Sunday, March 31, 2013

මිහිතලය පරිභෝජනයට සුදුසු වෙලද භාන්ඩයකි


ක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති අල් ගෝර් පාරිසරික අර්බුදය ගැන 2006 නිපද වූ වාර්තා චිත්‍රපටයකදී (An Inconvenient Truth) මෙසේ අදහස් පල කලේය. " අපි හැමදෙනාම ගෝලීය උනුසුමට දායක වෙනවා.ඒ නිසා අපි හැමෝටම අ‍පේ පෞද්ගලික කාබන් විමෝචනය බිංදුවක් වන ලෙස ජීවිත හැඩගස්වා ගැනිමෙන්,අපි එලවන වාහන අපි පාවිච්චි කරන විදුලිය යනාදිය හරහා, මෙය සමනය කරන්ට දායක විය හැකියි".

ලංකාවේ දේශපාලන වේදිකා වල කථාබහට ලක්නොවූවද ගෝලීය පාරිසරක අර්බුදය සංවර්ධිත රටවල දේශපාලන විවාදයන්හිදී සාකච්ඡා කෙරෙන වැදගත් මාතෘකාවකි. ඒ රටවල ධනේශ්වර දේශපාලකයෝ පරිසර හිතෛශීන් ලෙස පෙනී සිටීමට රුචිකත්වයක් දක්වති. බ්‍රිතාන්‍ය දක්ෂිනාංශික කොන්සර්වැටිව් පක්ෂය භාවිතා කල "නිල් පාටට ඡන්දය දී කොලපාට ලබාගන්න " ( Vote blue go green) නමැති මැතිවරන පාඨය මෙම පරිසර "උනන්දුව" සම්බන්ධ කදිම නිදර්ශනයකි. හරිතාගාර වායු විමෝචනය තුලින් ඇති වී තිබෙන ප්‍රතිවිපාක, ගෝලීය උනුසුම යනාදී ප්‍රශ්න මිහිතලය හා සමස්ථ මානව වර්ගයා අභිමුව මතුකොට තිබෙන්නේ දැවෙන ප්‍රශ්නයකි.

අල් ගෝර් වැනි "පරිසරවාදී" දේශපාලකයින් මේ ප්‍රශ්නයට පිලිතුරු ලෙස යෝජනා කරන්නේ එක්තරා විදිහක පෞද්ගලික තලයේ විසදුමකි . පරිභෝජනයේදී පරිසරය ගැන හිතන ලෙස ඔවුහු ජනතාවට යෝජනා කරති. අධික වූත් කෑදර වූත් පරිභෝජනය මේ සියලු විපත්වල මුල බව මෙම යෝජනාව තුලින් ගම්‍ය වේ."පරිසර අර්බුදයට අධි පරිභෝජනය බලපා තිබේ" යන සත්‍යය නිරීක්ෂනය සිදුකොට පුරවැසියන්ට එම ප්‍රශ්නය පුද්ගලික තලයන්හිදී විසදාගන්නා ලෙස පවසමින් අල් ගෝර් වැන්නවුන් නතර වූව ද අප එසේ නතර විය යුතු නැත. අප තව ඉදිරියට යමින් ප්‍රශ්නය අධික පරිභෝජනය නම් එම අධික පරිභෝජනය කවරක් තුලින් හටගත්තේද යන මූලධාර්මික ප්‍රශ්නය නැගිය යුතුය.

අප මේ ජීවත් වන්නේ ගෝලීය ධනවාදයේ යුගයේය. ලාභ අරමුන වෙනුවෙන් නිෂ්පාදනය කිරීම ධනවාදී ශිෂ්ටාචාරයේ තිබෙන මූලිකම ලක්ෂනයයි. ලාභ වෙනුවෙන් නිපැයෙන භාන්ඩ අලෙවි කරගත නොහේ නම් ව්‍යාපාර පාඩු ලබනු ඇත. මේ නිසා භාන්ඩ පරිභෝජනය අවිචාරවත් උමතුවක් බවට පත්කිරීම ධනවාදී ක්‍රමයේ ව්‍යුහාත්මක ලක්ෂනයකි. විශාල ව්‍යාපාර වලට ලාභ ඉපයිය හැක්කේ ජනයා විචාරයකින් තොරව අධික ලෙස පරිභෝජනය කරන්නේ නම් පමනි. වෙලද දැන්වීම්කරනය මත අති දැවැන්ත ආයෝජනයක් කරමින් මේ නිසා සමාගම් පරිභෝජනවාදී සංස්කෘතිය ප්‍රවර්ධනය කරයි. මෙම අධික පරිභෝජන රටාව නඩත්තු කිරීම සදහා පසුගිය දශක වලදී බටහිර රටවල මූල්‍ය වෙලදපොල රෙගුලාසි ලිහිල් කරමින් ක්‍රෙඩිට් කාඩ් හරහා නය සපයමින් කෘතිම පරිභෝජන බුබුලක් මැවීමට ආන්ඩු,විශාල ව්‍යාපාර හා බැංකු ක්‍රියා කලේය.

මේ අනුව පරිභෝජනවාදී සංස්කෘතිය යනු පුද්ගලයින්ගේ හැදියාව ගැන ප්‍රශ්නයක් නොව පවතින ධනවාදී ශිෂ්ටාචාරයේ ජාති ලක්ෂනයකි. අධි පරිභෝජනවාදී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමෙන් තොරව පාරිභෝගිකයින්ව අධිපරිභෝජනය සදහා පොලඹවන්නේ නැතිව ලාභ අරමුන මත පදනම් වූ ධනවාදී සමාගම්වලට පැවතිය නොහැක. මේ ශිෂ්ටාචාරය තුල පරිසරයට වඩා වැදගත් වන්නේ ලාභයයි. මේ නිසා එක් අතෙකින් පරිභෝජනවාදී කෑදර සතෙක් බවට මනුශ්‍යයා පත්කිරීම සිදුවන අතර එම සත්වයා වෙනුවෙන් වෙලදපොල විසින් මවන උවමනා සංසිදුවීම සදහා සමාගම් විසින් වැඩි වැඩියෙන් මිහිතලය සූරාකනු ලබයි. ගෝලීය පරිසර අර්බුදයේ මූලය පවතින්නේ ධනවාදී ශිෂ්ටාචාරය පදනම් වන මෙන්න මේ තර්කනය තුලය.

පරිසර අර්බුදයට ධනවාදය තුල විසදුම් සෙවීම නිෂ්පල වන්නේ මේ හේතුවෙනි. මන්ද ප්‍රශ්නය ධනවාදයම වන බැවිනි. පරිභෝජනවාදය ප්‍රවර්ධනය කෙරෙන ශිෂ්ටාචාරයක් තුල තනි තනි පුද්ගලයින්ගෙන් අල්පේච්ඡ වන ලෙස ඉල්ලීමේ ඇති අර්ථයක් නැත. අනිත් අතට මහා ව්‍යාපාර හා සමාගම් නිෂ්පාදනයේ දී දැවැන්ත පරිසර විනාශයක් සිදුකරන අතරේ තනි තනි පාරිභෝගිකයින්ට පරිසර හිතකාමී වන ලෙස පැවසීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? චීනය හා ඉන්දියාව වැනි රටවල් මේ වනවිට ධනවාදී පදනමක් මත වේගයෙන් කාර්මිකකරනය වෙමින් සිටී. දැනට බටහිර අර්ධගෝලයේ අධිපතිව ඇති අධිපරිභෝජනවාදී සංස්කෘතිය මේ දැවැන්ත කලාපයන් හිදීද ආධිපත්‍යයට පැමිනි කල්හි පරිසර අර්බුදය කවර ස්වභාවයක් ගනු ඇද්ද?

ධනවාදය ගැන ප්‍රශ්නය තවදුරටත් ධනය බෙදීයාමේ විෂමතාව ගැන ගැටලුවක් පමනක් නොවේ. එය පෘතුවි තලයේ හා මුලුමහත් ජීවයේම අනාගතය ගැන ප්‍රශ්නයක් බවට මේ වනවිට පත්ව තිබේ.


Saturday, March 23, 2013

සැබෑ ප්‍රශ්නයක් : ව්‍යාජ ගැලවුම්කරුවෝ දහසක්


කූඩන්කුලම් - දෙමල ජනයා හා හැපෙන තමිල්නාඩු රාජ්‍යය

ම්.කරුනානිධිගේ පක්ෂය ඉන්දීය මධ්‍යම ආන්ඩුවෙන් ඉල්ලා අස්වී තිබේ. ලංකාවේ යුද අපරාධ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දීය රජය "දැඩි ස්ථාවරයක්" නොගැනීම ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරී තිබේ. එලෙස ඉල්ලා අස්වීමට කරුනානිධිගේ පක්ෂය ගත් තීන්දුව පසසමින් තමිල්නාඩු විපක්ෂ නායිකා ජයලලිතා ජෙයරාම් ද ප්‍රකාශයක් නිකුත් කොට තිබුනේය.

කරුනානිධිගේ මේ අස්වීමට සමාන්තරවය තමිල්නාඩුවේ දී ලංකාවෙන් පැමින සිටි බෞද්ධ භික්ෂූන් දෙනමකට මැර පිරිස් විසින් කල පහරදීම වාර්තා වූයේ. නිරායුධ සංචාරකයින් වූ එම භික්ෂූන්ට ප්‍රසිද්ධියේ කල පහරදීම කවර තත්වයක් යටතේ වත් සාධාරනීකරනය කල නොහැකි පිලිකුල්සහගත සිදුවීම් වෙති. එම්.කරුනානිධිගේ ඩී.එම්.කේ පක්ෂය ද පාර්ශවකරුවෙක් වන දෙමල ඊලාම් සහයෝගිතා සංවිධානය (TESO) පසුගිය දිනෙක ප්‍රාන්තය පුරා මහා වැඩවර්ජනයක් සදහා කැදවුම් කල අතර ලංකාව සම්බන්ධ තදබල ස්ථාවරයක් ගැනීමට ඉන්දීය රජයට බලකිරීම එම වැඩවර්ජනයේ ප්‍රකාශිත අරමුනයි. ලංකාවේ දෙමල ජනයාට "සාධාරනය ඉටු කිරීම" නමැති සටන්පාඨය වටා සමස්ථ තමිල්නාඩුවම පෙලගැස්වීමට තමිල්නාඩු ප්‍රභූ තන්ත්‍රය අදහස් කරගෙන සිටිනවා වැන්න.

දැන් සිංහල ජාතිහිතෛශීන් වෙත පෑදී ඇත්තේ කදිම ඉල්ලමකි . තමිල්නාඩුවට එරෙහිව ජනමාධ්‍ය ඉදිරියේ සිංහ නාද කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබේ. බොදුබල සේනා සංවිධානය තවත් ඉදිරියට ගොස් අදාල පහරදීම මුස්ලිම්වරුන්ගේ ගිනුමට බැර කොට තිබුනි !

තමිල්නාඩු ප්‍රභූන් ලංකාවේ ජාතික ප්‍රශ්නය ගැන දක්වන උනන්දුව කවරක්ද? එය හුදෙක් ලංකාවේ හා ඉන්දියාවේ දෙමල ජනයා අතර ඇති සංස්කෘතික සමානකම තුලින් මතුවන අහිංසක සහෝදර කැක්කුමක් පමනද ?

ප්‍රතිමල්ලවයා පත්බෙරියේ ඥානාලෝක තෙරද?
ඉහත ප්‍රශ්නය විග්‍රහ කරගැනීමට සමකාලීන ඉන්දියාවේ සමාජ ආර්ථික චලනයන් කෙරෙහි අප වඩාත් විමර්ශනශීලී විය යුතුය. මීට මසකට පෙර, 2013 පෙබරවාරි 20-21 දෙදින තුල, ඉන්දීයවෘත්තීය සමිති සමස්ත ඉන්දීය වැඩවර්ජනයක් කැදවුම් කලේය. වැඩිවන ජීවන වියදමට සහ පුද්ගලිකකරනයට විරෝධය පෑම - ඒ වැඩවර්ජනයේ මූලික තේමාවයි. එම දෙදින තුල ඉන්දියාව පුරා කම්කරුවෝ මිලියන සියයකට ආසන්න ප්‍රමානයක් වැඩවර්ජනයට එක්වූ බව පුවත්පත් වාර්තා කලේය. තමිල්නාඩුවේදීද වැඩවර්ජනය සදහා සැලකිය යුතු ප්‍රතිචාරයක් පලවිය. කාර්මික නගරයක් වන තිරුපූර්හි ඇගලුම් කම්කරුවෝ ලක්ෂ දෙකකට ආසන්න පිරිසක්  විරෝධය පාමින් සිය වැඩ අත්හලෝය. බැංකු හා රක්ෂන ‍සේවා මුලුමනින් ඇනහිටීමට ලක්වූයේය.

ඉන්දියාව පුරා භාවිතයේ යොදවා තිබෙන වෙලදපොල හිතවාදී නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරන විසින් සමාජයේ පීඩිත ස්ථරයන්ගේ අසහනය තීව්‍ර කොට තිබේ. අඛන්ඩ උද්ධමනය ජනයා මත එල්ල කොට තිබෙන්නේ මහත් පීඩනයකි. වැඩකරන ජනයාගේ සංවිධාන තුලින් ඉන්දීය ආන්ඩුවේ එම ප්‍රතිපත්තීන්ට එරෙහි සටන් ක්‍රියාමාර්ග මතුවන්නේ ඒ තතු යටතේය. පෙබරවාරි වැඩවර්ජනය විසින් මතුකෙරෙන්නේ රැඩිකල් සංඥාවකි. එහිදී විවිධ ප්‍රාන්ත වල විවිධ ජනවර්ගයන්ට අයත් ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනයා - කම්කරුවෝ - එක් සටන් ක්‍රියාමාර්ගයක් තුල එක්සත් වූහ. වාර්ගිකත්වය වෙනුවට පංතිය.

2013 පෙබරවාරි වැඩවර්ජනය - වීදි බට තමිල්නාඩු විදුලි සේවකයෝ
පංති දේශපාලනයට එරෙහිව අනන්‍යතා දේශපාලනය නමැති ක්‍රීඩාව ප්‍රභූ සංස්ථාපිතය පැත්තෙන් මතුකෙරෙන්නේ මෙතැනදීය. තමිල්නාඩු ප්‍රභූහු "ලංකාවේ සිංහල" නමැති අනන්‍යතාවයට එරෙහිව "දෙමල" නමැති අනන්‍යතාවය ඉදිරියට ගෙන තිබේ. පෙබරවාරියේ දී වැඩකරන පංතියේ ජනයා වීදි බැස්සේ ඩී.එම්.කේ පක්ෂයේ ද ආශිර්වාදය සහිත නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාදාමයට එරෙහිවය. එම ජනයා වෙනත් අක්ෂයක් වටා - එනම් ලංකාවේ සිංහලයින්ට පාඩමක් ඉගැන්වීම - සංවිධානය කිරීමට දැන් කරුනානිධි උත්සාහ කරයි. සමාජ අර්බුදය තුල අසහනයට පත්වෙමින් සිටින ජනයාගේ කෝපය වෙනත් සතුරෙක් වෙත හැරවීමට එමගින් කරුනානාධි (ලා)  බලාපොරොත්තු වෙති. තමා පෙලන සමාජ තත්වයන්ට එරෙහිව සටන් කරනු වෙනුවට තමිල්නාඩුවේ දෙමල පීඩිත ජනයා තමිල්නාඩුවට සංචාරය සදහා එන සිංහලයින්ට ගල් ගසමින් සිටිනවා දැකීමට තමිල්නාඩු ප්‍රභූන් ඉතාමත් ආශා කරනු ඇත්තේය.

කවර වේශයෙන් පැමිනියද ජාතිවාදය පංති සහිත සමාජයක් තුලදී සේවය කරන්නේ පාලක ප්‍රභූවේ අවශ්‍යතාවය වෙනුවෙනි. තමිල්නාඩු සිදුවීම් හරහා ලංකාවේ සිංහල සමාජය තුල ඇතිවන කෝපය දෙමල සමාජයට/මුස්ලිම් සමාජයට එරෙහිව යොදවමින් සැබෑ සමාජ අර්බුදය වසන් කිරීම සදහා දැන් සිංහල ප්‍රභූ නායකයින්ට ද අවස්ථාව ලැබෙනු ඇත. සිංහල ජාතිවාදය දෙමල ජාතිවාදය පෝෂනය කරයි.දෙමල ජාතිවාදය පෙරලා සිංහල ජාතිවාදයට හුස්ම පිඹී.

කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයට එරෙහිව තමිල්නාඩුවේ ඇතිවූ විරෝධතා වලදී විරෝධතා දැක්වූ සාමාන්‍ය දෙමල ගැහැනුන්ට හා මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට මෙන් එලව එලවා පහර ගැසූ කරුනානිධි රජයට එරට දෙමල ජනයා ගැනවත් මෙරට දෙමල ජනයා ගැනවත් ඇති කැක්කුමක් නැත. ඒ හරියටම සිංහල ජාතිය ගැන උගුරේ ලේ රස සීරී එනතුරු මොරගසන හෙල උරුමය වැනි කන්ඩායම් වලට සිංහල පොදු ජනයා මුහුන දෙන ජීවිතයේ සැබෑ ප්‍රශ්න ගැන කිසිදු හැගීමක් නැතිවා හා සමානවමය. දෙමල ජනයා මුහුන දි සිටින සැබෑ ප්‍රශ්න වලට මේ ව්‍යාජ ගැලවුම්කරුවන්ගෙන් විසදුම් අපේක්ෂා කල නොහැක. ඒ ප්‍රශ්න අතික්‍රමනය කල හැකි වනුයේ දෙමල සමාජය සහ සිංහල ප්‍රගතශිලීන් අතර ඇතිකරගන්නා එක්සත් ක්‍රියාමාර්ගයක් තුලින් පමනකි.










Friday, March 15, 2013

බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ


බොදු බල සේනා සංවිධානයේ පුහුනු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සදහා පසුගිය සතියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගී විමත් සමග දැන් තිරය විවර වී තිබේ. බොදු බල සේනා නමැති තග් සංස්ථාවේ හැසිරීමත් ආන්ඩුවත් අතර සම්බන්ධයක් තිබෙන බවට යමෙක්ට යම් පමනක හෝ සැකයක් වී නම් ඒ සැකය ද ඉවත් කර ගත හැක. බොදු බල සේනා වූ කලී රාජපක්ෂ රෙජිමය විසින් කිරි පොවා ඇති දැඩි කරන පොලගෙකි යන්න ගැන දැන් කිසිදු දෙගිඩියාවක් නැත.

මේ දිනවල බොදු බල සේනා භික්ෂූන් සමග චම්පික රනවක සහ උදය ගම්මන්පිල යන දේශපාලන කුම්භාන්ඩයෝ මැරතන් තරගයකට අවතීර්නය වී සිටිති. තරගයට මෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඔවුහු මුස්ලිම් උලමාවරුන් පතුරු ගසති. පසුගිය දිනෙක පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුව මුස්ලිම් ප‍්‍රජාවේ ආගමික නායකයින් වන උලමාවරුන්ව හැදින්වූයේ උලමලා යන ගර්හිත පදයෙනි. ජමියතුල් උලමා සංවිධානය ප‍්‍රභාකරන්ටත් වඩා දරුනු සතුරෙක් බව පවසමින් උදය ගම්මන්පිල පුවත්පතකට ලිපියක් සපයා තිබුනි. මේ වියරු ප‍්‍රහාර අභියස තවමත් මුස්ලිම් ප‍්‍රජාව පසුපස පාදයේ ක‍්‍රීඩා කරමින් සිටින බවය පෙනෙන්නට තිබෙන්නේ. හලාල් සහතිකය ගැන ඉදිරිපත් කල චෝදනාව හමුවේ එය හකුලා ගැන්මට ජමියතුල් උලමා සංවිධානය තීන්දු කල අතර ඒ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවට බෞද්ධ භික්ෂූන් සමූහයක් ගෙන්වීමට ද ඔවුහු ක‍්‍රියා කර තිබුනාහ. ඥානසාර භික්ෂුව "උලමලා" යනුවෙන් ගර්හිතව ආමන්ත‍්‍රනය කල ද මුස්ලිම් නායකයින් පිලිතුරු සපයන්නේ සංයමයෙන් හා ශික්ෂනයකිනි. සුලුතර ජාතික ප‍්‍රජාවකට අයත් වීම නිසා මුහුන දීමට සිදුවිය හැකි පීඩනය සම්බන්ධයෙන් මෙය කදිම නිදර්ශනයකි. මහ ජාතියේ වර්ගවාදීන් ඔබට එලව එලවා පහර දෙන විට ඔබට සිදුවන්නේ පසුපස පාදයට ගොස් හිස නමා ගැනීමටය.

බොදු බල සේනා ප‍්‍රවනතාව වැඩි සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන්නේ කවර ජනයා අතරද? මෙය වැදගත් දේශපාලන ප‍්‍රශ්නයකි. මෙම ව්‍යාපෘතිය වෙත වඩාත් ආකර්ශනය වී සිටින්නේ නාගරික හා අර්ධ නාගරික සිංහල සුලු ධනේශ්වර සමාජ කොටස් වෙති. 1920 ගනන් වල ඉතාලියේ හා ජර්මනියේ ෆැසිස්ට් ව්‍යාපාර වල නැගීම ගැන ලියමින් ලියොන් ට්‍රොට්ස්කි ෆැසිස්ට්වාදයේ මූලය වශයෙන් විස්තර කලේ ගැඹුරු වන සමාජ අර්බුදය තුළ අපේක්ෂා භංගත්වයට ගොදුරු වූ සුලු ධනේශ්වර සමාජ කොටස් සිය විමුක්තිය පතා දක්ෂිනාංශය වෙත නැඹුරු වීමයි. මෙවැනි ව්‍යාපාර උද්ගත වූ කල්හි නිර්ධන පංතියේ සැලකිය යුතු කොටසක් ද තමා පසුපස පෙලගස්වා ගැනීමට ඒවා සමත් වන ආකාරය ට්‍රොට්ස්කි එහිදී විග‍්‍රහ කරයි.

ලංකාවේ ආර්ථික හා සමාජ අර්බුදය දවසින් දවස උග‍්‍ර වෙමින් තිබේ. මේ ලියන මොහොත වනවිට බස් ගාස්තු සහ විදුලි ගාස්තු සැලකිය යුතු ප‍්‍රතිශතයකින් ඉහල යාමට නියමිතය. මෙලෙස ඉහල යන ජීවන වියදම පාලනය කරගැනීමට රාජපක්ෂගේ ධනේශ්වර රෙජිමයට කිසිදු හැකියාවක් නොමැත්තේය. මේ අර්බුදය යටතේ සමාජයේ මැද පංතික සහ සුලු ධනේශ්වර තීරු වඩ වඩාත් අසහනයට පත් වෙමින් සිටිති. උද්ධමනය වැඩි වැඩියෙන් වැඩ කිරීමට ජනයාට බල කරයි. එහි ප‍්‍රතිඵලය තව තවත් ජීවිතයේ විවේකය හා සතුට අහිමි වීමයි. ජීවිතය අතෘප්තිමත් මඩ වගුරක් තුල ගිලී යාමයි. පරිභෝජනවාදී සංස්කෘතියක් තුල විශාල අවශ්‍යතා ප‍්‍රමානයක් සමග ජීවත්වන සුලු ධනේශ්වර සමාජ කන්ඩායම් මේ ජීවන අරගලය හමුවේ වඩ වඩා අසහනයට පත්වීම අනිවාර්යය වන්නේය.

ගලබොඩඅත්තේ ඥානසාර විසින් සිදුකරන්නේ සමාජ අර්බුදය තුලින් මතුවන එම අසහනය පාලක රෙජිමයේ පැවැත්මට තර්ජනයක් නොවන ආකාරයට කලමනාකරනය කිරීමය. බොදු බල සේනා සංවිධානය යනු ෆැසිස්ට්වාදී තග් කල්ලියකි. උග‍්‍ර වර්ගවාදය එහි දේශපාලන දෘෂ්ටියයි. සිය සතුට අහිමි වී තිබෙන්නේ ගරා වැටෙන සමාජ තත්වයන් නිසා නොව අසල්වාසී මුසල්මානුවා නිසාවෙනි යන ව්‍යාජ සංඥාව සිංහල සමාජය වෙත නිකුත් කරමින් මොවුහු ඒ සංඥාව වටා සිංහල සමාජය - විශේෂයෙන් සිංහල සුලු ධනේශ්වරය - සංවිධානය කරති. රාජපක්ෂ රෙජිමයේ තක්කඩි පාලකයින් සිය අර්බුදය සහ අසමත්භාවය කලමනාකරනය කරගැනීම සදහා කිරි පොවමින් සිටින්නේ මෙම ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවයටය.

මේ භයානක බල ක‍්‍රීඩාවේ අවසන් වන්දිය ගෙවන්නේ කවුද? එම වන්දිය ගෙවීමට නියමිතව සිටින්නේ ප්‍රභූ දරුවන් වන නාමල් හෝ රෝහිත බබාලා නොව මේ සමාජයේ ජීවත්වන සිංහල දෙමල මුස්ලිම් නිර්ප්‍රභූ ජනයාය. මෙහි ඇති ඛේදවාචකය වූ කලී එයයි.

Friday, March 8, 2013

ලසිත් මාලිංග දියවන්නා උද්‍යානයේ සැරිසරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසල දී පසුගිය දිනෙක ලසිත් මාලිංග මාධ්‍යකරුවන් සමූහයක් වෙත බුරා පැන්නේය.එලෙස බුරා පනින ආකාරයේ දර්ශන මාධ්‍ය තුලින් නැවත නැවතත් ප්‍රචාරය කර හරින ලදී.එම අවස්ථාවේදී මාධ්‍යකරුවෝ උත්සාහ කලේ මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩා ගිවිසුම පිලිබද පැන නැගී තිබූ ගැටලුව ගැන අදහස් විමසීමටය. මාලිංග රූපවාහිනී කැමරා අභියස ඒ මොහොතේ පෙන්වූ හැසිරීම නිර්ලජ්ජිත වූත් අශීලාචාර වූත් හැසිරීමක් බවට විවාදයක් නැත.

ලංකාවේ මේ මොහොතේ ක්‍රියාත්මක වන ඊනියා නාගරික සංවර්ධන ක්‍රියාවලියේ ස්වභාවය හදුනාගැනීම සදහා මාලිංග කදිම සාදෘශ්‍යයක් සපයන බව මෙම ලියුම්කරුගේ අදහසයි. කොලඹ නගරය කේන්ද්‍ර කරගත් නගර අලංකරන ව්‍යාපෘතියක් පසුගිය අවුරුදු කිහිපය මුලුල්ලේ ක්‍රියාවට නැංවෙමින් තිබේ. ජොගින් ට්‍රැක්ස්, දැවැන්ත ප්‍රාසාද යනාදිය නගර සංවර්ධනයේ නාමයෙන් කොලඹ තුල පහල වෙමින් තිබේ. මෑතක දී විවෘත කරන ලද බත්තරමුල්ල දියවන්නා උද්‍යානය සහ නාවල තෙත්බිම් උද්‍යානය මෙම අලංකරන ක්‍රියාදාමයේ අලුත්ම ප්‍රතිඵලයෝ වෙති.

දින කීපයකට උඩ දී දියවන්නා උද්‍යානයේ සංචාරය කිරීමේ අවස්ථාව මෙම ලියුම්කරු ලද්දේය. උද්‍යානය පිහිටුවීමේ ප්‍රකාශිත අරමුන පුරවැසියන්ට විවේකීව කාලය ගත කිරීම සදහා නිදහස් අවකාශයක් ඇති කිරීමයි. මෙම උයන ඉදිකොට තිබෙන්නේත් නඩත්තු කරනු ලබන්නේත් හමුදාව විසිනි. උද්‍යානය පුරා තැනින් තැන හමුදා භටයෝ වූහ. පෙම්වතුන් බංකු වල හිද විවේක ගනිති. හමුදා භටයෝ මදක් ඔබ්බේ සිට මිනිසුන් විවේක ගන්නා අයුරු නිරීක්ෂනය කරති. 1984 නවකථාවේ මෙනි. බිග් බ්‍රදර් ඔබ දෙස බලා සිටී! නාවල තෙත්බිම් උද්‍යානයේ යුද ටැංකියක් ප්‍රදර්ශනයට තබා ඇත. පාරිසරික සෞන්දර්යය සහ යුද ටැංකි. ආදර කථාවෙහි යෙදී සිටින පෙම්වතුන් හා ඔවුන් නිරීක්ෂනය කරන හමුදා භටයින්. කෙතරම් නොගැලපෙන සුලු සමීකරනයක් ද?

මෙවැනි ඉදිකිරීම් වල ඇත්තේ උඩින් ගෙනැවිත් කෘතිමව බිමට බැස්සූ ස්වභාවයකි. නෙලුම් පොකුන වැනි ගොඩනැගිල්ලකත් එම ස්වභාවය දක්නට ඇත. ක්‍රමානුකූල සංවර්ධන හා නාගරිකකරන ක්‍රියාවලියක් තුලින් ඓන්ද්‍රීයව පැනනැගුනු ඉදිකිරීම් වලට වඩා මේවා තුල දක්නට ඇත්තේ බලෙන් උත්තරාරෝපනය කරන ලද ස්වභාවයකි. කොලඹ පැරිස් හෝ ලන්ඩන් වැනි නගරයක් සේ සංචාරකයින්ට දිස්වනු දැකීම පාලකයින්ගේ අපේක්ෂාව විය හැක. එහෙත් ‍භෞතිකව කෙතරම් ගොඩනැගිලි ඉදිකලත් එවැනි නගරවල දැකිය හැකි ධනේශ්වර ශිෂ්ටත්වය කොලඹ දී මුන ගැසෙන්නේ නැත. කොලඹ දී අපට හමුවන්නේ අවර ගනයේ නොන්ඩි ගසන ධනේශ්වර ශිෂ්ටත්වයකි. එහිදී ඔබ විනෝද විය යුත්තේ රාජ්‍යයේ කුලී හේවායන්ගේ තියුනු නිරීක්ෂනය යටතේය. ඊනියා මහා නෘත්‍යශාලා තුල පෙන්වන්නේ මහසමයම වර්ගයේ ලෝකල් දහම් පාසල් නාඩගම්ය.

දැන් මේ කථාවට ලසිත් මාලිංග සම්බන්ධ වන්නේ කෙසේද? මාලිංග ගාල්ල රත්ගම හැදී වැඩුනු වෙරලබඩ තරුනයෙකි. වැල්ලේ ක්‍රිකට් ගසමින් සිටි ඔහු එක්වරම ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට රූපාන්තරනය වූයේය. දැන් අපට හමු වන්නේ වැල්ලේ ක්‍රිකට් ගැසූ මාලිංග වෙනුවට සන් ග්ලාසස් දමන, කොන්ඩය ටින්ට් කරගත් මොඩ් මාලිංග කෙනෙකි. ඔහු ගමන් බිමන් යන්නේ සුඛෝපභෝගී නවීන මෝටර් රථයකය.

කෙසේවුවද සන්ග්ලාසස් දැමුවාට, කොන්ඩය පාට කලාට ඔහු තුල සිටින අසංස්කෘතික මනුශ්‍යයා බිදකිනුදු වෙනස් වී නැත. රූපවාහිනී කැමරා ඉදිරියේ පසුගියදා එලියට පැන්නේ "මොඩ් මිනිසා" තුල ලැගුම් ගෙන සිටින නූගත් අසංස්කෘතිකයාය. මීට වසරකට පමන ඉහත "මං ක්‍රිකට් ගහන්නේ රට වෙනුවෙන් නෙමෙයි සල්ලිවලට" යැයි මාලිංග පැවැසූ විට සමහරු එය මහත් රැඩිකල් ප්‍රකාශයක් ලෙස වර්නනා කලද සැබැවින්ම එමගින් ද පෙන්නුම් කෙරුනේ ලොතරැයියක් පහල වී එක්වරම පොහොසත් වූ මෙම අප්‍රබුද්ධයා තුල පන ගැහෙන අසංස්කෘතිකත්වයයි. පෙප්සි බීවාට, සන්ග්ලාසස් දැම්මාට, බීඑම්ඩබ්ලියු කාර් පැද්දාට මිනිසෙක් ශිෂ්ට සම්පන්න වන්නේ නැත. ඒ සදහා ඔහු තුල අභ්‍යන්තර පරිවර්තනයක් සිදුවිය යුතුය.

කොලඹ නගරය සම්බන්ධයෙන් ද එය එසේය. අලංකාර ජොගින් ට්‍රැක්වල ඩෙක් ෂූස් දමාගෙන දුවන්නේ යුද ටැංකි දෙස බලා ලිගු ප්‍රානවත් කරගන්නා අසංස්කෘතික බයියන් නම්?මෙම මැදපංතික බයියන්ගේ දේශපාලන වීරයා මහින්ද නම්? අධ්‍යාත්මික වීරයා ගලබොඩඅත්තේ ඥානසාර නම්? හමුදාව තමාව නිරන්තරයෙන් නිරීක්ෂනය කිරීම මොවුන්ට ප්‍රශ්නයක් නොව විනෝදයක් නම්?

සමාජයක දියුනුව තීන්දු වන්නේ ගොඩබස්සන ගොඩනැගිලි සංඛ්‍යාව මත නොවේ. මනුශ්‍ය ජීවිත වල සිදුවන අභ්‍යන්තර සංස්කෘතික දියුනුව මතය. ඒ අර්ථයෙන් ගත්කල කොලඹ කෙතරම් බිල්ඩිං ඉදිකලද අපගේ සමාජය අතිශයින් පසුගාමීය. ග්‍රාම්‍යයය. සංවර්ධනය යනු බිල්ඩිං ඉදිකිරීම නොව එම පසුගාමීත්වය අතික්‍රමනය කිරීමයි.