Friday, September 27, 2013

සිංහල ජාතිකවාදියාගේ මනෝ ලෝකය සහ දෙමලාගේ නිදහස



තුර සිය පිලිතුර නිශ්චිතවම ලබා දී තිබේ. පසුගිය 21 දා පැවැති පලාත් සභා මැතිවරනයේ ප්‍රතිඵලය පැහැදිලිය. උතුරේදී අන්ත පරාජයට පත්ව තිබෙන්නේ ආන්ඩුව පමනක් නොවේ. උතුර සිය යටත් කොලනියක් ලෙස හගින සමස්ත සිංහල ස්වෝත්තමවාදී කතිකාවම තීරනාත්මක පරාජයකට මුහුන දී සිටී. උතුරු පලාත් සභාවේ මුලු ආසන 38 න් 30 ක්ම දෙමල ජාතික සන්ධානය දිනාගෙන තිබේ. මැතිවරනය සදහා හමුදාව යොදාගැනීමේ සිට ඡන්ද ‍'මිලදී ගැනීම' සදහා තෑගිබෝග, විවිධ බඩු භාන්ඩ බෙදීම වැනි කුප්‍රකට උපක්‍රම කොතෙක් ක්‍රියාත්මක කල ද රජය ලජ්ජාසහගත පරාජයකට මුහුන පා ඇත.

සිංහල ජාතිකවාදී ෆැන්ටසිය තුල උතුර පිලිබදව ඇති චිත්‍රය කවරාකාරද? මානුෂික මෙහෙයුමක් සිදුකොට ප්‍රභාකරන් නමැති දුෂ්ටයාගේ ග්‍රහනයෙන් අපි උතුරේ ජනතාව ගලවා ගත්තෙමු. උතුරේ ජනයාට දේශපාලන අභිලාෂයක් නැත. මංමාවත් තැනීම වැනි භෞතික අවශ්‍යතා ඉටු කල කල්හි උතුර දකුනට හීලෑ වනු ඇත. හමුදාව උතුර පාලනය කිරීම සම්බන්ධයෙන් දෙමල පොදු ජනයාට ප්‍රශ්නයක් නැත. එය ප්‍රශ්නයක් වී තිබෙන්නේ බලලෝභී දෙමල දේශපාලකයින් කීප දෙනෙක්ටය.

කිසිදු සැකයකට ඉඩ නොතබා මෙබදු සියලු තර්ක එකක් නෑර මැතිවරන ප්‍රතිඵලය විසින් නිශේධනය කොට ඇත. එල්ටීටීඊය යටතේ සිටියාට වඩා ආන්ඩුව යටතේ දෙමල ජනයා සතුටින් ඉන්නවා, දෙමල සාමාන්‍ය මිනිසාට නිදහස වෙනුවට අවශ්‍ය කරන්නේ රැකියා,ගෙවල් හා "සංවර්ධනය" පමනයි වැනි තර්ක  තවදුරටත් සිහිබුද්ධිය ඇති අයෙක්ට නම් ඉදිරිපත් කල නොහැක.

උතුරේ ජනයා විරෝධාකල්පික, සටන්කාමී මනෝභාවයක පසුවන බව පැහැදිලිය. දරුනු යුද පරාජයකට පසුව, ඉතා දරුනු ගනයේ රාජ්‍ය මර්දනයක් යටතේ පවා සිය ඉල්ලීම් ඉවතලීමට ඔවුන් සූදානම් නැත. යුද්ධය අවසන් වීමත් සමග ප්‍රාග්ධනය කේන්ද්‍ර කරගත් සම්බන්ධයක් උතුරත් දකුනත් අතර ගොඩනැගෙමින් තිබේ. දකුනේ ප්‍රදර්ශනය වන ව්‍යාපාරික සන්නාම සහිත බිල්බෝඩ් උතුරේ ද සිටුවා ඇත. සංචාරකයින් හා ප්‍රාග්ධනය දකුනේ සිට උතුරට ගලයි. යාපන නගරයේ වෙලෙදුන් සිංහල බස කථා කිරීමට පුරුදු වී සිටී.

මේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රියාවට නැගෙන්නේ අතිශය දරුනු ජාතික පීඩනයක් පවත්නා සන්දර්භයක් තුලය. මුලුමනින්ම සිංහල භාෂිත සොල්දාදුවන්ගෙන් සමන්විත හමුදාවක් උතුරේ වාඩිලා ගෙන සිටී. උතුර පිලිබද සියලු තීරන ගනු ලබන්නේ කොලඹ සිංහල ප්‍රභූ සංස්ථාපිතය විසින්ය. අධි ආරක්ෂිත කලාප නඩත්තු කිරීමට අමතරව හමුදාව සදහා දෙමල ජනයාගේ ඉඩම් පවරා ගැනීම ද මෙම කොලඹ සංස්ථාපිතය විසින් සිදු කරනු ලැබේ. සිංහල ප්‍රභූ තන්ත්‍රය ‍උතුරේ සමාජය මත අභ්‍යාස කරන මේ බලහත්කාරී ආධිපත්‍යය දෙමල ජනතාව පිලිගන්නේ නැත. ඔවුහු ඊට ද්වේශ කරති. මැතිවරනයේදී දෙමල ජනයා ප්‍රකාශයට පත්කරන ලද්දේ එම බලහත්කාරී ආධිපත්‍යයෙන් නිදහස් වීමට ඔවුන් තුල ඇති අභිලාෂයයි.

ප්‍රශ්නය - මේ අභිලාෂය පිලිගැනීමට දකුන කොතෙක් සූදානම් ද යන්නයි. දකුනේ පීඩිත ජනයා මත පදනම් වන පුරෝගාමී වාමාංශය දෙමල සමාජයේ එම ප්‍රජාතාන්ත්‍රික අභිලාෂය පිලිගැනීම මෙහිදී අතිශය වැදගත්ය. මන්ද උතුරේ දෙමල පීඩිතයා සහ දකුනේ සිංහල පීඩිතයා සමගි කරවන පලල් දේශපාලන ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීමේ යතුර තිබෙන්නේ එම දේශපාලන අභිලාෂය සම්බන්ධයෙන් වාමාංශය දක්වන ප්‍රතිචාරය තුල වන බැවිනි.

එසේම මේ මො‍හොතේ නිදහස පිලිබද දෙමල සමාජයේ  ප්‍රජාතාන්ත්‍රික අභිලාෂය නියෝජනය කරමින් සිටින්නේ දෙමල ධනපති පංතියේ පක්ෂය වන දෙමල ජාතික සන්ධානයයි. දෙමල පීඩිතයින්ගේ ජීවිත සමග මොනම හෝ ඥාතීත්වයක් නැති ප්‍රභූ ශරීර විසින් එම සන්ධානයේ බලය හොබවනු ලැ‍බේ. ආන්ඩු බලය ඉතිහාසයේ කවදාවත් හොබවා නැති නිසා දෙමල ප්‍රභූ පංතිය පොදු දෙමල සමාජය සමග කිසිදිනෙක අභිමුඛ වී නැත. පලාත් ආන්ඩුවේ බලය දෙමල ජාතික සන්ධානය සතු වීම යනු මේ අනුව දෙමල පොදු සමාජයත් දෙමල ප්‍රභූ තන්ත්‍රයත් එකිනෙකා හා අභිමුඛ වීම ආරම්භ වන මොහොතයි. පලාත් සභාවට සාපේක්ෂ ස්වාධීනත්වයකින් සිය කටයුතු කරගෙන යාමට ඉදිරියේදී ඉඩ ලැබුනහොත් දෙමල ප්‍රභූ තන්ත්‍රය සහ දෙමල සමාජය අතර ප්‍රතිවිරෝධතා මතුවන ආකාරය පැහැදිලිවම දැකගැනීමට ලැබෙනු ඇත.

එම ප්‍රතිවිරෝධය මතුවන මොහොත වූ කලී උතුර තුල විකල්ප දේශපාලනයක් සදහා ඉඩ විවර වෙන මොහොතයි. එලෙස විවෘත වන අවකාශය තුල දෙමල ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව සමාජය සංවිධානය කිරීම සදහා වාමාංශයට උතුරේ විශාල විභවයක් නිර්මානය වීම වැලැක්විය නොහැක. එම අවකාශය තුලට ඇතුලු වීමට නම්, ඒ සදහා වන දේශපාලන සංවාදය දෙමල පීඩිතයා සමග ගොඩනගා ගැනීමට නම්, එම ජනයාගේ දේශපාලන නිදහස පිලිගැනීම අතිශය තීරනාත්මක වනු ඇත.දෙමල සමාජයේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන අභිලාෂ සම්බන්ධයෙන් නිහඩව සිටින තාක් දුරට සිංහල සහ දෙමල පීඩිතයින්ගේ එක්සත් දේශපාලන ක්‍රියාකාරීත්වයක් ගොඩනගා ගැනීම හුදු සිහිනයක් පමනි.

උතුර සිය පිලිතුර ලබා දී තිබේ. එම පිලිතුරට දකුනු  ලංකාවේ වාමාංශික හා ප්‍රගතශීලී බලවේග දක්වන ප්‍රතිපිලිතුර හා ප්‍රතිචාරය මේ දිවයිනේ දේශපාලන අනාගතය තීරනය කිරීමෙහිලා අතිශයින් තීරනාත්මක වනු ඇත්තේය.

Friday, September 6, 2013

අවසන් පිරිමි කටහඩත් එජාපයට අහිමි වූ පසු

මති විමල් වීරවංශට අනුව දයාසිරි ජයසේකර පක්ෂය මාරු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුල තවදුරටත් 'පිරිමි හඩවල්' නැත. ඔහු මේ බව පවසා තිබුනේ පසුගිය දිනෙක මහනුවරදී පැවැති මැතිවරන රැස්වීමක් අමතමිනි. " එජාපයේ හිටපු පිරිමි කටහඩක් තිබිච්ච අන්තිම මනුස්සයා ඔය ආවේ.ඒ නිසා අපි අලියට ගහන්න එපා කියන්නෙ නැහැ. මොකද අලියට ගහන්න කෙනෙක් දැන් නැහැ" - ඇමති වීරවංශගේ ප්‍රකාශය ජනමාධ්‍යයන් විසින් වාර්තා කොට තිබුනේ ඒ ආකාරයටය. වීරවංශගේ මේ ප්‍රකාශයට හැරෙන තැපෑලෙන් පිලිතුරක් එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සපයා තිබුනි. තමා වන්ෂොට් බවත් තමාට ඇත්තේ "හොද පිරිමි හඩක්" බවත් වීරවංශට පිලිතුරු ලෙස හෙතෙම සදහන් කොට තිබුනේ කුරුනෑගල මැතිවරන රැස්වීමක දීය.

දේශපාලනයේ දී "පිරිමි හඩවල්" මේ තරම් වැදගත් වන්නේ ඇයි? ඇමති වීරවංශට අනුව පිරිමි හඩ සහිත අවසන් පුද්ගලයාත් ඉවත් වී ඇති බැවින් එජාපය තුල ඡන්දය ලැබීමට සුදුස්සෙක් තවදුරටත් ඉතුරු වී නැත. "පිරිමි හඩක් තිබීම" ඡන්දය දීමේදී සැලකිය යුතු සුදුසුකමක් වන බව මින් ව්‍යංගව ගම්‍ය වන අදහසයි. රන්ජන් රාමනායක වීරවංශගේ මේ ප්‍රකාශය සලකා ඇත්තේ තම පක්ෂයට සිදුකල අපහාසයක් වශයෙනි. සිය පුරුෂභාවය ඔප්පු කිරීම සදහා වහාම ඔහු ඉදිරිපත් වන්නේ එබැවිනි. දේශපාලනය තුල පිරිමි හඩෙහි වැදගත්කම මෙහිදී රාමනායක ද වීරවංශ තරම්ම පිලිගෙන තිබේ. වීරවංශ 'එජාපය තුල පිරිමි නැහැ' කියද්දී රාමනායක 'ඇයි යකෝ මම පිරිමියෙක් නොවේදැ'යි අසයි. පුරුෂභාවය දේශපාලන පක්ෂයක අත්‍යවශ්‍ය ලක්ෂනයක් ලෙස මේ අනුව මේ දෙදෙනා අතරම අවිඥානික සම්මුතියක් පවතී.

මේ ලිංගවාදය ( Sexism ) සමාජය තුල කෙතරම් තදින් මුල්බැහැගෙන තිබේද යන්න විදහා දක්වන අනගි උදාහරනයකි. සමාජයේ ඇති වී තිබෙන ශ්‍රම විභජනය තුල දේශපාලනය 'පිරිමි වැඩකි'. පුරුෂභාවය දේශපාලනය තුල උත්කර්ෂයට නැගෙන්නේ ඒ අනුවය. 2005 ජනාධිපතිවරනය අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ "වීර සිංහල පුරුෂයෙක්" ගේ ඉමේජය නිරූපනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරන වේදිකාවල දී බොහෝ විට කියැවුනු කරුනකි. පවුල යනු ස්ත්‍රියගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රයයි. රාජ්‍යය සහ දේශපාලනය යනු පුරුෂයාගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රයයි. විධිමත් නීතිය අනුව ස්ත්‍රීන්ට දේශපාලනයේ යෙදීමෙහිලා කිසිදු ප්‍රකාශිත තහනමක් නැත. එහෙත් යථාර්ථයේදී දේශපාලනයේ යෙදෙන්නේ පුරුෂ සම්මතයන් වෙත ලගා වීමේ හැකියාව දක්වන ස්ත්‍රීන් පමනි. උදාහරනයක් ලෙස ලංකාවේ දේශපාලනය තුල යම් ස්ථාවරත්වයක් අත්පත් කරගත් බොහෝ ස්ත්‍රී චරිත වැන්දඹු චරිත වීම සලකා බලමු. සිරිමා බන්ඩාරනායකගේ සිට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දක්වා චරිත දේශපාලනය තුල ස්ථාවර වන්නේ ඔවුන් 'මහා පුරුෂයින්ට අත්වැල සැලසූ බිරින්දෑවරු' වීම නිසාය. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැනි අයෙක් ගත්විට එහිදී ක්‍රියා කරන්නේ 'භාරත ලක්ෂ්මන්ගේ දියනිය' නමැති සාධකයයි. මේ සෑම අවස්ථාවකදීම මේ අයට ස්වාධීන අනන්‍යතාවයක් නැත. සමාජය මේ අයව හදුනාගන්නේත්, කියවන්නේත් ඇය හා සම්බන්ධ අනෙත් පිරිමි චරිතය හරහාය. එනම් එස්.ඩබ්.ආර්.ඩී.බන්ඩාරනායකගේ බිරිද, විජය කුමාරතුංගගේ බිරිද ආදී වශයෙනි. ( දේශපාලන චරිත ලෙස හැදින්විය නොහැකි අනර්කලී, උපෙක්ෂා ස්වර්නමාලි වැනි ස්ත්‍රී ශරීර මෙහිදී මොහොතකට අමතක කර දමමු )

දේශපාලන පක්ෂ තුල, පලාත් සභා, පාර්ලිමේන්තුව වැනි ධනේශ්වර නියෝජිත ආයතන තුල කාන්තා සහභාගිත්වය ලංකාවේදී ඉතාමත් දුර්වලය. පාර්ලිමේන්තු මට්ටටම්දී එය‍ නොගිනිය හැකි තරම් සුලු එකකි. ස්ත්‍රිය පිලිබද පසුගාමී අදහස් අභියෝගයට ලක්කල ( මුල්කාලීන) ලංකා සමසමාජ පක්ෂයේ සෙලීනා පෙරේරා වැනි රැඩිකල් චරිත අතරින් පතර හමුවුවද වාමාංශික සංවිධාන තුල ද ‍මේ සම්බන්ධයෙන් දක්නට ඇති තත්වය සතුටුදායක එකක් නොවේ.

ස්ත්‍රීන්ගේ මේ අවම දේශපාලන භූමිකාවට හේතුව කුමක්ද? දේශපාලනය වැනි විෂයකට සම්බන්ධ වීමට ස්ත්‍රීන් තුල පවා දක්නට ලැබෙන්නේ මන්දෝත්සාහීභාවයකි. එසේ නම් මෙය මනෝ විද්‍යාත්මක කාරනයක් - එනම් ස්වභාවයෙන්ම ස්ත්‍රීන් දේශපාලනය වැනි දේට සම්බන්ධ වීමට දක්වන අකමැත්තක් ලෙස විස්තර කල හැකිද?

ස්ත්‍රීවාදී න්‍යායවේදිනියක කැතරින් මැක් කිනොන්ට අනුව ස්ත්‍රිය හා පුරුෂයා අතර වෙනස බිහි වෙන්නේ ආධිපත්‍යය තුලිනි. සියවස් ගනනාවක් පැරනි පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකාවන් පිලිබද කතිකාව නිර්මානය කොට ඇත. පවුල ස්ත්‍රියගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙසත්, දේශපාලන පිරිමියාගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙසත් සිදුකොට ඇති විභජනය මෙන්න මේ පුරුෂමූලික කතිකාවේ නිර්මිතයකි. මේ කතිකාව කෙතරම් දුරට ස්වභාවිකකරනය වී තිබේද යත් ස්ත්‍රිය පවා ' දේශපාලනය පිරිමි වැඩකි' යන අදහස පිලිගනී. පිරිමි හඩක් නැති නිසා එජාපයට ඡන්දය නොදිය යුතු යැයි වීරවංශ කියද්දී ඊට එරෙහි විරෝධයක් සමාජය තුලින් පැන නොනගින්නේ ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකා පිලිබද පුරුෂවාදී කතිකාව ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව සමාජය පොදුවේ පිලිගෙන තිබෙන නිසාය.

රෝසි සේනානායක වැනි ලිබරල්වාදීන් විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවේ සියයට 25ක කෝටාවක් ස්ත්‍රීන්ට වෙන්කොට මෙම විෂමතාවය අබිබවා යා හැකි බවයි. මොවුන්ට නොවැටහෙන කරුන නම්-  සමාජ ව්‍යුහයේ තිබෙන විෂමතාවයක් හුදෙක් නීතිය තුල කරන ප්‍රතිසංස්කරනවාදී අන්ඩ දැමිම් වලින් ඉක්මවිය නොහැකි බවයි. ස්ත්‍රියගේ නිදහස රැදී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුල සියයට විසිපහේ කෝටා දීම වැනි 'උඩින් ' සිදුකෙරෙන නෛතික විජ්ජාවන් තුල නොවේ. සමාජය පහලින් - එහි ව්‍යුහය තුලින් මතුවී එන රැඩිකල් අරගලයක් තුලය.