Friday, May 17, 2013

දෙමල ජනයාගේ සැබෑ නියෝජිතයා හෙල උරුමයද? විමල් වීරවංශද?

එන්න අපි විජයග්‍රහනය සමරමු!

තුරු පලාත් සභා මැතිවරනය පැවැත්වීම බෙදුම්වාදයට පාර කපන්නක් බව ජනතා විමුක්ති පෙරමුනු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සදහන් කොට තිබුනි. මේ අනුව උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව ‍මේ දිනවල රගදැක්වෙමින් තිබෙන පෙරහැරට අලුත් බොරු කකුල්කාරයෙක් එකතු වී සිටී. විමල් වීරවංශ‍ගේ පක්ෂය උතුරේ මැතිවරනය පැවැත්විම රට බෙදීමට තුඩු දෙන්නක් ලෙස සදහන් කරමින් කොලඹ කොටුවේ අත් පත්‍රිකා දශ ලක්ෂයක් බෙදාහැරීමේ වැඩසටහනක් පසුගිය දිනෙක දියත් කලේය. ආන්ඩුවෙන් වෙන්වී මැයි රැලිය පැවැත්වීමට හේතුව ලෙස ද ඔහුගේ පක්ෂය සදහන් කලේ පලාත් සභා ඡන්දය පිලිබද මත භේදයයි. ජාතික හෙල උරුමය පලාත් සභා ක්‍රමය ඇතුලු 13 වන සංශෝධනය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන පනතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව පැවසේ.

දැනට ලංකාවේ උතුරු පලාතේ හැර සෙසු සියලු පලාත් වල පලාත් සභා ක්‍රියාත්මකය. තතු එසේ තිබිය දී උතුරේ පමනක් පලාත් සභා මැතිවරනය පැවැත්වීමට එරෙහිව එන විරෝධයේ මූලය කවරක්ද? පෙනෙන්නට තිබෙන ලකුනු අනුව මෙම මැතිවරනය දෙමල ජාතික සන්ධානය ජයගැනීම වැලැක්විය ‍නොහැක. රජය කේපී,දයා මාස්ටර්, දේවානන්දා, තමලිනි වැනි කවර තුරුම්පුවක් අත් හදා බැලුව ද දෙමල ජාතික සන්ධානය මෙම මැතිවරනය ජයගැනීමට ඇති සම්භාවිතාවය ඉහලය.

ඉඩම් හා පොලිස් බලතල සහිත පලාත් සභාවක් දෙමල ජාතික සන්ධානයට ලැබීම බෙදුම්වාදයට පාර කපනු ඇති බව පලාත් සභා මැතිවරනය පැවැත්වීමට එරෙහි වන්නන්ගේ තර්කයයි. ලංකාවේ සෙසු පලාත් වල පලාත් සභා ස්ථාපනය කොට තිබෙන්නේ ඉඩම් හා‍ පොලිස් බලතල ව්‍යවස්ථාවෙන් ඉවත් කොට නොමැති සන්දර්භයකදීය. මේ අනුව දකුනු පලාතේ ශාන් විජේලාල් ද සිල්වා, බස්නාහිර පලාතේ ප්‍රසන්න රනතුංග යනාදීහු මෙම බලතල නීතියෙන් භුක්ති විදිති. රනවක-වීරවංශ-සෝමවංශ ත්‍රිමූර්තියට එලෙස ප්‍රසන්න රනතුංග හෝ ශාන් විජේලාල් පලාත් සබා බලතල භුක්ති විදීමේ විරෝධතාවයක් නැත. ඔවුන් එක හෙලා විරුද්ධ වන්නේ සිංහල දකුන භුක්ති විදින මෙම බලතල දෙමල උතුර වෙත ලැබෙනවාටය.

ලංකාව සිංහලයින්ගේ රටක් ලෙස හගින සිංහල මහජාතිවාදය දෙමල ජනයා ජීවත් විය යුත්තේ සිංහලයාගේ අධිකාරී ක්ෂේත්‍රය තුල බව විශ්වාස කරයි. දේශපාලන බලතල මේ අනුව තිබිය යුත්තේ සිංහල දේශපාලන ප්‍රභූ තන්ත්‍රය අතේය. එම බලතල දෙමල දේශපාලන කන්ඩායම් සමග බෙදා ගැනීමට දරන උත්සාහයන් සිංහල මහජාතිවාදයේ දෘෂ්ටිකෝනයට අනුව සිංහලයාගේ අධිකාරියට ද්‍රෝහී වීමකි. රට පාවා දීමකි. දෙමලා මත සිංහලයා අභ්‍යාස කරන වරප්‍රසාදිත බලය හෑල්ලුවට ලක්කිරීමකි. බන්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ සිට වර්තමාන පලාත් සභා මැතිවරන විරෝධය දක්වා දෙමල දේශපාලන තන්ත්‍රය සමග බලතල බෙදාගැනීමට කරන ලද සෑම උත්සාහකයටම එරෙහිව සිංහල සමාජය තුලින් ගැඹුරු විරෝධතා මතුවිය. මේ විරෝධතා වල මූලය වනාහි "මේ සිංහල අපගෙ රටයි" යන අධිපතිවාදී පීඩක මනෝභාවයයි.  රනවක-වීරවංශ- සෝමවංශ ත්‍රිමූර්තිය විසින් නිරූපනය කරන්නේ එලෙස පැන නගින මහජාතිවාදී විරෝධයයි. මේ විරෝධයේ කිසිදු ප්‍රගතිශීලී හරයක් නැත. ඒ විරෝධය තුල අමු අමුවේ ගැබ් වනුයේ දෙමල සමාජය යටත් කොට තබාගැනීමට සිංහල අධිපති මනෝභාවය තුල තිබෙන පරපීඩක ආශාවයි.

පලාත් සභා මැතිවරනයට විරෝධය පාන සිංහල දේශපාලකයින් නැවත නැවතත් කියන්නේ දෙමල ජනයාගේ "සැබෑ" අවශ්‍යතාවය දේශපාලන බලතල නොව අවතැන් වූවන් පදිංචි කිරීම, යටිතල පහසුකම් වැනි වෙනත් වෙනත් අවශ්‍යතා බවයි. මේ කරුන දිසානායක මන්ත්‍රීවරයා ද අවධාරනය කොට තිබුනි. 

දෙමල ජනයාගේ "සැබෑ" ප්‍රශ්නය කුමක් දැයි තීරනය කල යුත්තේ කවුද? පිලිතුරු සපයා ගතයුතු  මූලික ප්‍රශ්නය එයයි. දෙමල සමාජයේ සැබෑ ප්‍රශ්නය අරක නොව මේක යැයි කියමින් පුවත්පත් සාකච්ඡා තබන්නේ, පත්‍රිකා බෙදන්නේ සිංහල දේශපාලකයින් සමූහයකි. තමුන්ට තිබෙන සැබෑ ප්‍රශ්නය කුමක් දැයි තීරනය කල යුත්තේ දෙමල ජනයා මිස මෙම අවස්ථාවාදී තක්කඩීන් නොවේ. තමාගේ සැබෑ ප්‍රශ්නය යටිතල පහසුකම් නම් දෙමල ප්‍රජාව එය ප්‍රකාශ කරනු ඇත. තමාගේ සැබෑ ප්‍රශ්නය දේශපාලන නිදහස නම් දෙමල ප්‍රජාව එයත් ප්‍රකාශ කරනු ඇත. අවශ්‍ය කරනුයේ එම තීරන ගැනීම සදහා දෙමල සමාජයට තිබෙන අයිතිය සහ නිදහස පිලිගැනීමය. 

එය වූ කලී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත හැකි වඩාත්ම ප්‍රජාතාන්ත්‍රික ස්ථාවරය වන‍්නේය.