ඇමරිකානු එක්සත් ජනපදයේ Center
for Complex Operations නමැති ආයතනය විසින් PRISM යන හිසින් වාර සගරාවක් පල කරනු ලබයි. ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය
රාජපක්ෂ මෙම සගරාවේ හතර වැනි වෙලුමේ සිවුවන කලාපයට ‘ලංකාවේ ජාතික ආරක්ෂාව’ යන
නමින් ලිපියක් ලියා ඇත. රාජපක්ෂ රෙජිමයේ මර්ධන තන්ත්රයේ නියමුවා වන ගෝඨාභයගේ මේ
ලිපිය අනාගත ලංකාව සංවිධානය කිරීමට රෙජිමය සැලැසුම් කොට තිබෙන ආකාරය ගැන වැදගත්
සංඥාවක් නිකුත් කරයි.
ගෝඨාභයට අනුව එල්ටීටීඊ සංවිධානය සමූලඝාතනය කලත් ලංකාවේ
ජාතික ආරක්ෂාව සදහා තිබෙන තර්ජනයන් අවසන් වී නැත. මේ ‘නව’ තර්ජනයන් ලෙස ඔහු
හදුනාගන්නේ මොනවාද? එල්ටීටීඊය නැවත නැගිටීමට තිබෙන සම්භාවිතාවය, වෙනත් අන්තවාදී
සංවිධාන වල පැනනැගීම්, ජාතිවාදී ප්රචන්ඩත්වය,සංවිධානාත්මක අපරාධ, විදේශ අතපෙවීම්, නාවික හා මුහුදු සීමාවන්ට
සිදුවිය හැකි බලපෑම් සහ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි මගින් ඇති කල හැකි
‘තර්ජනයන්’ මෙකී නව අභියෝග ලෙස හෙතෙම හදුනාගනී. ‘වෙනත් අන්තවාදී සංවිධාන’ යටතට ඔහු
ඇතුලත් කරන සංවිධාන වර්ග දෙකකි. එකක් ගෝලීය ඉස්ලාමීය සටන්කාමී සංවිධාන සමග ගනුදෙනු
කරන ස්වදේශික ඉස්ලාමීය සංවිධාන වල පැනනැගීමයි. දෙවැන්න ඔහුට අනුව ‘ පැරනි කැරලි
වලට සම්බන්ධකම් තිබෙන’ අන්තවාදී වාමාංශික කන්ඩායම් වල වර්ධනයයි. මෙම රැඩිකල් වාමාංශික
කොටස් විශ්ව විද්‍යාල සිසුන් කුපිත කරමින් දැනටමත් විරෝධතා මෙහෙයවන බවත්, ඔවුන්
එල්ටීටීඊයේ ශේෂ වූ කොටස් සමග සබදතා පවත්වන බවත් ලියන ගෝඨාභය නුදුරේදීම එය ජාතික
ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව කියා සිටී. විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා සදහා
මෙහෙයවන රැඩිකල් වාමාංශයක් ගැන ලියද්දී ඔහු කල්පනා කරන්නේ පෙරටුගාමී සමාජවාදී
පක්ෂය ගැන බවට සැකයක් තිබිය නොහැක.
‘ජාතික ආරක්ෂාවට’ එල්ල වනවා යැයි කියන මේ නව අභියෝග
සම්බන්ධයෙන් මේ දක්ෂිනාංශික නිලධාරියා
ඉදිරිපත් කරන විසදුම කුමක්ද? ඊට ඇති විසදුම බුද්ධි අංශ ( රජයේ චරපුරුෂ ජාලාව) තව
තවත් ව්‍යාප්ත කිරීම බව ඔහු ලියයි. ඉදිරියේදී හදුන්වා දීමට නියමිත ඊනියා විද්‍යුත්
හැදුනුම්පත මේ ක්‍රියාමාර්ගයේ අංගයක් බව ඔහු කියා සිටී. මේ විද්‍යුත් හැදුනුම්පත
පුද්ගලයින්ගේ ජීව දත්තමය තොරතුරු පවා ලියාපදිංචි කරනු ලබන අතර ඒ ඒ පුරවැසියන් ගැන
අංග සම්පූර්න දත්ත ගබඩාවක් නඩත්තු කිරීමට ඒ හරහා රජයට අවකාශය හිමිවේ.
මකුලුවා වියමින් සිටින දැල පැහැදිලිය. ලංකාව ‘ජාතික
ආරක්ෂක රාජ්‍යයක්’ ( National Security State) ලෙස සිය හැඩය සම්පූර්න කරගනිමින් සිටී. ඇමරිකානු ජනාධිපති හැරී
ටෲමන් 1947 දී සම්මත කරගත් ජාතික ආරක්ෂක පනතින් ඉක්බිති ඉදි වූ නව රාජ්‍ය ප්‍රතිපදාව
‘ජාතික ආරක්ෂක රාජ්‍යය’ ලෙස හැදින්වෙන අතර සීඅයිඒ සංවිධානය ඇතුලු ආරක්ෂක බල
ධූරාවලිය මේ ප්‍රතිපදාව තුල කේන්ද්‍රීය භූමිකාවක් ඉසිලීය. අභ්‍යන්තර හා බාහිර
සතුරන්ගෙන් ඇමරිකානු ජනතාව ‘ආරක්ෂා කරගැනීමට’ යැයි කියා මේ ආරක්ෂක බල ධූරාවලිය වෙත
අතිමහත් බලතල පවරන ලදී. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ මේ ප්රවනතාවය
වඩා තීව්ර විය. මහජනයාගේ ඉතාම සියුම් දෛනික කටයුතු පවා රාජ්‍යයට නිරීක්ෂනය කිරීමට
හැකි වන ආකාරයේ බහුජන අවේක්ෂන (Mass surveillance) පද්ධතියක් එක්සත් ජනපද රජය විසින් පවත්වා ගෙන යන බවට
මෑතකදී එඩ්වර්ඩ් ස්නෝව්ඩන් කල හෙලිදරවුව එම ප්රවනතාව කෙතරම් තීව්ර වී තිබේද යන්න
විදහා දක්වයි. ජෝර්ජ් ඕවල් බිග් බ්‍රදර් සෑම දෙයක් දිහාම බලාගෙන ඉන්නා කල්පිත
ඕෂීනියා රාජ්‍යය ගැන 1984 නවකථාව ලීවේ ස්ටාලින්වාදය යටතේ රුසියාවේ ගොඩනැගී තිබූ
පොලිස්කාර රාජ්‍යය විවේචනය කරනු සදහාය. සීතල යුද්ධ සමයේ ලිබරල් මතධාරීන් රුසියාවට
එරෙහිව බහුල ලෙස එම කෘතිය ලෙලවූහ. උත්ප්රාසාත්මකව ඕවල්ගේ විවේචනය අද කවරදාටත් වඩා
ගැලපෙන්නේ ලිබරල්වාදී ඇමරිකාවටය!
රාජපක්ෂ රෙජිමය ජාතික ආරක්ෂාවට විවිධ තර්ජන තිබෙනවා යැයි
කියමින් අධිකතර ලෙස මිලිටරිකරනය වූත් මිනිසුන්ගේ ජීවිත දෙස ඇස ගසාගෙන සිටීමේ බලතල තමා
වෙත පවරා ගත්තා වූත් රාජ්‍ය ව්‍යුහයක් ගොඩනගන්නට උත්සාහ කරන්නේ ඇමරිකාව අනුගමනය
කරමිනි. රෙජිමයේ කල්පනාව මොන තරම් වියරු එකක්ද යන්න පෙනී යන්නේ සමාජ ජාල වෙබ් අඩවි
පවා ‘ජාතික ආරක්ෂාවට’ තර්ජනයක් ලෙස එය පුරෝකථනය කිරීම තුලයි. මේ දෘෂ්ටිය අනුව
සමාජයේ පුරවැසියන් යනු චෙස් පෙතක් මත ඉන්නා ඉත්තන්ය. ඔවුන් සිටිය යුත්තේ මොන
කොටුවේද යන්න තීරනය කරන්නේ රාජ්‍යය විසින්ය. ඔවුන් කරන්නේ මොනවාද කියා ඔවුන්ට
පිටුපසින් සිට රාජ්‍යය තර්ජනාත්මකව බලා සිටී. නාමිකව ඔවුන් ‘නිදහස් ප්රජාතන්ත්රවාදී’
සමාජයක පුරවැසියන්ය. හැබැයි ඒ නිදහස භුක්ති විදීමට හැක්කේ රාජ්‍යය විසින් ඇද දී
තිබෙන කොටුවේ සීමාව තුල සිටය.
ආශ්චර්යයට ප්රශස්ති ගයමින් නවීකෘත කොලඹ නගරයේ දිලිසෙන
පදික වේදිකා මත ජොගින් යන ගොබ්බ මධ්‍යම පාංතිකයෝ වටහා නොගන්නේ අප සමාජයක් ලෙස ගමන්
කරමින් සිටින මේ භයානක දිශානතියයි. ඊනියා සංවර්ධනය සහ 'ජාතික ආරක්ෂාව' සදහා අපගේ
නිදහස, අපගේ ආත්මය ද්විතීක කරන ලෙස, අත් හරින ලෙස රාජ්‍යය අපට අනවමින් සිටී. මහජනයාගේ
මූලික ප්රජාතාන්ත්රීය අයිතීන්ට එල්ල කෙරෙන මේ ගැඹුරු ප්‍රහාරයට මුලු වැර යොදා
එරෙහි විය යුතුය. ඉදිරිපත් කිරීමට නියමිත ඊනියා විද්‍යුත් හැදුනුම්පත් ගැන නීතිය
මේ විරෝධය උරගා බැලිය යුතු තීරනාත්මක අවස්ථාවක් වන්නේ එනයිනි.