![]() |
" ඒ ඔබ විය හැක" |
“රටක බුද්ධි අංශ ආරක්ෂක අවශ්‍යතා මත දුරකථන ටැප්
කිරීම ඉතා සාධාරනය.එහෙත් දේශපාලන අවශ්‍යතා මත එසේ කිරීම දුර්දාන්ත ක්‍රියාවකි”
මේ පසුගිය ජූලි 03 (2013.06.03) බදාදා දිවයින පුවත්පතේකතුවැකියෙන් උපුටාගත් කොටසකි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දුරකථනය යම් විදේශ
තානාපති කාර්යාලයක් විසින් ටැප් කරනු ලැබී යැයි කියන ප්‍රවෘත්තිය පිලිබද සිය කෝපය
පල කිරීමට දිවයින කතුවරයා මෙම කතුවැකිය ලියා තිබුනි. ඔහුට අනුව “රාජ්‍ය ආරක්ෂාව”
වෙනුවෙන් වෙනත් පුද්ගලයින්ගේ පුද්ගලික ජීවිත ගැන ඔත්තු බැලීමට රජය වැනි ඉහල අධිකාරින්ට
සාධාරන අයිතියක් ඇති අතර, නොහොබින්නේ “දේශපාලන අවශ්‍යතා” වෙනුවෙන් එසේ කිරීමය.
දිවයින කතුකම කරන්නේ රාජ්‍ය ආරක්ෂාව කියන්නේත් “දේශපාලන අවශ්‍යතාවයක්” බව නොදන්නා දේශපාලන වෘෂභයෙකි යන්න මොහොතකට අමතක කොට අප මේ ප්‍රකාශයෙන් යෝජිත අදහස තරමක් සැලැකිල්ලෙන්
විමසා බලමු.
![]() |
" ඒ ඔබ විය නොහැකි ද?" |
ස්නෝඩ්න්ව පට්ටා ගසන අමෙරිකානු ජනමාධ්‍ය එරට රජයේ
චරපුරුෂ කටයුතු සාධාරනීකරනය කරන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. ඔබාමා ආන්ඩුව පවසන
පරිදි ඔවුන් පුරවැසියන්ගේ පුද්ගලික ජීවිත තුලට ඔත්තු බැලීමේ අදහසින් එබිකම් කලා
නම් එබිකම් කලේ ත්‍රස්තවාදයෙන් පුරවැසියන් ගලවා ගනු සදහාය! කෙතරම් ලස්සන තර්කයක්ද?
ඔබව “ආරක්ෂා කිරීම” සදහා ඔවුහු ඔබ ගැනම “ඔත්තු බලති”. රජයේ මෙම චරපුරුශ හැසිරීම් හෙලිකල
ස්නෝඩ්න් එල්ලා දැමිය යුතු දේශද්‍රෝහියෙකි.
රිපබ්ලිකන් හෝ ඩිමොක්රටික් භේදයකින් තොරව
ඇමරිකානු දේශපාලකයින් හා ජනමාධ්‍ය යොදාගන්නා ඉහත භාෂාව ලංකාවේ අපගේ අත්දැකීම් වලට
මොනතරම් සමීපද? වසර කිහිපයකට පෙර දෙමල ජනයා දහස් ගනනින් මරාදැමෙන විට එය සාධාරනීකරනය කරන ලද්දේ
ජාතික ආරක්ෂාවේ නාමයෙනි. අදත් උතුර මත සාපරාධී හමුදා පාලනයක් පවත්වාගෙන යමින් එම
ජනයාගේ නිදහස මැඩ තැබීම සාධාරනීකරනය කෙරෙන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. රට පුරා
හමුදා කදවුරු පිහිටුවන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. උතුරේ පමනක් නොව පානම වැනි
පෙදෙස්වල පවා අක්කර ගනන් හමුදාවට පවරාගෙන ඒවායේ ජීවත් වන ජනතාව පිටමං කරනු
ලැබෙන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. මෙවැනි අපරාධ ප්‍රශ්න කරන්නවුන්ට දේශද්‍රෝහී
ලේබල් ගැසෙන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. ගෝඨාභය විසින් මෙහෙයවෙන රජයේ බුද්ධි අංශ
රටේ පුරවැසියන්ගේ දුරකථන ටැප් කරන ආකාරය ගැන/ ජනයා පිලිබද ඔත්තු බලන ආකාරය ගැන
හෙලිදරවු කිරීමට ලාංකික ස්නෝඩ්න් කෙනෙක් තවමත් මෙරට බුද්ධි අංශ තුලින් බිහිවී
නැත.එසේ බිහි නොවුනද මෙරට රාජ්‍යය පුරවැසියාගේ දෛනික කථාබහ, ගමන්බිමන් නිරන්තරව
නිරීක්ෂනය කරන බිග් බ්‍රදර් රාජ්‍යයකි යන්න අමුතුවෙන් වසන් කල යුතු කරුනක් නොවේ.
ගෝඨාභය මහතාගේ දුරකථනය ටැප් කිරීම දිවයින කතෘට
මහත් අපරාධයක් සේ දිස්වුවද අපට නම් එහි කිසිදු අමුත්තක් නැත. ගෝඨාභය මහතා මෙරට
පුරවැසියන් ගැන ඔත්තු බලයි. ගෝලීය බලවතුන් ගෝඨාභය මහතා ගැන ඔත්තු බලයි. අපව
නිරීක්ෂනය කරන බිග්බ්රදර් වෙනත් බිග්බ්රදර් කෙනෙක්ගේ ඇසට හසුවී සිටීම ගැන අප
කම්පා විය යුත්තේ ඇයි? පංති සමාජය තුලින් පැන නැගි, පංති සමාජය පවත්වාගෙන යාම
උදෙසා පවතින රාජ්‍යය යනු එනයින්ම මිනිස් නිදහසට සතුරු වූ ප්රපංචයකි. ඔබාමාගේ “ශිෂ්ට”
ලිබරල් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයේ සිට ලංකාවේ එතරම් ශිෂ්ට නැති රාජ්‍යය දක්වා
සියලු රාජ්‍යයන් සම්බන්ධයෙන් මෙම කරුන අදාලය. අප සටන් කල යුත්තේ බටහිර ඔත්තු
බැලීම්වලින් ගෝඨාභයව ගලවාගැනීම සදහා නොවේ. ගෝඨාභයගේ මෙන්ම ඔහුගේ බටහිර
ස්වාමිවරුන්ගේ ද ඔත්තු බැලීම්වලින් මනුෂ්‍ය වර්ගයා ගලවාගැනීම සදහාය.