Friday, August 22, 2014

ගෝඨාභය හැරෙන්නේ කවර පොල් පැලය දෙසටද? ( උප මාතෘකාව - විද්‍යුත් හැදුනුම්පත )

මරිකානු එක්සත් ජනපදයේ  Center for Complex Operations නමැති ආයතනය විසින් PRISM යන හිසින් වාර සගරාවක් පල කරනු ලබයි. ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම සගරාවේ හතර වැනි වෙලුමේ සිවුවන කලාපයට ‘ලංකාවේ ජාතික ආරක්ෂාව’ යන නමින් ලිපියක් ලියා ඇත. රාජපක්ෂ රෙජිමයේ මර්ධන තන්ත්‍රයේ නියමුවා වන ගෝඨාභයගේ මේ ලිපිය අනාගත ලංකාව සංවිධානය කිරීමට රෙජිමය සැලැසුම් කොට තිබෙන ආකාරය ගැන වැදගත් සංඥාවක් නිකුත් කරයි.

ගෝඨාභයට අනුව එල්ටීටීඊ සංවිධානය සමූලඝාතනය කලත් ලංකාවේ ජාතික ආරක්ෂාව සදහා තිබෙන තර්ජනයන් අවසන් වී නැත. මේ ‘නව’ තර්ජනයන් ලෙස ඔහු හදුනාගන්නේ මොනවාද? එල්ටීටීඊය නැවත නැගිටීමට තිබෙන සම්භාවිතාවය, වෙනත් අන්තවාදී සංවිධාන වල පැනනැගීම්, ජාතිවාදී ප්‍රචන්ඩත්වය,සංවිධානාත්මක අපරාධ,  විදේශ අතපෙවීම්, නාවික හා මුහුදු සීමාවන්ට සිදුවිය හැකි බලපෑම් සහ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි මගින් ඇති කල හැකි ‘තර්ජනයන්’ මෙකී නව අභියෝග ලෙස හෙතෙම හදුනාගනී. ‘වෙනත් අන්තවාදී සංවිධාන’ යටතට ඔහු ඇතුලත් කරන සංවිධාන වර්ග දෙකකි. එකක් ගෝලීය ඉස්ලාමීය සටන්කාමී සංවිධාන සමග ගනුදෙනු කරන ස්වදේශික ඉස්ලාමීය සංවිධාන වල පැනනැගීමයි. දෙවැන්න ඔහුට අනුව ‘ පැරනි කැරලි වලට සම්බන්ධකම් තිබෙන’ අන්තවාදී වාමාංශික කන්ඩායම් වල වර්ධනයයි. මෙම රැඩිකල් වාමාංශික කොටස් විශ්ව විද්‍යාල සිසුන් කුපිත කරමින් දැනටමත් විරෝධතා මෙහෙයවන බවත්, ඔවුන් එල්ටීටීඊයේ ශේෂ වූ කොටස් සමග සබදතා පවත්වන බවත් ලියන ගෝඨාභය නුදුරේදීම එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව කියා සිටී. විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා සදහා මෙහෙයවන රැඩිකල් වාමාංශයක් ගැන ලියද්දී ඔහු කල්පනා කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන බවට සැකයක් තිබිය නොහැක.

‘ජාතික ආරක්ෂාවට’ එල්ල වනවා යැයි කියන මේ නව අභියෝග සම්බන්ධයෙන් මේ  දක්ෂිනාංශික නිලධාරියා ඉදිරිපත් කරන විසදුම කුමක්ද? ඊට ඇති විසදුම බුද්ධි අංශ ( රජයේ චරපුරුෂ ජාලාව) තව තවත් ව්‍යාප්ත කිරීම බව ඔහු ලියයි. ඉදිරියේදී හදුන්වා දීමට නියමිත ඊනියා විද්‍යුත් හැදුනුම්පත මේ ක්‍රියාමාර්ගයේ අංගයක් බව ඔහු කියා සිටී. මේ විද්‍යුත් හැදුනුම්පත පුද්ගලයින්ගේ ජීව දත්තමය තොරතුරු පවා ලියාපදිංචි කරනු ලබන අතර ඒ ඒ පුරවැසියන් ගැන අංග සම්පූර්න දත්ත ගබඩාවක් නඩත්තු කිරීමට ඒ හරහා රජයට අවකාශය හිමිවේ.

මකුලුවා වියමින් සිටින දැල පැහැදිලිය. ලංකාව ‘ජාතික ආරක්ෂක රාජ්‍යයක්’ ( National Security State) ලෙස සිය හැඩය සම්පූර්න කරගනිමින් සිටී. ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන් 1947 දී සම්මත කරගත් ජාතික ආරක්ෂක පනතින් ඉක්බිති ඉදි වූ නව රාජ්‍ය ප්‍රතිපදාව ‘ජාතික ආරක්ෂක රාජ්‍යය’ ලෙස හැදින්වෙන අතර සීඅයිඒ සංවිධානය ඇතුලු ආරක්ෂක බල ධූරාවලිය මේ ප්‍රතිපදාව තුල කේන්ද්‍රීය භූමිකාවක් ඉසිලීය. අභ්‍යන්තර හා බාහිර සතුරන්ගෙන් ඇමරිකානු ජනතාව ‘ආරක්ෂා කරගැනීමට’ යැයි කියා මේ ආරක්ෂක බල ධූරාවලිය වෙත අතිමහත් බලතල පවරන ලදී. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ මේ ප්‍රවනතාවය වඩා තීව්‍ර විය. මහජනයාගේ ඉතාම සියුම් දෛනික කටයුතු පවා රාජ්‍යයට නිරීක්ෂනය කිරීමට හැකි වන ආකාරයේ බහුජන අවේක්ෂන (Mass surveillance) පද්ධතියක් එක්සත් ජනපද රජය විසින් පවත්වා ගෙන යන බවට මෑතකදී එඩ්වර්ඩ් ස්නෝව්ඩන් කල හෙලිදරවුව එම ප්‍රවනතාව කෙතරම් තීව්‍ර වී තිබේද යන්න විදහා දක්වයි. ජෝර්ජ් ඕවල් බිග් බ්‍රදර් සෑම දෙයක් දිහාම බලාගෙන ඉන්නා කල්පිත ඕෂීනියා රාජ්‍යය ගැන 1984 නවකථාව ලීවේ ස්ටාලින්වාදය යටතේ රුසියාවේ ගොඩනැගී තිබූ පොලිස්කාර රාජ්‍යය විවේචනය කරනු සදහාය. සීතල යුද්ධ සමයේ ලිබරල් මතධාරීන් රුසියාවට එරෙහිව බහුල ලෙස එම කෘතිය ලෙලවූහ. උත්ප්‍රාසාත්මකව ඕවල්ගේ විවේචනය අද කවරදාටත් වඩා ගැලපෙන්නේ ලිබරල්වාදී ඇමරිකාවටය!

රාජපක්ෂ රෙජිමය ජාතික ආරක්ෂාවට විවිධ තර්ජන තිබෙනවා යැයි කියමින් අධිකතර ලෙස මිලිටරිකරනය වූත් මිනිසුන්ගේ ජීවිත දෙස ඇස ගසාගෙන සිටීමේ බලතල තමා වෙත පවරා ගත්තා වූත් රාජ්‍ය ව්‍යුහයක් ගොඩනගන්නට උත්සාහ කරන්නේ ඇමරිකාව අනුගමනය කරමිනි. රෙජිමයේ කල්පනාව මොන තරම් වියරු එකක්ද යන්න පෙනී යන්නේ සමාජ ජාල වෙබ් අඩවි පවා ‘ජාතික ආරක්ෂාවට’ තර්ජනයක් ලෙස එය පුරෝකථනය කිරීම තුලයි. මේ දෘෂ්ටිය අනුව සමාජයේ පුරවැසියන් යනු චෙස් පෙතක් මත ඉන්නා ඉත්තන්ය. ඔවුන් සිටිය යුත්තේ මොන කොටුවේද යන්න තීරනය කරන්නේ රාජ්‍යය විසින්ය. ඔවුන් කරන්නේ මොනවාද කියා ඔවුන්ට පිටුපසින් සිට රාජ්‍යය තර්ජනාත්මකව බලා සිටී. නාමිකව ඔවුන් ‘නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී’ සමාජයක පුරවැසියන්ය. හැබැයි ඒ නිදහස භුක්ති විදීමට හැක්කේ රාජ්‍යය විසින් ඇද දී තිබෙන කොටුවේ සීමාව තුල සිටය.

ආශ්චර්යයට ප්‍රශස්ති ගයමින් නවීකෘත කොලඹ නගරයේ දිලිසෙන පදික වේදිකා මත ජොගින් යන ගොබ්බ මධ්‍යම පාංතිකයෝ වටහා නොගන්නේ අප සමාජයක් ලෙස ගමන් කරමින් සිටින මේ භයානක දිශානතියයි. ඊනියා සංවර්ධනය සහ 'ජාතික ආරක්ෂාව' සදහා අපගේ නිදහස, අපගේ ආත්මය ද්විතීක කරන ලෙස, අත් හරින ලෙස රාජ්‍යය අපට අනවමින් සිටී. මහජනයාගේ මූලික ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන මේ ගැඹුරු ප්‍රහාරයට මුලු වැර යොදා එරෙහි විය යුතුය. ඉදිරිපත් කිරීමට නියමිත ඊනියා විද්‍යුත් හැදුනුම්පත් ගැන නීතිය මේ විරෝධය උරගා බැලිය යුතු තීරනාත්මක අවස්ථාවක් වන්නේ එනයිනි.


Tuesday, August 19, 2014

පාන් නැතිනම් කාපල්ලා බිත්තර ආප්ප


නිදහස් චතුරස්‍ර ආකේඩයේ පැවැති විලාසිතා සංදර්ශනයක් 
ලාංකීය සම්භවයක් සහිත ඉන්දියානු නිලි ජැකොලයින් ෆර්ඩිනැන්ඩස් විසින් කෑම සූත්‍ර නමින් ආරම්භ කොට ඇති ආපන ශාලාව පසුගිය දවස් වල ජනමාධ්‍යයන්ගේ සැලකිය යුතු අවධානයකට ලක්විය.  ඕපාදූප වෙබ් අඩවි විසින් වාර්තා කර තිබූ එක් ජනප‍්‍රිය පුවතක් වූයේ එම අවන් හලේ බිත්තර ආප්පයක් රුපියල් 200 ක් වන බවත්, ආප්පයක් රුපියල් 100 ක් වන බවත්ය. කොළඹ නිදහස් චතුරස‍්‍රය අසබඩ නව සුපිරි වෙලද සංකීර්නයක් මහත් ප‍්‍රචාරයක් ලබා දී පසුගිය ජූලි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලද්දේය. එම සංකීර්නයේ බොහෝ සාප්පු සමන්විත වන්නේ මෙවැනි අධි මිල වෙලද භාන්ඩ වලින්ය. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ අවන්හල පිලිබද අලංකාරිකය පසුගිය කාල සීමාව තුළ මෙරට සීඝ‍්‍ර වර්ධනයක් ලබමින් සිටින එක් වැදගත් ආර්ථික-සමාජ උද්ගතයක් පිළිබද ප‍්‍රකාශනයකි. එම උද්ගතය හැදින්වීමේ පහසුව පිනිස ‘සුඛෝපභෝගී වෙළද-සේවා කර්මාන්තය’ ලෙස නම් කරමු.

ගාලූ මුවදොර අසල පැරණි  ඕලන්ද රෝහල ද මෙබදු සුපිරි වෙලද සාප්පු සංකීර්නයකට උදාහරණයකි. ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර - මහේල ජයවර්ධන යුවල ‘මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’ නමින් එහි සුපිරි අවන්හලක් කලෙකට පෙර ඇරඹූහ. මේ ආපනශාලා ස්ථානගත වන්නේ පොදු ජනයාගෙන් ඉතාමත් දුරස්ථ අවකාශයකය. ඒ දුරස්ථභාවය නිර්මානය කරන්නේ මිල දී ගැනීමේ හැකියාව විසිනි. කොලඹ නගරය තුළ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති මේ වනවිට ඉදිවෙමින් තිබේ. මේවා ඉදි කෙරෙන්නේත් සමාජයේ ඉහල ක‍්‍රය ශක්තියක් තිබෙන ධනවත් සමාජ ස්ථර ඉලක්ක කරගෙනය. ‘කෑම සූත‍්‍ර’ හෝ වේවා ’මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’ හෝ වේවා - මේ සේවා හා වෙලද භාන්ඩ වල සුඛෝපභෝගීත්වය ඒවායේ මිල විසින් නිර්නය කොට ඇත. නිදහස් චතුරස‍්‍රයේ අලුත විවෘත කල සාප්පු සංකීර්නය ගතහොත්, එහි ඇති සාප්පු තුලට ගොස් බඩු මිලදී ගනු දැකිය හැක්කේ අතලොස්සක් දෙනෙකි. එය නැරඹීමට එන බොහෝ සාමාන්‍ය මිනිසුන් කරන්නේ එම ගොඩනැගිල්ලේ සුන්දරත්වය බලමින් ඔබ මොබ ගමන් කිරීමය. අධික මිල නමැති ප්‍රාකාරය සාමාන්‍ය ජනයා සහ මෙම සුඛෝපභෝගී වෙලද නාම වෙන් කරමින් නැගී සිටී.

සුරූපී නිලි ෆර්ඩිනැන්ඩස් 
මෙලෙස සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයක් වේගයෙන් වර්ධනය වන්නේ කෙසේද? යමෙක් රුපියල් 200 ක් ගෙවා බිත්තර ආප්පයක් මිල දී ගන්නේ හුදෙක් කුසගිනි නිවා ගැනීම සදහාම නොවේ. එවැනි ක‍්‍රියාවක් තුළ යම් සංකේතීය බලයක් තිබේ. එනම් සමාජ තත්වය හා උසස්කම පිළිබද හැගවුමක් එවැනි ක‍්‍රියාවක් තුළ පවතී. එවැනි ‘සමාජ තත්වයක් ’ ප‍්‍රදර්ශනය කළ හැක්කේ සමාජයේ සුලු තීරුවකටය. සුඛෝපභෝගී කර්මාන්තයේ ආයෝජනය කරන ව්‍යාපාරිකයින් ආමන්ත‍්‍රණය කරන්නේ සමාජයේ මෙම සුලු තීරුවටය.

මේ ආමන්ත‍්‍රනය සදහා බලපා තිබෙන එක් සාධකයක් වන්නේ සමාජයේ මෙම ධනවත් කොටස් අත ඒකරාශි වී තිබෙන අති මහත් ධනයයි. ඒ අතිමහත් ධනය නිසා මෙම ඉහල පාංතික කොටස් වල ක‍්‍රය ශක්තිය සාපේක්ෂව ඉහළය. ජාතික ආදායමේ සියයට 56 ට ආසන්න පංගුවක් මෙරට ජනගහනයේ සියයට 20 ක් විසින් භුක්ති විදිනා බව ප‍්‍රසිද්ධ සංඛ්‍යා ලේඛනමය දත්තයකි. සමාජ ධනය තමා අත සංකේන්ද්‍රනය කරගන්නා මෙම ඉහල පාංතික කොටස් වැඩි වැඩියෙන් වියදම් කරන්නට පෙලඹවීම තුළින් සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයේ ආයෝජනය කරන ප‍්‍රාග්ධන හිමියන්ට වැඩි වැඩියෙන් ලාභ උපයා ගත හැක. සමාජයේ සුලූ පිරිසක් අත අති මහත් ධනයක් ඒකරාශී වී තිබීමත්, සමාජ තත්වය ප‍්‍රදර්ශනය කිරීමෙහිලා එම පිරිස් සතුව ඇති පෙලඹීමත්, එම පෙළඹීමට ආමන්ත‍්‍රනය කොට ලාභ ඉපැයීම සදහා ව්‍යාපාරිකයින් තුල තිබෙන යොමුවත් යන බහුවිධ සාධක වල එකතුවක් ලෙසය සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන්නේ.

ධනවාදයේ සංවර්ධන තර්කය ‘පහලට කාන්දු වීමේ න්‍යාය’ යන්නෙන් විස්තර කෙරේ. ඒ අනුව ධනවත් ස්ථර වලට ආයෝජනය කරන්නටත්, වියදම් කරන්නටත් උපරිම නිදහස දිය යුතුය. එවිට උපදින ධනයෙන් පහළට කාන්දු වන දේ සමාජයේ පහල පාංතිකයන්ට භුක්ති විදිය හැක. ලංකාව තුල මේ වනවිට අත්හදා බලමින් තිබෙන්නේ මේ පහලට කාන්දු වීමේ න්‍යාය නොහොත් ධනවතුන්  කා බී ගිලිහෙන රොඩු බොඩු භුක්ති විද සතුටු වෙයල්ලා න්‍යායයි. උදාහරනයක් ලෙස නිදහස් චතුරස‍්‍රයේ ආකේඩය පිරිසිදු කිරීමට එන ක්ලීනින් සර්විස් ආයතනයක කම්කරු ස්ත‍්‍රියක් සලකමු. එසේත් නැතිනම් එවැනි ස්ථාන ‘සොරුන්ගෙන්‘ මුරකරන මුරකරුවෙක් සලකමු. මේ ශ‍්‍රමිකයින්ට තමාගේත් ශ්‍රම සම්බන්ධයක් තිබෙන මෙවැනි වෙලද සංකීර්න වල තිබෙන දේ් මිලදී ගන්නවා තබා සිතන්නටවත් පුලූවන් කමක් නැත. මෙම ව්‍යවසායන් අයත් අධි ලාභ උපයන ව්‍යපාරිකයින් ගෙවන සොච්චම් වැටුපකින් ඔවුන් ජීවත් විය යුතුය. එනම් ඔවුන්ට උරුම කා බී ඉතුරු වුන පසු වැටෙන රොඞ්ඩය.

ලංකාවේ මිනිස් ධූවිලි
සමාජයේ එක් කෙලවරක සුඛෝපභෝගී ආකේඩ ඉදිවෙද්දී සමාජයේ අනිත් කෙලවර තුල ගොඩ ගැසෙන්නේ මොනවාද? දෛනික ජීවිතය පවත්වා ගැනීම සදහා නොකඩවා කෙරෙන වැඩ කිරීම, මහන්සිය, විඩාව, අතෘප්තිය, පීඩාව සහ දුක් ගැනවිලිය. ගම්බද පාසල් වැසී යයි. ඒවාට ගුරුවරුන් නැත. රෝහල් වල බෙහෙත් නැත. රෝගීහු පෝලිම් වල ලගිමින් නිරා දුක් විදිති.නියගයෙන් පීඩා විදින ගැමි ජනයා දේශපාලකයින් ජල බවුසර් ගැන දෙන පොරොන්දු ගැන විශ්වාසය තබා විස්සෝප වී සිටිති. සමාජ ධනය වෙන් කෙරෙන්නේ කවර පරමාර්ථයක් සදහාද? සමාජයේ සිදුවෙනවා යැයි කියන සංවර්ධනය කා සදහා වූ සංවර්ධනයක්ද?

‘ප‍්‍රංශ විප්ලවයේ හේතුව දැන ගැනීමට නම් වර්සේල්ස් මාලිගාව දැකගැනීම ප‍්‍රමානවත්’ යනුවෙන් ප‍්‍රසිද්ධ කියමනක් තිබේ. දේශපාලනිකව සිදුරු සහිත වුවද සාහිත්‍යමය වශයෙන් රසවත් මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ විප්ලවාසන්න ප්‍රංශයේ පැවැති ගැඹුරු සමාජ පරතරයයි. ප්‍රංශයේ ලුවී රජු හා රැජින අති සුඛෝපභෝගීත්වයක් සහිත වර්සේල්ස් මාලිගාවේ ජීවත් වූයේ සමාජයේ පොදු ජනයා පීඩිත ජීවිතයක් ගත කරන අතරේදීය. වංශාධිපතීහුද එවැනි සුඛෝපභෝගීත්වයක් භුක්ති වින්දාහ. ප‍්‍රංශ සමාජය කුපිත කළ එක් හේතුවක් වූයේ මේ අසමානතාවයයි. ජනතාව පාන් ඉල්ලන විට ප්‍රංශ රජ බිසව මොවුන් කේක් නොඉල්ලන්නේ මන්දැයි ඇසූ බවට කථාවක් ඇත. පවතින සමාජ ආර්ථික මොඩලය විසින් ලංකාවේ පීඩිත ජන කොටස් වලට කේක් වෙනුවට රුපියල් දෙසීයේ බිත්තර ආප්ප සහිත අලංකාර ආකේඩ විවෘත කර දී ඇත.

සමාජයේ සුලු පිරිසක් අත අධි සුඛෝපභෝගීත්වය ගොඩ ගසමින් වර්තමාන ධනවාදය සංවර්ධනය වෙන්නේ 19 වන ශතවර්ෂයේ යුරෝපීය සමාජ සිහිගන්වන සුලු දවැන්ත ඇති නැති පරතරයක් ප‍්‍රතිනිෂ්පාදනය කරමිනි. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ ආප්ප කඩය සහ කොලඹ නගරය තුළ හිස ඔසවන සුඛෝපභෝගී කර්මාන්තය සැබැවින්ම එම අමානුෂික ඇති නැති පරතරය හකුලුවා දක්වන අශ්ලීල ප‍්‍රකාශනයෝ වෙති. එම අවලස්සන ෆර්ඩිනැන්ඩස්ගේ සුරූපී සිනහවෙන් වසා දැමිය නොහැක්කකි.




Saturday, August 9, 2014

විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත




යුද්ධය උග්‍ර ලෙස ඇවිලෙමින් තිබූ කාලයයි. ජනතා විමුක්ති පෙරමුන යුද්ධය තුල ස්ථානගත වී සිටියේ යුද්ධයට අනුග්‍රහය දක්වන පක්ෂයක් ලෙසය. දේශහිතෛශී ජාතික ව්‍යාපාරය සහ මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නගා දකුනේ සමාජය තුල එල්ටීටීඊ විරෝධී යුද්ධය සුජාතකරනය සදහා ජවිපෙ සක්‍රීය ලෙස දායක වෙමින් සිටියේය. එම කාලයේදීම ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජාතික ගැටලුව පිලිබද ලෙනින්ගේ කෘතියක් ප්‍රකාශයට පත් කලේය. එම කෘතියට පිලිතුරු ලෙස එවකට එක්ස් කන්ඩායම‍වෙනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘ජවිපෙ, ජාතික ගැටලුව සහ මාක්ස්වාදය’ යන හිසින් දීප්තිමත් පොත් පිංචක් රචනා කලේය. ඔහු එහිදී ප්‍රශ්න කලේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය ප්‍රකාශන තුල යොදා ගන්නා ‘මාක්ස්වාදී භාෂාවත්’ එම සංවිධානයේ මවු පක්ෂය වන ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලන තලයේදී යොදා ගන්නා ජාතිවාදී භාවිතාවත් අතර පරස්පරයයි.
වසර 2014 එලැඹී ඇත. එලැඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව පෙරලා දැමීම සදහා ‘පොදු අපේක්ෂකයෙක්’ ලෙස මාදුලුවාවේ සෝභිත හිමි ඉදිරිපත් කල යුතු බවට සංවාදයක් මේ වනවිට ගොඩනැගී තිබේ. මෙම සංවාදයේ මුඛ්‍ය ප්‍රකාශකයෙක් වන්නේ ආචාර්ය දේවසිරිය. දකුනේ දේශපාලනය තුල හෙජමොනික ප්‍රවර්ගයන් වන සිංහල ජාතිකවාදයේත් නව ලිබරල්වාදයේත් පරාමිතීන්ගෙන් මිදුනු විකල්ප දේශපාලනයක් සදහා සෝභිත හිමිගේ අපේක්ෂකත්වයෙන් අවකාශ විවර වෙනු ඇති බවට නිර්මාල් සිය මුහුනු පොත් සටහනකදී සදහන් කොට තිබුනි. මීට සමාන ආකාරයකින් ප්‍රකට වාමාංශික බුද්ධිමතෙක් වන ආචාර්ය කුමාර් ඩේවිඩ් කාලාන්තරයක් තිස්සේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වයට පක්ෂව කරුනු දක්වමින් සිටී.

දකුන තුල එල්ටීටීඊ වි‍රෝධී ආස්ථානයක් ගෙන සිංහල ජාතිකවාදය සමග සන්ධානගත වීමෙන් ජවිපෙ එවකට අපේක්ෂා කලේ කුමක්ද? ජවිපෙ පැත්තෙන් ගත් විට එය බලය සදහා ෂෝට් කට් එකක් විය. රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග යන ප්‍රධාන පක්ෂ වල නායකයින් දෙපලම එල්ටීටීඊය සමග සාකච්ඡා පැවැත්වීම සිය ප්‍රවේශය කරගෙන තිබූ තතු යටතේ සිංහල ජාතිකවාදය 2002-1004 යුගයේ හිස නැති කවන්ධයක් බවට පත්වී තිබුනි. ජවිපෙ ආමන්ත්‍රනය කලේ එම රික්තකයටයි. ජවිපෙ අභ්‍යන්තර කතිකාව අනුව යුද්ධයට පක්ෂය සහය දුන්නේ සමාජවාදයට ඇති බාධාවක් වන එල්ටීටීඊය ඉවත් කර දැමීමටය. ජවිපෙ සාමාජිකත්වයට ඒ අනුව සභාග දේශපාලනයත් සිංහල වර්ගවාදය සමග සන්ධානගත විමත් ‘උතුම් අරමුනක්’ වෙනුවෙන් ගනු ලැබූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් විය.

රාජපක්ෂ රෙජිමයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය ඉදිරියේ අද වන විට බොහෝ වාමාංශිකයන් කරමින් සිටින්නේද එක්තරා ආකාරයකින් දේශපාලන ෂෝට් කට් සෙවීමකි. රාජපක්ෂ ආන්ඩුව අධිකාරිවාදී තන්ත්‍රයක් බවට පත්වී තිබෙන අතර ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල වන ප්‍රහාර දිනෙන් දින උත්සන්න වෙමින් ඇත. මෙම නපුරේ ‘හේතුව’ ලෙස දැන් ජනප්‍රිය ලෙස උපුටා දැක්වෙන්නේ විධායක ජනාධිපතිධූරයයි. මාදුලුවාවේ සෝභිත හිමිගේ සාධාරන සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කේන්ද්‍රීය තේමාව වන්නේත් විධායක ජනාධිපතිධූරය ‍අහෝසි කිරීමය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන අවංක හැගීමකින් යුක්ත මධ්‍යම පංතික වෘත්තිකයන් හා බුද්ධිමතුන් කවයක් මෙම ව්‍යාපාරයට සහයෝගය දෙමින් සිටී.

මෙම ලිබරල් බුද්ධිමතුන්ගේ ප්‍රශ්නය නම් සමාජයේ පවතින මහා ගරාවැටීම ගැන ප්‍රශ්නය සමාජ ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස නොව හුදෙක් ආන්ඩු ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස ගැනිමය. අධිකාරිවාදී පාලන රටාව වූ කලී ’77 න් පසු මෙරට තුල බලාත්මක වන නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය සමග වෙන් කල නොහැකි ලෙස ගැටගැසී තිබෙන්නකි. සමාජය තීව්‍ර ලෙස වෙලදපොලකරනය කරමින්, සමාජ අසමානතාවය තීව්‍ර කරමින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන මොඩලය තුල අසහනයට පත් වන ජන කොටස් වලට එරෙහිව මර්දනය යොදාගැනීමට සිදුවීම අනිවාර්යයකි. උදාහරනයක් ලෙස ප්‍රාග්ධනයට ඉඩදීම සදහා වනාතමුල්ලේ පැල්පත් නිවාස ශුද්ධ කල යුතුය. එහිදී එම ජනයා පලවා හැරීම සදහා බලහත්කාරය යොදාගැනීමට සිදුවේ. විධායක ජනාධිපති වෙනුවට කැබිනෙට්ටුව විධායක බලතල හෙබවූවා කියා එම බලහත්කාරයේ වෙනසක් සිදුවන්නේ නැත. සමාගම් වල ආයෝජන වලට ඉඩ දෙනු වස් මධ්‍යම ඉන්දියාවේ ආදිවාසී ගෝත්‍රික ජනයා බලහත්කාරයෙන් පලවා හරිමින් සිටින්නේ පාර්ලිමේන්තු ආන්ඩු ක්‍රමයක් අනුගමනය කරන ඉන්දීය රාජ්‍යයයි.

එම නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන තන්ත්‍රය පෙරලා දැමිය හැකි ස්ථිර මාර්ගය වන්නේ නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය පිලිබද ප්‍රශ්නය සමග එකට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ගැනීමය. එසේ නොකලහොත් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය දඩමීමා කරගෙන එක් පඹයෙක් වෙනුවට වෙනත් පඹයෙක් බලය ඩැහැ ගැනීමය. සෝභිත හිමි යම් හෙයකින් ‘පොදු අපේක්ෂකයා’ වේ නම් එහි වාසිය සෘජුව හිමි වන්නේ එවැනි පොදු ව්‍යාපාරයක ප්‍රධාන සංරචකය ලෙස ක්‍රියා කරන ප්‍රධාන විපක්ෂ බලවේගය වන එක්සත් ජාතික පක්ෂයටය.

වාමාංශය ඉදිරියේ තිබෙන අභියෝගය වූ කලී නව ලිබරල් ධනවාදයටත් ඒ සමග ගැටගැසී තිබෙන අධිකාරිවාදී රාජ්‍යයටත් එරෙහිව පීඩිත ජනයා සංවිධානය කිරීමය. ද්විපක්ෂ ක්‍රමයකට හුරු වී සිටින සමාජයක් තුල එවැනි විකල්ප දේශපාලන දහරාවක් ගොඩනැගීම පහසු කටයුත්තක් නොවේ. එවැනි මහන්සියක් නොදරා සමාජයේ යම් ස්ථාපිත බල ව්‍යුහයක් සමග සම්මුතියකට යාම පහසුය. එහෙත් 2004-2009 ජවිපෙ අත්දැකීම මනාව පෙන්නුම් කරන්නේ එවැනි සම්මුති තුලින් අවසානයේ අපේක්ෂිත අරමුනට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් උද්ගත වන ආකාරයයි. විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත. මේ වූ කලී සියලු වාමාංශිකයෝ තරයේ සිහි තබාගත යුතු දේශපාලන පාඩමකි.