Monday, May 12, 2014

වැදගත් නලින් ද සිල්වා සහ මදාවිකාර ඥානසාර

මෑතකාලීන ලංකා දේශපාලනයේ කැපී පෙනුනු උද්ගතයක් වන්නේ බොදු බල සේනා හා රාවනා බලය පන්නෙයේ සංවිධානවල පැන නැගීමය. මේ සංවිධාන වල සාමාජිකයින් විසින් සිදු කරන විගඩමක් පිලිබද පුවතකින් තොර ප්‍රවෘත්ති විකාශයක් මෑතකාලීනව දැක ගැනීමට නොහැකි වූ තරම්ය. පසුගිය දිනෙක වටරැක විජිත නමැති භික්ෂුවක් විසින් කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් කඩාකප්පල් කිරීමට මැදිහත් වූ බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව එතැන සිටි ඉස්ලාම් ජාතික පූජකවරුන්ට අශ්ලිල ලෙස බැන වැදුනු අතර හෙතෙම ප්‍රසිද්ධ වේදිකාවල මුස්ලිම් ජාතිකයින් 'පරයින්' ලෙස හෙලා දුටුවේය. සුලු ජාතීන්ට එරෙහිව වෛරීසහගත ප්‍රකාශ කරමින් මෙම සංවිධාන වල සාමාජිකයෝ කිසිදු බාධාවකින් තොරව මහජාතියේ ඉතාම ප්‍රාථමික ආවේගයන්ට ආමන්ත්‍රනය කරමින් සිටිති. මෙලෙස සුලු ජාතීන්ට විරුද්ධව මහජාතියේ ප්‍රාථමික ආවේශයන් කුලප්පු කිරීම මගින් මොවුන් සිදු කරන්නේ ජනවාර්ගික - ආගමික පසමිතුරුතාවය දේශපාලනයේ තීරක පසමිතුරුතාවය ලෙස පවත්වා ගෙන යාමට ආධාර කිරීමයි.

මේ හැසිරීමට සමගාමීව දක්නට ලැබෙන තවත් සිත් ගන්නා සුලු නිරීක්ෂනයක් තිබේ. ලංකාවේ සිංහල බෞද්ධ අයිතිය වැනි අදහස් බෙදාහදා ගන්නා  ඇතැම් සිංහල ජාතිකවාදීන් තමාව බොදු බල සේනා ජාතිකවාදයෙන් වෙන් කොට නිර්වචනය කරගැනීමට උත්සාහ කිරීම ඒ නිරීක්ෂනයයි . මෙසේ තමාව වෙනස් ලෙස නිර්වචනය කරගන්නා සිංහල ජාතිකවාදී අදහස් දරන අය කියන්නේ බොදු බල සේනා සංවිධානය මතු කරන ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න වුවත් ඔවුන් හැසිරෙන ප්‍රචන්ඩ ආකාරය අනුමත කල නොහැකි බවයි. එනම් වඩා 'වැදගත්' ලෙස මේ ප්‍රශ්න බේරා ගත යුතු බවයි. ඒ අදහස ප්‍රකාරව ප්‍රශ්නය තිබෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර විසින් මතු කරන අදහස් වල නොව ඔහු එම අදහස් මතු කරන ශෛලියේය.

මේ අනුව දැන් සිංහල ජාතිවාදයේ ප්‍රකාශන දෙකක් 
ඇත. එකක් 'වැදගත්' ජාතිවාදයයි. එහි උප ප්‍රවනතා දෙකකි. එක් ප්‍රවනතාවයක් නියෝජනය කරන්නේ කොන්ටම් භෞතික විද්‍යාව සහ පෝල් ෆයරාබන්ඩ් ගැන කථා කරන නලින් ද සිල්වා සහ එරික් ෆ්‍රොම් හා සැමුවෙල් පී හන්ටින්ටන් ගැන කථා කරන ගුනදාස අමරසේකර වැන්නවුන්ය. එය බුද්ධිමය ජාතිවාදය යැයි කිව හැක. අනිත් ප්‍රවනතාවය චම්පික රනවක, විමල් වීරවංශ වැනි ප්‍රයෝජ්‍යතාවාදීන් විසින් නියෝජනය කරන අතර එය ප්‍රායෝගික ජාතිවාදය යැයි නම් කල හැක. 'වැදගත්' සිංහල ජාතිකවාදීන්ට මේ කදවුර සමග අනන්‍ය වීමේ ගැටලුවක් නැත. සිංහල ජාතිවාදයේ අනිත් ප්‍රකාශනය ඥානසාර විසින් නියෝජනය කරන මදාවිකාර ජාතිවාදයයි. ලංකාව සිංහල බෞද්ධ රටක් බව එකහෙලා ප්‍රකාශ කරන බො‍‍හෝ මධ්‍යම පංතික සිංහල බොදුනුවන්ට මේ මදාවිකාර ජාතිවාදය සමග අනන්‍ය වීමේ තරමක අපහසුවක් තිබේ. ප්‍රශ්නය 'වැදගත්' විදිහට බේරා ගත යුතු යැයි ඔවුන් කියන්නේ මේ නිසාය.

සිංහල මහජාතිවාදයේ මේ සියලු ප්‍රවනතා බෙදා ගන්නා පොදු සංකල්පනය කුමක්ද? සිංහල ජාතියේ සතුට පැහැර ගන්නා බාහිර දුෂ්ට ඒජන්තයෙක් සංකල්පනය කිරීම මේ සියල්ලන් විසින් සිදු කරනු ලබයි. මේ බාහිර සතුරා බටහිරයා, දෙමලා, මුසල්මානුවා, මාක්ස්වාදියා, එන්ජීඕ කාරයා හෝ එවැනි ඕනෑම කෙනෙක් විය හැක. මොවුන්ගේ සම්පූර්න කතිකාවත රැදී තිබෙන්නේ මෙබදු බාහිර සතුරෙක් පිලිබද සංකල්පනය නඩත්තු කිරීම මතය. මේ සංකල්පනය පවතින සමාජ රටාව තුල පීඩාවට හා අතෘප්තියට පත් වී සිටින සමාජ කොටස් සාර්ථකව ආමන්ත්‍රනය කිරීමේ හැකියාවෙන් යුක්තය.

සිංහල සමාජයේ පරිපූර්නත්වයට බාධා කරන බාහිර සතුරෙක්ගේ තර්ජනය පිලිබද මේ සංකල්පනය සමාජය තුල ප්‍රචලිත කලෝ කවරහුද? නලින් ද සිල්වා වැනි න්‍යායික ජාතිවාදීන් මෙන්ම චම්පික රනවක වැනි ප්‍රායෝගික ජාතිවාදීන් ඉතිහාසය පුරා සිදුකරන ලද්දේ එම කටයුත්තය. සුලු ජාතීන් යනු සිංහලයාගේ උරුමය පැහැර ගැනීමට කුමන්ත්‍රනය කරමින් සිටින ජන කොට්ටාශයක් ලෙස මතවාදීව පින්තාරු කරන ලද්දේ ඔවුහුය. මේ පින්තාරු කිරීම සදහා විවිධ න්‍යායික සහ දේශපාලනික උපමාරු ඔවුහු යොදාගත්හ.

සුලු ජාතීන් ගැන මෙලෙස ගොඩනගන න්‍යාය සහ මතවාදය ප්‍රායෝගිකකරනය කල හැක්කේ කෙසේද? මෙම මතවාදය භෞතිකයක් බවට පත් වන පලමු මොහොතේම ප්‍රචන්ඩත්වය සහ හිංසනය උපදී. දෙමලා නමැති සතුරා පරාජය කිරීම ගැන නලින් ද සිල්වා හා චම්පික රනවක වැන්නන් ගොඩනංවන ලද න්‍යායික හා මතවාදීමය සංකල්පනය යථාර්ථයක් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා හා ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඒ දමිල මල මිනී දස් ගනනක් මතිනි. ඥානාසාර භික්ෂුව කථා කරන විලාස අශෝභන යැයි කියන සිංහල බෞද්ධ මැද පංතික වැදගතුන් යුද්ධ සමයේ නිරායුධ දෙමල හිස් මත අඛන්ඩව බෝම්බ අත් හැරෙද්දී එය අ‍ශෝභන යැයි නොසිතුවේ මන්ද? දෙමල ජනයා සංහාරය කිරීම ඔවුන්ට ශෝභමාන දෙයක් වූවාද? සිවිල් යුද්ධය තුල දී මහින්ද - සරත් - ගෝඨාභය ත්‍රිත්වය විසින් මහා පරිමානයෙන් ක්‍රියාවට නංවන ලද්දේ ඥානසාරගේ මදාවිකාර ජාතිවාදයේම වඩා පද්ධතිගත ආකාරයක් නොවේද? මුස්ලිම්වරුන්ට එරෙහිව ඥානාසාර අද භාවිතයට නංවා තිබෙන හිංසාකාරී භෞතික ක්‍රියාකාරීත්වය වෙන් කල නොහැකි ලෙස සුලු ජාතීන් සතුරන් හා සිංහල උරුමය අපිරිසිදු කිරීමට පැමින සිටින කුමන්ත්‍රනකාරී කැරපොත්තන් ලෙස දකින්නට සමාජය පුරුදු කල 'වැදගත්' ජාතිවාදයේ න්‍යායික හා දේශපාලනික ක්‍රියාකාරීත්වය සමග බැදී තිබේ. ඥානසාරගේ වේශයෙන් එන්නේ නලින් ලා හා චම්පික ලා වගා දිගා කල බීජවල අස්වැන්නය. ඥානසාර යනු නලින්ලාගේ හා චම්පික රනවකලාගේ ජීව විද්‍යාත්මක දරුවාය.

වැදගත් ජාතිවාදය සහ මදාවිකාර ජාතිවාදය අතර බෙදීමක් ඇති කිරීමට දැරෙන වෑයම අතාර්කික එකක් වන්නේ මේ නිසාය. අපට අනුව 'වැදගත්' ජාතිවාදයක් කියා දෙයක් ඇත්ත වශයෙන්ම තිබිය නොහැක. මන්ද ජාතිවාදය එනයින්ම ගත් කල්හි මදාවිකාර සන්තතියක් වන හෙයිනි.