Saturday, June 27, 2015

සිංහල 'ලිබරල්වාදය' සහ සිංහල 'සමාජවාදය'

සුගිය දිනෙක ජේඞීඑස් ( ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ ) වෙබ් අඩවියට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ සාමාජික නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබූ අතර එය නම් කොට තිබුණේ ‘බියෙන් අත් මිදුණාට සියල්ල සම්පූර්ණ නැහැ’ නමිනි. මෙම සම්මුඛ සාකච්ඡාවේ දී නීතිඥ කුමාරගේ ඉතාම වැදගත් නිරීක්ෂණයක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව දෙමළ ජනතාව කෙරෙහි වන ආකල්පය ගත් විට වත්මන් රජය සහ රාජපක්ෂ රජය අතර ගැඹුරු වෙනසක් නැත. යුධ අපරාධ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලීම නමැති දෙමළ ජනයාගේ ඉල්ලීම ගැන නව ආණ්ඩුව දක්වන ආකල්පය පිළිබඳ අදහස් දක්වමින්ය නීතිඥ කුමාරගේ මේ අදහස ඉදිරිපත් කරන්නේ.

මේ දිනවල දකුණු ලංකාවේ දේශපාලන සංවාදය භ‍්‍රමණය වෙමින් තිබෙන්නේ 20 වන සංශෝධනය වටාය. පසුගිය කාලය තුළ ඉදිරිපත් වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා වල තර්කනය වූයේ ප‍්‍රජාතාන්ත‍්‍රීයකරණයයි. විශේෂයෙන් එජාපය සහ ජවිපෙ වැනි පක්ෂ මෙම තර්කනය දකුණු ලංකාව තුළ ප‍්‍රමුඛ ලෙස නියෝජනය කළේය. දැනුත් එම පක්ෂ එම අදහස ප‍්‍රවර්ධනය කරමින් සිටී.

මෙලෙස දකුණේ ලිබරල් හා වාමාංශික පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ‘ක‍්‍රියාමාර්ග’ තෝරන අතර පසුගිය මැයි මාසයේ දී මේජර් ජෙනරාල් ජගත් ඩයස් හමුදාපතිට පමණක් දෙවැනි වූ ධූරයක් වන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට උසස් කරන ලදී. ජගත් ඩයස් වූ කලී සිවිල් යුද්ධය අවසාන කාලයේ යුධ අපරාධවලට අණ දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්වූ පුද්ගලයෙකි. 2009 වර්ෂයේ දී රාජපක්ෂ රජය ඔහුව ජර්මනියේ නියෝජ්‍ය තානාපති ලෙස පත්කළ විට ඔහුගේ යුධ අපරාධ වාර්තාව මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර ස්විට්සර්ලන්තයේ නීති බලධාරියා නිවේදනය කළේ ඔහු ස්විට්සර්ලන්තයට ඇතුලූ වුවහොත් ඔහුට එරෙහි අපරාධ විමර්ශනයක් ආරම්භ කරන බවයි. මේ අතර පසුගිය ජනවාරි 8 වන දා සිට අද දක්වා විදේශවල සිට ලංකාවට පැමිණීමේ දී ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට පත් දෙමළ ජාතිකයින් සංඛ්‍යාව දහ අට දෙනෙකි. මේ බොහෝ දෙනා දෙමළ සටන්කාමී ව්‍යාපාර සමග අතීත සම්බන්ධයක් තිබුණු අය හෝ ඒ බවට සැක කෙරෙන අය වෙති. ඉන් 15 දෙනෙක් තවමත් අධිකරණයට හෝ ඉදිරිපත් නොකොට රඳවා ගනු ලැබ ඔවුන්ගෙන් ප‍්‍රශ්න කෙරෙමින් පවතී.

සරලවම කියනවා නම් දෙමළ ජනතාව මුහුණ දී සිටින ජාතික පීඩනය පිළිබඳ ප‍්‍රශ්නය එලෙසම තිබිය දී , ඒ ගැන කිසිදු සඳහනක් හෝ නොකොට,දකුණු ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ විශාල සංවාදයක් දියත් වී තිබේ. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් තිබෙන අති මූලික ප‍්‍රශ්නයක් වන්නේ දෙමළ ජනතාවගේ නිදහස සහ දේශපාලන සමානත්වය පිළිබඳ ප‍්‍රශ්නයයි. දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත්වල බහුතරය සංයුක්ත කරන, එහෙත් රටේ ජනගහණය අනුව ගත් විට ජාතික සුලූතරයක් වන දෙමළ ජනයා ඔවුන්ගේ නිදහස් කැමැත්තෙන් තොරව රාජ්‍යයේ දේශසීමාව තුළ බලහත්කාරයෙන් රඳවා ගනු ලැබ තිබේ. යාපන අර්ධද්වීපයේ සෑම සිවිල් වැසියන් පස් දෙනෙක්ටම එක් හමුදා භටයෙක් බැගින් යොදා එම ප‍්‍රදේශ පාලනය කිරීමට සිදුවී තිබෙන්නේ රාජ්‍යයේ රාමුව හා දෙමළ ජනතාවගේ අභිලාෂය අතර ගැටුම නිසාය. මෙම පීඩනය උතුර මත පවත්වාගෙන යන දකුණු ලංකාවේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට එය ‘එතරම් ප‍්‍රශ්නයක් ’ නොවූවත් දෙමළ ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට මේ මොහොතේ ඔවුන්ට තිබෙන බරපතලම ප‍්‍රශ්නය මෙයයි. තිස් අවුරුදු යුද්ධයකට හේතු වූ ප‍්‍රශ්නය මෙයයි. දේශපාලන සිරකරුවන් රඳවාගෙන සිටීම, අවතැන්වූවන් නැවත පදිංචි නොකිරීම, හමුදාකරණය, උතුරේ සිංහල ජනපදකරණය, යුධ අපරාධ සඳහා යුක්තිය ආදී සෙසු සියලූ ප‍්‍රශ්න මෙම මූලික ප‍්‍රශ්නය අනුසාරයෙන් මතු වී ආ ඒවාය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මේ අතිශය බරපතල ප‍්‍රශ්නය මග හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සැබෑ සංවාදයක් අපට ඇති කළ හැකිද? රුසියාවේ ජාතික ප‍්‍රශ්නය ගැන ලියමින් මහ රුසියානුවන් විසින් පීඩාවට පත්කරන ජාතීන් ගේ දේශපාලන ස්වාධීනත්වය පිලි නොගන්නා ලිබරල්වාදීන් ලෙනින් විසින් හදුන්වන්නට යෙදුණේ ‘මහ රුසියානු ජාතික ලිබරල්වාදීන් ’ ලෙසය. එනම් ඔවුන්ගේ ලිබරල්වාදය නිර්වචනය වී තිබණේ මහ රුසියානු ජාතිකවාදය හරහාය.

දකුණු ලංකාව තුළද අප මේ මොහොතේ අත් දකින්නේ සිංහල ලිබරල්වාදයකි. සිංහල වාමාංශයකි. එනම් රටේ ප‍්‍රධාන දහරාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවශ්‍යතාව පිළිබඳ සංවාදය මතු කරන ලිබරල්වාදීන් මෙන්ම වාමාංශිකයින් සැලකිය යුතු පිරිසක් ද ක‍්‍රියා කරන්නේ සිංහල කේන්ද්‍රීය තර්කනයක් තුළ පිහිටාය. දෙමළ ජනතාව මත සිංහල කේන්ද්‍රීය රාජ්‍යය විසින් පවත්වාගෙන යන පීඩනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස ඔවුන්ගේ අතින් වර නොනැගෙන්නේ ඒ නිසාය. එනම් ඔවුන්ගේ ‘ලිබරල්වාදය’ මෙන්ම ‘සමාජවාදයත් ’ නිර්වචනය වී තිබෙන්නේ සිංහල මහජාතිවාදය තුළිනි.

යුද්ධයක් මගින් පරාජය වූ ජනතාවකගේ බොටුව මත පා තබා නැගීගෙන සිටින ජයග‍්‍රාහී සිංහල ජාතිය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන ආකාරය’පිළිබඳ විද්වත් සංවාද පවත්වමින් සිටී. එහෙත් එම ග‍්‍රහණයෙන් නිදහස් වීමට දෙමළ ජනතාවට තිබෙන අයිතිය පිලිබඳ ප‍්‍රශ්නය මේ මොහොතේ තිබෙන වඩාත්ම ප‍්‍රබල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නය නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ විසින් මතු කරනු ලැබීම ප‍්‍රශංසනීයය. එකම අඩුව මෙම ප‍්‍රශ්නය මග හැර යා නොහැකි ලෙස ඉදිරිපත් කිරීමට තරම් ප‍්‍රබල දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් තවමත් දකුණු ලංකාව තුළ නොතිබීමයි.