Monday, May 18, 2015

වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුම මානුෂීයද? දේශපාලනිකද?

මැයි 19 වන දා ලංවීමත් සමග ‘අනුස්මරනය’ පිලිබඳ සංවාදය අලූත් වෙමින් තිබේ. රජයේ හමුදා විසින් එල්ටීටීඊ සංවිධානය සමූලඝාතනය කොට ජයග‍්‍රහනය ප‍්‍රකාශයට පත්කරනු ලැබු දිනය 2009 මැයි 19 වන දාය. එතැන් පටන් එම දිනය ‘විජයග‍්‍රහනයේ දිනය’ ලෙස ලංකා ආන්ඩුව විසින් උත්කර්ෂයෙන් වාර්ෂිකව සමරන ලදී. සිංහල ජනවාර්ගික සැකැස්මට මෙය විජයග‍්‍රහනයේ දිනයක් වන විට දෙමල ජනවාර්ගික සැකැස්ම එම දිනය භාරගත්තේ පරාජයේ සහ අවමානයේ දිනයක් වශයෙනි.

මෙම දිනය දෙමල ප‍්‍රජාවේ පැත්තෙන් ආකාර දෙකකින් ‘ශෝක දිනයක් ’ විය. එක් අතෙකින් සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී දහස් ගනනක් දෙමල ජනතාව මිය ගියහ. එය මෙම දිනය ශෝකී දිනයක් වන එක් අර්ථයක්. අනිත් අතට එම දිනය සිංහල මහජාතිවාදයට එරෙහිව ඇති වූ දෙමල ජාතික අරගලයේ තීරනාත්මක පරාජයක් සංකේතවත් කරන දිනයකි. මහජාතියේ පීඩනයට එරෙහිව ඇති වූ දෙමල ජාතික අරගලය අතිශය සංකීර්න ඉතිහාසයක් සහිත ක‍්‍රියාවලියකි. එය සංකීර්න අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා, අවස්ථා හා ප‍්‍රවනතාවන්ගෙන් සමන්විත සංයුක්ත ක‍්‍රියාදාමයකි. එහි විවිධ අවධි විය. ඒ විවිධ අවදි තුල ඊට විවිධ සංවිධාන, පක්ෂ සහ බලවේග නායකත්වය සැපයීය. දෙමල ජාතිකවාදයේ වඩාත්ම රනකාමී ( එසේම වඩාත්ම ස්වෝත්තමවාදී ) ප‍්‍රකාශනය වූ එල්ටීටීඊය යුදමය ලෙස පරාජය වීම මෙම අරගලයේ තීරනාත්මක ලක්ෂ්‍යයයකි. දෙමල ජනතාවට එය අභිමුඛ වූයේ පරාජයේ මොහොතක් ලෙසය. එය සිංහල මහජාතිවාදය ඉදිරියේ දෙමල සමාජය එහෙම් පිටින්ම යටත්වීමකට ලක්වූ යුගයකට පාර කැපීය.

දැන් ප‍්‍රශ්නය මෙම දිනය අනුස්මරනය කිරීමට දෙමල සමාජයට අයිතිය තිබේද යන්නයි. රාජපපක්ෂ ආණ්ඩුව තිබූ කාලයේ මෙම දිනය අනුස්මරනය කිරීම තහනම් කටයුත්තක් ලෙස නම් කරන ලදී. එය අනුස්මරනයට දරන ලද සෑම උත්සාහයක්ම දරුනු මර්දනයක් කැඳවීය. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට පහරදීම, අත්අඩංගුවට ගැනීමේ සිට මිලිටරිය පාවිච්චි කොට මෙම දිනය අනුස්මරනය කිරීමට දරන පුංචිම උත්සාහය පවා චප්ප කොට දැමීම රාජපක්ෂ යටතේ සිදුවිය. දෙමල සමාජයේ එකී අනුස්මරනයන් මර්දනය කරනු ලැබුවේ සිංහල දකුන තුල රාජ්‍ය අනුග‍්‍රහයෙන් ‘විජයග‍්‍රහනයේ දිනය’ සමරන අතරතුරය.

සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව මෙම ප‍්‍රශ්නයට කෙලෙස ප‍්‍රතිචාර දක්වනු ඇද්ද යන්න බලා සිටීම සිත්ගන්නා සුලු කටයුත්තක් වනු ඇත. මැයි 4 වනදා දෙමල ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත‍්‍රී තුරෙයිරාසා රවිකරන්ට මුලතිවු පොලිස් මූලස්ථානයට වාර්තා කරන මෙන් කැඳවුමක් පොලිසිය විසින් භාර දුන්නේය. ( මෙම පොලිස් කැඳවුමේ එක දෙමල වචනයක් නැත. එය ලියා තිබෙන්නේ සිංහලෙනි ) ඒ පසුගිය රජය සමයේ ඔහු සහභාගී වූ ‘මහ විරු දින’ සැමරුමක් ගැන ප‍්‍රකාශයක් පොලිසියට ලබාදෙන ලෙස දන්වමිනි. ඉදිරි දිනවල උතුරේ සිදුකෙරෙන අනුස්මරනයන්වලට මොන මට්ටමින් හමුදාව මැදිහත් වනු ඇද්දැයි තවමත් පැහැදිලි නැත. මෛත‍්‍රීපාල සිරිසේන බලයට ඒමේ දී තීරනාත්මක වූයේ උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ ඡන්දයයි. මේ නිසා දෙමල සමාජය මත රාජපක්ෂ පන්නයේ විවෘත බලහත්කාරයක් යෙදවීමේ නෛසර්ගික අපහසුතාවයකට නව ආන්ඩුව මුහුන දී සිටී. ඒ කෙසේ වුව නව ආන්ඩුවේ හතර මායිම නිර්නය කරනු ලැබ ඇත්තේද සිංහල ජාතිකවාදය විසින් බව මෙහිදී අමතක නොකල යුතුය.

උතුරේ ‘කොටි සැමරුම්’ පිලිබඳ ද්වේශසහගත ප‍්‍රචාර සිංහල ජනමාධ්‍ය තුල සුලභව ප‍්‍රචාරය වෙමින් තිබෙන්නේ මේ වටපිටාව තුලය. දෙමල ජනතාවට එබඳු අනුස්මරනයක් කිරීමේ අයිතිය තිබේද යන්න මාතෘකාවක් වී තිබෙන්නේ ඒ අනුවය.

දෙමළ ජනතාවට ‘අනුස්මරනයේ අයිතිය’ තිබේ යැයි පිලිගන්නා දකුනේ ඇතැම් අය එය පිලිගන්නේ මානුෂික පදනමක් මතය. එනම් එය දෙමල සටන්කරුවන් සැමරීමක් නොව යුද්ධයෙන් මියගිය ඥාතීන්ව සැමරීමක් නිසා ඒ සඳහා ඉඩ දිය යුතුයි කියන පදනම මතය. මෙම අදහස කිසිදු අනුස්මරනයකට ඉඩක් නැති බව කියන සිංහල ස්වෝත්තමවාදී අදහස මෙන් නරක නැති නමුත් එහි සීමාවක් ඇත. අදාළ අනුස්මරනය මානුෂීය අනුස්මරනයක් නොව දේශපාලන අනුස්මරනයක් වන්නේ යැයි අපි සිතමු. එනම් දෙමල සමාජය තමුන් දේශපාලනිකව සැමරිය යුතු යැයි සිතන අය සැමරීම සඳහා එම දිනය යොදාගන්නේ යැයි සිතමු. ( ඇත්තටම ගතහොත් මැයි 19 උතුරේ අනුස්මරනවල මෙම මානයන් දෙකම අඩංගු වේ. එය එක් අතෙකින් මානුෂීය සැමරුමක් වෙද්දී අනිත් පැත්තෙන් එය දේශපාලන සැමරුමක්ද වේ ) එය එසේ නම් ඊට විරුද්ධ විය හැක්කේ කුමන පදනම මතද?

තමා අභිමත වීරයින් තෝරාගැනීමේ අයිතිය දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතියේ නෛසර්ගික කොටසකි. දෙමල ජාතික අරගලය තුළ මිය ගිය සටන්කරුවන් ‘විරුවන් ’ ලෙස සලකා අනුස්මරනය කිරීම දෙමල සමාජයේ කැමැත්ත නම් එය එම සමාජයේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකමකි. සිංහල බහුතර ආන්ඩු බලය යොදා එය යටපත් කිරීම පැහැදිලිවම බලහත්කාරී ක‍්‍රියාවකි. මේ නිසා ‘ඒ අය සමරන්නේ කොටි නෙමෙයි, මැරිච්ච අය. ඒ හන්දා සමරපු දෙන්’ කියා සුරතල් කථා කීමේ අවශ්‍යතාවයක් නැත. එල්ටීටීඊ සටන්කරුවන් ද ඇතුලූ තමා වීරයින් ලෙස පිලිගන්නා කවුරුන් හෝ අනුස්මරනය කිරීමේ දේශපාලන අයිතිය දෙමල ජනතාව සතුය. එම පිරිස් කල දේශපාලනයේ සීමා පවතී. ඒ සීමාවන් ගැන විවේචනය අඩු නැතිව ඉදිරිපත් කරන අතරම මැයි 19 දේශපාලනිකව සැමරීම සඳහා දෙමල ජනතාවට තිබෙන අයිතිය සිංහල ස්වෝත්තමවාදී ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂා කිරීම දකුනේ ප‍්‍රගතිශීලීන් හා වාමාංශිකයින් ගේ කාර්යය වන්නේය.

( මෙම සටහන මැයි මස 17 දා ජනරල පුවත්පතේ පලවිය. මෙම සටහන ලිවීමෙන් පසු මුලතිවු අධිකරනයක් විසින් උතු‍රේ මැයි 19 සැමරුම් තහනම් කරමින් නියෝගයක් නිකුත් ‍කොට තිබුනේය. ආන්ඩුව විසින් කරන අනුස්මරන උත්සවයක් මාතර දී පැවැත්වෙන අතර මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් තවත් 'යුද ජය' සැමරුමක් කොලඹ දී පැවැත්වීමට නියමිතය ) 

Saturday, May 2, 2015

පරාධීන සමාජයක ස්වාධීන කොමිෂන්?

19 වන ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. අවසානයේ සියල්ලෝ ඒ මල් වට්ටියට අත ගැසූහ. දකුනු ලංකාවේ ප‍්‍රධාන දහරාවේ දේශපාලනය තුල මේ වනවිට ආධිපත්‍යය උසුලන්නේ කඳවුරු ද්විත්වයකි. ඒ ලිබරල්වාදී කඳවුර සහ සිංහල ජාතිකවාදී කඳවුරයි. මේ විභේදනය සම්පූර්නයෙන්ම අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරී එකක් නොවේ. එනම් ලිබරල් කඳවුර සිංහල ජාතිවාදයෙන් සම්පූර්නයෙන්ම මිදී නොමැති වන්නා සේම ජාතිවාදී කඳවුර තුලද ලිබරල්වාදයේ ඇතැම් අංග නියෝජනය වන්නේය. එසේ තිබිය දී මූලික වශයෙන් මේ විදිහේ අක්ෂයන් දෙකකට දකුනු ලංකාවේ ප‍්‍රධාන දහරාවේ දේශපාලනය බෙදී තිබේ යැයි කීම යුක්ති යුක්තය.

දැන් 19 වන සංශෝධනය ඉහත කී ලිබරල් කඳවුරේ ප‍්‍රධානතම ජයග‍්‍රහනයක් ලෙස ඉස්මත්තට පැමින ඇත. එය විශාල විපර්යාසයක් ලෙස එම කඳවුර නියෝජනය කරන අය විසින් හුවා දක්වනු ලැබේ. යම් දෙයක් ගැන අදහසක් ඇති කරගැනීමට නම් එම දෙය එය ඉදිරිපත් වී ඇති සැටියෙන්ම වටහා ගත යුතුය. කවර මිනුම් දන්ඩක් අනුව බැලූවත් කිව යුත්තේ 19 වන සංශෝධනය ඉතාමත් සීමිත දේශපාලන ප‍්‍රතිසංස්කරනයක් බවයි. මහින්ද රාජපක්ෂට එරෙහි මැතිවරන ව්‍යාපාරයේ දී ලිබරල් කඳවුර ඉදිරිපත් කල සටන් පාඨය වූයේ ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’ පිලිබඳ සටන් පාඨයයි.එනම් පාර්ලිමේන්තු ක‍්‍රමයක් මගින් ජනාධිපති ක‍්‍රමය විස්ථාපනය කිරීමක් ගැන කථා කෙරුනි. දැන් ඒ කථා කිසිවක් නැත. අවසානයේ සම්මත වී තිබෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය නම් වූ ව්‍යුහය තුළ ස්ථානගත වන කොමිෂන් සභා ස්ථාපිත කරන සංශෝධනයකි. එය ද අන්තර්ගතය අතින් ගත්තාම ස්ථානගත වන්නේ 17 වන සංශෝධනයටත් වඩා පිටුපස තැනකය.

19 වන සංශෝධනය තුල ‘මොනවාම හෝ දෙයක් නැතැයි’ මින් අදහස් වේද? එසේ කීමද අනෙත් අතට නිවැරදි නොවේ. මෙම සංශෝධනය මගින් 18 වන සංශෝධනය අත්හිටුවා තිබේ. විධායක ජනාධිපති ධූරයේ යම් බලතල ප‍්‍රමානයක් කප්පාදු කොට තිබේ. එනම් එහි යම්කිසි ප‍්‍රජාතාන්ත‍්‍රික අන්තර්ගතයක් ද නොපවතින්නේ නොවේ.

එහෙත් එම අන්තර්ගතය අතිශය සීමිතය. අතිශය දුර්වලය. මෙම සීමාකාරීත්වය ගැන අපිට පැති දෙකකින් කථා කල හැක. එක් පැත්තක් නම් ලිබරල් කතිකාවටම සාපේක්ෂව මෙම සංශෝධනය දෙස බැලීමයි. එම කඳවුරේ අය ඉදිරිපත් කල ප‍්‍රතිඥා, පොරොන්දුවලට සාපේක්ෂව බැලූවත් මෙම සංශෝධනය ‘පසුපසින් තිබෙන්නක් ’ බව පැහැදිලිය. තනි පුද්ගලයෙක් අත විශාල බලයක් කේන්ද්‍රගත වන ආන්ඩු ක‍්‍රමය වෙනුවට පුද්ගලයින් මන්ඩලයක් වෙත බලතල පැවරෙන ක‍්‍රමයක්. විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක‍්‍රමය යන්නෙහි දේශපාලන හරය එයයි. අඩු තරමින් ඒ තාක් දුර යාමටවත් මෙම සංශෝධනය අසමත් වී තිබේ.

සංශෝධනයේ තිබෙන සීමාකාරීත්වය ගැන කථා කල හැකි අනිත් පැත්ත නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ( ලිබරල් නොවන ) වඩා රැඩිකල් ආස්ථානයකින් එය දෙස බැලීමයි. 19 වන සංශෝධනය හෝ වෙනත් එවැනි  ඕනෑම ප‍්‍රතිසංස්කරනයක් ස්ථානගත වන්නේ ප‍්‍රභූ සමාජ පන්ති හා ස්ථරවල ආධිපත්‍යය පවතින රාමුවක් තුළය. පුලූල් අර්ථයෙන් ගත් විට රාජ්‍යය පවතින සමාජ රටාව ප‍්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරන දේශපාලන ව්‍යුහයකි. එය එනයින් ගත්විට අවසාන විග‍්‍රහයේ දී සමාජයේ බලවත් කන්ඩායම් හා ස්ථරවලට පක්ෂපාතී වන්නේය. මෙම පන්ති පක්ෂපාතීත්වය පොලිසිය, අධිකරනය, රාජ්‍ය සේවය ආදී  ඕනෑම රාජ්‍ය උපකරණයක ඇට මිදුලූ දක්වා කිඳා බැස තිබෙන්නකි. මෙම ආයතනවලට පත්කිරීම් කිරීම තනි පුද්ගලයෙක්ගේ ( ජනාධිපති ) සිට ඊනියා බුද්ධිමතුන්ගෙන් සමන්විත පර්ෂදයකට ( කොමිෂන් සභා ) විතැන් කලා කියලා මෙම ආයතනවල තිබෙන ප‍්‍රභූවාදී සැකැස්ම හෝ හැඩහුරුව වෙනස් වන්නේ නැත. උදාහරනයක් විදිහට කම්කරු අරගලයක දී පොලිසිය ක‍්‍රියා කරනු ඇත්තේ කෙසේද? එය විසින් ආරක්ෂා කරනු ඇත්තේ කාගේ උවමනාවන්ද? ජනාධිපති විසින් පොලිස්පති පත්කලත්, කොමිෂන් සභාවක් විසින් පොලිස්පති පත් කලත් වෙනසක් නැතිව එය විසින් ආරක්ෂා කරනු ඇත්තේ ප‍්‍රාග්ධනයේ උවමනාව මිස කම්කරුවන්ගේ උවමනාව නොවේ. ඒ නිසා ඉහල සිට රාජ්‍යය ප‍්‍රතිසංස්කරනය කිරීම සඳහා කරන  ඕනෑම ලිබරල් ප‍්‍රතිසංස්කරනයකට සීමාවක් තිබේ. එම සීමාව වු කලී ධනවාදයයි. පංති සමාජයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තිබෙන එක් ග‍්‍රාම්‍ය වාමාංශික කියැවීමක් වන්නේ එය ( ප‍්‍රජාතන්ත‍්‍රවාදය ) පීඩිත පංති රවටා තබාගැනීම සඳහා පාලක පන්තිය විසින් යොදාගන්නා ප‍්‍රයෝගයක් නිසා එහි ඇති ප‍්‍රයෝජනයක් නැත යන්නය. ඒ දැක්ම අනුව ග‍්‍රීසියේ පෞර රාජ්‍යවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු වහල් ක‍්‍රමය පවත්වාගෙන යාමේ දී වහල් හිමියන් විසින් පාවිච්චි කල හුදු උපායකට වැඩි දෙයක් නොවේ.

මෙම කියැවීම යම් දෙයක් එහි තිබෙන ප‍්‍රතිවිරෝධතා සහිතව සංයුක්තව අවබෝධ කරගැනීමේ නොහැකියාව නිසා මතු වී තිබෙන මතිභ‍්‍රමයකි. ග‍්‍රීක වහල් සමාජයේ හෝ වේවා නූතන ධනවාදී සමාජවල හෝ වේවා ඇතිවන  ඕනෑම ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රියාවලියකට පංතිමය සීමාවක් තිබේ. එය සත්‍යයකි. නමුත් ඉන් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩක් නැත’ වැනි ගම්‍යයක් ඇති නොවේ. වාමාංශිකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැකිය යුත්තේ ‘පුලූල් කරගත යුත්තක් ’ ලෙසය. එනම් ලිබරල් ප‍්‍රතිසංස්කරනවල සීමාව සෑම විටම වාමාංශිකයන්ගේ විවේචනයට ලක්විය යුතුය. ඒ ඒවායේ සීමිතව හෝ ගැබ් වී තිබෙන ප‍්‍රජාතාන්ත‍්‍රික අන්තර්ගතය ප‍්‍රතික්ෂේප කිරීමේ අර්ථයෙන් නොව එය ධනවාදයට ලගා නොවිය හැකි උස් ස්ථානයක් වෙත ඔසවා තැබීමේ අර්ථයෙනි. එනම් එය පුලූල් කිරීමේ අර්ථයෙනි.

මේ නිසා මෙබඳු ලිබරල් ප‍්‍රතිසංස්කරන අභිමුව වාමාංශිකයින් ගත යුත්තේ ලිබරල්වාදීන් මෙන් එන  ඕනෑම ලියැවිල්ලක් ප‍්‍රශ්න නොකොට ඊට අත්පුඩි ගැසීමේ හෝ ජාතිවාදීන් මෙන් එන  ඕනෑම ප‍්‍රතිසංස්කරනයකට කොන්දේසි විරහිතව විරුද්ධ වීමේ ප‍්‍රවේශයක් නොව ඊට වඩා විකල්ප ආස්ථානයකි. ලිබරල් ප‍්‍රතිසංස්කරනවල තිබෙන ප‍්‍රජාතාන්ත‍්‍රික අන්තර්ගතය ලිබරල්වාදයට දරා ගත නොහැකි තරමට පුලූල් කරමින් රැුඩිකල්කරනය කරන්නේ කෙසේද? වාමාංශයේ උපාය මාර්ගය යොමු විය යුත්තේ ඒ දිශාවටය.