Thursday, February 28, 2013

දූෂකයෝ වේදිකාවේ කථා පවත්වති


Hey Geneva! අපි දැන් මරන්නේ නෑ  
ලංකාවේ රජයේ හමුදා විසින් හමුදා භාර‍යේ සිටිය දී ලිංගික වධහිංසාවට හා දූෂනයට ලක්කල දෙමල ජාතික පුද්ගලයින් පිලිබද තොරතුරුසහිත වාර්තාවක් Human Rights Watch සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම වාර්තාවේ එලෙස දූෂනයට ලක්කල පුද්ගලයින් 75 දෙනෙක් පිලිබද විස්තර ඇත. ඉන් 31 ක් පිරිමි අයවලුන්ය.41 ක් කාන්තාවන් වන අතර තිදෙනෙක් ලමුන්ය. දැනට දේශපාලන රැකවරන පතා විදේශගතව සිටින හිටපු රැදවියන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා ඇසුරිනි මෙම වාර්තාව සකස් කොට තිබෙන්නේ.

දූෂනයට ලක්වූ පිරිමි රැදවියෙක් උක්ත වාර්තාවට දෙන ලද ප්‍රකාශයකින් උපුටා ගත් කොටසක් මෙසේය.-

" පලමු ප්‍රශ්න කිරීමේ දී හමුදා නිලධාරීන් මට නිර්වස්ත්‍ර වීමට බල කලා. ඉන්පසු එක් අයෙක් ඔහුට මුඛ සංසර්ගයක් ලබාදෙන ලෙස බලකලා. පසුව මා මතට පැමින ඔහු මා දූෂනය කලා. ප්‍රශ්න අසන අතරවාරයේ නිලධාරීන් මාගේ වෘෂන කෝෂ මිරිකීම සිදුකලා. ඔවුන් ඉදිරියේ ස්වයංවින්දනයේ යෙදෙන ලෙස ඔවුන් බල කල අතර එක් අයෙක්  බලෙන් මා ස්වයංවින්දනයේ යෙදවූවා" 

දූෂනයට ලක් වූ කාන්තා රැදවියෙක් විසින් ලබාදුන් විස්තරයේ කොටසක් මෙසේය -

"නිලධාරීන් යකඩ බට වලින් හා වැලි පිරවූ ප්ලාස්ටික් බට වලින් මට පහර දුන්නා. ඔවුන් දිගටම එල්ටීටීඊය හා මා අතර තිබූ සම්බන්ධතා ගැනත් පිටරටදී මා කල කී දෑ ගැනත් ප්‍රශ්න කලා. ඔවුන් මාව පඩිපෙලක් දිගේ රැගෙන ගොස් වෙනත් කාමරයකට දැම්මා. එහිදී පස් වතාවක් මා නිලධාරීන් පිරිසක් අතින් දූෂනයට ලක්වුනා. මේ අය සිංහල කථා කල අතර සිවිල් ඇදුමින් සැරසී සිටියේ. ඔවුන් කී බො‍හෝ දේ මට තේරුනේ නැහැ. ඔවුන් වාරයෙන් වාරයටයි මා දූෂනය කලේ. පලමු වතාවේදී මා කලාන්ත වූ බව මට මතකයි. නැවත සිහිය එද්දී මගේ ජනනේද්‍රීයෙන් රුධිරය වහනය වෙමින් තිබුනු අතර මට දැඩි වේදනාවක් දැනුනා"

තමා මුහුන දුන් අත්දැකීම් පිලිබද ඒ ඒ වින්දිතයින් සිදුකරන මෙවැනි ප්‍රකාශ ගනනාවක් මෙම වාර්තාවේ අන්තර්ගත වන්නේය.

මෙම වාර්තාවට සාක්ෂි සපයා ඇති බොහෝ දෙනා යුද්ධය අවසන් වූවාට පසු එල්ටීටීඊ සැකකරුවන් වශයෙන් සලකා පැහැර ගැනීමට ලක්වූවන්ය. තමන් එල්ටීටීඊයට සම්බන්ධ ව සිටි බවට සහතික කරන ලියවිල්ලකට අත්සන් කරන ලෙස බලකරමින් මොවුන්ට වධ පමුනුවා ඇති අතර ඔවුන් එසේ අත්සන් කල විට සාමාන්‍යයෙන් ලිංගික වධදීම් නතර කරන ලද බව කියැවේ. රදවාගැනීමට ලක්වූ බොහෝ පිරිමි රැදවියන්ව ගුද සංසර්ගය සදහා බලහත්කාරයෙන් යොදවාගෙන තිබේ.මේ සමහර සිදුවීම් සිදුවී තිබෙන්නේ කොලඹ ත්‍රස්ත විමර්ශන අංශයේ ( TID) හා අපරාධ විමර්ශන කොට්ටාශයේ (CID) ගොඩනැගිලි තුලදීය.HRW සංවිධානය වාර්තා කරන පරිදි සාකච්ඡාවට භාජනය කල වින්දිතයින් ‍බහුතරය දැනට පශ්චාත් ව්‍යාධිමය පීඩන මානසිකත්වයකින් පීඩා විදිමින් සිටිති.

මෙම වාර්තාව විසින් ලංකා රජයට එල්ල කොට තිබෙන චෝදනාව අතිශය බරපතලය. දැන් සිංහල ජාතිහිතෛශීන් මෙසේ ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. අමෙරිකානු සොල්දාදුවන් ගුවන්තනමෝ බේ සිරකදවුරේදී ඇෆ්ගනිස්ථාන රැදවියන්ට එරෙහිව ලිංගික වධදිම් සිදුකලා.ඉතින් අපි කලාම විතරද වැරදි? ජාතිහිතෛශී හෙරොයින් දුම ආඝ්‍රානය කල විට පලමුව සිදුවන දෙය වූ කලී මනුෂ්‍යත්වය පිලිබද සවිඥානිකත්වය ගිලිහී යාමයි. අමෙරිකානු "රනවිරුවෝ " මුස්ලිම් "ත්‍රස්තවාදීන්ට" එරෙහිව ලිංගික අපරාධ සිදුකලේ ත්‍රස්තවාදීන් යනු මිනිස් අයිතිවාසිකම් රහිත අර්ධ මිනිස් විශේෂයකි යන ‍ජෝර්ජ් බුෂ් සූත්‍රය අනුගමනය කරමිනි. සිංහල රනවිරුවෝත් ජාතිහිතෛශී චින්තනය ප්‍රකාරව සිදුකොට තිබෙන්නේ එම අපරාධයම නොවේද?

වධ හිංසා කිරීමේ දී පීඩනයට ලක්වන්නාගේ මානව ගෞරවය බිදහෙලී ඔහුගේ මනුශ්‍යභාවය අවප්‍රමානය වනවා පමනක් නොවේ.වධ පමුනුවන්නා වින්දිතයාට තිරිසන් වධ පැමිනවීම මගින් තෙමේම තමාගේම  මනුශ්‍ය සාරය අහිමි කරගනී.HRW වාර්තාව වැනි සාක්ෂි මගින් පෙනී යන්නේ මෙම අවමානුශිකත්වය හමුදාව වැනි රාජ්‍යයේ මර්ධක අවයව තුල ආයතනගතවී ඇති ආකාරයයි.

දෙමල තරුන තරුනියන්ට එරෙහිව පමනක් නොව 71 හා 88/89 යුගවලදී සිංහල ‍යෞවන යෞවනියන්ට එරෙහිවද මිලිටරි නිලධාරීහු ලිංගික වධහිංසා භාවිතා කලහ. එල්ටීටීඊය හා පැවැති යුද්ධයේදී සාමාන්‍ය ගැහැනුන්ට එරෙහිව හමුදා සෙබලු ලිංගික හිංසනය යොදාගත් අවස්ථා පිලිබද අපකීර්තිමත් ඉතිහාසයක් පවතී. 1997 දී දූෂනය කරනු ලැබ යෝනි මාර්ගයේ ග්‍රෙනේඩයක් අටවා පුපුරවා මරා දමන ලද මුරුගේසුපිල්ලේ කෝනේශ්වරීගේ කථාව, 2000 දී මීගමුව‍ පොලිස් ස්ථා‍නයේදී මිරිස් තැවරූ කෙහෙල්මුව කැබැල්ලක් යෝනිය තුලට ඇතුලුකොට පොලිස් භටයින් විසින් දූෂනය කල යෝගලිංගම් විජිතාගේ කථාව මෙවැනි වාර්තා වූ හා නොවූ දහස් ගනන් කථාවලට උදාහරනයෝය.

මෙබදු අපරාධ සිදුවූ බව අපගේ සමාජය පිලිගන්නේ කවදාද? හමුදාව යනු තේජාන්විත ගෞරවනීය සංස්ථාවක් නොව අවමානුශිකත්වය ආයතනගත වූ ගර්හිත ආයතනයක් බව අපගේ සමාජය වටහා ගන්නේ කවදාද? ඉන්දියාවේ කල්ලියක් අතින් සමූහ දූෂනයට ලක්වූ තරුනිය වෙනුවෙන් තෙත් වූ දෑස් හමුදාව විසින් දූෂනය කල සහෝදර දමිල ජාතිකයින් වෙනුවෙන් තෙත් වන්නේ කවදාද?  

ඊයේ මරාදැමූ බාලචන්ද්‍රන්ගේ මලසිරුරය. අත්අඩංගුවට ගනු ලැබූවන් වෙඩි තබා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනය. අද දූෂනය කරනු ලැබූ රැදවියන් පිලිබද සාක්ෂි වාර්තාය.හෙට තව කවර නම් සාක්ෂියක් මතු වනු ඇද්ද?

නන්දිකඩාල් ඛේදවාචකය යනු කොසෝවෝ ඛේදවාචකය තරම්ම සාහසික වූවකි. මානුශික මෙහෙයුම් හා රට බේරා ගැනීම් පිලිබද දෘෂ්ටිවාදී කථාන්දර වලින් මෙම සත්‍යය වසා දැමිය නොහැක. එම සත්‍යය ඉතිහාසයේ සටහන් වනු නතර කිරීමට මිහිපිට ඇති කිසිදු බලවේගයක් සමත් නොවනු ඇත.





Thursday, February 21, 2013

බාලචන්ද්‍රන්ගේ ඝාතකයා කවුද?


ල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍ර දොලොස් හැවිරිදි බාලචන්ද්‍රන් ගේ ඝාතනය හා සම්බන්ධ නව ඡායාරූපමය සාක්ෂි මේ වනවිට කරලියට පැමින තිබේ. චැනල් 4 නාලිකාව විසින් ලබන මාර්තුවේ දී ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ලංකාවේ සිවිල් යුද්ධය පිලිබද තවත් වාර්තා වැඩසටහනක් තිරගත කිරිමට නියමිතය. එහිදී බාලචන්ද්‍රන්ගේ ඝාතනය හා සම්බන්ධ මෙම ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරෙනු ඇතැයි වාර්තා වේ. හමුදා භාරයට පත්වූ බාලචන්ද්‍රන් වෙඩි තබා ඝාතනය කල බවට පසුගිය වර නිකුත් වූ චැනල් 4 වාර්තා වැඩසටහන මගින් ද චෝදනා එල්ල කරන ලද්දේය. එහිදී රජයේ පිලිතුර වූයේ එවැන්නක් සිදු නොවූ බවත් බාලචන්ද්‍රන් මියගොස් ඇත්තේ දෙපාර්ශවය අතර හටගත් වෙඩි හුවමාරුවකදී බවත්ය.

දැන් අලුතින් ඉදිරිපත්ව ඇති සාක්ෂි සමග රජය නිර්මානය කල ඉහත ප්‍රබන්ධය සුනු විසුනු වී යන්නේය. හමුදා බංකරයක් තුල අදාල දරුවා රදවා සිටින දර්ශනය, එහිදී ඔහුට ආහාර ලබාදී ඇති දර්ශනය මෙන්ම පපුවට නිකුත් වූ වෙඩි පහර මගින් ඔහු මරා දමා ඇති දර්ශනය ද ඡායාරූප පෙලෙහි අඩංගුය. මෙම දරුවා හමුදා භාරයට පත්වූ පසු වෙඩි තබා මරා දමා ඇති බවට නිගමනය කිරීමට යමෙක්ට දැන් සාමාන්‍ය බුද්ධියට වඩා වැඩි යමක් අවශ්‍ය නොවේ.

මෙම ප්‍රවෘත්තිය අන්තර්ජාලයේ "ගොසිප් වෙබ් අඩවි" හෙවත් ඕපාදූප අඩවි වල පලවී තිබූ අතර ඊට යටින් විවිධ පාඨකයෝ ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වා තිබුනාහ. ගොසිප් වෙබ් අඩවිවලට වැටෙන ප්‍රතිචාර වූ කලී වර්තමාන සිංහල මැද පංතිකයින්ගේ මනෝභාවය වටහා ගත හැකි කදිම කැඩපතකි. එම ප්‍රතිචාර වලින් බහුතරයක අදහස වූයේ මෙම ඡායාරූප "ව්‍යාජ" ඒවා බවයි. තවත් සැලකිය යුතු පිරිසක් සිංහල මායිම් ගම්මාන වල ලමුන් කැති ගෑ කොටින්ගේ නායකයාගේ දරුවාව මෙලෙස මරා දැමීම වරදක් නැතැයි කියා තිබුනි.

බාලචන්ද්‍රන්ගේ මල සිරුරේ ඡායාරූපය ඕනෑම සාධාරන මනසක් තුල කම්පනයක් ඇතිකරවීමෙහිලා සමර්ථය. 2009 නන්දිකඩාල් "විජයග්‍රහනයෙන්" පසු දැන් දකුනේ සිංහල සමාජය අභියස උදා වෙමින් තිබෙන්නේ සංකීර්න කාල පරිච්ඡේදයකි. සිංහල සමාජය උත්කර්ෂවත් ලෙස සැමරූ යුද්ධය යනු බිහිසුනු ඝාතන සමුදායක් පමනි යන සත්‍යය ඔවුන්ටම ඒත්තු ගන්වන සිදුවීම් දිනෙන් දින මතුවෙමින් පවතී. 88- 89 මිහිදන් කල දකුනේ තරුනයන්ගේ සිරුරු වැලලූ ස්ථාන මාතලේදී ගොඩගැනෙන්නේ  දැන්ය. එලෙසම උතුරේ සමූහ මිනීවලවල් හාරන්නට වුවහොත්? එහිදී කවර නම් දේවල් මතුවනු ඇද්ද? නන්දිකඩාල් කලපුවේ නිවාඩු නිකේතනයක් ඉදිකල පමනින් පොලොව යට වැලලුනු දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ඉරනම සැගවිය නොහැක.

 2009 යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය තුල උතුරුකරයේ දැවැන්ත වූත් බිහිසුනු වූත් ජන සංහාරයක් සිදුවූයේය. මෙය සැගවිය නොහැකි ඇත්තකි. තමා මහත් ආස්වාදයෙන් චියර් කලේ මෙබදු බිහිසුනු ජන සංහාරයකට බව පිලිගැනීමට සිංහල මැද පංතික මනස සූදානම් නැත. එය සැබැවින්ම ක්ෂිතිමය අත්දැකීමකි. මේ ක්ෂිතියෙන් ගැලවීම සදහා සිංහල මැදපංතිකයා තර්ක දෙකක් ගොඩනගා ගනී. එක්කෝ මේ පින්තූර සේරම බොරු. එසේත් නැතිනම් - උන් අපේ අය මැරුව නිසා උන්ට ඔහොම උනාට කමක් නෑ. මේ තර්ක දෙකම ව්‍යාජ තර්ක බව මෙම මැද පංතිකයෝ මනාව දනිති. එක්කෝ තමන් චියර් කරමින් දායක වූයේ බිහිසුනු ජන සංහාරයකටයි යන කටුක යථාර්තය පිලිගත යුතුය. තැනහොත් එම යථාර්තයෙන් මිදීමට නම් සිය චියර් කිරීම සාධාරනීකරනය කරගන්නා කවර හෝ තර්කයක් සාදා ගත යුතුය.පෙනෙන්නට ඇති පරිදි සිංහල මැද පංතික සමාජය කටුක යථාර්තයට මුහුන දෙනු වෙනුවට ස්වයං මෝහනීය තර්ක සමූහයක් හරහා ෆැන්ටසිගත වීම තෝරාගනිමින් සිටී.

මේ ෆැන්ටසි ලෝකය කුඩු කිරීමට මැදිහත් වීම මේ මොහොතේ සිංහල ප්‍රගතිශීලී කොටස් ඉදිරියේ ඇති වගකීමකි. මෙරට දෙමල ජනයා මුහුන පෑ මහා සංහාරය අවංකව පිලි නොගන්නා තාක් දුරට දෙමල සමාජය සමග කෙරෙන කිසිදු ප්‍රතිසන්ධාන කථා බහක් පිචිචියක් නොවටී. සහෝදරත්වය හෝ ජාතික සමගිය රැදී තිබෙන්නේ පුරසාරම් වචන වල නොව සැබෑ මිනිස් ක්‍රියාවන් තුලය. උතුරේ සමාජය මුහුන පෑ සංහාරය ( මෙතරම් පැහැදිලි සාක්ෂි මතුවෙමින් තිබියදීත්)  පිලි ගැනීමට සිංහල සමාජය සූදානම් නැතිනම් මේ දූපතේ අනාගතය වාර්ගික ධ්‍රැවීකරනය විසින් තවදුරටත් අවලස්සන කරදැමීමට නියමිතය.


Saturday, February 16, 2013

මූලස්ථානයට බෝම්බ ගසනු!



" Reign to foes' fear
Orthodox Tsar
God protect the Tsar.."
                                               -  රුසියානු ජාතික ගීය 1833-1917
යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ ජනාධිපති රාජපක්ෂ රදවා ගනු ලැබ සිටි යාපන සරසවි සිසුන් දෙදෙනා නිදහස් කරන ලෙස ආඥා කලේය. පවුල්වාදී සාර්වරයා එම නියෝගය නිකුත් කරන ආකාරය රූපවාහිනී නාලිකා මගින් රට පුරා විකාශය කරන ලදී. අත්අඩංගුවට ගනු ලැබූ සරසවි සිසුවාගේ මව තම දරුවා රාජ්‍යද්‍රෝහී වැඩකටයුතු වලට සම්බන්ධ නැති බව බැගෑපත්ව කියන්නීය. ඔහු මින් මතු  දේශපාලනයට සම්බන්ධ නොවන බවට මවට සහතිකයක් දිය හැකිදැයි සාර්වරයා සිංහලයෙන් මවගෙන් අසයි. කැම්පස් ආවෙ ඉගෙන ගන්න මිස දේශපාලනය කරන්න නෙමෙයි. සාර් උද්දච්ච ස්වරයෙන් පවසයි. දරුවා නිදහස් වූ පසු නැවත  දේශපාලන කටයුතු නොකරන බවට වගබලාගන්නා බවට මව "පොරොන්දු වූ නිසා" ඔහු නිදහස් කරන්නැයි ඉක්බිති හෙතෙම ‍පොලිස්  නිලධාරීන්ට උපදෙස් දෙයි.

රාජපක්ෂ පාලනය යටතේ ජනමාධ්‍යය සහයෝගය සහිතව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් නමැති රංගය යොදාගැනෙන්නේ සියලු ප්‍රශ්න විසදන ගැලවුම්කරුවා ලෙස මහලු  සාර්වරයා අභිෂේක කිරීම වෙනුවෙනි. විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් හෙතෙම නිලධාරීන්ට බැන වදිනු, තග දමනු රූපවාහිනී නාලිකා තුලින් විකාශය කෙරේ. 'රාජ්‍ය නිලධාරීන් තමයි ‍අකාර්යක්ෂම , අතිගරු ජනාධිපති තුමා මැදිහත් නොවී කිසි ප්‍රශ්නයක් විසදගන්න බැහැ නෙව' යන ආකල්පය ජනයා තුල පින්තාරු කිරීම මේ හරහා සිදුවේ.රජු නිකැලැල්ය. උදාරය. රටේ වැරදි සිදුවෙනවා නම් සිදුවන්නේ සෙසු ඇමතිවරු හා නිලධාරීන් නිසාය.

දැන් යාපනයේ දී රාජපක්ෂ සරසවි සිසුන්ගේ දෙමාපියන්ට පවසනුයේ "දේශපාලනය නොකර ඉගෙන ගන්න" කියාය.

අත්අඩංගුවට ගත් යාපන සරසවි සිසුන් කල දේශපාලනය කුමක්ද? 

සරසවි ක්‍රියාකාරකම් වලට හමුදාව අනිසි ලෙස මැදිහත්වීමට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කිරීමය ඔවුන් කල දේශපාලනය වූයේ. මෙම විරෝධතාවය ආන්ඩුවේ අධිකාරිවාදී අන්තනෝමතිකභාවයට එරෙහි ප්‍රජාතාන්ත්‍රික විරෝධය පෑමක් මෙන්ම සිය දේශපාලන අයිතීන්ගේ නාමයෙන් ජාතික පීඩනයට එරෙහිව පාන ලද විරෝධයක් ද වන්නේය.

උතුරට පමනක් නොව දකුනේ සරසවි සිසුන්ටද රජය මෙයම පවසයි. පාඩුවේ ඉගෙනගන්න.දේශපාලනය නම් කරන්න එපා.දකුනේ ශිෂ්‍ය ව්‍යාපාරය මූලික වශයෙන් ගොනු වී තිබෙන්නේ අධ්‍යාපනයේ සම අයිතිය පිලිබද සටන්පාඨය වටාය. ආන්ඩුව එපා කියන්නේ සිය නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය සමග ඝට්ටනය වන ශිෂ්‍ය ව්‍යාපාරයේ එම දේශපාලනයටය.

රාජපක්ෂ සරසවිවල තරුනයන්ට එසේ පවසන්නේ තවමත් පැගිරි නාම්බෙකු වන නාමල් මහතා මහත් ලාලසාවෙන් යුතුව දේශපාලනය කරන පසුබිමකය. විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානය නමින් රජය විසින් අටවා ඇති ශිෂ්‍ය සංගමයක් ද තිබේ. දැන් සංඥාව පැහැදිලිය. නාමල් මහතාට දේශපාලනය කල හැක. අවශ්‍යම නම් සරසවි සිසුන්ට ඔහුට ( හෝ වෙනත් ආන්ඩුවේ දේශපාලකයෙකුට) කඩේ යාමේ දේශපාලනය සිදුකල හැක. ඒ සදහා නිදහස් ශිෂ්‍ය සංගමය තිබේ. එහෙත් පවතින ක්‍රමය ප්‍රශ්න කරන දේශපාලනය කිරීම තහනම්.ජාතික පීඩනය ප්‍රශ්න කරන දේශපාලනය කිරීම තහනම්. එක්කෝ තොප අප සමග. නැතිනම් තොප ත්‍රස්තවාදීන්. දේශප්‍රේමී රාජපක්ෂ දිගින් දිගටම ක්‍රියාවේ දමමින් සිටින්නේ ජෝර්ජ් බුෂ්ගේ මෙම දේශපාලන  සූත්‍රයයි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධ බවට මඩ පත්‍රිකා තොගයක් පසුගිය දිනවල රජය විසින් සරසවි තුල බෙදාහැර තිබුනි. යාපනයේ සිසුන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේ දී ශිෂ්‍ය ව්‍යාපාරය ඊට එරෙහිව පෙනී සිටීම මෙම ප්‍රචාරයේ පදනමයි. අවිවිශිබමට සිසුන් අතර ඇති සහයෝගය බිදිය නොහැකිව බාල ලෙස ජාතිවාදය අවුලා හෝ එය කඩාගැනීමට රජය මේ අනුව වෑයම් කරන බව පැහැදිලිය.

රජය මෙලෙස ජාතිවාදය, රාජාන්ඩු ස්වභාවයේ අන්තනෝමතිකත්වය නියෝජනය කරන සන්දර්භයක් තුල ප්‍රගතිය නියෝජනය කරන්නට සිදුව තිබෙන්නේ විකල්ප සමාජ ව්‍යාපාරයන්ටය.සරසවි දේශපාලනයට අදාලව මෙම මොහොත උතුරේ හා දකුනේ සිසුන්ගේ පලල් එක්සත්භාවයක් ඉල්ලා සිටී. උතුර පෙලන ජාතික පීඩනයට එරෙහි නොවී උතුරේ සිසුන්ගේ සහයෝගය එක්සත් ක්‍රියාමාර්ගයක් සදහා දිනාගත නොහැක. අනෙත් අතට දකුනේ ශිෂ්‍ය බලවේග සමග එක්සත් නොවී උතුරට හුදෙකලාව රාජපක්ෂ සාර්වරයාගේ පරමබලධාරීවාදයට මුහුන දිය නොහැක.

දේශපාලනය කරන්න එපා නමැති රාජපක්ෂගේ තර්ජනයට පිලිතුරු දිය යුත්තේ එකම එක විධියකිනි. එනම් තව තවත් දේශපාලනය කිරීමෙනි.නව ලිබරල්වාදයට, ජාතිවාදයට ,ඒකාධිපතිවාදයට එරෙහිව වඩ වඩා දේශපාලනය කිරිමෙනි.


Friday, February 1, 2013

හදවත අහිමි සමාජයක අත අහිමි වීම




කොලඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනී නමැති නීති ශිෂ්‍යාවගේ අත ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමේ සිදුවීම පසුගිය සතියේ බොහෝ ජනමාධ්‍යයන්ගේ අවධානයට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් වූයේය. වම් අතෙහි වූ සුලු බිදීමක් නිසා රෝහල්ගත කල ඇගේ අත ප්ලාස්ටරයකින් වෙලා ඇති අතර එය රිදුම්දෙන  බවට ඇය පැමිනිලි කල ද ඒ ගැන නිසි අවධානයක් යොමු වී නැති බව පැවසේ. ඉක්බිති එම වෙලුමේ තදභාවය නිසා අතේ සෛල හා ස්නායු මියගොස් තිබේ. අවසානයේ අත කපා දැමීමට සිදුව තිබෙනුයේ මෙලෙස අතේ සෛල මියයාම නිසාය.

අතෙහි වූ සුලු බිදීමක් අත කපා දැමීමක් දක්වා දිග්ගැස්සුනේ වෛද්‍ය නොසැලකිල්ල නිසා බවට මේ වනවිට බරපතල චෝදනාවක් ඉදිරිපත් වි ඇත. මාතර ප්‍රදේශයේ සාමාන්‍ය පවුලකින් පැවත එන මෙම සිසුවියගේ මව මැදපෙරදිග රැකියාවක් සදහා විදේශගතව සිටී. පසුගිය දා පැවැති පුවත්පත් සාකච්ඡාවක දී සිසුවියගේ පියා හැගීම්බරව ඉල්ලා සිටියේ එම තරුනියට වූ අසාධාරනය සදහා යුක්තිය ඉටු කරන ලෙසය.

මෙම සිදුවීම බොහෝ පුවත්පත් වල සිරස්තල බවට පත්ව තිබෙනුයේ මෙහි වින්දිතයා නීති සිසුවියක වූ බැවිනි. විශ්වසනීය ආරංචි මූලාශ්‍රයකින් මෙම ලියුම්කරු දැනගත් පරිදි ආරම්භක අවස්ථාවේ අත කපා දැමීමේ හේතුව ඇයගේ මිතුරන් ශල්‍යකර්මයට සම්බන්ධ වූ වෛද්‍යවරයාගෙන් විමසූ විට ලැබී තිබුනේ
" හේතුව හොයල දැන් වැඩක් නැහැ.මෙතැනින් එහාට මේ ලමයගෙ හිත හදන්න බලන එකයි කරන්න පුලුවන් ලොකුම දේ" වර්ගයේ පිලිතුරකි. එම ප්‍රකාශය පිලිනොගෙන යම් සිවිල් බලපෑමක් කල හැකි පිරිසක් ලෙස විශ්ව විද්‍යාල සිසුහු සංවිධානය වී මෙම පුවත යටපත් වීමට ඉඩ නොදුන් නිසා දැන් මෙය ප්‍රධාන තලයේ මාතෘකාවක් බවට පත්වී ඇත.

මෙහිදී පැනනගින ගැටලුව වනුයේ මෙබදු සිදුවීම් තව කොතෙක් රට තුල සිදුවනවා ඇද්ද යන්නයි. "හේතුව හොයල වැඩක් නැහැ" යන පිලිතුර සිවිල් බලපෑමක් සහිත සමාජ ස්ථරයක් විසින් පිලිගැනීමට සූදානම් නොවූ නිසාය මෙය මතුපිටට පැමිනියේ.  රටේ බහුතර පොදු ජනකාය එබදු බලපෑමක් කල හැකි අය නොවෙති. මෙම තරුනිය යම් හෙයකින් නීති සිසුවියක නොවූවා නම් වැඩි සම්භාවිතාවය තිබෙනුයේ වෛද්‍ය නොසැලකිල්ල පිලිබද විස්තරාත්මක අවබෝධයක් රහිත සාමාන්‍ය ගැමි‍යන් වන ඇගේ ඥාතීන් වෛද්‍යවරයාගේ උපදෙස පිලිගෙන නිහඩ වීම‍ට නොවේද?

වෛද්‍ය නොසැලකිල්ල නමැති නීති අංශය පාර්ශවයෙන් ලංකාව අතිශය පසුගාමී තැනක පසුවන්නේය. ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යමය නොසැලකිල්ලක් තිබුනා ද යන්න තීන්දු කිරීමේ දී තීරනාත්මක වන්නේ විශේෂඥභාවය සහිත වෛද්‍ය සාක්ෂිය. තමන්ගේම වෘත්තියේ සගයන්ට එරෙහිව සාක්ෂි නොදීම යනුවෙන් නිර්මානය වී ඇති මුග්ධ සම්ප්‍රදාය නිසා මෙබදු සිදුවීම් නීතිය අභිමුව ඔප්පු කිරීමේ අපහසුතාවයක් පවතී. තමාගේ වෘත්තියේ අයෙක් කරන වරදකට එරෙහිව "තමාගේ කම" මත පෙනී නොසිටීම නමැති මෙම මුග්ධ පිලිවෙත වෛද්‍ය පමනක් නොව නීති වෘත්තිය ඇතුලු බොහෝ වෘත්තීන් තුල දක්නට ලැබෙන්නකි. වරප්‍රසාද ලත් වෘත්තීන් පවත්වාගෙන යන මෙබදු මාෆියාවාදී පුරුදු අපගේ සමාජයේ මානුශික වටිනාකම් ගරා වැටී ඇති ප්‍රමානය හකුලුවා දක්වන නිදර්ශනයෝ වෙති.

අචලා ප්‍රියදර්ශනී මුහුන පෑ ඛේදවාචකය සැබැවින්ම පෙන්නුම් කරන්නේ අපගේ සමාජවල බලපවත්වන සමාජ ඇපාතයිඩමය තත්වයේ යථා ස්වභාවයයි. ඔබ ධනවත් නම් අගනා සැලකිල්ල සහිත සුඛෝපභෝගී සෞඛ්‍ය සේවා ඔබට මුදල් ගෙවා ලබාගත හැක. ඔබ එසේ නොවේ නම් ඔබට හිමි වන්නේ රජයේ සෞඛ්‍ය සේවයයි. එහිදී ( යම් ගැටලුවක් වුවහොත් ) ඔබට මුන ගැසෙනු ඇත්තේ 'අත කපා දැමීමේ හේතුව හොයල දැන් වැඩක් නැහැ' වර්ගයේ වෘත්තීමය තග දැමිලිය.

එක රටක්. සෞඛ්‍ය සේවා වර්ග දෙකක්. එක සමාජයක්. සැලකීමේ විධි දෙකක්.

ඔබ මුහුන දෙන අයුක්තිය ප්‍රසිද්ධ කිරීමට ඔබ බලපෑම් සහගත සමාජ කන්ඩායමකට ගෑවී හෝ සිටිය යුතුය. මෙම තරුනියට අතක් බද්ධ කිරීමට අදාල වියදම් දැරීමට දැන් රජයේ දේශපාලකයින් ඉදිරිපත්ව සිටී. ඔබ යම් ප්‍රමානයකට හෝ බලපෑම් කල හැකි සමාජ කන්ඩායමකට අයත්ව සිටියා වුවද සහනයක් ලබාගැනීමට නම් දේශපාලකයින් ගේ අනුකම්පාව ලැබෙන තුරු සිටිය යුතුව පවතී. සහනයක් ලබාගැනීමේ වඩා ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයක් වන නඩු දැමීමක් කිරීමට ඔබට ඇවැසි නම් ඒ සදහා අතිමහත් මුදලක් අවශ්‍යය. මෙබදු නඩු වසර ගනන් දිග්ගැස්සේ. එතරම් දිගු කාලයක් නීතිඥ ගාස්තු ගෙවමින් රස්තියාදු වනවාට වඩා සාමාන්‍ය මිනිසෙක් බොහෝ විට කරන්නේ ප්‍රශ්නය ගොඩින් බේරාගෙන සමාදාන වීමය. සිද්ධිය සිදුවී සති කිහිපයක් යන තුරු මාධ්‍ය ආයතන වලට මෙය ප්‍රවෘත්තියක් වනු ඇත. එහෙත් වසර ගනන් නඩු කීමට සිදුවනුයේ, එම පිරිවැය දරාගැනීමට සිදුවනුයේ වින්දිතයාටමය.ඇයගේ හෝ ඔහුගේ ඥාතීන්ටමය. මෙවැනි සිද්ධියක දී නඩු කීමට සිදුවන්නේ රජයේ නිලධාරීන්ට එරෙහිව වන අතර රජයේ පාර්ශවයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රබල නීතිඥවරයෙක් ඉදිරිපත් කරන ලදහොත් ඔබට අති දක්ෂ නීතිඥයෙක්ගේ සේවය පතා යෑමට සිදුවේ. 

සියල්ලෝ දන්නා පරිදි අති දක්ෂ නීතිඥවරු වූ කලී අති දක්ෂ ලෙස මුදල් ගැරීමෙහි සමර්ථයෝය.

නාමිකව නීතිය ඉදිරියේ සියල්ලෝ සමානය. එහෙත් දුගීන් හා සසදන කල්හි ධනවතුන් නීතිය ඉදිරියේ වැඩිපුර "සමානය".