Sunday, February 28, 2016

බර්ලින් තාප්පයේ සෙවනැල්ලට යට වූ රතු සහෝදරවරු


"නැගෙනහිර ජර්මනිය සමාජවාදී වී වසර කිහිපයකට පසු බර්ලින් තාප්පය ඉදිකිරීම ඇරඹිණි. බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ එය ඉදිකලේ සමාජවාදී නැගෙනහිර ජර්මනිය යන්නයි. මන්දයත් සමාජවාදය යටතේ නැගෙනහිර ජර්මනිය කෙටිකලක් තුල ලත් සංවර්ධනය හමුවේ බටහිර ජර්මනියේ පිරිස් නැ.ජර්මනිය වෙත ඇදී ඒමට පටන්ගැනීමත් සමග එය නැවැත්වීම උදෙසා නැ.ජර්මනිය විසින් බර්ලින් තාප්පය ඉදිකරන ලදී. මන්දයත් ඔවුන්ටද රස්සා දීමට නැ.ජර්මනිය පෙනී සිටියේ නම් එහි සමාජවාදය එතෙක් කල් පවතින්නේ නැත."




ඉහත අපූරු සටහන අප ඇස ගැටුණේ ෆේස්බුක් අඩවියේ තිබීය. මෙය යෝජිත 'එට්කා' ගිවිසුම යටතේ ඉන්දීය ශ්‍රමිකයන් ලංකාවට ඒම ගැන ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෙක් වන ශෙනාෂ් බණ්ඩාර යන නමින් පෙනී සිටින අය විසින් ලියන ලද සටහනකින් උපුටා ගනු ලැබූ කොටසකි.  එම සටහනෙන් නැගෙනහිර ජර්මනිය හා බර්ලින් තාප්පය ගැන කියන මේ කොටස තරමක් විස්තරාත්මකව සාකච්ඡාවට ගැනීමට අපි කල්පනා කළේ එය ජනතා විමුක්ති පෙරමුණු චින්තන මාදිලිය පිලිබද අපූර්ව හරස් කඩක් වන බැවිනි.

නැගෙනහිර ජර්මනිය විසින් බර්ලින් තාප්පය ඉදිකරනු ලැබුවේ 1961 දීය. මෙම අපකීර්තිමත් තාප්පය සීතල යුද්ධයේ සංකේතය බදු විය. 1961 සිට දශක තුනක කාලයක් බටහිර ජර්මනියෙන් නැගෙනහිර ජර්මානු ඊනියා සමාජවාදී රාජ්‍යය වෙන් කරමින් නැගී සිටි බර්ලින් තාප්පය අවසානයේ 1990 වර්ෂයේ දී පෙරලා දමනු ලැබූයේ රටවල් දෙකේම ජනතාවගේ උත්සවකාරී ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. බර්ලින් තාප්පයේ වැටීම සීතල යුද්ධයේ මෙන්ම 'ලෝක සමාජවාදී කදවුර' ලෙස හදුන්වනු ලැබූ දේශපාලන බල හවුලේ ද අවසානය සනිටුහන් කලේය.

මෙම බර්ලින් තාප්පය අපගේ කථානායක ජවිපෙ සහෝදරයා විසින් තේරුම් කරනු ලබන්නේ කෙසේද? ඔහුට අනුව බර්ලින් තාප්පය නැගෙනහිර ජර්මනිය විසින් ඉදි කරන්නේ කෙටිකලක් තුල සමාජවාදය යටතේ නැගෙනහිර ජර්මනිය ලබාගත් සංවර්ධනය ආරක්ෂා කරගැනීම සදහාය. ඔහුට අනුව නැගෙනහිර ජර්මනිය සමාජවාදය හන්දා සීඝ්‍රයෙන් 'සංවර්ධනය' වන්නට වූ අතර එම සංවර්ධනයට වශී වී ධනවාදී බටහිර ජර්මනියේ ජනයා සමූහ වශයෙන් නැගෙනහිරට ඇදී එන්නට පටන් ගෙන තිබේ. මේ ජන සන්නිපාතය නතර කරගැනීමටය නැගෙනහිර ජර්මානු ආණ්ඩුව බර්ලින් තාප්පය ඉදි කොට තිබෙන්නේ. මන්ද ධනවාදයෙන් මිදී සමාජවාදී පාරාදීසිය වෙත එලෙස ගලා එන ජනයාට රැකියා දීමට ගියහොත් නැගෙනහිර ජර්මානු සමාජවාදය කඩා වැටෙන නිසාය.

චිත්‍රපටවල එන ප්‍රබන්ධ කථා එලෙසම අපට යථාර්ථයක් ලෙස මුන ගැසෙන අවස්ථා තරමක් දුර්ලභය. අපගේ ජවිපෙ සහෝදරයාගේ මේ ප්‍රකාශය ඉතාම උත්ප්‍රාසාත්මක ලෙස අපට සිහි ගන්වන්නේ වුල්ෆ්ගැන්ග් බෙකර්ගේ 'ගුඩ් බායි ලෙනින්'(Good bye Lenin) නම් වූ චිත්‍රපටයයි. එම චිත්‍රපටය සමාජවාදී නැගෙනහිර ජර්මනිය පිලිබද පරමාදර්ශය හා එයි යථාර්ථය අතර ඝර්ෂණය තේමා කොට ගත්තකි. එහි කථානායක ඇලෙක්ස්ගේ මව වන ක්‍රිස්ටියානා නැගෙනහිර ජර්මනියේ පාලක පක්ෂය වන සමාජවාදී එක්සත් පක්ෂයේ දැඩි පාක්ෂිකාවකි. 1989 ගණන්වල අග එරට ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පටන් ගන්නා අතර එබදු එක් උද්ඝෝෂණයකට තරුණ ඇලෙක්ස් ද සම්බන්ධ වේ. එහි දී පොලිසිය උද්ඝෝෂණයට පහර‍ දෙන අතර ඇලෙක්ස්ට ද පහර දී අත්අඩංගුවට ගනු ලැබේ. අහම්බයකින් එම අවස්ථාවේ ඇලෙක්ස්ගේ මව එතැන පසුකරයි. 'සමාජවාදී පොලිසිය' තම පුත්‍රයාට පහර දී කුදලාගෙන යන ආකාරය දකින මව සිහිසුන්ව ඇද වැටේ. ඉක්බිති ඇය කෝමා තත්වයකට පත්වන්නීය.

දීර්ඝ කාලයක් තිස්සේ මව එලෙස කෝමා තත්වයේ ගිලී සිටින අතර ඒ අතරවාරයේ රටේ දේශපාලන තත්වය වෙනස් වේ. බර්ලින් තාප්පය බිද වැටී නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය සමග ඒකාබද්ධ වේ. ඉක්බිති මව නැවත සිහිය ලබන්නීය. මව සිහිය ලැබූ පසු ඇලෙක්ස් කැදවන වෛද්‍යවරු ඔහුට දැනුම් දෙන්නේ මවගේ තත්වය එතරම් යහපත් නැති බවත් විශාල කම්පනයකට ලක්වුවහොත් ඇය නැවත ආබාධයට ලක්විය හැකි බවත්ය. සමාජවාදී පක්ෂයේ දැඩි පාක්ෂිකාවක වන මවට නැගෙනහිර ජර්මානු සමාජවාදය බිද වැටුනු බව දැනගන්නට ලැබුණහොත් ඇය විශාල කම්පනයකට ලක්වනු ඇති බව ඇලෙක්ස් කල්පනා කරයි. ඉක්බිති ඔහු මව ගෙදර ගෙන යන අතර මව වෙනුවෙන් හෙතෙම ව්‍යාජ ලෝකයක් මවයි. එනම් අවට ලෝකය වෙනස් වී තිබෙන බව ඇගෙන් සැගවීමට නොයෙක් උපමාරු යොදමින් ප්‍රබන්ධමය ලෝකයක් මව වෙනුවෙන් මවා පායි. එම ප්‍රබන්ධමය ලෝකය තුල බර්ලින් තාප්පය කඩා වැටීමේ සංසිද්ධිය මවට තේරුම් කරනු ලැබෙන්නේ මේ ආකාරයටය - 'බටහිර ධනවාදය හා එම සමාජවල තිබෙන පරිභෝජනවාදය නිසා පීඩාවට පත්වූ ජනයා නිදහස හා විමුක්තිය සොයාගෙන නැගෙනහිරට එන නිසා බර්ලින් තාප්පය ඉවත් කිරීමට නැගෙනහිර ජර්මානු ආණ්ඩුව තීරණය කලා'.

අපගේ ජවිපෙ මිත්‍රයා ද ඇලෙක්ස්ගේ මව මෙන් ජීවත් වන්නේ නැගෙනහිර ජර්මනිය පිලිබද ප්‍රබන්ධ ‍ලෝකයකය. විහිලුව නම් බර්ලින් තාප්පය බිද වැටී අවුරුදු විසි පහකට පසුත් මේ ආකාරයේ ප්‍රබන්ධ ලෝකයක් තුල ඔහු ජීවත් වීමයි. බර්ලින් තාප්පය සැබැවින්ම ඉදි කරනු ලබන්නේ නැගෙනහිර සිට බටහිරට සිදුවන සමූහ ජන සංක්‍රමණයන් නතර කොට දැමීමටය. මෙම තාප්පය ඉදිකිරීමට පෙර නැගෙනහිර ජර්මානු වැසියෝ මිලියන 3.5 ක් ආගමන-විගමන නීති උල්ලංඝණය කොට බටහිරට පලා ගොස් තිබුණාහ. බටහිර ජර්මනියට ගොස් එතැනින් වඩා යහපත් ජීවන තත්වයන් සොයා වෙනත් බටහිර රටවලට සංක්‍රමණය වීමය මෙලෙස පලා යන අයගේ අපේක්ෂාව වූයේ. මෙය නතර කිරීම සදහා බර්ලින් තාප්පය නැංවීමට තීන්දු වූ අතර ආණ්ඩුව මෙම තාප්පයට දුන් නිල නාමය වූයේ 'ෆැසිස්ට් විරෝධී ආරක්ෂක තාප්පය' යන්නයි. ආණ්ඩුවේ නිල පැහැදිලි කිරීම වූයේ ෆැසිස්ට්වාදී කුමන්ත්‍රණවලින් සමාජවාදී රාජ්‍යය ආරක්ෂා කරගැන්ම සදහා තාප්පය නංවනු ලැබූ බවයි. ඉක්බිති නැගෙනහිර ජර්මනිය අත්හැර යාම ඉතාම දුෂ්කර කටයුත්තක් බවට පත්වූ අතර බටහිර රටවලට වීසා දීම ඉතාම දැඩි පාලනයකට යටත් කරන ලදී. කෙසේ වූවද තාප්පය ඉදිකලාට පසුත් විවිධ පිරිස් බාධක මධ්‍යයේ තාප්පයෙන් එතෙර වන්නට උත්සාහ කල අතර එසේ සාර්ථකව පලා ගිය පිරිස 5000 ට ආසන්න වෙතැයි කියැවේ. එලෙස පලා යාමට වෑයම් කිරීමේ දී මිය ගිය පිරිස 200 කට ආසන්නය.

සීතල යුද්ධයේ එක් අංගයක් වුයේ ප්‍රචාරක යුද්ධයයි. ඇමරිකාව ඇතුලු බටහිර කදවුර සෝවියට් සංගමය ප්‍රමුඛ නැගෙනහිර කදවුරේ 'බිහිසුනු තතු' පිලිබද ප්‍රචාරයන් කල අතර අනෙක් අතට එම රටවල 'සංවර්ධන මට්ටම හා සමෘද්ධිය' පිලිබද ප්‍රචාරයන්ගෙන් සෝවියට් කදවුර ඒවාට ප්‍රතිචාර දැක්වීය. සෝවියට් ආණ්ඩුව විසින් විවිධ භාෂාවලින් මුද්‍රණය කොට ඉතා අඩු මිලට ලොව පුරා අලෙවි කල පොත් අයත් වන්නේ මෙම ප්‍රචාරක ක්‍රියාවලියටය. ඉතා වටිනා දේශපාලන හා සාහිත්‍යයික කෘති මෙන්ම සමාජවාදී කදවුරේ ජනයා ප්‍රීතිමත්ව ජීවත් වන ආකාරය දැක්වෙන ප්‍රචාරකවාදී කෘති ද ඇති තරම් ඒ අනුව අලෙවි වූයේය.

දැන් මෙම ප්‍රචාරක යුද්ධය අතීතයට අයත්ය. සෝවියට් සමාජවාදය ද එලෙසම ඉතිහාසයට අයත් වූවකි. එම කදවුරේ බිද වැටීම හුදෙක් නපුරු අධිරාජ්‍යවාදීන්ගේ දුෂ්ඨ කුමන්ත්‍රණයක් නොව එම සමාජ-ආර්ථික ආකෘතිය තුල වූ එහිම වූ නෛසර්ගික දුර්වලතා හා ව්‍යුහමය ගැටලු පුපුරා යාම නිසා සිදුවූ සංසිද්ධියකි. දේශපාලන වශයෙන් එම සමාජ සංයුක්ත වී තිබුණේ අධිකාරිවාදී පාලන තන්ත්‍රයකිනි. මහජනතාවගේ ඡන්දයේ බලයට යටත් නොවූ 'පක්ෂය' හා එම පක්ෂයේ නිලධාරීන් අත සියලු දේශපාලන බලතල සංකේන්ද්‍රණය වී තිබූ අතර එම පාලන සැකැස්මට අනුගත වන අය 'යහපත් අය' ලෙස හා ඊට අනුගත නොවන අය හා එය සැක කරන අය 'ප්‍රතිවිප්ලවවාදීන්' ලෙස වර්ග කරනු ලැබූ සමස්තතාවාදී තර්කනයකින් සමාජය පාලනය විය. සිවිල් හා දේශපාලන නිදහස පාලක පක්ෂයේ හිතවතුන්ට පමණක් සීමා කළ එම දේශපාලන තන්ත්‍රය ප්‍රජාතාන්ත්‍රීය වටිනාකම්වලින් යුක්ත නොවූ පීඩක තන්ත්‍රයක් වූයේය.

ආර්ථික ක්ෂේත්‍රයේදී සෝවියට් ආකෘතිය තුල එම කදවුරට අයත් රටවල් එම සමාජවල අතීතයේ පැවැති පසුගාමී ආර්ථික කොන්දේසිවලට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් අත් පත් කරගත්තත් සංවර්ධිත ධනවාදී ආර්ථිකයන් හා සසදන විට සෝවියට් කදවුරේ ආර්ථිකයන් බටහිර සංවර්ධන මට්ටම්වලට පසුපස ගෑටුවේය. දැඩි ලෙස මධ්‍යගත කරනු ලැබූ ආර්ථිකය නිලධාරීවාදී පාලනයක් යටතේ සම්පත් බෙදාහැරීම අතින් අකාර්යක්ෂමතා පෙන්නුම් කල අතර ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ වාසිය ද ලෝක ආර්ථිකයෙන් වෙන් වී තිබූ එම රටවල ආර්ථික පද්ධතියට හොදින්ම ලබාගත නොහැකි විය. එම නිසා යථාර්ථයේ දී සිදුවූයේ අපගේ ජවිපෙ සගයා සිතාගෙන ඉන්නා විදිහට බටහිර ජර්මනියේ ඉදලා යහපත් ජීවන තත්වයන් අපේක්ෂාවෙන් නැගෙනහිරට ජනයා ගලා ඒම නොව එහි අනෙක් පැත්තය. මේ ආකාරයේ බහුවිධ හේතූන්වල ප්‍රතිඵල ලෙස සෝවියට් සමාජවාදය බිද වැටුණි.

විසි එක් වන සියවස තුල ප්‍රති-ධනවාදී දේශපාලනයක් පිලිබද අප පරිකල්පනය කරනවා නම් එය පටන් ගත යුතු තැන වන්නේ එලෙස අසාර්ථක වූ සෝවියට් සමාජවාදී ආකෘතිය පිලිබද බැරෑරුම් විචාරයක් වර්ධනය කරගැනීම සහ එම ආකෘතියෙන් රැඩිකල් ලෙස ඛන්ඩනය වී ගැනීමය. ධනවාදයට විරුද්ධව සෝවියට් පන්නයේ සමාජ දේශපාලන සැකැස්මක් නැවත යමෙක් යෝජනා කරන්නේ නම් එය මුලුමහත් ඉතිහාසයක අත්දැකීම් ගැන අබ මල් රොනක දැනුමක් නැතිව කරන ඔලමොට්ටල යෝජනාවකි. ප්‍රති-ධනවාදී දේශපාලනය සදහා ධනවාදයට මෙන්ම සෝවියට් සමාජවාදයට ද වෙනස් තුන්වන මාවතක් පිලිබද සංකල්පනයක් වර්ධනය කල යුතුව පවතී.

එවැන්නක් වර්ධනය කිරීමට නම් පලමුව සෝවියට් මාදිලියේ සමාජවාදයේ තිබූ ගැටලුව වටහා ගෙන සිටිය යුතුය. විසි වන සියවස තුල සෝවියට් සමාජවාදය විවේචනයට ලක්කල එකම අය ප්‍රති-කොමියුනිස්ට්වාදීන් හෝ ලිබරල්වාදීන් නොවේ. සෝවියට් සමාජවාදය වාමාංශයෙන් ද විචාරයට ලක්විය. එලෙස සෝවියට් සමාජවාදය පිලිබද විවේචනාත්මක විචාර කතිකාවක් වර්ධනය කල ප්‍රධාන වාමාංශික දේශපාලන සම්ප්‍රදායන් දෙකක් වන්නේ ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදාය හා බටහිර මාක්ස්වාදී සම්ප්‍රදායයි. සමාජවාදය ගැන තුන්වන මාවතක් පරිකල්පනය කරන ඕනෑම කෙනෙක්ට මෙම සම්ප්‍රදායන් විසින් වර්ධනය කල දැනුම ආලෝකයක් වනු ඇත.

අප ජවිපෙ සහෝදරයාගේ ප්‍රකාශය පෙන්නුම් කරන්නේ එවැනි විකල්ප පරිකල්පනයක් පිලිබද හාංකවිසියක අදහසක් ඔවුන් තුල නොමැති බවයි. ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් සිංහලයෙන් අච්චු ගසා බෙදා හළ පොත්වල තිබෙන කරුණුවලට අමතර දෙයක් ඔවුන් සෝවියට් දේශය ගැන දන්නේ නැත. අප තවමත් ජීවත් වන්නේ '60 දශකයේ නම් වාමාංශිකයන්ගේ දැනුම හා අවබෝධය එලෙස සීමාසහිත වීම ගැන සමාව දීමට පුලුවන. එහෙත් දැනුම හා තොරතුරු වෙත ගෝලීයව ප්‍රවේශ වීමේ හැකියාව අතිශයින් පුලුල් වී තිබෙන මෙම සයිබර් යුගයේ ජීවත් වන වාමාංශිකයන් තවමත් දැනුම ලබන්නේ සෝවියට් සංගමය විසින් අච්චු ගැසූ පරණ පොත්වලින් නම් එය කිසිසේත්ම සමාව දිය හැකි කරුණක් නොවේ. බර්ලින් තාප්පය ගැන ආර්ථික වි‍චාරයන් ලිවීමට පෙර නිකමට අන්තර්ජාලයේ වටයක් ගසා බර්ලින් තාප්පය ගැන හෙවුවා නම් ජවිපෙ මිත්‍රයාට ඒ ගැන බොහෝ දේවල් සොයාගත හැකිව තිබුණි. කෙසේ වූවද පංති පහෙන් හා පක්ෂ අධ්‍යාපන කදවුරින් දෙන දැනුම පරම ලෙස සැලකීමට හා පක්ෂයේ දැනුවත් නිලධාරීන් කරනු ලබන විග්‍රහයන් විශිෂ්ට විග්‍රහයන් ලෙස ප්‍රශ්න නොකොට පිලිගැනීමට පුරුදු පුහුණු කළ දේශපාලන සම්ප්‍රදායක් තුල ශික්ෂණය වූ විට වෙනස් දැනුමක් දෙස විවෘතව බැලීමට තිබෙන පෙලඹවීම ඉතා අල්පය. සමාජවාදය ගැන ගල් යුගයේ අදහස් පුනරුච්චාරණය කරමින් සිටින අප ජවිපෙ මිත්‍රයා ආදී අයවලුන්ට සමකාලීනව බටහිර රටවල සිදුවෙමින් තිබෙන වාමගාමී දේශපාලන හැරවුම පිලිබද කිසිදු අදහසක් නොමැත්තේ ඔවුන් ශික්ෂණය වී තිබෙන එම දූපත්වාදී, ගුහාගත චින්තන සම්ප්‍රදායේ බලපෑම නිසාය.

මෙම ලිපිය ලියන මොහොත වනවිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ආකර්ෂණීය තරුණ සමුලුවක් පැවැත්වීමට ජවිපෙ තරුණ සංගමය ලක ලෑස්ති වෙමින් සිටී. එය නම් කොට තිබෙන්නේ 'සමාජවාදය - ජීවිතය සහ අනාගතය උදෙසා' යන මැයෙනි. නවීන පෙනුමෙන් යුක්ත ප්‍රචාරක ආකෘති මේ සමුලුව ‍සදහා මහා පරිමාණයෙන් යොදාගෙන තිබේ.

එහෙත් යම් ව්‍යාපෘතියක් 'අලුත්' හෝ 'තරුණ' වන්නේ ප්‍රචාරය සදහා යොදාගන්නා අකුරුවල දිලිසෙන පාට අනුව නොව එය විසින් යෝජනා කරන පරිකල්පනයේ හා ඉදිරි දැක්මේ පරිමාව අනුවය. සමහර විට බර්ලින් තාප්පය ගැන මෙම සටහන ලියූ සහෝදරයා ද සුගතදාස සමුලුවේ ටිල්වින් සිල්වා සහෝදරයා කරන කථාවට ලාලසාවෙන් යුක්තව අත්පොලසන් දෙනු ඇත. එලෙස අත්පොලසන් දී ඊලග දවසේත් ඔහු ෆේස්බුක්හි ලියන්නේ 'සමාජවාදී කදවුරේ අසිරිය' හා 'බර්ලින් තාප්පයේ ප්‍රයෝජනය' ගැන විප්‍රකාර නම් සමුලු එකට සමුලු දහයක් පැවැත්වූවත් බැරෑරුම් ප්‍රති-ධනවාදී ව්‍යාපෘතියකට ඉන් අල්ප මාත්‍ර ප්‍රයෝජනයක් අත් වන්නේ නැත.

සැබැවින්ම නවීන සමාජවාදී පක්ෂයක් වීමට අපේක්ෂා කරනවා නම් නම් ජවිපෙ මුලින්ම බර්ලින් තාප්පයේ සෙවනැල්ලෙන් මිදීගත යුතුය. බර්ලින් තාප්පයේ සෙවනැල්ලෙන් මිදී ගැනීමට නම් සියල්ලට පලමුව ජවිපෙ  රෝහණ විජේවීරගේ සෙවනැල්ලෙන් මිදී ගෙන සිටිය යුතුය.

( akshaya.lk වෙබ් අඩවියට ලියනු ලැබූ ලිපියකි )

Wednesday, February 24, 2016

අක්ෂය වෙබ් අඩවිය ගැන


මෙම බ්ලොග්කරු ද සාමාජිකයෙක් වන කන්ඩායමක් විසින් මේ වනවිට 'අක්ෂය' නමින් වෙබ් අඩවියක් ආරම්භ කොට ඇත. දේශපාලනය, කාලීන තොරතුරු, ජාත්‍යන්තර දේශපාලන විචාර සහ සාහිත්‍ය-කලා ලිපි ඇතුලු ලිපිවලින් මෙම වෙබ් අඩවිය සමන්විතය. පහත සබැදිය ඔස්සේ ඊට පිවිසිය හැක.

http://akshaya.lk/

එම වෙබ් අඩවිය සමග ද සම්බන්ධ වන ලෙස මෙම බ්ලොග් අඩවියේ පාඨකයින්ට මින් ආරාධනා කරනු ලැබේ. ඊට මෙම බ්ලොග්කරු සපයන ලිපි ඉදිරියේ දී බ්ලොග් අඩවියේ පල කෙරෙනු ඇත.