Friday, March 28, 2014

වාරනය පිලිගැනීම වෙනුවට සිවිල් නීති කැඩීම

විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂනයක්

ජර්මනියේදී හිට්ලර් කල සෑම සියලු දෙයක්ම "නීත්‍යනුකූල" ක්‍රියා වූ බවත් හංගේරියාවේදී හංගේරියානු නිදහස් සටන්කාමීන් කල සෑම සියලු දෙයක්ම " නීති විරෝධී " ක්‍රියා වූ බවත් අපි කිසි විටෙක අමතක නොකල යුත්තෙමු.

- මාටින් ලූතර් කිං (1963)

න්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් පසුගිය මාර්තු 19 වන දා පැවැත්වූ විරෝධතා පා ගමනට එරෙහි වාරන නියෝගයක් මහර මහේස්ත්‍රාත් අධිකරනය විසින් නිකුත් කර තිබුනි. මෙම පාගමන සංවිධානය කර තිබුනේ අධ්‍යාපන පෞද්ගලිකකරනයටත් සිසුන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමටත් විරෝධය පල කිරීම සදහාය. පා ගමන කැලනිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ වීමට නියමිතව තිබූ අතර උදෑසන එම ස්ථානයට පැමිනි පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන පා ගමන තහනම් කරන නියෝගය නිවේදනය කලේය. කෙසේ වුවද මේ තහනම නොතකා හල පන්දහසක් පමන සිසුහු සිය විරෝධතා පෙලපාලිය පැවැත්වූහ.

උක්ත පා ගමන වැලැක්වීමේ නියෝගය අධිකරනය විසින් නිකුත් කර තිබුනේ එමගින් 'මහජන සාමයට ' බාධා ඇති වීමට ඉඩ තිබේ යන පදනම මතය. 'මහජන සාමය' හෝ ' මහජන ආරක්ෂාව' වැනි හේතු දක්වමින් ජනතාවගේ විරෝධය දැක්වීම් තහනම් කිරීමට අධිකරනය කැදවීම මේ වනවිට සාමාන්‍යකරනය වෙමින් පවත්නා අත්දැකීමක් බවට පත්ව ඇත. පෙබරවාරි මාසයේදී රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පවත්වා ගෙන ගිය සාමකාමී සත්‍යග්‍රහයක් හකුලා ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කලේ එම සත්‍යග්‍රහය නිසා ' මහජන පීඩාවක්' ඇති වන බව දක්වමින්ය. 2013 නොවැම්බර් මාසයේදී සෞඛ්‍යය සේවා වෘත්තීය සමිති සන්ධානය විසින් කැදවා තිබූ වැඩවර්ජනයකට එරෙහිව කොලඹ දිසා අධිකරනය විසින් මේ ආකාරයටම වාරන නියෝගයක් නිකුත් කලේය. වරාය, ටෙලිකොම් ආදී ක්ෂේත්‍ර වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එරෙහිව ද පසුගිය කාලයේ මේ විදිහට අධිකරන නියෝග නිකුත් වූයේය. මෙය කෙතරම් සීමාන්තික ප්‍රවනතාවයක් වීද යත් පසුගිය වසරවල්වල රජයේ හමුදා විසින් හලාවත ධීවර උද්ඝෝෂනයකට වෙඩි තබා ධීවරයෙක් මරා දැමූ අවස්ථාවේ සහ කටුනායක කම්කරු උද්ඝෝෂනයකට වෙඩි තබා කම්කරු තරුනයෙක් මරා දැමූ අවස්ථාවේ අවමංගල සභාවේ දේශපාලන ස්වභාවයේ කථා පැවැත්වීම තහනම් කරමින් පවා අධිකරන නියෝග නිකුත් වනු දැකගත හැකි විය.රාජ්‍යය විසින් මරා දමන අයව වල දැමිය යුතු වූයේත් ඒ අනුව රාජ්‍යයට අවශ්‍ය ආකාරයටය. 

විරෝධතා පැවැත්වීම, පෙලපාලි යාම, වැඩවර්ජනය කිරීම යනාදිය සමාජයේ පුරවැසියන් සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්ය. කම්කරුවන් හෝ තරුනයන් මේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් අභ්‍යාස කරන විට එය 'මහජන පීඩාවක්' ලෙස අර්ථ දක්වා 'මහජන සාමයට' ඉන් ඇති විය හැකි බලපෑම් ගැන කලබල වුවත් ප්‍රභූ ආරක්ෂකයින් පිරිවරාගෙන ප්‍රභූවරුන් මං තීරු වසාගෙන වාහන ධාවනයේ යෙදෙන විට, එසේත් නැතිනම් කලම්බෝ නයිට් රේස් වැනි සැනකෙලි සදහා පාරවල් වසන විට එය 'මහජන පීඩාවක්' ලෙස රාජ්‍යය දකින්නේ නැත. මේවාට එරෙහිව පොලිසිය වාරන නියෝග ඉල්ලන්නේ හෝ අධිකරනය වාරන නියෝග ලබා දෙන්නේ හෝ නැත. රාජ්‍යයට 'මහජන සාමය' මතක් වන්නේ සමාජයේ ජන කොටස් රාජ්‍යයට පාලනය කරගත නොහැකි ආකාරයට රාජ්‍යයේ නිල අදහස් අභියෝගයට ලක්කරන විටය. විසම්මුතිය විදහා දක්වමින් සටන් කරන විටය. ඒ සටන් සදහා ස්වකීය ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් භාවිතා කරන විටය. 

මාර්තු 19 වන දා ශිෂ්‍ය උද්ඝෝෂනය
කදුලු ගෑස් ගසා විසුරුවා හල අවස්ථාව
අධිකරනය වනාහි රාජ්‍යයේ කොටසකි. පාර්ලිමේන්තුව, හිරගෙවල්, පොලිසිය, විවිධ අමාත්‍යංශ බදු රාජ්‍යයේ වෙනත් ආයතන වලට නැති අමුතු ගාම්භීරකමක් උසාවිය වෙත ආරෝපනය කර ඇත. ලංකාවේ උසාවියක් තුල නඩුවක් නරඹන අයෙක්ට අත් බැදගෙන සිටිය නොහැක. අත් බැද ගෙන හිදගෙන සිටීම ද සලකන්නේ උසාවියට කල අපහාසයක් ලෙසය. විනිසුරුට නීතිඥයින් අමතන්නේ දෙකට තුනට නැවී නියාලු ලෙස 'ස්වාමීනී' කියාය. ක්ෂුද්‍ර තලයේ මෙබදු 'සමාචාර' වල සිට මහේක්ෂ තලයේ ඇති අධිකරනයට අපහාස කිරීමේ නීති දක්වා සියල්ල විසින් කරන්නේ අධිකරනය සම්බන්ධ ගාම්භීර ප්‍රතිරූපයක් නඩත්තු කිරීමයි.

මේ ගාම්භීර ප්‍රතිරූපයේ තිබෙන වාසිය කුමක්ද? ඒ හේතුවෙන් රාජ්‍යයේ වෙනත් උපකරන වලට සාපේක්ෂව පොදු සමාජය ' අවනත කරගැනීමේ ' වැඩි හැකියාවක් අධිකරනය භුක්ති විදී. 'නීතියට අවනත වීමේ යුතුකමක් පොදු ජනයාට තිබේ' යනුවෙන් මතයක් සමාජයේ පවත්නා නිසා යම් දෙයක් අරභයා උසාවි නියෝගයක් ලබා දුන් කල්හි එය සුජාත තීන්දුවක් ලෙස පිලිගැනීම සදහා වූ නිසග පෙලඹුමක් පොදු ජනයා තුල පවතී. මේ පෙලඹුම ඇති වීම සදහා බලපාන වැදගත් හේතුවක් වන්නේ අධිකරනය වනාහි ස්වාධීන ආයතනයක් බවට මිනිසුන් තුල තිබෙන ( දෘෂ්ටිවාදී ) විශ්වාසයයි. පොලිසිය හෝ හමුදාව වැනි ආයතන වල පාර්ශවිකත්වය සහ ජඩකම පැහැදිලිව පෙනෙන්නට තිබුනත් අධිකරනයේ පාර්ශවිකත්වය බැලූ බැල්මට දැකගත නොහැක.

අධිකරනය ගැන මහජනයා තුල තිබෙන මෙම එක්තරා විදිහට ' පිලිගැනීම' නිසා සමාජය පාලනය කිරීමේදී උසාවිය
මාටින් ලූතර් කිං ඝාතනය වීමට පෙර දින
මෙම්ෆ්ස්හි සිය අවසන් කථාව කරමින් - මෙහිදී ඔහු අයුක්ති සහගත
වාරන නියෝග වලට අවනත නොවීම ගැන කථා කරයි 
වූ කලී සාර්ථක තුරුම්පුවකි. බැටන් පොලු පහර දහසකට හෝ කදුලු ගෑස් පහර දහසකට කල නොහැකි සාර්ථක බලපෑමක් එක් අධිකරන නියෝගයකට සිදුකල හැක. අධිකරන නියෝගයක් කඩ කොට යමෙක් සිය විරෝධය පල කිරීම දිගටම කරගෙන යන්නේ නම් ' අධිකරනයට අපහාස කිරීම ' සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පුලුවන. පා ගමනක් නැවැත්වීමට හෝ වැඩවර්ජනයක් කඩාකකප්පල් කිරීමට එන පොලිස් නිලධාරීන් සමග විරෝධතාකරුවන්ට දේශපාලනිකව ගැටී ගනුදෙනු බේරා ගත හැක. කදුලු ගෑස් ගසන්නේ නම් අනිත් පැත්තට ගල් ගැසීමට වුව පුලුවවන. එහෙත් අධිකරනය මෙබදු සටනකට මැදිහත් වූ විට ගනුදෙනු බේරාගැනීමට සිදු වන්නේ උසාවි ශාලාව තුලදීය. එහිදී රාජ්‍යය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව කදුලු ගෑස් ‍‍වෙනුවට නීති තර්ක පාවිච්චි කරන අතර ඒවා සමග හැප්පීමට ගල් මුල් වෙනුවට එවැනිම නීති තර්ක වල පිහිට සෙවීමට විරෝධතාකරුවන්ට සිදුවේ. මෙහි වාසිය රාජ්‍යයටය. මන්ද නීති පොත් පෙරලන්නේ නම් මර්දනකාරී නීති ඇති පමන සොයාගැනීමේ නොහැකියාවක් පාලකයින්ට නැති බැවිනි.

මේ නිසා ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බලවේග මේ මොහොතේ විසදුම් සොයාගත යුතු වැදගත් ප්‍රශ්නයක් වන්නේ අධිකරනය විසින් සිදුකරන මර්දනයට මුහුන දිය යුත්තේ කෙසේද? යන්නය. මර්දනය නීතිගත කරන නීති ඇති තරම් පොත් තුල තිබෙන නිසා හුදෙක් නීති තර්ක වල පිහිටෙන් මෙම මර්දනය ආපසු හැරවිය නොහැක. අධිකරනමය මර්දනය පරාජය කිරීම සදහා අවශ්‍ය කරන්නේ දේශපාලන අරගලයකි. මෙම ප්‍රශ්නය විසදිය හැක්කේ උසාවි ශාලා තුල නීතිමය තලයකදී නොව මහ පොලොව මත දේශපාලන තලයකදීය.

උසාවි නියෝග නොතකා පාගමන් ගිය විශ්ව විද්‍යාල සිසුන් මේ අනුව ප්‍රදර්ශනය කලේ මෙකී මර්දනයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන එක් වැදගත් පූර්වාදර්ශයක් යැයි කිව හැක. සිවිල් නීති කඩකිරීම යනු අයුක්ති සහගත පාලනයකට හා නීති රාමුවකට එරෙහිව මහජනයා සටනට කැදවිය හැකි ඉතාම ප්‍රබල අරගල මාදිලියකි.






Sunday, March 16, 2014

සමාජවාදය උතුරු කොරියාව වගේද?

කිම් ජොං අන් - 'සමාජවාදී බබා'

සහෝදර බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ සිය බ්ලොග් අඩවිය තුල සමාජවාදය ගැන නව සංවාදයක් ගොඩනගා ගෙන යමින් සිටී. මේ සංවාද වලදී මතු වන සුලභ ප්‍රශ්නයක් නම් - සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපා රටවල් වල 'සමාජවාදය' බිද වැටුනේ ඇයි? යන පැනයයි. කලෙකට ඉහත දී ජනරල පුවත්පතේ පලවූ මෙම ලිපිය මෙලෙස ‍පල කෙරෙන්නේ මේ සංවාදයට දායක වීමක් වශයෙනි.
***

රුසියානු විප්ලවයේ මුල් පෙල නායකයෙක් වූ ලියොන් ට්‍රොට්ස්කි ලියූ 'පාවාදුන් විප්ලවය' (Revolution Betrayed) කෘතියේ සැලකිය යුතු කොටසක් වෙන් කෙරෙන්නේ සෝවියට් සංගමය සමාජවාදීද? යන ප්‍රශ්නයට පිලිතුරු සැපයීම සදහාය. 1936 දී සෝවියට් සංගමය නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කල අතර නව ව්‍යවස්ථාවේ පසුබිම පැහැදිලි කරමින් සෝවියට් රජය ප්‍රකාශ කලේ සෝවියට් දේශය තුල සමාජවාදය ගොඩනගා අවසන් බවත් මෙතැනින් මතු එලැඹෙන්නේ කොමියුනිස්ට්වාදය ගොඩනැගීමේ කර්තව්‍යය බවත්ය. එක් රටක් තුල සමාජවාදය ගොඩනගා අහවර කිරීම පිලිබද මේ අදහසට සිය කෘතිය මගින් තියුනු විවේචනයක් ගෙන එන ට්‍රොට්ස්කි ස්ටාලින්ගේ පාලනය විසින් 'සමාජවාදය' නමැති වචනයට විකෘති අර්ථයක් දී ඇති ආකාරය පැහැදිලි කරයි. මෙම පැහැදිලි කිරීම ආර්ථික හා දේශපාලන කරුනු මනා ලෙස පෙල ගස්වා කරනු ලැබෙන දීප්තිමත් විවරනයකි. මෙම කෘතිය ලියන විට ට්‍රොට්ස්කි සිටියේ ස්ටාලින් විසින් පලවා හරිනු ලැබ පිටුවහලේය.

ට්‍රොට්ස්කි මෙම කෘතියේදී සෝවියට් සංගමය විස්තර කරන්නේ ' ධනවාදය හා සමාජවාදය අතරමැද සංක්‍රාන්තික අවධියක පසුවන සමාජයක්' වශයෙනි. නිෂ්පාදන මාධ්‍යයන් වල පුද්ගලික අයිතිය අහෝසි කිරීම නිසා දේපල වල ධනවාදී ස්වභාවය අහෝසි වී තිබුනත් දේපල සම්බන්ධතා සමාජවාදී ස්වරූපයක් අත්කරගැනීම දක්වා තවමත් වර්ධනය වී නැති බවට ඔහු තර්ක කරයි. එබදු උසස් තත්වයක් අත් කරගැනීම තනි හුදෙකලා රටක් තුල - විශේෂයෙන් රුසියාව වැනි ගොවිජන රටක් තුල - සම්පූර්න කල නොහැකි බවද ඔහු දක්වයි.

ජෝසෆ් ස්ටාලින් විසින් මරා දමන ලද ලියොන් ට්‍රොට්ස්කි
කෙසේ වුවද 20 වන ශත වර්ෂය පුරා ලෝකය තුල වාම ව්‍යාපාර තුලත් පොදු ජන මනස තුලත් බලය හෙබවූයේ සෝවියට් සංගමය පිලිබද ට්‍රොට්ස්කිගේ මෙම විග්‍රහය නොව නිල රුසියානු කොමියුනිස්ට් පක්ෂය විසින් කල පැහැදිලි කිරීමයි. 1924 දී ස්ටාලින් හා බුඛාරින් සමාජවාදය 'තනි රටක ගොඩනගා අවසන් කල හැක' යන ප්‍රස්තූතය ඉදිරිපත් කරන තුරුම සම්භාව්‍ය මාක්ස්වාදය තුල සමාජවාදය නමැති වචනයට ලැබී තිබුනේ ජාත්‍යන්තරවාදී අර්ථයකි. ජාත්‍යන්තරකරනය වූ ආර්ථික පද්ධතියක් වන ධනවාදයට විකල්පයක් හුදෙකලා ජාතික රාජ්‍යයන් තුල අත්පත් කරගැනීම සම්භාව්‍ය මාක්ස්වාදය තුල මනෝරාජික අදහසක් ලෙසය සලකන ලද්දේ. මේ සම්භාව්‍ය මාක්ස්වාදී අදහසට පටහැනිව ස්ටාලින්ගේ 'තනි රටක සමාජවාදය' ගැන න්‍යාය පැන නගින්නේ ජාතිකවාදී පදනමකින්ය. එනම් ලෝකයේ වෙනත් රටවල වැඩකරන පංති වල ජනයාගේ සහයෝගය තිබුනත් නැතත් අපිට සමාජවාදය ගොඩනගා 'රට දියුනු කරන්න පුලුවන්' නමැති මනෝභාවය මේ තුල ක්‍රියා කරන්නේය.

ලංකාවේද ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් කීපයක් හැර වාමාංශය පොදුවේ සමාජවාදය පිලිබද බෙදාහදා ගනු ලැබූයේ ස්ටාලින්වාදයෙන් ආභාෂය ලද මේ ජාතිකවාදී නිර්වනයයි. උදාහරනයක් ලෙස උතුරු කොරියාව මේ කතිකාව තුල හදුන්වන ලද්දේ සමාජවාදී සමාජයක් වශයෙනි. ඇත්තටම සමාජවාදය යනුවෙන් අදහස් වන්නේ උතුරු කොරියානු සමාජය වැන්නක්ද? ජාතික ස්වයං පෝෂීබව පිලිබද ජාතිකවාදී අදහස සමග සමාජවාදය අනන්‍ය කිරීමට යාමෙන් බිහිවිය හැකි විපරිත ප්‍රතිඵල කවරේද යන්න විදහා දක්වන කැඩපතක් වැන්න උතුරු කොරියාව. පසුගාමී සමාජ ආර්ථික කොන්දේසි යටතේ උතුරු කොරියාවේ පවතින්නේ නිලධාරිවාදී ප්‍රභූ කල්ලියක අන්තනෝමතික පාලනයකි. සමාජවාදයේ දේශපාලන පූර්වායවයක් වන වැඩකරන ජනතාවගේ දේශපාලන ආධිපත්‍යයේ සේයාවක් හෝ එහි නැත. ශ්‍රමික පංතියේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ( Working class democracy) තොරව සමාජවාදයක් තිබිය නොහැක. කිම් ජොං ඉල්ගෙන් පසු ඔහුගේ ලාබාල පුත්‍රයා එරට ජනාධිපති වීම මහින්දගෙන් පසු නාමල් බබා ජනාධිපති වීම තරම්ම විපරිත සිද්ධියකි. මාක්ස් හෝ ලෙනින් වැනි අයෙක් සමාජවාදය යැයි පරිකල්පනය කලේ ධනවාදයට වඩා උසස් සමාජ සම්බන්ධතා සහිත සමාජයකි. එවැනි සමාජයක් සහ උතුරු කොරියාව වැනි රටවල බිහිවී තිබෙන විකාරය අතර කිසිදු සමානකමක් නැත.

තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය - ස්ටාලින් මෙය 1943 දී විසුරුවා හරී
ස්ටාලින්වාදී ආභාසය ලැබූ ලංකාවේ වාමාංශය තුල ජාත්‍යන්තරවාදය යන වචනය හුදු සැරසිල්ලක් වූවා විනා එය වාමාංශයේ ව්‍යවහාරය තුල දක්නට නොවීය. මේ පිලිබද කදිම උදාහරනයක් මෙම ලියුම්කරුගේ මනසට නැගේ. ජනතා විමුක්ති පෙරමුන 2011 දී දෙකඩ වූ අවස්ථාවේදී ජවිපෙ හිතවතෙක් ජවිපෙ ජාත්‍යන්තරවාදය අත් නොහල පක්ෂයක් යැයි සනාථ කිරීම සදහා ඡායාරූපයක් මුහුනු පොතේ පල කර තිබුනි. එහි දැක්වූයේ විජිත හේරත් මහතා චීන තානාපති සමග අතට අත දෙන අවස්ථාවකි. එක්සත් ජනපදය සමග හරි හරියට ලෝක ගෝලය බෙදා ගැනීම සදහා ගැටෙමින් සිටින චීනයේ තානාපති සමග අතට අත දීමය මේ අනුව පාක්ෂික මනස තුල 'ජාත්‍යන්තරවාදය' ලෙස අර්ථ ගැන්වී තිබෙන්නේ! මෙය හුදු ජවිපෙ ප්‍රශ්නයක් නොවේ. මේ සමාජවාදය හා ජාත්‍යන්තරවාදය ගැන ස්ටාලින්වාදය අපගේ වාමාංශය වෙත ඉතිරි කර දී තිබෙන උරුමයයි.

ජාත්‍යන්තරවාදය සහ ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්වීම යනු දෙකකි. පක්ෂ සම්මේලනයකට විදෙස් නියෝජිතයින් කීප දෙනෙක් ආරාධිතයින් ලෙස සහභාගී වූ පමනින් පක්ෂයක දැක්ම ජාත්‍යන්තරවාදී වන්නේ නැත. ලෝකයේ වෙනත් රටවල් පසෙක තිබියදී අසල්වාසී ඉන්දියාවේ මේ වනවිට මාඕවාදී සටන් කරුවන් විසින් දියත් කර තිබෙන සිවිල් යුද්ධයක් ඇවිලී යමින් ඇත. ලෝකයේ වෙනත් රටවල වැඩ කරන ජනයාගේ විවිධ අරගල දියත් වෙමින් ඇත. ලංකාවේ වාමාංශයට මේවා කෙතරම් 'වැදගත්' සිදුවීම් වීද යන්න ප්‍රශ්න කල යුත්තකි. ස්ටාලින්වාදයේ උරුමයක් වන ජාතිකවාදී චින්තන සිතිජය ඉක්මවූ ගෝලීය සිතීමක් අත්කරගන්නා තුරු වාමාංශයට සිදුවන්නේ මහින්දගෙන් රාජ උරුමය ලබා ගන්නා නාමල් බබාට බනින ගමන් කිම් ජොං අන් ගේ 'සමාජවාදී පාලනය' වර්නනා කරමින් ඊට විප්ලවීය සුභාශිංසන පුද කිරීමේ අභාග්‍යසම්පන්න විරුද්ධාභාසය තුල සිරවී සිටීමටය.




Friday, March 14, 2014

පද්මසිරි ත්‍රිමාවිතාන වෙනුවට ඩෙං ෂියා ඕ පෙං

මේ  'සමාජවාදී චීනයේ ' චීන ලක්ෂනයයි
නතා විමුක්ති පෙරමුනු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති දිනපතා පුවත්පතක් සමග කල සංවාදයක සටහන ලංකා‍ටෲත් වෙබ් අඩවියේ පසුගියදා පල කොට තිබුනි. පෞද්ගලික සෞඛ්‍ය සේවාවලට අවසර දීම ගැන ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් වීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කරන අතර රජයේ නියාමනයට යටත්ව පෞද්ගලික සෞඛ්‍යය සේවා තිබීමේ වරදක් නැතැයි මන්ත්‍රීවරයා පිලිතුරු දෙයි. පෞද්ගලික සෞඛ්‍ය සේවා හොදයි නම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නරක් වෙන්න විදිහක් නෑ නේදැයි ඉක්බිති මාධ්‍යවේදියා විමසයි. හදුන්නෙත්තිගේ පිලිතුර මෙසේය. " සෞඛ්‍ය පහසුකම් සැපයීම රජයේ වියදමින් කල යුතුයි. අධ්‍යාපනයත් එහෙමයි. හැබැයි ඉන් පිටස්තරව පෞද්ගලිකව එය කරගැනීමේ හැකියාව ඇති යමෙක් ඉන්නවා නම් ඔවුන්ගේ නිදහසට බාධා කිරීමේ අයිතියක් අපට නෑ"

අපි දැන් මොහොතකට සුනිල් හදුන්නෙත්තිගේ තැනට උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක ආදේශ
පද්මසිරි ත්‍රිමාවිතාන - 80 දශකයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටනේ
 සංකේතයකි. එවකට රජය විසින් තිරශ්චීනව මරා දමන ලදී. 
කරමු. ඔහු කියන දේත් හදුන්නෙත්ති කියන දේත් අතර එතරම් වෙනසක් නැත. රාජ්‍ය අධ්‍යාපනය පවත්වා ගෙන යාම සහ ඊට සමගාමීව පෞද්ගලික අධ්‍යාපනයට අවසර දීම. එම පෞද්ගලික අධ්‍යාපනය නියාමනයට යටත් කිරීම. රජයේ පිලිවෙත සහ ජවිපෙ පිලිවෙත වෙනස් වන්නේ කොතැනදීද?

හදුන්නෙත්ති මන්ත්‍රීවරයා අදාල සම්මුඛ සාකච්ඡාවේ චීනය සමාජවාදී රාජ්‍යයක් ලෙස හදුන්වා දෙයි. චීන ආන්ඩුව සිය අර්ථ ක්‍රමය හදුන්වන නිල නම " චීන ලක්ෂන සහිත සමාජවාදය" යන්නයි. චීන ලක්ෂන සහිත සමාජවාදයේ ඇති "චීන ලක්ෂනය" නම් එය එහෙම් පිටින්ම ධනවාදී ආර්ථික පිලිවෙතක් වීමයි. රාජ්‍යයේ මැදිහත්වීම සහිත උග්‍ර ධනේශ්වර ආර්ථිකයක් චීනයේ මේ මොහොතේ පවතී. ඩෙංග් ෂියා ඕ පෙන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරන වලින් පසු නව ධනපති පංතියක් චීනය තුල බිහිවී සිටී. කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑ‍මේ සිට ධනවාදී සමාජයක දක්නට ලැබෙන සියලු ලක්ෂන චීනයේ පවතින අතර චීන ආර්ථික පිලිවෙතත් සමාජ සමානත්මතාවය සහ වැඩකරන ජනතාවගේ දේශපාලන ආධිපත්‍යය යෝජනා කරන මාක්සියානු සමාජවාදයත් අතර මොනම සම්බන්ධයක්වත් නැත. බටහිර ලෝකයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික රාමුව වෙනුවට කොමියුනිස්ට් පක්ෂය විසින් නඩත්තු කරන දරදඩු දේශපාලන රාමුවක් විසින් චීන ධනවාදය සදහා ආරක්ෂාව සපයනු ලැබේ. එය චීන ලක්ෂන සහිත සමාජවාදයක් නොව චීන ලක්ෂන සහිත ධනවාදයකි.

ලංකා වානිජ මන්ඩලය සමග අනුර දිසානායක
චීනය 'සමාජවාදය' යන වචනය නඩත්තු කරන්නේ එරට වැඩකරන ජනතාව ඇතුලු පීඩිත කොටස් වල සහයෝගය පාලන තන්ත්‍රය වෙත රදවා ගැනීම සදහාය. ජවිපෙ මනා ලෙස චීන ආභාෂය උකහාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. පලාත් සභා මැතිවරනය සහ ඉදිරියට ඒමට නියමිත මැතිවරන වලදී ජවිපෙ ඉලක්කයක් වී ඇත්තේ නාගරික මැද පංතියේ සහයෝගය තමා වෙත දිනා ගැනීමයි. මෙම නාගරික මැද පංතිය සංඛ්‍යාත්මකව සාපේක්ෂව කුඩා වුවද මතවාදී තලයේදී මෙහි බලපෑම සැලකිය යුතු තරමින් විශාලය. උදාහරනයක් ලෙස ලංකාවේ ටෙලිවිෂන් අවකාශය සැලකිය යුතු ප්‍රමානයකින් භ්‍රමනය වන්නේ මෙම මැද පංතියේ වටිනාකම්, ඇබ්බැහිකම් හා රුචි අරුචිකම් වටාය. ජවිපෙ විසින් පසුගිය කාලයක් පුරා පවත්වා ගෙන ආ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය වැනි දේවල් මෙම මැද පංතියේ රුචි අරුචිකම් සමග පෑහෙන්නේ නැත. පද්මසිරි ත්‍රිමාවිතාන නියෝජනය කල උරුමය සහ ජවිපෙ මැද පංතික ඡන්ද ඉලක්කය අතර පරස්පරය පැන නගින්නේ මෙතැනදීය.

මෙහිදී කිසිදු දෙගිඩියාවකින් තොරව සිය මුල් පිලිවෙත අත් හැරීමට ජවිපෙ පසුබට නොවේ. සිංහල ජාතිය ගැන ජනප්‍රිය අදහස සමග සන්ධානගත වීමේදී 2000-2009 කාලය තුල ජවිපෙ පෙන්නුම් කලේ මේ ප්‍රවේශයමය. එනම් මැතිවරන ඉලක්ක උඩ මුල් ප්‍රතිපත්ති අත් හැරීමයි.

අධ්‍යාපන පෞද්ගලිකකරනය පිලිබද විවාදය පදනම් වන්නේ හුදෙක් තැනෙක දෙකක පුද්ගලික සරසවියක් දෙකක් ඇරීම පිලිබද ප්‍රශ්නයක් මත නොව අධ්‍යාපනය වෙලද භාන්ඩයක්ද?සමාජ අයිතියක්ද? යන මූලධාර්මික ප්‍රශ්නය මතය. අධ්‍යාපනය වෙලද භාන්ඩයක් ලෙස පිලිගැනීම සියලු දේ වෙලදභාන්ඩකරනය කරමින් සිටින නව ලිබරල් ධනවාදයේ තර්කනයට යටත් වීමකි. එය සමාජ අයිතියක් ලෙස සලකා ඒ සදහා දේශපාලනය කිරීම එම තර්කනය සමග අභිමුඛ වීමකි.ජවිපෙ නව ලිබරල් ධනවාදයේ තර්කනයට යටත් වීම සංකේතාත්මක ලෙස පෙන්නුම් කරන ලස්සන උදාහරනයක් වූයේ පසුගිය දිනෙක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔවුන් ලංකා වානිජ මන්ඩලය වෙත පිලිගැන්වීමේ සිදුවීමයි. ලංකාවේ වෙලද ධනපතීන්ගේ සංගමය සමග සිනාමුසුව අතට අත හුවමාරු කරගන්නා 'සමාජවාදය' කවර වර්ගයේ සමාජවාදයක් වනු ඇද්ද? ජවිපෙ 'නවීන සමාජවාදී' තේමාවේ 'නවීන' කොටස තමා අධිපති දේශපාලන ප්‍රවාහය සමග සම්මුතිගත වනු මිස එය ඉක්මවා යාමට සූදානම් නොවන බව හගවන සලකුනකි. 'සමාජවාදය' කොටස දියුනු න්‍යායික අදහසකින් නොවූවත් තමා සමග භක්තියෙන් රැදී සිටින සමාජවාදය නමැති වචනයට ආදරය කරන බැතිමත් සාමාජිකයින් සනසාලීම සදහා වන මස් කට්ටකි. මෙම මස්කටු දේශපාලනය සමීප වෙනුර-ත්‍රිමා ගිය පාරට නොව ඩෙං ෂියා ඕ පෙන් ගිය පාරටය.




Wednesday, March 5, 2014

අන්නා ගම්මන්පිල සහ උදය හසාරේ


වංචා - දූෂන විරෝධය මේ වනවිට ලංකාවේ දේශපාලනය තුල ඉහල ඉල්ලුමක් සහිත සටන් පාඨයක් බවට පත්වී තිබෙන ආකාරය දැකගත හැක. මෙම තනුවට අනුව තම තමන්ගේ මැතිවරන ගීතය ගායනා කිරීමට විවිධ පක්ෂ වල දේශපාලකයෝ වෑයම් කරති. උදය ගම්මන්පිල බස්නාහිර පලාත් සභා ඡන්දයට අදාල සිය මැතිවරන ව්‍යාපාරය පටන් ගන්නේම තමා පිරිසිදු දේශපාලකයෙක් බව හැගවීමට තැත් කරමිනි. ජනතා විමුක්ති පෙරමුනේ මෑතකාලීන ප්‍රසිද්ධ ප්‍රකාශ බලන විට මහින්ද රාජපක්ෂගේ දූෂන හා වංචා ඔවුන්ගේ ප්‍රකට තේමාවක් බවට පත්වී තිබේ. මෙම ප්‍රවනතාව සිත්ගන්නා සුලු ආකාරයකින් නියෝජනය කරන්නේ සරත් ෆොන්සේකාගේ පක්ෂයයි. 2010 ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ අවස්ථාවේ රටේ සියලු වංචා දූෂන නැති කොට එම මුදල් වලින් රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහස දක්වා නැංවීමට හේ ප්‍රතිඥා දුන්නේය. ආන්ඩුවේ දූෂනයට එරෙහි යහපාලනය මෙවර පලාත් සභා ඡන්දයේදීද ඔහු විසින් මතු කරන ප්‍රසිද්ධ මාතෘකාවයි.

වංචා දූෂන වලින් තොර "පිරිසිදු දේශපාලනය" පිලිබද මෙම ඉල්ලීම හුදෙක් ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. තුන්වන ලෝකයේ බොහෝ රටවල මෙය දේශපාලන ඉල්ලීමක්‍ ලෙස තිබෙන අතර පසුගිය දා ඉන්දීය ප්‍රාන්ත මැතිවරනයේදී දිල්ලියේ බලය ලබාගත් අලුත් පක්ෂයක් වන ආම් ආද්මි පක්ෂයේ නැගීම විසින් සහ අන්නා හසාරේ විසින් දියත් කල දූෂන විරෝධී උපවාසය මගින් ද ප්‍රකට වනුයේ මෙම ප්‍රවනතාවයයි.මෙම තේමාවේ ඉලක්කය බොහෝ විට මධ්‍යම පංතික නාගරික කොටස්ය. විවෘත ආර්ථිකයෙන් පසු ලංකාවේ වෘත්තීය, ව්‍යාපාරික, කලමනාකරන ආදී ශ්‍රේනීන් නියෝජනය කරන නව මැද පංතියක් නාගරිකව ප්‍රසාරනය වී ඇත. නව ලිබරල් ධනවාදයේ නිමැවුමක් ලෙස සැලකිය හැකි මෙම සමාජ තට්ටුව ඔවුන් ජීවත් වන සමාජය 'නරක එකක්' වී ඇත්තේ දේශපාලකයින්ගේ වැරදි වැඩ හා දූෂන නිසා යැයි කල්පනා කරයි. පිරිසිදු දේශපාලකයෙක් ලෙස රෙදි පොරවා ගැනීම මෙම සමාජ තට්ටුවේ සහය ආකර්ෂනය කරගැනීමෙහිලා ඇති පහසු මාර්ගයකි.

ඒ ඒ සිදුවීමට මතුපිටින් ප්‍රතිචාර දක්වන මෙම සරල දූෂන විරෝධී දේශපාලනය කෙසේවුවද එනයින්ම වංචාකාරීය. අප ජීවත් වන ධනවාදී සමාජයේ ලක්ෂනය වන්නේ වෙලදපොලකරනයයි. ජීවිත‍යේ සෑම අංශයක්ම වෙලදපොලට සම්බන්ධ කිරීම එමගින් සිදු කෙරේ. ආහාර පාන වල සිට බේත් ගැනීම, ඉගෙන ගැනීම දක්වා සියලු අවශ්‍යතා මේ අනුව වෙලදපොල සමග සම්බන්ධ කෙරෙන අතර මේවාට මිලක් නියම කරනු ලබයි. මෙම වෙලදපොලකරනයේ ප්‍රතිඵලය වන්නේ වෙලදපොල විසින් ඉල්ලන මේ 'මිල' ගෙවීම සදහා වැඩි වැඩියෙන් ඉපැයීමට සිදුවීමයි. සරල උදාහරනයක් ලෙස සෞඛ්‍ය සේවය ගන්නේ නම් සෞඛ්‍යය යනු අයිතියක් නොව වෙලද භාන්ඩයක් ලෙස සැලකෙන සමාජයක හොද සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට නම් වැඩිපුර ගෙවිය යුතුය. වැඩි පුර ගෙවීමට වැඩිපුර ඉපැයිය යුතුය. දැන් ප්‍රශ්නය වන්නේ මෙයයි. සාමාන්‍ය වැටුප් ශ්‍රමිකයෙක් වැඩි පුර ඉපයිය යුත්තේ කෙසේද? එක්කෝ ඔහු දැන් වැඩ කරන ප්‍රමානය දෙගුන කල යුතුය. සිය විවේකය කැප කරමින් තව තවත් වැඩ කල යුතුය. නැතිනම් වැඩකරනවාට විකල්පව පවතින වෙනත් ක්ෂනික මාර්ගයක් ගැන අවධානය යොමු කල යුතුය. මෙම විකල්ප මාර්ග ලොතරැයි මිලදී ගැනීමේ සිට අපරාධ, වංචා හා විෂමාචාර වල නියැලීම දක්වා පුලුල් පරාසයක් ගනී.

තත්වය වඩා දරුනු වන්නේ ධනවාදී සමාජයේ පාරිභෝගික භාන්ඩ වලට ඉන්ද්‍රජාලික වටිනාකමක් හිමි වී තිබීම මතයි. වෙලදපොල විසින්  ජීවිතයේ වටිනාකම පාරිභෝගික භාන්ඩ ගොඩගසා ගැනීම තුල අර්ථවත් කොට තිබේ. මේ නිසා ධනවාදී මිනිසා හැකිතාක් පාරිභෝගික භාන්ඩ අත්පත් කරගැනීමේ නොනවතින උමතු තරගයකට ඇද දමනු ලැබූවෙකි. බ්‍රිතාන්‍ය නව ලිබරල්වාදයේ මාතාව වූ මාග්‍රට් තැචර් වරෙක සදහන් කලේ 'සමාජයක් කියා දෙයක් නැති බවයි". මේ පුද්ගලවාදය තමා ගැන පමනක් සිතීම සමාජ සාරධර්මයක් බවට පත් කොට ඇත. ලෝකයට විවෘත වූ පුලුල් සාමාජීය මිනිසෙක් වෙනුවට පාරිභෝගික භාන්ඩ සමග සංසර්ගයේ යෙදීම ජීවිතයේ පරම නිෂ්ඨාව කරගත් කේවල මිනිසෙක් නිර්මානය කර ඇත.


සිය නිෂ්ඨාව සාක්ෂාත් කරගැනීම සදහා සමාජ විරෝධී ලෙස හැසිරීම සදහා මිනිසුන් පොලඹවන 'හේතුව' අපට සොයාගත හැක්කේ ඉහත සියලු කරුනු වල එකතුවක් තුලය. දූෂනය සදහා මිනිසුන් පොලඹවන්නේ අප ජීවත් වන සමාජයේ සමාජ ආර්ථික පදනම හා ඒ සමග බැදී ඇති සමාජ ආකල්ප විසිනි. ධනවාදය නෛසර්ගිකවම මිනිසා දූෂනයට හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් වලට පොලඹවනු ලබයි. උදය ගම්මන්පිල, අනුර දිසානායක, සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා යනාදී මැද පංතික ඡන්ද වලට කෙල හලන දේශපාලන ව්‍යාපාරිකයෝ ප්‍රශ්නයේ මෙන්න මේ මූලය සාකච්ඡාවට ගන්නේ නැත. ප්‍රශ්නය එහි සමාජ ආර්ථික මූලයෙන් වෙන්කොට වියුක්තව සාකච්ඡා කිරීම නාගරික මැද පංතියේ 'හිත නොරිදවා'  ( ඔවුන් මෙම දූෂිත සමාජය තුල භුක්ති විදිමින් සිටින ආතල් එක නොකඩා)  ඔවුන්ගේ ඡන්ද කඩාගැනීමෙහිලා ඇති පහසු මාර්ගය වන්නේය. එහෙත් සැබෑ දේශපාලනය වූ කලී 'පහසු' දෙය නොව 'නිවැරදි' දෙය කිරීමයි. නිවැරදි දෙය කිරීම සදහා මුලින්ම ප්‍රශ්නය නිවැරදිව මතු කර සිටිය යුතුය.