමාංශය දක්වන ප්‍රතිචාරය තුල වන බැවිනි.

එසේම මේ මො‍හොතේ නිදහස පිලිබද දෙමල සමාජයේ  ප්‍රජාතාන්ත්‍රික අභිලාෂය නියෝජනය කරමින් සිටින්නේ දෙමල ධනපති පංතියේ පක්ෂය වන දෙමල ජාතික සන්ධානයයි. දෙමල පීඩිතයින්ගේ ජීවිත සමග මොනම හෝ ඥාතීත්වයක් නැති ප්‍රභූ ශරීර විසින් එම සන්ධානයේ බලය හොබවනු ලැ‍බේ. ආන්ඩු බලය ඉතිහාසයේ කවදාවත් හොබවා නැති නිසා දෙමල ප්‍රභූ පංතිය පොදු දෙමල සමාජය සමග කිසිදිනෙක අභිමුඛ වී නැත. පලාත් ආන්ඩුවේ බලය දෙමල ජාතික සන්ධානය සතු වීම යනු මේ අනුව දෙමල පොදු සමාජයත් දෙමල ප්‍රභූ තන්ත්‍රයත් එකිනෙකා හා අභිමුඛ වීම ආරම්භ වන මොහොතයි. පලාත් සභාවට සාපේක්ෂ ස්වාධීනත්වයකින් සිය කටයුතු කරගෙන යාමට ඉදිරියේදී ඉඩ ලැබුනහොත් දෙමල ප්‍රභූ තන්ත්‍රය සහ දෙමල සමාජය අතර ප්‍රතිවිරෝධතා මතුවන ආකාරය පැහැදිලිවම දැකගැනීමට ලැබෙනු ඇත.

එම ප්‍රතිවිරෝධය මතුවන මොහොත වූ කලී උතුර තුල විකල්ප දේශපාලනයක් සදහා ඉඩ විවර වෙන මොහොතයි. එලෙස විවෘත වන අවකාශය තුල දෙමල ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව සමාජය සංවිධානය කිරීම සදහා වාමාංශයට උතුරේ විශාල විභවයක් නිර්මානය වීම වැලැක්විය නොහැක. එම අවකාශය තුලට ඇතුලු වීමට නම්, ඒ සදහා වන දේශපාලන සංවාදය දෙමල පීඩිතයා සමග ගොඩනගා ගැනීමට නම්, එම ජනයාගේ දේශපාලන නිදහස පිලිගැනීම අතිශය තීරනාත්මක වනු ඇත.දෙමල සමාජයේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන අභිලාෂ සම්බන්ධයෙන් නිහඩව සිටින තාක් දුරට සිංහල සහ දෙමල පීඩිතයින්ගේ එක්සත් දේශපාලන ක්‍රියාකාරීත්වයක් ගොඩනගා ගැනීම හුදු සිහිනයක් පමනි.

උතුර සිය පිලිතුර ලබා දී තිබේ. එම පිලිතුරට දකුනු  ලංකාවේ වාමාංශික හා ප්‍රගතශීලී බලවේග දක්වන ප්‍රතිපිලිතුර හා ප්‍රතිචාරය මේ දිවයිනේ දේශපාලන අනාගතය තීරනය කිරීමෙහිලා අතිශයින් තීරනාත්මක වනු ඇත්තේය.

Friday, September 6, 2013

අවසන් පිරිමි කටහඩත් එජාපයට අහිමි වූ පසු

මති විමල් වීරවංශට අනුව දයාසිරි ජයසේකර පක්ෂය මාරු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුල තවදුරටත් 'පිරිමි හඩවල්' නැත. ඔහු මේ බව පවසා තිබුනේ පසුගිය දිනෙක මහනුවරදී පැවැති මැතිවරන රැස්වීමක් අමතමිනි. " එජාපයේ හිටපු පිරිමි කටහඩක් තිබිච්ච අන්තිම මනුස්සයා ඔය ආවේ.ඒ නිසා අපි අලියට ගහන්න එපා කියන්නෙ නැහැ. මොකද අලියට ගහන්න කෙනෙක් දැන් නැහැ" - ඇමති වීරවංශගේ ප්‍රකාශය ජනමාධ්‍යයන් විසින් වාර්තා කොට තිබුනේ ඒ ආකාරයටය. වීරවංශගේ මේ ප්‍රකාශයට හැරෙන තැපෑලෙන් පිලිතුරක් එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සපයා තිබුනි. තමා වන්ෂොට් බවත් තමාට ඇත්තේ "හොද පිරිමි හඩක්" බවත් වීරවංශට පිලිතුරු ලෙස හෙතෙම සදහන් කොට තිබුනේ කුරුනෑගල මැතිවරන රැස්වීමක දීය.

දේශපාලනයේ දී "පිරිමි හඩවල්" මේ තරම් වැදගත් වන්නේ ඇයි? ඇමති වීරවංශට අනුව පිරිමි හඩ සහිත අවසන් පුද්ගලයාත් ඉවත් වී ඇති බැවින් එජාපය තුල ඡන්දය ලැබීමට සුදුස්සෙක් තවදුරටත් ඉතුරු වී නැත. "පිරිමි හඩක් තිබීම" ඡන්දය දීමේදී සැලකිය යුතු සුදුසුකමක් වන බව මින් ව්‍යංගව ගම්‍ය වන අදහසයි. රන්ජන් රාමනායක වීරවංශගේ මේ ප්‍රකාශය සලකා ඇත්තේ තම පක්ෂයට සිදුකල අපහාසයක් වශයෙනි. සිය පුරුෂභාවය ඔප්පු කිරීම සදහා වහාම ඔහු ඉදිරිපත් වන්නේ එබැවිනි. දේශපාලනය තුල පිරිමි හඩෙහි වැදගත්කම මෙහිදී රාමනායක ද වීරවංශ තරම්ම පිලිගෙන තිබේ. වීරවංශ 'එජාපය තුල පිරිමි නැහැ' කියද්දී රාමනායක 'ඇයි යකෝ මම පිරිමියෙක් නොවේදැ'යි අසයි. පුරුෂභාවය දේශපාලන පක්ෂයක අත්‍යවශ්‍ය ලක්ෂනයක් ලෙස මේ අනුව මේ දෙදෙනා අතරම අවිඥානික සම්මුතියක් පවතී.

මේ ලිංගවාදය ( Sexism ) සමාජය තුල කෙතරම් තදින් මුල්බැහැගෙන තිබේද යන්න විදහා දක්වන අනගි උදාහරනයකි. සමාජයේ ඇති වී තිබෙන ශ්‍රම විභජනය තුල දේශපාලනය 'පිරිමි වැඩකි'. පුරුෂභාවය දේශපාලනය තුල උත්කර්ෂයට නැගෙන්නේ ඒ අනුවය. 2005 ජනාධිපතිවරනය අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ "වීර සිංහල පුරුෂයෙක්" ගේ ඉමේජය නිරූපනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරන වේදිකාවල දී බොහෝ විට කියැවුනු කරුනකි. පවුල යනු ස්ත්‍රියගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රයයි. රාජ්‍යය සහ දේශපාලනය යනු පුරුෂයාගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රයයි. විධිමත් නීතිය අනුව ස්ත්‍රීන්ට දේශපාලනයේ යෙදීමෙහිලා කිසිදු ප්‍රකාශිත තහනමක් නැත. එහෙත් යථාර්ථයේදී දේශපාලනයේ යෙදෙන්නේ පුරුෂ සම්මතයන් වෙත ලගා වීමේ හැකියාව දක්වන ස්ත්‍රීන් පමනි. උදාහරනයක් ලෙස ලංකාවේ දේශපාලනය තුල යම් ස්ථාවරත්වයක් අත්පත් කරගත් බොහෝ ස්ත්‍රී චරිත වැන්දඹු චරිත වීම සලකා බලමු. සිරිමා බන්ඩාරනායකගේ සිට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දක්වා චරිත දේශපාලනය තුල ස්ථාවර වන්නේ ඔවුන් 'මහා පුරුෂයින්ට අත්වැල සැලසූ බිරින්දෑවරු' වීම නිසාය. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැනි අයෙක් ගත්විට එහිදී ක්‍රියා කරන්නේ 'භාරත ලක්ෂ්මන්ගේ දියනිය' නමැති සාධකයයි. මේ සෑම අවස්ථාවකදීම මේ අයට ස්වාධීන අනන්‍යතාවයක් නැත. සමාජය මේ අයව හදුනාගන්නේත්, කියවන්නේත් ඇය හා සම්බන්ධ අනෙත් පිරිමි චරිතය හරහාය. එනම් එස්.ඩබ්.ආර්.ඩී.බන්ඩාරනායකගේ බිරිද, විජය කුමාරතුංගගේ බිරිද ආදී වශයෙනි. ( දේශපාලන චරිත ලෙස හැදින්විය නොහැකි අනර්කලී, උපෙක්ෂා ස්වර්නමාලි වැනි ස්ත්‍රී ශරීර මෙහිදී මොහොතකට අමතක කර දමමු )

දේශපාලන පක්ෂ තුල, පලාත් සභා, පාර්ලිමේන්තුව වැනි ධනේශ්වර නියෝජිත ආයතන තුල කාන්තා සහභාගිත්වය ලංකාවේදී ඉතාමත් දුර්වලය. පාර්ලිමේන්තු මට්ටටම්දී එය‍ නොගිනිය හැකි තරම් සුලු එකකි. ස්ත්‍රිය පිලිබද පසුගාමී අදහස් අභියෝගයට ලක්කල ( මුල්කාලීන) ලංකා සමසමාජ පක්ෂයේ සෙලීනා පෙරේරා වැනි රැඩිකල් චරිත අතරින් පතර හමුවුවද වාමාංශික සංවිධාන තුල ද ‍මේ සම්බන්ධයෙන් දක්නට ඇති තත්වය සතුටුදායක එකක් නොවේ.

ස්ත්‍රීන්ගේ මේ අවම දේශපාලන භූමිකාවට හේතුව කුමක්ද? දේශපාලනය වැනි විෂයකට සම්බන්ධ වීමට ස්ත්‍රීන් තුල පවා දක්නට ලැබෙන්නේ මන්දෝත්සාහීභාවයකි. එසේ නම් මෙය මනෝ විද්‍යාත්මක කාරනයක් - එනම් ස්වභාවයෙන්ම ස්ත්‍රීන් දේශපාලනය වැනි දේට සම්බන්ධ වීමට දක්වන අකමැත්තක් ලෙස විස්තර කල හැකිද?

ස්ත්‍රීවාදී න්‍යායවේදිනියක කැතරින් මැක් කිනොන්ට අනුව ස්ත්‍රිය හා පුරුෂයා අතර වෙනස බිහි වෙන්නේ ආධිපත්‍යය තුලිනි. සියවස් ගනනාවක් පැරනි පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකාවන් පිලිබද කතිකාව නිර්මානය කොට ඇත. පවුල ස්ත්‍රියගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙසත්, දේශපාලන පිරිමියාගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙසත් සිදුකොට ඇති විභජනය මෙන්න මේ පුරුෂමූලික කතිකාවේ නිර්මිතයකි. මේ කතිකාව කෙතරම් දුරට ස්වභාවිකකරනය වී තිබේද යත් ස්ත්‍රිය පවා ' දේශපාලනය පිරිමි වැඩකි' යන අදහස පිලිගනී. පිරිමි හඩක් නැති නිසා එජාපයට ඡන්දය නොදිය යුතු යැයි වීරවංශ කියද්දී ඊට එරෙහි විරෝධයක් සමාජය තුලින් පැන නොනගින්නේ ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකා පිලිබද පුරුෂවාදී කතිකාව ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව සමාජය පොදුවේ පිලිගෙන තිබෙන නිසාය.

රෝසි සේනානායක වැනි ලිබරල්වාදීන් විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවේ සියයට 25ක කෝටාවක් ස්ත්‍රීන්ට වෙන්කොට මෙම විෂමතාවය අබිබවා යා හැකි බවයි. මොවුන්ට නොවැටහෙන කරුන නම්-  සමාජ ව්‍යුහයේ තිබෙන විෂමතාවයක් හුදෙක් නීතිය තුල කරන ප්‍රතිසංස්කරනවාදී අන්ඩ දැමිම් වලින් ඉක්මවිය නොහැකි බවයි. ස්ත්‍රියගේ නිදහස රැදී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුල සියයට විසිපහේ කෝටා දීම වැනි 'උඩින් ' සිදුකෙරෙන නෛතික විජ්ජාවන් තුල නොවේ. සමාජය පහලින් - එහි ව්‍යුහය තුලින් මතුවී එන රැඩිකල් අරගලයක් තුලය.