Thursday, June 27, 2013

අධාර්මික මහින්ද රාජපක්ෂ සහ සැදැහැවත් රූපට් මර්ඩොක්

කාගේ මර්දනය ද? 
නමාධ්‍ය සදහා ආචාරධර්ම මාලාවක් නිකුත්කිරීමට රජය විසින් යෝජනා කිරීමත් සමග මාධ්‍ය මර්දනය පිලිබද සාකච්ඡාව අලුත් වටයකින් පෙරට පැමින තිබේ . මාධ්‍ය නිදහස පිලිබද ක්‍රියාකාරීහු ගනනාවක් රජයේ මෙම පිලිවෙත මාධ්‍යවේදීන්ගේ නිදහස සීමා කරන්නක් බව පෙන්වා දෙන්නට වූහ. මේ අදහස් දැක්වීම් වලදී රජය ජනමාධ්‍යවේදී නිදහසට ඇගිලි ගැසීම දැඩි ලෙස හෙලා දැකීමට ද පාත්‍ර විය.

මාධ්‍ය නිදහස පිලිබද සාකච්ඡාව සාමාන්‍යයෙන් භ්‍රමනය වන්නේ රාජ්‍ය මර්දනය නමැති අක්ෂය වටාය. 90 දශකයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිට අද දක්වා වූ විවිධ මාධ්‍යවේදී සංවිධාන  එක් එක් ආන්ඩු ජනමාධ්‍යයන්ට එරෙහිව කරනු ලබන අනිසි බලපෑම් ප්‍රශ්න කර තිබේ.

අප එම නිසා තරමක වෙනස් ප්‍රශ්නයක් විමසමු. මාධ්‍යවේදීන් නිදහස් විය යුත්තේ රජයෙන් පමන ද? රජයේ ජනමාධ්‍ය ආචාර ධර්ම වලට විරෝධය දක්වමින් පසුගිය දිනවල පත්තර පිටු පිරවූ තිසරනී ගුනසේකරගේ සිට රාවය වැනි ලිබරල් පුවත්පත්වලට ලියන බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ලේඛක භවතුන් අතාර්කික වන එක් ස්ථානයක් වනුයේ මෙම ප්‍රශ්නයයි. 

මේ ප්‍රශ්නයට ප්‍රවේශයක් ලෙස 1984 දී එංගලන්තයේ හටගත් පතල්කරුවන්ගේ වැඩවර්ජනය සමයේ “සන්” පුවත්පත ආශ්‍රිතව ඇතිවූ සංසිද්ධියක් සාකච්ඡාවට ගත හැක. මාග්‍රට් තැචර්ගේ රජය සමග එංගලන්ත කම්කරු ව්‍යාපාරය තීරනාත්මකව අභිමුඛ වූ වැඩවර්ජනයක් වූ එය එක්තරා ආකාරයක අවි නොගැටෙන සිවිල් යුද තත්වයක් කරා රට ගෙන ආවේය. රූපට් මර්ඩොක් නමැති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට අයත් “සන්” නමැති ටැබ්ලොයිඩ් පුවත්පත එම වැඩවර්ජන සමයේ තදබල වර්ජන විරෝධී ස්ථාවරයක් අනුගමනය කලේය. වර්ජනයේ උච්චතම කාලයේ නිකුත් වූ සන් පුවත්පතේ එක් කලාපයක මුල් පිටුව සරසා තිබුනේ පතල්කරුවන්ගේ වෘත්තීය සමිතියේ නායක ආතර් ස්කාගිල්  අත ඔසවා යමෙක්ට ආචාර කරන විශාල උඩුකය ඡායාරූපයකිනි .අහඹු ලෙස ගෙන තිබූ එම ඡායාරූපයේ ස්කාගිල් අත ඔසවාගෙන සිටින ආකාරය හිට්ලර්ගේ නාසි ආචාරයට සමාන වූවකි.මෙම ඡායාරූපය සමග ලියැවුනු මුල්පුවත ස්කාගිල් නාසිවාදියෙක් බවත් වැඩවර්ජන ව්‍යාපාරය එනිසා නාසිවාදී ව්‍යාපාරයක් බවත් හැගවෙන ආකාරයෙන් ලියා තිබුනි. 

ආතර් ස්කාගිල් හිට්ලර්ට සමාන කරමින්
සැලසුම් කර තිබූ "සන්" හි මුල්පිටුව
මෙලෙස සකස් කොට මුද්‍රනයට යවනු ලැබූ පුවත්පතේ මුල් පිටුව කවදාවත් මුද්‍රනද්වාරයෙන් එලියට පැමිනියේ නැත. එම පිටුව කම්කරු ව්‍යාපාරයට කල අපහාසයක් ලෙස හෙලාදුටු මුද්‍රන කම්කරුවෝ එය මුද්‍රනය කිරීම ප්‍රතික්ෂේප කලහ. අවසානයේ සන් පුවත්පත පිටවූයේ මුල්පිටේ විශාල හිස්තැනක් සමගය. ඒ හිස්තැනේ “ආතර් ස්කාගිල්ගේ පින්තූරය හා මුල්පුවත පලකිරීම සේවකයින් ප්‍රතික්ෂේප කල නිසා මෙවර කලාපය ඒ කිසිවක් නැතිව පල කෙරේ” යනුවෙන් මුද්‍රනය කොට තිබුනි. 

මේ මාධ්‍ය සේවකයින් මාධ්‍ය ආයතනයක මෙහෙයවීම එහි හිමිකරුගේ අතින් තම අතට ගත් ඓතිහාසික මොහොතක් සම්බන්ධ නිදසුනකි. නූතන මාධ්‍යවේදියා අන් සියල්ලටම පෙර ප්‍රාග්ධනයේ වහලෙකි. රූකඩයකි. ඔහුගේ “නිදහස” ප්‍රාග්ධනය විසින් නිර්නය කරනු ලැබේ. රජය කඩා පනින්නේ ප්‍රාග්ධනය විසින් කොහොමත් සීමා කොට ඇති ඔහුගේ “නිදහස” තුලටය. රජය කඩා නොපැන්නත් එනයින්ම මාධ්‍යවේදියාගේ ඊනියා නිදහස සීමා කොට සිර කරන ලද්දකි. 

වැරදුනු සැලසුම - සැබැවින්ම එලියට ආ පුවත්පත
උදාහරනයක් ලෙස දෙරන රූපවාහිනී ආයතනයේ දිල්කා සමන්මලී මහත්මිය ඇතැම්විට ගලගොඩඅත්තේ ඥානසාරගෙන් හෝ රන්ජන් රාමනායකගෙන් ප්‍රශ්න ඇසූ ආකාරයට නාමල් රාජපක්ෂගෙන් හෝ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න විචාරීමට කැමැත්තක් දක්වනවා විය හැක. එහෙත් ඒ සදහා “නිදහස” ඇයට දෙරන ප්‍රාග්ධන හිමිකාරීත්වය විසින් ලබාදෙන්නේ නැත. සිරස මාධ්‍යවේදීන්ගේ “ගවේෂනශීලීත්වය” හා “නිර්මානශීලීත්වය” මහාරාජාගේ ප්‍රාග්ධනය නමැති හතර කෙලවර තුල නතර වූවකි. සිංහල ජාතිය වෙනුවෙන් කෑ මොර දෙන නේශන් හා රිවිර පුවත්පත් පවත්වාගෙන යන්නේ බුකී හිමියෙක් වන රවී විජේරත්නය. විජේරත්නගේ ප්‍රාග්ධන දේශපාලන අවශ්‍යතා විසින් අනුමත කරන තාක් දුරට සිය පෑන හැසිරවීමට සිංහල බෞද්ධ මාලින්ද සෙනෙවිරත්නට “නිදහස” තිබේ. මෙවැනි උදාහරන අටෝරාසියක් ඇවැසි නම් ගෙන හැර දැක්විය හැක. ධනපතියාගේ ලාභයට සේවය කරන තාක් දුරට , ඒ තාක් දුරට පමනක් , ශිල්ප දැක්වීමට මාධ්‍යවේදියා නමැති වැටුප් ශ්‍රමිකයාට අවසර දී තිබේ. 

ප්‍රාග්ධන හිමිකාරීත්වයේ මෙම ආධිපත්‍යය තුල සිය නිර්මානශීලීත්වය හෝ ගවේෂනශීලිත්වය පූර්න අයුරින් විකසිත කරගැන්මට මාධ්‍යවේදියා කිසිදිනෙක ඉඩ නොලබයි. මන්ද මාධ්‍යවේදියා පිනුම් ගැසිය යුත්තේ ප්‍රාග්ධන හිමියා විසින් අදිනු ලැබූ සර්කස් පථය තුල වන බැවිනි. මෙහිදී අපට නැවත මුල් ප්‍රශ්නයට යොමුවිය හැක. මාධ්‍යවේදියා නිදහස් විය යුත්තේ රජයෙන් පමනද? ප්‍රාග්ධනයේ ආධිපත්‍යය විසින් මාධ්‍යවේදියා යටත් කරගෙන සිටීම සුනන්ද දේශප්‍රිය වර්ගයේ ලිබරල් ක්‍රියාකාරීන්ට විෂය නොවන්නේ මන්ද? රජයේ අඩත්තේට්ටම් වලින් නිදහස් වූ පමනින් ජනමාධ්‍ය නිදහස සාක්ෂාත් වන්නේද? 

පුවත්පතක් සැලසුම් කිරීමේ සිට එය මුද්‍රනද්වාරයෙන් එලියට දැමීම දක්වා සියලු කටයුතු මාධ්‍ය සේවකයින් විසින් සිදුකෙරේ. ප්‍රාග්ධන අධිපතියා අදාල මාධ්‍යයෙන් යම් ලාභයක් ලබයි නම් ඒ ලාභය ගලා එන්නේද මාධ්‍ය සේවකයින්ගේ දක්ෂතාවය හා කැපවීම් තුලිනි. තතු එසේ නම් ප්‍රාග්ධන හිමිකාරීත්වයේ ආධිපත්‍යය යටතේ මාධ්‍යවේදියා පසුවිය යුත්තේ ඇයි? පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩතලන මහත්වරු  ධනේශ්වර මාධ්‍ය කර්මාන්තය තුල පවතින අධිපති-යටත්වැසි සම්බන්ධය ගැන පවසන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය පැවැතිය යුත්තේ පාර්ලිමේන්තුවේ පමනද? එය වැඩබිමට ගෙන ඒම පිලිබද මාධ්‍ය සංවිධාන හඩ නොනගන්නේ මන්ද? තමාව පාලනය කිරීමේ බලය 1984 වර්ෂයේ එක්අවස්ථාවකදී  “සන්” පුවපත්පතේ කම්කරුවෝ රූපට් මර්ඩොක්ගෙන් සියතට උදුරා ගත්හ.ලංකාවේ සියලු මාධ්‍යවේදී ශ්‍රමිකයෝ “සන්” පුවත්පතේ සේවකයින්ගේ ආදර්ශය අනුගමනය කල යුතු බව අප කිවහොත් - සුනන්ද දේශප්‍රිය මහතා හෝ තිසරනී ගුනසේකර මහත්මිය අප සමග එකග වනු ඇද්ද? 


Sunday, June 23, 2013

කලම්බෝ ටෙලිග්‍රාෆ් සහ සබරගමුව ටෙලිග්‍රාෆ් / Colombo Telegraph vs Sabaragamuwa Telegraph

සබරගමුවේදී පන ගැහෙන පොලිස් ත්‍රස්තවාදය 
රාජපක්ෂ ආන්ඩුවට විරෝධය පල කරන ජන ‍කොටස් අතර එක් සමාජ ස්ථරයක් වශයෙන් නාගරික ඉහල මධ්‍ය පංතික පිරිස් හදුනාගත හැක. මේ විරෝධය උපදින්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි ආස්ථානයකිනි. උගත් නාගරික ඉහල මැද පංතිය තුල පවතින රාජපක්ෂ විරෝධය සංකේතවත් කරන මෑතකාලීන ප්‍රකටම සංසිද්ධියක් වශයෙන් බොදු බල සේනා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට මීට මාස කීපයකට ඉහත දී පැවැත්වූ ඉටිපන්දම් එලි දල්වා සිදුකල කැන්ඩ්ල්ලයිට් විරෝධය හැදින්විය හැක. මේ විරෝධය සදහා එක් වූවෝ නිශ්චිතවම සමාජයේ එක් තීරුවක් නියෝජනය කලහ. ජාතිවාදයට විරුද්ධ වීම නමැති ඔවුන් එකතු කල ස්ථාවරය ගලා එන්නේ ලිබරල්වාදී සංකල්පනයන් තුලිනි.

රාජපක්ෂ රජයට එරෙහි මෙම ලිබරල් විරෝධය ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ද අඩු වැඩි වශයෙන් දැකගත හැක. සිංහල පුවත්පත්වලට සාපේක්ෂව ඉංග්‍රීසි ජනමාධ්‍ය තුල මේ ප්‍රවනතාවය වැඩිපුර නියෝජනය වන්නේය. අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන Colombo Telegraph සහ Groundviews වැනි වෙබ් අඩවි ද නියෝජනය කරන්නේ එම ලිබරල්වාදී ප්‍රවනතාවයයි. මෙබදු වෙබ් අඩවි වර්තමානය වනවිට රාජපක්ෂ ආන්ඩුවේ ඒකාධිපති ක්‍රියාකාරකම් වලට එරෙහි ප්‍රබල විවේචකයෙක් බවට සයිබර් අවකාශය තුල පත්වී සිටී. රාජපක්ෂ සොහොයුරන්ගේ පවුල්වාදයට මෙම මාධ්‍යකරුවෝ විරුද්ධය. ස්වයං පාලනය සදහා සුලු ජාතීන්ට ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතිය වෙනුවෙන් ඔවුන් අදහස් පල කරයි. මාධ්‍ය නිදහස වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් සම්බන්ධව මෙබදු වෙබ් අඩවි තුල නිරන්තර ඉඩක් වෙන් කරනු ලැබේ.  උදාහරනයක් ලෙස Colombo Telegraph අඩවියේ සැලකිය යුතු ඉඩක් බොදු බල සේනාවට එරෙහිව සිදුකල ඉටිපන්දම් විරෝධය වෙනුවෙන් වෙන් වී තිබුනි.එය විසුරුවා දැමීමට බොදුබල සේනා සංවිධානය සමග එක්ව පොලිසිය සිදුකල මැදිහත්වීම විශාල ප්‍රජාතන්ත්‍රවාදීමය අයිතීන් කඩ වීමක් ලෙස නැවත නැවතත් හුවා දැක්වීමට කටයුතු යෙදින.
උපවාසයේ යෙදෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 

නරක ආගම්වාදයට එරෙහි හොද බෞද්ධයෝ 
ලිබරල් ජනමාධ්‍යයන්හි උක්ත හැසිරීම සිහි තබාගෙන දැන් අපි කොලඹින් දුර බැහැර සබරගමුව පලාතට පිවිසෙමු.සමනල වැව විදුලි ව්‍යාපෘතිය සදහා භාවිතා කල වැඩබිමක අඩු පහසුකම් යටතේ සබරගමුව විශ්ව විද්‍යාලය ස්ථාපනය කරන ලද්දේ 1991 දීය. මෙම විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පසුගිය කාලය තුල විශාල ආතතියක් උද්ගත වූයේය . සරසවියට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදුව, අලුත සිදුකරන බදවාගැනීම් විශාල ප්‍රමානයකින් කපා හැර තිබීම, පහසුකම් හිගය යනාදී වූ තමාට බලපාන ගැටලු පිලිබද සාකච්ඡා කරනු වස් සිසුන් කැදවා තිබූ රැස්වීමක් නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් සරසවි පරිපාලනය විසින් එහි ශිෂ්‍ය සංගම් තහනම් කරනු ලදී. සිසු නායකයින් ලෙස ක්‍රියා කල කීප දෙනෙක්ගේ විභාග ඇතුලු පංති සියල්ල තහනම් කරන ලදී. ඊට එරෙහිව සිසුන් කල සාමකාමී උද්ඝෝෂනයක් පසුගිය ජූනි 1 දා මිලේච්ඡ ලෙස පහරදෙනු ලැබ විසුරුවා හරිනු ලැබින. විරෝධතාවලට සම්බන්ධ වූ සිසුන් 47 දෙනෙකුගේ පංති තහනම් කිරීමට කටයුතු කරන ලද්දේය. ප්‍රමානය අතින් ද එල්ල වූ පොලිස් මර්දනය අතින් ද බලන කල්හි ඉටිපන්දම් විරෝධය හා සසදන විට සබරගමුව සිදුවීම බරපතල ගනයේ සංසිද්ධියකි.

මීට සමගාමීව ජූනි මස මුලදී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨ සිසුහු විරෝධතාවයක් සංවිධානය කොට තිබුනි. විදෙස් සිසුන් වෙනුවෙන් වූ බදවාගැනීමේ කෝටාවක් මුවාවෙන් මුදල් ගෙවා උගන්වන පදනම මත යම් දේශීය සිසුන් ප්‍රමානයක් හොර පාරෙන් වෛද්‍ය පීඨ වලට ඇතුලත් කරගැනීම සමග මතුවූ ගැටලුවක් මේ විරෝධතාවයට පසුබිම සකසා තිබුනි. විරෝධතාව සංවිධානය කිරීම තුලින් "සරසවි කීර්ති නාමයට හානි කලේය" යන පදනම මත සිසුන් 21 දෙනෙක්ගේ පංති තහනම් කිරීමට කටයුතු කරන ලදී.

අදහස් ප්‍රකාශ කිරීමේ  හා විරෝධය දැක්විමේ අයිතිය ලිබරල් රාමුව තුල ද “අයිතියකි”.  සාමකාමී විරෝධතා පැවැත්වීම යනු එම අයිතිය අභ්‍යාස කෙරෙන එක් ආකාරයකි. හුදු විරෝධය දැක්වීමක් පංති තහනම් කිරීමට තරම් බරපතල වරදක් ලෙස පාලකයින් විසින් මෙහිදී ගනන් ගෙන තිබේ. ලිබරල් අයිතීන් වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින ජනමාධ්‍යන් රජයේ සරසවි සිසුන්ගේ මෙම අයිතිවාසිකම් කඩකිරීම අභිමුව ගත් ස්ථාවරය කවරේද? අන්තර්ජාල අඩවිවලට ලිබරල් අයිතීන් ගැන ඉංග්‍රීසි බසින් ලියන එකදු විශේෂඥයෙක්ට/මහත්මයෙක්ට මෙරට සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරයට/සරසවි සිසුන්ට එරෙහිව සිදුවන මර්දනය “මර්දනයක්” වශයෙන් පෙනෙන්නේ නැත. මැද පංතික ඉටිපන්දම් විරෝධයට කල මැදිහත්වීම සති ගනන් ලිපි ලිවීමට තරම් වැදගත් ගැටලුවක් වූවද මෙම මහත්වරුන්ට සබරගමුවේදී සිසු සිසුවියන්ට පොලිසිය කුලු පොලු වලින් එලව එලවා පහර දීම එවැනි ප්‍රශ්නයක් ලෙස දිස්වූයේ නැත.

තීරනාත්මක ප්‍රශ්නය - එසේ වන්නේ ඇයි? අපගේ ගෞරවනීය ලිබරල්වාදීන් ඒකාධිපතිවාදයට විරුද්ධ වුවද ධනවාදයට පක්ෂය. සරසවි සිසුන්ගේ ප්‍රතිවිරෝධය වනාහි මේ මොහොතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක නව ලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරනයන්ට එරෙහි සෘජු හෝ වක්‍ර විරෝධය දැක්වීම්ය.විශ්ව විද්‍යාලවලට කෙරෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම් වේවා, පහසුකම් ඌනතාවය වේවා, පාඨමාලා මුදලට අලෙවි කිරීම හෝ වේවා - මේ සියල්ල අධ්‍යාපනය වෙලදපොලකරනයට ලක්කිරීම නමැති නව ලිබරල්වාදී පියවර සමග සම්බන්ධ වූ ක්‍රියාමාර්ගයෝ වෙති. මේවාට එරෙහිව එන විරෝධය හොදින් හෝ නරකින් මැඩලීමෙන් තොරව නව ලිබරල් ප්‍රතිසංස්කරන ඉදිරියට ගෙන යා නොහැක. රාජපක්ෂ රෙජිමයට සිසුන්ගේ විරෝධය ආඥාදායක ලෙස බුල්ඩෝසර් කරන්නට සිදුවන්නේ එම තතු යටතේය.එනම් සිසුන්ගේ “ලිබරල්” අයිතීන් බුල්ඩෝසර් කෙරෙන්නේ  ධනවාදය වෙනුවෙනි.

වෙබ් අඩවිවවලට ලිපි සපයන වැදගත් /ජාතිවාදයට විරුද්ධ/  ප්‍රජාතන්ත්‍රවාදය අගයන/ ඉටිපන්දම් පත්තුකිරීමේ අයිතිය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින මැද පංතික ලේඛක මහත්වරුන්ට දැන් තෝරාගැනීමක් තිබේ. ශිෂ්‍ය ප්‍රජාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද? නව ලිබරල් ධනවාදයද?

මිතුර, පිලිතුර සුලගේ පාවෙමින් ති‍බේ. 

Saturday, June 22, 2013

බටහිර රනිල්ගේ සිංහල බෞද්ධ ව්‍යවස්ථාව

ක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය පසුගිය දිනෙක තමා බලයට පත්වූ විට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන සහිත ලියැවිල්ලක් ප්‍රසිද්ධියට පත් කලේය. මේ දිනවල ආන්ඩු ක්‍රමයට ප්‍රතිසංස්කරන යෝජනා කරන මහත්වරු පොලොවෙන් මෙරු මතුවන්නා සේ මතුවෙමින් සිටිති. මාදුලුවාවේ සෝභිත හිමි විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම ඇතුලු යෝජනා සමූහයක් ඉදිරිපත් කොට තිබේ. දැන් එම යෝජනාවම පෙරට දමමින් රනිල් වික්‍රමසිංහ සෝභිත හිමි සමග කරට කර තරගයකට පිවිස සිටී.
එජාපයේ රනිල් - සජිත් ගැටුමේ දී රනිල් නූතන/ලිබරල් පාර්ශවය නියෝජනය කරන බවටත් සජිත් සිංහල බෞද්ධ/ වැඩවසම් පාර්ශවය නියෝජනය කරන බවටත් ප්‍රසිද්ධ අදහසක් තිබේ. ඇතැම් වාමාංශිකයින් තුල පවා මේ නිසා රනිල් පිලිබද රහසිගත ප්‍රේමයක් වැඩ කරයි. ( සිය වාමාංශික හම ගැලවී යා හැකි නිසා මේ ප්‍රේමය ප්‍රසිද්ධ නොකිරීම අතුරු කරුනකි)  1978 ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් අපේක්ෂා කල පරිවර්තන රැසක් මෙරට සාක්ෂාත් වූ බවත් එහෙත් විධායක ජනාධිපති ධූරයයේ ගෞරවනීයභාවය මහින්ද රාජපක්ෂ පාලනය විසින් කෙලෙසා දමමින් සිටින බවත් ඒ නිසා මෙම යෝජනා ඉදිරිපත් කෙරෙන බවත් ලියැවිල්ලේ පූර්විකාවේ සදහන්ය.

ඊට අමතරව මෙම යෝජනාවලියේ තවත් සිත්ගන්නා සුලු යෝජනා දෙකක් ඇත. ඒවා නම් -

1.ලංකාව දිගටම ඒකීය රාජ්‍යයක් ලෙස පවතිනු ඇත. පලාත් ඒකක වලට බලතල බෙදෙනු ඇත ( යෝජනා අංක 4)
2. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙනු ඇත. සෙසු ආගම්වල අයිතීන් සුරකිනු ඇත ( යෝජනා අංක 1.2)

ඒකීය රාජ්‍යය සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන කරුනු අතින් රනිල්ගේ යෝජනාත් දැනට තිබෙන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනත් අතර තිබෙන වෙනස කුමක්ද? ලිබරල් සංවාද අවකාශයන් තුල සිටින බොහෝ අය ලංකාවේ දැනට තිබෙන රාජ්‍යයට අදාලව ගෙනෙන විවේචනයක් වන්නේ එය සිංහල-බෞද්ධ රාජ්‍යයකි යන විවේචනයයි. මේ නිසා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයක් ලෙස ඔවුන් මේ සිංහල-බෞද්ධ ස්වභාවය වෙනස් කිරීම සදහා විවිධ යෝජනා ඉදිරිපත් කරයි. එක්සත් ජනපදය, ප්‍රංශය වැනි දියුනු ධනේශ්වර රාජ්‍යයන් ආගම සහ රාජ්‍යය අතර තිබෙන සම්බන්ධය සාර්ථකව වෙන් කර තිබේ. මෙම වෙන්කිරීම ඔවුන් අත්කරගත්තේ ඒවා ධනේශ්වර රාජ්‍යයන් ලෙස තහවුරු වූ මුල් අවධියේදීමය. අමෙරිකාවේ පලමු ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ආගමක් තහවුරු කිරීමට රජය මැදිහත් නොවිය යුතු බවත් පුද්ගලයින්ගේ ආගමික නිදහසට ඇගිලි නොගැසිය යුතු බවත් දක්වයි.

ජාතීන්ගේ ප්‍රශ්නයට බොහෝ ලිබරල් බුද්ධිමතුන් කාලයක් තිස්සේ යෝජනා කරමින් සිටියේ බලය බෙදාහැරීමේ විසදුමකි. ඒකීය ආන්ඩු ක්‍රමයක් තුල සියලු දේශපාලන බලතල සිංහල බහුතරයේ ප්‍රභූ පංතිය අත ඒකරාශී වී පවතී. මේ බලය දෙමල ප්‍රභූ පංතිය ( ලිබරල්වාදින්ගේ වචනයෙන් කියනවා නම් - දෙමල ජනතාව) සමග බෙදාගැනීම සදහා ඒකීය ක්‍රමය වෙනස් කොට වඩා සන්ධීය ක්‍රමයක් ඇතිවිය යුතු බව ඔවුහු යෝජනා කලෝය. ජාතිකවාදී කතිකාව සහ තමුන් අතර බෙදුම් ඉර බොහෝ ලිබරල් බුද්ධිමතුන් ගොඩනගාගත්තේ ඒකීය රාජ්‍යය පිලිබද මෙම විවේචනය මතය.

දැන් රනිල් මහතා එම ලිබරල් කතිකාවටම සිය පශ්චාත්භාගය හරවා තිබේ. රාජ්‍යය සහ ආගම අතර සම්බන්ධය ගැනත්, රාජ්‍ය ප්‍රතිසංස්කරන ගැනත් පවතින ව්‍යවස්ථාවේ තිබෙන දෙයට වඩා කිසිදු අලුත් දෙයක් රනිල්ගේ “අලුත්” යෝජනා වල නැත. ඔහු විධායක ජනාධිපති ක්‍රමයට ද විරුද්ධ එය ලිබරල් පරමාදර්ශයන් සමග ගැටෙන නිසා නොව මහින්ද එය නරක ලෙස පාවිච්චි කරන නිසාය! මහින්දට පෙර සිටි අයවලුන් ඒ අනුව “හොදින්” ඒ බලතල පාවිච්චි කොට තිබේ.

හිටපු වාමාංශික ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දු වරක් රනිල්ගෙන් තමා සමාජවාදී ප්‍රතිසංස්කරන අපේක්ෂා නොකරන බවත්,  එහෙත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවාදියෙක් නිසා ඔහුට සහය දෙන බව පවසා තිබූ බව මෙම ලියුම්කරුට මතකය. දැන් ‍මේ මහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කාරකයා උපන් ඇදුමින් අපට අභිමුඛ වී සිටී. ඔහුගේ ව්‍යවස්ථා ලියැවිල්ල සෝභිත හිමි වැන්නවුන්ගේ ආගමනය ඉදිරියේ අභියෝගයට ලක්ව තිබෙන සිය මැද පංතික සිංහල ඡන්ද තීරුව රැකගැන්ම සදහා අටවාගත් තක්කඩි උපමාරුවකි. නූතනත්වය තිබෙන්නේ ටයි පටයේ හෝ සාටකයේ නොව දේශපාලන ව්‍යවහාරය තුලය. ලංකාවේ පසුගාමී ධනේශ්වර නායකයින් අඩු තරමින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකිය හැකි කාර්යයන් පවා සාක්ෂාත් කරගැනීමෙහිලා දක්වන අසමත්කම සම්බන්ධ නිදසුනකි රනිල්ගේ ව්‍යවස්ථා ලියැවිල්ල.